Friday, October 18, 2019

640. වාර්ෂික ඉසුඹුව උදෙසා ලංකාද්වීපයට සැපත්වීම සහ සහෘදයින් හමුවීම..... - 2

වාර්ෂික ඉසුඹුව පාර්ට් වන් එකේ තනිකරම තුන්කාලකුත් තව සේසයක්ම මිඩංගු උනේ අර අලි පාරෙ කතන්දරේ කියන්ට නෙව. වස වැරැද්දයි. ඒත් ඉතිං මක්ක කියල කොරන්ටෙයි? එව්වයි හැටි එහෙම තමයි...නැද්ද හොඳයි? 

එහෙනං අපි ආයම වාර්ෂික ඉසුඹු කතාවට යමු….. මෙන්න දැන් අසෝකයගෙ ටෙලිෆෝන් මඟින් අලි එළවිල්ල… 

මම කිව්වනෙ අපි කට්ටියම අසෝකයයෙ දොර ගාව පොදි ගැහිල දොරට කණ තියාගෙන ඉන්නවයි කියල. ඔන්න කාමරේ ඇතුලෙං මෙහෙම ඇහෙනව… 

"අලි කී දෙනෙක් ඇවිත් ඉන්නවද?" ඒ අසෝකයගෙ කටහඬ....(ඒ පැත්තෙන් අසෝකයගෙ බාර්යා තොමෝ කියන එව්ව ඉතිං අපිට ඇහෙන්නෙ නැහැනෙ..එව්ව මම දාන්නං උපකල්පනය කරල..හොඳේ) 

"අලි කී දෙනෙක් ඇවිත් ඉන්නවද?" ඒ අසෝකයගෙ කටහඬ… 

"ම්ම්ම්..හරියටම පේන්නෙ නම් නෑ..මට හිතෙන්නෙ ඇහෙන සද්ද බද්ද වල හැටියට තුන් හතර දෙනෙක් වත් ඇති.." 

"අප්පට සිරි එහෙමද? එහෙනං බඩු ෂුවර් ඔය ඇවිල්ල ඉන්නෙ කං කබරයගෙ හතරදෙනාගෙ කල්ලිය...අලි හතර දෙනෙක්ද පේන්නෙ?" 

"එක පාරක් කිව්වම මනුස්සයො මේ ඇටපල් කළුවරේ මෙලෝ දානයක් පේන්නෙ නැතිය කියල..අර කෑලි තුනේ ටෝච් එක ගහල බලන්ටද?" 

"පිස්සුද තමුසෙට? ටෝච් එළියට ඔය අලි රෑන එකත් එකටම කඩාගෙන ඒවි ගෙදරට…." 

"හරි හරි මොකද එහෙනම් මම කරන්න ඕන?" 

"මම කියන්නද? හෙමිහිට ගිහිල්ල අර පොඩි කබඩ් එකේ වම් පැත්තෙ උඩම ලාච්චුවෙ ඇති අලි වෙඩි….එයින් දෙක තුනක් ගේනවකො…" 

"මොන පොඩි කබඩ් එකද?" 

"ඇයි අනේ අර සාලෙ ලොකු ජනේලෙ ගාවම තියන කබඩ් එක..අර අපේ වෙඩිං ෆොටෝ එක එහෙම තියෙන්නෙ ඒක උඩ.." 

"ආ..ඒකද? ඒත් ඒක උඩ දැන් වෙඩිං ෆොටෝ එක නම් නෑ.." 

"ඒ මොකෝ? මොකද ඒකට උනේ?" 

"මගෙ අතින් ඒක උඩ දූවිලි ගසද්දි ඒ ෆොටෝ එක බිමට වැටිල වීදුරුවෙ ඉරක් ගියා.." 

"ඔන්න ඉතිං ඕකනෙ මම කියන්නෙ..කොහෙද ඉතිං...කිසිම පරිස්සමක් නෑනෙ…" 

"හරි හරි දැං ඕක ගැන කෑගහල වැඩක් නෑ...අලි වෙඩිල්ල ගෙනල්ල මම මොකද කරන්න ඕන කියල කියන්නකො…" 

"අලි වෙඩිල්ල ගෙනල්ල ඕකෙ ඔය දිග නූලක් වගෙ එකක් තියනව නේද?" 

"කොතනද?" 

"ඇයි අනේ මම පෙරේද කොළඹ එන්න ඉස්සෙල්ල ඔයාට කියල දුන්නෙ…. අර පල්ලෙහායින් තියෙන්නෙ කහ පාට නූලක් වගෙ එකක්...අන්න ඒක…" 

"හරි හරි ඉන්නකො.." 

"බලාගෙන හොඳද? ඕක එකපාරට හයියෙන් අදින්න එහෙම එපා..කැඩිල ගියොත් එහෙම අලි වෙඩිල්ලෙනුත් වැඩක් නෑ…" 

"හරි හරි අනේ මම දන්නව…..." 

"ආ..මේ ඕක නූල අදින්න ඉස්සෙල්ල පොඩ්ඩක් හෝදිසි කරල බලන්න අලි ඉන්නෙ කොහෙද කියල..අලි වෙඩිල්ල උංගෙ පිටිපස්සෙන් පිපුරුවොත් එහෙම අලි සෙට් එක ගේ දිහාට දුවගෙන එයි…" 

ඔන්න ඔයාකාරයි අසෝකයගෙ දුරකථන මාර්ගයෙන් වන අලි පළවා හැරීමේ මෙහෙයුම... 

ඉතින් එදා ඔය විදිහට දවල් දොළහමාර වගෙ වෙනකල් ඔය පැරණි රසාංග ගැන කතා කරකර ඉඳල මම හරිෂ් සහ ගාමිණී මහත්තයගෙන් සමුඅරගෙන ආපහු ආව ඉයන්ගෙ නවාතැනට. 

එදා රෑ එහෙ තිබ්බ සුළු පරිමාණ සුහද හමුවක්. අපේ මේ බ්ලොග් ලියලම හඳුනා ගත්තු යාලුවො හතර පස් දෙනෙක් සහභාගි වුනා ඒකට. ප්‍රා, අටම්, ඉවාන්, කළ්‍යාණ....මාතලන්ට මොකක් හරි වැදගත් වැඩක් හින්ද පැමිණීමට අපහසුයි කිව්ව. ඒ දවස්වල අරූගෙ අඩවිය ලියපු අරුණත් ලංකාවට ඇවිත් හිටිය. එදා රෑ අරූ මීගමුවෙ ඔය කවුද නෑදෑ කෙනෙක්ගෙ හෝ යාලුවෙකුගෙ ගෙදර යන්ට කලින් යොදගත්තයි කියල එඋන්දැත් එන්ට විදිහක් නැතය කියල කිව්ව. 

පහුවදා උදේ මම කෝච්චියෙ ගෙදර ගියා. ඊට දවස් තුනකට පස්සෙ ඒ කියන්නෙ අගෝස්තු 10 වෙනි සෙනසුරාද මා එක්ක මහවැලියෙ සේවය කරපු මගේ සහෘදයින් සංවිධානය කල පොඩි පහේ සාදයක් පැවැත්වුනා පොල්ගොල්ලෙ අපේ එක් සහෘදයෙක්ගෙ නිවසෙ. 

කලින් ඔය සාදය පවත්වන්ට සැලසුම් කරල තිබ්බෙ පොල්ගොල්ල මහවැලි සර්කිට් එකේ නොහොත් සංචාරක බංගලාවෙ. ඒත් ඒ ඇවිල්ල හිට දළඳා පෙරහැරේ අවසාන දවස් කීපය. ඉතිං අන්තිම මොහොතෙ දළඳා පෙරහැර නරඹන්නට තායිලන්තෙ ඉඳල ආපු හාමුදුරුවරු කට්ටියක් මහවැළි සර්කිට් එකේ නවතින්ට ඇවිල්ල තියනව. 

ඒ හින්ද අපි ඔතන බීගෙන කෑගහගෙන සිංදු කියාගෙන දඟලන්ට තියාගත්තම අනික් පාර ඕක ජාත්‍යන්තර අර්බුදයක් වේදෝහෝයි කියන සැකය හින්ද අපි තීරණය කලා (අපි කිව්වට මම ඔය මොහොකටවත් සම්බන්ධ වුනේ නෑ. මම ඇවිල්ල විශේෂ අමුත්ත නෙව. සංවිධායක මණ්ඩලය තමයි ඔය තීරණය ගත්තෙ) සර්කිට් එක කිට්ටුවම තිබ්බ අපෙ යාලුවගෙ ගෙදරට විත්ඩ්‍රෝ වෙන්ට....පියෝලි අ ස්ට්‍රැටජිකල් විත්ඩ්‍රෝවල්...අන්තිමට එහෙ තමයි වැඩේ සිද්ද වුනේ... 

මහවැලියෙ මා හා එකට සේවය කල සහෘදයො හය දෙනෙකුත් සංස්කෘතික ත්‍රිකෝණයේ මා සමඟ සේවය කල සරත් මේ සුහද හමුවට සහභාගි වුනා. සරත් මුලින්ම මගේ යාලුවෙක් උනාට දඹුල්ල කාර්මික විද්‍යාලයෙ එන්.සී.ටී. පාඨමාලාව හදාරන සමයේ මගේ මහවැලි මිතුරන් බොහෝ දෙනෙක් ඔහුගේ සීගිරිය ව්‍යාපෘතියේ නිල නිවසේ සති අන්තය නැවතිල හිටිය හින්ද ඔහු මගේ මහවැලි සගයින්ගේද අතිජාත මිතුරෙක්. 


මහවැලියේ මගේ සහෘදයින්......

මම කාලෙකට ඉස්සර මගෙ මහවැලි මතක සටහන් ලියද්දි ලියපු කබරයගෙ කතාව මතකයිද? ඒකෙ නිව්ටා තමයි ඔය දකුණෙ ඉඳල දෙවෙනියට ඉන්නෙ. එතකොට 2015 අවුරුද්දෙ නෙලුම්යාය සම්මාන උළෙලෙදි මට සම්මානයක් ලැබුණු නිල් කට්රොල් මල් කතාවෙ සරත් (මම අර කලින් කිව්වෙ සංස්කෘතික ත්‍රිකෝණයෙ වැඩ කරපු මගෙ යාලුව) තමයි ඔය වමේ ඉඳල දෙවෙනියට ඉන්නෙ. 

නිව්ටන් ගැන තව පොඩි කතාවක් තියනව. කලින් මේක කිව්වද කියල නම් මට මතක නෑ..ඒත් ඔන්න ඔහෙ ඕන කැකිරි වත්තකිං පලච්චාවෙ කියල ඒ කතාවත් කියලම දාන්නං. 

මහවැලියෙ ඒ කාලෙ තිබ්බ මාර්ඩ් කියල ඩිවිෂන් එකක් (M.A.R.D. = Mahaweli Area Roads Development) නමෙන්ම හැඟවෙන විදිහට මහවැලි බල ප්‍රදේශ තුල ප්‍රධාන මාර්ග ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කලේ මේ මාර්ඩ් එක. ඒ කාලෙ අපේ නිව්ටන් වැඩ කලේ ඔය මාර්ඩ් එකේ. 


වැලිකන්ද-ත්‍රිකෝණමඩු මාර්ගය..........

පොළොන්නරුව- මඩකලපුව මාර්ගයේ වැලිකන්දෙ ඉඳල මහවැලි ගඟ අසබඩ පිහිටි ත්‍රිකෝණමඩුව දක්වා ද්විත්ව මංතීරු සහිත මාර්ගයක් තැනීමට ඔය කාලෙ සැළසුම් කරල තිබ්බ. අවුරුදු දෙකකට වගෙ පස්සෙ ඒ මාර්ගය ඉදිකලේ දකුණු කොරියාවෙ කියං නෑම් සමාගම. ඒ මම හිතන්නෙ කියං නෑම් කට්ටිය ලංකාවට ඇවිදිල්ල හිට කරපු මුල්ම ව්‍යාපෘතිය. සෙත්සිරිපාය එතනින් ගියහම මාතලේ- දඹුල්ල පාර එහෙම කලේ ඊට පස්සෙ. 

හරි ඒ අතුරු විස්තරයක්. මම මේ කියන සිද්ධිය වෙන කාලෙ වැලිකන්ද - ත්‍රිකෝණමඩු පාරක් තියා කොරියන් කාරයො මෙහෙට්ට ඇවිල්ලත් නෑ. මාදුරුඔය ජලාශයෙ ඉඳල මහවැලි බී කලාපයට වතුර අරගෙන ආවෙ කොන්ක්‍රීට් ආස්තරණය කරපු විශාල ඇළකින්. වම් ඉවුර ප්‍රධාන ඇළ (L.B.M.C = Left bank Main Canal) නමින් හැඳින්වුනු මේ ඇළ මාර්ගය සහ අර මම කියපු යෝජිත වැලිකන්ද-ත්‍රිකෝණමඩු මාර්ගය එකිනෙක හරහා යනව වැලිකන්දට කිලෝමීටර් අටක් වගෙ උතුරින්. එතනට කිව්වෙ මුතුවැල්ල කියල. 

(සටහන - මාදුරු ඔය දකුණු ඉවුර ඇළ මාර්ගයකුත් ඔරිජිනල් සංවර්ධන සැළස්මෙ තියනව. ඒකෙන් සංවර්ධනය කරන්ට බලාපොරොත්තු වෙලා තියෙන්නෙ තොප්පිගල අවට ප්‍රදේශය. ඒත් එල්ටී.ටී.ඊ. ප්‍රශ්නෙ හින්ද ඒ වැඩ කටයුතු එහෙම්මම ඇණහිටිය. ඉදිරි අනාගතයෙදිවත් ආයම දකුණු ඇළ හැදෙයිද කියල කියන්ට බෑ.) 

ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලයෙ ගොවිපොළක් එහෙමත් තිබ්බ ඔය මම කියන මුතුවැල්ලෙ. ඒකෙ වැඩි පුරම වගෙ හිටියෙ ඉන්දියාවෙන ගෙන්වපු මහ විශාල අංතට්ටුවක් තියෙන හොඳ උස මහත ගව වර්ගයක්. මම හිතන්නෙ ලංකාවෙ වියළි කලාපයෙ දේශගුණයට ඔරොත්තු දෙන හොඳට කිරිත් ලැබෙන ගව ප්‍රභේදයක් බිහි කරගන්ට ඒ කාලෙ ඔය ගොවිපළේ අභිජනන පර්යේෂණ පැවැත්වුනා. 


දිගු අං සහිත ඉන්දියානු ගවයින්....

වම් ඉවුර ප්‍රධාන ඇළ මාර්ගය ඉදිකලේ ZD කියන අමරිකන් සමාගම (Zachary-Dillingham Construction) ඒ හින්ද හැමෝම ඒ කාලෙ ඔය වම් ඉවුර ප්‍රධාන ඇළට කිව්වෙ ZD ඇළ කියල. වයසක අය කිව්වෙ ඉසඩි ඇළ. 

ඉතිං මම මේ කියන්ට යන නිව්ටන් සම්බන්ධ සිද්ධිය වෙනකොට ZD කොම්පැණිය ඔය ත්‍රිකෝණමඩු පාර මහ ඇළ හරහා යන තැනට කිලෝ මීටර් දහයක් දොළහක් වගෙ දුරකට වෙනකල් ඇළ හදල තිබ්බ.ඊලඟට ඔය පාර ඇළ හරහා යන තැන අනිවාර්යයෙන්ම පාළමක් දාන්ටම එපාය. ඒ හින්ද ZD එකේ අයට දැනගන්ට ඕන වුනා ඒ පාළමේ ලොකේෂන් එක නොහොත් ඉදිකිරීමට නියමිත ස්ථානය කොතනද කියල. 

වැලිකන්ද-ත්‍රිකෝණමඩු මාර්ගය සම්බන්ධ සියළු අධීක්ෂණ සහ සම්බන්ධීකරණ කටයුතු කලේ මාඩ් එක. ඔය පාරෙ මධ්‍ය රේඛාව නොහොත් සෙන්ටර් ලයින් එක දැම්මෙ රජයේ මිනුම් දෙපාර්තමේන්තුවෙ මිනින්දෝරුවො. ඒ කරල මාඩ් එකේ කාටහරි ඒ සෙන්ටර් ලයින් පෙග්ස් හෙවත් මධ්‍ය රේඛා සළකුණු කරපු කූඤ්ඤ පෙන්නල හෑන්ඩිං ඕවර්/ ටේකිං ඕවර් ෂීට් එකකට අත්සන් ගන්නව නිවැරදිව ඒ සළකුණු බලල භාරගත්තයි කියල. ඔන්න ඕක තමයි පිළිගත් සම්ප්‍රදාය. 

ඉතිං ඔය මිනුම් සළකුණු හෑන්ඩ් ඕවර් කරනකොට වැලිකන්දෙ ඉඳල කිලෝමීටර් දොළහක්ද කොහෙද ටේක් ඕවර් කරල තියෙන්නෙ අපෙ නිව්ටනය. ඉතිං ZD එකෙන් අර පාලමේ ලොකේෂන් එක ගැන දැනගන්ට එයාලගෙ එන්ජිනියර් කෙනෙක් එවන්නම්ය කිව්වම නිව්ටන්ගෙ ලොක්ක නිව්ටන්ට කතා කරල කිව්වලු…........ 

"නිව්ටන් අන්න අර ත්‍රිකෝණමඩු පාරයි මේන් කැනල් එකයි ක්‍රොස් වෙන තැන හරියටම බලාගන්ට හෙට උදේ ZD එකෙන් එන්ජිනියර් කෙනෙක් එයි." 

"හරි බොස්" 

"නිව්ටන් නේද ඔය හරිය ටේක් ඕවර් කලේ සර්වේ ඩිපාට්මස්න්ට් එකෙන්?" 

"ඔව් බොස්.." 

"එහෙනම් හෙට උදේ අර එන මනුස්සය එක්ක ගිහිල්ල හරියටම පාරෙයි ඇළෙයි සෙන්ටර් ලයින් ක්‍රොස් වෙන තැන පෙන්නන්ට." 

"ඕකේ බොස්.." 

නිව්ටනයත් එහෙම කියල වැඩේ බාරගත්ත. 

40 comments:

  1. රාළහාමි ලංකාවට ඇවිත් රා අරක්කු බිපුවයෙ පින්තුර එහෙම දාන්ටකෝ අපිටත් බලාකියා ගන්ට.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      එහෙම එව්ව දාල බැණුං අහගන්ට බෑ බං සුරා පානය ප්‍රවර්ධනය කරනවයි කියල...:)

      Delete
  2. ඉතින් ඊට පස්සේ ....!

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      අවසාන කොටස බලාපොරොත්තු වන්න....:)

      Delete
  3. //ඉතිං අන්තිම මොහොතෙ දළඳා පෙරහැර නරඹන්නට තායිලන්තෙ ඉඳල ආපු හාමුදුරුවරු කට්ටියක් මහවැළි සර්කිට් එකේ 'නවතින්ට ඇවිල්ල' තියනව. //

    මේ වාක්‍යය දැකපු ගමන් මට මතක් උනේ රවී මීට ඉස්සර නම් හාමුදුරුවරුන්ට ගෞරවාර්ව්හ පද ඇතුව කතා ලියාපු එකේ මේකට නිකම්ම නිකං "නවතින්ට ඇවිල්ලා " කියලා ලියලා තියෙන්නේ මොකද කියලයි. අර හාමුදුරු කෙනෙක් අද්දන බස් එකකට නගින්න ගිය වෙලාවේ ඒ ඩ්‍රයිවර්, හාමුදුරුවන්ගෙන් "අපවත් වෙන්න හදනවාද" කියලා අහපු බවකුත් ලියවිලා තිබුනා මට හොඳට මතකයි. වඩිනවා, වළඳිනවා , සැතපෙනවා වාගේ ගෞරවාර්ව්හ පදයක් ඇතුව ලියනවානම් මහවැලි සර්කිට් එකේ "වැඩ වාසය කරන්න" වැඩලා කියලා තමයි ලියන්න වෙන්නේ! එහෙම නැතිනම් ඉතින් ආවාසගත වෙනවා, ආරාමගත වෙනවා වගේ සර්කිට් බන්ග්ලෝ ගතවෙනවා කියලා තමයි කියන්න වෙන්නේ .

    කොහොම උනත් ඊළඟ ඉසිඹුවට ලංකාගමනය කරන්න ඉස්සෙල්ලා වත් පසුගිය ඉසිඹුවේ කතාව අවසන් කරන්න හැකිවේවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. සෑම්,

      දැන් තියන තත්වෙ හැටියට ලබන සුමානෙ විතර නැවත ආපසු නොයන්නම ලංකාවට එන්නයි හිතාගෙන ඉන්නෙ...බලමු....අවසාන කොටස බොහෝවිට ආපහු ලංකාවට ඇවිල්ලම ලියන්න වෙයි වගෙ මට පේන්නෙ...

      Delete
  4. අර ට්‍රේසින් කොලේ යට ලියල තිබෙන්ට ඇති “මායිම් බලාගත් අය: මහවැලි ප්‍රෙද්ශ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ කාර්මික නිලධාරී එෆ්.එල්.ඕ.වී.වී.එන්. සමරසේකර මයා“ කියල. මට අදටත් තියෙන ප්‍රශ්නෙ තමයි කිලෝමීටර් ගානක් දුරට හිටෝපු කූඤ්ඤ හත් අට සීයක් තියෙන තැං ටක්කෙටම මතක තියාගන්න තනි මිනිහෙක්ට පුළුවන්ද කියන එක.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      /මට අදටත් තියෙන ප්‍රශ්නෙ තමයි කිලෝමීටර් ගානක් දුරට හිටෝපු කූඤ්ඤ හත් අට සීයක් තියෙන තැං ටක්කෙටම මතක තියාගන්න තනි මිනිහෙක්ට පුළුවන්ද කියන එක./

      ඒකෙ ඒ හැටි දෙයක් නෑ බං ..ඔය ලයින් එක යන්නෙ බොහෝ විටමහ කැළේ මැදින්.එතකොට ඒ ලයින් එක දිගේ විතරක් මිනුම් කම්කරුවො කැති ගාල සුද්ද බුද්ද කරල තියනව.

      අනික ලයින් එක පටන් ගන්න තැන කූඤ්ඤෙ ඉඳල නියමිත දුරකින් තමයි ඊළඟ කූඤ්ඤෙ තියෙන්නෙ. බොහෝ විට පාරක නම් මීටර් 20න් 20 ට. ඊගාවට පාරෙ දෙපැත්තෙ මායිම් කූඤ්ඤ තියෙන්නෙ හරියටම මධ්‍ය රේඛාවට ලම්බකව ඒ නියමිත දුරින්. පාරක නම් සාමාන්‍යයෙන් ද්පැත්තෙ කූඤ්ඤ ගහන්නෙ සෙන්ටර් ලයින් එකේ ඉඳල මීටර් 5 එහායින්.

      ඒ හින්ද ඔය දුරවල් දන්නව නම් ටේප් එකක් අල්ලල පළවෙනි කූඤ්ඤෙ ඉඳල ඉතුරු එව්ව හොයාගන්න අමාරුවක් නෑ.හැබැයි ගොයියො පළවෙනි කූඤ්ඤෙ නම් අනිවාර්යයෙන් මතක තියාගන්නම ඕනෙ..නැත්තං කෙලියා..බබීත් සුං..බබීගෙ අම්මත් සුං...හෙහ්...හෙහ්...

      Delete
  5. Ada post eka keti wediyne, eka neme ravi ayye mta mthakai ravi ayyge post vla ramayanaya gena, dasa awathara gena vge history liyala tbuna, mn mathaketa heuwat hoygnna beri una, ravi ayyta mathaka athine link tika ewannko e post vla

    ReplyDelete
    Replies
    1. geethika,

      විෂ්ණුගෙ දශ අවතාර ගැන බොහොම කෙටි සටහනක් මට හම්බවුනා කලින් ලියපු පෝස්ට් එකක...

      /හරි ආපහු යමු ජගර්නෝට් කතාවට.ඉතිං ඔය ජගර්නෝට් කියන වචනෙ මූලාරම්භය ඇවිදිල්ල හිට මෙන්න මෙහෙමයි. හින්දු ආගමේ ත්‍රිමූර්තිය දන්නවනෙ නේද? බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව..බ්‍රහ්ම-නිර්මාපකයා, විෂ්ණු- පවත්වාගෙන යන්නා සහ ශිව - විනාශ කරන්නා අන්න එහෙමයි හින්දු ආගමේ කියවෙන්නෙ. Brahma the Creator, Vishnu the Preserver and Shiva the Destroyer...., හින්දු දේව පුරාණයෙ හැටියට විෂ්ණු විශ්වය පවත්වාගෙන යන්නා...විෂ්ණු කලින් කලට අවතාර දහයකින් මනුස්ස ලෝකෙට එනවලු ලෝකයේ යහ පැවැත්මට තර්ජනයක් වන අධර්මය විනාශ කරන්ට.

      ඒ අවතාර දහය මෙහෙමයි.....

      1. මත්ස්‍ය 2. කුර්ම 3. වරාහ 4. නරසිංහ 5. වාමන 6. පරශුරාම 7. රාම 8. ක්‍රිෂ්ණා 9. බුද්ධ 10. කල්කි

      අපේ බුදු හාමුදුරුවො ඇවිල්ල විෂ්ණු දෙවියන්ගෙ නමවන අවතාරය හැටියටයි හින්දු ආගමේ සැලකෙන්නෙ. හරියට යේසුස් වහන්සේ ඉස්ලාම් ආගමේ එක් අනාගත වක්තෘවරයෙක් හැටියට සැළකෙනව වගේ. යුදෙව්වන් මිසරයේ වහල් භාවයෙන් මුදවාගෙන ආ මෝසස් සැලකෙන්නෙ ඉස්ලාම් ආගමේ තුන්වන අනාගත වක්තෘවරයා හැටියට. මෝසස්ට ඉස්ලාම් භක්තිකයො කියන්නෙ මුසා කියල. යේසුස් තුමා හතරවෙනියා. එතුමාගෙ නම ඉසා. මොහොමඩ් නබිතුමා තමයි පස්වෙනියා.

      ඉතිං ඔය විෂ්ණු දෙවියන්ට කියන එක නමක් තමයි ජගන්නාථ. ඒ කියන්නෙ ලෝකපාලක වගෙ තේරුමක් එන්නෙ. ඉන්දියාවෙ විෂ්ණු දෙවියන්ට පුද පූජා පිණිස පවත්වන පෙරහැරවල් වලදි මහ විසාල ලී වලින් හදපු රථයක් ( ඒක ඇතුලෙ අරගෙන යනව කියන්නෙ මහ විසාල විෂ්ණු පිළිමයක් ) මිනිස්සු ඇදගෙන යනවලු පාරවල් දිගේ. ඔය රතේට කියන්නෙ ජගන්නාථ රථය කියල. ඕක ඇද්දම දිවියලෝකෙ යන්ට ඒ පිනම ඇතිය කියල හින්දු බැතිමත්තු බොහොම තදට විස්වාස කරනවලු. ඉතිං ඔය රතේ ඇදගෙන යන්ට මිනිස්සු මරාගන්නවලු. ඉන්දියාවෙ මිනිස්සු එහෙමනෙ. ඕනම දේකදි බොහොම ඉක්මනට අන්තවාදී වෙනව.

      Delete
    2. මතකනෙ 1996 ක්‍රිකට් ලෝක ශූරතාවයෙදි කොල්කතාවල ඊඩ්න් ගාර්ඩන්ස්වල ගහපු ශ්‍රී ලංකා - ඉන්දියා අවසන් පූර්ව තරඟය. ඒක පැරදීගෙන එද්දි ඉන්දීය ප්‍රේක්ෂකයො හැසිරුන විදිහ.ඇත්තම කිව්වොත් දැන් ඉන්දියන් ක්‍රිකට් ලෝලීන් ඒ අතින් බොහොම හොඳයි. හැත්තැ ගණංවල ඉන්දියන් කස්ටිය තමයි අදහන්ට වටින්නෙ. මැච් එකක් කැත විදිහට පැරදුනොත් ගෙවල් හිටං ගිණි තියනව. ආය නෝ සමා.

      1971 අවුරුද්දෙ අජිත් වඩේකාර්ගෙ නායකත්වයෙන් ඉන්දියානු කණ්ඩායම එංගලන්තෙ සංචාරය කලා. ටෙස්ට් තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය ඉන්දීය පිල 1-0 වශයෙන් ජයග්‍රහණය කලා. ඒ ඉන්දීය කණ්ඩායමක් එංගලන්තයෙ ටෙස්ට් තරඟාවලියක් ජයග්‍රහණය කල ප්‍රථම අවස්ථාව. ඉන්දීය කණ්ඩායම පෙරලා ඉන්දියාවට ආහම ඔවුන් පිළිගත්තය කියන්නෙ දෙවිවරු දිව්‍යලෝකෙන් මහ පොළවට ප්‍රාදූර්භූත වුනා වගේ.බොම්බායෙ ( ඒ දවස්වල මුම්බායි නෙවෙයි. බොම්බාය.. කල්කටා = කොල්කතා, මැඩ්රාස් = චෙන්නායි, බැංගලෝර් = බෙංගලූරු වුනේ ඊට බොහොම පස්සෙ..බොම්බාය ගැන බොහොම දේවල් කියන්න තියනව..Bombay Ducks සහ Bombay Looking Calcutta ගැන එහෙම..එව්ව පස්සෙ හොඳද?..මේ දවස්වල මම කියවනව මුම්බායි ගැන ලියවුණු අපූරු නවකථාවක්...Gregory David Robertsගෙ Shantharam..ඒ ගැනත් සටහනක් ලියන්නං කියවල ඉවර වුනහම )

      ගුවන් තොටුපලේ ඉඳල අජිත් වඩේකාර්ගෙ ගෙදරට තියෙන්නෙ කිලෝමීටර් අටක් වගෙ දුරක්ලු. ඒත් ඒ කිලෝමීටර් අට ගෙවල එයා පෝට් එකේ ඉඳල ගෙදරට එන්ට අජිත් වඩේකාර්ට දවස් තුනක් ගියාලු. මඟ දිගට පිළිගැනීම්.

      එව්වට කියන්නෙ ආදරපළවල් කියල. කලින් අහල නෑ නේද ඒ වචනෙ? ඔය දකුණෙ වචනයක්.මනාල යුවලක් කසාද බැඳල ඉස් ඉස්සෙල්ලම මනමාලයගෙ ගෙදර එනකොට ගමට ඇතුල් වෙච්ච තැන ඉඳල හංදියක් හංදියක් ගානෙ කඩපිළක් කඩපිළක් ගානෙ, නුගගහක්, කොස් ගහක් ගානෙ පොඩි මේස කෑල්ලක් තියල, ඒකට මල් රෙද්දක් එලල, ඒක උඩ ඔරෙංජං බාර්ලි, ෂැරෝනා, පෝටෙලෝ, ක්‍රීම් සෝඩා, නෙක්ටෝ බෝතල් හත අටක් තියල සුට්ටි වීදුරු හතර පහකුත් ඒ ලඟම මුනිං නමල තියනව. ලී පුටු දෙහෙකුත් තියනව මනාල යුවලට ඉඳගන්ට.

      මනාල යුවල ඔතනට ආහම ඒ ආදරපළ සංවිධානය කරපු වැඩිහිටියා කවුරු හරි කතාවක් පවත්තනව. මනාල යුවලට අවවාද දෙනව. ඔය සුබාසිතයෙ, ලෝ වැඩ සඟරාවෙ හරි බුදුගුණ අලංකාරෙ හරි කවියකුත් කියනව. නාබිය නොදක්වා සළු හැඳ බොලට දක්වා.....එහෙම නැත්තං මාවවුලන් පවා දත් රහසකි මේක..වැසිබර රැයක අව අටවක පෝදාක.....කතාවෙන් පස්සෙ ගිරේකිං බීම බෝතල් කඩල මනාල යුවල ඇතුළු රැස්වෙලා ඉන්න ඔක්කොමලා බීම පානය කරනව. ඊට පස්සෙ ඒආදරපළ සංවිධායකයින්ට ඉස්තූති කරල යුවල පිටත් වෙනව ගෙදර යන්ට. හෙහ්..කොහෙ ගෙදර යන්ටද...තව යාර දෙසීයක් යන්ට නෑ...තව ආදරපළක් ලෑස්ති කරල...එතනත් ආයම අර සුපුරුදු චක්‍රය..කතා ..අවවාද..බීම බෝතල් කැඩීම..බීම පානය..වැඳ ආචාර සමාචාර කොට සමුගැනීම....

      අපෙ අප්පච්චි දකුණෙ හින්ද මම ඔය ආදරපළවල් ගැන විස්තරේ හොඳට දන්නව. එහෙ ඔය වැඩේ වතාවතක්, චාරිත්‍රයක් වගෙ බොහොම සංවිධානාත්මකව කෙරෙනව. මම හිතන්නෙ ඒ දවස්වල පාරවල් එහෙම හරියකට නෑනෙ. නවක දම්පතීන්ට පයින්ම තමයි යන්ට සිද්ද වෙන්ට ඇත්තෙ ගම මැදින්.ඒ ගමං වෙහෙස නිවාගන්ට වෙන්ට ඕන ඔය වැඩේ පටං ගන්ට ඇත්තෙ.ඒත් දැං කරන්නෙ යන වාහනේ නවත්තල යුවල බස්සගෙන ආදරපළවල් පවත්වන එක. අර වෙසක්, පොසොන් වලට දංසැල් දාල බලෙන් වාහන නවත්තල කන්ට බොන්ට දෙන එක වාගෙ...හෙහ්,හෙහ්,

      ඔය ආදරපළ පවත්වන චාරිත්‍රය අපෙ හාමිනේලගෙ ගෙවල් පැත්තෙත් තියනව. එයාලගෙ ගෙවල් පහුකරල යන්ට තියෙනව ගම උඩහට. ලොකු කන්දක් ඒක. ඒ කන්දෙ සෑහෙන ගෙවල් මණ්ඩියක් තියනව. හරියටම එයාලගෙ ගේ ඉස්සරහින් තමයි ඔය කන්දට නඟින පාර පටන්ගන්නෙ.ආදරපළවල් වලට එහෙ කියන්නෙ පිළිගැනීම් කියලලු.

      Delete
    3. " ගම පටන්ගත්තු තැන ඉඳලම පිළිගැනීම් තියල අපේ ගෙදර ගාවට එනකොට ජෝඩුව පාං කියාගන්ට බැරි සයිස් එකෙං එන්නෙ..."

      දවසක් බඳින්ට එහෙම ඉස්සර උන්දැ මා දැක්ක කිව්ව...මයෙ හිතේ අපි දෙන්න උදේ මේල් බස් එකේ වැඩට යද්දිංද කොහෙද..

      " අපෙ ගෙදර ගාවින් තමයි උඩහ කන්දට යන පාර පටන් ගන්නෙ. හරියටම අපේ ගේට්ටුව ඉස්සරහ වගෙ තමයි ඒ හරියෙ ඉන්න මිනිස්සු කන්ද නඟින්ට පටන් ගන්ට ඉස්සෙල්ල අන්තිම පිළිගැනීම තියන්නෙ. අපි පොඩි කාලෙ අක්කලයි මායි ගේට්ටුව ගාවට වෙලා බලා ඉන්නව........දැන් නුඹලාට රෑ බෝ වෙලා...හනි හනික ගෙදර යන්ටයි අබිප්පරාව..ඒ නිසා දැන් නුඹලා ගෙදර පලයල්ලා..හා..ඔය පංදම්, පැස්ටෝල්මැච් එහෙම තියන අය එව්ව පත්තුකරගනිල්ල. බැස්ටි තියන ඈයෝ එව්ව එළිය කරගෙන ඉස්සරවෙයල්ලා. එහෙනං දෙයියංගෙ පිහිටයි බුදුංගෙ සරණයි කියල ගමනාරම්බ කරපල්ලා.....කවුරුහරි කතාව පවත්වන වයසක උන්දෑ අන්තිමට ඔහොම කියනව.අපිට නේද මැරෙන්ට හිනා. කටවල් මිරිකගෙන ඉන්නව හිනාවෙන්ට හොඳනැති හින්ද..."

      " ඉතිං එතන ඉඳල ආය පිළිගැනීම් නැතුව ඇති නේද? " මම ඇහුව.

      " මොන විකාරද? කන්ද දිගටම එහෙම පිළිගැනීම් තියනව. අපි රෑ තිස්සෙ මිදුලට ඇවිල්ල කන්ද දිහා බලාගෙන ඉන්නව එළි පෙරහැර හෙමීට කන්ද නඟිනව. ඔන්න එළි වැට හෙමීට ටික දුරක් ගිහිල්ල එක තැනක නතර වෙනව. අන්න එතන පිළිගැනීමක්...ඔය ඒබරං ආතලගෙ ගෙදර ඉස්සරහ පිළිගැනිල්ල වෙන්ට ඕන. පුංචි අක්ක එහෙම කියනව. නෑ එච්චර දුරක් යන්ට උනේ නෑ තාම. ඔය ගලලියද්දෙ කොස් ගහ ළඟ මම හිතන්නෙ. ලොකු අක්ක කියනව.."

      " හෙහ්, ඔය විදිහට ඔය ජෝඩුව මනමාලයගෙ ගෙදෙට්ට යනකොට ළමයෙකුත් හම්බවෙලා තියෙයිනෙ. " මම හෙමිහිට කියනව.

      " මොනව කියනවද මන්දන්නෙනෑ...අහල පහල මිනිස්සුන්ටත් ඇහෙනව..." දැන් ඈ මූණ රතුකරගෙන වටපිට බලනව.

      " හරි හරි..මේ ඒක නෙවෙයි. දැං අපි දෙන්න බැඳල යන දවසටත් ඔහොම පිළිගැනීම් තියෙයිද? "

      " නැත්තං ආය ...එව්ව චාරිත්‍රනෙ...චාරිත්‍ර කරන්ටම එපාය.."

      " මේ..මට නම් බෑ ඔය නෙක්ටො බිබී ලොක්කංගෙ කටවල් දිහා බල බල වරු ගණං පයිං යන්ට..ඔන්න කලිම්ම කිව්ව."

      " හිහ්..හිහ්...නෑ..නෑ..බය වෙන්ට එපා..මම බොරුවට කිව්වෙ ...මනමාලියක් කැන්දං එනකොට විතරයි එහෙම කරන්නෙ..." ඈ මා දිහා හැරිල බලල ඉඟිමරල කිව්ව.

      රයිට්..ආදරපළවල් ගැන ඒ විස්තරෙන් පස්සෙ ආයම අජිත් වඩේකාර් ගැන. ඉතිං 1971 අවුරුද්දෙ එංගලන්තෙ පරද්දල ආපහු එද්දි අජිත් වඩේකාර්ව පිලිඅරගෙන තියෙන්නෙ දෙයියන්ට වගෙ සලකල. ඉන්දීය කණ්ඩායම ඊළඟට එංගලන්තෙ සංචාරයකට ගියේ 1974 අවුරුද්දෙ.ඒ පාර කලින් සැරේ දිනපු එකට හරියන්ටත් එක්ක ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරඟ තුනම පැරදුනා ප්‍රතිඵලය 3 - 0 . දෙවෙනි තරඟෙ දෙවෙනි ඉණිමෙදි ඉන්දීය කණ්ඩායම ලබාගත්තෙ ලකුණු 42 පමණයි.

      ඒ පාර අජිත් වඩේකාර් බොම්බායෙ ගුවන් තොටුපොලෙන් පිටවෙලා තියෙන්නෙ කම්බි වැටෙන් රිංගල. මිනිස්සු දාස්ගානක් හිටියලු එයාපෝට් එක ඉස්සරහ මනුස්සයට ගහන්ට. කොහොමහරි ගෙදරටත් ගල් ගහල කොටසකට ගිනිත් තිබ්බ කියලයි ඒ දවස්වල ආරංචි වුනේ. ඉතිං ඉන්දියානුවන් කියන්නෙ අන්න ඒ වගෙ ආවේගශීලී, හැඟීම්බර මිනිස්සු කොට්ඨාශයක්.

      ඉතිං අර කලින් කියාපු ජගන්නාථ රථය අදින්ට මිනිස්සු එකා මත්තෙ එකා වැටීගෙන පොරකනවලු. ඒ දඟලන අස්සෙ පය ලිස්සල එහෙම වැටුනොත් ආය සමාවක් නෑ. අර ජගන්නාථ රථයටම යට වෙලා මැරෙනව. ඒත් ඒ මිනිස්සුන්ට ගාණක්වත් නැතිලු. මොකද එයාලගෙ විශ්වාසය එහෙම මැරෙන මිනිස්සු නන්-ස්ටොප් ඉන්ටර් සිටි එකේ කෙලින්ම දිවිය ලෝකෙට යනවයි කියලලු.ඉතිං ඔය ජගන්නාථ රථය මිනිස්සු යටකරගෙන පොඩි කරගෙන කඩාගෙන බිඳගෙන නැවතීමක් නැතුව ඉස්සරහට යනව දැක්ක සුද්දො ඒ අර්ථයෙන් ජගර්නෝට් කියන වචනෙ හදාගන්ට ඇති.

      Delete
    4. අන්න හරි, oy jagarnote eka thma, ethkota ara sannasa genai raaja sabawa genai liuwada ravi ayye, ne mn dekke neti nsai ehma ahuwe, mta magaherunwatda danne nene,,

      Delete
    5. ආදරපළවල් කිව්ව බවක් මතක නැති උනාට මෙහෙම ඒවා මාත් දැකලා තියෙනවා. පිළිගැනීම් කියලා තමයි අපේ පැත්තෙත් කිව්වෙ. එහෙම එකක පිළිගැනීමේ ගීතයකුත් කියලා තියෙනවා පුංචි කාලෙ යාළුවොත් එක්ක. පෝස්ට් එකටත් වැඩිය හිත ඇදිලා ගියේ මේ කමෙන්ට් එකට.

      Delete
    6. geethika,

      සන්නස?....රාජ සබාව?....ඒ මොකක්ද බං? මට මතක නෑනෙ එහෙම එකක්...

      Delete
    7. මියුරු,

      අපේ උන්දැගෙ ගමේ තිබ්බ ආදරපළවල් වල පිළිගැනීමේ ගීත එහෙම නම තිබ්බෙ නෑකියලයි උන්දැ කියන්නෙ...මම මේ දැන් ඇහුව..

      Delete
    8. අපේ පැත්තෙ සමහර එව්වයෙ තිබ්බනෙ. අරුන් දෙන්නා එව්වයි කතායි අහගෙන ගෙදරට යනකොට බාගෙට මැරිලා. කොහොමද මනමාල අප්පුට දැන් කාලෙ වෙඩිමට වගේ ඒ කාලෙ දෙවෙනි ගමනට රජ සූට් ඇන්දුවා නම්. :D

      Delete
  6. CL කියන එවා ආයේ සෙන්ටර් වෙලාම තියෙන්න ඕන කියලා නීතියක් තියනවාය.. 😊

    ReplyDelete
    Replies
    1. කසුන්,

      හෙහ්..හෙහ්..කිව්වත් වාගෙ එහෙම ඕනමත් නම් නෑ තමයි....

      Delete
  7. දැං පේන හැටියටනං ඔහේ ඊගාව පාර ඉල්ලංකාවට එනකල් මේක ඇදිල යයි වගේ.
    දැං ඔහොම සෙන්ටර් ලයින් එකේ කූඤ්ඤ හිටෙවුවට පස්සෙ ඒව පරිස්සං කරන්න වෙනම සෙක්ෂන් එකක් නැද්ද ඔය මහවැලියෙ. නැත්තං කවුරුහරි වලවෙට්ටුවෙක් ඔය කූඤ්ඤයක් එහා මෙහා කරල පාර තමංට ඕන තැනකින් දාගනී නෙ.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      /නැත්තං කවුරුහරි වලවෙට්ටුවෙක් ඔය කූඤ්ඤයක් එහා මෙහා කරල පාර තමංට ඕන තැනකින් දාගනී නෙ./

      ඒ හද්ද කැළෑවෙ කවුද බං ඔව්ව වෙනස් කරන්ට ඉන්නෙ?..අනික ඔය කොල්ලෙක් කුපාඩිකමට එහෙම කලා උනත් එක කූඤ්ඤයක් ලයින් එකෙන් පිට ගිහිල්ල තිබ්බොත් ඒක අහුවෙනව.

      Delete
  8. මගෙ ගෙවල් තියෙන්නෙ ZD ඇල මායිමේ.
    තිස්පනේගම කියල කියන්න. මාදුරුඔය පැත්තෙන් එද්දි අලුත්ඔයට පස්සෙ පලවෙනි ගම. ඔබතුමා දන්නව ඇති.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      තිස්පනේ විහාරය යටවුනා නේද කොත්මලේ ජලාශය හදනකොට?...තිස්පනෙන් මහවැලි ඉඩම් හම්බවෙලා ආපු අය පදිංචි කරපු ගම තමයි තිස්පනේගම කියන්නෙ මම දන්න විදිහට. ඒ දවස්වල අපි කදුරුවෙල එහෙම එනකොට මඟදි හම්බවෙනව තිස්පනේ ඉඳල තිස්පනේගමට දාල තිබ්බ සී.ටී.බී. බස් එක..

      තිස්පනේ ගම හරිය අයිති වුනේ මට මතක විදිහට දළුකාන ඔෆිස් එකට.. ඒ හරිය ඔක්කොම උපකලාප අංක 01. මම වැඩ කලේ උපකලාප 02,03 සහ 04A..ඒ කියන්නෙ සැවනපිටිය, සිංහපුර සහ සිද්ධපුර..ඒත් ඔය උපකලාප අංක් 01 හරියෙ වැඩ කරපු මගෙ යාලුවො බොහොම දෙනෙක් හිටිය..සන්තෝසයි ඇනෝ, බොහොමත්ම සන්තෝසයි......හෙහ්...හෙහ්..පරණ ඥාතියෙක් මුණ ගැහුන වගෙ සතුටක් මට දැනෙන්නෙ...

      Delete
    2. මගෙ මතකෙ ඉන්න පරණම මහවැලි සේවකයා "බැසිල්" කියලා UM කෙනෙක්. ඔබතුමා ඔය කතා කරන්නෙ කොයි කාලෙ ගැනද? මම කියන්නෙ අනූගනන් වල මුල් කාලෙ ගැන.

      Delete
    3. ඇනෝ,

      මම මේ කියන්නෙ 1984-1991 අතර කාලය ගැන. බැසිල් කියල ඉඩම් නිලධාරී කෙනෙක් නම් මම දන්නව (මිනිස්සු කියන විදිහට ඇල්ලෝ මාත්තේක්) හැබැයි ඒ ඔය උඹ කියන බැසිල් වෙන්න බෑ.මොකද යූ.එම්.ලගෙ (ඒකක කළමනාකාර) ඊලඟ ප්‍රමෝෂන් එක එක්කො L.O. නැත්නම් C.D.O. (Community Development Officer) එහෙමත් නැත්නම් I.D.O. (Institution Development Officer). ඒ කියන්නෙ මම දන්න බැසිල් අනූගණංවල U.M. කෙනෙක් වෙලා ඉන්න විදිහක් නෑ.

      Delete
  9. තව කොටස් දෙකතුනක් ඇදෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      නෑ මල්ලි තව එකයි...තව එකයි...:)

      Delete
    2. ඔව්වොව්, ඔය 'එක' එන්නේ දශම දෙකක් එක කොටසකින්, තව දශම තුනයි පහක් තව කොටසකින්, තව එකකින් දශම එකයි පහයි, ඉතුරු දශම තුන තව කොටසකින්. ඕං බලාන්ටකෝ බොරුද කියලා! :D

      Delete
  10. අර නිල් කටරොල් මල් කතාවෙත් තව කොටසක් එන්න තියෙනවා නේද

    පොල්ගොල්ල කියන්නේ මටත් හරි හුරුපුරුදු තැනක්.අපේ අතිජාත මිත්තරයෙක් පෙට්‍රෝලියම් එකේ වැඩ කරනවා. එයාලගේ නුවර සර්කිට් එක තියෙන්නෙත් ඔය පොල්ගොල්ල ඩෑම් එක පේන මානයේ.අවුරුද්දට දෙපාරක් විතර ඕක බුක් කරලා එයාලයි අපියි ඔය පැත්තේ සවාරියෙ යනවා.හරි අපූරු පැත්තක්.

    ReplyDelete
    Replies
    1. Sanda,

      /අර නිල් කටරොල් මල් කතාවෙත් තව කොටසක් එන්න තියෙනවා නේද?/

      එකක් නෙවෙයි බොල තව හතර පහක් එන්න තියනව...:)

      පොල්ගොල්ල ඩෑම් එක අහල පහල රජයේ ආයතන හත අටකම සර්කිට් තියනව...

      Delete
  11. මේක කියවපු ගමන් ගිහිල්ල නිල් කටරොල් මල් කතාව ආයේ කියෙව්වා. අනේ සුදු අයිය වගේ ඉතිරි ටික ලියල දාපන්කෝ...



    ReplyDelete
    Replies
    1. පැතුම්,

      හරි හරි මල්ලි දැන් නිවාඩුත් තියෙන එකේ අවසන් නොකල කතා ඔක්කොම එකින් එක ඉවර කරන්න ඕන කියල තමයි මාත් මේ හිතාගෙන ඉන්නෙ...

      Delete
    2. [අවසන් නොකල කතා ඔක්කොම එකින් එක ඉවර කරන්න]
      පුතානොගේ කතා වගේ තමා මේකත් ඉතින් ... හෙහ් හෙහ් හෙහ්

      ඔක්කොම ඕනේ නැහැ. මේක ඉවර කරමුකෝ... වැඩිය මහන්සි කරන්න හොද නැහැනේ....

      Delete
  12. ඒ පැත්තෙ තාම ඉන්නව සුදු උස ගවයන් විශේෂයක්, හැබැයි ඔය තරම් ලොකු අං නෑ. සමහරවිට හයිබ්‍රිඩ් එකක් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      ඔව් ඔය හරියෙ තිබ්බ පශු සම්පත් එකේ ගොවිපලවල් කීපයක්ම..මුතුවැල්ල එතකොට කන්ද කඩුව වගෙ ඒව. ඒවයෙ මම හිතන්නෙ ඒ කාලෙ ඔය අභිජනන වැඩේ කෙරුන.බොහෝවිට ඔබ ඔය කියන්නෙ එහෙම දෙමුහුම් විශේෂයක් වෙන්න ඇති..

      Delete
  13. අජිත්ගේ පොත මිලට ගන්නේ ඔබව බ්ලොග් එක නිසා දන්නා හදුනන අය. ඒ අයට කවරය එතරම් වැදගත් නැහැ. ඒ උනත් ලේකඛයාව පෞද්ගලිකව නොදන්නා සැලකිය යුතු පාඨක පිරිසක් කරන්නේ පොතේ කවරය බලලා පොත අතට අරං පිටුවක් දෙකක් බලලා මිලට ගන්න එක. ඉතිං ඒ නිසා පොතේ කවරය ප්‍රසන්න එකක් වීම අලෙවියට වඩා වැදගත් වෙනවා ඉහත දෙවනියට කී පිරිසටත් පොත අලෙවි කරගන්න.

    ඕකම තමයි සජිත් ප්‍රේමදාස එයාගේ කැම්පේන් එකෙත් කරන්නේ. එයාගේ කැම්පේන් එක දිහා බලද්දී පේන දේ තමයි ඒක කිසිම සැලැස්මක් නැති නිකං දකුණු ඉන්දියානු පන්නයේ එකක් වගේ දිස් වීම.

    හැබැයි ඒ සැලස්ම කවුරු උනත් ඉතාම පරිස්සමෙන් ලංකාවේ මිනිස්සු දිහා හොදට බලලා හදපු එකක්. මොකද සජිත් කතා කරන්නේ සාමාන්‍ය ජනයාට විතරයි. ඔහුගේ කතා වෛරල් වෙලා යනවා ශෝෂල් මීඩියා වල. ඔහුගේ අරමුණ මේ සති දෙක තුන ඇතුලත රටේ බහුතරයක් වන බිම්මට්ටමේ ජනතාව එක්රැස් කරගැනීමයි. මොකද ඔහු දන්නවා රටේ ඉන්නා ලිබරල්, නිදහස්,උගත් මිනිස්සුන්ට වෙන විකල්පයක් නැති නිසා එයාට ජන්දය දෙන්න වෙනවා කියලා. මේක තනිකර නෙගටිව් කැම්පේන් එකක්. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිඋනෙත් මෙහෙමම තමයි.

    ReplyDelete
  14. ඔබට මූල්‍යමය උදව් අවශ්‍යද? ඔබ කිසියම් මූල්‍ය අර්බුදයක සිටිනවාද? නැතහොත් ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබට අරමුදල් අවශ්‍යද? ඔබේ ණය පියවීමට හෝ බිල් ගෙවීමට හෝ හොඳ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබට අරමුදල් අවශ්‍යද? ඔබට අඩු ණය ලකුණු ප්‍රමාණයක් ඇති අතර දේශීය බැංකු සහ වෙනත් මූල්‍ය ආයතනවලින් ප්‍රාග්ධන සේවා ලබා ගැනීම ඔබට අපහසු ද? අපගේ සමාගමෙන් මූල්‍ය සේවා ලබා ගැනීමට ඔබට ඇති අවස්ථාව මෙන්න. අපි පහත සඳහන් මුදල් පුද්ගලයන්ට ලබා දෙන්නෙමු.
    * වාණිජ මූල්‍ය
    *පෞද්ගලික මූල්ය
    * ව්‍යාපාර මූල්‍ය
    ඉදිකිරීම් මූල්‍ය
    * ව්‍යාපාර මූල්‍ය සහ තවත් බොහෝ දේ:
    සහ තවත් බොහෝ දේ 3% පොලී අනුපාතයට;
    විද්‍යුත් තැපෑල හරහා අප අමතන්න: Personalloanesay@gmail.com

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...