"ක්‍රිෂ්, ඇත්තම කිව්වොත් පුතේ මට තාම හිතාගන්ට අමාරුයි ඔයා ඩොලීට අකමැතියි කියල කියන්නෙ ඇයි කියල. මට කරුණා කරල කියනවද ඒකට හේතුව මොකද්ද කියල?"
අප දෙදෙන ඩොලීගේ නිවසට ගිය දිනයට පසු ගතවූ දින තුනෙහි මම අවදියෙන් පසුවන සෑම හෝරාවකටම වරක් බැගින් නොකඩවා මගේ මෑණියෝ ඒ සුපුරුදු පැණය විමසුවාය.එකම පැණය විමසීමෙන් ඇය කිසිසේත් වෙහෙසට පත් නොවූවද එකම පිළිතුර දීමෙන් මම මේ වනවිට දැඩි වෙහෙසට පත්වී සිටි හෙයින් මම ඇගේ පැණය නොඇසුණු විලස කියවමින් සිටි පොත වෙත නෙත් යොමුකොටගෙනම පසුවුණෙමි.
ඇත්ත වශයෙන්ම මගේ මව එසේ විමසූයේ මගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන්ම නොව ෂිප්රා ලොකු අම්මාට ඇගේ දුක් ගැනවිල්ල වඩාත් හොඳින් පැහැදිලි කරනු උදෙසාය.
ඩොලී සමඟ විවාහප්‍රාප්තවීම මවිසින් එකෙහෙලා ප්‍රතික්ෂේප කරනු ලැබීමේ මහා ඛේදවාචකය පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කරනු උදෙසා ඇය විසින් ආරාධනා කරනු ලැබ ඇගේ වැඩිමහල් සොයුරිය වූ ෂිප්රා ලොකු අම්මාද අප නිවසට පැමිණියේ මා ඉදිරියේ අසුන්ගෙන නොපහන් දෑසින් මදෙස බලා උන්නාය.
මගේ පියාට මගේ මවගේ ඥාතීන් දැකීම පවා ගොන් පොර උදෙසා යොදවන ගවයකු ඉදිරියේ රත් පැහැ රෙද්දක් වැනීම බඳු වූයෙන් ඇය පුරුද්දක් ලෙස ඔවුන්ට අපේ නිවසට ආරාධනා කිරීමෙන් වැළකුනාය.
සමහර ඉන්දියානු සැමියෝ තම භාර්යාවන් ජීවිතයේ කිසිදු සතුටක් ලබනු දක්නා නොරිසි වෙත්. ඇය තම සොයුරු සොයුරියන් හා සමාගම් පැවැත්වීමද ඊට අයත්වන්නේය.
එහෙත් මේ දිනවල මගේ පියා නිවසට පැමිණෙන්නේ බොහෝ රෑබෝවී බැවින් ඒ අවදානම නොතකා ඇගේ දුක්ගැනවිල්ල පවසනු පිණිස ඇය ලොකු අම්මාට දිවා ආහාරය උදෙසා ආරාධනා කලාය.
"පම්මි මට කිව්ව ඒ ගොල්ලන්ගෙ ගෙදරට යන පාරට එහා පැත්තෙ පාරෙ තියෙන්නෙ නංගි ඔයාට මතකද අර කිරිගරුඬ අල්ලපු තට්ටු දෙකේ ගෙදර?.අන්න ඒක එයාල ලබන සුමානෙ සල්ලි දීල ගන්නවයි කියල. ඒක ඩොලීගෙ දෑවැද්දට දෙන්නයි එයාල හිතාගෙන ඉන්නෙ" ෂිප්රා ලොකු අම්මා පැවසූයේ මගේ මවගේ ඔද්දල්වූ සිත තවත් පාරවමිනි.
"අනේ මම කොච්චරක් නම් කිව්වද මෙයාට අක්කෙ" මව දැඩි ශෝකයෙන් හිස පහත්කොටගෙන පැවසුවාය.
"කවිතා එක පාරක් ඔයා කරපු මෝඩ වැඩේම ආපහු කරන්ට ක්‍රිෂ්ට ඉඩ දෙන්ට එහෙම එපා ඔන්න. ඔයා අතේ සතේ නැති ආමි කාරයෙක් බැඳගත්ත එයාල රට වෙනුවෙන් කැපවෙච්චි මිනිස්සු කියල. ඔයා අපි කිව්ව දේ ඇහුවෙ නෑ. දැක්කනෙ දැන් වෙලා තියෙන දේ. ඔයාගෙ මුලු ජීවිතේම දුකයි කණගාටුවයි විතරයි." තම වැඩිමහලු සොයුරියගේ දේශනය මගේ මව හිස පහත්කොටගත්වනම අසා සිටියේ ඊට එරෙහිව එකද වදනකුදු නොදොඩමිනි.
ෂිප්රා ලොකු අම්මා විවාහ වූයේ ධනවත් ව්‍යාපාරිකයකු සමඟය. සනීපාරක්ෂ භාණ්ඩ බෙදාහරින්නකු ලෙස ජීවිතය ඇරඹූ ඔහු පසුව රජයේ පොදු වැසිකිළි ඉදිකිරීමේ කොන්ත්‍රාත් කරුවකු බවට පත්ව මහත් ධනයක් ඉපයීය. මගේ මව තම සහකරු තෝරාගැන්මෙහිදී උගත්කම, තරාතිරම සහ ආදරයට මුල්තැන දුන් හෙයින් අද අසරණව සිටින්නීය. මම ද ඇය ලෙසම අනාගතය අඳුරු කොට ගැන්මට පෙරුම් පුරන බව ෂිප්රා ලොකු අම්මා තිරකොට පැවසුවාය.
"මට කියන්න ඔය මැඩ්රාසි කෙල්ල මාසෙකට කීයක් හම්බ කරයිද? ඒ වගේද ඩොලීට හම්බවෙන දෑවැද්ද? කවිතා....ඩොලීගෙ තාත්ත ඔයාලගෙ මේ ගෙදර අලුත්ම පැටන් එකේ ඇඳන්, මේස පුටුවලින් පුරවයි. දැං බලන්න කොටින්ම මේ මේස කබල...මේකෙ ගන්ට දෙයක් තියනවද?" ලොකු අම්මා සුරත මිටි කොට අප හිඳගෙන උන් මේසය මතට දැඩි පහරක් එල්ල කලාය. ඇත්ත වශයෙන්ම මේසයෙහි කකුල් වෙව්ලන්නට විය. මම වහා කියවමින් සිටි පොත මේසය මත තබා කම්පනය පහව යනතෙක් මේසය දැඩිව අල්ලාගතිමි.
"මම කියන්ටද? කවිතා ආයෙ පාරක් පම්මි හම්බවෙලා මේ වැඩේ තීරණයක් අරං ඉවරයක් කරල දාන්ට.මට තේරෙන්නෙ නෑ ඔය දෙන්නට මොනව වෙලාද කියල" ලොකු අම්මා එසේ පැවසූයේ දෑස් අඩවන් කොටගත්වනම හිස දෙපසට සොලවමිනි. "ඔයා දන්නවද පම්මි මේ ගිය සතියෙ ගත්ත අර වයර් නැති ටෙලිෆෝන් එකක්…"
"ආ,….අර කෝඩ්ලස් එකක්ද?" අම්මා හිස ඔසවා විමසුවාය.
"නෑ නෑ කෝඩ්ලස් නෙවෙයි. ඒක අරගෙන යන්ට පුලුවන් මුලු දිල්ලිය පුරහම කතා කර කර. වයර් මොකවත් ඕන නෑ. කෝඩ්ලස් එකෙන් කතා කරන්න පුලුවන් ගෙදර අහල පහල විතරනෙ. මේක එහෙම නෙවෙයි. ඒකක් මම හිතන්නෙ අඩුම තරමෙ රුපියල් විසි දාහක්වත් වෙනව. ඔන්න ඔය අච්චාරුව මෙහාට දෙන්න..." නොකඩවා කතා කලද ඇය ඒ අතර සෑහෙන පමණ ආහාර ගැනීමටද අමතක නොකලාය.
ජංගම දුරකථන ඉන්දීය වෙළඳ පොලට පැමිණියේ ඒ ආසන්නයේදීය. එක් මිනිත්තුවක් කථා කිරීමට පෙට්රල් ලීටරයක මිලට වඩා වැඩි මුදලක් ගෙවිය යුතුවූ නමුදු වියයුතු ලෙසම එය ධනවත් පංජාබීන් අතර තම යස ඉසුරු ප්‍රදර්ශණය කරන මිනුම් දණ්ඩක් ලෙස සැලකිණි.
"ඒක නෙවෙයි මොකද්ද මේ පොත් ලියන කතාව?" කුකුල් මස් දීසිය වෙතට ඇඟිල්ල දිගුකොට අම්මාගෙ මුහුණ බලමින් ලොකු අම්මා විමසුවාය. ඒ ඉඟිය වටහාගත් අම්මා වහා ඇගේ පිඟානට කුකුල්මස් කැබලි කිහිපයක් බෙදුවාය. "ඩොලී කිව්වය කියන්නෙ ක්‍රිෂ් එයා එක්ක කිව්වලු බැංකුවෙ රස්සාවෙ වැඩි දවසක් ඉන්ට බලාපොරොත්තුවක් නැතය. ඒකෙං අස්වෙලා ලේකකයෙක්ද කවුද වෙන්ට හිතා ඉන්නවය කියල"
"මොකක්? ඇත්තද ක්‍රිෂ් ලොකු අම්මා මේ කියන කතාව?" අම්මා මාදෙස දෑස් විදහාගෙන බැලුවාය. ඇගේ නළලත විශ්මයෙන් රැළි ගැන්වී තිබිණි.
"හරි, හරි, එව්ව එහෙම වෙන්නෙ මේ හෙට අනිද්ද නෙවෙයි, සල්ලි ටිකක් ඉතුරු කරගත්තම ….." පොත වසා පසෙක තබා පිඟානක් ගනිමින් මම පැවසූයෙමි.
"ඔන්න දැක්කද ළමයින්ට ඕනවට වැඩිය ඉගැන්නුවම ඕක තමයි වෙන්නෙ." ලොකු අම්මා පැවසූයේ තවත් කුකුළු මස් කැබැල්ලක් මුවතුල බහාලන අතර දිගු සුසුමක්ද හෙලමිනි. "නංගිගෙ කුකුල්මස් එක නම් රසයි" ඇගේ ඒ පැසසුමෙන් ප්‍රීතියෙන් ඉපිල ගිය අම්මා මද සිනහවක් පෑවාය.
"අක්කට කියන්ට අක්කෙ මේ ලේකක කතාව මම මේ ඇහුවමයි. ක්‍රිෂ්, කොයි කාලෙද ඔයාට ඔහොම කල්පනාවක් ආවෙ?" යලි මවෙත හැරුනු අම්මා විමසුවාය.
"ආය කතා දෙකක් නෑ මෙයාට ඔය ලේකක කතාව ඔලුවට දාන්ට ඇත්තෙ අර මැඩ්රාසි කෙල්ල වෙන්ට ඕන. එයාල කොහොමත් පොත් වලට කැමතියි. ඕන වෙලාවට බැලුවොත් පොතක් අතේමයි"
කෝපයට පත්වූ මම සුරත මිට මොළවා මේසයට ගැසීමි. යලිත් මේසයෙහි කකුල් වෙව්ලන්නට වූ අතර ඒ සමඟම ඒ මතවූ පිඟන් සහ දීසි කම්පනය වන්නට විය. මම වහා මේසය මතුපිටට අත්ල තබා කම්පනය පහව යනතෙක් දැඩිව තද කොටගෙන සිටියෙමි.ඩොලීගේ දෑවැද්ද කෙසේ වුවද අලුත් මේසයක් නුදුරු අනාගතයේදීම මිලයට ගතයුතු බව මට පසක් විය.
"මේ මම එකක් කියන්නද? කවුරුවත් මට කිව්වෙ නෑ ලේඛකයෙක් වෙන්ටය කියල. ඒක තනිකරම මගේම අදහසක්. අනික මම ඉස්සරහට කවුරු වෙනවද කියන එක මගේ වැඩක්. ඒක කොහොමවත්ම ලොකු අම්මට අදාල වෙන්නෙ නෑ." මේසයේ කම්පනය කෙමෙන් පහව ගිය ඉක්බිති මම දැඩි ස්වරයකින් පැවසුවෙමි
"ක්‍රිෂ්ට ඒ කෙල්ල ඉනාවක් දීල කවිතා. මට ඒක සහතිකයි. ඔය මැඩ්රාසී මිනිස්සු ගාව තියනව පරම්පරාගත බොහොම බලසම්පන්න ගුරුකං" මාදෙස සෝබර දෑසින් මොහොතක් බලා සිටි ලොකු අම්මා ඉක්බිති අම්මා දෙසට හැරුනාය. "කවිතා තවම පරක්කු නෑ මම හිතන්නෙ. ඔයා පම්මි හම්බවෙලා මේක ඉවරයක් කරන්න. පම්මිට කියන්න ක්‍රිෂ් සිටි බැංකුවෙන් අස්වෙලා පොත් ලියන විකාර කල්පනාව අත ඇරල දැම්මය කියල. එයා දිගටම බැංකුවෙම ඉන්ට පොරොන්දු උනාය කියලත් කියන්න. ඒ කරල ක්‍රිෂ්ගෙ තත්වෙට ගැලපෙන විදිහෙ කටයුත්තක් කරල දෙන්න. ඩොලීව අතාරින්න එහෙම එපා ඔන්න."
පිඟාන පසෙකට කොට මේසයෙන් නැඟීසිටි මම සාලයට පිවිස එහි වූ සෝපාවෙහි අසුන්ගෙන ඒ ඉදිරියෙහි වූ කනප්පුව මතවූ පුවත්පත අතට ගෙන පිටු පෙරලූයෙමි. පෙරලුනු පිටුවෙහි ඉහලින්ම වූයේ "සුබ සරණ දැන්වීම්" යන යෝධ අකුරු පෙළයි. පත්‍රය දෙකට නැවූ මම එක ඇති වීරියෙන් ඉදිරිපස වූ බිත්තිය වෙත දමා ගැසුවෙමි.
"හරි හරි ක්‍රිෂ් ඔයා ඩොලීට කැමති නැත්තං අපි ඒක අතෑරලා දාමු. මම කියන්නද අපි උගත් ගෑණු ළමයෙක් ගැන හොයල බලමුකො එහෙනං..මොකද කියන්නෙ? පුතා කැමතියි නේද?" අම්මා එවර සාම සාකච්ඡාවකට එළඹෙමින් පැවසුවාය.
"මට තේරෙන්නෙ නෑ ඔය ගොල්ලන්ට මේක තේරුම් කරන්නෙ කොහොමද කියල. අලුතෙන් උගත් ගෑණු ළමයි හොයන්නෙ මොකටද? මම දැනටමත් උගත් ගෑණු ළමයෙක් හොයාගෙන ඉන්නෙ. ඊට අමතරව එයා ලස්සනයි,ගතිගුණ හොඳයි, බුද්ධිමත්, අවංකයි,ඉතිං තව මොනවද? මට තේරෙන්නෙම නැත්තෙ ඔයාලට ඒ ළමය එක්ක තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියල"
"පුතේ මේක අහන්න මගෙ හොඳ පුතා වගෙ" ලොකු අම්මා එවර වඩාත් නිවුණු ස්වරයකින් මා ඇමතුවාය. "ඒ ඔක්කොම හරි කියමුකො. ඒ ළමයට ඔය පුතා කියන ගතිගුණ ඔක්කොම තියනවයි කියමුකො.ලස්සනයි, උගත්, බුද්ධිමත් ඒ ඔක්කොම හරි...ඒත් පුතේ අපි කොහොමද ඔයාට මැඩ්රාසී කෙල්ලෙක් කසාද බඳින්න කැමැත්ත දෙන්නෙ? ටිකක් හිතල බලන්ට. එහෙම අපි කැමැත්ත දුන්නොත් හෙට අපෙ තවත් කවුරුහරි කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි ගුජරාටි එක්කෙනෙක්ව බඳින්ට අහයි."
"එහෙම නැත්තං ඇසෑම්වල කෙනෙක් බඳින්ට අහයි...." අම්මා ලොකු අම්මාගේ සහයට පැමිණියාය.
"මගෙ දෙයියනේ!" ලොකු අම්මා දෑතම පපුව මත තබාගෙන හුස්ම ඉහළට ගත්තාය. "එහෙම උනොත් අපේ පරම්පරාවම ඉවරයි."
"ඉතිං???? එහෙම උනොත් මොකද වෙන්නෙ? ඒ මිනිස්සු ඉන්දියානු පුරවැසියො නෙවෙයිද? අනික ගුජරාට්වල ඇසෑම්වල ඉන්නෙ මිනිස්සු නෙවෙයිද? ඒ මිනිස්සු බැන්දහම අපේ පරම්පරාව නැතිවෙන්නෙ කොහොමද?"
ලොකු අම්මා අම්මා දෙසට හැරී යටි තොල පෙරලුවාය.ඉන්පසු ඇය කතා කලේ හිස දෙපසට සොළවමිනි. "කවිතා මට කියන්ට කණගාටුයි. ඒත් ඔයාගෙ පුත්තරයගෙ ආය ගන්ට දෙයක් නෑ. එයා අර ජයලලිතට සම්පූර්ණයෙන්ම අහුවෙලා ඉවරයි. ආය එයාව බේරගන්ට පුලුවන් කියල මම හිතන්නෙ නෑ."
අම්මා ඊට පිළිතුරු ලෙස කුමක් හෝ පවසන්නට සූදානම් වනවාත් සමගම ඉදිරි දොරටුවේ සීනුව දෙවරක් නාදවිය. ඒ පැමිණ ඇත්තේ මගේ පියා බවට සැකයක් නොවීය. ඔහුගේ අනපේක්ෂිත පැමිණීම අම්මා සහ ලොකු අම්මා ඉමහත් කලබලයට පත්කලේය. මගේ පියාගේ දර්ශනය පවා මම පිළිකුල් කලද මේ මොහොතේ ඔහු පැමිණීම මගේ සතුටට හේතුවූයේ ලොකු අම්මා ඔහු පැමිණි පසු මොහොතක් හෝ නොරැඳී පිටත්ව යන බව මම පැහැදිලිව දැන හුන් බැවිනි.
![]() |
| 2 STATES චිත්‍රපටයේ ක්‍රිෂ්ගේ පියා වික්‍රම් මල්හෝත්‍රාගේ චරිතය රඟපාන රොනිට් රෝයි |
"ජිජාජි ඉතිං කොහොමද?" නිවසට පිවිසි මපියාගෙන් ලොකු අම්මා විමසුවාය. ( ජිජාජි = අයියා )
ඇය දෙස බැල්මක් හෙලීමට හෝ ආචාරශීලි නොවුනු මපියා බිම වැටී තිබූ පත්‍රය අතට ගෙන නවා කනප්පුව මතට දැමීය.
"ජිජාජි…. මම කියපු එක ඇහුනෙ නැද්ද?" ලොකු අම්මා සිනාසෙමින් යලිදු විමසුවාය. ඇය ද පහසුවෙන් පරාජය භාරගන්නියක නොවේ.
"තමුං ජිජාජි ඉතිං කොහොමද? කියල අහනවට වැඩිය ජිජාජි මම යනවා කියල කියනවට මම කැමතියි" මපියා ලොකුඅම්මා දෙස බලා පැවසීය. යමෙකුගේ සිත් දැඩිව රිදවන වදන් ක්ෂණිකව මුවින් පිටකිරීමෙහිලා ඔහු සහජ දක්ෂතාවයක් දක්වන්නෙකි.
"මගෙ නංගි ආරාධනා කරපු නිසයි මම ආවෙ" ලොකු අම්මා එසේ පවසා දෙතොල් තරව පියාගත්තීය.
"මොළයක් නැති මිනිස්සු ආරාධනා කරන්නෙ ඒ වගේම මොළයක් නැති මිනිස්සුන්ට තමයි"
ගිණි පිටවන දෑසින් යුතුව ලොකු අම්මා අම්මා දෙසට හැරුනාය. "නංගි මේ මට මෙහෙ ඇවිල්ල අපහාස විඳින්න කිසිම ඕන කමක් නෑ. මේ මනුස්සය එක්ක ඉහ ගහල ඉන්ට පුලුවන් මම හිතන්නෙ මේ ලෝකෙ ඔයාටම විතරයි. මම ආයෙත් කියනව ඔයාගෙ ජීවිතේ ඔයා කරපු ලොකුම මෝඩකම තමයි......." ඇය වැකිය සම්පූර්ණ නොකොටම තම අත්බෑගය අතට ගත්තාය.
"තමුං අපේ පවුලෙ දේවල් වලට ඇඟිලි නොගහන තරමට මම කැමතියි" මපියා පැවසූයේ ලොකු අම්මා ගෙන ආ රසකැවිලි අඩංගු දුඹුරු පැහැ කඩදාසි බෑගය ආපසු ඇය අතට දෙමිනි. "මේකත් අරගෙනම යනව. නැත්තං මම මේක වීසිකරනව වැටෙං එහාට"
ඔහුගේ මේ විප්‍රකාර හැසිරීම් තවත් ඉවසිය නොහැකිවූ මම නැඟී සිටියෙමි. මගේ අභිප්‍රාය වටහාගත් අම්මා දෙතොල් තරව පියාගත්වනම හිස වනා පියා හාසමඟ වාදයකට නො එළඹෙන ලෙස සංඥා කලාය. ඇගේ අවවාදය පිළිගත් මම නිහඬ වූයෙමි.
පිටත්ව යන ලොකු අම්මා හා සමඟ ඉදිරි දොරටුව කරා පැමිණි මම පහත්ව ඇගේ පායුග ස්පර්ශ කලේ සත්‍ය වශයෙන්ම ගෞරවයකට වඩා චාරිත්‍රයක් ඉටු කරනු උදෙසාය.
"පුතා මම ඔයාට එක අවවාදයක් දෙන්නම්. කවදාක හරි ඔයාට තේරෙයි මම මේ කියන්නෙ මොකක්ද කියල. අම්ම වගේ මෝඩ තීරණ ගන්ට එපා. ඔයාගෙ තාත්තගෙ ගතිගුණ හැසිරීම් ගැන රටේ ලෝකෙ ප්‍රසිද්ද වෙන්ට ඉස්සෙල්ල හොඳ පන්ජාබ් කෙල්ලෙක් හොයල කසාද බැඳ ගන්ට. මම තාමත් කියන්නෙ ඩොලී තමයි ඔයාට හරියටම හරියන්නෙ"
ලොකු අම්මා එසේ පැවසූයේ පහත් හඬින් වුවද මපියාගේ ශ්‍රවණේන්ද්‍රිය තවමත් තියුණු බව පසක් කරවමින් ඔහු සාලය මධ්‍යයේ සිට කෑගැසීය. "කවුද ඩොලී කියන්නෙ? මොකක්ද මෙතන මේ වෙන්නෙ?"
ලොකු අම්මා නිහඬවම පිටව ගියාය. මම දොර වසා ආපසු හැරුණෙමි. පියාණන්ගේ පැණයට කිසිවකු පිළිතුරු දුන්නේ නැත.
"තමුං දැං මෙයාට කෙල්ලො හොයනවද?" මපියා මව ඉදිරියට ගොස් විමසීය. මව කිසිවක් නොපවසා ඉවත බලාගත්වනම පසුවූවාය.
"තමුසෙ කෙල්ලො බලන්ට ගියාද?" ඔහු ඉන්පසු මදෙස හැරී විමසීය.
"ඔව්…." මම පිළිතුරු දුනිමි. ඩොලී බලන්නට යාම පිළිබඳව මම ඒ ප්‍රීතිවූයේ පළමු වරටය. මපියාණන් කෝපාවිෂ්ඨ කරවන කුමක් හෝ කිරීම මට මහත්ම සතුටකි.
"මම තමුසෙට...." රත්පැහැගත් මුහුණින් යුතුව මපියා මව දෙසට හැරී සුරත එසවීය.
මම වහා ඔහුගේ මග අවුරා සිටගතිමි. "ඒ සෙල්ලං හරියන්නෙ නෑ මීට පස්සෙ තේරුණාද?" මම දැඩි ස්වරයෙන් පැවසූයේ එක එල්ලේ ඔහුගේ දෙනෙත් දෙස බලා සිටිමිනි.
"මේ ගෙදර ගෘහ මූලිකයා මමයි. තීරණ ගන්නෙත් මමයි" මහත් හඬින් කෑගැසූ හෙතෙම ඒ අසලම මේසය මතවූ වීදුරු බඳුනක් ගෙන වෙර යොදා පොළවේ ගැසීය.
"ඔහේගෙ හැසිරීම දැක්කම ඕන කෙනෙකුට පේනව ගෘහ මූලිකය කවුද කියල" මම එතනින් ඉවත්ව මුළුතැන්ගෙය දෙසට පියනඟමින් පැවසුවෙමි.
"ක්‍රිෂ් බලාගෙන..වීදුරු කටු…" මගේ මව අනතුරු ඇඟවූවාය. ඉක්බිති කොස්සක් රැගත් ඇය බොහෝ ප්‍රවේශමෙන් වීදුරු කැබලි අතුගා එකතුකරන්නට වූවාය.
මාතුල මපියා කෙරෙහි පැසෙමින් පැවති කෝපය යලි බුබුලු දමන්නට වූයේ මෙවර පියා පමණක් නොව මවද ඉලක්ක කොටගනිමිනි. මපියා මෙලෙස කිසිදු ගුණධර්මයක් නොදන්නා මැරවරයෙකු ලෙස හැසිරෙමින් වීදුරු පොළවේ ගසද්දී ඊට එරෙහිව වදනකුදු නොපවසා ඇය මෙපමණ සන්සුන්ව කිසිවක් සිදුනොවූ විලස වීදුරු කැබලි එකතු කරන්නේ කෙලෙසද?
"මම මේ ගෙදරට අහවල් දේකට එනවද කියල මට වෙලාවකට හිතෙනව" මපියා ඉදිරි දොරටුව දෙසට පිය මනිමින් පහත් හඬින් පැවසීය.
"මටත් එහෙමම හිතෙනව" ඒ වදන් මගේ මුවින් පිටවූයේ නිරායාසයෙනි.
"කට වහ ගනිං අසමජ්ජාතියා" එක්වරම ආපසු හැරුනු මපියා පුපුරා හැලුනේය.
"ක්‍රිෂ් කරුණා කරලා ඔයාගෙ කාමරේට යන්න" මගේ මවගෙ ආයාචනය නෑසුනු අයුරු මම එතනම සිටගෙන සිටියේ මපියා දෙස රවාගත් වනමය.
"මෙයානම් මගෙ පුතෙක් වෙන්න බෑ. මම දන්න කිසිම පුතෙක් තමන්ගෙ තාත්තට මෙහෙම කතා කරන්නෙ නෑ. "
"ඇත්තත් වෙන්න ඇති ඒත් ඒ එක්කම මම දන්න කිසිම තාත්තෙක් මෙහෙම හැසිරෙන්නෙත් නෑ."
"ක්‍රිෂ් මම දැං එක පාරක් කිව්වනේද ඔයාගෙ කාමරේට යන්න කියල" මගේ මව මා මගේ කාමරය දෙසට තල්ලු කරමින් පැවසුවාය.
මපියා දඩයම ව්‍යාර්ථ වූ කොටියකු මෙන් හාත්පස බැලූයේ පොළවේ ගැසීමට සුදුසු තවත් යමක් සොයමින් විය යුතුය. එලෙස සුදුසු කිසිවක් ඇස නොගැටුනු ඔහු දැඩි කෝපයෙන් මොනවාදෝ තොල් මතුරමින් නිවසින් පිටව ගියේ ඉදිරි දොරටුව මහ හඬින් වසා දමමිනි.
දොරටුව වැසුනු හඬින් නිවස පුරා පැතිර ගිය කම්පනය කෙමෙන් වියැකී ගියේ සැනසුම් සුසුමක් ද ඒ හා සමඟ මුසුකොට ගනිමිනි.





