Saturday, June 11, 2016

420. The Story Of My Marriage - 22 - " And No Father Behaves Like this" I said

"ක්‍රිෂ්, ඇත්තම කිව්වොත් පුතේ මට තාම හිතාගන්ට අමාරුයි ඔයා ඩොලීට අකමැතියි කියල කියන්නෙ ඇයි කියල. මට කරුණා කරල කියනවද ඒකට හේතුව මොකද්ද කියල?" 

අප දෙදෙන ඩොලීගේ නිවසට ගිය දිනයට පසු ගතවූ දින තුනෙහි මම අවදියෙන් පසුවන සෑම හෝරාවකටම වරක් බැගින් නොකඩවා මගේ මෑණියෝ ඒ සුපුරුදු පැණය විමසුවාය.එකම පැණය විමසීමෙන් ඇය කිසිසේත් වෙහෙසට පත් නොවූවද එකම පිළිතුර දීමෙන් මම මේ වනවිට දැඩි වෙහෙසට පත්වී සිටි හෙයින් මම ඇගේ පැණය නොඇසුණු විලස කියවමින් සිටි පොත වෙත නෙත් යොමුකොටගෙනම පසුවුණෙමි.

ඇත්ත වශයෙන්ම මගේ මව එසේ විමසූයේ මගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන්ම නොව ෂිප්රා ලොකු අම්මාට ඇගේ දුක් ගැනවිල්ල වඩාත් හොඳින් පැහැදිලි කරනු උදෙසාය.

ඩොලී සමඟ විවාහප්‍රාප්තවීම මවිසින් එකෙහෙලා ප්‍රතික්ෂේප කරනු ලැබීමේ මහා ඛේදවාචකය පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කරනු උදෙසා ඇය විසින් ආරාධනා කරනු ලැබ ඇගේ වැඩිමහල් සොයුරිය වූ ෂිප්රා ලොකු අම්මාද අප නිවසට පැමිණියේ මා ඉදිරියේ අසුන්ගෙන නොපහන් දෑසින් මදෙස බලා උන්නාය.

මගේ පියාට මගේ මවගේ ඥාතීන් දැකීම පවා ගොන් පොර උදෙසා යොදවන ගවයකු ඉදිරියේ රත් පැහැ රෙද්දක් වැනීම බඳු වූයෙන් ඇය පුරුද්දක් ලෙස ඔවුන්ට අපේ නිවසට ආරාධනා කිරීමෙන් වැළකුනාය.

සමහර ඉන්දියානු සැමියෝ තම භාර්යාවන් ජීවිතයේ කිසිදු සතුටක් ලබනු දක්නා නොරිසි වෙත්. ඇය තම සොයුරු සොයුරියන් හා සමාගම් පැවැත්වීමද ඊට අයත්වන්නේය.

එහෙත් මේ දිනවල මගේ පියා නිවසට පැමිණෙන්නේ බොහෝ රෑබෝවී බැවින් ඒ අවදානම නොතකා ඇගේ දුක්ගැනවිල්ල පවසනු පිණිස ඇය ලොකු අම්මාට දිවා ආහාරය උදෙසා ආරාධනා කලාය.

"පම්මි මට කිව්ව ඒ ගොල්ලන්ගෙ ගෙදරට යන පාරට එහා පැත්තෙ පාරෙ තියෙන්නෙ නංගි ඔයාට මතකද අර කිරිගරුඬ අල්ලපු තට්ටු දෙකේ ගෙදර?.අන්න ඒක එයාල ලබන සුමානෙ සල්ලි දීල ගන්නවයි කියල. ඒක ඩොලීගෙ දෑවැද්දට දෙන්නයි එයාල හිතාගෙන ඉන්නෙ" ෂිප්රා ලොකු අම්මා පැවසූයේ මගේ මවගේ ඔද්දල්වූ සිත තවත් පාරවමිනි.

"අනේ මම කොච්චරක් නම් කිව්වද මෙයාට අක්කෙ" මව දැඩි ශෝකයෙන් හිස පහත්කොටගෙන පැවසුවාය.

"කවිතා එක පාරක් ඔයා කරපු මෝඩ වැඩේම ආපහු කරන්ට ක්‍රිෂ්ට ඉඩ දෙන්ට එහෙම එපා ඔන්න. ඔයා අතේ සතේ නැති ආමි කාරයෙක් බැඳගත්ත එයාල රට වෙනුවෙන් කැපවෙච්චි මිනිස්සු කියල. ඔයා අපි කිව්ව දේ ඇහුවෙ නෑ. දැක්කනෙ දැන් වෙලා තියෙන දේ. ඔයාගෙ මුලු ජීවිතේම දුකයි කණගාටුවයි විතරයි." තම වැඩිමහලු සොයුරියගේ දේශනය මගේ මව හිස පහත්කොටගත්වන අසා සිටියේ ඊට එරෙහිව එකද වදනකුදු නොදොඩමිනි.

ෂිප්රා ලොකු අම්මා විවාහ වූයේ ධනවත් ව්‍යාපාරිකයකු සමඟය. සනීපාරක්ෂ භාණ්ඩ බෙදාහරින්නකු ලෙස ජීවිතය ඇරඹූ ඔහු පසුව රජයේ පොදු වැසිකිළි ඉදිකිරීමේ කොන්ත්‍රාත් කරුවකු බවට පත්ව මහත් ධනයක් ඉපයීය. මගේ මව තම සහකරු තෝරාගැන්මෙහිදී උගත්කම, තරාතිරම සහ ආදරයට මුල්තැන දුන් හෙයින් අද අසරණව සිටින්නීය. මම ද ඇය ලෙසම අනාගතය අඳුරු කොට ගැන්මට පෙරුම් පුරන බව ෂිප්රා ලොකු අම්මා තිරකොට පැවසුවාය.

"මට කියන්න ඔය මැඩ්රාසි කෙල්ල මාසෙකට කීයක් හම්බ කරයිද? ඒ වගේද ඩොලීට හම්බවෙන දෑවැද්ද? කවිතා....ඩොලීගෙ තාත්ත ඔයාලගෙ මේ ගෙදර අලුත්ම පැටන් එකේ ඇඳන්, මේස පුටුවලින් පුරවයි. දැං බලන්න කොටින්ම මේ මේස කබල...මේකෙ ගන්ට දෙයක් තියනවද?" ලොකු අම්මා සුරත මිටි කොට අප හිඳගෙන උන් මේසය මතට දැඩි පහරක් එල්ල කලාය. ඇත්ත වශයෙන්ම මේසයෙහි කකුල් වෙව්ලන්නට විය. මම වහා කියවමින් සිටි පොත මේසය මත තබා කම්පනය පහව යනතෙක් මේසය දැඩිව අල්ලාගතිමි.

"මම කියන්ටද? කවිතා ආයෙ පාරක් පම්මි හම්බවෙලා මේ වැඩේ තීරණයක් අරං ඉවරයක් කරල දාන්ට.මට තේරෙන්නෙ නෑ ඔය දෙන්නට මොනව වෙලාද කියල" ලොකු අම්මා එසේ පැවසූයේ දෑස් අඩවන් කොටගත්වනම හිස දෙපසට සොලවමිනි. "ඔයා දන්නවද පම්මි මේ ගිය සතියෙ ගත්ත අර වයර් නැති ටෙලිෆෝන් එකක්…"

"ආ,….අර කෝඩ්ලස් එකක්ද?" අම්මා හිස ඔසවා විමසුවාය.

"නෑ නෑ කෝඩ්ලස් නෙවෙයි. ඒක අරගෙන යන්ට පුලුවන් මුලු දිල්ලිය පුරහම කතා කර කර. වයර් මොකවත් ඕන නෑ. කෝඩ්ලස් එකෙන් කතා කරන්න පුලුවන් ගෙදර අහල පහල විතරනෙ. මේක එහෙම නෙවෙයි. ඒකක් මම හිතන්නෙ අඩුම තරමෙ රුපියල් විසි දාහක්වත් වෙනව. ඔන්න ඔය අච්චාරුව මෙහාට දෙන්න..." නොකඩවා කතා කලද ඇය ඒ අතර සෑහෙන පමණ ආහාර ගැනීමටද අමතක නොකලාය.

ජංගම දුරකථන ඉන්දීය වෙළඳ පොලට පැමිණියේ ඒ ආසන්නයේදීය. එක් මිනිත්තුවක් කථා කිරීමට පෙට්රල් ලීටරයක මිලට වඩා වැඩි මුදලක් ගෙවිය යුතුවූ නමුදු වියයුතු ලෙසම එය ධනවත් පංජාබීන් අතර තම යස ඉසුරු ප්‍රදර්ශණය කරන මිනුම් දණ්ඩක් ලෙස සැලකිණි.

"ඒක නෙවෙයි මොකද්ද මේ පොත් ලියන කතාව?" කුකුල් මස් දීසිය වෙතට ඇඟිල්ල දිගුකොට අම්මාගෙ මුහුණ බලමින් ලොකු අම්මා විමසුවාය. ඒ ඉඟිය වටහාගත් අම්මා වහා ඇගේ පිඟානට කුකුල්මස් කැබලි කිහිපයක් බෙදුවාය. "ඩොලී කිව්වය කියන්නෙ ක්‍රිෂ් එයා එක්ක කිව්වලු බැංකුවෙ රස්සාවෙ වැඩි දවසක් ඉන්ට බලාපොරොත්තුවක් නැතය. ඒකෙං අස්වෙලා ලේකකයෙක්ද කවුද වෙන්ට හිතා ඉන්නවය කියල"

"මොකක්? ඇත්තද ක්‍රිෂ් ලොකු අම්මා මේ කියන කතාව?" අම්මා මාදෙස දෑස් විදහාගෙන බැලුවාය. ඇගේ නළලත විශ්මයෙන් රැළි ගැන්වී තිබිණි.

"හරි, හරි, එව්ව එහෙම වෙන්නෙ මේ හෙට අනිද්ද නෙවෙයි, සල්ලි ටිකක් ඉතුරු කරගත්තම ….."
 පොත වසා පසෙක තබා පිඟානක් ගනිමින් මම පැවසූයෙමි.

"ඔන්න දැක්කද ළමයින්ට ඕනවට වැඩිය ඉගැන්නුවම ඕක තමයි වෙන්නෙ." ලොකු අම්මා පැවසූයේ තවත් කුකුළු මස් කැබැල්ලක් මුවතුල බහාලන අතර දිගු සුසුමක්ද හෙලමිනි. "නංගිගෙ කුකුල්මස් එක නම් රසයි" ඇගේ ඒ පැසසුමෙන් ප්‍රීතියෙන් ඉපිල ගිය අම්මා මද සිනහවක් පෑවාය.

"අක්කට කියන්ට අක්කෙ මේ ලේකක කතාව මම මේ ඇහුවමයි. ක්‍රිෂ්, කොයි කාලෙද ඔයාට ඔහොම කල්පනාවක් ආවෙ?" යලි මවෙත හැරුනු අම්මා විමසුවාය.

"ආය කතා දෙකක් නෑ මෙයාට ඔය ලේකක කතාව ඔලුවට දාන්ට ඇත්තෙ අර මැඩ්රාසි කෙල්ල වෙන්ට ඕන. එයාල කොහොමත් පොත් වලට කැමතියි. ඕන වෙලාවට බැලුවොත් පොතක් අතේමයි"

කෝපයට පත්වූ මම සුරත මිට මොළවා මේසයට ගැසීමි. යලිත් මේසයෙහි කකුල් වෙව්ලන්නට වූ අතර ඒ සමඟම ඒ මතවූ පිඟන් සහ දීසි කම්පනය වන්නට විය. මම වහා මේසය මතුපිටට අත්ල තබා කම්පනය පහව යනතෙක් දැඩිව තද කොටගෙන සිටියෙමි.ඩොලීගේ දෑවැද්ද කෙසේ වුවද අලුත් මේසයක් නුදුරු අනාගතයේදීම මිලයට ගතයුතු බව මට පසක් විය.


"මේ මම එකක් කියන්නද? කවුරුවත් මට කිව්වෙ නෑ ලේඛකයෙක් වෙන්ටය කියල. ඒක තනිකරම මගේම අදහසක්. අනික මම ඉස්සරහට කවුරු වෙනවද කියන එක මගේ වැඩක්. ඒක කොහොමවත්ම ලොකු අම්මට අදාල වෙන්නෙ නෑ." මේසයේ කම්පනය කෙමෙන් පහව ගිය ඉක්බිති මම දැඩි ස්වරයකින් පැවසුවෙමි

"ක්‍රිෂ්ට ඒ කෙල්ල ඉනාවක් දීල කවිතා. මට ඒක සහතිකයි. ඔය මැඩ්රාසී මිනිස්සු ගාව තියනව පරම්පරාගත බොහොම බලසම්පන්න ගුරුකං" මාදෙස සෝබර දෑසින් මොහොතක් බලා සිටි ලොකු අම්මා ඉක්බිති අම්මා දෙසට හැරුනාය. "කවිතා තවම පරක්කු නෑ මම හිතන්නෙ. ඔයා පම්මි හම්බවෙලා මේක ඉවරයක් කරන්න. පම්මිට කියන්න ක්‍රිෂ් සිටි බැංකුවෙන් අස්වෙලා පොත් ලියන විකාර කල්පනාව අත ඇරල දැම්මය කියල. එයා දිගටම බැංකුවෙම ඉන්ට පොරොන්දු උනාය කියලත් කියන්න. ඒ කරල ක්‍රිෂ්ගෙ තත්වෙට ගැලපෙන විදිහෙ කටයුත්තක් කරල දෙන්න. ඩොලීව අතාරින්න එහෙම එපා ඔන්න."

පිඟාන පසෙකට කොට මේසයෙන් නැඟීසිටි මම සාලයට පිවිස එහි වූ සෝපාවෙහි අසුන්ගෙන ඒ ඉදිරියෙහි වූ කනප්පුව මතවූ පුවත්පත අතට ගෙන පිටු පෙරලූයෙමි. පෙරලුනු පිටුවෙහි ඉහලින්ම වූයේ "සුබ සරණ දැන්වීම්" යන යෝධ අකුරු පෙළයි. පත්‍රය දෙකට නැවූ මම එක ඇති වීරියෙන් ඉදිරිපස වූ බිත්තිය වෙත දමා ගැසුවෙමි. 

"හරි හරි ක්‍රිෂ් ඔයා ඩොලීට කැමති නැත්තං අපි ඒක අතෑරලා දාමු. මම කියන්නද අපි උගත් ගෑණු ළමයෙක් ගැන හොයල බලමුකො එහෙනං..මොකද කියන්නෙ? පුතා කැමතියි නේද?" අම්මා එවර සාම සාකච්ඡාවකට එළඹෙමින් පැවසුවාය.

"මට තේරෙන්නෙ නෑ ඔය ගොල්ලන්ට මේක තේරුම් කරන්නෙ කොහොමද කියල. අලුතෙන් උගත් ගෑණු ළමයි හොයන්නෙ මොකටද? මම දැනටමත් උගත් ගෑණු ළමයෙක් හොයාගෙන ඉන්නෙ. ඊට අමතරව එයා ලස්සනයි,ගතිගුණ හොඳයි, බුද්ධිමත්, අවංකයි,ඉතිං තව මොනවද? මට තේරෙන්නෙම නැත්තෙ ඔයාලට ඒ ළමය එක්ක තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියල"

"පුතේ මේක අහන්න මගෙ හොඳ පුතා වගෙ" ලොකු අම්මා එවර වඩාත් නිවුණු ස්වරයකින් මා ඇමතුවාය. "ඒ ඔක්කොම හරි කියමුකො. ඒ ළමයට ඔය පුතා කියන ගතිගුණ ඔක්කොම තියනවයි කියමුකො.ලස්සනයි, උගත්, බුද්ධිමත් ඒ ඔක්කොම හරි...ඒත් පුතේ අපි කොහොමද ඔයාට මැඩ්රාසී කෙල්ලෙක් කසාද බඳින්න කැමැත්ත දෙන්නෙ? ටිකක් හිතල බලන්ට. එහෙම අපි කැමැත්ත දුන්නොත් හෙට අපෙ තවත් කවුරුහරි කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි ගුජරාටි එක්කෙනෙක්ව බඳින්ට අහයි."

"එහෙම නැත්තං ඇසෑම්වල කෙනෙක් බඳින්ට අහයි...." අම්මා ලොකු අම්මාගේ සහයට පැමිණියාය.

"මගෙ දෙයියනේ!" ලොකු අම්මා දෑතම පපුව මත තබාගෙන හුස්ම ඉහළට ගත්තාය. "එහෙම උනොත් අපේ පරම්පරාවම ඉවරයි."

"ඉතිං???? එහෙම උනොත් මොකද වෙන්නෙ? ඒ මිනිස්සු ඉන්දියානු පුරවැසියො නෙවෙයිද? අනික ගුජරාට්වල ඇසෑම්වල ඉන්නෙ මිනිස්සු නෙවෙයිද? ඒ මිනිස්සු බැන්දහම අපේ පරම්පරාව නැතිවෙන්නෙ කොහොමද?"

ලොකු අම්මා අම්මා දෙසට හැරී යටි තොල පෙරලුවාය.ඉන්පසු ඇය කතා කලේ හිස දෙපසට සොළවමිනි. "කවිතා මට කියන්ට කණගාටුයි. ඒත් ඔයාගෙ පුත්තරයගෙ ආය ගන්ට දෙයක් නෑ. එයා අර ජයලලිතට සම්පූර්ණයෙන්ම අහුවෙලා ඉවරයි. ආය එයාව බේරගන්ට පුලුවන් කියල මම හිතන්නෙ නෑ."

අම්මා ඊට පිළිතුරු ලෙස කුමක් හෝ පවසන්නට සූදානම් වනවාත් සමගම ඉදිරි දොරටුවේ සීනුව දෙවරක් නාදවිය. ඒ පැමිණ ඇත්තේ මගේ පියා බවට සැකයක් නොවීය. ඔහුගේ අනපේක්ෂිත පැමිණීම අම්මා සහ ලොකු අම්මා ඉමහත් කලබලයට පත්කලේය. මගේ පියාගේ දර්ශනය පවා මම පිළිකුල් කලද මේ මොහොතේ ඔහු පැමිණීම මගේ සතුටට හේතුවූයේ ලොකු අම්මා ඔහු පැමිණි පසු මොහොතක් හෝ නොරැඳී පිටත්ව යන බව මම පැහැදිලිව දැන හුන් බැවිනි.

2 STATES  චිත්‍රපටයේ ක්‍රිෂ්ගේ පියා වික්‍රම් මල්හෝත්‍රාගේ
චරිතය රඟපාන රොනිට් රෝයි


"ජිජාජි ඉතිං කොහොමද?" නිවසට පිවිසි මපියාගෙන් ලොකු අම්මා විමසුවාය. ( ජිජාජි = අයියා )

ඇය දෙස බැල්මක් හෙලීමට හෝ ආචාරශීලි නොවුනු මපියා බිම වැටී තිබූ පත්‍රය අතට ගෙන නවා කනප්පුව මතට දැමීය. 

"ජිජාජි…. මම කියපු එක ඇහුනෙ නැද්ද?" ලොකු අම්මා සිනාසෙමින් යලිදු විමසුවාය. ඇය ද පහසුවෙන් පරාජය භාරගන්නියක නොවේ.

"තමුං ජිජාජි ඉතිං කොහොමද? කියල අහනවට වැඩිය ජිජාජි මම යනවා කියල කියනවට මම කැමතියි" මපියා ලොකුඅම්මා දෙස බලා පැවසීය. යමෙකුගේ සිත් දැඩිව රිදවන වදන් ක්ෂණිකව මුවින් පිටකිරීමෙහිලා ඔහු සහජ දක්ෂතාවයක් දක්වන්නෙකි.

"මගෙ නංගි ආරාධනා කරපු නිසයි මම ආවෙ" ලොකු අම්මා එසේ පවසා දෙතොල් තරව පියාගත්තීය. 

"මොළයක් නැති මිනිස්සු ආරාධනා කරන්නෙ ඒ වගේම මොළයක් නැති මිනිස්සුන්ට තමයි"

ගිණි පිටවන දෑසින් යුතුව ලොකු අම්මා අම්මා දෙසට හැරුනාය. "නංගි මේ මට මෙහෙ ඇවිල්ල අපහාස විඳින්න කිසිම ඕන කමක් නෑ. මේ මනුස්සය එක්ක ඉහ ගහල ඉන්ට පුලුවන් මම හිතන්නෙ මේ ලෝකෙ ඔයාටම විතරයි. මම ආයෙත් කියනව ඔයාගෙ ජීවිතේ ඔයා කරපු ලොකුම මෝඩකම තමයි......." ඇය වැකිය සම්පූර්ණ නොකොටම තම අත්බෑගය අතට ගත්තාය.

"තමුං අපේ පවුලෙ දේවල් වලට ඇඟිලි නොගහන තරමට මම කැමතියි" මපියා පැවසූයේ ලොකු අම්මා ගෙන ආ රසකැවිලි අඩංගු දුඹුරු පැහැ කඩදාසි බෑගය ආපසු ඇය අතට දෙමිනි. "මේකත් අරගෙනම යනව. නැත්තං මම මේක වීසිකරනව වැටෙං එහාට"

ඔහුගේ මේ විප්‍රකාර හැසිරීම් තවත් ඉවසිය නොහැකිවූ මම නැඟී සිටියෙමි. මගේ අභිප්‍රාය වටහාගත් අම්මා දෙතොල් තරව පියාගත්වනම හිස වනා පියා හාසමඟ වාදයකට නො එළඹෙන ලෙස සංඥා කලාය. ඇගේ අවවාදය පිළිගත් මම නිහඬ වූයෙමි.

පිටත්ව යන ලොකු අම්මා හා සමඟ ඉදිරි දොරටුව කරා පැමිණි මම පහත්ව ඇගේ පායුග ස්පර්ශ කලේ සත්‍ය වශයෙන්ම ගෞරවයකට වඩා චාරිත්‍රයක් ඉටු කරනු උදෙසාය.

"පුතා මම ඔයාට එක අවවාදයක් දෙන්නම්. කවදාක හරි ඔයාට තේරෙයි මම මේ කියන්නෙ මොකක්ද කියල. අම්ම වගේ මෝඩ තීරණ ගන්ට එපා. ඔයාගෙ තාත්තගෙ ගතිගුණ හැසිරීම් ගැන රටේ ලෝකෙ ප්‍රසිද්ද වෙන්ට ඉස්සෙල්ල හොඳ පන්ජාබ් කෙල්ලෙක් හොයල කසාද බැඳ ගන්ට. මම තාමත් කියන්නෙ ඩොලී තමයි ඔයාට හරියටම හරියන්නෙ"

ලොකු අම්මා එසේ පැවසූයේ පහත් හඬින් වුවද මපියාගේ ශ්‍රවණේන්ද්‍රිය තවමත් තියුණු බව පසක් කරවමින් ඔහු සාලය මධ්‍යයේ සිට කෑගැසීය. "කවුද ඩොලී කියන්නෙ? මොකක්ද මෙතන මේ වෙන්නෙ?"

ලොකු අම්මා නිහඬවම පිටව ගියාය. මම දොර වසා ආපසු හැරුණෙමි. පියාණන්ගේ පැණයට කිසිවකු පිළිතුරු දුන්නේ නැත. 

"තමුං දැං මෙයාට කෙල්ලො හොයනවද?" මපියා මව ඉදිරියට ගොස් විමසීය. මව කිසිවක් නොපවසා ඉවත බලාගත්වනම පසුවූවාය. 

"තමුසෙ කෙල්ලො බලන්ට ගියාද?" ඔහු ඉන්පසු මදෙස හැරී විමසීය. 

"ඔව්…." මම පිළිතුරු දුනිමි. ඩොලී බලන්නට යාම පිළිබඳව මම ඒ ප්‍රීතිවූයේ පළමු වරටය. මපියාණන් කෝපාවිෂ්ඨ කරවන කුමක් හෝ කිරීම මට මහත්ම සතුටකි.

"මම තමුසෙට...." රත්පැහැගත් මුහුණින් යුතුව මපියා මව දෙසට හැරී සුරත එසවීය.

මම වහා ඔහුගේ මග අවුරා සිටගතිමි. "ඒ සෙල්ලං හරියන්නෙ නෑ මීට පස්සෙ තේරුණාද?" මම දැඩි ස්වරයෙන් පැවසූයේ එක එල්ලේ ඔහුගේ දෙනෙත් දෙස බලා සිටිමිනි. 

"මේ ගෙදර ගෘහ මූලිකයා මමයි. තීරණ ගන්නෙත් මමයි" මහත් හඬින් කෑගැසූ හෙතෙම ඒ අසලම මේසය මතවූ වීදුරු බඳුනක් ගෙන වෙර යොදා පොළවේ ගැසීය.

"ඔහේගෙ හැසිරීම දැක්කම ඕන කෙනෙකුට පේනව ගෘහ මූලිකය කවුද කියල" මම එතනින් ඉවත්ව මුළුතැන්ගෙය දෙසට පියනඟමින් පැවසුවෙමි. 

"ක්‍රිෂ් බලාගෙන..වීදුරු කටු…" මගේ මව අනතුරු ඇඟවූවාය. ඉක්බිති කොස්සක් රැගත් ඇය බොහෝ ප්‍රවේශමෙන් වීදුරු කැබලි අතුගා එකතුකරන්නට වූවාය. 

මාතුල මපියා කෙරෙහි පැසෙමින් පැවති කෝපය යලි බුබුලු දමන්නට වූයේ මෙවර පියා පමණක් නොව මවද ඉලක්ක කොටගනිමිනි. මපියා මෙලෙස කිසිදු ගුණධර්මයක් නොදන්නා මැරවරයෙකු ලෙස හැසිරෙමින් වීදුරු පොළවේ ගසද්දී ඊට එරෙහිව වදනකුදු නොපවසා ඇය මෙපමණ සන්සුන්ව කිසිවක් සිදුනොවූ විලස වීදුරු කැබලි එකතු කරන්නේ කෙලෙසද?

"මම මේ ගෙදරට අහවල් දේකට එනවද කියල මට වෙලාවකට හිතෙනව" මපියා ඉදිරි දොරටුව දෙසට පිය මනිමින් පහත් හඬින් පැවසීය. 

"මටත් එහෙමම හිතෙනව" ඒ වදන් මගේ මුවින් පිටවූයේ නිරායාසයෙනි. 

"කට වහ ගනිං අසමජ්ජාතියා" එක්වරම ආපසු හැරුනු මපියා පුපුරා හැලුනේය.

"ක්‍රිෂ් කරුණා කරලා ඔයාගෙ කාමරේට යන්න" මගේ මවගෙ ආයාචනය නෑසුනු අයුරු මම එතනම සිටගෙන සිටියේ මපියා දෙස රවාගත් වනමය.

"මෙයානම් මගෙ පුතෙක් වෙන්න බෑ. මම දන්න කිසිම පුතෙක් තමන්ගෙ තාත්තට මෙහෙම කතා කරන්නෙ නෑ. "

"ඇත්තත් වෙන්න ඇති ඒත් ඒ එක්කම මම දන්න කිසිම තාත්තෙක් මෙහෙම හැසිරෙන්නෙත් නෑ."

"ක්‍රිෂ් මම දැං එක පාරක් කිව්වනේද ඔයාගෙ කාමරේට යන්න කියල" මගේ මව මා මගේ කාමරය දෙසට තල්ලු කරමින් පැවසුවාය.

මපියා දඩයම ව්‍යාර්ථ වූ කොටියකු මෙන් හාත්පස බැලූයේ පොළවේ ගැසීමට සුදුසු තවත් යමක් සොයමින් විය යුතුය. එලෙස සුදුසු කිසිවක් ඇස නොගැටුනු ඔහු දැඩි කෝපයෙන් මොනවාදෝ තොල් මතුරමින් නිවසින් පිටව ගියේ ඉදිරි දොරටුව මහ හඬින් වසා දමමිනි.

දොරටුව වැසුනු හඬින් නිවස පුරා පැතිර ගිය කම්පනය කෙමෙන් වියැකී ගියේ සැනසුම් සුසුමක් ද ඒ හා සමඟ මුසුකොට ගනිමිනි.

Monday, June 6, 2016

419. ඥාණේතුමාගෙ නවතම අඩව්ව සහ සත් වසරකට පෙර ඒ බිහිසුණු මොහොත නොහොත් පෝද්දල ජයන්තගේ කතාව


අපේ චීවරධාරී ඥාණේ තුමා ඊයෙ පෙරෙයිද අපූරු පුරස්නයක් අහල තිබ්බ. 2015 ජනවාරි 8 වෙනිද මේ ආණ්ඩුව පත් කරගත්ත අයට දැං සතුටුද කියල. අවසර උන්නැහේ..ඒ පුරස්නෙට දෙන්ට තියෙන්නෙ බහුවිධ උත්තරයක්. නැහැ සහ ඔව් කියල දෙකම කියන්ට වෙනව.

නැහැ කියන්නෙ මේ හින්ද. ඇතුලෙ ඉන්ට ඕන පට්ට හොරු රැලෙං සීයට අනූවක් තාම ඉන්නෙ එලියෙ.තවම හරි හමං එකෙක්වත් අවුරුදු පහ හයකට වැලිකඩ යවාගන්ට බැරි වෙච්චි එක ගැන නම් හරිම දුකයි. 

අනික් අතට අඩුගානෙ ඒ නීල කාස හොරු රැල ආයම බලය ගන්ට දඟලන දැඟලිල්ල, එතනින් ගිහාම කියවන මරු කියවිල්ල බලාගෙන අහගෙන ඉන්නකොට පුදුම සන්තෝසයක් හිතට එන්නෙ. අනේ, බොලේ අපි කොයිමක් කරල හරි මේ ගෙවල පෙරේතයො ටික එලවල දැම්මනෙ නේද කියල.

දැං මේ ඥාණේතුමා ඊයෙ පෙරේද නුවර ගිහිල්ල ආයම අඩව්වක් අල්ලන්ට වගේ ලෑස්තිය. නුවර කලිං හිරගෙදර තිබ්බ තැන ඒ එක්කම එහා පැත්තෙ තියනව මුස්ලිම් පල්ලියක්. ඕකට මැලේ පල්ලිය කියලය කියන්නෙ කියල මම දැනගෙන හිටියට නියම නම මැලේ මිලිටරි මොස්ක් කියල දැනගත්තෙ මේ ඥාණස්ගෙ සීන් එක නිසා. 

මුස්ලිම් පල්ලිවල තියනව උසට හදපු කුළුණක්. ඒකට කියන්නෙ මිනෙරෙට් කියල. මධුරගෙං ඇහුවම කියන්නෙ ප්‍රාසාදශෘංගය කියල. ඒත් එහෙම කිව්වම අපේ ශ්‍රංගය එක්ක පැටලෙන්ට ඉඩ තියෙන හින්ද මම මිනාරෙට් එක කියලම කියන්නං.ඉස්සර කාලෙ ඕක උඩට නැඟල තමයි යාඥාවලට එන්ටය කියල මුස්ලිම් බැතිමතුන්ට දැනුම් දීල තියෙන්නෙ. ඉතිං පුළුවන් තරම් දුරකට ඇහෙන්ට ඕන නිසා ඔය මිනාරෙට් එක උසට හදනව. අද උනත් ඕකෙ හතර පැත්තට ලවුඩ් ස්පීකර් හයි කරල තියනව දැකල ඇති වැඩිම දුරකට ඇහෙන්ට. 

ඉතිං ඥාණෙගෙ සීන් එක මේකයි.ඔය නුවර මැලේ පල්ලියෙ අලුතින් හදන මිනාරෙට් එක දළඳා මාළිගාවට වඩා උසය ඒකෙන් දළඳාවට ලොකු අපසාසයක් අගෞරවයක් වෙනවය කියල ඥාණේ තුමා ලොකු ජල්ලියක් අල්ලල. අර නඩුකාරයින්ට නොමිලේ නීතිය යුක්තිය ගැන පංති පවත්වන්ට ගිහිල්ල සති දෙක තුනක් වැලිකඩ වැඩ ඉන්ට සිද්ද උනාට පස්සෙ උන්නැහැගෙ සද්දෙ ටිකක් අඩුවෙලයි තිබුනෙ. 

මුස්ලිම් පල්ලිය ඉදිරිපිට උද්ඝෝෂණය -
ඡායාරූපය අන්වර් මනතුංග බ්ලොග් අඩවියෙනි.

ම්හු.. එහෙම පීකරේ වහල දාල ඉන්ට බැරි හැඩක් වගේ පේන්නෙ. බෙරේ ඇතුල හිස්නෙ. ඉතිං බෙරෙං තියන එකම වැඩේ සද්ද කරන එක විතරයි. සද්ද නැත්තං බෙරෙං වැඩකුත් නෑනෙ. අන්න එහෙම දෙයක් තමයි මෙතනත් වෙන්නෙ. මේ වගෙ මිනිස්සුන්ට අනික් අයගෙ අවධානය දිනාගන්ට, අපිත් ඉන්නව කියල පෙන්නන්ට මොකක් හරි ඔය වගෙ විකාරයක් කරන්ටම ඕන. නැත්තං හරියකට නින්ද යන්නෙත් නෑ.

නුවර මාළිගාව අවට වැව රවුම, කැන්ඩි සිටි සෙන්ටර් එක, මාකට් එක, බෝගම්බර හිර ගෙදර ඔය හැම තැනම කරක් ගහපු මනුස්සයෙක් හැටියට මම සහ සුද්දෙන්ම කියන්ට දන්නව ඔය කතාව කිසිම පදනමක් නැති ප්‍රලාපයක් කියල. පොළවෙ මට්ටම් වෙනස ගැන මූලික අවබෝධයක් තියන කෙනෙකුට උනත් හොඳටම පැහැදිලි වෙන්ට ඕන දළඳා මාලිගාවට හුඟක් පල්ලෙහා මට්ටමකයි ඔය කියන පල්ලිය තියෙන්නෙ කියන එක.

මේක මේ ඉතාම පැහැදිලිව වෙන මොකවත් නෙවෙයි තමංගෙ තියන මූඪභාවය ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමක්. 

මට පේන්නෙ මේ මනුස්සයට ඕන අර බුරුමෙ විරාතු වගෙ චරිතයක් ලංකාවෙ රඟ පාන්ට. ඒ ඔක්කොමත් හරි මේ මහානායකල කියන අයටත් එක්කෙනෙකුටවත් නෑනෙ කොන්දක් මේ මනුස්සය කරන විකාර නවත්තන්ට.මට තියන එක කණගාටුව මේ වගෙ දෙකයි පණහෙ ගොං පාට් වලින් ලෝකෙ පුරාම නම සවුත්තු වෙන්නෙ අර සියලු සත්වයින්ට මෛත්‍රී කරන්නටෙයි කියල වදාල ගෞතම බුදුන් වහන්සෙගෙය කියන කාරණේ.

අර ඥාණෙ තුමා කලින් අහපු ප්‍රස්ණෙට ඒ කිව්වෙ 2015 ජනවාරි 8 වෙනිද මරා තුමා පරද්දල අලුත් ආණ්ඩුවක් පත්කරගත්තු අයට දැං සතුටුද කියන ප්‍රස්ණෙය උත්තර දෙන්ට ඉස්සෙල්ල පොඩ්ඩක් මේ ලිපිය කියවල බලන්ට. මේ මරාතුමාගෙ මළයගෙ නොහොත් අති ගෞරවාර්හ ධුරන්ධර ගොට්ටාතුමාගෙ වැඩ. ආයම පාරක් මේ වගෙ මිනිස්සු බලයට පත්කරගන්නවද කියල තම තමන්ගෙ හෘද සාක්ෂියෙන් අහල බලන්ට.

මේ වගෙ අමනුස්සයො රැලක් එලවල දැම්මම ආය සන්තෝසද කියල අහන්ටත් දෙයක්ද ඥාණෙතුමෝ?

සවන්දෙන්න ඔහුට..ඔහු පෝද්දල ජයන්ත...


*********************************************

විදුලි සැරක් සේ වම් කකුලේ විලුඹෙන් මතු වන වේදනාව, ශරීරයම දවමින් හිස් මුදුන කරා යයි. හරියටම සීත සෘතුවල පාදයේ අභ්‍යන්තරයෙහි ඇති ලෝහ තහඩු සීතල වීම නිසා දැනෙන අපා දුක මෙනි. මා මේ ඉරියව්වෙන් කොපමණ වෙලාවක් ඉඳ සිටියාදැයි නොදනිමි. ඒත් කඩදාසිය හිස් ය. මිනිසුන් දහස් ගණනකගේ කතාත්, තව බොහෝ දේත් හනි හනික ලියා පුරුදු මට, ලිවීම මේ තරම් අසීරු දෙයකැයි කිසි දා දැනී නැත.

විවිධාකාර වේදනාවන්ට මුහුණ දුන් මිනිස්සු, තමන් විඳි වේදනාව මෙලොව මිනිසකුට දැරීමට අසීරුම අත්දැකීම ලෙස දකිති. වධහිංසාවට ලක් වීම නැමති කුරිරු අපරාධයේ වින්දිතයකු වූ මා සම්බන්ධයෙන්ද එය එසේමය. වධහිංසාවලට ලක්ව, සුව කළ නොහැකි ලෙස ආබාධිත වූවෙක් ඉතිරි ජීවිත කාලය පුරාම ගෙවෙන හැම තත්පරයක් පාසාම කායිකවත්, මානසිකවත් වධ හිංසාවට ලක් වෙයි. ඒත් දැන් මට සිතෙන්නේ, හිතේ කොණක නිදා-නොනිදා අඳුරු මතකයක් ලෙස පවතින ඒ බියකරු අත්දැකීම අනුපිළිවෙළින් ආවර්ජනය කිරීම තරම් වේදනාවක් තවත් නොතිබිය හැකි බවය. හිස් කඩදාසියක් අබිමුව, මා මේ මොහොතේ විඳිමින් සිටින්නේ ඒ වේදනාවයි.

මා පැහැරගෙන ගොස් වධහිංසනයට ලක් කිරීමේ කුරිරු සිදුවීමට, මේ ජුනි 01 වැනිදාට වසර 7කි. එතරම් දිගු කලකට පසුවත්, මට ඒ සිදුවීම අදටත් ප්‍රකෘති මනසකින් සිහිපත් කළ නොහැකිය. තව කොපමණ වතාවක් යළි යළිත් විස්තර කළද වධහිංසාවකට ලක් වූවකු විඳින මානසික පීඩාව, එවන් අත්දැකීමක් නැති කෙනෙකුට අවබෝධ කර දිය හැකි වෙතැයි නොසිතමි. පසුගිය වසර හත තුළ අඩු තරමින් පස් හය වතාවක් වත් මගේ මිතුරන්ගේ ඉල්ලීම මත මේ අත්දැකීම ලියා තැබීමට වෑයම් කර ඇතත් එය කළ නොහැකි විය.

ඒ අඳුරු මොහොත

එදා වැඩ ඇරී ආපසු ගෙදර එන ගමන්, ඇඹුල්දෙණිය හන්දියෙන් බසයෙන් බැස, ඉතිරි දුර පයින් ඇවිද යමින් සිටියෙමි. ඒ දිනවල මා සිටියේ දිගින් දිගටම එල්ලවූ තර්ජන හේතුවෙන් ස්ථිර පදිංචි නිවසින් බැහැරව තාවකාලික කුලී නිවසක ය. මගේ එක් අතක ලිපි ගොනුද, බිරිඳට හා දියණියට ගත් මාළුපාන් ගෙඩි දෙක සහිත කවරය අනිත් අතෙහිද විය. පටු අතුරු පාරට හැරී ඉදිරියට යන විට සුදු වෑන් රියක් එහි නතර කර තිබිණි. පාර පටු බැවින් ඉතිරිව තිබුණේ සුළු ඉඩකි. ඒ ඉඩෙන් වෑන් රිය පසු කර යන්නට පය තැබුවා පමණි. ඒ ප්‍රීතිමත්, නිරෝගී මිනිසකු ලෙස මා පොළොව මත තැබූ අවසාන පියවර කිහිපයයි.

ඇසිල්ලකින් මා ඇතුළට ඇදගෙන දොර වසාදැමූ නාඳුනන(උන්ගේ හාම්පුතා කව්දැයි දන්නා මුත්) මැරයෝ, මා බිම පෙරළාගෙන පණ නැති වන තුරු ලවක් දෙවක් නැතිව පහර දුන්හ. මුහුණට-හිසට-පපුවට-බඩට-යටිබඩට හෙණ පහර සේ පහරවල් සිය ගණනක්. මට මතක හැටියට ඒ ජංගම වධකාගාරයේ මැද අසුනක් තිබුණේ නැත. මා දෑත් දෙඇස් බැඳ පෙරළාගැනුණේ ඒ ඉඩෙහි ය. කිසිදු පුද්ගලික කෝන්තරයක් නොතිබූ මිනිසෙකුට එතරම් කුරිරු අන්දමින් සැලකීමට ඒ මිනිසුන්ට ලැබී තිබුණු පුහුණුව පුදුම සහගතය. ඔවුහු මගේ රැවුළ හා කොණ්ඩය කපා මුව තුළට එබූහ, දෑත්වල ඇඟිලි තැලූහ, අත් අඹරවා දැමූහ. මගේ කකුල් දෙකම කඩා දැමීමට වෑයම් කළ මුත් දරුණු ලෙස හානි වූයේ වම් කකුලටය. එය වළලුකරින් වෙන් වන ලෙස කඩා දැමුණේ, ලී කොට කැබැල්ලක් මත තබා, තවත් ලී කොටයකින් පහර දීමෙනි. අන්තිමේදී මුව තුළට එබූ රැවුල් කොණ්ඩා අහුරු සමග කට බැඳ, ලේ ගලන, මළමිනියක් සේ අකර්මණ්‍ය සිරුර පද්දා අගලකට විසි කර දැමූහ.

මා විසි කර දමා තිබුණේ අංගොඩ උණ රෝහල පාරේ ලඳු කැලෑ පෙදෙසකය. නිතර වාහන නොයන ඒ මග ගමන්ගත් ත්‍රී රෝද රථ රියදුරෙක් අහම්බෙන්, පාර අයිනේ බෑවුමේ ඒ මේ අත පෙරළෙන අත් පා බැඳි මිනිසකු දැක තිබේ. බියට පත් ඔහු වහාම අංගොඩ හන්දියට ගොස් ත්‍රී රෝද රථ ගාලේ මිතුරන් කිහිපදෙනෙකුද සමග පැමිණ, මා බැමිවලින් නිදහස් කොට කොළඹ ජාතික රෝහල වෙත ගෙන ගොස් තිබිණි. එතරම් අන්ධකාර යුගයකත්, මනුස්සකම දරා සිටි ඒ යහපත් මිනිසුන් නොවන්නට මගේ ජීවිතය එතැනින් කෙළවර වන්නට තිබිණි.

පෝද්දල ජයන්ත රෝහලේදී.....

හිංසනයේ ශේෂ පත්‍රය

සිදු කරන ලද වධ හිංසා හේතුවෙන් හදිසි අනතුරු වාට්ටුවේ පුරා දින 29ක් ප්‍රතිකාර ලැබීමට සිදුවිය. තුවාල, කැඩුම් බිඳුම්, ඇඹරුම් වලට අමතරව බඩට පහරදීම නිසා මුත්‍රාශයට සිදුවූ බලපෑම්වලින් හටගත් ආබාධය බරපතළ විය. වළලුකරින් වෙන් වන සේ කඩා දමා තිබුණු වම් පාදය යළි බද්ධ කර ඇත්තේ ජීවිත කාලයටම ඉවත් කළ නොහැකි ලෝහමය තහඩු මගිනි. රෝහලෙන් නික්ම යෑමෙන් පසු තවත් මාස 6ක් පමණ ඇඳ මත අනේක දුක් විඳි පසුව, තවත් වසරක තරම් කාලයක් ඇවිද්දේ කිහිලිකරුවල ආධාරයෙනි.

එතෙකුදු දුක නිමා වූයේ නැත. ශීත සෘතුවේදී කකුලේ ලෝහ තහඩු අධික ලෙස සීතල වූ විට නැගෙන වේදනාව හිස් මුදුන තෙක් දිවෙයි. එය ඉසිලිය නොහැකි වේදනාවකි. නිසි ලෙස පඩිපෙළක් නැග ගැනීමට නොහැකිය. කඩා දැමූ පාදය පැත්තේ අතින් සාමාන්‍ය බරක් හෝ රැගෙන යා නොහැකිය. ඇවිදීමේදී සිදු වන සුළු අසමබරතාවකින් පවා පාදයේ ඇතිවන වේදනාව සහ ඉදිමුම, සතියක් හමාරක් පවතී.

ශාරීරික වේදනාවන්ටත් වඩා, මානසික වශයෙන් කා වැදී ඇති බිය, කොතරම් වෙර දැරුවද තවමත් දුරු කරගත නොහැකිය. ලංකාවෙන් සැතපුම් දහස් ගණනක් දුර සිටියද, මහ මග ඇවිද යන විට පදික වේදිකාව ආසන්නයෙන් දිවෙන සුදු වෑන්වලට තිගැස්සී පස්සට පනින ගතිය තවම පහව ගොස් නැත. පැහැරගෙන ගොස් වධ හිංසා පමුණුවන මොහොතේ, තවත් මොහොතනින් මා මරා දමනු ඇතැයි සිතට කාවැදුණු මරණයේ බිය ඉන් පසු කිසි දා පහව නොයන බව ඉකුත් වසර 7 පුරාම මම අත්වින්දෙමි.

මා වධයට ලක් කළේ ඇයි?

මට කිසිවකු සමග පෞද්ගලික කෝන්තරයක් තිබුණේ නැත. මා පෞද්ගලිකව කිසිවකුට අගතියක් සිදු කරද නැත. එහෙත් රටට හෝ සමාජයට කිසිවකු හානියක් හෝ වරදක් සිදු කරන බව දුටු හැම විටකම මට හැකි උපරිමයෙන් ඊට ප්‍රතිචාර දක්වා ඇත්තෙමි. එය පුද්ගලයන් හෝ ආණ්ඩුවකට අදාළව විය හැකිය. ජනමාධ්‍යවේදියකු ලෙස මා වැඩිපුරම ලියා ඇත්තේ රටේ ජාතික ධනය කොල්ලකෑමට එරෙහිවය. ආසියාවේ ලොකුම වංචාව ලෙස සැලකෙන වැට් බදු වංචාව ම විසින් හෙළිදරව් කරන ලද්දේ එතරම් විශාල ලෝක හොරකමක තත්වයට පත් වීමට පෙරය. පොදු ජන යහපත උදෙසා වැරදි හෙළි කිරීමට මාධ්‍යවේදීන් සතු අයිතිය වෙනුවෙනුත්, පොදුවේ මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනුත් මාධ්‍ය සමාජය හා සිවිල් සමාජය සමග එක්ව අරගල කළෙමි. මා නොමරා මරා දැමීමට තරම් වැරදි වූයේ මේවාය.

මා පැහැරගෙන ගොස් වධහිංසාවට ලක් කළේ, දිගින් දිගටම රාජ්‍ය රූපවාහිනී මාධ්‍යවලින් මට එරෙහිව සිදු කරන අවලාද ගැනත්, මට එල්ල වී තිබූ තර්ජන ගැනත් මාධ්‍ය සංවිධාන නියෝජිතයන් හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් රටේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පවත්වමින් සිටියදීය. මා ඒ සාකච්ඡාවට යා යුතුදැයි කල් තියා සාකච්ඡා වූ නමුත් මම එහි නොගොස් ගෙදර ගියෙමි. එය මගේ ඉරණම්කාර ගමන වේ යැයි මා සිතුවේ නැත. මා පැහැරගෙන මොහොතකින් ඒ ආරංචියද ඒ සාකච්ඡාව අතරතුරදී මාධ්‍යවේදීන්ට ලැබී, ජනාධිපතිවරයාද දැනුවත් කර තිබිණි. එහෙත් අධි ආරක්ෂක කලාප හරහා මට වධ දෙමින් ගෙන ගොස් අගලකට විසි කර දැමීමට ඒ ‘සහතික ලත්’ මැරයෝ සමත් වූහ. මෙතරම් උත්ප්‍රාසවත් පසුබිම් කතාවක් සහිත පැහැරගැනීමක් සිනමා පටයදී වුවද අභව්‍ය යැයි බැහැර කෙරෙනු නිසැකය.

මා හිංසනයට ලක් කිරීමට මාස කිහිපයකට පෙර, ජනාධිපති සොහොයුරු- ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, එවකට ලේක්හවුස් සභාපති බන්දුල පත්මකුමාරට කළ දැනුම්දීමක් අනුව මාත් සනත් බාලසූරියත් කැඳවා, මාධ්‍ය නිදහස ගැන කරන උද්ඝෝෂණ නතර කරන ලෙස කළ දැනුම් දීමත්, එහිදී ඇතිවූ විවාදයත් රහසක් නොවේ. බන්දුල පත්මකුමාරද, කුප්‍රකට ලක්ෂ්මන් හුලුගල්ලේද එතැන වූහ. අප දෙදෙනාම ගෝඨාභයට තරයේ කියා සිටියේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යෑම, පහර දීම හා මාධ්‍ය ආයතනවලට සිදු කරන ප්‍රහාර නතර කරන තුරු ඒවාට එරෙහිව කරන අපේ උද්ඝෝෂණ නතර කළ නොහැකි බවයි.

එවකට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පවා දෑත් දෙපරැන්ද අස්සේ ගසාගෙන ඝෝඨාභය ඉදිරියේ නිවට වන පසුබිමක, ඔළුව උදුම්මාගෙන සිටි ඔහුට ඒ පිළිතුර කොහෙත්ම ඔරොත්තු දුන්නේ නැත. කෝපයෙන් වියරු වැටුණු ඔහු, සිය පහත් ගති ඉස්මතු වී ‘යකෝ මුන් කාට ජාතක වෙච්ච එවුන් දැයි’ බැනවැදුණු අතර එවැන්නකු සමග තව දුරටත් කතාවක් නැති බැවින් අපි නැගිට ආවෙමු. ඔහු ‘හොඳයි වෙන දේ බලාගන්න පුළුවන්’ යැයි කීවේය. මම අඩියක් ආපහු හැරී, ‘ඔබතුමාද කරන්නේ?’ යැයි ඇසූ විට ඔහු කීවේ, ‘නෑ. මම නෙවෙයි, කරන අය කරාවි’ යනුවෙනි. ඉතින් ‘කරන අය’ කිව් පරිදි ‘ඒ විදියට‘ කළ බව අමුතුවෙන් කිව යුතුද?

මේ අප්‍රසන්න සංවාදයෙන් ටික දිනකට පසුව ලසන්ත වික්‍රමතුංග මහ මග ඝාතනය කර දැමුණු අතර ඒ අවමඟුල වියරු පාලනයට එරෙහිව පැන නැඟුණු පළමු දැවැන්තම විරෝධතාව විය. ‘ඝාතකයා සාටකයා’ යැයි මහ දවල් සටන්පාඨ කියැවුණේ එහි ය. මෙම අවමඟුලෙන් පසුව මටත් සනත්ටත් එල්ලවූ තර්ජන හමුවේ අපි ඉන්දියාවට පලා ගියෙමු. සති තුනකට පසුව මිතුරන් එපා කියද්දී මම නැවත ලංකාවට ආවෙමි. ඉන් පසුව වසර විසි පහකට වැඩි කලක් තිස්සේ සිහිනයක්ව තිබූ, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහා කාර්යාල ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ කටයුත්තට උර දුන්නෙමි. මා පැහැරගනු ලැබුවේ ඒ අතරතුරය. අවසානයේ, මගේ නම ඇසූවිට රාජ උදහසට ලක් වේ යැයි බියෙන් කුලියට නිවසක් වත් නොදෙන තරමට මව් බිම අනාරක්ෂිත තැනක් වූ පසු ඇමරිකාවේ දේශපාලන රැකවරණ පිළිගැණීම හැර අන් මගක් මට නොවීය.

හමාර කීම

වසර හතකට පසුව බොහෝ දේ වෙනස් වී තිබේ. ඒ මා පලා ගිය පසුවත්, තවදුරටත් බිහිසුනු තර්ජනවලට මුහුණ දෙමින් ඒකාධිපතිත්වයට එරෙහිව අරගල කළ ධෛර්යවන්ත මිනිසුන් නිසාය. ඔවුන්ට පින් සිදු වන්නට, සත් වසරකට පසුව ලංකාවට පැමිණ මහළු මව්පියන්ගේ මුහුණු ජීවමානව දැක ගැනීමේ වාසනාව මට හිමි විය. ඒකාධිපති රාජපක්ෂ නඩය සිහින දුටු පරිදි සදාකාලිකව පවුල් පාලනය තහවුරු වූයේ නම්, මට ඔවුන්ගේ මුහුණු යළි දකින්නට ලැබෙන්නේ නැත.

එහෙත් ගැඹුරින් බලන විට සැනසුම් සුසුම් හෙළීමට තරම් දෙයක් තවමත් සිදුවී නැත. ප්‍රගීත් අතුරුදන් කිරීම සම්බන්ධ පරීක්ෂණය හැරුණු විට මාධ්‍යවේදීන් ඝාතනය කිරීම ඇතුළුව ජනමාධ්‍යවලට එරෙහිව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් කිසිදු විධිමත් පරීක්ෂණයක් ආරම්භ වී නැත. මට කළ හිංසනය ඒ අතරින් එකක් පමණි. එහි බිහිසුනු පණිවුඩය නම්, මේ අපරාධවලට වගකිව යුතු වුන් තවමත් නිදැල්ලේ සිටින බවය.

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයේ සැකකරුවන් ‘රණ විරුවන්’ ලෙස අභිෂේක කරවමින්, උසාවියට පවා කඩා වදිමින්, රංචු පිටින් බන්ධනාගාරයට බඩගාමින් ‘මහ හොරා ඇතුළු ඒකාබද්ධ හොරු රැළ’ නටන නිරුවත් නාඩගම දකින විට, මේ අපරාධවලට ඔවුන්ගේ ඇති සම්බන්ධය කෙතරම් දැයි තහවුරු වෙයි. එසේ තිබියදී මොවුන් දැන් මාධ්‍ය නිදහස ගැන ප්‍රකාශ නිකුත් කරනු බලා සිටීමට සිදුවීම තරම් කරුමයක් තවත් තිබේද?

නැවත වරක් මේ ඒකාධිපතියා පිරිවරාගෙන යන පෙරහැර නතර කළ යුතුය. එය කළ හැක්කේ අපරාධ පිළිබඳ සොයා බලා වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාදාමය ශක්තිමත් කිරීමෙනි. එසේ වුවහොත් ඒ පෙරහැරේ මුදුනාගේ සිට තවත් බොහෝ දෙනෙකුගේ ගමන කෙළවර වනු ඇත්තේ සිර ගෙදරිනි.

පෝද්දල ජයන්ත | Poddala Jayantha




Friday, June 3, 2016

418. ටොම් ගෝඩ්න්ට පෙම්කල දැරිය සහ එක්තරා ඝාතනයක් ගැන කතාවක්.

මම අර පහුගිය බ්‍රහස්පතින්ද ලියාපු ප්‍රවේශ කතාව මතකයි නේද? ඒකෙ කියන්ට ආපු කතාව පහුවදා දිහාට ලියල දාන්නම්ය කියල හිතාඋන්නට අර වැස්සට කලින් කැම්පස් ගිය මහත්තුරු ගැන ලියන්ටම උන හින්ද ඒක අතපහුවුනා. ඒක ලියල මට උනේ ඉල්ලං කෑව වගෙ වැඩක්. කතා බාගෙට ලියල පාඨකයො අමාරුවෙ දානවය, ඒක පාඨක වදය කියල අර්ථ දක්වන්ට පුලුවන්ය කියල හතර අතිං චෝදනා එන්ට ගනිපි. හොඳක් කරන්ට ගියෝතිං මට පාත්වෙන්නෙ ඔය වගෙ මරාලම තමයි. අර හිත හොඳ කොන්දොස්තරට උනා වගෙ.

ඔන්න දවසක් බස් එක පිටිපස්සට වෙලා වයස අටක වගෙ පොඩි එකෙක් අඬ අඬ ඉන්නවලු. ඒ පාර කොන්දොස්තර ඇහුවලු "මොකද බබා අඬන්නෙ?" කියල. 

"ඉහි ඉහි බස් එකේ යන්ට කියල ගෙදරිං දුන්නු රුපියල් දෙක නැතිවුනා" කොල්ල අඬ අඬම කිව්වලු. 

කොන්දොස්තරගෙ පපුව උණු වුනා හෝස්ගාල. "හා..හා..හරි නාඬ ඉන්නකො. කීයද ඔයාගෙ ටිකට් එකේ ගාණ?" මිනිහ ඇහුව පොඩි එකාගෙන් 

"සත පණහයි.." කොල්ල කිව්ව.

"හරි හරි යමු බස් එකේ මට සල්ලි ඕන නෑ" කොන්දොස්තර කිව්වලු. කොල්ලත් බොහොම සන්තෝසෙං බස් එකට නැඟල ඉඳ ගත්තලු.

ඔන්න ටික දුරක් යනකොට කොලුව ආයම අඬන්ට ගත්තලු. "ඇයි මොකද බබා ආයම අඬන්නෙ?" කොන්දොස්තර ඇහුවලු. 

"කෝ මගෙ රුපියල් දෙකේ ඉතුරු?" කොලුව ඉකි ගගහ ඇහුවලු.

ඔය මට වෙච්චි සන්තෑසිය විස්තර කරන්ට මෙහෙම උපහැරණෙකුත් නම් තියනව හෙහ්,හෙහ්, "නැති බැරි කමට XXX XXXXX ණයට XXXX XX XXXX වගේ."

අරූ ගොයිය මාව සමාන කරල තිබ්බ එන එන කාර්වල බොනට් එක ඇරල මොනවහරි කෑල්ලක් ගලවල ඉනික්බිති ඒ ගැන වගේ වගක් නැතුව එතනම තියන අඹ ගහ යට බංකුවක ඉඳගෙන පත්තරේ බලන ගැරිජ් බාසෙකුට...හෙහ්...හෙහ්...යස අපූරු උදාහරණෙ...අම්මප ඔව්.

පත්තර කියවනව කිව්වම මතක් වුනේ.....පහුගිය සතියෙ හොඳ පොතක් හම්බවෙලා කියෙව්ව. මගෙ ප්‍රියතම ලේඛකයෙක් ස්ටීවන් කිං. පොතේ නම "The Girl Who Loved Tom Gordon" සිංහලෙන් නම් "ටොම් ගෝඩ්න්ට පෙම්කල දැරිය" යුවතිය කියල කියන්ට බෑ මොකද මේ පොතේ ඉන්න ගෑණු ළමයට වයස නමයයි. කතාව පටන් ගන්නෙ මෙහෙමයි. 

Google Images

අප ජීවත්වන මේ ලෝකයට ඉතා තියුණු දත් ඇත. බොහෝවිට අපට නොපෙනී සැඟව ඇති මේ දත් යොදාගෙන අප සිහිනෙනුදු අපේක්ෂා නොකරන විටෙක ලෝකය අප සපාකනු ඇත.ට්‍රීෂා මැක්ෆාර්ලන්ඩ් මේ කටුක සත්‍යය වටහාගන්නා විට ඇගේ වයස යන්තමට වසර නවයකි. 

එක්තරා ජූනි මසක පළමු සතියේ දිනෙක උදෑසන දහය පසුවන විට ඇය සිටියේ ඇගේ මවගේ ඩොජ් කැරවන් වෑන් රථයේ පසුපස ආසනයේ සැපපහසුව වැතිර ගෙනය. බොස්ටන් රෙඩ් සොක්ස් බේස්බෝල් කණ්ඩායමේ නිල් පැහැති ජර්සියක් හැඳ සිටි ඇය තම ප්‍රියතම බෝනික්කා වූ මෝනා සුරතල් කරමින් පසුවූවාය. ඈ හැඳ සිටි ජර්සිය පසුපස 36 ගෝඩ්න් යනුවෙන් ලියා තිබිණි. 36 යනු ඇගේ ප්‍රියතම බේස්බෝල් ක්‍රීඩකයාවූ ටොම් ගෝඩ්න්ගේ ක්‍රීඩා අංකයයි.

ඒ පෙරවරු දහයේ කණිසම පසුවෙද්දීය. පෙරවරු දහය පසුවී මිනිත්තු තිහක් ගතවන විට ඇය මහ වනය මධ්‍යයේ මංමුලාවී සිටියාය.පෙරවරු එකොළහ වනවි ඇය පසුවූයේ භීතියෙන් මුසපත් නොවීමට උත්සාහ දරමිනි. තත්වය ඉතාම භයානක යයි නොසිතන්නට උත්සාහ දරමිනි. සියලු බලාපොරොත්තු අත්හැරගත යුතුයැයි නොසිතන්නට උත්සාහ දරමිනි.වනයක අතරමංවූවන්ට සමහරවිට දරුණු අනතුරු වලට මුහුණ දීමට සිදුවන බව නොසිතන්නට උත්සාහ දරමිනි. සමහරවිට එසේ අතරමං වූවෝ මියයති.

"මේ ඔක්කොම වුනේ මට මුත්‍රා කරන්නට ඕන වුනු නිසා" ඇය පසුතැවුණාය. ඇත්ත වශයෙන්ම ඇයට මුත්‍රා කීරිමට එතරම් දරුණු අවශ්‍යතාවයක් නොතිබිණි. කෙසේ වුවද ඇයට මව සහ පීට් අමතා ඇය ගසක් පසුපස මුවාවී මුත්‍රාකොට පැමිණෙන තෙක් මිනිත්තුවක් පොරොත්තු වන ලෙස පැවසිය හැකිව තිබුණු බව නිසැකය. එහෙත් ඔවුන් දෙදෙන නිරතුරු පසුවූයේ කළහකරගනිමිනි. සුපුරුදු පරිදි දරුණු ලෙස කළහ කරගනිමිනි. ඔවුන්ගේ එකිනෙකා වෙත දමා ගසන කටුක වදන් තවත් ඉවසිය නොහැකිවූ කල ඇය නිහඬවම පියවරින් පියවර පසුබාමින් ඔවුන්ට ඉදිරියට යන්නට ඉඩ දුන්නාය. ඉදින් මුත්‍රා කිරීමට දැඩි අවශ්යතාවක් නොතිබුණේ වුවද ඇය ඔවුන් ගමන් කරමින් සිටි මහ වන මැදින් වැටුනු පෙත්මඟෙන් ඉවත්ව ඒ ඒ අසලමවූ සරුවට වැඩුණු පඳුරු ගොන්නක් පසුපසට වූවාය.

අප්පටසිරි ගජ...අමතකම වුනා..දයාබර පාටකයො මගෙ මව් තුමියගෙ....හෙහ්..හෙහ්...රෑ වෙලා අම්මට කතා කරනකොට මතක ඇතුව අහන්ට ඕන "අද අම්මට කිඹුහුං එහෙම ගියාද වැඩිපුර?" කියල....හෙහ්...හෙහ්... මට නිකං ඇහෙනව ඇහෙනව වගෙ අරූ දත්මිටි කනව.....ජරස් බරස් ජරස් බරස්...."යකෝ..කොච්චර කිව්වත් අර බීරි අලියට බටනලා ගහනව වගේනේ...මූ කියන දෙයක් කණකට ගන්නෙ නැති හැටියක් අම්මප...ඒ පාර ආයම වෙනිං කාර් එකක බොනට් එක ඇරිය නේද? දෙයියම්පල්ල මට නැති හැටියක් තිහේ යතුරකිං කෙළල ඇරල වත් මුගෙ තට්ටෙ පලන්ට......"සුටු පුටු ගගා කට ඇතුලෙං එහෙමත් කියනව ෂොට් එකක් දාගන්න ගමං..හෙහ්,හෙහ්

හරි හරි කෙදිනක හෝ ස්ටීවන් කිංගෙ පොතක් පරිවර්තනය කරන්ට මගෙ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියනව කියල විතරක් කියල ආපහු යමු අර කතාවට.

උපුටනය / ඇත්තටම ඒ වෙනකොට අම්මයි, අප්පච්චියි විතරයි ගෙදර හිටියෙ. නංගිල දෙන්න කොළඹ, මම අරෙහෙ වැඩ. මම ගෙදර එන්නෙ මාසෙකට සැරයක්. නංගිලා සති දෙකට වගෙ සැරයක්. කොහොම හරි අන්තිමට අම්ම කියපු විදිහටයි වැඩේ කෙරුනෙ. ඉතිං වෙනද ගෙදර ආහම මම නුවර පැත්තෙ රවුමක් දාල කාසල් එකෙං බියර් එකකුත් ගහල විජිත යාපා එකෙං පොත් දෙකතුනකුත් අරගෙන පත්තර කැටියකුත් කිහිලි ගහගෙන තමයි ගෙදර එන්නෙ. මෙදාපාර මේ පොයියංගමට හිරවුනු හින්ද අර සී.ඊ.බී. එකට ගිය ගමනක්ද දෙකක්ද ඇරෙන්න මම ගෙදරමයි හිටියෙ. ගෙදර රේඩියෝ එකත් කැඩිල. ප්‍රවෘත්තියක්වත් අහගන්ට තිබ්බෙ නෑ. ඉතිං නිවාඩු ඉවරවෙලා මම ආපහු වැඩටත් ගියාය කියමුකො....හොඳද? /උපුටනයේ නිමාව

එදා ආපහු වැඩට යද්දි හබරණ පහුවෙනකොටම යන්තමට පටන් ගත්ත පොදේ මින්නේරිය දිහාට කිට්ටු කරනකොට මොර හීරිල්ල කොයිහැටි වෙතා බස් එකේ ජනේලෙ බීඩිං පටිය අස්සෙං කලුම කලු පාට වතුර ඇතුලට ගහන තරමට දරුණු වෙලා. ඉතිං මක් කරන්නද? කියවන්ට ගත්තු පත්තරේ දෙකට තුනට නවල ජනෙල් වීදුරුව අස්සෙ ගැහැව්ව කදුරුවෙලට යනකොට කොයිමක් කරල හරි නාගන්නෙ නාන්නෙ නැතුව යාගන්ට තිබ්බ නං ඒකත් ලොකු දෙයක් කියල හිතල.

හෙහ්..කිව්වම මොකද? එදා ඒ පත්තර ගැහිල්ලට ගිහිල්ල තව පොඩ්ඩෙං මහ ජංජාලයක් වෙන්නෙ.තව පොඩ්ඩෙං වැස්සෙන් නෙවෙයි නාගන්ට වෙන්නෙ....නුවර ඉස්ටේසන් එක පාරෙ තියනව රේල් පාරත් එක්ක අල්ලල එක දිගට පත්තර කඩ. එව්වයෙ ඔය කාලෙ තිබ්බ අර මේ පුංචි පත්තර කියන්නෙ අන්න එව්ව.නව සරණ තමයි ඔව්වයිං පොඩ්ඩක් හරි කියවන්ට දෙයක් තිබ්බ පත්තරේ. ඉතිං ගෙදර ගිහිල්ල එන එවුං අනිවාර්යයෙන් ඔව්වයිං එක පත්තරයක් හරි ගේන්නම ඕන.නැත්තං ඌව මරාගෙන කනව අනික් එවුං.

මට උනේ මොකද්ද දන්නවය? ජනේලෙං එක විඩේම වතුර එන්ට ගත්තම දනි පනිගාල බිම තිබ්බ ට්‍රැවලිං බෑග් එක ඇරල හදිස්සියට ගත්තෙ අර පුංචි පත්තරේ, ජනේලෙට තියල හිරකරන්ට යද්දි තමයි දැක්කෙ අප්පට සිරි..." අතිධාවන කම් සැපත මහණකමට යොමුවීද?" කියල දොඹගෙඩි හා සමාන අකුරිං සිරස්තලේ තියනව. ඒ යට අඩ නිරුවත් කාන්තා ඡායාරූපයක්.. 

ටේබල් ෆෑන් එක ෆුල් රොටේෂන් මෝඩ් එකට දැම්ම වගෙ ඔලුව කරවල බැලුව අංශක දෙසිය හැත්තෑවක්.. ම්හු..මගෙ වෙලාව හොඳයි කියන්නෙ අහල පහල ඔක්කොමල නිදි දෙව්දුව එක්ක ඔළිඳ කෙළියෙ යෙදෙනව.ඔළිඳ කිව්වම මතක් වුනේ..එක්කොත් ඕන නෑ ආය..අම්මය කියල ඔය හැටි කිඹුහුං ඇරියැහැක නැද්ද? අනික අරූගෙ දත් කුට්ටම ගෙවිල යනව මම දන්නව විදුරු මහ දක්වාම දත්මිටි කාලම.

ඒ පාර හෙමීට මට නෙවෙයි වගෙ පුංචි පත්තරේ ආපහු බෑග් එකට දාල ලංකාදීපෙ හරි මොකක් හරි තිබ්බ පත්තරයක් නවල ජනේලෙට හිරකලා.

කදුරුවෙලිං මඩකළපු බස් එහෙක (මඩකළපු කිව්වම තව කතාවක් මතක් වුනා..ඒක අහලත් ඇති මහිතේ. කොහොමද ඩොක්ටර් අංපාර? අන්න ඒ කතාව.හරි ඒකත් වෙන දවසක) නැඟල වැලිකන්දෙන් බහිනකොට දොළහමාරට වගෙ ඇති. වැස්ස ගැන බය වෙන්ට දෙයක් නෑ මගෙ ට්‍රැවලිං බෑග් එකේ කොයි වෙලෙත් ටෝච් බෑයකුයි කුඩේකුයි නැතිවෙන්නෙම නෑ. ඔය කාලෙ මා ලඟ තිබ්බෙ අර හාමුදුරුවරු පාවිච්චි කරන්නෙ හොකී පිත්ත වගෙ මිට රවුං කුඩ. අන්න එව්වගෙ කඩන්ට පුලුවන් මොඩල් එකේ එකක්. 

ඕකත් ඉහලගෙන මම හෙමීට ආව අපෙ චමරියට. කිට්ටුවෙනකොටම මට ඇහුන සද්දෙ....ඔහොම සද්ද බද්ද පාරටම ඇහෙන්නෙ ආය ඉතිං කියන්ට දෙයක් නෑ.මාත් ඒ ගමන අඩිය ඉක්මන් කරල ගිහිල්ල පඩි තුන හතර නැඟල චමරියට ගොඩ වුනා. අපේ චමරිය ඉස්සරහ ඔය දවස්වල වවල තිබ්බ කොට්ට ගස් හත අටක්. ඔය කොට්ට ගස් හින්ද දඩ පෑවිල්ලෙ උනත් පුදුම සිසිලසක් තියෙන්නෙ. මඟදිම කුඩේ බාගත්ත හින්ද කොට්ට ගස් අස්සෙං යද්දි මාව හොඳටම නෑවුනා.

"ආ..වරෙං වරෙං අපි මේ උඹ පරක්කු මොකද කියල බල බල තමයි හිටියෙ." එහෙම කියල කෑ ගහල මාව පිළිගත්තෙ අජිතය. "නුවරටත් වහිනවද බං?"

"නෑ මම එනකොටනම් එහෙම ළකුණක්වත් තිබ්බෙ නෑ..මෙන්න මේ හබරණ හරියෙන්නෙ වැස්ස පටං ගත්තෙ."

"හරි හරි ගිහිල්ල ඔය මීහරකා කාමරෙං තියල සරමක් එහෙම දාගෙන වරෙංකො විස්තර කතා කරන්ට" 

ඒ මීහරකා කියල කිව්වෙ මගෙ ලෙදර් ට්‍රැවලිං බෑග් එකට. ඒ දවස්වල නුවර මාකට් එකේ උඩ තට්ටුවෙ තිබ්බ ඔරිජිනල් ලෙදර් බඩුම විකුණන සාප්පුවක්. එතනිං මම ඔය බෑග් එක ගත්තෙ මට මතක විදිහට රුපියල් අටසීයකටද කොහෙද... අනූව අනූඑක වගෙ කාලෙ රුපියල් අටසීයක් කියන්නෙ සෑහෙන ගානක්. 

ඒ බෑග් එක ඇවිල්ල බෙරගෙඩි මොඩල්. ඒ කිව්වෙ බෑග් එකේ හැඩේ බෙරගෙඩියක් වගෙ.මගෙ බෑග් එක හොඳට පදම් කරපු මීහරක් හමක්. ඕකට අපේ එවුං මීහරකා කියන්නෙ ඒ හින්ද.එහෙම කිව්වට මගෙ ඔය බෑග් එක එවුං අතර හරි ජනප්‍රියයි.සමහරවෙලාව මට ගෙදර යන්ට ඕන උනහම කෑම්ප් එක පුරාම බෑග් එක හොය හොය යන්ට වෙනව.

"වොෂ් එකකුත් දාගෙනම එන්නං…" මම එහෙම කියල ඇතුලට ගියා.

අපි නෑවෙ කරේ කාරිය චමරිය එහා පැත්තෙ තිබ්බ දාර ටැංකි පතේකිං...ඒක වටේට දෙකේ හතරෙ ලී හිටවල ඇස්බැස්ටස් තහඩු වට කරල තිබ්බ.අපෙ චමරියෙ කාමර අටක් තිබ්බ. කාමරේකට දෙන්න ගානෙ ඔක්කොම දාසයකට ඉන්න පුලුවන් උපරිම. ඒත් බොහෝවිට හිටියෙ දහයක් දොළහක් වගෙ තමයි. ඔය ඉන්න දහය දොළහම එක විඩේ නාන්ට ආවත් අර ටැංකි රාජයගෙ වටේට ඉඳගෙන නෑ හැකි. 

රෑ පානෙ නම් අපි බොහෝවිට ඔතන නෑවෙ අමු නිරුවතින් නොහොත් ඔක්ස්ෆර්ඩ් බාත්. එහෙම නානවට කියන්නෙ ඔක්ස්ෆර්ඩ් බාත් එකක් දානව කියල. එහෙම එකිනෙකාගෙ නිරුවත එපාවෙන සයිස් එකට දැකල තිබ්බ හින්දම ඔය සරං කැඩිලි වගෙ දෙකේ පන්තියෙ වැඩ එහෙම එච්චරම කෙරුනෙ නෑ අපෙ චමරියෙ.

රයිට් ඉතිං වොෂ් එකකුත් කාරිය දාගෙන ෂෝටකටත් මාරුවෙලා මම ඇවිල්ල ඉඳගත්ත සබාවෙ. 

"ගනිං ගනිං ඩබල් එකේ.." නිමලෙ බෝතලේ මා දිහාට තල්ලු කලා."අපිටනං ඇතිත් වගේ."

"මොකද බං මේ ආතල් එක?" මම බෝතලේ අතට ගන්න අතරෙ ඇහුව.

"නෑ බං නමයට වගෙ වහින්ට ගත්තෙ. ඒ වෙලාවෙ ඉඳල චුරු චුරුව. ඉතිං සයිට් වලත් වැඩ නවත්තල. අපි ඔක්කොමල කලින්ම ආපහු ආව. ආය හවසත් වැඩක් නැති එකේ කරුවට කියල ක්ලබ් එක ඇරවගෙන බෝතල් දෙක තුනක් ගෙන්න ගත්ත."

ඒ දවස්වල අපෙ ක්ලබ් එක කලේ කරුවා. ඌට සත්තම දැම්මම ඕන වෙලාවක ක්ලබ් එක ඇරවගත්තෑකි.

දෙකක් ලඟ ලඟ නවාගෙන පොඩ්ඩක් රිලැක්ස් වෙනකොට තමයි මට මතක් වුනේ අපේ මෑණියෝ දවල්ට කන්ට කියල බැඳල දුන්නු බත්මුල. අර මම කිව්වෙ මේ දවස්වල හිටු කියල හච්චිං යනව කියල . අන්න එයා තමයි. චමරියෙ බත් තියනව කියල කොච්චර එපා කිව්වත් අම්ම බත් එකක් බැඳල දෙනවමයි. කාමරේට ගිහිල්ල බත් එක අරගෙන මම ගියා කුස්සියට. අපේ ගෝලයා නොහොත් සූපවේදියා අප්පුහාමි හිටිය කුස්සියෙ. 

"අප්පුහාමි කෑවද?"

"තාම නෑ මහත්තය.."

"මට බත් තියනවනෙ? "

"අපොයි ඔව්..මහත්තය අද එනව කියල මට කියලනෙ ගියෙ..අනික මදිවගේ නං හාල් ටිකක් තියන එක මහ දෙයක්ය?"

"හරි එහෙනං මේ බත් එක ගෙදරින් බැඳල දුන්නු එක. අප්පුහාමි කන්න ඕනනං.."

අප්පුහාමිත් එක්ක ඔහොම පොඩි චැටක් දාගෙන ඉද්දි මට ඇහෙනව සාලෙ අපෙ කට්ටිය කතාවෙනව.. මචං මාර වැඩේ ඒක නේද?......ෂික් ඒකනෙ හිතන්නත් බෑ....... ඔහොම තමං අනිවාර්යයෙන් ඊලඟ මොහොතෙ ඇඟේ කෑලිවත් හොයාගන්ට බැරිවෙන විදිහට සීසීකඩ විසිවෙලා මැරෙනව කියල සහසුද්දෙන්ම දැන දැනම කොහොමද බං ඔය බට්න් එක ප්‍රෙස් කරගන්නෙ? මට නම් හිතාගන්න වත් බෑ......

ඈ? මේ මොකක් ගැනද මෙවුං මේ කතා වෙන්නෙ?..මම කුස්සියෙ ඉඳලම කන්දිහෑව්ව. මාව අන්දන්ට මොකක් හරි අන්ඩරයක් දෙනව වද්ද? එහෙමත් බැරි පුතයල නෙවෙයි..හෙහ්,හෙහ්..මාත් එහෙම අනන්ත කරල තියනවනෙ..ඒත් මේක එහෙම එකක් නෙවෙයි වගෙ මීටර් වෙන්නෙ කතාකරන ස්වරයෙං... 

"පව් අප්ප. අනිවාර්යයෙන් මේ පාර අගමැති වෙන එකත් වෙන්ට හිටපු මනුස්සය.." අජිතය එහෙමත් කිව්ව. 

මට තවත් ඉවසං ඉන්ටම බැරිවුනා, "ඒයි කවුරු ගැනද බොලා ඔය කතා කරන්නෙ?" එහෙම අහගෙනම මම සාලෙට ගිහිල්ල සබාවට එකවුනා. 

උං ඔක්කොම කතාවල් නවත්තල හැරිල මගෙ මූණ දිහා බලා හිටිය මූණෙ බ්ලූඑකක් පෙන්නන ගානෙ. ඊට පස්සෙ එක එකාගෙ මූණු දිහා බලන්ට ගත්ත අර කිරි කාපු රිලව් වගෙ. 

"මොකද බොලව්? අර මොක්කුද වගෙ එකා එකා දිහා බලාගෙන ඉන්නෙ?කවුරු ගැනද උඹල මේ කතා කරන්නෙ?" මම ආයෙම ඇහුව.

"ඊට කලිං කියපං උඹ මේ පහුගිය දවස් ටිකේ ගිහිල්ල හිටියෙ ගෙදරද එහෙම නැත්තං?………."

"ගෙදර තමයි බං නැතුව ආය වෙන කොහෙද?" 

"මේ XXXX ගෙදර පිළිමතලාවෙය කිව්වට මූ ඉන්නෙ අම්පෙගම දිහාද කොහෙද…" තව එකෙක් එහෙම කිව්ව. 

දැං ඔය බොහොම පිටිසර පළාතක් කියල අඟවන්න කියන්නෙ "කොහෙද බං ඒ කොට්ටුකච්චිය දිහාවෙද?" කියල..ඒ වගෙ ඒ කාලෙ අපි කිව්වෙ අම්පෙගම දිහාවෙ කියල. කොහොම හැදිච්චි කතාවක්ද නම් අනේ මන්ද. මම දන්න විදිහට අම්පෙගම තියෙන්නෙ ගාල්ලෙ බද්දේගම පැත්තෙ. සමහරවිට ඒ පැත්තෙ පිටිසරම පලාතක් වෙන්න ඇති. තව ඔයිට පස්සෙ කාලෙක භාවිතාවට ආව ගිලීමලේ දිහාවෙ කියලත් හද්ද පිටිසරක්ය කියල හඳුන්වන්න.

"මේ මම ගියේ ගෙදර..මේ දවස්වල අපේ රේඩියෝ එක කැඩිල. උඹල දන්නවනෙ අපේ ගෙදර ලයිට් නෑ.ඉතිං ටී.වී, එකක් තිබ්බට ඒක වැඩ නෑ. අනික පහුගිය දවස් ටිකේම අර ගෙදරට ලයිට් ගන්න ප්‍රශ්නෙට එහෙ මෙහෙ දුවපු හින්ද පත්තරයක්වත් බලන්ට වුනේ නෑ. දැන් ඇතිනෙ නිදහසට කරුණු ඉදිරිපත් කිරීම.දැං ඉතිං කියාපල්ල මොකද වෙලා තියෙන්නෙ කියල."

"හරි හරි කාම් ඩවුන් කාම් ඩවුන්.." නිමලෙ කිව්ව. "රජීව් ගාන්ධිව මරල බං.."

"හුටා ඒ කවද්ද?"

"දැං දවස් තුන හතරකට වගෙ කලිං...."

"කොහොමද මරල තියෙන්නෙ? වෙඩි තියලද?" රජීව්ගෙ අම්ම ඉන්දිරා ගාන්ධිව මැරුවෙ එයාගෙම ආරක්ෂක භටයො දෙන්නෙක් වෙඩි තියල. ඒ දෙන්න සික් කට්ටිය. 

"නෑ බං කෙල්ලෙක් බඩේ බෝම්බයක් බැඳගෙන ඇවිල්ල රජීව්ට වඳින්ට වගෙ පාත් වෙලා බෝම්බෙ පුපුරවාගෙන.."

"නෑහ්?... අම්මප..ෂිහ්..විස්වාස කරන්ටත් බෑ..කවුද කොටිද කරල තියෙන්නෙ? "

"තවම ස්ථිරවම හොයාගෙන නෑ. ඒත් අනිවාර්යයෙන් කොටි වෙන්න ඕන ….කවුද වෙන ඔහොම දෙයක් කරන්නෙ?"

ඉතිං මම අර කලින් ලියාපු ප්‍රවේශ කතාවෙදි කිව්වෙ මම මේ ලියන්න යන්නෙ වෙන දෙයක් ගැනය කියල. ඒක තමයි මේ රජීව් ගාන්ධි ඝාතනය. පහුගිය මැයි 21 වෙනිදට රජීව් මරල අවුරුදු 25 පිරෙනව. විවාහයක් වගෙ සතුටු දායක සිද්ධියක නම් අවුරුදු 25 පිරෙන එක හඳුන්වන්නෙ රිදී ජුබිලිය නොහොත් රජත ජයන්තිය කියල. රජත කියන්නෙ රිදී.රජතමය කියන්නෙ රිදියෙන් නිමකල කියන එක.ඒ වගෙ අවුරුදු පණහට කියන්නෙ ස්වර්ණ ජයන්තිය. හැටට වජ්‍ර ජයන්තිය.

රජීව් ඝාතනය කියන්නෙ කොටි සංවිධානෙ ඉරණම ඒ වගේම ඒ අනුසාරයෙන් අපේ රටේ ඉතිහාසය වෙනස් කල සංධිස්ථානයක් කියල බොහොම දේශපාලන විශ්ලේෂකයො සලකනව. රජීව් ගාන්ධි ඝාතනය කොටි සංවිධානයට වෙච්චි බරපතල ක්‍රමෝපායික වැරදීමක් කියල කොටින්ගෙ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් පිළිගත්ත 2002 අවුරුද්දෙ රනිල්ගෙ ආණ්ඩුව එක්ක අත්සන් කරපු සාම ගිවිසුමෙන් පස්සෙ කිලිනොච්චියෙද කොහෙද තිබ්බ පුවත් පත් සාකච්ඡාවකදි.

"It was a tragic incident. ...A tactical miscalculation…. it shouldn't have happened ever" ඔය වචන නැත්නම් ඔයිට බොහොම සමාන වචන තමයි ඒ වෙලාවෙ බාලසිංහම් ගොයිය පාවිච්චි කලේ.

රජීව් මැරුවෙ 1991 මැයි මාසෙ මැද. ඊට හරියටම අවුරුදු දහ අටකට පස්සෙ, 2009 අවුරුද්දෙ මැයි මාසෙ මැද නන්දිකඩාල් කලපුව අද්දර අවසන් ගමන් යන්නට ප්‍රභාරකන්ට සිද්ද වුනේ රජීව් ඝාතනයට අණ දුන්නු නිසාම කියල කියන්ට බැරිවුනත් ඒ තීරණය ප්‍රභාගෙ මරණයට විශාල බලපෑමක් කලා කියල කියන්ට නම් පුලුවන්. එදා ශ්‍රී පෙරුම්බුදූර්වලදි ධනූ රජීව්ගෙ පාද ස්පර්ශකරන්ට නැවෙන ගමන් බඩ මැද සවිකරල තිබ්බ බෝම්බෙ පුපුරවන්ට බොත්තම ඔබන කොටම නන්දිකඩාල් කලපුව අසල අවසන් ගමන් යන්ට ප්‍රභාකරන්ගෙ ඉරණමත් තීන්දු කලාය කියල කියන්ටත් එක අතකට බැරිකමකුත් නම් නෑ.

රජීව්ගේ අවසන් මොහොත - කැමරාවට පිටුපා කොළ සහ තැඹිලි පැහැති ඇඳුමකින් සැරසී හිසෙහි මල් පැළඳ සිටිනුයේ ස්වඝාතක මිනිස් බෝම්බය වූ ධනූය. Google Images

මගේ විශ්වාසය අනුව රජීව් ඝාතනය නොවෙන්ට ඉන්දියාව කවදාවත් ප්‍රභාකරන්ව පරාජය කරන්ට ආණ්ඩුවට ඉඩ දෙන එකක් නෑ. එහෙම එකහෙලාම අදහසක් ප්‍රකාශ කරන එක එක අතකට වැරදියි. එක අතකට නෙවෙයි හැම අතින්ම වැරදියි. මොකද ජාත්‍යන්තර දේශපාලනයෙ තීන්දු තීරණ ගන්නෙ එක කාරණයක් සලකල බලල නෙවෙයි. නොයෙක් සාධක ගැන හිතල බලල, ඒ අවස්ථාවෙ බලපැවැත්වෙන තත්ව ගැනත් හිතල බලල, ඒ එක්කම ඉදිරියට තමන්ට වැඩි වාසියක් වෙන්න පුලුවන් කොහොමද කියලත් හොඳට හිතලයි යම් තීරණයක් ගන්නෙ. අන්න ඒ හින්දයි ජාත්‍යන්තර දේශපාලනයෙ සදාකාලික හතුරන් හෝ මිතුරන් නැත කියල කියන්නෙ. (එහෙම නැතුව බලහත්කාර තීන්දුත් තියනව. ගන්බෝට් ඩිප්ලොමසි කියල එකකුත් තියනවනෙ..නැද්ද...හා.?)

2009 අවුරුද්දෙ මහින්දට වුනේ සියලු ජාත්‍යන්තර සාධක මහින්දගෙ වාසියට කරකැවුන එක. මහින්ද ඒකෙන් උපරිම ප්‍රයෝජන ගත්ත. සෙස්ස ඉතිහාසයයි...හෙහ්,හෙහ්, 

ඉතිං මම අර ප්‍රවේශ කතාවක් එහෙම කියල පටන්ගත්තෙ මේ රජීව් ඝාතනය ගැන කියන්ට. මදැයි ඒ කතාව ඉවරයක් කරන්ට ගිය කලක්...නැද්ද? 

ආ..ඒ එක්කම පොඩි පසු කතාවකුත් කියන්ට තියනව. මම කලින් කිව්වනෙ ස්ටීවන් කිං ගැන. මගෙ ප්‍රියතම ලේඛකයෙක්ය කියල. ඒ වගේම තවත් මගෙ ප්‍රියතම ලේඛකයෙක් තමයි ෆ්‍රෙඩ්රික් ෆෝසයිත්. ෆෝසයිත් 1989 අවුරුද්දෙ ලිව්ව පොතක් "The Negotiator" කියල. මධුර කියන විදිහටනම් "සහසංධිකයා" හරි සහසංධිකයා හරි සන්ධිපාදිකයා හරි මොකක් හරි මට කියන්ට ඕනම තියෙන්නෙ මෙච්චරයි.

රජීව් ඝාතනය දවස්වල වාර්තා පලවුනා රජීව් ඝාතනයේ සැළසුම්කරු නැත්නම් අද පත්තරකාරයින්ගෙ බාසාවෙන් කියනව නම් මහ මොළකරු එකැස් සිවරාසන් (සිවරාසන්ගෙ එක ඇහැක් සටනකදි හානිවෙලා ඉවත් කරල ඒ වෙනුවට මනුස්සය බොරු ඇහැක් දාගෙනයි ඉඳල තියෙන්නෙ) ෆෝසයිත් ලෝලියෙක්ය, මිනිහගෙ නවාතැනේ තිබිල ෆෝසයිත්ගෙ පොත් බර ගනනක් හොයාගත්තය කියල.

ඒ අතර අර මම කලින් කියපු "The Negotiator" පොතත් තිබිල තියනව. ඒකෙ කතාවෙ තියනව ඉණ වටා බැඳපු පුපුරණ ද්‍රව්‍ය අඩංගු බඳ පටියක් පුපුරවල අමරිකන් ජනාධිපතිගෙ පුත්‍රයාව මරා දමන අවස්ථාවක්.

Google Images

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...