Friday, June 3, 2016

418. ටොම් ගෝඩ්න්ට පෙම්කල දැරිය සහ එක්තරා ඝාතනයක් ගැන කතාවක්.

මම අර පහුගිය බ්‍රහස්පතින්ද ලියාපු ප්‍රවේශ කතාව මතකයි නේද? ඒකෙ කියන්ට ආපු කතාව පහුවදා දිහාට ලියල දාන්නම්ය කියල හිතාඋන්නට අර වැස්සට කලින් කැම්පස් ගිය මහත්තුරු ගැන ලියන්ටම උන හින්ද ඒක අතපහුවුනා. ඒක ලියල මට උනේ ඉල්ලං කෑව වගෙ වැඩක්. කතා බාගෙට ලියල පාඨකයො අමාරුවෙ දානවය, ඒක පාඨක වදය කියල අර්ථ දක්වන්ට පුලුවන්ය කියල හතර අතිං චෝදනා එන්ට ගනිපි. හොඳක් කරන්ට ගියෝතිං මට පාත්වෙන්නෙ ඔය වගෙ මරාලම තමයි. අර හිත හොඳ කොන්දොස්තරට උනා වගෙ.

ඔන්න දවසක් බස් එක පිටිපස්සට වෙලා වයස අටක වගෙ පොඩි එකෙක් අඬ අඬ ඉන්නවලු. ඒ පාර කොන්දොස්තර ඇහුවලු "මොකද බබා අඬන්නෙ?" කියල. 

"ඉහි ඉහි බස් එකේ යන්ට කියල ගෙදරිං දුන්නු රුපියල් දෙක නැතිවුනා" කොල්ල අඬ අඬම කිව්වලු. 

කොන්දොස්තරගෙ පපුව උණු වුනා හෝස්ගාල. "හා..හා..හරි නාඬ ඉන්නකො. කීයද ඔයාගෙ ටිකට් එකේ ගාණ?" මිනිහ ඇහුව පොඩි එකාගෙන් 

"සත පණහයි.." කොල්ල කිව්ව.

"හරි හරි යමු බස් එකේ මට සල්ලි ඕන නෑ" කොන්දොස්තර කිව්වලු. කොල්ලත් බොහොම සන්තෝසෙං බස් එකට නැඟල ඉඳ ගත්තලු.

ඔන්න ටික දුරක් යනකොට කොලුව ආයම අඬන්ට ගත්තලු. "ඇයි මොකද බබා ආයම අඬන්නෙ?" කොන්දොස්තර ඇහුවලු. 

"කෝ මගෙ රුපියල් දෙකේ ඉතුරු?" කොලුව ඉකි ගගහ ඇහුවලු.

ඔය මට වෙච්චි සන්තෑසිය විස්තර කරන්ට මෙහෙම උපහැරණෙකුත් නම් තියනව හෙහ්,හෙහ්, "නැති බැරි කමට XXX XXXXX ණයට XXXX XX XXXX වගේ."

අරූ ගොයිය මාව සමාන කරල තිබ්බ එන එන කාර්වල බොනට් එක ඇරල මොනවහරි කෑල්ලක් ගලවල ඉනික්බිති ඒ ගැන වගේ වගක් නැතුව එතනම තියන අඹ ගහ යට බංකුවක ඉඳගෙන පත්තරේ බලන ගැරිජ් බාසෙකුට...හෙහ්...හෙහ්...යස අපූරු උදාහරණෙ...අම්මප ඔව්.

පත්තර කියවනව කිව්වම මතක් වුනේ.....පහුගිය සතියෙ හොඳ පොතක් හම්බවෙලා කියෙව්ව. මගෙ ප්‍රියතම ලේඛකයෙක් ස්ටීවන් කිං. පොතේ නම "The Girl Who Loved Tom Gordon" සිංහලෙන් නම් "ටොම් ගෝඩ්න්ට පෙම්කල දැරිය" යුවතිය කියල කියන්ට බෑ මොකද මේ පොතේ ඉන්න ගෑණු ළමයට වයස නමයයි. කතාව පටන් ගන්නෙ මෙහෙමයි. 

Google Images

අප ජීවත්වන මේ ලෝකයට ඉතා තියුණු දත් ඇත. බොහෝවිට අපට නොපෙනී සැඟව ඇති මේ දත් යොදාගෙන අප සිහිනෙනුදු අපේක්ෂා නොකරන විටෙක ලෝකය අප සපාකනු ඇත.ට්‍රීෂා මැක්ෆාර්ලන්ඩ් මේ කටුක සත්‍යය වටහාගන්නා විට ඇගේ වයස යන්තමට වසර නවයකි. 

එක්තරා ජූනි මසක පළමු සතියේ දිනෙක උදෑසන දහය පසුවන විට ඇය සිටියේ ඇගේ මවගේ ඩොජ් කැරවන් වෑන් රථයේ පසුපස ආසනයේ සැපපහසුව වැතිර ගෙනය. බොස්ටන් රෙඩ් සොක්ස් බේස්බෝල් කණ්ඩායමේ නිල් පැහැති ජර්සියක් හැඳ සිටි ඇය තම ප්‍රියතම බෝනික්කා වූ මෝනා සුරතල් කරමින් පසුවූවාය. ඈ හැඳ සිටි ජර්සිය පසුපස 36 ගෝඩ්න් යනුවෙන් ලියා තිබිණි. 36 යනු ඇගේ ප්‍රියතම බේස්බෝල් ක්‍රීඩකයාවූ ටොම් ගෝඩ්න්ගේ ක්‍රීඩා අංකයයි.

ඒ පෙරවරු දහයේ කණිසම පසුවෙද්දීය. පෙරවරු දහය පසුවී මිනිත්තු තිහක් ගතවන විට ඇය මහ වනය මධ්‍යයේ මංමුලාවී සිටියාය.පෙරවරු එකොළහ වනවි ඇය පසුවූයේ භීතියෙන් මුසපත් නොවීමට උත්සාහ දරමිනි. තත්වය ඉතාම භයානක යයි නොසිතන්නට උත්සාහ දරමිනි. සියලු බලාපොරොත්තු අත්හැරගත යුතුයැයි නොසිතන්නට උත්සාහ දරමිනි.වනයක අතරමංවූවන්ට සමහරවිට දරුණු අනතුරු වලට මුහුණ දීමට සිදුවන බව නොසිතන්නට උත්සාහ දරමිනි. සමහරවිට එසේ අතරමං වූවෝ මියයති.

"මේ ඔක්කොම වුනේ මට මුත්‍රා කරන්නට ඕන වුනු නිසා" ඇය පසුතැවුණාය. ඇත්ත වශයෙන්ම ඇයට මුත්‍රා කීරිමට එතරම් දරුණු අවශ්‍යතාවයක් නොතිබිණි. කෙසේ වුවද ඇයට මව සහ පීට් අමතා ඇය ගසක් පසුපස මුවාවී මුත්‍රාකොට පැමිණෙන තෙක් මිනිත්තුවක් පොරොත්තු වන ලෙස පැවසිය හැකිව තිබුණු බව නිසැකය. එහෙත් ඔවුන් දෙදෙන නිරතුරු පසුවූයේ කළහකරගනිමිනි. සුපුරුදු පරිදි දරුණු ලෙස කළහ කරගනිමිනි. ඔවුන්ගේ එකිනෙකා වෙත දමා ගසන කටුක වදන් තවත් ඉවසිය නොහැකිවූ කල ඇය නිහඬවම පියවරින් පියවර පසුබාමින් ඔවුන්ට ඉදිරියට යන්නට ඉඩ දුන්නාය. ඉදින් මුත්‍රා කිරීමට දැඩි අවශ්යතාවක් නොතිබුණේ වුවද ඇය ඔවුන් ගමන් කරමින් සිටි මහ වන මැදින් වැටුනු පෙත්මඟෙන් ඉවත්ව ඒ ඒ අසලමවූ සරුවට වැඩුණු පඳුරු ගොන්නක් පසුපසට වූවාය.

අප්පටසිරි ගජ...අමතකම වුනා..දයාබර පාටකයො මගෙ මව් තුමියගෙ....හෙහ්..හෙහ්...රෑ වෙලා අම්මට කතා කරනකොට මතක ඇතුව අහන්ට ඕන "අද අම්මට කිඹුහුං එහෙම ගියාද වැඩිපුර?" කියල....හෙහ්...හෙහ්... මට නිකං ඇහෙනව ඇහෙනව වගෙ අරූ දත්මිටි කනව.....ජරස් බරස් ජරස් බරස්...."යකෝ..කොච්චර කිව්වත් අර බීරි අලියට බටනලා ගහනව වගේනේ...මූ කියන දෙයක් කණකට ගන්නෙ නැති හැටියක් අම්මප...ඒ පාර ආයම වෙනිං කාර් එකක බොනට් එක ඇරිය නේද? දෙයියම්පල්ල මට නැති හැටියක් තිහේ යතුරකිං කෙළල ඇරල වත් මුගෙ තට්ටෙ පලන්ට......"සුටු පුටු ගගා කට ඇතුලෙං එහෙමත් කියනව ෂොට් එකක් දාගන්න ගමං..හෙහ්,හෙහ්

හරි හරි කෙදිනක හෝ ස්ටීවන් කිංගෙ පොතක් පරිවර්තනය කරන්ට මගෙ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියනව කියල විතරක් කියල ආපහු යමු අර කතාවට.

උපුටනය / ඇත්තටම ඒ වෙනකොට අම්මයි, අප්පච්චියි විතරයි ගෙදර හිටියෙ. නංගිල දෙන්න කොළඹ, මම අරෙහෙ වැඩ. මම ගෙදර එන්නෙ මාසෙකට සැරයක්. නංගිලා සති දෙකට වගෙ සැරයක්. කොහොම හරි අන්තිමට අම්ම කියපු විදිහටයි වැඩේ කෙරුනෙ. ඉතිං වෙනද ගෙදර ආහම මම නුවර පැත්තෙ රවුමක් දාල කාසල් එකෙං බියර් එකකුත් ගහල විජිත යාපා එකෙං පොත් දෙකතුනකුත් අරගෙන පත්තර කැටියකුත් කිහිලි ගහගෙන තමයි ගෙදර එන්නෙ. මෙදාපාර මේ පොයියංගමට හිරවුනු හින්ද අර සී.ඊ.බී. එකට ගිය ගමනක්ද දෙකක්ද ඇරෙන්න මම ගෙදරමයි හිටියෙ. ගෙදර රේඩියෝ එකත් කැඩිල. ප්‍රවෘත්තියක්වත් අහගන්ට තිබ්බෙ නෑ. ඉතිං නිවාඩු ඉවරවෙලා මම ආපහු වැඩටත් ගියාය කියමුකො....හොඳද? /උපුටනයේ නිමාව

එදා ආපහු වැඩට යද්දි හබරණ පහුවෙනකොටම යන්තමට පටන් ගත්ත පොදේ මින්නේරිය දිහාට කිට්ටු කරනකොට මොර හීරිල්ල කොයිහැටි වෙතා බස් එකේ ජනේලෙ බීඩිං පටිය අස්සෙං කලුම කලු පාට වතුර ඇතුලට ගහන තරමට දරුණු වෙලා. ඉතිං මක් කරන්නද? කියවන්ට ගත්තු පත්තරේ දෙකට තුනට නවල ජනෙල් වීදුරුව අස්සෙ ගැහැව්ව කදුරුවෙලට යනකොට කොයිමක් කරල හරි නාගන්නෙ නාන්නෙ නැතුව යාගන්ට තිබ්බ නං ඒකත් ලොකු දෙයක් කියල හිතල.

හෙහ්..කිව්වම මොකද? එදා ඒ පත්තර ගැහිල්ලට ගිහිල්ල තව පොඩ්ඩෙං මහ ජංජාලයක් වෙන්නෙ.තව පොඩ්ඩෙං වැස්සෙන් නෙවෙයි නාගන්ට වෙන්නෙ....නුවර ඉස්ටේසන් එක පාරෙ තියනව රේල් පාරත් එක්ක අල්ලල එක දිගට පත්තර කඩ. එව්වයෙ ඔය කාලෙ තිබ්බ අර මේ පුංචි පත්තර කියන්නෙ අන්න එව්ව.නව සරණ තමයි ඔව්වයිං පොඩ්ඩක් හරි කියවන්ට දෙයක් තිබ්බ පත්තරේ. ඉතිං ගෙදර ගිහිල්ල එන එවුං අනිවාර්යයෙන් ඔව්වයිං එක පත්තරයක් හරි ගේන්නම ඕන.නැත්තං ඌව මරාගෙන කනව අනික් එවුං.

මට උනේ මොකද්ද දන්නවය? ජනේලෙං එක විඩේම වතුර එන්ට ගත්තම දනි පනිගාල බිම තිබ්බ ට්‍රැවලිං බෑග් එක ඇරල හදිස්සියට ගත්තෙ අර පුංචි පත්තරේ, ජනේලෙට තියල හිරකරන්ට යද්දි තමයි දැක්කෙ අප්පට සිරි..." අතිධාවන කම් සැපත මහණකමට යොමුවීද?" කියල දොඹගෙඩි හා සමාන අකුරිං සිරස්තලේ තියනව. ඒ යට අඩ නිරුවත් කාන්තා ඡායාරූපයක්.. 

ටේබල් ෆෑන් එක ෆුල් රොටේෂන් මෝඩ් එකට දැම්ම වගෙ ඔලුව කරවල බැලුව අංශක දෙසිය හැත්තෑවක්.. ම්හු..මගෙ වෙලාව හොඳයි කියන්නෙ අහල පහල ඔක්කොමල නිදි දෙව්දුව එක්ක ඔළිඳ කෙළියෙ යෙදෙනව.ඔළිඳ කිව්වම මතක් වුනේ..එක්කොත් ඕන නෑ ආය..අම්මය කියල ඔය හැටි කිඹුහුං ඇරියැහැක නැද්ද? අනික අරූගෙ දත් කුට්ටම ගෙවිල යනව මම දන්නව විදුරු මහ දක්වාම දත්මිටි කාලම.

ඒ පාර හෙමීට මට නෙවෙයි වගෙ පුංචි පත්තරේ ආපහු බෑග් එකට දාල ලංකාදීපෙ හරි මොකක් හරි තිබ්බ පත්තරයක් නවල ජනේලෙට හිරකලා.

කදුරුවෙලිං මඩකළපු බස් එහෙක (මඩකළපු කිව්වම තව කතාවක් මතක් වුනා..ඒක අහලත් ඇති මහිතේ. කොහොමද ඩොක්ටර් අංපාර? අන්න ඒ කතාව.හරි ඒකත් වෙන දවසක) නැඟල වැලිකන්දෙන් බහිනකොට දොළහමාරට වගෙ ඇති. වැස්ස ගැන බය වෙන්ට දෙයක් නෑ මගෙ ට්‍රැවලිං බෑග් එකේ කොයි වෙලෙත් ටෝච් බෑයකුයි කුඩේකුයි නැතිවෙන්නෙම නෑ. ඔය කාලෙ මා ලඟ තිබ්බෙ අර හාමුදුරුවරු පාවිච්චි කරන්නෙ හොකී පිත්ත වගෙ මිට රවුං කුඩ. අන්න එව්වගෙ කඩන්ට පුලුවන් මොඩල් එකේ එකක්. 

ඕකත් ඉහලගෙන මම හෙමීට ආව අපෙ චමරියට. කිට්ටුවෙනකොටම මට ඇහුන සද්දෙ....ඔහොම සද්ද බද්ද පාරටම ඇහෙන්නෙ ආය ඉතිං කියන්ට දෙයක් නෑ.මාත් ඒ ගමන අඩිය ඉක්මන් කරල ගිහිල්ල පඩි තුන හතර නැඟල චමරියට ගොඩ වුනා. අපේ චමරිය ඉස්සරහ ඔය දවස්වල වවල තිබ්බ කොට්ට ගස් හත අටක්. ඔය කොට්ට ගස් හින්ද දඩ පෑවිල්ලෙ උනත් පුදුම සිසිලසක් තියෙන්නෙ. මඟදිම කුඩේ බාගත්ත හින්ද කොට්ට ගස් අස්සෙං යද්දි මාව හොඳටම නෑවුනා.

"ආ..වරෙං වරෙං අපි මේ උඹ පරක්කු මොකද කියල බල බල තමයි හිටියෙ." එහෙම කියල කෑ ගහල මාව පිළිගත්තෙ අජිතය. "නුවරටත් වහිනවද බං?"

"නෑ මම එනකොටනම් එහෙම ළකුණක්වත් තිබ්බෙ නෑ..මෙන්න මේ හබරණ හරියෙන්නෙ වැස්ස පටං ගත්තෙ."

"හරි හරි ගිහිල්ල ඔය මීහරකා කාමරෙං තියල සරමක් එහෙම දාගෙන වරෙංකො විස්තර කතා කරන්ට" 

ඒ මීහරකා කියල කිව්වෙ මගෙ ලෙදර් ට්‍රැවලිං බෑග් එකට. ඒ දවස්වල නුවර මාකට් එකේ උඩ තට්ටුවෙ තිබ්බ ඔරිජිනල් ලෙදර් බඩුම විකුණන සාප්පුවක්. එතනිං මම ඔය බෑග් එක ගත්තෙ මට මතක විදිහට රුපියල් අටසීයකටද කොහෙද... අනූව අනූඑක වගෙ කාලෙ රුපියල් අටසීයක් කියන්නෙ සෑහෙන ගානක්. 

ඒ බෑග් එක ඇවිල්ල බෙරගෙඩි මොඩල්. ඒ කිව්වෙ බෑග් එකේ හැඩේ බෙරගෙඩියක් වගෙ.මගෙ බෑග් එක හොඳට පදම් කරපු මීහරක් හමක්. ඕකට අපේ එවුං මීහරකා කියන්නෙ ඒ හින්ද.එහෙම කිව්වට මගෙ ඔය බෑග් එක එවුං අතර හරි ජනප්‍රියයි.සමහරවෙලාව මට ගෙදර යන්ට ඕන උනහම කෑම්ප් එක පුරාම බෑග් එක හොය හොය යන්ට වෙනව.

"වොෂ් එකකුත් දාගෙනම එන්නං…" මම එහෙම කියල ඇතුලට ගියා.

අපි නෑවෙ කරේ කාරිය චමරිය එහා පැත්තෙ තිබ්බ දාර ටැංකි පතේකිං...ඒක වටේට දෙකේ හතරෙ ලී හිටවල ඇස්බැස්ටස් තහඩු වට කරල තිබ්බ.අපෙ චමරියෙ කාමර අටක් තිබ්බ. කාමරේකට දෙන්න ගානෙ ඔක්කොම දාසයකට ඉන්න පුලුවන් උපරිම. ඒත් බොහෝවිට හිටියෙ දහයක් දොළහක් වගෙ තමයි. ඔය ඉන්න දහය දොළහම එක විඩේ නාන්ට ආවත් අර ටැංකි රාජයගෙ වටේට ඉඳගෙන නෑ හැකි. 

රෑ පානෙ නම් අපි බොහෝවිට ඔතන නෑවෙ අමු නිරුවතින් නොහොත් ඔක්ස්ෆර්ඩ් බාත්. එහෙම නානවට කියන්නෙ ඔක්ස්ෆර්ඩ් බාත් එකක් දානව කියල. එහෙම එකිනෙකාගෙ නිරුවත එපාවෙන සයිස් එකට දැකල තිබ්බ හින්දම ඔය සරං කැඩිලි වගෙ දෙකේ පන්තියෙ වැඩ එහෙම එච්චරම කෙරුනෙ නෑ අපෙ චමරියෙ.

රයිට් ඉතිං වොෂ් එකකුත් කාරිය දාගෙන ෂෝටකටත් මාරුවෙලා මම ඇවිල්ල ඉඳගත්ත සබාවෙ. 

"ගනිං ගනිං ඩබල් එකේ.." නිමලෙ බෝතලේ මා දිහාට තල්ලු කලා."අපිටනං ඇතිත් වගේ."

"මොකද බං මේ ආතල් එක?" මම බෝතලේ අතට ගන්න අතරෙ ඇහුව.

"නෑ බං නමයට වගෙ වහින්ට ගත්තෙ. ඒ වෙලාවෙ ඉඳල චුරු චුරුව. ඉතිං සයිට් වලත් වැඩ නවත්තල. අපි ඔක්කොමල කලින්ම ආපහු ආව. ආය හවසත් වැඩක් නැති එකේ කරුවට කියල ක්ලබ් එක ඇරවගෙන බෝතල් දෙක තුනක් ගෙන්න ගත්ත."

ඒ දවස්වල අපෙ ක්ලබ් එක කලේ කරුවා. ඌට සත්තම දැම්මම ඕන වෙලාවක ක්ලබ් එක ඇරවගත්තෑකි.

දෙකක් ලඟ ලඟ නවාගෙන පොඩ්ඩක් රිලැක්ස් වෙනකොට තමයි මට මතක් වුනේ අපේ මෑණියෝ දවල්ට කන්ට කියල බැඳල දුන්නු බත්මුල. අර මම කිව්වෙ මේ දවස්වල හිටු කියල හච්චිං යනව කියල . අන්න එයා තමයි. චමරියෙ බත් තියනව කියල කොච්චර එපා කිව්වත් අම්ම බත් එකක් බැඳල දෙනවමයි. කාමරේට ගිහිල්ල බත් එක අරගෙන මම ගියා කුස්සියට. අපේ ගෝලයා නොහොත් සූපවේදියා අප්පුහාමි හිටිය කුස්සියෙ. 

"අප්පුහාමි කෑවද?"

"තාම නෑ මහත්තය.."

"මට බත් තියනවනෙ? "

"අපොයි ඔව්..මහත්තය අද එනව කියල මට කියලනෙ ගියෙ..අනික මදිවගේ නං හාල් ටිකක් තියන එක මහ දෙයක්ය?"

"හරි එහෙනං මේ බත් එක ගෙදරින් බැඳල දුන්නු එක. අප්පුහාමි කන්න ඕනනං.."

අප්පුහාමිත් එක්ක ඔහොම පොඩි චැටක් දාගෙන ඉද්දි මට ඇහෙනව සාලෙ අපෙ කට්ටිය කතාවෙනව.. මචං මාර වැඩේ ඒක නේද?......ෂික් ඒකනෙ හිතන්නත් බෑ....... ඔහොම තමං අනිවාර්යයෙන් ඊලඟ මොහොතෙ ඇඟේ කෑලිවත් හොයාගන්ට බැරිවෙන විදිහට සීසීකඩ විසිවෙලා මැරෙනව කියල සහසුද්දෙන්ම දැන දැනම කොහොමද බං ඔය බට්න් එක ප්‍රෙස් කරගන්නෙ? මට නම් හිතාගන්න වත් බෑ......

ඈ? මේ මොකක් ගැනද මෙවුං මේ කතා වෙන්නෙ?..මම කුස්සියෙ ඉඳලම කන්දිහෑව්ව. මාව අන්දන්ට මොකක් හරි අන්ඩරයක් දෙනව වද්ද? එහෙමත් බැරි පුතයල නෙවෙයි..හෙහ්,හෙහ්..මාත් එහෙම අනන්ත කරල තියනවනෙ..ඒත් මේක එහෙම එකක් නෙවෙයි වගෙ මීටර් වෙන්නෙ කතාකරන ස්වරයෙං... 

"පව් අප්ප. අනිවාර්යයෙන් මේ පාර අගමැති වෙන එකත් වෙන්ට හිටපු මනුස්සය.." අජිතය එහෙමත් කිව්ව. 

මට තවත් ඉවසං ඉන්ටම බැරිවුනා, "ඒයි කවුරු ගැනද බොලා ඔය කතා කරන්නෙ?" එහෙම අහගෙනම මම සාලෙට ගිහිල්ල සබාවට එකවුනා. 

උං ඔක්කොම කතාවල් නවත්තල හැරිල මගෙ මූණ දිහා බලා හිටිය මූණෙ බ්ලූඑකක් පෙන්නන ගානෙ. ඊට පස්සෙ එක එකාගෙ මූණු දිහා බලන්ට ගත්ත අර කිරි කාපු රිලව් වගෙ. 

"මොකද බොලව්? අර මොක්කුද වගෙ එකා එකා දිහා බලාගෙන ඉන්නෙ?කවුරු ගැනද උඹල මේ කතා කරන්නෙ?" මම ආයෙම ඇහුව.

"ඊට කලිං කියපං උඹ මේ පහුගිය දවස් ටිකේ ගිහිල්ල හිටියෙ ගෙදරද එහෙම නැත්තං?………."

"ගෙදර තමයි බං නැතුව ආය වෙන කොහෙද?" 

"මේ XXXX ගෙදර පිළිමතලාවෙය කිව්වට මූ ඉන්නෙ අම්පෙගම දිහාද කොහෙද…" තව එකෙක් එහෙම කිව්ව. 

දැං ඔය බොහොම පිටිසර පළාතක් කියල අඟවන්න කියන්නෙ "කොහෙද බං ඒ කොට්ටුකච්චිය දිහාවෙද?" කියල..ඒ වගෙ ඒ කාලෙ අපි කිව්වෙ අම්පෙගම දිහාවෙ කියල. කොහොම හැදිච්චි කතාවක්ද නම් අනේ මන්ද. මම දන්න විදිහට අම්පෙගම තියෙන්නෙ ගාල්ලෙ බද්දේගම පැත්තෙ. සමහරවිට ඒ පැත්තෙ පිටිසරම පලාතක් වෙන්න ඇති. තව ඔයිට පස්සෙ කාලෙක භාවිතාවට ආව ගිලීමලේ දිහාවෙ කියලත් හද්ද පිටිසරක්ය කියල හඳුන්වන්න.

"මේ මම ගියේ ගෙදර..මේ දවස්වල අපේ රේඩියෝ එක කැඩිල. උඹල දන්නවනෙ අපේ ගෙදර ලයිට් නෑ.ඉතිං ටී.වී, එකක් තිබ්බට ඒක වැඩ නෑ. අනික පහුගිය දවස් ටිකේම අර ගෙදරට ලයිට් ගන්න ප්‍රශ්නෙට එහෙ මෙහෙ දුවපු හින්ද පත්තරයක්වත් බලන්ට වුනේ නෑ. දැන් ඇතිනෙ නිදහසට කරුණු ඉදිරිපත් කිරීම.දැං ඉතිං කියාපල්ල මොකද වෙලා තියෙන්නෙ කියල."

"හරි හරි කාම් ඩවුන් කාම් ඩවුන්.." නිමලෙ කිව්ව. "රජීව් ගාන්ධිව මරල බං.."

"හුටා ඒ කවද්ද?"

"දැං දවස් තුන හතරකට වගෙ කලිං...."

"කොහොමද මරල තියෙන්නෙ? වෙඩි තියලද?" රජීව්ගෙ අම්ම ඉන්දිරා ගාන්ධිව මැරුවෙ එයාගෙම ආරක්ෂක භටයො දෙන්නෙක් වෙඩි තියල. ඒ දෙන්න සික් කට්ටිය. 

"නෑ බං කෙල්ලෙක් බඩේ බෝම්බයක් බැඳගෙන ඇවිල්ල රජීව්ට වඳින්ට වගෙ පාත් වෙලා බෝම්බෙ පුපුරවාගෙන.."

"නෑහ්?... අම්මප..ෂිහ්..විස්වාස කරන්ටත් බෑ..කවුද කොටිද කරල තියෙන්නෙ? "

"තවම ස්ථිරවම හොයාගෙන නෑ. ඒත් අනිවාර්යයෙන් කොටි වෙන්න ඕන ….කවුද වෙන ඔහොම දෙයක් කරන්නෙ?"

ඉතිං මම අර කලින් ලියාපු ප්‍රවේශ කතාවෙදි කිව්වෙ මම මේ ලියන්න යන්නෙ වෙන දෙයක් ගැනය කියල. ඒක තමයි මේ රජීව් ගාන්ධි ඝාතනය. පහුගිය මැයි 21 වෙනිදට රජීව් මරල අවුරුදු 25 පිරෙනව. විවාහයක් වගෙ සතුටු දායක සිද්ධියක නම් අවුරුදු 25 පිරෙන එක හඳුන්වන්නෙ රිදී ජුබිලිය නොහොත් රජත ජයන්තිය කියල. රජත කියන්නෙ රිදී.රජතමය කියන්නෙ රිදියෙන් නිමකල කියන එක.ඒ වගෙ අවුරුදු පණහට කියන්නෙ ස්වර්ණ ජයන්තිය. හැටට වජ්‍ර ජයන්තිය.

රජීව් ඝාතනය කියන්නෙ කොටි සංවිධානෙ ඉරණම ඒ වගේම ඒ අනුසාරයෙන් අපේ රටේ ඉතිහාසය වෙනස් කල සංධිස්ථානයක් කියල බොහොම දේශපාලන විශ්ලේෂකයො සලකනව. රජීව් ගාන්ධි ඝාතනය කොටි සංවිධානයට වෙච්චි බරපතල ක්‍රමෝපායික වැරදීමක් කියල කොටින්ගෙ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් පිළිගත්ත 2002 අවුරුද්දෙ රනිල්ගෙ ආණ්ඩුව එක්ක අත්සන් කරපු සාම ගිවිසුමෙන් පස්සෙ කිලිනොච්චියෙද කොහෙද තිබ්බ පුවත් පත් සාකච්ඡාවකදි.

"It was a tragic incident. ...A tactical miscalculation…. it shouldn't have happened ever" ඔය වචන නැත්නම් ඔයිට බොහොම සමාන වචන තමයි ඒ වෙලාවෙ බාලසිංහම් ගොයිය පාවිච්චි කලේ.

රජීව් මැරුවෙ 1991 මැයි මාසෙ මැද. ඊට හරියටම අවුරුදු දහ අටකට පස්සෙ, 2009 අවුරුද්දෙ මැයි මාසෙ මැද නන්දිකඩාල් කලපුව අද්දර අවසන් ගමන් යන්නට ප්‍රභාරකන්ට සිද්ද වුනේ රජීව් ඝාතනයට අණ දුන්නු නිසාම කියල කියන්ට බැරිවුනත් ඒ තීරණය ප්‍රභාගෙ මරණයට විශාල බලපෑමක් කලා කියල කියන්ට නම් පුලුවන්. එදා ශ්‍රී පෙරුම්බුදූර්වලදි ධනූ රජීව්ගෙ පාද ස්පර්ශකරන්ට නැවෙන ගමන් බඩ මැද සවිකරල තිබ්බ බෝම්බෙ පුපුරවන්ට බොත්තම ඔබන කොටම නන්දිකඩාල් කලපුව අසල අවසන් ගමන් යන්ට ප්‍රභාකරන්ගෙ ඉරණමත් තීන්දු කලාය කියල කියන්ටත් එක අතකට බැරිකමකුත් නම් නෑ.

රජීව්ගේ අවසන් මොහොත - කැමරාවට පිටුපා කොළ සහ තැඹිලි පැහැති ඇඳුමකින් සැරසී හිසෙහි මල් පැළඳ සිටිනුයේ ස්වඝාතක මිනිස් බෝම්බය වූ ධනූය. Google Images

මගේ විශ්වාසය අනුව රජීව් ඝාතනය නොවෙන්ට ඉන්දියාව කවදාවත් ප්‍රභාකරන්ව පරාජය කරන්ට ආණ්ඩුවට ඉඩ දෙන එකක් නෑ. එහෙම එකහෙලාම අදහසක් ප්‍රකාශ කරන එක එක අතකට වැරදියි. එක අතකට නෙවෙයි හැම අතින්ම වැරදියි. මොකද ජාත්‍යන්තර දේශපාලනයෙ තීන්දු තීරණ ගන්නෙ එක කාරණයක් සලකල බලල නෙවෙයි. නොයෙක් සාධක ගැන හිතල බලල, ඒ අවස්ථාවෙ බලපැවැත්වෙන තත්ව ගැනත් හිතල බලල, ඒ එක්කම ඉදිරියට තමන්ට වැඩි වාසියක් වෙන්න පුලුවන් කොහොමද කියලත් හොඳට හිතලයි යම් තීරණයක් ගන්නෙ. අන්න ඒ හින්දයි ජාත්‍යන්තර දේශපාලනයෙ සදාකාලික හතුරන් හෝ මිතුරන් නැත කියල කියන්නෙ. (එහෙම නැතුව බලහත්කාර තීන්දුත් තියනව. ගන්බෝට් ඩිප්ලොමසි කියල එකකුත් තියනවනෙ..නැද්ද...හා.?)

2009 අවුරුද්දෙ මහින්දට වුනේ සියලු ජාත්‍යන්තර සාධක මහින්දගෙ වාසියට කරකැවුන එක. මහින්ද ඒකෙන් උපරිම ප්‍රයෝජන ගත්ත. සෙස්ස ඉතිහාසයයි...හෙහ්,හෙහ්, 

ඉතිං මම අර ප්‍රවේශ කතාවක් එහෙම කියල පටන්ගත්තෙ මේ රජීව් ඝාතනය ගැන කියන්ට. මදැයි ඒ කතාව ඉවරයක් කරන්ට ගිය කලක්...නැද්ද? 

ආ..ඒ එක්කම පොඩි පසු කතාවකුත් කියන්ට තියනව. මම කලින් කිව්වනෙ ස්ටීවන් කිං ගැන. මගෙ ප්‍රියතම ලේඛකයෙක්ය කියල. ඒ වගේම තවත් මගෙ ප්‍රියතම ලේඛකයෙක් තමයි ෆ්‍රෙඩ්රික් ෆෝසයිත්. ෆෝසයිත් 1989 අවුරුද්දෙ ලිව්ව පොතක් "The Negotiator" කියල. මධුර කියන විදිහටනම් "සහසංධිකයා" හරි සහසංධිකයා හරි සන්ධිපාදිකයා හරි මොකක් හරි මට කියන්ට ඕනම තියෙන්නෙ මෙච්චරයි.

රජීව් ඝාතනය දවස්වල වාර්තා පලවුනා රජීව් ඝාතනයේ සැළසුම්කරු නැත්නම් අද පත්තරකාරයින්ගෙ බාසාවෙන් කියනව නම් මහ මොළකරු එකැස් සිවරාසන් (සිවරාසන්ගෙ එක ඇහැක් සටනකදි හානිවෙලා ඉවත් කරල ඒ වෙනුවට මනුස්සය බොරු ඇහැක් දාගෙනයි ඉඳල තියෙන්නෙ) ෆෝසයිත් ලෝලියෙක්ය, මිනිහගෙ නවාතැනේ තිබිල ෆෝසයිත්ගෙ පොත් බර ගනනක් හොයාගත්තය කියල.

ඒ අතර අර මම කලින් කියපු "The Negotiator" පොතත් තිබිල තියනව. ඒකෙ කතාවෙ තියනව ඉණ වටා බැඳපු පුපුරණ ද්‍රව්‍ය අඩංගු බඳ පටියක් පුපුරවල අමරිකන් ජනාධිපතිගෙ පුත්‍රයාව මරා දමන අවස්ථාවක්.

Google Images

46 comments:

  1. කිරි කාපු රිලව් කොහෙද බං හිටියෙ බොලා හිටපු කැලේද? මමත් පෝසයිත් ලෝලයෙක් ඔය පොත මා ලඟත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. දැං ඔහේ ඉණ වටා බැඳපු පුපුරණ ද්‍රව්‍ය අඩංගු බඳ පටියක් පුපුරවල කාවද මරන්න හිතාන ඉන්නෙ.

      Delete
    2. මම ලංකාවට ආවහම ගොඩකවෙල පැත්තෙ එන්නයි ඉන්නෙ.යාලුවෙක් ඉන්නව මුණගැහෙන්න.

      Delete
    3. මම හිතන්නෙ ඔය යාලුව னයා වෙන්න ඇති නේද?

      Delete
    4. හමුවෙලා නැතිනිසා නයෙක්ද පොළඟෙක්ද දන්නෙ නෑ පැය විසිහතරෙම මොනිටරේට එබීගෙන ඉන්න එකෙක් කියලයි දැකපු අය කියන්නෙ.

      Delete
    5. හැලප,

      / කිරි කාපු රිලව් කොහෙද බං හිටියෙ බොලා හිටපු කැලේද? /

      හරි හරි බං කිරි කිව්වට ඉතිං කිරිමත් නෙවෙයි ..හෙහ්,හෙහ්,

      / මමත් පෝසයිත් ලෝලයෙක් ඔය පොත මා ලඟත් තියෙනවා /

      ෆෝසයිත් ගෙ අලුත් පොත මම මෙහෙ පොත් සාප්පුවට ගියොත් හොයනව. The Kill List…. තාම හම්බ වුනේ නෑ….:(

      Delete
    6. Helapa,

      / හමුවෙලා නැතිනිසා නයෙක්ද පොළඟෙක්ද දන්නෙ නෑ  /

      ඕකා ඉන්න තැන හොයාගන්ට නම් කිසිම අමාරුවක් වෙන්නෙ නෑ බං. රත්නපුර පහු උනගමං හන්දියක් හන්දියක් ගානෙ බෝඩ් ගහල තියනව " ශ්‍රී ලංකා කමෙන්ට්කරුවන්ගේ සංගමය මූලස්ථානය ගොඩකවෙල.." කියල.....ඊට යටින් දුර ...කිලෝමීටර් අච්චරයි මෙච්චරයි කියල. ඊටත් යටිං ගරු සභාපතිතුමා කියල ප්‍රසන්නයගෙ මූණත්තහඩුවත් තියනව. කිසිම අවුලක් නෑ.

      Delete
    7. හප්පට සිරි කිවුවලු. රවී අයිය හොයන පොත ඔක්කොටම වැඩිය භයානකයි. Kill List. අපේ නමුත් තියෙනවද දන්නෑ ඒකෙ.

      ශ්‍රී.ල.කො.කා.ස. ඒකත් නරකම නෑ. හැක්..

      Delete
  2. ස්තූතියි රවී. කොහෙන් පටන් අරන් කොහෙන් ඉවරවුණාද? ඒ වුණාට ලස්සන ලියවිල්ල.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      ඔබටත් ස්තූතියි ඉයන්....:)

      Delete
  3. එක කතාවෙ කතා ගොඩයි..... හරි අපූරුයි...

    ReplyDelete
    Replies
    1. මට නම් එහෙම හිතුනෙ නැහැ. මගේ අදහස නම් අර "අතිධාවන කම් සැපත මහණකමට යොමුවීද?" ආර්ටිකල් එක අර පත්තරේ පළ නොවන්න රජීව් ගාන්ධිට මැරෙන්න වෙන්නෙ නැහැ කියල.

      Delete
    2. නුවර ඉස්ටේසන් එක පාරෙ රේල් පාරත් එක්ක අල්ලල එක දිගට තියෙන පත්තර කඩ ටික තමයි රජීච් ඝාතනයට වග කියන්න ඕන ඉඳගෙන.

      Delete
  4. //එකිනෙකාගෙ නිරුවත එපාවෙන සයිස් එකට දැකල තිබ්බ හින්දම ඔය සරං කැඩිලි වගෙ දෙකේ පන්තියෙ වැඩ එහෙම එච්චරම කෙරුනෙ නෑ අපෙ චමරියෙ// හප්පට සිරි. ඒ කියන්නෙ බොලාගෙ චමරියෙත් උප සයන්ස්කෘත්තයක් තිබිල තියෙනව.

    ReplyDelete
  5. වැලිකන්දෙන් නුවර ගිහිල්ල ශ්‍රී පෙරුම්බුදූර්වලදි නැවතුනාට මොකද කතාවනං අගනේය.

    දැං අන්න අරූ දත්මිටි කනවලු මේ මකබාස ‍වාහනේ ඉක්මනට හදල දුන්නය, මිනිහට ‍ගෙදරට හොරෙන් ෂොට් එකක් දාගන්නවත් වෙලාවක් දුන් නෑය කියල. හැක්..

    ReplyDelete
  6. //අනිවාර්යයෙන් ඊලඟ මොහොතෙ ඇඟේ කෑලිවත් හොයාගන්ට බැරිවෙන විදිහට සීසීකඩ විසිවෙලා මැරෙනව කියල සහසුද්දෙන්ම දැන දැනම කොහොමද බං ඔය බට්න් එක ප්‍රෙස් කරගන්නෙ// මටනං හිතෙන්නෙ අයියගෙ චමරියෙ හිටපු සෙට් එකටනං දෙකක් දාගත්ත වෙලාවට ඕක සුළු දෙයක් වෙයි කියලයි. හැක්..

    ReplyDelete
  7. රවී....ඇත්තටම බං තිහේ යතුරකින් පත බාන්න නෙමේ, කාර් එකක් අස්සට රිංගනකං ඉඳලා ජැක් එක බුරුල් කරලා දාන සයිස් ඔරොප්පුවක් ආවා, අර ටොමියෙක් ඇදගෙන ආපු වෙලාවෙ. හැබැයි මචෝ..කියවගෙන එන කොට උඹ ඒක දිගටම ලියලා ඇති කියලා ඉන්ටරෙස්ට් එකක් ආවා. හොඳ පොතක් වගේ!

    අතිධාවන කම් සැපත මහණකමට යොමුවීද කියලා තිබුනේ 1990 ගනන්වලනේ. දැන් ඕකේ අනිත් පැත්තද මන්දා.... සුඛෝපභෝගි මහණකම අතිධාවන කම්සැපතට යොමුවීද....

    අනිත් එක රවියො, ඔය කොහෙ හරි ගිහිල්ලා චමරිය පැත්තට එනකොට පාරට සද්දෙ ඇහෙනවා කියන්නේ පුදුම සංතෝශයක් බං. අර ගමන් මහන්සි ඔක්කොම ඉවරයි. ඩබල් එකේම ගෙට ඇදෙනවා ඔටෝ ගියර්.

    මටත් ඔය මීහරෙකෙක් හිටියා.ඒ 87 මම රට පැටවෙන්න ගිය කාලේ ඒ ගමනට ගත්තේ. පට්ට ගැහුවා. ඕක මචං රට ගිය එවුන් සහ ටිකක් එක විදිහක එවුන් ගාව තමයි ඒ කාලේ තිබුනේ. සුද්දොත් ගත්තා. මුලින්ම අර හම්පටි සෙරෙප්පු ස්ටයිල් එක ආවේ ඔය කාලේ මගේ හිතෙ. හම්පටි සෙරෙප්පු දෙකයි,ලීවයිස් ඩෙනිම් කලිසමයි,චීස් ක්ලෝත් ශර්ට් එකයි, හම් බෑග් එකයි....මොන ආතල්ද..

    රජීව්ව ඝාතනය කරන කාලේ මම ඔමානයේ. ඉන්දියන් කාරයෝ අපිත් එක්කත් ඔරොප්පුවෙන් හිටියේ. එතන තමයි ප්‍රභාකරන් වරද්ද ගත්ත මුල්ම තැන.මට ඉන්දියන් කාරයෙක් කිව්වා ..."කලම්බු මෑන් හිටින්ග් ගාන්ධිජි..ඉටිස් ලිට්ල් ප්‍රොබ්ලම්...බට් ටැමිල් වුමන් කිලින්ග් ගාන්ධිජි බිග් ප්‍රොබ්ලම්..ඕල් සිරිලන්කි චූතියා පීපල්"කියලා.. ඇඬුවා. ඒ සාමන්‍ය මිනිහෙක් හිතපු හැටි.

    ReplyDelete
    Replies
    1. ඔය මීහරකෙක් මටත් හිටියා, හැබැයි බෙරේ වගේ රවුම් අක නෙවෙයි මුලු හත‍රැස් එක. මාත් ඕක අරං ඩෙනිම ගහලා ටී ෂර්ට් එක ඇඳලා ඩෙක් ෂූස් දාලා යනකොට ආයෙ මොනවද ඉතිං හැඟීම.
      ඔය බෑග් එක මගෙ මස්සිනාකාරයා බලහත්කාරෙන් වගේ ගත්තා උගේ හම්පඩ බෑග් එකක් මට දීලා. ඌ සීමෑන් කෙනෙක් ඒකාලෙ. ඊට පස්සෙ ඒක ආගිය අතක් නෑ.

      Delete
  8. මට කියන්න අමතක උනා ඔය රජීව්ව ඝාතනය වුන තැන ශ්‍රී පෙරුම්බුදුර් වල දැන් ස්මාරකයක් සහ රජීව් කෞතුකාගාරයක් තියෙනවා.මට චෙන්නායි ඉද්දි කිලෝමීටර් 44ක් පමණ දුර තියෙන එතනට යන්න ලැබුණා.

    ReplyDelete
  9. පටං ගත්ත එකක් ඉවර කරල :O
    වැදගත් විස්තර ටිකක් ස්තුතියි !

    ReplyDelete
  10. කියවල කියවල ඉවර වෙද්දි මට නිකං කැරකිල්ල වගේ දැනුන. කියන එකක් ඔය හැටි පටලන්නැතුව කියන්නකො රවි අයියෙ...

    ReplyDelete
    Replies
    1. රවියව කියවද්දී කැරකිල්ලට හුරුවෙන්න ඕනෑ ළමයෝ.

      Delete
    2. ඔය ළමයා කතුරු ඔංචිල්ලාවේ ගිහිල්ලා තියෙනවද?

      Delete
    3. ලේපාට හීන,

      අඩේ බං යමක් කෙලිම්ම කියනවට වඩා සුට්ටක් විතර වට වංගියෙ ගිහිල්ල අහපු ප්‍රස්නෙට ඔව් කිව්වද නෑ කිව්වද කියල අහගෙන ඉන්න මනුස්සයට තියා කියපු මනුස්සයටත් තෝර ගන්ට බැරි විදිහට උත්තර දෙන එක තමයි බොල හපංකම.

      දැං ඔන්න කිව්වට විස්වාස කරපං මගෙ හොඳම යාලුවෙක් ඉන්නව. අපි එක්ක එකටම වැඩ කරපු කෙල්ලෙකුගෙ හිත මූට ගියා. පස්සෙ කෙල්ල හීං සීරුවෙ මුගෙං ඇහුව මොකද කියන්නෙ?කැමතිද කියල.

      පොර මගෙන් ඇහුව "'මචං මොකද මම කියන්නෙ?" කියල. මං කිව්ව "මල්ලි බයවෙන්ට එපා. අපි ලියමු නියම ක්ලැසික් උත්තරයක්" කියල. ඌත් කැමති වුනා.

      පස්සෙ මම ලියල දුන්න නියම උත්තරයක්. මම ලිව්වෙ මූ කැමතියි වැඩේට කියල. මලජංජාලයක්නෙ උනේ ඒ උත්තරේ කෙල්ලට දුන්නම ඒකි වැලහින්න වගෙ අඬා වැලපිලා එදාම ගෙදර යන්ට ගියා. ඊට පස්සෙ අපේ හෙඩ් ඔෆිස් එකට මාරුවකුත් හදාගෙන එහෙන්ම වෙන කොල්ලෙකුත් හොයාගෙන බැඳල දැං ළමයි හතර දෙනෙක්ද කොහෙද ඉන්නව.

      අර මගෙ යාලුව ඒ දවස්වලම දෙපාරක්ම මගෙ බෙල්ල මිරිකන්ට ගිහිල්ල මම අනූනමයෙන් බේරුණෙ.මට තාමත් හිතාගෙන්ට බැරි ඒ යකා ඇයි එහෙම මේ අවිහිංසක මගේ බෙල්ල මිරිකන්ට ආවෙ කියල.

      ඔන්න යාලුවන්ට උදව් කරන්ට ගිහිල්ල අපිට වෙන්නෙ ඔය වගෙ එව්ව තමයි.

      Delete
    4. //රවීයව කියවත්දී කැරකිල්ලට පුරුදු වෙන්න ඔනෑ ළමයෝ //

      දී කිරට බළල්ලුත් සාක්ශි ලු...

      Delete
  11. Rain Bow Six පොතත් නියමයි...

    ReplyDelete
  12. පොත් අපිව කාලය හරහා එහා මෙහා කොයි තරන් ගෙනියනවද ..

    ReplyDelete
  13. කිං ගේ පොතත් පරිවර්තනය කරා නම් ඔන්නොහෙ. දැන් කතා 5ක් විතර යනවා නේද මේ බ්ලොගේ.
    //එදා ශ්‍රී පෙරුම්බුදූර්වලදි ධනූ රජීව්ගෙ පාද ස්පර්ශකරන්ට නැවෙන ගමන් බඩ මැද සවිකරල තිබ්බ බෝම්බෙ පුපුරවන්ට බොත්තම ඔබන කොටම නන්දිකඩාල් කලපුව අසල අවසන් ගමන් යන්ට ප්‍රභාකරන්ගෙ ඉරණමත් තීන්දු කලාය කියල කියන්ටත් එක අතකට බැරිකමකුත් නම් නෑ.// මම නම් කියන්නේ ඒක තමයි තීරණය කලේ කියල. මහින්ද කෙලින් හිට ගත්තට වඩා west එක ඉදිරියේ (අර මිලිබෑන්ඩ් සීන් එක එහෙම - මිලිය පස්සේ කියල තිබ්බ මගේ දෙමල චන්ද දායකයෝ නිසා පොඩි රඟ පෑමක් කලේ කියල. මහින්දත් අර විදේශ ඇමතියෝ දෙන්නත් ගානට වේදිකාවේ රඟ පෑම දැම්ම. අපේ එවුන් තවමත් කාල ඉන්නේ. දෙමල අයියල ටික නම් පස්සේ දැන ගත්ත. ) ඔය යුධ අපරාද කේස් එකත් බටහිරට මිස ඉන්දියාවට ඕනේ නැහැ. මොකද එයාලත් සම්බන්ධ නිසා . සුදු කොඩි සීන් එකේදිත් ඉන්දීය සම්බන්ධයක් තිබෙනවා. රජීව් මැරුවේ නැත්නම් ප්‍රභා , ඉන්දියාව හුඟක් වෙලාවට ලංකාව දෙකඩ කරන්න මැදිහත් වෙලා.

    ReplyDelete
  14. Replies
    1. ඊයේ ෆෝන් එකෙන් කියෙව්වේ.. හිනා ගියේ නම් පොස්ට් එකට නෙවෙයි අර ලේපාහී දැරිවිට දීපු උත්තරේට..

      Delete
  15. කරකවලා අතෑරියා වගේ රවියෝ. සුමානයක් දෙකක් විතර බ්ලොග් කියවන්න බැරි වුනේ. උඹේ වැල්වටාරම් එකතුකරලා කතාව කියවන්න හදනකොට ඒ කිව්වේ අර පොඩ්ඩක් මොලේට බහිනකොට හොඳ ගණන්.
    අරූ තුමාගේ කතාව නම් සුපිරි. බොටත් අනුන්ගේ කාර් බොනට් හරි අරින්න විතරමයිනේ මතක් වෙන්නේ. වහන කතා කවදාවත් නෑ නෙව.

    ReplyDelete
  16. අනේ මන්ද බං මක්කා කියන්නද කියලා...

    ReplyDelete
    Replies
    1. කියන්න ඉතිං උඹට මෙව්වා ගැන දැනුමක් තියෙන්න ඕනෙනේ මචෝ

      Delete
  17. ත්‍රස්තවාදී සංවිධාන සිය ප්‍රහාරක කාර්යයන් දියත් කිරීම සඳහා සැලසුම් සකස් කිරීමේදී අතීත සිදුවීම්, චිත්‍රපටි, පොත්පත්, යුද වාර්තා, පරිහරණය කරනවා.

    බුදු අම්මෝ....... මම නම් ත්‍රස්තවාදියෙක් නෙවෙයි. නමුත් මගේ පුස්තකාලයේ සහ පරිගණකයේ තිබෙන දේවල් ත්‍රස්තවාදියෙක් දැක්කොත් මාව මරලා හරි ඒවා අරන් යයි.

    ReplyDelete
    Replies
    1. අපේ කොම්පියුටර් වල තියෙන එව්වා දැක්කනං අපිවත් ගෙනියනව පොලීසියෙන් .

      Delete
  18. හම්මා... අනේ ගුරුවරී..!!! කොහොම ඉවසීමක් ඇද්ද එයැයිට...
    ජයවේවා..!!

    ReplyDelete
  19. රවීයියා ෆෝසයිත්ගේ මම මුලින්ම කියවපු පොත "Day of the jackal" සින්හල පරිවර්තනය.ඒ පොත කියවන්න ආශාවක් ආවේ හැලපයියාගේ බ්ලොග් සටහනක් කියවිමේන්.ඊට පස්සේ "හිට්ලර්ගේ එස් එස් හමුදාව" කියෙව්වා.හැබැයි දෙකම පරිවර්තන.ඒ වගේම ඒ පොත් දෙකේම "අභය හේවාවසම්"මහත්මයාගේ පරිවර්තනයේ විශිශ්ඨ බව පෙන්වනවා.

    මේතන රවීයියා කියන ෆෝසයිත්ගේ පොතත් "සහසන්දිකයා"කියන නමින් සින්හලට පරිවර්තනය වෙලා තියෙනවා.තාම කියවලා නැහැ.කියවන්න ඔනේ ඒකත්.

    ReplyDelete
  20. ඔය ස්ටීවන් කිං හන්දා ලෝකයා ඉගනගත්ත දේවල් කීපයක් තියෙනවා.
    ලෝකෙ භයානකම දේවල් සිද්දවෙන්නේ Maine වල. එතකොට ඔය clownලා කියන්නෙ හිනාවෙන්න හොඳ ජාතියක් නෙවෙයි බයවෙන්න ඕනෙ ජාතියක්. එතකොට බෝනික්කො. බුදු අම්මෝ! ගෙදරකට ගේන්න වටින දේවල් නෙවෙයි. එතකොට ආගම කියන එක අන්තවාදයට ගිහින් එතනෛන් එහාටත් ගිහින් කල්ට් එකක් වෙන්න තියෙන චාන්ස් එක අධිකයි. බුලි කරන උන්ට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නේ නිකං නෙවෙයි, ලේ හලාගෙන, අන්තිම නරක විදියට. එතකොට පිටසක්වල ජීවියෝ ආවොත් එන්න වැඩිම චාන්ස් එකක් තියෙන්නේ ස්මෝල්විල් වලට ඇරුනාම Maine වලට. ඒ පලාතෙ වලලන දේ පවා නැවත පණ එන නිසා වැළලීම භයානකයි. රෑට සද්ද ඇහුනට basement එකට නං යන්ඩෙපා පු‍තෝ. විශේෂයෙන්ම ලයි‍ටුත් ගිය වෙලාවට විනිවිද පේන ඇඳුම් ඇඳං ඉටිපන්දම් එළියෙන්. අකුණු ගහන රාත්‍රී වල මොනව හරි වෙනවා. වහින්නෙ නිකං නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඩූඩ්! සිරාම ස්ටීවන් කිං ලෝලියෙක් පාටයි!

      Delete
  21. //ඉතිං ගෙදර ගිහිල්ල එන එවුං අනිවාර්යයෙන් ඔව්වයිං එක පත්තරයක් හරි ගේන්නම ඕන.නැත්තං ඌව මරාගෙන කනව අනික් එවුං.//

    මං බලාපොරොත්තු වුණේ ගෙට ගොඩවෙන්නත් කලියෙන් මිත්තරයෝ ටික ගොදුරට පනින විලෝපිකයින් රැලක් වගේ මේ මහත්මයාගේ ඇඟට පනින දර්ශනයක් කියවා ගන්ට :D

    මේක කියවද්දි මට ආයේ සිහියට ආවේ, මිස්ටර් රවීට මතකද මන්දා 2007 දෙසැම්බර් 27 වෙනිදා අම්බලමේදී අපි ඔෆිසියේ ගෙට්ටුගෙදර් එකක අවසන් භාගය ගෙවමින් ඉද්දි ලැබුණු ආරංචිය? බෙනාසීර් බූතෝ ඝාතනය...

    ReplyDelete
    Replies
    1. රන්දිල්,

      අපොයි මොකද මතක නැත්තෙ? බෙනාසීර් ඝාතනය ගැන අහල ඒ ශෝකය තුනීකරගන්ට ටිකක් වැඩියෙන් අරගෙනනෙ මතකද මම අර හුළඟෙ යන පපඩං පාගල නැවැත්තුවෙ?

      Delete
    2. අනේද කියන්න‍ේ? වැඩේ එතකොට අපි බැඳලා නැහැනේ. මට වේලපහ ගෙදර එන්න ඕනෑ නිසා අපි සිල්වා මහත්තයාගේ වාහනේ හරි සරත් මහත්තයාගේ වාහනේ හරි අඳුරු වැටෙන්න කලියෙන් පිටත් වුණා. අපරාදේ මෙයාලා සෝක් එකට සෝකේ බෙදා ගන්ට ඇති. :(

      Delete
    3. මේ අර මර්වින් සිල්වා රූපවහිනියට පැනල නාඩගමක් නටපු එකත් අපිට ආරංචි වුනේ ඔය වගෙ කොහෙද ඩේ අවුට් එකකට ගිහිල්ල ඉද්දි..ඒ අර ඊට පස්සෙ ගිය එක නේද? අවුරුදු දහය සපිරුනු සංවත්සරය වගෙ මට මතක...2008 ජූනි වගෙ...:)

      Delete
    4. වයසට යනකොට ඔහොම තමයි. 2007 ජූනි වාද්දුව රිසෝර්ට් එකේ තිබුණේ 15 වෙනි සංවත්සරේ. 2008 ජූනි කොහෙවත් ගියේ නැහැ. ප්‍රදීප් ආන්ත්‍රා වෙලා කන්තෝරුවම ශෝකයෙන් හිටපු අවු අස්සේ මොන පාටිද? තව ඩිංගෙන් අගෝස්තු මාසේ ආයෙම සැරයක් කන්තෝරුව‍ ශෝක සාගරයේ ගිලී යන්න ඔන්න මෙන්න වෙලා තිබ්බ කාලේ. :D මර්වින් සිල්වා රූපවාහිනියට පැනලා නාඩගමක් නටපු එකක් මට මතක නැහැ. :)

      Delete
    5. / 2007 ජූනි වාද්දුව රිසෝර්ට් එකේ තිබුණේ 15 වෙනි සංවත්සරේ./

      අඩේ පහළවද? හරි හරි 92 නෙ ආරම්භය නේද? එහෙනං මැරවියාගෙ සීන් එක ආරංචි වුනේ අනිවාර්යයෙන් වාද්දුවෙදි වෙන්න ඕන....

      / තව ඩිංගෙන් අගෝස්තු මාසේ ආයෙම සැරයක් කන්තෝරුව‍ ශෝක සාගරයේ ගිලී යන්න ඔන්න මෙන්න වෙලා තිබ්බ කාලේ./

      ඒ පිළිබඳව ලිපි මාලාවක්ම ලියන්ට ඕමනයි...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...