Sunday, June 26, 2016

424. The Story Of My Marriage - 23 - " Love is nothing son " My mother patted my cheek and left the room.


Citi Bank - Chennai Branch - Google Images


"මෙයානම් මගෙ පුතෙක් වෙන්න බෑ. මම දන්න කිසිම පුතෙක් තමන්ගෙ තාත්තට මෙහෙම කතා කරන්නෙ නෑ. "

"ඇත්තත් වෙන්න ඇති ඒත් ඒ එක්කම මම දන්න කිසිම තාත්තෙක් මෙහෙම හැසිරෙන්නෙත් නෑ."

"ක්‍රිෂ් මම දැං එක පාරක් කිව්වනේද ඔයාගෙ කාමරේට යන්න කියල" මගේ මව මා මගේ කාමරය දෙසට තල්ලු කරමින් පැවසුවාය.

මපියා දඩයම ව්‍යාර්ථ වූ කොටියකු මෙන් හාත්පස බැලූයේ පොළවේ ගැසීමට සුදුසු තවත් යමක් සොයමින් විය යුතුය. එලෙස සුදුසු කිසිවක් ඇස නොගැටුනු ඔහු දැඩි කෝපයෙන් මොනවාදෝ තොල් මතුරමින් නිවසින් පිටව ගියේ ඉදිරි දොරටුව මහ හඬින් වසා දමමිනි.

දොරටුව වැසුනු හඬින් නිවස පුරා පැතිර ගිය කම්පනය කෙමෙන් වියැකී ගියේ සැනසුම් සුසුමක් ද ඒ හා සමඟ මුසුකොට ගනිමිනි.

සාලයෙහි බිම පුරා පැතිර තිබූ වීදුරු කැබලි අතුගා එක් කොට කුස්සියෙහි කුණු දමන භාජනයෙහි බහාලූ ඉක්බිති අම්මා මා සොයා පැමිණියාය. මම මගේ කුටියෙහි සයනය මත දිගාවී පසුවූයේ ඇඳ වියලට හේත්තු කල කොට්ටයකට පිටතබාගෙනය. කුටියෙහි දොරටුව අසල නතරව මොහොතක් මදෙස බලා සිටි ඕ සෙමෙන් පිය මනිමින් මා අසලට පැමිණියාය.

සයනය මතවූ අනෙක් කොට්ටය ගෙන පපුවට තුරුළුකොටගත් මම ඇය දෙස නොබලා කවුලුවෙන් එපිට දිස්වන අඹ ගසෙහි ලාකහ වන් පත් සුළඟේ ලෙලෙනයුරු දෙස නෙත් යොමුකොටගත්වනම පසුවූයෙමි.

සයනයෙහි මා අසලම අසුන් ගත් ඕ උඩුකය නවා පහත්ව  නිකටින් අල්වා මගේ මුහුණ ඈ දෙසට හරවා ගත්තීය. 

"අම්මගෙ ලීලෙ හින්දම තමයි තාත්ත තවත් ඔය විදිහට යකා නටන්නෙ. ඔයා මොකටද එයා ඉන්දැද්දිම කිසිම ප්‍රශ්නයක් නෑ වගෙ අර වීදුරු කටු එකතු කරන්ට පටං ගත්තෙ?" තවමත් පහව නොගිය කෝපය සඟවාලීමට කිසිදු උත්සාහයක් නොගත් මම වේගයෙන් පැවසුවෙමි.

"එහෙම නැත්තං පුතේ තාත්ත කරන්නෙ තවත් මොකක් හරි පොළවෙ ගහන එක.අලුතින් වීදුරු බඩු ගන්නවට වඩා ලේසියි එකක් පොලවෙ ගැහුවම ඒක අතුගාල දාන එක" අම්මා ශෝකී මද සිනහවක් පාමින් පැවසුවාය. "ඔයා ඔව්ව වැඩිය හිතට ගන්නෙ නැතුව ඉන්නකො. මට දන්නව මට පුලුවන් තාත්තව පාලනය කරගන්ට."

මම සෙමින් හිර හරවා අම්මාගේ මුහුණ දෙස බැලීමි. එක් කුඩා කඳුලු බිඳුවක් ඇගේ දකුණු ඇසගින් නික්ම කොපුල් තලය තෙත් කරමින් පහළට ගලා ගියේය. මම සුරත ඔසවා ඒ කඳුලු බිඳුව සෙමෙන් පිසදැමීමි. ඇය මගේ සුරත ඇගේ දෙතොල් මත තබා සිපගත්තාය. මගේ දෙනෙත් ද කඳුලින් පිරීගියේ සැණෙකිනි. 

එලෙසම මද වේලාවක් ගතකල ඉක්බිති මම දෙනෙත් පියාගත්වනම ළය පුරා හුස්මක් ගෙන සෙමෙන් පිටකොට සිත සන්සුන්කොට ගතිමි

"අම්මෙ මේ..... මේක හරියන වැඩක් නෙවෙයි..අම්ම මම කියන එක අහන්න ඕන. තාත්තට ඕන දෙයක් කරගන්න කියල අපි යමු යන්න."

"එහෙම යමු කිව්වට හරියන්නෙ නැහැ ක්‍රිෂ්, ජීවිතේ කිසිම දෙයක් එහෙම සරල නෑ. අපි කීයක් දේවල් ගැන හිතන්න ඕනද? "

"අම්ම හිතන්නෙ වියදම් ගැන නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ලබන මාසෙ ඉඳල මට සෑහෙන පඩියක් හම්බවෙනවනෙ බැංකුවෙන්.ඒක හොඳටම ඇති අපි දෙන්නට"

"පුතේ මේ මා ගැන ඔයා කරදර වෙන්න ඕන නෑ. තාත්තා ඇත්තම කිව්වොත් දවසෙ පැය විසිහතරෙං පැය විස්සක්ම වගෙ ඉන්නෙ ගෙදරින් පිට. උදේම යනව අර ආමි මෙස් එකට. ඒ කරල දවස තිස්සෙම කරන්නෙ එතෙන්ට එන එයා වගේම පැන්ෂන් ගත්තු, ගෙවල් වල ඉන්ට බැරි එයාගෙ යාලු පරණ ආමි කාරයො එක්ක එකතුවෙලා මේ ලෝකෙවත් කරන්ට බැරි බිස්නස් කරන විදි ගැන බරසාර සාකච්ඡා පවත්වන එක." අම්මා එසේ පවසා සිනාසුණාය.

"මොනවද මේ දවස්වල එයා කරන්න හදන්නෙ? අර එක පාරක් කලා වගෙ සිකියුරිටි ඒජන්සියක්ද?" අවඥාවෙන් දෙතොල පෙරලමින් මම විමසූයෙමි. 

"ඔව්..ඔව්...නැතුව ආය වෙන අහවල් දෙයක්ද? එයා දන්නෙ ඔය සිකියුරිටි බිස්නස් එක විතරනෙ. ඒත් වෙන්නෙ එයාගෙන් සිකියුරිටි ගන්න එන සල්ලි කාරයො, බිස්නස් කාරයො පලවෙනි රැස්වීමෙන් පස්සෙ ආගිය අතක් හොයාගන්ට නැතිවෙනව. මේ මනුස්සයට හොස්ස අගිං මැස්ස යන්ට බෑනෙ. පොඩ්ඩක් වචනයක් වැරදුනහම අර මිනිස්සුන්ට අම්ම මෝ නැතුව බණිනව. මේ ලඟදි එක මනුස්සයෙකුට අඬු කඩනවයි කියල තර්ජනය කරලත් තිබ්බ."

අම්මා හඬනඟා සිනාසුනාය. ඇගේ මුහුණෙහි සිනහවක් දැකීම මටද මහත් සතුටක් ගෙන දුන්නේය. 

"හ්ම්ම්ම්, එහෙනං එකත් එකටම ඒ මිනිස්සු වෙන කොහෙ හරි සිකියුරිටි ඒජන්සියක් එක්ක කන්ට්‍රෑක්ට් අත්සන් කරන්ට ඇති අපෙ උන්නැහැගෙන් මරණ තර්ජන තියනවයි කියල. ඒකත් නරකම නෑ. තාත්තගෙ ඒජන්සියට නොලැබුණාට වෙන සිකියුරිටි ඒජන්සියකට හරි වැඩ හම්බ වෙනවනෙ. ඒත් මදෑ එක අතකට..." 

මම සිනාසෙමින් පැවසුවෙමි. අම්මාද මා හා එක්ව කඳුළු එනතෙක් සිනාසුනාය. දුක් කඳුලක් නොව සතුටු කඳුලක් ඇගේ ඇසින් ගලනු දැක්ම පවා මසිත මහත් ආහ්ලාදයකින් පුරවාලීය.

"මට තාත්තව පාලනය කරගන්ට පුලුවන්. එයා එක්ක ඉන්න ඕන කොහොමද කියල මම දන්නව. දැං අවුරුදු තිහකුත් වෙන්ට ආවනෙ අපි කසාද බැඳල. එයා එක්ක කේන්ති අරං බෑ. ක්‍රිෂ් ඔයා කරන්නෙ එයා කියන කරන හැමදේටම කේන්ති අරගෙන එයා එක්ක රණ්ඩුවට යන එක. එහෙම කරල හරියන්නෙ නෑ පුතා." මඳ වේලාවකට පසු ඇය පැවසුවාය. 

"ඔය රණ්ඩු ඔක්කොම පටන් ගන්නෙ මම නෙවෙයි එයා. දැං බලන්ට අහවල් දේකටද අර ලොකු අම්මට නිරපරාදෙ අපහාස කලේ?"

"පුතේ මේක අහන්න. ඒ තාත්තගෙ උපංගෙයි හැටි. ඒ මනුස්සය කවදාවත් වෙනස් වෙන කෙනෙක් නම් නෙවෙයි. අනික ඔයා ලොකු අම්ම ගැන කරදර වෙන්න ඕන කමක් නෑ. ලොකු අම්ම ඔව්ව ගණං ගන්නෙ නෑ. එයා දන්නව තාත්තගෙ හැටි.අනික තාත්ත ඔය මොනව කිව්වත් ලොකු අම්ම මෙහෙ එන එක නවත්තන්නෙ නෑ.මම එයාගෙ නංගි. එයා මගෙ අක්කා." ඇය අවසන් වදන් කිහිපය පැවසූයේ මුහුණට යම් සාඩම්බර පෙනුමක් ආරූඪ කොට ගනිමිනි.

"ක්‍රිෂ්" ඇය යලිදු මා ඇමතුවාය. "පුතේ ඔයා ගෙදර ඉඳල රස්සාවට යන එක එච්චර හොඳ වෙන එකක් නෑ. මට බයයි තාත්තයි ඔයයි අතර තියන ඔය ප්‍රශ්ණ දුරදිග යයි කියල. ඒ හින්ද මම කියන්නද? ඔයා බැංකුවෙන් අපාර්ට්මන්ට් එකක් ඉල්ලන්න. එහෙම වුනොත් මගෙ හිතටත් නිදහසයි."

"මට හිතෙන්නෙ මම දිල්ලියෙන් පිට කොහෙ හරි රස්සාව කලානම් හොඳයි කියල.." මම නළලත සුරතින් සෙමෙන් පිරිමදින අතර දෑස්පියාගත්වනම පැවසීමි. 

"මොකක්? …"අම්මාගේ දෑස් විසල්වූයේ සැණෙකිනි. 

"මට තාත්ත එක්ක මේ ගෙදර ඉන්ට බෑ……. දැං ටිකකට කලිං අම්මමනෙ කිව්වෙ තාත්තයි මායි මේ ගෙදර එකට ඉන්ට ගියොත් අම්මගෙ හිතට ඒක මහ වදයක් කියල. හොඳයි කියන්න බලන්න...ඔයා එහෙම කිව්වෙ නැද්ද?"

"හරි හරි එහෙම කිව්ව කියමුකො" අම්මා නොඉවසිල්ලෙන් පැවසුවාය. "ඉතිං ඔයා කොහාටද යන්න හිතං ඉන්නෙ?"

"ඒක හරියටම කියන්ට බෑ අම්මෙ. කොහොමත් මට බැංකුවට කියන්න පුලුවන් මම මේ මේ තැන්වලට කැමතියි කියල විතරයි. කොහෙටද දාන්නෙ කියල තීරණය කරන්නෙ එයාල. අනික කොහොමත් දිල්ලියට හම්බ වුනත් අවුරුදු දෙකකට පස්සෙ අනිවාර්යයෙන් දුර කොහාට හරි මාරු කරන එක මාරු කරනවාමයි."

"හරි හරි ඒ අවුරුදු දෙකකට පස්සෙනෙ. ක්‍රිෂ් මට ඇත්ත කියන්න. ඔයා දිල්ලියට කැමතියි කියල ඉල්ලුම් පත්තරේ ලිව්වද නැද්ද?"

මම ඇයට පිළිතුරක් නොදී සයනයෙහි දිගාවී සිවිලිමෙන් එල්ලී සෙමෙන් පැද්දෙන විදුලි පහන දෙස බලා සිටියෙමි. මගේ ඉදිරි ජීවිතයද මේ විදුලි පහන මෙන් දෙපසට දෝලනය වන සේ මට හැඟිණ. එහෙත් එක් කරුණක් පිළිබඳව මම ස්ථිර නිගමනයකට එළඹ සිටියෙමි. දිල්ලියෙහි වාසය කරමින් දිවා කාලය බැංකුවක නීරස රාජකාරී ඉටු කරමින්ද , සන්ධ්‍යා කාලය මව විසින් පට්ටල කරනු ලබන සරුව පිත්තල පංජාබි කෙල්ලන් බලන්නට යාමෙන්ද රාත්‍රී කාලය පියා හා සමඟ බහින් බස් වෙමින්ද ඉදිරි ජීවිතය ගතකිරීම මට කිසිසේත්ම කල නොහැකි බව ඒ නිගමනය විය.

"මම කොහෙ ගියත් අම්මත් මා එක්ක එන්න ඕන." මම ඇය දෙස නෙතඟින් බලා පැවසූයෙමි. 

"මට ඒක කරන්න බෑ ක්‍රිෂ්, මට දිල්ලිය දාල යන්න බෑ. මගෙ හිතවත්තු නෑදෑයො ඔක්කොම ඉන්නෙ මෙහෙ. අනික ඔයා දවස තිස්සෙ ඔෆිස් එකේ ඉඳියි. මම තනියම ගෙදරට වෙලා මොනව කියල කරන්නද? බෑ..බෑ..බෑ...ඒක හරියන එකක් නෙවෙයි පුතා…"

"මම හිතාගෙන ඉන්නෙ චෙන්නයි යන්න." මම ඉවත බලාගත්වනම පැවසූයෙමි.

"මගෙ දෙයියනේ……" වහා කලබල වූ අම්මා මගේ සයනය මත ඇය හිඳසිටි තැනින් නැඟිට්ටේ උඩ පනිමිනි. " බලාගෙන යනකොට තාත්ත තව හොඳයිනෙ. ඒ මනුස්සය ඔය වීදුරුවක් දෙකක් පොළවෙ ගැහුවට මෙහෙම පිස්සු විකාර කරන්නෙ නෑනෙ. ඔයා චෙන්නයි යන්න? ඔයාගෙ ඔලුව නරක් වීගෙන එනවද ක්‍රිෂ්?"

"ඔලුව නරක් වෙන කතාවක් නෑනෙ මෙතන" මසිතෙහි කෝපය කෙමෙන් නැඟීඑනු මට දැනෙන්නට විය. "මම අනන්‍යාට ආදරෙයි. ඉතිං මට ඕන උදේ හවස එයාව මුණගැහෙන්ට පුලුවන් තැනක රස්සාව කරන්න. අනික මම එයාව කසාද බඳින්ටයි හිතාගෙන ඉන්නෙ. ඒකට මම මෙහෙ, එයා එහෙ ඉඳල හරියන්නෙ නෑ"

"ඒ කියන්නෙ ඔයා මැඩ්‍රාසී කෙනෙක් වෙනවා?" 

අම්මාගේ විශ්මයෙන් විසල් වූ දෑස දුටු මගේ කෝප වේගය පහව ගොස් මුවඟට සිනහවක් නැඟුනේ අනායාසයෙනි. 

"මම මැඩ්රාසී කෙනෙක් වෙන්නෙ නෑ අම්මා. මම චෙන්නයි වල රස්සාව කරන්ට යනව විතරයි. කොහොමත් අවුරුදු දෙකකින් පස්සෙ මට බොහෝවිට ආපහු එන්ට වෙයි දිල්ලියට."

"ෂිප්රා අක්කා කිව්වා ෆෝත් ලේන් එකට අලුතෙන් ඇවිල්ල ඉන්නව කියල හොඳ නක්ෂත්‍ර කාරයෙක්. උපන් වෙලාව බලල ග්‍රහ අපල එහෙම තියනවනම් හරියටම කියනවලු බලා හිටිය වගේ. ඔයාගෙ උපන් වෙලාවත් අරගෙන අද හවසම යන්ට ඕන ඒ මනුස්සය හම්බ වෙන්ට. මට හිතෙන්නෙ පුතේ ඔයාට දරුණු අපල කාලයක් ලබල. "

"මොන කෙහෙම්මල් අපල කාලයක්වත් නෑ අම්මෙ. මම අනන්‍යාට ආදරෙයි. එයත් මට ආදරෙයි. මෙතන තියෙන්නෙ එච්චරයි"

"ආදරය ගැන මමත් ඔහොම කාලයක් හිතාගෙන හිටියා පුතා.ඒත් ආදරය කියන්නෙ තනිකරම මායාවක්.ඔයාටත් බොහොම ඉක්මනට ඒක තේරෙයි" පහත්ව මගේ කොපුල් තලයට සෙමෙන් තට්ටු කල අම්මා පසු නොබලාම මගේ කුටියෙන් පිටව ගියාය.

තේරාගත් අපේක්ෂකයින් විසින් තමන් සේවය කිරීමට කැමති නගරය සඳහන් කොට සිටි බැංකුවට ඉදිරිපත් කල යුතු අයදුම් පත භාරදීමේ කාල සීමාව අදින් අවසන් වනු ඇත. මම මා ඉදිරියේ මේසය මත ඇති අයදුම්පත දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෙමි. එහි අප විසින් සේවය කිරීමට කැමති නගර තුනක් කැමැත්තේ අනු පිළිවෙලට අනුයාත ලෙස නම් කල යුතුය. එය කෙසේ පිරවියයුතුදැයි මම දෙගිඩියාවෙන් පෙලෙමින් පසුවන්නෙමි. ඊයේ අනන්‍යා මා ඇමතුවාය.

"මේ හලෝ..ඔයා අර ලොකේෂන් ප්‍රිෆරන්ස් ෆෝම් එක පුරවල ගිහින් දුන්න නේද? "

"ගිහින් දෙනව...ගිහින් දෙනව…..සීයට අනූවක් පුරවල තියෙන්නෙ" මම ඇසෙන නෑසෙන හඬින් පැවසූයෙමි.

"මොකද්ද ඔයා කිව්වෙ? හරියකට ඇහෙන්නෙත් නෑ...තවම යැව්වෙ නෑ කිව්ව? මනුස්සයෝ හෙට අන්තිම දවස.."

"හරි හරි මම දන්නව...මම දන්නව.." මම නොමනාප ස්වරයකින් පිළිතුරු දුනිමි. 

"ඔයා නොම්මර එකට චෙන්නයි නේද දැම්මෙ?" ඇය යලිත් විමසුවාය..

"ඔව්..ඔව්...ඔව්..චෙන්නයි තමයි..චෙන්නයි තමයි.." මම දුරකථනය විසන්ධි කළෙමි.

මම අවසාන වරටත් අයදුම්පත දෙස මොහොතක් බලා සිට පෑන සුරතට ගතිමි.ඉක්බිති දෑස් ඉහළට යොමුකරමින් දෙවියන්ට යාඥා කොට අයදුම්පත පිරවීමි.

ඔබ සේවය කිරීමට කැමති නගරය (කැමැත්තේ අනුපිළිවෙල පරිදි)

1. චෙන්නයි හෝ දිල්ලිය (එක හා සමාන ලෙස කැමතියි)

2. -

3. -

පිරවූ අයදුම්පත ලියුම් කවරයක බහා අලවා සිටි බැංකුවේ පිළිගැනීමේ කවුන්ටරයට භාරදුන් මම ආපසු නිවෙසට පැමිණ සයනයෙහි වැතිර පසුගිය සතියේ අනන්‍යාගෙන් ලැබුණු ලිපිය යලි කියවන්නට වූයෙමි. 

එම ලිපිය ලද දින සිට සෑම දිනකම රාත්‍රී නින්දට පෙර මම එය අවම වශයෙන් දෙවරක් හෝ කියවූයෙමි.

හාලෝ මගේ පංජාබ් කුමාරයාණනි,

ඉතිං? ඔබ තුමාට මේ ගැත්තීව මතක් වෙනවද මගේ කුමරුණි? මට නම් ඔයාව නිතරම මතක් වෙනව.අපි දෙන්න ඔයාගෙ කාමරේ එකිනෙකාට තුරුලු වෙලා හිටපුව, අත් පටලාගෙන කැම්පස් එකේ පාරවල් දිගේ ඇවිදපුව, ඔයාගෙ කාමරේ රෑ වෙනකල් පාඩම් කරල ඊට පස්සෙ හඳ එලියෙ රම්බායි රෙස්ටුරන්ට් එකට ගිහිල්ල මොනවහරි හපල තේ බීපුව, උදේ පාන්දර දත් කුට්ටම මැදගන්ට ඔයාගෙ කාමරේ ඉඳල මගෙ කාමරේට පණ කඩාගෙන දුවපුව, පාර අයිනෙ පොඩි තේ කඩ වලට රිංගල එක පිඟානෙං පාඕ-භාජි කාපුව, පුස්තකාලෙ මේසෙට යටිං මම ඔයාගෙ කකුල පාගපුව, පංතියෙ සර් උගන්නද්දි අපි දෙන්න දෙන්නට දෙන්න දිහා බලල හොරෙං හිනාවෙච්චි එව්ව, මගෙ එසයින්මන්ට් වලට ලකුණු අඩු වෙලා අඬනකොට ඔයා මගෙ කඳුලු පිහපුව, මම කණ්නාඩිය ඉස්සරහ අයි ලයිනර් ගානකොට ඇඳේ දිගාවෙලා ඔයා යන්තමට හිනාවීගෙන  ඒ දිහාවෙ බලා ඉඳපුව,..එතකොට තව..හරි හරි ඒ ඇතිනෙ..මම හිතන්නෙ ඔයාට තේරෙනව ඇති මම කියන්න හදන්නෙ මොකක්ද කියල...කොටින්ම කිව්වොත් මට ඔයාව මතක් නොවෙන එක මොහොතක්වත් නෑ. අන්න එච්චරයි මට කියන්ට ඕන කලේ..හරී?

ඉතිං මගේ වර්තමාන තත්වය ගැන කිව්වොත් චෙන්නයි වල ජීවිතේ සුපුරුදු ලෙස ගලාගෙන යනව.අම්මට සුපුරුදු විදිහට නුහුගුණේ තද වෙනව දවස් දෙකකට සැරයක් වගෙ.තාත්ත වෙනද වගේම නිස්සබ්දයි. ඉන්නවද නැද්ද කියල හොයන්ට බෑ. මල්ලි කොයි වෙලේ බැලුවත් පොතක් අතේ. එක්කො භෞතික විද්‍යාව, එක්කො රසායන විද්‍යාව එහෙමත් නැත්තං ගණිතය.මේ ඔක්කොම ගැන සලකල බැලුවම කියන්ට තියෙන්නෙ ගෙදර තත්වය සුපුරුදු පරිදියි. සාමාන්‍යයයි කියල තමයි.

ආ..තව එකක්..දවස් දෙක තුනකට ඉස්සෙල්ල මම නිකමට වගෙ අම්මට ඔයා ගැන මතක් කලා. ක්‍රිෂ් ඔයා කිව්වට විස්වාස කරන එකක් නෑ. මෙන්න එදාම හවස අම්ම ගෙදරට ගෙන්නුව නලලෙ අලු ගාගත්ත මාල හැටක් විතර දාගත්ත පූසාරියෙක්. 

ඒ මනුස්සය පැයක් විතර යාතිකාවක් කරල මට දුන්න ජීවම් කරපු මාලයක් දාගන්ට.මිනිහ දහ අතේ දිවුරුව ඒක දාගෙන වරු තුනකිං මට ඔයාව සදහටම අමතක වෙනව කියල..හිහ්..හිහ්..පහුවදා උදේම මම මරීනා බීච් ගිහිල්ල ඒක වීසි කලා බෙංගාල බොක්කට......කොහොමද මගෙ වැඩ?..:)

එදයිං පස්සෙ ආය මම ඔයා ගැන මතක් කලේවත් නෑ..මම දන්නව මට බය වෙන්ට කිසිම දෙයක් නෑ කියල. මම දන්නව ඔයා චෙන්නයි වලට දුවගෙන ඇවිල්ල අපෙ පවුලෙ කට්ටිය ඔක්කොමල කැමතිකර ගන්නව කියල. ඇත්තටම කිව්වොත් බන්ධනය කරගන්නව කියල,වශී කරගන්නව කියල. අර ඔයා මාව වශී කරගත්තෙ..මතකද? අන්න ඒ වගේ..හිහ්..හිහ්...

ඉතිං දැනට ආයුබෝවන්..මගේ කුමරුණී...

අනන්‍යා,

පලි - අහ්..මම කිව්වෙ නෑ නේද? මට වැඩියෙන්ම මතක් වෙන්නෙ මොකක්ද දන්නවද? අර අපි දෙන්න .....අර..අර... මම කියන්න ඕන නෑනෙ...අයි නෝ දැට් යූ නෝ...අයි මීන් සෙක්ස්...:)

ඇගේ ලිපිය මම දස වරක් කියවූයෙමි. අවසාන පලි කොටස සියවරක් කියවූයෙමි. වහාම ක්‍රියාත්මක වන පරිදි ඇය වෙත පියඹා ගොස් ඇය වැළඳ සිප ගැන්මට මට දැඩිසේ අවශ්‍ය විය. සේවය කිරීමට කැමති නගර සඳහන් කිරීමේදී චෙන්නයි යනුවෙන් පමණක් සඳහන් කිරීමට හැකියාව තිබියදී මවට මවිසින් යම් වරදක් කරන්නේය යන අවිනිශ්චිත හැඟීමෙන් මිදෙනු උදෙසා දිල්ලියද සඳහන් කිරීම මගේ ඉදිරි ජීවිතය පරදුවට තබා කල සූදුවක් විය හැකිබව එසැණින් මසිතට නැඟිනි. 

සිටි බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය චෙන්නයි වලට වඩා දිල්ලියට ප්‍රමුඛත්වය දීමට බොහෝවිට තීරණය කල හැක. ඉන්දියාවේ බහුතරයක් මූල්‍ය ගනුදෙනු සිදුවන්නේ  දිල්ලියේදීය. එලෙසම චෙන්නයි වාසී ද්‍රවිඩයකුට වඩා පන්ජාබියකු විදේශීය බැංකුවක ගිණුමක් විවෘත කිරීමේ සම්භාවිතාවය ද වැඩිය. මම ද පන්ජාබියකු බැවින් මගේ සේවය වඩාත් අවශ්‍ය වන්නේ දිල්ලි ශාඛාවට බව තීරණය කිරීමේ හැකියාව එනිසා සැබවින්ම අධිකය.

එසේ සිතන විට පවා මසිත කීරි ගැසීයනු මට කිසිසේත් වැළැක්විය නොහැක. අන්නන්‍යාගේ ලිපිය කියවමින්ම මම නින්දට වන්නෙමි.

සතියකට පමණ පසු මම සාලයෙහි අසුන්ගෙන රූපවාහිනිය නරඹමින් පසුවූයෙමි. දුරකථනය නාද වනවාත් සමඟම අම්මා රිසීවරය එසවූවාය. 

"හලෝ....ආ.......ඔව්..ඔව්.....පොඩ්ඩක් ඉන්න." ඇය ඉනික්බිති මා දෙසට හැරී කෑගැසුවාය. "ක්‍රිෂ් ඔයාට කෝල් එකක්....කවුද මන්ද ගෑණු කටහඬක් තියෙන මනුස්සයෙක්"

"ඔය ඉතිං කෑගහන්ට එපා අම්මෙ...එහාට ඇහෙනවත් ඇති...." මම වහා ඇය අතින් රිසීවරය ගනිමින් පැවසූයෙමි.

"හෙලෝ....මම ක්‍රිෂ්.."

"ආ..හරි ක්‍රිෂ්..මම දේවේෂ්..සිටි බෑන්ක් එච්.ආර්. ඩිවිෂන් එකෙන්…"

"ඔව් කියන්න දේවේෂ්…"

"මම කතා කලේ ක්‍රිෂ් ඔයාගෙ බඳවාගැනීමේ දිනයයි ඔයා එසයින් කරපු ලොකේෂන් එකයි ගැන ඔයාට දැනුම් දෙන්ට…" මගේ හදවත ගැහෙන රාවය එක්වරම මගේ හිසතුලින් මට ඇසෙන්නට විය. ලබ්..ඩප්..ලබ්..ඩප්...ලබ්..ඩප්.....

"ඔව්..දේවේෂ්, කියන්න.."

"ඔයාගෙ බඳවාගැනීමේ දිනය ජූනි පළවෙනිදා..

"හරි...එතකොට මාව දාන්නෙ කොහාටද?"

"ඔයාව අපි අනුයුක්ත කරන්නෙ චෙන්නයි ශාඛාවට.."

මසිත පත්ලෙන් පැන නැඟි නා නා වර්ණයෙන් සැදුම්ලත් ගිණිකෙළි වර්ෂාවක් සැණෙකින් ඉහල නැඟ දිල්ලි අහස දිදුලවමින් පුපුරා ගියේය. එසැණින් නිවසින් පිටත්ව පිස්සකුමෙන් දිල්ලියෙහි ජනාකීර්ණ මාවත් ඔස්සේ සිටි බැංකුවට දිවගොස් ගැහැණු කටහඬකින් කථාකරන දේවේෂ්ගේ ගෙල වැළඳ ඔහු සිප ගැන්මට මසිත පැනනැඟි ආශාව මම වළකා ගත්තේ බලවත් අසීරුවකිනි.

35 comments:

  1. Replies
    1. ප්‍රසන්න,

      මට පේන්නෙ උඹ සබාපති පදවියෙ බලතල අයුතු ලෙස භාවිතා කරනව වගේ. කැචයි හොන්ජේ...:)

      Delete
    2. මේක ලංකාවනෙ රවී අයියා. හැක්..
      තාම කියෙව්වෙ නෑ හිටං. තව පොඩ්ඩකින් කියෝල කොමෙන්ට් එකක් දාන්නං.

      Delete
  2. ස්තූතියි රවී. පරිවර්ථනය අනර්ඝයි

    ReplyDelete
  3. එළයැ. ඔබට ඉතා ඉස්තූතියි

    ReplyDelete
    Replies
    1. 'ඉස්තූතියැ' වෙන්න ඕන බොල.

      Delete
    2. සුරංග,

      ස්තුතියට ස්තුතියැ....:)

      Delete
    3. ප්‍රසන්නයෙනි,

      ඔබ හරියැ...:)

      Delete
    4. ප්‍රසැන්නයන් රැවියන්ටත් වඩා හෙලුවැක්දැ? :-D

      Delete
    5. එම්බල පරාවනි,

      කිමද තොප පරසන්නයින් විසුළුවක් සේ සළකන්නෙහිද? දනුව, උහු වනාහි සිහල අටුවා රචකයින්ගේ සංසදයෙහි කිරුළු නොපලන් රජුවෙත්යැ. වහා පරසන්නයින්ගෙන් සමා අයැද සිටුව, නුනුවණය..වහා සමා අයැද සිටුව

      Delete
    6. ඕකෑ ඕකෑ. සොරි වෑවෑ

      Delete
    7. එම්බල පරාවනි,
      'සොරි' යන පර වදන බිනීම තොපගේ ශීර්ෂඡේදනය කිරීමට තරම් දරුණු වරදක් බව නොදන්නෙහිද?

      Delete
  4. Replies
    1. ස්තූතියි පොකුරු...:)

      Delete
  5. Was the P.S. in Ananya's letter added by Hon.translator.

    ReplyDelete
    Replies
    1. Ano,

      No not at all. it was from the original...:)

      / PS- Oh did I mention, I miss the sex too /

      Delete
  6. පරිවර්තනය කදිමයි

    කාලෙකින් ලැබුනු දින කීපෙක නිවාඩුවේ කම්මැලිකමේ ඉද්දි හිතුනා මේ බොග් එකේ මුලින් මට මගැරුනු කතා කියවන්න. වැඩියත්ම මම කැමති කතාවක කොමෙන්ටු අස්සෙ තියෙන අතුරු කතා කියවන්නයි හෙහ් හෙහ් හෙහ්
    එහෙම යද්දි තමයි මේන්න මේක අහුවුනේ.

    RaviAugust 21, 2013 at 12:34 AM මගෙ තියනව කම්පනාවක් බ්ලොග් එකක් පටං ගන්ට..For invited readers only....ඒකෙ දාන්නං ඔය ඔක්කොම...තව කතා තියනව මහ ගොඩක්....:)

    දැනගන්න කැමතියි මේක ක්‍රියාත්මක වෙනොද කියලා හෙහ් හෙහ් නැතිනම් ක්‍රියාත්මක කරන්නෙයි කියලා ඉල්ලන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ මේ යන්තම් ඇස්වහක් කටවහක් නැතුව මේ පටන් ගත්තු කතා ටික ලියාගෙන යනවෙලාවේ ඔව්ව මතක් කරන්න එපා :D

      Delete
    2. හෙහ් හෙහ් මම හිතුවා ඔහොම අහගන්ට වේය කියලා. ඒත් ඉතින් අපරාදයක් නෙව ඒවා වැලලිලා යන්ට අරින එක

      Delete
    3. රවී අයිය ලංකාවට එනකල් ඕක පටංගන්නෙ නෑ කියල ශුවර්.

      Delete
  7. තැන්කියු තැන්කියු...

    ReplyDelete
  8. ක්‍රිශ්ට ඕනෙ දේ සිද්ධ උනා වගේ.... අම්ම මොනව කියයිද? ඒකත් බලාගන්න ඉක්මනින් ඊලඟ කොටස දාන්නකෝ...

    ReplyDelete
  9. අපොයි දෙයියනේ දැං ඉතිං නලල‍ෙ අලු නෙමෙයි මූනෙ දැලි ගාගන්නයි වෙන්නෙ ක්‍රිෂ්ගෙ අම්මට.
    අර දෙවේශ්ව එච්.ආර්. ඩිවිෂන් එකේ රස්සාවට ගන්නකොට උගේ වොයිස් චෙක් එකක් කළේ නැද්ද

    ReplyDelete
  10. සුවඳ කැවූ හසුන්පත් මතක් විය අයියණ්ඩි...
    ඒ කාලේ තමයි කාලේ...

    මේක ඉවර උනාම කෙළින්ම පොතකට ගහමුද, අනික බං රවී අයියේ බ්ලොග් එකේ ට්‍රාන්ස්ලේට් කරලා දාද්දි අවසර ගන්න ඕනේ නැද්ද, හරියට කමෙන්ට් කොටන්න දෙමළ නයා ගෙන් අපි අවසර ගන්නවා වගේ...

    ReplyDelete
  11. මරු මරු . කොමෙන්ටු නොදැම්මත් ආසාවෙන් කියවන කතාවක්. පහුගිය ටිකේ එපිසෝඩ් ගණනාවක් මගෑරිලා .. ආයේ මුල ඉඳන් එන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඔහේ දන්නවැයි.. මේ අයිය අර පිළිස්සූ කුකුළයි, DD බෝතලෙයි, අසෝකයි ඉවරෙටම ඉවර කලා කියල. හැක්..

      Delete
    2. ඇත්තටම මේ යෝධයාගේ වැඩ වල හැටියට කුකුලා ඔච්චර ඉක්මන් වේවි කියලා මන් හිතුවෙ නෑ හෙහ්

      දෙදහස් දාහතර අවුරුද්දෙ සැප්තැම්බර් පස්වෙනිදා කටුනායක ගුවන්තොටුපලේදි මට නියමිත ගුවන්‍ යානෙ එනකන් ඉද්දි අසෝකා කපන්නට ගත්ත කොස්ගෙඩිය එයින් හරියටම අවුරුද්දකට පස්සෙ දෙදහස් පහලොව අවුරුද්දෙ සැප්තැම්බර් පස්වෙනිදා මම ආයෙත් නිවාඩුවට එන්න ඉද්දි කපලා ඉවර කරන්න වෙච්චි එක ඒ උන්දැගේ මොන පාප කරුමයක්ද කියලා මන් මේ තාම කල්පනා කරන්නෙ

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. " මම මේ කිව්වෙ මේ පෙට්ටගම ගැන මම කැමතියි ඒක මට තෑග්ගක් විදිහට ලැබෙනවනම්.."

      ඔන්නෝය පෙට්ටගම රවී අයියට නොදීමේ පාපය තමයි අසෝකට බලපෑවෙ. අපි කොහොමහරි ඒ පාපයෙන් අසෝකව ගලෝගත්ත. හැක්..

      Delete
  12. 1. අර අභයගිරි මතක සටහන් කියල පටංගත්ත එකේ එක කොටහයි ලියල තියෙන්නෙ. ඒකෙ තව තියෙනවනං වහාම ලියන එකයි තියෙන්නෙ.

    2. /ඉතිං ආය මොනවද? රෑ බෝවීගෙන එනකොට සකෘදාගාමී අනාගාමී තමයි./ ඉතිං ඒ වගේ වෙලාවට වෙච්ච දේවල් ටිකකුත් කියල දාමුකො. (මම හිතන්නෙ මීට කලිනුත් මේ ඉල්ලීම කවුරු හරි කලා) /

    හරි, හරි..ලියමු....ලියමු..ඔය කොයිවත් ලියමු අනුපිළිවෙලට...:)

    මේ ගැන කවද්ද ලියන්නෙ.

    ReplyDelete
  13. ඉන්දියාවේ පුසරිලාත් හරියට මෙහෙ ජෝතිෂ්‍යකාරයෝ වගේමයිනේ රවීයියා.උන් සේවාදායකගෙන් සල්ලි ගත්තාට වැඩ කරන්නේ අනික් පැත්තටනේ.හරියට අපේ අන්කල් සුමනදාස වගේ.

    ReplyDelete
  14. කමෝන්... හුරේ වරේවා..
    ජයවේවා..!!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...