Thursday, June 30, 2016

425. අභයගිරි මතක සටහන් - 2 නියුක්ලියර් යුද්දෙකට පස්සෙ ඉතුරුවෙන එතුමා, අරක්කු පෝළිමේදී හමුවූ මාමා සහ ජෝර්දාන් අයියාගේ රෙස්ටුරන්ට් එක.


අනුරාධපුර නුවර වැව
 පසුබිමින් දිස්වනුයේ මිහින්තලා  ස්ථූපයයි.

කෝඉන්සිඩන්ස් (Coincidence) කියල ඉංගිරිස් වචනයක් තියනව. ඒ කියන්නෙ කෝ? මෙතන මොකක්ද සිද්ද වෙච්ච ඉන්සිඩන්ට් (Incident) එක? කියල අහනව එහෙම නෙවෙයි හොඳද? සිංහලෙන් සිද්ධි සමපතනය කියල කිව්වැහැකි. එහෙම කෝඉන්සිඩන්ස් එකක් වුනා ඊයෙ මට. 

ගිය සතියෙ වගෙ අලුතින් මුණ ගැහුනු මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක් එක්ක කතා බහක් සිද්ද වුනේ මෙහෙම.

"ඔයා එතකොට ලංකාවෙ කොහෙද?" මම ඇහුව.

"මගෙ පදිංචිය පානදුර. ඒත් මම ගොඩක් කාලයක් හිටියෙ අනුරාධපුරේ.."

"ආ එහෙමද? මමත් කාලයක් අනුරාධපුරේ හිටිය..හැබැයි ඒ අවුරුදු තිහකට වගෙ ඉස්සර"

"අනුරාධපුරේ කොහෙද හිටියෙ?" 

"ටවුන් එකේමයි..අර වතුර ටැංකිය කිට්ටුව.."

"ආ ඒ හරියෙ වික්‍රමපාල අයිය එහෙම දන්නවද?"

"අඩේ ඔව්නෙ..මම හොඳටම දන්නව..අපි ඒ කාලෙ එයාට කිව්වෙ ජෝර්දාන් අයිය කියල. මිනිහ ඒ කාලෙ ජෝර්දාන්වල සෑහෙන කාලයක් රස්සාව කලා. ඒකයි එහෙම කිව්වෙ."

"මම නම් දන්නෙ වික්‍රමපාල අයිය කියල විතරයි. ඒත් ඔය ජෝර්දාන්වල හිටපු කතාවත් මම දන්නව. ඒත් මම දන්න කාලෙ මිනිහ හිටියෙ අබුඩාබිද කොහෙද..අපෙ තාත්ත මිනිහ එක්ක එකතුවෙලා රෙදි කඩයක් කලා අලුත් බස් ස්ටෑන්ඩ් එකේ…"

"ඔය කොයි කාලෙ වගේද?"

"අනූවෙ.... අනූ එකේ  වගේ"

"හරි හරි ඒ වෙනකොට මම අනුරාධපුරෙං ඇවිල්ල. ඉතිං මොකෝ බිස්නස් එකට වුනේ?"

"ඒක හරිගියෙ නෑ. අවුරුදු දෙකක් වගෙ කරල වහල දැම්ම" 

"ඔව්..ඔව්..ඔය ජෝර්දාන් අයියට ඒ කාලෙ ඉඳලම තිබ්බ බිස්නස් උණක්. අවුරුදු දෙකක් වගෙ රට ඉඳල ඇවිල්ල ඉතුරු කරගත්තු සල්ලි වලින් මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්නව එක්කො තනියම. නැත්තං තවත් කවුරු හරි යාලුවෙක් හවුල් කරගෙන. වැඩි කාලයක් යන්ට ඉස්සර ඒක බංකොලොත් වෙනව. ඊට පස්සෙ ආයම රට යනව..සල්ලි කීයක් හරි හොයාගෙන එනව. ආයෙත් බිස්නස් එකකට අත ගහනව. ඔය විදිහට තමයි දිගටම වැඩේ සිද්ද වුනේ මම ඔය මනුස්සයව දන්න දවසෙ ඉඳල"

ඉතිං ඒ වෙලාවෙ මට හිතුන අඩේ ජෝර්දාන් අයිය ගැන ලිව්වැහැකි නෙව අපූරු සටහනක් කියල. අභයගිරියට කෙලින්ම සම්බන්ධයක් නැති වුනත් මම අභයගිරියෙ ඉන්නෙ කාලෙදි සිද්ද වෙච්චි කරුණු කාරණා හින්ද කිසි අවුලක් නැතුව අභයගිරි මතක සටහන් - 2 කියල නම් කරන්ටත් පුලුවනිනෙ.එහෙම හිතල කතන්දරේ ලියන්ට පටන්ගත්ත කියල කියමුකො. 

මෙන්න ඊයෙ උදේ මම දැක්ක අපේ පොරසන්නය (කොමෙන්ට් කරුවංගේ සංගොමේ ගරු සබාපතිතුමා) කියල තිබ්බ මෙහෙම. /අර අභයගිරි මතක සටහන් කියල පටංගත්ත එකේ එක කොටහයි ලියල තියෙන්නෙ. ඒකෙ තව තියෙනවනං වහාම ලියන එකයි තියෙන්නෙ./ හෙහ්,හෙහ්, මම අර පටං ගන්නකොටම කෝඉන්සිඩන්ස් එකක් නැත්තං සිද්ධි සමපතනයක් ගැන කිව්වෙ ඔන්න ඕක ගැන..තේරුණාය?

ඉතිං ඔන්න ඔය සියලුම කාරණා කටයුතු සලකා බලල මම තීරණය කලා අභයගිරි මතක සටහන් - 2 ලියල දාන්ට ඕමනාය කියල. ඕමනයි කියල කියන්නෙ කවුද දන්නවනෙ නේද? ජේ. ආර්. තුමා..ආ...ජේ. ආර්. කිව්වම තව කතාවක් මතක් වුනා. 

මේ දවස්වල ග්‍රීෂ්ම කාලෙ හින්ද කබඩ් යට කාපට් යට හැම තැනම ඉන්නව පොඩි කැරපොත්තො වගෙ සත්තු ජාතියක්. කැරපොත්තො කිව්වට කැරපොත්තන්ට වැඩිය උං සමාන වෙන්නෙ දැළියන්ට. දැළියො දන්නව නේද? අපි සුට්ටි කාලෙ නං දැළියො අනන්තවත් හිටිය. විසේසයෙන්ම කුස්සිවල දුම්මැස්සෙ.අර කලුපාට පොඩි සත්තු. 

හරි දැං ආපහු එමු කැරපොත්තා සහ ජේ.ආර්. ගෙ කතාවට. ඔය කැරපොත්තා කියන සතා බොහොම අනාදිමත් කාලෙක ඉඳල මේ ලෝකෙ ජිවත්වෙන සතෙක්ය කියනවනෙ. කොටිම්ම ටිරනෝසෝරස් රෙක්ස්ලගෙ බිත්තර කටු හිටං ලෑටි ගාපු පොරක් තමයි ඔය කැරපොත්තා කියන සත්වයා. කැරපියාගෙ (දකුණෙ කට්ටිය කියන්නෙ කැරපොත්ත නෙවෙයි කැරපියා. කැරපියානන්ද කියලත් පෙලක් කියනවලු) සර්වයිවබිලිටි එක නැත්නම් නොනැසී පැවතීමේ හැකියාව කොච්චර ද කියනව නං න්‍යාෂ්ඨික අවි යොදාගන්නා මහා පරිමාණ යුද්ධයකින් පස්සෙ මේ මහ පොළව මතුපිට නොනැසී ඉතිරි වෙන්නෙ කැරපියාලා විතරක් වෙන්ට පුලුවන් කියල ඔය කවුද කියලත් තියනව.

ඉතිං ජේ.ආර්.ට හිටියනෙ මුණුබුරාල තුන් දෙනෙක්. එක මුණුබුරෙකුට මම හිතන්නෙ මේ ඊයෙ පෙරේද තානාපති පත්වීමකුත් හම්බවුනාද කොහෙද. ඉතිං ඔය මුණුබුරෙක්ට ඉස්කෝලෙදි කියල දීල තියනව ඔය කතාව. කතාව කිව්වෙ කැරපොත්තා න්‍යාෂ්ඨික යුද්ධයකින් පස්සෙ නොනැසී ඉතිරිවෙන කතාව. 

මුණුබුරා මොකද කරන්නෙ හවස ගෙදර ඇවිල්ල සීයා එක්ක ඔය විස්තරේ කිව්ව. "සීයෙ..සීයෙ..සීය දන්නවද පරමාණු යුද්දෙකිං සත්තු මිනිස්සු ඔක්කොම විනාස වෙලා ගියත් අන්තිමට කැරපොත්තා විතරක් ඉතුරුවෙනව." ජේ.ආරුත් "හා එහෙමද? ඒකත් හොඳයි දැනගත්තු එක" කියල ඔලු ගෙඩිය එහෙම දෙතුන් පාරක් හොල්ලල ඔය කතාව හිතේ තියාගත්ත. 

පහුවදා ලොක්කට කතාවක් පවත්තන්ට තිබ්බ කොහෙ හරි ඉස්කෝලෙක තෑගි බෙදාදීමේ උත්සවේ ප්‍රධාන අමුත්තා හැටියට. මට මතක විදිහට මියුසියස් එකේද කොහෙද. කොහොම හරි බාලිකා පාසලක.."බාලිකාවියන්..තක්සලා දොරින්..ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලා නුවන්...යන්තරේ හඬින් මන්තරේ දුමින් රාවණා ඇවිත් ඉඳන් සෙයිලමේ ඉඳන්... " 

ඒ එක්කම මට මතක්වෙන තවත් ගීතයක් තමයි "අජානේය ඉස්කූටර තුරඟා පිට වඩිනා, කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා, තබා හිමි දෙවුර එසඳේ පුරවර සිරි බලනා, විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයිද හිතුනා.."

බාලිකාවියන් ගීතයේ ගායකයා ජානක වික්‍රමසිංහ, මනුස්සය ප්‍රසිද්ධ වෙන්ට ඉස්සරවෙලා මම අර මහ කැලේ මැද වැඩ කරන කාලෙ කොන්තරාත් කලා. ඒ කාලෙ අපි හරි ආසයි ජානකගෙ සිංදු අහන්ට. ජානක වික්‍රමසිංහගෙ ගම පොළොන්නරුවෙ. ජානකට ඉස්සෙල්ල පොළොන්නරුවෙන් ප්‍රසිද්ධ වුනු ගායකයා කුමාරසිරි පතිරණ ..."සිතින් පතා ඉන්නම්, කුළුඳුල් පෙම් පැතුමන්, ඉතින් සිනා සෙන්නම් ඔබගෙ රූ මවමින්" ඒ කුමාරසිරි පතිරණගෙ ඒ කාලෙ බොහොම ජනප්‍රිය වුනු ගීයක්. දෙකක් දාගත්තද අපිට ඉතිං "සිතින් පතා ඉන්නම්" තමයි..හෙහ්,හෙහ්, 

හරි කුමාරසිරි පතිරණ සහ ජානක වික්‍රමසිංහ ගැන ආයම දවසක ලියන්නං..ඔය බලන්ටලාකො..කතන්දරයක් එක විදිහකට දිගටම කියාගෙන යන එක කොච්චර අමාරුද නේද? අතුරු කතා කීයක් නම් කියල හිතට එනවද..නේ? හරි ආපහු ජේ.ආර්.ගෙ කතාවට යමුකො එහෙනං කලින් දවසෙ අර මුණුබුරාගෙන් අහගත්තු විස්තරෙත් ජේ.ආර්. ලොක්ක ඒ කතාවෙදි කිව්ව. ඒ කිව්වෙ මෙන්න මෙහෙම.. 

"මේ පොඩි ළමයි බොහොම හොඳට ඉගෙන ගන්ට ඕන. පොඩි අය තමයි කවදක හරි මේ ලෝකෙ ඉතුරුවෙන්නෙ. ඔය අය දන්නවද නියුක්ලියර් යුද්දයක් මේ ලෝකෙ ඇතිවුනොත් එහෙම මනුස්සයො සත්තු ඔක්කොමලා විනාස වෙලා යනව. ඒත් කැරපොත්තා විතරක් ඉතුරු වෙනව. ඔව් නියුක්ලියර් යුද්දෙකින් පස්සෙ ඉතුරු වෙන්නෙ එතුමා විතරයි" 

බාලිකාවියන් ඉතිං අතිං කටවල් වහගෙන හිකි හිකි ගාල හිනා වුනාලු. මෙතන උනේ ජේ.ආර්. ජීවිත කාලයක් තිස්සෙ ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තු රාජකාරි කරපු මනුස්සයෙක්නෙ. ඉතිං සිංහල වචනවල හරියටම තේරුම් ඒ වගේම ඒ වචන යෙදෙන නොයෙදෙන තැන් ගැන නිරවුල් අවබෝධයක් නෑ. එතුමා හිතන්ට ඇති ඌ, ඒකා, ඒ සතා, එතුමා කියන සිංහල වචන ඔක්කොගෙම තේරුම එකයි කියල....හෙහ්...හෙහ්...

හරි ජේ.ආර්. සහ කැරපොත්තා ගැන ඒ අතුරු කතාව මෙතකින් අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තූතියි. ආපසු ප්‍රධාන කථාවට යමුකො එහෙනං...

ඉතිං ඔන්න ඔය සියලුම කාරණා කටයුතු සලකා බලල මම තීරණය කලා අභයගිරි මතක සටහන් - 2 ලියල දාන්ට ඕමනාය කියල.

ජෝර්දාන් අයිය කියන්නෙ අනුරාදපුරේ හිටපු කාලෙ අපෙ යාලුවෙක්. ඒ වෙනකොටත් ජෝර්දාන්ගෙ වයස අවුරුදු තිස්පහක් වගෙ ඇති. මම අර කලින් කිව්ව වගෙ ජෝර්දාන් අයිය, ජෝර්දාන් අයිය කිව්වට මිනිහගෙ නම ඇවිල්ල වික්‍රමපාල. ඒ ඔය මිනිස්සු ගෑණු මැදපෙරදිග රස්සාවල්වලට යන්ට පටන්ගත්තු කාලෙ වගෙ. ඒ ගිහිල්ල ආපහු එන සමහර කාන්තාවො ඔය ඔලුවෙ ඉඳං දෙපතුල ගාවටම වැහෙන කබායවල් වගෙ ඇඳුං ඇඳගෙන මහ උජාරුවෙං පාරෙ ගියා.ඩුබායි යන්ට (මැදපෙරදිග කොහෙට ගියත් ඒ කාලෙ කිව්වෙ ඩුබායි යනව කියල. සාජා, අබුඩාබි, කටාර්, ඔමාන්, බහරේන් වගෙ වෙන වෙනම නම් කියන්ට මිනිස්සු දැනගෙන හිටියෙ නෑ.) බැරිවෙච්චි ගෑණු එහෙම අය දිහා ඉරිසියාවෙන් පුපුරන දෑසින් බලාගෙන හිටිය.

ඩුබායි ගිය අය එහෙං ගෙනාපු ඩුබායි රෝස තමංගෙ මිදුල් වල පාත්ති හදල වැව්ව. ඩුබායි නොගිය අය එව්වයිං දඬු කෑල්ලක් දෙකක් තමන්ටත් ඉල්ලගෙන හිටවගත්ත. අනුරාදපුරේ කච්චේරිය ගාව වටරවුමත්, උසාවිය ගාව වට රවුමත් මුලුවසං වහගෙන රතු, රෝස, කහ සහ සුදු ඩුබායි රෝස මල් පිපුන. අපි යමිං එමිං ගමන බයිසිකල් ඒ අයිනෙ නවත්තල ඒ දිහා බලාගෙන හිටිය. 

ජෝර්දාන් අයියට ඒ නම වැටුනෙ කාලයක් ජෝර්දානයෙ රස්සාව කල හින්ද. මිනිහ කලේ මොකක් හරි මේ එකවුන්ටන්සි සම්බන්ධ රස්සාවක් කියල මට මතකයි. කොහොම හරි අසූහතරෙ අවුරුද්දෙ මැද වගෙ ජෝර්දාන් අයිය ලංකාවට ආව. 

ඒ වෙනකොට මම අභයගිරියෙ වැඩ. අනුරාධපුරේ හිටියෙ මම විතරයි. අප්පච්චි රජයේ සේවයෙන් පෙන්ෂන් ගත්තට පස්සෙ පවුලෙ අනික් අය ගියා පිළිමතලාවෙ අපි කාලෙකට ඉස්සර ගත්තු ගෙදරට. මම අනුරාධපුරේම නැවතුනා රස්සාව හින්ද. මට ඒ කාලෙ ස්ථිර නවාතැනක් තිබුනෙ නෑ .අභයගිරියෙ මගෙ යාලුව සේනකගෙ කාමරෙත් නැවතුනා. ඒ එක්කම මාත් එක්ක ටෙක් එකට ගිය තව යාලුවෙක් අනුරාධපුරේ හිරගෙදර හිටිය. හිරගෙදර හිටිය කිව්වෙ ඌ ගෙවල් බිඳල අහුවෙලා කූඩු කරල එහෙම නෙවෙයි. ...හෙහ්...හෙහ්...ඌ රස්සාව කලේ හිරගෙදර. උගෙ ක්වාටර්ස් එකෙත් මම නැවතුනා හිතුනහම.ඊට අමතරව ගොඩගේ මාවතෙත් හිටිය තව යාලුවෙක්. එහෙත් නතර උනා. 

අපිත් එක්ක අපේ ගෙදරම හිටිය මම දන්න කාලෙ ඉඳලම අම්මගෙ අම්මයි, (මගෙ අත්තම්ම) තව අම්මගෙ කසාද නොබැඳපු අයිය කෙනෙකුයි.ඔය මාම රස්සාව කලේ අනුරාදපුරේ සිගරට් ඒජන්සියෙ. ඒකෙ සිගරට් ඩිලිවරි වෑන් එකක් එලෙව්ව.

අම්මල අප්පච්චිල පිළිමතලාවෙ ගියාම මාමත් එයාගෙ යාලුවෙක් එක්ක නැවතුනා ඔය පුබුදුපුර පැත්තෙද කොහෙද....හෙහ්..දවසක් මරු වැඩක් වුනා...ඒකනං නොකියම බෑ. මම එදා රෑ නැවතුනෙ අභයගිරියෙ සේනකයගෙ කාමරේ. හවස් අතේ වැඩ රාජකාරි එහෙම අහවර වෙලා අපි දෙන්න නුවර වැවට ආව ටිකක් වතුරෙ බැහැල එහෙම ගිරීස්මෙ නිවාගන්ට.

"මචං ගල් බෝතලේකුත් අරගෙනම යමුද?" නාල ඉවරවෙලා බයිසිකලුත් තල්ලු කරගෙන වැව් කණ්ඩිය දිගේ පල්ලම් බහින අතරෙ සේනක ඇහැව්ව.

"අන්න නියමයි" මම කිව්ව. ආය මොනවද නියම මිනිහගෙං ඇහුවෙ...හෙහ්,හෙහ්,

මාකට් එක එහා පැත්තෙ බාර් එක ඉස්සරහ මාර පෝළිමක්. 

"අප්පටසිරි මෙතන මාර පෝලිම නේද? මොකද කරන්නෙ?" මම ඇහුව. 

"මොකද කරන්නෙ කියල අහන්නෙ? ආය අහවල් දෙයක් කරන්නයැ? පෝලිමෙ ඉන්නව මිසක…"

සේනකය එහෙම කියල ඊට එහා පැත්තෙ තිබ්බ යකඩ වැටට අල්ලල උගෙ බයිසිකලේට ඉබ්බ දැම්ම. මමත් මගෙ බයිසිකලේ එතනම වැටට හේත්තු කරල ඉබ්බ දැම්ම. ඒ දවස්වල අනුරාදපුරේ පුෂ් බයිසිකල්වල පිටිපස්ස රෝදෙ ලොක් එකක් දාල බේරගන්ට බෑ. හොරු කරන්නෙ ටිකක් වෙලා ඔත්තු බලල පිටිපස්ස රෝදෙ උස්සගෙන බයිසිකලේ අරං යන එක. 

ඒ හින්ද මිනිස්සු පුරුදු වෙලා හිටිය රබර් බටේකිං ආවරණය කරපු අඩි දෙකහමාරක් තුනක් වගෙ දිග දම්වැලකිං බයිසිකලේ ලඟ තියෙන වැටකට වගෙ දේකට අමුණල ඉබ්බෙක් දාන්ට. එතකොට ඉතිං වැටත් ගලවගෙනම තමයි බයික් එක අරං යන්ට ඕන.

ඉතිං අපි දෙන්න පෝළිමට එකතු වුනා කියමුකො. ඔන්න විනාඩි පහක් ගියෙ නෑ. කවුද මගෙ උරහිසට අතක් තියල මිරිකුවා. "මොකද මෙතන කරන්නෙ?" ගොරෝසු කටහඬකුත් ඇහුණ. බොහොම හුරු පුරුදු කටහඬක්. ඒ කටහඬ අඳුන ගන්ට මට ඔලුව හරවල බලන්ට උවමනා වුනේ නෑ..අපේ මාමා.... 

"නෑ..මාමේ...මේ මේ…මම...මේ" මම ගොත ගැහුව. මොනව කියල කියන්ටය ආය? නිකං ජොලියට වාගෙ පෝලිමේ ඉන්නව කියල කියන්ටයැ

ඒ කිට්ටුව සමුපකාරයක් වත් තිබ්බනම් කියන්ට තිබ්බ "ආ...මාමෙ අපි මේ මෙතන සමූපකාරෙ හොඳ කට්ට කරවල තියනවයි කියල ආරංචියක් ආව. ඒ පාර හෙට උදේට කරවල කටු හොද්දකුත් එක්ක කැකුළු බතක් කමුය කියල හිතලයි මේ පෝළිමේ ඉන්නෙ.." කියලවත්.

එතකොට මාම කියයි මෙහෙම "ඉතිං මේ ඉන්නෙ කරවල පෝලිමේ නෙවෙයිනෙ. මේක අරක්කු පෝලිමනෙ…"

එතකොට මට තියෙන්නෙ ඇස් දෙකත් දොඹගෙඩි වගෙ කරගෙන සේනකය දිහාට හැරෙන්ට. "ඒයි මචං කිව්වත් වාගෙ මේ කරවල පෝලිම නෙවෙයි නේද? මේක අරක්කු පෝළිම…"

එතකොට සේනකය කියයි.."අප්පටසිරි ඇත්තම නේන්නං..දැං මොකද කරන්නෙ?"

එතකොට මම කියනව මෙහෙම…"එක්කොත් මෙච්චර වෙලා අරක්කු පෝළිමේ හිටපු එක ගල් බෝතලේකුත් අරගෙනම යමු.උදේට කරවල කටු හොද්ද කාල බඩේ අජීරණයක් එහෙම හැදුනොත් දිවිය අවුසදයක් වගෙ සුට්ටක් ගත්තැහැකිනෙ…"

එහෙම ගොන් පාට් එකක් ඇට් කොරන්ට උනේ නෑ මොකද ඒ අහල පහල සමූපකාරයක් නෑ. ඒ හින්ද "ආ..මාමෙ..මේ ..මාමෙ ...මේ.." කියල මම බිම බලාගත්ත. 

"මාමෙ මේ නෙවෙයි..ආය එහෙම මෙතනට එනව නෙවෙයි තේරුණාද? අප්පච්චි අම්ම එහෙම අඳුරන කවුරු හරි දැක්කොත් එහෙම…" මාම මාදිහාවෙ රවාගෙන කිව්ව. 

ඇත්තම නේන්නං...මට එහෙම එකක් හාංකවිසියක් මතක් නොවිච්චි හැටි. රිඹ යනව තමයි එහෙම කවුරුහරි දැක්කනං එහෙම. ඔය අපෙ මාමගෙ යාලුවෙක් ඔය බාර් එක කලේ.මම ඒක දැනගෙන හිටිය. ඒ වගේම මට ඒ වෙලාවෙ ගණදෙවි නුවණ පහළ වුනා. 

"ඇත්ත තමයි මාමෙ. දැං මට පේන්නෙ මේ පෝළිමේ සෑහෙන වෙලාවක් ඉන්ට වෙයි වාගෙ. අඩු ගානෙ විනාඩි පාළහක්වත්. ඒ අතර අම්ම හරි අප්පච්චි හරි අඳුනන කවුරු හරි දැක්කොත් වස ලැජ්ජාව. ඒ හින්ද මෙහෙම කරමු"

"කොහොමද?" මාමා මා දිහාවෙ ඇස් පුංචි කරල බැලුව. 

"මෙතන බාර් එක කරන්නෙ මාමගෙ යාලුවෙක්නෙ. මාම පිටිපස්සෙං ගිහිල්ල මට ගල් බෝතලයක් ගෙනත් දෙන්න. එතකොට පෝලිමේ ඉන්න ඕන නෑනෙ." 

"මොකක්?" මාමගෙ ඇස් උඩ ගියා. එහෙමම ටිකක් වෙලා ඉඳල මූනට යන්තං හිනාවකුත් ආව. "ඒකත් හරි තමයි බලාගෙන යනකොට..කෝ එහෙනං සල්ලි දෙනව මෙහාට...මම සල්ලි ගන්නෙ නෑ..මේ දවස්වල මගෙ අතේ සල්ලි හිඟයි.."

"නෑ කමක් නෑ මාමෙ" මම ඩෙනිමෙ පිටිපස්ස සාක්කුවෙං පර්ස් එක එලියට ගත්ත. "මාමටත් ඕනනං ගල් බෝතලයක් ගන්න. පස්සෙ ගනුදෙනු බේරගන්ට බැරුවය."

"එපා..එපා..මට ඕන නෑ...හරි තමුසෙලා දෙන්න ගිහිල්ල අතන ඉලස්ටෝ බෝඩ් එක ලඟ ඉන්නවල." එහෙම කියල මාමා මගෙන් සල්ලිත් අරගෙන ගියා. 

සේනකය බක බක ගාල හිනා වෙනව. "උඹ තමයි දවසකටවත් මිනිහ..හෙහ්..කොහොම හරි මාම ලව්වම ගල් බෝතලේ ගෙන්න ගන්නයි හදන්නෙ නේද පෝළිමේ නොඉඳම…"

"හෙහ්,හෙහ්, අන්න මල්ලි ඒකට තමයි කියන්නෙ පුබ්බෙ නිවාසානුස්මෘති ඥාණය භාවිතා කරනව කියල. උඹට තේරුණාද?...අනික මම මේ හදන්නෙ දෙමව්පියන්ගෙ නම්බුව ගෞරවය බේරගන්ට..වෙන දෙයක් නෙවෙයි"

ආ..ඉලස්ටෝ බෝඩ් එක කිව්වෙ හැත්තෑ ගණංවල ඒ කාලෙ ලංකාවෙ ප්‍රධාන නගර හැම එකේම වගෙ නගර මධ්‍යයේ කාටත් පේන තැනක විසාල බිල් බෝඩ් එකක් ගහල තිබ්බ ඉලස්ටෝ පාවහන් ප්‍රචාරය කරන්ට. එව්ව හදල තිබ්බෙ ඇලුමිනියම් සරුවපිත්තල කෑලි කෑලි පුරුද්දල. ඉතිං හුළඟට ඔය බිල් බෝඩ් එක (බිල් බෝඩ් එක කිව්වට ඒක ඇත්තටම තිබ්බෙ ලිහිල්ව එල්ලපු රෙද්දක් වගෙ) යංතං හෙලවෙනකොට ඔය කෑලි අව්ව වැටිල දිලිසෙන්ට ගන්නව. බලා ඉන්ට ආසයි. 

කෑගල්ලෙ බස් ස්ටෑන්ඩ් එක කිට්ටුවද කොහෙද මට මතක විදිහට ඔය ඉලස්ටෝ බෝඩ් එකක් තිබ්බ. හයේ හතේ පංතිවල ඉන්න කාලෙ ඉස්කෝලෙ ඇරිල ගෙදර එනකොට අපි ඔය ඉලස්ටෝ බෝඩ් එක ඉස්සරහ නතර වෙලා සෑහෙන වෙලා ඕක දිහාවෙ බලා ඉන්නව අනිමිස ලෝචන පූජාවෙන්.

බම්බා ජන්කන් එකේ නැත්නම් බම්බලපිටියෙ හන්දියෙත් ඔය ඉලස්ටෝ බිල් බෝඩ් එකක් තිබ්බ ඒ කාලෙ. අර දෑවුරුද්දකට වගෙ කලින් යස අපූරු බ්ලොග් එකක් ලිව්වෙ අවුලා කියල දැං ඔය ඉඳ හිටල ඇවිල්ල කමෙන්ට් එකක් දාල යන පකිරින්තුවෙක්. අන්න ඌත් මට මතකයි ඔය බම්බා ජන්කන් එකේ ඉලස්ටෝ බෝඩ් එක ගැන එක පාරක් ලියල තිබ්බ අපූරු සටහනක්...

ඉතිං මම මේ අරක්කු පෝලිමේ හිටපු කාලෙ වෙනකොට ඉලස්ටෝ සපත්තු සෙරෙප්පු නැතිවුනාට අතීත මතක සටහන් විදිහට ඔය බිල් බෝඩ් ඉතුරුවෙලා තිබුන තැන් තැන්වල.

රයිට් ආපහු එමු ජෝර්දාන් අයියගෙ කතාවට...ජෝර්දාන් අයිය ජෝර්දානෙ ඉඳල ආපහු ආවය කියල මම කිව්වනෙ. ඇවිල්ල දවස් දෙක තුනකින් අපි යාලුවො කට්ටියට ජොර්දාන් අයියගෙන් ආරාධනාවක් ආව පොඩි මධු සාදයකට. පොරගෙ ගෙදර වත්තෙ අඹ ගහක් යට සාදය සෙට් කරල තිබ්බෙ. 

ඔන්න ඉතිං වැඩේ නැඟල යන අතරෙ ජෝර්දාන් අයිය මෙහෙම කිව්ව.."මල්ලිලා..මට තියනව ඔය ගොල්ලන්ට වැදගත් කාරණාවක් කියන්ට.."

එතන රැස්වෙලා හිටිය මයෙ හිතේ අට දෙනෙක් වගෙ අපෙ ඒ අහල පහල යාලුවො. මම ඇත්තටම ජෝර්දාන් අයිය එක්ක සෙට් වුනේ ටෙක් එකේ මගෙ හොඳ යාලුවෙක් වෙච්චි කුමාර ජෝර්දාන් අයියගෙ අසල් වැසියෙක් හින්ද.

ඉතිං අපි කට්ටියම අතුරුකතා නවත්තල බයිට් හප හප හිටපු හකු පාඩා එහෙම්මම අක්‍රිය කරල ජෝර්දාන් දිහාට හැරුන."මම හිතාගෙන ඉන්නෙ මල්ලිලා ආපහු රට නොයන්ට…"

අපි කවුරුත් මොකවත් කිව්වෙ නෑ.සාවදානව ඇහුංකං දීගෙන උන්න. "මගෙ කල්පනාවක් තියනව පොඩි බිස්නස් එකක් පටං ගන්ට. "

"ඒ කිව්වෙ අයියෙ? මොන වගෙ බිස්නස් එකක්ද?" කුමාර එහෙම ඇහුවෙ. 

"මම හිතාගෙන ඉන්නෙ මල්ලිලා රෙස්ටුරන්ට් එකක් පටන් ගන්ට."

"ඒ කිව්වෙ මේ ෂෝට් ඊට්ස් වගෙ?" මම ඇහුව. 

"නෑ නෑ නෑ මල්ලි. එව්ව කරල කාටද හරිගියේ?" ජෝර්දාන් අයිය හිනාවුනා. "මගේ අයිඩියා එක ඇවිල්ල ලිකර් රෙස්ටුරන්ට් එකක් පටන්ගන්ට. අරක්කු, බියර් විස්කි බ්‍රැන්ඩි ඕනම දෙයක් තියන රෙස්ටුරන්ට් එකක්. "

"නෑහ්?" ඇස් දාසයකුයි කටවල් හතකුයි ඇරුනෙ එක වෙලාවටම.

හරියන්නෙ නෑ ළමයි...ජෝර්දාන් අයියගෙ රෙස්ටුරන්ට් එකේ කතන්දරේ තව දවසකට කල් දාන්ට වෙනව..කමක් නෑනෙ නේද? 


78 comments:

  1. Me two.'Kokas' are still in bed in SL.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      මොන පිස්සුද? කොකස සබාපතිතුමා මේ වෙනකොට නැඟිටල, මූනකට කාරිය හෝදල, දෙයියො බුද්දුංට පානත් තියල, දුනුත් අල්ලල, කඩෙත් ඇරල, කැසියර් එකේ ඉඳගෙනත් ඉවරයි.

      උන්දැ කමෙන්ට් කොටන්ඩ එන්නෙ උදේම ගණුදෙනුවක් එහෙම කරල පන්දාගෙ කොලයක් දෙකක් මිට මොලවගෙන ඇඟිලිවල ඇට එහෙම කඩල කරල....හෙහ්,හෙහ්,

      Delete
    2. අඩේ අයිය දැකල කියනව වගේ. අද උදේම පන්දාහෙ කොලයක් හම්බ උනානෙ.

      Delete
    3. ප්‍රසන්න,

      අන්න බලපං මල්ලි....ඒකට තමයි කියන්නෙ ප්‍රභාසංස්ලේෂණ හැකියාව කියල. හැමෝන්ටම ඔහොම බෑ..තේන්නාද?

      Delete
  2. කටාර් අයිය කියල නමක් දායිද දන්නෙ නැහැ කාට හරි. හැක්. ස්තූතියි රවී.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      ඒකත් කියන්ට බෑ තමයි....:)

      You are welcome.....

      Delete
    2. පැණිදෙනියෙ කටාර් අයිය.

      Delete

  3. /හරියන්නෙ නෑ ළමයි...ජෝර්දාන් අයියගෙ රෙස්ටුරන්ට් එකේ කතන්දරේ තව දවසකට කල් දාන්ට වෙනව..කමක් නෑනෙ නේද? /

    අනේ කමක් නෑ. අපිත්,
    සිතින් පතා ඉන්නම්.. ම්ම්ම්.

    ReplyDelete
    Replies
    1. සිතින් පතා ඉන්න නිකං බෑ බොල. ගල් බෝතලයක් තියෙන්න ඕන.

      Delete
    2. සුරංග,

      අන්න බං සිතින් පතා ඉන්න තව මොනවද ඕනලු..ප්‍රසන්නය කියන්නෙ....:

      Delete
  4. ඔය කැරපොත්තා කතාව, ළඟදි මගේ එකේ කොමෙන්ට් එකක් විදියට තිබුනා (මගේ එකේ කොමෙන්ට් එකක් දාන්න හිත හදා ගන්න බැරි උනාට, ඒක කියවනවා වගේ)

    ජනක වික්‍රමසිංහ මාතලන්ට හමබ උනේ, මාතලන් ෆිනෑන්ස් කොම්පැනියක වැඩ කරපු කාලේ බ්‍රාන්චි විසිට් එකක් ගිය වෙලාවේ.,. ඔය සංචාරක පොලීසිය ඉස්සරහා තියෙන ගෙස්ට් හවුස් එකේ. "ගංඟාද" කොහෙද නම. මට හරියට මතක නෑ. මම මගේ යාලුවත් එක්ක පොඩ්ඩක් අනුමත් වෙලා ගිටාර් එක ගගහා අමරදෙව මහත්තයා ඝාතනය කරමින් උන්නේ. සෑහෙන උස, අමුතු ලුක් එකක් තියෙන පොරක් ඇවිල්ලා අපිත් එක්ක සෙට් උනා.. සින්ඩුවක් දෙකක් කිව්වා... අපි කොර උනා... ඊට පස්සේ මෑන් කිව්වා මේ මම දාන්න ඉන්න කෑසට් එක.. පොඩ්ඩක් අහලා බලන්න මම උදේට ගන්නම් කියලා...

    පිස්සුම හැදෙයි.. ආන් එහෙම තමයි, අපි ජනක ෆීල්ඩ් එකට එන්නත් කලින් එයාගේ රසිකයෝ උනේ.. මම එයාගේ ආසම, "හඳයෝ" කියන සින්දුවට.. ඒකෙ කියා ගන්න බැරි මොකක්ද අමුතු රසයක් තියෙනවා.. පොරට සින්දු කියන්න අවශ්‍යතාවයක් නෑ... මුළු පවුලම හොඳ බර කාරයෝ... කොන්තාත් කාරයෝ..

    කුමාරසිරි පතිර්ණත් අමුතු ගායකයෙක්... "සිතින් පතා ඉන්නම්..." කවදාවත් අමතක නොවන ගීතයක්.. පොර අසනීපයකින් ගොඩාක් දුක් වින්දා.. "තුන් සිතක ගී" කියපු නාමලුත් මැරෙන්නම ගියා... සෂී විජේන්ද්‍ර සිනමාවෙන් සමු ගත්තා.. එදා කව්දෝ කඩප්පුලි එකක් පත්තරේ ලියලා තිබුනා, මෙතක් සිංහල සිනමාවට විශාලම සෙවයක් කල එකම නළුවා ශෂී විජේන්ද්‍රය කියලා..

    එකේ එනවුන්ස් කොලේ තිලක් කුමාර රත්නායක...

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      / ඔය කැරපොත්තා කතාව, ළඟදි මගේ එකේ කොමෙන්ට් එකක් විදියට තිබුනා (මගේ එකේ කොමෙන්ට් එකක් දාන්න හිත හදා ගන්න බැරි උනාට, ඒක කියවනවා වගේ) /

      ඇයි බං එහෙම කියන්නෙ? මම ලඟදි කමෙන්ට් එකක් දැම්මනෙ....:)

      ඒ කියන කමෙන්ට් එක නම් මම දැක්කෙ නෑ..ඒත් ඔය ජේ ආර් සම්බන්ධ කතා පෙලේ බොහොම ජනප්‍රිය කතාවක් ඔය කැරපොතු කතාව...තව තියෙන්නෙ ඔය.. චාල්ස්-ඩයනා මඟුලෙ කතා කීපයක්...රත්තරං හැන්ද සහ දූරියං කතාව...අකුරු මැකී නෑ කතාව...

      / සෂී විජේන්ද්‍ර සිනමාවෙන් සමු ගත්තා./

      ශෂී විජේන්ද්‍ර කියන්නෙ ඉස්ලාම් ආගමිකයෙක්. චිත්‍රපටවලටයි ඔය නම දාගෙන තියෙන්නෙ. එයාගෙ මල්ලිත් නම වෙනස් කලා රංග විජේන්ද්‍ර කියල. ඒ විස්තරේ මම ඒ කාලෙම දන්නව. දැන් මනුස්සය ආයම භක්තිමත් ඉස්ලාම් ආගමිකයෙක් වෙලාලු. අන්වර් මනතුංගගෙ බ්ලොග් එකේ මම දැක්ක මේ පහුගිය දවසක.

      Delete
    2. පොර සිනමාවට ආවේ ඒකට ආදරෙන් නෙමෙයි... වෙන වැඩකට.. පොර හිතාගෙන උන්නේ පොර කමලා හසන් වගේ කියලා... එතකොට සනත් තමයි අමිතාබ් බච්චන්... ජීවන් ඇවිල්ලා මිතූන් චක්‍රබෝර්ති.... පවු බං මුන් තුන් දෙනාම.. අරුන්ගේ කක්කා බෙට්ටක් ලඟින් වත් තියන්න බෑ.. ඕකුන් තුන් දෙනාටම නටන්න බෑ... නටන්න බැරි නම් අඩු ගානේ විජේ වගේ ඇවිදින්න ඕන පොඩ්ඩක් ඇඟ පැත්තට හරවලා.. එයා කවදාවත් කැපිච්ච ගිඩවිලි ඩාන්ස් දාන්න ගියේ නෑ.. අනික හෙන අප්පිරියයි බං... ඕකුන් තු දෙනාම කෙල්ලෝ අඳින් බෝරිච්චි අත් තියෙන බ්ලව්ස් පවා ඇඳලා තමයි අර කැපුන ගැඩවිලා ඩාන්ස් එක දැම්මේ..

      ඉඳලා හිටලා ටැලිවිසොන් එක යනකොට අපේ පොඩි මෑන් බඩ අල්ලගෙන හිනා වෙන්නේ...

      Delete
    3. අපෝ ඔය මනුස්සය‍ෙගෙ රඟපෑම් දැකල අපේ උං ඒ කාලෙ කියපු දේවල් පොරට ඇහුනනං එහෙම පොර එවෙලෙම කෝච්චියට බෙල්ල තියනව. හැක්..

      Delete
    4. මාතලංගෙ බ්ලොගේම තිබ්බ කොමෙන්ට් රිප්ලයි එකක්.

      AnonymousFebruary 19, 2015 at 1:49 AM

      "ශෂී නම්, සිංහල සිනමාවේ පෙර පිනකට සිනමාවෙන් මෙන්ම ගායනයෙන්ද සමු ගත්තේය"

      පෙර පින ඌ තම්බියෙක් උන නිසාද?
      Reply
      Replies

      ලොකු පුතාFebruary 19, 2015 at 6:54 PM

      ඒ කියන්නේ ඇනෝ උගේ ෆිල්ම් එකක්වත් බලල නැති පාටයි. ඒ වගේ අජුත රඟපෑමක් මමනම් වෙන කාගෙන්වත් දැකල නැහැ.

      Delete
    5. අඩේ, මමත් එතන ඉඳලා...

      එතන කමෙන්ට් කොටපු මටවත් ඒක මතක නැහැ, කෝ.ක.ස.ස. නැත්තං අපි සුං...

      Delete
    6. //"සිතින් පතා ඉන්නම්, කුළුඳුල් පෙම් පැතුමන්, ඉතින් සිනා සෙන්නම් ඔබගෙ රූ මවමින්" ඒ කුමාරසිරි පතිරණගෙ// සින්දු ඇනෝ ගෙන් වත් අහන්න ඕනේ. දන්නේ නැහැ මේ ගායකයා.

      Delete
  5. //තබා හිමි දෙවුර එසඳේ පුරවර සිරි බලනා// ඕක මෙහෙමනේ බං... "බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා"

    ඔය කුමාරසිරි පතිරණ ඉන්නව නේද? මිනිහා ළඟකදී ළමා පොත් ලියන්නද කොහෙද පටන් ගත්තා නේද?
    ඒක නෙමෙයි... ඉස්කොලෙ කාලේ සාමාන්‍යයෙන් යාලුවෝ කෙල්ලන්ට ලියුම් ලියනකොට ඕවට ගැලපෙන සින්දු හොයාගන්න එහෙම පොඩ්ඩක් මට කතා කරනවා... සාමාන්‍යයෙන් මම ටිකක් වැඩිපුර සින්දු අහනවා වගේම සින්දු වල පදත් සෑහෙන හොඳින් මතක තියනවා. කුමරාසිරි පතිරණගේ සින්දු ඔය වැඩේට සෑහෙන හොඳට ගැලපෙනවා...

    මුලින්ම කෙල්ලෙකුට ලියනවා නම් "ඔබට ලියනා මුල්ම ලිපියයි ආදරේ පතලා"... එහෙම නැත්නම් උඹ ඔය කියලා තියන "සිතින් පතා ඉන්නම්".... වැඩියෙන්ම තිබ්බේ වැලපෙන ගීත... පොරගේ කටහඬත් නිකං අඬනවා වගේනෙ... මගේ සර්විස් එක වැඩියෙන්ම ඕන වෙන්නෙත් මොනව හරි කේස් එකක් ගියහම තමයි... වැඩේ නැගලා යනකොට ඉතිං සින්දු ඕනෙම නැහැනෙ.

    ඒ වගේ වෙලාවට, "හද මාගේ රිදුම් දෙනවා, සිත මාගේ හඬා වැටිලා"... ගොඩගන්නම බැරි එකක් නම්... "මගේ හදවත හැඳිනගත් ඔබ" සින්දුවේ තියනවා "මතු යළිත් ඔබ දෙනෙත් අභියස වැරදි හෝ හමු වනු එපා" කියලා කෑල්ලක්... ඔය කැල්ල එක උඩ දෙතුන් පාරක් ලියලා හයිලයිට් කරනවා.

    අපි මේ රටවල ඉන්නකොට ඔය පොඩි පොඩි රේඩියෝ එහෙම අටවගෙන වැඩසටහන් කරනවනේ... දවසක් ජානකගෙ බාලිකාවියන් සින්දුව ප්‍රචාරයක් කරන්න කලින් අපේ නිවේදකයා ඊළඟට ප්ලේ කරන්න තිබබ් එම්පීත්‍රී ෆයිල් එකේ ඉංග්‍රීසියෙන් තිබ්බ නම බලලා කිව්ව... "මීළඟ ගීතය බලි කවියක්" කියලා... ඔය සින්දුවේ රචකයා ගැන මොකද්දෝ කොලු කේස් එකක් ගියා නේද ඒ කාලෙ... කැසට් එකේ නම තියන කෙනා නෙමෙයි ලියලා තියෙන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. තිසර,

      //තබා හිමි දෙවුර එසඳේ පුරවර සිරි බලනා// ඕක මෙහෙමනේ බං... "බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා" /

      අප්පා..එහෙමද? මට ඇහෙන්නෙම තබා හිමි කියල...හෙහ්,හෙහ්,

      / ඔය කුමාරසිරි පතිරණ ඉන්නව නේද? මිනිහා ළඟකදී ළමා පොත් ලියන්නද කොහෙද පටන් ගත්තා නේද?  /

      අඩේ ඇත්තම නෙවෙන්නං ..මල්ලි උඹ ඔය කියනකල් මම ඒ ගන දැනගෙන හිටියෙ නෑ. මේ විස්තරේ හැටියට මනුස්සය අසනීප වෙලා ඉන්න කාලෙ නවකතා පහකුයි ළමා පොත් හැටකුයි ලියල තියනව.මාර පොරක්නෙ. නවකතානම් අවුලක් නෑ. එත් ළමාපොත් හැටක් ලිව්වය කියන්නෙ සෙල්ලමක් නෙවෙයි. අනේ මන්දා...:)

      / වැඩියෙන්ම තිබ්බේ වැලපෙන ගීත... පොරගේ කටහඬත් නිකං අඬනවා වගේනෙ… /

      මොනව කියනවද? ඒ කාලෙ පොර දවසක් ආව ලක් හඬ මතකනෙ නේද? සිටි එෆ්.එම්. කියල පාලිත පෙරේරා එහෙම පටන්ගත්තු ගුවන් විදුලි සේවය පස්සෙ ලක් හඬ වුනානෙ. ඉතිං ඒකෙ කුමාරසිරි පතිරණ ආව සාකච්ඡාවකට. අනේ කතා කරන්නෙත් අඬනව වගෙ තමයි. විනාඩි දහයකින් විතර මට එපාවෙලා රේඩියෝ එක වහලම දැම්ම.

      ඊලඟට ඔය අඬන වැඩේ සාර්තකව ඉස්සරහට අරගෙන ගියේ අජිත් මුතුකුමාරණ....:)

      සුදු අරලියා මල…... අ.. අ ..අ ..අ ..අ.. අ ..අ ..අ ..අ ..
      පිපුනේ ඇයි තනිව…... අ.. අ ..අ ..අ ..අ.. අ ..අ ..අ ..අ ..
      ලෙංගතු ඇසුරකට…... අ.. අ ..අ ..අ ..අ.. අ ..අ ..අ ..අ ..
      මට දැං අවසරද…... අ.. අ ..අ ..අ ..අ.. අ ..අ ..අ ..අ ..

      දර පලලා හවස…... අ.. අ ..අ ..අ ..අ.. අ ..අ ..අ ..අ ..
      නෑවෙත් නෑනෙ මම…... අ.. අ ..අ ..අ ..අ.. අ ..අ ..අ ..අ ..
      දාඩිය ගඳ හමන …... අ.. අ ..අ ..අ ..අ.. අ ..අ ..අ ..අ ..
      ඉවසන්නට බැරිය …... අ.. අ ..අ ..අ ..අ.. අ ..අ ..අ ..අ ..

      උඹටත් බං මරු කොන්ත්‍රාත් ඒ කාලෙ හම්බවෙලා තියෙන්නෙ නේද? මම නම් ඔය කවියක් දෙකක් ලිව්ව විතරයි...හෙහ්,හෙහ්,

      Delete
    2. අපොයි ඕකුන්ව මතක් කරන්න එපා. ගේ ලඟින් නගින්නේ නැතුව හන්දියට ගිහින් බස් එකක නගින්නේ ඉඳගෙන ටිකක් නිවිහැනහිල්ලේ නිදාගෙන යන්න. ඔන්න යන්තන් ඇහැ පියවෙද්දී සුදු අරලියා මල අ අ අ අ අ ....සින්දුව ලියපු එකාගේ කියපු එකාගේ ..කොන්දගේ ..ආච්චිලා සීයලා පරම්පරා කීපයක්ම මතක් වෙනවා ඉතින්

      Delete
    3. කැසට් වල සිංදු යංතමින් හරි අහං ඉන්න පුලුවන් උනත් සකුරා අජිත් පොරගෙ රේන්ජ් බෑන්ඩ් එකත් එක්ක ලයිව් සිංග් කරනව අහල තියනවද.. දෙයියනේ මේ මනුස්සය සිංදුත් කියනවද කියල හිතෙනවා.

      Delete
    4. ආ මේං :Dhttps://m.youtube.com/watch?v=pz57VB9hnAI

      Delete
    5. කුමාරසිරි පතිරන ෆාමසියකුත් කරා රාගම මාකට් එකේ , අසුනමයේ අනුවේ වාගේ

      Delete
    6. කුමාරසිරි පතිරනගේ නව කතාවක් ටෙලි නාට්‍යකටත් නැගුනා මතකයි පසුගිය කාලයේ.

      Delete
  6. //ජෝර්දාන් අයියගෙ රෙස්ටුරන්ට් එකේ කතන්දරේ තව දවසකට කල් දාන්ට වෙනව..කමක් නෑනෙ නේද? //

    ආහ්... ඒකට මක් වෙනවද බං.... ඇ‍යි ආයෙ අපි මේක දාලා යනවා කියල‍යැ?... තව තුම්මාසෙකින් වගේ ලියහංකො ඉතුරු කොටහ... :)

    ReplyDelete
    Replies
    1. මේකෙ දෙවෙනි කොටස ලියන්න මාස 11 ක් ගියා හිටං.

      Delete
    2. අපිනම් මේක දාල යන්නෙ නෑ තමයි , ඒත් රවි අයිය අරෙහෙ යන්ඩ කලින් මේව ටික ඉක්මනින් අහගන්න ඕනෙනෙ .

      Delete
    3. තිසර,

      නෑ බං මේ ගැම්මටම ලියන්ටයි හිතාගෙන ඉන්නෙ....:)

      Delete
    4. ප්‍රසන්න,

      එහෙම දෙවෙනි කොටසක් කියල කියන්නෙ කොහොමද බං? පලවෙනි කොටසෙයි මේකෙයි සමබන්ධයක් නෑනෙ.එකම කාලෙ වෙච්ච සිදුවීම් ඇරුනු කොට...;)

      Delete
    5. කම්මල,

      කොහෙ යන්ටද බං?...:)

      Delete
  7. //(දකුණෙ කට්ටිය කියන්නෙ කැරපොත්ත නෙවෙයි කැරපියා, කැරපියානන්ද කියලත් පෙලක් කියනවලු) //
    අපි ඉන්න දකුණෙ නම් කියන්නෙ කැරපොත්ත කියලම තමයි

    ReplyDelete
    Replies
    1. එදිරි,

      ඒ පැත්තෙ කියන්නෙ කැරපියා කියල මට කිව්වෙ අන්න අර සොඳුරු සිත නොහොත් වත් අම්මණ්ඩි.....:)

      Delete
  8. හරියට අපි හිතන් හිටිය වගේ අද ජෝර්දාන් අය්යාගේ රෙස්ටුරන්ට් එක ගැන කියවන්න. පිස්සුද තුන් හිතකවත් එහෙම බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. ඔන්නොහෙ කල් අරන් ලියන්න.තිසර කිවා වගේ ආයේ අපි මේක දාල යනවය..ඒ නිසා ආයේ ඔය "කමක් නැහැ වගේ නේද " කියල පොලියිට් වෙන්න අවශ්‍ය නැහැ.
    ගල් බෝතලයක් දෙකක් නම් ඉතින් වරදින්නෙම නැහැ නේද.මැජික් අරිෂ්ටය

    ReplyDelete
  9. කිරි එරෙන්න ඕනලුනෙ අඬන්න කියල අර කවුද කියල තියෙන්නෙ අහවල් එක කහනවටැයි. කෝ බැරිනං xකෝ ඉන්සිඩං එකකින් හරි මේකෙ දෙවෙනි කෑල්ල ලියපු එකම මදැයි.

    ReplyDelete
  10. ඉතිං අයියගෙ දෙමව්පියන්ගෙ නම්බුව ගෞරවය බේරගෙන මාම කාරය ගල් බෝතලේ ගෙනත් දුන්නද?

    ReplyDelete
  11. //ජෝර්දාන් අයියගෙ රෙස්ටුරන්ට් එකේ කතන්දරේ තව දවසකට කල් දාන්ට වෙනව..කමක් නෑනෙ නේද?//
    මේකෙ දෙවෙනි කෑල්ල දාන්න කෝ ඉන්සිඩොං එකක් වෙනකල් මාස 11 ක් බලාහිටපු අපිට ඉවසීම ගැන කියල දෙන්න එන්න එපා මහත්තයො.

    ReplyDelete
  12. ජානකගෙ, කුමාරසිරිපතිරණගෙ සිංදු ඉතින් මාරම ලස්සනයිනේ....

    කැරපොත්තා කියන සතා ගැන ලියපු එක ගැන මගේ බලවත් මෙවුවා එක...

    ////ජෝර්දාන් අයියගෙ රෙස්ටුරන්ට් එකේ කතන්දරේ තව දවසකට කල් දාන්ට වෙනව..කමක් නෑනෙ නේද? /////

    ඕක කියයි කියලා හිතුවා....

    ReplyDelete
  13. //ඇස් දාසයකුයි කටවල් හතකුයි ඇරුනෙ එක වෙලාවටම.//
    එකෙකුට ඇස් හතරක් තිබුණද බොල.
    මට හිතාගත්තැකි වෙච්ච සංගෙදිය. අනික් උං කටවල් ඇරගෙන ජෝර්දාන් දිහා බලාන ඉද්දි රවී අයිය ඇදල ඇරිය නේද කට කපල ෂොට් දෙක තුනක්. ඉතිං කොහෙද කට අරින්නෙ. හැක්..

    ReplyDelete
  14. කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා ...

    ජෝර්දාන් අයියා කෙසේවෙතත් මං හිතුවෙ නෑ ජේ ආර් ලොක්කා ළඟටවත් ආපහු එයි කියල :)

    ReplyDelete
  15. එක කටක්අඩු මොකද

    ReplyDelete
    Replies
    1. දමිත් ,

      උඹේ ප්‍රොෆයිල් එක දැකපු ගමං මට හිතෙන්නෙ අඩේ ඥාණසාර ගොයියත් කමෙන්ට් එකක් දාලද කොහෙද කියල...හෙහ්,හෙහ්,

      Delete
    2. අනේ අයියා‍ෙ ඉහි ඉහි

      Delete
    3. අනේ අයියා‍ෙ ඉහි ඉහි

      Delete
  16. තව ඔය හෙලවෙන ඉලස්ටෝ බෝඩ් එකක් තිබුන බෙන්තොට ගඟ මැද්දෙ මට මතක හැටියට..

    හර්ෂ

    ReplyDelete
  17. "Hey, what is a 'coincidence'?"

    "Dude, I was wondering about the same thing when you asked that."

    ReplyDelete
  18. මට පොඩි ගැටලුවක් ආවා. උඹලෑ ගෙදර එවුන් කොහෙද බං අනුරාධපුරේ? උඹලෑ ගම එහෙ නෙවෙයිනෙ, නේද?
    බම්බ හන්දියෙ ඉලාස්ටෝ බෝඩ් එක මට දැනුත් මැවිලා පේනවා. ඉලාස්ටෝ එකේ අයිතිකාරයගෙ පුතා අපේ ඉස්කෝලෙ හිටියේ. උඹට මතකද. එතකොට නූර්ටෙක්ස් ගාමන්ට්ස් අයිතිකාරයගෙ පුතාලා. අපි බස් එකේ කොටද්දි උන් ඉස්කෝලෙ එන්නෙ තාත්තගෙ කාර් එකේ. උන්ට අවුරුදු දහාටට අඩු වුනාට ලයිසන්ස් නැතුවට කොහොම හරි කාර් එක එලවං එනව මේ කොළඹ මැද. අපි ගමේ කැලෑ පාරවල එලවලත් පොලිසියෙන් අල්ලගෙන උසාවිත් දානවා.

    ReplyDelete
    Replies
    1. Dude,

      අප්පච්චි කච්චේරියෙ වැඩ කරපු හින්ද බං මාරු කරන කරන තැනට රේල්වේ වැගන් එකක ගෙදර බඩු පටවගෙන යන්ට වුනානෙ. ඒ දෙන්න මුණ ගැහිල තියෙන්නෙ මොණරාගලදි. ඊට පස්සෙ මම ඉපදුනෙ බදුල්ලෙ. ඊළඟට මාතරට ආව. එතනින් කෑගල්ලට. ඊට පස්සෙ අනුරාධපුරේට. එහෙදි පෙන්ෂන් ගත්තම අම්මගෙ මහ ගෙදර කිට්ටුව ගෙයක් අරගෙන තමයි පදිංචි වුනේ ( පිළිමතලාවෙ ) ඔන්න ඔහොමලු උනාය කියන්නෙ...:)

      Delete
    2. කතා ලියන ස්ටැයිල් එක වගේමයි , පදිංචියත්

      Delete
    3. ආ,තව එකක් අමතක උනානෙ..දැන් මම ගේ හදල පදිංචිය පැණිදෙණියෙ...:)

      Delete
    4. Thanks Prasanna. What a coincidence.I was thinking about the same.

      Delete
    5. ඔය කියන කාලේ අපිත් අනුරාධපුරේ හිරගෙදර

      Delete
  19. වෙනද වගේම දළදා වැඳලා අනුරාධපුරේ අටමස්තානෙත් ගිහිං පොළොන්නරු ගියා වාගෙ.. අජානේය ඉස්කූටර කතන්දරේ ඇහුවම මතක් උනේ . අජානේය කියන්නෙ හොඳ අස්සයෝ වර්ගයක් ලු නේ... ඒ කියන්නෙ සිංදුවේ හැටියට මේක ට්‍රේල් බයික් එකක්."බඩා හිමි දෙඋර එසැනේ නෙවෙයි එසවී පුරවර සිරි බලනා" ඒ කියන්නෙ අර උස ට්‍රේල් බයික් එකෙත් අරූගෙ ඔළුවට උඩින් පුරවර සිරි බලන්නෙ..
    ඔය කැරපොත්ත කොච්චර සවයිවබිලිටි තියන එකෙක් උනත් අපේ ගෑණිගෙ පන බය වෙනුවෙන් උන් මගෙන් නං බේරෙනව බොරු. මැරුවට පස්සෙ ඒ පවා මම උන්ද පිට පටවන නිසා සහ"අනේ තමුසෙගෙ සත්ව කරුණාව" කියල නෝන්ඩි කරන නිසා දැන් දැන් "අනේ මරන්න එපා අල්ලලා එලියට දාන්න" කියනවා.අල්ලලා එලියට දාන්න එවුං හීලෑ පූස් පැටව වගේ ඉන්න එකක්යැ.
    කුමාරසිරි පතිරණ නේද "පුංචි පුතු මගේ" සිංදුව කිව්වෙ? අපි ඒ දවස් වල ඕකට හදාපු සිංදුවක් කිව්ව මතකයි "පුංචි පුතු මගේ.. ඌ රෙන්නෙ ගේ වටේ, හැමදාම හැම එකාම බනිනවා. කැතයිනේ පුතේ ඔය කැ* වැඩේ උඹේ .. ආයෙ කලොත් පුක පුච්චනවා" (පොඩ්ඩක් අසභ්‍යයිඩ මන්ද)..

    ReplyDelete
    Replies
    1. මෝටීන් ෆාස්ට් කිල් තියෙද්දි කැරපොත්තො කොහේ සවයිවල් වෙන්නද. මටනං පේන්න බැරි උංට තප්පරයක්වත් එක තැනක ඉන්න බැරි එක.

      Delete
    2. http://www.imdb.com/title/tt0116707/

      Delete
    3. අපේ ගෑනිට ඔව්ව පෙන්නුවොත් පණ යයි.. "සියලු කැරපොතු වරුනි " කියල මෝටින් ඇඩ් එක යනකොටත් උන්දැ නලියනව...

      Delete
    4. පුන්චි පුතු මග‍ෙ අල්ලපු ගේයි එකා වග‍ෙ
      හැමදාම හැමඑකාම කියනවා
      උබ‍ෙ nemei පුත‍ෙ ඔය වරද අම්මග‍ෙ....

      Delete
  20. පංකාදුයි තමයි.

    ReplyDelete
  21. අනේ රවියෝ මේක කියවන්න නම් අවුරුදු දෙකක් විතර ඉන්න බෑ බං
    ඔන්න ඔහේ අපි ගැන අණුකම්පා කරලා ඉක්මණට කොටස් කිහිපයකින් ලියලා ඉවර කරපන්.

    ඒක නෙමෙයි බොලාට ඔය සින්දු කෑලි අරවා මේවා ඔහොම කියපු ඒවා මතක් වෙන්නෙ කොහොමෙයි... බලපන් අපිට කිසි ඇරියස් එකක් නෑ නේ මොවුන් එක්ක... ඔය කුමාරසිරි පතිරණගේ කාලෙම නේද අර නාමල්ගේ ඉතින් හඬා ඉන්නම්. හා සමන් පුශ්පවර්ණගේ එනවා යනවා මේ පාරේ එහෙම කිය කියා ටී වී එකේ උදේ හවා ඇඩ් ගියෙත්.
    අඩු ගාණෙ උන්ගේ නහය රත්වෙන්නවත් මතක් නොකරපු එකට බොලාට වස් වදියි ඔන්න...

    ReplyDelete
  22. අඩේ කොටි පොලිසිය ලඟින් පටං ඇරං කඩපනහෙන් වතුරටැංකිය පාරෙ මාකට් සයිඩ් එකෙන් සිත්තම්පලම් එක පාරෙ සිංහකනුවෙන් පූජා නගරෙට ගිහිං කුට්ටං පොකුනෙන් හැරිල කටුකැලියාවට ගියා වාගෙ :D හැක හැක
    උඹ තමා රවි අයියෙ මිනිහා..

    ReplyDelete
  23. කියන්න ඇහැකි පදවැල් සුගායනීය නම් කියන්න බැරි ව්‍යංජනාක්ෂර වලින් ඉවර වෙන පදවැල් අගායනීය වෙන්න ඕනෑ නේද බං.ඔය වගේම අගායනීය පදවැල් බෙරිහන් දෙන තව එකෙක් ඉන්නව ඔය අරලිය සිංදුව කියන්නෙත් ඌ තමා අජිත් මුතුකුමාරණ නෙවෙයි.
    කැරපොත්තට කැරපියා කියල වැවදෙනියෙ ඇල් ඩී මැන්දිස් මහත්තයගෙ කෙටිකතා පොතක ලියල තිබුන මට මතකයි.දකුණෙ අය කැරපියා කියනව කියල මම එතකොටත් දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මතක් උනා අසංක ප්‍රියමන්ත.

      Delete
  24. මං තව අව්රුදු දෙකකින් එන්නම් ඊලඟ කෑල්ල කියවන්න.

    ReplyDelete
  25. I stil no undestand you tel "coincidence".

    ReplyDelete
  26. අම්මප පෙසන්නයට ගහන්න ඕනේ ගැට තියෙන දාර පොල්ලකින් මේ වගේ කොයින්සිඩන්ස් කරනවට.. අපේ ගමත් හිට්යා ඩුබායි ඇන්ටි කියලා දිග බාචුවක් ඇඳ ගත්ත රෝස පාට ඇන්ටි කෙනෙක්.. හැබැයි එයා නම් ඩුබායි රෝස අතු කාලි හැමදාම ඉල්ලගෙන ගියේ අපේ ගෙදරින්.. අපේ ගෙදර ගල්වැටි දිගට ඩුබායි රෝස ලස්සනට පිපිලා තිබ්බා ඒ කාලේ.. එකෙක්වත් ඩුබායි නොගියට ඔක්කොම අපේ ගෙදරට කාලයක් යනකම් කියුවේ ඩුබායි රෝස ගෙදර කියල..
    අපේ උන්දලා කියන්නෙත් කැරැපි කියල තමයි.. ඒත් මං බැලුවේ නියස්ටික අවියකට වඩා මොර්ටින් හුණු කුර කොච්චර බලවත්ද කියල.. ගෑවුනද කැරපියා හැරපියා යනවා..
    අපේ පංතියේ (දහයේ හරි එකොළහේ හරි..) කාටවත් ඇත පොවන්න බැරි තරං උඩින් ලොකු අකුරෙන් ලියල තිබ්බ "සිනාසෙන්න මට ඒ ඇති මතුවට සනසා සිත මාගේ" කියල.. ඕක ලියුව එකා මම නම් දන්නවා.. එහෙම ලියුවේ අපේ 'බියුටි' ටීචර්ට පේන්න.. එයා යන්තං හිනා වුනාද.. ඒ ඇති අපිට ඒ කාලේ.. හැක්.
    හැබෑට ඇස් ලොකු කරලා කට නොඇරපු එකා මොකාද?

    ReplyDelete
    Replies
    1. //හැබෑට ඇස් ලොකු කරලා කට නොඇරපු එකා මොකාද?//
      වෙන මොකාද ඉතිං මේ කතාව කියන එකාම තමා.

      Delete
  27. // හින්ද මිනිස්සු පුරුදු වෙලා හිටිය රබර් බටේකිං ආවරණය කරපු අඩි දෙකහමාරක් තුනක් වගෙ දිග දම්වැලකිං බයිසිකලේ ලඟ තියෙන වැටකට වගෙ දේකට අමුණල ඉබ්බෙක් දාන්ට. //

    ඔබාමා මහත්තයගේ ගෙවල් පළාතේ තාමත් මෙහෙම තමයි...

    අපේ අම්මටත් තිබුන ඒ කාලේ ඔය ඩුබායි රෝස ආසාව...

    සටහන අපූරුයි රවී...

    ReplyDelete
  28. කෑගල්ලේ ඉලස්ටෝ බෝඩ් එකක් තිබුණා කියලා මට මතකයක් නැහැ රවී. කොල්ලුපිටියේ එක ඒ කාලේ ඉස්කෝලෙන් ට්‍රිප් ගියාම බැහැලා බලනවා. මාර මැජික් එකක්.

    ජේ.ආර්.තුමා ඒ කාලේ හමුදා කඳවුරකට ආවම ටිකක් ඇනයක් වෙනවාලු. එතුමා ස්වේච්ඡා හමුදාවේ නිලධාරියකුව සිටි නිසා එතුමාගේ අතීත දැනුමෙන් ප්‍රශ්න අහනවලු. නමුත් ඒ අතීතය එවකට හමුදාවේ සිටි අය දන්නේ නැතිලු. ඉතිං එතුමාම උත්තරත් දෙනවලු.

    ReplyDelete
  29. ඒ කාලේ අනුරාධපුර වැඩ කරන සතියට ඉතින් මෙන්ඩිස් ෆයිව් ඉයර්ස් භාගයක් සමායි මමයි රෑකට පාත් කරනවාම තමා.. පූජා නගරේ උනාට බාර්ඒ වැඩියෙන්ම තියෙන නගරයද මන්ද.. කාලේ අනුරාධපුරේ හිටිය අපේ යාලුවෙක්.. උගේ රස්සාව සේල්ස් රෙප් වැඩේ.. හැබැයි ඌව හැඳින්වූවේ ඌ වැඩකරපු කොම්පැනියේ නම ඉස්සරහට දාල ප්‍රීති රෙපා කියලයි.. දැන් ඉතින් ඉතුරු කෑල්ල කියවන්න මාස කීයක් ඉන්න වෙයිද මන්ද..

    අනුරාධපුරේ කාපු කටු මේ පොස්ට් එකේ අන්තිමට තිබේ..
    http://ambalangodakatha.blogspot.com/2015/11/blog-post_24.html

    ReplyDelete
  30. ජනක වික්‍රමසිංහගේ සිංදු වලට මමත් ගොඩක් කැමතියි.එයිනුත් ඔය කියලා තියෙන බාලිකාවියන් ගීතය විශේෂයි.ඔය සින්දුව ඇහෙන ඒ කාලයේ මමත් අනුරධපුරේම බාලිකාවියකට "සිතින් විතරක් පෙම් කරන්නම්"තමා. දැන්නම් ජානක ඉන්නේ ගල්කිස්ස කලාපුරයේ.ගුණදාස කපුගේ ගේ තවත් අනගි නිෂ්පාදනයක්.

    ReplyDelete
    Replies
    1. //කාලයේ මමත් අනුරධපුරේම බාලිකාවියකට "සිතින් විතරක් පෙම් කරන්නම්"තමා //

      කලින් කියන්ඩෙපෑ ලොක්කා... ගෙදරටම ගෙනල්ල දෙනවනේ :D

      Delete
    2. කලින් කියන්න තිබුණා.එහෙනම් මේ තරම් දුර නෑවිත් මගින් හැරෙන්නට තිබුනා...:D

      Delete
  31. දකුණේ අපි නම් කිව්වේ කැරපොත්තා කියලා, ඒත් ඈත දකුණේ එහෙම කැරපියා කියනවද දන්නේ නැහැ.

    ඩුබායි, අබුඩාබි වල හැම ලයිට් කණුවකම බයිසිකල් බරගානක් දම්වැලින් බැඳ තියෙනවා සුලබ දසුනක්. ඒ වගේම කණුත් එක්ක පරණ වෙන බයිසිකල් ද තියෙනවා.

    ReplyDelete
  32. කුමාරසිරි,ප්‍රින්ස්,බස් අජිත් වගේ අයගෙ එකම ඇඬියාවක් තියෙන්නෙ.. මන කලඹනවා අප්පා..
    අපේ මාමලාට එහෙම බාර් පෝලිම් වල ඉඳල අහු උනා නම් තාම ගුටි කනවා.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...