Friday, August 12, 2016

431. අභයගිරි මතක සටහන් - 5 - ජෙරල්ඩීන් අක්කා, කාසිවත්තෙ බුලට් විලී, සුසන්තිකා සහ මේරියන් ජෝන්ස්

කාසිවත්තෙ බුලට් විලී....

අභයගිරි මතක සටහන් කියල මම ලියාගෙන ආව කතාවක්... කතාවක් කිව්වට කතාවක්මත් නෙවෙයි, කතන්දර මාලාවක් කිව්වොත් වඩාත්ම හරි. ඒකට සිද්ද වුනේ මේකයි. කතාව ලියාගෙන යද්දි ඔය වෙන වෙන එව්ව පටලැවිල ඒ පටං ගත්තු කතාව එක විදිහකට පිළිවෙලකට ලියාගෙන, ලියාගෙන, ලියාගෙන ගිහිල්ල අහවරක් කරන්ට බැරි වුනානෙ. ප්‍රධාන හේතුව මම නිවාඩුවට මව්බිමට සැපත් වුන එක.

මව්බිම කිව්වම පොඩි කතාවක් මතක් වුනා.එක්කොත් මේක කට්ටිය අහලත් ඇති. අර අරීසෙන් අහුබුදුවෝ සම්බන්ධ කතාව. දන්නෙ නැති කවුරුහරි ඉන්නවනම් කියන්ට.

හරි එහෙනං සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝග වෙත්වා, සුවපත් වෙත්වා කියල ලියමු බලන්ට ජෝර්දාන් අයියගෙ කතාවෙ නොහොත් අභයගිරි මතක සටහන්වල සෙස්ස......

පසුව එකතු කළෙමි - 

අපෙ සිත්තමී මැඩම් කමෙන්ට් එකක් දාල මෙහෙම කියල තියනව.

/ අයියට මං කිව්වා නේද මෙහෙම ඒවා ලියද්දි අදාල කතා මාලාවෙ අන්තිමට ලියපු කොටසට ලිංක් එකක් දාන්න කියල ලිපියෙ උඩින්ම . කෝ?

හරි, හරි,කිව්ව නේන්නං කිව්ව නේන්නං..මට අමතක වුනානෙ බොලේ..සමාවෙන්න, සමාවෙන්න, ආය මොකටද එකක්, ඔන්න අන්තිම කතා තුනේම ලින්ක්ස් දැම්මා.

අභයගිරි මතක සටහන් 2 - නියුක්ලියර් යුද්දෙකට පස්සෙ ඉතුරුවන එතුමා,අරක්කු පෝලිමේදී හමුවූ මාමා සහ ජෝර්දාන් අයියාගේ රෙස්ටුරන්ට් එක

අභයගිරි මතක සටහන් 3 - ජොන්කොලොස් මීවන පලාන,ජෙෆ් තොම්සන්, ඩිකී බර්ඩ් සහ සිල්වියා ක්‍රිස්ටල්


අභයගිරි මතක සටහන් 4 - සුදු අරලියාගම සහ ඕරමන්ඩි ගෙදර

**********************************************

"මොකද බං?" මම බැරිම තැන ඔලුව හරවල උගෙ මූණ බැලුව. බයිසිකලේ නැවතිල තිබ්බෙ හරියටම ජෝර්දාන් අයියලගෙ ගෙදර තාප්පෙටම හේත්තුවෙලා වගෙ. 

"අර..බලපං අර..."කුමාරය අත දික්කරල මට ජෝර්දාන් අයියලගෙ වත්තෙ මැද්දෑවෙ වගෙ තිබ්බ රූස්ස අඹ ගහ දිහාව පෙන්නුව. මමත් ඒ දිහාවෙ හැරිල බැලුව මොකටද මේ යකා මේ මෙච්චර අන්දොස් වෙලා තියෙන්නෙ කියල. මගෙ ඇස් දෙකත් උඩ ගිහිල්ල කටත් ඇරුනෙ ඉබේම." කවුද බං ඒ?" මම කිව්ව නෙවෙයි මට කියවුනා.

කුමාරය උත්තරයක් දුන්නෙ නෑ…"හ්ම්මම්හ්ක්" ...කටට බඹරෙක් ගිහිල්ල උගුරෙ හිරවෙලා දඟලනව වගෙ අව්‍යාක්ත රාවයක් උගෙං පිටවුනා. එච්චරයි.. 

"සි…ල්වි...යා ක්‍රි….ස්ට….ල් නේද බොලේ?" මගේ ප්‍රශ්නෙට මමම උත්තරත් දුන්න.

ජෝර්දාන් අයියලගෙ ගෙදර මිදුලෙ මහ විසාල අඹ ගහක් තිබ්බය කියල මම කලින් කිව්වනෙ. ඒ අඹ ගහ යට ඒ වෙලාවෙ වේවැල් පුටුවක් තියල තිබ්බ. ඒ පුටුවෙ ඉඳගෙන හිටියෙ...පුටුවෙ ඉඳගෙන හිටියෙ සිල්වියා ක්‍රිස්ටල්...ඔව් සිල්වියා ක්‍රිස්ටල්....සිල්වියා ක්‍රිස්ටල් කියන්නෙ ඔය අපි ඉස්කෝලෙ යනකාලෙ අපේ සිහින කුමරියන් අතුරින් එක් කුමරියක්.

"කවුද බොලේ ඒ?..." කුමාරය යන්තමට තොල මැතුරුව. 

"මම දන්නෙ කොහොමද බොල?..." මමත් ඒ විදිහටම කෙඳිරි ගෑව.

High cheek boned women are one of my weak points,
Actually they make my knee joints shake like a leaf in wind.

මම හෙමිහිට ගේට්ටුව ඇරිය. කාලෙකිං සරනේරු වලට තෙල් දාල නෑ. "ක්රාස්ස්ස්ස්ස්ස්." ඒ සද්දෙට සිල්වියා ක්‍රිස්ටල් ඔලුව හරවල බලල හිනාවුනා.

"ආ..එන්න ..එන්න...වික්‍රම මට කියල තිබ්බ ඔය ගොල්ලො එයි කියල. මට කිව්වෙ නං හත් අට දෙනෙක් එයි කියල."

"එයි,එයි, අනික් අයත් එයි. අපි දෙන්න ටිකක් වේලපහ ආව…" මම බොහොම අමාරුවෙන් ඒ ටික කියාගත්ත.

වික්‍රම??...ඒ කිව්වෙ අපේ මේ ජෝර්දාන් අයිය ගැන වෙන්ට ඕන. මිනිහගෙ නම වික්‍රමපාලනෙ. ඒත් කවුද මේ මෙයා? ජෝර්දාන් අයිය මේ වගෙ කෙනෙක් එනවයි කියල අපිට හාංකවිසියක්වත් කියල තිබ්බෙ නෑනෙ. මට එක විඩේටම හිතට ආවෙ ජෝර්දාන් අයිය ගැන නොමනාපයක්.

"මගෙ නම ජෙරී" එහෙම කියල සිල්වියා ක්‍රිස්ටල් වේවැල් පුටුවෙන් නැඟිට්ට. 

"ජෙරී???" මටයි මගෙ පස්සෙං හිටපු කුමාරයටයි කියවුනේ එකටම වගෙ. 

ජෙරී කියන්නෙ පිරිමි නමක්නෙ බොලේ. මම දන්න ජෙරීල කීප දෙනෙක්ම හිටිය. ඉස්සෙල්ලම ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්තයගෙ කැළෑ හඳ පොතේ ජෙරී හැරිස්. ජයපාල මැතිණියගෙ ලෝයර්. දුම්කුඩු හෙප්පුවක් කලිසං සාක්කුවෙ තියාගෙන නිතරම ඒකෙං දුම්කුඩු උරල හච්චිං යවන එක තමයි මිනිහ කරන එකම රාජකාරිය. කැළෑ හඳ ඕ ලෙවල් සිංහල විෂයයට එහෙම කරපු අයට මතක ඇති.

අපෙ අප්පච්චිත් ඔය දුම්කුඩු ඉරිල්ල කලා.අඟල් දෙකක් වගෙ උස අඟලක් වගෙ විෂ්කම්භය තියන ප්ලාස්ටික් ඩප්පිවල තමයි ඔය දුම්කුඩු ඒ කාලෙ ආවෙ. අප්පච්චි ඉස්සෙල්ලම ඩප්පිය ඇරල දුම්කුඩු සුට්ටක් ගන්නව දකුණු අතේ මහපටැඟිල්ලටයි දබරැඟිල්ලටයි අතරට.ඊට පස්සෙ හෙමිහිට ඒ ටික පොඩි කරනව.

ඉක්බිති වමතෙ දබරැඟිල්ලෙං වම් නාහෙ වහ ගන්නව. ඒ කරල අර ඇඟිලි දෙක අතරට ගත්තු දුම්කුඩු සොල්පෙ දකුණු නාහෙට තියල මහ වේගෙං ඉහලට අදිනව. එත්කොටම අප්පච්චිට මහ හයියෙං කිඹුහුං දෙක තුනකුත් යනව.කිඹුහුං එහෙම ඇරල හුස් හුස් ගාල හත් අට පාරක් හුස්ම ගන්නව උඩට. ඒ මොලේට නොගිහිං නහයෙ තැවරිලා එහෙම තියන දුම්කුඩු තියනවනම් එව්ව උඩට යන්ට. ඊට පස්සෙ The same procedure repeated for the other nostril නොහොත් එම ක්‍රියාදාමය අනෙක් නාස්පුටය උදෙසාද එලෙසම ක්‍රියාත්මක කරනු ලැබේ.

මම දන්න අනික් ජෙරී ඇවිල්ල ජෙරී වව්ටර්ස්. මනුස්සය ඇවිල්ල හිට ක්‍රිකට් ක්‍රීඩකයෙක්. 1976/77 කාලෙ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කලා.1977 අවුරුද්දෙ ටෝනි ග්‍රෙග්ගෙ නායකත්වයෙන් ලංකාවට ආව එංගලන්ත කණ්ඩායම (ඒ කාලෙ එංගලන්ත කණ්ඩායම විදේශ සංචාරවලට යනකොට හැඳින්නුවෙ එම්.සී.සී. කණ්ඩායම කියල) එක්ක තරඟ වලට ජෙරී වව්ටර්ස් සහභාගී වුනා. මේ ගිය අවුරුද්දෙ වගෙ මට මතකයි අපේ ටීම් එකේ කළමණාකරු වෙලත් හිටියා.

"ජෙරී කිව්වට මගෙ සම්පූර්ණ නම ජෙරල්ඩීන්.අපි බර්ගර්…" සිල්වියා ක්‍රිස්ටල් නොහොත් ජෙරී නොහොත් ජෙරල්ඩීන් හිනාවෙලා කිව්වා.

"හා..එහෙමද? ඒක හොඳයි.." මම කිව්ව නෙවෙයි මට කියවුනා. වෙන මොනව කියන්නද? අනික ඇසුයි කටයි තුනම ඇරගෙන අර ඕලු මුවෙක් කෑලි පහේ බැටරියෙ එළියට ගිණිකන වැටුනැහෙ බලාඉන්න අතරෙ මොකවත් තේරුමක් ඇතිදෙයක් කියන්ට සිහියට එන එකක්ය ආය?

"එතකොට මේ වික්‍රමපාල අයිය ඔයාගෙ කවුද?" ටිකක් සිහි එළවාගෙන මම ඇහුව. 

"හිහ්..හිහ්..මගෙ කවුරුවත් නෙවෙයි.වික්‍රම හොඳ යාලුවෙක්."

"ඒ කියන්නෙ ඔයත් ඩුබායිවල….?..." කුමාර ඇහුව. 

"ඒ විස්තර දැනට ඕන නෑනෙ. මල්ලිලට කැමති විදිහට හිතාගන්නකො.." එහෙම කියල ජෙරී අක්කා ගේ ඇතුලට ගියා.

"කවුද බං ඒ?" කුමාරය ඒ අම්මණ්ඩි පිටුපාල යන දිහාව ඇහැපිය නොහෙලා බලා ඉඳල මා දිහාට හැරිල ඇහුව. 

"ඇයි දැං අර කිව්වෙ? උඹ අහගෙන උන්නෙ නැත? අනික කොහොමත් උඹ දන්න හරිය තමයි මාත් දන්නෙ...එව්වයිං කමක් නෑ. යමං බලන්ට මේ ජෝර්දාන් ගොයිය කොහෙද කියල…"

මම එහෙම කියනවත් එක්කම ජෝර්දාන් අයිය ගේ ඇතුලෙ ඉඳල එළියට ආව. කිරි කිරි සුදු පාට අත්දිග කමිසයක් ඇඳල කලු කලිසමක් ඇඳල ෂෙහ්...මනුස්සය හෙණ හැන්ඩිය ඒ ඇඳුමට. ඇත්තම කිව්වොත් ඔය ජෝර්දාන් අයිය කොහොමත් කඩවසම් පුරුසය. උසයි මහතයි ගාණට. 

මේ ඊයෙ පෙරේද ඉවර වෙච්චි ටෙලි ෆිල්ම් එකක් බැලුවද ඔය අය අර කාසිවත්ත කියල. ඒකෙ බුලට් විලී කියල හිටියෙ අර ධාර්මික චණ්ඩියෙක්. අන්න අපේ ඔය ජෝර්දාන් අයියගෙ පෙනුමත් ඒ වගේම තමයි. "කාසි වත්තෙ කාසි නැත්තෙ අපි ලඟ සාමය සතුටයි ඇත්තේ" ....ඒ තමයි කාසි වත්තෙ තේමාගීතය...

"එන්ඩ එන්ඩ මල්ලිලා....කෝ අනික් කට්ටිය?"

"එයාලත් එයි අයියෙ..අපි දෙන්න ටිකක් වේලපහ ආව. ඔය මොකවත් කරන්ට දෙයක් එහෙම තියද බලන්ට…"

"නෑ..නෑ...නෑ...ආය කිසියම්ම දෙයක් නෑ කරන්ඩ. ඔය කට්ටිය මේ පහුගිය සතියෙ දෙකේ මට කරපු උදව් හොඳට ඇති. අද ඔයාලට තියෙන්නෙ රිලැක්ස් එකේ කිං පයිසාල්ල වගෙ පැත්තකට ඕන හැටිය බොන්ඩ. මම කලින්ම කිව්වනෙ අද මගේ ගානෙ කියල. Anything you drink today is on the house."

ඔන් ද හවුස් කියන්නෙ ක්ලබ් එක, බාර් එක නැත්නම් රෙස්ටොරන්ට් එක ගානෙ නොමිලේ බොන්ට දෙනවට. " Today is the fifth anniversary of my divorce. So as a celebration every body here can have a shot of whisky on the house." The Owner said and we cheered him until the roof came down. අන්න එහෙම.

ජෝර්දාන් අයියගෙ කඩ්ඩ නියමයි.ජෝර්දාන්ගෙ කඩ්ඩ ගැන කියනකොට මරු කතාවක් මතක් වුනා. මේ සීන් එක උනේ ඔය විවෘතෙට අවුරුදු තුනක් විතර පස්සෙන් පහු හොඳද? අපේ කුමාරයගෙ අයිය බැඳපු මනමාලිගෙ අයිය බැඳල හිටියෙ සුද්දියක්.ඔය මේ කැනඩාවෙද කොහෙද.

ඉතිං මඟුල් ගෙදරදි සුද්දි එක්ක කතාකරන්ට කවුරුවත් නෑ කියල අපේ කුමාරය මාස ගාණක් ඉඳල අහස පොලව ගැටලන්ට වගෙ කල්පනා කර කර හිටියෙ. පස්සෙ උගෙ හේතුවටද අහේතුවටද මන්දා මඟුලට දවස් තුනක් හතරක් තියල අපේ ජෝර්දාන් හිටිඅඩියෙ ලංකාවට ආව ඔය අබුඩාබිද, මස්කට්ද දහරාන්ද ඔය කොහෙහරි ඉඳල. කුමාරයගෙ ඉහේ මලක් පිපුනා හා සමානයි. ඉතිං අර සුද්දි එක්ක සතුටු සාමීචියෙ යෙදීමේ සුවිශේෂී රාජකාරිය උදෙසාම ජෝර්දාන් අයියටත් මංගල්ලෙට ආරාදනා කලා.

ජෝර්දාන් ටිකක් වනිතා කටයුතු අංසයට බරයි. ස්පෙෂලි දෙකක් දාගත්තම. ඉතිං ජෝර්දාන් අයිය නකතං වෙන්ට ගහල එදා එතන මඟුල් ගෙදරදි නටපු නාඩගමේ විස්තර ආය දවසක කියන්නං. දැං ඒක කිය කිය ඉන්ට ගියොත් එහෙම අදත් මේ කතන්දරේ කියල අහවරයක් කරන්ට වෙන එකක් නම් නෑ.

"ඒක නෙවෙයි අයියෙ..කවුද අර ...අර?" සාලෙ බොන්ට එන අයට පනවලා තිබ්බ ලී පුටුවක ඉඳගන්න ගමං මම ඇහුව. 

"කවුද? කවුරු ගැනද ඔය අහන්නෙ? "

අයිය මම අහන්නෙ කවුරු ගැනද කියල දැනගෙනමයි එහෙම නොදන්න පාට් එක දාන්නෙ කියල මම දැනගෙන හිටිය. මම එහෙම දන්නව කියල අයියත් දැනගෙන හිටිය. 

"අර..මේ..අර..මේ...අඹ ගහ යට හිටියෙ.."

"ආ...එයා ගැනද මේ අහන්නෙ? ඒ මගෙ හොඳ යාලුවෙක්..නම ජෙරල්ඩීන්."

"හරි ...හරි... අපිට කිව්වා…"

"ආ එහෙමද?...ඒ කියන්නෙ උඹල දෙන්න එහෙනං මේ වෙනකොටත් එයා එක්ක කතා කරල නේද?" ජෝර්දාන් අයිය කට කොණකිං හිනාවුනා.

"මල්ලි මම අර ඊයෙ කිව්ව නේද අපේ මේ රෙස්ටුරන්ට් වැඩේ ලොකු අඩුපාඩුවක් තියනව මල්ලිලට තේරුණේ නැතුවට කියල. අන්න ඒ අඩුපාඩුව මඟ අරවා ගන්ඩ තමයි මම ඔය ළමයව ගෙන්න ගත්තෙ. ඔය මට කාලෙකට ඉස්සර මුණගැහුණු ළමෙක්. තාත්ත නෑ. අම්ම විතරයි ඉන්නෙ. ගෙවල් මේ ජාඇල කණුවන පැත්තෙ. එයාලගෙ අම්ම ගෙදර පොඩිවට කේටරිං සර්විස් එකක් කරනව. ජෙරල්ඩීන්ටත් හොඳට උයන්ට පුලුවනි. මම ඔය ගෙන්න ගත්තෙම බයිට් එහෙම රසට හදාගන්ට කියල. මොකද කටට රහට බයිට් තිබ්බොත් කස්ටමර්ල අඩුවෙයි කියල බය වෙන්ට දෙයක් නෑ. අනික ඇහැට කණට පේන ගෑණු පරාණයක් ඉන්න එකත් එක විදිහක මිනිස්සු ඇද ගැනීමේ උපක්‍රමයක්." ජෝර්දාන් අයියා අපි දෙන්න දිහා බලල ඇහැක් ගැහුව.

එදා ඉතිං විවෘත කිරීමේ උත්සවේ බොහොම සාර්ථකව පැවැත්වුනා කිසිම අඩුපාඩුවකින් තොරව. සෙනඟ කියන්නෙ මම හිතන්නෙ රෑ එක දෙක වෙනකල් එක විදිහට ආවෙ පෙරහැර වගෙ. 

ජෙරී අක්කා (ඒ වෙනකොට අපි කට්ටිය ජෙරල්ඩීන් එක්ක බොහොම කුළුපග වෙලයි හිටියෙ. මට ජෙරී කියන්න කියල එයාමයි කිව්වෙ) රෝස පාට කියුලට් එකකුත් ඇඳගෙන එහෙ මෙහෙ දිව්වෙ අසුර විදිල්ල වගෙ. බයිට් ඕඩර් ගන්ට, ටක් ගාල එව්ව හදන්ට, බයිට් පිඟං වරද්දන්නෙ නැතුව ඉල්ලපු අයට ගෙනල්ල දෙන්ට ඒ වගේ පුදුම විදිහෙ පුළුල් කාර්ය භාරයක් ජෙරී අතින් කෙරුණා. 

ඒත් රෑ දහය එකොළහ වගෙ වෙනකොට ඔය ඔක්කොම තනියම එයාටම කරන්ට අමාරු හින්ද අපි තුන් හතර දෙනෙක් මිදුලෙ අඹගයට සෙට් වෙලා හිටපු එක පැත්තක තියල ආව අක්කට උදව් වෙන්ට. 

ඉතිං ඔය ආකාරයට ජෝර්දාන් අයියගෙ රෙස්ටුරන්ට් එකේ වැඩේ නැඟලම ගියා. අනුරපුර අවට ගම් නියම් ගම් සහ පසල් දනව් පුරා පවා දනන් තුඩ තුඩ ජෙරල්ඩීන් අක්කාගේ කටගැස්මෙහි රස නහර පිනායන ප්‍රණීත භාවය පිලිබඳ පැතිරගිය කල්හි සවස හයේ කණිසමට මත්පැන් හලෙහි දොරටු විවර වීමට නියමිත වුවද ඊට හෝරාවකට පමණ පලමු මධුලෝලීහු එක් රොක්ව ජෝර්දාන් අයියාගේ නිවසෙහි ද්වාරය අසල පොදි කන්නට වූහ.

ඉතිං ඔය ආකාරයට වැඩේ කෙරීගෙන යද්දි ඔතන පොඩි කොස්සකට හිටියෙ ජයන්ති අක්කා. ජයන්ති අක්කා කියන්නෙ ජෝර්දාන් අයියගෙ බිරින්දෑ තොමෝ. ආහ්..සමාවෙන්ට ඕන...මට ජයන්ති අක්කා ගැන කලින් කියන්ට බැරිවුනානෙ. ඒ අතපසුවීම වුනේ ඇත්තටම මෙහෙමයි.හිතාමතා නොකිව්ව නෙවෙයි. කියන්ට අවස්තාවක් ආවෙ නෑ. ඒකයි. 

ජයන්ති අක්කගෙයි ජෝර්දාන් අයියගෙයි තිබ්බෙ මහ අමුතු සම්බන්දයක්. ඒ දෙන්නට ඒ වෙනකොට දරුවො එහෙම හිටියෙ නෑ. ජයන්ති අක්කත් මහ එක විදිහක මනුස්සය. මල පැන්නම යස්සනී වගෙ. ආය තැන නොතැන බලන්නෙ නෑ හොඳ හුප්පද වලින් කතා කරන්නෙ. ගෙවල් එහෙම ඔය විජයපුර පැත්තෙ. විජයපුර කියන්නෙ අපි හිටපු හරියෙ ඉඳල කිලෝමීටර් පහක් හයක් වගෙ එහා.

ජයන්ති අක්ක හිටපු ගමං ජෝර්දාන් අයිය එක්ක වලි දාගෙන මාසෙ දෙකේ එයාලගෙ ගෙදර ගිහිල්ල ඉන්නවලු. ආයම සමහරවිට එයාම හිතිල එනවලු. නැත්තං ජෝර්දාන් අයිය ගිහිල්ල එක්ක එනවලු. බහුතරයක් ඔය වලි වල මූලාරම්භය හොයල බැලුවොත් ජෝර්දාන් අයියගෙ වනිතා කටයුතු තමයි කියලයි කුමාරය නම් කිව්වෙ.

මත්පැන් ව්‍යාපාරයෙ අයකැමි නොහොත් කැෂියර් වැඩේ කෙලින්ම ජයන්ති අක්ක අතට ගත්ත. ජෝර්දාන් අයියත් ගෙදර සාමය උදෙසා යම් කැපකිරීමක් කරන්ට වෙනවයි කියල තේරුම් අරගෙන හිටපු හින්ද කිසිදු අයුරක එරෙහි වීමකින් තොරව ඊට ඉඩ දුන්න. 

දැං ඔය ජෝර්දාන් අයිය තේරුම් ගත්තු ටික තේරෙන්නෙ නෑ අපේ බොහොමයක් පූජ්ජිය පක්සෙ උදවියට, විද්වතුංට සහ ඒ වගේම විපස්සෙ දේසපාලුවංට. යමක් ලබාගන්ට නම් යම් කැපකිරීමක් කරන්ටම වෙනව. උතුරෙ සාමය උනත් එහෙමයි. මම මේ ඊයෙ පෙරේද යාපනේ ගිය හින්ද ඒ ටික හොඳටම තේරුම් ගත්ත. ඒ ගැන වෙනම ලියන්නම්කො.

ඉතිං මත්පැන් ව්‍යාපාරය බොහොම සාර්ථකව සති තුන හතරක් කෙරීගෙන ගියාය කියමුකො. අභයගිරියෙ වැඩ හින්ද මට නම් රෙස්ටොරන්ට් එක පැත්තෙ එන්ට ලැබුණෙ සතියකට දෙපාරක් විතර.අපිට පඩි ගෙව්වෙ දිනපතා. ඒ කිව්වෙ On daily pay basis. ඒ හින්ද සෙනසුරාද, ඉරිද, පෝය කියල වෙනසක් නෑ, වැඩට ගියොත් පඩි. 

පෝය දවස්වලට වැඩ කරන්ට අපි කට්ටිය බොහෝම කැමතියි. ඒ වෙන දෙයක් හින්ද නෙවෙයි. ලොක්කො බොක්කො කවුරුවත් එදාට සාමාන්‍යයෙන් වැඩට එන්නෙ නෑ. අපි ඉතිං දවල්ම ඔය පොඩ්ඩක් සන්තර්පණය වෙලා යනව අභයගිරි චෛත්‍යය දිහාවෙ. 

පෝයට අභයගිරියෙ පුදුම විදිහට සෙනඟ. අපි කට්ටිය ඉතිං මඳ පමනට අරගෙනත් නෙව ඉන්නෙ. මහමෙව්නාවෙ හීතල හුළඟ වදිනකොට දැනෙන නිරාමිස සුවය, බුද්ධාලම්භන ප්‍රීතිය ආය කියල වැඩක් නෑ. ඒ වගේමයි අස්සක් මුල්ලක් නෑර මල් පිපුන වගෙ නා නා ප්‍රකාර අංගනාවියො. අපි ඉතිං එවුංට අනම් මනම් කිය කිය ඔහෙ ඇවිදිනව සමාදි පිළිමය එතකොට කුට්ටම් පොකුණ දිහාවෙ එහෙම. එහෙම ගිහිල්ල වෙච්චි අමතක නොවන සීන්ස් දෙක තුනක් තියනව ඉස්සරහට කියන්නං අභයගිරි මතක ආයම ලියද්දි.

ඉතිං ඔයවගෙ ආතල් හින්ද මට වැඩිය ජෝර්දාන් ලිකර් රෙස්ටුරන්ට් එක පැත්තෙ යන්ට ලැබුනෙ නෑ. ඒ වෙනකොට අපේ ටෙක් එකේ හිටපු යාලුවංගෙං යම් වැටුපක් ලැබෙන රස්සාවක් කලේ මම විතරයි. අනික් අය ඔය එක එක තැන් වල ට්‍රේනිං. එව්වට පඩි ගෙවන්නෙ නෑ. කුමාරය මහාමාර්ග දෙපාර්තමේන්තුවෙ. මාර්ග සංවර්ධන අධිකාරිය කොහොත් ආර්.ඩී.ඒ. එක ඒ දවස්වල තිවුනෙ නෑ. හයිවේස් ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි මාර්ග සම්බන්ධව ඔක්කොම කටයුතු කෙරුනෙ.

තව සිසිර ඉරිගේෂන් එකේ. ඔන්න ඔය වගෙ. ඉතිං මම ආපු දවසක තමයි අපි කට්ටියම මේසයක් වටේ ඉඳගෙන නියම ජන්ටල්මෑන්ස්ල වගෙ මධුපානය කරන්නෙ. අනික් දවස්වලට කුමාරය එහෙම ජෝර්දාන් අයියට ඔය මොක මොක හරි හෙල්ප්  කලාම නොමිලේ ෂොට් එකක් දෙකක් අයිය දෙනව. මම උනත් අතේ සල්ලි නැති දවසට එහෙම තමයි.

මම මේ කියන්නෙ යන්නෙ ඒ වගෙ මගෙ අතේ සල්ලි තිබ්බ දවසක් ගැන. කුස්සිය ගාවම වගෙ කනප්පුවක් වටේ අපි ඉඳගෙන හිටිය හතර දෙනෙක්. කුමාරය මට මතකයි. අනික් දෙන්න ගැනනම් මේ වෙලාවෙ ඒ හැටි නිච්චියක් නෑ. හරි, ඒකෙ අවුලක් නෑ. අනික් දෙන්න වැදගත් නෑ මේ කතාවට.

ඒ වෙනකොට රෙස්ටුරන්ට් එක කොච්චර ජනප්‍රිය වෙලාද කියල කියනවනම් වේටර් වැඩේට වෙනම පොඩි කොල්ලො දෙන්නෙක් අරං තිබ්බ ජෝර්දාන් අයිය. ජෙරී අක්කගෙ රාජකාරි තනිකරම කුස්සියට පමණක් සීමාවෙලා තිබ්බ. ඇත්තටම එහෙම තහනම් නියෝගයක් දාල තිබ්බෙ ජයන්ති අක්ක. කොච්චරවත් අර අම්මණ්ඩි කියුලට් එකක් සහ අත් නැති ටී ෂර්ට් එකක් ඇඳගෙන ඇවිල්ල මිනිස්සු තලේ ගැවසෙනවට ජයන්ති අක්ක එක හෙලාම විරුද්ධ වෙලා තිබ්බ. 

මම සති දෙකකින් වගෙ තමයි රෙස්ටොරන්ට් එක පැත්තෙ ආවෙ. ඒ හින්ද ඔය නවතම විස්තර නොහොත් කැඩෙන බිඳෙන ප්‍රවෘත්ති මොකවත්ම දැනගෙන හිටියෙ නෑ. මට ඔය විස්තර කනප්පුව උඩිං නැමිල හෙමිහිට කොඳුරල කිව්වෙ කුමාරය. 

"මචං මෙතන සීන් එක එන්න එන්නම දරුණු වෙනව. දැං ජයන්ති අක්කට ජෙරී අක්කව පෙන්නන්ට බෑ. නිතරම හින්ට් ගහනව ජෝර්දාන් අයිය අල්ලගන්ට හදනව කියල"

"ඉතිං ජෙරී මොකද කියන්නෙ? "

"ඒ අම්මණ්ඩි නෑහුනා වගෙ ඉන්නව. ජෝර්දාන් අයියත් අඳ, ගොලු, බිහිරි රෝල් එක නියමෙට කරනව. හෙහ්, හෙහ්," කුමාරය කොන්ද කෙලින් කරල පුටු ඇන්දට හේත්තු වෙලා හිනාවුනා.

සංස්ථා ඕල්ඩ් එක ඒ කාලෙ මගේ ප්‍රියතම පානය. ඒ කාලෙ ඩී.සී.එස්.එල්. එක තිබ්බෙ ආණ්ඩුවට. පස්සෙනෙ අර අතිගරු ඩී.එච්.එස්. ජයවර්ධන නොහොත් හැරී මහත්තය ඩී.සී.එස්.එල්. එක ගත්තෙ. ඒ කාලෙ ඕල්ඩ් බෝතලේ ඇරියම පැණි සුවඳක් එනව. රයිට් ඒ ගැන ඔය ඇති. 

ඔන්න අපි ඉතිං ඉස්සෙල්ලම ඕල්ඩ් බාගයක් ඕඩර් කරල වැඩේ පටන් ගත්ත.බයිට් ගත්තෙ ඩෙවල් කරපු ග්‍රෝක් ග්‍රෝක්...දන්නවනෙ නේද? දුවන පුහුල් a.k.a. වල් ඌර් බිං හාර්. අන්න නියම බයිට් එක. ඕල්ඩ් එකට තකට තක. ජාඩියට මූඩිය. ඒ කාලෙ මට මතකයි ඩී.සී.එස්.එල්. එකෙං ප්‍රොපෝසල් එකකුත් තිබ්බ ඕල්ඩ් බෝතලයක් එක්ක බැදපු වයිල්ඩ් පෝක් සුට්ටි පැකට් එකකුත් නොමිලේ දෙන්ට. අර හැරිය ඇවිල්ල ඩී.සී.එස්.එල්. එක ගත්තම එව්ව ඔක්කොම යට ගියා. 

රයිට් ඔන්න පළවෙනි ඕල්ඩ් බාගෙ ඉවරයි කියමුකො. මම දෙවෙනි බාගෙත් ඕඩර් කලා. ඒකෙත් අඩිය පේන සයිස්. ජෝර්දාන් අයියත් දෙතුන් පාරක් ඇවිල්ල "ආ මල්ලිලා සෙට් වෙලා වගෙයි ඈ?... හොඳයි හොඳයි" කියල බයිට් කෑල්ලක් එහෙම කාල ගියා. ජයන්ති අක්කත් මම ඉන්නව දැකල ඉස්පාසුවක් බලල කැෂියර් එකෙන් බැහැල ඇවිල්ල වචනයක් දෙකක් කතා කරල ගියා. මම ඉතිං ඔය හැමෝම එක්ක සුහදව ඉන්න මනුස්සයනෙ. සුහද කොකා...හෙහ්,හෙහ්,

කනප්පුව වටේ වාඩිවෙන්ට ඉස්සර මම කුස්සියට ගිහිල්ල ජෙරී අක්කගෙ සැපදුක් එහෙමත් විමසල බලල එතනත් නම ලකුණු කරගත්ත. 

"ඉතිං අක්කෙ? කොහොමද වැඩ කටයුතු?"

"අනේ මන්ද මල්ලි, මට නම් දැන් මෙතන ඉඳිල්ල එපා වෙලයි තියෙන්නෙ. අර වික්‍රම හින්ද ඉන්නව මිසක...ඔයා දන්නව ඇතිනෙ නේද මෙතන තත්වෙ?"

"ටිකක් ඔය එහෙං මෙහෙං ආරංචි වුනා අක්කෙ" මම එහෙම කියල හිනාවෙලා එතනිං එන්ට ආව.

දැං රෑ දහයත් වගෙ පහුවෙලා. සද්දෙ එන්ට එන්ටම වැඩියි. විස්සක් තිහක් එකට වාඩි වෙලා බොන කොට සද්දෙ ගැන ආය අමුතුවෙං කියන්ට දෙයක් නෑනෙ. කොලෝනියල් එකේ, වික්ටරි එකේ, ඩියුරෝයි එකේ, පර්ලින් එකේ එහෙම සන්තර්පණය වෙලා තියනවනම් මම මේ කියන්නෙ මොකක් ගැනද කියල පට ගාල මීටර් වෙනව. දැන්නම් අපිටත් පදමට වැදිල වගෙ තේරෙනව. 

"ඒයි මචං තව කාලක්වත් ගහනවද?" හිස් වෙච්ච් බෝතලේ පෙන්නල මම ඇහුව.

"ඒක තමයි බං මමත් මේ කල්පනා කෙරුවේ." කුමාරය ඔලුව කැහුව. 

"හරි,හරි, උඹ කල්පනා කරපං. එතකල් මම තව කාලක් ගේන්නං" මම එහෙම කියල පුටුව පස්සට කරල මේසෙ අල්ලගෙන නැඟිට්ට.

ඔන්න එතකොටම කුස්සිය පැත්තෙං මහ ගාලගෝට්ටියක් ඇහෙන්ට ගත්ත. සිත් සන්තුෂ්ඨියෙන් යුතුවැ මත්පැන් පානයෙහි නිරතවැ හුන් මත්ලෝලීහුද මේ කුමන නම් අලකලංචියක්දෝහෝයි විපිලිසරවූවා මත්පැන් පානය සහ සතුටු සාමීචි කතාබහ එක වරම නතරකලාහු අසුන්ගත්වනම මුළුතැන් ගෙය දෙස ගෙල හරවා බලමින් රැලි නැඟුනු නළලතින් සහ දෙබැමින් යුතුවැ තුෂ්නිම්භූතවැ පසුවූවාහුය.

"මොකද්ද බං ඒ සීන් එක?" කුමාරයත් දනි පනිගාල නැඟිට්ට පාරට උගෙ පුටුව දඩාං ගාල පෙරලිල වැටුන. 

"මම බලල එන්නං"

එහෙම කියල මම කුස්සියට යන්ට අඩියක් ඉස්සුව විතරයි. මෙන්න කුස්සියෙ දොරෙං එළියට පැන්න ජෙරී අක්ක තුවක්කුවකිං උණ්ඩයක් නිකුත් වෙනව වගේ. එළියට පැනල අපි හිටපු මෙසේ ලඟිම්ම දුවල ගියා දිවිල්ලක් සුසන්තිකා 2000 සිඩ්නි ඔලිම්පික් එකේ මීටර් 200 ෆයිනල් එක දිව්ව වගෙ. ඒ එක්කම තුෂ්නිම්බූත වෙලා උන්නු මත්පැන් ලෝලීහු සියල්ලෝම දනි පනිගාල නැඟිටල බැලුව මොකද මේ වෙන්නෙ කියල.

ඒ පස්සෙන්ම කොස්සකුත් කරකවමින් කුස්සියෙං එලියට පැන්නෙ ඒ ගමන ජයන්ති අක්කා.." හුහ් ඔහෙ හිටු... ඔහෙ හිටු... උඹට මම අද ....හුහ් පට්ට පඳුරි..තෝ හිතන්නෙ මම තොගෙ කෙරුවාවල් දන්නෙ නෑ කියල නේද? තෝ මෙතෙන්ට ආවෙ මොකටද කියල මම දන්නව…"

ජයන්ති අක්කගෙ කකුල් දෙකට මම හිතන්නෙ ඒ වෙලාවෙ මේරියන් ජෝන්ස් ආවේස වෙලා තියෙන්නැති. මොකද සාලෙ මැදක් යනකොට ජයන්ති අක්කා ජෙරී අක්කට කිට්ටු කලා. කිට්ටුකලා කිව්වෙ අතේ කරකවමින් තිබ්බ කොස්ස ජෙරී අක්කගෙ කොන්ද මැදට පතිත කරවීමට හැකිවන මට්ටමට කිට්ටු කලා. ආය කියන්ටත් දෙයක්ය. සිඩ්නි ඔලිම්පික් එකේදි මේරියන් ජෝන්ස් ගෝල්ඩ් එක ගැහැව්ව. අපේ සුසීට හම්බ වුනේ ලෝකඩ පදක්කමනෙ. පස්සෙ අර ඩ්‍රග්ස් කේස් එක හින්ද මේරියන් ජෝන්ස්ගෙ පදක්කම ආපහු අරගෙන සුසන්තිකාට සිල්වර් මෙඩල් එක හම්බ වුන එක වෙනම කතාවක්. මම මේ කියන්නෙ එදා ඔලිම්පික් රේස් එක ගැන. 

කොඳු නාරටිය මධ්‍යයට පතිතවූ මුස්න ප්‍රහාරය හේතුකොටගෙන ජෙරී අක්කා පය පැකිල වැටෙන්නට ගියද වහා තම සමබරතාව රැකගත්තී සාලයේ දොරින් නික්මී ගේට්ටුවද පසුකොට පාරට පැන ඝණ අඳුර මධ්‍යයේ දිවගොස් නොපෙනී ගියාය.

අතේ තිබ්බ කොස්සත් කරකවමින් ජයන්ති අක්ක ආපහු එනගමං අපි ලඟ නැවතුනා. මම හිතන්නෙ එතන හිටපු සෙනඟ තලේ ජයන්ති අක්කගෙ දුක කියන්ට හිටියෙ අපි විතරයි කියල එයාට හිතෙන්නැති

කොස්ස බිම හිටවල ඒකෙ මිටට අත්දෙක තියල බරවෙලා ජයන්ති අක්ක දුක්ගැනවිල්ල පටන් ගත්ත. 

"බලන්ට මල්ලි මේ ගෑණි ආපු දවසෙම මට තේරුනා මොකක් හරි මෙතන හුට්ටලමක් තියනවයි කියල. මොකෝ අපිත් මදු කිරි බීල හැදිලය.. නෑනෙ අපිත් බිව්වෙ මවු කිරි තමයි.....අද තමයි මම අතටම අල්ල ගත්තෙ. මල්ලිට කියන්ට මල්ලි..මෙච්චර වෙලා..... "

ඔන්න ඒ වෙලාවෙ තමයි මෙතෙක් Conspicuous by his total absence වෙලා හිටපු ජෝර්දාන් අයිය කුස්සියෙන් එලියට බැස්සෙ.

"හරි හරි ඒ විස්තර පස්සෙ බැරිය. අර ඉස්සරහ මේසෙට පෝක් ඩෙවල් එකක් ඕඩර් කරල තියනව. අර කොණේම මේසෙට ඔම්ලට් එකක්. දැං ඔහේ ගිහිල්ල කරුණාකරල ඒ ටික පිළිවෙලක් කරන්ට පටං ගන්නවද?"

ජයන්ති අක්කට එහෙම කියල ජෝර්දාන් අයිය හැරුන මෙතෙක් වෙලා මීයට පිම්බ වගෙ පාසානිබූතව ඇස් ගෙඩිත් දොම්බං කරං බලං ඉන්න මදුලෝලී ජනතාව වෙත. 

"හරි හරි ඔක්කොම ප්‍රශ්න ඉවරයි. නෝ ප්‍රොබ්ලම් ඇට් ඕල් ඔක්කොමල ඉඳගන්ට. තව මොකවත් ඕනනම් ඕඩර් කරල ගෙන්න ගන්ට. බොන එව්ව, බයිට්, සිගරට් ඕන දෙයක් කියන්ට. හැම දෙයක්ම ලෑස්තියි. All right Gentlemen... let's enjoy, the night is still young "

ඒක හරියට අර ජෝක් එකක පන්ච් ලයින් එක වගෙ. මෙච්චර වෙලා ගල් බීත වෙලා බලා හිටපු ඔක්කොම හිනාවෙන්ට ගත්ත. අපිත් ඒ එක්කම එකතුවෙලා හිනාවුනා.

"මචං උඹ ගාව සල්ලි තියේනං කාලක් නෙවෙයි බාගයක්ම ගෙනෙං" කුමාරය එහෙම කියල පෙරලිච්ච පුටුව කෙලින් කරල ඉඳගත්ත.

Monday, August 8, 2016

430. සිව්වසරකට පසු - 2 - කෙට්ටු කොලූ, Full Metal Jacket සහ Stanley Kubrick

ඇත්තම කිව්වොත් සද්දයක් ඇහුනෙමත් නෑ. ඒත් මා දිහා කවුද බලා ඉන්නව කියල ඉවෙං වගෙ තේරිල මම හැරිල බැලුව. පඩි පෙලෙං ගොඩ වෙන තැන ඉන්නව හිටගෙන කෙට්ටු කොල්ලෙක්. වයස විසිපහක් වගෙ ඇති. ඊට පිටිපස්සෙ හිටගෙන ඉන්නව අර පල්ලෙහා තට්ටුවෙ රිසෙප්ෂන් එකේ හිටපු කෙල්ල. දෙන්නම ඇස් ලොකු කරගෙන මා දිහා බලා ඉන්නව. 

"අ..පි..මෙ..හෙ..ම..යි..ද..ත්..ම....දි....න්...නෙ..පුං..චි..බු...රු..සු..වෙං......" ඒ විදිහට අර්ධ ශත වර්ෂයකට වගෙ ඉස්සර මොන්ටිසෝරි මිස් කියා දුන්නු විදිහට පොයම් එක ඉවර කරල මම නැවතිල ඔලුව උස්සල අර කොල්ලයි කෙල්ලයි දිහා  බැලුව.

"මාර රස්නයක්නෙ මේකෙ උඩ තට්ටුවෙ තියෙන්නෙ. මොන විදිහට වත් ඉන්ටම බෑනෙ" මම එහෙම කියල ෂර්ට් එක ඈත් කරල පපුවට හුලං ටිකක් පිඹ ගත්ත.......

රිසෙප්ෂනිස්ට් ගෑණුළමයා මා දිහා තව ටිකක් වෙලා බලා ඉඳල යන්තමට හිනාවෙලා පඩි පෙල බැහැල ගියා.කෙට්ටු කොලුව ඉස්සරහට ආව.

"සර්, ෆොටෝ එකක් ගන්නද?" 

"ඔව්,ඔව් ඒකට තමයි මම ආවෙ." 

"නැතුව ආය උඹලගෙ මේ පෝරණුවට එන්නෙ ජහුටා නටනව බලන්ටය" මම එහෙම කිව්වෙ නෑ. හිතුව ඔන්ලි. (ජහුටා නාට්‍ය පිළිබඳව ඔබ තුමාල සහ තුමීල හැමෝම මනා අවබෝදයකින් පසුවෙතැයි යන උප කල්පනය මත පිහිටා ඒ සම්බන්ධව වැඩි දුර විස්තර කිරීමෙන් වළකින්නෙමි.)

පපුවට පිඹින ගමන්ම මම සාක්කුවෙං අර පල්ලෙහයිං දුන්නු රිසිට් එක අරගෙන කොලුවට දුන්න.ෆොටෝ ග්‍රැෆර් කොලුවගෙ ඇඳුම් පැලඳුම් දැනට ඔය ඉන්න කජුකිරි කොල්ලන්ගෙ විලාසිතානුකූලයි. ඒ කිව්වෙ කලිසම තට්ටමෙං බාගෙකට විතර බැහැල.පත බෙල්ට් එකක් තිබ්බට ඒකත් ලූස්. දැක්කහම ඇඟේ ලේ වතුර වෙනව කලිසම දැං හැලෙයි දැං හැලෙයි කියල. (මම මේ ඊයෙ පෙරේද නුවර ඇඳුං කඩවල් මුලු වස්සං පීරුව යන්තමටවත් පස්ස වැහෙන ඩෙනිමක් හොයාගන්ට. කොහෙද එක කඩේකවත් නෑ ඔන්න කිව්වට විස්වාස කරන්ට. අන්තිමට වැඩේ අල්ලල දාල ආපිට ආව) කලිසම නිකං කකුල් දිගේ පේන්ට් කලා වගේ.සපත්තු වල ඉස්සරහ උල අර රජකාලෙ නිලමෙලා දාපු සපත්තු වගෙ.කොණ්ඩෙ හරියට අස්වයෙක්ගෙ මොල්ලිය වගේ ජෙල් ගාල පස්සට පීරල.

වරදවා වටහා නොගනු මැනවි මේ කිසිදු අයුරකින් වර්තමාන ගැටවරයින්ගේ ඇඳුම් විලාසිතාවන් කෙරෙහි අප්‍රසාදය පලකරන්නක් නොවේ. කලින් කල පලින් පල කිව්ව වගේ හැම දෙයක්ම කාලානුරූපව වෙනස් විය යුතුය. වෙන ඉතිං තවත් අහවල් දෙයක්ද අපේ අතිගරු කාලෝ පවා කාලානුරූපව වෙනස් වී ඇති කල..... (මම මේ කිව්වෙ අර ප්‍රොෆ් කාලෝ ගැන...)

පෝටොස් සාප්පුවෙ කොලුවනං හැබැයි අපරාදෙ කියන්ට බෑ හොඳ හැදිච්ච එකා. පෙලක් දැං හැදෙන කොල්ලො ඉන්නවනෙ නාන්නෙත් කං දෙකේ ඉයර් පෝං ගහගෙන.මනුස්සයෙක්ගෙ මූණ බලල කතා කරන්නෙ නෑ. අර සැට් එක කණේ ගහගත්තම ඕකෙම තමයි සිහිය.

"පාස්පෝට් ෆොටෝ එකක් නේද ගන්ට ඕන?" කොලුව ඇහුව. 

"ඔව්..ඔව්..මොකද්ද මේ දැන් පෝටොස් අතට දෙන්නෙ නැති කතාව?"

"ඔව්නෙ...දැං ටික දවසක් වෙනව. ඉමිග්‍රේෂන් එකෙන් කියල තියන අලුත් ක්‍රමේට තමයි තමයි වැඩේ වෙන්නෙ."

"කොහොමද දැං ඔය වැඩේ වෙන්නෙ?" 

"මෙහෙමයි. ඉමිග්‍රේෂන් එකේ රෙජිස්ටර් වෙච්චි ස්ටුඩියෝ තියනව. එව්වට ගිහිල්ල ෆොටෝ එකක් ගත්තම ස්ටුඩියෝ එකෙන්ම ඉමිග්‍රේෂන් වෙබ් සයිට් එකට ගිහිල්ල අප්ලෝඩ් කරන්ට අවසර ඉල්ලනව. එතකොට ටයිම් ස්ලොට් එකක් දෙනව. ඒ ටයිම් ස්ලොට් එක ඇතුලත ෆොටෝ එක අප්ලෝඩ් කරන්ට ඕන." 

"අප්පට සිරි..හෙණ සිරා ගේමක් නෙ බොලේ ඒක...ඉතිං ඊට පස්සෙ?"

"ඊට පස්සෙ එහෙං ෆොටෝ එක චෙක් කරල ඒ ගොල්ලන්ට ඕන විදිහට තිබ්බොත් ඕකේ කරනව. නැත්තං රිජෙක්ට් කරනව"

"හුටා..එහෙමත් එකක්ද? ඉතිං රිජෙක්ට් කලොත් මොකද වෙන්නෙ?"

"රිජෙක්ට් කලාම ආයම ෆොටෝ එකක් අරගෙන, ආයම ටයිම් ස්ලොට් එකක් රික්වෙස්ට් කරල අප්ලෝඩ් කරන්ට ඕන"

"නෑහ්හ්හ්?... මාර කේස් එකක්නෙ ඒක...ඔය විදිහට කී පාරක් රිජෙක්ට් වෙන්ට පුලුවන්ද?"...මමම ප්‍රශ්නෙ අහල මමම උත්තරෙත් දුන්න. " මම හිතන්නෙ හත්පාරක් වගෙ පුලුවං ඇති. හත් පාරක්ම රිජෙක්ට් වුනොත් ආගමන සහ විගමන පණතෙ 17 ආ..ඊ.උහ්. වගන්තිය අනුව ආයම ඉපදිල අලුත් මූණක් සහිතව අයදුම් කරන්ට කියනව ඇති එකත් එකටම"

"ඒක නම් හරියටම දන්නෙ නෑ. මොකද තවම අපි අප්ලෝඩ් කරපු ෆොටෝ එකක් උපරිම රිජෙක්ට් වුනේ තුන් පාරයි.." කේ.කේ. (කෙට්ටු කොලූ) ෆුල් සිරා පිට කිව්ව.

"ඇත්තද? හරි හරි දැං අපෙ වැඩේ කරමුද? ෆොටෝ එක අරගෙන උඩුගත කරමුද බලන්ට"

"හරි හරි සර් අර එහා පැත්තෙ කාමරේ කෝට් හතර පහක් තියනව. එයිං හරියන එකක් ඇඳගෙන එන්ටකො එහෙනං. එතනම පිටිපස්සෙ වොෂ් බේසින් එකකුයි සබනුයිත් තියනව. තුවායකුත් ඇති" 

"හරි හරි……"

පොඩි ප්ලාස්ටික් දොරක් ඇරගෙන මම අර කොල්ල පෙන්නපු කාමරේට ඇතුල් වුනා. කණ්නාඩි මේසයක් තිබ්බ ඒක උඩ පවුඩර් පනාවක් එහෙමත් එක්ක. මුල්ලක තිබ්බ අර කිව්ව වොෂ් බේසින් එක.එතනම බිත්තියට ගහපු ඇණේක පරණ තුවායකුත් එල්ලල තිබ්බ. තුවායෙ පුස් ගඳ වගෙ මම ඉන්න තැනටත් පොඩි දුර්ගන්ධයක් හැමුව. ඒත් මම හිතන්නෙ ඒ මගෙ හිත් හෝදිසියට වෙන්න ඕන. මොකද එච්චර දුරක් පුස්ගඳක් එන්ට තුවාය තනිකරම පුස්වලින් වැහිල තියෙන්ට ඕන. එත් දැකපු හැටියට එච්චරම කේස් එක සීරියස් නෑ.

කණ්නාඩිය ගලවල කමිස සාක්කුවෙ දාගෙන මූණ සුට්ටක් සෝද ගත්ත සබං ජුංඩකුත් උලලම. අර තුවාය නම් මූණට කිට්ටු කලේවත් නෑ. කලිසං සාක්කුවෙං ලේන්සුව අරගෙන මූණ පිහගත්ත.

දොර ගාවම බිත්තියෙ ඇණ හතර පහක් ගහල එල්ලල තිබ්බ කෝට් බෑ තුන හතරක්. ඔක්කොම හැබැයි අපරාදෙ කියන්ට බෑ අර ඩ්‍රැකියුලා ඒ කාලෙ ඇඳපු කෝට් ද කොහෙද. හැම එකේම වගෙ සුදු පාට පැල්ලම් තිබ්බ කෝට් එක පුරාම. ඒ මොනවද කියල මට තාමත් හිතාගන්ට අමාරුයි. ඊටත් අමතරව ඒ පෞරාණික කබායන් පිස හමාවිත් මා පපුව පුරා පිරී ගියේ ඉතාම චිත්තාකර්ෂණීය පුස් සුගන්ධයකි. කෝට් අතරිං මගෙ ඇඟට හරියයි කියල හිතපු කෝට් එකත් ඇහැක් තරං නහයෙං ඈතට කරල එල්ලගෙන මම ඩ්‍රෙසිං රූම් එකෙං එළියට ආව.

ඇහැක් තරං කියල කියන්නෙ ඔය බෙන්තර ගඟෙං එහා පැත්තෙ ඈයොය කියනවනෙ. "හිච්චි මල්ලියේ, ඇහැක් තරං කාල වහ දාහං" කෑම මේසෙ වැහුං ඇරල එහෙමයි ඒ පැත්තෙ කියන්නෙ. බෙන්තර ගඟෙං මෙහාට නැට්ට කපපු නැති බලු පැටියෙක්වත් ගේන්ට එපා කියල ඔය ආත්තෝපදේසෙකුත් තියෙන්නෙ.

"මේ පුතා... මේ බොලාගෙ කෝට් බෑය අඳින්ටම ඕනද? බලනවකො මේක මැහුවටම පස්සෙ හෝදල නැද්ද කොහෙද. පුස් ගඳක් එනව නහය කඩාගෙන යන්ට"

කොල්ලා මූණ ඇඹුල් කරගෙන කෝට් එක දිහාවෙ බලල ආයම මගෙ මූණ බැලුව "ම්ම්ම්..සර් මේකයි වැඩේ...ඔය ගන්න ෆොටෝ එකේ උරහිස් එක මට්ටමට තිබ්බෙ නැත්තං සමහරවිට ෆොටෝ එක රිජෙක්ට් කරනව එහෙං. ඉතිං උරහිස් එක මට්ටමට එන්ට හොඳම ක්‍රමය තමයි කෝට් එකක් අඳින එක.."

"එහ්..ඒකත් එහෙමද? එහෙනං ඉතිං මක් කොරන්ටද? නහය වහගෙන හරි ඔයගොල්ලංගෙ කෝට් බෑය අඳින්ටම වෙනවනෙ. මම කියන්ටද? ඉස්සරහ නෝටිස් එකක් දාන්න පුරුස පක්සය පාස්පෝට් පෝටොස් ගැනීමට සෙම්ප්‍රතිශ්‍යා වැළඳුනු දිනවල පමණක් පැමිණෙන්නේ නම් කෘතඥ වෙමු.කියල....හෙහ්,හෙහ්, " මමම හිනාවුනා.

දකුණු අතින් නහය මිරිකගෙන වං අතිං කෝට් බෑයක් ඇඳල තියෙන කස්ටිය අත උස්සන්ට බලන්ට. මොන අතද කියල ඇහුව? ඒ ප්‍රස්නෙත් සාධාරණයි තමයි බලාගෙන යනකොට.දකුණෙං නහය මිරිකගෙන වමතිං කෝට් එක අඳිනකොට ඉතිං උස්සන්නෙ අහවල් අතද? හරි. හරි අතක් උස්සන්ට විදිහක් ඇත්තෙම නැත්තං ඔලුව හොල්ලන්ටකො. ඔලුව හොල්ලන්ට ඕන පොළවට ලම්බකව හොඳද? හරි කොහොම හරි කමක් නෑ වදෙං පොරෙං ඒක හස්තක භාවිතාවෙං කෝට් බෑය ඇඳ ගත්තයි කියමුකො.

කෝට් එකේ පෝරුදාලා තිබුනු රෙද්ද (කෝට් වල වගෙ පෝරු දානවා කියන්නෙ කෝට් එකේ ඇතුලතින් දුහුල් රෙද්දක් අල්ලනවට. Lining කරනව කියල ඉංග්‍රීසියෙන් කියන්නෙත් ඒකටමයි) තැනින් තැන දිරල ගිහිල්ල ඒ තැන්වල හිටපු කාවො ද මොක්කුංද මංද ඔන්න මගෙ ෂර්ට් එක පුරා දුවන්ට ගත්ත. ඒ පාර දණිපණි ගාල කෝට් එක ආයම වදෙං පොරෙං ගලෝල ගැසුව ඒ වැඩ වාසය කල සත්ව ගහණය ඉවතට වීසිවී යන ලෙස.ඊට පස්සෙ ආයම ඔන්න කෝට් බෑයත් ඇඳ පැළඳගෙන අර කෙට්ටු කොලුව පෙන්නපු ස්ටූල් එකේ වාඩිවුනා.

කෙට්ටු කොලූ තෙමේ අර දෙපැත්තෙ තිබ්බ සුදුකුඩ දෙකක ලයිට් එහෙම පත්තු කරල ඉස්ටෑන්ඩ් එහෙක රඳවල තිබ්බ කැමරාව පිටිපස්සට ගියා.මට මතක් වුනේ තුන්හැවිරිදි, සිව්හැවිරිදි කාලෙ බදුල්ලෙ එතකොට මාතර අපි ඉන්දැද්දි පෝටොස් අල්ලන්ට ඉස්ටූඩියෝ එකට ගිහිල්ල අල්ලන ජල්ලිය. ඒ කාලෙ ඉස්ටුඩියෝ වල තිබ්බෙ මහ විසාල කැමරා තඩි. එව්ව එකක් අඩුගානෙ අඩි හයක් වගෙ වත් උහයි. කකුල් හතරකිං හිටවල කැමරාව උඩිං කලු පාට රෙද්දක් වහලත් තිබ්බ. පොටෝ කාරය ඔය කැමරාව පිටිපස්සට ගිහිල්ල ඔය කලු රෙද්ද ඔලුවෙ ඉඳල වහ ගන්නව.

මේ වගේ කැමරාවකින් තමයි ස්ටුඩියෝ එකේ ෆොටෝ ගත්තෙ.
ඒත් මෙතන ඔලුව වහගෙන නෑ. Google Images.

පොඩි කාලෙ මට හැමදාම පොටෝ කාරයා ඔය කළු රෙද්ද අස්සෙ නටන නාඩගම දැක්කම හිනායනව. ඉතිං අනිවාර්යයෙන් ඒ කාලෙ ගත්තු මගෙ පෝටොස් වල මම ඉන්නෙ බොහොම අපූරුවට හිනැහිලා. ඒ පොටෝ දැක්ක දැක්ක අය කියන්නෙ අනේ හරි සිටියාවයි පොඩි එකා කාලෙ කියල. අපේ ප්‍රියම්බිකාස් තොමෝත් වෙලාවකට අහනව "ඔහේ පොඩි කාලෙ නම් සිරියාවට හිනාවෙලා ඉන්නව. කොයි කාලෙ වගේද ඔය මූකළං බස්සෙක් වගෙ තිස්ස දෙවේලෙ ඔරෝගෙන ඉන්ට පුරුදු වුනේ?"  කියල.මම ඉතිං කියන්නෙ "ආය ඕක අමුතුවෙං අහන්ටත් දෙයක්ය ඔහේ මුණ ගැහුනයිං පස්සෙ තමයි" කියල...

පුංචි සංදියෙ මාසෙකට පාරක් කොණ්ඩෙ කැපිල්ලයි, අවුරුද්දකට සැරයක් උපං දිනේ දවසට පෝටොස් එකක් ඇල්ලිල්ලයි වතාවතක් වගෙ අපෙ අම්ම කරගෙන ආව මයෙ හිතේ මට අවුරුදු හය හතක් වෙනකල්ම. ඊට පස්සෙ ඉතිං උපංදිනේට පොටෝ ගැනිල්ල ඉබේටම වගෙ ලොප් වෙලා ගියා සහ කොණ්ඩෙ කපා ගැනිල්ල මමම සැලූන් එකට ගිහිල්ල කරගන්ට පටං ගත්ත.

මාසෙකට පාරක් කොණ්ඩෙ කැපිල්ල මට මහ වදයක් වුනත් මම ඒ වදේ ඉවසන්ට පුරුදු වුනේ කොණ්ඩෙ කැපිල්ලෙං පස්සෙ අම්ම අරං දෙන අයිස් ක්‍රීම් කප් එක හින්ද. ස්කූප් එකෙන් අරගෙන වීදුරු කප් එකට දාල කහ පාට වේෆර්ස් එකක් එහෙම ගහල පැත්තකිං රිදී පාට හැන්දක් එහෙම පිළිවෙලට තියල සුදුපාට කරවහපු කෝට් බෑයකිං සැරසුණු වේටර් කෙනෙක් බන්දේසියක තියල ගෙනල්ල පිළිගන්නන අයිස්ක්‍රීම් එක රස විඳින එක ඒ පුංචි කාලෙ මගෙ ජීවිතේ මාසයක් ලුලුල්ලේ අපේක්ෂා සගගතව බලා හිඳින රසවත් සංසිද්ධියක් වෙලා තිවුණා.


Google Images

ඒ දවස්වල කොණ්ඩෙ කැපිල්ල මට මහ වදයක් වෙලා තිබ්බෙ ඇයි දන්නවද? මට ඒ කාලෙ හරිම හංකිචි. ඒ කාලෙ කොණ්ඩෙ කපන අර පොඩි අත් ට්‍රැක්ටරයක් වගෙ මැෂින් එක බෙල්ල ගෑවෙන කොට මට ඉහිලුං නැතුව ගිහිල්ල ඇඹරෙන්ටයි බෙල්ල නවන්ටයි ගත්තම අර අහිංසක කරණවෑමියා කොහොමද දෙයියනේ හරි හමනකට කියල කොණ්ඩෙ කපන්නෙ? බැරිම තැන ඒ මනුස්සය කලේ අර අත් ටැට්ටරේ පාවිච්චි නොකර තනිකර කතුරෙං විතරක් මගෙ කොණ්ඩෙ කපන එක. ඒ වැඩිපුර මහන්සියට සහ ගතවෙන වෙලාවට මට මතක විදිහට අපෙ අම්ම කරණවෑමිස් තුමාට පොඩි ගාණක් වැඩිපුර ගෙව්වා.

ඔය යටගියාව මතක් වෙලා මගෙ තොල් ඉබේටම ඈත්වෙච්චි පොඩි මදහසකින්. 

"හා..හා..සර් හිනා වෙන්ට එපා...තොල් පියාගන්ට තොල් පියාගන්ට" කෙට්ටු කොලූ තෙම අඩ අඳුරෙ ඉඳගෙන බෙරිහං දීපි.

මම වහාම ක්‍රියාත්මක වන පරිදි මදහස පිහදාගෙන තොල් තදින් පියාගත්ත.

"දෙන් වයිප් දැට් ඩිස්ගස්ටිං ග්‍රින් ඕෆ් යුවර් ෆේස්" එහෙම කියන්නෙ ගනරි සාජන්ට් හාට්මන්, ෆිල්ම් එක ඇවිල්ලා ෆුල් මෙට්ල් ජැකට්. මම බලපු අමතක නොවන චිත්‍රපටයක්. වියට්නාම් යුද්දෙ කාලෙ අමරිකා හමුදාවෙ මැරයින් සෙබළුන් පුහුණු කරන කඳවුරක් අලලා හදපු චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය ස්ටැන්ලි කුබ්රික්. සුප්‍රසිද්ධ 2001 -A Space Odyssey ෆිල්ම් එක හැදුවෙත් ස්ටැන්ලි කුබ්රික්ම තමයි.

Google Images

Gunnery Sergeant Hartman: "Do you think I'm cute, Private Pyle? Do you think I'm funny?"

Private Gomer Pyle: " Sir, no, sir!"

Gunnery Sergeant Hartman: "Then wipe that disgusting grin off your face."

Private Gomer Pyle: "Sir, yes, sir."
[tries to stop smiling]

Gunnery Sergeant Hartman: "Well, any fucking time, sweetheart!"

Private Gomer Pyle: "Sir, I'm trying, sir."

Gunnery Sergeant Hartman: "Private Pyle I'm gonna give you three seconds; exactly three-fucking-seconds to wipe that stupid looking grin off your face or I will gouge out your eyeballs and skull-fuck you! ONE! TWO! THREE!"

Private Gomer Pyle: "Sir, I can't help it, sir."

Gunnery Sergeant Hartman: "Bullshit! Get on your knees scumbag!"
[Pyle drops down to his knees]

Gunnery Sergeant Hartman: "Now choke yourself."
[Pyle wraps his own hands around his throat]

Gunnery Sergeant Hartman: "Goddamn it, with MY hand, numb-nuts!"
[Pyle reaches for Hartman's hand]

Gunnery Sergeant Hartman: "Don't pull my fucking hand over there! I said choke yourself; now lean forward and choke yourself!"
[Pyle does so]

Gunnery Sergeant Hartman: "Are you through grinning?"

Private Gomer Pyle: [gagging] "Sir, yes, sir."

Gunnery Sergeant Hartman: "Bullshit, I can't hear you!"

Private Gomer Pyle: [louder] "Sir, yes, sir."

Gunnery Sergeant Hartman: "Bullshit, I STILL can't hear you! Sound off like you've got a pair!"

Private Gomer Pyle:"SIR, YES, SIR!"

Gunnery Sergeant Hartman: "That's enough! Get on your feet. Private Pyle you had best square your ass away and start shitting me Tiffany cufflinks or I will definitely fuck you up!"

Private Gomer Pyle:"Sir, yes, sir."

මේ ඒ ෆිල්ම් එකේ තවත් අපූරු ඩයලොග් එකක්.

Gunnery Sergeant Hartman: "Did your parents have any children that lived?"

Private Gomer Pyle: "Sir, yes, sir."

Gunnery Sergeant Hartman: "I bet they regret that. You're so ugly you could be a modern art masterpiece! What's your name fat body?"

Private Gomer Pyle: "Sir, Leonard Lawrence, sir."

Gunnery Sergeant Hartman: "Lawrence? Lawrence what... of Arabia?"

Private Gomer Pyle: "Sir, no, sir."

Gunnery Sergeant Hartman: "That name sounds like royalty. Are you royalty?"

Private Gomer Pyle: "Sir, no, sir."

Gunnery Sergeant Hartman: "Do you suck dicks?"

Private Gomer Pyle: "Sir, no, sir."

Gunnery Sergeant Hartman: "Bullshit. I bet you could suck a golf ball through a garden hose."

Private Gomer Pyle: "Sir, no, sir."

Gunnery Sergeant Hartman: "I don't like the name Lawrence, only faggots and sailors are called Lawrence. From now on you're Gomer Pyle."

Private Gomer Pyle: "Sir, yes, sir."

Tuesday, August 2, 2016

130. ආදරණීය(ද?) තෑගි!


“මේ බලන්න අද මට එයාගෙන් ලැබුණු තෑග්ග. ඒක කොච්චර ලස්සනද නේද?”

මුහුණු පොතේ සැරි සරද්දි ඇතැම් තරුණියන්ගේ ගිණුම් වල දැන් දැන් මේ හා සමාන වැකි දක්නට ලැබේ. බොහෝවිට මිල අධික ජංගම දුරකථනයක, ස්වර්ණාභරණයක හෝ කාන්තාවන් ප්‍රිය කරන වෙනත් මිල අධික යමක පිංතූර මේ සමඟ ඇමිණි ඔබට දිස්වනු ඇත. මතක තබා ගන්න! මේ කියන ‘එයා’ ඇයට මුණ ගැසී ගෙවී ගොස් ඇත්තේ සතියක් පමණි.

තෑගි සිත නළවනසුලුය. විශේෂයෙන් මිල අධික තෑගි ඔබ විශේෂ පුද්ගලයෙකුය යන හැඟීම ගෙනදි සිත නළවනු ඇත. නමුත් මේ පිටුපස බැරෑරුම් ගැටළුවක් හොල්මන් කරනු ඔබ දුටුවාද?

ඔහුගෙන් එම තෑග්ග ලැබූ ඔබට පහත ආකාර විවිධ දේ සිතෙනු විය හැක.

“මෙච්චර වටින තෑග්ගක් අරං දෙන්න තරම් එයාට මං මොන තරම් වටිනවා ඇතිද!”

“එයා නම් ලොකු සල්ලිකාරයෙක් වගෙයි!”





නමුත් ඒවා අවශ්‍යයෙන් ම සත්‍ය නොවේ. කොටින් ම ඒවා හැබෑවක් වීමට තිබෙන ඉඩකඩ ඉතාමත් සීමිතය. මෙහිදී ඔබ දකින්නට අපොහොසත් වන කරුණක් තිබේ. ඒ නම් මෙතරම් ඉක්මනින් එතරම් මිල අධික තැග්ගක් ලබා දෙන්නට පෙළඹෙන ඔහුට කාන්තාවන් විෂයයෙහි නොමසුරු වීම ඒ හැටි දෙයක් නොවන බවයි. එසේ කිරීම ඔහුට හොඳින් සිතා බැලිය යුතු දෙයක් නොවන බවයි. (එනයින් ගත් කළ ඔහුට ඔබද එතරම් සිතා බැලිය යුතු කෙනෙක් නොවන බවයි)

ඔබ තැනක වාඩි වී තනිව ම සිනා නගමින් අනභිභවනීය ත්‍යාගයකින් පිදුම් ලැබුවේ යැයි තුටු වත්දි, ඔහු එවන් ත්‍යාග පහක් මිලදී ගෙන ඉතිරි හතර ඔබ වැනි ළාමක හිතැති තවත් තරුණියන් හතර දෙනෙකුට දෙන්නට ඇත්දැයි නිකමටවත් සිතුවාද? අනෙක් අතට මිල අධික ත්‍යාග යනු විසල් බැංකු ගිණුමක් පිළිබඳ කියා පෑමක් විය හැකිසේම ණය පොදියක් සමගින් හිඳුනු බැංකු ගිණුමක් පිළිබඳ කියා පෑමක්ද විය හැකිය.

ඉතාමත් මෑතකදි මුණ ගැසුණු ආගන්තුක පුද්ගලයෙකුගෙන් මිල අධික තෑගි ලබන්නට ඔබට උවමනා වන්නේ ඇයි? එය විකාර අදහසක් වශයෙන් ඔබට පෙනෙන්නේ නැතිද? සුළුවෙන්වත්?

කෙනෙකුගෙන් අහම්බෙන් ලැබෙනා වටිනා තෑග්ගකට තමන් ඉතා කැමති යැයි කෙනෙකු පවසන්නට පුළුවන. නමුත් සැබෑ ලෝකයේදි නළල රැළි නංවාගෙන කල්පනා කළයුතු යමක් එවන් අහඹු තෑගි මත ගැප්ව තිබෙන බව දත යුතුය.

අපි මෙහෙම හිතමු! ඔබ මාවතක් දිගේ ඇවිද යනවිට ආගන්තුකයෙකු පැමිණ, සිනා සී මල් පොකුරක් දී, “සුභ දවසක්!” යැයි සුභ පැතුවේ නම්, ඔබ තිගැස්සුනත් එයින් එහාට හිතන්න තරම් දෙයක් සමහරවිට නොතිබෙන්නට පුළුවන. නැතහොත් එය ඉතාමත් සිත්ගන්නාසුලු දෙයක් ලෙසින් ඔබට හැ‍ඟෙන්නටද පුළුවන. (ආගන්තුකයා කොපමණ සිත් ඇදගන්නාසුලු පුද්ගලයෙක්ද යන්න මත ඔබේ සිතුවිලි රඳා පවති) 

දැන් මෙහෙම හිතමු! පෙර පරිදිම ඔබ මාවත දිගේ ඇවිද යනවිට පෙර කී පුද්ගලයා පැමිණ සිනාසී මල් පොකුර වෙනුවට රුපියල් 50,000ක මුදලක් ඔබ අත මත තබා “සුභ දවසක්!” යැයි සුභ පැතුවේ නම්, ඔහු ලොව සිටින කඩවසම් බවින් වැඩි ම පුද්ගලයා වුවත්, “ මේ මොකක්ද වෙන්නේ? ඇයි මේ මනුස්සයා නන්නාඳුනන මට මෙච්චර ලොකු සල්ලියක් දෙන්නේ?” ආදී ලෙසින් ඔබට සිතෙනු නොඅනුමානය. 

මා ඔබට පෙන්නුම් කරන්න උත්සහ දරන කාරණය මෙයයි. සාමාන්‍යයෙන් මිනිසුන් ඉබාගාතේ ඇවිදිමින්, දකින දකින අයට වටිනා තෑගි බෙදමින් යන්නේ නැත. ඔබ බලාපොරොත්තු වන්නේ ප්‍රේමනීය සබැඳියාවක් නම්, නිසි කල එළඹ එහි ශක්තිමත්භාවය හදවතට දැනෙන කාලය උදා වන්නට පෙර ලබන මෙවන් ත්‍යාග සැමවිට ම ප්‍රශ්නාර්ථයක් ඇති කරයි. කුමක්වේදැයි අවිනිශ්චිත සම්බන්ධයක් වෙනුවෙන් තමන්ගේ ධනය ඒ ආකාර වියදම් කරමින් ඔහු කරන්නේ කුමක් විය හැකිද? අව්‍යාජ හැසිරීමක් වන්නට තිබෙන ඉඩකඩ සිමිතව ඇති මෙම හැසිරීම තවත් එක් ස්ත්‍රියක හසු කරගැනීමට වියනා දැලක් වීමට ඇති ඉඩකඩ අසීමිතය. 

ලලනාවියනි,

ඔබ ඔවුනට රිසි පරිදි මිලදී ගත හැකි වෙළෙඳ භාණ්ඩ නොවන බව වැටහෙන පරිදි දිවි ගෙවන්න.

එක සාප්පු සවාරියක්, ඔබ සිරුරට ඇතුළුවන්න ක්ෂණික ප්‍රවේශපතක් දිනාගැනීමේ මගක් ලෙස දකින්න ඉඩ නොතබන්න.

එය ඒ ආකාරයට ඉෂ්ට නොවන වග පහදා ගන්න ඉඩ හරින්න.

එය ඒ අකාරයට සිදු නොවිය යුතු වග තේරුම් ගන්න ඉඩ හරින්න.

නමුදු අවාසනාවකට මෙන් බොහෝ කාන්තාවෝ එම ප්‍රවේශපත දිනාගන්නට ඉඩ හරිති. ඔහු අරං දුන් නවතම මාදිලියේ සපත්තු ජෝඩුවකට, මනරම් පෙදෙස් හරහා යෙදුණු විනෝද සවාරියකට, රන් කරාබු ජෝඩුවකට, ‘මේ මනුස්සයා කවදාහරි මගේ මනුස්සයා වුනොත් කොහොමදැයි‘ සළකා බැලීම අමතක කරවා ඔබ සතුටින් මුසපත් කරවීමේ මායා බලයක් තිබෙන්නට පුළුවන. ඒ මායාවෙන් මුසපත් ව මසක් ගෙවෙනු ඇත. දෙමසක් ගෙවෙනු ඇත. සමහරවිට ‍ඊටත් වඩා කාලයක්!. මී ලඟ සිත්ඇදගත් කත වෙත ඔහු එළඹෙද්දී, බිඳුනු හදින්, කඳුළු පිරුණු දෙනෙතින් හා මුහුණුපොතේ විරහ වේදනාවෙන් ලියැවුණු සටහන් ගොන්නක් සමගින් තනිවන ඔබේ ආත්මය සනසන්න ඒ මිල අධික ත්‍යාග වලට කිසිදා හැකි නොවනු ඇත.

ඔබ හොඳින් ‍ධාරනය කර ගතයුතු යමක් ඇත. ස්ථිරසාර, කල්පවතින සබඳතාවක් ගොඩනගා ගතයුතු නම් ඔබ කිසිසේත්ම පහසුවෙන් නැමෙනසුලු කෙනෙකු නොවිය යුතුය. තෑගි හුවමාරුව කවදා නම් කරගත නොහැකිද? ඔබ සිත්ගත් තැනැත්තාට මිලදී ගත හැක්කේ කවරේදැයි දැනගැනීමට පෙර ඔහු කවරෙක්දැයි සොයා බලා, නිවැරදි ව හඳුනා ගැනීමට සිත යොමුකරන්න.

තවදුරටත් පවසනවා නම් ස්ථිරසාර සම්බන්ධතාවක් පිළිබඳ කල්පනා කරන පිරිමියෙකු අනෙකුත් සියල්ල පසෙක තබා මිල අධික තෑගි වරුසාවක් ඔබ මත හෙලන්නට සිතන්නේ නැත. ඔහු රෑ කෑමකට ඔබ කැඳවාගෙන යනු ඇති. ඔබට රෝස මලක් ගෙනෙනු ඇති. හුරුබුහුටි යතුරු රඳවනයක් ගෙනෙනු ඇති. ඒ හැර ඔබ ඔහුගේ ප්‍රේමයට වටිනාකමක් දෙන කෙනෙක්දැයි නිවැරදි ව වටහා ගන්නාතුරු මුදල් වියදම් කරමින් ඔබට මිල අධික තෑගි ගෙනෙන්නට නොසිතනු ඇති.

නිවැරදි ව කටයුතු කරන පිරිමියෙකුට කිසිදා වැරදි කාන්තාවකට ආයෝජනය කරන්න උවමනාවක් නැත. ඔහු කෙමෙන් කෙමෙන් ඔබ ව වටහාගනු ඇති. ඔබද එසේ ම ඔහුව වටහා ගතයුතුය.

මහ ධනවතකු වුවත් ඔහුට අවශ්‍ය ස්ථිරසාර සම්බන්ධතාවක් නම් ඔබ ඇදී එන්නේ ‍ඔහුගේ ‍ධනය වෙත නොවන වග ස්ථිරව වටහාගන්නාතුරු, තමන්ගේ ධනය නිකරුනේ ඔබ වෙනුවෙන් වියදම් නොකරනු ඇති. එබැවින් මොන පැත්තෙන් ගත්තද සම්බන්ධතාවක ළදරු අවධියේදි කෙරෙන මහ වියදම් යනු පැහැදිලිව ම අනතුරු ඇඟවීමකි.

එබැවින්, හදවත දැදුරු වී විසල් ශෝක ගංගාවක ගිලී යාමෙන් වැළකෙන්න - ක්ෂණික ව පහළ වන මුදල් නෝට්ටුවකට රැවටීමෙන් වළකින්න.


ඉංග්‍රීසි බසින් රචනය
නදීරා ඇන්ගෙල්


පරිවර්තනය
රන්දිකා රණවීර ප්‍රනාන්දු

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...