Friday, August 12, 2016

431. අභයගිරි මතක සටහන් - 5 - ජෙරල්ඩීන් අක්කා, කාසිවත්තෙ බුලට් විලී, සුසන්තිකා සහ මේරියන් ජෝන්ස්

කාසිවත්තෙ බුලට් විලී....

අභයගිරි මතක සටහන් කියල මම ලියාගෙන ආව කතාවක්... කතාවක් කිව්වට කතාවක්මත් නෙවෙයි, කතන්දර මාලාවක් කිව්වොත් වඩාත්ම හරි. ඒකට සිද්ද වුනේ මේකයි. කතාව ලියාගෙන යද්දි ඔය වෙන වෙන එව්ව පටලැවිල ඒ පටං ගත්තු කතාව එක විදිහකට පිළිවෙලකට ලියාගෙන, ලියාගෙන, ලියාගෙන ගිහිල්ල අහවරක් කරන්ට බැරි වුනානෙ. ප්‍රධාන හේතුව මම නිවාඩුවට මව්බිමට සැපත් වුන එක.

මව්බිම කිව්වම පොඩි කතාවක් මතක් වුනා.එක්කොත් මේක කට්ටිය අහලත් ඇති. අර අරීසෙන් අහුබුදුවෝ සම්බන්ධ කතාව. දන්නෙ නැති කවුරුහරි ඉන්නවනම් කියන්ට.

හරි එහෙනං සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝග වෙත්වා, සුවපත් වෙත්වා කියල ලියමු බලන්ට ජෝර්දාන් අයියගෙ කතාවෙ නොහොත් අභයගිරි මතක සටහන්වල සෙස්ස......

පසුව එකතු කළෙමි - 

අපෙ සිත්තමී මැඩම් කමෙන්ට් එකක් දාල මෙහෙම කියල තියනව.

/ අයියට මං කිව්වා නේද මෙහෙම ඒවා ලියද්දි අදාල කතා මාලාවෙ අන්තිමට ලියපු කොටසට ලිංක් එකක් දාන්න කියල ලිපියෙ උඩින්ම . කෝ?

හරි, හරි,කිව්ව නේන්නං කිව්ව නේන්නං..මට අමතක වුනානෙ බොලේ..සමාවෙන්න, සමාවෙන්න, ආය මොකටද එකක්, ඔන්න අන්තිම කතා තුනේම ලින්ක්ස් දැම්මා.

අභයගිරි මතක සටහන් 2 - නියුක්ලියර් යුද්දෙකට පස්සෙ ඉතුරුවන එතුමා,අරක්කු පෝලිමේදී හමුවූ මාමා සහ ජෝර්දාන් අයියාගේ රෙස්ටුරන්ට් එක

අභයගිරි මතක සටහන් 3 - ජොන්කොලොස් මීවන පලාන,ජෙෆ් තොම්සන්, ඩිකී බර්ඩ් සහ සිල්වියා ක්‍රිස්ටල්


අභයගිරි මතක සටහන් 4 - සුදු අරලියාගම සහ ඕරමන්ඩි ගෙදර

**********************************************

"මොකද බං?" මම බැරිම තැන ඔලුව හරවල උගෙ මූණ බැලුව. බයිසිකලේ නැවතිල තිබ්බෙ හරියටම ජෝර්දාන් අයියලගෙ ගෙදර තාප්පෙටම හේත්තුවෙලා වගෙ. 

"අර..බලපං අර..."කුමාරය අත දික්කරල මට ජෝර්දාන් අයියලගෙ වත්තෙ මැද්දෑවෙ වගෙ තිබ්බ රූස්ස අඹ ගහ දිහාව පෙන්නුව. මමත් ඒ දිහාවෙ හැරිල බැලුව මොකටද මේ යකා මේ මෙච්චර අන්දොස් වෙලා තියෙන්නෙ කියල. මගෙ ඇස් දෙකත් උඩ ගිහිල්ල කටත් ඇරුනෙ ඉබේම." කවුද බං ඒ?" මම කිව්ව නෙවෙයි මට කියවුනා.

කුමාරය උත්තරයක් දුන්නෙ නෑ…"හ්ම්මම්හ්ක්" ...කටට බඹරෙක් ගිහිල්ල උගුරෙ හිරවෙලා දඟලනව වගෙ අව්‍යාක්ත රාවයක් උගෙං පිටවුනා. එච්චරයි.. 

"සි…ල්වි...යා ක්‍රි….ස්ට….ල් නේද බොලේ?" මගේ ප්‍රශ්නෙට මමම උත්තරත් දුන්න.

ජෝර්දාන් අයියලගෙ ගෙදර මිදුලෙ මහ විසාල අඹ ගහක් තිබ්බය කියල මම කලින් කිව්වනෙ. ඒ අඹ ගහ යට ඒ වෙලාවෙ වේවැල් පුටුවක් තියල තිබ්බ. ඒ පුටුවෙ ඉඳගෙන හිටියෙ...පුටුවෙ ඉඳගෙන හිටියෙ සිල්වියා ක්‍රිස්ටල්...ඔව් සිල්වියා ක්‍රිස්ටල්....සිල්වියා ක්‍රිස්ටල් කියන්නෙ ඔය අපි ඉස්කෝලෙ යනකාලෙ අපේ සිහින කුමරියන් අතුරින් එක් කුමරියක්.

"කවුද බොලේ ඒ?..." කුමාරය යන්තමට තොල මැතුරුව. 

"මම දන්නෙ කොහොමද බොල?..." මමත් ඒ විදිහටම කෙඳිරි ගෑව.

High cheek boned women are one of my weak points,
Actually they make my knee joints shake like a leaf in wind.

මම හෙමිහිට ගේට්ටුව ඇරිය. කාලෙකිං සරනේරු වලට තෙල් දාල නෑ. "ක්රාස්ස්ස්ස්ස්ස්." ඒ සද්දෙට සිල්වියා ක්‍රිස්ටල් ඔලුව හරවල බලල හිනාවුනා.

"ආ..එන්න ..එන්න...වික්‍රම මට කියල තිබ්බ ඔය ගොල්ලො එයි කියල. මට කිව්වෙ නං හත් අට දෙනෙක් එයි කියල."

"එයි,එයි, අනික් අයත් එයි. අපි දෙන්න ටිකක් වේලපහ ආව…" මම බොහොම අමාරුවෙන් ඒ ටික කියාගත්ත.

වික්‍රම??...ඒ කිව්වෙ අපේ මේ ජෝර්දාන් අයිය ගැන වෙන්ට ඕන. මිනිහගෙ නම වික්‍රමපාලනෙ. ඒත් කවුද මේ මෙයා? ජෝර්දාන් අයිය මේ වගෙ කෙනෙක් එනවයි කියල අපිට හාංකවිසියක්වත් කියල තිබ්බෙ නෑනෙ. මට එක විඩේටම හිතට ආවෙ ජෝර්දාන් අයිය ගැන නොමනාපයක්.

"මගෙ නම ජෙරී" එහෙම කියල සිල්වියා ක්‍රිස්ටල් වේවැල් පුටුවෙන් නැඟිට්ට. 

"ජෙරී???" මටයි මගෙ පස්සෙං හිටපු කුමාරයටයි කියවුනේ එකටම වගෙ. 

ජෙරී කියන්නෙ පිරිමි නමක්නෙ බොලේ. මම දන්න ජෙරීල කීප දෙනෙක්ම හිටිය. ඉස්සෙල්ලම ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්තයගෙ කැළෑ හඳ පොතේ ජෙරී හැරිස්. ජයපාල මැතිණියගෙ ලෝයර්. දුම්කුඩු හෙප්පුවක් කලිසං සාක්කුවෙ තියාගෙන නිතරම ඒකෙං දුම්කුඩු උරල හච්චිං යවන එක තමයි මිනිහ කරන එකම රාජකාරිය. කැළෑ හඳ ඕ ලෙවල් සිංහල විෂයයට එහෙම කරපු අයට මතක ඇති.

අපෙ අප්පච්චිත් ඔය දුම්කුඩු ඉරිල්ල කලා.අඟල් දෙකක් වගෙ උස අඟලක් වගෙ විෂ්කම්භය තියන ප්ලාස්ටික් ඩප්පිවල තමයි ඔය දුම්කුඩු ඒ කාලෙ ආවෙ. අප්පච්චි ඉස්සෙල්ලම ඩප්පිය ඇරල දුම්කුඩු සුට්ටක් ගන්නව දකුණු අතේ මහපටැඟිල්ලටයි දබරැඟිල්ලටයි අතරට.ඊට පස්සෙ හෙමිහිට ඒ ටික පොඩි කරනව.

ඉක්බිති වමතෙ දබරැඟිල්ලෙං වම් නාහෙ වහ ගන්නව. ඒ කරල අර ඇඟිලි දෙක අතරට ගත්තු දුම්කුඩු සොල්පෙ දකුණු නාහෙට තියල මහ වේගෙං ඉහලට අදිනව. එත්කොටම අප්පච්චිට මහ හයියෙං කිඹුහුං දෙක තුනකුත් යනව.කිඹුහුං එහෙම ඇරල හුස් හුස් ගාල හත් අට පාරක් හුස්ම ගන්නව උඩට. ඒ මොලේට නොගිහිං නහයෙ තැවරිලා එහෙම තියන දුම්කුඩු තියනවනම් එව්ව උඩට යන්ට. ඊට පස්සෙ The same procedure repeated for the other nostril නොහොත් එම ක්‍රියාදාමය අනෙක් නාස්පුටය උදෙසාද එලෙසම ක්‍රියාත්මක කරනු ලැබේ.

මම දන්න අනික් ජෙරී ඇවිල්ල ජෙරී වව්ටර්ස්. මනුස්සය ඇවිල්ල හිට ක්‍රිකට් ක්‍රීඩකයෙක්. 1976/77 කාලෙ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කලා.1977 අවුරුද්දෙ ටෝනි ග්‍රෙග්ගෙ නායකත්වයෙන් ලංකාවට ආව එංගලන්ත කණ්ඩායම (ඒ කාලෙ එංගලන්ත කණ්ඩායම විදේශ සංචාරවලට යනකොට හැඳින්නුවෙ එම්.සී.සී. කණ්ඩායම කියල) එක්ක තරඟ වලට ජෙරී වව්ටර්ස් සහභාගී වුනා. මේ ගිය අවුරුද්දෙ වගෙ මට මතකයි අපේ ටීම් එකේ කළමණාකරු වෙලත් හිටියා.

"ජෙරී කිව්වට මගෙ සම්පූර්ණ නම ජෙරල්ඩීන්.අපි බර්ගර්…" සිල්වියා ක්‍රිස්ටල් නොහොත් ජෙරී නොහොත් ජෙරල්ඩීන් හිනාවෙලා කිව්වා.

"හා..එහෙමද? ඒක හොඳයි.." මම කිව්ව නෙවෙයි මට කියවුනා. වෙන මොනව කියන්නද? අනික ඇසුයි කටයි තුනම ඇරගෙන අර ඕලු මුවෙක් කෑලි පහේ බැටරියෙ එළියට ගිණිකන වැටුනැහෙ බලාඉන්න අතරෙ මොකවත් තේරුමක් ඇතිදෙයක් කියන්ට සිහියට එන එකක්ය ආය?

"එතකොට මේ වික්‍රමපාල අයිය ඔයාගෙ කවුද?" ටිකක් සිහි එළවාගෙන මම ඇහුව. 

"හිහ්..හිහ්..මගෙ කවුරුවත් නෙවෙයි.වික්‍රම හොඳ යාලුවෙක්."

"ඒ කියන්නෙ ඔයත් ඩුබායිවල….?..." කුමාර ඇහුව. 

"ඒ විස්තර දැනට ඕන නෑනෙ. මල්ලිලට කැමති විදිහට හිතාගන්නකො.." එහෙම කියල ජෙරී අක්කා ගේ ඇතුලට ගියා.

"කවුද බං ඒ?" කුමාරය ඒ අම්මණ්ඩි පිටුපාල යන දිහාව ඇහැපිය නොහෙලා බලා ඉඳල මා දිහාට හැරිල ඇහුව. 

"ඇයි දැං අර කිව්වෙ? උඹ අහගෙන උන්නෙ නැත? අනික කොහොමත් උඹ දන්න හරිය තමයි මාත් දන්නෙ...එව්වයිං කමක් නෑ. යමං බලන්ට මේ ජෝර්දාන් ගොයිය කොහෙද කියල…"

මම එහෙම කියනවත් එක්කම ජෝර්දාන් අයිය ගේ ඇතුලෙ ඉඳල එළියට ආව. කිරි කිරි සුදු පාට අත්දිග කමිසයක් ඇඳල කලු කලිසමක් ඇඳල ෂෙහ්...මනුස්සය හෙණ හැන්ඩිය ඒ ඇඳුමට. ඇත්තම කිව්වොත් ඔය ජෝර්දාන් අයිය කොහොමත් කඩවසම් පුරුසය. උසයි මහතයි ගාණට. 

මේ ඊයෙ පෙරේද ඉවර වෙච්චි ටෙලි ෆිල්ම් එකක් බැලුවද ඔය අය අර කාසිවත්ත කියල. ඒකෙ බුලට් විලී කියල හිටියෙ අර ධාර්මික චණ්ඩියෙක්. අන්න අපේ ඔය ජෝර්දාන් අයියගෙ පෙනුමත් ඒ වගේම තමයි. "කාසි වත්තෙ කාසි නැත්තෙ අපි ලඟ සාමය සතුටයි ඇත්තේ" ....ඒ තමයි කාසි වත්තෙ තේමාගීතය...

"එන්ඩ එන්ඩ මල්ලිලා....කෝ අනික් කට්ටිය?"

"එයාලත් එයි අයියෙ..අපි දෙන්න ටිකක් වේලපහ ආව. ඔය මොකවත් කරන්ට දෙයක් එහෙම තියද බලන්ට…"

"නෑ..නෑ...නෑ...ආය කිසියම්ම දෙයක් නෑ කරන්ඩ. ඔය කට්ටිය මේ පහුගිය සතියෙ දෙකේ මට කරපු උදව් හොඳට ඇති. අද ඔයාලට තියෙන්නෙ රිලැක්ස් එකේ කිං පයිසාල්ල වගෙ පැත්තකට ඕන හැටිය බොන්ඩ. මම කලින්ම කිව්වනෙ අද මගේ ගානෙ කියල. Anything you drink today is on the house."

ඔන් ද හවුස් කියන්නෙ ක්ලබ් එක, බාර් එක නැත්නම් රෙස්ටොරන්ට් එක ගානෙ නොමිලේ බොන්ට දෙනවට. " Today is the fifth anniversary of my divorce. So as a celebration every body here can have a shot of whisky on the house." The Owner said and we cheered him until the roof came down. අන්න එහෙම.

ජෝර්දාන් අයියගෙ කඩ්ඩ නියමයි.ජෝර්දාන්ගෙ කඩ්ඩ ගැන කියනකොට මරු කතාවක් මතක් වුනා. මේ සීන් එක උනේ ඔය විවෘතෙට අවුරුදු තුනක් විතර පස්සෙන් පහු හොඳද? අපේ කුමාරයගෙ අයිය බැඳපු මනමාලිගෙ අයිය බැඳල හිටියෙ සුද්දියක්.ඔය මේ කැනඩාවෙද කොහෙද.

ඉතිං මඟුල් ගෙදරදි සුද්දි එක්ක කතාකරන්ට කවුරුවත් නෑ කියල අපේ කුමාරය මාස ගාණක් ඉඳල අහස පොලව ගැටලන්ට වගෙ කල්පනා කර කර හිටියෙ. පස්සෙ උගෙ හේතුවටද අහේතුවටද මන්දා මඟුලට දවස් තුනක් හතරක් තියල අපේ ජෝර්දාන් හිටිඅඩියෙ ලංකාවට ආව ඔය අබුඩාබිද, මස්කට්ද දහරාන්ද ඔය කොහෙහරි ඉඳල. කුමාරයගෙ ඉහේ මලක් පිපුනා හා සමානයි. ඉතිං අර සුද්දි එක්ක සතුටු සාමීචියෙ යෙදීමේ සුවිශේෂී රාජකාරිය උදෙසාම ජෝර්දාන් අයියටත් මංගල්ලෙට ආරාදනා කලා.

ජෝර්දාන් ටිකක් වනිතා කටයුතු අංසයට බරයි. ස්පෙෂලි දෙකක් දාගත්තම. ඉතිං ජෝර්දාන් අයිය නකතං වෙන්ට ගහල එදා එතන මඟුල් ගෙදරදි නටපු නාඩගමේ විස්තර ආය දවසක කියන්නං. දැං ඒක කිය කිය ඉන්ට ගියොත් එහෙම අදත් මේ කතන්දරේ කියල අහවරයක් කරන්ට වෙන එකක් නම් නෑ.

"ඒක නෙවෙයි අයියෙ..කවුද අර ...අර?" සාලෙ බොන්ට එන අයට පනවලා තිබ්බ ලී පුටුවක ඉඳගන්න ගමං මම ඇහුව. 

"කවුද? කවුරු ගැනද ඔය අහන්නෙ? "

අයිය මම අහන්නෙ කවුරු ගැනද කියල දැනගෙනමයි එහෙම නොදන්න පාට් එක දාන්නෙ කියල මම දැනගෙන හිටිය. මම එහෙම දන්නව කියල අයියත් දැනගෙන හිටිය. 

"අර..මේ..අර..මේ...අඹ ගහ යට හිටියෙ.."

"ආ...එයා ගැනද මේ අහන්නෙ? ඒ මගෙ හොඳ යාලුවෙක්..නම ජෙරල්ඩීන්."

"හරි ...හරි... අපිට කිව්වා…"

"ආ එහෙමද?...ඒ කියන්නෙ උඹල දෙන්න එහෙනං මේ වෙනකොටත් එයා එක්ක කතා කරල නේද?" ජෝර්දාන් අයිය කට කොණකිං හිනාවුනා.

"මල්ලි මම අර ඊයෙ කිව්ව නේද අපේ මේ රෙස්ටුරන්ට් වැඩේ ලොකු අඩුපාඩුවක් තියනව මල්ලිලට තේරුණේ නැතුවට කියල. අන්න ඒ අඩුපාඩුව මඟ අරවා ගන්ඩ තමයි මම ඔය ළමයව ගෙන්න ගත්තෙ. ඔය මට කාලෙකට ඉස්සර මුණගැහුණු ළමෙක්. තාත්ත නෑ. අම්ම විතරයි ඉන්නෙ. ගෙවල් මේ ජාඇල කණුවන පැත්තෙ. එයාලගෙ අම්ම ගෙදර පොඩිවට කේටරිං සර්විස් එකක් කරනව. ජෙරල්ඩීන්ටත් හොඳට උයන්ට පුලුවනි. මම ඔය ගෙන්න ගත්තෙම බයිට් එහෙම රසට හදාගන්ට කියල. මොකද කටට රහට බයිට් තිබ්බොත් කස්ටමර්ල අඩුවෙයි කියල බය වෙන්ට දෙයක් නෑ. අනික ඇහැට කණට පේන ගෑණු පරාණයක් ඉන්න එකත් එක විදිහක මිනිස්සු ඇද ගැනීමේ උපක්‍රමයක්." ජෝර්දාන් අයියා අපි දෙන්න දිහා බලල ඇහැක් ගැහුව.

එදා ඉතිං විවෘත කිරීමේ උත්සවේ බොහොම සාර්ථකව පැවැත්වුනා කිසිම අඩුපාඩුවකින් තොරව. සෙනඟ කියන්නෙ මම හිතන්නෙ රෑ එක දෙක වෙනකල් එක විදිහට ආවෙ පෙරහැර වගෙ. 

ජෙරී අක්කා (ඒ වෙනකොට අපි කට්ටිය ජෙරල්ඩීන් එක්ක බොහොම කුළුපග වෙලයි හිටියෙ. මට ජෙරී කියන්න කියල එයාමයි කිව්වෙ) රෝස පාට කියුලට් එකකුත් ඇඳගෙන එහෙ මෙහෙ දිව්වෙ අසුර විදිල්ල වගෙ. බයිට් ඕඩර් ගන්ට, ටක් ගාල එව්ව හදන්ට, බයිට් පිඟං වරද්දන්නෙ නැතුව ඉල්ලපු අයට ගෙනල්ල දෙන්ට ඒ වගේ පුදුම විදිහෙ පුළුල් කාර්ය භාරයක් ජෙරී අතින් කෙරුණා. 

ඒත් රෑ දහය එකොළහ වගෙ වෙනකොට ඔය ඔක්කොම තනියම එයාටම කරන්ට අමාරු හින්ද අපි තුන් හතර දෙනෙක් මිදුලෙ අඹගයට සෙට් වෙලා හිටපු එක පැත්තක තියල ආව අක්කට උදව් වෙන්ට. 

ඉතිං ඔය ආකාරයට ජෝර්දාන් අයියගෙ රෙස්ටුරන්ට් එකේ වැඩේ නැඟලම ගියා. අනුරපුර අවට ගම් නියම් ගම් සහ පසල් දනව් පුරා පවා දනන් තුඩ තුඩ ජෙරල්ඩීන් අක්කාගේ කටගැස්මෙහි රස නහර පිනායන ප්‍රණීත භාවය පිලිබඳ පැතිරගිය කල්හි සවස හයේ කණිසමට මත්පැන් හලෙහි දොරටු විවර වීමට නියමිත වුවද ඊට හෝරාවකට පමණ පලමු මධුලෝලීහු එක් රොක්ව ජෝර්දාන් අයියාගේ නිවසෙහි ද්වාරය අසල පොදි කන්නට වූහ.

ඉතිං ඔය ආකාරයට වැඩේ කෙරීගෙන යද්දි ඔතන පොඩි කොස්සකට හිටියෙ ජයන්ති අක්කා. ජයන්ති අක්කා කියන්නෙ ජෝර්දාන් අයියගෙ බිරින්දෑ තොමෝ. ආහ්..සමාවෙන්ට ඕන...මට ජයන්ති අක්කා ගැන කලින් කියන්ට බැරිවුනානෙ. ඒ අතපසුවීම වුනේ ඇත්තටම මෙහෙමයි.හිතාමතා නොකිව්ව නෙවෙයි. කියන්ට අවස්තාවක් ආවෙ නෑ. ඒකයි. 

ජයන්ති අක්කගෙයි ජෝර්දාන් අයියගෙයි තිබ්බෙ මහ අමුතු සම්බන්දයක්. ඒ දෙන්නට ඒ වෙනකොට දරුවො එහෙම හිටියෙ නෑ. ජයන්ති අක්කත් මහ එක විදිහක මනුස්සය. මල පැන්නම යස්සනී වගෙ. ආය තැන නොතැන බලන්නෙ නෑ හොඳ හුප්පද වලින් කතා කරන්නෙ. ගෙවල් එහෙම ඔය විජයපුර පැත්තෙ. විජයපුර කියන්නෙ අපි හිටපු හරියෙ ඉඳල කිලෝමීටර් පහක් හයක් වගෙ එහා.

ජයන්ති අක්ක හිටපු ගමං ජෝර්දාන් අයිය එක්ක වලි දාගෙන මාසෙ දෙකේ එයාලගෙ ගෙදර ගිහිල්ල ඉන්නවලු. ආයම සමහරවිට එයාම හිතිල එනවලු. නැත්තං ජෝර්දාන් අයිය ගිහිල්ල එක්ක එනවලු. බහුතරයක් ඔය වලි වල මූලාරම්භය හොයල බැලුවොත් ජෝර්දාන් අයියගෙ වනිතා කටයුතු තමයි කියලයි කුමාරය නම් කිව්වෙ.

මත්පැන් ව්‍යාපාරයෙ අයකැමි නොහොත් කැෂියර් වැඩේ කෙලින්ම ජයන්ති අක්ක අතට ගත්ත. ජෝර්දාන් අයියත් ගෙදර සාමය උදෙසා යම් කැපකිරීමක් කරන්ට වෙනවයි කියල තේරුම් අරගෙන හිටපු හින්ද කිසිදු අයුරක එරෙහි වීමකින් තොරව ඊට ඉඩ දුන්න. 

දැං ඔය ජෝර්දාන් අයිය තේරුම් ගත්තු ටික තේරෙන්නෙ නෑ අපේ බොහොමයක් පූජ්ජිය පක්සෙ උදවියට, විද්වතුංට සහ ඒ වගේම විපස්සෙ දේසපාලුවංට. යමක් ලබාගන්ට නම් යම් කැපකිරීමක් කරන්ටම වෙනව. උතුරෙ සාමය උනත් එහෙමයි. මම මේ ඊයෙ පෙරේද යාපනේ ගිය හින්ද ඒ ටික හොඳටම තේරුම් ගත්ත. ඒ ගැන වෙනම ලියන්නම්කො.

ඉතිං මත්පැන් ව්‍යාපාරය බොහොම සාර්ථකව සති තුන හතරක් කෙරීගෙන ගියාය කියමුකො. අභයගිරියෙ වැඩ හින්ද මට නම් රෙස්ටොරන්ට් එක පැත්තෙ එන්ට ලැබුණෙ සතියකට දෙපාරක් විතර.අපිට පඩි ගෙව්වෙ දිනපතා. ඒ කිව්වෙ On daily pay basis. ඒ හින්ද සෙනසුරාද, ඉරිද, පෝය කියල වෙනසක් නෑ, වැඩට ගියොත් පඩි. 

පෝය දවස්වලට වැඩ කරන්ට අපි කට්ටිය බොහෝම කැමතියි. ඒ වෙන දෙයක් හින්ද නෙවෙයි. ලොක්කො බොක්කො කවුරුවත් එදාට සාමාන්‍යයෙන් වැඩට එන්නෙ නෑ. අපි ඉතිං දවල්ම ඔය පොඩ්ඩක් සන්තර්පණය වෙලා යනව අභයගිරි චෛත්‍යය දිහාවෙ. 

පෝයට අභයගිරියෙ පුදුම විදිහට සෙනඟ. අපි කට්ටිය ඉතිං මඳ පමනට අරගෙනත් නෙව ඉන්නෙ. මහමෙව්නාවෙ හීතල හුළඟ වදිනකොට දැනෙන නිරාමිස සුවය, බුද්ධාලම්භන ප්‍රීතිය ආය කියල වැඩක් නෑ. ඒ වගේමයි අස්සක් මුල්ලක් නෑර මල් පිපුන වගෙ නා නා ප්‍රකාර අංගනාවියො. අපි ඉතිං එවුංට අනම් මනම් කිය කිය ඔහෙ ඇවිදිනව සමාදි පිළිමය එතකොට කුට්ටම් පොකුණ දිහාවෙ එහෙම. එහෙම ගිහිල්ල වෙච්චි අමතක නොවන සීන්ස් දෙක තුනක් තියනව ඉස්සරහට කියන්නං අභයගිරි මතක ආයම ලියද්දි.

ඉතිං ඔයවගෙ ආතල් හින්ද මට වැඩිය ජෝර්දාන් ලිකර් රෙස්ටුරන්ට් එක පැත්තෙ යන්ට ලැබුනෙ නෑ. ඒ වෙනකොට අපේ ටෙක් එකේ හිටපු යාලුවංගෙං යම් වැටුපක් ලැබෙන රස්සාවක් කලේ මම විතරයි. අනික් අය ඔය එක එක තැන් වල ට්‍රේනිං. එව්වට පඩි ගෙවන්නෙ නෑ. කුමාරය මහාමාර්ග දෙපාර්තමේන්තුවෙ. මාර්ග සංවර්ධන අධිකාරිය කොහොත් ආර්.ඩී.ඒ. එක ඒ දවස්වල තිවුනෙ නෑ. හයිවේස් ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි මාර්ග සම්බන්ධව ඔක්කොම කටයුතු කෙරුනෙ.

තව සිසිර ඉරිගේෂන් එකේ. ඔන්න ඔය වගෙ. ඉතිං මම ආපු දවසක තමයි අපි කට්ටියම මේසයක් වටේ ඉඳගෙන නියම ජන්ටල්මෑන්ස්ල වගෙ මධුපානය කරන්නෙ. අනික් දවස්වලට කුමාරය එහෙම ජෝර්දාන් අයියට ඔය මොක මොක හරි හෙල්ප්  කලාම නොමිලේ ෂොට් එකක් දෙකක් අයිය දෙනව. මම උනත් අතේ සල්ලි නැති දවසට එහෙම තමයි.

මම මේ කියන්නෙ යන්නෙ ඒ වගෙ මගෙ අතේ සල්ලි තිබ්බ දවසක් ගැන. කුස්සිය ගාවම වගෙ කනප්පුවක් වටේ අපි ඉඳගෙන හිටිය හතර දෙනෙක්. කුමාරය මට මතකයි. අනික් දෙන්න ගැනනම් මේ වෙලාවෙ ඒ හැටි නිච්චියක් නෑ. හරි, ඒකෙ අවුලක් නෑ. අනික් දෙන්න වැදගත් නෑ මේ කතාවට.

ඒ වෙනකොට රෙස්ටුරන්ට් එක කොච්චර ජනප්‍රිය වෙලාද කියල කියනවනම් වේටර් වැඩේට වෙනම පොඩි කොල්ලො දෙන්නෙක් අරං තිබ්බ ජෝර්දාන් අයිය. ජෙරී අක්කගෙ රාජකාරි තනිකරම කුස්සියට පමණක් සීමාවෙලා තිබ්බ. ඇත්තටම එහෙම තහනම් නියෝගයක් දාල තිබ්බෙ ජයන්ති අක්ක. කොච්චරවත් අර අම්මණ්ඩි කියුලට් එකක් සහ අත් නැති ටී ෂර්ට් එකක් ඇඳගෙන ඇවිල්ල මිනිස්සු තලේ ගැවසෙනවට ජයන්ති අක්ක එක හෙලාම විරුද්ධ වෙලා තිබ්බ. 

මම සති දෙකකින් වගෙ තමයි රෙස්ටොරන්ට් එක පැත්තෙ ආවෙ. ඒ හින්ද ඔය නවතම විස්තර නොහොත් කැඩෙන බිඳෙන ප්‍රවෘත්ති මොකවත්ම දැනගෙන හිටියෙ නෑ. මට ඔය විස්තර කනප්පුව උඩිං නැමිල හෙමිහිට කොඳුරල කිව්වෙ කුමාරය. 

"මචං මෙතන සීන් එක එන්න එන්නම දරුණු වෙනව. දැං ජයන්ති අක්කට ජෙරී අක්කව පෙන්නන්ට බෑ. නිතරම හින්ට් ගහනව ජෝර්දාන් අයිය අල්ලගන්ට හදනව කියල"

"ඉතිං ජෙරී මොකද කියන්නෙ? "

"ඒ අම්මණ්ඩි නෑහුනා වගෙ ඉන්නව. ජෝර්දාන් අයියත් අඳ, ගොලු, බිහිරි රෝල් එක නියමෙට කරනව. හෙහ්, හෙහ්," කුමාරය කොන්ද කෙලින් කරල පුටු ඇන්දට හේත්තු වෙලා හිනාවුනා.

සංස්ථා ඕල්ඩ් එක ඒ කාලෙ මගේ ප්‍රියතම පානය. ඒ කාලෙ ඩී.සී.එස්.එල්. එක තිබ්බෙ ආණ්ඩුවට. පස්සෙනෙ අර අතිගරු ඩී.එච්.එස්. ජයවර්ධන නොහොත් හැරී මහත්තය ඩී.සී.එස්.එල්. එක ගත්තෙ. ඒ කාලෙ ඕල්ඩ් බෝතලේ ඇරියම පැණි සුවඳක් එනව. රයිට් ඒ ගැන ඔය ඇති. 

ඔන්න අපි ඉතිං ඉස්සෙල්ලම ඕල්ඩ් බාගයක් ඕඩර් කරල වැඩේ පටන් ගත්ත.බයිට් ගත්තෙ ඩෙවල් කරපු ග්‍රෝක් ග්‍රෝක්...දන්නවනෙ නේද? දුවන පුහුල් a.k.a. වල් ඌර් බිං හාර්. අන්න නියම බයිට් එක. ඕල්ඩ් එකට තකට තක. ජාඩියට මූඩිය. ඒ කාලෙ මට මතකයි ඩී.සී.එස්.එල්. එකෙං ප්‍රොපෝසල් එකකුත් තිබ්බ ඕල්ඩ් බෝතලයක් එක්ක බැදපු වයිල්ඩ් පෝක් සුට්ටි පැකට් එකකුත් නොමිලේ දෙන්ට. අර හැරිය ඇවිල්ල ඩී.සී.එස්.එල්. එක ගත්තම එව්ව ඔක්කොම යට ගියා. 

රයිට් ඔන්න පළවෙනි ඕල්ඩ් බාගෙ ඉවරයි කියමුකො. මම දෙවෙනි බාගෙත් ඕඩර් කලා. ඒකෙත් අඩිය පේන සයිස්. ජෝර්දාන් අයියත් දෙතුන් පාරක් ඇවිල්ල "ආ මල්ලිලා සෙට් වෙලා වගෙයි ඈ?... හොඳයි හොඳයි" කියල බයිට් කෑල්ලක් එහෙම කාල ගියා. ජයන්ති අක්කත් මම ඉන්නව දැකල ඉස්පාසුවක් බලල කැෂියර් එකෙන් බැහැල ඇවිල්ල වචනයක් දෙකක් කතා කරල ගියා. මම ඉතිං ඔය හැමෝම එක්ක සුහදව ඉන්න මනුස්සයනෙ. සුහද කොකා...හෙහ්,හෙහ්,

කනප්පුව වටේ වාඩිවෙන්ට ඉස්සර මම කුස්සියට ගිහිල්ල ජෙරී අක්කගෙ සැපදුක් එහෙමත් විමසල බලල එතනත් නම ලකුණු කරගත්ත. 

"ඉතිං අක්කෙ? කොහොමද වැඩ කටයුතු?"

"අනේ මන්ද මල්ලි, මට නම් දැන් මෙතන ඉඳිල්ල එපා වෙලයි තියෙන්නෙ. අර වික්‍රම හින්ද ඉන්නව මිසක...ඔයා දන්නව ඇතිනෙ නේද මෙතන තත්වෙ?"

"ටිකක් ඔය එහෙං මෙහෙං ආරංචි වුනා අක්කෙ" මම එහෙම කියල හිනාවෙලා එතනිං එන්ට ආව.

දැං රෑ දහයත් වගෙ පහුවෙලා. සද්දෙ එන්ට එන්ටම වැඩියි. විස්සක් තිහක් එකට වාඩි වෙලා බොන කොට සද්දෙ ගැන ආය අමුතුවෙං කියන්ට දෙයක් නෑනෙ. කොලෝනියල් එකේ, වික්ටරි එකේ, ඩියුරෝයි එකේ, පර්ලින් එකේ එහෙම සන්තර්පණය වෙලා තියනවනම් මම මේ කියන්නෙ මොකක් ගැනද කියල පට ගාල මීටර් වෙනව. දැන්නම් අපිටත් පදමට වැදිල වගෙ තේරෙනව. 

"ඒයි මචං තව කාලක්වත් ගහනවද?" හිස් වෙච්ච් බෝතලේ පෙන්නල මම ඇහුව.

"ඒක තමයි බං මමත් මේ කල්පනා කෙරුවේ." කුමාරය ඔලුව කැහුව. 

"හරි,හරි, උඹ කල්පනා කරපං. එතකල් මම තව කාලක් ගේන්නං" මම එහෙම කියල පුටුව පස්සට කරල මේසෙ අල්ලගෙන නැඟිට්ට.

ඔන්න එතකොටම කුස්සිය පැත්තෙං මහ ගාලගෝට්ටියක් ඇහෙන්ට ගත්ත. සිත් සන්තුෂ්ඨියෙන් යුතුවැ මත්පැන් පානයෙහි නිරතවැ හුන් මත්ලෝලීහුද මේ කුමන නම් අලකලංචියක්දෝහෝයි විපිලිසරවූවා මත්පැන් පානය සහ සතුටු සාමීචි කතාබහ එක වරම නතරකලාහු අසුන්ගත්වනම මුළුතැන් ගෙය දෙස ගෙල හරවා බලමින් රැලි නැඟුනු නළලතින් සහ දෙබැමින් යුතුවැ තුෂ්නිම්භූතවැ පසුවූවාහුය.

"මොකද්ද බං ඒ සීන් එක?" කුමාරයත් දනි පනිගාල නැඟිට්ට පාරට උගෙ පුටුව දඩාං ගාල පෙරලිල වැටුන. 

"මම බලල එන්නං"

එහෙම කියල මම කුස්සියට යන්ට අඩියක් ඉස්සුව විතරයි. මෙන්න කුස්සියෙ දොරෙං එළියට පැන්න ජෙරී අක්ක තුවක්කුවකිං උණ්ඩයක් නිකුත් වෙනව වගේ. එළියට පැනල අපි හිටපු මෙසේ ලඟිම්ම දුවල ගියා දිවිල්ලක් සුසන්තිකා 2000 සිඩ්නි ඔලිම්පික් එකේ මීටර් 200 ෆයිනල් එක දිව්ව වගෙ. ඒ එක්කම තුෂ්නිම්බූත වෙලා උන්නු මත්පැන් ලෝලීහු සියල්ලෝම දනි පනිගාල නැඟිටල බැලුව මොකද මේ වෙන්නෙ කියල.

ඒ පස්සෙන්ම කොස්සකුත් කරකවමින් කුස්සියෙං එලියට පැන්නෙ ඒ ගමන ජයන්ති අක්කා.." හුහ් ඔහෙ හිටු... ඔහෙ හිටු... උඹට මම අද ....හුහ් පට්ට පඳුරි..තෝ හිතන්නෙ මම තොගෙ කෙරුවාවල් දන්නෙ නෑ කියල නේද? තෝ මෙතෙන්ට ආවෙ මොකටද කියල මම දන්නව…"

ජයන්ති අක්කගෙ කකුල් දෙකට මම හිතන්නෙ ඒ වෙලාවෙ මේරියන් ජෝන්ස් ආවේස වෙලා තියෙන්නැති. මොකද සාලෙ මැදක් යනකොට ජයන්ති අක්කා ජෙරී අක්කට කිට්ටු කලා. කිට්ටුකලා කිව්වෙ අතේ කරකවමින් තිබ්බ කොස්ස ජෙරී අක්කගෙ කොන්ද මැදට පතිත කරවීමට හැකිවන මට්ටමට කිට්ටු කලා. ආය කියන්ටත් දෙයක්ය. සිඩ්නි ඔලිම්පික් එකේදි මේරියන් ජෝන්ස් ගෝල්ඩ් එක ගැහැව්ව. අපේ සුසීට හම්බ වුනේ ලෝකඩ පදක්කමනෙ. පස්සෙ අර ඩ්‍රග්ස් කේස් එක හින්ද මේරියන් ජෝන්ස්ගෙ පදක්කම ආපහු අරගෙන සුසන්තිකාට සිල්වර් මෙඩල් එක හම්බ වුන එක වෙනම කතාවක්. මම මේ කියන්නෙ එදා ඔලිම්පික් රේස් එක ගැන. 

කොඳු නාරටිය මධ්‍යයට පතිතවූ මුස්න ප්‍රහාරය හේතුකොටගෙන ජෙරී අක්කා පය පැකිල වැටෙන්නට ගියද වහා තම සමබරතාව රැකගත්තී සාලයේ දොරින් නික්මී ගේට්ටුවද පසුකොට පාරට පැන ඝණ අඳුර මධ්‍යයේ දිවගොස් නොපෙනී ගියාය.

අතේ තිබ්බ කොස්සත් කරකවමින් ජයන්ති අක්ක ආපහු එනගමං අපි ලඟ නැවතුනා. මම හිතන්නෙ එතන හිටපු සෙනඟ තලේ ජයන්ති අක්කගෙ දුක කියන්ට හිටියෙ අපි විතරයි කියල එයාට හිතෙන්නැති

කොස්ස බිම හිටවල ඒකෙ මිටට අත්දෙක තියල බරවෙලා ජයන්ති අක්ක දුක්ගැනවිල්ල පටන් ගත්ත. 

"බලන්ට මල්ලි මේ ගෑණි ආපු දවසෙම මට තේරුනා මොකක් හරි මෙතන හුට්ටලමක් තියනවයි කියල. මොකෝ අපිත් මදු කිරි බීල හැදිලය.. නෑනෙ අපිත් බිව්වෙ මවු කිරි තමයි.....අද තමයි මම අතටම අල්ල ගත්තෙ. මල්ලිට කියන්ට මල්ලි..මෙච්චර වෙලා..... "

ඔන්න ඒ වෙලාවෙ තමයි මෙතෙක් Conspicuous by his total absence වෙලා හිටපු ජෝර්දාන් අයිය කුස්සියෙන් එලියට බැස්සෙ.

"හරි හරි ඒ විස්තර පස්සෙ බැරිය. අර ඉස්සරහ මේසෙට පෝක් ඩෙවල් එකක් ඕඩර් කරල තියනව. අර කොණේම මේසෙට ඔම්ලට් එකක්. දැං ඔහේ ගිහිල්ල කරුණාකරල ඒ ටික පිළිවෙලක් කරන්ට පටං ගන්නවද?"

ජයන්ති අක්කට එහෙම කියල ජෝර්දාන් අයිය හැරුන මෙතෙක් වෙලා මීයට පිම්බ වගෙ පාසානිබූතව ඇස් ගෙඩිත් දොම්බං කරං බලං ඉන්න මදුලෝලී ජනතාව වෙත. 

"හරි හරි ඔක්කොම ප්‍රශ්න ඉවරයි. නෝ ප්‍රොබ්ලම් ඇට් ඕල් ඔක්කොමල ඉඳගන්ට. තව මොකවත් ඕනනම් ඕඩර් කරල ගෙන්න ගන්ට. බොන එව්ව, බයිට්, සිගරට් ඕන දෙයක් කියන්ට. හැම දෙයක්ම ලෑස්තියි. All right Gentlemen... let's enjoy, the night is still young "

ඒක හරියට අර ජෝක් එක පන්ච් ලයින් එක වගෙ. මෙච්චර වෙලා ගල් බීත වෙලා බලා හිටපු ඔක්කොම හිනාවෙන්ට ගත්ත. අපිත් ඒ එක්කම එකතුවෙලා හිනාවුනා.

"මචං උඹ ගාව සල්ලි තියේනං කාලක් නෙවෙයි බාගයක්ම ගෙනෙං" කුමාරය එහෙම කියල පෙරලිච්ච පුටුව කෙලින් කරල ඉඳගත්ත.

53 comments:

  1. චක් මදැයි පොඩි ආතල් කතාවක් අහන්න හරි බැරි ගැහිලා වාඩිවුනා , මේවා මහා නොහොබිනා වැඩ රවී අයියේ , අපිව මෙහෙම වටේ යවන එක හරිද මං අහන්නේ ෂෙක් අම්මප

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      ඔයිට වඩා ආතල් එකක් මොකක්ද බං? නිකමට හිතපං ඒ සීන් එක. හෙහ්..හෙහ්..අර ගෑණු දෙන්න සාලෙ මැදිං එකිනෙකා පසුපස රේස් දුවනකොට..පස්සෙං පන්නන අම්මණ්ඩි කොස්සකුත් කර කව කව....හොඳ වෙලාවට ඒ වෙලාවෙ හැමෝම ගල්බීත වෙලා උන්නෙ. නැත්තං හිනාවෙලා මැරෙන සීන් එක....

      Delete
  2. http://www.bustle.com/articles/137763-why-are-high-cheekbones-considered-attractive

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      සමහරවිට ඔය Attraction for high cheek bones එකට හේතුව මෙහෙමද දන්නෙ නෑ. දඩයම් යුගයෙදි වේගයෙන් දිවීමට හැකිවීම ප්ලස් පොයින්ට් එකක්.එකක් දඩයම් කිරීමේදී අනික වන සතෙක් වගෙ පන්නගෙන එද්දි වේගයෙන්ම දුවන්ට පුලුවන් මනුස්සය හෝ ගැහැණිය තමයි පණ බේරගන්නෙ.

      එතකොට කෙට්ටු අයට මහත අයට වඩා වැඩි වේගයෙන් දුවන්ට පුලුවනිනෙ. කෙට්ටු අයගෙ තමයි හයි චීක් බෝන්ස් තියෙන්නෙ. ඒ හින්ද තමන්ගෙ පාට්නර් තෝර ගනිද්දි හයි චීක් බෝන්ස් වලට වැඩි වැදගත් කමක් ලැබෙන්ට ඇති.

      Delete
    2. හයි චීක්බෝන්ස් aerodynamically හොඳ නිසා හයියෙන් දුවන්න පුලුවන් වෙන්න ඇති. :-D

      Delete
    3. Pra,

      Yep, I agree. This surely would be the "high cheek boned" version of cars

      Delete
    4. ඇයි අපේ කොමෙන්ට් පේන් නැද්ද හිටං.

      Delete
    5. ප්‍රසන්න,

      හරි හරි බං ඉවසල ඉඳිං ටිකක්. උඹ ඇවිල්ල කො.ක.ස. සබාපති නේද? අවසේස එවුංගෙ කමෙන්ට් වලට ඉස්සෙල්ල උත්තර දෙන්න එපැයි. සබාපතිතුමා කිව්වම ලේසි කෙලියක්ද?

      Delete
  3. මටනං ජෙරී කියනකොට මතක් උනේ මීයෙක්ව. ඔය අන්තිම සීන් කෝන් එකත් ටොම් ඇන් ජෙරී එකට අගේට ගැලපෙනව. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      කිව්වත් වාගෙ ටොම් ඇන්ඩ් ජෙරී මට අමතක වුනානෙ ෂෙහ්...:(

      Delete
  4. //we cheered him until the roof came down.// අපොයි ඔවු. ඔහෙලටත් නිකං ‍බොන්න දුන්නනං ජෝර්දාං කාරයට රෙස්ටොරන්ට් එකේ වහලෙ අලුතෙන් හදන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අඩු වියදමිං වහලවල් ගලවගන්න ඕනනම් අන්න ක්‍රමේ...

      Delete
  5. //ඒ පටං ගත්තු කතාව එක විදිහකට පිළිවෙලකට ලියාගෙන, ලියාගෙන, ලියාගෙන ගිහිල්ල අහවරක් කරන්ට බැරි වුනානෙ.// ඔහේ මොන කතාවද එහෙම පිළිවෙලකට ලියාගෙන ගිහිල්ල අහවර කරල තියෙන්නෙ කියමු බලන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      මට ඔව්ව මතක නෑ බං...එහෙම තියේනං එව්ව මතක තියාගන්න එක කො.ක.ස. සබාපති හැටියට උඹේ වගකීම....:)

      Delete
  6. මට හිතාගත්තැකි අර සීන් එක වෙන වෙලාවෙ අයියලයි, බොන්න ආව අනික් සෙට් එකයි කටවල් අරගෙන, ඇස් උලුප්පගෙන, හපපු චිකන් කෑල්ල එහෙම්ම දත් අස්සෙ තියාගෙන ඒක දිහා බලං උන්න හැටි.

    කාලක් ගහන්නත් කල්පනා කරන්න ඕන වෙච්ච කුමාරයට සීන් එකෙන් චූන් වෙච්ච පාර වෙන්නැති බාගයක්ම ගහන්න කික් එකක් ආවෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ජයන්ත චන්ද්‍රසිරිගෙ නාට්‍යයක (අත් නාට්‍යයෙද කොහෙද) තියනව නලුවො කඩාගෙන බිඳගෙන කෑගහගෙන ප්‍රේක්ෂකාගාරය මැදින් දුවගෙන ඇවිල්ල ස්ටේජ් එකට පනින සීන්ස් එකක්. පස්සෙ කාලෙක ඒ නාට්‍යය බලද්දි මට මතක් වුනේ ඔය ජයන්තිගෙයි ජෙරල්ඩීන්ගෙයි සීන්ස් එක.

      එක පාරක් නුවර ඇන්තනීස් හෝල් එකේ ඔය නාට්‍යය පෙන්නද්දි ඔය නලුවො කට්ටියගෙං හෝල් එකට ඇතුල්වෙන දොරගාවදි සික්කො ටිකට් ඉල්ලල මහ ජංජාලයක් වුනාලු. අපි නලුවො කිව්වට උං පිලිගත්තෙම නැතිලු.පස්සෙදි.....හරි ඒ කතාව ආයෙමත් දවසක කියන්නංකො.

      Delete
  7. //එහෙම ගිහිල්ල වෙච්චි අමතක නොවන සීන්ස් දෙක තුනක් තියනව ඉස්සරහට කියන්නං අභයගිරි මතක ආයම ලියද්දි.// හාං අපිත් තව අවුරුද්දක් දෙකක් බලා ඉඤ්ඤංකො ඒව ලියනකල්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      එච්චර කල් යන එකක් නෑ බං...:)

      Delete
  8. //අර හැරිය ඇවිල්ල ඩී.සී.එස්.එල්. එක ගත්තම එව්ව ඔක්කොම යට ගියා. //
    කොස් කටිං කරන්න උපදෙස් දෙන්න ඇති ඕකෙ ඉන්න මූල්‍ය ලොක්ක ,
    ජෙරී අක්ක පස්සෙ රවි අයියට දුවන්න තිබ්බෙ උසේන් බෝල්ට් වගේ, ගිහින් කොහු පාර වැදුන තැන එහෙම බලල පොඩ්ඩක් ජේතවනේ පැත්තෙ ගිහින් නවත්තන්න තිබ්බෙ , පව් අසරණ මනුස්සය කළුවරේ කොහෙ දිවුවද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හැක්.. හැක්.. ඒකත් කොරයි තමයි බීල නොහිටියනං.

      Delete
    2. Kammala,

      / ගිහින් කොහු පාර වැදුන තැන එහෙම බලල පොඩ්ඩක් ජේතවනේ පැත්තෙ ගිහින් නවත්තන්න තිබ්බෙ , /

      ජේතවනේ නෙවෙයි බං අබයගිරියෙ, අබයගිරියෙ...

      Delete
    3. ප්‍රසන්න,

      දෙයියම්පල්ල බීල නොහිටියනං මාත් ඒ පස්සෙ දුවනව තමා උසේන් බෝල්ට් වගෙ හරි කොහොම හරි...:)

      Delete
  9. සිල්වියා ක්‍රිස්ටල් එතකොට කුස්සියටම දැම්ම බයිට් හදන්ඩ නෙහ්.. 'අභයගිරි මතක' is still young! :)

    ReplyDelete
    Replies
    1. With Hon.Ravi Weerasinghe (hey, just realized that he too is RW !) some are "newborn" memories.

      Delete
    2. Pra,

      My extreame gratitude for the honorific title. In my most profound humbleness I can say assuredly that no one else deserves it more.

      Regarding the memeory issue I think it's a very clear cut case of explicit " Involuntary memory" ( Of course spiced with my vivid imagination )

      Delete
    3. කළ්‍යාණ,

      /'අභයගිරි මතක' is still young!/

      අභයගිරි මතක තවමත් තරුණයි……

      "දවස තවමත් තරුණයි" කියල නවකතාවක් කියවල තියනවද? ජයලත් මනෝරත්නගෙ පළමුවෙනි නවකතාව……

      Delete
  10. අපි කට්ටිය ඉතිං මඳ පමනට අරගෙනත් නෙව ඉන්නෙ. මහමෙව්නාවෙ හීතල හුළඟ වදිනකොට දැනෙන නිරාමිස සුවය, බුද්ධාලම්භන ප්‍රීතිය ආය කියල වැඩක් නෑ

    යකෝ මේ රවියව ත්යන්න වටින්නේ නෑනෙ.මේ දහසක් බුදුන් බුදුවුනාය කියන පෝය දවසෙත් බීලා අභයගිරියට ගිහින් තව ඒකේ පුරාජේරුව කියනහැටි.අදම නානසාර තුමාට මේ ගැන කියන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. කුමාර,

      ඔන්න ඉතිං ඕකනෙ කියන්නෙ..හැබෑටම ඔහේ දන්නෙ නැද්ද ඒ කාලෙ තාපසයො එහෙම බණ බාවනා කලෙත් මද පමණට සන්තර්පනය වෙලා කියල. "සෝම පානය" ගැන එහෙම අහල ඇතිනෙ නේද? බුදු හාමුදුරුවන්ගෙ කාලෙ උනත් බික්සූන් වහන්සෙලා ධ්‍යාන වලට සමවැදුනෙ මද පමණට අරගෙනය කියල මට මතකයි කවුද විද්වතෙක් කියල තිබ්බ.

      Delete
    2. අරක්කු බීල නම් බාවනා කරන්න බෑ... හැබැයි මම අහල තියෙනවා කංසා එහෙම ගැහුවම හොදට හිත එකග කරගන්න පුළුවන්ලු. භාවනා කරන්න එහෙම පුළුවන්ලු හිට එකග කරගෙන. ඇමෙරිකාවේ රතු ඉන්දියානු ගෝත්‍රිකයෝ එයාලගේ පුජාවන් පටන් ගන්න ඉස්සෙල්ල කංසා වලින් හදපු බීමක් බොනවලු. පලවෙනි එකට අත්දැකීම් තිබුනට දෙවැනි එකට අත්දැකීම් නෑ. "සෝම පානය" කියන්නේ අරක්කු නෙමේ වෙන්න ඇති.

      Delete
  11. අයියට මං කිව්වා නේද මෙහෙම එව්වා ලියද්දි අදාල කතා මාලාවේ අන්තිමට ලියපු කොටසට ලිංක් එකක් දාන්න කියලා ලිපියේ උඩින්ම. කෝ?

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      කිව්වා කිව්වා කිව්වා මොකද නොකිය...වැඩේ වුනේ මට ෆොගොටිනික් උනානෙ බොලේ.

      ඔන්න ආය මොකටද එකක් කියල පහුගිය කොටස් තුනේම ලින්ක්ස් දැම්ම..අපි එහෙමයි..තේන්නාද?

      Delete
  12. මචං මේ, අර ඉස්තිරියාව රෑ කරුවලේ කොහෙ දිව්වද දන්නෙ නෑ. පොඩ්ඩක් ඒ ගැනත් හොයල බැලුවනං නේද හොඳ?

    ReplyDelete
    Replies
    1. දැං ඔහේ අර කුමාරි පැනල ගියාට පස්සෙ හෙවුවද නෑනෙ.

      Delete
    2. තාම හොයමින් පවතිනවා. හම්බුන ගමන් කරළියට ගේන්නං.
      යකෝ මේ කො කා ස එක්ක බේරෙන්න බැරි හැටි.

      Delete
    3. අන්න බලහං හැලපෙ අයියෙ , උඹලට ,අපිට විතරයි යුතුකම් මතක් වෙන්නෙ .

      Delete
    4. හැලප,

      හොයන්ට තිබ්බ නම් අපූරුයි ..ඒත් වැඩේ වුනේ මට ඒකට චෑන්ස් එකක් ආවෙම නෑනෙ...:(

      Delete
  13. පව් දෙයියනේ ජෙරී

    ReplyDelete
    Replies
    1. නිර්නාම,

      එහෙනං එහෙනං.....:)

      Delete
  14. ජෙරීටවෙචච දෙයක්.... ජෝර්දාන් අයියා ඇවිත් ජයන්තිගේ දුක්ගැනවිල්ල නැතවැත්තුව එක වැරදී...

    දැන් ඉස්සරහට කියන්න කතා නම් ගොඩයි... ඒවා අපිට කොයි කාලෙ කියවන්න ලැබෙයිද....

    ReplyDelete
    Replies
    1. නිර්මාණී,

      ජොරා බයවුනෙ අර අම්මණ්ඩි ජොරාගෙ පැටිකිරියත් එක්ක දිගාරියි කියල ලුණු ඇඹුල් සහිතව අර දෙනෝදාහක් මැද්දෑවෙ...:)

      Delete
  15. ඕල්ඩ් එකට හරියටම හරියන්නෙ කළුවට හිඳෙන්න හදපු වල් ඌරම තමා.. හප්පේ...මතක් වෙනකොටත් ටොයිං ටොයිං ගානවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජීඑල්,,

      අන්න මල්ලි උඹ දන්නව ඒ දෙක එකතුවුනාම තියෙන රහ...:)

      Delete
  16. ඔච්චර වෙලා මක්ක කොරලද අප්පෙ.... මොනව උනත් ජෙරිත් නිකම්ම නිකං අම්මණ්ඩියෙක් නෙමෙයි වගේ

    ReplyDelete
    Replies
    1. වැව්,

      අහන්නෙ මොකක් ගැනද කියලනම් නොතේරුණෙමි...:(

      Delete
  17. // ඒ කාලෙ ඕල්ඩ් බෝතලේ ඇරියම පැණි සුවඳක් එනව. රයිට් ඒ ගැන ඔය ඇති
    වෙන්න ඇති වෙන්න ඇති..... දැන්කාලේ හැම එකක්ම එකම රස... එතනෝල් සහ වතුර ..... වෙනස් බෝතල් සහ ලේබල් වල.....

    ReplyDelete
    Replies
    1. ඉසුරු,

      ඔව් ඒ කාලෙ එක එක වර්ග වලට විවිධ ආවේණික සුවඳ තිබ්බ. බොන තැනකට එනකොට සුවඳින් කිව්වැකි මොකක්ද පාවිච්චි වෙන්නෙ කියල.

      Delete
  18. අර පරණ කතා වලට ලින්ක් දාන්න පුරුදු වෙච්ච එක නම් හොඳයි.. මිනිස්සු අනාථ නොකර

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      ඔව් බං අර අපේ සිත්තමී ලොක්කිත් ඕක මට කිව්ව. කොහෙද අමතක වෙනවනෙ.හියරාෆ්ටර් විල් ඩූ දැට්...:)

      Delete
  19. ඕල්ඩ් ඇරැක් වල ඕල්ඩ් කියල කියන්නෙ පරණ කියන තේරුම කියල කව්දෝ ඉංග්‍රීසි දන්න මහත්තැන් කෙනෙක් කිව්ව. එතකොට එව්ව ඕල්ඩ් කරන්න හල්මිල්ල , තේක්ක වගේ ඒවයින් හදපු කල්දේරම් වල අවුරුදු දෙකක්ද කොහෙද තියන්න ඕනලු. ඒවුණාට එහෙම අවුරුදු ගණන් ඕල්ඩ් කරන්න කල්දේරම් ගොඩක් නැති අයත් ඕල්ඩ් කියල ලේබල් එකේ ගැහුවම කට්ටියට ඒවත් බොනවළු. ඒ නිසා නියම ඕල්ඩ් සංස්ථා ඕල්ඩ් ම ගන්න. (මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරණ ලද දැන්වීමකි )

    ReplyDelete
    Replies
    1. මස්සිනාල එක්ක සෙට් වෙනකොට අපිත් ගල් වලිං සංස්තා ඕල්ඩ් වලට මාරු වෙනව. මටනං දෙකේ විශේෂයක් පෙනුනෙ නෑ.

      Delete
    2. ඉයන්,

      "හල්මිල්ල ලේගරවල වසර දෙකක් පරණ කරන ලදී" ඔන්න ඔහොම ගහල තිබ්බ ඒ කාලෙ ඕල්ඩ් බෝතලේ...

      Delete
  20. // ඒ කාලෙ මට මතකයි ඩී.සී.එස්.එල්. එකෙං ප්‍රොපෝසල් එකකුත් තිබ්බ ඕල්ඩ් බෝතලයක් එක්ක බැදපු වයිල්ඩ් පෝක් සුට්ටි පැකට් එකකුත් නොමිලේ දෙන්ට. අර හැරිය ඇවිල්ල ඩී.සී.එස්.එල්. එක ගත්තම එව්ව ඔක්කොම යට ගියා. //

    මට කවුද කියපු විදිහට මේං මෙහෙමයිළු ඕක සිද්ධවුණේ. ඕල්ඩ් අරක්කු එක්ක බැදපු පෝක් දෙන්න යෝජනාව ක්‍රියාත්මක කරන්න ඩී සී එස් එල් එක පෞද්ගලික සූකර ෆාම් එකක් දාන්න යනකොට රජයේ වල් ඌරන්ගේ සංගමය විරුද්ධ වෙලා. ඕන ගූ ගොඩක් කන වල් ඌරො ඉන්දෙද්දි හයි ෆයි කෑම දීල හොඳ වර්ගවල ඌරො හැදුවම වල් ඌරන්ට තියෙන ඩිමාන්ඩ් එක අඩුවෙයි කියල. අනික ෆාම් ඌරො එලියට ඇවිල්ල ගූ පස්සෙ ගියොත් තියෙන ගූ ඔක්කොම කන්න උන්ට තියෙන අවස්ථාව නැතිවෙයි කියල. ඔන්න ඔහොමලු ඒක සිද්ධ වුණේ.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      ඇත්ත වෙන්නත් ඇති...ඉයන් දන්නෙත් නැත්තං වෙන කවුද ඉතිං ඔය විස්තරේ දන්න කෙනෙක් ඉන්නෙ? හෙහ්.හෙහ්,

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...