Friday, August 26, 2016

437. ඒ ගී සොළොසට අයත් නොවූවද තවමත් මා හද බැඳි ගී - 2 - ගෙල වට බැන්දා වූ මුතු පොටේ…..


Google Images
එක්දහස් නමසිය අසූඅට වර්ෂයේ මුල් කාර්තුවෙහිදී මම එවකට සේවය කල ආයතනයේ කළමනාකාරිත්වය විසින් මාස තුනක නේවාසික සේවාස්ථ පුහුණුවකට තෝරාගැණිනි. රත්මලාන බහුතාක්ෂණ ආයතනයෙහි පූර්ණ කාලීන පාඨමාලාවක්වූ එයට මා සහභාගීවූයේ මගේ මිතුරකුවූ කුමාරගේ යම් තරමකට දුරින් ඥාතීන්වන මැදිවියෙහිවූ යුවලකගේ නිවසෙහි නවාතැන් ගෙනය. 

බොරලැස්ගමුව දේවාල පාරෙහි පිහිටි එම නිවසෙහි පිටතින් පිහිටි කාමරයක් කුමාර සහ මා වෙනුවෙන් වෙන් කෙරිණි. බෙල්ලන්විල රජමහාවිහාරය ඉතා ආසන්නයේවූ එම නිවසෙහි සිට අප දෙදෙන මාර්ග අංක 119 දරණ මහරගම - දෙහිවල බසයක නැඟී දෙහිවල මංසන්ධියටද ඉක්බිති ගාළු පාරේ දකුණු දෙසට ධාවනය වන මොරටුව හෝ පානදුර බසයක නැඟී රත්මලාන බෙලෙක් කඩේ හන්දියටද පැමිණියෙමු. බෙලෙක් කඩේ හන්දිය යාබදව මොරටුව දෙසට වන්නට පිහිටි සුවිසල් භූමිභාගයක පැතිර රත්මලාන බහු තාක්ෂණ ආයතනය පිහිටා තිබිණි.

සඳුදා සිට සෙනසුරාදා දක්වා සතියට දින හයක් ඉගැන්වීමේ කටයුතු සිදුකෙරුනු අතර සතිඅන්ත නිවාඩුව ඉරුදිනට සීමාවිය. එබැවින් සෙනසුරාදා පාඨමාලාව අවසන්වී නිවෙස් බලා ගියද සඳුදින උදෑසන අට වන විට ආයතනයට පෙරළා පැමිණිය යුතුය.

නිල වශයෙන් අප බහුතාක්ෂණ ආයතනයෙහි සිසුන් වුවද ඒ වනවිටද රැකියාවන්හි නිරතවූවන් බැවින් ආයතනයෙහි ප්‍රධානීන් අතරද අපට යම් පිළිගැනීමක් විය. එසේම පාඨමාලාව සම්බන්ධීකරණය වෙනුවෙන් සැළකිය යුතු මුදලක් අප සේවය කල ආයතනය විසින් ශ්‍රී ලංකා ඉදිකිරීම් පුහුණු සහ සංවර්ධන ආයතනය (ICTAD) හරහා බහුතාක්ෂණ ආයතනය වෙත ගෙවීමට කටයුතු යොදා තිබීමද මේ පිළිගැනීමට බොහෝසේ හේතුවිය.

එසේ හෙයින් ඉරුදින නිවාඩුව සඳහා නිවෙස් බලා ගොස් සඳුදා දිනයෙහි හෝරාවක් හෝ දෙකක් ප්‍රමාදව පැමිණියා වුවද ඒ එපමණ ප්‍රශ්ණයක් නොවන බව අපි දැන සිටියෙමු. එහෙත් අපහට ආයතනයෙහි පැවති පිළිගැනීම අයුතු ලෙස ප්‍රයෝජනයට ගැන්මට කිසිසේත් කැමති නොවුනු අප සති අන්තයට නිවෙස් බලාගිය නමුදු සඳුදින අළුයම නිවෙස් වලින් පිටත්ව කෙසේ හෝ පාඨමාලාව ඇරඹීමට පෙර ආයතනයට පැමිණීමට වගබලා ගත්තෙමු.

එකල මම අවිවාහකයකු වූ අතර විශේෂ අවශ්‍යතාවයක් නොවූයේනම් නිවෙස බලා ගියේ මසකට වරකි. ඉතිරි සතිඅන්තයන් චිත්‍රපට හෝ වේදිකා නැරඹීමටද කොළඹ පුරා පිහිටි පොත් කඩ පීරීමටද යොදා ගතිමි. එසේ නැතහොත් මා සමඟ පාඨමාලාවට සහභාගීවන අනෙකුත් සගයින් කිහිප දෙනෙකු සමඟ කොහේ හෝ මත්පැන් හලකට ගොඩවැද ප්‍රිය සම්භාෂණයෙහි යෙදෙමින් මධුවිත් ඉහළට ඔසවා සව්දිය පිරූවෙමු.

දෙහිවල මංසන්ධිය අසලම ගාළුපාරටම යාබදව පිහිටි පර්ලින් අවන්හලට අප බහුතරයක් ඇලුම් කලේ ප්‍රසිද්ධ මත්පැන්හලක අනිවාර්යයෙන් පැවතිය යුතුයයි අප විශ්වාස කල අදාල වාතාවරණය (The typical atmosphere unique to a well patronized public bar) එහි නොඅඩුව දක්නට වූ හෙයිනි.

පාඨමාලාවෙහි අවසාන මාසයෙහි පසළොස්වක පොහෝදින සඳුදාවකට යෙදී තිබූ හෙයින් ඒ සෙනසුරාදා සවස මම නිවෙස බලා යාමට සැළසුම් කළෙමි. එහෙයින් සෙනසුරාදා උදෑසන පාඨමාලාවට සහභාගීවීමට පැමිණෙන විට මගේ ගමන් මල්ලද රැගෙන ආයෙමි.

"මොකද බං මේ........මල්ලකුත් උස්සගෙන?" පුෂ්පේ විමසුවේය. 

පුෂ්පේ වනාහී නාවල කොස්වත්තේ නිවැසියෙකි. දඹුල්ලේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකුගෙ වැඩිමහළු පුත්‍රයා වූ හෙතෙම මට වසර කිහිපයකට ජේෂ්ඨවූ සුලෝහිත සිසුවෙකි. සුලෝහිතයෙහි ජීවිතය පිළිබඳ ලියද්දී මම ඕරමන්ඩිය නම්වූ පාසල අසලම පිහිටි සිසුන් හත් අට දෙනෙක් නේවාසිකව හුන් නිවසක් පිළිබඳව සඳහන් කලා ඔබගේ මතකයෙහි ඇතැයි සිතමි. පාසල් යන කාලයෙහි ඒ ඕරමන්ඩියෙහි දීර්ඝකාලීන නේවාසිකයෙකුවූ පුෂ්පේ අටවන ශ්‍රේණියෙහිදී පමණ ගෝතමියෙහි රූමත් සිසුවියක් හා බැඳි ප්‍රේමයේ අනුහසින් කොස්වත්තෙහි දෙමහල් නිවසක හිමිකරු විය.

"සඳුදා පෝයනෙ බං. අද ක්ලාස් ඉවරවෙලා මෙහෙම්මම අදිනව නුවර."

"මඟුලක් කතා කරනව. එතකොට අද පර්ලින් යන්නෙ නැද්ද? "

"පර්ලින් ගිහිල්ල බෑනෙ බං…" මම බැගෑපත් වීමි. 

"මේ පිස්සු කෙලින්ට එපා. හෙට මගෙ වෙඩිං ඇනිවසරි එක. අවුරුදු පහයි. මම ලෑස්තිවුනේ උඹල ඔක්කෝටම හෙට ගෙදර එන්ට කියල පාටියක් දෙන්ට. ඒත් ඒක හරියන්නෙ නෑ වගෙ. අපෙ උන්දැ ලෑස්ති කරගෙන කතරගම යන්ට. බාරයක් තියනවලු ඔප්පු කරන්ට."

"වෙන්ටත් ඇති. උඹෙ වයිෆ් කඳ සුරිඳුට බාරයක් වෙන්ට ඇති මේ මනුස්සය එක්ක අතුරු ආන්තරාවකින් හැල හැප්පීමකින් තොරව පුරා පස් වසරක් පවුල් කන්ට ඔබ තුමාගෙ පිහිටාරක්ෂාව ලැබුනොත් දෙන්නත් එක්කම ඇවිල්ල බාරෙ ඔප්පු කරනවයි කියල" මම පැවසූයේ හඬ නඟා සිනාසෙමිනි.

"හරි හරි ඒක මොක හරි. ඉතිං මම හිතුවෙ පස්සෙ උඹල කට්ටියටම කතා කරල ඉරිදාවක වගෙ ලන්ච් එකක් දෙනකල් අද හවස පර්ලින් යමුය කියල…" 

පුෂ්පේ යනු මගේ ජීවිත කාලයෙහිදී මට හමුවූ ඉතාම සුහද එමෙන්ම පරාර්ථකාමී මිනිසෙකි. මෙකල මෙන් එකලද එවන් මිනිසකු හමුවීමට වඩා දුෂ්කර කාර්යයක් වූයේ නම් ඒ මහජන මුදල් හොරකම් නොකල මහින්දගේ ඥාතියකු හෝ ගෝලයෙකු හමුවීම පමණකි.

"හරි හරි ඕකේ මාකේ...මම එන්නං, පුෂ්පයගෙ වෙඩිං ඇනිවසරි එකට ඉන්වයිට් කලාම නොගිහින් කොහොමද? "

"එතකොට ගෙදර යන එක?" තවත් කවුදෝ විමසුවේය.

"බලමු රෑවෙලා නයිට් මේල් එකේ හරි යන්ට බලනව. බැරිම උනිත් ආය ඉතින් මොනව කරන්ටද? මැරෙන්ට කියලය? හෙට උදේට තියන කෝච්චියක වත් යනව."

පැණිදෙණියේ කුඩා ඉඩම් කොටසක් මිලදී ගැනීම සහ එහි නිවහනක් ඉදිකිරීම තවත් වසර විසිපහක් පමණ අනාගතයේ සිදුවන්නට නියමිතව තිබූ එදවස මම වාසය කලේ පිළිමතලාවේ පිහිටි අපේ මහ ගෙදරය. කොළඹ සිට දුම්රියෙන් පැමිණ පිළිමතලාව දුම්රියපලෙන් බැසගත් ඉක්බිති නිවස තෙක්වූ කිලෝ මීටර් තුනක් පමණවූ දුර ප්‍රමාණය බස් රථයකින් පැමිණීම හෝ දුම්රිය මාර්ගයේ ඔස්සේ පාගමනින් පැමිණීමට මම පුරුදුව සිටියෙමි.

කුඩාකල සිටම හැකි සෑම විටම දුම්රියෙන් ගමන් කිරීමට මම රුචි කලෙමි. බස් රථයක ගමන මෙන් නොව දුම්රිය ගමනෙහිදී අත්විඳිය හැකි නිදහස, විශේෂයෙන්ම පොතක් පතක් කියවීමේ නිදහස, සැහැල්ලුව සහ බාධාවකින් තොරව රස විඳිය හැකි පරිසර චමත්කාරය ආදී ධනාත්මක කාරණා විසින් දුම්රිය ගමනෙහි නිසග අපහසුතාවයන් තුලනය හා / හෝ නිෂේධනය කරන බව මම උදක් විශ්වාස කලෙමි. 

"හරි එහෙනං ඔක්කොම හරිනෙ. ක්ලාස් එක ඇරෙන්නෙ පහට. පහමාර වෙනකොට අපි යමු පර්ලින් එකට. ආ..වීරෙ..උඹ නැවතිල ඉන්න තැනට කියල ආවෙ අද එන්නෙ නෑ කියල නේද? එතකොට කොහොමද?"

"කුමාරයයි මායි ඉන්නෙ එලියෙන් වෙනම දොරක් තියන කාමරේකනෙ. ඒ හින්ද අවුලක් නෑ."

" හරි එහෙනං ඒකත් හරි…."

ඉදින් එදින පුෂ්පේගේ පස්වන විවාහ සංවත්සරය සැමරීමේ ප්‍රිය සාදය රාත්‍රී දහයේ කණිසම දක්වා ඇදී ගිය බවත්, අවසන පර්ලින් ආපන ශාලාවෙහි කළමණාකාරිත්වය පුෂ්පේගේ සුහද මිතුරන් වූ නිසාම, ගාළු පාරෙහි පදික වේදිකාවට පැමිණ ක්වීන්ස්බරි නීතිමාලාව නොසළකා හරිමින් (No holds barred) කේවල මුෂ්ඨි ප්‍රහාරක තරඟ වලට පැමිණෙන මෙන් පර්ලින් කාර්ය මණ්ඩලයට අභියෝග කරමින් අයුතු ජන රාශියක් ලෙස සංවිධානය වී හුන් අප මිතුරන්හට එදින රාත්‍රිය පහන් වන තුරු දෙහිවල පොලිස් සිර මැදිරියෙහි යකඩ කූරු ගණනය කිරීමට සිදුවීමේ මහත් අභාග්‍යයෙන් මුදවා ඔවුන්ගේ නිවෙස් කරා ආරක්ෂිත ලෙස පිටත් කරලීමට හැකිවූ බව මෙහිලා සටහන් කොට තබන්නෙමි.

" අඩෝව්, වරෙල්ල ඩෝ එකා එකා, බැහැපල්ල දොට්ට,වරෙව් ගහගන්ට, තොපි මහ ලොකු චණ්ඩිනෙ." අපේ එවුංගෙන් හතර පස් දෙනෙක් එහෙමයි පර්ලින් ස්ටාෆ් එකට චැලේන්ජ් කලේ. මේ වෙන මොකවත් එහෙම නෙවෙයි බයිට් ප්ලේට් එකකට මිරිස් වැඩියි කියල.

මධ්‍යම රාත්‍රිය පමණ වන තෙක් අයුතු ජනරාශිය විසුරුවා නිරුපද්‍රිතව නිවෙස් කරා පිටත්කොට හැරීමේ මහා අසදෘශ පුණ්‍ය කර්මයෙහි නිරතවීම හේතුකොටගෙන පසුදා කොටුව දුම්රියපළට මට ළඟාවීමට හැකිවූයේ පෙරවරු දහයේ කණිසමද පසුවීය. පෙරවරු දහය පසුවී මිනිත්තු තිහට මහනුවර බලා යන දුම්රියේ තෙවන පංතියේ ප්‍රවේශපත්‍රයක් මිලයට ගත් මම දුම්රිය වේදිකාවට පැමිණ නැවැත්වූ වහාම ඊට ගොඩවී කවුළුවක් අසල අසුනක හිඳගතිමි.

රාත්‍රියෙහි පානය කල රහමෙර සමඟ ඉක්බිති හරි හැටි රාත්‍රි අහරක් නොලැබීමද එකතුව ආමාශය තුලින් පැන නැඟ ගලනාලය පසුකොට මුඛය දක්වා ගෙන ආවේ දැඩි ආම්ලිකත්යෙන් යුතු මුහුණ ඇඹුල්කරවනා වූ අපුලකි. දුම්රිය ගමනාරම්භ කිරීමට තවත් මිනිත්තු පහළවක පමණ කාලයක් වූ බැවින් අසුනින් නැඟී සිටි මම පළමුවන වේදිකාවෙහි පිහිටි පොදු වැසිකිළිය වෙත ගොස් උපැස් යුවල ගලවා කමිස සාක්කුවේ බහා සිසිල් ජලයෙන් මුහුණ දොවා ගතිමි. ඉන් යම් පහසුවක් දැනුනු අතර දුම්රිය භෝජනාගාරයෙන් මිලදී ගත් ලෙමනේඩ් බෝතලයක්ද පානය කොට ඒ පිටටම පැනඩෝල් පෙති දෙකක්ද ගිල දමා යලි දුම් රියෙහි අසුන් ගතිමි.

දුම්රිය ගමනක යෙදෙනා හැකි හැකි සෑම විටකම කුමන හෝ පොතක් කියවීම මගේ පුරුද්දක්විය. 2007 සහ 2008 වසරෙ දෙකෙහිදී කොළඹට තදාසන්න ප්‍රදේශයක ප්‍රධාන කාර්යාලය පිහිටි ඉදිකිරීම් සමාගමක සේවය කරද්දී සතියක් පාසා දෙවරක් නිවසට ගොස් පසුදින පෙරළා පැමිණෙන දුම්රිය ගමන අතරතුරදී නොයෙක් පොත් ප්‍රදර්ශණ සහ පොත් සල්පිල් වලින් මිලදී ගෙන පසුව කියවන්නෙමැයි සපථ කොට අප නිවසේ නිදන කාමරය පුරා ගොඩ ගසා තිබූ පොත් සම්භාරයෙන් සැළකිය යුතු ප්‍රතිශතයක් කියවා හමාර කිරීමට මම සමත් වූයෙමි.

ප්‍රස්තුත දුම්රිය ගමනෙහිදී මවිසින් කියවනු පිණිස ගමන් මල්ලෙහි බහා තිබියේ ඒ ආසන්නයේම නිකුත්වූ ආතර් සී. ක්ලාක් මහතාගේ නවකථාවකි. "Songs Of Distant Earth" නම්වූ එය ඉතා සාර්ථක නවකථාවක් බව බොහෝ විචාරකයින්ගේ අදහස විය.

නියමිත කාල වේලාව නොවරදවා දුම්රිය මහනුවර දක්වා පිටත් වූ අතර කවුළුවෙන් හමාඑන මද නලෙහි පහස විඳිමින් දෑස් පියාගෙන මිනිත්තු කිහිපයක් ගතකල මම ආසන ඉහලින් පිහිටි ගමන් මළු තැන්පත් කරනා රාක්කයෙන් මගෙ ගමන් මල්ල ඉවතට ගෙන එතුලින් ආතර් සී. ක්ලාක් මහතාගේ පොත සුරතට ගෙන යලි අසුනෙහි දිගාවීමි.

70-77 සමගි පෙරමුණු රජය සමයෙහි රුමේනියාවෙන් ගෙන්වන ලද හෙයින් "රුමේනියන් පෙට්ටි" යනුවෙන් පොදු මහජනයා අතර හැඳින්වුනු දුම්රිය මැදිරි වල ඔබ ගමන් කොට ඇත්තේ නම් එහි තෙවන පංතියෙහි ආසන පිහිටා ඇත්තෙ ආසන දෙකක් බැගින් එකිනෙකට මුහුණලා බව මතකයෙහි රැඳී ඇතිවාට සැක නැත.

ඉරුදිනක් බැවින්දෝ දුම්රිය මැදිරිය තුල මගීහු සිටියේ අතළොස්සක් පමණි. මා අසල අසුන මෙන්ම මා ඉදිරියේවූ යුගල අසුනද හිස්ව පැවතිනි. උකුළ මතවූ පොත සුරතට ගෙන පිටු කිහිපයක් කියවද්දී මගේ ඇසිපිය වැසෙන්නට විය. දෑස් තදින් පියාගත්වනම මොහොතක් ගතකොට යලි හැකිපමණ දෑස් විවර කිරීම නිදිමතට වැළැක්වීමේ නොවරදින ප්‍රතිකර්මයක් ලෙස මම බොහෝ වාරයක් භාවිතා කොට ඇත්තෙමි. එහෙත් පෙරදින රාත්‍රියෙහි පානය කල රහමෙර බලපෑම මෙන්ම කවුලුව පුරා හමාඑන සිසිල් සුළඟ අවදිව සිටීමට ගත් මගේ දැඩි උත්සාහය පරාජය කලේ ඉතා පහසුවෙනි.

එසේ කොපමණ කාලයක් නින්දේ පසුවූවාදැයි නොදන්නෙමි. මා අවදිවූයේ දුම්රිය තියුණු වංගුවක ධාවනය වීමේදී මැදිරි එක පසෙකට ඇලවී යාම හේතුකොටගෙනය. ක්ෂණිකව විවරවූ මා දෑසට ලක් වූයේ මගේ අසුන එක එල්ලේ ඉදිරියේ වූ අසුනෙහි හිඳ දැඩි අවධානයෙන් යුතුව උකුලමත රඳවාගත් පොතක් කියවන තුරුණු යුවතියකි.

ලා කහ සහ දුඹුරු පැහැ අතර පැහැයක් ගන්නා (ඉංගිරිසියෙන් Beige color යනුවෙන් හැඳින්වෙන මෙම වර්ණය සඳහා සම්මත සිංහල වදනක් මම නොදන්නෙමි. සමරපාට යනුවෙන් යෙදුමක් ගුණදාස ලියනගේ මහතාගේ පොතක මට හමුවිය. එහෙත් එම වදන ප්‍රථුල ලෙස භාවිතා නොවේ.) සාම්ප්‍රදායික උඩරට ඔසරියකින් සැරසුනු ඕ සුදු පැහැ මුතු පටක් ගෙල පළඳා සිටියාය. අපූරු තල එළලු පැහැ ඡවි වර්ණයෙන් යුතුවූ ඇගේ කෙස් වැටිය හිස පසුපසට කොට බැඳ තිබිණි. මුවග මදහසක් සහිතව ඇය උකුළ මතවූ පොත දෙස නෙතු යොමුකොටගත් වනම පසුවූයේ ඇගේ රූසපුව හමුවේ තුෂ්නිම්භූතවූ එක් ප්‍රේක්ෂකයෙක් ඇය ඉදිරියේ අත පොවන මානයේ දෑස් හයාගත්වනම පසුවන බව පිළිබඳව අංශුමාත්‍රයක් හෝ නොදැනය.

කිසිවකු අප දෙස එක එල්ලේ බලාසිටින කල්හි ඒ බැව් සවනේන්ද්‍රියකින් මෙන් අපට දැනෙන බව මම අසා ඇත්තෙමි. එහි සත්‍යතාවය කෙසේ වුවද එක්වරම ඇය හිස ඔසවා මදෙස බැලුවාය. අපගේ නෙත් එකිනෙක ගැටිණි. ඇගේ කොපුල් තල පුරා රත් පැහැයක් පැතිරෙන්නා හා සමඟම ඇය වහා තම හිස පහත්කොට යලි උකුල මතවූ පොත වෙත නෙත් යොමු කොට ගත්තීය.

ඇය හිස පහත්කොටගෙන සිටියදී කිසිදු බාධාවකින් තොරව මම රිසිලෙස ඇය දෙස බලා සිටියෙමි.

එහෙත් එලෙස කොතෙකුත් අනිමිස ලෝචන පූජාවෙන් ඇය දෙස බලා හිඳීමෙන් කිසිදු ඵලක් නැත්තේමය. කෙසේ හෝ ඇය හා කතා කොට ඇගේ විස්තර දැනගත යුතුය.

දෙතුන් වරක්ම ඉදිරි අසුනේ හිඳිනා යුවතිය හා කතා කීරිමට උත්සාහ කලද ඒ සෑම විටම සිදුවූයේ මගේ ස්වරාලයේ නිපැයුනු වදන් කණ්ඨකය සහ ග්‍රසනිකාව හරහා මුඛය දක්වා පැමිණෙන අතර සිදුවූයේ කුමක්දැයි සිතාගැන්මට පවා නොහැකි අයුරු අතුරුදන් වීමයි. 

"මේ ඔයා යන්නෙ කොහාටද?....." අවසන මම ඇසෙන් නෑසෙන හඬින් කෙඳිරීමට සමත් වුයෙමි.

ගෙල වට බැන්දා වූ මුතු පොටේ 
දිස්නෙට මුහුණේහි ඔප වැටේ
ඔසරි නෙරියට නළල් තිලකෙට
බැන්ද සිතු පෙම් ආනන්ද වේ

කෝකිල සංදේශ කවි පොතේ
ඔය වැනි උපමා ද තව ඇතේ
රුවැති ළඳකට තනිව මග තොට
යන්න නිදහස දැන් නෑ වගේ

සෙංකඩගලපුර පෝදා හඳ මෙනි
මේ මුතු මැණිකේලා
දළදා සමිඳුන් වැඩ හිඳිනා බිම
නෑ හොඳ නෑ ඕවා

ගෙල වට බැන්දා වූ මුතු පොටේ 
දිස්නෙට මුහුණේහි ඔප වැටේ
ඔසරි නෙරියට නළල් තිලකෙට
බැන්ද සිතු පෙම් ආනන්ද වේ

කාගේ කවුරුද ඉන්නේ කොතැනද
නෑ අපි අඳුනන්නේ
ආගන්තුක අපි ආවම කඳුරට
නැතුවද පිළිගන්නේ

කෝකිල සංදේශ කවි පොතේ
ඔය වැනි උපමා ද තව ඇතේ
රුවැති ළඳකට තනිව මග තොට
යන්න නිදහස දැන් නෑ වගේ

ගෙල වට බැන්දා වූ මුතු පොටේ 
දිස්නෙට මුහුණේහි ඔප වැටේ
ඔසරි නෙරියට නළල් තිලකෙට
බැන්ද සිතු පෙම් ආනන්ද වේ

ගායනය - ප්‍රියා සූරියසේන, නිරංජලා සරෝජිනී
පද රචනය - අජන්තා රණසිංහ
සංගීතය - ප්‍රියා සූරියසේන


56 comments:

  1. සමර පාට කියන එක හරි මම හිතන්නේ.....

    ඉතිං ඊට පස්සේ ....?

    ReplyDelete
    Replies
    1. සමර කියන ඒව එක එක පාටින් තියෙනව නේද?

      Delete
    2. ඒ ගාන සමර නේද ? ඒවා පාට පාට තියේ.,...

      Beige color කියන එකට සමර පාට කියනවා මටත් ඇහිලා තියෙනවා....

      Delete
    3. සූටික්කා,

      / සමර පාට කියන එක හරි මම හිතන්නේ..... /

      සමරපාට කියල කියනවද?.

      / ඉතිං ඊට පස්සේ ....? /

      ඊට පස්සෙ උනේ මාර වැඩක්...ඒ එක්කම වගෙ චෙකර්ස්ල පැන්න..අර මිස් මුතු පොට ගාව ටිකට් එකක් තිබ්බෙ නෑ. අමතක උනාලු ටිකට් ගන්ට. ඒ පාර මගෙ ටිකට් ඒ මම එයාට දුන්න. චෙකර්ස්ල මාව අල්ලගෙන ගිහිල්ල උසාවි දැම්ම. පස්සෙ දඩේකුත් ගෙවලයි බේරුනෙ....:) ඒ ඔක්කොමත් ඉවරවෙලා බලනකොට මිස් මුතු පොට නෙවෙයි එයා මිසිස් මුතු පොට....ඔන්න අපිට වෙන වැඩ...:)

      Delete
    4. සූටික්කා,

      / ඒ ගාන සමර නේද ? ඒවා පාට පාට තියේ.,.../

      අඩේ ගාන සමර ඇර තවත් සමර ජාතියක් තියද?

      Delete
    5. මදෑ සින්දුවක් ගැන කියන්න ගිය දුර...

      සින්දු ගැන මේ දවස්වල ලියවුණු කිසිම සටහනක් බලන්න බැරි වුණා... නිදහසක් තිබුණෙ නැහැ.. මුල ඉඳන් බලන්න ඕන...

      Delete
    6. තරූ,

      සෙල්ලං වෙන්නෙ නෑ ඔන්න.....

      25 දෙනෙක්ද කොහෙද සිංදු තෝරල තිබ්බ ඒ කියන්නෙ එක්කෙනෙක් සිංදු 16 ගානෙ ඔක්කොම 25 x 16 = 400 ක්...හෙහ්,හෙහ්,

      Delete
    7. මමත් මේ වැඩේට සම්බන්ධ වෙන්න හිතන් ඉන්නවා වෙනම ම විදියකට... ඊට කළින් ඔක්කොගෙම ඒව කියවල ඉන්න ඕන.

      Delete
  2. දැං අර ගැණුළමයද ඔය සින්දුව කිවුවෙ නැත්තං රවී අයියද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      දෙන්නම බොල. ඒක ඇවිදිං හිට යුග ගීතයක්...:)

      Delete
  3. පර්ලින් එකේ එවුවො වලියට සෙට් උනානං ගෙලවට මුතු කොහොම වෙතත් අතවට මාංචු දාගෙන දෙහිවල පොලෝසියට මංගඡ්චන්න තිබුණ. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒ කතාව නම් සහතිකම ඇත්ත මලේ...හෙහ්,හෙහ්...උං දෙනව අපිට රිඹ යන්ට ගාලු පාරෙම දාගෙන හොඳ වෙලාවට ඒකෙ ලොක්කො ඔක්කොම පුෂ්පෙගෙ යාලුවො. උගෙ මස්සිනා කලින් ඔතන වැඩ කරලද ඔන්න ඔහොම මොකක්ද හුටප්පරයක්. ඒ හින්ද යන්තං ජාම් බේරගත්ත...:)

      ඒක නෙවෙයි මේක අහපන්කො නියම කතාව.., වලි දාපු එවුං ඊලඟ සතියෙ ක්ලාස් ඇවිල්ල පුෂ්පෙට හෙණ කොක්ක, ඌ හින්දයි පර්ලින් එකේ එවුන්ට නෙලන්ට බැරි වුනේ කියල. ඌ එවුං එක්ක හිතවත් හින්ද ඒ පැත්තට ඇද්දලු. මිත්‍ර ද්‍රෝහියා කියලත් කිව්ව. මට නේද? මැරෙන්ට හිනා...කොච්චර හිනා වුනාද කිව්වොත් දවල්ට කාපුවයිං බාගයක් විතර වමනෙ දැම්ම...

      Delete
  4. සිංදුවනං මොකද මේකෙ විස්තරේ ඊට වඩා රසවත්නෙ. දැං මේ හෙන ගැහුව වගේ නවත්තල තියෙන්නෙ මේකෙ තව කොටසකුත් තියෙනවද ඊගාව පෝස්ට් එකේ දාන්න.

    නැත්තං අර ගෑණුළමය දෑත බදල පොතෙන් දුන්නද අයියගෙ නිදිමත යන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      තව කොටසක් ඇත.....තව කොටසක් ඇත.....

      දුකක් නොගන් මලේ..තව කොටසක් ඇතේ…
      කියව බලා කමෙන්ට් දැමුම බාරයි බොට මලේ... බාරයි බොට මලේ….. බාරයි බොට මලේ

      මේ ඇවිල්ල අපේ කාලෙ සිංදුවක්…

      නොමඟ නොයන් පුතේ, නුඹට රටක් ඇතේ,
      රටේ දියුණ පැතුම ඔබට බාරයි මගෙ පුතේ...බාරයි මගෙ පුතේ….බාරයි මගෙ පුතේ.

      Delete
  5. එහෙම අහලා ගැහුවා කොක්ක. ඊළඟට අල්ලලා බැඳගත්තා. අනේ ඉතිං අර අහිංසක ගෑනි මේ බාබෙද්දට අහුවුනා. දැනුත් අවුරුද්දකට වරක් කතරගම දෙයියන්ට පින් දෙනවා ඇති. අනේ දෙයියනේ ඊළඟ අවුරුද්දත් අතුරු අන්තරාවක් නැතුව මේ මිනිස් ගජ්ජා එක්ක ඉන්න ලැබේවා කියලා. එයා වැඩියෙම්ම කැමති සින්දුව අර නිර්මලා රණතුංගගේ වගේ එකක්.

    එදා මම තොට නොකිව්වානම් - මගේ නම මේකයි කියා
    නුවර යන ඒ දුම්රියේ.........

    හූ........

    ReplyDelete
    Replies
    1. විචා රවියට අහුවුණේ බස් එකේ ලඟින් ඉඳගෙන ගිය එකක් බං. මේ මෙයා දැකපු හීනයක් ලු

      Delete
    2. විචා,

      අන්න ඉයන් කියල තියනව හරි..බස් එකේ බං බස් එකේ ...කෝච්චියෙ නෙවෙයි..

      නිර්මලාගෙ ඒ සිංදුව මරු නේද?

      එදා ඔබ මෙහි නොආවානම් නෑ මෙවන් දුක් වේදනා,
      අලුත් පාසල් වාරයේ, අලුත් සිසුවකු සේ..
      එදා ඔබ මෙහි නොආවානම්.....

      Delete
    3. Ian,

      හීනයක්මත් නෙවෙයි ඉයන්, ඇත්තටම කෝච්චියෙදි ඔය මම කියන කාලෙ මේ වගෙ සීන් එකක් වුනා..:)

      Delete
  6. මේ සින්දුව ලස්සනයි. කොහොමත් ප්‍රියා සූරියසේනගේ සින්දු ලස්සනයි. නුවර කෙල්ලො ලස්සනයි. හැඩයි. හැබැයි උන්ගේ නුවර ගැට්ට තමයි අල්ලන්නේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. මල්,

      හෙහ් කෙල්ලෙක් උනාම පොඩිපහේ ගැට්ටකුත් තියෙන්ට ඕනනෙ බොල..අපේ කාලෙ අපි ඕකට කිව්වෙ ගැට්ට නෙවෙයි ඉඟ කියල.." අප්පට උඩු බලාපංකො අරකිගෙ ඉඟ...මහ අදිකාරංගෙ වැඩිමල් දෝණි කියලද කොහෙද හිතාගෙන ඉන්නෙ." අන්න එහෙමයි අපි කිව්වෙ...හෙහ්,හෙහ්,

      Delete
  7. ෂා අයියා ෂා සින්දුවට ගැලපෙන එක නම් නියම කතාව.

    මම හිතුවා අර ෆ්ලෑෂ් බැක් රොෂාන්ගේ සින්දුවක් තියෙන්නේ "සමුගන්නට-හමුවන්නට ඇවිත් යන එන දුම්රිය පොළ පෙම්වතුන්ගේ සරසවි උයන"ඔන්න ඔය සින්දුවට තමයි එන්නේ කියලා.එත් මේ ලස්සන සින්දුව මතක් වුනේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      මල්ලි උඹ කියන සිංදුව අහල නැත. අහන්න ඕන...හෙහ්,හෙහ්,

      Delete
    2. හමුවන්නට සමුගන්නට ඇවිත් යන එන
      දුම්රියපොල පෙම්වතුන්ගෙ සරසවි උයන
      අවුරුදෙම තුරුලිය ගොමු මලින් සැරසුන
      අපි දෙන්නා එන තුරු මග බලයි සැම දින


      මලක නැවුම් සුවද පිරුන සොදුරු මදනල
      ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
      සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
      ඔබ සැගවි ගිහින් මගෙ හිතත් අරගෙන


      නෙතින් නෙතට එබි බලා ගන්න හදවත
      ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
      ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනු කදුලට
      බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොදටම

      - ෆ්ලෑෂ්බෑක් -

      Delete
  8. මරු පෝස්ට් එක රවී. වාහන වල හම්බුවෙන අය බැඳ ගන්න එකේ මේ කේස් එකට මොකද වුණේ කියල දැනගන්න බලාගෙන ඉන්න වෙනවා. එක කාලෙක මේ සිංදුව නැගල ගියා මතකයි.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      හෙහ්,හෙහ්, වැඩේ හරිගියෙ නෑ කියල උඹ දන්නවනෙ..හෙහ්,හෙහ්, ඉස්සරහට උනේ මොකද කියල ඊලඟ පෝස්ට් එකේ දාන්නම්.

      Delete
  9. කතාව කියවලා ගීපද බලද්දී පද රචනය රවී මහත්මයා කරපු එකක් කියලමයි හිතෙන්නෙ.
    අජන්තා රණසිංහයන්ටත් මේ විදිහෙම අත්දැකීම් තියෙන්න ඇති.එතුමාගේ පද රචනා හිතාගන්න බැරි තරම් සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. නිර්නාම,

      හෙහ්..අජන්තා රණසිංහ කියන්නෙ පුදුම හැකියාවක් තියෙන කලා කරුවෙක්..

      ස්තූතියි මල්ලි ප්‍රශංසාවට...;)

      Delete
  10. මුතු පොටක් එක්ක ඔසරියක පොටෝ එකක් හොයාගන්න බැරි වුනාද :D

    ReplyDelete
    Replies
    1. නිර්නාම,

      ඇත්තටම හොයාගන්ට බැරිවුනා බොලේ...ඒ පාර තමයි මේක දැම්මෙ...:)

      Delete
  11. ඉවරද නැත්නං කෑම කාපු කෑල්ලත් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. හැලප,

      තව කෑල්ලක් තියනව...:)

      Delete
  12. ‘‘කුඩාකල සිටම හැකි සෑම විටම දුම්රියෙන් ගමන් කිරීමට මම රුචි කලෙමි. බස් රථයක ගමන මෙන් නොව දුම්රිය ගමනෙහිදී අත්විඳිය හැකි නිදහස, විශේෂයෙන්ම පොතක් පතක් කියවීමේ නිදහස, සැහැල්ලුව සහ බාධාවකින් තොරව රස විඳිය හැකි පරිසර චමත්කාරය ආදී ධනාත්මක කාරණා විසින් දුම්රිය ගමනෙහි නිසග අපහසුතාවයන් තුලනය හා / හෝ නිෂේධනය කරන බව මම උදක් විශ්වාස කලෙමි.‘‘

    මමත් හිතන්නෙ මේ විදියටමයි.. කෝ ඉතින් කිව්වට කවුරුත් තේරුම් ගන්නෑනෙ.. මට විහිලු කරන්නෙ මං ජීවත් වෙන්නෙ දුම්රිය දෙපාර්තමේන්තුවෙ කාලසටහනට කියල.

    ReplyDelete
    Replies
    1. තරූ,

      ඔව්ව තේරුම් කරල දෙන්ට බෑ බං ...හෙහ්, හෙහ්,..

      කෝච්චි වලට මගෙ පුදුම ඇල්මක් තියෙන්නෙ. අපේ ගෙදර උඩ තට්ටුවෙ බැල්කනි එකට බදුල්ල කෝච්චිපාර බොහොම අපූරුවට පේනව. තවමත් උනත් පේරාදෙණියෙං කෝච්චියක් පිටත් වෙන සද්දෙ ඇහුනම මම මොන වැඩේ කර කර හිටියත් දාල දුවනව උඩ තට්ටුවට. බිරින්දෑ තොමෝ කියන්නෙ " ගිය ආත්මෙ ඔහෙ අනිවාර්යයෙන් අඩුගානෙ ගල් අඟුරු එන්ජින්වල දුම්බටේ බැඳෙන දැලි කඩන රස්සාවක් හරි කරල තියනව" කියල..හෙහ්,හෙහ්,

      Delete
    2. දුම්රිය ගමනට සප් එක දෙන්න මම ඉන්නවා ඕනෙ වෙලාවක

      Delete
    3. Dude,

      I know you too are a Train buff...:)

      Delete
  13. සින්දුවත් කතාවත් ගොඩක් රසවත්..

    ReplyDelete
  14. ශැඃ අම්මප අච්චර ලස්සන කතාව සිංදුව ලඟිං නැවත්තුව නොසන්ඩාල විදිහ . තව පෝස්ට් දෙතුං සීයක් කියෙව්ව හැකි මයෙහිතේ ලොකු අයියගෙං

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      කතන්දරේ දිග වැඩි වෙයි කියල හිතුන බං දිගටම ලිව්වොත්...දෙතුන් සීයක් ලියන්නෙ නෑ බං සිංදු ඔක්කොම ට්දසයක් ගැන ලියන්නෙ. දැනට තුනක් ගැන ලිව්ව..තව දහතුනක් ගැන ලියන්ට තියනව...:)

      Delete
  15. ලොකු අයියෙ මේ, මටනං ඔය කතාව කියවගෙන යද්දී මතක්වුනේ මේ සිංදුව


    විදුලි දුම්රියේ චංචල නාදය
    සවනට වැටෙන සඳේ
    කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක්
    මතුවිය සැලෙන හදේ
    සීත කඳුකරේ මීදුම අධිකයි
    පමා වුනෙමි සොඳුරේ
    රූපවාහිනී අංජන රේඛා
    නළඟන ඔබද ළඳේ

    ආදර සුවඳින් දසතම මතුවෙන
    වසන්ත සුළඟේ හැපී
    සාගර ජලමත පාවෙන උයනේ
    මීවිත පුරමු අපි
    මිනිසා පළමුව සඳ තරණය කළ
    විසිතුරු කතන්දරේ
    පුර සඳ මඩලේ සිනමා මැදුරක
    නරඹමු නිසංසලේ
    නරඹමු නිසංසලේ

    විදුලි දුම්රියේ චංචල නාදය

    පාවෙන සඳකැන් සිසිලෙන් නැහැවෙන
    ආදර සඳුන් වනේ
    නරඹමු සුරඟුන් රඟදෙන නැටුමන්
    යෞවන අවන්හලේ
    මිනිසුන් හෙට දින සොයමින් වෙහෙසෙන
    පරසතු කුසුම් විලේ
    ජය පැන් තොල ගා අමරණීය වන
    කුමරුන් මමය ඔබේ
    කුමරුන් මමය ඔබේ

    විදුලි දුම්රියේ චංචල නාදය


    ගායනය - රූපා ඉන්දුමතී, ලක්ෂ්මන් රොඩ්‍රිගෝ
    සංගීතය - මොහොමඩ් සාලි
    ගී පද - දයානන්ද කුමාරසිරි

    ReplyDelete
    Replies
    1. ඕක නෙමේ සින්දුව, මෙන්න මේක.

      උඩරට කඳුකරයේ
      ගමනක් යන කල ඒ
      දුම්රිය උඩරට මැණිකේ
      ස්වර්ණා හමු වූවේ
      නාදළු තොල් අතරින්
      සිනාව නැගුවා
      ඇයගේ මුහුණේ ශ්‍රියාවෙන්
      මෙමන් මත් වූවා
      මගෙ හද දිනුව කුමාරී
      ස්වර්ණයකි ඔබ
      පිරිසිඳු සිතින් සිතාලයි
      ආවේ ඔබව සොයා

      Delete
    2. ඉවාන්,

      ෂෙහ් මරු සිංදුව ඒක..මමත් ආසම එකක්...:)

      Delete
    3. ඉන්දික,

      ඒකත් නියමයි...:)

      Delete
  16. කොහොමද මුන්නැහැ ඔලිම්පික් එකේ දුවන්න ගියානං එහෙම? එහෙනං ඔන්න 2016 ඔලිම්පික් එකේ දෙවෙනි කොටහ 2020 එකෙත් දුවනවා.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      ඇයි බං ඔය උසේන් බෝල්ටිය දිව්වෙ ඔලිම්පික් තුනකම ...:)

      Delete
  17. නාඳුනන්නී .....
    හෙමිහිට ඉකිබිඳින්නී
    දෝතම ගෙන කඳුළු බිංදු එකතු කරන්නී ....
    නාඳුනන්නී...
    සුසුමින් ළය පුරන්නී
    නුවරට යන කෝච්චියේ මා අසලින් හිඳින්නී ....


    සිත උතුරා වාන් දමන
    ඉකිබිඳුමට දෙවුර සැලෙන
    ආගන්තුක කොයි දෑසද බොඳව නොයන්නේ
    නුඹ කවුරුද නොදන්නමුත් කඳුලැලි හඳුනන්නේ ...


    පැතූ පැතුම් කඩා වැටෙන
    සමනළ තටු රටා බිඳෙන
    හීන් දුකකි කුණාටුවක් වෙලා හමන්නේ
    කොපමණ හැඬුවද අහසක් සඳ නෑ සේදෙන්නේ .....

    මේ මගේ යාලුවෙක් (පරණම සිංහල බ්ලොගර් කෙනෙක්) ලියපු තවත් යාලුවෙක් ගායනය කරපු ඔය වගේම අත්දැකීමක්.. අහල බලන්න රවී අයිය පට්ට ආ..

    http://viramaya.blogspot.com/2011/04/blog-post_227.html

    ReplyDelete
    Replies
    1. Kalyana,

      සයින් ද පීස් සකබෝනා..යකෝ දෙදාහෙ පටන් ගත්තු බ්ලොග් එකක්.

      අපි මේ හිතං හිටියෙ අපේ පැතුමා තමයි ජේස්ටම බ්ලොගර් කියල. ඒකා හන්දියක් හන්දියක ගානෙ කිය කිය ගියෙත් එහෙමනෙ. "මම තමයි මෝස්ට් සීනියර් බ්ලොගර්, අයි ස්ටාටඩ් බ්ලොග් රයිටිං ඉන් ශ්‍රී ලංකා..." අරකද මේකද කියල. අම්මප මූ තියන්ට වටිනවද?

      Delete
    2. අම්ම ගහයි බැට් එකෙන් කියන්නේ ඔන්න ඕකනේ.. :D

      Delete
    3. රවිය ගිහින් කොමෙන්ට් ටිකක් දාල ආයේ ඒ බ්ලොග් එක නග්ගල ගත්ත නම් හරි..

      Delete
  18. මම හිතුවේ රවී ළඟ තියෙන්නේ නොසිඳෙන කතා උල්පතක් විතරයි කියලනේ. බැලුවම ගී උල්පතත් ඒ වගේ

    ReplyDelete
  19. මගෙ කොමෙන්ටුව වැටිල නෑ... ඊයේ කියපු ඒවත් මතක නෑ...

    නියම සිංදුව... රවී අයියා වැඩිපුර කෝච්චියේ ගියාට අන්තිමට බස් කෙනෙන්නේද ගොඩ ගිහින් තියෙන්නේ:D...

    පොතක් බලන්න කෙසේ වෙතත් පොතක් පෙරලන්න හදනවා වගේ:D..

    ReplyDelete
  20. චහ්ඃ චහ්ඃ... දෙකට කැඩුවෙ අපරාදෙ.. ඉතුරු ටිකත් මේකෙම තලලා දාන්න තිබුනෙ අප්පා.. ඩකස් ඩකස්... ඩකස් ඩකස්.. ගාගෙන කියව කියව හිටියෙ..
    ජයවේවා..!!

    ReplyDelete
  21. දැස් හයාග‍ෙනද අයාග‍ෙනද හරි වචන‍ෙ

    ReplyDelete
  22. ඔයිට අවුරුදු හතකට පස්සෙ මාත් ඔය ආයතනෙම සිසුවෙක්ව උන්න. අපිට ඉතින් පයින් යන දුරනෙ, ඒ නිසා මරු ආතල් ගත්තෙ, විශේශයෙන්ම රැග් කාලෙ

    ReplyDelete
  23. ඊලඟට උනේ "නිහඬ කල්පනා ලොවක තනි වෙලා" ද රවී...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...