Friday, May 21, 2010

50. ජීවිතය දිනන්නට වෙර දරනා උන්ට... (දිරිය පුත්‍රයෙකුගේ කථාවක්)

අවුරුදු 30කට ආසන්න වූ මාගේ ජීවිත කාලයේදී, ජීවිතය ගොඩ නගා ගන්නට උත්සහ දරණ, පවුල යනු කුමක්ද ඒ තුල තමන්ගේ භූමිකාව කුමක්ද යනුවෙන් මනා වැටහීමක් ඇතිව ජීවත් වන, තමන් ලඟා කර ගන්නට උත්සහ දරණ ඉලක්කය වෙත නොපසු බට වීර්යයෙන් යුතුව පිය මනින, පිරිමින් දැක ඇත්තේ එක අතක ඇඟිලි වලින් පමණක් ගිණිය හැකි ප්‍රමාණයකි. ඒ සමහර විට මා දන්නා පිරිමින් අතර තවත් එවැන්නන් නොසිටීම හෝ සිටියත් ඒ පිළිබඳ මා හට වැටහීමක් නැති බව විය හැකියි. මා කියන්නට යන කථාවට ඒ සංගණන වාර්තා අවැසි නැත. අවැසි වන්නේ උක්ත දක්වන ලද විශේෂන විස්තරය පමණි. ඉතින් මේ මිනිසුන් අතරින් කෙනෙකු ගැන, අද ඔබට පවසමි. අහඹු ලෙස මාගේ 50 වෙනි ලිපිය ඔහු ගැන සටහන් කිරීමට වෙන් කිරීමට හැකි වීම මට ඉමහත් සතුටකි.

මිනිසත් කම ලබා උත්පත්තිය ලබනවා යැයි කියන්නේ ඉතාමත් දුර්ලභ සිදුවීමක් වශයෙන් බෞද්ධයන් වන අප අතර පිළිගත් මතයක්ව ඇත. එහෙත් එසේ ලැබුනු මිනිසත් කමට නිගා දෙමින් ජීවත්වන මිනිසුන්නම් අප අතර දුර්ලභ නොවෙයි. අංග සම්පූර්ණ වූ මිනිසෙකු හෝ ගැහැණියක වශයෙන් මෙලොව එළිය දුටු බොහෝ දෙන රටටත් ලෝකයටත් පමණක් නොව තමන්ටවත් වැඩදායක පුද්ගලයකු වශයෙන් ජීවත් වන්නට නොසිතන ලෝකයක උපතින් දායාද කරගත් යම් ආබාධයක් සහිතව, එපමණක් නොව මිනිසකු වශයෙන් දරාසිටීමට ඉතාමත් අපහසු වූ කඩඉම් කිහිපයකටද මුහුණ දීමට සිදුව, එයින් නොසැලී ජීවිතය ජයගත් අපේ කාලයේ දිරිය ප්‍රත්‍රයෙකු ගැනයි අද මාගේ සටහන.

ඔහු, අපේ අම්මාගේ හොඳම මිතුරියන් අතරින් කෙනෙකුගේ වැඩිමහල් පුතු වශයෙන් උපත ලැබීය. ඔහු එදා, විය යුතු සේම ඔහුගේ අම්මා තාත්තා සේම පියකරු පැහැපත් සිඟිත්තකු වන්නට ඇත. එහෙත් දුටු මතින් පෙනී යන, මනුෂ්‍යයකුගේ ජීවිතයට නැතිවම බැරියයි කෙනෙකුට සිතෙන, බලවත් වූ අඩුපාඩුවක් යැයි අප සැවොම සිතන එක් අංගයක් ඔහු කෙරෙහි නොවූ බව දුටු ඒ අම්මාට මොනවා නම් සිතෙන්නට ඇතිදැයි අද අම්මා කෙනෙකු වශයෙන් මා හට මොනවට පැහැදිලි වෙයි. ඒ සිඟිති පුතු මෙලොව එළිය දුටුවේ සිය වම් අත වැලමිට අසලින් අහිමිවයි. මුල් දිනවල ඒ අම්මා අපමණ ලෙස දුක් වන්නට ඇති. දරුවාගේ අනාගතය ගැන කඳුළු සලන්නට ඇති. නමුත් නොබෝ දිනකින්ම ඇයත් සැමියාත් දරුවාගේ ජීවිතය ගොඩනගා ගන්නට ඔහුට උගන්වන්නට සිතා ගන්නට ඇති.

වෙනත් දරුවන් සේම ඉතාමත් සාමාන්‍ය ආකාරයෙන් හැදුනු වැඩුනු ඔහු කුඩා කලදීම චිත්‍ර ශිල්පයට දස්කම් ඇත්තකු බව පෙන්වන්නට විය. ඉඳින් ඒ අම්මාත් තාත්තාත් ඔහුට ඒ මග යන්නට හැරියෝය. කොළඹ ඉතාමත් ප්‍රසිද්ධ පිරිමි පාසලකට ඔහුව ඇතුලත් කරන ලදී. පුංචි වයසේ සිටම දඟකාර දරුවකු වුනු ඔහු සමඟ කරට කර සිටීමට සමත් දරුවන් සිටියේ නම් ඒ ඉතා ස්වල්ප දෙනෙකු වන්නට ඇත. පුංචි කාලයේදී කෘතිම වම් අතක් ලබා දුන්නද එයින් ඔහුගේ තිබෙන වම් අතින් කරගන්නා වූ වැඩ කොටස කරගන්නට ද ඔහුට අපහසු වූ බැවින් ඒ කාලයේදිම එය ඉවත් කර ඇත. දන්නා අය දනිති. ඔහු ඒ තරම්ම සාමාන්‍යකරණිය වී සිටියේය. අම්මා තාත්තා නෑදැයින් යහළු මිත්‍රයින් හට ඔහුගේ කිසිම වෙනසක් නොපෙණින.

‍එහෙත් අම්මා නම් තවත් දරුවන් හදන්නට නොසිතුවාය. ඇය ඒ ගැන අපේ අම්මා සමඟද වරින් වර පවසා තිබිණ. එහෙත් අපේ අම්මා ඇතුළු බොහෝ මිතුරියන් ඇය හට පැවසුවේ නැවත වාරයක් එවැන්නක් සිදු වෙතැයි සිතිය නොහැකි බවයි. කෙසේ හෝ අයියාට නංගී කෙනෙකු ගෙනෙන්නට අවසානයේ අම්මාත් තාත්තාත් සිතන්නට ඇති. ඔහුට වඩා අවුරුදු 8 ක් පමණ බාල, පුංචි සුරංඟනාවක් වන් නංගී කෙනෙකු අයියාට හිමි වුනේ ඒ ආකාරයටයි.

ඔහුගේ වැඩ කටයුතු ඔහුටම කරගන්නට දෙන්න යැයි තාත්තා විසින් අම්මාට පැවසුවේ යම් දිනෙක ඔහු ඒවා තනිවම කරගතයුතු වූ නිසාවෙනි. සිතේ අකමැත්තෙන් වුවද අම්මා ඒ සඳහා ඔහුට ඉඩ හැරියාය. අවසානයේ නිවසේ වැඩ කටයුතු බොහොමයකට ඔහුගේ උදව්ව අම්මාට නැතිවම බැරි වන ගානට ඔහු හැම දේම උගත්තේය.

සාමාන්‍ය පෙළින් පසු උසස් පෙළ ද හොඳින් හැදෑරු ඔහු පාසල තුලද ජනප්‍රිය චරිතයක් විය. පාසලේද ගමේද බොහෝ සමිති සමාගම් වල තනතුරු දැරූ ඔහු ඒවායේ කටයුතු වල ඉතාමත් ක්‍රියාශීලී අන්දමින් නිරතවිය.

සියල්ල හොඳින් සිදුවිය. තරුණ වියට එළඹෙත්ම එක් ගැහැණු ළමයෙකු කෙරෙහි ඔහුගේ සිත ඇදී යන්නට විය. සිය සිතැඟි ඇය හා පවසා ඇය හා මිතුරු වූ ඔහු සිය අනාගතය නිසි ලෙස ගොඩ නගා ගන්නට පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය මට්ටමේ අධ්‍යාපනයක් කෙරෙහි යොමු විය. ඒ සඳහා තෝරා ගත්තේ සැළසුම් ශිල්පයයි. එය කෙනෙකුට විශ්මයක් විය හැක. එහෙත් ඔහුව දන්නා අපට එහි විශ්මයක් නැත. අද ඔහු සාර්ථක සැළසුම් ශිල්පියෙකි. එහෙත් ඔවුන්ගේ ආදර සම්බන්ධයට වසර ගණනක් සපිරිණු පසුවද ඇයගේ නිවසින් එල්ල වූ බලවත් විරෝධය ලිහිල් නොවූ බැවින් ඔවුනට වෙන් වන්නට සිදුවිය. මා දන්නා පරිද්දෙන් ඔහුගේ ජීවිතයේ ඔහුට දැනුනු ප්‍රථම බලවත් පීඩාව එය විය.

එයින් අනතුරුව සිය රැකියාවේ යෙදෙමින්, ගෙදර දොර කටයුතු වල යෙදෙමින්, ඉතාමත් ලබැඳි වූ නෑ හිතමිතුරන් සමඟ ගෙවා දැමූ කාලයට නැවතත් අවාසනාව ගෙනෙමින් සිදුවූ සිය ආදරණිය මෑණියන්ගේ වියෝවට මුහුණ දීමට ඔහුට සිදුවිය. හදිසි හෘදයාබාධයකින් ඇය මෙලොවින් සමු ගත්තාය. එවකට ඔහුට වයස අවුරුදු 25ක් වූ අතර 17 වියැති නැගනිය පාසල් යන වයසේ පසු වූවාය. නැවතත් කාලය ගෙවී යන්නට විය. මේ අතර පරිගණක ආශ්‍රිත සැළසුම් ශිල්පියෙකු වූ ඔහුට එතෙර රැකියා වරමක් උරුම විය. බලන්න. සිය හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනුමට මිනිසෙකුට අවැසි වන්නේ උත්සහය පමණි. මොන දේ තිබුණද සිය උත්සහය නැතිනම් ඒ කිසිම දෙයකින් පලක් නොවනු ඇත.

ඔහු රට රැකියාවේ නියුතු වන අතර නැවතත් ඔවුන්ගේ ජීවිත වලට අඳුර ගෙනෙමින් ඔහුගේ නැගණිය හදිසියේ වියෝ වූවාය. යම් දිනෙක අයියාට නංගීත් නංගීට අයියාත් සෙවනැළි වන කාලයක් උදා වනු ඇතැයි අම්මාත් තාත්තාත් හිත් සනසාගෙන සිටියාත් ඒ පුංචි සුරංගනාව හදිසියේ මෙලොවින් සමු ගත්තේ අප කාටත් සිතාගන්නටත් බැරි ලෙසිනි. එතෙර සිට සිය නැගනියගේ මළ ගමට පැමිණි ඔහු හැම සිත් කම්පා කරවමින් හඬා වැටුනේය. එහෙත් පිය පුතු දෙදෙන තනිකර අම්මාත් නංගීත් නොයෙන ගමන් ගිහින් අහවරය.

මෙලෙසින් කාලය ගතවිය. නැවතත් එතෙර සිය රැකියාවට වාර්තා කල ඔහු එහි නිරතව කාලය ගෙවා දැමීය. ඒ අතරතුර පියා ඇතුළු නෑදැ පිරිස ඔහුට මනාලියක සෙවීමේ කර්තව්‍යයේ යෙදුනෝය. අවසානයේ ඔහුට හිමි ඔහුගේ සහකාරිය සොයා ගැනීමට ඔවුනට හැකි විය. ඔහුගේම මිතුරකුගේ නැගනි කෙනෙකු වූ ඇය මා තවමත් දැක නැත. ඔවුන්ගේ විවාහය මහ වැසි මැද ඊයේ දිනයේ උත්සවාකාරයෙන් පැවැත්වින. හෙට දින දෙවන දින උත්සවයට පැවැත්වෙන අතර එයට සහභාගී වීමෙන් අනතුරුව සඳුදා වැඩි විස්තර ඔබ හැමට පවසන්නම්.

මේ සියල්ල පවසා මා හට කීමට අවැසි වූයේ එක් දෙයක් පමණි. තමන් සතු නොයෙකුත් ආබාධ දක්වමින් අනුන්ගෙන් යැපෙන්නට අද සමාජයේ කොතෙකුත් දෙනා උත්සහ දරණවාද යන්න සමාජය දෙසට නෙත් හෙළු සැනින් මොනවට පැහැදිලි වෙයි. එහෙත් සාමාන්‍යයෙන් ගත් කල වඩා බලවත් ආබාධයක් ලෙස සැලකිය හැකි මෙවන් තත්ත්වයකදීද නොසැලී ජීවිතයට මුහුණ දුන් ඔහු අපේ කාලයේ දිරිය පුතුනුවකු නොවන්නේද? ජීවිතයට මුහුණ දුන්නා පමණක් නොව ඔහු ජීවිතය ජය ගත්තේය. දරා ගැනීමට අපහසු මානසික කම්පනයන්ටද ඔහුව පෙරළා දැමීමට නොහැකි විය. දැන් ඉදිරි ජීවිතය යෙහෙන් ගත කිරීමට අවැසි සම්පත් ඔහු සතුය.

යම් කෙනෙකු ජීවිතයේ පැමිණෙන නොයෙකුත් බාධා හැලහැප්පීම් මැද පසු බා යන බවක් පෙනේ නම් ඔවුනට මේ කථාව කියන්න. ජිවීතයේ එන බොහෝ බාධා වලට උදාහරණ මේ දිරිය දරුවාගේ ජීවිතය තුළ තිබේ. බ්ලොග් අවකාශයේ බොහෝ ලියැවිලි පිරී තිබෙන්නේ ප්‍රේම වියෝගයන් සහ එයින් ඔවුන් විඳින වේදනාව දැක්වෙන වදන් වලිනි. ප්‍රේම වියෝගය දරා ගත නොහැකි වේදනාවක් බව දනිමි. එහෙත් එක්ව එක තීරණයකට එන්නට බැරි වූ විට වෙන් වෙන්නට සිදු වූවා නම් එයින් අනතුරුව සිත හදා ගන්නට සිදුවන බව මේ චරිතයේ ආදර්ශයයි. මේ ලියැවිල්ල කියැවූ කෙනෙකු එයින් යම් යහපත් අදහසක් ගනු ඇතැයි මම විශ්වාස කරමි.

දැනට මේ අයියාද බ්ලොග් සටහනක් ආරම්භ කර ඇත. එහෙත් ඔහුගේ අනන්‍යතාව ඔහුගේ අනු දැනුමකින් තොරව ඉදිරිපත් කිරීම යහපත් දෙයක් නොවන බැවින් ඔහුගේ බ්ලොග් සටහනේ ලිපිනය පසුවට ලබා දෙන්නෙමි. එවිට එයට ගොඩ වැදී ඔහුට සුභ පැතුමක් එක් කරන්නට ඔබ සැමට හැකි වේවි.

ඉඳින් මා මිතුරු මිතුරියනි !!!!!!!!!! අප සමඟ එක්ව ඔහුගේ ජීවිතයේ මේ ප්‍රීතිමත් දිනය සමරන්නට එක්වන මෙන් ඇරයුම් කරමි. අප සමඟ එක්ව ඔහුට සුභ පතන්නට එක්වන මෙන් ඉල්ලා සිටිමි.


තනි දිවිය නිමවා යුග දිවිය ඇරඹුනි
ඒ දිවිය තුටින්, යෙහෙන් ගෙවන්නට
සුභාසිරි ගෙන එන්නෙමු මේ ලෙසින්

මාත් ඔහුත් අප දියණිත් පමණක් නොවෙයි
සයිබර් අවකාශයේ අප මිතුරු සැම දෙනත්
ඔබ දෙපළට සැපත, ජය, සතුට ආදී වූ සැම යහපත් දෙයක්ම
ඉත සිතින්ම පතන්නෙමු, වැජඹෙන්න යෙහෙන්

උදා වූ නව දිවිය, සතුට ම උදා කරත්වා අයියේ අක්කේ සැමදා ඔබ දෙපළට‍ !!!!!!!!!!!!






14 comments:

  1. ඇත්ත අපට අවශ්‍ය තැනට යන්න උත්සාහය පමනමයි ඇවැසි සුබ මංගලම් ඔබට

    ReplyDelete
  2. එක් නම් ඇත්ත ....... උත්සාහය හා කැපවීම තියනවා නම් ඔනැම දෙයක් ජය ගත හැකියි

    එකතු කරනන් අපේ සුබ පැතුම් ....!

    ReplyDelete
  3. ලස්සන, පැහැදිලි, හැඟීම්බර ලිපියක්....

    අපේ සුබ පැතුම් එක්කරන්න...

    එයාගේ බ්ලොග් එකත් ප්‍රසිද්ධ කරන්න නංගෝ....

    ReplyDelete
  4. @ චතු සහ වැප්,

    ස්තුතියි සුභ පැතුමට එක් වුනාට.

    @ මාතලන්,

    ස්තුතියි සුභ පැතුමට එක් වුනාට. මම අයියාට මේ ලිපිය ගැන කියලා පස්සේ එයාගේ බ්ලොග් එක ප්‍රසිද්ධ කරන්නම් අයියා.

    ReplyDelete
  5. කතාව නම් අගෙයි. ඒ සොයුරාට යහපතක්ම වෙන්න ඕනි.
    ඒත් සමහර දේවල් තම තමන්ගෙ වාසනාව අනුවත් තීරණය වෙනව. සමහර මිනිස්සු මම දැකල තියෙනව ජීවිතේ ගොඩ ගන්න නොකරන උත්සාහයක් නෑ. ඒත් මොකක්දෝ අවාසනාවක් ඔවුන්ව බිලි ගන්නව. ඒ වගේම සමහරුන්ගේ උත්සාහයන් සාර්ථක වෙනව. තවත් සමහරුන්ට වැඩි උත්සාහයක් නැතිවම සියල්ල ළඟා වෙනව.
    කොහොම වුණත් උත්සාහයෙන් ළඟා වීම තමයි හොඳම දේ කියන අදහසට මාත් එකඟ වෙනව නගෝ. ඒත් මමනම් කම්මැලිය.

    ReplyDelete
  6. @ අවුට්සයිඩර්,

    ඒක නම් ඇත්ත. සමහර මිනිස්සු කොච්චර උත්සහ කලත් ගොඩ ඒමක් නම් නැහැ තමයි. ඒත් නිකම් ඉන්නවාට වඩා ඒක හොඳයිනේ නේද අයියා?

    කිව්වම මොකද මටත් අත හැර ගන්න බැරි කම්මැලි කමක් තියෙනවා. අනේ මන්දා. ථ(

    ReplyDelete
  7. ඒක නම් සීරාම කථාවක් නංගී...
    මං වාගේ හිත දුර්වල මිනිස්සුන්ට හොඳ කම්මුල් පහරක්...

    ReplyDelete
  8. අනේ පැංග්ස්,

    අයියාට කම්මුල් පාරක් දෙන්න හීනෙන්වත් හිතුවේ නැහැ අයියා. කෙනෙකුට ආදර්ශයක් ගන්න පුළුවන් ජීවන අන්දරයක් නිසාත්, ඒ අයියාට සුභ පැතුම් එක් කරන්න ඕනෑ වුනු නිසාත් මෙතැන සටහන් කලේ.

    ReplyDelete
  9. අනේ පැංග්ස්,

    අයියාට කම්මුල් පාරක් දෙන්න හීනෙන්වත් හිතුවේ නැහැ අයියා. කෙනෙකුට ආදර්ශයක් ගන්න පුළුවන් ජීවන අන්දරයක් නිසාත්, ඒ අයියාට සුභ පැතුම් එක් කරන්න ඕනෑ වුනු නිසාත් මෙතැන සටහන් කලේ.

    ReplyDelete
  10. mata kathaawa kiyawala duka hithune nehe... hungak sathutu hithuna.. aadambara hithuna..

    ReplyDelete
  11. කණගාටුයි මිතුරනි,

    අයියා එ‍යාගේ අනන්‍යතාව හෙළි කරනවාට එතරම් මනාප නැහැ. එයා මේ ‍බ්ලොග් අවකාශ‍යේ ඉන්න නිසා කවදා හරි ඔයාලාට මුණ ගැහෙයි.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. හරිම අගෙයි. ඒ අයියාටත් අක්කාටත් මගේ සුභ පැතුම්! හිත හොඳ නම් වරදින්න විදියක් නෑ. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ කියලනේ කියන්නේ!

    ReplyDelete
  14. ස්තුතියි ඉබ්බෝ..................

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...