කිරලා මැනලා හිතට (නො)ගත යුතු අවවාද අනුශාසනා ………………………………….
“කාලයට ඉඩ දෙන්න. තව තවත් ඉවසන්න. පස්සේ ඔය සේරම හරි යයි.”
ඔය වගේ අවවාද තමයි අප දෙදෙනාට හැමදාමත් දන්න කියන අයගෙන් ලැබුනේ. මගේ සමහර ම්තුරියන්ගේ මව්වරු පියවරු ඇතිව තිබූ තත්ත්වය ගැන පුදුම වූහ. ඔවුන් නිරතුරු විමසුවේ, “මෙච්චර හොද දරුවෙකුට ඇයි ඔයාගේ අම්මා අකමැති දුවේ” යනුවෙනි. මාගේ හිතවත්ම මිතුරු මිතුරියන් හා ඔවුන්ගේ දෙමව්පියන් ඉහතින් දක්වන ලද ආකාරයේ අවවාද දුන්නා මිසක කිසි දිනෙක වැරදි තීරණයක් ගැනීමට අබමල් රේණුවක තරමවත් අනුබලයක් නොදෙන ලදී. ඔවුන් නිරතුරු පැවසුවේ, “ඔය දෙන්නාට වරදින්නේ නැහැ, ඒත් පුතේ කවදාවත් අම්මා තාත්තාගේ හිත රිද්දන තීරණ නම් ගන්න එපා. එයාලා කවදාහරි තේරුම් ගෙන ඔයාලාට ආශිර්වාද කරයි.” යනුවෙනි.
එනමුදු මෙහිදි කිව යුත්තක් ඇත. මගේ තාත්තාගේම අක්කාගේ දුවත් (ප්‍රේම සම්බන්ධයක් මත විවාහ වී එම විවාහය අසාර්ථක කර ගත් අයෙකි), මගේ තාත්තාගේ මිතුරකුගේ බිරිදත් (විවාහ ජීවිතයේ හැල හැප්පීම් මැද, දෙමවිපිය සරණද අහිමිව වෙසෙන අයෙකි), මගේ එක් මිතුරියකගේ මව් කෙනෙකුත් (ස්ව කැමැත්තට විවාහ වී ආර්ථික ප්‍රශ්න නිසා, දන්නා දා සිට සැමියා පිටරට සිටින්නියකි), තවද මාගේ නැගනියගේ මිතුරියකගේ මව් කෙනෙකුත් (නොගැලපෙන විවාහයක බැදී, බීමත් සැමියාත් දියණියන් දෙදෙනාත් සමග ජීවිත සටන අසීරුවෙන් ගෙන යන අයෙකි) ඉදුරා පවසා සිටියේ අප දෙදෙනාගේ කැමැත්ත අනුව තීරණයක් ගන්නා ලෙසය. ඒ අතරින් අයෙක් කීවේ, “ඔන්න ඔහේ පැනලා යන්න අනේ” කියලාය. තව කෙනෙක් කීවේ, “ඔයයි ජීවත් වෙන්න ඕන. ඒක නිසා ඔයා කැමති කෙනෙක්ට ගෙදරින් කැමති නැත්නම් ඔයා දැන්මම තීරණයක් ගන්න” යනුවෙනි. අප දෙදෙනාම සිටින තැනකදී මේ අතරින් කෙනෙක් විමසුවේ, “ඔයා කවදා වෙනකම් අම්මා කැමැත්ත දෙනකම් ඉන්නද? එතකොට මේ ළමයාට යන කල මොකද්ද? අවුරුදු ගානක් ගිහිල්ලත් ඔයාගේ අම්මා කැමැත්ත දුන්නේ නැත්නම් මේ ළමයාට දුක් දෙන්නද යන්නේ?” යනුවෙනි. තවද ඇය තදින් විමසා සිටියේ, “ඔයාගේ අම්මා කවදාවත් කැමැත්ත දුන්නේ නැත්නම් ඔයා ඔයාගේ කැමැත්තට මේ ළමයා එක්ක එනවාද නැද්ද? එහෙම බැරිනම් දැන්ම නවත්තලා දැම්මොත් හොද නැද්ද” යනුවෙනි. මෙහිදී මා හට දී ගන්නට පිළිතුරක් නොමැති විය. එසැනකින් ඉදිරිපත් වූ මා සැමියා පවසා සිටියේ, “මෙයාගේ ගෙදරින් කැමැත්ත ලැබෙන තුරු කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ” යනුවෙනි.
සැබවින්ම මේ අයට අවශ්‍ය වූයේ අපට උපකාර කරන්නට නොවන බව අද මෙන්ම එදාද මම දැන සිටියෙමි. ඔහුද දැන සිටියේය. තමන් වැටුනු වලේ තමන්ගේ ම නැගනියක වූ මා වැටෙනු දැකීමට එක් අයෙකු සතුටු වූ අතර තව අයෙක්ට අවශ්‍ය වූයේ අක්කා ගෙදරින් පැන ගිය විට ඇතිවන තත්ත්වය හමුවේ නැගනියගේ අධ්‍යාපන කටයුතු අඩාල වනු දැකීමටය. එවිට ‘සිය දියණියට සිටි තරගකාරියක පිටියෙන් ඉවත් වූවා’ යැයි ඇයට සතුටු වීමට හැකියාවක් ලැබෙනු ඇත. තවත් කෙනෙකුට අවශ්‍ය වූයේ අප දෙදෙනා අතර ප්‍රශ්නයක් ඇති කිරීමටය. අම්මාගේ කැමැත්ත ගැන සිතනවා විනා මා ඔහු ගැන නොසිතන බව ඔහුට පසක් කිරීමට ඇයට අවශ්‍ය විය. මේ මූඩ මිනිසුන්ට නොතේරුණු එක් දෙයක් ඇත. ඒ අප වැනි දෙදෙනෙකු ඔවන් කථා වලින් මුලා කල නොහැකි බවය.
මෙය කියවන සහෝදර සහෝදරියන් හට, පෙර ලිපියකදී පවසන ලද පරිදීම මෙහිදීද මට පවසන්නට ඇත්තේ, ඔබටත් මෙවැනි අවවාද උපදෙස් දෙන්නට ඕනෑ තරම් අය හමු වේවි. එහෙත් කවදාවත් මුලා වන්න එපා. පෙර පැවසු පරිදීම, පැන ආ දවසේ රැය පහන් කිරීමට සිය කාමරය, නිවස දීමට ඕනෑ තරම් අය සිටීවි. රසමසවුලෙන් සංග්‍රහ කරාවි. එහෙත් පසුදිනට ඉර පායන විට හිසට සෙවනක් සොයාගෙන යාමට ඔබට සිදුවේවි. එවිට කුස ගින්න නිවා ගන්න පාන් කෑල්ලක් ගන්න තරම්වත් මුදලක් ඔබ අතේ නැති වන්නටද, බොහෝ දුරට ඉඩ ඇත.
ඔබ ධනවත් කෙනෙක් නම් ඉහත කිව් කිසිවක් ඔබට සිදුවන්නේ නැත. එහෙත්, අම්මා තාත්තා දහදුක් විද හැදූ වැඩූ ඔබ හිතුවක්කාරී තීරණයක් ගත් දින පටන් ඒ අයගේ හදවත් තුල දැල්වෙන ගින්දර ඔබේ ධනය අළු කර දමන්නට ප්‍රමාණවත් නොවේ යැයි ඔබට සිතේද?. යම් දිනෙක ඔබගේ දරුවකු ඔබට රිදවුවහොත් එය ඔබට කෙසේ දැනෙනු ඇත්දැයි නිරතුරුවම සිහි කරන්න.
සමහර විට ඔබගේ දෙමව්පියන් හිතුවක්කාර විවාහයකින් බැදුනු අය විය හැක. ඒ වුවද ඔබ කිසදා එවන් තීරණයක් ගන්න එපා. එසේ වුව හොත් අසලවැසි උදවිය, නෑදෑයෝ, මිතුරෝ, ඔබගේ දෙමවිපියන් හට, “ඔන්න දැක්කනේ, කල කල දේ පල පල දේ” යනුවෙන් හිනා වනු ඇත. අප හදා වඩා උස් මහත් කොට මේ සමාජයට දායාද කලේ ඔවුන් නිසාවෙන් දෙමව්පියන් කුමන වරද කලද ඉවසා සිටීමේ වගකීම අප වෙත නිරතුරු රැදී ඇති බව සිහි කරන්න.
වසර 30ක් පුරාවට පැවති උතුරු නැගෙනහිර යුද්ධය අද නිමා වී ඇත. එනිසා එහි තිබූ භයංකරත්වය ටිකෙන් ටික ජන මනසින් වියෝ වි යනු ඇත. එයට මුහුණ දුන් පරම්පරාව අවසාන වූ විට එය පුරාවෘත්තයක් බවට පත් වී එළාර දුටු ගැමුණු යුද්ධය ගැන අද අප කථා කරන ආකාරයට සමාජය තුල රැදී තිබෙනු ඇත. එනමුදු යුද්ධය පැවති සමයේ, පිටතට එන දවසක් නොදැන පෙට්ටියක සිරවී සිටියා බදු හැගීමකින් යුතුව, ’යුද්ධය කවදා ඉවර වේදෝ, කවදා මේ බෝම්බ පිපිරීම් නවතීදෝ’ යනුවෙන් අප සියල්ලෝම ලතැවිල්ලේ බලා සිටියෝය.
එලෙසින්ම පසු ගිය මාස හයට පෙර පැවති වසර හය අප දෙදෙනාට ම ගිණි ගොඩක් විය. ඇත්ත වශයෙන්ම එම ප්‍රශ්නය සාමකාමී අන්තයක් කරා ලං වේදෝයි අප තුල තදබල සැකයක් නොතිබුනාම නොවේ. ‘තව තවත් ඉවසන්න. කාලයට ඉඩ දෙන්න’ වාගේ අවවාද ඇසීමෙන් දෙසවන් විඩා වැටී තිබුණි. විභාගයක් කලේ නම් ප්‍රථිඵල එන දවස ආසන්න වශයෙන් හෝ දන්නා නිසා ඉවසා සිටිය හැක. එහෙත් අප සිටි තත්ත්වය එසේ නොවේ. කවදා කෙලෙසින් එම ප්‍රශ්නය විසදේ දැයි දැන සිටියේ අපගේ දෛවය පමණි. එහෙත් අප විශ්වාසය මත පදනම් වූ බලාපොරොත්තුවකින් යුතුව පෙර මග බලා සිටියේ මායිම් ගම්මානවාසී ජනතාව සිටියා සේය.
මා හට විටෙක දිවි නසා ගැනීමටද සිත් වූ බව අද දින සිහි කරන්නේ ලජ්ජාශීලිවය. ඇත්තටම එය ලැජ්ජාවටම කරුණකි. අද දින මා ගෙවන ජීවිතය දෙස බලන කල, අම්මාවරු දෙදෙනාගේම ආදරය කරුණාව නිරතුරුවම ලැබෙන කල, ‘අයියෝ මොන තරම් මෝඩ විදිහටද එදා මම හිතලා තියෙන්නේ’ කියා මට විටින් විට සිතේ. ජිවිතය නම් මේ වගෙයි. ඇත්ත වශයෙන්ම ඉවසීමෙන් නම් සැනසීම ලැබේමය.
Posted in ජීවිතය මේ වගෙයි on 06/17/2009 05:07 am by randil මට දැණුනු දේ අම්මා තේරුම්ගත් හැටි ………………………………..
වරක් අම්මා අසනීප විය. ඇයගේ දියවැඩියා තත්ත්වය උත්සන්න වීම එයට හේතුවිය. මානසික පීඩනය දියවැඩියා තත්ත්වයට බලපාන බව වෛද්‍යවරුන් පෙරදී අම්මාට පවසා තිබුණි. එබැවින් ඇය රෝගී වූයේ මා නිසා යැයි මා සිත තදබල ලෙස මා හට දෝෂාරෝපණය කරන්නට විය. එය මාගේ පපුව හිරකරවන තත්ත්වයක් විය. වරක් අම්මා බලන්නට රෝහලට මාත්, තාත්තාත්, ලොකු නැන්දාත් ගියෙමු. තාත්තා අවශ්‍යතාවකට පිටතට ගියේය. අම්මාත් නැන්දාත් කතා කරමින් සිටි අතර මම අසලින් සිටියෙමි. මදින් මද මා වෙලා ගත්තේ තදබල නොසන්සුන්තාවකි. මට එතන තව දුරටත් සිටිය නොහැකි තත්ත්වයක් උදාවිය. මම විගසින් ජනේලය අසලට ගියෙමි. හදවත තෙරපූ වේදනාව, කදුළු බවට හැරී, නවතා ගත නොහැකි වූ මහා ඉකි ගැසිමක්ද සමගින් පිට විය. මට මා පාලනය කර ගත නොහැකි විය. ‘අම්මා ලෙඩ වූයේ මා නිසාවෙනි. අම්මා අද රෝහල් ගතව සිටින්නේ මා නිසාවෙනි’ වැනි සිතුවිලි මාගේ මනස කළඹාලීය. අම්මා පැමිණ මා අස්වැසුවාය. ඇය සිතුවේ අම්මා ගෙදර නැති නිසාවෙන් මා හඩන බවකි. “බය වෙන්න එපා පුතේ අම්මා මැරෙන්නේ නැහැ. ඔයාලාට හොද කල දවසක් උදා කරනතුරු අම්මාට මොකුත් වෙන්නේ නැහැ” යනුවෙන් පවසමින් (හඩමින්) ඇය මා අස්වසන්නට උත්සහ කළාය. එනමුදු මා පෙලූයේ ඇය සිතූ දේ වලින් පමණක් නොවන බව මට එදා පමණක් නොව පසුවද ඇයට වටහා දීමට නොහැකි විය. එදා ඇතිවූ තත්ත්වය නිසා ඉන් පසු අම්මා නිවසට පැමිණෙන තුරු මම ඇය බලන්නට රෝහලට නොගියෙමි. එසේ එහි නොගියේ යෑමෙන් සිද්ධ වන්නේ, මා දරුණු වේදනාවකට පත්වීම මෙන්ම අම්මාද හඩන්නට පටන් ගැනීම නිසාය.
එනමුදු පසුව අම්මා සිතා ගත්තේ වෙනත් දෙයකි. ඈ මා සමග උරණ වූ සැම විටම පවසා සිටියේ, “අරූ එක්ක වැඩ ඇරිලා එන්න ඕන නිසා මාව බලන්න ඉස්පිරිතාලෙට ආවේ නැහැ. හොදයි පුතේ ඔහොම තමයි මේ අම්මාට කරන්න ඕන” යනුවෙනි. ඇයගේ පැත්තෙන් ඈ සිතූ හැටි නිවැරදිය. එනමුදු මගේ පැත්තෙන්? ……………………….. මම එය සෑම විටම ඉවසා දරාගත්තෙමි. එසේ නොකොට වෙන කුමක් කරන්නද? පහදා දෙන්නද? පහදා දෙන්නේ මොනවා කියමින්ද? මා නිවසේ සාමාජිකයින් සමග සිටිනවාට වඩා ඔහු ඇසුරේ සිටින්නට ප්‍රිය කල බව සැබෑවකි. එනමුදු මේ සිද්ධියේදී මා වැටුනේ නොසිතූ තත්ත්වයකට බව දන්නේ මාත් ඔහුත් පමණකි.
ඔවැනි අවස්ථාවන් ජීවිතයේ බොහෝවිට උදා වේ. එවිට කිරීමට ඇත්තේ මුණිවත රැකීම ම පමණි. කෙසේ වුවද ඒ දෙයින් පසු මම සිතා ගත්තේ ආයෙත් එවන් අවස්ථාවක් උදා වුවහොත් මට කුමන තත්ත්වයක් උදා වුවද අම්මාගේ සිතසුව පිණිස එක සිතින් ක්‍රියා කරන බවටය.
නැවත වාරයක් 2008 වසරේ මුල් භාගයේදී ඇයට රෝහල්ගත වන්නට සිදුවිය. එකල, තාත්තාට අම්මා බැලීමට රෝහලට ඒමට අපහසු වූයේ ඔහු අවශ්‍යතාවකට ගමේ ගොස් සිටි බැවිනි. උදෑසන 6 වනවිට අප දෙදෙනා මොටර් සයිකලයෙන් කොළඹ මහා රෝහල වෙත පැමිණීමත්, ඔහු වාට්ටුවෙන් පිටත සිටියදී මා ගොස් අම්මා බලා ගෙනා කෑම ඇයට දී කථා කර ඒමත් ඇය නිවසට පැමිණෙන තුරාවටම නොපිරිහෙලා ඉටු කළෙමු. සවස ද ආහාර රැගෙන ඇය බැලීමට අපි දෙදෙනා ගියෙමු. ඔහු වාට්ටුවෙන් පිටත සිටින බව ඇය දැන සිටියාය. වරක් මා ඇගෙන් ‘ඔහු කැදවන්නදැ’යි ඇසුවද ඇය එය ප්‍රතික්ෂේප කලාය. එය මාගේ සිත රිදවන්නක් විය. එනමුදු හිමිදිරි උදෑසන මා කැදවාගෙන රෝහලට ඒම ඔහු කිසි දිනෙක ප්‍රතික්ෂේප කලේ නැත. එහෙත් මා පසුව නැගනියන්ගෙන් දැන ගත්තේ ‘අක්කා පව් නේද?’ යනුවෙන් පවසමින් එම සිද්ධිය ඔවුන් සමග අම්මා පැවසූ බවය. තදබල ලෙස විරෝධය පාමින් සිට එවන් අවස්ථාවකදී, එක්වරම සුහදශීලි වීම නුසුදුසු යැයිද, එසේ වුවා නම් ඔහු වුවද ‘මාව ඕනෑ කරදරයකදී තමයි’ යනුවෙන් සිතනු ඇතැයිද අම්මා සිතන්නට ඇත. ඇත්තටම ඇය ඒ අවස්ථාවේදී කල දේ නිවැරදි යැයි අද මට පෙනේ. නමුදු එදා දුටුවේ එහි අනෙක් පැත්තයි. ඇයගේ සිත මහා දරුණු සිතක් යැයි එවිට මට සිතුණද, ‘කමක් නැහැ අම්මානේ’ කියා සිතා සිත හදා ගත්තෙමි. නමුදු ඇය කර ඇත්තේ අවස්ථානෝචිතව වඩාත්ම සුදුසු දෙයයි. අපට අවසර දෙන තෙක් වහෙන් ඔරෝ වැඩ වලට සිය අකමැත්ත එකහෙලා ප්‍රකාශ කලාය.
දෙමව්පියන් මොනදේ කලද අප නුවණින් සිතා බලා ක්‍රියා කල හොත් ඇතිවිමට තිබෙන දරුණු තත්ත්වයන් මග හරවා ගැනිමේ අවස්ථාවන් විරල නොවන බව මම අත්දැකීමෙන් දනිමි. මුල් වතාවේ අම්මා අසනීප වූයේ 2004 වසරේදීය. එකලට වඩා පසුව අම්මා අසනීප වනවිට වසර හතරකින් අප මුහුකුරා ගොස් සිටීම නිසාත්, ප්‍රශ්නයකදී වඩා කල්පනාකාරීව ක්‍රියා කිරීමට හැකියාව ලැබී තිබු නිසාත්, එවර අපට අම්මාගේ සිත සතුටු වන ලෙසත්, පැහැදෙන ලෙසත්, කටයුතු කිරීමට හැකිවිය. එය අම්මාගේ කැමැත්ත ගැනීමට අප දැමු අඩිතාලමේ එක් ශක්තිමත් ගලක් වූ බව අදවන විට පෙනී යයි.
අපි දෙදෙනා මෙසේ වරින් වර ඒ අඩිතාලම ශක්තිමත් කළෙමු. ඒ සදහා මූලික වූයේ අප දෙදෙනාගේ තිබූ ඒකමතික භාවයත් සමගි සම්පන්න බැදීමත්ය. කිසිම කෙනෙකු හට ඒ බැදීම දුර්වල කිරීමට නොහැකිවිය. ඒ අප දෙදෙනා යහපත් වූ අවබෝධයකින් සිටි නිසාය. මා හට ඔහුට පෙර පිරිමි යහළුවන් නොසිටී තරම්ය. නමුදු පසුව රැකියාවේදී මෙන්ම පාඨමාලාවන් හදාරන විටද බොහෝ මිතුරන් ඇතිවිය. ඒ කිසිම විටෙක ඒ පිළිබද ඔහු තුළ කලබලයක් නොවීය. ඔහු ගැන පවසන්නේ, නම් ඔහුට මිතුරන් මෙන්ම මිතුරියන්ද බොහෝ ප්‍රමාණයක් සිටී. ඒ සියල්ලන්ම පාහේ දැන් මාගේත් මිතුරන්ය. මාගේ සේවාස්ථානයේ පිරිසත් ඔහුගේ මිතුරන් අතර සිටී. ඒ දේවල් කෙසේ වුවද, “අප දෙදෙනා යනු වෙනම රාමුවකි, අනෙක් සියල්ලන්ම ඒ රාමුවෙන් පිටත වේ” යන පදනම මත සිටීම අපි හැම විටම වැදගත් කොට සලකමු. යම් දිනෙක අපගේ දරුවන් සම්බන්ධයෙන් ද අපගේ මතය වනු ඇත්තේද එයයි. එයට හේතුව බොහෝ නිවෙස් තුල දෙමව්පියන්ගේ ඒකමතික භාවයක් නොමැති කම නිසාවෙන් දරුවන් එක් අයෙකු තුලට ඇද ගැනීමට දෙමවිපියන් දරන උත්සහයයි. දෙමවිපියන්ගේ ඇති අසමගිය දරුවන්ට එවිට ඉතාමත් අයහපත් ලෙස බලපාන බව එම පවුල් දෙස බලන කල මොනවට පැහැදිලි වේ.
Posted in ජීවිතය මේ වගෙයි on 06/18/2009 03:47 am by randil එළඹ සිටි අවස්ථාවට මැදහත් සිතින් මුහුණ දීම ……
කුඩා කල සිට දෙමව්පිය සහෝදර ඇසුරේ හැදුනු වැඩුනු කෙනෙකු හට ආදරණිය සහකරුවෙකු හෝ ආදරණිය සහකාරියක මුණ ගැසුනු විට එතෙක් ගත කල ජීවිතය වෙනස් වන බව සැබෑවකි. එනමුදු ඔවුන් තවමත් සිය දෙමව්පිය සහෝදර සහෝදරියන්ගෙන් සැදුම් ලත් පවුලේ කොටසක් බව කිසි විටෙක අමතක කල යුතු නොවේ.
අද මා කුමක් කීවද මට නම් බොහෝ අවස්ථාවන් වලදී ඒ බව අමතක වූ බව සත්‍යයකි. එකල ලද හැම අවස්ථාවකදීම මා උත්සහ කලේ ඔහු හමුවිමටය. ගෙදර අවශ්‍යතාවකටවත් මා නිවසේ රදවා ගැනීම අම්මාට අසීරු කරුණක් විය. අප දෙදෙනාගේ නිවාඩු ද බොහෝ සෙයින් ඉතිරි වූයේ අසනීපයකටවත් ගෙදර නැවතීම ඉතාමත් කලාතුරකින් සිද්ධ වූවක් බැවිනි.
ඒ දිනවල අවුරුදු නිවාඩුවට හෝ වෙනත් අවශ්‍යතාවකට ගමේ යෑම මට මහ කරදරයක්විය. එයට හේතුව ගමේ ගියහොත් නැවත පැමිණෙන්නේ සතියකට දෙකකට පසුව වීමය. පසුගිය අවුරුද්දේ අවුරුදු නිවාඩුවට තාත්තා කොළඹ සිටියදී අම්මාත්, මාත්, නංගිලා දෙදෙනාත් දුම්රියෙන් බණ්ඩාරවෙල ගියෙමු. යාමට පෙර මා සැමියා, (එවිට සැමියා නොවේ) මාගේ සේවාස්ථානයට පැමිණ, මාත් සමග ගොස්, මට ගෙන යාමට අවශ්‍ය ව තබූ දේ කිහිපයක් නුගේගොඩින් අරන් දුන්නේය. ඉන්පසු අප දෙදෙනා කොටුව දුම්රිය ස්ථානයට පැමිණි අතර ඒ එන අතරතුර ‘අයියෝ මට යන්න බැහැ’ කියමින් දෙනෙතින් මෙන්ම නහයෙන්ද හඩමින් පැමිණියෙමි. ඊට පෙර අවස්ථාවකදීද (එවිට මෝටර් සයිකලය නොවීය) ඒ ආකාරයටම නුගේගොඩ සිට කොටුව දුම්රිය ස්ථානයට බසයෙන් එන අතරතුර ඉතාමත් බොලඳ ලෙස හඬමින් පැමිණි බවක් මතකයේ තිබේ. “ඇයි මේ අඬන්නේ? ෆෝන් එක තියෙනවානේ. කෝල් කරන්න පුළුවන්නේ ඕන වෙලාවක” කියමින් ඔහු මා අස් වැසුවේය. (ඒ කෙසේ වුවද මා කිසිම පැකීලීමකින් තොරව ම ඒ ගමන ගියේ නම් ඔහු ඒ ගැන පුදුම වන බවද දනිමි.)
මුළු ගමන පුරාම හිත් වේදනාවෙන් යුතුව කල්පනා කරමින් ගියෙමි. අම්මා, නංගිලා සිටියාට මට ඒ මදි විය. වරින් වර දුරකථන ඇමතුම් ලදිමි. මාද දුරකථන ඇමතුම් දුනිමි. කෙසේ හෝ හිමිදිරි පාන්දර වන විට අපි බණ්ඩාරවෙලට සේන්දු වී සිටියෙමු. මාමාගේ නිවස පිහිටා තිබූ ස්ථානයට දුරකථන සංඥා හරි හැටි ක්‍රියාත්මක නොවුනේ කදු වලින් වටවි ඇති නිසාය. ඒ තවත් හිත් අමාරු වැඩි කරවන්නක් විය. කෙසේ හෝ සම්බන්ධ කරගත්තද කථා කරනවාට වඩා හැඬූ බව අද සිහිකරන්නේ මද ලජ්ජාවකිනි. දින දෙකක් යන විට මා හට උණ ගැණින. වෙනදා සීතලේ, පින්නේ, දෙසැම්බර් මාසයේදී පවා මද සෙම්ප්‍රතිශ්‍යාවක්වත් නොමැතිව ගමේ ගත කර ඇති මට මෙවර ගැණුනේ නම් ආදර උණ බව මා හට වැටහිණ. කෙසේ හෝ මා නිසා අනෙක් අයටත් යන්නට සිටි ගමන් අහිමි විය. උණ තත්ත්වය නිසා, නිවාඩුව අවසන් වනතුරු අවදි වූ වේලේ පටන් නිදා ගනිමින් ගත කරන්නට මා හට සිදු විය. ඇත්ත වශයෙන්ම මා සාංකා තත්ත්වයෙන් පෙළුනු බව වටහා ගත්තේ ගමේ සිට කොළඹ පැමිණ ඔහු හමු වු මොහොතේය. එය වටහා දීමට ද අපහසු තත්ත්වයකි.
ඔය ආකාරයෙන් නිවසේ අය සමඟ විනෝද චාරිකාවක් ගියද, මා හට නම් විනෝදයක් නොවිනි.
ඇත්තටම අප හැසිරිය යුත්තේ ඒ ආකාරයටද? …………………………………..
සිතා මතා ඇති කර ගත් තත්ත්වයක් නොවූවද, අවශ්‍ය වූයේ නම් එම තත්ත්වය පාලනය කර ගැනීමට හැකිවනු ඇතැයි මා හට දැන් සිතේ. මනෝ පුබ්බංග මා ධම්මා …………………………. යනුවෙන් කියැවෙන බුදු වදන සනාථ කරමින් එම තත්ත්වයට හේතුව හුදෙක් මගේම සිත පමණක් බව මේ වන විට මට අවබෝධ වී ඇත. පෙර, මේ ලිපිය ආරම්භයේ දී මා පැවසූ පරිද්දෙන්ම අප උපන් දා සිට මියයනතුරු ම විවිධාකාර සමාජ කොටස් වලට හෝ විවිධාකාර තනි පුද්ගලයන් හට අඩු වැඩි වශයෙන් සම්බන්ධකම් වලින් බැඳේ. ඒ ඒ කොටස් වලට ඒ ඒ අවස්ථාවේදී අපෙන් විය යුතු කොටස සිද්ධ නොවූයේ නම් එහිදී ඇති වන්නේ ගැටළුකාරී තත්ත්වයකි. උදාහරණයක් වශයෙන් ගත් කල රැකියාව කරන අවස්ථාවේදී නිවස ගැන සිත සිතා සිටීමත් නිවසේදී රැකියාවේ කටයුතු ගැන සිත සිතා සිටීමත් ඒ ස්ථාන දෙකෙහිම කටයුතු අඩාල කිරීමට හේතු විය හැක.

මව්පිය සහෝදර සහෝදරියන් සමඟ ගත කරන කාලය ඔවුන් සමඟ උපරිමයෙන් සතුටින් ගත කල යුතු බව මගේ දැන් හැඟීමයි. අප ඔවුන්ගේ සමාජයේ කොටසකි. අපගේ ආදරය, කරුණාව, බැඳීම ලබන්නට ඔවුනට අයිතියක් ඇත. ඒ දේ ලබා දීමට අප හට වගකීමක් මෙන්ම යුතුකමක් ද ඇත. යම් හෙයකින් අපගේ අම්මා හෝ තාත්තා අපව නොසලකා හැර වෙනත් වෙනත් දේ ගැන සිතමින් සිටින්නට පටන් ගත්තා නම් මේ තත්ත්වයේ ඇති බැරෑරුම් බව අප හට මොනවට පැහැදිලි වනු ඇත. අපට ඇති සමාජ සම්බන්ධතා කුලක වශයෙන් ගතහොත් අප සිටින්නේ කුලක ඡේදනයේ බව පෙනී යයි. එසේ නම් අපට එක් කුලකයකට කොටු වී සිටිය නොහැක. ඒ ඒ කුලකය තුල අපගේ කාර්යය භාරය වටහාගෙන ක්‍රියා කිරීම වඩාත් ම සුදුසු දෙයයි.
මේ බව මට දැන් වඩාත්ම පැහැදිලි වී ඇත. මම දැන් විවාහක කාන්තාවක් වෙමි. මාගේ ගමන් බිමන් සියල්ල සැමියා හා බැඳේ. එබැවින් දැන් මා හට පෙර සිටි නිදහස් කිරිල්ල, අම්මාගේ තාත්තාගේ දියණිය, නැගණියන්ගේ අක්කා වශයෙන් ඔවුන් හා තනිව දුර ගමන් යා නොහැක. එසේ යතොත් එයින් සිදුවන්නේ විවාහ ජීවිතයට නොගැලපෙන දෙයකි. අනෙක් අතට එකල විඳින්නට තිබූ යම් යම් දේ මා අතින් මා නොදැනුවත්වම ගිලිහී ඇති බව දැන් දැන් මට පසක් වෙයි. ඒ අවස්ථාවේදි ඔවුන් සමඟ සිංදුවක් කියා සතුටින් ඒ ගමන් ගියේ නම් මා එකල ගතකල යුතු ආකාරයට ගතකල බව සිතා මා හට දැන් සතුටු විය හැක. ඇත්තටම, ‘ආයේමත් කිසිමදාක ඔවුන් සමඟ එවන් ගමන් යාමට මා හට නොහැකිය’ යන සිතුවිල්ල දැන් මා සිත පාරවයි. මට එවන් ගමනක් යාමට අවශ්‍යතාවක් ඇති වුවහොත් මා සැමියා මා එයින් වළක්වන්නේ නැත. එනමුදු එදා සිටි මා නොවෙයි අද සිටින්නේ. එදා සිටි තත්ත්වයෙන් එයට සහභාගී වන්නට අද මට හැකියාවක් නැත. මට පෙරට වඩා දැන් වගකීම් යුතුකම් තිබේ. ඇත්තටම දැන් ඔහු මා හට යාමට අවසර දුන්නද, නොයන තත්ත්වයක මම සිටිමි. එනමුදු අහිමි කරගත් අවස්ථාවන් පිළිබඳ සිහින් සංවේගයක් එවන් අවස්ථාවන් සිහිවන විට මා සිත පෙළයි.
එබැවින් එළඹී අවස්ථාවට මැදහත් සිතින් මුහුණ දීමට පුරුදු වීම ඉතාමත් වැදගත් කාරණාවකි. කාලයෙන් කාලයට ස්වභාව ධර්මයා විසින් අප වෙත ලං කරනා පුද්ගලයන් සහ සමාජ කොට්ටාශ සමගින් ඒ ඒ අවස්ථාවට උචිත වන පරිදි කටයුතු කිරීම, සියලු සමාජ සම්බන්ධතා යහපත් අයුරින් පවත්නා ගෙන යාමට අප හට මහඟු උපකාරයක් වනවා මෙන්ම අපට පසුතැවිලි නොවී සතුටු සිතින් අනාගතයට මුහුණ දීමට මග ද පාදයි.
Posted in ජීවිතය මේ වගෙයි on 06/22/2009 07:36 am by randil
හිතට නිවනක්, හිසට සෙවනක්,……………………………………………
කෙනෙකුගේ අනාගතය ශක්තිමත් වන්නට නම් වර්තමානයේ දී ශක්තිමත් අඩිතාලමක් ගොඩ නැංවිය යුතුය. අඩිතාලම බොල් නම් ඒ මත ගොඩ නැගෙන අනාගතය වැල්ලේ තැනූ වැලි මාලිගාවක් වනවා නිසැකය. අප නිරතුරුව ම කල්පනාකාරී විය යුත්තේ එම අඩිතාලම සඳහා අප විසින් භාවිතා කරන්නට යන අමුද්‍රව්‍යන් පිළිබඳවය. අධ්‍යාපනය එක් තිරණත්මක සාධකයකි. අධ්‍යාපන තත්ත්වය මත තීරණය වන රැකියා තත්ත්වය ද අනාගතය ගොඩනැංවීමේ දී වැදගත් වන අමු ද්‍රව්‍යයකි.
පෙර මා පැවසූ පරිදි, පාසල් අධ්‍යාපනයෙන් පසුව අප දෙදෙනා යොමු වූයේ වෘත්තිය පුහුණුව හරහා යොමුවුනු අධ්‍යාපනය දෙසටය. ඒ මාවත ඔස්සේ වසර පහක් හයක් පමණ අපි ගමන් කළෙමු. අධ්‍යාපන තත්ත්වයේ නැග්මත් සමඟ අපගේ රැකියාවන් වඩා දියුණු අඩියකට පත් විය. එයට අමතරව අමතර ආදායම් මාර්ගයක් ද අප ඉදිරියේ විවෘත විය. නිවාස සැළසුම් නිමවීමත්, ඒවාට අදාළ ඇස්තමේන්තු සැකසීමත්, අප හට විවෘත වුනු අමතර ආදායම් මාර්ගයයි. දෙපස සිටින දෙදෙනෙකුට එවන් කාර්යයක් කාර්යක්ශමව කිරීමට අපහසු වුවද එම තත්ත්වයටද මුහුණ දෙමින් අපගේ කාර්යය කරගෙන යාමට අපට හැකිවිය.
ඒ අතරතුර අපගේ ම නිවසක් පිළිබඳ බලාපොරොත්තුවක් ද අප සිත්තුල කෙමෙන් කෙමෙන් පහළවිය. ‘මොන මොන බාධක පැමිණියත්, යම් දිනෙක අප දෙදෙන විවාහයකින් බැඳෙන්නේ අප දෙදෙනාටම නම්, අපගේම නිවසක් පිළිබඳ සිතන්නට අප හට බාධාවක් නොවේ’ යැයි අපි සිතුවෙමු. අනෙක් අතට අපගේම කියා නිවසක් ඇත්නම්, දෙමවිපිය ආශිර්වාදය ගැනීමට එයද උපකාරී වනු ඇතැයි මට සිතිණ. මෙහි දී කිව යුත්තක් ඇත. එනම් මෙම තීරණය අපට සාධාරණ වුවද ලොව සිටින සියලු පෙම්වත් යුවල හට සාධාරණ වේයැයි මම නොකියමි. ඉතාමත් තදබල විශ්වාසයක් මත මිසෙක මෙවන් තීරණයක් නොගත යුතු බව තරයේ පවසමි. එයට හේතුව වියදම් වන මුදල් හා ශ්‍රමය මත ගොඩ නැගෙන නිවෙස පිළිබඳ මිසෙක, යම් ප්‍රශ්නයක් ඇති වුවහොත් එම අලාභානිය ලබා ගන්නේ කෙසේ දැයි සිතමින් මෙවන් කාර්යයකට අත ගැසීම නොකල යුතු බැවිනි. ගෙදරින් ද තදබල ලෙස ප්‍රශ්න ඇතිව තිබූ මොහොතක මා ගන්නා ලද ඒකමතික තීරණය ගැන අද මා දෙමව්පියෝද සතුටු වෙති. එනමුදු යම් කෙනෙකු ගත් එවන් තීරණයක් වැරදී ගියේ නම්,…………………………. උපයා ගත් සියලුම ධනය අහිමිව, රැවටිල්ලට ලක්වීම නිසා උපදින ආත්මානුකම්පාවෙන් වෙලී, ජීවිතයම අඳුරු ආගාධයකට ගිලී යාම නොවැලැක්විය හැකිය. එබැවින් ඔබත් එවන් තීරණාත්මක තීන්දුවකට ඒමට සිටී නම් බොහෝ වාරයක් සිතා බැලිය යුතු බව අවධාරණය කරමි.
2003 වසරේ දී මාගේ උපන් දිනය යෙදී තිබූ දිනයේදී ඔහුගේ මව ( ඈ මාගේ උපන් දිනය පිළිබඳ ව තබා මා පිළිබඳව වත් දැන සිටියේ නැත.) ඔහුට පර්චස් දහයක පමණ ඉඩමක් මිල දී ගෙන දී තිබුණි. මුලදී අප සිතුවේ එහි නිවස සාදන්නටය. එහෙත් ඔප්පුව හරි හැටි නොබැලීම නිසාවෙන්, එය මඩ ඉඩමක් ලෙස වරදවා වටහා ගැනීමෙන්, අපහට එහි නිවසක් තැනීමට බාධා ඇතිවිය. කෙසේ හෝ අවසානයේ තීන්දු වූයේ ඔහුගේ මහ ගෙදර ඉඩමේ නිවස සාදන්නටය.
අනතුරුව එළඹියේ නිවාස සැළසුම සකස් කිරීමේ කාර්යයයි. වෙනත් අයගේ නිවාස සැළසුම් වඩා ඉක්මනින් ලබා දීමට අපට හැකි වුවත් අපගේ නිවසේ සැළසුම නම් එසේ විගස නිමවා ගැනීමට අපට නොහැකි වූයේ ඒ පිළිබඳ අප ඕනෑ ප්‍රමාණයටත් වඩා කල්පනාකාරී වු නිසාවෙන් යැයි සිතමි. කෙසේ හෝ මාසයකට ආසන්න කාලයක් විවිධ වෙනස් කම් කරමින්, අලුත් දේ එක් කරමින්, සමහර දේ ඉවත් කරමින්, සැළසුම සමඟ ඔට්ටු වු අපි අවසානයේ අපගේ පුංචි මාලිගාව ගොඩ නැංවීමට නැකත් සෑදූවෙමු. 2007 වසරේ ජූනි 01 වන දා වැඩ ආරම්භ කිරීමට නැකත් ලැබුණු අතර ඒ වන විට මැයි මස අන්තිම සතිය උදා වි තිබිණ. අප දෙදෙනා සතුව තිබූ මුදල්ද ණය මුදල් මගින් සම්පාදනය කරගත් මුදල් ප්‍රමාණයක් ද මූලික වැඩ කටයුතු කර ගැනීමට අපට උපකාරී විය. ඔහුගේ නිවසින් ද අප හට ලැබුනේ නොමද සහයකි. ඔහුගේ අම්මා අප හට මුදලින් උපකාර වූවාය. අපගේ සේවාස්ථාන වෙතින්ද අප හට උපකාර ලැබිණ.
සමහර අවස්ථාවන් වලදී මාගේ සේවාස්ථානයේ මිතුරන් මා හට විහිළු කලේ, ‘කොල්ලා ගේත් හදාගෙන වෙන මනමාලියෙක් ගෙනෙයිද දන්නේ නැහැ නංගියේ’ කියමිනි. මම එවිට, “අනේ හොඳයි කාට හරි ඉන්න පැලක් හදලා දුන්නා කියලා සතුටු වෙනවා” කියමින් සිනාසෙමි. ඔව්, ඇත්තෙන් ම ඔවුනට එහෙම ඇත්තටම සිතුනා වුවද විය හැක. සමහර මිතුරු වෙසින් සිටියද එසේ නොවන්නෝ එහෙම වෙනතුරු බලා සිටියාද විය හැක. එය ලෝක ස්වභාවයයි. කෙනෙකු අනතුරක වැටෙනතුරු බලා සිට සිනහාසීමට සිටින්නෝ බොහෝය. අප දැන ගත යුත්තේ අනතුරේ නොවැටී සිටින ආකාරයයි. අප අපගේ අනාගතය ගොඩ නගා ගන්නා අතරම ඒ අතරමග ඇති අනතුරු හඳුනාගෙන, ඒවායේ නොවැටී සිටීමටද වගබලා ගත යුතුය. ජීවිතය දිනාගන්නට අවදානම් දරා ගත යුතුබව සැබෑවකි. එනමුදු මුහුණ දෙන අවදාමනේ දිනුම අප වෙත නොවන බව දැනේ නම් වහා එයින් අත්මිදිය යුතුය. එය හදවතට දරා ගත නොහැකි වනු ඇත. එහෙත් එවන් අවස්ථාවන් වලදී බුද්ධියට ඉඩදී, හදවතට නිහඬව ඉන්නට අවධාරණය කල යුතුය. ඉහත ලිපි පෙළින් කියැවුනු, මා ගත් තීරණ හමුවේ මා වෙත කිසිම සැකයක් නොවූ නිසාවෙන් එම තීරණ ගැනීමට මම නොපසුබට වූයෙමි. එනමුදු සුළු හෝ සැකයක් මා වෙත වූයේ නම්, අපගේ සම්බන්ධය යන මාර්ගය දෙස බලා සිටිනවා හැර අනාගතය සකසන්නට මා උත්සහයක්වත් දරන්නේ නැත.
මට සිතෙන හැටියට නම් විවාහය, ආදරය, යනු අපි ජීවිතය පරදු තබා අල්ලන්නා වූ සූදුවකි. සූදුව දිනුවේ නම්, එය ජීවිතාත්තය දක්වා, සමහර විටෙක සසරාන්තය දක්වා දිනුවා වෙයි. එසේ නොවුනහොත් පරදු තැබුවේ ජීවිතය නිසාවෙන් සිදුවන පාඩුව මෙතෙකැයි කිව නොහැකි වනු ඇත. මා සිතනා පරිද්දෙන් අපි දෙදෙනාම එම සූදුව දිනුවෙමු. ඒ සසරාන්තය දක්වාම වේවා ! යන්න අප දෙදෙනාගේ ඒකායන පැතුමයි.
නිවස තවමත් නිමවා ඉවර නැත. එහෙත්, ‘වැස්සෙන්, අව්වෙන්, මුවා වී සිටීමට අපටම කියා පැලක් තිබෙන්නේ’ යැයි සිතීමත් හිතට ගෙන එන්නේ අස්වැසිල්ලකි. සැනසිල්ලකි. අප දෙදෙනා විවාහයෙන් පසුව එක් දිනක්වත් කුළී නිවසකවත්, දෙමව්පියන්ගේ නිවාසවලවත්, සිටියේ නැත. දෙවන දවසේ උත්සවයෙන් පසු අප ආවේ අපේම ගෙදරටය. මේ සියලු කාරණා නිසා, අපි අවිහිංසක ආඩම්බරයක් හිත දරාගත් සාඩම්බර ප්‍රේම වන්තයෝ වෙමු.
Posted in ජීවිතය මේ වගෙයි on 01/05/2010 03:26 am by randil ෙමම ලිපිය ලිවීම අාරම්භ කරන ලද්ෙද් පසුගිය අවුරුද්ෙද්දි වුවත් ෙනාවැලැක්විය හැකි ෙහ්තුවක් නිසා පල කිරීමට අපහසු වූ බව පවසමි. ඒනමුදු ඒය පවසන්ෙන් කණගාටුෙවන් ෙනාෙවයි. හද පිරී ඉතිරි යන සතුටකිනි. මා සමග ෙම් ලිපි ෙපළ ෙබදා හදා ෙසායුරු ෙසායුරියන් අතුරින් කිහිප ෙදෙනකු දැනටමත් ඒ පිළිබද ව දැනුවත් ව සිටින අතර ඒෙස් ලිපිය පළ කිරීමට ෙනාහැකි වූ ෙහ්තුව දැන ගැනීෙමන් ලබැදි ඔබ සැම සතුටට පත්වනු අැතැයි සිතමි. 2009 සැප්තැම්බර් මස 07 වන දින අප ෙදෙදනා අතරට පුංචි කුමාරිකාවක් ඒක් වීම නිසාෙවන් මා නිවාඩු ලබා සිටීම ඒයට ෙහ්තුවයි.
ලියා තිබූ ලිපියම ෙවනසක් ෙනාකර පළ කිරීමට සිතුෙවමි.
ෙමම ලිපි පංතිෙය් අවසාන ලිපිය ද ෙමයම වනු අැත.
අවසානයක් ෙනාමැති අවසානය
අවසාන ලිපිය පළ කිරිමෙන් පස්සේ මාස දෙකකට පසු ලිපියක් පළ කිරීමට අවස්ථාවක් ලදිමි. මෙම ලිපි පෙළ අවසාන නොකිරීමෙන් සිදුවන්නේ මා හට පවසන්නට අවැසි වු සියල්ල පවසා ගැනීමට නොහැකී වීමයි. එම ලිපි ගැන විමසමින් මා හට ඊ මේල් එවූ සහෝදර සහෝදරියන්ගේ ඉල්ලීම් ද නොසලකා හැරීමට මා හට නොහැකිය. එබැවින් අද දින අවසාන ලිපිය ලිවීමට සිතා ගත්තෙමි. (මෙම ලිපිය ලිවීමට මෙතරම් කලක් නොහැකි වූයේ මන්දැයි පැවසීම පසුවට කල් තබමි)
සියලු බාධක මැද පසුගිය වසර උදා විය. ඒ සම්පුර්ණ කාලයම වැය වූයේ නව නිවසේ කටයුතු සඳහාය. නිවස යම්තමින් පදිංචිය සඳහා උචිත පරිදි සකසා ගැනීමට අප සපයා ගත් මුදල් ප්‍රමාණවත් විය. ඒ අතරතුර ඔහුගේ මව විටින් විට පවසා සිටියේ අවසාන තීරණය ගැනීමට දැන් කාලය එළඹ ඇති බවයි. එහෙත් මගේ පාර්ශවයෙන් ඇතිව තිබෙන තත්ත්වය නිසා ඒ පිළිබඳ කථා කරන්නටවත් මම බිය වීමි.
කෙසේ හෝ පසුගිය වසරේ ජූනි මස දිනකදී ඔහු නිවසේ නැති අවස්ථාවක් බලා ඔහුගේ මල්ලී මා හට ඇමතුමක් දී ඔවුන්ගේ අම්මාට මා සමඟ කථා කිරීමට අවශ්‍ය බව පැවසුවේය. ඒ අම්මා දුරකථනය අපේ අම්මාට දෙන මෙන් ඉල්ලා සිටි අතර බොහෝ වේලාවක් අදි මදි කරමින් සිට ඇගේ ඉල්ලීම ඉටු කළෙමි.
වසර 6ක් පුරාවට තිබුනු උභතෝකෝටික ප්‍රශ්නය ලස්සනට විසඳුන හැටි!
අපේ අම්මා ඇය සමග සුහදව කථා කළාය. ඉන් අනතුරුව සිදු වූ සිද්ධිදාමය පසු වූ වසර 6 පුරාවට ම අප දෙදෙනා දුටු සිහිනය ඉටු කරලන්නක් විය. සියල්ල ඉතාමත් සුභදායක ෙලස සිදුවිය. හරියටම වසර 6ක් පුරාවට අවසානය තීරණය කරගත ෙනාහැකිව විකාශය වූ ෙටලිනාට්‍යයක් ඒක් වරම අධ්‍යක්ෂවරයා විසින් සුඛාන්තයක් කරා ෙගන අාවක් වැනි විය. අදටත් හිතාගත ෙනාහැකි ෙලස අප දෙදෙනාට ඒක් වීමට වරම් උදාවිය. බුද්ධ ධර්මය ෙකෙරහිත් ෙදවියන් ෙකෙරහිත් තිෙබන්නා වූ විශ්වාසය අප හට පිහිට වූ බව තරෙය් විශ්වාස කරමු. 2008 .ෙදසැම්බර් මස 05 වන දින සවසක යුද්ධයක් ඒෙලසින් නිමා විය.
HAPPILY LIVED EVER AFTER !!!!!!!!!!!!!!!!!!!!!!!!

