Monday, July 26, 2010

63. "පියා මැරෙයි, මව මැරෙයි, පුතා මැරෙයි, දුව මැරෙයි. ඉතිං අසුභ නැද්ද?"

‍මේ කථාව සමහර දෙනෙක් මීට පෙර අහලා ඇති. මේ මං කලකට පෙර කියැවූ පොතක තිබුණු කථාවක්.

ජපානය, චීනය වැනි රටවල් වල ප්‍රචලිත වූ සෙන් බුදු දහම නමින් හඳුන්වන බුද්ධ ධර්මයේම කොටසක් තිබේ. ඒ බුදු දහම පිළිබඳ විස්තර ලියන්නට තරම් කරුනු මා සතුව නැතත් සෙන් කථා අඩංගු වූ කථා පොතක තිබූ මේ කථාව ඔබ හමුවේ තබන්නට සිතුවේ එය අප සැමට සිතන්නට යමක් එක් කරනා බැවිනි.

(මාගේ මතකයට අනුව ඒ කථාව)

දිනක් එක් ගෘහ පතියෙකු සෙන් ස්වාමින් වහන්සේ නමක් හමු වීමට ගියේය. ඒ ගියේ අභිනවයෙන් ඉදිවන තම නිවසේ ඉදිරි පස ප්‍රධාන දොරටුවේ ප්‍රදර්ශනය කර තැබීමට වාක්‍යය කණ්ඩයක් සටහන් කර දෙන මෙන් ඉල්ලා සිටීමටයි. ආගිය තොරතුරු කථාකිරීමෙන් සහ සිය උවමනාව පැවසීමෙන් පසු,

ස්වාමීන් වහන්සේ, "දැන් මහත්තයාගේ ගෙදර කවුද ඉන්නවා කිව්වේ? "

දායකයා, "මමයි පවුලයි පුතයි දුවයි හමුදුරුවනේ"

ස්වාමීන් වහන්සේ, "හොඳයි. එහෙනම් මෙන්න. මේක ගිහින් එල්ල ගන්න"

ස්වාමීන් වහන්සේට වැඳ නමස්කාර කිරීමෙන් අනතුරුව එය අතට ගෙන කියැවූ දායකයාගේ ඇස් උඩ ගියේය.

"අනේ හාමුදුරුවනේ, මේ මොකද්ද මේ? මෙහෙම අසුභ දේවල් ගෙදරක එල්ලන්න පුළුවන්ද?" දායකයා කලබලව ඇසුවේය.

"ඇයි මහත්තයා එහෙම අහන්නේ? මොකද්ද ඔය වාක්‍යයේ තියෙන අසුභ කම?" ස්වාමීන් වහන්සේ සන්සුන්ව ඇසුවේය.

"පියා මැරෙයි, මව මැරෙයි, පුතා මැරෙයි, දුව මැරෙයි. ඉතිං අසුභ නැද්ද?" දායකයා ලියැවිල්ල ඇඟිලි තුඩින් අල්ලාගෙන ඇසුවේය.

"මහත්තයා. අපි කවුරුත් හැමදාම මේ ලෝකේ රඳන්නේ නැහැ. මැරෙන එක නියතයි. ඒ නියතය නියම පිළිවෙලට නොවුනාම ගැටළු ඇති වෙනවා. දුව මැරෙයි, පුතා මැරෙයි, මව මැරෙයි, පියා මැරෙයි කියලා ලිව්වා නම් තමයි අසුභ. දැන් මා ලියා දුන්නේ වෙන්න තියෙන දෙයක් විය යුතු පිළිවෙලයි. මා නිවැරදියි නේද මහත්තයා?"

යථාර්තය වටහා ගත් ගෘහ පතියා නැවත වරක් ස්වාමීන්වහන්සේට නමස්කාර කොට පිටව ගියේය.

මම අද මේ කථාව කියන්නට හේතු වුනු කාරණාව දැන් සමහර දෙනෙකුට වැටහෙනවා ඇති. ගිය සතියේ කියැවු එක් බ්ලොග් ලිපියක් නිසා මට මේ කථාව නැවත වරක් සිහිවුනත් කොමෙන්ටුවක් දමන්නට ඒ මොහොතේ මා හට කාලය හරස් විය. ඒ ගැන දුක් වෙමි. ඒ ලිපිය අවසන් කොට තිබුනේ මෙසේය.

'අපේ ගෙදර ඉස්සෙල්ලාම නැති වුණේ අම්ම. අම්ම තාත්තට වැඩිය වැඩිමල්. ඊළඟට තාත්ත ගියා. පොතේ හැටියට ඊළඟට යන්න තියෙනෙ මට. ඉතින් මගෙ වාරෙ එනකම් ඊළඟ වාරෙ මගෙ කියල මතක් වෙන්නත් එක්ක මිනී මල් වැවුවහම මක් වෙනවද ?'

ඔව්. ඒ අපේ කුමුදු සර්ගේ අවසාන ලිපියේ අවසාන වදන් පෙළයි. මේ පුද්ගලයා මා කවරදාවත් දැකපු කෙනෙක් නොවෙයි. ඒත් කටපුරා සර් කියන්න පුළුවන් කෙනෙක් බව මට විශ්වාසයි. එතුමාගේ හැම ලිපියම වාගේ (තාක්ශණික ලිපි හැර) මම කියවා ඇත්තෙමි. ජීවිතයට පාඩම් කියන්නේ අන්න ඒ වගේ ලිපි වලට බව මම විශ්වාස කරමි. තම තම නැණ පමණින් නමැති එතුමාගේ බ්ලොග් අඩවියට තවම මාස 4 පිරීවත් නැත. එසේ සපිරෙන්නට හරියටම දින 10ක් තිබිය එතුමා සිය අවසන් ලිපි දෙක අප වෙත දුන්නේය. ඒ මාස කිහිපය තුල කඩිමුඩියේ සිය දැනුම (සමහර දිනවල ලිපි 3ක් 4ක් ගානේ) බෙදන්නට වුයේ මේ අවසානය දැනගෙනමදැයි මට සිතේ.

ජීවිතයේ බට්ටා පැනීම

මිනීමල් හා මරණයට ඇති බිය

මේ ලිපි පිළිබඳ හෝ එතුමාගේ වියත් භාවය පිළිබඳව නොලියමි. ඒවා කියැවීම අවැසි අයට ඉතිරි කරමි. නමුත් එතුමාගේ අඩුව පිරවීමට සමත් තවත් බ්ලොග් අඩවියක් නම් මා මතකයට නොයේ.

කුමුදු පින්තු නම් වූ ඇදුරාණෙනි, ඔබේ පැතුම් ඉටු වේවා !!!!!!!!!!


9 comments:

  1. මේ ආරන්චිය ඔබ මට උදෑසන දුන් මොහොතේ සිටම මට තවමත් හිත එක්තන් කරගෙන කිසිවක් කිරීමට බැරි උනා.කවදාවත් ඇසින් නොදුටුවත් ඔහුගේ පරිණත බව ඔහුගෙ බ්ලොග් අඩවිය තුලින් දැනගෙන ඔහු ගැන හිතේ ඇති කරගත් ගෞරවය පැහදීම සමග මේ හදිසි වියෝ වීම අපි කාටත් තදින් දැනෙනවා නේද?
    ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  2. දවස් තුන හතරකට පෙර මිනී මල් ගැන වූ ලිපියේ ලියැවුනු දේ ඒ ආකාරයටම සිදුවීම නම් දරාගන්න බෑ...එතුමාට ඒ ගැන දැනුනාවත්දෝ කියලත් හිතෙනවා.....ඒත් මොනවා කරන්නද යථාර්තය නෙව..:(...එතුමාට නිවන් සුව පතමි.!!....

    ReplyDelete
  3. මිනිස්සුන්ට තමන්ගේ මරණය දැනෙනවා කියල මම අහල තියනවා. ඒක ඇත්ත කියල ‍ඔය කියන ලිපිය බැලුවාම මටත් හිතුනා. ඔහුට කියන්න බැරිවුන දේ කියන්න නැවත අප අතරට එන්න ලැබේවා කියා අපි පතමු. අවසානයේ යහපත් දේ සමාජයට දී නිවන් සුව ලැබේවායි පතමු.

    ReplyDelete
  4. ඒක ඇත්ත සමහර දවස්වලට අපිට කියවන්නත් බැරි විදියට ලිපි දෙක තුනටත් වඩා පෝස්ට් කලා. මමත් ගොඩක් කැමැත්තෙන් කියවපු බ්ලොග් එකක්. පුද්ගලිකව දන්නෙ නැති වුණත් ඔහු ගුරුවරයෙක් බව තේරුම් ගියා වගේම යහපත් මිනිසෙක් ලෙස තේරුම් ගියා.
    එබැවින් මරණය ඔහුට අලුත් නවාතැනක් ලබාදෙයි.

    ReplyDelete
  5. ඔහු නැවැත් වු තැනින් අපි පටන් ගමු............!

    ReplyDelete
  6. ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමි

    ReplyDelete
  7. ඔහුට නිවන් සුව ලැබේවා....

    ReplyDelete
  8. ජීවිතය ජීවිතය ජීවිතය ජීවිතය

    ReplyDelete
  9. පුදුම හිතෙන කථාවක්!

    මම වැඩිය දැනගෙන හිටියෙ නෑ ඔහුව.... එහෙම ඉක්මනින් නිවන් යන්නට ප්‍රාර්ථනා නොකර තව තවත් අප අතර ඉපිද තව තවත් දැනුම දානය කර අවසානයේ පැතූ බෝධියකින් නිවන් මග පසක් කර ගනිත්වා! යි පතමි.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...