Friday, December 3, 2010

68. අපේ ආණ්ඩුව (රටේ ආණ්ඩුව නොවෙයි)



අපිට ආණ්ඩුවක් තිබේ. එය හරිම සිත්ගන්නා සුළුය. ඒ මන්ද යත්,

ජනාධිපති,
අගමැති,
කැබිනට් ඇමතිවරු,
කැබිනට් නොවන ඇමතිවරු,
විපක්ෂ නායක,
විපක්ෂයේ මන්ත්‍රීවරු,
සංස්ථා හා දෙපාර්තමේන්තු සභාපතිවරු හා ප්‍රධානින්,
අමාත්‍යාංශ ලේකම්වරු,
ආදී වූ සියලුම ධූරයන් පමණක් නොව පොදු මහජනතාවගෙන් අතිමහත්වූ බහුතරය
ද නියෝජනය කරනුයේ එක්
ස්ත්‍රියාවකුත් එක් පුරුෂයකුත් විසිනි.

ප්‍රධාන වශයෙන් ගත් කල,
ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශයත්, වෙළඳ කටයුතු අමාත්‍යාංශයත්, ක්‍රීඩා හා විනෝදාස්වාද කටයුතු අමාත්‍යාංශයත්, ගෘහ නිර්මාණ හා ගෙවතු නිර්මාණ අමාත්‍යාංශයත්,
ඇමතිතුමාට සින්නක්කරවම ලබා දී ඇත. එහෙත් ඔහු සිතන්නේ ඔහු
කාර්යය භාරයක් නොමැති ඇමති කෙනෙකු ලෙසිනි. නිශ්චිත කාර්යය භාරයක් නොමැති විට අනේක විධ අමාත්‍යාංශවල කටයුතු වලට ඇඟිලි ගැසීමට සිදුවීම එයට හේතුවයි.

එලෙසම ඇමතිනියටද සිතෙන්නේ තමන්ද
කාර්යය භාරයක් නොමැති ඇමති කෙනෙකු ලෙසිනි. එයටද හේතුව පූර්වයේ සඳහන් කරන්නට යෙදුනු කාරණයයි. එනමුදු ප්‍රධාන වශයෙන් ගත් කල ඇයටද සින්නක්කරව ලියා දුන් අමාත්‍යාංශ කිහිපයක් ඇත.

ගෘහ පිරිසිදු කරණය හා ගෘහ පාලන අමාත්‍යාංශය, වෘක්ෂලතා රෝපණ හා වන සංවර්ධන අමාත්‍යාංශය, ආහාර ද්‍රව්‍ය සැලසුම් හා සැකසුම්කරණ අමාත්‍යාංශය,
අසල්වැසි රාජ්‍යය සමග සුහදතාව හා අන්න්‍යොන්්‍ය විශ්වාසය පවත්වා ගැනීම සඳහා වූ අමාත්‍යාංශය
ඒවා අතුරින් ප්‍රධාන වෙයි.

මෙම ආණ්ඩුව පිහිටුවන්නට පෙරම අමැතිතුමා විසින් සම්පාදනය කරගන්නට යෙදුනු රෙදිපිළි නැවත සැකසුම් යන්ත්‍රය ඇමතිනියට හරියාකාරව ක්‍රියා කරගන්නට නොහැකි නිසාවෙන්, (ඇත්තටම, නොහැකි සේ සිටින නිසාවෙන්)
පේෂ කර්මාන්ත අමාත්‍යාංශය නමින් නම් කෙරුනු එම අමාත්‍යාංශයද ඔහුට ම හිමිවී ඇත. ඒ අනුව ඇමතිතුමාට දිනපතාම එහි කටයුතු වල නිරත වන්නට සිදුවී ඇති අතර මෙයට අමතරව එම යන්ත්‍රය මගින් නැවත සකසන රෙදි පිළි ඇඟළුම් බවට පත් කර රත්කරන ලද යන්ත්‍රයෙන් කරන අවසන් නිමැවුම සිදුකිරීමේ කාර්යය භාරයද මෙම අමාත්‍යාංශයට ම අනුබද්ධව ඇත.

මේ අතර ඇමතිතුමා විසින් ආණ්ඩුව පිහිටුවන්නට පෙර සිටම ඇමතිකම් දැරු
කුමන අභයභුමි සංවර්ධන අමාත්‍යාංශයත්, මින්මැදුරු සංවර්ධන හා ජලජීවී අභිජනනය පිළිබඳ වූ අමාත්‍යාංශයත් පෙර පරිදිම ඔහු භාරයේ තබාගෙන තිබේ.

එම අමාත්‍යාංශයේ කටයුතු නිසා අනෙකුත් අමාත්‍යාශයන්හී කටයුතු වලට බාධා හා අවහිරතා ඇතිවන විට, එනම්
ප්‍රවාහන හා සංචාරක කටයුතු අමාත්‍යාංශයේ කටයුතු ප්‍රමාදවී පාර්ලිමේන්තුවෙන් පිටවන වේලාව එහෙ මෙහෙ වන විට ඇමතිතුමිය විරුද්ධ පක්ෂයේ අසුන්ගෙන් සුරුස් බුරුස් ගාමින් නියම විරුද්ධ පක්ෂ නායකයකුගේ ලක්ෂණ විදහා පෑම ආරම්භ කරනා බව අසල්වැසි රාජ්‍යයේ රටවැසියන් වන ඇමතිතුමාගේ පාර්ශවයේ පිරිසද අත්දැකීමෙන් දන්නා කරුණකි. මෙවන් විට අසල්වැසි රාජ්‍යයේ අගමැතිතුමියද මෙම රාජ්‍යයේ ඇමැතිතුමියට සහයෝගය පිණිස පැමිණ, මින්මැදුරු සංවර්ධනය මුවාවෙන් ජල හා විදුලිය අනිසිලෙස පරිභෝජනය කිරීමේ දෝෂ අප ඇමතිතුමා මත දමමින් හරි හරියට කරුණු දක්වනු ලබන අතර මෙම මින්මැදුරු සංවර්ධන අමාත්‍යාංශයත්, කුමන අභයභූමි සංවර්ධන අමාත්‍යාංශයත් එදා සිටම වියදම් මිස ලාභ නොලබන අමාත්‍යාංශ නිසාවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමිය යුතු බවට කරුණ එකින් එක ගෙනහැර පායි. එවිට එම සංවර්ධන කටයුතු විගස නිමවා ප්‍රවාහන හා සංචාරක කටයුතු අමාත්‍යාංශයේ යතුර අතට ගන්නා ඇමතිතුමා මෙරට පැංචිතුමිය අසල්වැසි රාජ්‍යයේ අගමැතිතුමිගේ අතමත තබා, ඇමතිතුමියද ගෙන පිටවයයි.

මෙයට අමතරව
ආහාර ද්‍රව්‍ය සැලසුම් හා සැකසුම්කරණ අමාත්‍යාංශයේ කටයුතු හී ඇමතිතුමිය නිරතව සිටිනා අවස්ථාවන්හී පොදුමහජනතාවගෙන් සුළුතරය වූ පැංචිතුමිය විරුද්ධත්වය ප්‍රකාශ කරමින් උද්ඝෝෂණ කරන්නට යෙදුනහොත් වහා ක්‍රියාත්මක වන ඇමතිතුමා කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශයේ වැඩකටයුතු සියතට ගෙන, ඉල්ලීම් වලට කන්දෙමින්, කියන කියන දේ කරමින් මහජනතාවගේ සිතසුව පිණිස කටයුතු ආරම්භ කරයි. මෙය අප ඇමතිතුමියට සිය කටයුතු නිසියාකාරව කරගෙන යාමට අතිමහත් රුකුලකි.‍ එසේ නොවුනා නම්, ඇමති මණ්ඩලය ම බඩගින්නේය.

තවද මේ ආකාරයටම අවස්ථානූකූලව අමාත්‍යාංශයන් හී කටයුතු හවුලේ බෙදා හදාගෙන පරිපාලනය කරන්නට සිදුවන අවස්ථා එමට තිබේ. උදාහරණයක් හැටියට,
වෘක්ෂලතා රෝපණ හා වන සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ කටයුතු සඳහා ඇමතිතුමා සියලුම දේවල් අතමානයේ තබන නිසාවෙන් ඇමතිතුමියට පනුවන් සිටින පස් ගෙන පෝච්චිවලට දැමීම නම්වූ මහා භායනක, අතිභාරදූර කාර්යයේවත් යෙදීමට සිදුවන්නේ නැත. එනමුදු ඇමතිතුමිය වීරවරියක ලෙසින් මෙම අමාත්‍යාංශයේ කටයුතු ඇයගේ විනෝදාංශ ලෙසින් පවසමින් ඇමතිතුමා විසින් ම ඡායාරූපයට නගන ලද පිංතූර අන්තර්ජාලයේ පල කරයි. අප ඇමතිතුමාගේ නිහතමානී, නිරහංකාර ගුණය නිසාවෙන් ඇමතිතුමියගේ මෙම ගුණය අන්තර්ජාල වාසීන් දන්නේ නැත.

අප ඇමතිතුමා මෙම ආණ්ඩුව පිහිටුවන්නට පෙර සිටම ඇමතිකම් දැරූ තවත් අමාත්‍යාංශයක් වශයෙන්,
ක්‍රීඩා හා විනෝදාස්වාද කටයුතු අමාත්‍යාංශය හඳුන්වාදිය හැකි වුවද පසුව ලද අනේක විධ අමාත්‍යාංශ ගණනාව හේතුවෙන් එම අමාත්‍යාංශයේ කටයුතු බාලගිරි දෝෂයට ලක්ව ඇමතිතුමාගේ උදරය මදින් මද එළියට නෙරා එමින් පවතින බවක් පෙන්නුම් කරයි. ඒ කෙසේ වුවද මසකට වරක් දෙවරක් ඉරු දින සන්ධ්‍යා කාලයේ දී විනෝද උද්‍යාන බලා සිදු කෙරෙන කෙටි නිල සංචාර වලදී පැංචිතුමියත් ඇමතිතුමියත්, පැංචිතුමිය කැමති ආකාරයේ කටයුතු ඉෂ්ට සිද්ධ කරමින් ඉන්නා අතර එක්දින ක්‍රිකට් සංචාර සඳහා පැමිණි වයස 13 පහළ පමණ වන ක්‍රීඩකයන් හට කකුල් කඩිත්තුව හැදෙන තුරු දුවමින් පන්දු සෙවීමට කටයුතු සැලැස්වීම අප ඇමතිතුමා ඉතාමත් සතුටින් නිරතවන කටයුත්තකි. මෙහි අතුරුඵලයක් ලෙස අනතුරුව එළඹෙන සතිය තුල පාර්ලිමේන්තු කටයුතු අතරවාරයේ සභා කටයුතු මදකට නවතා විවිධ බාම් වර්ග ගාමින් ඇමතිතුමාගේ ඇදුනු අතපය යලි යථා තත්ත්යට ගැනීමේ කටයුතු වල යෙදීමට ද අප ඇමැතිතුමියට සිදුවෙයි.

තවද පැංචිතුමිය මෙරට පදිංචියට ඒමට පෙර
සිනමා ශාලා සංවර්ධනය කෙරෙමින්ද, නොයෙකුත් දේශීය නිල සංචාර සංවිධානය කෙරෙමින් ද, යහමින් කටයුතු සිද්ධ වුනු විනෝදාස්වාද දෙපාර්තමේන්තුව යළි නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන ‍මේ දිනවල ඇමති මණ්ඩලය සාකච්ඡා කරමින් සිටින අතර ඒ සඳහා ඇරඹුමක් වශයෙන් එළඹෙන ඉරුදින මහනුවර ප්‍රදේශය බලා නිල සංචාරයක් සඳහා පිටත්වීමට අවශ්‍ය විධිවිධාන සිදු කෙරෙමින් පවති.

නුදුරු දිනෙකදී
අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටවූ පසුව අනෙකුත් සියලුම අමාත්‍යාශ වල කටයුතු වලට වඩා එම අමාත්‍යාංශයේ කටයුතු මූලික තන්හී තබා කටයුතු කිරීමට අප ඇමති මණ්ඩලය දැන් සිටම තීරණය කොට ඇත. අනෙකුත් අමාත්‍යාංශ කොතෙක් දුරට සාර්ථක වුවද අධ්‍යාපන අමාත්‍යාංශයේ සාර්ථකත්වය තරම් ඒවා නොවටිනා බව අප ඇමති මණ්ඩ‍ලයේ අදහසයි. මේ දිනවල එම අමාත්‍යාංශයේ කටයුතු සඳහා පෙරහුරුද පැවැත්වෙයි. තවද එම අමාත්‍යාංශය පිහිටු වීමේ මුල් ගල් තැබීමට මත්තෙන් තව එක් සිසුවෙක් බඳවා ගැනීමට මේ දිනවල නිල නොවන මට්ටමෙන් සාකච්ඡා පැවැත්වේ. කෙසේ වුවද ඒ පිළිබඳ කටයුතු යථා කාලයේ ථතා අයුරින් සිදුවනු ඇත.

අසල්වැසි රාජ්‍යය සමග සුහදතාව හා අන්න්‍යොන්‍ය විශ්වාසය පවත්වා ගැනීම සඳහා වූ අමාත්‍යාංශයේ කටයුතු මේ වනතුරුත් ඇමතිතුමිය යහපත් අයුරින් පවත්වාගෙන යන බව ඇමතිතුමාගේ අදහසයි. ඒත් කොයි මොහොතේ හෝ නොමනා දෙයක් සිදුවේදැයි එතුමා පරීක්ෂාවෙන් පසුවන්නේ, චිරාත් කාලයක් ති‍ස්සේ මෙවන් වූ අසල්වැසි රාජ්‍ය අතර උන්හිටි අඩියේ යුධමය වාතාවරණ ඇතිවීමේ ප්‍රවණතාවක් අප රටේ ඇති බැවිනි.

අප ඇමතිතුමියද ඒ පිළිබඳ ව සිය අවධානය නිරතුරුවම රඳවාගෙන සිටියි.
දෙරට අතර සුහදතාව වර්ධනය කරගනු වස් ඇය විසින් විවිධ ක්‍රියාමාර්ග විටින් විට අනුගමනය කරයි. එරට විශේෂ උත්සව දිනයන් මනාව සිහියේ තබාගෙන සිට, අවැසි ආකාරයෙත්, මෙරටින් ඒ සඳහා වෙන්කල හැකි ප්‍රතිපාදන ප්‍රමාණයේ හැටියටත් ගැලපෙන ත්‍යාග ගෙන එරට සංචාරයකට පිටත්වීම, එරට උප ඇමතිනියට විටින් විට අවැසි වෙන යම් යම් දේවල් ප්‍රදානය කිරීම, එරට අගමැතිතුමිය සමග සැඳෑ කාල වලදී සුහද සාකච්ඡා වල නිරත වීම ආදී වූ එකී‍ නොකී කටයතු වල යෙදෙමින් දෙරට අතර සුහදතාව වර්ධනය කර ගැනීමට අප ඇමැතිතුමිය ගන්නා උත්සහය ඇමතිතුමාගේ හිසේ මල් දහසක් පුබුදුවන සුළුය.

රත්තරං වළලු දාපු අත්දෙකකින් කෑම වේල ලබන්නට පිරිමි උදවිය මනාප බැවින් කෑම ලබාදෙන අතට රත්තරං වළලු දමන්නට ඇමතිතුමාට සිතුනා විය හැකිය. එබැවින්දෝ ඇමති මණ්ඩලය වෙත තුන් වේල නිමවා දෙන අප ඇමති තුමියගේ අතට එළඹෙන සතිය තුල රන් වළලු දෙකක් දැමීමට ඇමතිතුමා කටයුතු සිද්ධ කරමින් සිටින බවට නිල නොලත් ආරංචි මාර්ග මගින් ඇමතිතුමියගේ සවනට පතිත වීම හේතු කොට ගෙන ඇයද පසුවන්නේ ඉහේ පිපිණු මල් දහසක් දරාගෙනය.

මෙම ලිපිය සකසාගෙන යන මේ මොහොතේදී ඇත්තටම අප ඇමතිතුමියට හිතෙන්නේ ඇමතිතුමා
කාර්යය භාරයක් නොමැති ඇමති කෙනෙක් ය යන්න සත්‍යයක් බවයි. එලෙසම ඇමතිතුමියද කාර්යය භාරයක් නොමැති ඇමතිනියක් බවද ඇයට මෙහිදී මොනවට වැටහීගෙන එයි. එනම් මෙවන් ආණ්ඩු පවත්වාගෙන යනවිට එලෙස නිශ්චිත කාර්යය භාරයක් පමණක් භාරයට ගෙන ‘මේක මගේ, අරක ඔයාගේ’ කියමින් කටයුතු පැහැර හැරිය නොහැකි බවයි. හේතුව සියලුම අමාත්‍යාංශ වල කටයුතු කරගැනීමට තිබෙන්නේ දෙදෙනෙකුගෙන් සමන්විත ඇමති මණ්ඩලයක් බැවිනි. එම ඇමති මණ්ඩලයේ සාර්ථකත්වය මත පොදු මහජනතාව වු පැංචිතුමි ලාගේ අනාගත දිදුලීම අනුලෝමව සමානුපාතික වන නිසාවෙන් ඇමති මණ්ඩලය නිරතුරුවම සක්‍රීයව පැවතිය යුතුව ඇත. කොටින්ම පංගු පේරුවෙන් මේ ආණ්ඩුව සාර්ථකව පවත්වාගෙන යා නොහැකිය.

ඇමති මණ්ඩලයේ දෝෂ නිසා එක් ඇමති කෙනෙකු තනි කැමැත්තට, අනෙකා ඉවත් කර හෝ නොකර වෙනත් ඇමතිවරියක හෝ ඇමතිවරයකු බඳවාගෙන පොදු මහජනතාව අගාධයට හෙලූ අවස්ථාවන් ලොව කොතෙකුත් තිබේ.

එසේ අවාසනාවන්ත සිද්ධීන් වලට මුහුණ නොදී, සියලු ම කටයුතු යහපත් අයුරින් ඉෂ්ට සිද්ධ කරගන්නට නම්, එකා මෙන් එකමුතුව සකසුරුවමෙන් ආදරණීයව කටයුතු කලයුතු බව
අපි නම් වූ ඇමති මණ්ඩලය හැමදාම සිහි කරන්නෙමු.

අපට ජය වේවා !!!

වර්ෂ 2002 ක්වූ නොවැම්බර් මස 2 වන සෙනසුරාදා එළඹෙන්නට යෙදුන අවබෝධතා ගිවිසුමට එල්ල වූ නොයෙකුත් බාධක හිරිහැර කම්කටොළු මැද, එම ගිවිසුමට හානියක් නොවන ලෙස පවත්වාගෙන ආ අප, වර්ෂ 2008 ක් වූ දෙසැම්බර් මස 5 වන සිකුරාදා නිත්‍යානුකූලව පිහිටුවන්නට යෙදුනු අප ආණ්ඩුවේ දෙවර්ෂ පූර්ණය මෙම මස 5 වන ඉරු දිනට යෙදෙන අතර අද දින එදා මෙන්ම දෙසැම්බර් මාසයේ පළවෙනි සිකුරාදාව නිසාවෙන් මෙම ලිපිය මෙසේ පළ කරන්නට යෙදුනෙමි.


අවබෝධතා ගිවිසුම් සමය

පාර්ලිමේන්තුව නිල වශයෙන් පිහිටුවීම


පැංචිතුමියගේ ආගමනයට පෙර සූදානම
(මහනුවර නිල සංචාරය - 05/07/2009)


පැංචිතුමියගේ ආගමනය


වර්තමාන පාර්ලිමේන්තුවේ ගණ පූර්ණය

41 comments:

  1. ලස්සනට ලියල තියනව.මමත් තව අවුරුද්දකින් හමාරකින් පාර්ලිෙම්න්තු වාර්තාවක් ඉදිරිපත් කරන්නම්ෙකා

    ReplyDelete
  2. ෂැක් නියම පාර්ලිමේනතුවක් නේ... මෙහේ මහ එක වගේම තමා ඉතිං...

    කරන වැඩකුත් නෑ නොකරපු දේකුත් නෑ...

    මොනවා වුනත් සුභපැතුම්...!!

    ReplyDelete
  3. මම කාලෙකින් මෙ පැත්තෙ ආවෙ.. අක්කාට ඔක්කොම පින්තුර අමතක වෙන්නෙ නැති වුණාට. මට මෙතන එක පින්තුරයක් අමතක වෙන්නෙ නැහැ.. එක බස් එකෙදිත් අක්කව මතක් වෙන්නෙ එ පින්තුරයෙන්. ඔතන උඩ තියනවා.

    පාර්ලිමෙන්තුවට මගෙන් සුභ පැතුම්. වාර්තාවත් හරිම සතුටුජනක විදියට ලියලා තියනවා.

    ReplyDelete
  4. නියමෙට ලියලා තියෙනවා... සාර්ථක ආණ්ඩුවක් පවත්වාගෙන යාමට හැකිවේවා... සුභපැතුම්.

    ReplyDelete
  5. ආණ්ඩුවට ජය වේවා!

    ReplyDelete
  6. මරු ලිපිය.

    අපි නම් තාම ආණ්ඩු පිහිටෙව්වා විතරයි.

    සුබපැතුම් අක්කේ. ජයෙන් ජයම වේවා ඔබ දෙපළට.

    ආණ්ඩු පිහිටුවන්න කලින් මනාප පොරය එහෙම තදට තියෙන්න ඇති නේද :)

    ReplyDelete
  7. සුබ පෑතුම් සහෝ ජය ඔබට

    ReplyDelete
  8. මේ ආණ්ඩුවෙ වැඩේ නම් ඇමතිනිය බොහොම හොඳට ගෙනියන බව පේනවා, වඩාත් සාර්ථක වෙන්ඩ පොඩි උපදෙස් කීපයක් මගෙනුත්,

    මුලින්ම මම දැක්ක අඩුපාඩුවක් තමයි යමහල් විදාරණ කටයුතු පිලිබඳව අමාත්‍යාංශයක් පිහිටවල නැති එක, මේ වැඩේ තවත් සාර්ථකව ගෙනියන්ඩ නම් වහාම කිරියාත්මක වන පරිදි එම අමාත්‍යාංශය පිහිටුවා එය සදාකාලිකව ඇමතිනිය යටතට පත් කර ගැනීම කරන්ඩ ඕනෙ,

    අනිත් කාරණේ අසල්වැසි රාජ්‍යයන් සමග සබඳතා, සුහද සබඳතා පවත්වා ගත්තට කමක් නැහැ, හැබැයි ඉඳහිටල වත් ඒ පැත්තට පොඩි මිසයිල් ප්‍රහාරයක් දෙකක් එල්ල කලාට වරදක් නැහැ, එතකොට තමයි අසල්වැසි අගමැතිනිය උනත් ටිකක් හෙල්ලිලා ඉන්නෙ, නැත්නම් මේ වැඩේ ගෙනියන්ඩ අමාරුයි,

    තව පොඩි පැහැදිලි කිරීමකුත් මම බලාපොරොත්තුවෙනව අපේ ඇමතිනියගෙන්, දැං මේ රටේ ඉන්නෙ ඇමති තුමා සහ ඇමතිනිය විතරක් නම් අල්ලපු රටට අගමැතිනියක් ඉන්නෙ කොහොමද?

    හරි, මොනව උනත් කමක් නැහැ,අපේ ඇමතිනියට නුදුරු අනාගතයේම,අගමැතිනිය වීමට හේතු වාසනා වේවා කියල මම හද පතුලෙන්ම ප්‍රාර්ථනා කරනවා,

    ReplyDelete
  9. හංස කිකිණියගේ පාර්ලිමේන්තු වාර්තාව සතුටින් සපිරුනු, හදපිරි සතුටින් කියවන්න පුළුවන් වාර්තාවක් වේවා !!! කියලා ප්‍රාර්ථනා කරමි

    ReplyDelete
  10. ඈ, සෝරෝ, අනිත් පාර්ලිමේන්තු මං දන්නේ නැහැ, කොහොමෙයි ඔයා කියන්නේ කරපු දෙයක් නැහැ කියලා, ;D

    ReplyDelete
  11. රවා මලේ මං දන්නවා ඔය කියන පිංතූරේ, මල්ලි මට ෆේස් බුක් හීත් ඔය පිංතූරේට වටිනා කොමෙන්ටුවක් ලිව්වානේ, ඒ පිංතූරේ අපේ පැංචිතුමිය‍ගේ ආගමනය වී පැය 1 1/2ක් ඇතුලත ගත්ත එකක්. ස්තුතියි මලේ...

    ReplyDelete
  12. ස්තුතියි සුභ පැතුමට බොට්ටා, මං හිතන්නේ මේ පැත්තේ ආපු පළවෙනි වතාව නේද?

    ReplyDelete
  13. අනුරාධ මල්ලී ඉක්මනට ඔයාටත් පාර්ලිමේන්තුවක් පිහිටුවන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  14. ආ අළුත් මනමාලයාට සුභ පැතුම් ආයෙත් එකතු කරමි.

    රේවන්, ඇත්තටම පාර්ලිමේන්තුව පිහිටුවන්න කලින් නෙමෙයි, අවබෝධතා ගිවිසුමට එළඹෙන්න කලින් තමා මනාප පොරය තිබුනේ. ;D

    ReplyDelete
  15. ඉලංදාරියා සුභ පතලා තියෙන්නේ අපේ ඇමතිතුමාට විතරද මන්දා. ;D

    ReplyDelete
  16. අපි නං ඔය දේශපාලනේ කරන්නේ නැත්තේ ඒකනේ රන්දිල්.

    ReplyDelete
  17. @ රවී,

    ඒකත් හැබෑව, හැබැයි මේ හැම අමාත්‍යාංශයක් යටතේම යමහල් විදාරණය පිළිබඳ වෙනම දේපාර්තමේන්තුවක් පිහිටුවලා තියෙනවා. වෙනම අමාත්‍යාංශයක් පිහිටුවන තැනට කටයුතු සිදු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ඒ කථාවත් හැබෑව, ඒත් ඔය මිසයිල ප්‍රහාර වලට ගිහින් අසල්වැසි රාජ්‍යයේ අගමැතිනිය හෙල්ලිලා හිටියා වගේ නෙමෙයි මේ රාජ්‍යයේ ඇමතිතුමාගේ හිත් දෙපාර්තමේන්තුව හෙල්ලුනොත්, වැඩ අවුල් වෙලා සියලුම අමාත්‍යාංශ වල විතරක් නෙමෙයි මුළු රාජ්‍යයේම කටයුතු අඩපණ වෙන්ඩ ඉඩ තියෙනවා.

    නැතුව නැතුව, ඒ රාජ්‍යයේ අගමැතිනිය හරියට ඉන්දිරා ගාන්ධි වගේ, අපි කොච්චර සුවයිරි රාජ්ජයක් කියලා කටමැත දෙඩෙව්වත් ඉන්දියාවේ බලපෑම හොඳ හැටියට අපට තියෙනවා නොවැ...
    ;D ;D ;D

    අනේ ඉතිං ඔය ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්ඩ කල් යේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.අපේ අසල්වැසි රාජ්‍යයේ අගමැතිතුමියට අපි නිරතුරු නිරෝගී සැප, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  18. එහෙම කියලා බැහැ අරුණ, මෙහෙම රාජ්‍යයක පාලන තන්ත්‍රය හා බැඳිලා කටයුතු කරන්න ඕනේ. එතකොට තමා ජීවිතය සම්පූර්ණ වෙන්නේ. මං කියනවාට බලන්නකො ඇමති පට්ටමකට නාම යෝජනා බාර දීලා. ;D

    පෙර පුරුදු අධ්‍යාපන අමාත්‍යාංශය ඒ විදිහටම පවත්වාගෙන යන්ඩ අළුත් ආණ්ඩුවෙන් එපා කියන එකක් නැහැ මයේ හිතේ. ;)

    ReplyDelete
  19. ලෝකයේ විශාලම ඇමති මණ්ඩලය හදන්නට ලැබේවා!!!

    ReplyDelete
  20. අපොයි දෙයියනේ, බරපතල වරදවා වටහාගැනීමක් නෙව වෙලා ඇත්තෙ,

    / හරි, මොනව උනත් කමක් නැහැ,අපේ ඇමතිනියට නුදුරු අනාගතයේම,අගමැතිනිය වීමට හේතු වාසනා වේවා කියල මම හද පතුලෙන්ම ප්‍රාර්ථනා කරනවා, /

    මම මෙතන අදහස් කලේ ඔබතුමියට ඇමතිතුමා නිකම් මහජනයගෙ තත්වෙට දාල, ඔබේ රාජ්‍යයේ අගමැතිනිය වීමට හේතු වාසනා වේවා කියලයි,

    අර ගීතයක් තියෙන්නෙ "රැජින මමයි, අපේ රාජ්ජේ" කියල, අන්න ඒ වගේ,

    ඒ ඇර අසල්වැසි රාජ්‍යයේ අගමැතිනිය වීමක් ගැන කිසිසේත්ම අදහස් නොකලෙමි.

    අසල්වැසි අගමැතිතුමියට මමද දීර්ඝායුෂ හා නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි,

    හප්පොච්චියේ, ඇමතිතුමත් මා එක්ක අනිවාරතේ අමනාප වෙන වැඩක් නෙව මේ උනේ,

    ReplyDelete
  21. ආ එහෙනං ඇවිත් බ්ලොග් ගඩොල් වලින් මාලිගාවක් හදලා දෙන්ඩ වෙයි. ;D

    ReplyDelete
  22. මෙහෙමනේ රවී, (රහසින්) ඇමතිතුමා නාමමාත්‍ර ජනාධිපති තමා ඉතිං, සියලුම විධායක බලතල තිබෙන්නේ අපේ රාජ්‍යයේ ඇමතිතුමිය අතෙයි. මං මේ ලිපියේ මුලදීම කිව්වානේ දෙන්නා විසින් දරණ තනතුරු සියල්ල.(රහස අවසන්)

    මං එහෙම පිළිතුරු දුන්නේ, මේවා කියවන වෙන කවුරු හරි වැරදි වැටහීමක් ගත්තත් එය දුරු වෙනු පිණිසයි.එවැනි වැරදි වැටහීමක් ගන්න කෙනෙක් ගිහින් අසල්වැසි රා‍ජ්‍යයේ අගමැතිතුමිය‍ගේ කනේ තිබ්බොත් ඉතිං .......... ජම්බු කාශ්මීර් තමා......... ;D ;D ;D

    ReplyDelete
  23. සා මාර ආණ්ඩුවක්නේ ..............

    සුබ පැතම් .......... !!!!!!!!

    ReplyDelete
  24. හප්පා.... යන්තම් දවස ඉවර වෙන්ඩ මිනිත්තු විසි පහකට කලින් ආවේ.
    ආණ්ඩුවේ සංවත්සරයට මගේත් සුබ පැතුම්...!

    ReplyDelete
  25. නැහැ නැහැ මාර නැහැ මාර නැහැ.....

    ;D ;D
    ස්තුතියි වැප්...............

    ReplyDelete
  26. එච්චර රෑ වෙලා ඇවිල්ලාත් මෙතැන අදහස් දක්වන්න තරම් කටයුතු කිරීම ගැන සතුටුයි චාර්මි.

    ස්තුතියි සුභ පැතුමට. !!!

    ReplyDelete
  27. සමාවෙන්න ඔනි ප්‍රමාදයට
    ආන්ඩුවෙ දෙවෙනි සමරුමට මගේ සුබ පැතුම්.

    ReplyDelete
  28. “තවද එම අමාත්‍යාංශය පිහිටු වීමේ මුල් ගල් තැබීමට මත්තෙන් තව එක් සිසුවෙක් බඳවා ගැනීමට මේ දිනවල නිල නොවන මට්ටමෙන් සාකච්ඡා පැවැත්වේ.“

    අනේ වාසනාවන්!!! ඕවා සාකච්ඡා පවත්ව පවත්ව ඉන්න ඕන වැඩද අප්පා.... :)

    කොහොම උනත් මේ පුංචි ආණ්ඩුවේ ජනගහනය ළඟඳීම වැඩිවේවායි හදපත්ලෙන්ම සුභ පතමි.....

    ReplyDelete
  29. දෙවෙනි ඇනිවසරියට උනුසුම් සුභ පැතුම්
    ලිපියත් මාරම මාරයි.
    නියමයි.

    ReplyDelete
  30. ස්තුතියි නිශ්

    ReplyDelete
  31. තනෝජා අක්කාගේ ආණ්ඩුවටත් පාලනය කරන්නට තව තවත් ජනතාව ලැබේවා !!! කියා ප්‍රාර්ථනා කරනවා...

    ස්තුතියි අක්කා

    ReplyDelete
  32. @ ‍දේදුනු ධනංජය ;)

    ReplyDelete
  33. දුකා අයියා‍ ගොඩ කාලෙකින් මේ පැත්තේ ආවේ නේද? ස්තුතියි අයියේ සුභ පැතුමට... ;)

    ReplyDelete
  34. අනේ ඔව් නගේ දැන් මට ඉස්සර තරම් නිදහසක් නෑ වැඩ එකසිය ගානට. ගෙදරදිනම් මේවා බලනන් ලැබෙන්නේ සති අන්තේ තමයි.

    ReplyDelete
  35. එළ කිරි නගෝ, පාර්ලිමේන්තුව සැමදාමත් බල්යේ රැඳී සිටීවා සහ වත්මන් විධායක ජානාධිපති තුමිය එළඹෙන සියක් වසර සඳහාත් නිතරඟයෙන්ම පත් වේවා කියලත් ප්‍රාර්ථනා කොරන්නං. පැන්චි තුමිය වැනිම වූ තව තවත් මහ ජනතාව රටේ ජන ගහනයට එකතු වේවා !!!

    ReplyDelete
  36. හප්පා හැරමිටියෙන් ගිහිල්ලා ඇ‍ඳේ දපලා ඉන්න කමුත් රජකම් කරන්න කියලා වගේ දූමී අයියාගේ පැතුම මට. ස්තුතියි ස්තුතියි.

    සැරයටියෙන් අපි යනෙන තුරා........
    කියාගෙන ඉන්නම්කෝ

    ReplyDelete
  37. දුකා අයියා ඉඳ හිටලාවත් ඇවිත් යන්න. අපිත් එහෙම තමා අප්පා. ෆුල් බිසි ෂෙඩියුල්නේ ඉතිං

    ReplyDelete
  38. අක්කේ.. මේක දැකල මටත් අණ්ඩුවක් පිහිටුවන්න හිතුන බොලේ.....හොයාදෙන්න බැරිද හොද ජනපති කෙනෙක්

    ReplyDelete
  39. ජනාධිපතිලා වෙනත් රාජ්‍යය වල වැසියන් සොයලා දීලා වැඩක් නැහැනේ ‍නගෝ..... තමන්ගේ රටට ගැලපෙන ජනාධිපති එරට වැසියෝම සොයා ගන්ට ඕනෑ...... ;D

    ReplyDelete
  40. යහපාලනයෙන් පිරි ආණ්ඩුවක්..!!
    ඇමතිතුමාටත් ඇමතිතුමියටත් සුභපැතුම්,

    ලස්සන අදහසක් ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...