Tuesday, July 27, 2010

64. අම්මේ, තාත්තේ මේ ඔබේ අවධානය පිණිසයි

මේ වෛද්‍ය වරයෙකු කියන කථාවකි.

ඩෙංගු රෝගය මේ දිනවල ඉතාමත් භයානක අන්දමින් අප සමාජය තුල පැතිරෙමින් පවතී. එමනිසා කුඩා දරුවන් මදුරු දෂ්ඨනයෙන්, විශේෂයෙන් දිවා කාලයේදී වලක්වා ගැනීම ඉතාමත් වැදගත් වූ කාරණයකි. එලෙසම අප අවට පරිසරය පිරිසිදුව පවත්වා ගැනීමද ඒ හා සමානවම වැදගත් වූ කාරණයකි.


කුඩා දරුවකු උණ තත්ත්වයෙන් පෙළෙන්නට වූයේ නම්, දෙවන දිනයේදීම Blood Count රුධිර පරීක්ෂනයක් කර එම රපෝර්තුව පිළිගත් වෛද්‍යවරයකුට හෝ වෛද්‍යවරියකට පෙන්විය යුතුය. ඩෙංගු රෝගී තත්ත්වයක් පෙන්වන්නේ නම් වහාම කල යුතු එකම දෙය දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහල (නෝනා වාට්ටුව) වෙත ගෙන ඒමයි. එහිදී කළ යුතු ප්‍රතිකාර නොනවත්වා නිවැරදිව කරනු ඇත. බොහෝ විට පෞද්ගිලික රෝහල් වල මේ රෝගී තත්ත්වය යටතේ ප්‍රථිකාර ලැබූ දරුවෝ රෝගය උත්සන්න වූ පසු එම රෝහල් මගින් අප රෝහලට මාරු කර එවනු ලබයි. බොහෝ විට ඒ වනවිට රෝගය නිවාරණයට තිබූ අවස්ථාව මග හැරී තිබෙන අවස්ථා සුලභවීම කණගාටුවට කාරණයකි. එවිට ජීවිතය බේරා ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වීමටද ඉඩ ඇත. "ඔබේ දරුවා ඩෙංගු වැනි අසාධ්‍ය රෝගයකින් පෙලේ නම් රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත වහාම ගෙන එන්න"

අනෙකුත් සියළු රජයේ රෝහල් වල සේම පහසුකම් සහ සම්පත් අප වෙතද ඇත්තේ සීමිතවය. අප වෙත සුවපහසුව නැත. එහෙත් සුවය ගෙන ඒමට අපි ඇප කැප වන්නේමු. සුවපහසු ඇඳන් ඔබට නොලැබේ. (සමහර විට දරුවන් දෙතුන් දෙනාට එකම ඇඳ බෙදා ගන්නට සිදු වෙයි). අනෙකුත් සුඛෝපබෝගී දෙවල්ද අප වෙත නැත. (අම්මාට දෙන්නට ඇඳන් නැත. අනෙකුත් ස්ථානවල ඇති පරිදි ඈඳන ලද වැසිකිලි නැත. වායු සමීකරණ නැත. සැටලයිට් ටීවී නැත.) අපටත් හෙද සොයුරියන්ටත් ඔබ හා දොඩමළුවන්නට, සිනාසෙන්නට මිතුරු ලෙසින් අමතන්නට තරම් ඉස්පාසුවක් නැති වන්නට පුළුවන. ඒ අප සැම ඉමහත් ලෙස භාරදූරී වූ වැඩ රාජකාරී සම්භාරයක ගැලී සිටින බැවිනි. එහෙත් අපේ රාජකාරිය අපි අකුරටම ඉටු කරමු. ඔබේ දරුවා වෙත අපේ අවධානය ඉතාමත් උසස් අන්දමින් ලබාදීමට හැම විටම අපි සැදී පැහැදී සිටිමු. දරුවන්ගේ තත්ත්වයේ යම් නරක වෙනස් වීමක් ඇතිවුව හොත් එය වහා හඳුනා ගැනීමට අප කාර්යය මණ්ඩලයට හැකිය. මේ දරුවාගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයකි !. මෙම රෝගය හෝ වෙනයම් මේ ආකාර වූ රෝගයක් මුල් අවස්ථාවේ හඳුනාගෙන අප රෝහලට වහාම ගෙන ආ දරුවකු අපට බේරා ගැනීමට නොහැකි වූ අවස්ථාවක් සොයා ගත නොහැකි තරම්ය.
මම මේ ඔබට පවසන්නේ මම එදිනෙදා ජීවිතයේදී දකින දෙයයි. මගේ සේවා ස්ථානය නංවන්නට කරන උත්සහයක් නොවේ මෙය. ඔවුන්ගෙන් ලද දිරිගැන්වීමක් මත ලියන දෙයක්ද නොවේ මෙය. හුදෙක් කුඩා දරුවකුගේ ජීවිතයක් බේරා ගැනීමේ අවස්ථාවක් මග හැරීම වළක්වා ගැනීම පිණිස මා විසින් ලියන දෙයකි. මෙම පණිවුඩය ඔබට පුළුවන් ආකාරයෙන් සමාජය පුරා පතුරවන්න. එය තවත් එක් ජීවිතයක් හෝ බේරා ගැනීමට පිටිවහලක් වනු ඇත. සමීපතමයකුගේ වියෝව මොන ආකාරදැයි දන්නේ එය විඳි අයෙකුම පමණි.


කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය වරයෙකුගේ සටහනකි

(
අද දින මා මිතුරියක එවූ විද්‍යුත් ලිපියක මා විසින් කරන්නට යෙදුනු පරිවර්තනයයි ඉහතින් දැක්වෙන්නේ. ඒ ලිපිය පහත දක්වමි. මේ ලිපිය ලියන්නට යෙදුනු වෛද්‍යතුමා ගැන මම නොදනිමි. ඒත් ලිපියේ ඇති සත්‍යයතාව නිසා මෙලෙස පළ කරන්නට සිතුවෙමි.)

About Dengue- its important to get these messages across


Dengue is at its worst peak this season. Its imp ortant to protect kids against mosquito bites especially during daytime. Keeping the environment clean is as equally imp ortant. If a child gets fever, a blood count MUST be done by the 2nd day & shown to a Doctor. If dengue is suspected in the blood count, its imp ortant not to waste time, and bring the child quickly to LRH where the child can be monitored continuously. We see children treated in private medical institutions being transferred late to LRH, in a serious condition. By that time the critical phase has passed & its difficult to save the life. If you are suspecting a serious illness like dengue, bring the child to LRH. Like all other Government institutions, facilities and resources are limited. LRH doesn't have the comforts, but it is able to provide what matters most, patient care. You wont get a comfortable bed (sometimes 2-3 children have to share the same bed), or other luxuries (no bed for mother, attached bathrooms, A/C, satellite TV etc which are available elsewhere), and the Doctors and nurses may not have much time to talk, smile and be friendly be cau se they have so much of work to attend to, but the level of care given is optimal, and any change in the condition from bad to worse will be detected early. Its the child's life which matters! It is very rarely that I have seen a child brought to LRH in the early stage of the illness succumb and pass away.

I am just telling you what I see in reality in day-to-day life, with no intention of promoting the place I work, as I do not have any gain from it. If you can pass this msg across to your friends, especially those with kids, it could help save a life. You have to be in 'the situation' to know what a death of a close one feels like . .

'A Doctor from LRH'


Monday, July 26, 2010

63. "පියා මැරෙයි, මව මැරෙයි, පුතා මැරෙයි, දුව මැරෙයි. ඉතිං අසුභ නැද්ද?"

‍මේ කථාව සමහර දෙනෙක් මීට පෙර අහලා ඇති. මේ මං කලකට පෙර කියැවූ පොතක තිබුණු කථාවක්.

ජපානය, චීනය වැනි රටවල් වල ප්‍රචලිත වූ සෙන් බුදු දහම නමින් හඳුන්වන බුද්ධ ධර්මයේම කොටසක් තිබේ. ඒ බුදු දහම පිළිබඳ විස්තර ලියන්නට තරම් කරුනු මා සතුව නැතත් සෙන් කථා අඩංගු වූ කථා පොතක තිබූ මේ කථාව ඔබ හමුවේ තබන්නට සිතුවේ එය අප සැමට සිතන්නට යමක් එක් කරනා බැවිනි.

(මාගේ මතකයට අනුව ඒ කථාව)

දිනක් එක් ගෘහ පතියෙකු සෙන් ස්වාමින් වහන්සේ නමක් හමු වීමට ගියේය. ඒ ගියේ අභිනවයෙන් ඉදිවන තම නිවසේ ඉදිරි පස ප්‍රධාන දොරටුවේ ප්‍රදර්ශනය කර තැබීමට වාක්‍යය කණ්ඩයක් සටහන් කර දෙන මෙන් ඉල්ලා සිටීමටයි. ආගිය තොරතුරු කථාකිරීමෙන් සහ සිය උවමනාව පැවසීමෙන් පසු,

ස්වාමීන් වහන්සේ, "දැන් මහත්තයාගේ ගෙදර කවුද ඉන්නවා කිව්වේ? "

දායකයා, "මමයි පවුලයි පුතයි දුවයි හමුදුරුවනේ"

ස්වාමීන් වහන්සේ, "හොඳයි. එහෙනම් මෙන්න. මේක ගිහින් එල්ල ගන්න"

ස්වාමීන් වහන්සේට වැඳ නමස්කාර කිරීමෙන් අනතුරුව එය අතට ගෙන කියැවූ දායකයාගේ ඇස් උඩ ගියේය.

"අනේ හාමුදුරුවනේ, මේ මොකද්ද මේ? මෙහෙම අසුභ දේවල් ගෙදරක එල්ලන්න පුළුවන්ද?" දායකයා කලබලව ඇසුවේය.

"ඇයි මහත්තයා එහෙම අහන්නේ? මොකද්ද ඔය වාක්‍යයේ තියෙන අසුභ කම?" ස්වාමීන් වහන්සේ සන්සුන්ව ඇසුවේය.

"පියා මැරෙයි, මව මැරෙයි, පුතා මැරෙයි, දුව මැරෙයි. ඉතිං අසුභ නැද්ද?" දායකයා ලියැවිල්ල ඇඟිලි තුඩින් අල්ලාගෙන ඇසුවේය.

"මහත්තයා. අපි කවුරුත් හැමදාම මේ ලෝකේ රඳන්නේ නැහැ. මැරෙන එක නියතයි. ඒ නියතය නියම පිළිවෙලට නොවුනාම ගැටළු ඇති වෙනවා. දුව මැරෙයි, පුතා මැරෙයි, මව මැරෙයි, පියා මැරෙයි කියලා ලිව්වා නම් තමයි අසුභ. දැන් මා ලියා දුන්නේ වෙන්න තියෙන දෙයක් විය යුතු පිළිවෙලයි. මා නිවැරදියි නේද මහත්තයා?"

යථාර්තය වටහා ගත් ගෘහ පතියා නැවත වරක් ස්වාමීන්වහන්සේට නමස්කාර කොට පිටව ගියේය.

මම අද මේ කථාව කියන්නට හේතු වුනු කාරණාව දැන් සමහර දෙනෙකුට වැටහෙනවා ඇති. ගිය සතියේ කියැවු එක් බ්ලොග් ලිපියක් නිසා මට මේ කථාව නැවත වරක් සිහිවුනත් කොමෙන්ටුවක් දමන්නට ඒ මොහොතේ මා හට කාලය හරස් විය. ඒ ගැන දුක් වෙමි. ඒ ලිපිය අවසන් කොට තිබුනේ මෙසේය.

'අපේ ගෙදර ඉස්සෙල්ලාම නැති වුණේ අම්ම. අම්ම තාත්තට වැඩිය වැඩිමල්. ඊළඟට තාත්ත ගියා. පොතේ හැටියට ඊළඟට යන්න තියෙනෙ මට. ඉතින් මගෙ වාරෙ එනකම් ඊළඟ වාරෙ මගෙ කියල මතක් වෙන්නත් එක්ක මිනී මල් වැවුවහම මක් වෙනවද ?'

ඔව්. ඒ අපේ කුමුදු සර්ගේ අවසාන ලිපියේ අවසාන වදන් පෙළයි. මේ පුද්ගලයා මා කවරදාවත් දැකපු කෙනෙක් නොවෙයි. ඒත් කටපුරා සර් කියන්න පුළුවන් කෙනෙක් බව මට විශ්වාසයි. එතුමාගේ හැම ලිපියම වාගේ (තාක්ශණික ලිපි හැර) මම කියවා ඇත්තෙමි. ජීවිතයට පාඩම් කියන්නේ අන්න ඒ වගේ ලිපි වලට බව මම විශ්වාස කරමි. තම තම නැණ පමණින් නමැති එතුමාගේ බ්ලොග් අඩවියට තවම මාස 4 පිරීවත් නැත. එසේ සපිරෙන්නට හරියටම දින 10ක් තිබිය එතුමා සිය අවසන් ලිපි දෙක අප වෙත දුන්නේය. ඒ මාස කිහිපය තුල කඩිමුඩියේ සිය දැනුම (සමහර දිනවල ලිපි 3ක් 4ක් ගානේ) බෙදන්නට වුයේ මේ අවසානය දැනගෙනමදැයි මට සිතේ.

ජීවිතයේ බට්ටා පැනීම

මිනීමල් හා මරණයට ඇති බිය

මේ ලිපි පිළිබඳ හෝ එතුමාගේ වියත් භාවය පිළිබඳව නොලියමි. ඒවා කියැවීම අවැසි අයට ඉතිරි කරමි. නමුත් එතුමාගේ අඩුව පිරවීමට සමත් තවත් බ්ලොග් අඩවියක් නම් මා මතකයට නොයේ.

කුමුදු පින්තු නම් වූ ඇදුරාණෙනි, ඔබේ පැතුම් ඉටු වේවා !!!!!!!!!!


Monday, July 19, 2010

62. ඩෙංගු මාරයා පරද්දමුද ?

ඩෙංගු මාරයා පරද්දමුද ? (දුමී අයියාගේ ලිපිය උපුටා දක්වමි)

Posted by දුමී



ඉස්සෙල්ලම කියන්න ඕන මේකනම් මේ කට කහනවට කියන කතාවක් නෙවෙයි කියල. අපේ මුළු පවුලම පසුගිය ජූනි 23 වෙනිද ලංකාවට ආවෙ මගේ දුවගෙයි පුතාගෙයි ඉස්කෝලෙ සමර් එකට නිවාඩු දීපු නිසා. මෙහෙ ඉස්ස්කෝල වලට එක දිගට මාස දෙකක් විතර නිවාඩු දෙනව මොකද මේ කාලේ අවුරුද්දෙ රස්නම කාලේ නිසා. පිටත උෂ්නත්වය මේ දවස්වල c 50 පනිනවා.

ඒගොල්ලොත් එක්කම ලංකාවට ආවත් මට ආපහු එන්න උනේ එක දිගටම මට නිවාඩු ගන්න තිබුන අපහසුතාවය නිසා. ආපහු ඇවිල්ල ටික දවසයි ගියේ මගෙ බිරිඳ කතා කරල කිව්ව මගේ පොඩි පුතාට හොඳටම උණ කියල. එයා ඉක්මනටම පුතාව ආසිරි එකට ගෙනිහිල්ල බෙහෙත් අරගෙන ඇවිල්ල තිබුනා. දොස්තර නම් කියන්නෙ බය වෙන්න එපා දවස් තුනකින් උණ අඩු උනේ නැතිනම් ලේ ටෙස්ට් කරල බලන්න කියලා. කොහොමත් පහු ගිය දවස් දෙකේම රෑට සහලෝල උණ ගත්ත නිසා එයාගේ ලේ පරීක්ෂා කරල ඊයේ හවස. තුණුරුවන්ගේ පිහිටෙන් මගේ පුතාට ඩෙංගු වැලඳිලා නෑ. අදවෙනකොට පුතාගේ උණ හොඳටම වගේ හොඳ වෙලා. පහුගිය දවස්වල හිතේ තිබුන නොසන්සුන්කම ගැන නම් කියලා වැඩක් නැහැ.

පත්තරෙන් දැක්ක පහුගිය මාස කීපයට ලංකාවෙ ඩෙංගු වලින් 140 දෙනෙක් මිය ගිහිල්ල කියලා. ඒ වගේම ඊයෙ පෙරේද දෙහිවල පැත්තෙ අවුරුදු 5ක මලක් වගේ පොඩි පුතෙකුත්, මාතර පැත්තෙ අවුරුදු 14ක දියණියකුත් තවත් තරුණ වෛද්‍යවරියකුත් ඩෙංගු මාරයාට බිලි වෙලා. මේක කොතනින්ද නවතින්න යන්නෙ ?

මේත් එක්කම මට මතක් උනේ ටික කාලෙක ඉස්සෙල්ල ලැබිච්ච ඊ මේල් එකක තිබිච්ච ඩෙංගු ප්‍රතිකර්මයයි. ඒ තමා ගස්ලබු කොල ඉස්ම. පොඩ්ඩක් ගුගුල් කරල බලන්න මැලේසියාවෙ, පිලිපීනය වගේ රටවල් වල ඩෙංගු හැදිච්ච කීදෙනෙක් මේකෙන් සම්පූර්ණයෙන්ම හොඳ වෙලා තියෙනවද කියලා. ගිහිල්ල බලන්න ඒ ගොල්ලො තමන්ගෙ අත්දැකීම් දාල තියෙන හැටි !

මෙච්චර මේකෙන් පීඩා විඳින අපිට ඇයි මේක පාවිච්චි කරලා බලන්න බැරි ? ඕන තරං ගස්ලබු ගස් හොයා ගන්න පුළුවං අපේ රටේ ඇයි මේ ප්‍රතිකර්මය කරල බලන්නෙ නැත්තෙ ? මේක විද්‍යාණුකූලව ඔප්පු කරලා නැහැය කියලා යට ගහන්නෙ නැතිව ලෙඩාගේ ඇඟේ ප්‍රතිෂක්තිය හැදෙනකන්ය කියල මරණයට කැප කරන්නෙ නැතුව මෙ ගස් ලබු කොල ඉස්ම මේස හැන්දක් දෙකක් දීල මේ ජීවිතයක් බේර ගන්න බැරිද ?

කියවපු ඒ අත්දැකීම් වලට අනුව, ප්ලේටල් කවුන්ට් එක අඩු වෙච්ච අයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් බීපු ගමන් නොහිතන විදිහට ප්ලේටල් කවුන්ට් එක වැඩි වෙනවලු. ඒ වගේම උණත් සීග්‍රයෙන් බැහැල යනවලු.

ගස්ලබු කොල ඉස්ම හදාගන්න පුළුවන් මේ විදිහට,

1) ගස්ලබු කොල දෙකක් ගන්න.
2) ඒවා පිරිසුදු වතුරෙන් පමනක් හෝදාගන්න.
3) ඒවායේ නාරටි, දඬු වගේ දේවල් ඉවත් කර කොලය පමනක් සූරා ගන්න.
4) එම කොල ටික පොඩි බෙහෙත් වංගෙඩියකට හෝ එවැනි දෙයක් භාවිතා කර හොඳින් තලා ගන්න.
5) ඉන්පසු පිරිසුදු රෙදි කැබැල්ලක් භාවිතා කර ඉස්ම බේරා ගන්න.

මේ ආකාරයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් පමණ සාදා ගත හැකි යැයි පවසණු ලබනවා. එය රෝගියාට උදේ හවස දීමෙන් ඩෙංගු රෝගීන්ව ඉක්මනටම සුවපත් කල හැකි වේ යැයි පැවසෙනවා.

දන්න හඳුනන කාට හරි ඩෙංගු හැදිල නම්, මේ ප්‍රතිකර්මය කරලා බලමුද ? සාර්ථක උනොත් කීදෙනෙක්ගෙ ජීවිත බේරගන්න පුළුවං වෙයිද ?

කවුරු හරි දැනටමත් මේක අත්හදා බලල තියෙනවනම් තමන්ගේ අත්දැකීමත් මේකට දානවද කරුණාකරල ?


අපි සිංහල බ්ලොග් ලියන අය හැටියට මේක කැම්පේන් කරමුද ? අපි හැම එක්කෙනාම මේ බෙහෙත ගැන තමන්ගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්මොත් තව වැඩිපුර එක්කෙනෙක් හැරි ඒක දැකල ජීවිතයක් බේරුනොත් කොච්චර හොඳයිද ? දාමුද හැම එක්කෙනාම මේක ගැන පෝස්ට් එකක්. මගෙ පෝස්ට් එකෙන් ඕන දෙයක් පිටපත් කරගන්න. අපි සමාජය දැනුවත් කරමු කරුණාකරල.

බී.අයි.ටී හරි , මදුරු තෙල් හරි ගහනකන් බලාගෙන ඉන්නෙ නැතිව අපිට ජීවිත කීපයක් හරි බේරගන්න පුළුවං උනෝතින් ඒක තමා සිංහල බ්ලොග් කරුවන් විදිහට අපිට කරන්න පුළුවං ලොකුම සද්කාරිය.


මගේ පෝස්ට් එකට ටිකකට කලින් අංජන මල්ලිත් මේක ගැන ඉතා වටිනා පෝස්ට් එකක් කරලා. මේක වෛද්‍ය පරීක්ෂණයකින් සනාථ කලා කියල තමයි එය දාල තියෙන්නෙ. ඒක ගොඩක්ම හොඳ ආරංචියක්. දාල තියෙන ලින්ක් එකෙන් ඒක කියවලා බලන්න.


Read more: http://dhumee.blogspot.com/#ixzz0u7BWFJnU

Saturday, July 10, 2010

61. මාලය, ආලය හා කාලය

මාලය නුඹ.........

මා ලය මත රැඳී
සිටියා බෝකල්
විසිතුරුව මා හැඩ කරමින්.........
නුඹ ගැන නොතැකූ
මා වරදින්
සැඟව ගිය නුඹ
සොයාගත නුහුනුව
ලතැවෙන ගැහැණිය
මම


ආලය නුඹ.........

මා ලය තුල පිරී
සිටියා බෝ කල්
දයාබරව මා සනසමින්.........
නුඹ ගැන නොතැකූ
මා වරදින්
හැර ගිය සඳ
පාළුව දරගත නුහුනුව
මියැදෙන ආත්මය
මම


කාලය නුඹ.........

මා පසුකර
පියමං කරනු විගසින්

සැඟව ගිය මාලය සොයා.........
හැර ගිය ආලය සොයා.........
වෙහෙස වී මියැදෙන
මා ලය සුවපත් කරමින්.........
නුඹේ දයාව පතනා
අසරණ ජීවියා
මම



Wednesday, July 7, 2010

60. ජූලි හතයි.......දූට මාස දහයයි.........

ජූලි හතයි
දූට මාස දහයයි
හැන්දෑවට ගෙට වන් කළ
ඈ නිවන්නේ අපේ දාහයයයි

කිරි කිරි දසන් පෙන්වා
සිනා සලන පුංචි දෝණි
නිවාලන්නේ දවස පුරා
එකතු කරපු මහන්සියයි


තව ඇත්තේ දෙමාසයයි
අපේ දූට අවුරුද්දයි
තව ඇත්තේ දස වසරයි
පාසල් ගොස් පස් වසරයි

තව ඇත්තේ විසි වසරයි
වේය නුඹත් ලොකු‍ කෙල්ලක්
ගුණ යහපත් කම් ඇති
දුවක් වෙන්න අපේ දුවේ
අප හැමදෙන පතන එකම
පැතුම එයයි රං මැණිකේ

තව ඇත්තේ තිස් වසරයි
කාලය සැනින් පියඹයි
නුඹේ අම්මා සෙනේ සිතින්
අද ගලපන මේ පදවැල්
ඉපැදේවී නුඹේ සිතෙත්

ඔන්න අදත් අම්මා ගියා
සිතින් හිතන් බොහොම දුරක්
අනේ අනේ ජූලි හතයි
දූට තවම දස මාසයයි

Tuesday, July 6, 2010

59. කඳුළු ලාභ නැහැ...........

ලස්සනයි කියන්ත් බැරි, අවලස්සනයි කියන්නත් බැරි, ගුණ යහපත් කම් ඇති එක්තරා ගෑණු දරුවෙක් සිටියා. මේ ළමයා පුංචි කාලේ ඉඳන් ඉගෙනීමට දක්ෂයි. ඔහොම ඔහොම ඉගෙන ගෙන ඉගෙන ගෙන යද්දී උසස් පෙළ පංතියටත් ආවා කියමුකෝ. මිශ්‍ර පාසලක ඉගෙන ගත්ත මේ දරුවාගේ සිතේ අමුතු අමුතු සිතුවිලි මිශ්‍ර වෙන්න පටන් ගත්තෙත් ඔය අවධියේදිම තමයි. තමන්ගෙම පංතියේ ඉගෙන ගත්ත සිසුවෙක් පිළිබඳ ව ඇයටත් ‍නොදැනීම ඈ සිතන්නට පටන් අරං.

ඔහොම ඔහොම හිතාගෙන හිතාගෙන යනකොට යනකොට ඒ හිතන ප්‍රමාණයත් ඇගේ අධ්‍යාපන මට්ටමත් ප්‍රතිලෝමව සමානුපාත වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඔහුගේ මන බඳනා සිනාව, කථාව පමණක් නොව වෙනත් කෙනෙකුට නම් නොපෙනෙන සුළු වූ ඔහුගේ ඇහේ තිබූ පුංචි ම පුංචි වපරයත් ඇයට ඉතාමත් මනස්කාන්ත දර්ශනයක් වුනා.

ඔහොම කාලය ගෙවීගෙන ගියේ අසුරු සැනකින් වගේ. උසස් පෙළ විභාගය අත ළඟටම ඇවිදින්.

ඒක පාර්ශ්වික ආදරය හිතට බර වැඩි වුනත්, ඇය එය තව ටික කාලයකට දරාගෙන ඉන්න තීරණය කලේ මුළු පාසලේම අවධානය උසස් පෙළ අවසාන කාලය වන විටදී ඔහු වෙත කේන්ද්‍රගත වෙලා තිබුණු නිසායි. ඊට පෙර ඔහුවන් කෙනෙකු පාසලේ සිටියා කියා දැන සිටියේ සමහර විට ඇය පමණක් වන්නට ඇති. එහෙත් ඒ වනවිට ඔහු දක්වා තිබු අධ්‍යාපන ප්‍රගතිය හේතුවෙන් එවර අනිවාර්යයෙන්ම ඔහු සරසවි වරම් හිමි කරගනු ඇතැයි හැමෝම බලාපොරොත්තු තබාගෙන සිටියා.

අවසානයේ උසස් පෙළ ප්‍රතිපල නිකුත් වුනා. සිදු වුනේ නොසිතූ දෙයක් නොවේ. සිතූ දෙයමයි. ඔහු ඉහලින්ම සමත්‍ වෙලා තිබුනා. ඇය ලාවටවත් සමත් නොවී තිබුනා. මොනවා කරන්නද නේද? හැබැයි ඉහලින්ම සමත් වුනු ඔහුගේ සමත්කම ගැන ඔහුටත් වඩා, ලාවටවත් සමත් නොවුනු ඇය මුළු හිතින්ම සංතෝෂ වුනා. අනෙක් ළමුන් ඔහු අසලටම ගොස් අතට අත දී නැත්නම් තුරුළු කරගෙන බොරුවට සුභ පතද්දී, ඇය ඔහුට බොහෝ දුරින් රැඳෙමින් මුළු හිතින්ම ආශිර්වාද කලා. සුභ පැතුවා.

කාලය ගලා ගියා. ඔහු විශ්ව විද්‍යාලයට ගියා. එතකොට ඇය......... ? ඇය ගෙදර නැවතුනේ නැහැ. ඇය රැකියාවක් සොයා ගත්තා.

ඔහොම ඔහොම කාලය නිරතුරුවම ගලාගෙන ගලාගෙන ගියා. ඇයගේ සිතේ ඔහු පිළිබඳ සිතුවිලි නොනැසී, නමුත් නිශ්චලව රැඳී තිබුණා. ඒ නිශ්චල සිතුවිලි චංචල කරමින් ඔහු වරින් වර ගම ඇවිත් ගියා.

ඔහොම කාලය ගලා යන අතරතුරේ දෙදෙනාගෙම මිතුරියකගේ විවාහ මංගල්‍යයක් පැවැත්වෙන්නට යෙදුනා. දෙදෙනාටම ඇරයුම් පත් ලැබුනා. ඇයගේ සිත ප්‍රීතියෙන් කුල්මත්ව, පිහාටු ලැබ රිසි සේ පියැඹුවේ ඇයටත් නවතා ගන්න නොහැකි අයුරින්.

ඒ දිනයට පෙර දිනයේදී ඇය තීරණයක් ගත්තා.

"මම එයාට මගේ හිතේ තියෙන දේ හෙට කියනවා"

ඇය
සිය කළණ මිතුරිය හා පැවුසවේ බැරෑරුම් ස්වරයෙන්.

"උඹට පිස්සුද? උඹ කෙල්ලෙක්. කෙල්ලෝ අහන්නේ මොන ලෝකෙද?" මිතුරිය බැන වැදුනා.

"මම අහන්නේ නැහැ. අක්කා, මම කියනවා. මම ඔයාට ආදරෙයි කියලා මම කෙලින්ම කියනවා"

"උඹට නම් පිස්සු. හොඳයි එහෙනම් කියපංකෝ. වහ කන්නයි වෙන්නේ උඹට. ඌ වැඩේ වන කොලොත්.......?"

ඇය දෙනෙත් විසල් කර මිතුරිය දෙස බැලුවා. 'ඇත්තටම එහෙම වුනොත්...........?'

"ආ........ඒකටද? එතකොට මං අවසාන තීරණේ ගන්නවා" ඇය මද වේලාවකට පසු ව පැවසුවා.

"අනේ අම්මාපල්ල. උඹ මැරෙන්නද හදන්නේ? මට ෂුවර් ඌ උඹට ආදරේ කරනවා තියා උඹ කියලා කෙනෙක් ඉන්නවාද කියලාවත් දන්නේ නැහැ"

"කමක් නැහැ හෙට දැන ගනී. දැන් මට ඉන්න දීලා ඔයා යන්න" ඇය මිතුරියගෙන්
ඉල්ලා සිටියේ සංසුන් ස්වරයෙන් .

දිනය එළැඹුනා. ඔහු ආවා. ඔහුට පෙර ඇය ආවා. කාලය සෙමින් සෙමින් ගලා ගියේ වාදනය වන ගීයේ තාලයටම ලයාන්විතව. ඇය දෙනෙත් නොසලා ඔහු දෙස බලා සිටියා. එතකොට ඔහු...........? ඔහු දෙනෙත් සලමින් බොහෝ කලකින් දුටු මිතුරන් සමඟ සාමිචියේ යෙදී සිටියා. බොහෝ කලකින් දුටුවා වුවද රංචුවකට පැය 5ක් විතර එක දිගටම කථා කර කර ඉන්න බැහැ. කථා ඉවර වෙනවා. රංචුව ටික ටික විසිර ගියා. ඇය බලා සිටි, ඔහු තනිවුනු මොහොත එළැඹුනා.

ඇය ඔහු අසලට සෙමින් පිය මැන්නා.

"මේ අයි සිට් හියර්?" ඇය ඇසුවා

"යෙස් ෂුවර්, වයි නොට්?" ඔහු පුටුව මත මදක් ඇඹරී පැවසුවා.

"මාව මතකද අකලංක? " මිතුරියන් පැවසූ සේම තමා ගැන මතකයක් ඔහු වෙත නැතැයි ඇයට ඒ මොහොතේ සිතුනා.

ම්......ම්......අනේ සොරි..........ඇත්තටම මට මතක නැහැනේ" මද වේලාවකට පසුව ඔහු පැවසුවේ විවිධාකර කෝණ කිහිපයකින් ඇය දෙස බැලීමෙන් පසුවයි.

"මම හිතුවා" ඇය සුසුමක් හෙලා පැවසුවා.
'අනේ ඒකත් එහෙමද?' ඇයට සිතුනා.
කියන්න ආ දේ නොකියන්නද කියලා ඇයට සිතුනා.

"මම හිටියේ ඔයාගේ පංතියේමයි. මගේ නම සම්මානි. දැන්වත් මතකද?" ඇය ඇසුවේ බලාපොරොත්තුවක් දෙනෙත් මතට ගෙනෙමින්.

"ම්....ම්...... සම්මානි? ආ......අර උපුලි ගේ යාළුවා නේද?" ඔහු ඇසුවා.

'අම්මේ ඇති යාන්තම්' ඇයට සිතුනා.
"ආ.......... ඔයාට මතකයි"
සතුටක් හිතට දැනුනත් ඒ විගසම ඇයට ‍ මෙසේ සිතුනා 'හැබැයි මාව නෙමෙයි උපුලිව'

ඔහු සිටියේ සිනා සෙමින්. "ආ ............සම්මානි ඔයා දන්නවාද? ඒ කාලේ මට කොල්ලෝ කිව්වානේ ඔයා මට ට්‍රයි කියලා" ඔහු බොහොම සැහැල්ලුවෙන් කිව්වා.

'අපොයි' ඇයට සිතුනා

"ආ ඇත්තමද ඔය කියන්නේ?" ඇත්ත බව දැන දැනම ඇය බොරුවට ඇසුවා

"ඔව් අප්පා. මට මාර වදයක් වුනා ඒ කාලේ. මම දන්නවා ඔයාගේ හිතේ එහෙම දෙයක් තිබුනේ නැහැ කියලා. අනිත් එක අපි දෙන්නා.........? " ඔහු නැවතත් සිනා වෙයි.

'ඔව් ඔව් අපි දෙන්නා........? ඉතිං ඉතිං අපි දෙන්නා...... ඇයි අපි දෙන්නා ගැලපෙන්නේ නැද්ද?' ඇයගේ සිත මොර ගෑවත් ඒ වදන් දිව අගට නම් ආවේ නැහැ. වේග රිද්ම ගීත වාදනය වීම ඇරඹී තිබුනා. අමුත්තන් උන්හිටි තැන් අමතක වූ සේ රඟමින් සිටියා.

"අපි දෙන්නා වගේ නොගැලපෙන දෙන්නෙක් ‍එකට ගැට ගහලා පද හදන්න තරම් මුන්ට මොලේ නැද්ද මන්දා"

බිදී කෑලි වී ඇද වැටුනු ඇගේ සිතෙත් සිතුවිලි වලත් කැබලි සොයන්නට මෙන් ඇයගේ දෙනෙත් දෙපා අසලට නැඹුරු වුවා.

'ඔහු මේ පවසන්නේ කුමන නොගැලපීමක් ගැනද?' ඇයට නොවැටහුනා. නමුත් ඇයට එක් දෙයක් වැටහුනා. එනම් 'අතිතයේ ඔහු සිතූ විදිහේ වෙනසක් සිදු වෙලා නැහැ'. තාමත් ඇය ඔහුට නොගැලපෙන බව අකලංක සිතන බව ඔහුගේ වදන් ශබ්ද නගා ඇයගේ සවනට පැවසුවා. ඇය විගස සවන් පත් දෙඅතින් වසා ගත්තා.

"ඇයි ? ඇයි ? සම්මානි මොකද වුනේ?" ඔහු ඇසුවේ පුදුමයෙන්.

"නැහැ......... අද උදේ ගෙදරින් එද්දී මට හිසේ කැක්කුම හැදුනා. දැන් ඒක ටිකක් වැඩි වුනා වගෙයි"

"හිසේ කැක්කුම කියන්නේ ලෙඩක් නොවෙයි ලෙඩක ලක්ෂණයක්. බෙහෙත් ගන්න වෙයි. කලිනුත් තිබුනාද? ඔහු මැඩිකල් ෆැකල්ටියේ නොවුනාට, කථා කරන්නේ හරියටම දොස්තර කෙනෙකු වගෙයි.

"ඔව් දැන් කාලාන්තරයක් තිස්සේ තියෙනවා. මං හිතන්නේ අදින් පස්සේ සුව වෙයි." ඇය දෙඅත් පිරිමදිමින් ඒවා දෙස නෙත් යොමාගෙන පැවසුවා.

"ඒ මොකද අප්පේ ඒ? අදින් පස්සේ?" ඔහු ඇසුවා.

"නැහැ අද හවස බෙහෙත් ගන්න යනවා. මං යන්නම් පරක්කු වුනා" ඇය නැගී සිටියා.
මගුල් ගෙදර අවසාන වශයෙන් වාදනය වන සමු ගැනීමේ ගීත වාදනයට පෙරම පිටත් වන්නට සිතුවේ, නැගී එන සිතුවිලි දාමය සමග එතැන තවදුරටත් රැඳී සිටියොත් ඒ මහ ජනකාය ඉදිරිපිටදීම ස්වයං පාලනය සියතින් ගිලිහේදැයි ඇයටම සැක සිතුනු නිසායි.

"ඕකේ....... සම්මානි....... සී...... යූ ලේටර්........" ඔහු සමු දුන්නේ කිසිවක් නොසිදු වූ සේය. ඇයට එහෙම හිතුනා.
'ඇත්තටම මගේ පැත්තෙන් බැලුවහම නොවෙන්න ඕන දෙයක් සිද්ධ වුනත් එයාගේ පැත්තෙන් බැලුවාම මොකුත් ම සිද්ධ වෙලා නැහැනේ' ඇයට එහෙමත් හිතුනා.

'සේරම ඉවරයි.'

ඇය යන අතරතුරේ සිය මිතුරියට කෙටි පණිවුඩයක් යැව්වා. එසැනින් දුරකථනය විසංධි කලේ මිතුරියේ හඬ අසන්නට තරම් දිරියක් නොමැති වූ නිසායි.


**********************************************************

සම්මානිගේ මිතුරිය දින පහ පුරා ඇයව සොයන්න පුළුවන් හැම තැනම සෙව්වා. දන්න හැමෝටම දුරකථන ඇමතුම් දුන්නා. හැබැයි වටින් ගොඩින් තමයි හෙව්වේ.

'කාටවත් කියන්නවත් පුළුවන් තත්ත්වයක් නොවෙයිනේ. මේ කෙල්ල කොහේ ගියාද? ජීවිතේට කරදරයක්වත් කර ගත්තාද?..... නැහැ නැහැ එහෙම වෙන්න බැහැ එහෙනම් කොහොම හරි ආරංචි වෙනවානේ.......අනේ මන්දා මට මේ මොනවා හිතෙනවාද කියලා' ඇය තැවුනා.

අවසානයේ එළඹෙන සෙනසුරාදා ඇයගේ නිවසට සොයාගෙන යන්න සිතා සිටිද්දී, බ්‍රහස්පතින්දා දිනයේ ඇය නැවත කන්තෝරුවට පැමිණියා.

"කොහේද බං තොලිංචිවෙලා හිටියේ? උඹ මාව නොමරා මැරුවා." සම්මානිව දුටු සැනින් මිතුරිය බැන වැදුනේ අම්මා කෙනෙක් දරුවෙකුට බණිනවා වගේ සෙනෙහසින්, දුකින් ඒත් කේන්තිය පෙන්වමින්.

"ඇයි? මං නිවාඩු දාලානේ ගියේ?" ඇය පැවසුවේ බොහෝම සාමාන්‍ය ලෙසින්.

"ඒක නිසාම තමයි මැරිලා නැහැ කියලා හිතුවේ. නැත්නම් මම පොලීසි යනවා. උඹ වෙනදාටත් නිවාඩු යන්නේ දාලා වුනාට මට නොකියා ගිහින් තියෙනවාද?" මිතුරිය ඇසුවා

"හරි හරි දැන් ඒවායින් වැඩක් නැහැ. වැඩ ගොඩ ගැහිලා ඇති. පස්සේ කථා කරමු" සම්මානි මිතුරියගෙන් මිදෙන්න බැලුවා

"අනේ මේ දවස් 4ක් අතපහු වෙච්ච ඒවා විනාඩි පහෙන් කරන්න බැහැනේ. මට කියපං එදා මොකද වුනේ." මිතුරියගෙන් ගැලවෙන්න ලෙහෙසි වුනේ නැහැ.

"එදා.........? එදා සේරම අවසන් වුනා." සම්මානි පැවසුවේ සිනා සෙමින්.

"ඇයි යකෝ උඹ හිනාවෙන්නේ සේරම හරි ගියා වගේනේ. කියපං මට මොකද වුනේ"

"ඇත්තමයි අක්කේ මං කියන්නේ සේරම අවසන් වුනා. එයා මට ආදරේ නැහැ. එයා කවදාවත් මං ගැන ආදරෙන් හිතන එකකුත් නැහැ." ඇය පැවසුවේ බොහොම සැහැල්ලුවෙන්.

"ඉතිං නංගීයේ උඹට දුක නැද්ද? මට නම් හරිම දුකයි බං උඹ ගැන. ඇයි උඹ අඬන්නේ නැත්තේ? මිතුරිය අවංකව සිය අදහස පැවසුවා. කඳුළු බිඳු දෙකක් ඇගේ දෙනෙත් අගටම ඇවිත්.

"අක්කේ මං ඇයි අඬන්න ඕනේ, එයානේ අඬන්න ඕනේ. මට නැති වුනේ මට කවදාවත් ආදරය නොකරපු, එහෙම කරයි කියලා බලාපොරොත්තුවත් වෙන්න බැරි කෙනාවයි. හැබැයි එයාට නැති වුනේ එයාට මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන කෙනාවයි. ඉතිං ඇයි මං අඬන්නේ" ඇය පවසුවේ මිතුරියගේ දෙනෙත් අගට ඇගේ දෙඅතේ සුළැඟිලි දෙක තබමින්, ඒ කඳුළු බිඳු පිස ලමින්.





Thursday, July 1, 2010

58. කුළාකුලේ පැටලී................. (මගේ අඩවිය තුළ පලවන්නට යන ප්‍රථම කෙටි කථාව)

මාස හතකට ආසන්න කාලයක් බිත්තර තම්බමින් බලා සිටි අවස්ථාව උදාවීමට ඇත්තේ තව එක් දිනක් පමණී.

සංදීපගේ හදවතේ මතුව ඇති නොසන්සුන් භාවය ඔහුගේ මුහුණ දකින ඕනෑම කෙනෙකුට මොනවාට පැහැදිලි වෙයි. වෙනදා රිවිදින හැන්දෑව ඔහු යොදා ගන්නේ කසුනි මුණ ගැසීමට යාමටය. එහෙත් අද දින ඒ සඳහා ඉස්පාසුවක් හෝ උවමනාවක් සංදීප හට නැත. කසුනි ද ඒ බව දන්නා නිසා දුරකථන ඇමතුමක්වත් දීමට නොසිතුවාය.

ඔහුගේ අම්මා ගුණරත්න හාමිනේද සිය පුතුට උද්ගතව ඇති අවස්ථාව මැනවින් අවබෝධ කරගත්තී, මුවින් නොබැන ඔහුගේ හැසිරීම වෙත මනස යොමාගෙන සිටියාය. විටෙක ඉස්තෝප්පුවේ එහාටත් මෙහාටත් පියමං කරන ඔහු තවත් විටෙක පරම්පරාවෙන් පරම්පරාවට දයාද වුනු ඒ තේජාන්විත හාන්සි පුටුව මත වාඩි වී කල්පනා කරයි.

‘ කොහොම වුනත් සර් මාව ඩිස්මිස් කරන එකක් නැහැ. මම හිටිය සම්පූර්ණ කාලයම මගේ උපරිමයෙන් වැඩ කලානේ.
ස්ටාෆ් එක කිව්වාට මම කොච්චර හොඳට හිටියත් වැඩක් නැහැ සර්ගේ අතේ තමයි තීරණය කියලා, මගේ තියෙන කොලිෆිකේෂන්ස් දැක්කම මෑන්ස් කැමැත්තෙන්ම මාව තියා ගනී කියලා මට හන්ඩ්‍රඩ් පසන්ට් ෂුවර්’

තමන්ගේ වාසියට කරුණු රැස් කරමින් මෙදා සති අන්තයම සංදීප ගත කලේ ඒ අයුරිනි. මොන තරම් කරුණු ගොනු වුවත් කිසිදාක නොදැකපු, කථා නොකරපු මනුස්සයෙක් ගැන කොහොම විශ්වාස තියන්නද? ඒ සිතුවිල්ලත් සමගම ගොනු වූ කරුණු විසිර යන්නේ අසුරු සැනෙකිනි.

‘දෙයියනේ මේ වගේ රස්සාවක් ආයේ කවදාවත් ලැබෙන්නේ නැහැ. මගේම කොලිෆිකේෂන්ස් තියෙන අය විතරක් නොවෙයි ඊට වඩා තියෙන සමහර අයටත් මට තරම් බෙනිෆිට්ස් නැහැ වෙන තැන්වල. දැන් ප්‍රෙබේෂන් පීරියඩ් එක ඉවර නිසා ඉක්මනටම මට ඔෆිස් වෙහිකල් එක ලැබෙයි. ඒත් දෙයියනේ බොස් මං ගැන මොනවගේ තීරණයක් ගනීද?’

හාන්සි පුටුවෙන් ඉබේටම නැගිට ගත් සංදීප නැවතත් ඉස්තෝප්පුවේ එහා මෙහා සක්මන් කරන්නට වුයේ නොසන්සුන් බව මොනවට කියා පාමිනි.

ඔහු පසු ගිය සතිය පුරාම වැඩ ඇරී සුපුරුදු‍ ලෙසින් කාර්යාලයෙන් සපයන ලද ප්‍රවාහන සේවා රථයෙන් කෙළින්ම නවාතැනට ගොස්, විගස සූදානම් වී ආසන්නයේ පිහිටි පන්සල වෙත ගියේය. පැයක් හමාරක් වතාවත් වල යෙදී දේවාලයට ද ගොස් පඬුරුද දමා ඔහු නිරතුරු යැදුවේ සිය ආයතනයේ සභාපතිවරයාගේ සිත නොබිඳී තමන් කෙරේ පැහැදීමක් ඇති වේවා!!! එමගින් (තත්ත්වය උසස් වීම කෙසේ වෙතත්) රැකියාව රැකේවා!!! යනුවෙනි.

සභාපතිවරයා සමඟ තිබෙන්නට තිබෙන සම්මුඛ පරීක්ෂණයට යහපත් ලෙස මුහුණ දීමට තමන්හට ශක්තිය ලැබීමෙන් අනතුරුව ඒ සඳහා කෘත ගුණ දැක්වීමට සිය මෑණියන් හා සමඟ කතරගම වන්දනාවේ යෙදෙන බවට කතරගම දෙවියන් ඉදිරිපිටදී ඔහු භාර වූයේය. වෙනදාට සිකුරාදා සවසම ගම එන්න පිටත්වන ඔහු මේ සතියේ සිකුරාදා පන්සල් යාමට ඇති නිසාවෙන් සෙනසුරාදා පාන්දරම පිටත්වන බව අම්මාට දැනුම් දුන්නේය. සෙනසුරාදා හවස ගමේ පන්සලට ගිය ඔහු පුරුදු ලෙස වතාවත් වල යෙදී, වුනු භාර නැවතත් සිහිකර දෙවියන්ගෙන් පිහිට ඇයැදියේය.

සාමාන්‍යයෙන් මෙවන් දේවල නොයෙදෙන සංදීප අවම තරමින් සිය විභාග කටයුතු සාර්ථක කර ගැනීම වස්වත් පන්සල් නොගිය කෙනෙකි.

ඔහුගේ තීරණය වූයේ විභාගය යනු දෙවියන් අත නොව තමන් අත පවතින දෙයක් බවයි. අම්මා කොතෙක් කීවද, වැඩි හොඳට වත් පන්සලට ගොස් භාර හාර වී තෙරුවන් සරණ දෙව් රැකවරණය ලැබීම සඳහා ඔහුව ගෙන යා නොහැකි වූ නිසාවෙන් එකල අම්මා ඒ කටයුතු වල තනිව යෙදුනාය.

විශ්ව විද්‍යාලයේ ඉගෙනුම් කටයුතු අවසන් වනතුරුවත්‍ කෙදිනකවත් මෙවන් කටයුතු වල නොයෙදුනු සංදීපගේ මෙවර වෙනස් වීම අම්මාට නම් සතුටක් එක් කරන ලදී. විභාගය යනු තමන් අත පවතින දෙයක් වුවද වෙනෙකෙකුගේ සිතත් තීරණත් ඒ වෙනකෙනාගේ කැමැත්ත මත මෙන්ම දෙවියන්ගේ බල මහිමය මත තීරණය වන නිසාවෙන් පන්සල වෙතත් දේවාලය වෙතත් සංදීප ඇදුනු බව අම්මා නොදැන සිටියාය. කෙසේ හෝ කවදාත් ආගමට දහමන නැඹූරු වූ ගුණරත්න හාමිනේ මේ සිදුවීමෙන් සතුටට පත් වූවාය.

පසු දින මුහුණ දීමට සිදුවන තත්ත්වය අබග්ගයකින් කෙළවර නොවේවා යනු අම්මාගේත් පුතාගේත් කසුනිගේත් ඇයගේ පවුලේ සැමගේත් එකායන ප්‍රාර්ථනය විය.

************************************************************************************


ගමේ වැදගත් යැයි පිළිගත් පවුලක උපන් සංදීප සාමාන්‍යය පෙළ දක්වා උගත්තේ ගමේ පාසලෙනි.

පාසල තුලත් පවුලේ වැදගත් කම මත ඔහුට වඩා වැඩි පිළි ගැනීමක් තිබිණ. බොහොමයක් ළමුන් 'සංදීප පොඩි මහත්තයා' යනුවෙන් ඔහු ඇමතිය යුතුවිය. සමහර ගුරුවරුන් එයට විරුද්ධත්වයක් එළිපිට නොපෑවද හිතේ නෝක්කාඩුවෙන් පසුවිය.

තවත් ගුරුවරයෙක් 'සංදීප පොඩි මහත්තයා' යනුවෙන් ඔහු ඇමතීම හේතු කරගෙන ඇමතු ළමයාටම දඬුවම් කිරීමෙන්, ගහෙන් වැටුනු මිනිසාට ඇන්න ගොනා ව නිරූපණය කල අවස්ථාවන්ද විරල නොවීය. මේ අතර විදුහල්පතිතුමා ඇතුළු බොහොමයක් ගුරුමහත්ම මහත්මීන්ද සංදීපට වැඩි පිළි ගැනීමකින් යුතුව සැළකූබව නොරහසකි.

ඔහු ඇති තැන 'සංදීප පොඩි මහත්තයා' යනුවෙන් කටපුරා ඇමතුවද, නැති තැන නම් ඔහු හඳුන්වන්නට 'පොඩි මහත්තයා' කොටස තබා සංදීප කියන කොටසවත් ළමුන් භාවිතා කළේ නැත.

“අලි ඔළුවා, බකයා, බකමූණා, ...........” ආදී විවිධාකාර සත්ත්ව නාම සේම, අමුතුවෙන් නිර්මිත නාමද බොහොමයක් ඔහු නොදැනම ඔහු සතුවිය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංදීප අලි ඔළුවෙක් වීය. පුංචි සංදියේ පටන් පිය පරපුරෙන් මෙන්ම මව් පාර්ශවයෙන්ද ඔහුට උරුම වූයේ අලි ඔළුකම්මය. ඒ උරුමය මනාව ගෙන යාමට ඔහුද ඒ සංදියේ පටන්ම උත්සහ දැරුවේය. ඉගැනුම අතින් ගත් කල සත්‍යය වශයෙන්ම ඔහු සියල්ලම අභිබවා ඉදිරියෙන් සිටි බව කිව යුතුය. අනෙක් ළමුන් ලියන්න පටන් ගන්නා විට ඔහු ලියා අහවරය. එයද ඔහුගේ අලි ඔළුව තව තවත් උදුම්මන්නට හේතූ භූත වීයැයි පැවසුවොත් නිවැරදිය. ඒ නිවැරදි කොටසට තවත් යමක් එකතු කරනවා නම් කියන්නට තිබෙන්නේ ඔහුට ආසන්න වීමට අනෙක් ළමුන්ට ඔහු කිසිවිටෙක ඉඩ නොදුන් බවය. මානසිකව ඔවුන්ව තලාපෙලා පාගා දමා විනාශ කිරීම ඔහු මැනවින් පුරුදු පුහුණු වූ දෙයකි.

'සංදීප පොඩි මහත්තයා'ට විරුද්ධ පිළේ සිටින සිංහල මහත්තයා බොහෝවිට 'සංදීප පොඩි මහත්තයා'
මොන තරම් අගනා ලෙස රචනා රචනා කලත් ඒවා තුට්ටුවකට මායිම් නොකරයි. වෙනත් දරුවකුගේ රචනාවක් වර්ණනා කල හැකි මට්ටමේ නොතිබුනොත් මිසක සංදීපගේ රචනා සිංහල මහත්තයාට රචනා නොවේ. උඩ හේනේ සිසිරත්, පහල වත්තේ සඳාත්, ඇල්ල පාරේ කමණිත්, මෙලෙසින් සිංහල මහත්තයාගේ අගය කිරීමට බොහෝවිට ලක්වෙති. එදාට ඔවුන් ඉඳ හමාරය.

සිසිරගේ පියා වෙන ස්ත්‍රියක සමඟ පැන ගිය බව පාසලට ආවේ මෙවන් දිනකදීය.
සඳාගේ සීයා රොඩියෙකු බව ප්‍රකට වූයේද මෙවන් දිනකදීය.
කමණි ගේ අම්මා නිසා ඔවුන්ගේ නිවසට මසකට කිහිප වරක්ම ගල් වරුසාවක් ලැබෙන බව ළමුන් දැන ගත්තේද මෙවන් දිනකදීය.

කරගත දෙයක් නොමැතිව අසරණව වෛරයෙන් පිඩීත වූවෝ නහය අසලට ආ වතුර කඳ ඉහට ඉහලින් ගියත් මොකෝ යැයි සිතා‍ මෙන් තව තවත් ධෛර්යයයෙන් යුතුව කටයුතු කළහ. මේ දරුවන් සංදීපගේ ප්‍රහාරයට ලක් වූයේ සිංහල නිසා පමණි.

නමුත් චාමර විද්‍යාව, ගණිතය, බුද්ධ ධර්මය ඇතුළු බොහොමයක් විෂයයන් නිසා නිරතුරු සංදීපගේ ප්‍රහාරයට ලක් විය. බොහෝ ගුරුවරු චාමරව ගණන් ගත්තේද නැත. එහෙත් සංදීප ගණන් ගත්තේය. තමන්ගේ පොතේ හරි වැරදි වලට වඩා චාමරගේ පොත පිළබඳව නිරතුරු ඔහු අවධියෙන් පසු විය.

අඩුකුළේ හාලින්ට එහෙම නැගෙන්න දිය නොහැකිය. ඔවුන් පාගා දැමිය යුතුය.

පියතුමාගේ ආදර්ශය මැනවින් පාසල තුළ ක්‍රියාවට නංවන්නට පත්කල නියෝජිතයා සංදීප විය. නගරයේ පාසලට දැමිය හැකි වුවද ගමේ පාසලට ඔහුව ඇතුලත් කර ගුණරත්න මහත්තයා බලාපොරොත්තු වූයේද එයයි. සංදීප උගත්තද නැතද කම් නැත. ඔහුට දේපළ ඇත. එහෙත් ගමේ කොල්ලෝ කුරුට්ටොන්ට ඉහල යෑමට ඉඩ දිය නොහැකිය. මහගස් වීමට පෙර ම කපා දැමීම සඳහා පාසලේ පත්කල නියෝජිතයා මැනවින් සිය කාර්යය භාරය ඉටුකරන බව ගුණරත්න මහත්තයාට විටින් විට ආරංචි වෙයි. එය ඔහුට සතුටට කරුණුය.

ඇත්තටම චාමර හීන යැයි සම්මත කුළයක උපන්නෙකි.

චාමර දුටු දුටු තැන සංදීප “අඩු කුලේ කියාලා චාමරලා...................” යනුවෙන් ඇද පැද ගායනා කරයි.

පුංචි සන්දියේදී බොහෝ දිනවල චාමර නිවසට යන්නේ අඬාගෙනය. අම්මා අසලට ගොස් පාසල් යාමට නොහැකියි පවසමින් ඔහු හඬා වැටෙයි. අම්මා විස්තර අසා පවසන්නේ ‘ඉතිං පුතේ උන්දැ සිංදු කියලා තියෙන්නේ උන්දැලාටමනේ’ යනුවෙනි. මේ අපබ්‍රංසය චාමර බොහෝ කාලයක් යන තුරු වටහා ගත්තේ නැත.

ඇත්තටම ඒ කාලයේ අඩුකුලය යනු කුමක්දැයි ඔහු දැන සිටියේද නැත. ඒ ගීතයේ නියම තේරුම සංදීප දැන සිටියේද නැත. එනමුදු ඒ ගීතයෙන් තමන් රිදවා ගතයුතුබව නම් චාමරට වැටහිණි. ඒ සංදීප එය තමන්ට රිදවන්න සිතාගෙනම කියනා බව දන්නා නිසාය. සංදීපට වැදගත් වූයේ ගීතයේ පළමු පදය පමණි.

කෙසේ හෝ එලෙසින්, සංදීප අදහස්කරන අරුතට සම්පූර්ණයෙන් විරුද්ධ තේරුම ඇති එම ගීතය නිසා චාමරට බොහෝ කාලයක් යනතුරු රිදුනි. සංදීපට තමන් උඩබලාගෙන කෙළ ගසාගෙන ඇති බව වැටහුනේ ගුණරත්න මහත්තයාගේ අතින් හිස හිල් වී යන තරමේ ටොක්කක් සමඟ ගීතයේ තේරුම පැවසුනු පසුය. ඒ වනවිට ගීතයේ තේරුම චාමර දැන සිටියේය. එබැවින් සංදීප ලවා ඔහු එය බොහෝවිට කැමැත්තෙන්ම කියවා ගත්තේ අකමැති බව සංදීපට දැනෙන ලෙසිනි. කෙසේ හෝ ටොක්කෙන් පසු නැවත එය අසන්නට නොලැබුනත් චාමරගේ සිතේ පහළව තිබූ වෛරය නම් එලෙසින් නොනැවතිණි.


සාමාන්‍ය පෙළින් පසු එය සමත් වූවෝ නගරයේ පාසලටත් අග නගරයේ පාසල් වලටත් අවතිර්ණ වූවෝය. සංදීප වෙනස්ම කෙනෙකු වූයේ මෙහිදීය. පෙරතිබූ මහන්තත්ව කම සමනය විය. අග නගරයේ ප්‍රධාන පෙළේ පාසලක උසස් පෙළ හැදෑරු ඔහු තමන් බිංකුන්ඩෙකු බව ඒ දරුවන් අතරදී මැනවින් වටහා ගත්තේය. සමාජය තුල දී හැසිරිය යුතු ආකාරය තමන් සිතුවාට වඩා බෙහෙවින් වෙනස් බව ඔහුට වැටහින.

ඔහු ගේ සිතුම් පැතුම් වෙනස් විය. කුල භේදය යනු කරපින්නාගෙන යායුතු නොවන හණමිටියක් බව ගුණරත්න මහතාට වටහා දිමට ඔහු ගත් උත්සහයන් මතගැටුම් බවට පත් වී පියපුත් වාද දක්වා ඇදී ගිය වාර ගණන වැඩිවිය. කුළ මානයෙන් හිස පුරවා ගත් පියාගේ බෞද්ධ කමට ද ඔහු අභියෝග කලේ වරක් දෙවරක් නොවෙයි.

'වියළි දඬු නැමිය නොහැකිය. කැඩිය හැකිය.' පියා නිසා කඩා දැමිය නොහැකිය. එම නිසා සංදීප නිහඬවිය.

පියාද, පරම්පරා ගණනක් තිස්සේ උපයා තිබූ ධන සම්භාරයෙන් වැඩි ප්‍රමාණයක් සුව කල නොහැකි වූ ඔහුගේ මාරාන්තික රෝගයට වියදම් කර, කුළ ගර්වය පමණක් ඉතිරි කොට සංදීප විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ උගැනුම ලබද්දී සදහටම නිහඬවිය.

************************************************************************************

පසුදින උදෑසන හතරට තිබෙන බසයෙන් සංදීප කොළඹ බලා පිටත්විය. අම්මාගේ අනුදැනුම පරිදි වෙනදා තබන බුදු පහනට අමතරව එදින පඬුරක්ද තැබූ ඔහු නැවතත් වුනු භාර සිහිකර ඒවා නොවරදවා ඉටු කරන බවට නැවත නැවතත් හිතින් දිව්රුවේය.


කොළඹ එන අතරතුරදී ඔහුගේ සිතපුරා වෙනදා මෙන් සිටියේ කසුනි නොවෙයි. නොදුටු, ආයතන ප්‍රධානී සභාපතිවරයාය.

කියන ආකාරයට නම්, අකුරට වැඩ කරන, සේවකයින් ගැන මනාව සොය බලන පුද්ගලයෙකි. එනමුදු ගත් තීරණය කිසිදා වෙනස් නොකරන්නෙකි. සංදීපගේ සම්මුඛ පරීක්ෂණ පැවති කාලයේ ඔහු මක්කම වන්දනාවේ ගොස් සිටියේය. එසේ නොවුනා නම් මේ වන විට දෙකින් එකක් සිදු වී බොහෝ කල්ය.

අල්ලාහාජ් අලී මොහොමඩ් හුසේන්’ සංදීප මේ දිනවල මතුරන එකම නම එයයි. සාමාන්‍යයෙන් සංදීප වන් ඉහළ පෙලේ නිලධාරියෙකු පත්කර ගැනීමේදී එම ආයතනයේ පටිපාටිය නම් ප්‍රථම අදියරේ සම්මුඛ පරීක්ෂණ තුනකින් සමත් වූ පසු ආයතනයේ සභාපතිවරයා හමුවේ අවසාන සහ තීරණාත්මක සම්මුඛ පරීක්ෂණය පැවැත්වීම වුවද ඒ සමයෙහි සභාපති තුමා මෙරට නොසිටීමත්, පුරප්පාඩු වූ අසුන වහා පිරවිය යුතුම ආකාරයේ අසුනක් වීමත් නිසා අවසාන සම්මුඛ පරීක්ෂණය කල් ගියේය.

එම භාරදූර අසුන බාර දෙන විට සිදුකරන ආකාරයට, ආයත‍නයේ නීතී උපදේශක පෙරකදෝරු මහතා ඉදිරිපිට ගිවිසුම් අත්සන් කලද රස්සාව ලැබුනා යැයි සංදීප හට සතුටු වීමට‍ නොහැකි විය. එයට හේතුව යම් හෙයකින් සභාපතිවරයා නොසතුටු නම් ඕනෑම අවස්ථාවක දොට්ට දැමිය හැකි බව දැක්වෙන වාක්‍යය කණ්ඩයක්ද එම ගිවිසුමට පැහැදිලිවම ඇතුලත් වී තිබීමය.

සභාපතිතුමාගේ සතුට දිනා, සංදීපගේ අත්සන දැනට යොදා ඇති ඒ වැදගත් ලිපියට එතුමාගේ අත්සන යෙදුනේ නම් වසර පහක් යනතුරු රැකියාව ස්ථිරය. ඉන් අනතුරුව නැවතත් ගිවිසුම් අළුත් කල යුතුය. මේ වනතුරු ආයතනය ඇරඹී දා පටන් කිසිම සේවකයකු එය අත්හැර ගොස් නැත. සංදීපගේ දැක්ම අනුව, ‘යම් හෙයකින් සේවකයා විසින් ගිවිසුම් ප්‍රකාර වසර පහ ඇතුලත ආයතනය අතහැර යන්නේ නම්, ආයතනයට අවැසි නම් නෛතික ක්‍රියාමාර්ගයක් ගත හැක’ යන වාක්‍යය කණ්ඩය ගිවිසුමට ඇතුලත් කර ඇත්තේ වඩා හොඳ සේවක පිරිසක් ආයතනය වෙත බඳවා ගැනීමට විය යුතුය.

ගෙදරදී තම්බන ලද බිත්තරත්, මගදී තම්බන ලද බිත්තරත්, තම්බන්නට තිබෙන බිත්තරත් යනාදී සියලුම බිත්තර සමගින් උදෑසන 7 .45 පමණ වනවිට සංදීප කාර්යාලයට සැපත්විය.

වෙනදා රථගාලේ දැක නුපුරුදු ඒ මහේශාක්‍ය රථය අද තේජමානව නිසොල්මනේ රථගාලේ රැඳී සිටියි. ‘සභාපතිතුමා ඇවිල්ලා’ හිතින් වුවද තුමා කොටස නොමැතිව නොහිතන්නට අනෙක් සේවකයින් මෙන්ම සංදීපද පුරුදු වී ඇත. ඒ තරමට සේවකයින් හට හිතෛෂි ලෙස කටයුතු ඉටු කැරෙන ආකාරයට ‘සභාපතිතුමා’ ආයතනයේ කටයුතු හසුරුවයි. සේවකයින් සියල්ලෝම සිනා මුසුව ප්‍රබෝධමත්ව සිටියි. මුළු ආයතනයම වෙනදා නොමැති ආකරයේ උද්යෝගයකින් ඇළලී ගියා සේය.

“හී කේම් මචං හී කේම්” ක්‍රිෂාන් ඔහු දුටු වනම අත අල්ලාගෙන පැවසුවේය.

“යෙස් අයි කැන් සී ඉට්” සංදීප පුටුව ඇද අසුන් ගන්නා ගමන් පැවසුවේය.

“සී......... අයි ටෝල්ඩ් යූ, වෙන් හී ඉස් ඇට් ඔෆිස්, ඕල් ද ඔෆිස් ලුක්ස් ජස්ට් ලයික් දෙයා ඉස් අ වෙඩින් ෆන්ෂන්” ක්‍රිෂාන් පොදු උද්යෝගයෙන් ඇලලී ගොස් ඇත.

“බට් නොට් ෆෝ මී මචං” සංදීප වායු සමීකරණය කරන ලද කාමරය තුලදීත් නැග ආ සිහින් දාඩිය බිඳු පිසලමින් බිම බලාගෙන පැවසුවේය.

ක්‍රිෂාන් ඔහුගේ මේසය ඉදිරිපිට වූ අමුත්තන් සඳහා වුනු ආසනයක අසුන් ගත්තේය.
“ඩෝන්ට් වොරි මචං ඩෝන්ට් වොරි. යූ නෝ? හී අස්ක්ඩ් මී අබව්ට් යූ.” සංදීපගේ හිස කෙස් කෙලින් වූවා සේ ඔහුට දැනින.

“දෙන්?”

“දෙන් වට්? අයි ගේව් හිම් අ ග්‍රේට් රෙකමන්ඩේෂන්. අයි තින්ක් යූ මේ හැව් අ ප්‍රමෝෂන් ටූ මචං” ක්‍රිෂාන් පවසන කිසි දෙයක් සංදීපගේ සවනට පතිත වූවාදැයි සැක සහිතය. එය මිතුරාටත් වැටහුනා විය හැක.

“ඕකේ මචං. සී යූ ලේටර් විත් අ බෙටර් මූඩ්” කියමින් ක්‍රිෂාන් පිටව ගියේය.

නැවතත් බිත්තර තම්බන්නට වේලාවයි. කඩදාසි කොලයක් ගෙන එය කුරුටු ගාමින් තීරණාත්මක දුරකථන ඇමතුම එනතුරු ඔහු බලා සිටියේය. ‍වෙනදාට නිනව් නොමැතිව හඬන දුරකථනය ද අද නිහඬය. ආයතනයේ සියලුම දෙන අද සංදීපට තීරණාත්මක දිනයක් බව දන්නා නිසාදෝ ඔහුගේ දුරකථනය අද මෙසේ නිහඬව සිටනවා විය හැක. සවන් ගුල් තුලට කිසිම ශබ්දයක් නොයනු සේ ඒවා අගුල් වැටී දැයි විටෙක ඔහුට සිතුනි. ඒ තරමටම පරිසරයද නිහඬ වතක් අනුගමනය කරනු සේය.‍කෙසේ හෝ අවසානයේ පැයකට පමණ පසු දුරකථනය නාද විය. ටිකෙන් ටික මැරෙනවාට වඩා එක්වරම මැරෙන එක කොයි අතිනුත් හොඳ දෙයකි. ‘අම්මෝ ඇති යාන්තම්’ සංදීපට එසේ සිතෙන්නට ඇත.

“ගුඩ් මොර්නින්. සංදීප හියර්” හැකිතාක් දුරට සිය වදන් තුලට සංයමය කවමින් ඔහු පැවසුවේය.

“යර්ස් ගුඩ් මෝර්නින්. අයි තින්ක් දිස් ඉස් මිස්ටර් සංදීප සුදර්ශන ගුණරත්න? ඇම් අයි කරෙක්ට්?” මිතුරන් පැවසුවා නිවැරදිය. මුස්ලිම් වූවාට වදන් භාවිතය සිංහල අප වාගේමය.

“යර්ස්. හව් මේ අයි හෙල්ප් යූ?” සාම්ප්‍රදායික පැනය සුදුසුය.

“අලී මොහොමඩ් හියර්. අයි තින්ක් යූ කැන් කම් ටූ මයි ඔෆිස් ෆෝර වයිල්”

“යස් සර් ෂුවර්”

අවසානයේ, සත් මසක් ඇවෑමෙන් ඒ දිනය එළඹ ඇත. දැන් එයට මුහුණ දිය යුතුය. ත්‍රිවිධ රත්නයේ පිහිටත්, දෙවි දේවතාවුන්ගේ පිහිටත්, ආදරණීය අම්මාගේ ආශිර්වාදයත් සිහිකොට ඒ සැම සරණින් මේ මුසල්මානුවාගේ සිත තමා කෙරෙහි පැහැදේවා!!! යි පතමින් සංදීප ටයි පටිය සකසමින් සිය කාමරයෙන් පිටත්විය.


“මේ අයි කමින් සර්........?” සේවකයා සේව්‍යයාගේ කාමරයේ දොර අසලය. සිංහල ගීතයක් සිහින් රාවයෙන් වාදනය වෙමින් පැවතින.

සිය පරිගණක තිරයට මුහුණ ඔබාගෙන සිටින සේව්‍යයා හට සේවකයා දෙස බලන්නටවත් ඉස්පාසුවක් නැති සේය.

“යස් කමින්” සංදීප කාමරයට ආ බව අලී හට දැනුනි. “ටේක් අ සිට් සංදීප” සටහන් කරමින් සිටි විද්‍යුත් ලිපිය තවදුරටත් සටහන් කරමින් අලී පැවසුවේය.

සභාපතිතුමාගේ සිරුරෙන් සංදීපට පෙනෙන අර්ධයට අනුව නම් මිතුරන් පැවසූ ලෙසින් ඔහු තමන් හා සම වයස් වෙතැයි ඔහුට කොයි ලෙසකින්වත් සිතාගත නොහැකි විය. තරබාරු පුද්ගලයෙකු වූ සභාපති තුමා, මුහුණ පුරා වවා සිටි රැවුල නිසා තමන්ට වඩා මුහුකුරා ගිය පෙනුමක් ගනී යැයි පසුව ඔහුට සිතිණ
.
“ඉතිං සංදීප කොහොමද? අපේ ආයතනය හොඳද?”

“මම ඇත්තම කියන්න ඕනේ සර් මං හිතන්නේ නැහැ මට කිසිම දාක මේ වගේ ආයතනයක් මේ රටේ වෙන කොතැනකවත් දකින්න ලැබෙයි කියලා.” සංදීප අවංකව ම සිය සිතැඟි පැවසුවේය.

“එහෙමද?” සභාපතිතුමා සිනා වෙයි. තවමත් ලිපිය අවසන් වී නැත.

“ඒ කියන්නේ සංදීප කැමතියි අපිත් එක්ක දිගටම, අයි මීන් අවම වශයෙන් අවුරුදු පහක් වත් වැඩ කරන්න?”

“සර්. ඔව් සර්, අවුරුදු පහක් නෙමෙයි. හැමදාටම වුනත් ඉන්න කැමතියි මම.
ඒ තරමට මේ ආයතනය ගැන පැහැදීමක් තියෙනවා මගේ හිතේ. මෙහේ ඉහල සිට පහළට ඉන්න සියලුම සේවකයින්, පරණම සේවකයින්ගේ ඉඳන් අලුත්ම ‍කෙනා දක්වා සියලුම දෙනා කවදාවත් වැරැද්දක් නම් කියන්නේ නැහැ, හොඳම විතරයි සර්. ඒ හැමදේම සලකලා මම කැමතියි ආයතනයට හැමදාමත් මගේ සේවය සපයන්න” තමන් කියෙව්වා වැඩි දැයි සංදීපට සිතිණ.

“බොහොම හොඳයි බොහොම හොඳයි, සංදීප මගේ වැඩේ පහසු කලා. මම අහන්න හිටපු ප්‍රශ්න කිහිපයකටමත් සංදීප උත්තර දුන්නා” සිය ජංගම පරිගණකය දෙනෙත් ඉවතට ගත් අලී සංදීප දෙසට හැරී සිනා මුසුව පැවසුවේය.

සංදීපගේ පාද වෙවුලා ගිය බවක් ඔහුට දැනින. ආගන්තුක හැඟීමකින් සිත පිරී ගියේය.

අලී දෙනෙත් නොසලා සංදීප දෙස බලා සිටියේය.

කාලාන්තරයක් තිස්සේ බලාසිටි අවස්ථාව එළඹ ඇත. දැන් එයට පෙර සිටම සැළසුම් කල පරිදි මුහුණ දිය යුතුය. අද ඔහු මෙතුවක් කල් බලා සිටි තීරණාත්මක දිනයයි. යම්කිසි ඉලක්කයක් කරා විගස හෝ කෙමෙන් කෙමෙන් හෝ ළඟා වීමට ඔහුට කුඩා කල සිටිම මනා වූ පුහුණුවක් ලැබී ඇත. මේ ජීවන මග ඔහුට ඒ ජීවන පරිචය මැනවින් ලබා දුන්නා යැයි පැවසුවොත් නිවැරදිය.

ඔහුගේ සිත ප්‍රීතියෙන් ප්‍රමුදිතව ඇත. ඔහු සෙමින්, වාදනය වන සිංහල ගීතයේ රාවය වැඩි කළේය.

‘පුහු මානය හර්දේ පුරවන්නේ..........
දස පාප ක්‍රියාවේ පැටලෙන්නේ...............’

වියරු වූ සිනාවක් මුවතුල සිරවී එළියට පනින්නට නලියයි.

'සංදීප පොඩි මහත්තයා'............. ඉතිං කොහොමද?”

ඇසෙන්නට වූ ගීතයේ පද විසින් කූරු ගෑ හදවතේ බර දරාගත නොහැකිව බිම බලාගෙන සිටි සංදීප එම ඇමතුමෙන් උඩ විසීවී බිම වැටුනේය.

“ආ............ මොකද‍ මේ ? ඉඳ ගන්න ඉඳ ගන්න................"

“කොහොමද? හිතට මාර සනීපයක් දැනෙනවා ඇති නේද 'සංදීප පොඩි මහත්තයා'?

මං ජීවිත කාලයක් පුරා නොවිදිනා දුක් විඳලා, මට වඩා අවුරුදු 7ක් වැඩිමහල් මුස්ලිම්ගෑණියෙක් බැඳගෙන මගේ ආත්මය මාගේ ආගම පවා දීලා, තමුසෙව මේ විදිහටඋගුලට අහු කරගන්න ගහන්න තියෙන සේරම දහංගැට ගහලා දිනා ගත්ත අද දවස සමරන්නේ නැතිව යන්නද නැගිට්ටේ?

එහෙම කොහොමද? අද විතරක් නොවෙයි තව ඉදිරියට අනිවාර්යය අවුරුදු පහක්.......... තේරුනානේ. අනිවාර්යය අවුරුදු පහක් අපි ඒ සතුට සමරමු.

හැබැයි මම එපා කියන්නේ නැහැ ගැලවෙන්න පුළුවන් දෙයක් කරලා බලමු මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ”

අවසාන තර්ජනාංගුලිය සංදීපගේ සවනට වැකී මොළය කම්පනය කර ගොස් හදවත පතුලේ ඊයම් බරුවක් සේ රැඳින. එතැන සිටි ‍සභාපතිතුමා දැන් එතැන නැත. තිබෙන්නේ පුංචි සංදියේ 'සංදීප පොඩි මහත්තයා'ට කොතෙක් කැපුවත් විනාස කරගත නොහැකි වූ පැළයකින් වැඩුනු අතුපතර විහිද ගිය මහා වෘක්ෂයකි. ඔහු ගැන අනුකම්පාවෙන්, පසුගිය සතිය පුරා වූ භාර, දෙවි දේවතාවුන් භාර නොගත්තත් දැන් නම් පළක් නොවන බව ඉර හඳ සේ විශ්වාසය.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...