Friday, June 1, 2012

123. මල් කැකුලු රැසක් මිලිනව ගියෝයා.....




ලබන සතියෙ මගෙ වාර්ෂික නිවාඩුව....


පහුගිය ඉරිද වැඩ ඇරිල ඇවිල්ල හැමතැනම ඇවිද්ද මගෙ අල්ලපු කාමරේ අතිජාත මිත්‍රය එක්ක ලංකාවට ගෙනි යන්න බඩු අරව මේව ටිකක් ගන්න. අන්තිමට ආවෙ විලාජියෝ වෙලඳ සංකීර්ණයට..දෝහා වල තියෙන ඉතාම දර්ශනීය ඒ වගේම ලෝකෙ සුප්‍රසිද්ධ වෙළඳ නාම සහිත සන්නාම භාණ්ඩ රැසක් අලෙවි වන සුප්‍රසිද්ධ මෝල් එකක්.


සන්ධ්‍යා කාලෙ ඉඳල රෑ දෙගොඩ හරිය වෙනකනුත් දෙනෝ දාහක් ලෝකෙ හැම ජාතියකටම අයත් ගැහැණු, පිරිමි කෙල්ලො කොල්ලො විලාජියෝ එකේ පොදි කන්නෙ බඩු ගන්ට විතරක්ම නෙවෙයි.ඉතාම දර්ශනීය විදිහට ඉඳිකරපු වාස්තු විද්‍යාත්මකව බැලුවත් සෞන්දර්යාත්මකව බැලුවත් අග්‍ර ගන්‍ය නිර්මාණයක් වන මේ වෙළඳ සංකීර්ණය ඇත්තටම දෝහා වැසියන්ට Recreational Point එකක්. සවස් කාලය විවේකයෙන් සහ විනෝදයෙන් ගෙවන්ට අපූරුම තැනක්.


මේ ටිකේම ඉස්පාසුවක් නැතුව වැඩ...සඳුදත් ඒ වගේම තමයි....දවල් දොළහට වගේ ඇති මයෙ හිතේ....මොබයිල් එක රිං උනා. ඒ මගෙ යාළුව..


'' රවී විලාජියෝ එකේ මාර ගින්නක්.....ඒ පළාතම වැහිල කළු දුමෙන්...''


යාළුව වැඩ කරන්නෙ විලාගියෝ එක කිට්ටුවම.අපෙ ඔෆිස් එකේ ඉඳලත් එතනට වැඩි දුරක් නෑ. විලාජියෝ එක කිට්ටුවම තියෙන 2006 ආසියානු ක්‍රීඩා උළෙලට හදාපු ඔලිම්පික් පහන අගේට පේනව මගෙ සීට් එකට. හැබැයි මම වැඩකරන්නෙ ඒ පැත්තට පිටු පාල. යාළුව එහෙම කිව්වම මම ආපහු හැරිල බැළුව ජනේලෙන්. ඇත්තම නේන්නම් ඒ පළාතම කළුම කළු දුමාරයකින් වැහිල.


මම ආරංචිය කිව්වම ඔෆිස් එකේ අනික් හැමෝම ආව ජනේලෙ ළඟට...


'' My goodness, Ravi ayiya, I went there just last week....It seems to be somewhat a major fire...''


'' No, it would be put down immediately, Its natural during the peak of the summer, don't worry, its nothing,''


අපේ Document Controller, ඉන්දියානු යුවතියට මම එහෙම උත්තර දුන්න.


ආයෙම වැඩට බැස්සට මම සැරින් සැරේ හැරිල බැලුව...ම්ම්හ්...තාමත් දුම අඩුවෙලා නැහැනෙ...තද කළු දුම් තවමත් අහසට විහිදෙනව කියන්නෙ ගින්න තාම පාලනය කරල නැහැ...


පැයකට දෙහෙකට විතර පස්සෙ තමයි මම හිතන්නෙ දුම අඩු වෙලා ගියේ...


ගින්නෙ තොරතුරු ගැන හරියටම ආරංචියක් ලැබුණෙ නෑ...වැඩ නිසා මටත් ඒක එහෙම්මම අමතක වෙලා ගියා.


දවල්ට කාල ලැබෙන පොඩි විවේකෙදි මම පත්තරයක් බල බල හිටියෙ.


'' රවි අයිය..මාර වැඩේනෙ...අපේ ෆයිනෑන්ෂල් මැනේජගෙ දුවත් ගින්නට අහුවෙලාලු. '' මා එක්ක වැඩ කරන ලාංකික සඟය දුවගෙන ඇවිත් කිව්ව...


'' නෑහ්....''


මට එක පාරට පුටුවෙන් නැඟිට්ටුන...


'' ඉතිං?......''


මම ඉතුරුටික වචන වලට පෙරලුවෙ නෑ...ඒත් ප්‍රශ්නෙ හිස් අවකාශෙ පාවෙලා ගියා..


'' නැතිවෙලයි කියල කියන්නෙ අයියෙ...''


මිනිහ ඒ ටික කිව්වෙ බොහොම හෙමීට..


මම එහෙම්මම ආපහු පුටුවෙ ඉඳ ගත්ත.


සති දෙකකට විතර කලින් තාත්ත එක්ක ඇවිල්ල ඔෆිස් එක පුරහම දුව පැන ඇවිද්ද පුංචි සුරංගනාවි,.....අවුරුදු හතක පුංචි සුරංගනාවි...උරහිසට වැටෙන රන්වන් කෙස් වැටිය හොලව හොලව එහෙ මෙහෙ දිව්ව පුංචි සුරංගනාවි, හැමෝම ළඟට ඇවිල්ල '' Hello, how are you? '' කියල කිව්ව පුංචි සුරංගනාවි...


ඇස් තෙත් වීගෙන ආව නිසාම මම දෑස් තදින් පියාගත්ත...


*******************************

ජනගහනය ඉතා සීඝ්‍රයෙන් වැඩිවෙන විදිහට අහසෙ පදිංචියට යන්න මිනිස්සු උත්සාහ කරන එක පුදුමයක් නෙවෙයි. ලෝකෙ දැනට තියන උසම ගොඩනැගිල්ල ඩුබායි නගරයේ Burj Khalifa....මීටර් 829.84 උසයි, අඩි වලින් නම් 2723.00


මිනිස්සු පොළවෙන් ඈත් වෙන්න ඈත්වෙන්න ආරක්ෂාව සමානුපාතිකව අඩුවෙනව කියලයි මට හිතෙන්නෙ.නිකමට හිතන්න අනාගතයෙ නිර්මානයවෙන මීටර් 2000 විතර උස ගොඩ නැඟිල්ලක ගින්නක් ඇති උනාය කියල...මිනිස්සු බේර ගන්න වෙන්නෙ හෙලිකොප්ටර් වලින්ම තමයි. වෙන ක්‍රමයක් නෑ.


භූමිකම්පා හැරුණුවිට මේ වගෙ යෝධ ගොඩනැඟිලිවල බලපාන අනෙක් තර්ජනය තමයි ගින්න....


Fire is an obedient servant, nevertheless a cruel master


ඔය ගොල්ලො පුදුම වෙයි ඔය යකඩ කොන්ක්‍රීට් සහ වානේ වලින් හදාපු නවීන ගොඩනැඟිලිවල කොච්චර ඉක්මනට ගින්නක් පැතිරෙන්න පුලුවන්ද කියල...ඒත් ඒක තමයි ඇත්ත...ගිණි වැලැක්වීම (Fire Prevention ) සහ ගිණි මර්දනය (Fire Suppresion) කියන්නෙ නවීන ගොඩනැඟිලි නිර්මාණ ක්‍රමවේදයෙ ඉතාම වැදගත් කොටස් දෙකක්.

Smoke detecters, Addressabla fire alarm control systems, intelligent fire detectors, Automatic water sprinklers...ඔය ගිණි ආරක්ෂණ පද්ධතියක තියෙන රටේ නැති උපාංග වලින් කීපයක්...ඒත් අන්තිමට වෙන්නෙ මහ විනාසයක්....


ඒත් කණගාටුවට කාරණේ මේ සියලු ආරක්ෂක විධිවිධාන යොදලත් අන්තිමට මිල කල නොහැකි මිනිස් ජීවිත විනාශ වෙන එකයි.


Every fail safe and efficient system ever designed by man has an inherent risk factor that cannot be eradicated ; its called human error and negligence.


මේ ගින්න ඇතිඋනේ කොහොමද කියල තාම පරීක්ෂණ පවත්වාගෙන යනව. කියන විදිහට නම් තාම හේතුවක් කවුරුවත් දන්නෙ නෑ.


ඒත් සමහරවිට එක් පුද්ගලයෙකුගෙ අත් වැරැද්දක් වෙන්න පුළුවන් මේ ඛෙදවාචකයේ මූලාරම්භය.උදාහරණයක් විදිහට Smoke detectors වල තියනව සංවේදක කියල ජාතියක් ( Sensors ) ,පොඩි Chip එකක්..... එව්ව දිනපතා පරීක්ෂා කරන්ට ඕන හරිහැටි ක්‍රියාකරනවද කියල. පහුගිය සඳුද ඒ වැඩේ සමහර විට හරියට උනේ නැතුව වෙන්න ඇති..කවුද දන්නෙ?


අන්තිමට මල් කැකුළු දහතුනක් ඇතුළු අමිල ජීවිත දහනමයක් අහිමි උන එක විතරයි උනේ.....


44 comments:

  1. හිත මොකද්ද උනා වගේ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත, පොඩි මෑන් හිත හිරිවැටෙනව වගේ..:(

      Delete
  2. ඒ අහිංසක මල් කැකුල ඇතුලු මිය ගිය සියලු දෙනාටම යහපත් මතු ජීවිතයක් පතමි !!

    // මිනිස්සු පොළවෙන් ඈත් වෙන්න ඈත්වෙන්න ආරක්ෂාව සමානුපාතිකව අඩුවෙනව කියලයි මට හිතෙන්නෙ //

    මේකනම් ඇත්ත. සහතික ඇත්ත. පොලවත් නිකම් දෙමව්පියො වගේ. දරුවන්ව තමන් ළඟටම ඇද බැඳ තියාගන්ඩ තමා හැමතිස්සෙම බලන්නෙ. මට දවසක් අපේ ඔෆිස් එකේ පඩි පෙල බහිනකොට හිතුන දෙයක් තමා ඇයි බහින්ඩ මෙච්චර ලේසි සහ නගින්ඩ ඔච්චර අමාරු කියන එක. දිගින් දිගට හිතුවම නතර වුනේ පොලොවත් නිකම් දෙමව්පියෝ වගේ කියන සිතුවිල්ලෙන්. තමන්ගෙන් ඇත් වෙනවට කැමති නෑ. ඈත් වෙන්ඩ හදනකොට තමන් දිහාට ඇදගන්නවා. ඈත් වෙන්ඩ වෙන්ඩ අපිට තියන රැකවරණය සහ ආරක්ෂාව අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත සෙනා, පොළෝ මහී කාන්තාව කියන්නෙ අපෙ අම්මා, අම්මගෙන් ඈත් වෙන්න ඈත්වෙන්න දරුවන්ට ආරක්ෂාව අඩුයි....පොළවෙ පය ගහල ඉන්නව වගේ හිතට සැනසුමක් වෙන කොහෙවත් නෑ...

      Delete
  3. ඩුබායි වල මේ ප්‍රවෘතිය ලොකුවට ප්‍රචාරය උනා.... දෝහා වල සහ ඩුබායි, සාජා වල ෂොපින් මෝල් අතරේ කිසිම වෙනසක් නැහ... මල් කැකුළු 13ක් අහිමි වෙලා....! ඒ දෙමව්පියෝ කොහොම නම් විඳ දරා ගන්නද ? එක පවුලක නිවුන්නු 3 දෙනෙක් ගින්නට අහුවෙලා මැරිලා.....! මගේ පපුව කොච්චර වෙලා නැවතිලා තිබුනාද කියලා මට මතක නෑ....!

    ReplyDelete
    Replies
    1. ඒක හරි දුමී....දරුවන් කෙරෙහි ප්‍රේමය නම් ඇට මස් විදගෙන යන්නකි.....වචන නම් හරියටම මතක නෑ. ඒත් ඔහොම සඳහන් වෙනව සරච්චන්ද්‍ර මහත්මයගෙ සිංහබාහු නාට්‍යයෙ...

      Delete
  4. කතාව ඇත්ත රවි, බොහොමයක් disasters වල මූලය හොයලා බැලුවහම එතන තියෙන්නෙ human factor එක.. ඒකෙනුත් බොහෝවිට නොසැලකිලිමත්කම නිසා වෙන අත්වැරැද්දක්..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බූරා වැඩේ...ඔය මොන ආරක්ෂණ පද්ධති තිබුනත් අවසානෙ ඔව්ව ක්‍රියාත්මක කරන්නෙ නඩත්තු කරන්නෙ පෘථග්ජන මිනිස්සුනෙ....ඉතිං මොකේද දං වළඳන්නෙ?....:( :(

      A chain is as strong as it's weakest link ; In any system the weakest link is the human factor.....

      Ex - Fukushima nuclear plant disaster - March 2011

      Delete
    2. Fukushima විතරක් නෙවෙයි, චර්නොබිල්, ත්‍රී-මයිල් අයිලන්ඩ්, එතකොට අර උතුරු මුහුදේ ඔයිල් රිග් එක (නම හරියටම මතක නෑ, ෆයිපර් ඇල්ෆා ද කොහෙද) තව අනන්ත උදාහරණ දෙන්න පුළුවනි..

      මම ඉස්සර ආසාවෙන් බලපු documentary series එකක් තිබුනා ඔය වගේ disasters analyse කරලා පෙන්නනවා ඇයි ඒ වගේ දෙයක් වුනේ, කොතැනද වැරැද්ද තිබුනේ ආදී වශයෙන්.. ඒකෙ තමා ඔය චර්නොබිල්, ෆයිපර් ඇල්ෆා එහෙම ‍පෙන්නුවේ..

      Delete
  5. ලංකාවෙත් නිවුස් වලට පෙන්නුවා. හරි දුක හිතෙනවා මේ කතාවට. දරු දුක කියන්නෙ මහ ගින්නක්ම තමා

    ReplyDelete
    Replies
    1. ඇත්ත,ඊට වැඩි දුකක් තවත් තියෙනවද?.....:( :(

      Instead of your children burying you, you are compelled to bury your children...:(

      Delete
    2. මගෙ අක්කත් පුතාගෙ මරණෙ වෙලාවෙ ඔය වචන ටික කිව්වා. අපිව වල ලන්ට ඉන්න එවුංව අපිට වල ලන්ට උනා.........

      Delete
  6. පොඩි අය ඒතැන මොනවා කරන්න ගිහිල්ලද රවි අයියා. ඒ ගොල්ල තනියෙමද ඉදලා තියෙන්නෙ...... තනියෙම හිටියනම්, ඒ ගොල්ල කොච්චර අසරණ වෙන්න ඇතිද?

    ReplyDelete
    Replies
    1. නෑ බුද්ධි ඔය මෝල් එකේ පලවෙනි තට්ටුවෙ තිබිල තියනව Day care center එකක්...එතන තමයි ගින්න ඇති වෙල තියෙන්නෙ...දරුවො 13 යි.. ගුරුවරියො 4 යි... තව ගිනි ආරක්ෂක භටයො දෙන්නෙකුත් මැරිල...

      මේ විස්තර කියවනකොටත් ඇඬෙනව මලේ...

      Delete
    2. මියගිය දරුවන්ටත් වඩා ඔවුන්ගේ දෙමාපියෝ දැවෙනවා ඇති තාමත්....

      Delete
  7. දුමී සඳහන් කරලා තියෙනව වගේ විලාජියෝ ඛේදවාචකය මේ දේසයේ ද බොහෝ කතාබහට ලක් වෙනවා. සිවිල් නීතිරීති පිළිපදිමින් පහසුකම්, උපකරණ මොනවා සවිකරත් ඒවා නඩත්තුව ගනන් නොගෙන හැරියාම අනතුරු හා විනාස වැඩි වෙනවා. විලාජියෝ ප්‍රශ්ණයට හේතුව තවම නොදන්න නමුත් මෝල් කලමණාකරුවන් අත් අඩංගුවට ගත් බව පුවත් පත්වල සඳහන් විය.

    අර නිවුන් දරුවන් තිදෙනාගේ මව කියා තිබුණා දරුවන් තිදෙනෙකු මොලොවට උපදවා, හදාවඩා ගන්න එක ලේසි නැහැ. ඒ දරුවන් තිදෙනාම එකම මොහතක ඇස්මායිමෙන් ඈත් වුනා කියන එක ඊටත් වඩා දරාගන්න බැහැ. ඒ මව නිවුන් දරුවන්ගේ බරින් දුෂ්කරතාවලට පත් වූ පවුල් වලට සහන සේවා සපයන ස්වේච්ඡා සංවිධානයක ක්‍රියාකාරී සාමාජිකයෙක්ලු.

    ReplyDelete
  8. අවුරුදු කිහිපයකට කලින් අපේ කාර්යාලය පිහිටි ටවර් බිඩිමේ රජයේ සිවිල් ආරක්ෂක අංශ විසින් දැණුම් දීමකින් තොරව පෙරහුරුවක් කරා. ගොඩනැගිල්ල සමාගමට අයත් එකක් නිසා වගේම, සර්වර් කොම්පියුටර් වලට විදුලි බල කලමණාකරනය ගැන කටයුතු කරන්න නියමිත වූ නිසා අපි කිහිප දෙනෙකු පෙරහුරුව ගැන දැන ගෙන සිටියා. ඒත් සයිරන් හඬ දෙද්දි 16වන තට්ටුවේ සිට තරප්පු පෙල දිගේ බහින්න මාත් එක් වුනා.

    එය ඔෆීස් ටවර් එකක්, අපි ඉන්න දේසයේ වැසියන්ගේ ශරීර ප්‍රමාණය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. ජනතාව හති දාගෙන පණ බේරාගන්න පල්ලම් බහින හැටි, උල්-අඩි පාවහන් ගලවාගෙන මොරදෙන හැටි, අතර මග ප්‍රථමාධාර කණ්ඩායම් ඒ මදිවට කලින් සැලසුම් කර විදියට "දුම් වැදිලා" අසනීප වූ අයෙකු ඔසවාගෙන බහින කණ්ඩායම හැම එකම හොඳ පෙරහුරුවක්. ඒත් දැනුම් දීමකින් තොරව එන වියරු අමුත්තාට තත්පර ගනනාවක් ඇති හැම විනාසයකටම.

    //මිනිස්සු පොළවෙන් ඈත් වෙන්න ඈත්වෙන්න ආරක්ෂාව සමානුපාතිකව අඩුවෙනව කියලයි මට හිතෙන්නෙ//

    සහතික ඇත්ත රවී.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඩීන්, නිතර ගිනි ආරක්ෂණය පිළිබඳ පෙර හුරු පවත්වන එක වැදගත්, ගින්නකදි පිළිපදියයුතු ක්‍රමවේදයන් පිළිබඳව කලමනාකාරිත්වය වගේම සේවකයනුත් දැනුවත්ද කියල ඇගයීමකට ඒ වගේ ක්‍රියාමාර්ග හරිම වැදගත්,

      ඔය ගිණි පෙරහුරු ගැන කියද්දි මගෙ අත්දැකීමක් කියන්නම්....

      මම කලකට ඉහත විදේශීය සමාගමක මහා පරිමාණ ජලවිදුලිබල ව්‍යාපෘතියක සේවය කලා ලංකාවෙ...

      ඒකෙ විදේශීය කළමනාකාරිත්වය සේවකයින්ගෙ ආරක්ෂාව ගැන හරිම උනන්දුයි. ඉතිං මාස තුනකට සැරයක් වත් සයිරන් එහෙම ගහල ගින්නක් වෙලාවෙ කට්ටිය හැසිරෙන විදිහ ගැන අධ්‍යයනය කලා.

      අන්තිමට උනේ අර කොටිය ආවෝ සීන් එකේ අනික් එක...දන්නවනෙ අපෙ මිනිස්සුන්ගෙ හැටි,අන්තිම වෙනකොට එකෙක් වත් ගනන් ගත්තෙ නෑ සයිරන් එක...

      මම දවසක් අපෙ බොසාට කිව්ව..." Sir, in case of a genuine fire you would have to announce ...Attention all.... this is a genuine fire, not a rehearsal, i repeat not a rehearsal, those ignoring this warning would be burned to death actually "

      දෙයියංගෙ පිහිටෙං එහෙම දෙයක් නම් උනේ නෑ....

      Delete
  9. හරිම කනගා‍ටුවක් දැනෙන්නේ මටනම්
    තුන් නිවුන් දරුවොත් මැරුනා නේද ? අනේ ඒ දෙමව්පියෝ දෙන්නා කොහොම ඒ දුක උහුලා ගන්නද?

    ReplyDelete
    Replies
    1. හිතට දුකයි කියන්නෙ කියල වැඩක් නෑ, රොබින්....

      ඒ අම්ම තාත්ත ඉන්නෙ කොහොමද කියල මට නම් හිතාගන්නවත් බෑ...:( :(

      Delete
  10. පුදුම කතාවක්නේ . අය්යෝ මට නම් ඉවසන්න බැහැ පොඩි දරුවන්ට විපතක් වෙන එක . අම්ම කෙනෙක් කොහොම ඉවසන්නද

    ReplyDelete
    Replies
    1. ජීවිතේ කියන්නෙ එකම දුක් ගොඩක් කියල බුදු හාමුදුරුවො කාලෙකට ඉස්සර කිව්ව කතාව ඇත්තම ඇත්ත කියල හිතෙන්නෙ මේ වගෙ වෙලාවට ....බින්දි,

      Delete
  11. :'( අයියෝ.... අප්පා.... :'(

    ReplyDelete
  12. අනේ... ඇඩුනා :'( :'( :'(

    ReplyDelete
  13. අනේ ඒ පැටව් ටික කොච්චර වේදනාවක් විඳින්න ඇතිද ..ඊට වැඩිය ඒ අම්මල..මේ වගේ වෙලාවලට තම හිතෙන්නේ මේ ලෝකේ දෙය්යෝ කියල ජාතියක් නැතුව ඇති කියල..

    ReplyDelete
    Replies
    1. මටත් ඔහොමම හිතෙනව මෙකුවි..කොහේ ඉන්න දෙයියෙක්ද?....

      Delete
  14. හොද දේ දරුවන්ට කියල කිව්වට මොකද හැමදේම වෙන්නෙ දරුවන්ට...අනේ දුවා ගන්නවත් බැරි, වෙන්නෙ මොකද්ද කියලවත් හිතා ගන්න බැරි දරු පැටවු..ලෝකෙ ආරක්ෂාවක් නැත්තෙම දරුවන්ට....ඒ දෙමව්පියො කොහොම දරා ගන්නද.......

    ReplyDelete
    Replies
    1. හොඳම දේ දරුවන්ට කියල කියමනක් නම් තියනව තමයි..ඒත් අද විඳින තරමක් කරදර, අතවර විඳින්නෙ කිසිවක් කරකියා ගන්න බැරි අහිංසක දරුවො....:(

      Delete
  15. අනේ පව්!!! දැනුයි මේ කතාව දැක්කේ. හරිම දුකයි. පුංචි ලමයි ඇත්තටම මල් වගේ. මේ වගේ දේවල් සිද්ධවෙන එක උහුලන්නේ කොහොමද?:(

    ඔවුන්ගේ මතු ජීවිත නිවී, සැනහේවා කියලා ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි, මොකද කොරන්නේ?...මේ වගෙ අවාසනාවන්ත සිද්ධීන් අහන්න දකින්න තරමට අපිත් පහුගිය ආත්ම වල මහ පාප කර්මයක් කරල ඇති කියල හිත හදාගන්න තමයි තියෙන්නෙ....

      Delete
  16. Hapoi.. bada papuwa daala diyaa... :(

    ReplyDelete
    Replies
    1. මොනව කියනවද තුසිත....හිතනකොටත් දුකයි....:(

      Delete
  17. ලෝකෙ කොයි තරම් දියුණු උණත් මිනිස් ජීවිතවල වටිනාකම සම්බන්ධයෙන් අපට අතහැරුණු ‍ගොඩක් ‍දේ තියනවා නේද? පරිසරය රැක ගැනීම ගැන අවධානය යොමු නොකළොත් අපි හැමෝටමත් පිච්චිලා මැරෙන්න වෙන දවසක් එයි.....

    පුංචි පැටවු ටික ගැන හරිම දුකයි. ඒ දරුවන්ට සදාතනික සැනසුම ලැබේවා..... මෙවන් අකල් මරණ මතු අත්භවයක ‍සිදු නොවේවා...

    දරුවන්ගෙ ආරක්ෂාව ගැන නම් අපේ සමාජයේ මීට වඩා කතා බහක්, අවධානයක් ඇති වෙන්න ඕන... පහුගිය කාලෙ ලංකාවෙ පුංචි දරුවො මොන තරම් භයානක කරදරවලට මුහුණ දුන්නද? මරණයට වඩා දරුණු අත්දැකීම් නිසා ළමයි හිංසාවට ලක් වෙනවා...

    බ්ලොග් ලියන අපේ යාළුවන්ට පුළුවන් වෙයි... මේ ගැන කතිකාවතක් ගොඩ නගන්න... ඒ වගේම සමාජයට දැනෙන වැඩක් කරන්න..

    රවී ඔයාගෙ දුක්බර අත්දැකීම ගොඩක් දෙනෙක්ගෙ හිත් කළඹන සහ ළමයි ගැන අළුතින් හිතන්න පොළඹවන අත්වැලක් වෙන එක වඩාත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ අදහස් දැක්වීමට ස්තුතියි තරුරසී, ඇත්ත....ඔය කරුණු ඔක්කොම සහතික ඇත්ත...ඒත් කවුද ඒ ගැන අවධානය යොමු කරල පියවරක් ගන්නෙ?....අන්න එතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ....

      Delete
  18. මේ මාස කීපය කණගා‍ටුදායක ආරංචි වලින් පිරිලා.
    ඔය කතාව Seconds From Disaster වලට ලඟදීම පෙන්නන්න ඉඩ තියෙනවා.


    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ලෝකෙ වැඩිපුර අහන්න ලැබෙන්නෙ හිත කම්පා කරවන ආරංචි තමයි, henry....:(

      Delete
  19. ඔන්න මමත් පෝස්ට් 150 පසු කළා ඇවිත් බලන්න හොදේ

    ReplyDelete
  20. ජීවිතේ කොච්චර නම් අනියතද

    ReplyDelete
  21. තවම නිවාඩුදෝ..???????????????
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හෙන්රි අයියේ........ රවියාභිධාන තුමා තාම නිවාඩුය කියන්න කිව්වා........... මේ මාසේ මැද ආයේ යනවාය කිව්වා........... එහේ කනෙක්සම ගොඩාක් ස්ලෝ බැවින් කොමෙන්ට් පෙට්ටිය ලෝඩ් වන්නේ නැති නිසාවෙන්, පිළිතුර මා අතේ එවන බව දන්වන්ටය කිව්වා...... :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...