Monday, July 9, 2012

100. අතීතයෙන් ගඟ ගලා බසී



'අතීතයෙන් ගඟ ගලා බසී'

මේ වාක්‍යය ඛණ්ඩය අහපු මුල් ම වතාවේ සිට මේ වනතුරු ම ඇහෙන ඇහෙන වාරයක් පාසා හිතට නැගෙන්නේ අමුතු සිතුවිල්ලක්. දුටු පමණින්, ඇසූ පමණින් දැනෙන්නේ කාලය පැටලුනු වාක්‍යයක් වගෙයි. ‘තාත්තා ඊයේ වැඩට යන්නේය’ වගේ වාක්‍යයකත්, ‘අතීතයෙන් ගඟ ගලා බසී’ වාක්‍යයෙත් අසමාන කම් වලට වඩා සමාන කම් වැඩියි වගේ මට දැනෙන්නේ. ඇත්තට ම කොහොමද අතීතයෙන් ගඟක් ගලා බහින්නේ නේද?

ඉඳින් කාලාන්තරයක් තිස්සේ මගේ හිතේ ඇතිවුනු පෙරළි මගින් හා මා හා ඇසුරේ සිටින මිතුරු මිතුරියන්ගේ අදහස් මගින්, එකතු කරගත් කාරණා කැටියෙන් මේ වාක්‍යයට මහිතේ තියෙන්නේ මේ වගේ අර්ථකථනයක්.

‘අද සිදුවන සෑම සිදුවීමකට ම අතීතයේ ද තමන්ට ම අනන්‍ය වූ තැනක් හිමියි... එහෙමත් නැත්නම් අතීතයේ යම් දිනෙක සිදු වූ දෙයක් නැවත නැවත සිදු වීමේ සම්භාවිතාව අප හිතනවාට වඩා වැඩියි. කාලය වෙනස්, මුහුණ දෙන ජීවින් මෙන්ම අජීවින් ද වෙනස්, ස්ථානයන් වෙනස්, නමුදු සිදුවීම් හැමදාමත් එක වගෙයි. සමහර දේවල් කාලය වෙනස් වුනාට එකම පිරිසකට වරින් වර සිදුවන අවස්ථාත් දකින්න පුළුවන්’

ඔය වගේ අදහසක් හිතේ තිබුනත් මට මෙහෙමත් හිතෙනවා වෙලාවකට. ‘පහත් තැනින් යයි ගලා ජලේ’ කියන්නැහේ, අද සිදුවන සැම දේකටම වැරැද්ද අතීතයට පැවරීමක් ගැනවත් මේ වාක්‍යයෙන් කියනවාවත්ද කියලා.‍ ඒත් ඒ වගේ ඇනුම්පදශීලි අර්ථයකට වඩා මුලින් කී අර්ථය ගැන හිතන්න මං කැමතියි. ඒ සිතුවිල්ල හරිම සුවදායක විදිහට හිතට දැනෙනවා.

ඔව්... සිදුවීම් නැවත නැවත සිදුවනවා යයි සිතුවහ ම වෙන්න පුළුවන් කාරණා වර්ග හතරක් තියෙනවා.

1. යහපත් සිදුවීම්

2. අයහපත් සිදුවීම්

3. යහපත් හෝ අයහපත් යැයි වර්ග කල නොහැකි සිදුවිම්

4. මේවාට අයත් නොවෙන වෙනත් සිදුවීම්

හැබැයි මේ කාරණා වලට සිදුවීම් ගොනු වන්නේ තම තමන්ට එම සිදුවීම් දැනෙන ප්‍රමාණේ අනුව තමයි. කෙනෙකුට යහපත් වන දේ තව කෙනෙකුට අයහපත් වන අවස්ථා මොන තරම්ද?

මගේ බුද්ධි මට්ටමේ තරමට නං මුලින් කී සිදුවීම තුන හැර 'වෙනත් සිදුවීම්' කියා කිසිවක් නැහැ. නමුත් මගේ බුද්ධි මට්ටමට වඩා යහපත් මට්ටමින් යුත් බුද්ධියකින් හෙබි කෙනෙක් ඇවිත් ආ එහෙනං ඔයා මේ සිදුවීම වර්ග කරන්නේ කොයිකටදැයි, හිතා ගන්නවත් බැරි සිදුවිමක් ගෙන හැර පෑවොත්, ආ ඒකද ඒක අයත් වන්නේ හතරවන වර්ගයට යැයි පවසා සාධාරණීකරණය කරන්නට දැන් මට පුළුවන්. ඇත්තටම මේ ක්‍රමය මගේ ක්‍රමයක් නොවේ. පාසල් සමයේ ගුරුමහත්මීන් විසින් අප හට සටහන් කරගන්න දුන් බොහෝ ලැයිස්තු අවසන් වූයේ, අවසන් අයිතමය ලෙස අනෙකුත් දෑ යනුවෙන් සටහන් කරමින්. ඒ සමහරවිට දරුවන් අතරින් කෙනෙකු ගුරුතුමියට හිතාගන්නවත් බැරි කාරණයක් ඉදිරිපත් කල හැකි වීම මෙන්ම ලියා නිම කල නොහැකි තරම්, වඩා වැදගත් නොවන කාරණා බොහොමයක් ද තිබිය හැකි නිසා විය හැකිය.

ඉතිං මං මේ කියන්න ගියේ, මොන සිදුවීම නැවත නැවත සිදු වුනත්, යහපත් සිදුවීමක් නිසා දැනෙන සතුට සිදුවීම සිදුවන වාර ගණන අනුව අඩු වෙලා යන්නෙත්, අයහපත් දුක්බර සිදුවීමක් නිසා දැනෙන දුක එන්න එන්න ම වැඩි වන්නෙත් මුහුණ දෙන කෙනාගේ අඩු ලුහුඬුවකින් මිස සිද්ධියේ දෝෂයකින් නොවේ කියලායි මට හිතෙන්නේ. දුක්බර සිදුවීමක් වුනහම, ‘අද විතරක් නෙමෙයි, මට විතරක් නෙමෙයි මේ දේ ලෝකේ පටන් ගත්ත කාලේ ඉඳන්ම වෙච්චි දෙයක්, ඒ වගේම ලෝකාවසානය දක්වාම සිදුවන දෙයක්. ඔව්වා මොනවද මෙයා’ කියලා හිතලා, තමන්ගේ පැත්තෙන් සිදු වෙච්චි වැරදි අඩුපාඩු තියේ නං ඒවා ආයේ සිදුවන්න ඉඩ නොතියා, වඩා යහපත් වු හෙට දවසක් සඳහා ජීවත් වෙන්න පුළුවන් නම් ඒක හරිම වටින දෙයක් වෙයි. ඉතිං එහෙම වෙලාවට අතීතයෙන් ගඟ ගලා බැස්සට එච්චර තද දුකක් දැනෙන එකක් නැහැ.

දැන් ඔබට හිතෙන්න පුළුවන්, මේ සිද්ධාන්තය බලපාන්නේ විරහ වේදනාවෙන් පෙළෙන පෙම්වතුන්ට විතරයි කියලා. නැහැ පෙම්වත් සමය කියන්නේ ජීවිතයේ බොහොම කෙටි කාලයක්. ඒක තේරෙන්න ඒ සමය පහු කරලා අනෙකුත් අවධීන් වලට එළඹෙන්න ම ඕනෑ. දරුවෝ නිසා දුක් විඳින දෙමව්පියන්ට, දෙමව්පියන්ගේ සමහර අඩු පාඩු නිසා දුක් විඳින දරුවන්ට, සහකාර පාර්ශ්වය නිසා පීඩාවනට පත් වෙන අයට, පාලකයින්ගේ කාරණාවන් නිසා පීඩනයට ලක්වෙන ජනතාවට, (අප්පේ ජනතාව එයිද දන්නේ ‍නැහැ කඩු කිණිසි අමෝරාගෙන මං දිහාවට), පන්සලේ හාමුදුරුවන්ගේ හැසීරීමෙන් කණගාටු වන දායක පිරිසට, සර්ව රාත්‍රික පිරිත් දේශනයකට වැඩියහ ම, පිංවතුන් සැම සුව නින්දේ පසුවෙමින් නිළියන්ගේ පමණක් නොව නළුවන්ගේද විකාර දක්වන අයුරු දකිමින්, සාදුකාරයක්වත් නොඅසා, බිත්ති සහ ගෘහ භාණ්ඩ වලට පිරිත් දෙසන හාමුදුරුවරුන්ට ආදී සහ නොකී අනෙකුත් සැමදෙනට කණගාටුදායක, සිත කළකිරවන අවස්ථාවන් හිදී මෙම වෘත්තාකාර ජීවන චක්‍රය සිහිකරමින් සිත හදාගන්න පුළුවන්. ප්‍රධාන ම දේ ව්‍යාකූල වූ, කලහාකාරී අවස්ථාවක් හීදී හැකි සෑම විට ම මුවින් නොබැන නිහඬව පසු වීමයි. තේරුම් ගන්න. මං මේ කිව්වේ සුහද සාකච්ඡා ගැන නෙමෙයි. පැටලිලි අවස්ථා ගැන. අමාරුයි තමයි. ඒත් ඒක තමයි විදිහ.

මට මේ ලඟදී අගනා වාක්‍යය ඛණ්ඩයක් කියවන්න ලැබුනා. ඔබේ මුවින් පිට නොවූ වදන් වල ස්වාමියා නුඹය. එලෙස ම ඔබේ මුවින් පිට වූ වදන් වල වහලා ද නුඹය.‍ ඉතිං ඒක එහෙම තමයි. අනිත් කෙනෙකු ඒ කෙනාගේ වදන් වල වහලා වෙන හැටි බලා සිටිමින් තමන්ගේ වදන් වල ස්වාමියා වෙලා ඉන්න එක අපූරු දෙයක් නෙමෙයිද? අපූරු දෙයක් ම තමයි. එක කොම්බුවකින්වත් පිළිතුරු වදන් නොදී දරාගෙන සිටින්නට ඔබට හැකි නම්....... එය තරම් අගනා පිළිතුරක් තවත් නැති වෙන්න පුළුවන්. ඉතිං ඔය වගේ ගංගාවන් නිරතුරු අතීතයෙන් ගලා බහිනවා. ඒක තමයි ලෝක ස්වභාවය....

ඉතිං මුලින් දෙවැනි කාරණය ගැන කිව්ව නිසා දැන් පළවෙනි කාරණයට එමු නේද?

යහපත්, සතුටුදායක සිදුවීම් නැවත නැවත සිදුවනවාට කවුදු අකමැති නේද? ඒත් ඒ සතුටුදායක සිදුවීම් වලට නිසි තැන දෙන්නේ කීයෙන් කී දෙනාද?

දුක්බර සිදුවීම් සිදුවන විට ඉහත කී අයුරින් හිත හදාගන්නවා වගේම, සතුටුදායක සිදුවීම් සිදුවෙන කොට, නැවත නැවතත් සිදුවුනත්, මුල් වරට සිදුවන්නා සේ ප්‍රීතියෙන් මුහුණ දීම හිතට ගතට පහසුවක් වෙයි. ඔව්... හැම දෙයක්ම... හැම හිත පිනවන දෙයක්ම... මේ දැන් මුල්වරට සිදුවනවා සේ සිතා සතුටු වෙලා බලන්න දැනෙන අපූරුව. දිනපතා හමු වුනත්, හැමදාම උදයේ තමන්ගේ පෙම්වතා/පෙම්වතී හමුවන විට ප්‍රේම කථාව ආරම්භ වූ දවසේ වගේ උද්යෝගයෙන් හමුවන්නට පුළුවන් නම්, හැමදාමත් උදේ ආහාරය නොහැකි නම් තේ කෝප්පය හෝ පවුලේ හැම සමග එක්ව දොඩමලුව සිනාසෙමින් ගන්නට හැකි නම්‍, ආදරයෙන් හිටවපු ගහක පිපෙන හැම මල ම පළමු මල සේම ආසාවෙන් දකින්නට හැකි නම්, කොටින්ම හැම හාදුවක් ම ප්‍රථම හාදුව සේ හිතන්නට හැකි නම්, එහෙම ගංගාවල් අතීතයෙන් කොච්චර ගලා බැස්සත් එපා වෙන එකක් නැහැ.

අයහපත් හෝ යහපත් යැයි වර්ග කල නොහැකි සිදුවීම් ඔහේ සිදු වුනාවේ. යහපත් සිදුවීම් වලදි හැකි පමණ සන්තුෂ්ටියෙන් මෙන් ම අයහපත් සිදුවීම් වලදී සිදුවීමේ ස්වභාවය වටහාගෙන, ගලන ගඟට කැමති දෙසකින් ගලන්නට හැර ජීවත් වීම සැනසීමට කාරණයක් සේ මට සිතේ. බුදු දහමින් යම්තාක් අපගමනයක් පෙන්නුම් කලත් මේ ක්‍රමය ගිහි අපට හොඳ ක්‍රමයක් ලෙසින් ද මට හැ‍ඟේ.

ඇරත් බුදු හාමුදුරුවෝ දේශනා කලේ සංතුෂ්ටි පරමං ධනං කියලා නොවෙද?. පරම සුවය වෙච්චි නිර්වාණය යම් පමණකට දුර වූ අපට, අහල පහළ තියෙන පරම ධනය ටිකක් එක්කාසු කරගන්න පුළුවන් නම්, අගතියට නොවැටී ජීවත් වන්නට මාර්ගය එළි පෙහෙළි වේවි. අප හා බැඳුනු බන්ධිතයින්ගේ ජීවිත වලට ද සතුට ගෙන එන්නට අපට හැකි වේවි. ඉඳින් අතීතයෙන් ගඟ ගලා බසින්නේ හිත සතුටු කරවන දෙසකින් නම්, ඒ සතුට දෝත විදහා පිළිගන්න. ඒ වෙලාවට මුළු හිතින් ම හිතන්න.........



මේ එළඹෙන්නේ සතුටු සමයයි...
The Happy Era……… 


(Completed 100 blog  posts.... ඇති යාන්තං :) :) :) )

60 comments:

  1. කියවූයේ නම් නෑ... ඒත් 100 ට සුභපැතුම් මෙයා!!!! තවත් ගොඩාක් කල් යෙහෙන් ලියන්නට ඔය ගලා එන සිතිවිලි දෝරේ ගලන්නට තුණුරුවන්ගේ සරණින් ලෝ පාලන දෙවි පිහිටින් උඹේ ස්වාමියන්ගේ (ගෙදර හා ඔෆිසියේ) පිහිටාධාරෙන් හැකිවේවා !!!! :)

    ReplyDelete
    Replies
    1. ඔබේ පැතුම් ඉටු වේවා අක්කේ!!! බොහොම ස්තුතියි

      Delete
  2. ඔක්කොම වෙන්නෙ හොඳටයි..

    ReplyDelete
    Replies
    1. ම්ම්............ ඔක්කොම වෙන්නේ හොඳටයි.... කොහොම කොයි දේ වුනත් අන්තිමට ඒ දේවල් හොඳ පැත්තකට යනවා... මුලින් වෙනත් ම දෙයක් වුනත් ඒ පැත්තෙන් ගිහිනුත් හොඳ පැත්තකට යන්න ඉඩ තියෙනවා... ඒත් ඒක කවදාවත් දැන ගන්න ලැබෙන්නේ නැහැ නේද?

      Delete
  3. ජයවේවා.....! සුභ පැතුම් නංගි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ

      Delete
  4. අඩේ සීයයි නේද... එල එල [කලින් නොදන්නව වගේ රඟන්න එපැයි] හෙහ් හෙහ් සුභ පැතුම් බොලල්ලාට

    ReplyDelete
    Replies
    1. ඉතාමත් තාත්වික රඟපෑමක් ඔබට දෙවැනි වටයට යන්න පුළුවන්...

      ස්තුතියි නවම්

      Delete
  5. Replies
    1. ස්තුතියි හිරුහිමාවී

      Delete
  6. මම නම් හිතෙන්නෙ නරකකට සිද්ධවෙන කරුණු කාරණා නෑ කියලයි. [මම කැමතියි එහෙම හිතන්න] මට ඉස්සර කාලෙ වෙච්ච දේවල්වලට ඒ කාලෙදි අනේ අපෝ කියල හිතුනට පස්සෙන් පහු [සමහර වෙලාවට කෙටි කාලෙකින්, සමහරක් වෙලාවට බොහොම දිග කාලෙකට පස්සෙ] එහෙම වෙච්ච එක හොඳා, නැත්නම් ඉතින් මේක මෙහෙම වෙන්නෙ නෑනෙ. අම්මො හොඳ වෙලාවට ඒක එදා එහෙම උනේ කියල කොච්චරවත් හිතෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. ම්ම්....... ඔයාටත් තනෝජා අක්කාට කියපු එකම කියන්නම්......

      Delete
  7. ඔන්න මගෙනුත් සුභ පැතුම් 100 වෙනි පෝස්ට් එකට අක්කගෙ......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පසන් මල්ලි

      Delete
  8. 100ට සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත්

      Delete
  9. 100 ට මගෙනුත් සුභ පැතුම් Randil ..වැදගත් ලිපියක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙකුවි

      Delete
  10. අඩේ මං මේ කඩාගෙන ආවේ අපේ රවා ගැන ලිපියක් කියලා හිතලා.. අපරාදේ සුපියල් 5හ කේවා..:D

    කොහොම උනත් කමක් නැහැ ආව එකේ 100ට සුභ පතලාම යඤ්ඤංකෝ...

    හැබැයි මීට පස්සේ අතීතයෙන් ගඟවල් කතා මුලට දාන්න එපා.. ගග නෙවෙයි කුණු ඇල උනත් අතීතයෙන් ගලනවනං ඒක අපේ රවාගේ විතරමයි..කොටින්ම ඒක දැන් සේකරට අයිතිත් නැහැ...

    ReplyDelete
    Replies
    1. සොරි එහෙම හිතලා ආවා නං... කොහෙත්ම එහෙම හිතලා කට්ටිය එන්ඩලා කියලා හිතලා දාපු මාතෘකාවක් නෙමෙයි... කාලෙක ඉඳන් 100 වෙනි පෝස්ට් එක ලියන්නේ මේ මාතෘකාව යටතේ කියලා හිතලා හිතලා ලියපු පෝස්ට් එකක් මේක.... ස්තුතියි අයියේ සුභ පැතුමට

      අඩේ එහෙම කුණු ඇල කුණු ඇල කියන්න එපා අනේ... කොච්චර වුනත් රවා අපේ හිතවතානේ... :)

      Delete
  11. ඉක්මණින් 500 බැට් කීරීමට හැකිවේවා :)

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට ස්තුතියි.... ඒත් මං මේ කල්පනා කර කරා ඉන්නේ 101ට මොනවද ලියන්නේ කියලා... :D

      Delete
    2. 101 ටද? ඕක මහ දෙයක්යෑ. මං මේ බ්ලොග් එක වහනවා කියලා දාලා මේක නවත්තලා දාන්න මෙයා. මේ දවස්වල අපි කරන්නේ ගෑනු ළමයින්ගේ බ්ලොග් වැහීමේ වැඩේ තමා.

      Delete
    3. අප්පේ එහෙමත් වැඩ කරනවද? හැබැයි ‍වැඩේ ටිකක් අමාරු වෙයි වගේ... මගේ ලිස්ට් එකේම 81ක් තියෙනවානේ....... :)

      Delete
  12. සුබ පැතුම් සීයට. තව තව ලියන්න දහිරිය ලැබේවා !!. මේ බ්ලොග් එකේ ඔයාගේ පාට්නර් කෙනෙක් උන්න නේද . එයා ගැන ආරංචියක් නැද්ද .

    ReplyDelete
    Replies
    1. මේ දවස්සොල පාට්නර් ක්ලෝස් කරලලු ගේම දෙන්නෙ.. :)

      සුබපැතුම් රන්දිකා!!

      Delete
    2. අක්කා ඇහැව්ව නිසා ඇත්තම කියන්නං. උන්දැ මේ දවස් වල සිය දේසෙට සම්ප්‍රාප්ත වෙලානේ... නෝනා මහත්මිය කිව්වාලු ඔය අටමගල් ජංජාලේ එහෙම කරක් ගහන්න ගියොත් ආයේ දත් ඇතිව බත් කන්ට නෙමෙයි... මෙන්න මෙහෙට වෙලා ඉන්න කියලා........ ඒකයි කාරණේ ඒ මනුස්සයා පේන්න නැති. ඒත් ඉතිං කවුරු හරි ඇහැව්වොත් කියන්නේ නං කනෙක්සොම බොහොම ස්ලෝ.... නෝනා මහත්මිය ඇඟේ එල්ලිලා අඬා දොඩා වැලපිලා වැලැක්කුවේ නැත්තං කනෙක්සොම අයිති කොම්පැණියේ සේවක මහතුන්ට තමයි අනුරාධපුරේ වැල්ඩින් වෙදමහත්තයා හමු වන්න වෙන්නේ කියලා........... :D :D :D

      Delete
    3. එහෙම නැතුවත් බැහැනේ මෙයා... ස්තුතියි බුරතිනෝ......... :)

      Delete
  13. 100 වැනි ලිපියට සුභ පැතුම්!!

    අපගේ බ්ලොග් සතියේ එය පල කිරිම පිළිබඳ ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. අනේ ඉතිං මං දන්නේ නැහැ ඕක තරඟයක් කියලා... කොහොමටත් සතියක් පුරා එක දිගට බ්ලොග් පෝස්ට් ලියන්න නං ඉස්පාසුවක් නැහැ... ඔයාලාගේ බ්ලොග් සතිය සාර්ථක වෙන්න කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා... :)

      Delete
  14. ලිපි ශතකයට සුභ පැතුම් රන්දි අක්කේ!!! :)

    අපේ ජීවන ගංගාව අතීතයේ ඉඳන් ගලා බහිනවා කියන කතාව හරි. අද ගඟ මෙහෙම ගලන්නේ අතීතයේ එහෙම ගලපු නිසා. ඒ ගමන පුරා ගං දෑලේ ඉඳගෙන හෙවණ දීපු ගස්, ගංගාවේ ජලයෙන් සරු වෙච්ච පසේ පිපුණු මල්, ඒ හැම දෙයක්ම ඒ ගමනේ කොටස්කාරයෝ.

    ඒ එක්කම මම විශ්වාස කරන මේ කියමනත් අක්කාගේ මේ ලිපියේ කියවෙන දේට අදාළයි කියලා හිතනවා.
    'Everything happens to save us from happening something worse.'

    ReplyDelete
    Replies
    1. බොහාම ස්තුතියි සිත්තමි අදහස් දැක්වීම ගැන.... හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතන එකත් සියලු සිදුවීම් මැද නොසැලී ඉන්න ලොකු පිටිවහල් වෙනවා නේද?

      Delete
  15. මට මාතෘකාව දැක්කාම එකෙක්ගේ බ්ලොග් එඑක් මතකයට ආවේ. මාත් මාරයා වගේම කඩාගෙන බිඳගෙන ආවා මදැයි. මේ වෙන ගඟක්නේ.
    සුභ පැතුම් රන්දිකා මේ ආව ගමනට. එමෙන්ම තවත් සටහන් දහස් ගණනින් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා....!!!!

    ReplyDelete
    Replies
    1. අනේ ඉතිං ඔයාටත් කියන්න තියෙන්නේ මාරයාට කියපු එකම තමයි ප්‍රියන්ත අයියේ... ස්තුතියි සුභ පැතුමට.... :)

      Delete
  16. මට ඉතිං ඔයාලගෙ පෝස්ට් එන්නෙ දෙවසක් පරක්කු වෙලානෙ... ඉතිං මොනව කරන්ඩද... සුබ පතන්ඩ පරක්කු වුණාට අමනාප වෙන්ඩ එපා රන්දි...
    මං අපේ බ්ලොග් ලෝකෙ හැමෝටම ප්‍රාර්ථනා කරනව වගේ හැට පැනල හොට බිම ඇණිල තියෙද්දිත් බ්ලොග් එක ලියන්ඩ ශක්තිය හා ධෛර්යය ඔයාටත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. :) :) :) මේ යන වේගෙන් ගියොත් නං ඒ කාලේ වෙනකොට යාන්තං 150ක් ගැටගහගන්න පුළුවන් වෙයි වගේ ජනූ.... :)

      බොහොම ස්තුතියි ඔයාටත්

      Delete
  17. සුබ පැතුම්..... 100 ට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසේල...........

      Delete
  18. අඩේ අප්පේ මගෙත් 100යි නේ....සුබ පැතුම්... :ඩී

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රත්ගමයා.... ඒ පැත්තේ එන්නම්කෝ සීය කියවලා යන්න

      Delete
  19. සීයට සුභ පැතුම් රන්දිල්. මොකද ඒක එච්චර පුංචි අකුරෙන් දාලා? :)
    ඔයා යහපත් සිදුවීම්, අයහපත් සිදුවීම් විස්තර ඇතුව කියලා. ඒ දෙකටම වර්ග කල නොහැකි සිදුවීම්වලට ඔහේ වෙන්න අරිමු කියලා ෂේප් වෙලා ඊට පස්සෙ හතරවෙනි කාණ්ඩය මේවාට අයත් නොවන ඒවට මොකුත්ම කියලා නැතිව මග ඇරලා වගේ මට පේන්නෙ. මාත් ආසාවෙන් හිටියා ඒ මොනවද කියලා දැනගන්න.
    කමක් නෑ. සීය ලබලනේ. :)
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මේකනේ අයියේ, හොඳ හෝ නරක දෙකටම නැති දේවල් ගැන කියන්න දෙයක් නැහැ කියලා හිතුනා... හැම තිස්සේ ම අපි දුක් වෙන්නේ හරි සතුටු වෙන්නේ හරි කලබල වෙන්නේ හරි මුල් කාරණා දෙක ගැනනේ... ඒකයි ඉතිං තුන්වැන්න ලියැවුනේ නැත්තේ.......

      හතර වැන්න නොලිවීමට හේතුව ලිපියේ ම තියෙනවා.

      //ඇත්තටම මේ ක්‍රමය මගේ ක්‍රමයක් නොවේ. පාසල් සමයේ ගුරුමහත්මීන් විසින් අප හට සටහන් කරගන්න දුන් බොහෝ ලැයිස්තු අවසන් වූයේ, අවසන් අයිතමය ලෙස අනෙකුත් දෑ යනුවෙන් සටහන් කරමින්. ඒ සමහරවිට දරුවන් අතරින් කෙනෙකු ගුරුතුමියට හිතාගන්නවත් බැරි කාරණයක් ඉදිරිපත් කල හැකි වීම මෙන්ම ලියා නිම කල නොහැකි තරම්, වඩා වැදගත් නොවන කාරණා බොහොමයක් ද තිබිය හැකි නිසා විය හැකිය. \\ ඉතිං ඇත්තටම මං දන්නේ නැහැ ඒ කාරණා මොනවද කියලා............ :D

      ස්තුතියි අයියේ

      Delete
  20. මගෙත් සුබ පැතුම්!!!

    ලිපිය හරිම ලස්සනයි.

    රවි නැතුව නිදහස් සිතුවිලි පාලුයි නේද? :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි......... ස්තුතියි
      පාළුයි කියන්නේ පොඩ්ඩි........ ටිකක් හරි කවුරුහරි ඉන්නවා කියලා පේන්නත් එක්ක තමයි මේ පෝස්ට් එක ලිව්වේ කඩිමුඩියේ.‍..

      ඒ වුනාට ඉතිං රවීතුමා නැති අඩුව නං නැති වෙන්නේ නැහැ නේද?

      Delete
  21. "අතීතයෙන් ගඟ ගලා බසී" වාක්‍යයේ ධ්වනීතාර්ථය මට දැනෙන්නෙ හරිම වෙනස් විදිහට.

    ඒක ඇහෙද්දි ම හෝ කියවද්දි ම මට මතක් වෙන්නෙ මීට අවුරුදු සීයගානකට කලින් ප්‍රෙයරීස් තණ බිම හරහා ගලා යන කුඩා ගංගාවක් දිහා තණකොළයක් හප හපා බලාගෙන ඉන්න කොල්ලෙක්ව. කොල්ලා මමයි. ගං ඉවුරේ ගස් කඳකට පිට දීලා ඒ කොලුවා එයාගේ අතීතය සිහි කරනවා.... හෙහ් හේ.... කොහොමද වැඩේ.

    එහෙම බලද්දි මට හිතෙන්නෙ දැන් වෙන සියලු සිද්ධි දුක හෝ සතුටු කාරණා අතීතයට හරහා ගලා බසිද්දි එතන දුකක් හෝ සතුටක් නෑ කියලා. අර කොල්ලා වගේ මතකය විඳිමින් බලාගෙන ඉන්නවා.

    ඒකයි මට දැනෙනන්නෙ. සීයට සුබ පැතුම්! අර කෑලෑ කතාව වගේ කතා වලට තමා මම නං වැඩිය කැමති.

    ReplyDelete
    Replies
    1. මං තාමත් හිතනවා මහගම සේකර මහත්තයා මේ වාක්‍යය සටහන් කරද්දි, එතුමා මොන වගේ දෙයක් හිතාගෙන ඉන්න ඇතිද කියලා... මොනවා වුනත් හරිම අමුතු වාක්‍යය ඛණ්ඩයක් නේද බුද්ධි‍....

      ස්තුතියි බුද්ධි... වැඩේ කියන්නේ ඔය කැලෑ කථාව වගේ එව්වා ලියන්නේ හීනෙන් දැකපු දෙයක් වර්ධනය කරලානේ... මේ දවස් වල එහෙම හීන පෙනුනේ ම නැති තරං... :)

      Delete
  22. ඔන්න ඔයා අපට හිතන්න දෙයකුත් එක්කලම සිය වෙනි ලිපිය ලියලා, තවත් සිය ගනනක් ලිපි ලියන්න වාසනව, ශක්තිය සහ කාලය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මගේ මිතුරිය... :)

      Delete
  23. @ mier - වාසනාව ලැබිලා නම් සෑහෙන අවුරුදු ගානක් මන් හිතන්නේ ;)

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපි කියමු වාසනාගෙන් අනුග්‍රහය ලැබෙන්න කියල :D

      Delete
    2. අනේද කියන්නේ අක්කේ.......... මේ අවුරුද්දට අවුරුදු 10කුත් වෙනවානේ........ :)

      Delete
    3. මිහිරිට මේ හිනාව... :D :D :D

      Delete
  24. කොමෙන්ට්ස් බලනකොට තමා දැක්කේ මේක 100 කියල. මටත් ඕක හරියටම තේරෙන්නේ නැති එකක් නිසා කියවගෙන ගියා බලන්න. 100ට සුභ පැතුම්. අතීතයක් හරි අනාගතයක් හරි නැති විදියට ජීවත් වෙන්න ඉගෙන ගන්න එකෙන් හැම ප්‍රශ්නයක් ම විසඳගන්න පුළුවන්. ජීවිතය තියෙන්නෙ මේ දැන්. මේ මොහොතේ කියල ප්‍රත්‍යක්ෂයෙන් තේරුම් ගත්තාම ගඟ අතීතේන් ගැළුවත් අනාගතෙන් ගැළුවත් අපිට බාධාවක් වෙන එකක් නෑ..

    ReplyDelete
    Replies
    1. ජීවිතය තියෙන්නේ මේ දැන් කියලා හිතන්න හරිම අමාරුයි නේද? මොකද වර්තමාන අම්මා තමයි අනාගත දරුවාව බිහිකරන්නේ... අම්මා හොඳ නැති වුනොත් දරුවා අනතුරේ.... අපිට ඒ දරුවා නැතිව හිතන්න අමාරුයිනේ.... දරුවා කිව්වහම මතක් වුනේ පැතුමෝ... ඔය කොහිද දැක්කා අවුරුදු 2කට කල් දැම්මා කියලා... හා හොඳයි අද නං ජීවත් වෙන්නේ අද ම එපැයි ඒ දේවල් කරන්න... කාගෙන් අහලද කල් දැම්මේ... ;D

      ස්තුතියි පැතුම් සුභ පැතුමට

      Delete
  25. රන්දිකා, මේක භෞතික දේවල් වලට වඩා අපේ හිතේ ස්භාවයට සම්බන්ධ දෙයක්. ජීවිතේ සැලසුම් කිරීමයි ජීවත් වීමයි කියන්නේ 2ක් නේ. අනාගතේ හම්බ වෙන හෝ නොවෙන දරුවෙක් වෙනුවෙන් අද අපි අපේ සිතිවිලි නාස්ති කරන එක තේරුමක් නෑනේ. දරුවට සුදුසු ලෙස ජීවත් වීමට පරිසරය සකසන එක කරන්න ඕනේ. ඒක කරන්න අපිට අනාගතයේ සිද්ද වෙන දේ හෝ අතීතයේ සිද්ද වෙච්ච දේ එතරම් අදාල කරගන්න ඕනෙ නෑනේ..

    ඉගෙන ගත්ත පාඩම්,අත්දැකීම් වැදගත් නමුත් අපි වැඩ කරන හෝ ජීවත් වෙන හැම වෙලේදිම අවධානය ඒ කරන වැඩේට පමණක් තියාගෙන ජිවත් වෙන එක ගැන තමයි මම කිව්වේ. ඕක කන බොන එකේ ඉඳන් මනුස්සයෙක් එක්ක කතා බහ කරල වැඩක් කරගන්නකොට, ඔපිස් වල වැඩ කරනකොට මාර විදියට වැදගත් වෙන දෙයක්.

    අපි දෙන්නා අවුරුදු 2කට කල් දාපු හේතුව එකක් ඉන්න තැන හරියටම ස්තීර කරගෙන මොකක් හරි එකක් අටවගන්න එක. අනිත් එක අපි දෙන්නටම තාම ඔය වගකීම ගන්න ලෑස්ති නැති ගතියක් දැනෙන එක. හික්.. අපි තාම පොඩියි නේ.

    ReplyDelete
  26. ඉතිං ළමයෝ කියන්ට එපැයි මෙන්න මෙහෙම සුද්ධ සිංහලෙන්,
    "එළඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කිරීම" වගේ එකකින්....
    මට එක පාරම හිතුනේ තණකොල පෙත්තාස් න්‍යාය වගේ...

    චූටි බබාලා දෙන්නා හොඳ විදිහක් කරන්නකෝ... හැබැයි බබා‍ ඒ ලෙවෙල් කරද්දි, ඔයා ඉස්කෝලෙට යද්දි, ළමයි කියයිද දන්නේ නැහැ අන්න මචං සීයා එනවා කියලා.......... හිකිස්

    ReplyDelete
  27. "එළඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කිරීම" කියන්නේ පාඩමේ මාතෘකාව නේ.. ගොඩක් වෙලාවට අපිට මතක තියෙන්නේ පාඩමේ නම විතරයි. මොනවද ඉගෙන ගත්තේ සහ ඉගෙන ගත්ත දේ ප්‍රායෝගිකව පාවිච්චි නොකර ඉන්න එකනේ අපි හැමදාම කරන්නේ..

    ඔය හම්බ වෙන එකා/එකී උ.පෙ කරයි ද නැද්ද දන්නෙ නෑනේ.. අනිත් එක ඔය උ.පෙ කොල්ලන්ගේ කටවල් වහන එක සක්කරයටවත් කරන්න බැරි දෙයක් නේ. ඉතින් මොකටද මම දැන් ඉඳල ඒකට වොරි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔයාට හොඳයි කියලා හිතෙන විදිහකට කටයුතු කරන්න පැතුම්. මගේ සුභ පැතුම්... ;)හැබැයි අනාගතය හැකි පමණින් නිසි අයුරින් සැලසුම් කලේ නැත්තං දැන් වොරි නොවුනට කලකදි වොරි වෙන්න සිදු වෙන්නත් පුළුවන්. එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා... හප්පේ මේව්වා කියවන අය හිතයිද දන්නේ නැහැ අපි දෙන්නා වාදෙක පැටලිලා කියලා නේද? :)

      Delete
    2. අපේ සිංහල පැරැන්නෝ කීවේ නම් “එන එන හැටියට ගස උළුඅස්සා කියළළු“

      (පැතුම් බේරිලා මාව ටැපලෙයිද මන්දා ;) )

      Delete
    3. මෙව්වාට උත්තර කියන්න ගියහම පෝස්ට් එකෙන් මං කිව්වේ මොකද්ද කියලා මට ම අමතක වෙනවා බොලව්... :D

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...