Tuesday, July 17, 2012

101. කෑම සහ කන්නට ගොස් නෑම සමගින් මගේ අත්දැකීම්


පෙර කථාව


“කෑම අහක දාන්න එපා පව් සිද්ධ වෙනවා”


“72 අවුරුද්දේ වගේ සාගතයක් ආවා නං ඔයාලාටත් තේරෙයි. කොස් ගස් තිබුණු නිසා යාන්තං බේරුනා. ඔයාලාට මේ අපි දෙනවා වැඩියි”


“සිරිමා ආණ්ඩුව කාලේ වගේ හාල් පොලු, සීනි පොලු තිබුනා නං ඔයාලා නොකන දේවලුත් කයි. හා හා ඉතිරි කරන්න එපා. සේරම කන්න ඕනෑ”


මේ මීට අවුරුදු 15කට 20කට පෙර අපේ අම්මා අපිට තුන් වේලට කියු වදන්ය. මේ සියලුම සිදුවීම් සැබෑ වුනත් කන්න බැරි නං කන්නේ කොහොමද දෙවියනේ!!! මට එහෙම හිතුණු අවස්ථාවක් නැති තරම්ය. එහෙත් නැගණියන් දෙදෙනාගේ විස්තරය වෙනස්ය.

අපේ ගෙදර පොඩිහිටියන් අතුරින් කෑම වේල සඳහා අරගල නොකෙරූ එක ම කෙනා මම වෙමි. බත් පත රතු කැකුළුද, සම්බාද, නාඩු ද, මොනවද යන්න ගැන වාද මට නොවීය. වෑංජන මැල්ලුම ද, මාලු ද, බිත්තර ද, කොහිලද, කැරට් ද, බීට් ද, යන්න ද මට වගේ වගක් නොවීය. අම්මා දෙන දේ අනුභව කොට නිහඬව සිටීම මගේ සිරිත විය. ඒ සමහර විට කුඩා කල සිටිම ඔවුන් දෙදෙන මා ප්‍රශංසාවට ලක් කරමින් ආහාර දුන් නිසා විය හැකිය.


“අපේ දුවගෙන් කිසි කරදරයක් නැහැ. ඕනෑ ම දෙයක් කනවා. නේද පුතේ? අම්මාට කිසි කරදරයක් නැහැ” ආදී වශයෙන් පිටස්තරයන් ඉදිරියේ ප්‍රශංසා ලැබෙන විට එයින් සතුටුව පිම්බී යන මා එලෙස දුන් දෙයක් කන්නට පුරුදු වූවා විය හැකිය. කොටින්ම වෙන දරුවන් මැලි කමක් දක්වන මෝර තෙල් බීම, මැල්ලූම් කෑම ආදිය මා කැමැත්තෙන් කලේ, “තාත්තේ තාත්තාත් මැල්ලුං කන්න, එතකොට උස යනවා, සුදු වෙනවා, දත් ගොඩක් එනවා” ආදිය තාත්තාටද පවසමිනි. එකල මගේ වයස අවුරුදු 2 ½ක් 3ක් පමණ වන්නට ඇත.


එහෙත් නැගණියන් දෙදෙන ඒ ආකාරයෙන් ගොඩ නගන්නට දෙමව්පියන්ට ඉස් පාසුවක් නොවීය. හැකි ඉක්මනින් බතක් මාළුවක් උයා කෑම වේල සරි කර, තව කරන්නට ඕනෑ තරම් රාජකාරී අප මව සතුව තිබිණ. ඒ සේරමට ම අමතරව ඇය රැකියාවටද යා යුතුව තිබිණ.


දිනක් වැඩිමහල් නැගණියට අම්මා බත් කවමින් සිටියාය. බත් පතේ කරවිල විය. එකල, අවුරුදු 6-7ක් වූ නැගණිය බෑඟිරි ගසමින් අඬන්නීය. කටේ බත් පුරවාගෙන, නහයෙන් හොටු පෙරාගෙන, ඇස් දෙකින් කඳුළු වගුරුවාගෙන,


“කන්න බැරි නිසානේ අම්මේ කියන්නේ..................” කියමින් ඇය විලාප තබන්නීය. අම්මාද අත් නොහරින්නීය.


“උඹ අද මේ සේරම ටික කන්න ඕනෑ. වහ නෙමෙයිනේ කවන්නේ. කෑම, ගුණ කෑම.” කියමින් අම්මා නංගීට තරවටු කරන්නීය. කටින් කටට බත් ගිල්ලවන්නීය. නංගී විටෙක ඔක්කාර කරයි. ඒත් අම්මාගේ මෙහෙයුම බත් පතින් ¾ක් අවසන් වනතුරු නිම නොවීය. අදද ඒ සිදුවීම සිහිකරන අම්මා සිනාසෙමින්, “පව් අප්පා කෙල්ල” යැයි පවසන්නීය.


ඉඳහිට දවසක තාත්තා සමඟ ගෙදර සිටින්නට වුවහොත් කථාව යම් පමණකට වෙනස්වේ. තාත්තා ආහාර පිස අහවර ව අප කැඳවා පිඟන් අතට දී වයසේ පිළිවෙලට කැඳවයි. බත් බෙදන්නේ, “බෙදන ගාන ඇති වුනහම කියන්න ඕනෑ. එක ඇටයක් වත් ඉතිරි කරන්න බැහැ!” කියමිනි. ඉඳින් එදාට කෙසේ හෝ බත් ඇටයක් වත් ඉතිරි නොකර කන්නට අපට සිදුවේ. අඩුම තරමින් බත් ඇටයක් බිමවත් තිබිය නොහැකිය.

මේ සේරම සිදුවීම් අතීතයේ එකතරා කාල වකවනුවක වූ දේවල්ය. දැන් කාලය වෙනස්, තාලය වෙනස්....... එනමුදු දරුවෝ සහ දෙමව්පියෝ නොවෙනස්??? 


දැන් කථාව


සමහර අවස්ථා වලදී, අප දියණියට කෑම කවා ගන්නට පියාගේ සියලුම මිතුරන් කැඳවිය යුතුය. නැතහොත් ඔවුන්ට අමතන සේ ඒක පාර්ශ්වීය දුරකථන ඇමතුම් ගත යුතුය.


“ආ... බුද්ධි අංකල්... දුව කනවා......... ඔව් ඔව්... සේරම කනවා.” නේද? රනූ ඔයා සේරම කනවද කියලා බුද්ධි අංකල් අහනවා.


“ඔව් අම්මි.. මං සේරම කනවා බුද්ධි අංකල්ට කියන්න බබා හොඳයි කියලා...” ආ එහෙනං මේ කටත් කන්න.


සමහර දිනෙක කවන පළමු කටම “ජැවිල්ලායි..........” යි පවසමින් කට බෙරි කර වතුර මහා ප්‍රමාණයක් බී පැන යන ඇයට කෙසේවත් කවා ගන්නට මා හට නොහැකි වෙයි. ප්‍රශංසා කථා ඇයට වලංගු නැත. ඇය මාගේ පරම්පරාවේ නොව ඊට පසු පරම්පරාවේ කෙනෙකු වන නිසා විය යුතුය.

"ඉස්සරහ ගෙදර නංගි හොඳ නැහැ. කෑම කන්නේ නැහැ. මං නං ඔක්කොම කනවා. අම්මි ප්‍රවීන් අංකල්ට කෝල් කරලා කියන්න බබා සේරම බත් කෑවා කියලා. හාන්ද?" යි කියමින් නටමින් සිට, බත් කට කවන්නට යන විට ම,

"එපා... මට එපා.. දැන් ඇති. මේ බඩ පිරිලා"යි පවසමින් පැන දුවන්නීය.

පසුගිය පෝ දා දහවල්, දැවිල්ල බව පවසමින් ඇය කෑම මගහැරි නිසාවෙන්, පසුව කවන අටියෙන් කෑම පිඟාන වසා තබා පොතක් කියවමින් සිටියෙමි. “අපි දන්නේ නැහැ තව ටිකකින් බුද්ධි අංකල් එනවා. මං නං දන්නේ නැහැ ඔන්න”යි දියැණියට පැවසුවේ වැඩිදුර සිතා නොවේ. නමුදු ‘බුද්ධි අංකල්’ පැමිණියේය. ඔහුගේ නව නිවසේ වැඩ කටයුතු නිසාවෙන් සතියකට දින දෙක තුනක් මා සැමියා හමුවන්නට පැමිණෙන ඔහු එදින ගෙට ගොඩ වූයේ, “ආ රනූ කොහොමද බත් කෑවාදැ?” යි අසමිනි. කෙල්ල වෙඩිල්ල සේ මුළුතැන් ගෙට දිව ගියාය.

මේ වයසේ දී නම් මේ වගේ කෑවා තමයි
“දැන් මොකද කියන්නේ පුතේ? මං කිව්වා ඇහැව්වේ නැහැ. දැන් ඉතිං කන්න”යි පැවසූ මම පුංචි බත් පිඟානේ එක කටක් ඉතිරි වනතුරු ම ඇයට කවා ගන්නට සමත් වීමි. එවිට කිසිම දැවිල්ලක් ඇයට දැනුනේ නැති තරම්ය.

මනෝ විද්‍යාඥයන් මොන දේ කීවද කන්න අරගල කරන දූ දරුවන්ට කවා ගන්නට කථා සරිත්සාගරය හෝ ගජබින්නාලංකාරය පෙරළා ගන්නට දෙමව්පියන්ට සිදු වන්නේමය. විටෙක හඳට පෙනෙන්ට කන ඇය, විටෙක මාළුන්ට පෙනෙන්ට කයි. විනෝද ගමනක් ගිය විටෙක, අප සමඟ යන පිරිමි පාර්ශ්වය පෙන්වමින්, කලගෙඩි වැනි බඩගෙඩි පෙන්වමින්, ඔවුන් ගිල ඇති ළමයින් ප්‍රමාණය දක්වමින්, කවා ගනිමු. එය සැබෑවටම ඇයත් අපත් දන්නා සෙල්ලමකි. ඇය බියවන්නේ නැත. නමුදු බියපත් වූ සේ පෙන්වන්නීය. ඇත්තට ම කල්පනා කරන විට එය පුදුම සෙල්ලමකි. 
හෙට අනිද්දා මේ වගේ ඉඳියි ද මන්දා (හ්ම්... එව්වා කොහිද මාත් එක්ක :D )

සමහරවිට දින දෙක ‍තුනක් කැමැත්තෙන් ආහාර ගන්නා ඇය, විටෙක එවැනි ම කාලයක් ආහාර ප්‍රතික්ශේප කරන්නීය. දරුවන්ගේ කෑම බීම ගැන ඇති ආකල්ප විවිධාකාර බැවින්, ඉවසා වදාරා කටයුතු කල යුතුව ඇත.




බොහෝ මව්වරුන් උත්සහ දරන්නේ මුළු බත් පතම දරුවාට කැවීමටය. දරුවාට ඇති ආදරය මෙන් ම ආහාර අපතේ යෑම පිළිබඳව තැවීම ද මෙයට හේතුව ලෙස පෙනේ. අවසානයේ දරුවා කෑවේ නැත්නම් අම්මා ඒ ටිකද, අම්මාගේ පංගුව ද ආදී වශයෙන් මහා ගොඩක් අනුභව කරන්නීය.


ඇත්තට ම බෙදා ගත්ත සියල්ල කෑ යුතුද?


අපතේ යෑම් කොහොම වෙතත් මට නං හිතෙන්නේ එහෙම නොවිය යුතු වගයි. මට එහෙම හිතෙන්නේ හේතු රාශියක් නිසාය.


සමහර අවස්ථා වලදී අධික කුසගින්න නිසා, ‘යකෙක් කන්නට බඩගිණි’ සේ දැනුනද, බෙදාගෙන, ආහාර පිඟාන අවසන් කරමින් යනවිට බඩ ඕනෑවට වඩා පිරෙන බවක් ඔබට දැනී නැතිද? ඒ වෙලාවට කල යුත්තේ කුමක්ද? ආහාර අපතේ දැමීම යනු මුදල් අපතේ දැමීමකි. එලෙසම මේ ලොව බොහෝ පිරිසක් එක බත් ඇටයක් දෑහැට නොදැක දින ගනන් ගත කරමින් බොහොම දුක සේ ජීවතය ගෙවමින් සිටියි. ඒ හැම කාරණාව ම සැබෑය. නමුදු එවැනි අවස්ථාවකදී ආමාශය පිරී, එයිට උඩින් ඇති ආහාර මාර්ගයේද කොටසක් පිරෙන තුරු ආහාර ගැනීම විසඳුමක්ද? ඒ අවස්ථාවේදී සිදුවුනු වැරැද්ද නිවැරදි කල නොහැක. එනම් ඉතිරි ආහාර නැවත බඳුන් ගත කල නොහැක. කල්පනා කලයුතු වැදගත් කාරණයක් ඇත. වැඩිපුර ආහාර, ආහාර මාර්ගය දිගේ යවා බඩ ඕනෑවට වඩා පුරවාගෙන අපහසුතාවට ලක්වී, අසනීප අවධානම් ද ගෙන පසු දින ඉතිරිය පිට කරනවද, ‘සතෙකුට ආහාර වේවා!’ යි සිතා සුදුසු තැනක තැන්පත් කරනවාද?


ඔබට කැමති තීරණයක් ගත හැකිය. නමුදු හොඳින් සිහි තබාගෙන ඊ ලඟ වතාවේ ප්‍රමාණවත් තරම් ආහාර බෙදා ගැනීමට පරෙස්සම් වීම ඔවැනි ගැටළු වලට මුහුණ දීමට සිදුවන අවස්ථා අවම කරයි.


මෑත දිනකදී බ්ලොග් ලිපියක කොමෙන්ට්ටු අතර කෙනෙකු කියා තිබුනා මෙවැන්නක්. කෑම ඉතිරි ‍කිරීම, මිතුරෙකු කිව් වදනක් නිසා නවතා දැමූ බවක්. මිතුරා පවසා තිබුනේ, අප කන බත් ඇටයක් පාසා ගොවියෙකු කොන්ද නමන වගයි. සැබෑව... ගොවියා පමණක් නොව, අපිද බොහෝ මහන්සි වී හාල් උපයාගෙන, බත සූදානම් කරගන්නෙමු. එලෙසම, රෙදිපිළි කර්මාන්තය සැලකුවහොත් රෙදි නිපදවන්නට කොතෙකුත් මිනිසුන් සිය සිරුර වෙහෙසනවා ඇති. එනමුදු රෙදි සැලකියයුතු ප්‍රමාණයක් අපතේ නොයවමින් ඇඳුම් මැසිය නොහැකිය. ලොව ඇති බොහෝ දේවල් වල තත්ත්වය ඒ හා සමානය. ආහාර යනු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් නිසා රෙදි හා සමානව සිතිය නොහැකි බව සත්‍යයකි. නමුදු වෙහෙස මහන්සිය සැලකීමේදී හැම දෙයක් ම ලබා ගන්නට අපමණ වෙහෙසක් දරන්නට වී ඇති බව නොකිව මනාය. විශේෂයෙන් මේ අපේ රටේ නේද?


ඉතිං හොඳ ම දේ හැම විට ම තමන්ට අනුභව කල හැකි පමණ ආහාර බෙදා ගැනීමයි. එවිට අපතේ දමන්නට කිසි ලෙසකින් සිදු නොවේ. එහෙත් සමහර අවස්ථා වලදී, මේ සිද්ධාන්තය ප්‍රායෝගික නොවන අවස්ථා එළඹෙන බව සිහි වෙනවද?


විවාහ මංගල උත්සවයකට සහභාගී වන විට ඇස හා නාසය පිනවන ආහාර දැක, ඒවා දිව ද පිනවනු ඇතැයි සිතා බෙදා ගත්තද, කටවල් දෙකක් කන විට බඩ පිරී යන වගක් ඔබට දැනී නැතිද? ඒ සමහර අවස්ථා වලදී කෝකියන් විසින් විවිධාකාර කෘත්‍රීම දේ ආහාරයට එකතු කිරීම මෙයට හේතුවයි. තවත් සමහර වේලාවන් වලදී කටට ගත නොහැකි මට්ටමේ ආහාර ද හමුවේ. ඔවැනි අවස්ථාවක කල හැක්කේ කුමක්ද? දුක් මහන්සියෙන් බත උපයන ගොවියන් හෝ ඒ මොහොතේත් කුසගින්නේ පීඩා විඳින සුවහසක් වූ ලෝ වැසියන් සිහිකර ඒ ආහාර ගත හැකි වේද? අපතේ දැමීම අපරාදයකි. පවකි. නමුදු කල හැක්කේ කුමක්ද?


තවත් සමහර අවස්ථා වලදී උදේ පාන්දර උයා ගන්න බත, ඔතාගෙන විත් කාර්යාලයේදී කන්නට යනවිට කෑමේ පිරියක් නොදැනී යන අවස්ථා ඇත. එවන් විටෙක කල යුත්තේ කුමක්ද? එවැනි විටෙක අපහසුවෙන් ආහාර වැලඳීමෙන් පසුව බඩේ අමාරු හා වමනය ආදිය ඇතිවන අවස්ථාද ඇත.


අප රටේ හාමුදුරු නමක් චීනයට වැඩි අවස්ථාවකදී රවුමට රවුමට එතූ බනිස් ගෙඩියක් වැනි ආහාරයක් දානයට ලැබී ඇත.‍ උන්වහන්සේ එය වළඳන්නට බැලූ විට වටහා ගත් දෙයින් බොහෝ සෙයින් අපහසුතාවට පත් වී ඇත. ඒ සර්පයෙකි. චීන රටේ දී උසස් තත්ත්වයේ ආහාර වේලකි. ඉවසා දරා ගත නොහැකි වූ අප්‍රසන්න කමෙකින්, දානය පිළිගැනීම සංකේතවත් කලයුතු නිසාවෙන් අයිනට වන්නට වූ ලූනු කැබැල්ලක් වැලඳීමෙන් අනතුරුව, නොනවත්වා ඇති වූ වමනය හා බඩ බුරුල් කරවා යෑමෙන් උන්වහන්සේ අසාධ්‍ය තත්ත්වයට පැමිණීම හේතුකොට ගෙන මෙරටට වැඩමවූ බවක් කියැවුණි.


ඉතිං ඔහොමයි කෑම සහ මිනිස්සු. සිරිමා ආණ්ඩුවෙන් දැමූ පොලු හෝ කලින් කලට ඇති වන සාගත වලට මුහුණ දුන් ජනයාට කිසි සේත්ම හිත හදාගත නොහැකි වුවද, මගේ සිතුවිල්ල නම්, ආහාර ගන්නා විට, අවම වශයෙන් දැන් කෑවා ඇති’යි හිතෙන තෙවැනි වතාවේදිවත් එය නැවැත්විය යුතුය. කෑම අපතේ දැමීම අපරාදයක් බව මොළ ගෙඩියට වැටහේ නම්, කල යුත්තේ බෙදා ගන්නට පෙර සිතා බැලීම මිස බෙදා ගත් සියල්ල ගිල දැමීම නොවේ. ඉහත දීත් සටහන් කරන්නට යෙදුනු පරිදි, ආහාර මාර්ගය දිගේ යැවීමෙන් පමණක් ආහාර අපතේ යෑම වලකීද? ඔබ ආහාර අපතේ දැමීම ආරම්භ කරන්නේ, අනුභව කල නොහැකි තරම් ආහාර බෙදා ගත් මුල් අවස්ථාවේදීමය. ඒ සියල්ල ගිල දැමීම තුලින් අපතේ යාම වලකී යැයි සිතීම වැරදි සිතුවිල්ලක් නොවෙද? එයින් සිදුවන්නේ ඔබ රෝගී වීම පමණයි.


මගේ කෑම කථාව අවසානයි. කියැවූ සැමට ස්තුතියි.

31 comments:

  1. ඇත්තම ඇත්තයි... ඒකනේ කියන්නේ හිතේ තරමට නැතිව බඩේ තරමට බෙදාගන්න කියලා... හැබැයි ඉතින් බඩේ තරමට බෙදාගෙනත් අර ඔයා කිව්වැහෙ කටේ තියාගන්න බැරි දෙයක් උනොත් තමා වැඩේ...

    අපේ කාලයේ අපි දුන් දේ කෑවා... කී දේ කළා.. ඔහෙ හිටු කීවට හිට්ටා.. ඒත් නංගි අද කාලෙයි තාලෙයි ද අනේ මන්දා...

    ඇයි ඔයා කියල නැද්ද “අම්මා වගේ ඉක්මනට ලොකු වෙන්න කන්න“ කියලා... අපේ ලොක්කි කන්නෙම නැත්තෙ ඒකනේ.. අම්මා වගේ ලොකු වෙයි කියලා.. :)

    ReplyDelete
    Replies
    1. කියනවා කියනවා. අම්මා වගේ ලොකු වෙලා ඔපිස් ගිහිල්ලා, අම්මාට ඇඳුමක් ගේනවා... ඔපිස් ගිහින් ඇවිත් අම්මාගෙන් කුක්කු ටිකක් බීලා නිදියනවා කියනවා. හිකිස්.

      Delete
    2. හෙ හෙ... අතාරින්න හිතෙන්නෙම නැතිවැති... එයාලට අයිති ලෝකේ හරි පුංචිනෙ..

      Delete
    3. ඔව් අක්කේ හරි පව්. ඒත් එදා ඩොක්ටර් මටත් එක්ක අරක මේක කිව්වා, තාම වැඩේ නවත්තලා නැහැ කියලා... ඉස්සරහ දත් දුර්වර්ණ වෙලා තියෙන්නේ ඒ නිසාය කියලා කිව්වා... :(

      Delete
  2. හ්ම්ම්, අද ඔයා කතා කරලා තියෙන්නේ මේ දවස් වල අපේ ගෙදර දැවෙන ප්‍රශ්නය ගැන, කොච්චර උනත් බබාල, නොකා නොබී හිටියම එයාලට වඩා අමාරුව තියෙන්නෙ අපටනෙ

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ. ඒකේ වග මොකටද? මං කරන්නේ ඉස්සෙල්ලා මං ඉක්මනට කනවා. ඊට පස්සේ තමයි එයාට කවන්න යන්නේ. නැත්තං මගේ කෑමත් අවුල් වෙනවා. සමහර වෙලාවට බෙදලා දුන්නහම තනියෙමත් කනවා. සමහර වෙලාවට අපිට කවලා ඉවර කරන්න බලනවා. හරි වැඩ තමයි ඉතිං

      Delete
  3. //හෙට අනිද්දා මේ වගේ ඉඳියි ද මන්දා (හ්ම්... එව්වා කොහිද මාත් එක්ක :D )//
    පිඟානේ තියෙන්නේ chips and sausages නේ. ඕකට බෑ කියන එකක් නෑ.:D

    අපේ අම්මා නම් කියන්නේ, ලමයි එක වයසකට ආවාම තමන්ට කැමති දේවල් තෝරගෙන හොඳට කනවලු. බල කරන නිසාලු ලමයි කන්නේ නැත්තේ.:)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... එව්වා නං කන්න කැමති තමයි පොඩ්ඩි. ඒත් මං එච්චර කැමති නැහැ එයා ඕවා කනවට. මං ඉස්සර කෑවේම නැහැ සොසේජස්. ඕවා හදන හැටි ගැන කථා අහලා. මෙයා ආච්චිලාගේ ගෙදරින් කන්න පුරුදු වුනා. ඉතිං දරුවා කද්දි මං ප්‍රතික්ෂේප කරනවා කියන්නේ හරිම අමුතු දෙයක් නේ. ඒක නිසා සියලු කාරණා අමතක කරලා මාත් දැන් කනවා.

      මටත් හිතෙන්නේ කන්න කන්න කියලා වද කිරීම තමයි මේකට ගොඩක් ම හේතු වෙන්නේ.

      Delete
  4. කොහොමද කෙස් ගස් 2-3ක් තියෙන රොටියක්,
    කැන්ටිමේ බලල්ලු ලෙවකාපු පිගානක දාලා,
    කනකොට තියෙන රස......

    මතක්වෙනකොටත් කටට කෙල උනනව........

    ReplyDelete
    Replies
    1. අපොයි මේ ළමයා ඉන්නේ මොන රටේ ද මන්දා...... කොහිද හැබෑටම ඔහොම කැන්ටිමක් තියෙන්නේ..... ? :D

      Delete
  5. අර උඩම සඳහන් වෙන ළමයා නම් කිසි කමකට නෑ
    ඔහොමද මිනිස්සු උනාම නෑ මම ඒක කන්නෙ නෑ
    නෑ මම මේවා කන්නෙ නෑ..............
    කියාගෙන ඉන්න එපැයි.....

    පොඩි උන්ට කවන එක නේ....
    මම ඒ ගැන කතා කරන්න කැමති නෑ:)

    ReplyDelete
    Replies
    1. මුල් කොටසේ කියැවෙන වගේ ළමයෙක් හිටියා නං දෙවැනි කොටස ලියැවෙන එකක් නැහැ නේද නිෂ්......... :)

      Delete
  6. දුකා කොහේද කමෙන්ට් කරලා තිබුනේ...?

    ReplyDelete
    Replies
    1. දුකා නෙමෙයි... :D ඕන වෙලාවක මැන්ටලේ... දැන් මට තැන මතක නැහැනේ. බලමු මතක් වුනොත් කියන්නම්.

      Delete
  7. අනේ අම්මෝ මතාක් කරන්ට එපා . මගෙත් ප්‍රතිපත්තිය කන්න බැරි නම් මක් කරන්නද . බැරි ගානේ කාල මහත් වෙන්න ඕනය . ළමයි නම් ඉතින් කන්න ඕන . මන් නම් කරන්නේ ඉස්සෙල්ල එළවලු මාළු ටික කවන එක . චුටි කාලේ නම් අමාරුයි , දැන් නම් 10 සහ 6 නිසා සෑහෙන ලේසියි. අනික මට ඕන ඒවා අනල කවන්නේ එක වේලයි. අනික් දෙක ඒගොල්ලන්ගේ බාසාවෙන් කියන විදිහට ''normal '' කෑම. එව්වා තනියම කනවා .

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඒකනේ කියන්නේ......

      මතක තියා ගන්න ඕනෑ කොමෙන්ටුවක් අක්කේ........ කෑම කවා ගන්න අමාරුව පොඩි කාලේ විතරයි කියලා තමයි දන්න හැමෝම කියන්නේ. අර එක වේලයි දෙවේලයි වැඩෙත් හොඳයි තමයි ටිකක් ලොකු වෙනකොට...

      Delete
  8. කෑම විසිකරන එකනම් ඇත්තටම් අපරාදයක් තමා, මමනම් අකමැතිම දෙයක් තමා ඒක...

    ReplyDelete
  9. කදිම පෝස්ටුව! ඇත්තම තමා :)

    ReplyDelete
  10. අපේ ගෙදරත් සෑහෙන්න බත් අහක දානවා, මට පේන්න බැරි වැඩක්.
    මගේ ගනන් බැලීම් අනුව මාසෙකට හාල් කිලෝ 4කවත් බත් අහක දානවා.
    බත් විතරක්ම නෙවෙයිනෙ ඒ එක්ක අපතෙයන බලශක්තිය...!?
    අපි ඒවට ගෙවන්නෙ රුපියල් වලින් වුනාට රට, ඒවට ගෙවන්න ඕන ඩොලර් වලින්
    රුපියල බාල්දුවෙන්න ඒකත් හේතුවක්.

    ගෙදරක උයන්න ඕන කාලා ඉවර කරන්න පුළුවන් හරිය විතරයි. එතකොට බංඩියටත් හොදයි-රටටත් හොදයි.

    ReplyDelete
  11. අපේ එහා ගෙදර පොඩි එකාට උන්ගෙ අම්මා බත් කවන්න පිඟාන ගේනකොට මූ දුවන්නෙ බුදු අම්මෝ වමනේ වමනේ කියාගෙන.

    ReplyDelete
  12. කැම කතා -

    01. දැන් අපේ ගෙදර කෑම අපතේ යන්නැ. ප්ලැක් කිරීම හොඳ මට්ටමක තියෙනවා.

    02. උත්සව අවස්ථාවක දී ඔය හැමදේම පිනවන විදිහෙ කෑම ගන්න හිත කියනවා නම් ගන්න. හැමදාම කන්නැනේ. කාලා ඒක පහුදාට පුච්චලා දාන්න අමතර ව්‍යායාම කරන්න. ඒතකොට ඒ ප්‍රස්නෙ ඉවරයි.

    03. සරීර සවුක්ය ගැන හා සිරුරේ හැඩය ගැන හිතනවාමනම් ඔය කෑම ගැනීමේ සීමාව ඉබේම පැනවෙනවා. මුලු සිරුරම මරනින් මතු දන් දෙන්න හිතාගෙන ඉන්නවානම් ඕක ඊටත් වඩා ලේසියි. මොකද අපි කෙනෙකුය දෙයක් දෙන්න ඕනේ හොඳම විදිහටනේ... ඒක හින්දා දෙන දේ හොඳම විදිහට දෙන්න අපේ හිතේ නිකම්ම වගකීමක් ඇතිවෙනවා.

    ReplyDelete
  13. දරුවන්ට බත් කැවීම.....පෝස්ට් එක කියවද්දි බොහොම සෝක් කතාවක් මතක් උනා මේකට අදාල වෙනවයි කියලයි මට හිතෙන්නෙ....එහෙම නැහැ කියල හිතෙනව නම් සමාදිය බජනය කරත්වා.....අහලත් ඇතිද මන්දා කතාව....ටිකක් විතර ප්‍රසිද්ද කතාවක්.....හෙහ්, හෙහ්,

    නුවර පෙරහැරට ඩියුටි දානවනෙ පොලෝසියෙ කස්ටිය....දුර බැහැරින් තමයි මේ අය එන්නෙ පෙරහැර කාලෙට...පෙරහැර ඉවර උනත් බොහෝවිට එළිවෙනකල් රාළහාමිල ඒ දාපු තැන් වලම ඉන්නව ට්‍රාන්ස්පෝට් එක එනකල් නැවතිල ඉන්න තැන් වලට යන්න බලාගෙන....ඔන්න එක පාරක් අපේ කතානායක රාළහාමිටත් මේ සන්තෑසිය උනා...එලිවෙනකල් බලා ඉඳල බැරිම තැන පයින්ම පිටත් උනා නවාතැන් පොලට යන්ට...නවාතැන් දීල තිබ්බෙ ඔය පේරාදෙණිය කිට්ටුව ඉස්කෝලෙක කියමුකො....

    ඔන්න ඉතින් රාළහාමි යනව පයින්ම...දැන් මනුස්සයට හරිම තෙහෙට්ටුයි...නිදිමතයි...ඒ මදිවට හරියට කෑමකුත් නෑ...යකා ඔළුව උඩ තියාගෙන තමයි යන්නෙ....

    ඒ ඉස්කෝලෙ කිට්ටුව තියනව ඔන්න එක ගෙදරක්....ඔය ප්‍රස්තුත අන්දරයෙ ඉන්න ජාතියෙ ළමයෙක් තමයි ඔය ගෙදරත් ඉන්නෙ.....ඔන්න ළමයගෙ අම්ම බත් පිඟානත් අරගෙන මිදුල පුරා යනව පස්ස පාරෙ...

    '' අනේ දුවේ, මේ බත් කට විතරක් කන්නකො...මයෙ හොඳ දුව වාගෙ....අනේ කිව්වම අහල කන්නකො...''

    මොන?????...

    '' බෑ, බෑ..බෑ කිව්වොත් බෑ....කන්නෙම නෑ...''

    පොඩි එකා දැන් ගහක් උඩ නැඟල බෙරිහන් දෙනව...අම්ම බත් පිඟානත් අරගෙන ගහ යට....

    ඔන්න ඔය වෙලාවෙ තමයි අපේ කතානායක රාළහාමි ( Ho. Speaker the police constable ) පාරෙ යනව මේ අම්ම දැක්කෙ...අනේ මේ අම්මගෙ ඉහේ මලක් නෙවෙයි මල් පොකුරක්ම පිපුන...රාලහාමිගෙ මූඩ් එක ගැන දැනගන්ට අම්මට දිවැස් තියනවය..නෑනෙ...

    අනේ බලන්න සුපින්වතුනි ....සිදුවූ විපැත්තියක මහත....:( :(

    නිවෙස අසලින් ගමන් ගන්නා පොලිස් නිලදරුවා දුටු ඒ මෑණියෝ පස් වනක් ප්‍රීතියෙන් පිනා ගියේ, මේ නම් දෙවියන් විසින් මවෙත මේ මොහොතේ එවන ලද්දෙකු වේදැයි සිතා වහා ඔහු අමතා මෙසේ පැවසුවාය

    '' අනේ බලන්න රාළහාමි...මේ ළමයා බත් කන්නෙම නෑනෙ....අනේ හොඳ රාළහාමි වගෙ ටිකක් බය කරන්නකෝ.....'' පවසමින් තොඳොල් වූවාය.

    නිදිවර්ජිතව කල්ගෙවීමෙන්ද සාගින්නෙන්ද එසේම ගමන් විඩාවෙන්ද පීඩිතව හුන් අප කථානායක තෙම මෙබසින් දණ්ඩෙන් පහරලද ආශිර්විෂයකු මෙන් කෝපාවිෂ්ඨ වූවාහු අහර පිළිකෙව් කල දැරිය නැඟීසිටි රුක් මුලට ගොස් දෑත් ඉණට තබා ගත්තේ හිස ඔසොවා දැරිය දෙස ගිණි පුළිඟු විහිදෙන දෑසින් මොහොතක් බලා සිට හාත්පස වෙවුල්වා යන හඳින් මෙසේ ගර්ජනය කලාහුය.

    '' මේ උඹ මගෙන් ............නැතුව ගහෙන් බැහැල බත් ටික කනවද නැද්ද? නැත්නම් උඹටයි උඹෙ අම්මටයි දෙන්නටම...........බලාගනිං, ''

    අනේ අර අහිංසක කෙල්ල ගහෙන් බැස්ස නෙවෙයි.....වැටුන බිමට....පව් දෙයියනේ..:( :(

    අම්ම රාළහාමි දිහාවෙ ඇස් ලොකු කරගෙන බලා ඉඳල මෙහෙම කිව්ව..

    '' ඉස්..ඉස්...ඉස්තුතියි රාලහාමි...රාලහාමි යන්න එහෙනම්...බබා නෙවෙයි මමත් බය උනා...... ''

    හැබැයි ඇස්වහක් කටවහක් නෑ එදායින් පස්සෙ ළමයා බත් කනව ඇටයක් ඉතුරු නොකර....'' මතකද අර පොලිස්....'' කියල විතරයි කියන්ට තියෙන්නෙ...

    ඉතිං ඔය ළමා මනෝ විද්‍යාඥයො කියල කියන කස්ටිය නම් මේ ගැන රටේ නැති බූත කියයි...ඒත් අවසාන විග්‍රහයෙදි කියන්ට තියෙන්නෙ බත් ටික ළමයගෙ බඩට යනව නම් ඒ ගිය මොන විදිහටද කියල වැදගත් නෑ කියල තමයි.....

    ReplyDelete
    Replies
    1. මගේ සරුවාන්ගෙම හිනා කෑව...!!

      Delete
    2. කතා පොඩ්ඩ නම් මරු..

      Delete
  14. පොඩි අයට බඩගිනි එන වෙලාවට කැව්වම ඇති කියලයි මං නම් හිතන්නේ. මේක එහෙමයැ. අම්මට බඩගින්න ආවමත් පණ කඩාන කවනවා,ආත්තම්මට බඩගින්න ආවමත් පණ කඩාන කවනවා,වෙන එකක් තියා අල්ලපු ගෙදර පොඩි එකාට බඩගින්න ආවත් ගෙදර ඉන්න පොඩි එකාට කවනවානේ........ ඉතිං එපා වෙන එක අහන්නත් දෙයක්කැ...... අපේ පුංචිගේ දුව වැඩි හරියක් හැදුනේ අපි එක්ක. එපා නම් එපා. ආයේ එයාටම ඕන වෙලා ඉල්ලනකම් අපි කවන්නෙත් නෑ කවන්න යන්නෙත් නෑ. එයාට බඩගිනි උනාම අර දුමී අයියගේ වචනෙන් කියනවනම් බුරිය උල් වෙන්ටම කනවා. පුංචි කන්නැ කියලා අපේ ගෙදර ගෙනත් දානවා. ඉතිං ඔය තියන බයිලයක් කරලා බඩගිනි ආවම කනවා.
    ආයේ තුන් වේලටම බත් පිඟාන පුරවලා එහෙම ඕනිත් නෑනේ. ඇයි ඉතිං හැම පැයේම මොනවම හරි කනවනේ පොඩි අය. අනික වද දෙන්න ගියාම එයාටත් අපි කමුද අහන එකත් වදයක් වගේ දැනෙන්නේ.

    අක්කා දන්නවනේ ඉතිං පාරම්පරික මමී එක්ස්පීරියන්ස් තියන අයට මේ මොන බම්බුවක්ද කියලා තියෙන්නේ හිතෙයි. මං නම් ඉතිං කිව්වේ පුංචිලගේ ළමයි එක්ක ඉඳලා බලාගෙන පුරුද්දෙන්.

    ReplyDelete
  15. බඩගිනි උනාම කයි කියල හිටියොත් එයාලට බඩගිනි වෙන්නේ කෑම හදන්න අමාරුම වෙලාවල් වල. අපේ පුතාට රෑට කන්න දෙන්න හරිම අමාරුයි, හැබැයි බඩගිනි එන්නේ රෑ 2 ට 3 ට. ඒ වෙලාවේ නැගිටලා වතුර උණු කරලා කිරි හදල දීල අපහු නිදි කරව ගන්න ඕන කට්ට දැක්කම කොහොම හරි රවට්ටලා රෑ කෑම ටික කව ගන්න වෙනවා. එතකොට නම් ඔය ළමා මනෝ විද්‍යාඥයො කියන ඒවා මතක් වෙන්නේ නේ.:D

    ReplyDelete
  16. මම නම් මේ ක්‍රමේට කවනවාට විරුද්දයි. අපි ළමයි කැමති දේවල් කනන් දෙනවා නම් මේක වෙනවා අඩුයි නේද?
    ඉස්සර එරික් හා ඩැරන් කෑම කන්නේම නෑ. එයාලගේ අම්මා, නොන්නා, පපාලා හැමෝම බය කරල කෑ ගහලා අන්තිමට ළමයි තමයි ඩිනුවේ. උන් කෑවේම නෑ.
    මම ඉන්නවා නම් එරික් මාත් එක්ක කඩේ ට යනවා. එයා කැමති දේවල් ගන්නවා. මම එයාට කවන්න ඕනේ කියල හිතෙන දේවල් දැක්කම මම මේක ඔයාට ආදරේ හින්දමයි ගන්නේ ඔන්න කියලා පටන් ගන්නවා. එයාලා සිලෙක්ට් කරපුවත් එහෙමයි. ගෙදර ආවම කුස්සියට යන්නෙත් අපි එකට. මම වැඩ කරද්දි එයාලා එක්ක කතා කර කර කෑම හදන්නේ. මේක මෙහෙමයි ආදරේ හින්දානේ මම මේක හදන්නේ ඔයා ඔක්කොම කෑවමනේ මට සතුටු වගේ.
    එරික් ඕනෙම දෙයක් මම ගෙනාව ගමන් ආන්ටි මේක මම හින්දම නේද ඔයා ගත්තේ ඔයා මට ගොඩාක්ම ආදරේ හින්දනේ කියලා කියනවා මතක් වෙනකොට තාමත් ආදරේ හිතෙනවා.
    කෑම හදන්න ඕනෙත් එයාලට ඕනේ විදියට. පොඩි ළමයි හොදියි බතුයි කන්න කැමති නෑ කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ. මම දකින දෙයක් තමයි එතකොට ඒ ළමයි කෑම කනවා. අපේ නෑනට එපා වෙලා අන්තිමට මේ ඔයාගේ පුතා ඔයාටම විතරයි කවා ගන්න පුළුවන් කියලා කියන්නෙත් ඒක හින්දා. දැනටත් එයා කන්න ගියාම ආන්ටි මෙහෙමයි කලේ මමා මට ඒ විදියට තමයි ඕනේ කියලා කියනවලු. ආර්ථික අපහසුකම් කෙසෙවෙතත් අපේ ළමයි කනවා දකින්න නම් මේ වගේ දේවල් කරන්න ඕනේ. බලෙන් නම් කවනවට මම කැමතිම අනෙ. භය කරනවාටත් කැමති නෑ. මගේ හොඳම යාළුවෙක්, මල්ලි කෙනෙක් අපේ බාප්පගේ එහෙම භය වෙලා අපි පොඩි කාලේ කෑම හිර වෙලා මැරුනයින් පස්සේ අපේ අප්පච්චි අම්මට කීව කෑම හින්දා කවදවත් අපිට බල කරන්න නම් එපා කියලා. කොහොමත පේ අම්මා අපිට හදලා දුන්නේ එකම කෑම නෙමෙයි. මාත් බතුයි හොදියි නම් අදටත් කන්නේ නෑ එක දවසකට වඩා. වෙනස් ආහර වට්ටෝරු, විවිධ වර්ගයේ රස වගේ දේවලින් පොඩි එවුන්ව හා ආදරයේ බොරු වලින් කෑම කවන්න පුළුවන්.

    ReplyDelete
  17. සමාවෙන්න ඕන රන්දිල් මේ පැත්තට එන්න බැරි උනාට...!
    ඔබ කියන මේ සියලු කතාවලට පිනුම් ගසා එකඟවෙමි...!මමනම් වී පොකුරිට සියල්ල බාරදී පැත්තක සිටිමි. ඒත් කවාගන්නම බැරි වූ විට , මට සැරකිරීම සඳහෑ ඇරයුමක් ලැබේ ඔන්න යන්තම් කටක් දෙකක් කවාගත හැකිය.සමහර දිනවලට ඒත් බැරිය. සැරවැර කරන්න එපා කිව්වත් බර අඩු වූ විට දෝෂාරෝපනය මවටය.
    (ඔබ ලියූ ආකාරය නම් අපූරුය)

    ReplyDelete
  18. අපිනම් බලෙන් කවන්නේම නෑ.. සමහර වෙලාවට කවන්ඩ හදද්දි නොකන මිනිහ පස්සෙ ගිහින් පැQත්තකින් වහල තියන එක එයාම අරගන තනියම කනවා. ළමයට බලෙන් ගිල්ලවීම අපේ ප්‍රතිපත්තිය නම් නෙමේ.. මට හිතෙන්නෙ එයාලට බඩගිනි නම් කනවා..

    කෑම විසිකරන එකටනම් මාත් විරුද්ධයි.. ඒත් සමහර වෙලාවට එහෙම කරන්ඩ වෙනවා.. කඩෙන් කෑම ගන්නකොට විශේෂයි..

    ReplyDelete
  19. පරක්කු වුනා එන්න රන්දිල්.

    මටත් මතකයි නංගිට මල්ලිට හෙම කවන්න අම්මලා ඉරට්ටක කෙලවරේ අමුණපු බත් ඇට හූනන්ට දෙනවා. හූණා කුරුමානං අල්ලලා අල්ලලා එකපාරටම පැනලා බත් ඇටේ කෑවාම පොඩි එකත් කට අරිනවා බත් කටක් කන්න. ඒකටම පුරුදු වෙච්ච හූණොත් හිටියා.

    මම දැක්කා තවත් ලිපියක, ගෙදර අම්මා අහක යන නිසා ඉතුරුවෙන ඔක්කොම කෑම කාලා නිරපරාදෙ ලෙඩ වෙනවා කියලා. ඕකත් අරවගේ සංකල්පයක්නෙ, අනික සමහර ගෙවල්වල කෑම ටිකාක් වැඩිපුර හදන සිරිතකුත් තිබිලා තියෙනවා අමුත්තෙක් ආවොත් කියලා.

    මගේ කෑම පිළිබඳ කමෙන්‍ටුව මෙයින් අවසානයි. කියවූ ඔබට ස්තුතියි.

    henryblogwalker the Dude

    ReplyDelete
  20. කෑම අහක දාන එක නම් අන්තිම නරකයි.. කන්න බැරි නම් බෙදා ගන්නෙ ඇයි..? නිතරම තමන්ට අවශ්‍ය ප්‍රමාණය විතරක් බෙදාගන්න පරෙස්සම් වෙන්ට ඕන..

    දරුවන්ට කවන එක නම්... කියලා වැඩක් නෑ..

    බලෙන් කවන්න ගෙහුං උන්ට කෑම එපා කරවනවා..
    පස්සේ බලෙන් මිසක කවන්ටත් බෑ..

    ඉතිං මොකේදැයි දන් වළඳන්නේ...?

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...