Monday, December 24, 2012

149. මහා ගාන්ධර්වයකුගේ සමුගැන්ම.......Departure of a Legendary Virtuoso

ලෝකය තනි යායක් කියලනෙ දැන් කියන්නෙ...එතකොට ආය කියනව විශ්ව ගම්මානය කියලත්..ගමක සිද්ද වෙන දෙයක් වරුවක් යන්ට ඉස්සර ගමේ හැමෝම දැන ගන්නව වගේ රූපවාහිනී, ගුවන් විදුලිය...ඊටත් වඩා විශේෂයෙන්ම අන්තර් ජාලය නිසා ලෝකෙ වෙන ඕනම සිද්ධියක් අසුරු සැණෙන් අපේ දෙසවනට සහ දෙනයනට ළඟා වෙනව...
ඒත් සමහරවිට අපිට ඉතාම වැදගත් වන සිදුවීමක් අපි දැනගන්නෙ සෑහෙන දවසක් ගත උනාට පස්සෙ...සමහරවිට අද සෑම තත්පරයක් පාසා මාධ්‍යයන්ට එකතුවෙන තොරතුරු සාරාසංඛ්‍ය අසංඛ්‍ය සංඛ්‍යාව අතරෙ මේ සිදුවීම ඉතාම නොවැදගත් නිසා වෙන්න පුළුවන්. තෙරක් නොපෙනෙන මහ සයුරෙ පාවෙන පිදුරු කැබැල්ලක්...නැත්නම් තරු අපරිමිත සංඛ්‍යාවක් දිදුලන අහස් වියන යට පියා සලන එක් කදෝපැණියෙක්.

මෙහෙම මේ සටහන අරඹන්න හිතුනෙ මම බොහොම ආදරය කල පුද්ගලයෙක් මෙලොවින් සමුගෙන අදට දින දහතුනක්ම ගතවෙලා..ඒත් මම මේ සිද්ධිය දැන ගත්තෙ ඊයෙ. ඒත් දිවා ආහාර විවේකයෙදි පත්තරේ කියවනකොට අහම්බෙන්....සමහරවිට මේ දවස්වල ලෝකෙ පුරාම හැමෝගෙම අවධානය යොමුවූ අමරිකාවෙ වෙඩි තැබීම, ලෝක විනාශය අතරෙ මේ එතරම් වැදගත් නොවුනු ප්‍රවෘත්තියක් වෙන්න ඇති.

ඔහු රවි ශංකර්.... ලොව පසිඳු ඒ අපූර්ව ගාන්ධර්වයා..අග්‍ර ගණ්‍ය සිතාර් වාදකයා...පෙරදිග සහ අවරදිග මියැසීන් මුසු කොට සංගීතය විශ්ව භාෂාවක් බවට පත් කිරීමේ පුරෝගාමියා...





1982 වසර.....වසර තුනකට පෙර ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වාදුන් නමුත් දීප ව්‍යාප්ත විකාශය ඇරඹුනේ ඒ වසරෙ.......ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සජීවී විකාශයෙන් බිහිවූ රූපවාහිනී ළදරුවා...ඒ මුල් යුගයේ දෑස් දල්වා රූපවාහිනිය ඉදිරිපිට අනිමිසලෝචනයෙන් සෙල් මුවා පිළිම මෙන් හිඳවුන් අප ඉදිරියේ දිගහැරුනු මනස්කාන්ත වැඩ සටහන් කීපයක් විය. Blake's 7 , Big Valley, Six Million Dollar Man, Bionic Woman, Lone Ranger, Who pays the Ferryman ඒ අතරින් නිතැනින්ම මතකයට ඒ. ටයි මහත්තයාගේ හඬ කැවීම් ඒකකය වැඩ අරඹා නොතිබුනු එදවස අමරිකානු නුපුරුදු උච්චාරණය තෝරා බේරා ගැනීම මහත් අපහසුවක් වුවද කථාව රස විඳීමට ඒ කිසිසේත්ම බාධාවක් නොවිණි.

ඒ අතර එකම සංගීතමය වැඩ සටහන වූයේ මසකට වරක් විකාශය වූ නන්දන වින්දන - මාසික විවිධ ප්‍රසංගයයි...එහි වරක් විකාශය වූ මරියසල් ගායනා කල එදවස සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වූ Ottawan ගේ Hands up, baby hands up.... give me your heart, give me give me your heart .....ගීතය අදටත් මගේ මතකයේ රැඳී ඇත.

ඉරිදා රාත්‍රියෙහි ඉංග්‍රීසි ප්‍රවෘත්ති විකාශයෙන් පසුව සව සංගීත නමින් බටහිර සංගීත වැඩ සටහනක් ද ප්‍රචාරය විය.මේ සව සංගිත යන නමෙහි අර්ථය එකල මට මහත් ප්‍රහේලිකාවක් විය. පසු කලෙක කුමන හෝ පත්‍රයක පලවූ ලිපියක මා කියවූයේ සව සංගීත යනු Evening music යන ඉංගිරිසි දෙවදන සිංහලට පෙරලා නිර්මාණය කරගත්තක් බවය. සවස සංගීත යන්න Too common බැවින් ඔවුන් එය සව සංගීත යනුවෙන් යෙදූ බව එහි පළවී තිබිණි!!!

එක් ඉරු දිනක රාත්‍රි ආහාරයෙන් පසු මම සයනයෙහි දිගාවී සිටියෙමි.සවසංගීත වැඩ සටහන මට කිසිසේත් ප්‍රියමනාප නොවූ නමුදු මපියාණෝ ඒ ඉතා උනන්දුවෙන් නැරඹූහ.එක් වනම සුපුරුදු සවසංගීත තේමා වාදනය වෙනුවට දෙසවන් සනහාලන ගැඹුරු සංගීත නාදයක් පසුතලය කොටගත් ලයාන්විත ස්ත්‍රී හඬක් ආලින්දයේ සිට නැඟී ආයේය.


'' He was the dazzling exponent of that mysterious eastern art, the Indian classical music, the god given gift to mankind..... at his fingertips the Sitar came to life…its haunting melodies reverberating through the minds of countless human beings, chasing away sorrows of hopelessness , grief of countless tragedies & filling every nook and corner of human mind with the elixir of wonder & hope, resonating with the wonder & sheer beauty of this god given art........... ''

සෙමෙන් සයනයෙන් නැඟී සිටි මම ආලින්දයට ගොස් රූපවාහිනිය ඉදිරිපිට අසුන් ගතිමි.ඒ මම ඒ අපූර්ව පුද්ගලයා දුටු මුල්වරයි. රවි ශංකර්...අපේ කළු සුදු අඟල් විස්සේ රූපවාහිනිය ඉදිරියේ දැහැන් ගතවූ මම ඉන් මිදුනේ පුරා හෝරාවකට පසුවය.

රවි ශංකර් සිතාරයෙන් සහ යෙහුඩි මෙනුහින් වයලීනයෙන් සවනට නොව හදවතට ආමන්ත්‍රණය කල එවන් එක් හෝරාවක දැහැන් ගතවීම් අවම වශයෙන් දෙකක් හෝ ඊට අනුයාත සති අන්තයන්හි ද ප්‍රචාරය වූවා මගේ මතකයේ රැඳී ඇත.සිතාරයකට අවම වශයෙන් අත තබා හෝ නොමැති වුවද පාසල් සමයේ සහෘදයකුගේ සිතාර් වාදනය අසා ( ඔහු අද දිවයිනේ දක්ෂතම සිතාර් වාදකයෙකි ) ඔහු සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කොට මම ශාස්ත්‍රීය සිතාර් වාදනයක් රස විඳිය හැකි තරමට මගේ රසඥතාවය වර්ධනය කොටගෙන සිටියෙමි.එබැවින් East Meets West යනුවෙන් හැඳින්වුනු ඒ අපූර්ව ප්‍රසංගය මසිත හුදු වදනින් විස්තර කල නොහැකි චමත්කාරයකින් මෙන්ම ආහ්ලාදයකින් ද පුරවාලීය.

ඒ ප්‍රසංගය විකාශය වූ සති දෙක හෝ තුනට පසු රවි ශංකර් හෝ ඔහුගේ සිතාර් වාදනය පිළිබඳව වැඩි දුරටත් කරුණු සෙවීමට මඟක් නොවූ හෙයින් වියයුතු ලෙසම ඒ මගේ සිතින් ගිලිහී ගියේය. මේ මා විස්තර කරනුයේ දශක තුනකට ආසන්න කාලයකට පෙර යුගය බව ඔබට නැවත සිහි කැඳවමි. අන්තර් ජාලය පිළිබඳව අසා හෝ නොතිබුණු U.S.B. හෝ C.D. යනු ඉංගිරිසි හෝඩියේ තවත් අකුරු පහක් පමණක් වූ යුගයක රවි ශංකර් පිළිබඳ වැඩිමනත් තොරතුරු සෙවීම උගහට වීම විශ්මයට කාරණයක් නම් නොවේමය.

වසර කිහිපයක් ගත විය. උතුරු මැද සහ නැගෙනහිර පළාත් මායිමේ රාජ්‍ය ව්‍යාපෘතියක රැකියාවක් ලැබ මම නිවසින් පිටවීමි.මහ වන මැද නේවාසිකව ගෙවුනු තනිකඩ ජීවිතයට ඉසුඹුවක් වූයේ හිරු අස්තගතවන හෝරාවෙහි සද්ධි විහාරික සමරුචි සහෘදයන් හා එක්ව සතුටු සාමීචියෙහි යෙදීම පමනකි. ඊට උත්ප්‍රේරක වශයෙන් බොහෝවිට මත්පැන් ද යොදා ගැණිනි.මා හා එකම නිල නිවාසයෙහි විසූ එකෙක් ශාස්ත්‍රීය සංගීතය යම් තරමක් දුරට හැදෑරුවෙක් විය.සිතාරය වාදනයෙහි ද නිපුණ වූ හෙතෙම මුල් වර වැටුප් ලබා නිවෙස බලා ගොස්
 ආපසු එද්දී වයලීනයක් ද රැගෙන ආවේය.

පුරා සඳ ඈත දිඹුලාගල කඳු මස්තකය පසුබිම්කොට නැඟී අවට ඒකාලෝකකල බොහෝ නිහඬ රාත්‍රියන්හි විටින් විට උස් පහත්වන රැහැයි නාදයට කන් දෙමින් අපි උත්තර භාරතීය සංගීතය, රාග ආදී බොහෝ දේ ගැන කතා කලෙමු.සිතාරය, තම්පුරාව, එස් රාජය සහ දිල් රුබාව එදවස අපේ කතාබහට වස්තු විෂය 
විය. සාද නිවෙස ඉදිරිපිට වැඩුණු මයිල ගස යට රවුමට තැබූ වේවැල් පුටුවල අසුන්ගත් අපි ඔහුගේ වයලීන නාදයට සවන් දෙමින් මත්පැන් වීදුරු හිස් කලෙමු.

එක් සති අන්තයක නිවෙස බලා ගිය උක්ත සහෘදයා සඳු දින
 සවස පෙරලා පැමිණ අප නිවස ඉදිරියේ ජීප් රථයෙන් බැස්සේ මුව පුරා සිනාසෙමිනි.

'' අඩෝ රවිශංකර්ගෙ ඊස්ට් මීට්ස් වෙස්ට් රෙසයිටල් එකේ කැසට් එකක් හම්බ උනා. ''

 
එකෙණෙහිමම මසිත දිවගියේ වසර කිහිපයකට පෙර අතීතයක රූපවාහිනිය ඉදිරියේ මා ගෙවූ ඒ සොඳුරු සැඳෑවන් වෙතටය.

'' ඒයි එහෙනං අද මොනව හරි කරන්ට වෙයි.....මගෙ ගාව ඇති එකහමාරක් විතර…'' 


'' එව්ව හරි යන්නෙ නෑ බං. රවි ශංකර් අහන්ට...මම ගෙනාව ඒකට හරියන නියම බඩු...ඉඳපංකෝ පොඩ්ඩක් ''

 
ඔහු පැවසුයේ ඉඟිමරමිනි.

එදින පුරා සඳ නොවතුදු අඩ සඳක් පායා තිබුණු බව මට මතකය. මයිල ගසේ අතු පතරින් දිස් වූ අහස තැනින් තැන විසිර පැවති සුදුවන් වළා පසුබිම් කොටගෙන ඉගිල ගියෝ අහර සොයමින් නැගෙනහිර ක්ෂිතිජයේ කඳු වලල්ල කරා පියඹන වව්ලෝය.ඉතා ඉහළින් පියා සර කල උන් කෑගසන අමිහිරි නාදය ඉඳහිට අප සවනත වන්නේ හමායන සුළඟ මඳක් ඉහිල් වූ විටදී පමණි.

සාලයේ දොර අසලම වූ විදිලි කෙවෙණියට සවිකල පේණුවෙන් නික්මුනු රැහැන ඔස්සේ ගලා ආ විදුලි බලයෙන් පණ ලත් කැසට් වාදන යන්ත්‍රය අප අසල වූ තුන් පා කනප්පුව මත හිඳ අවට පරිසරයට මුදා හරින්නේ සිත මත් කරවන සිතාර් සහ වයලීන වාදනයකි.

මම අඩවන් වූ දෑසින් යුතුව ඊට සවන් දුන්නෙමි.

'' මේ... මේකෙං ඇදපං උගුරක්..... ''


අඩ හෝරාවක් පමණ වෙහෙසී නිමකල දුම් වැටිය හේ මා වෙත දිගු කළේය.

දුම් වැටිය දල්වා පපුව පුරා දුම් රොටු උකහාගත් මම හුස්ම ඉහලට ඇද දෑස් තරව පියාගතිමි.

සිතාරය සහ වයලීනයෙහි ඒක මිතිය ඔස්සේ මත්ව ඉපිලෙමින් කොහේදෝ පාවයන්නට තැත් දරණ සිත මම මුදා හැරියෙමි.

මයිල ගසේ අතු පතර අතර සිට මම වේවැල් පුටුවේ දිග ඇදී දෑස් පියාගත්වනම හිඳින මම දෙස බලා සිටියෙමි.

සාම්‍යනාමධාරී ඒ අනූපම ගාන්ධර්වයා තම සිතාරයේ තත් හඬවමින් ඒ නිමේශයෙහී අපූර්වත්වය සහස්වරකින් වර්ධනය කරමින් සිටියේය.

සුබ ගමන්...මහා ගාන්ධර්වයාණනි.....ඔබට සුබ ගමන්!!!

22 comments:

  1. මතකය අවදි කල පෝස්ටුවක්. අපෙත් ඉන්නවා මෙවැනි විද්වතුන් කිහිප පොලක්.. මහා සංගීතඥ, පණ්ඩිත් ඩබ්ලිව්. ඞී. අමරදේවයන්, පේමසිරි කේමදාස මැතිදුන් ඇත්තටම මම හිතන්නේ මෙවන් පුද්ගලයන් ගැන අපේ පරපුර වෙන්වෙන් යම් දැනුවත් භාවයක් ලබාදීමට ගවේශණාත්මකව කතාබහ කිරීමට උත්සාහයක් දැරිය යුතුයි

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම...අපේ රටේ එවන් ශ්‍රේෂ්ඨ කලාකරුවන් ගැන හරි හැටි කතිකාවතක් ඇගයීමක් නැති එක තමයි කණගාටුව....

      කේමදාසයන් ගැන මම වසරකට වගෙ පෙර ලියපු සටහනක් මේ......

      ස්තූතියි රතී...:)

      Delete
  2. අපේ රටේ වුනත් වියෝ වුණාම පස්සෙ තමා ඇගයීමකට ලක් කරන්නේ. ඉන්දියාවෙ කෝමද දන්නෙ නැහැ. හැබැයි ඔවුන් ජිවත්ව ඉන්න කාලෙ ජනතාව දේවත්වයෙන් සලකන බව නම් දන්නවා..

    ස්තුති පෝස්ටුවට.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි සෑම්...ඉන්දියාව කියන්නෙ ජනප්‍රිය කලාවට වගේම සම්භාව්‍ය කලාවටත් ඒ වගේම ඒ මාධ්‍යයන් හි නිරත ජනප්‍රිය කලාකරුවන් සහ සම්භාව්‍ය කලාකරුවන්ටත් දේවත්වයෙන් සලකන රටක්.....

      ස්තූතියි ඔබටත්...:)

      Delete
  3. මමත් නම අහලා , විස්තර අහලා තිබුනට ඒ සංගීතය රස විඳලා නෑ ඔය වගේ දැහැන්ගත වෙලා... ඒත් මට මතකයි ඉස්කෝලේ 10 වසරේ විතර ඉන්න කාලේ මේන් හෝල් එකේ මොකද්ද වැඩකට බැක්ස්ටේජ් එකේ දඟලනකොට සිතාර් වාදනයක් ඇහිලා, ඔක්කොම වැඩ පැත්තක කියලා ඒක අහගෙන හිටපු හැටි.... ඒ අපේ ඉස්කෝලේ අක්කා කෙනෙක්... මට තාම මතකයි ඒ රිහසල් එක ඉවර වෙනකම් මං පැත්තකින් ඉඳගෙන අහගෙන හිටපු හැටි... එදා මගේ හිතේ සිතාර් වාදනයට ඇතිවෙච්ච අමුතු හැඟීම ඇද මේ වෙනකනුත් හිතෙන් මැකිලා නෑ කියලා දැනුනේ මේ සටහන කියවද්දි....

    සංගීතය රසවිඳින්න සංගීතය දැන ගන්න ඕනේ නෑ කියලා තේරෙන්නේ මේ වගේ වෙලාවට.. ඒ වගේම මං කොච්චර අවාසනාවන්තද කියලා හිතෙනවා කොච්චර මේ කලාවන්ට ආදරය කළත් කවදාවත් ඒවට සහභාගී වෙන්න ඉඩක් නොලැබුනු එකට...

    ReplyDelete
    Replies
    1. / මමත් නම අහලා , විස්තර අහලා තිබුනට ඒ සංගීතය රස විඳලා නෑ ඔය වගේ දැහැන්ගත වෙලා… /

      ඔතන වැඩේ මෙහෙමයි හිරුවො....කලා නිර්මානයක් රසවිඳින්න කිව්වම ඒ ඒ කලාකෘති වලට තියනව ඒ ඒ ක්‍රම සහ විධි...හරිද?....සරලව කිව්වොත් අර කතාවක් තියෙන්නෙ ඒ ඒ බනිස් වලට ඒ ඒ.......................කියල , ආන්න ඒ වගෙ,

      පොඩි උදාහරණෙකින් කිව්වොත් දැන් අපි ටෙලි චිත්‍රපටයක කොටසක් බලනව කියමු ( ටෙලි නාට්‍ය කියන හැඳින්වීමට මම කැමති නෑ...ටෙලි නාට්‍ය කියල පෙන්නන එව්ව එකක්වත් නාට්‍ය නෙවෙයි. එව්ව ඔක්කොම ඇත්තටම චිත්‍රපට. ඔය ටෙලි නාට්‍ය කියන වචනෙ ආවෙ මුලින්ම රූපවාහිනිය පටන් ගත්තු කාලෙ පෙන්නුවෙ වේදිකා නාට්‍ය රූපගත කරල...පරාස්ස, අංගාරා ගඟ ගලා බසී..මේ වෙලාවෙ මට මතක් වෙන උදාහරණ දෙකක්...ඒ වැරදි හැඳින්වීම අදටත් හැමෝම පාවිච්චි කරනව ඒ ගැන පොඩ්ඩක්වත් හිතල බලන්නෙ නැතුව ) දැන් ඔය මේ දවස්වල ප්‍රචාරය වෙන සේපාලිකා, ඉඳුවරී, ඉසුරු සංග්‍රාමය, රිදී සිත්තම් ඕන එකක් ගන්න.....ඔව්ව බලද්දි අපේ අනෙකුත් වැඩ ඕන එකක් කලෑකි. බත් කන ගමන් බැලුවැකි. පරිප්පු ටිකක් මදි උනොත් ටක් ගාල ගිහිල්ල චුට්ටක් බෙදාගෙන ආවැකි.මොබයිල් එකට එන කෝල් එකකටත් උත්තර දුන්නැකි ටී.වී. එක බලන ගමන්...ඒ අස්සෙ ඕන නං ලිපේ ඉදෙන නෝකෝල් වෑංජනේ ලුණුත් බැලුවැකි දුවල ගිහිල්ල....

      ඒත් කවදාවත් සම්භාව්‍ය ගණයෙ චිත්‍රපටයක් එහෙම එහාට මෙහාට දුව දුව රස විඳින්න බෑ...මට උදාහරණ දෙන්න වෙන්නෙ නම් මම බලපු චිත්‍රපට වලින් තමයි....නිධානය, සත් සමුදුර, අහස් ගව්ව, බඹරු ඇවිත්,හංස විලක්., God father, Gandhi,.......ඔය වගෙ චිත්‍රපට හරියට රස විඳින්න නම් හිරු ඇත්තටම දැහැන් ගත වෙන්නම ඕන..ඒකෙ ආයෙ නෑ දෙකක්...

      / සංගීතය රසවිඳින්න සංගීතය දැන ගන්න ඕනේ නෑ කියලා තේරෙන්නේ මේ වගේ වෙලාවට.. /

      ඔව්, ඇත්තෙන්ම...හොඳ රියැදුරෙක් වෙන්න, වාහනයක් පැදවීමේ සතුට විඳින්න වාහනේ එන්ජිම ක්‍රියාකරන මූලධර්ම ගැන පූර්න අවබෝධයක් තියෙන්න ඕනම නෑ....එහෙම තිබ්බත් ප්‍රශ්නයකුත් නෑ. ඒත් අත්‍යාවශ්‍යම සාධකයක් නෙවෙයි.

      / ඒ වගේම මං කොච්චර අවාසනාවන්තද කියලා හිතෙනවා කොච්චර මේ කලාවන්ට ආදරය කළත් කවදාවත් ඒවට සහභාගී වෙන්න ඉඩක් නොලැබුනු එකට… /

      අනේ, බොලේ...එහෙම හිතන්න එපා...ඔයාට කලාව කියන එක රස විඳින්න පුළුවන් හැකියාවක් ලැබුණු එකත් ලොකු දෙයක්..ඔයා දන්නවද අද කීයෙන් කීදෙනෙකුටද එහෙම හැකියාවක් තියෙන්නෙ කියල?.. ඒ වගේම සහභාගි වෙන්න උනත් අනාගතේ අවස්ථාවක් නොලැබෙයි කියල කාටද කියන්න පුළුවන්?

      දහස් වාරයක් ස්තූතියි හිරු, නොවරදවාම මගේ සටහන් කියවනවට සහ ඔබේ අදහස් ප්‍රකාශ කරනවට...:) :)

      Delete
  4. මමත් ගොඩක් ආදරේ කරපු ගරු කරපු කෙනෙක්.. මොනවා කරන්නද. අපිටත් කවද හරි ඔය ටිකම තමයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත යසිත්...අපි හැමෝම මරණය හිස මත තබා දිවි ගෙවන උදවිය...

      ස්තූතියි ඔබටත්...:)

      Delete
  5. Ravi talks about Ravi.

    වටින සටහනක් අයියේ. මෑතකදී ලංකාවට ආපු රවි ශංකර් ශර්මා සංගීතවේදියාවයි මෙතුමාවයි මම සෑහෙන කාලයක් යනකල් හිතාගෙන හිටියේ එක්කෙනෙක් කියලා. රවි ශංකර් ශර්මා තුමාම තමයි පැහැදිලි කරලා ඒ ගැන පහදලා දුන්නේ රූපවාහිනියෙන්. මෙතුමාගේ සිතාර් වාදන රසවිඳින්න මගේ තාත්තාත් ගොඩක් කැමතියි. මම යාන්තමින් අහලා තියෙනවා උනත් දැහැන්ගත වෙලා රසවිඳින්න ඕනෙ කියලා මේ වෙනකල් හිතිලා නෑ. වෙලාවක අහලා බලන්න ඕනෙ. අයියා මේ සටහනෙන් කිව්වා වගේම එතුමට සුභ ගමන් ප්‍රාර්ථනා කරන්න අපිත් එක් වෙන්නම්.

    ReplyDelete
    Replies
    1. / Ravi talks about Ravi./

      Yeah, why not?....he should be real glad that he got to share the same name as someone like me…:) :)

      ස්තූතියි සිත්තමී..යස් ...නිවාඩු වෙලාවක අහල බලන්න....ඔන්න මෙහෙමයි වැඩේ වෙන්ට ඕන...ෂරී?....හඳ පායල තියෙන්න ඕන...පාලොස්වක නොවුනත් අටවක පහු වෙල තිබ්බනම් ඇති...අහසෙ වළාකුළු ගොඩක් තියෙන්නත් බෑ. ඔන්න තැන් තැන්වල පුළුං කුට්ටි වගෙ පොඩි පොඩි වළාකුළු....හරිය?....හඳ හිටපු ගමං ඒ වළාවකට මුවා වෙනව...ඒත් වැඩි වෙලාවක් ගන්නෙ නෑ...ආයෙම එබිකම් කරල එළිය පතුරෝනව......

      රෑ මනමාලි මල් දන්නව නේද?....Night Queen කියන්නෙ...අන්න ඒ මල් පිපිල සුවඳ ගලාන එනව පපුව පුරාවට.......යාන්තමට පොඩි හුලඟක් හමාගෙන එනව ගස් වල කොළ හෙල්ලෙන නොහෙල්ලෙන ගානට....

      සාලෙ වේවැල් පුටුවෙ ඉඳගෙන ඉන්නව සිත්තරා.....ඇස් දෙකත් බාගෙට පියාගෙන....

      '' කෝ ළමයො මොකක්ද ඔයා මේ කියන්නෙ?...කවුද දැන් ඕක අහන්නෙයි කිව්වෙ? ''

      '' රවි අයිය අනේ......හරි හරි ඉන්නකො එයයි කිව්වට පොඩ්ඩක් අහල බලමුකො.... ''

      සිතාරයේ තත් බිඳෙන රාවය සඳ පහන් රැයක දසත පැතිර යන මල් සුවඳ අතරේ විඳිමින් ඔහු සහ ඇය මොහොතකට අපූර්ව ලෝකයක තනි වූවෝය......

      Delete
  6. ස්තූතියි මෙච්චර හරට බරට ලියල තියෙන විදියට.. ඒ වගේම එතුමාට උපහාරයක් වේවා!!

    ඒක නෙමේ අර කෙලී ගෙට උනාට පස්සෙ මෙයා තනිමෙන් මේ මාසෙ ලියවිලි හතරක්ම ලියලා... ඊළඟ එක 150.. (පොඩි මතක් කිරීමක්..) :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තනෝජා..........

      හෙහ්, හෙහ්, ඒක නෙව කියන්නෙ...කෙලී ගෙට උනත් හරි මට මේක තනියම ඇදගෙන යන්ට වෙලා නෙව...මොකදෑ කොරන්නෙ?.....කෙලී වෙනුවෙන් ඊට වැඩි දෙයක් උනත් කොරන්ටම එපාය.......

      ඔන්න බලන්නකො ඒකෙත් හැටි...කෙලීට කෝල් එකක් දෙන්න කියල හිටිය...ඒත් නොයෙක් වැඩ කටයුතු කරන කොටගෙන මතක බැරිඋනා නෙව..ඔයාගෙ කමෙන්ට් එක දැක්ක ගමන් මට හිතුන මේක මෙහෙම හරියන්නෙ නෑ...දැම්මම කතා කරනව කියල....ඒ පාර වහාම ක්‍රියාත්මක වන පරිදි ගත්ත කෝල් එකක්...හෙහ්, හෙහ්......ඒකෙත් ස්තූතිය හිමිවෙන්න ඕන ඔන්න ඔයාට...:) :)

      Delete
  7. ඉතිං බොල උඹ ප්‍රවෘත්ති බලන්නැති එකට ලෝක ජනමාධ්‍ය මක්කොරන්ටදෑ.. රවි ශංකර් මියගිහින් විනාඩි 15ක් යන්ට කලින් BBC එකේ නිවුස් එක දුන්නා, මම මගේ දෑහින් දැක්කා.. අනිත් ප්‍රධාන ජනමාධ්‍යත් ඒ වගේම වෙන්ටැති කියලා හිතනවා (මොකද මට ඒවා බලන්ට බැරි වුන නිසා).. උඹ සුවර් එකටම දෙකක් දාලා නැත්තං සදාසුවේ සොට් එකක් දාලා අභ්‍යවකාශේ පාවී පාවී ඉන්ටැති.. :)

    ReplyDelete
    Replies
    1. / ඉතිං බොල උඹ ප්‍රවෘත්ති බලන්නැති එකට ලෝක ජනමාධ්‍ය මක්කොරන්ටදෑ.. /

      ඒකත් හරි තමයි බලාගෙන යනකොට...පහුගිය ටිකේ මලේ බී.බී.සී, සී.එන්.එන්. නම් බලන්ට බැරිඋනා තමයි...ඒත් ඔය ලංකාවෙ එව්ව බැලුව හැමදාම.....එකකවත් දැක්කෙ නෑ මේ සීන් එක....ඒකයි මම අරම කිව්වෙ......

      / උඹ සුවර් එකටම දෙකක් දාලා නැත්තං සදාසුවේ සොට් එකක් දාලා අභ්‍යවකාශේ පාවී පාවී ඉන්ටැති.. :) /

      පිස්සුද බං මෙහෙ ඒ අභ්‍යාවකාශ සීන් බෑ......අර ගඩුගුඩාව වගෙ එක දන්නව නේද?......ගිණි අඟුරු උඩට බඩු දාල දිග බටේකින් උරන්ට තියෙන්නෙ...මට මේ වෙලාවෙ නම මතක් වෙන්නෙ නෑ....මතක් උන ගමං කියඤ්ඤං.....ආන්න එව්ව විතරයි තියෙන්නෙ....ඒත් ඒකෙං ඇති වැඩක් නෑ බං....හෙහ්, හෙහ්,රොකට් එකට අහලකිං තියන්ට බෑ.....

      Delete
    2. ලංකාවෙ තියෙන්නෙ ජනමාධ්‍යද බොලං.?? එදිනෙදා බඩ වඩා ගන්ට ට්‍රයි එකක් දෙන ජඩමාධ්‍ය නෙවැ.. :D

      Delete
  8. අතීත මතක අවුස්සන පෝස්ටුවක්..
    එවන් රූපවාහිනියක් කවදා දකින්න ලැබෙයිද මන්දා...

    ReplyDelete
    Replies
    1. / එවන් රූපවාහිනියක් කවදා දකින්න ලැබෙයිද මන්දා… /

      කවදාවත් දකින්න ලැබෙන්නෙ නෑ රූ...ආයෙ කවදාකවත්ම නෑ.......කාලය කියන්නෙ අනවරත ප්‍රවාහයක්…You cant get into a flowing river twice….

      Delete
  9. රවි ශංකර්ගේ ප්‍රසංගයක් ඉන්දියාවෙදි ඇස් දෙකට දැක ගන්ට ලැබීම ගැන දැන් ගොඩක් සතුටු හිතෙනවා. ඒ අවස්තාවෙත් ඔහු හිටියේ දුර්වලව. සංගීතය භාවනාවකට සම වැදීමක් බව මම ඉගෙන ගත්තේ ඔහුගේ සංගීතය අහන් ඉඳලා.

    හොඳ සටහනක් රවියෝ...රවි තවත් රවි කෙනෙක් ගැන කරපු අගනා ලියවිල්ලක්!!! :-)

    ReplyDelete
    Replies
    1. / රවි ශංකර්ගේ ප්‍රසංගයක් ඉන්දියාවෙදි ඇස් දෙකට දැක ගන්ට ලැබීම ගැන දැන් ගොඩක් සතුටු හිතෙනවා. /

      හෙහ්, ඔයානම් පුදුම වාසනාවන්තයි....යූ ටියුබ් එකේ කොච්චර ඇහුවත් බැලුවත් සජීවී ප්‍රසංහයක තියෙන ඒ වාතාවරණය ( Atmosphere ) සහ අමුතු හැඟීම ( Unique feeling ) එන්නෙම නෑ....

      ස්තූතියි පොඩ්ඩි.....

      Delete
  10. කතාවක් අස්සේ කතා ගොඩක් ලියන්න ඒ හැම එකක් අස්සෙම එකම විදියේ වින්දනයක් දෙන්න
    රවීට හැර වෙන කාටද පුළුවන්?

    මෙය කියවූයේ බොහෝ කලකට පෙරයි. ඒත් මතක පාර ඔස්සේ නන්දන වින්දන වගේම ඒ කාලයේ පෝලිමට ඉඳගෙන බලපු රූපවාහිනියේ වැඩ සටහන් මතක අස්සෙන් එලියට එන්න මට බොහෝ කල් ගියා.
    කිවුවත් වගේ මාස්ටර් රවී සංකර්ගේ මරණයෙන් විනාඩි කිහිපයක් ඇතුලත ඒ ගැන බොහෝ රටවල හෙඩ් නිවුස් එකක්ම වුනා.
    උඹ නිවුස් නොබලනවට අපි මක්කොරන්නෙයි?

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, Mucho gracias Senorita,

      / උඹ නිවුස් නොබලනවට අපි මක්කොරන්නෙයි? /

      හරි හරි බං..අර නරිය කිව්ව වගෙ ඕකට ඉතිං හොඬ වැලෙං පත බාන්ට ඕනය?....දන්නෙ නැත්තං නෑ කිව්වම අහවරයි නෙව....:) :)

      Delete
  11. අදයි මේව කියවන්ඩ ඉස්පාසුවක් ලැබුණෙ...අපරාදෙ දවස තිස්සෙම ඉන්දියානු නාලිකා විතරක් නරඹන අපේ අම්ම මේ ආරංචිය කිව්ව ගමන් මට උඹට ඒ බව කියන්ඩ තිබුණ...
    හ්ම්
    උඹ දන්නවනෙ අයියෙ මං ඉතිං ඉන්දියානු සංගීතෙට වහ වැටුණෙ අම්මගෙ බඩේ ඉන්න කාලෙ ඉඳලනෙ..
    හ්ම්!!
    මෙතුමාගෙ නම එක්ක තියනෙව තවත් නමක් තමයි අල්ලා රඛා.. වසර ගණනාවක් පෙරදිග සංගීතය බටහිරට ගෙනගිය ගමනේ සගයා!!
    මේ දෙන්නගෙ සුසංයොගය!! මේ සංගීත ලෝකෙ සජීවී වාදන ඉදිරිපත් කිරීම්වලදි ඒ තරම් ගැලපෙන ආත්මීයව බැඳිච්ච යුගලක් මං දැකලම නෑ...!!
    මං දන්න තරමින් මෙතුමා පළමුවෙනි වතාවට විවාහ වෙච්ච තමන්ගෙ ගුරුවරය වුණු උස්තාද් අලව්දීන් ඛාන් ගේ දුව අන්නපූර්ණා දේවි ඔහුටත් වඩා අති දක්ෂ වාදිකාවක්...

    පහුගිය කාලෙක මල්ලියි මමයි යූ ටියුබ් එකේ ඔයා ශාස්ත්‍රීය සංගීත වැඩසටහන් අහනකොට තමයි දැක්කෙ.. බීට්ල්ස් කණ්ඩායමේ ජෝජ් හැරිසන් සිතාර් වාදනය කරන අවස්ථාවක්... ඔහු රවී ශංකර්තුමා ගෙන් සිතාර් වාදනය ඉගෙන ගෙන තියෙනව..
    ලියන්ඩ දේවල් නං එමටයි!! ඒත් මේවෙලාවෙ ඒව සේරම ලියන්ඩ බෑ අයියෙ.. මේ වෙලාවෙ ලියන්ඩ ගැලපෙන්නෙත් නෑ...

    එතුමාගෙ ආත්මයට ශාන්තිය උදාවේවා!!!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...