Friday, July 27, 2012

125. උභතෝකෝටිකය....The paradox



මහනුවර වැව වටා පනවා ඇති අසුන් රාශියක් මහනුවර නගරයට කුමන හෝ කාර්යයකට පිවිසි ඔබ දැක ඇතිවාට මට සැකයක් නොමැත. ඒ වැවෙහි සිරි නරඹමින් විවේකයෙන් කල් ගෙවනු පිණිස මහනුවර වැසියන්හට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමයේ සිට හිමිවුණු වරප්‍රසාදයෙකි. මෙදවස නුවර නගර මධ්‍යස්ථානය (Kandy city centre ) පිහිටි භූමි භාගය ඉදිරි පස වැවෙහි සංචාරක බෝට්ටු සේවය පවත්වාගෙන යන ස්ථානය ඉදිරිපිට අසුනක මම හිඳින්නෙමි. මම මෙසේ අසුන්ගෙන පොරොත්තුව සිටිනුයේ හෝරාවකට ද මඳක් අධික කාලයක සිටය.

ඒ ඇය සැපත්වන තුරාය.

අපගේ ඇසුර ඇරඹී ගතව ගියේ හුදෙක් තෙමසක මඳක් අධික කාලයක් වුව ඒ ඇසුර හුදු හිතවත්කමකට එහා යාමට විභවය සහ හැකියාව ඇත්තක් බව මට හැඟී ගියේ ප්‍රාරම්භක අවධියේදීමය. ඇය ද ඒ හැඟීම එලෙසම විඳින බවට ඇගේ වදන් මෙන්ම දෑස ද නොයෙක් වර කියා පෑවේය.ආදරය පිළිබඳ අප අතර කිසිදු වදනක් මෙතෙක් හුමමාරු වී නොතිබි බවද මේ සමඟම කිවයුතුය.

සති අන්තයේ ඉරු දින උදය වරුවේ හමුවීමට අප නියම කොට ගත්තේ අන්‍යෝන්‍ය එකඟත්වයෙනි.


මේ හමුවීම් ඉතා සුන්දර වුවද හිරු රැසින් බබලන අහස් කුස අඳුරු කරවනා එකම කාල වර්ණ මේ කුලක් මෙන් ඒ සුන්දරත්වයට අකුල් හෙලූයේ එකම කරුණකි. ඈ පුරුද්දක් වශයෙන් වැව්තෙරට පැමිණියේ ප්‍රමාද වීය.මුල් අවස්ථා කිහිපය මම ඒ එතරම් ගණනකට නොගෙන නොසළකා හැරියද අවසන ඒ මගේ සිතට මහත්සේ වදදෙන්නක් විය.

අප හමුවනුයේ සතියකට වරක් ඉරුදින උදෑසන පමණි. ඒ දින සතකට වරක් එළඹෙන එකම දින පවා එකඟ වූ හෝරාවට පැමිණීමට ඇය උනන්දුවක් උත්සාහයක් නොගන්නේ මන්ද? එක් දිනක් දෙදිනක් ප්‍රමාදය සැලකිය යුත්තක් නොවේ. එහෙත් නොකඩවා වාර ගනනක් එළෙසම සිදුවීම? මේ අඟවන්නේ කුමක්ද? ඒ තරමටවත් ඇය මා පිළිබඳව සැලකිල්ලක් නොදක්වන බවද? මෙලෙස සිතට වද දෙමින් නොයෙක් අතට පෙරලමින් කල්පනා ලොව සැරිසැරීමට මට සෑම සතියකම දින සයක කාලයක් තිබීම තත්වය වඩාත් උග්‍ර වීමට ප්‍රබල හේතුවක් විය.

එහෙත් වැව්තෙර අසුන්ගෙන හුන් මගේ අඳුරු වූ වත දුටු වහාම ඇය මා සුරත දැඩිව ග්‍රහණය කොටගෙන දොඩමළු වූවාය.

'' අනේ තරහ ගන්න එපා, අපේ ගෙවල් පැත්තෙන් එන බස් එක අද තිබ්බෙ නෑ. මට අයියට කියල බයික් එකේ ටවුමට එන්න උනා,''

'' හරි වැඩේනෙ උනේ, අපෙ ගෙවල් ළඟ පොඩි දරුවෙකුට අසනීප වෙලා. මම එයත් එක්ක ඉස්පිරිතාලෙ ගිහිල්ලයි මේ ආවෙ,''


'' ඊයෙ අපේ ලොකු අම්මල ආවනෙ අපේ ගෙදර, එයාල අද උදේ ආපහු ගියේ, ඉතිං මටත් ටවුමට එයාලගෙ වෑන් එකේම ගියෑකි කිව්ව. මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. එයාල එක්කම එන්න උනා. ''

'' හ්ම්ම්.....''

දැඩිව ග්‍රහනය කරගත් මගේ සුරත ඇකය මත තබාගත් වනම මා දෙනෙත් දෙස එක එල්ලේ බලා දොඩමළු වන ඈ දෙස නොබලා වැව් දියමත රැළි නංවමින් විදේශීය සංචාරකයින් පිරිසක් රැගෙන යාත්‍රාකරන නිල්පැහැ බෝට්ටුව දෙස දෙස බලාගත්වනම මම පිළිතුරු දුනිමි.


මගේ නොපහන් මුහුණ නොදුටුවසේ ඈ දිගටම දොඩමළු වෙයි. පසුගිය දින සයේ ඈට සිදුවූ, ඈ ඇසූ , ඈ දුටු සියල්ල මා හට පැවසීමට ඈට අවශ්‍යය.දිගින් දිගටම නොපහන් මුහුණින් කල්ගත් කිරීමට මට නොහැකි බව මම මෙන්ම ඇයද හොඳින් දනියි. පළමුව ඈ දෙස නොබලාම මම ඇගේ වමත දැඩිව ග්‍රහණය කර ගනිමි. දෙවනුව තද කරගත් තොල් පට ලිහිල්වී මඳ සිනහවක් විද්‍යාමාන වන්නේ මුහුණෙහි මෙතෙක් දැඩි ආතතියට ලක්වූ මස්පිඩු ලිහිල් වීමත් සමඟමය.ඒ ක්‍රියාදාමයෙහි තර්කානුකූල අවසානය වනුයේ ඈ දෙසට හැරුනු මම මෙසේ පිළිවිසීමය.


'' ඉතිං අනේ කියන්නකො ඊට පස්සෙ මොකද උනේ? ''

හෝරා දෙකක පමණ කාලයකට පසු බොහෝවිට ඇයට හදිසි අවශ්‍යතාවයක් නොතිබුණේවීනම් දිවා ආහාරයද ගෙන අප දෙදෙන සමුගන්නේ හද පුරා පැතිරුනු සෙනෙහසිනි..


මේ ක්‍රියාවලිය නොනැවත චක්‍රයක් මෙන් කිහිප වරක් සිදුවූ ඉක්බිති මම තීරණයක් ගත්තෙමි. ඇගේ ප්‍රමාදය පිළිබඳ නොපහන් වනු නොව ඒ ඇගේ ස්වභාවය යයි පිළිගැනීමට මම සිත එකඟ කරවා ගතිමි.

එදවස මා කියැවූ පොත් කිහිපයක සඳහන් වූ මෙවන් අදහස් ද ඒ වෙනුවෙන් මහෝපකාරී විය.

Don't get married thinking you can change someone to your whims, it wont happen ever.

Mutual understanding is the strongest base for a lasting relationship.

Accepting her / him for what her / him is the best gift you can give her / him.

මෙවන් අදහස් පොත් පත් වල ලියනුයේ අත කසනවාට නොවන බවද එසේම අධික මුදලක් ගෙවා මිළදී ගන්නා සහ මුළු රැයක් පුරා බොහෝවිට අළුයම තෙක් නිදි වර්ජිතව කියවන්නාවූ පොත්පත් වල සඳහන් දෑ පිළිපැදීම අප සැමගේ යුතුකම මෙන්ම වගකීම ලෙසද ඉටාගත් මම ඒ අනුව මා දිවිය හැඩ ගස්වා ගැනීමට අදිටන් කොට ගතිමි.

අනුයාත ඉරුදින එලඹිනි. සුපුරුදු පරිදි වැව් තෙර අසුන වෙත සැපත්වීමට පලමු කොටුගොඩැල්ල වීදියෙහි විජිත යාපා පොත්හල වෙත ගිය මම ඒ ආසන්නයේම නිකුත්වූ සුනේත්‍රා රාජකරුණානායකගේ නව කථාවක් මිළයට ගතිමි. ඒ ඇගේ මුද්‍රණ ද්වාරයෙන් නිකුත්වූ දෙවන හෝ තුන්වන නවකථාව බව මතකයෙහි රැඳී ඇත. බොහෝ විට ප්‍රේම පුරාණය විය හැක.

වැව්තෙර අසුනෙහි හිඳ පොත කියවීම ඇරඹූ පසු කාලය ගෙවීයනු මට කිසිසේත් නොදැනිනි.වෙනත් ඉරුදිනයන්හි මිනිත්තු පහෙන් පහේ කාල ප්‍රාන්තර අනුව ඔරලෝසුව දෙස ද ඒ සමඟම නොපහන් දෑසින් යුතුව ඈ පැමිණිය යුතු මඟ දෙසද සහස් වරක් දෑස් හෙලන මම මෙදින සුනේත්‍රාගේ පොතෙහි නිමග්න වූයේ මුලු ලොවම අමතක වූ පරිදිය.

'' අනේ සොරි හොඳද මම අදනම් හොඳටම පරක්කු උනා...''


ඇගේ ආයාචනාත්මක හඬ මම සුනේත්‍රාගේ ලොවින් බැහැර කරලීය.


සුපුරුදු නොපහන් වත වෙනුවට මම ඈ දෙනෙත දෙස එක එල්ලේ බලමින් සිනහසීමි.

'' කමක් නෑ අනේ...ඒකට කමක් නෑ...මම මේ පොතක් බල බල හිටියෙ..වෙලාව යනව තේරුණේම නෑ. ''

මම පොත නවා උකුල මත තබා ගනිමින් අසුනේ ඇයට ඉඩ දෙනු පිණිස මඳක් එහාට වුනිමි. ඈ හිඳගත්තේ අසුනෙහි ඈතම කෙළවරෙහිය. එමතුද නොව මා දෙස නොබලාම ඈ ඈත වැව මධ්‍යයෙහි දිස්වන දූපත දෙස මොහොතක් බලා උන්නාය.


'' හහ්...ඔයාට මම මෙච්චර පරක්කු උනා ඒක ගැන ගානක්වත් නෑ...පොත තමයි ලොකු උනේ නේද? පොත බල බල ඔහොමම ඉන්න. මම යනව යන්ට..''


එකවරම ඈ නැඟී සිටියාය. මා දෙස එකවරක් හැරී බැළුවාය. ඉනික්බිති ගස්සාගෙන ආපසු හැරුනු ඈ යුහු ගමනින් මා වෙතින් ඉවත්ව ගියාය.

අඩක් විවරවූ මුවින් සහ අයාගත් දෑසින් යුතුව මම ඈ ඉවත යනු බලා සිටියෙමි.

In dictionaries the word woman should be defined as paradox

Don't ever try to understand women, just love them

මවිසින් කියවවලද පොත් වල සඳහන් වූ ඉහත සඳහන් අදහස් නැවත සිහියට නඟාගත් මම සිත සනහා ගතිමි.

As all women are she may be a paradox too but do you know that I love paradoxes?

Finally...... being loving that paradox for the last Nineteen years and loving it more day by day ...heh, heh,

ප.ලි. - වසර කිහිපයකට පෙර ඇය සහ මම යථෝක්ත අසුනෙහි නැවත හිඳසිටියෙමු.


'' ඒයි මතකද මම දවසක් මෙතන ඔයා ඉඳගෙන ඉන්දැද්දි තරහ වෙලා යන්ට ගියා ගස්සගෙන? ''

ඈ දෑස් සිහින් කොට විචාලාය.

'' මොකද බොලේ මතක නැත්තෙ?...හෙහ්, හෙහ්, මම එදා හිතාගත්ත ඔයා පස්ස නොබලම යන්ට ගියානම් එතනිම්ම වැඩේ නවත්තල දාන්ට. ''

'' හහ්, එව්ව කොහෙද මා එක්ක? ''

ඇය හඬ නඟා සිනාසුණාය.

'' මම හැරිල බැලුවනෙ නැවතිලා. ඔයා මා පස්සෙ එන්නෙ නැතුව ඉඳගෙනම හිටියනම් මමත් හිතාගෙන හිටියෙ එතනිම්ම වැඩේ නවත්තල දාන්ට.''


'' හෙහ්, හෙහ්, එව්ව හරියන්නෙ නෑ ළමයා මේ මම එක්කලා....මම ආවනෙ ඔයා පස්සෙන්...''

මම ඇගේ දෙනෙත් දෙස එබී බලා පැවසුවෙමි.

Sunday, July 22, 2012

124. The spider the butterfly & the web...


 

In the centre of his web with silky strands extending radially ,
Sat he with a lingering half smile on his face,
Was totally happy & at peace with the whole world,
With nothing whatsoever  to distract from a blissful life,
Built the web with his own hands a long time ago,
 ' Cause tradition dictated that he built a web or some thing like that,
All the same he never wanted anyone to get stuck on his web,
Just sitting at the centre with a contended heart was all he wanted
Reverberating vibrations resonating the silvery strands,
Woke him up with a jolt from the slumber immersed in,
Slowly waking up and looking around what did he saw?
A beautiful butterfly caught at the verge of shimmering web,
Walking slowly towards her  waiting with a bowed head,
Expecting a horrible death she was without doubt,
Tenderly touching her forehead so lovingly,
Released her from the strands she was entangled in,
Nae a word uttered she flew away to the sunset,
But not before casting back furtive glances from corner of her eyes,
He sat at the centre of his web looking at her  with that eternal half smile,
Listening to his heart   whispering that this is not the end,
For a long long  time she didn't come back,
May be it was not so long but he felt so,
End of the day heaving a huge sigh,
he was ready to get back to his life once again,
There came the vibrations once again,
That means she has come back once more,
With a lightness of heart that surprised even him,
The spider went away to release her again,
She didn't fly away but sat with him on his web,
Swaying merrily in the winnowing wind,
They spoke about everything under blue sky,
About the sun moon and the stars, life & love itself,
When she was ready to fly away once more,
 '' Don't come back again ''  he said with a smile,
 '' Now I cant make a promise like that''
Said she with a sidelong glance,
Will she come back again to the web?
what would he do if she does exactly that?
Your guess is as good as mine, so let's leave it like that,
Want to make a guess  or shall we let the time decide.

Tuesday, July 17, 2012

101. කෑම සහ කන්නට ගොස් නෑම සමගින් මගේ අත්දැකීම්


පෙර කථාව


“කෑම අහක දාන්න එපා පව් සිද්ධ වෙනවා”


“72 අවුරුද්දේ වගේ සාගතයක් ආවා නං ඔයාලාටත් තේරෙයි. කොස් ගස් තිබුණු නිසා යාන්තං බේරුනා. ඔයාලාට මේ අපි දෙනවා වැඩියි”


“සිරිමා ආණ්ඩුව කාලේ වගේ හාල් පොලු, සීනි පොලු තිබුනා නං ඔයාලා නොකන දේවලුත් කයි. හා හා ඉතිරි කරන්න එපා. සේරම කන්න ඕනෑ”


මේ මීට අවුරුදු 15කට 20කට පෙර අපේ අම්මා අපිට තුන් වේලට කියු වදන්ය. මේ සියලුම සිදුවීම් සැබෑ වුනත් කන්න බැරි නං කන්නේ කොහොමද දෙවියනේ!!! මට එහෙම හිතුණු අවස්ථාවක් නැති තරම්ය. එහෙත් නැගණියන් දෙදෙනාගේ විස්තරය වෙනස්ය.

අපේ ගෙදර පොඩිහිටියන් අතුරින් කෑම වේල සඳහා අරගල නොකෙරූ එක ම කෙනා මම වෙමි. බත් පත රතු කැකුළුද, සම්බාද, නාඩු ද, මොනවද යන්න ගැන වාද මට නොවීය. වෑංජන මැල්ලුම ද, මාලු ද, බිත්තර ද, කොහිලද, කැරට් ද, බීට් ද, යන්න ද මට වගේ වගක් නොවීය. අම්මා දෙන දේ අනුභව කොට නිහඬව සිටීම මගේ සිරිත විය. ඒ සමහර විට කුඩා කල සිටිම ඔවුන් දෙදෙන මා ප්‍රශංසාවට ලක් කරමින් ආහාර දුන් නිසා විය හැකිය.


“අපේ දුවගෙන් කිසි කරදරයක් නැහැ. ඕනෑ ම දෙයක් කනවා. නේද පුතේ? අම්මාට කිසි කරදරයක් නැහැ” ආදී වශයෙන් පිටස්තරයන් ඉදිරියේ ප්‍රශංසා ලැබෙන විට එයින් සතුටුව පිම්බී යන මා එලෙස දුන් දෙයක් කන්නට පුරුදු වූවා විය හැකිය. කොටින්ම වෙන දරුවන් මැලි කමක් දක්වන මෝර තෙල් බීම, මැල්ලූම් කෑම ආදිය මා කැමැත්තෙන් කලේ, “තාත්තේ තාත්තාත් මැල්ලුං කන්න, එතකොට උස යනවා, සුදු වෙනවා, දත් ගොඩක් එනවා” ආදිය තාත්තාටද පවසමිනි. එකල මගේ වයස අවුරුදු 2 ½ක් 3ක් පමණ වන්නට ඇත.


එහෙත් නැගණියන් දෙදෙන ඒ ආකාරයෙන් ගොඩ නගන්නට දෙමව්පියන්ට ඉස් පාසුවක් නොවීය. හැකි ඉක්මනින් බතක් මාළුවක් උයා කෑම වේල සරි කර, තව කරන්නට ඕනෑ තරම් රාජකාරී අප මව සතුව තිබිණ. ඒ සේරමට ම අමතරව ඇය රැකියාවටද යා යුතුව තිබිණ.


දිනක් වැඩිමහල් නැගණියට අම්මා බත් කවමින් සිටියාය. බත් පතේ කරවිල විය. එකල, අවුරුදු 6-7ක් වූ නැගණිය බෑඟිරි ගසමින් අඬන්නීය. කටේ බත් පුරවාගෙන, නහයෙන් හොටු පෙරාගෙන, ඇස් දෙකින් කඳුළු වගුරුවාගෙන,


“කන්න බැරි නිසානේ අම්මේ කියන්නේ..................” කියමින් ඇය විලාප තබන්නීය. අම්මාද අත් නොහරින්නීය.


“උඹ අද මේ සේරම ටික කන්න ඕනෑ. වහ නෙමෙයිනේ කවන්නේ. කෑම, ගුණ කෑම.” කියමින් අම්මා නංගීට තරවටු කරන්නීය. කටින් කටට බත් ගිල්ලවන්නීය. නංගී විටෙක ඔක්කාර කරයි. ඒත් අම්මාගේ මෙහෙයුම බත් පතින් ¾ක් අවසන් වනතුරු නිම නොවීය. අදද ඒ සිදුවීම සිහිකරන අම්මා සිනාසෙමින්, “පව් අප්පා කෙල්ල” යැයි පවසන්නීය.


ඉඳහිට දවසක තාත්තා සමඟ ගෙදර සිටින්නට වුවහොත් කථාව යම් පමණකට වෙනස්වේ. තාත්තා ආහාර පිස අහවර ව අප කැඳවා පිඟන් අතට දී වයසේ පිළිවෙලට කැඳවයි. බත් බෙදන්නේ, “බෙදන ගාන ඇති වුනහම කියන්න ඕනෑ. එක ඇටයක් වත් ඉතිරි කරන්න බැහැ!” කියමිනි. ඉඳින් එදාට කෙසේ හෝ බත් ඇටයක් වත් ඉතිරි නොකර කන්නට අපට සිදුවේ. අඩුම තරමින් බත් ඇටයක් බිමවත් තිබිය නොහැකිය.

මේ සේරම සිදුවීම් අතීතයේ එකතරා කාල වකවනුවක වූ දේවල්ය. දැන් කාලය වෙනස්, තාලය වෙනස්....... එනමුදු දරුවෝ සහ දෙමව්පියෝ නොවෙනස්??? 


දැන් කථාව


සමහර අවස්ථා වලදී, අප දියණියට කෑම කවා ගන්නට පියාගේ සියලුම මිතුරන් කැඳවිය යුතුය. නැතහොත් ඔවුන්ට අමතන සේ ඒක පාර්ශ්වීය දුරකථන ඇමතුම් ගත යුතුය.


“ආ... බුද්ධි අංකල්... දුව කනවා......... ඔව් ඔව්... සේරම කනවා.” නේද? රනූ ඔයා සේරම කනවද කියලා බුද්ධි අංකල් අහනවා.


“ඔව් අම්මි.. මං සේරම කනවා බුද්ධි අංකල්ට කියන්න බබා හොඳයි කියලා...” ආ එහෙනං මේ කටත් කන්න.


සමහර දිනෙක කවන පළමු කටම “ජැවිල්ලායි..........” යි පවසමින් කට බෙරි කර වතුර මහා ප්‍රමාණයක් බී පැන යන ඇයට කෙසේවත් කවා ගන්නට මා හට නොහැකි වෙයි. ප්‍රශංසා කථා ඇයට වලංගු නැත. ඇය මාගේ පරම්පරාවේ නොව ඊට පසු පරම්පරාවේ කෙනෙකු වන නිසා විය යුතුය.

"ඉස්සරහ ගෙදර නංගි හොඳ නැහැ. කෑම කන්නේ නැහැ. මං නං ඔක්කොම කනවා. අම්මි ප්‍රවීන් අංකල්ට කෝල් කරලා කියන්න බබා සේරම බත් කෑවා කියලා. හාන්ද?" යි කියමින් නටමින් සිට, බත් කට කවන්නට යන විට ම,

"එපා... මට එපා.. දැන් ඇති. මේ බඩ පිරිලා"යි පවසමින් පැන දුවන්නීය.

පසුගිය පෝ දා දහවල්, දැවිල්ල බව පවසමින් ඇය කෑම මගහැරි නිසාවෙන්, පසුව කවන අටියෙන් කෑම පිඟාන වසා තබා පොතක් කියවමින් සිටියෙමි. “අපි දන්නේ නැහැ තව ටිකකින් බුද්ධි අංකල් එනවා. මං නං දන්නේ නැහැ ඔන්න”යි දියැණියට පැවසුවේ වැඩිදුර සිතා නොවේ. නමුදු ‘බුද්ධි අංකල්’ පැමිණියේය. ඔහුගේ නව නිවසේ වැඩ කටයුතු නිසාවෙන් සතියකට දින දෙක තුනක් මා සැමියා හමුවන්නට පැමිණෙන ඔහු එදින ගෙට ගොඩ වූයේ, “ආ රනූ කොහොමද බත් කෑවාදැ?” යි අසමිනි. කෙල්ල වෙඩිල්ල සේ මුළුතැන් ගෙට දිව ගියාය.

මේ වයසේ දී නම් මේ වගේ කෑවා තමයි
“දැන් මොකද කියන්නේ පුතේ? මං කිව්වා ඇහැව්වේ නැහැ. දැන් ඉතිං කන්න”යි පැවසූ මම පුංචි බත් පිඟානේ එක කටක් ඉතිරි වනතුරු ම ඇයට කවා ගන්නට සමත් වීමි. එවිට කිසිම දැවිල්ලක් ඇයට දැනුනේ නැති තරම්ය.

මනෝ විද්‍යාඥයන් මොන දේ කීවද කන්න අරගල කරන දූ දරුවන්ට කවා ගන්නට කථා සරිත්සාගරය හෝ ගජබින්නාලංකාරය පෙරළා ගන්නට දෙමව්පියන්ට සිදු වන්නේමය. විටෙක හඳට පෙනෙන්ට කන ඇය, විටෙක මාළුන්ට පෙනෙන්ට කයි. විනෝද ගමනක් ගිය විටෙක, අප සමඟ යන පිරිමි පාර්ශ්වය පෙන්වමින්, කලගෙඩි වැනි බඩගෙඩි පෙන්වමින්, ඔවුන් ගිල ඇති ළමයින් ප්‍රමාණය දක්වමින්, කවා ගනිමු. එය සැබෑවටම ඇයත් අපත් දන්නා සෙල්ලමකි. ඇය බියවන්නේ නැත. නමුදු බියපත් වූ සේ පෙන්වන්නීය. ඇත්තට ම කල්පනා කරන විට එය පුදුම සෙල්ලමකි. 
හෙට අනිද්දා මේ වගේ ඉඳියි ද මන්දා (හ්ම්... එව්වා කොහිද මාත් එක්ක :D )

සමහරවිට දින දෙක ‍තුනක් කැමැත්තෙන් ආහාර ගන්නා ඇය, විටෙක එවැනි ම කාලයක් ආහාර ප්‍රතික්ශේප කරන්නීය. දරුවන්ගේ කෑම බීම ගැන ඇති ආකල්ප විවිධාකාර බැවින්, ඉවසා වදාරා කටයුතු කල යුතුව ඇත.




බොහෝ මව්වරුන් උත්සහ දරන්නේ මුළු බත් පතම දරුවාට කැවීමටය. දරුවාට ඇති ආදරය මෙන් ම ආහාර අපතේ යෑම පිළිබඳව තැවීම ද මෙයට හේතුව ලෙස පෙනේ. අවසානයේ දරුවා කෑවේ නැත්නම් අම්මා ඒ ටිකද, අම්මාගේ පංගුව ද ආදී වශයෙන් මහා ගොඩක් අනුභව කරන්නීය.


ඇත්තට ම බෙදා ගත්ත සියල්ල කෑ යුතුද?


අපතේ යෑම් කොහොම වෙතත් මට නං හිතෙන්නේ එහෙම නොවිය යුතු වගයි. මට එහෙම හිතෙන්නේ හේතු රාශියක් නිසාය.


සමහර අවස්ථා වලදී අධික කුසගින්න නිසා, ‘යකෙක් කන්නට බඩගිණි’ සේ දැනුනද, බෙදාගෙන, ආහාර පිඟාන අවසන් කරමින් යනවිට බඩ ඕනෑවට වඩා පිරෙන බවක් ඔබට දැනී නැතිද? ඒ වෙලාවට කල යුත්තේ කුමක්ද? ආහාර අපතේ දැමීම යනු මුදල් අපතේ දැමීමකි. එලෙසම මේ ලොව බොහෝ පිරිසක් එක බත් ඇටයක් දෑහැට නොදැක දින ගනන් ගත කරමින් බොහොම දුක සේ ජීවතය ගෙවමින් සිටියි. ඒ හැම කාරණාව ම සැබෑය. නමුදු එවැනි අවස්ථාවකදී ආමාශය පිරී, එයිට උඩින් ඇති ආහාර මාර්ගයේද කොටසක් පිරෙන තුරු ආහාර ගැනීම විසඳුමක්ද? ඒ අවස්ථාවේදී සිදුවුනු වැරැද්ද නිවැරදි කල නොහැක. එනම් ඉතිරි ආහාර නැවත බඳුන් ගත කල නොහැක. කල්පනා කලයුතු වැදගත් කාරණයක් ඇත. වැඩිපුර ආහාර, ආහාර මාර්ගය දිගේ යවා බඩ ඕනෑවට වඩා පුරවාගෙන අපහසුතාවට ලක්වී, අසනීප අවධානම් ද ගෙන පසු දින ඉතිරිය පිට කරනවද, ‘සතෙකුට ආහාර වේවා!’ යි සිතා සුදුසු තැනක තැන්පත් කරනවාද?


ඔබට කැමති තීරණයක් ගත හැකිය. නමුදු හොඳින් සිහි තබාගෙන ඊ ලඟ වතාවේ ප්‍රමාණවත් තරම් ආහාර බෙදා ගැනීමට පරෙස්සම් වීම ඔවැනි ගැටළු වලට මුහුණ දීමට සිදුවන අවස්ථා අවම කරයි.


මෑත දිනකදී බ්ලොග් ලිපියක කොමෙන්ට්ටු අතර කෙනෙකු කියා තිබුනා මෙවැන්නක්. කෑම ඉතිරි ‍කිරීම, මිතුරෙකු කිව් වදනක් නිසා නවතා දැමූ බවක්. මිතුරා පවසා තිබුනේ, අප කන බත් ඇටයක් පාසා ගොවියෙකු කොන්ද නමන වගයි. සැබෑව... ගොවියා පමණක් නොව, අපිද බොහෝ මහන්සි වී හාල් උපයාගෙන, බත සූදානම් කරගන්නෙමු. එලෙසම, රෙදිපිළි කර්මාන්තය සැලකුවහොත් රෙදි නිපදවන්නට කොතෙකුත් මිනිසුන් සිය සිරුර වෙහෙසනවා ඇති. එනමුදු රෙදි සැලකියයුතු ප්‍රමාණයක් අපතේ නොයවමින් ඇඳුම් මැසිය නොහැකිය. ලොව ඇති බොහෝ දේවල් වල තත්ත්වය ඒ හා සමානය. ආහාර යනු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් නිසා රෙදි හා සමානව සිතිය නොහැකි බව සත්‍යයකි. නමුදු වෙහෙස මහන්සිය සැලකීමේදී හැම දෙයක් ම ලබා ගන්නට අපමණ වෙහෙසක් දරන්නට වී ඇති බව නොකිව මනාය. විශේෂයෙන් මේ අපේ රටේ නේද?


ඉතිං හොඳ ම දේ හැම විට ම තමන්ට අනුභව කල හැකි පමණ ආහාර බෙදා ගැනීමයි. එවිට අපතේ දමන්නට කිසි ලෙසකින් සිදු නොවේ. එහෙත් සමහර අවස්ථා වලදී, මේ සිද්ධාන්තය ප්‍රායෝගික නොවන අවස්ථා එළඹෙන බව සිහි වෙනවද?


විවාහ මංගල උත්සවයකට සහභාගී වන විට ඇස හා නාසය පිනවන ආහාර දැක, ඒවා දිව ද පිනවනු ඇතැයි සිතා බෙදා ගත්තද, කටවල් දෙකක් කන විට බඩ පිරී යන වගක් ඔබට දැනී නැතිද? ඒ සමහර අවස්ථා වලදී කෝකියන් විසින් විවිධාකාර කෘත්‍රීම දේ ආහාරයට එකතු කිරීම මෙයට හේතුවයි. තවත් සමහර වේලාවන් වලදී කටට ගත නොහැකි මට්ටමේ ආහාර ද හමුවේ. ඔවැනි අවස්ථාවක කල හැක්කේ කුමක්ද? දුක් මහන්සියෙන් බත උපයන ගොවියන් හෝ ඒ මොහොතේත් කුසගින්නේ පීඩා විඳින සුවහසක් වූ ලෝ වැසියන් සිහිකර ඒ ආහාර ගත හැකි වේද? අපතේ දැමීම අපරාදයකි. පවකි. නමුදු කල හැක්කේ කුමක්ද?


තවත් සමහර අවස්ථා වලදී උදේ පාන්දර උයා ගන්න බත, ඔතාගෙන විත් කාර්යාලයේදී කන්නට යනවිට කෑමේ පිරියක් නොදැනී යන අවස්ථා ඇත. එවන් විටෙක කල යුත්තේ කුමක්ද? එවැනි විටෙක අපහසුවෙන් ආහාර වැලඳීමෙන් පසුව බඩේ අමාරු හා වමනය ආදිය ඇතිවන අවස්ථාද ඇත.


අප රටේ හාමුදුරු නමක් චීනයට වැඩි අවස්ථාවකදී රවුමට රවුමට එතූ බනිස් ගෙඩියක් වැනි ආහාරයක් දානයට ලැබී ඇත.‍ උන්වහන්සේ එය වළඳන්නට බැලූ විට වටහා ගත් දෙයින් බොහෝ සෙයින් අපහසුතාවට පත් වී ඇත. ඒ සර්පයෙකි. චීන රටේ දී උසස් තත්ත්වයේ ආහාර වේලකි. ඉවසා දරා ගත නොහැකි වූ අප්‍රසන්න කමෙකින්, දානය පිළිගැනීම සංකේතවත් කලයුතු නිසාවෙන් අයිනට වන්නට වූ ලූනු කැබැල්ලක් වැලඳීමෙන් අනතුරුව, නොනවත්වා ඇති වූ වමනය හා බඩ බුරුල් කරවා යෑමෙන් උන්වහන්සේ අසාධ්‍ය තත්ත්වයට පැමිණීම හේතුකොට ගෙන මෙරටට වැඩමවූ බවක් කියැවුණි.


ඉතිං ඔහොමයි කෑම සහ මිනිස්සු. සිරිමා ආණ්ඩුවෙන් දැමූ පොලු හෝ කලින් කලට ඇති වන සාගත වලට මුහුණ දුන් ජනයාට කිසි සේත්ම හිත හදාගත නොහැකි වුවද, මගේ සිතුවිල්ල නම්, ආහාර ගන්නා විට, අවම වශයෙන් දැන් කෑවා ඇති’යි හිතෙන තෙවැනි වතාවේදිවත් එය නැවැත්විය යුතුය. කෑම අපතේ දැමීම අපරාදයක් බව මොළ ගෙඩියට වැටහේ නම්, කල යුත්තේ බෙදා ගන්නට පෙර සිතා බැලීම මිස බෙදා ගත් සියල්ල ගිල දැමීම නොවේ. ඉහත දීත් සටහන් කරන්නට යෙදුනු පරිදි, ආහාර මාර්ගය දිගේ යැවීමෙන් පමණක් ආහාර අපතේ යෑම වලකීද? ඔබ ආහාර අපතේ දැමීම ආරම්භ කරන්නේ, අනුභව කල නොහැකි තරම් ආහාර බෙදා ගත් මුල් අවස්ථාවේදීමය. ඒ සියල්ල ගිල දැමීම තුලින් අපතේ යාම වලකී යැයි සිතීම වැරදි සිතුවිල්ලක් නොවෙද? එයින් සිදුවන්නේ ඔබ රෝගී වීම පමණයි.


මගේ කෑම කථාව අවසානයි. කියැවූ සැමට ස්තුතියි.

Monday, July 9, 2012

100. අතීතයෙන් ගඟ ගලා බසී



'අතීතයෙන් ගඟ ගලා බසී'

මේ වාක්‍යය ඛණ්ඩය අහපු මුල් ම වතාවේ සිට මේ වනතුරු ම ඇහෙන ඇහෙන වාරයක් පාසා හිතට නැගෙන්නේ අමුතු සිතුවිල්ලක්. දුටු පමණින්, ඇසූ පමණින් දැනෙන්නේ කාලය පැටලුනු වාක්‍යයක් වගෙයි. ‘තාත්තා ඊයේ වැඩට යන්නේය’ වගේ වාක්‍යයකත්, ‘අතීතයෙන් ගඟ ගලා බසී’ වාක්‍යයෙත් අසමාන කම් වලට වඩා සමාන කම් වැඩියි වගේ මට දැනෙන්නේ. ඇත්තට ම කොහොමද අතීතයෙන් ගඟක් ගලා බහින්නේ නේද?

ඉඳින් කාලාන්තරයක් තිස්සේ මගේ හිතේ ඇතිවුනු පෙරළි මගින් හා මා හා ඇසුරේ සිටින මිතුරු මිතුරියන්ගේ අදහස් මගින්, එකතු කරගත් කාරණා කැටියෙන් මේ වාක්‍යයට මහිතේ තියෙන්නේ මේ වගේ අර්ථකථනයක්.

‘අද සිදුවන සෑම සිදුවීමකට ම අතීතයේ ද තමන්ට ම අනන්‍ය වූ තැනක් හිමියි... එහෙමත් නැත්නම් අතීතයේ යම් දිනෙක සිදු වූ දෙයක් නැවත නැවත සිදු වීමේ සම්භාවිතාව අප හිතනවාට වඩා වැඩියි. කාලය වෙනස්, මුහුණ දෙන ජීවින් මෙන්ම අජීවින් ද වෙනස්, ස්ථානයන් වෙනස්, නමුදු සිදුවීම් හැමදාමත් එක වගෙයි. සමහර දේවල් කාලය වෙනස් වුනාට එකම පිරිසකට වරින් වර සිදුවන අවස්ථාත් දකින්න පුළුවන්’

ඔය වගේ අදහසක් හිතේ තිබුනත් මට මෙහෙමත් හිතෙනවා වෙලාවකට. ‘පහත් තැනින් යයි ගලා ජලේ’ කියන්නැහේ, අද සිදුවන සැම දේකටම වැරැද්ද අතීතයට පැවරීමක් ගැනවත් මේ වාක්‍යයෙන් කියනවාවත්ද කියලා.‍ ඒත් ඒ වගේ ඇනුම්පදශීලි අර්ථයකට වඩා මුලින් කී අර්ථය ගැන හිතන්න මං කැමතියි. ඒ සිතුවිල්ල හරිම සුවදායක විදිහට හිතට දැනෙනවා.

ඔව්... සිදුවීම් නැවත නැවත සිදුවනවා යයි සිතුවහ ම වෙන්න පුළුවන් කාරණා වර්ග හතරක් තියෙනවා.

1. යහපත් සිදුවීම්

2. අයහපත් සිදුවීම්

3. යහපත් හෝ අයහපත් යැයි වර්ග කල නොහැකි සිදුවිම්

4. මේවාට අයත් නොවෙන වෙනත් සිදුවීම්

හැබැයි මේ කාරණා වලට සිදුවීම් ගොනු වන්නේ තම තමන්ට එම සිදුවීම් දැනෙන ප්‍රමාණේ අනුව තමයි. කෙනෙකුට යහපත් වන දේ තව කෙනෙකුට අයහපත් වන අවස්ථා මොන තරම්ද?

මගේ බුද්ධි මට්ටමේ තරමට නං මුලින් කී සිදුවීම තුන හැර 'වෙනත් සිදුවීම්' කියා කිසිවක් නැහැ. නමුත් මගේ බුද්ධි මට්ටමට වඩා යහපත් මට්ටමින් යුත් බුද්ධියකින් හෙබි කෙනෙක් ඇවිත් ආ එහෙනං ඔයා මේ සිදුවීම වර්ග කරන්නේ කොයිකටදැයි, හිතා ගන්නවත් බැරි සිදුවිමක් ගෙන හැර පෑවොත්, ආ ඒකද ඒක අයත් වන්නේ හතරවන වර්ගයට යැයි පවසා සාධාරණීකරණය කරන්නට දැන් මට පුළුවන්. ඇත්තටම මේ ක්‍රමය මගේ ක්‍රමයක් නොවේ. පාසල් සමයේ ගුරුමහත්මීන් විසින් අප හට සටහන් කරගන්න දුන් බොහෝ ලැයිස්තු අවසන් වූයේ, අවසන් අයිතමය ලෙස අනෙකුත් දෑ යනුවෙන් සටහන් කරමින්. ඒ සමහරවිට දරුවන් අතරින් කෙනෙකු ගුරුතුමියට හිතාගන්නවත් බැරි කාරණයක් ඉදිරිපත් කල හැකි වීම මෙන්ම ලියා නිම කල නොහැකි තරම්, වඩා වැදගත් නොවන කාරණා බොහොමයක් ද තිබිය හැකි නිසා විය හැකිය.

ඉතිං මං මේ කියන්න ගියේ, මොන සිදුවීම නැවත නැවත සිදු වුනත්, යහපත් සිදුවීමක් නිසා දැනෙන සතුට සිදුවීම සිදුවන වාර ගණන අනුව අඩු වෙලා යන්නෙත්, අයහපත් දුක්බර සිදුවීමක් නිසා දැනෙන දුක එන්න එන්න ම වැඩි වන්නෙත් මුහුණ දෙන කෙනාගේ අඩු ලුහුඬුවකින් මිස සිද්ධියේ දෝෂයකින් නොවේ කියලායි මට හිතෙන්නේ. දුක්බර සිදුවීමක් වුනහම, ‘අද විතරක් නෙමෙයි, මට විතරක් නෙමෙයි මේ දේ ලෝකේ පටන් ගත්ත කාලේ ඉඳන්ම වෙච්චි දෙයක්, ඒ වගේම ලෝකාවසානය දක්වාම සිදුවන දෙයක්. ඔව්වා මොනවද මෙයා’ කියලා හිතලා, තමන්ගේ පැත්තෙන් සිදු වෙච්චි වැරදි අඩුපාඩු තියේ නං ඒවා ආයේ සිදුවන්න ඉඩ නොතියා, වඩා යහපත් වු හෙට දවසක් සඳහා ජීවත් වෙන්න පුළුවන් නම් ඒක හරිම වටින දෙයක් වෙයි. ඉතිං එහෙම වෙලාවට අතීතයෙන් ගඟ ගලා බැස්සට එච්චර තද දුකක් දැනෙන එකක් නැහැ.

දැන් ඔබට හිතෙන්න පුළුවන්, මේ සිද්ධාන්තය බලපාන්නේ විරහ වේදනාවෙන් පෙළෙන පෙම්වතුන්ට විතරයි කියලා. නැහැ පෙම්වත් සමය කියන්නේ ජීවිතයේ බොහොම කෙටි කාලයක්. ඒක තේරෙන්න ඒ සමය පහු කරලා අනෙකුත් අවධීන් වලට එළඹෙන්න ම ඕනෑ. දරුවෝ නිසා දුක් විඳින දෙමව්පියන්ට, දෙමව්පියන්ගේ සමහර අඩු පාඩු නිසා දුක් විඳින දරුවන්ට, සහකාර පාර්ශ්වය නිසා පීඩාවනට පත් වෙන අයට, පාලකයින්ගේ කාරණාවන් නිසා පීඩනයට ලක්වෙන ජනතාවට, (අප්පේ ජනතාව එයිද දන්නේ ‍නැහැ කඩු කිණිසි අමෝරාගෙන මං දිහාවට), පන්සලේ හාමුදුරුවන්ගේ හැසීරීමෙන් කණගාටු වන දායක පිරිසට, සර්ව රාත්‍රික පිරිත් දේශනයකට වැඩියහ ම, පිංවතුන් සැම සුව නින්දේ පසුවෙමින් නිළියන්ගේ පමණක් නොව නළුවන්ගේද විකාර දක්වන අයුරු දකිමින්, සාදුකාරයක්වත් නොඅසා, බිත්ති සහ ගෘහ භාණ්ඩ වලට පිරිත් දෙසන හාමුදුරුවරුන්ට ආදී සහ නොකී අනෙකුත් සැමදෙනට කණගාටුදායක, සිත කළකිරවන අවස්ථාවන් හිදී මෙම වෘත්තාකාර ජීවන චක්‍රය සිහිකරමින් සිත හදාගන්න පුළුවන්. ප්‍රධාන ම දේ ව්‍යාකූල වූ, කලහාකාරී අවස්ථාවක් හීදී හැකි සෑම විට ම මුවින් නොබැන නිහඬව පසු වීමයි. තේරුම් ගන්න. මං මේ කිව්වේ සුහද සාකච්ඡා ගැන නෙමෙයි. පැටලිලි අවස්ථා ගැන. අමාරුයි තමයි. ඒත් ඒක තමයි විදිහ.

මට මේ ලඟදී අගනා වාක්‍යය ඛණ්ඩයක් කියවන්න ලැබුනා. ඔබේ මුවින් පිට නොවූ වදන් වල ස්වාමියා නුඹය. එලෙස ම ඔබේ මුවින් පිට වූ වදන් වල වහලා ද නුඹය.‍ ඉතිං ඒක එහෙම තමයි. අනිත් කෙනෙකු ඒ කෙනාගේ වදන් වල වහලා වෙන හැටි බලා සිටිමින් තමන්ගේ වදන් වල ස්වාමියා වෙලා ඉන්න එක අපූරු දෙයක් නෙමෙයිද? අපූරු දෙයක් ම තමයි. එක කොම්බුවකින්වත් පිළිතුරු වදන් නොදී දරාගෙන සිටින්නට ඔබට හැකි නම්....... එය තරම් අගනා පිළිතුරක් තවත් නැති වෙන්න පුළුවන්. ඉතිං ඔය වගේ ගංගාවන් නිරතුරු අතීතයෙන් ගලා බහිනවා. ඒක තමයි ලෝක ස්වභාවය....

ඉතිං මුලින් දෙවැනි කාරණය ගැන කිව්ව නිසා දැන් පළවෙනි කාරණයට එමු නේද?

යහපත්, සතුටුදායක සිදුවීම් නැවත නැවත සිදුවනවාට කවුදු අකමැති නේද? ඒත් ඒ සතුටුදායක සිදුවීම් වලට නිසි තැන දෙන්නේ කීයෙන් කී දෙනාද?

දුක්බර සිදුවීම් සිදුවන විට ඉහත කී අයුරින් හිත හදාගන්නවා වගේම, සතුටුදායක සිදුවීම් සිදුවෙන කොට, නැවත නැවතත් සිදුවුනත්, මුල් වරට සිදුවන්නා සේ ප්‍රීතියෙන් මුහුණ දීම හිතට ගතට පහසුවක් වෙයි. ඔව්... හැම දෙයක්ම... හැම හිත පිනවන දෙයක්ම... මේ දැන් මුල්වරට සිදුවනවා සේ සිතා සතුටු වෙලා බලන්න දැනෙන අපූරුව. දිනපතා හමු වුනත්, හැමදාම උදයේ තමන්ගේ පෙම්වතා/පෙම්වතී හමුවන විට ප්‍රේම කථාව ආරම්භ වූ දවසේ වගේ උද්යෝගයෙන් හමුවන්නට පුළුවන් නම්, හැමදාමත් උදේ ආහාරය නොහැකි නම් තේ කෝප්පය හෝ පවුලේ හැම සමග එක්ව දොඩමලුව සිනාසෙමින් ගන්නට හැකි නම්‍, ආදරයෙන් හිටවපු ගහක පිපෙන හැම මල ම පළමු මල සේම ආසාවෙන් දකින්නට හැකි නම්, කොටින්ම හැම හාදුවක් ම ප්‍රථම හාදුව සේ හිතන්නට හැකි නම්, එහෙම ගංගාවල් අතීතයෙන් කොච්චර ගලා බැස්සත් එපා වෙන එකක් නැහැ.

අයහපත් හෝ යහපත් යැයි වර්ග කල නොහැකි සිදුවීම් ඔහේ සිදු වුනාවේ. යහපත් සිදුවීම් වලදි හැකි පමණ සන්තුෂ්ටියෙන් මෙන් ම අයහපත් සිදුවීම් වලදී සිදුවීමේ ස්වභාවය වටහාගෙන, ගලන ගඟට කැමති දෙසකින් ගලන්නට හැර ජීවත් වීම සැනසීමට කාරණයක් සේ මට සිතේ. බුදු දහමින් යම්තාක් අපගමනයක් පෙන්නුම් කලත් මේ ක්‍රමය ගිහි අපට හොඳ ක්‍රමයක් ලෙසින් ද මට හැ‍ඟේ.

ඇරත් බුදු හාමුදුරුවෝ දේශනා කලේ සංතුෂ්ටි පරමං ධනං කියලා නොවෙද?. පරම සුවය වෙච්චි නිර්වාණය යම් පමණකට දුර වූ අපට, අහල පහළ තියෙන පරම ධනය ටිකක් එක්කාසු කරගන්න පුළුවන් නම්, අගතියට නොවැටී ජීවත් වන්නට මාර්ගය එළි පෙහෙළි වේවි. අප හා බැඳුනු බන්ධිතයින්ගේ ජීවිත වලට ද සතුට ගෙන එන්නට අපට හැකි වේවි. ඉඳින් අතීතයෙන් ගඟ ගලා බසින්නේ හිත සතුටු කරවන දෙසකින් නම්, ඒ සතුට දෝත විදහා පිළිගන්න. ඒ වෙලාවට මුළු හිතින් ම හිතන්න.........



මේ එළඹෙන්නේ සතුටු සමයයි...
The Happy Era……… 


(Completed 100 blog  posts.... ඇති යාන්තං :) :) :) )

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...