Thursday, February 28, 2013

165. ඝාතනයක් ඔස්සේ අතීතයට...මොරමළු, වැඩවර්ජන සහ වෙනත් වැල් වටාරං……


මේක මේ සතවර්ස වලින් කිව්වොත් කාලකට එහා පැත්තෙ වෙච්චි දෙයක්...මම ඒ කාලෙ වැඩ කරපු ආයතනයෙන් ඔන්න එක පාරටම ගහෙං ගෙඩි එන්නැහෙ කියාපි බොලාට බොලාගෙ රස්සාව හරියට කොරන විදිහ ගැන වැඩිදුර පුහුණුවක් දෙන්ටයි අපි මේ තනන්නෙ ඒ නිසාවෙන් ලෑස්ති වෙයල්ල ලබන සුමානෙ තුම්මාසෙක පුහුණුවකට යන්ට කියල.සේකියුලර් එක ආහම ඔන්න අපි දනිපනි ගාල ගිහිල්ල බැලුව නෝටිස් බෝට් එකේ. අපි හතර දෙනෙක් අපේ වැඩපලෙං තේරිලා...මයෙ නම තියනව මුලිම්ම... 

මයෙ ප්‍රාණ සම මිත්තරයත් තේරිල වැඩේට... කුමාර….එදා රෑ කෑම කන ගමන් කට්ටිය කතාව ඒ ගැන තමයි... 

" මොකක්ද බං මේ ලොක්ක අර කිව්ව කතාව?...රස්සාව හරිහැටි කරන්න පුහුණුවක් දෙන්නයි හදන්නෙ කිව්වෙ?..එතකොට මෙච්චර කල් අපි මේ රස්සාව කලේ වැරදි විදිහට කියලද ඒ කියන්නෙ?මට හිතෙනව මේක දමල ගහල නිකං ඉන්න….." 

අපෙ ඔය ලොක්ක හිටපු ගමං ඔය වගෙ කතා කියනව..සිරාද නිකං ජොලියටද කියල හිතාගන්නවත් බැරි සයිස් එකට... 

එක පාරක් ඔන්න දීප වියාප්ත මහා වැඩ වර්ජනයක් ප්‍රකාසයට පත් කරල තිබ්බ එක් දින.....අපිටත් ඕකට සහබාගි වෙන්ටය කියල අපෙ වෘත්තීය සමිතියෙන් දන්නල තිබ්බ.සහබාගි වෙනවද නැද්ද කියල අපි හිටියෙ දෙගිඩියාවෙං මොකද ඔය වැඩ වර්ජන ගැන අපෙ ඒ තරම පැහැදීමක් තිබ්බෙ නෑ. ඔය අතරෙ අපෙ එකෙක් හිටිය ලොක්කට පේන්ට බැරි, වැඩක් බාර දුන්නොත් කවදාවත් හරියට කරන්නෙ නෑ ....ලෝක කම්මැලිය කියල ලොක්ක ඌට පළු යන්ට බැන බැන හිටියෙ. ඔන්න වැඩේ හැටි කියන්නෙ මේ මනුස්සය මූලිකත්වය ගත්ත මේ වැඩේට. වර්ජනේට සහබාගි වෙන්ටම ඕනමය කියල එක හෙලා කියා හිටිය...පොලවෙ පස් කෑව. අන්තිමට " ආ, එහෙනං උඹම ගිහිල්ල ලොක්කට කියාපංකො අපි හෙට වර්ජනේ කරනවයි කියල " එහෙම කියල අපි ඌව පිටත් කලා ලොක්කගෙ ගෙදරටම. 

ඔන්න මූත් ගියා " හා, මම කියන්නං මොකද එයාට බයේද?...වැඩ වර්ජනය කිරීම අපේ මූලික අයිතියක්… " ඔන්න ඔහොම කියව කියව... 

ඕන්න හැරෙන තැපෑලෙං මූ ආපහු ආපි ගියාට වැඩිය ඉක්මනට. " මොකද බං උනේ ?...උඹ කිව්වද? ලොක්ක මොකද කිව්වෙ?....." අපි ඇහුවට මූ නෝ කතා නෝ සිනා.කෙලින්ම කාමරේට ගිහිල්ල දොර වහ ගත්ත. ටික වෙලාවකිං උගෙ හොඳම යාලුව යවලයි අපි විස්තරේ දැන ගත්තෙ. හිනා වෙලා මැරුන අපි ඒක අහල. 

ඔන්න මු යනකොට ලොක්ක සාලෙ ඉඳගෙන ඉන්නවලු පත්තරේකුත් බල බල. මූ වීරය වගෙ ලඟටම ගෙහුං කිව්වලු " බොස් අපි හෙට ස්ට්‍රයික් කරන්නයි හිතාගෙන ඉන්නෙ " කියල.ලොක්ක පත්තරේ පැත්තක තියල කන්නාඩිය එහෙම පාත් කරල මූ දිහා බලාගෙන හිටියලු ටික වෙලාවක්. " මචං....ලොක්කගෙ ඒ බැලිල්ල තමයි බං කාල ඉන්ට බැරි. අන්තිම නෝන්ඩි විදිහට මයෙ දිහා බැලුවෙ. " ඌ ඔය කතාව කියපු උගෙ යාලුව එක්ක කියල තියනව. රයිට්. ලොක්ක ඊලඟට කියපු ටික කියන්ට ඌට දෙන්ට වෙනව නමක්. හරි අපි කියමු මහින්ද කියල... 

ලොක්ක කණ්ණාඩිය උඩිං මූ දිහා බලාගෙන ඉඳල කට කොනකිං හිනා උනාලු.ලොක්කගෙ තියනව එහෙම හිනාවක්. ආය හොදි ඕන නෑ... 

" ආ, මහින්ද....ඇත්තෙයි මහින්ද?....හෙට ඉඳල වර්ජනේ කරන්ටද යන්නෙ...ආ, හොඳා හොඳා..බොහොම හොඳා..ඒත් මහින්දට කියන්ට මහින්ද මම මේ වෙනකල් හිතාගෙන හිටියෙ මහින්ද මේ ඔෆිස් එකට ආපු දවසෙ ඉඳලම වැඩ වර්ජනය කරලයි ඉන්නෙ කියල...." 

කොහොමද අපෙ ලොක්ක?...එල පවුසි නේද? 

මහින්දට ඊට පස්සෙ ලොක්කගෙ නම කිව්වත් ඇති දත්කූරු කන්නෙ බර බර ගාල…. 

හරි ඒ ලොක්කගෙ කතා මදෑ ….ආයෙම අර අපෙ පුහුණු කේස් එකට...ඉතිං මගෙ යාලුව...උගෙ නම කුමාර....එහෙම කිව්වනෙ...ලොක්ක මොකක්ද ඒ කියපු කතාව මට නං යන්ට හිතෙන්නෙත් නෑ ඔය කෝස් එකට අරකද මේකද කියල. 

මම කිව්ව " යකෝ පිස්සු නොකෙල යමං ..මොර මල්ලකුත් හම්බ වෙන එකේ..කොළඹ පැත්තෙ මාස තුනක් ඉඳල ඔය කෙල්ලෙක් දෙන්නෙකුට පාණියක් කාරිය දාල එමු " කියල. මොර මල්ල කියල අපි ඒ දවස්වල හැඳින්නුවෙ හදිසි ධන ලාභ, ඔය මේ ලොතරැයි වගෙ එව්ව නම් නෙවෙයි . එව්ව කොහෙද අපිට ඇදෙන්නෙ....මම හිතන්නෙ මම දැනට අරගෙන ඇති මතක ඇති කාලෙක ඉඳල ලස්සම දෙහෙකට කිට්ටු වෙන්ට රුපියල් වලිං ටිකට්..ලොකුම ගාන කීයද දන්නවද ඇදිල තියෙන?...පන්දාහයි..පන්දාහයි...ඒකත් ඇදුනට වඩා හොඳයි අනෙ අම්මප....අතිං කාල හරක් බලන වැඩක් ඔන්න මට උනේ.ඕක උනේ අපි බැඳපු අලුත. නුවර ගිය වෙලාවක මාකට් එක ඉස්සරහ ලොතරැයි පලෙං ඔන්න මාස ගානක ටිකට් බැලුව ඇදිලද කියල එකිං එක,.....හප්පා. එතන ටිකට් වල නොම්බර බලන එකත් එක විදිහක යුද්දයක්...පොරකන්ඩ ඕන ඒකටත්. 

ඔන්න මා ළඟ තිබ්බ එක ටිකට් එහෙකට ඇදිල තිබ්බ එදා පංදහක්..අම්මප මට විස්වාස කරන්ටත් බෑ..ඒ වගෙ ගානක් ඔය මට ඇදුනමයි.ඒ දවස්වල පංදාහ කියන්නෙ සෑහෙන ගානක්. ටිකට් එක පෙන්නුවම ඔන්න එතන එලවුන්ස් කරන පොරක් ඉන්නවනෙ මයික් එක කටේ ගහගත්තු ගමං. ඕං ඌ ලෑස්ති වෙච්චි අර නුවර ටවුමෙ දෙනෝ දහක් මැද ගිණි මද්දහනෙ මගෙ විස්තර කියන්ට. හතර විළි ලැජ්ජාවෙ පස්වෙනි එක. මේ ඕයි වචනයක් වත් කියනව එහෙම නෙමෙයි ඔන්න. තොගෙ බෙල්ලත් මිරිකල මගෙ බෙල්ලත් මිරිකගෙන මම මැරෙනව මෙතනම නොකිව්වයි කියනට එපා ඔන්න..ඔන්න ඔහොම කියල තර්ජනේ කරල තමයි යන්තම් ඒ විකාරෙ නවත්ත ගත්තෙ. 

ඔන්න යන්තං වදෙං පොරෙං පන්දාහත් අරගෙන එතනිං සේප් උනයි කියමුකො.ඔන්න දැං අපි දෙන්න යනව දළඳා වීදිය දිගේ උඩහට. ඔය දවස්වල මම ෆ්‍රිජ් එකක් අරගෙන තිබ්බ සිංගර් එකෙං වාරික දහයකිං ගෙවන්ට. පොඩි පොළියකුත් ගෙවන්ට වෙනව ඒකට. ඔය නිසා මම හිතාගෙන හිටියෙ මේ නොහිතූ වීරූ හදිසි දන ලාබෙං දෙයියනේ කියල ඒ ලෝං එක ගෙවල හිට අහවරයක් කරල දාන්ට. ඒකත් හිතට එක නිදහසක් නෙව. 

" මේ ඒයි....." 

ඒ අපේ උන්දැ… 

" යස් මැඩම් ….මොකද? " 

" දැං මොකද ඔය පන්දාහට කරන්න හිතාගෙන ඉන්නෙ?...." 

" ඇයි එහෙම අහන්නෙ?..." 

මට ඇල්ලුවෙ නෑ මේ එන පිළිවෙල… 

" මම හිතුවෙ අර ෆ්‍රිජ් එකේ අපි ගෙවන්ට ඕන සල්ලි ටික ගෙවල ඉවරයක් කරල දාන්ට එතකොට ඒක ඉවරයිනෙ. " 

" හ්ම්ම්ම්ම්...එහෙමද?....." 

ඔන්න ඊට පස් සෙ මෞන ව්‍රතය රකිමින් ගෙවුන විනාඩි පහක් හයක් තරම... 

" එහෙම නෙවෙයි ඒයි…" 

ඔන්න ආයෙමත් ඒ විඩේ සද්දෙ බොහොම අඩු කරල... 

" එහෙනං කොහොමද ඒයි?....." 

මමත් ඒ විදිහටම ඇහුව රහසක් කියනව වගේ. 

" විහිළු නෙවෙයි ඒයි...අපි මෙහෙම කරමු…" 

මම මොකවත්ම කිව්වෙ නෑ. උන්දැගෙ ඔය අයිඩියාස් ගැන බොහොම හොඳට දන්න නිසා මම වචනයක් වත් කිව්වෙ නෑ.මම මොකවත් කිව්වය නැතුවය කියල එයයිට ගානක් නෑ.කතා කරගෙන ගියා එක දිගටම. 

" ගිය සුමානෙ ස්වර්ණ මහල් එකේ මම දැක්ක හරිම ලස්සන බ්‍රේස්ලට් එකක්.මෙ සල්ලි අපිට නොහිතපු වෙලාවකනෙ මේ හම්බ උනේ. කොහොමත් ෆ්‍රිජ් එකට අපි හිතාගෙන හිටියෙ ඔයාගෙ පඩියෙං වාරික විදිහට ගෙවන්ටනෙ. ඒක ඒ විදිහට කරමු. මේ හම්බ උන සල්ලි වලින් අර බ්‍රේස්ලට් එක ගම්මු.ඒක කොහොමත් ඉතිරියක්නෙ. " 

ඔයයිගෙ තර්ක ඔහොම්මම තමා. ආය එව්ව බිඳින්ට ලේසි නෑ. බොහොම තර්කානුකූලව තමයි අදහස් ඉදිරිපත් කරන්නෙ.මමත් ඉතිං කම්පනා කලා. ඇත්ත තමයි මුන්දැ කියන කතාව. මේ හදිසි ධනලාභෙන් අර ණය ගෙව්වොත් ඒක එතනිං ඉවරයි. ඒත් ඔය මොනවහරි රත්තරං බඩුවක් ගත්තොත් දෙයියනේ කියල ඒක ඉතුරුවක්. අතේ සතේ නැතුව හිඳිලම ගිය වෙලාවට බැංකුවෙ තියන්ඩ හරි බැරුවය.... 

" හා එහෙනං යමුකො...." 

මම කිව්වා… 

අම්මද බොල බලන්ට එපාය හිනාව. වොට් දාහෙ බලුප් එකක් පත්තු කලා වගෙ... 

" ආ..මිස් එන්න එන්න….." 

සාප්පුවෙ හිටපු කොලුව අපෙ උන්දැව පිළිගත්තෙ කාලෙකට පස්සෙ  නෑනව දැක්ක මස්සිනා වාගෙ. 

" හරි වැඩේනෙ මිස් ..එදා මිස් බලපු බ්‍රේස්ලට් එක නම් දැන් නෑ. ඒත් මේ ඊටත් වඩා ලස්සන තව බැච් එකක් ආව...." 

ඔන්න වීදුරු පෙට්ටිය ඇරිල මෙරූන් පාට විල්ලූද පෙට්ටිය එළියට ආව.බ්‍රේස්ලට් එකින් එක ඒකෙ පිළිවෙලට අඩුක් කරල.. 

" අනේ ඒයි ....මේක ලස්සනයි නේද? " 

" හ්ම්ම්ම්...කොච්චරක් වෙනවද ඕක?..." 

ඒකනෙ වැදගත් ප්‍රශ්නෙ... 

කඩේ එකා බ්‍රේස්ලට් එකේ එල්ලල තිබ්බ ලේබල් එකක් හරවල බලල කැල් එකක් අරගෙන ඔබන්ට පටං ගත්ත. 

" මිස් මේක රුපියක් අටදාස් හාරසීයක් වෙනව. " 

හප්පච්චියෙ ඉතිං මොකේද දං වළඳන්නෙ?...හදිසි ධන ලාභය ඔක්කොමත් රුපියල් පන්දාහයි. 

" ආයෙම ටිකට් එකක් ඇදෙනකල් ඉන්න තමයි වෙන්නෙ. " 

එලියට බැහැල මම කිව.. 

" හ්ම්ම්ම්.... " 

එයා කිව්ව අහක බලාගෙනම… 

" මේ ඕක දැං ඕනමද?....." 

මම එතනම නැවතිලා ඇහුව. එයා යන්තමට හිනා උනා.. 

" ඉතිං ඒ උනාට සල්ලි නෑනෙ.......නේද? " 

" මගෙ පොතේ සල්ලි ටිකක් ඇති. ඕනම නම් ඒකෙං ඉතුරු ගාන අරගෙන ගමු…" 

" හා........" 

එයාට හිනාගියා. 

" ඒත්....ඒ ටික අරගෙන කමක් නැද්ද?....එච්චරම නේද තියෙන්නෙ හදිස්සියකටවත්…" 

" කමක් නෑ. මේකත් හදිස්සියක් තමයි...." 

පන්දාහක් ඇදිල අතිං කාල හරක් බලන වැඩක් මට උනේ කියල මම කලින්ම කිව්වෙ ඒකයි. මොර මලු ගැන කියන්ට ගිහිල්ලනෙ මේ රටේ නැති හෑලි කියන්ට උනේ...හරි ආයෙම මොර මලු ගැන. මොර මල්ලක් හම්බ වෙනව කියල අපි ඒ දවස්වල කිව්වෙ හදිසි ධන ලාභ වලට. අපේ ඔය වාර්ෂික වැටුප් වර්ධක එහෙම එන්නෙ අවුරුද්දකට විතර පස්සෙ ඒකත් හෙඩ් ඔෆිස් එකට ලියුම් තුන හතරක් යැව්වට පස් සෙං පහු. හැබැයි වර්ධකේ අනුමත වෙල ආහම ඇරියසුත් එක්ක හම්බ වෙනව. එහෙම එව්වට තමයි අපි කිව්වෙ මොර මළු කියල. මේ කෝස් රාජයා කොරන කොට කොළඹ නැවතිලා ඉන්ට වෙන නිසා ඒ සම්පූර්ණ කාලසීමාවටම ගෙව්ව අපිට යැපීම් දීමනා..සබ්සිස්ටන්ස් නොහොත් පරණ ව්‍යාවහාරයෙ හැටියට ඒකට කිව්වෙ බටා..ඒකයි මම අර කලින් කිව්වෙ මොර මල්ලක් හම්බ වෙනව කියල මේ වැඩේට කියල...හෙහ්, හෙහ්, 

ඉතිං ඔන්න මමයි කුමාරයි ඔන්න ආව කොලඹ අර පාඨමාලාවට. පැවැත්වුනේ රත්මලාන කාර්මික විද්‍යාලයෙ. ඉදිකිරීම් පුහුණු සහ සංවර්ධන ආයතනය තමයි පාඨමාලාව සංවිධානය කලේ.කුමාරගෙ නැන්දල කට්ටියක් ඉන්නව බොරලැස්ගමුව කිට්ටුව. මිනිහයි මායි එහෙ නැවතුනා. රත්මලානට යන්ටත් ලේසියි නෙව. දෙහිවල හන්දියට විනාඩි විස්සයි . එතන ඉඳල රත්මලානට ඒත් තව විනාඩි පහළවයි. 

මාසයක් විතර කෝස් එක කරගෙන යද්දි අපිට ආරංචියක් ආව ඔන්න අපේ යාලුවෙකුගෙ තාත්ත නැතිවෙලයි කියල. මලගෙදර ඇවිදිල්ල හිට පොතුහැර. දන්නවනෙ නේද?.කුරුණෑගලයි පොල්ගහ වෙලයි අතර මැද්දෑවෙ.ඔන්න එක දවසක් නිවාඩු ඉල්ලගෙන අපි දෙන්න ඒ කිව්වෙ කුමාරයි මායි ගියා මලගෙදරට සහබාගි වෙන්ට. කුරුණෑගල පොල්ගහවෙල පාරෙනුත් හැරිල තව කිලෝ මීටරයක් තරම යන්ට ඕන ගම මැදට. දවල්ට එහෙම්ම කාල ඔන්න අපි දෙන්න ආව පාරට අපහු කොලඹ එන්ට. 

පාර අයිනෙ බස් හෝල්ට් එක කිට්ටුවම තියනව තේ කඩයක්, අපි දෙන්න බලාගෙන හිටිය කඩේ මොකක් හරි කලබලයක්. කුරුණෑගල් පැත්තට යන බස් වලින් බහින අයත් ඔන්න කඩේට ගොඩ වෙනව. මිනිස්සු කාණ්ඩ ගැහිල බොහොම කලබලෙං මොනවද කතා කරනව. 

" ඒයි මොකක්ද කේස් එකක් වගෙ. " 

ඔය භීෂණය පටන් ගත්තුම කාලෙ වගෙ.එහෙම් මෙහෙන් ඝාතනයක් දෙකක් උනා විතරයි. පූර්ණ භීෂණය පටන් ගත්තෙ තව පහුවෙලා. ඒත් හිතේ සැකේ නිසා අපි කඩේ ගාවට කිට්ටු කලා. 

" මේ... මොකද වෙලා තියෙන්නෙ? " 

අපි ඇහුව එතන හිටපු අපේ වයසෙ වගෙ එකෙක්ගෙං 

" විජයට වෙඩි තියල....." 

" නෑහ්!!!!!!..." 

" අද දවල්......දැං ඔය රේඩියෝ එකේ කියන්නෙ……" 

විජය කුමාරණතුංග.....මම මුලින්ම බලපු විජයගෙ චිත්‍රපටය තුෂාරා....ඒත් මට හොඳින්ම මතක තියෙන්නෙ වසන්ත ඔබේසේකරගෙ දියමන්ති..ඊට පස්සෙ බඹරු ඇවිත් පාර දිගේ .... 

විජය දේශපාලනයට එකතු උනාම මුලින්ම මගෙ හිතේ ඇති උනෙ සතුටක්. විජය යාපනේ ගිහිල්ල එල්.ටී.ටී.ඊ. නායකයො එක්ක සාකච්ඡා කරපු වෙලාවෙ ඒ සතුට ගෞරවයකට හැරුනා. ඒ දවස්වල තිබ්බ යුදමය වතාවරණය පසුබිමේ විජය කරපු ඒ වැඩේ මගෙ යාලුවො අතර කොහොමවත්ම ජනප්‍රිය උනේ නෑ. විජය වෙනුවෙන් කතාකරපු මම ජනප්‍රිය උනෙත් නෑ කියල අමුතුවෙන් කියන්ට දෙයක් නෑනෙ නේද?...විරුද්ධ මතයක් ඉවසා දරාගන්ට කොහෙත්ම හැකියාවක් නොතිබ්බ මගෙ සමහර සඟයො නිසා විශේෂයෙන්ම මත්පැන් සාද වගෙ අවස්ථාවල ඔය ගැන අදහස් ප්‍රකාශ කිරීමෙන් මම වැළකිල ඉන්ට පුරුදු උනා පහු වෙනකොට. විජය කරපු ඒ වැඩේ අල්ලල ගියේ මම හිතන්නෙ මටත් වැඩිය මා තුල හැංගිලා හිටපු සම්මතයට විරුද්ධව උඩු ගං බලායන්නට කොයි වෙලෙත් සැදී පැහැදී උන්නු රැඩිකල් මත ධාරියාට.... 

එක්සත් ජාතික පක්ෂයෙ දුර්දාන්ත ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය ගැන අප්‍රසාදයෙන් ඒ වගේම විපක්ෂයේ අකර්මන්‍යතාවය ගැන කලකිරීමෙන් හිටපු මම වගෙ අයට විජයගෙ ආගමනය ලොකුම ආශ්වාදයක් උනා කිව්වොත් වැරදි නැහැ මම හිතන්නෙ. 

එදා බස් එකේ කොළඹ එද්දි හැමෝම වගෙ කතාව ඒ ගැන. දවස් දෙහෙකට විතර පස්සෙ කුමාරයි මමයි පොල්හේන්ගොඩ මලගෙදරත් ගියා. ඒ භීෂණ සමයෙ නිරපරාදෙ ඝාතනය කරපු සිය දහසක් දෙනා අතරින් විජය එක් පුද්ගලයෙක් පමණද? නැත්නම් ඔහු ජීවත්ව හිටියනම් ලංකාවෙ අනාගතයෙ යම් වෙනසක් කිරීමට ශක්තියක්, උවමනාවක් සහ හැකියාවක් තිබූ මහා පුරුෂයෙක්ද?..මෙව්ව උත්තර නැති ප්‍රශ්න.අපිට උපකල්පනයක්, අනුමානයක් කරන්න විතරයි පුලුවන්. 

අනික් අතට විජය ඒ විදිහට ඝාතනය නොවී රටේ නායකය උනා නම් සමහරවිට ඔහු ගැන අපිට අද කතාකරන්න වෙන්නෙ වෙනම දෘෂ්ඨි කෝණයකින් බලල වෙන්නත් බොහොම ඉඩ කඩ තියනව. මොකද අපි දාහක් බලාපොරොත්තු තියාගෙන හිටපු මිනිස්සු/ගෑණු අන්තිමට ඒ බලාපොරොත්තු විනාස කරල දැම්මෙ මත් ගජිඳෙකුගේ පයට පෑගුණු මකුළු හුයක් වගේ නිසා. ආය වැඩිදුර යන්න ඕන නෑ..විජයගෙ ප්‍රියම්බිකාව...චන්ද්‍රිකා තමයි හොඳම උදාහරණය. 

නමසිය අනූ හතරෙ ජනාධිපතිවරණෙට චන්ද්‍රිකා ඉදිරිපත් උනාම අපේ සගයො බහුතරයක් ( උං ප්‍රබල යූ.ඇන්. පී. කාරයො ) චන්ද්‍රිකාට කිව්වෙ විස්කි මැඩම් කියල. රටේ ඒ දවස්වල පැතිරිච්ච මතයක් චන්ද්‍රිකාට විස්කි නැතුවම බෑ කියල. 

" මචං උඹ දන්නවද?...චන්ද්‍රිකා දවසට විස්කි බෝතලයක් ගහනවලු තනියම….." 

එහෙම කිව්වෙ ඔය දවස්වල කොළපාට ෂර්ට් එක බුදියනකොටවත් ගැලෙව්වෙ නැති මගෙ යාලුවෙක්... 

" ඉතිං බලාපං..මේ උඹල අපි ගල් කාලක් ගැහුව ගමං ඔළුව සාක්කුවෙ. ඒ මනුස්සය දවසට විස්කි බෝතලයක් ගහල කෙලින් ඉන්නව කියන්නෙ නම් බාං ජනාදිපති කමට හරියන්නෙ එවුන්දැම තමයි....." 

ප්‍රතිරූප වන්දනාව අතෑරගන්ටම බැරි අපිට හොඳම පාඩමක් නොමිලෙම කියල දීල චන්ද්‍රිකාවෝ අවුරුදු දොළහකට පස්සෙ ගෙදර ගියා. 

මේ මතක මංපෙත ඔස්සේ අතීතයට යන්ට සිද්ද උනේ පහුගිය පෙබරවාරි 16 වෙනිදට විජය ඝාතනය කරල අවුරුදු 25 ක් සම්පූර්ණ වෙච්චි නිසාවෙන්. විජය නිසා මතක සැමරුම් පටන් ගත්තට ලියල ඉවරවෙලා බැලින්නං වැඩිහරියක් මාතිං ලියවිලා තියෙන්නෙ වෙන අනං මනං වැල් වටාරං...හෙහ්, හෙහ්, මක්කොරන්නෙයි ඉතිං ..එව්වයෙ හැටි එහෙම තමයි.....හෙහ්, හෙහ්, 

36 comments:

  1. චන්ද්‍රිකාගේ විස්කි කතාව බොරු නෙමේ. මම දන්න කෙනෙක් ඒ දවස් වල (90-95 කාලේ) ලොකු හෝටලයක එකවුන්ට්ස් වල වැඩ කලා. චන්ද්‍රිකාගේ බිල් එනවලු එක රෑට 15,000-20,000. අදනම් මේක ගානක් නෙමෙයි. ඒ උනාට මේ අවුරුදු 20 කට කලින්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කියල මමත් හිතනව. මතකද චන්ද්‍රිකා ජනාධිපති කාලෙ…. රමාඩා වගෙ මතක ..තරු පහේ හෝටලයක රාත්‍රි සාදයකට ගිහිල්ල කාල බීල නටපු සීන් එකක් පත්තරේ දැම්මය කියල සන්ඩේ ටයිම්ස් සංස්කාරක සිංහ රත්නතුංගට නඩු දැම්ම සාපරාධී අපහාස චෝදනා යටතේ.

      ජනාධිපති උනාට පස්සෙත් චන්ද්‍රිකා තමන්ට හිතුනු දේ කරන්න පැකිලෙන්නෙ නෑ. ඒත් මට එයා එක්ක තියන කොක්ක ඒක නෙවෙයි. එහෙම දේවල් කරන්න තිබ්බ ගට, රටට බලපාන වැදගත් දේවල් කරන්න තිබ්බෙ නැති එක ගැන. තිබ්බෙ නෑ කියනවට වඩා මම හිතන්නෙ උවමනාවක් තිබ්බෙ නෑ කිව්වනම් තමයි වඩා හරි..

      Delete
  2. විජයගේ මරණය මට මතක තියෙන්නෙ පොඩි කොලු ගැටයෙක් විදිහට... විජය මගේ ලෝකෙ වීරයෙක් වෙලා හිටියේ ඇ‍යි කියලා හිතා ගන්න අමාරුයි. මම ඒ වෙනකොට විජයගෙ චිත්‍රපටි ගොඩක් බලලා තිබ්බෙත් නෑ, විජයගේ දේශපාලනය ගැන දැනන් හිටියෙත් නෑ. ඒත් කඩවල් වල ගෙවල් වල බිත්ති වල විජයගේ පෝස්ටර් නිතරම දැක්කා. ඒ විතරක් නෙමෙයි තාත්තා විජයගෙ තහනම් කරපු 'වේදනා' කියන කැසට් එක ගෙනත් තිබ්බා. පොඩි වයසක හිටියත් සින්දු අහලා ඒකෙ තේරුම යන්තම් හරි තේරුම් ගන්න මම ඒ කාලෙත් උත්සහ කලා. තාත්තත් මට මේකට උදව් කලා.

    දඟගෙයි දඬුවම් සියුමැළි වැඩිනම් අළුගෝසුවනේ එල්ලාපන්..

    සොල්දාදුවෝ.. නුඹ අප වන් මිනිසෙකි සොල්දාදුවෝ...

    උපන් බිමට පිටුපා.. කෞතුක මන්දිරයක මිදුලට බැස සිටිනා වීරයිනේ

    වහලේ යට ලීයේ එල්ලී මිය ගිය මගේ මලේ...මළේ කිමද නුඹ දනිමි මලේ

    කුරුල්ලන්ගේ ගීත නාද නවතනු බැරිවේ තොපට

    පින්මද පුතුනේ

    අතුරේ අනතුරු ගමනද මිහිරියි මිතුරේ..

    මේ වගේ ගීත මාව අලුත් ලෝකෙකට අරං ගියා... ඒ වගේම පොඩි කාලෙ පුංචි ඕගන් එකකින් ගඟ අද්දර සින්දුව වාදනය කරන්නත් ඉගෙන ගත්තා... මේවා මගෙ ජීවිතයේ දේශපාලනය, සංගීතය පැත්තෙන් මම මුලින්ම අත්දැකපු දේවල්. ඔය වගේ පොඩි පොඩි දේ වලින් වෙන්න ඇති විජය මට නොදැනීම මගේ ලෝකයේ වීරයෙක් වුනේ.. ඇත්තටම විජය මැරුණට පස්සෙ වෙන්න ඇති ඒ වීර ප්‍රතිරූපය මගේ හිතේ පැලපදියම් වෙන්න ඇත්තේ. වයසින් වැඩෙනකොට, විජයෙගේ දේශපාලනය වගේම සංගීතය තව තව ඉගෙන ගන්නකොට, ඒ ප්‍රතිරූපය තවත් තහවුරු උනා. හැබැයි විජය කවදාවත් නළුවෙක් විදිහට නෙමෙයි මගේ ලෝකයේ ඉන්නේ... මුලින්ම ගායකයෙක්, ඊට පස්සේ දේශපාලකයෙක්, මානව හිතවාදියෙක් විදිහට. අනික විජයගේ වීරත්වය තනිකරම දේශපාලනය නිසා ගොඩ නැගුන එකක් නෙමෙයිනෙ. ඔහුගේ රඟපෑම, ගායනය නිසා විජයට ලැබුණු ආකර්ෂණයත් එක්ක තමා විජය දේශපාලන වීරයෙක් වුනේ. විජය කොටිත් සමග සාකච්ඡා කිරීම අපේ තාත්තත් අනුමත කලා. මමත් හිතන්න කැමතියි විජය ඝාතනය උනේ නැති නම් මේ රටේ විශාල වෙනසක් කරන්න හැකියාව තිබ්බ පුද්ගලයෙක් කියලා.

    කොහොම වෙතත්, මගේ ඒ බොළඳ සිහිනයේ ඉන්න මම කැමතියි... විජය හිටියා නම් අපි රටක් වශයෙන් ගොඩක් ඉදිරියෙන් අද ඉන්නෙ කියන මතයේ. මේවා තනිකරම උපකල්පන තමයි. ඒත් අර පොඩි කාලේ ඇතිවෙච්ච ආකර්ෂනය එක්ක ඒ වගේ හීන වලින් මිදෙන්න අමාරුයි. මැරුණු මිනිස්සුන්ට වීරයෝ වගේ අපේ හිත්වල රැඳෙන්න ලේසියි. ඒ අපේ ප්‍රතිරූපය කඩාදාගන්න වෙන විදිහේ දෙයක් කරන්න ඔවුන් ජීවතුන් අතර නැති නිසා. ප්‍රතිරූප බිඳෙන්නෙ නැති වීරයෝ ඉන්න එකමත් ලොකු දෙයක් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. කියන්න දත මැදගෙන හිටිය ටික අන්තිමේදි උඹම කිව්වඑක හොඳයි.
      // කොහොම වෙතත්, මගේ ඒ බොළඳ සිහිනයේ ඉන්න මම කැමතියි... විජය හිටියා නම් අපි රටක් වශයෙන් ගොඩක් ඉදිරියෙන් අද ඉන්නෙ කියන මතයේ.//

      අන්න ඒ ගැන මම කිව්වෙ.
      ඔය සිංදු ටික අහන තැන ඇති මගේ බ්ලොගේ (ඕන නං)

      Delete
    2. හොයා ගත්තා එල.. මගේ කැසට් එක අතුරුදහන් වෙලා බං....

      Delete
    3. / ප්‍රතිරූප බිඳෙන්නෙ නැති වීරයෝ ඉන්න එකමත් ලොකු දෙයක් නෙමෙයිද? /

      " ප්‍රතිරූපය බිඳ නොවැටේයයි සහතික විය හැක්කේ වීරයකු වෙනුවෙන් ඇඹූ ප්‍රතිමාවක හෝ එසේ නොමැතිනම් මියගිය වීරයකුගේ පමණි.අන් සියළු වීරයෝ අප ඔවුන් කෙරෙහි තැබූ අපේක්ෂාවන් සාහසික ලෙස බිඳ දැමීම තම එකම අභිප්‍රායය කරගත්තෝ වෙති. "

      Delete
  3. කතාවක් ලියන්ට ගද්දි රවී අතින් වැඩිපුර ලියවෙන්නෙ වැල්වටාරම් කියන ආය අමුතුවෙන් කියන්ට දෙයක් නෑ..වැඩේ කියන්නෙ මේ කියවන්න එන අය හැමෝම එන්නෙ ඔය වැල්වටාරම් කියවන්නම තමා..
    දැන් නම් මම පුරුද්දක් විදිහට රවීගෙ පෝස්ටුවෙ මාතෘකාව බලන්නෙ අන්තිමට..

    කොහොම වුනත් ඔය ප්‍රධාන කතාව ටිකක් ලියලා වටේ පිටේ කතා ගොඩක් ලියන්න පුළුවන් එකත් මාර හැකියාවක්..!!

    විජය ගැන හරි මතකයක් නැත්තෙ අපි චිත්‍රපටි බලන කාලෙ වෙද්දි සිනමාවෙ හිටියෙ ඊළඟ පරම්පරාව නිසා වෙන්න ඇති..

    ප/ලි: අර වෙන්ට කතන්දර ලිස්ට් එක තාම ඉවර නෑ..හදලා ඉවර වුන ගමන් ඒක දාන්නම්..

    ReplyDelete
    Replies
    1. / කොහොම වුනත් ඔය ප්‍රධාන කතාව ටිකක් ලියලා වටේ පිටේ කතා ගොඩක් ලියන්න පුළුවන් එකත් මාර හැකියාවක්..!! /

      ඕකට කියන්නෙ බං පඳුර වටේ තලනව කියල..ඒකත් සෙල්ලං කෙලියක් නෙවෙයි. මොකද ඔය වටේ තැලිල්ලෙදි නිතරම ප්‍රධාන මාතෘකාව නාභිගත වෙල තියෙන්න ඕන. වටේ තැලිල්ලෙ අරමුණ පඳුරට ළංවෙන එකය කියල කොයිම වෙලාවකවත් අමතක කරන්න හොඳ නෑ...:) :)

      / ප/ලි: අර වෙන්ට කතන්දර ලිස්ට් එක තාම ඉවර නෑ..හදලා ඉවර වුන ගමන් ඒක දාන්නම්.. /

      හරි..නෝනා, හදිස්සියක් නෑ..නිවාඩුව දාන්න..අඩේ මේ ඒ ලිස්ට් එකෙන් දෙකක් විතර මම දැනටම කියල තියෙන්නෙ. එව්ව අඩු කරහං හොඳේ?

      Delete
  4. ආගේ ඇති වැල්වටාරං ටික.

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, ස්තූතියි රාජ්....

      Delete
  5. හයියෝ!!! මෙයාගෙ කතා කියවන්ඩ ඕනෙ හරියට අර සමීකරණ ලියද්දි අරින වරහන් ඔක්කොම වැහෙනවද කියලා බල බල පරිස්සමෙන් ලියනවා වගේනේ. පංච තන්ත්‍රේ හොඳයි තව.

    මේ තියෙන්නෙ මේ පෝස්ට් එකේ මං ආසම කොටස:
    /* මේ ඕයි වචනයක් වත් කියනව එහෙම නෙමෙයි ඔන්න. තොගෙ බෙල්ලත් මිරිකල මගෙ බෙල්ලත් මිරිකගෙන මම මැරෙනව මෙතනම නොකිව්වයි කියනට එපා ඔන්න..*/ මටත් කවදා හරි කාට හරි මෙන්න මේ වගේ කියන්ඩ ඇත්තං කියලා හිතුණා.

    විජය කුමාරණතුංගයන්ව මගේ හිතේ රැඳිලා තියෙන්නේ පෞරුෂයෙන් පිරුණු ගැඹුරු කටහඬක් තියෙන ගායකයෙක් විදිහට. රංගනයෙන් ඔහු හිටිය තැනට වඩා ඉහළින් මගේ ලැයිස්තුවේ තව කීප දෙනෙක්ම හිටියා. ඔහුගේ දේශපාලනය ගැන මට ඒ තරම් අවබෝධයක් නෑ. ඒත් ඒ ගායකයාටත්, ඔහු ගැයූ ගීත වලටත් මම තවමත් හුඟක් ආදරෙයි.

    "කවුළුව අතරින් සඳ රැස් එනවා - පොල් අතු වහළෙන් පිණි බේරෙනවා
    සොඳුරිය මාගේ පුංචි පුතා මා - උකුළෙ තියා නළවනවා"

    "වියූ පැදුර ගෙයි මිදුලේ - ලිඳ ගාවයි වතුර කළේ
    තවම කැළේ දර උකුළේ - වහිනවා වැහී
    පුතා ගෙයි නිදී - පැළ තෙමෙනවා ඇතී
    අහස ගුගුරවා - වහිනවා වැහී"

    "කරඹ යායේ ළවැලි පාරේ - මගේ හද දිනු අරුන්දතී"

    ReplyDelete
    Replies
    1. / මේ තියෙන්නෙ මේ පෝස්ට් එකේ මං ආසම කොටස: /

      /* මේ ඕයි වචනයක් වත් කියනව එහෙම නෙමෙයි ඔන්න. තොගෙ බෙල්ලත් මිරිකල මගෙ බෙල්ලත් මිරිකගෙන මම මැරෙනව මෙතනම නොකිව්වයි කියනට එපා ඔන්න..*/ මටත් කවදා හරි කාට හරි මෙන්න මේ වගේ කියන්ඩ ඇත්තං කියලා හිතුණා. /

      අඩේ...පව් බං ...ඒ අහිංසකයගෙ මූණ බලාගෙන කටක් ඇරල එහෙම කියන්ට උඹට හිත් දෙනවය හැබෑටම? :( :(

      අනේ එපා බං….මටත් එක්ක පව් පුරවන්ටයි උඹේ මේ ලෑස්තිය....:( :(

      Delete
    2. අයියා කාටද ඔය අහිංසක කිව්වේ? සිත්තරාටද? අනේ මං කිව්වෙ එයා ගැනනං නෙමෙයි. එයාට ඔහොම කතාකරන්න මට හීනෙකිංවත් බෑ. මං කිව්වෙ ඒ වචන වල තියෙන අපූරුව හින්දා මටත් ඒක කාට හරි කියන්න ආස හිතෙනවා කියලා. ඒක හරියට අර රන්දි අක්කගේ පෝස්ට් එකක තිබ්බ (මේ දැං ගිහිං හොයාගෙන උස්සගෙන ආවා ඒක මෙතන අලවන්න) "හා හොඳයි මොකද කියන්නේ? එහෙම නෙමෙයිද? ඒක එහෙම නෙමෙයි කියලා ඔහෙලා කිව්වත් ඒක එහෙම ම තමයි." කතාව වගේ හරි ආස හිතෙන කතාවක්. :) :) :)

      Delete
    3. පිස්සුද හැබෑටම?...මම ඒ උඹෙ කකුල් කෙටියෙං පොඩ්ඩක් ඇද්ද විතරයි නඟේ...ශිත්තර තෙම අරභයා තොප එලෙස ස්වප්නයකින් පවා නොසිතන බැව් කණ කොක් සුදක් සේ දනිමි.

      ඔය රන්දිල් ගොයිය කියල තියන එක ඇවිල්ල ඉස්තිරී පක්සෙ කොයි වෙලාවෙත් කියන එකක් නෙව. කියන එක කොහොම වෙතත් හිතේ තියාගෙන ඉන්නෙ නම් එහෙමම තමයි.

      Delete
  6. රවී අයියේ, මේක කියෙව්වම මට වෙන මුකුත්ම හිතුන්නෑ.. මට හිතුනෙම උබැහැ කෝච්චි එන්ජින් ඩැයිවර් කෙනෙක් නොවුනෙ මගීන්ගෙ පූරුවෙ වාසනාවකට කියලා.. එහෙම වුනානම් කෝච්චි කීයක් පෙරලිලද මේ වෙනකොට.

    විජය හිටියනම්, ජනාධිපති වුනානම්, අපි අද එයා ගැන කතා කරන්නෙ වෙනම විදිහකට වෙන්න තියන සම්භාවිතාව බොහොම වැඩියි..විජය කියන ගායකයා අදටත් මගේ ලිස්ට් එකේ උඩින්ම ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. කෝච්චි පෙරලෙන්නෙ කොහොමෙයි මලේ? ඩැයිවර යන්ට නියමිත මාර්ගය තියෙද්දි හිතූ හිතූ පාරවල් වල යන්ට හදලද?.....හෙහ්, හෙහ්,

      / විජය හිටියනම්, ජනාධිපති වුනානම්, අපි අද එයා ගැන කතා කරන්නෙ වෙනම විදිහකට වෙන්න තියන සම්භාවිතාව බොහොම වැඩියි /

      ඇත්ත සෙනා අසීමිත බලය කියන එක මිනිස්සු යක්කු කරන්නෙ එයාලවත් නොදැන..ඒක තමයි තිත්ත ඇත්ත..:( :(

      Delete
  7. බිරින්ඳැ වාසනාවන්තයි නේ... හිතෙන් බැන බැන හරි අරන් දුන්නනේ බ්‍රේස්ලට් එක... අපේ උන්දැ නං ඔහොම කිව්වොත් “ ඒකනේ නේ.. එහෙනං ඕනේ නෑ.. සල්ලි තියෙන වෙලාවක ගමු ” කියලා යන්න යයි...

    ( හැබැයි ඊට පස්සෙන්දට මාව සර්ප්‍රයිස් කරන්න ඕක අරගෙනම එයි.. හි හි)

    විජයගේ මරණෙ ගැන මෙදා පාර අපේ තාත්තා අමුතු කතාවක් කිව්වා.. මට හිතගන්න බැරි උනා මේ අපේ තාත්තමද කියලා... “ විජය එදා මැරුන එක හොඳයි.. නැත්තම් එයා හිටියේ රටෙන් කෑල්ලක් දීලා හරි මේක නවත්තන්න ” කියලා කිව්වනේ... මං උඩ ගියා.... හොඳ වෙලාවට කාරෙකේ වහලේ ඔලුව වැදුනට තුවාල වෙන් නෑ... හි හි..

    ටිකක් වෙලා කල්පනා කරලා මං කිව්වා “ එදා තිබ්බ තත්වේ හැටියට විජයට පෙනුන හොඳම විසඳුම ඒක වෙන්න ඇති... අපි අද ආපහු කල්පනා කරලා බලනකොටනේ වෙනස් විදියට පේන්නේ කියලා.... ” මෙන්න තාත්තා කියනවා.. “ ඒක නම් ඇත්ත තමා... ” කියලා... මාවා දෙවනි පාරටත් උඩ ගියා... පළවෙනි වතාවට මං කියපු එකක් තර්ක නැතුව තාත්තා පිළිගත්තා.. හැබැයි ඕක විජය සම්බන්ධව නොවුනනං එහෙම වෙන්නෙ නෑ කියලා මට 100% ෂුවර්.. හි හි

    ReplyDelete
    Replies
    1. / බිරින්ඳැ වාසනාවන්තයි නේ... හිතෙන් බැන බැන හරි අරන් දුන්නනේ බ්‍රේස්ලට් එක... අපේ උන්දැ නං ඔහොම කිව්වොත් “ ඒකනේ නේ.. එහෙනං ඕනේ නෑ.. සල්ලි තියෙන වෙලාවක ගමු ” කියලා යන්න යයි… /

      / ( හැබැයි ඊට පස්සෙන්දට මාව සර්ප්‍රයිස් කරන්න ඕක අරගෙනම එයි.. හි හි) /

      හෙහ්, අපෙ උන්දැ එක්ක එව්ව බෑ..පහුවදාට සේපයිස් කොරන්ට හිතාගත්තම කියමුකො. ඒත් බොල පහුවදා වෙනකල් ඉන්නෙ කොහොමෙයි වෙඩි කාපු කොටි දෙනක් එක්කලා. එහෙම නැත්තං අස්සය මැරිච්ච කව් බෝයිගෙ Feminine Version එක . එහෙමත් නැත්තං ඔය දෙකේම සංකලනයක්. කොයි මුඩ් එකද කියල හොයාගන්න එකත් ලේසි නෑ. ඊට මීට හොඳයි අර කතාවටත් කියනව වගෙ තියන මොකක්ද එක විකුණල හරි ඔය ඕනය කියන දෙයක් අරං දෙන එක...හෙහ්, හෙහ්,

      / ටිකක් වෙලා කල්පනා කරලා මං කිව්වා “ එදා තිබ්බ තත්වේ හැටියට විජයට පෙනුන හොඳම විසඳුම ඒක වෙන්න ඇති... අපි අද ආපහු කල්පනා කරලා බලනකොටනේ වෙනස් විදියට පේන්නේ කියලා.... ” මෙන්න තාත්තා කියනවා.. “ ඒක නම් ඇත්ත තමා... ” /

      මම දිවා රෑ ප්‍රාර්තනා කරන්නෙ හිරු...2009 යුද ජයග්‍රහණය ගැන "අනේ අපරාදෙ ඊට වඩා හොඳයි ***********......කියල අපිට කියන්ට වෙන දවසක් උදා නොවේවා කියලයි. ඒත් මේ යන විදිහට ඒ දවස වැඩි දුරක නෙවෙයි කියලයි මට හිතෙන්නෙ :( :(

      Delete
  8. රවිගේ වචනයෙන් වැල්වටාරං වුනත් අගේ ඇති ලියවිල්ල. ඒ නිසාම වෙනදා වගේ කොමන්ට් නොකර යන්න බැහැ.

    මට මුලින්ම විජය කුමාරණතුංග හමුවුනේ 1979 වසරේ දී. ඒ JR රජයේ මුල්ම අතුරු මැතිවරණ කටයුතු වෙනුවෙන් උද්යෝගයෙන් වැඩ කර විජය ගාල්ල ආසනය පුරා කඩමණ්ඩියක් ගානේ පයින් ඇවිද ගිය කාලේ. ඉන්පසුව මුණ ගැහුනේ මහජන පක්ෂය පටන් ගත් අලුත, මං හිතන්නේ ඒ කාලය අතර ඔහු කෙරෙහි ඇතිව තිබූ මතය හාත්පසින් වෙනස් (පක්ෂ පසුබිමත් බලපාන්න ඇති).

    විජය ඝාතනය කල කාලයේ මං උන්නෙ මැදපෙරදිග රටක. එදා යම් මතවාදයකට එල්බගෙන ඝාතනය හරියැයි දුටු බහුතරය අවුරුදු 25කට පසුව මොන අදහසක් දරනවා ද හිතන්න උත්සාහ නොදැරුවත් ඒ පුවතින් කම්පා වූ අතෙලොස්සක් නැවත නැවතත් කම්පා වෙනවා ඇති කියන්න පුලුවන්. ඔහුගේ ගමන නැවැත්තුවේ කවුරු වුනත් ඉහත කිහිපවරක් සඳහන් වූ අයුරින් ...යමක් කරන්න හැකියාවක් තිබුන... කියන අදහස රැඳී තියේවි.

    ReplyDelete
    Replies
    1. / මට මුලින්ම විජය කුමාරණතුංග හමුවුනේ 1979 වසරේ දී. ඒ JR රජයේ මුල්ම අතුරු මැතිවරණ කටයුතු වෙනුවෙන් උද්යෝගයෙන් වැඩ කර විජය ගාල්ල ආසනය පුරා කඩමණ්ඩියක් ගානේ පයින් ඇවිද ගිය කාලේ /

      ඩීන් ඔබ ඔය කියන්නෙ මට මතක විදිහට ඇල්බට් සිල්වට චන්ද පෙත්සමකින් ආසනේ අහිමි වෙල ඊට පස් සෙ පැවැත්වුනු ගාල්ල ආසනයෙ අතුරු මැතිවරණය ගැන වෙන්න ඕන. විජයානන්ද දහනායක නේද යූ.එන්.පී. එකෙන් ඉදිරිපත් උනේ?...S.L.F.P. එකෙන් ආවෙ කවුද කියලනම් මට මතක නෑ.

      ස්තූතියි ඩීන්, මම දන්නව කමෙන්ට් නොකලත් ඔබ හැමදාම මම ලියන දේ කියවනව කියල..ස්තූතියි ආයෙමත් :) :)

      Delete
  9. ඇත්තෙන්ම ෂෝක් වැල් වටාරම් ටික. I adore them.

    දේශපාලනය ගැන නම් මම කතා නොකර ඉන්නයි කැමති.

    විජය කුමාරතුංග මගේ ලෝකයේ නම් වීරයෙක් වෙලා නොහිටියත් විජයගේ මරණයෙන් මමත් කම්පාවුනා. නමුත් අපි කාගෙත් ජීවිත වලට හරිම අඩු ලංසුවක් තිබ්බ ඒ කාලෙ මහා පුදුමයක් වුනේ නෑ ඒක.

    ReplyDelete
    Replies
    1. Thanks Henry…..:) :)

      දේශපාලනය කියන්නෙ කතා නොකර ඉන්න තරමට හොඳයි කියල හිතෙන තරමට අප්පිරිය මාතෘකාවක් නම් තම්යි. ඒත් මචං වැඩේ අපි හැමෝගෙම ජීවිත වලට දේශපාලනය අනිවාර්යයෙන් බලපාන හින්ද ඒ ගැන කතා නොකර බැරි එකයි..හෙහ්, හෙහ්,

      Delete
  10. ravi ayyata mara hakiyawak thiyenne appa. hariyata thaala wargaye gahaka mul tika wage thamaa ravi ayyage katha :) niyamai

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සයුරි. අම්මප මරු උදාහරණය....තාල වර්ගයෙ ගහක මුල් වගෙ.....හෙහ්, හෙහ්, ආයෙමත් ස්තූතියි නඟේ...

      Delete
  11. එකක් අස්සෙ එකක් රිංගවපු කතා ටිකෙන් හොඳම වැඩ වරජනේ කතාව... ආයෙ ඕන් නෑ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චේජනා...ඔය අපේ බොසාගෙ තියනව ඔය වගෙ මසුරං කතා බර ගානක්. ඉඳපංකො..මතක් වෙච්චි වෙච්චි වෙලාවට කියඤ්ඤංකො හොඳේ.....ඔව්ව මතක් වෙන්නෙ අර උඹ කිව වගෙ කාලය ඇඹරෙන වෙලාවට තමයි...හෙහ්, හෙහ්,

      Delete
  12. හැබැටම අය්යේ පොඩි සිද්දියක් අර ඉස්සර ඔබා මාමා කියන්න වගේ පඳුර වටේ තලලා කියන හැටි නම් මරු ..මට මේවා කියවනකොට පොඩි කාලේ ආසාවෙන් කියෝපු ගු.ලි. මහත්තයාගේ මල්ලිගෙ විත්ති පොත මතක් වෙනවා.. අන්න වැඩේ අපි ගහමුද පොතක් "අය්යාගේ විත්ති " කියල..

    ReplyDelete
    Replies
    1. / හැබැටම අය්යේ පොඩි සිද්දියක් අර ඉස්සර ඔබා මාමා කියන්න වගේ පඳුර වටේ තලලා කියන හැටි නම් මරු .. /

      අනේ බං ඔබා මතක් වෙන කොටත් ඉහිලුං නෑ....පඳුර වටේ තලනව කියන්නෙත් ඔබාගෙ කතාවක් තමයි. උඹ දන්නවය මෙකුවි, ඒ කතාව හැදිච්චි විදිහ....

      ඔය දකුණෙ කුරුඳු වැවෙනවනෙ... කාලෙකට ඉස්සර කුරුඳු වැවුනෙ කැලේට. ඉතින් කුරුඳු තලන කාලෙට ඉස්සෙල්ලම කරන්න ඕන කුරුඳු පඳුරු වටේ වැවිල තියන ගඳ පාන, හීං බූටිය,හිඟුරු වගෙ අනවස්ය පඳුරු තලලදාන එක. අන්න ඒකයි බොලේ පඳුර වටේ තලනව කියන්නෙ....

      ඒ කියන්නෙ කොටිම්ම ප්‍රධාන කාර්යයට පළමුවෙන් කලයුතු අතුරු කාර්යයන්......:) :)

      / අන්න වැඩේ අපි ගහමුද පොතක් "අය්යාගේ විත්ති " කියල.. /

      අයියගෙ විත්ති කියල පොතක් ගහන්ට නම් බැරිකමක් නෑ. බොල..උඹ බර පැන දරනවං......මොකද කියන්නෙ? කැමතිය එහෙම?

      Delete
  13. අපිට මොන පොලිටික්ස්ද....

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් බොලේ..ඔය තියන දෙයක් කාල බීල වෙන දෙයක් බලාගෙන ඉන්න එක ඊට වඩා දාහෙන් සම්පතයි...:)

      Delete
  14. හොරාට කියෝලා ගියාට හිතේ තියාගෙන උන්නේ කොමෙන්ටුවක් කොටා දාන්න .

    අපි මෙහෙ එන්නේ මුන්දගේ වැල්වටාරම් කියවන්න නේන්නම් . වැල්වටාරම් ඔස්සේ කියන අන්තිම කතා පුන්ච මොකක් වුනත් කාරියක් නැහැ .

    විජය හිටිය නම් මක් වෙයිද ...හුහ් ..මැරිච්ච නිසා නෙව බොල මේ ගුණ වරුණ . හිටිය නම් අර කලින් ලිපියෙන් කිවූ ඒවා වෙන්නත් ඉඩ තිබ්බ . පාදස්ථ මොකක්ද උඩින් වැටෙන හැටි ..

    විජය මැරුණු දවසේ අපේ අක්ක මීරිගම සෙන්ට්‍රල් එකේ තිබ්බ දැනුම මිනුම තරඟයකට ගිහින් දිනලා මලලසේකර ශබ්ධ කෝෂයක් අරන් ආවා . මට හොඳටම මතකයි .

    ReplyDelete
    Replies
    1. වැල් වටාරං ලියනව කියන එක සෙල්ලං කෙලියක් කියලද බොලා හිතාගෙන ඉන්නෙ? ලියල බලන්ට ඕන ඒකෙ රඟේ තේරෙන්ට....

      හා, නිකමට මෙහෙම හිතාපං..ඔන්න උදේම පිටත් වෙනව කොහෙ හරි ගමනක් ...හරියටම දන්නව අහවල් තැනට යන්නෙ කියල..ඉතිං කිසිම අවුලක් නෑ...එතනට ගියා....එච්චරයි..දැං ඔන්න තවත් දවසක උදේ ගෙයිං දොට්ට බැස්ස. යන තැන ගැන පොඩි අයිඩියා එකක් තියනව. ඒත් හතර අතේ රස්තියාදු වෙලා, රෝන්දෙ ගහල තමයි එතනට යන්නෙ...ඒක අමාරුයි අර කලින් දවසට වැඩිය. බොරුයි කියල හිතෙනව නම් දවසක නිකමට වගෙ කරල බලාපංකො මම කිව්වට...හෙහ්, හෙහ්,

      Delete
  15. රවී අයියගේ පෝස්ට් කියවද්දී මට මතක් වෙන්නේ අපේ ගමේ ඉස්කෝලේ හිටපු ප්‍රින්සිපල් කෙනෙක්ව. ගුරුවරු අඩු නිසා ඒ සර් සමහර වෙලාවට අපිට උගන්වන්න එනවා. ඒ එනවට අපිත් හ‍රි කැමතියි. මොකද, ඒ සර් පාඩම විතරක් තව මහා හුඟක් දේවල් කතා කරනවා. ඒ වගේ මේ ලිවිල්ලත් මරු.

    විජයගේ සින්දු වලට මමත් ආසයි.

    ReplyDelete
    Replies
    1. ඒකත් එක ඉගැන්වීමේ ක්‍රමයක් චන්දන..ලමයින්ගෙ අවධානය පාඩමට දන්නෙම නතුව යොමු කරගන්න හොඳම ක්‍රමයක් ඒක.අපෙත් ඔය වගෙ හිටිය ඉංග්‍රීසි කරපු සර් කෙනෙක්. ඔන්න එයා කතාව පටන් ගන්නෙ එදා පාඩමට කොහෙන් හරි සම්බන්ධ ඉංග්ලිෂ් ෆිල්ම් එහෙකින්. රහ කර කර කියනව..අපිත් කටවල් ඇරගෙන අහගෙන ඉන්නව.අන්තිමට පාඩමට එන්ටර් වෙලා අපි දන්නෙම නැතුව. හැබැයි එක ළඟ පීරියඩ් දෙකක් මනුස්සයට ඕනමයි ඔය වැඩේට....

      Thanks Chandana :) :)

      Delete
  16. හත්තිලවුවේ දවස් කීයක්‌ ලිවුවද මේක......?
    තව ටිකක් දිගට දැම්මනම් මොකෝ...........?

    ReplyDelete
    Replies
    1. කොහේද බොල..එච්චර දවසක් ලිව්වෙ නෑ....තව වැල් වටාරං නං තියනව අනන්ත..පස්සෙ ලියමු හෙමීට... :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...