Wednesday, October 23, 2013

225. කවිකාරියකගේ ප්‍රේමය…..13


Young girl writing a love letter - Pietro Rotari ( 1707 - 1762 )

ඉහළෙය දැක්කම මට ඔය විස්තරෙත් මතක් උනා. හිනා වෙවීම මම කාමරේට ගිහිල්ල ඇඳේ ඉඳ ගත්ත. ඩේට් ස්ටෑම්ප් එක බලල කලින් ආපු ලියුම ඉස්සෙල්ල කැඩුව. දිනේ හැටියට සති තුනකට විතර කලිං ආපු එකක්. නාඳුනන අත් අකුරු. කාගෙන්ද? බලමු..වීරසිංහ මහතා වෙත...ම්ම්..කවුද මේ?...බලමු ලියපු මනුස්සයෙක්ගෙ නමක් ගමක් ඇතිනෙ අන්තිමට..මම ලියුමෙ අන්තිම හරියට දෑස් යොමු කලා..අප්පට සිරි ගජ...මේ සුජාතා... 

" මහත්තය..තේඑක .." සැමිය කාමරේ දොර ලඟ.. 

" මේසෙ උඩිං තියල ඔය දොරත් වහගෙන පලයං බං හොඳ එකා වගෙ."
 
සු..ජා..තා..ඒ අකුරු තුන දිහාවෙ ඇහිපිය නොහෙලා බලාගෙන මම හෙමිහිට කිව්වා. 

වීරසිංහ මහතා වෙත, 

ඔබට ප්‍රථම සහ අවසන් වරට අප හමුවූ දින ඇමතූ පරිදි අයියා යැයි නොඅමතා මහතා යයි ඇමතීම පිළිබඳ ව පළමුව මට සමාවන්න. එහෙත් මේ ලිපිය අවසානය දක්වා කියවූ පසුව එසේ ඇමතීමට හේතු වූ කරුණු පිළිබඳව ඔබ වටහාගනු ඇති බවට මට සැකයක් නැත. 


හිතවත, විජිත මට හමුවූයේ අහම්බෙනි.සඳුදා හිමිදිරි උදෑසන කුරුණෑගල සිට කදුරුවෙල බලා පැමිණෙන තැපැල් බස් රථයෙහි ගමන් කිරීම මම සිරිතක් වශයෙන් කලේ උදෑසන පාසල වෙත නියමිත කාල වේලාවට ප්‍රථම ළඟාවීමට ඒ එකම ක්‍රමය වූ නිසාය. 

එක් සඳුදාවක ප්‍රමාදවී පැමිණි මාහට බස් රථයේ හිඳ සිටි ඔහු තම අසුන පරිත්‍යාග කලේය. ඊළඟ සඳුදින 
ද ඔහු තමා අසල වූ අසුන මත තම බෑගය තබා වෙන්කොටගෙන සිටියේ මා වෙනුවෙනි. 

බොහොම ස්තූතියි... ඒත් ආයෙම මේ වැඩේ කරන්න එපා,ඒක මට හොඳත් නෑ. ඔයාට හොඳත් නෑ, ඒ වගේම බස් එකට මට කලින් එන තව කාටහරි කෙනෙකුටත් කරන අසාධාරණයක්. " 

" ඔයා සාධාරණය ගැන හරියට හිතන කෙනෙක් වගේ …"ඔහු පැවසුවේය. 

" ඔව්, අසාධාරණය, වංචාව, රැවටිල්ල මට පේන්ට බෑ. පොඩි කාලෙත් මම එහෙමයි. මගෙ අප්පච්චි මාව උකුලෙ තියාගෙන මට කියල දුන්නෙ එහෙමයි " මම පැවසීමි. 

ඒ මා පැවසූයේ පුරාජේරුවක් නොව සම්පූර්ණ සත්‍යයකි.මා පියාණන් සේවය කලේ ග්‍රාමසේවක නිලධාරියකු වශයෙනි. එහෙත් කිසිම දිනක කිසිවකුට අයුත්තක් නොකල ඔහු යුක්තිය සහ සාධාරණත්වය දිවි දෙවෙනි කොට සැළකීය. මගේම අවාසනාවට මම සාමාන්‍ය පෙළ පංතියේ ඉගෙනුම ලබද්දී ඔහු හදිසියේ මෙලොව අතැර ගියේය.මම පවුලේ එකම දරුවා වෙමි..තව දුරටත් ලිවීමට පෙර ඔබට පැවසිය යුත්තක් ඇත. මේ විස්තර ඔබට කුමකටදැයි ඔබ බොහෝවිට සිතනවා විය හැක. එහෙත් විජිතගේ සහ මා අතර පැවති ආදර සම්බන්ධයට හුදු අහම්බෙන්හෝ මැදිහත්ව ඔබ එහි යම් කාර්ය භාරයක් ඉටුකොට ඇත. 

එසේ හෙයින්ම නොව විජිත හා මා අතර වු සබඳතාවය බිඳවැටීමට හේතුවූ කරුණු ඔබට සපුරා පැවසිය යුතුයැයි මසිත මගෙන් ඉල්ලා සිටියි.එබැවින් කරුණාකර පැවසීමට ඇති සියල්ල පවසන්නට පළමුව මට ඉඩ දෙන්න. 


සත්‍යය එළෙසින්ම පැවසුවහොත් මසිත මුලින්ම ඇදී ගියේ විජිතගේ අහිංසක කමටය. ඉතා සෙමෙන් වචන තෝරා බේරාගෙන කතාකරන ඔහුට ගිරවියක මෙන් කටට ආපුදේ ඔහේ කියා දමන මගේ සිත ඇදී යාම මගේ මිතුරියන්ටද මහත් විශ්මයක් විය.

" අනේ මන්ද බං..මට තේරෙන්නෙ නෑ..විජිත වගෙ කෙනෙක් උඹට……" 

මගේ හොඳම මිතුරිය විජානි එසේ වැකිය අවසන් නොකොට වදන් ගිල ගත්තේ වරක් දෙවරක් නොවේ. 

" මොකද?..... එතකොට උඹ හිතන්නෙ මට ගැලපෙන්නෙ ආලවකය වගෙ මනුස්සයෙක් කියලද? මගෙ නම සුජාතා හින්ද උඹ හිතන්නෙ එහෙම බෞද්ධ සාහිත්‍යයෙන්ම මිනිහෙක් හොයාගන්ට ඕනය කියලද? " මම හඬ නඟා සිනාසීමි.. 

" ඔය ඉතිං ඕකනෙ මම කිව්වෙ..අනේ මන්ද අර මනුස්සය…" 

මෙසේ විජිත සහ මා අතර සම්බන්ධයට මසක පමණ කාලයක් ගෙවීගිය පසුවය ඔබ මේ කථාවට සම්බන්ධ වනුයේ.ඒ තොරතුරු මම දැනගත්තේ විජිතගෙනි.ඊට පළමුව මගේ කවි ලිවීම පිළිබඳව යමක් පැවසිය යුතුය. ජීවිතයේ බොහෝ දේ මෙන්ම කවි ලිවීමද මම උගත්තේ මපියාණන්ගෙනි. 

ඔහුගේ බොහෝ කව් පුවත්පත්වල එකල පලවිනි. ඔබ ද ඔහුගේ කව් කියවා ඇතිබවට මට සැකයක් නැත. ඔහුගේ අභාවයෙන් පසු මම දිගටම කවි ලිවීමි. එක් සිකුරාදාවක විවේක කාල පරිච්ඡේද කිහිපයක් එක දිගට යෙදී තිබුණු බැවින්... 


" මේ වරත්තු බල්ල එක්ක නම් බෑ මේ වැඩේ කරන්ට...පොලේ බිඳල ටැංකිය උඩ අඩලෙ තියල තප්පරයක් ගියේ නෑනෙ මූ අරං පැන්නනෙ…" 

මයෙ කාමරේ ජනේලෙ ඇරල තිබ්බෙ පළු දෙකම..ජනේලෙ ගාවම ඇහිච්චි ඒ කැම්බැල්ලෙට සුජාගෙ ලියුමට සමවැදිල තිබිච්චි හිත දඩස් ගාල දැහැනෙං මිදුන.තරහෙං පිපිරෙන මූණෙං යුතුව ජනේලෙ ලඟ පෙනී හිටියෙ සැමී. 

" මොකද්ද මහත්තය මේ සතාට කරන්නෙ? " 

" මොන සතාටද බං?....." 

එක පාරට තද නින්දක ඉඳල කවුරුහරි මූණට වතුර කෝප්පයක් හැලුව වගෙ මම ඇඳේ කෙලින් වෙලා ඉඳගත්තෙ ඔලුවත් දෙතුං පාරක් එහාට මෙහාට හොල්ලල. ලියුම මම මේසෙ උඩ තිබ්බ පොතකට යට කලා… 

" අර සමර පාට බල්ල මහත්තය. කොයි වෙලෙත් කුස්සිය වටේ කරකැවෙන්නෙ අර...." 

" අහවල් දෙයක්ය කියාල කරන්ටද බං කැලේ ඉන්න සත්තුන්ට..උඹ කුස්සිය වහල තියාපං කොයි වෙලෙත්..ආය වෙන කරන්ට දෙයක් නෑ…" මම නැඟිටල ලියන මේසෙ පුටුවෙ ඉඳගත්ත.

" මේං මේ ...මහත්තය තාම තේ එකවත් බීල නෑ නේද? " 

" අහ්හ්…... අමතකම උනානෙ බං…" මම තේ කෝප්පෙ අතට ගත්ත..ඇල් වෙලා හොඳටම... 

" සැමී..මේ හොඳ කොලුව වගෙ තව තේ එකක් හදාන වරෙං බං..මේක ඇල්වෙලා..ආ..මේ තේක හදල හුසේන්ලගෙ කඩෙං අරං වරෙං ගෝල්ඩ් ලීෆ් දෙකකුත්. " 

හුසේන් අපේ චෙක් රෝලෙ වැඩකරපු ගෝලයෙක්. මිනිහගෙ තාත්ත අපේ කෑම්ප් එකේ වැටත් එක්ක ඒ ඊමම පොඩි කඩ බක්කියක් කරගෙන ගියා ඒ දවස්වල. ඒ වෙනකොට ඇත්තම කිව්වොත් මම දුම්පානය නතර කරල හිටියෙ. ඒත් මේ අම්මණ්ඩිගෙ ලියුම කියවන්ට නම් සිගරට් එකක් ගහන්ටම වෙයි කියල මට නිකමට වගෙ හිතුන. 

ඔහුගේ බොහෝ කව් පුවත්පත්වල එකල පලවිනි. ඔබ ද ඔහුගේ කව් කියවා ඇතිබවට මට සැකයක් නැත. ඔහුගේ අභාවයෙන් පසු මම දිගටම කවි ලිවීමි. 

එක් සිකුරාදාවක විවේක කාල පරිච්ඡේද කිහිපයක් එක දිගට යෙදී තිබුණු බැවින් ආදරය පිළිබඳව හිතට දැනුනු හැඟීම් කඩදාසියක් මත අකුරු කලෙමි.එදින සවස විජිත මා සමඟ කුරුණෑගල බලා යාමට කදුරුවෙලට පැමිණියේය. උදෑසන කවි ලියූ කඩදාසිය මා අත තිබූ සටහන් පොත තුල තිබී අහම්බෙන් විජිතට හමුවිය. 

" අනේ..හරි ලස්සනයිනෙ..මා ගැනද මේ ලියල තියෙන්නෙ? " 

" ම්ම්ම්..එහෙම කියමුකො…" මම සිනාසුනෙමි. 

" ඉතිං ඔයා ඇයි මට එවන ලියුං වල කවි ලියන්නෙ නැත්තෙ?.." 

" ම්ම්ම්..එහෙමත් ඕනද?.." මම ඔහු දෙස නෙතගින් බලා යලි සිනාසුනෙමි. 

" ඕන හින්දනෙ කියන්නෙ....ඔයා ලියල එවන්නකො…" 

" ඊට පස්සෙ? " 

" ඊට පස්සෙ මාත් කවි ලියල එවන්නං…." 

" නෑ?????.... ඔයාට පුළුවන්ද කවි ලියන්න? " 

" පුළුවන්ද බැරිද කියල බලන්න ලියල එවන්නකො ඉස්සරවෙලා. " 

ඉන්පසු සිදුවූව මා නොකීවාට ඔබ හොඳින් දන්නා බව මම දනිමි. 

" ඇයි ඉතිං ඔයා මට කියලම එහෙම ලියුම් වල කවි ලියව ගත්තෙ? අනික ඊටත් වඩා වැදගත් ප්‍රශ්නෙ ඇයි ඔයා ලියනව වගෙ වෙන කෙනෙක් ලවා ලියව ගත්තු කවි එවල මාව රැවැට්ටුවෙ?.." අවසානයේදී සියල්ල හෙළිවී ඔහු මගෙන් සමාව අයැදි කල මම එසේ ඔහුගෙන් විමසීමි. 

" මම දන්නෙ නෑ සුජා..මට මොනව උනාද මන්ද ...සමහරවිට ඔයාගෙ ආදරේ වැඩිපුර ලබාගන්ට මම එහෙම දෙයක් කලා වෙන්ට පුලුවන්…."'විජිත මා දෙස බලා අසරණ ලෙස පැවසීය. 

" පව් බං…. උඹට ආදරේ හින්දනෙ ඔය ඔක්කොම කරල තියෙන්නෙ..ඒ නිසා ඔන්න ඔව්ව අමතක කරල දාපං…" 

විජානි එසේ පැවසූයේ විජිත හා සම්බන්ධය නිමා කරලීමට මම දැඩි අසීරුවෙන් වුවද තීරණය කොට ඇති බව ඇය හා පැවසූ විටය. 

" මොන කෙහෙල්මලක් හින්ද උනත් කවුරුහරි මාව රවටනවට මට වංචාවක් කරනවට මම කොහෙත්ම කැමති නෑ..උඹ දන්නවනෙ මා ගැන. අනික තමන් මුළු ජීවිත කාලයක් ගත කරන්ට තෝර ගන්න සහකාරය ගැන නැත්නම් සහකාරිය ගැන මුළු හදවතින්ම විශ්වාසය තියන්න පුලුවන් වෙන්න ඕන. එහෙම නැතුව කොහොමද එක වහලක් යට එකට ඉන්නෙ? මේ මනුස්සය එක පාරක් මෙහෙම වංචාවක් කලානම් ආයෙමත් එහෙම දෙයක් කරන එක එයාට ඒ තරම් දෙයක් වෙන එකක් නැහැ නේද කියන සැකය හිතේ ගුලි කරගෙන මට ජීවත් වෙන්න බෑ......" 

මම විජානි අමතා පැවසුවෙමි. 

ඒ කෙසේ වුවද අවසානයේදී  මේ සම්බන්ධය අවසන් කලයුතු බව විජිතට පැවසීමට දිරි ගැනීමට මට බොහෝ දිනක් ගතවිය. එක් සිකුරාදා දිනක කුරුණෑගල බලා යන අතර මම ඒ බව ඔහුට පැවසීමි. බසය තානායම අසල බස් නැවතුමෙහි නවතන්නට ආසන්න වත්ම ඒ බව ඔහුට පැවසූ මම වහා බසයෙන් බැස යළි පසුපස නොබලාම නික්ම ගියෙමි. 

ඒ දැනට සති දෙකකට පමණ පෙරදීය. එදා සිට අද දක්වා මම මගේ තැවුල් දෙන සිත සතපවා ගැනීමට මහත් උත්සාහයක් දරමින් සිටිමි. 

මේ සියල්ල මෙසේ ඔබට පවසන්නේ කුමක් හෙයින්ද ඊටත් මේ දීර්ඝ කථාවට ඔබ සවන්දිය යුත්තේ මන්ද යනු ඔබට ගැටළුවක් වනවාට මට සැකයක් නැත.එහෙත් හිතවත, මා විජිත හරිහැටි හඳුනා ගත්තේ ඔහු ලියූ කවි රසවිඳීමෙනි. එහෙත් අවසානයේදී ඒ කවි ලියූවේ ඔහු නොව ඔබ බව දැනගත් කල එකවරම මසිතට නැඟුනු සිතුවිල්ල වූයේ එසේ නම් මා හඳුනාගෙන ඇත්තේ ඔබය. නො එසේනම් ඔබේ සිතය. එසේමය..ඔබ ලියූ කවි මාර්ගයෙන් මම ඔබ හඳුනා ගතිමි.එබැවින් කුමන තත්වයක් උද්ගත වුවද මසිත් තෙරපෙන හැඟුම් ඔබට පැවසිය යුතුය යනුවෙන්තීරණය කොට ඔබට ලියන්නට හිඳ ගතිමි. 

හිතවත, මම ඔබ අමතා මසිත් හෙළිදරව් කළෙමි. එසේම ඔබෙන් පිළිතුරක්ද බලාපොරොත්තු වෙමි. 

මම, 

සුජාතා. 


මදැයි..ඉතිං මොකේදැයි දං වළඳන්නෙ පොඩිනම? කියල ඇහුවලු ලොකු හාමුදුරුවො.හීනෙකිංවත් හිතපු දෙයක්ය මේ වෙන්ට යන්නෙ...ලියුම එහෙමම අතේ තියාගෙනම මම ඇඳ වියලට කොට්ට දෙක හේත්තු කරල හේත්තු උනා. මොකද දැං කරන්නෙ? හරි මොනව කරන්ටත් ඉස්සර සුජාගෙ දෙවෙනි ලියුමකුත් තියනවනෙ.ඒකත් කියවල ඉමුකො. 

" සැමී..කෝ වීරෙ මහත්තය ඉන්නවද? " 

ඒ එක්කම කුස්සිය දිහාවෙං ඇහුනෙ ඒ කුමාරගෙ කටහඬ..කුමාර ඇවිල්ල මගෙ කුටි සගයා. ඒ වගේම ඉස්කෝලෙ ටෙක් එකේ ඉඳල මගෙ අතිජාත මිත්රය. ඒත් මේ සුජාගෙ ලියුමෙ විස්තරේ ඌට කියන්ට මට හිතුනෙ නෑ. හරියටම කිව්වොත් කාගෙ උනත් අතිශය පෞද්ගලික දේවල් තව කෙනෙකුට කියන එක හරි නැහැයි කියලයි මට හිතුනෙ.මෙට්ටෙ උස්සල ඇඳ පොළු උඩ දාල තිබ්බ ප්ලයිවුඩ් ලෑල්ල උඩ ලියුං දෙක හංගන්ට හිතාගෙන මම මෙට්ටෙ කෙලවරක් ඉස්සුවා. 

අප්පටසිරි. එතන හැංගුවොත් හැංගිලම තියෙයි. ඔය මෙට්ට අස්සෙ තමයි අපි ඒ කාලෙ ඔය පුංචි පත්තර කියන එව්ව හංගල තිබ්බෙ. දන්නවනෙ පුංචි පත්තර නේද? ඔය තිබ්බෙ අර සරණ, මේ සරණ, බුදුසරණ කියල එහෙම අන්න එව්ව. 

ඔය නිසාම අපි අතරෙ තිබ්බ නිල නොවන පිළිගැනීමක් වෙන කොහෙ නැතිඋනත් ඇඳේ මෙට්ටෙ යට කියන ස්ථානය ඇවිල්ල ප්‍රසිද්ධ ස්ථානයක් කියල... ඒ කියන්නෙ කොටිම්ම ඕනම කෙනෙකුට ඕනම වෙලාවක ඇවිල්ල මෙට්ටෙ උස්සල යට තියෙන ඕනම එකක් අරගෙන ගිහෑකි.. කියවලා ආයම ගෙනත් තියන්ට ඕන. එච්චරයි කොන්දේසිය. මෙට්ටෙ උඩ බුදියං ඉන්න එවුංව බිමට දාලත් ඩෝප් මරගාතෙ අපි ඔය පුංචි පත්තර හොයල තියනව. 

හප්පච්චියේ ලියුං දෙක මෙට්ටෙ අස්සෙ තියල එහෙම එකෙකුට අහු උනොත් ආය ඉවරම තමා..මම කලේ ලියුම් දෙක මේස ලාච්චුවෙ යටට එලල තිබිච්ච පත්තරේ උස්සල ඒක යටිං තිබ්බ.. 

" මොකද බං කරන්නෙ? උඹ තනියම මේක අස්සට වෙලා ඊයෙ ඉතුරුව වත් ගහනවද? " ලාච්චුව වහනකොටම කුමාරය දොරත් ඇරගෙන කාමරේට ආව. 

" පිස්සුද බං? මොන ගැහිල්ලක්ද?  මම මේ පොතක් බල බල හිටියෙ.. "

" හරිම රස්නෙයි මම යනව නාගන්ට….." කුමාරය සරමකට බහින ගමං කිව්ව.. 

" හරි යමු..මාත් නාගන්ට ඕන……" මම ඇඳෙං නැඟිටල පුටු ඇන්ද උඩ වනල තිබ්බ තුවාය අතට ගත්ත. 

මතු සම්බන්ධයි...... 

48 comments:

  1. උඹ ගෝල්ඩ් ලීෆ් දෙකම ගැහුවද?.....මට විජිතයා ගැන මහා දුකක් ඇතිවුනා.

    ආදරෙයි මං ආදරෙයි.....විජිත තවමත් ආදරෙයි......වගේ පොඩි පොඩි කවි ටිකක් ලියලා දෙන්නේ නැතිව...උඹ ලිව්වේ මහප්‍රාණනේ....දැන් ඉතින් කෙලියනේ වැඩේ.

    ReplyDelete
    Replies
    1. අරූ,

      දෙකම ඇදල ඇරිය එක දිගට..මම ඒ දවස්වල හිත සක්තිමත්ද කියල බලන්ට හිටපු ගමං දුම් පානය නවත්තනව. ඒ කරල මාසයක් ඉන්නව . ආයම සතියක් බොනව..ආයම නවත්තනව..

      උඹ දන්නවද? එක දිගට සිහරට් බීම නවත්තල ඉන්න එක මහ කජ්ජක් නෙවෙයි..ඔය සමහරු කියන්නෙ..මම දැං අවුරුදු හතක් වෙනව ..දහයක් වෙනව ..සිගරට් එකක් කටේ තිබ්බෙ නෑ කියල..ඒකෙ ඇති ගේමක් නෑ බං....ටික දවසක් බීල ආයම නවත්තන්ඩ පුලුවන් නං ආන්න ඒකයි හිත හයියද කියල බලන්ට ක්‍රමේ.. :)

      Delete
  2. රවී උඹ තමා වැඩේ කාල තියෙන්නෙ.දැන් බලපන් උඹ ලියපු අප්‍රබ්‍රංස දිරවගන්න බැරුව කෙල්ල ලියුම් එවන හැටි.විජිතයට පව් බං

    ReplyDelete
    Replies
    1. හැලප,

      අම්මාපල්ල මේ මඟුල් කවි ලිවිල්ලක් හින්ද එදා ඉඳලම මම අහපු තරමක් ඇහුවෙ බැණුංම තමා. :( ......විජිතයගෙං පටං ගත්තම අනික් යාලුවො..සුජාතා ඔය ඔක්කොම මගෙ ඇඟට තමයි ගොඩ උනේ..කොටිම්ම ඔය සීන් එක හින්දම සෑහෙන කාලයක් මම කවි ලිවිල්ල නවත්තලම දාල උන්න.

      අපෙ පිරියම්බිකා තොමෝට ඔය සීන් එක කියල එවුන්දැත් මගෙ ඇඟටමනෙ ගොඩ උනෙ.." හුහ්, හොඳම වැඩේ..මෙයාටත් ඉතිං මොකද ...ඇහැට කනට පේන ඉස්තිරියාවක් නං කියන ඕනම දෙයක් කරයි "මම ඒ පාර කිව්ව.." එහෙම කියන්ට එපා අනේ ..ඔයා කියන දේවලුත් මම ඔය කරන්නෙ ඕන තරං " කියල.." හුහ්, මගෙං අහගන්ට එපා " කියල පුප්පල ගියෙ ඔය යන්ට..

      කොහොම හරි කාලෙකට පස් සෙ ඒ කතාව ලියලත් මම අහ ගන්නෙ බැණුං විතරයි :(

      Delete
  3. " මේ වරත්තු බල්ල එක්ක නම් බෑ මේ වැඩේ කරන්ට...“

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම ඔහොම දාන්න හිතිල මොනා වුනත් වැඩිහිටියෙක්නෙ කියල නිකං උන්නෙ.. :)

      Delete
    2. Mars,

      වෙන කවුරුවත් නෙවෙයි මේක ඉත්තේරුවෙම්ම අර යෝදිගෙ වැරැද්ද..

      මේ දෙයියනේ කියල ඉර පෑව්වට පස්සෙ උණු වතුර ටිකක් නාල කියල අසෝක වීදුරුවෙ කට්ටෙ ගාවට පුරවල දෙකක් ඇදල ඇරල උණුවට බත් ඩිංගක් ඔය පලා මැල්ලුමක්, පරිප්පු හොද්දක්, කරෝල බැදුමක් එක්ක බඩ පුරා කාල හිට හතර ගාතෙ දාල බුදියාගෙන ජීවිතේ ගෙවඤ්ඤංය කියල හිතාන හිටපු මං..නහකුණු ගාල බල කරල කොහොම හරි මේ බොලොග් ලිවිල්ලට ඇදල ගත්තු අර අම්මණ්ඩි ගැනයි මම මේ කියන්නෙ..

      ඉඳපං මම අල්ල ගඤ්ඤංකො ආපු දවසක....

      Delete
    3. සාතන්,

      " මේ නාකි වරත්තු බල්ල එක්ක නම් බෑ මේ වැඩේ කරන්ට " ආන්න එහෙම කිව්වනං වැඩිහිටි ගවුරවේ නිකම්ම ලැබිල

      Delete
    4. @සාතන්...

      ඔය වැඩිය දේවල් හිත හිත ඉන්න ගියොත් අවංක සුපිරිසිදු කොමෙන්ටුවකින් ලේඛකයාට සංග්‍රහ කිරීමේ අනගි අවස්ථාව මගහැරෙනවා... :D

      @රවී...
      එළම තමා.. අන්න නියම තීන්දු... හැබැයි මට ඔය වගේම නිවැරදි තීන්දුවක් ගැන මොකක් හරි කතාවක තිබුනා වගේ මතකයි... මේ නිකං බඩ තඩි මුදලාලි.. ඇට කටු.. අලියා වගේ... ආ බදාමෙට වතුර වැඩි උන සීන් එහෙකුත් තිබුනද කොහේද... :D :D :D

      Delete
  4. so.. nice writing Ravi... :)
    You know how to array.. & to keep the readers attracted... :)

    ReplyDelete
    Replies
    1. Sanda,

      Thanks Sanda.. My life was an unending chain of extraordinary events… " ඇයි යකෝ මටමනෙ මෙව්ව වෙන්නෙ" was my thinking then. But it seems I was so lucky to have lived the life to the full .Even writing this reminiscences is a positive outcome. Isn't it now?....Thanks again Madam :)

      Delete
  5. හරි සෝක් කතාව සික් කෑල්ලයි තියෙන්නෙ.. කෝ ඉතුරු කෑල්ල..

    ReplyDelete
    Replies
    1. අරූ කියන්නා වාගෙ....සෙස්ස පස්සට :(

      Delete
    2. ////අරූ කියන්නා වාගෙ....සෙස්ස පස්සට :(/////
      අඩෝ රවියෝ......චින්තන ජයසේන මහත්තයා කීව්වා වගේ.

      Delete
    3. Henry,

      A little story machang, about what you have written…

      She was an only child , the apple of the eye of her parents and had lived a secluded life from the day she was born.

      Well... naturally she came c of age and was married off to a suitable boy of her parents choice.

      After around a month or so her mother visited her. Red in the face and stammering, whispered the mother " My dear , I have to ask you..how you are coping with er..er..your..er... you know sex life?"

      " Ohhh... No problem Mama no problem at all "

      " Oh sure glad to hear that , you know some people are on to doing it the other way..thank god that your husband is not such a pervert "'

      That night when the couple were getting ready to do the daily…. heh,heh…...you know what, the girl whispered shyly " You know, dear... I would like to do it the other way... just for once at least "

      And the husband was aghast, " What?.....and fill the house with bloody kids? You crazy or something, woman ? "

      Delete
    4. Ravi's long anal for Dude's short anal......
      මම කිව්වේ කමෙන්ට්ස් ගැන.

      Delete
  6. හොඳම හරියට එද්දි කඩනව.. මොනවද බන් අයියෙ මේක ඉවරයක් කරපන්කො දිගට ලියල..

    ReplyDelete
    Replies
    1. සාතන්..

      අඩේ මම ඇවිල්ල ප්‍රොපෙසනල් ලියන්නෙක් නෙවෙයි බොල..බඩ ගෝස්තරේ හොයාගන්ට රස්සාවක් කොරන ගමං මේ ලියන්නෙ. ඒ වගේම බොලාත් ප්‍රොපෙසනල් කියවන්නො නෙවෙයි නේද? ඒ නිසා එක දිගටම ලියන්ට/ කියවන්ට බෑ නෙව :)

      Delete
    2. ඒක තමයි සාතන් කලාව. කුතූහලය තියල තමා ඉවර කරන්නේ.

      Delete
    3. කුතුහලය කියල මේක පුදුම කුතුහලයක්නෙ දිලිනි... :)
      කොටස් වසයෙන් යන බ්ලොගක් කියල මේ කියවනවමයි... මේ බ්ලොගේ තියෙන රහට පේලි පහේ කොටස් කැඩුවත් කියවන්න වෙනවනෙ... වෙන එකක් වුනා නම් දනී... :)

      Delete
    4. දිලිනි සහ සාතන්,

      ස්තූතියි ..ස්තූතියි..බොහෝ සෙයින්ම ස්තූතියි ...මා ප්‍රිය සද්ධි විහාරිකයිනි.

      ( සද්ධි විහාරික කියන්නෙ එක වෙහෙරෙහි වසන කියන තේරුමෙන්. ඒත් ඒකෙම එකම අදහස් දරණ කියන තේරුමත් තියනවා )

      Delete
  7. කියල වැඩක් නැහැ රවී..
    සුජා වගේ එල බටු එකියෙක් ඉස්සර මට ලියුම් එවද්දී අන්තිමට දුකින්/කදුළු සලන ගෑනු ළමයෙක්ගෙ පින්තුරයක් ඇදල එවනව.
    ඒ කාලෙ ඉදල උපතින්ම පැණි ටෝක් ගැන රචනා ලියන්න තරම් සහජ හැකියාවක් තිබුනද,
    මට චිත්‍ර ඇදීම ගැන තිබුනේ රවුමක් සහ ඉරි කීපයක් සමග තිත් තැබීමේ හැකියාව පමණි.
    මම ලගම යහළුවකු ගෙ උදව්ව ගත්තෙ,මම ලියපු ලිපිය යටින් මා ඉදිරිපිටදී සුළු චිත්‍රයක් ඇද ගැනීම පමණි.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි,

      එළ කෙල්ලො ගැන දැකල තියනව ඒ වගේම බටු කෙල්ලොත් දැකල තියනව..ඒත් බොලේඔ එළ බටු කෙල්ලෙක් ගැන ඔය ඇහුවමයි :)

      Delete
  8. රවි අයියෙ මම උබට වැඩිහිටියෙක් වගෙ කියන්නෙ ඔය යන කොච්චියට බෙල්ල තියන්න නම් එපා.
    හය හතර

    ReplyDelete
    Replies
    1. දමිත්,

      නෑ..නෑ..එහෙම කරන්නෙ නෑ බං ඒත් එහෙම නොකලෙ කෝච්චියකට බෙල්ල තියන්නෙ මොකටද කියල හිතල නං නෙවෙයි..අනේ මට හීනෙකිංවත් එහෙමනං හිතුනෙ නෑ..ඒත් වෙන බාහිර කරුණු කාරණා අනුව එහෙම කරන්න උනා...:(

      Delete
  9. ඔය අනුන්ගේ කෑලී වලට කවි ලිවිල්ල මාත් කරලා තියෙනවා.. එක්කෙකුට කවියක් ලියලා දුන්නා සූකිරි කැටේ කියලා.. බඩුව ඌත් එක්ක මල පැනගෙන යාන්තම් සේප් කොරන් තියෙන්නේ.. මොකෝ කෑල්ල.. පට්ට කළු දොදොල් කෑල්ලක්.. සමහර කෙල්ලො නම් අද දන්නවා කවි ලිව්වේ මම කියලා..

    කොහොම හරි මම ලව් කරපු ඒවට නම් ලියුම් ලිව්වෙම නෑ.. එකෙක්ගෙන් බේරෙන්නම බැරි තැන.. මිල්ටන් මල්ලවාරච්චිගේ, "තනිවී සිටින්නයි මා...." ලියලා දුන්න.. සින්දුවේ වගේම.. ටික කාලෙකින් තනියෙන් ඉන්නම උනා... ඒකි හිතන්න ඇති තනියෙන් ඉන්න ආස එකෙකුට මම මක්කට කරදර කොරනවද කියලා...

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, මාතලන්..නරකම නෑ නෙව උඹේ අත්දැකීමුත්...:)

      Delete
  10. සුජාතගෙ පැත්තෙන් දක්වපු කරණු අසාධාරණයි කියන්නම බැහැ.. සමහර අයට තමන්ගේ අත්දැකීම් අනුව ඔය වගේ ගතිගුණ හිටිනවා. මෙතන වැඩි වරද පැටවෙන්නේ රවි අයියටම තමයි.. (හෙහ් හෙහ් ඔන්න තවත් එකෙක්)

    හැබැ‍යි මම රවි අයියගේ තැන හිටියා නම්, මමත් නොපැකිල කවි ලියලා දෙනවා. මමත් ඔය වැඩේ කරලා තියනවා. හැබැ‍යි ඔහොම දුර දිග ගිහින් නැහැ.. ඔය ලියුම් වලට පොඩි කවි කෑලි, ගැලපෙන සින්දු එහෙම ලියනවා. සම්පූර්ණ ලියුම් එහෙමත් ලියලා තියනවා.

    දැන් ඔය ගැන කල්පනා කරලා බැලුවහම මට කළහැකි මෙන්න මේ වගේ ස්වයං විවේචනයක්...

    "පෙදෙහි රසහව් විඳුනා දෙනෙතා ඉතා දුලබෝ" කියනවනේ.. ඉතිං යන්තම් කවි දෙපදයක් ගැට ගහගන්න පුළුවන් කාලෙ ඉඳලම ඒ හැකියාව තියන අය ඇසුරු කරන්නත් මගේ තිබ්බෙ නොමඳ කැමැත්තක්. කෙනෙකුගෙ කවියකට පිළිතුරු කවියක් ලියනවා කියන්නේ හරිම සුන්දර අත්දැකීමක්... ඒ කවිය ලියන්නේ කාන්තාවක් නම්.... ඔය සුන්දරත්වය තවත් වැඩියි.

    ඒ ගැහැණු ළමයා මගේ යාලුවෙක් එක්ක පෙමින් බැඳුන කෙනෙක් වුණත්, අර කවි ලියා ගන්න එකෙන් දැනෙන හැඟීම හරි අමුතු එකක්. කවි ලියන්න පුළුවන් කෙල්ලෙක්ගේ අදහස්, හැඟීම් දැනගන්න ලැබෙන අපූර්ව අත්දැකීමක්. එක අතකින් ඒක ආත්මාර්ථකාමී හැඟීමක්. මොකද මේකෙන් ඇත්තටම මේ කෙල්ලට ආදරය කරන මගේ මිත්‍රයාට වඩා මේ කෙල්ල ගැන තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මට. නමුත් අර යාලුවගෙ කෙල්ලට හොරෙන් ට්‍රයි කරනවා වගේ වරදකාරී හැඟීමක් මෙතනදි ඇතිවෙන්නෙ නෑ.

    මේ සමහර මිතුරන්ගේ පෙම්වතියන් පස්සෙ කාලෙක අපිට මුණගැස්සුවහම, මම බලන්නේ මම හොඳින් දන්න කෙල්ලෙක් දිහා, එයා බලන්නේ මුල් වරට අඳුරගන්න කෙනෙක් දිහා... ඔන්න ඔය අවස්ථාවකදී ඇති වෙච්ච හැඟීම් දිගේ හිතනකොට තමයි මට දැනුනේ මම කරන වැඩේ එච්චර හරි නැහැ කියලා. ප්‍රේමාන්විත සිතුවිලි පහල නොවුණත් (මේක උණත් 100% එහෙමයි කියන්න මම සමත් නැහැ, හැබැ‍යි මම එහෙමයි කියලා විශ්වාස කරනවා. මේ සියලු දේටම මුල කවිය නිසා, ඒක කවිය ගැන ඇතිවෙච්ච හැඟීමක් කියලා හිතන්න මම කැමතියි), ලස්සනට කවියක් ලියන්න පුළුවන් කෙල්ලෙක්ව, කවියට ලැදි සිතකින් එහෙම ලේසියෙන් අමතක වෙලා යන්නෙ නෑ. ඒකට හොඳම උදාහරණය තමයි මේ රවි අයියා "කවිකාරියකගේ ප්‍රේමය" කතා මාලාව අවුරුදු බර ගාණකට පසුව මෙහෙම ලිවීම. දෙන්නෙක් කවියකින් යම් අදහසක් හුවමාරු කරගත්තට පස්සේ සෙසු පිරිසට වඩා වැඩි බඳීමක් වගේ දෙයක් ඒ දෙන්න අතර ඇති වෙනවා. ඒක නිකං කතාබහ නොකර, ඇස් වලින් බලලා ඇති කර ගත්ත එකඟතාවක් වගේ එකක්.

    ReplyDelete
    Replies
    1. තිසර,

      අම්මාපල්ල මලේ උඹ මල් හතට විග්‍රහ කරල තියනව මයෙ හිතේ ඇතිවෙච්චි හැඟීම ඒ විදිහටම...මචං කවියක් ලියනව කියන්නෙ ඒ වගේම ඒ කවියට ලැබුණු පිළිතුරු කවියට ආයෙම පිළිතුරක් කවියෙන්ම ලියනව කියන්නෙ ආය කියල වැඩක් නෑ බං..ඒ හැඟීම..ඒ ෆීලිං එක..ඒ ආතල් එක..ඒ අනුපමේය චිත්ත සංකල්පනා සමූහය ආය වෙන කිසිම දෙකින් ලබන්න බෑ බං..දෙයියං පල්ල මේ ඇත්ත.උඹට ආය අමුතුවෙං කියන්ට ඕන නෑනෙ...

      / මෙතන වැඩි වරද පැටවෙන්නේ රවි අයියටම තමයි /

      අඩේ මලේ මේ..ඇත්තම කිව්වොත්...මගෙ හොඳම යාලුවොත් ඒකාලෙ ඔහොමම කිව්ව නෙව..උඹ තමයි වැරදි කාරය කියල..

      ඇත්තම කියනවනං ඒ චෝදනාවත් සෑහෙන බලපෑමක් කලා ඔය ගැන මම ගත්ත තීරණයට..හරි ඒක ගැන පස්සෙ කතා කරමු..

      මේ..අඩේ බං..උඹ ගැන මයෙ හිතේ තියෙන්නෙ බොහොම පහන් හැඟීමක්..ලොකු ගෞරවයක්..ඒ නිසා අපි මේ ගැන කතා කරමු. මට කියාපං මලේ උඹ එහෙම වැඩි වරද පැටවෙන්නෙ රවි අයියටයි කියල කිව්වෙ ඇයි කියල...

      Delete
    2. //මේ..අඩේ බං..උඹ ගැන මයෙ හිතේ තියෙන්නෙ බොහොම පහන් හැඟීමක්..ලොකු ගෞරවයක්..//

      උඹ දැන් ඔහොම කිව්වහම මට කියන්න හිතෙන්නේ "පිස්සුද රවී අයියේ උන්ගෙ මෝඩකං වලට උඹ මක්කරන්නද? මෙන්න මෙහෙ වරෙන් ඕක අමතක වෙන්නත් එක්ක පොඩි සොට් එකක් දාන්න" වගේ දෙයක්. ඒත් උඹ අවංක පිළිතුරක් බලාපොරොත්තු වෙන නිසා මම ලියන්නම්කෝ... කන්දෙකේ ඇඟිලි ගහගෙන කියවපං.....

      මෙහෙමයි අයියෙ... මම කලින් කිව්ව වගේ මම එහෙම කිව්වෙ, උඹ හිටිය තත්වෙ මම හිටියා නං කියන උපකල්පනය කරලා... මම කිව්වනෙ මමත් කරන්නෙ අයියා කරපු දේම තමයි කියලා.. හැබැයි ඒක හරිද කියලා මම ම හිතලා බැලුවොත් මගේ හිත කියන උත්තරය තමයි නැහැ කියන එක.

      මුලින්ම විජිතගෙ ඉල්ලීම පිට කවි ලියලා දෙන්න එකඟ වෙච්ච එකේ වැරැද්දක් මම දකින්නෙ නැහැ. නමුත් අයියා සුජාතාව හමුවෙන මුල් දවසේ ඇතිවෙන කතාබහෙන් පස්සෙ විජිත සුජාතාට ගැලපෙනවද කියන ප්‍රශ්නය අයියගෙ හිතේ නොනැගුණා කියලා හිතන්න අමාරුයි. නාට්‍ය සාහිත්‍ය පොතපත ගැන ඔය දෙන්නා කතාකලා විජිත ඉඳහිට සහභාගි උණ කියලා අයියා ලියලා තියනවා. ඔය දේවල් ගැන සීරියස් ඉන්ටරස්ට් එකක් තියන කෙල්ලෝ ඉන්නේ බොහොම අඩුවෙන් කියන එක අයියා දන්නවනේ... කෙල්ලෝ විතරක් නෙමෙයි කොල්ලෝ උණත් එහෙමයි. නමුත් සාපේක්ෂව ගත්තොත් කෙල්ලන් අතර ඔය ප්‍රතිශතය හරිම අඩුයි කියලා මම හිතන්නේ. සුජාතාගෙ ඉන්ටරස්ට්, එයා හිතන පතන ආකාරය ගැන, ඒ කුඩා හමුවීමෙන් උණත් සෑහෙන දේවල් ග්‍රහණය කරගන්න අයියා වගේ කෙනෙකුට හැකියාව තියනවා. අනික සුජාතාගෙ කවි කියවලා කෙල්ල ගැන සෑහෙන අවබෝධයක් අයියට ලැබෙන්නත් ඇති. ඒ නිසා සුජාතා වගේ කෙනෙකුට දිගටම කවි ලියන එක ඉස්සරහදි සීරියස් කේස් එකක් වෙයි කියන සැකය අයියාගෙ හිතේ ලාවට හරි ඇතිවෙන්න අතියි කියලා මම හිතනවා.

      අයියට වැරැද්ද පැටවෙන්නේ අන්න ඒ උපකල්පනය උඩ. කවුරු කිව්වත් නොකිව්වත්, අයියටම උණත් පොඩි ගිල්ටි ෆීලිං එකක් දැනෙන්න ඇතිය කියලත් මම හිතනවා. සමහර දේවල් වලදි මිනිස්සු ඇඟිල්ල දික්කරන්නේ වැරැද්ද කරපු කෙනාටම නෙමෙයි, ඒ වැරැද්ද වලක්වාගන්න වැඩිම හැකියාවක් තිබ්බ කෙනාටයි. ඒ අර්ථයෙන් තමයි අයියා මෙතනදි ගිල්ටි කියලා මට හිතෙන්නේ.

      නමුත් ඕකේ අනිත් පැත්ත මෙහෙමයි. ඔය කවි හුවමාරුවෙන් ඇති වෙන අර මම කලින් කිව්ව අපූරු හැඟීම, වැරැද්දක් නෙවෙයි කියලා අපිටම හිත හදාගන්න ඕන තරම් හේතු තියනවා. මගේ අත්දැකීම හැටියට ඔතනදි ගැහැණු ළමයා ගැන පෙම්වතෙක් තුල ඇතිවෙන හැඟීම් වගේ ඒවා ඇතිවෙනවා අඩුයි. එක නිකං සුන්දර කෙල්ලෙක් ලස්සන නැටුමක් නටනවා බලං ඉඳලා සතුටු වෙනවා වගේ දෙයක්... එහෙම නැත්නම් ඒ ගැහණු ළමයා ගැන කවුරුත් නොදන්න දේවල් තමං දන්නවා කියන හැඟීමෙන් ඇතිවෙච්ච සතුටක්. ඒ නිසා ඔය දේ (කවි ලිවීම) නතර කරන්න තරම් බලවත් හේතුවක් අපිට ලැබෙන්නේ නැහැ, මොකක් හරි ඔය වගේ ප්‍රශ්නයක් ඇතිවෙනකම්... විශේෂයෙන් ඒ වගේ දේවල් උපරිමයෙන් විඳින කෙනෙකුට. එහෙම බලනකොට විජිතගෙ නමින් අයියා කවි ලියන්න ගන්නකොටම ඔය ප්‍රතිඵලය නියතයක්... වන් වේ ඕ දි අදර්.... ජස්ට් අ මැටර් ඔෆ් ටයිම්.... අනික ඔතනට අයියා ගැවුණත් නැති උනත් විජිත-සුජාතා කියන්නෙ අසාර්ථක ආදර කතාවක් වෙන්න තියන ඉඩකඩ වැඩියි.

      අර සමහර දේවල් තියෙන්නේ අයියෙ... ඒක සිද්ධවෙන්න කලින් ඒක වලක්වන්න බැහැ, නමුත් සිද්ධ වුණාට පස්සෙ හිතෙනව මම මෙහෙම කලා නම් ඕක වෙන්නෙ නෑනේ කියලා... අන්න ඒ වගේ... සමහර විට අපිව වැරදිකාරයා කරන්නෙ අපේ හර්දයසාක්ෂිය. දඬුවම තමයි ජීවිතාන්තය දක්වා තියන හිත කොනිත්තන මතකය සහ ඒ මතකය හිතේ ඇතිකරවන බර.

      Delete
    3. තිසර,

      ස්තූතියි මල්ලි..පහුගිය දවස්වල බොහොම කාර්‍ය බහුල වෙලත් මගෙ ප්‍රශ්නෙට දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කරන්ට කාලය මිඩංගු කිරීම සහ ඒ කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන්.

      ප්‍රත්‍යාවලෝකනයේදී මට හිතෙනව උඹ සීයට සීයක්ම හරිය කියල.දැං ඔය බොහෝ දේවල් තියනව අපි ඒ ගැන හොඳටම දන්නව..අලුත් දේකුත් නෙවෙයි. ඒත් හරියට ඔලුවට වැටෙන්නෙ වෙන කවුරු හරි කරුණු අනුපිළිවෙලට එකින් එක පැහැදිලි කලාම.

      පොඩි උදාහරණයක්..ඔය අපි බොහොම උනන්දුවෙන් ක්‍රියාත්මක කරන S5 සංකල්පය ගමු.යම් උපකරණයක් නියමිත තැනක තියන්ට ඕනය කියල අපිට ජපනා කියන්ට ඕනද? ඒක අපි කලින් දන්නෙ නැද්ද? එතකොට අනවශ්‍යය දේ වීසි කරල දා එකත් එහෙමනෙ. ඒත් එතන වැදගත්කම ඒ කරුණු අනුපිළිවෙලට ගොනු කරල පිළිපැදිය යුතු ක්‍රමෝපායයන් කියල සංකල්පයක් විදිහට කිව්වම තමයි කාටත් වැටහෙන්නෙ... හිතට වදින්නෙ.අන්න ඒ වගේ තමයි මලේ උඹ කිව්වට පස්සෙ අඩේ ඇත්ත නේද කියල මට හිතුනට මගෙ හිතේ ඔය හැඟීම හැංගිල තිබ්බයි කියල මට හිතෙනව.

      රායිට්ට්ට්ට්ට්... සම්පිණ්ඩනය අවසානයි..දැං විත්ති වාචකයට කාලයයි..මම ඇවිල්ල මල්ලි ඔය කිසිම දෙයක් ගැන අරම වෙන්න ඕනය මෙහෙම වෙන්න ඕනය කියල දැඩි අධිෂ්ඨාන එහෙම නැත්තං ප්‍රතිපත්ති තිබ්බවත් තියනවත් මනුස්සයෙක් නෙවෙයි. මගෙ ජීවිතේ හැමදේම සිද්ද උනේ අහම්බෙන් වගේ.මගෙ ඕන කමට වඩා මගෙ දෛවයෙ නැත්තං ඉරණමේ ලියවිල තිබ්බ නිසාය කියල කිව්වොත් බොහෝ දුරට හරිය කියලයි මට හිතෙන්නෙ.

      ජීවිත ප්‍රවාහයට බැහැල ඉලක්කයකට යනවට වැඩිය ප්‍රවාහයෙන් අයින් වෙල ඒ දිහාබලා ඉන්නයි මම අදත් කැමති.උඹ අහල ඇති අර සුප්‍රසිද්ධ කතාව. ගහක් යට තණබිස්සක වැතිරිල ගීතයක් ගයමින් උන්නු තරුණයෙක් ගැන.අර එතනින් යන වයසක මහත්මයෙක් අහන්නෙ මොකද ලමයා තරුණ කාලේ ජීවිතේ ඔහොම නිකරුණේ නාස්ති කරන්නෙ කියල..එතකොට තරුණයා අහනව එහෙනම් මොකද මම කරන්න ඕන කියල..කොහොම හරි අන්තිමට මහළු මහතා කියනව මෙහෙම. ඔබ මහන්සි වෙල වැඩ කරල ධනවතෙක් උනාම ඔබට පුළුවන් ජීවිතේ සැහැල්ලුවෙන් විනෝදෙන් ගත කරන්න..තරුණයා හිනාවෙලා කියනව ඉතිං ? මම මේ දැනුත් කරන්නෙ ඒකනෙ කියල

      මේ කතාව මුලින්ම කියවපු දවසෙ ඉඳල මගෙ ජීවිතේ ආදර්ශ පාඨය උනේ මේ කතාව. ඒ තරුණය වගෙ ජීවත් වෙන්නයි මට ඕන කලේ. එහෙම හිතන එකේ වාසි වගේම අවාසිත් බොහොම තියනව. මම ඒක දන්නව. ඒත් ඇත්තම කියනවනම් මෙතෙක් මගේ දෛවය මට බොහොම කාරුණික වෙලා තියනව මගෙ දැඩි උත්සාහයක් නැතුවම ජීවිතේ සාර්ථක කරගන්ට ( වඩාත්ම නිවැරදිව මම හිතන විදිහට ජීවිතේ සාර්ථක කරගන්ට ).ඉතිං මල්ලි මේ කරුණු ප්‍රස්තුත සුජාතගෙ සිද්ධියට අදාල වෙන්නෙ මෙහෙමයි. මේ වංචාව රැවටිල්ල මොන පරමාර්ථයෙන් කලත් ඒක වංචාවක් රැවටිල්ලක්ම මිස වෙන දෙයක් නොවන බව මම මුල ඉඳන්ම දැනගෙන හිටිය. නිකම් විහිලුවට වගෙ මුල්ම දවසෙ කවි ලිව්වට පහුවදා උදෙන්ම මම විජිත හම්බ වෙන්ට ගිහිල්ල මෙහෙම කිව්වෙ ඒ නිසා

      Delete
    4. / මයෙ හිතේ අහුමුල්ලක මොකක් හරි වද දෙනව උදේ නැඟිට්ට වෙලාවෙ ඉඳලම. ඇත්තම කිව්වොත් ඊයෙ රෑ මත් වෙලා හිටිය උනත් කොච්චර සිංදු කිව්වත් නැටුවත් මොනවහරි වැරැද්දක් අඩුපාඩුවක් තියෙනවය කියන හැඟීම මගෙ හිතේ කොණක පැළපදියම් වෙලා ඉඳගෙන මට වද දුන්නෙ හීතල කාලෙ මිදුල මැද අපි ගිණි තපින්ට ගහන ගිණි මැලේ නිවිල ගියාට පස්සෙං පහු උනත් එකපාරටම කොහේද ඉඳල හමාගෙන එන හුලං රැල්ලකිං අළු අයිංවෙලා ගිණි දැල්ලක් මතුවෙලා දිලිසෙන්නැහෙ.

      ජෑම් ගහ යට පිටපළුව උඩ ඉඳගෙන හීතලට අත්දෙකත් පෙරවාගෙන ඉන්නකොට ඔන්න මයෙ හිතට එක පාරට ආව මේ දෙගිඩියාවට හේතුව මොකද්ද කියල.

      ඊයෙ අර ලියාපු කවි .......ඒ වෙලාවෙ ජොලියට වගෙ වැඩේ කලාට මේ කරන්නෙ වැරැද්දක්ය අසාධාරණයක්ය කියල මගෙ හිත මට වද දුන්න. .කිසිම කෙනෙක් මාව රවට්ටනවට මම කැමතිනෑ වගේම තමයි කවුරු උනත් කැමති නෑ කිසිම කෙනෙක් තමන්ව රවට්ටනවට…

      මේ කිසිම දෙයක් නොදන්න අහිංසක යුවතියක්…. ආදරය සෙනෙහස හොයාගෙන ජීවන මංපෙතේ හුදකලාව පියමනින සොඳුරු යුවතියක්, මුලාවෙ දමන්ට රවට්ටන්ට මමත් හවුල් උනාය කියන හැඟීම මගෙ හිතෙං කොහොමටවත් අයිං කරගන්ට මට බැරි උනා.

      විජිතය හිටියෙ කෑම්ප් එකේ මහ හේට්ටුව ලඟම කොහොඹ ගහ යට ක්වාටස් එකේ. එළිය වැටෙනකල් වත් ඉන්නෙ නැතුව මම ටෝච් එකත් ගහගෙන ඌ හම්බ වෙන්ට ගියා. දොරවහල උගෙ කාමරේ…

      " මලේ..විජිත...ඒයි මේ දොර ඇරපං….." දොරට හත් අට පාරක් තඩිබානකොට විජිතය සරමත් ඇඳ ඇඳ ඇවිල්ල දොර ඇරිය. මාව දැක්ක ගමං උගෙ ඇස් ලොකු උනා..

      " ඇයි අයියෙ මේ පාන්දරම? කාටවත් අසනීපයක් වත්ද?.."

      " නෑ..නෑ එහෙම එකක් නෙවෙයි…"

      කාටහරි අසනීපයක් නං ඉස්පිරිතාලෙ අරං යන්නෙ නැතුව උඹට කියන්ට එන්නෙ උඹ මොකෝ දොස්තරද? එහෙම තොල මතුරමින් මම කාමරේට ඇතුල් වෙලා ලියන මේසෙ ගාව තිබ්බ පුටුව ඇදල අරගෙන වාඩි උනා. විජිතයත් අතිම්ම කොණ්ඩෙ හද හද උගෙ ඇඳේම ඔන්න වාඩිඋනා කෙලවරට වෙන්ඩ..

      " ඇයි අයියෙ?..." ඌ ආයෙම ඇහුව..

      " මල්ලි මේ……." මම ඔලුව උස්සල උගෙ මූණ දිහාවෙ බැලුව..

      " අර මම ඊයෙ ලියපු කවි පෙල ……"

      " ඔව් ඉතිං? "

      " මේ ඒක අර ගෑනු ළමයට යවන්න එපා මල්ලි."

      කොල්ලගෙ මූණ කළු උනෙ බලාගෙන ඉන්දැද්දි..

      " අනේ ඇයි අයියෙ ඒ?.."

      " අර ඊයෙ ජයේ කියාපු හින්දයි උඹේ මූණ බලාගෙන බෑ කියන්ට බැරිකමටයි මම ඔය කවි දෙක තුන ලියල දුන්න නං තමයි. ඒත් මල්ලි අපි මේ අර ළමයට ලොකු වංචාවක් රැවටිල්ලක් නේද කරන්නෙ කියල මට හිතෙනව බං…"

      හීංවට නළල ඇතුලෙං කැක්කුමක් මතුවෙන්ට ගත්ත හින්ද දෑතෙ ඇඟිලි වලින් නළල දෙපැත්ත මසාජ් කරන ගමන් මම කිව්ව......

      " එහෙම වෙන්නෙ නෑ අයියෙ මම සුජාට ආදරෙයි..එහෙම හිතල බලනකොට මේක එක විදිහක වංචාවක් නම් තමයි. ඒත් ඒ ආදරේ හින්දම කරන වංචාවක්..මම හිතන්නෙ සුජා මට ඒකට සමාව දෙයි.."

      මගෙ හිස රුදාව ටික ටික වැඩිවේගන එනව ඔන්න..මේ ඔය ආදරේ ගැනවත් වංචා ගැනවත්...ආදරේ නිසා කරන වංචා නියම විදිහට ඒ කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්තයෙන් වංචා රැවටිලි ගණයට ගැනෙනවද නැද්ද කියලවත් කෙස් පලන තර්ක ගෙනල්ල සාකච්ඡා විමර්ශන කරන වෙලාවක් නෙවෙයි

      " හරි මල්ලි එහෙනං ඕන එකක්...උඹ එහෙනං ඒ ළමයට වැඩි කල් නෑර මේ විස්තරේ ඔක්කොම කියනව නේද? " මම ඔලුව අල්ලගෙනම නැඟිට්ට.

      " හරි අයිය බය වෙන්න එපා..එහෙම රැවටිල්ලක් කෙරෙන්නෙ නෑ. මම ඒ ඔක්කොම බලාගන්නං.." විජිතය හිනාවෙලා එහෙම පොරොන්දු උනා. /

      එතනින් එහාට මම විජිතට මොකවත් කියන්ට ගියේ නෑ.මම කිසිම කෙනෙකුට උපදෙස් දෙන්නෙත් නෑ. ඒ වගේම කවුරුවත් මට උපදෙස් දෙනවට මගේ කොහොමවත් කැමැත්තකුත් නෑ.

      විජිත ගැන එහෙමයි. සුජාතා ගැන හිතනකොට ඒ දෙන්න ගැලපෙන්නෙ නෑ කියල මට නොහිතුනා නෙවෙයි. ඒත් ඒක ඒ දෙන්න බලාගන්ට ඕන දෙයක් විසඳුමකට එන්ට ඕන ඒ දෙන්න..මට අයිතියක් වත් යුතුකමක්වත් නෑ ඒකට මැදිහත් වෙන්ට කියලයි මට හිතුනෙ. අනික් කාරණේ සුජාතව රවටන එක. ඒකත් කවදහරි එලි වෙන්ටම එපාය. එහෙම උනාම ඒ ගැන කල්පනා කරල තීරණයක් ගන්න එක සුජාතගෙ වැඩක්..කොහොමවත් මම ඒකට මැදිහත් වෙන එක හරි නෑ කියලයි මට හිතුනෙ.මම වැරදියි කියල බොහෝ දෙනෙකුට හිතෙන්න පුලුවන්. ඒත් ඒ මම හිතපු විදිහ . මට හිතුන විදිහ.දෛවයේ ඉරණමේ ලියවිලා තියන විදිහට වැඩ සිද්ධ වෙයි. ඒ ප්‍රෝසස් එකට මැදිහත් වෙන්න මට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ.

      And then again , I didn't want to be a judge. Who am I do judge anyone?. I was an observer and was totally contended with letting things happen as they were destined to be..

      Thanks Thisara again, for your in-depth review and frank comments , making me re-visit an episode in my life a long ago regarding which I still don't have a definite opinion one way or the other.

      Delete
    5. ////////මම ඇවිල්ල මල්ලි ඔය කිසිම දෙයක් ගැන අරම වෙන්න ඕනය මෙහෙම වෙන්න ඕනය කියල දැඩි අධිෂ්ඨාන එහෙම නැත්තං ප්‍රතිපත්ති තිබ්බවත් තියනවත් මනුස්සයෙක් නෙවෙයි. මගෙ ජීවිතේ හැමදේම සිද්ද උනේ අහම්බෙන් වගේ.මගෙ ඕන කමට වඩා මගෙ දෛවයෙ නැත්තං ඉරණමේ ලියවිල තිබ්බ නිසාය කියල කිව්වොත් බොහෝ දුරට හරිය කියලයි මට හිතෙන්නෙ.

      ජීවිත ප්‍රවාහයට බැහැල ඉලක්කයකට යනවට වැඩිය ප්‍රවාහයෙන් අයින් වෙල ඒ දිහාබලා ඉන්නයි මම අදත් කැමති.උඹ අහල ඇති අර සුප්‍රසිද්ධ කතාව. ගහක් යට තණබිස්සක වැතිරිල ගීතයක් ගයමින් උන්නු තරුණයෙක් ගැන.අර එතනින් යන වයසක මහත්මයෙක් අහන්නෙ මොකද ලමයා තරුණ කාලේ ජීවිතේ ඔහොම නිකරුණේ නාස්ති කරන්නෙ කියල..එතකොට තරුණයා අහනව එහෙනම් මොකද මම කරන්න ඕන කියල..කොහොම හරි අන්තිමට මහළු මහතා කියනව මෙහෙම. ඔබ මහන්සි වෙල වැඩ කරල ධනවතෙක් උනාම ඔබට පුළුවන් ජීවිතේ සැහැල්ලුවෙන් විනෝදෙන් ගත කරන්න..තරුණයා හිනාවෙලා කියනව ඉතිං ? මම මේ දැනුත් කරන්නෙ ඒකනෙ කියල

      මේ කතාව මුලින්ම කියවපු දවසෙ ඉඳල මගෙ ජීවිතේ ආදර්ශ පාඨය උනේ මේ කතාව. ඒ තරුණය වගෙ ජීවත් වෙන්නයි මට ඕන කලේ. එහෙම හිතන එකේ වාසි වගේම අවාසිත් බොහොම තියනව. මම ඒක දන්නව. ඒත් ඇත්තම කියනවනම් මෙතෙක් මගේ දෛවය මට බොහොම කාරුණික වෙලා තියනව මගෙ දැඩි උත්සාහයක් නැතුවම ජීවිතේ සාර්ථක කරගන්ට ( වඩාත්ම නිවැරදිව මම හිතන විදිහට ජීවිතේ සාර්ථක කරගන්ට ).//////////

      මම මේ කොටසට බොහොම කැමතියි..ඒක මගේ චරිතයට හරිම සමීපයි.

      උඹ විස්කි ගැන ආසයි නම් මේ බ්ලොගේ මම දාපු කමෙන්ට් එක කියවපන්.


      http://atheethagamanmaga.blogspot.co.uk/2013/10/blog-post_25.html?showComment=1382794779310#c3646558017887090935///////

      Delete
    6. aru,

      කියෙව්ව කියෙව්ව..මම ඇවිල්ල බෝම දුප්පත් එකා වෙච්චි..VAT 69, Black & White සහ Jack Daniel's තමයි ඉතිං අපේ පාවිච්චිය :)

      Delete
    7. මාත් එහෙම එකා වෙච්චි. මට ඔය විෂය ගැන දැණුමයි අත්දැකීමුයි තමයි තියෙන්නේ. මම විස්කි බීම අත්හැරලා වයින්වලට බැස්සෙත් පොකට් එකට හොඳ කමයි ,ගොඩාක් වෙලා තනියම උනත් එන්ජෝයි කරන්න පුළුවන් නිසා. පොතක් පතක් කියවගෙන ඉන්න හැකි. සල්ලි ප්‍රශ්ණ අන්තිම අමාරු, බීම ජීවිතය කර ගත්ත අය නම් බොන්නේ සයිඩර්. හෙන ලාබයි. මම ඕමාන් ඉන්නකොට නම් සල්ලි දීලා ගන්නේ ඉන්දියන් විස්කි.ලාබයිනේ.

      Delete
  11. උඹ නිල් පාටින් disclaimer එකකුත් දාලා පාඨකයගේ කටවල් වැහුවා නේ? :D

    වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාවැටෙන එකත් කොච්චර ෂෝයිද කියලා මමත් කල්පනා කලේ.
    හැබැයි සුජාතා සි‍ටු දුව ඔය කියන විදියේ අවංක පුද්ගලයෙක් නම් හොයන්නේ උඹටත් හුලං තමයි මචං. හොහ් හොහ්!

    ReplyDelete
    Replies
    1. Henry,

      / වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාවැටෙන එකත් කොච්චර ෂෝයිද කියලා මමත් කල්පනා කලේ. /

      වණේ තියන එකයි ඒකෙ අරුමෙ දන්නෙ කිව්වැහෙ දේවාලෙ ඔළුවට වැටිච්චි එකා තමයි ඒකෙ රඟේ දන්නෙ...

      / හැබැයි සුජාතා සි‍ටු දුව ඔය කියන විදියේ අවංක පුද්ගලයෙක් නම් හොයන්නේ උඹටත් හුලං තමයි මචං. හොහ් හොහ්! /

      ඇයි බොල හෙන්රියෝ...මේක මට කියාපිය...මොකද මෙතන මගෙ අබංක කොමට වෙලා තියෙන්නෙ?

      Delete
  12. බර කරත්තයක්නෙ රවීයයියෙ... හි හි....

    ReplyDelete
    Replies
    1. හිරූ,

      උඹට මම දවසකුත් කිව්වා..සුජාට අනම් මනං කියන්ට එන්ට එපා හොඳද? මට ඕන දෙයක් කියාපං..ඕනමනං මරාගෙන කාපං ( දිඩි දිඩි යන අනුකරණයෙන් පපුවට ගහ ගන්න අතරෙ මේ කියන්නෙ..ඇහුණද? ) ඒ අහිංසක කුල කතට වචනයක් හරි කියල තිබ්බොත් මං නරක මිනිහයි කියන්ට එපා හොඳද?..අපි එහෙමයි..හොඳට හොඳයි නරකටත් ඒ වගේමයි.... ඒ කියන්නෙ නරකටත් හොඳයි

      Delete
    2. රවී අර දිඩි දිඩි යන අනුකරණයෙන් පපුවට තඩිබාගත්ත කෙනාගේ කතාවෙ ලින්ක් එක දානවද තරහ නැතිව,මම ඒ කතාව හෙව්ව හොයාගන්න බැරි උනා

      Delete
  13. සුජාතා නම් අදහන්න වටින කෙල්ලක්නේ!!
    කොහොම හරි කවි කාරයට පතරංග ජාතකයක් වගේ ලියුමකුත් ලියලා එව්වනේ..මෙන්න ආදර්ශයට ගන්නවා නම් ගෑල්ලමයි.

    තමන් කැමති පිරිමි ළමයා මුණ ගැහුනම ආයේ තැවි තැවී ඇඹරි ඇඹරි ඉන්නැතිව ලියලා ඇරියා ලස්සන ලියුමක්..
    වෙල් ඩන් සුජා..

    ReplyDelete
    Replies
    1. රූ,

      ආන්න එහෙම වරෙන්...ඔය ඉන්නෙ ඔය ඉන්නෙ යමක් කමක් තේරෙන මානවිකාවක්...ඉස්තූතියි...ඉස්තූතියි...:)

      Delete
  14. බලන්න කනිරසේට හිත වෙනස් වෙච්ච හැටි. දැන් ඉතිං බලමු දෙන්න වෙච්ච උත්තරේ මොකක්ද හැබෑටම දෙවනි ලියුම ලියලා සුජා දිවි නහගත්තවත්ද?

    "අර සරණ, මේ සරණ, බුදුසරණ කියල එහෙම අන්න එව්ව"

    ඇත්තටම මේ "සුබ සරණ" වගේ පුංචි පත්තර කලාව අපි ඉස්කෝලේ ගිය 80 දශකයේ නම් ගජරාමෙට ජනප්‍රියයි.එකක් හම්බ වුනොත් පුරා වස්තු ආරක්සා කරනවා වගේ එව්ව ආරස්සා කලේ.
    දැන් එව්ව නැද්ද මංදා...

    ReplyDelete
    Replies
    1. දයා,

      / බලන්න කනිරසේට හිත වෙනස් වෙච්ච හැටි. /

      මොකක්ද දයා ඒ වචනෙ? කලින් අහලම නෑ…Is it a legal term or what?... :)

      / ඇත්තටම මේ "සුබ සරණ" වගේ පුංචි පත්තර කලාව අපි ඉස්කෝලේ ගිය 80 දශකයේ නම් ගජරාමෙට ජනප්‍රියයි. /

      හැත්තෑව දශකයෙ ඔව්ව තිබ්බෙ නෑ..මම පුංචි පත්තර පාඨකයෙක් උනේ රස්සාවට ගියාට පස්සෙ.

      Delete
  15. පිරිමි ළමයින්ටත් තිබිල තියෙන ප්‍රශ්න. මන් හිතන්නේ ගැහැණු පාර්ශවය නම් වෙන අයට කියල කවි ලියෝ ගන්නේ නැතුව ඇති. බැරි වැඩ කරන්න ගිහින් නාගැනීමේ නිසඟ කුසලතාවය වැඩිය ඇත්තේ ඔය ගොල්ලන්ට තමයි.

    ReplyDelete
    Replies
    1. Bindi,

      පහුගිය කොටසෙදි සඳාට මම කිව්වැහෙ එව්ව අපෙ ජාන වලම තියෙන එව්ව බොල...අපිට දොස් කියල කිසිම වැඩක් නෑ.

      " ස්වකීය වර්ගයා නොනැස පවත්වා ගැනීමේ උදාරතර කාර්යය ඉටු කරනුවස් ජානගතවම පිහිටනා මෙම චර්යාවන් හේතුවෙන් බොහෝවිට පුරුෂ පක්ෂයට අනීවාර්තයේ ඇදගන ස්නානය කිරීමට ද සිදුවන බව නොරහසකි. "

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...