Tuesday, December 23, 2014

295. සිද්ධාර්ථ ගෞතමයෝ ද මෙසේ වදාළෝය.




" ඊයෙ සිරසෙ ගිය සටන ප්‍රෝග්‍රම් එක බැලුවද? " 

මේ පහුගිය ඉරිද රාත්තිරියෙ හතට වගෙ කතා කරද්දි අපෙ ප්‍රියම්බිකා තොමෝ එහෙම ඇහුව. 

" ඇයි එහෙම ඇහුවෙ? මොකක්ද විශේෂෙ? " 

" නෑ ඔයාගෙ යාලුව ආව ඊයෙ.." 

" මගෙ යාළුව? කවුද බොලේ ඒ?.." 

" ගාමිණී වියන්ගොඩ..." 

ගාමිණී වියන්ගොඩ කියන්නෙ මම ප්‍රියකරන මනුස්සයෙක්.පරිවර්තකයෙක් හැටියට ගාමිණී බොහොම ප්‍රසිද්ධ උනාට මට මතක විදිහට මම මනුස්සයගෙ පරිවර්තන කියවලාම නෑ. රාවය පත්තරේ මම පුරුද්දක් විදිහට ගත්තෙ සඟරාවක් විදිහට මුලින්ම නිකුත් වුන කාලෙ ඉඳල.රාවයට ගාමිණී වියන්ගොඩ ලියපු අවරදිග ආවර්ජනා තීරු ලිපිය මම හැමදාම බොහොම ආසාවෙන් කියෙව්ව. 

පරිවර්තන කියවන එක මම අතඇරලම දාල හුඟක් කල්.ලංකාවෙ බොහොමත්ම ප්‍රසිද්ධ සහ ජනප්‍රිය පරිවර්තකයො / පරිවර්තිකාවන්ගෙ පොත් හත අටක් මම කියවල තියනව එච්චරයි. ෂර්ලොක් හෝම්ස් පොත් පරිවර්තනය කරල බොහොම ජනප්‍රිය වෙච්චි එක් මහත්මයෙක් " Bohemian Life " කියන වචන දෙක පරිවර්තනය කරල තිබ්බෙ " බොහීමියන් ජාතිකයකුගේ ජීවිතය " කියලයි. Bohemian කියන වචනෙට ඉංග්‍රීසි භාෂාවෙ අර්ථ දෙකක් තියනව කියල ඒ මහත්මය දන්නෙ නෑ. බොහීමියානු වැසියෙක්... ඒ ඇවිදිල්ල හිට එක අර්ථයක්. ඒත් පොතේ ඒ අවස්ථාව අනුව යෙදෙන්නෙ අනික් අර්ථය. ඒකෙන් කියවෙන්නෙ සම්මතයට එරෙහි දිවි පෙවෙතක් ගත කරන ඒ වගේම නාට්‍ය, චිත්‍ර ශිල්පය ආදී කලා කටයුතුවල යෙදෙන පුද්ගලයෙක් කියන එක. 

ඔය වගේ තවත් මට හැමදාම හිනා යන එකක් තියනව." හමුදා බුද්ධි අංශය එල්.ටී.ටී.ඊ. ආයුධ ගබඩාවක් සොයාගනී. " ටික කාලෙකට ඉස්සෙල්ල නිතරම පත්තරවල රූපවාහිනියෙ ගිය ප්‍රවෘත්තියක් ඔය. හමුදා බුද්ධි අංශය කියන්නෙ මම හිතන්නෙ ඔය දැනුම මිනුම තරඟ වලට සහභාගි වෙන්ට කියල හදපු සෙබළු සෙබළියො කාණ්ඩයක් වෙන්ට ඕන...වෙන ඉතිං මොකක්ද හිතාගන්ට ඇහැකි? 

තවමත් මම හිතන්නෙ ඔය " බුද්ධි " කෑල්ල පාවිච්චි වෙනව. ඒකත් ඔය ඉංග්‍රීසි භාෂාවෙ Intelligence කියන වචනෙට තේරුම් දෙකක් තියනවයි කියල නොදන්න බක පණ්ඩිතයෙක්ගෙ පරිවර්තනයක්. මට පුදුම එහෙම ඒ වගෙ සම්පූර්ණ වැරදි භාවිතාවක් දැන් කාලෙක ඉඳල කරගෙන එන එකටත් වඩා කවුරුවත්ම ඒ වැරැද්ද හදන්නෙ නැති එකට. 

පස්සෙ ඉතිං ඔන්න සෙනසුරාදා සිරස රූපවාහිනියෙ ප්‍රචාරය වෙච්ච සටන වැඩ සටහන මම ඊයෙ රෑ බැලුව.. චම්පික, රාජිත සහ ආචාර්ය හර්ෂ ද සිල්වා සමඟ ගාමිණී වියන්ගොඩ සාකච්ඡාවට සහභාගි වුනේ. 

වැඩ සටහන අවසාන හරියෙදි ගාමිණී වියන්ගොඩ මෙහෙම කිව්ව. 

" දැන් මේ රටේ ප්‍රශ්නයක් තියනව ඉස්සරහට වෙන්නෙ මොකක්ද? මෙතනින් එහාට මොකක් වෙයිද? තිබුනු තත්වයටත් වඩා නරක් වෙයිද? ඔන්න ඔය වගෙ දෙගිඩියාවක් තියනව.මම කැමතියි මේ වෙලාවෙ බුදු හාමුදුරුවො දේශනා කරපු කරුණක් ඇසුරුන් යම් පැහැදිලි කිරීමක් කරන්න..මේක කවියට නැඟුවෙ ශ්‍රෙෂ්ඨ නාට්‍යවේදී බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්. එක්දාස් නමසිය හැත්තෑවෙ අවුරුද්දෙ විතර බ්‍රෙෂ්ට්ගෙ මේ කවිය සිංහලට නැඟුවෙ මහාචාර්ය කාලෝ ෆොන්සේකා. ඒ දවස්වල මම කටපාඩම් කරගත්තු ඒ කවිය මෙහෙමයි.... "

තණ්හාවේ දෝසේ- දුටු බුදුන් වහන්සේ, 
තණ්හාව නසා- විමුක්තිය පතා, 
නිවන් මග මේ යැයි- පෙන්වා දුන් සේක. 
ඉක්බිතිව දවසක්, ගෝලයෝ පිරිසක්, 
ඇසුවෝය හිමිගෙන්, එක්තරා පැනයක්.......

තණ්හාව හල විගස, සැණයකින් අප ලබන,
ඔබ කියන ඔය නිවන කෙබඳුදැ යි කියනු මැන,
එවිට අප සියලූ දෙන- තණ්හාව නසනු ඇත.
බඹ ලොවට පිවිසීම වාගේද නිවන් සුව,

ඉර මුදුන් වෙලාවේ, විලක් මැද තනි වෙලා, 
කුසීතව පාවෙමින් සිටින්නා වාගේද,
ඔබ කියන ඔය නිවන, පැහැපත් ද පියකරු ද,
නොඑසේ නම් එය- සිත නැති කය නැති, 
කිසිම දෙයක් නැති දෙයක්දෝ ස්වාමීනි? 

මෙය ඇසූ හිමි සඳ - හෝරා ගණනක් වැඩ හිඳ නිසලව, 
කීවේ මෙලෙස ය: 

ඔබ ඇසූ පැනයට- පිළිතුරු නැත මට,
එහෙත් එම දිනයේ- සැන්දෑ සමයේ,
බෝ රුක් සෙවණේ වැඩ සිටි සමිඳා,
පැන ඇසූ සිය සිසු පිරිස ගිය පසු, 
එහි සිටි සෙසු දන සැම අමතාලා,
දෙසූහ මේ සුළු කතාව උපමා.....

දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි,
රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි,
එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා,
පිටවන්නැ යි මම කීවෙමි. 

එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත, 
එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ, 
ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද,
දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද? 
මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය. 

මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ, 
මට සිතුණා මේ දරුවන්, 
නගන ප‍්‍රශ්න නවත්තන්නේ,
ගින්නෙන් නැසුනාම කියා. 

සත්තකින්ම ප‍්‍රිය දරුවනි, 
යම් මිනිසෙකු පොලෝ තලේ,
තැබූ දෙපා දැවෙන තුරා,
වෙන තැනකට නොයාවි නම්,
ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න,

ඔන්න ඔහොමයි ගාමිණී වියන්ගොඩ මහත්මයගෙ කතාව... 

බුදුහාමුදුරුවො තුන්කල් දකිනව කියන්නෙ කට කහනවටය? එතුමා අවුරුදු දෙදාස් පන්සීයකට ඉස්සෙල්ල දැකල තියනව ලංකාවෙ අද තත්වෙ...ඒකනෙ ඔහොම කියල තියෙන්නෙ. හැබැයි අනික් අතට අර පනාපුත්‍ර සට්ටඹිය කට එහෙම අඹර අඹර ඇස් දෙකත් ලොකු කරගෙන කිව්ව විදිහට එතුමාගෙම පරම්පරාවෙං පැවතෙන කෙනෙක් තමයි මේ අලකලංචි ඔක්කෝටම මුල. 

ඉතිං කවියෙ විදිහට ගිනිගත් නිවස්නයකින් පණනල බේරාගෙන පළායනව වගෙ වහාම ප්‍රතිකර්මයක් යොදන්ටම වෙනව. ජනවාරි 8 වෙනිද..ඒ අපිට හම්බවෙන අන්තිම අවස්ථාව වෙන්ට හොඳටම ඉඩ තියෙනව..ඉඩ තියෙනව නෙවෙයි ඒ තමයි අන්තිම අවස්ථාව...ලාස්ට් චාන්ස් ලාස්ට් චාන්ස් කියල කෑගහමින් ඒ දවස්වල අපේ ගෙවල් පාරෙ හවස පහට වගෙ යනව ස්වීප් ටිකට් කාරයෙක්. මිනිහගෙ ස්වීප් පොල්ලෙ තියෙන්නෙ එක ස්වීප් එකයි. ඔය මිනිහ බොරු කරන්නෙ සාක්කුවෙ තව ස්වීප් තියනවයි කියලයි අපෙ මාම නම් ඒ දවස්වල කිව්වෙ. හරි ඒක මොකහරි. ජනවාරි අටවෙනිද ලාස්ට් චාන්ස්. ඒ අවස්ථාව හරියට ප්‍රයෝජන ගත්තෙ නැත්තං ලංකාව සිම්බාබ්වේ වගෙ වෙලා තමයි නවතින්නෙ. මට ඒකනං සීයට දෙසීයක්ම ෂුවර් ඇන්ඩ් ෂොට්.... 

අපිට වෙනසක් අවශ්‍යයයි කියල ඔබට හිතෙන්නෙ නැද්ද? අපි පොඩි කාලෙ සිංහල අලුත් අවුරුද්ද ලබනකොට අලුත් ඇඳුමින් සැරසුනා විතරක් නෙවෙයි ගෙවල් සුද්ද කරල, අතු පතු ගාල, මකුලු දැල් එහෙම කඩල, ලිප ගාව ගොම මැටි ගාල, නැකතට ලිපේ තිබ්බෙ නැවුම් වළං...ඇයි ඒ? ජීවිතේට අලුත් වෙනසක් ඕන හින්ද..ජීවිතේ අලුත් වෙන්න ඕන නිසා....පාලන තන්ත්‍රයටත් එහෙම තමයි. වෙනසක් ඕන කාලෙ ඇවිල්ල තියෙන්නෙ. එහෙම වෙනසක් ඕනය කියල මිනිස්සුන්ටම හිතුනම ඒක වෙනස් කරන්න අමරුයි. දැන් ඒ තත්වය උදා වෙලා තියෙන්නෙ. කළගුණ සැලකුවා හොඳටම ඇති. 

විශේෂ ස්තූතිය - ගෞතම බුදුන් වහන්සේට....., බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, කාලෝ ෆොන්සේකා සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන්ට 


37 comments:

  1. ඈ බං රවි අය්යේ ඔය ඉන්ටලිජන්ස් සින්හලට එන්න ඕන කොහොමද?
    ගාමිනි වීයන්ගොඩගෙ රාවය කොලම අපූරුයි. මේ ලගදි කතාබහට ලක්වෙච්ච වතුර භාජනයේ ගෙම්බාගේ සින්ඩ්‍රෝමය කතාවත් ලියල තිබුනෙ එතුමා.

    වෙනසක් වෙනුවෙන් අද උදේම තැපැල් චන්දය මෛත්‍රීට දෙනව.

    ReplyDelete
    Replies
    1. මටත් ඕක දැන් කිව්වහම තමයි ක්ලික් උණේ... එතනදි "තොරතුරු" කියන අර්ථය තමයි මම හිතන්නේ දෙන්නේ...

      Delete
    2. රහස් තොරතුරු

      Delete
    3. රාජ් ට සුභ උපන්දිනයක්.. ඕක හමුදාවෙදි රහස්‍ය තොරතුරු වශයෙන් වෙනස් වෙන්නෝනෙ.. මං ඕක වෙනස් කරන්න සෑහෙන්න කතා කරපු එකෙක්.. ඔක්කොම මට කිව්වෙ පණ්ඩිතය නොවී හිටපං කියල විතරයි.. හැක් හැක්.. අනික පහුගිය කාලෙ හමුදා බුද්දි අංශ වලට ගත්ත පටිපාටිය දැක්කම ඇඬෙනවා.. එකම සුදුසුකම දෙමළ කතා කිරීමට හැකිවීම.. හරකෙකුට දෙමල කතා කරන්න පුළුවන් කියල දැනගත්තොත් අනිවා ඌටත් කොන්ඩෙ වවන්න දීල සිවිල් ඇඳුම් අන්දල ගන්නව බුද්දි අංසෙට.. මට මල ඔය ගැන මතක් කරනකොටනම්..

      Delete
    4. රාජ්.

      / ඈ බං රවි අය්යේ ඔය ඉන්ටලිජන්ස් සින්හලට එන්න ඕන කොහොමද? /

      Intelligence කියන වචනෙන් බුද්ධියට අමතරව රහස් ඔත්තු නැත්නම් රගස් තොරතුරු කියන අර්ථයත් එනව. හමුදා බුද්ධි අංශ කියල නම් කරල තියෙන්නෙ ඔය අර්ථ දෙක පටලගෙන. ඒත් අපි අමරිකාවෙ සී.අයි.ඒ. සංවිධානයට ( Central Intelligence Agency ) කියන්නෙ මධ්‍යම රහස් තොරතුරු කාර්යාංශය කියල මිසක මධ්‍යම බුද්ධි කාර්යාංශය කියල නෙවෙයි. එතන පරිවර්තනය හරියට කරල තියනව.

      සමාවෙන්න පරිවර්තනය හරියටම කරල කියන්නත් බෑ. ඒක පරිවර්තනය කරපු බුවා දන්නව Intelligence කියන එකට තේරුම් දෙකක් තියනව කියල. හැබැයි Central කියන වචනෙට තේරුම් දෙකක් තියනව කියල මිනිහ දන්නෙ නෑ. එකක් මධ්‍යම කියන එක. අනික මහා නැත්නම් ප්‍රධාන කියන එක. අපි ඕකත් බොහොම වෙලාවට වරද්දනව. Central Bank Of Sri Lanka කිව්වම නිවැරදිව ශ්‍රී ලංකා මහ බැංකුව කියල යොදා ගත්තට Central Environmental Agency එකට එනකොට ඒක ඇවිල්ල මධ්‍යම පරිසර අධිකාරිය. Central Engineering Consultancy Bureau ඇවිල්ල මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය.

      හමුදා බුද්ධි අංශය වෙනුවට හමුදා රහස් තොරතුරු කාර්යාංශය කියල කිව්ව නම් වැඩේ අවුලක් නෑ.

      / ගාමිනි වීයන්ගොඩගෙ රාවය කොලම අපූරුයි. මේ ලගදි කතාබහට ලක්වෙච්ච වතුර භාජනයේ ගෙම්බාගේ සින්ඩ්‍රෝමය කතාවත් ලියල තිබුනෙ එතුමා. /

      රත්වෙන වතුර හැලියෙ ගෙම්බගෙ කතාව අර මම කියපු සටන වැඩසටහනෙත් කිව්ව....:)

      Delete
    5. : the ability to learn or understand things or to deal with new or difficult situations

      : secret information that a government collects about an enemy or possible enemy; also : a government organization that collects such information

      Full meaning - http://www.merriam-webster.com/dictionary/intelligence

      Also see (if interested and have time :-D) - HUMINT

      http://en.wikipedia.org/wiki/Human_intelligence_(intelligence_collection)

      Delete
    6. Pra,

      As a loyal & long standing fan of Frederick Forsyth, Clive Cussler, James Patterson , Ken Follet & Andy McNab I am certainly no stranger to HUMINT. Actually it's part & parcel of my daily Life ....D

      And moreover it seems that in international espionage circles the major Modus Operandi of intelligence gathering is once again shifting towards HUMINT. Electronis intel. Gathering is relatively easy but is also vulnerable to interception. As such dead letter boxes, sending secret documents via diplomatic bags,using sleepers, coded pass words for recognizing fellow agents and making use of disinformation is coming into vogue again apparently.well it certainly would enhance the romanticism of espionage as far as I am concerned.

      Reading about The Cambridge Five is still one of my favourite past times.

      Delete
  2. මමත් 'නිදහස් අදහස්' බ්ලොග් එකේ ඕක දැකලා, වීඩියෝ එකයි, බ්‍රෙෂ්ට්ගෙ ඔරිජිනල් කවියයි, කාලෝගෙ පරිවර්තනයයි ඔක්කොම ෆේස්බුක් එකේ දැම්මා. මම ඡන්දයට සම්බන්ධ දේවල් ෆේස්බුක් එකේ දැම්මේම නෑ, ඒ තරං ඒවා වැහි වැහැලා නිසා.. හැබැයි මේකෙ තිබ්බ අපූරු බව නිසාම මට දාන්න හිතුණා.

    මම රාජ්ගෙ බ්ලොග් එකෙත් ලිව්වා, මහින්ද මේ වෙනකොට රට සුඛිත මුදිත කරලා තිබ්බත් මම ඡන්දේ දෙන්නේ නැහැ කියලා. ඔය කොයි තනතුරු වුණත් දරන එක, යම් කාලයකට සීමා කරන්න ඕනේ.... බලය වැඩි වෙන්න වෙන්න කාලය අඩු වෙන්න ඕනේ. මම කිව්වේ මට නම් මහින්ද මේ වතාවේ වලංගු ජනාධිපති අපේක්ෂකයෙක් නෙමෙයි.

    වියන්ගොඩගේ පරිවර්තන සෑහෙන මම කියවලා තියනවා. මායාවාස, විසේකාරි, වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි, සිසිරයේ රැ‍යක මගියෙකු නම්, බල්ලෙකුගේ හදවත, etc. වියන්ගොඩ සම්බන්ධ පෞද්ගලික අත්දැකීමකුත් තියනවා. සැරයක් අපි ඉන්න පලාතේ ප්‍රජා ගුවන් විදුලියකට මම වියන්ගොඩ එක්ක කතාබහක් කලා. ඒ අවරදිග ආවර්ජනා බොහොම ජනප්‍රිය කාලේ. සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම සම්බන්ධයෙනුත් මම ප්‍රශ්නයක් ඇහුවා. ඒකට වියන්ගොඩ දුන්නු පිළිතුර (කුමන්ත්‍රණයක් නෙවෙයි කියන අදහස ඇතිව) නිසා මට පෞද්ගලිකව සෑහෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වුණා.

    ඔය හමුදාව ආයුධ හොයාගත්තහම මැගසින්, සඟරා වෙනවා අහලා නැද්ද? :)

    ReplyDelete
    Replies
    1. තිසර,

      / සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම සම්බන්ධයෙනුත් මම ප්‍රශ්නයක් ඇහුවා. ඒකට වියන්ගොඩ දුන්නු පිළිතුර (කුමන්ත්‍රණයක් නෙවෙයි කියන අදහස ඇතිව) නිසා මට පෞද්ගලිකව සෑහෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වුණා. /

      සෝම හාමුදුරුවන්ගෙ අපවත්වීම කුමන්ත්‍රණයක් නෙවෙයි කියලයි මගෙත් මතය. මොන තරම් ලෝකෝත්තර වෙන්ට උඩ පැන්නත් සෝම හාමුදුරුවොත් පෘථග්ජන මනුස්සයෙක්නෙ. ආචාර්ය සෝම හිමි විදිහට ආපහු ලංකාවට වඩිඤ්ඤංය කියන ගරු නම්බුවට තියෙන තණ්හාව හින්දනෙ ඔය නොදන්න මිනිස්සුන්ගෙ ආරාධනාවකට නොදන්න දේසෙකට ගියේ.අන්තිමට තණ්හාය ජායතී සෝකෝ.....තණ්හාය ජායතී භයං...

      සෝම හාමුදුරුවො හිතාගෙන හිටපු විදිහට ඡන්දෙ ඉල්ලල ජනාධිපති උනානම් එහෙම ( මතකද අර ජන විජයද මොකක්ද කියල පක්ෂෙකුත් හදාගෙන තිබ්බෙ?...අනික ආය දෙකක් නෑ ජනාධිපති කමට ඉල්ලුවනං දිනන එකත් දිනනව. එහෙව් මෝඩ රැලක්නෙ අපේ රටේ ඡන්ද දායකයො කියන්නෙ ) මොකකිං මොකක් වෙයිද කියල හිතනකොටත් බයයි...හෙහ්,හෙහ්,

      සෝම හමුදුරුවන්ගෙ මිනිය කරගහගෙන බලයට ආපු හෙළ උරුමය ගැන මගෙ හිතේ එදා ඉඳලම තිබ්බෙ අප්‍රසාදයක්. ඒත් රතන හාමුදුරුවොයි, චම්පිකයි මේ කරන වැඩේ හින්ද ඒ අප්‍රසාදය දැන් අඩුවෙලයි තියෙන්නෙ..උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ කියල කියමනකුත් තියනවනෙ.

      / ඔය හමුදාව ආයුධ හොයාගත්තහම මැගසින්, සඟරා වෙනවා අහලා නැද්ද? :) /

      එහෙමත් උනාද?..මෙහෙම දෙයක් නම් වුනා අවුරුදු විස්සකට වගෙ එහා. නවසීලන්තෙන් හොඳ වර්ගයෙ හරක් 1000 ද කොහෙද ආනයනය කලා මෙහෙ කිරි නිෂ්පාදනය නඟා සිටුවන්ඩ. ඒකෙ නිව්ස් එක ඉංග්‍රීසියෙන් මෙහෙමයි. " A 1000 Heads of High Quality cattle to be imported from New Zealand to Augment the Milk Industry in Sri Lanka." ඒකම පරිවර්තනය කරල පහුවදා සිංහල ප්‍රවෘත්ති වලට කිව්වෙ මේ විදිහට."ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා නවසීලන්තයෙන් උසස් වර්ගයේ ගව ඔළු දහසක් ආනයනයට පියවර ගනී. "ඒ හරක් ඔළු කේස් එකටනම් පරීක්ෂණයක් එහෙම තියන දෙන්නෙක්ගෙද කොහෙද වැඩ තහනම් උනා මට මතක විදිහට රූපවාහිනියෙ.

      තව නිතරම ඇහෙන එකක් තමයි " කුමාර් සංගක්කාර දෙවන එක් දින තරඟයේ තරඟයේ වීරයා ලෙස තේරී පත්වේ. " පත්වෙන්න පුලුවන් තනතුරකට. තරඟයේ වීරයා කියන්නෙ තනතුරක් නෙවෙයි. තරඟයේ වීරයා ලෙස තේරේ එච්චරයි. සහකාර අධ්‍යක්ෂ තනතුරට තේරී පත්විය. එතන හරි...

      Delete
    2. දැකල නැද්ද " -----ඇමති ධුරයෙන් පිදුම්ලද ------ මැතිතුමාට අපේ ආචාරය" ?
      එතකොට ඒ ධුරය පූජාවක් වගේ ලැබෙන දෙයක්ද?

      Delete
    3. //කුමන්ත්‍රණයක් නෙවෙයි කියලයි මගෙත් මතය//

      කොන්ස්පිරසි තියරි කියන එක ඉතා ජනප්‍රිය දෙයක්නේ. ඩල් ඇත්තට වඩා සෙන්සේශනල් ප්‍රබන්ධ කොච්චර රසවත්ද?
      අමරිකාවෙ නම් කොන්ස්පිරසි තියරි කර්මාන්තයක් ගානට දියුණුයිනේ. ඒවායේ පාරිභෝගිකයින් වන lunatic fringe වෙනම ඉන්නව. ලන්කාවෙ කොහොම කියලද හිතන්නෙ?

      කුමණ්ත්‍රන ප්‍රබන්ධ ( ජාතියන්තර ජාතියෙ ඒව තමයි වැඩිය මාකට්) තොරතුරු තාක්ශනයේ දියුණුවත් එක්ක තවත් වැඩිවෙලා නේ?
      A lot of intelligence but not much of intelligence !!
      (එතකොට එකම වචනෙ විරුද්ධ පද වෙනවද :-DDD

      Delete
    4. Pra,

      / දැකල නැද්ද " -----ඇමති ධුරයෙන් පිදුම්ලද ------ මැතිතුමාට අපේ ආචාරය" ? එතකොට ඒ ධුරය පූජාවක් වගේ ලැබෙන දෙයක්ද? /

      අද සිද්ද වෙන විදිහට නම් ප්‍රා ඇමති ධුර කියන්නෙ දොළ පිදේනියක් , පූජාවක් වගෙ ලැබෙන දෙයක් තමයි...;)

      Delete
    5. Pra,

      / ලන්කාවෙ කොහොම කියලද හිතන්නෙ? /

      මම හිතන්නෙ නෑ ප්‍රා ලංකාවෙ මිනිසුන්ගෙන් සීයට පහක්වත් ඔය ගලනාලය අතේ අරං අර පිස්සු හුටං කෑගහන බටහිර කුමන්ත්‍රණ බහුබූත කතන්දර පිළිගන්නවය කියල...ඒත් ඉතිං ජොලියට වගෙ ඔහෙ අහගෙන ඉන්නව.

      දැන් මෛත්‍රිපාල ගිහිල්ල පහුවදාම ආණ්ඩුව පුවත්පත් සාකච්ඡාවක් තියල කිව්වනෙ මෛත්‍රී බටහිරත් එක්ක කුමන්ත්‍රණයක් කලාය කියල. එතකොට ඊට කලින් දවස වෙනකල් ඔය කුමන්ත්‍රණය ගැන ආණ්ඩුවෙ කිසි කෙනෙක් දැනගෙන හිටියෙ නැහැනෙ. එහෙම දැනගෙන හිටියනං කරන්න තිබ්බෙ ඒක එළිදරව් කරල වැඩේ වලක්වන එකනෙ.එහෙම කලේ නෑ කියන්නෙ මෛත්‍රි යන එක ඒ කවුරුවත් දැනගෙන හිටියෙ නෑ. ඒත් මෙන්න මෛත්‍රී ගිහිල්ල දවසකින් ඒක බටහිර කුමන්ත්‍රනයක් කියල හොයාගත්ත විතරක් නෙවෙයි, ඒ ගැන පුවත්පත් සාකච්ඡාත් තියනව.

       / A lot of intelligence but not much of intelligence !! /

      මේක නියමයි intelligence කියන වචනෙ විවිධ තේරුම් ආදේශ කලාම අරුත් තුන හතරක්ම ගන්න පුළුවන්...:)

      Delete
  3. මට චන්දෙ නැති වුනත් ජොලියට වගේ කාට කඩේ යනවද කියල හිත හිත හිටියේ පහු ගිය දවස් ටිකේ ... දේශපාලනේ ගැන උනන්දුවක් නැති, කොයි ආණ්ඩුවක් එකයි යන මතයේ තමයි මම මෙච්චර දවසක් හිටියේ .. ඊයේ මෙන්න මේ ලිපිය කියවන්න හම්බ වුනා මහින්ද මාමි ගේ හයි වේ හැදිල්ල ගැන තියෙන ...

    http://www.sundaytimes.lk/141221/news/road-building-or-rip-off-128259.html

    චන්ද රැස්වීම වල එක එක්කෙනා දෙන හෙන ටෝක්ස් ගැන ඒ හැටි විස්වාසයක් නැති නිසා මම ඔය හයි වේ එකේ වියදම් ගැන තිබ්බ කතාත් ගණන් ගත්තේ නෑ .. හැබැයි ඔය ලිපිය කියෙව්වහම නම් වැඩේ ජෝන් බාස් ට ගිහින් කියල තේරුණා .. (ඔය ජෝන් බාස් ගැන රවී අයියා දන්නේ නැද්ද .. :) )

    මාත් දැන් වෙනස වෙනුවෙන් කඩේ යන්න තීරණේ කළා .. හෙහ් හෙහ් චන්දෙ දාන්න ලංකාවට යන්න වෙන්නේ නෑ නේ ..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      ඔලුව නරක්වෙනව ඒ ලිපිය කියෙව්වම. ලිපිය ලියල තියෙන්නෙ මහාචාර්ය අමල් කුමාරගේ. මොරටුව විශ්ව විද්‍යාලෙ ප්‍රවාහන ඉංජිනේරු විද්‍යා අංශයෙ ඩීන් මම දන්න විදිහට. ලංකාවෙ ඒ විෂයය පිළිබඳ ප්‍රාමාණික විද්වතෙක්, විශේෂඥයෙක්. 1994 චන්ද්‍රිකා ආපු ගමං මාර්ග සංවර්ධන අධිකාරියෙ සභාපති කලා.කොළඹ රතවාහන තදබදය නැතිකරන්න , ඒ වගේමමහාමාර්ග ගැන ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්න මනුස්සය අඩිතාලම් දාල වැඩ පටන් ගත්ත විතෑරයි. දන්නවනෙ අපේ රටේ වෙන දේ එතුමාට යන්න උනා ගෙදර. :)

      / හැබැයි ඔය ලිපිය කියෙව්වහම නම් වැඩේ ජෝන් බාස් ට ගිහින් කියල තේරුණා .. (ඔය ජෝන් බාස් ගැන රවී අයියා දන්නේ නැද්ද .. :) ) /

      මට හරියටම ෂුවර් නම් නෑ. ඒත් මම හිතන විදිහට ඔතන ජෝන් බාස් කියන්නෙ සර් ජෝන් කොතලාවලගෙ තාත්තට වෙන්න ඕන. එයත් නම ජෝන් කොතලාවල. මිනිහ මිනිහගෙ මස්සිනාව ( වයිෆ්ගෙ මල්ලිව ) මරවල ඒ මිනී මැරුමට අහු උනා. මිනීමැරුම සෙට් කරල මිනිහ සැක නොහිතෙන්ඩ ගිහිල්ල තියනව ජපානෙට. ඒ දවස්වල නැවෙන් යන්නෙ. ගමනට ගතවෙනව මාස දෙකක් විතර. ඒත් නැවේ ඉඳල මිනීමරුවට එව්ව කේබල් පණිවිඩයක් හරි මොකක් හරි එකකින් මිනිහ කරමුලටම මාට්ටු වෙනව. පස්සෙ ජීවිතාන්තය දක්වා හිරේ ගිහිල්ල හිරේදිම දිවිනහගන්නවද කොහෙද මට මතක විදිහට.ඔය වැඩක් සවුත්තු උනහම වැඩේ ජෝන් බාස්ට ගියාය කියන කතාව ඇවිල්ල තියෙන්නෙ ඔය සිද්ධිය හින්දයි කියලයි කියන්නෙ. ඒ මිනීමැරුම් කේස් එක මරු කතාව. ඉඳහං වෙලාවක ලියන්නං ඒ ගැනත්.

      Delete
  4. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී
    හිඟා කෑම බැරිවුණු දා ලගී ගයා මර ගී

    ReplyDelete
    Replies
    1. Madhavi,

      දොර කවුළු හැර දමන්න..නැවුම් සුළඟට ඉඩ දෙන්න...වෙනසකට බිය නොවන්න...අකර්මන්‍ය ප්‍රේක්ෂකයකු නොව ඔබ වෙනසෙහි කොටස්කරුවකු වන්න.

      Delete
  5. 1.දෙවනි ලෝක යුද්ධය දිනුවට පස්සෙ මහමැතිවරණයෙන් චර්චිල් පැරදුනා. යුද්ධය දිනීමට කල සේවයට ඔහුට ගරු නම්බු හා ජනතා ගෞරවය ලැබුනා. ඒත් චන්ද ලැබුනේ නෑ

    2. ක්‍රිකට්වල ප්‍රසාද ලකුණු කියන එක මීඩියාවලින් භාවිතා කරන හැටි දැකල අහල තියනවද? බෝනස් පොයින්ට්ස් කියන්නෙ දිනුවහම ලැබෙන ලකුණු ( පොයින්ට්ස්) වලට අමතරව ඉහලින් දිනුවහම ලැබෙන අමතර ලකුණුනේ. ඒත් මීඩියා එකේ දැන් ඉන්ග්‍රීසියෙන් නිකම් points කියන එකටත් සින්හලෙන් යොදන්නෙ ප්‍රසාද ලකුණු කියල
    මං හිතන්නෙ runs සහ පොයින්ට්ස් දෙකටම සින්හලෙන් තියෙන්නෙ "ලකුණු" නිසා ඒදෙක වෙනස් කරන්න ප්‍රසාද කෑල්ල දානව කියල. ඒත් එතකොට ඇත්ත බෝනස් පොයින්ට් වලට කියන්න දෙයක් නෑ.

    Honourable සහ Honorary දෙකටම තියෙන්නෙ "ගරු" නිසා ඒ වලත් පැටලිවිලි වෙනව.

    ReplyDelete
    Replies
    1. Pra,

      / දෙවනි ලෝක යුද්ධය දිනුවට පස්සෙ මහමැතිවරණයෙන් චර්චිල් පැරදුනා. යුද්ධය දිනීමට කල සේවයට ඔහුට ගරු නම්බු හා ජනතා ගෞරවය ලැබුනා. ඒත් චන්ද ලැබුනේ නෑ /

      දෙවන ලෝක යුද්ධයෙදි ඉතාම නිර්භීත සහ අධිෂ්ඨාන පූර්වක ලෙස බ්‍රිතාන්‍යය ජයග්‍රහණය කරා මෙහෙයවූ වින්ස්ටන් චර්චිල් ( " We shall go on to the end. We shall fight in France, we shall fight on the seas and oceans, we shall fight with growing confidence and growing strength in the air, we shall defend our island, whatever the cost may be. We shall fight on the beaches, we shall fight on the landing grounds, we shall fight in the fields and in the streets, we shall fight in the hills; we shall never surrender," ) 1945 මැයි මාසෙ යුද්දෙ ඉවරවෙලා මාස දෙකක් වගෙ සුළු කාලයක් ඇතුලත පැවැත්වුනු මහ මැතිවරණයෙන් දරුණු ලෙස පරාජය වුනා. මේ සිද්ධිය බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසයෙ අපූර්වතම සිද්ධියක් ලෙසයි සැලකෙන්නෙ. මේ පරාජයට නොයෙක් හේතු බලපෑවයි කියල දේශපාලන විශ්ලේෂකයො කියනව.

      හැබැයි කවුරුවත් මම හිතන්නෙ බ්‍රිතාන්‍ය ජනතාව කළගුණ දන්නෙ නැති ජාතියක්ය කියල ආඩපලි කිව්වෙ නම් නෑ මම දන්න විදිහට. අන්න ඒකට අපේ අය. යුද්දෙ ඉවරවෙලා අවුරුදු පහමාරක් ගිහිල්ල. තවත් කළගුණ සලකන්ඩලු. මම දැක්ක අර මහරජානනේ කියල ප්‍රශස්තියක් කියාපු ගායිකාව තව හෑල්ලක් කියල තිබ්බ, කළගුණ නොදත් ජනතාවක් ද මොකක්ද කියල.දැන් මේ කලගුණේද මොකක්ද එක කවද්ද ඉවර වෙන්නෙ? තව අවුරුදු හයකින් ඇවිල්ල ආයම කලගුනේ ගැන කිව්වොත් ඒත් අපි චන්දෙ දෙන්න ඕනද? සමාවෙන්න ප්‍රා..අර ඇම්ඩගෙ මැක්ක වගෙ තමයි... මේ දවස්වල මොක ගැන කතා කරන්ඩ ගියත් දේශපාලනය ඇදිල එනව...

      / ක්‍රිකට්වල ප්‍රසාද ලකුණු කියන එක මීඩියාවලින් භාවිතා කරන හැටි දැකල අහල තියනවද? බෝනස් පොයින්ට්ස් කියන්නෙ දිනුවහම ලැබෙන ලකුණු ( පොයින්ට්ස්) වලට අමතරව ඉහලින් දිනුවහම ලැබෙන අමතර ලකුණුනේ. ඒත් මීඩියා එකේ දැන් ඉන්ග්‍රීසියෙන් නිකම් points කියන එකටත් සින්හලෙන් යොදන්නෙ ප්‍රසාද ලකුණු කියල මං හිතන්නෙ runs සහ පොයින්ට්ස් දෙකටම සින්හලෙන් තියෙන්නෙ "ලකුණු" නිසා ඒදෙක වෙනස් කරන්න ප්‍රසාද කෑල්ල දානව කියල. ඒත් එතකොට ඇත්ත බෝනස් පොයින්ට් වලට කියන්න දෙයක් නෑ. /

      පොයින්ට්ස් කියන එකට ලකුණු කියල කිව්වට මම හිතන්නෙ නෑ කවුරුවත් ඒක අර අනික් ලකුණු ( Runs ) එක්ක පටලා ගනීය කියල. " අද දින වන විට දෙවන තරඟ වටය අවසානයේ ශ්‍රී ලංකාව තම තරඟ දෙකම ජයග්‍රහණය කොට ලකුණු අටක් ලබා බී කාණ්ඩයේ පෙරමුණේ සිටී. " එහෙම කිව්වම පැහැදිලියි මේ කියන්නෙ Points ගැනය කියල. එතකොට " ඉන්දීය කණ්ඩායම කඩුළු හතරක් පමණක් දැවී ලකුණු 320 ක ඉලක්කයට ලඟාවිය." කිව්වම එතන කියවෙන්නෙ Runs ගැනය කියලත් කවුරුත් දන්නව.

      එහෙම වෙනසක් ඕනම නම් අපිට මෙහෙම කලෑකි. ඔය Points හම්බවෙන්නෙ තරඟයක් දිනුවමනෙ. Points වලට ජයග්‍රාහක ලකුණු කියන එක කෙටිකරල අපි කියමු ග්‍රාහක ලකුණු කියල. එතකොට Bonus points ඇවිල්ල ප්‍රසාද ග්‍රාහක ලකුණු. ඔය ව්‍යාවහාර කරන වචන කියන්නෙ සම්මුතියක්නෙ.ඔක්කොමල එකඟ උනහම නැත්නම් හැමෝම භාවිතා කරනව නම් ඉබේම ඒක සම්මතය වෙනව....:)

      Delete
  6. ඊයෙත් මේ කොමෙන්ටුවම කොහෙ හරි දැම්මා මතකයි.. 20 වෙනිද මේ වැඩසටහනෙන් පස්සේ ගාමිණි වියන්ගොඩ මහතා ගැනත් බර්ටෝල් බ්‍රෙශ්ට් මහතා ගැනත් තිබුණු ගෞරවය තවත් වැඩි උනා.. බුදුන් වහන්සේ ගැනනම් ආයි වැඩිවෙන්න දෙයක් නෑනේ..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      ඇයි බං කාලෝ මහත්තය ගැන?...:)

      කාලෝ කිව්වම මට මතක් වෙන්නෙ අපි පොඩි කාලෙ බොහොම ආසාවෙන් සවන්දීපු ගුවන් විදුලි හඬ නළුවක්..රූකඩයා....ඒක පටන් ගන්න කලින් මෙහෙම කියනව. මට මතක විදිහට කරුණාරත්න අමරසිංහ.." ඉතාලි ජාතික කාලෝ කොලෝඩිගේ පිනෝකියෝගේ හපන්කම් ළමා කතාව ආශ්‍රයෙන් රූකඩයා ගුවන් විදුලියට රචනා කරන්නේ......." එච්චරයි මතක.....:)

      Delete
  7. දේශපාලන කතිකාවතක මම දැක්ක ආකර්ෂණීයම විනාඩි කිහිපය.....

    ReplyDelete
    Replies
    1. බුද්ධි,

      ඔබ හා එකඟයි......:)

      Delete
  8. එලෙසයි අප හිමි ගෞතම පිලිතුරු දුන්නේ පෙරකල.... ඔය ටිකත් වියන්ගොඩ මහත්තයා අන්තිමේට කිව්වා,

    http://youtu.be/zxkDp5PIcIE

    ReplyDelete
    Replies
    1. බුද්ධි,

      ඔබට ස්තූතියි..ඒ කොටස මට මඟ ඇරිලා....:(

      Delete
  9. රවි
    ඔබ හරියටම හරි.මේ අන්තිම වතාවයි.අපි සමහරවිට සිම්බාබ්වේවලටත් අන්ත වෙන්න පුලුවන්.කනගා‍ටුව සම හරක් තවම කලගුන සලකන්න යනවට.ඒකට හොඳම ක්‍රමය කවුරුහරි දාල තිබුනා.මාමාගෙ පිලිමයක් හදල,ඉතුරු ජීවිත කාලෙම බලාගෙන එහෙම.චන්දෙ දෙන්න යනව නේද?

    ReplyDelete
    Replies
    1. කුමාර,

      යන්න තමයි හිතාගෙන හිටියෙ..ඒත් හදිස්සි වැඩ දෙක තුනක් හින්ද යන්න වෙන්නෙ නැති සයිස් එකක් තමයි දැනට තියෙන්නෙ. ඒත් උපරිම උත්සාහයක් කරනව....:)

      Delete
  10. රවි,

    දේශපාළනය ගැන ටික අයින් කරල කතාකරන්න හිතුව. ඇයි දන්නවද, උඹෙ ( හෝ මගේ හෝ පැරගේ හෝ තව කාගෙවත් ) බණ අහල මේ වඳුරො රහත් වෙන්නෙ නැති නිසා. ඒත් එකක්, බණ කිවිල්ල දිගට කරගෙන යන්නම වෙනව තමයි ඔය යන්තන් සෝවාන්, අනාගාමී ඵල ලබාගෙන එන මිනිස්සු ටික රහත් කරවන්න.

    පරිවර්ථනයක් හරියට කගන්න බැරිවෙන්න මූලික හේතුව භාෂා දෙකම බැරිවීම වගේම අනෙක බසින් හිතන්න බැරිවීම කියලයි මම හිතන්නෙ.

    මෑතකදි මම දැක්ක හොඳම පරිවර්ථන උනේ සමන් ආතාවුද හෙට්ටිගෙ. ආදර අංකුර කියන පරිවර්ථිත පොතේ මිනිහ ලියනව "ඒ හුකාරිස් මෙහෙ බෑ" සහ "හුකාගනිං" කියල ඉංග්‍රීසි කුණුහරුප සිංහලෙන් සරළව.

    තව සරවක් නදිය දිගේ පොතේ මැලේසියාවෙ පෙට්‍රොනාස් "ට්වින් ටවර්" කියන එක පරිවර්ථනය කරනව "පෙට්‍රොනාස් කුට්ටම් කුළුණු" කියල.

    මේ ලඟදි මායි ප්‍රායි කතා කලා බෝදිලිම ගැන පරිවර්ථනයෙ සහ මුල් පොතේ තීන වෙනස ගැන. පරිවර්ථනයෙදි බෝදිලිම පියඹන එකෙක් වෙලා, ඒත් මුල් පොතේදි ඇවිදින ගැහැණියක්.

    ඔය බුද්ධි අංශය වගේම තවත් සුලභ වැරැද්දක් තමා " crime division " කියන එක "අපරාධ කොට්ඨාශය" වීම.

    බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොළිස්පති, කිව්වම පොළිසියෙ ඉන්නව ඪෛඝ් කෙනෙක් බස්නාහිර පළාතෙ අපරාධ කරන සෙට් එක බාරව!

    තව එකක් තමයි ජෙනරල් කියන්නෙ. General Hospital කිව්වම මහ රෝහල උනාට මොකද General Manager කියන්නෙ සාමන්‍යාධිකාරී (හැබැයි මම දැක්ක ලංකාබැංකුවෙ විතරක් ඕක් හරියට භාවිත කරනව ). ඒ එක්කම ජෙනෙරල් මර්චන්ට්ස් කියන්නෙ සාමාන්‍ය බඩු වෙළෙන්දො ලු!

    මේ වගේ වඳුරු කුණුහරුප ( (c) අටම් ) බලත්දි, ගූගල් ට්‍රන්ස්ලේටරේ අරෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද!

    ප/ලි, ගිය සතියෙ සිරසෙ තිබ්බ "විශේෂ විද්වත් සාකච්ඡාවක්" කියල වැඩසටහන, දයාන්, රජීව් විජේසිංහ සහ තමරා කුගනායගම් සම්භන්ධ වෙච්චි. දෙනව විදේශ ඇමතිගෙ සහ අමාත්‍යංශෙ රෙද්ද ගැලවෙන්න. පෙරේද තිබ්බ සරත් විජේසූරියම් නිර්මාල් රංජිත් එක්ක ම්හන් සමරනායකයි තව ක්ෂුද්‍ර ජීවී මහාචාරිය කෙනෙකුයි සටනකුත්. ඒකෙදි තමා නිර්මාල් කියන්නෙ ජනාධිපතිතුමාට කළගුණ දක්වන්න අවුරුද්දට කිරිහට්ටියකුයි බුලත් අතකුයි අරන් යන්න, ඡන්දෙ හිතල බලල දෙන්න කියල. ඉඩ ඇත්තං ඒවත් බලහං.

    ReplyDelete
    Replies
    1. ඇයි මධ්‍ය මහා විද්‍යාල? :)

      Delete
    2. ඉන්දික,

      / තව එකක් තමයි ජෙනරල් කියන්නෙ. General Hospital කිව්වම මහ රෝහල උනාට මොකද General Manager කියන්නෙ සාමන්‍යාධිකාරී (හැබැයි මම දැක්ක ලංකාබැංකුවෙ විතරක් ඕක් හරියට භාවිත කරනව ). ඒ එක්කම ජෙනෙරල් මර්චන්ට්ස් කියන්නෙ සාමාන්‍ය බඩු වෙළෙන්දො ලු! /

      ලංකා බැංකුවෙ විතරක් නෙවෙයි බැංකු ඔක්කොගෙම වගෙ General Managerට නිවැරදි නම භාවිතා කරනව..මහා කලමණාකාර…..

      / ප/ලි, ගිය සතියෙ සිරසෙ තිබ්බ "විශේෂ විද්වත් සාකච්ඡාවක්" කියල වැඩසටහන, දයාන්, රජීව් විජේසිංහ සහ තමරා කුගනායගම් සම්භන්ධ වෙච්චි. දෙනව විදේශ ඇමතිගෙ සහ අමාත්‍යංශෙ රෙද්ද ගැලවෙන්න. පෙරේද තිබ්බ සරත් විජේසූරියම් නිර්මාල් රංජිත් එක්ක ම්හන් සමරනායකයි තව ක්ෂුද්‍ර ජීවී මහාචාරිය කෙනෙකුයි සටනකුත්. ඒකෙදි තමා නිර්මාල් කියන්නෙ ජනාධිපතිතුමාට කළගුණ දක්වන්න අවුරුද්දට කිරිහට්ටියකුයි බුලත් අතකුයි අරන් යන්න, ඡන්දෙ හිතල බලල දෙන්න කියල. ඉඩ ඇත්තං ඒවත් බලහං./

      දැනුවත් කිරීමට ස්තූතියි...වෙලාවක් නැත්තං වෙලාවක් හදාගෙන හරි බලන්න වටින වැඩ සටහන් නෙව එව්වා..

      දයාන්, තමරා, රජීව් ආපු එක නම් බැලුව. ඒත් නිර්මාල් සහ මොහාන් ආපු වැඩ සටහනේ සම්පූර්ණ වීඩියෝ එකක් හොයාගන්න බැරිවුනා. මොහාන් කතාකරන ටික විතරක් තියන එකක් නම් හම්බ වුනා. අනූවෙ දශකයෙ අග භාගයෙ විතර මොහාන් සමරනායක ජාතික රූපවාහිනියෙ ඉරිද උදේ පැයක වගෙ වැඩ සටහනක් කලා සතියේ ප්‍රවෘත්ති විශ්ලේෂනයක් වගෙ එකක්. මම නොවරදවාම බැලුව ඒක සහ ඒ එක්කම ඊළඟට මහාචාර්ය රොහාන් සමරජීව ඉදිරිපත් කරපු තොරතුරු තාක්ෂණ වැඩ සටහන.

      Delete
    3. රන්දිල්,

      ඔව්..මධ්‍ය මහා විද්‍යාල කියන්නෙත් ඒ වගෙ වැරදි ව්‍යවහාරයක් තමයි. මට දුක කන්නන්ගර මහත්තය ඔය පටන් ගන්න කාලෙ මුනිදාස කුමාරතුංග වගෙ බහුශ්‍රැතයෙක් ජීවත්වෙලා ඉඳලත් ඕකට සුදුසු වචනයක් හදා ගන්ට බැරිවුනු එකටයි. රජය, රෝහල, අගමැති, ලකිසුරු, වගෙ වචන හැදුවයි කියන්නෙ එතුමා.

      Delete
    4. රවි,

      මේ ලින්ක් එකේ තීනව ඔක්කොම වාද සහ සාකච්ඡා. මේක දිනපතා අප්ඩේට්වෙන නිසා හරි පහසුයි.

      http://www.col3negoriginal.lk/more.php?cat=8

      Delete
    5. ඉන්දික,

      බොහොමත්ම ස්තූතියි...මේ ලින්ක් එක නම් බොහොම වටිනවා...:)

      Delete
  11. ගාමිණි වියන්ගොඩ මා ඉතා ප්‍රියකරන පුද්ගලයෙක්.සටන වැඩසටහනේදී ඔහු අර මහ පතරංග ජාතකේ වගේ දිග කවි පෙළක් කිසිම නැවතීමක් පැටලීමක් නැතිව එක දිගට කියාගෙන ගියාම මට පුදුම හිතුනා වගේම ඔහු ගැන තිබුණ ගෞරවය තවත් වැඩිවුනා.
    ඉතිං උඹ කොච්චර කෙළ මෝලෙන් ඇන්නත් මේකෙ එවුන්ගෙ චූටි මොළවලට ඒවා තේරෙන්නෙ නෑ.කොහොම උනත් ජනාධිපතිවරණයට මම ලංකාවෙ ඉඳීවි.

    ReplyDelete
    Replies
    1. හැලප,

      එතකොට චන්දෙට යනව නේද? මමත් යන්න හිතාගෙන ඉන්නව. ඒත් පොඩි බාදා දෙක තුනක් තියනව..වී විල් සී....:)

      Delete
    2. රවී,
      ඡන්දෙ නිසාම යන ගමනක් නොවෙයි මචං.අපේ මෑණියන්ගෙ වර්ෂපූර්ණ පිංකම ජනවාරි මාසෙට යෙදෙන නිසා යනව.එතකොට බෝනස් එකක් හැටියට ඡන්දෙ දවසට ලංකාවෙ ඉන්න වෙනවා.එහෙමයි ඒ වැඩේ සිද්දවෙන්නෙ.

      Delete
    3. ඒ කියන්නේ හැලපයියා වෙනසක් වෙනුවෙන් කටයුතු කරනවා කියන එකයිනේ,
      මගේ මනාපයත් වෙනසකට මේ අධම පාලකයාට හා කටු කන සුනඛ රැලට එරෙහිව.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...