Sunday, January 11, 2015

299. ගල උඩ සටනට ඉක්බිති - එන්න, නිදහසේ පපුව පුරා හුස්මක් ගන්න. ( From the Saviour of the Nation to An Autocratic Dictator in just 5 1/2 Years - The Tragic Story of Mahinda the Sixth )



Thank You all. We did it after all.
 
තීරණාත්මක ගල උඩ සටනක් නොහොත් ඌරා ළිඳේ මාරාන්තික අංගම් පොරයක් බවට තමන් විසින්ම පත්කොටගත් ජනාධිපතිවරණයකින් පරාජයවී මහින්ද රාජපක්ෂ මහතා වසර නවයක් වාසය කල අරලියගහ මන්දිරය අතහැර තම පාරම්පරික නිවනහ වූ මැදමුලන කාල්ටන් බංගලාව බලා ගොස් ඇත.
 
මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඔහු වැන්නන් නොවීම ගැන මහින්ද ඔහුගේ සුරතෙහි නිතර මිරිකාගෙන සිටිනා වශී බෝලයට අරක්ගත් සර්වබලධාරී දෙවියන්හට දණින් වැටී ස්තූතිකල යුතුය. 
( මහින්දගේ වශී බෝලයෙහි වැඩ වසනා දෙවියන් පිළිබඳව පැවසූයේ ඔහුගේ භක්තිමත් අනුගාමී දෛවඥයකු වන මාපලගම විමලරත්න මහතා විසින් බැවින් ඒ පිළිබඳව කිසිදු කුකුසක් ඇතිකොටගත යුතු නැත. 2011 ලෝක ක්‍රිකට් ශූරතා අවසන් තරඟයෙහිදී ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදී ලකුණු 270 කට ආසන්න සංඛ්‍යාවක් රැස්කොට ගත්තේ මහින්දගේ වශීබෝලයෙහි වසනා දෙවියන්ගේ අනුග්‍රහයෙන් බවද ඉන්දියාව ඉලක්කය හඹා යද්දී ඉන්දියානු දෙවියන්ගේ බලපෑමෙන් මහින්දගේ බෝල දෙවියන්ගේ ආනුභාවය අහෝසිවී ගිය හෙයින් ශ්‍රී ලංකාව පරාජය වූ බවද එතුමා ඒ දිනවල පුවත්පතකට ප්‍රකාශ කළේය. මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජය වූයේ කුමන හෙයින්ද යන එතුමාගේ විග්‍රහය නොබෝ දිනකින් ඔබට අසන්නට ලැබෙනු ඇත. මහින්ද අනිවාර්යයෙන් ජයගනු ඇති බවත් එසේ නොවුනහොත් තමා ගිණි තබාගන්න බවටත් ඔහු කල ප්‍රකාශය පිළිබඳව ජනාධිපතිවරණයෙන් පසු පැහැදිලි කිරීමක් කරන මේ අමන කේන්දර කාරයා පවසන්නේ තමා පැවසූයේ ඇඳිවතට ගිණිතබා ගන්නා බව මිස ගිණි තබාගෙන දිවි තොරකරගන්නා බව නොවන බවයි. මහරජාණන්ටම ඔබින මෙවන් කේන්දරකරුවන්ගේ යුගය අවසාන වීම සිතට ගෙන දෙන්නේ මහත්ම සැනසිල්ලකි. )
 
රනිල් සහ මෛත්‍රීද පරාජිත ප්‍රතිවාදියා පිළිබඳව මහින්දගේ පූර්වාදර්ශය අනුගමනය කලෙහිනම් මහින්ද අරලියගහ මැදුරෙන් නික්ම යන්නේ කාල්ටන් බංගලාවට නොව වැලිකඩ බන්ධනාගාරයටය. පසුගිය ජනාධිපතිවරණයෙන් ඉක්බිති සරත් ෆොන්සේකා නම්වූ එක්තරා ජෙනරල් වරයකුට අත්වූ ඉරණම ඔබට මතක ඇතිබවට මට කිසිදු සැකයක් නැත.
 
ජාතිය බේරාගත් මහා පුරුෂ තෙම වසර පහමාරක් වන් ඉතා කෙටි කාලයක් තුල ඒ තමන් බේරාගත් ජනතාවගෙන්ම ප්‍රතික්ෂේපවීම කුමන කෝණයකින් බැලූවද ඛේදවාචකයකි.මට හැඟෙන අයුරු ඔහු වරද්දාගත්තේ යුද්ධය කල අයුරින්ම රට පාලනය කළහැකියයිද එළෙසම රට පාලනය කල යුත්තේද එළෙසමය යන එකහෙලාම සාවද්‍ය සංකල්පය අනුගමනය කිරිමෙනි. බොහෝවිට යුද්ධය අවසානයේ උද්ගතවූ අපූර්ව දේශපාලනික තත්වය විසින් එසේ ක්‍රියාකිරීමට ඔහුට බලකෙරුනා විය හැක.ඒ කෙසේ වුවද පළපුරුදු දේශපාලනඥයකු ලෙස අවසානයේ ඒ සියල්ලට ජනතාව ඉදිරියේ පිළිතුරු බැඳියයුතු වග උත්තරකරු වන්නේ තමන් බව ඔහු අමතක නොකල යුතුව තිබිණි.එහෙත් මහරජ මානසිකත්වයේ උත්කර්ෂවත් සහ චමත්කාරජනක සිහිනයක ගැලී හුන් ඔහු ඒ කිසිවක් නොතැකීය.
 
වර්ෂ 1945 සිට වර්ෂ 1953 දක්වා අමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති පදවිය ඉසුලූ හැරී එස්. ටෲමන් මහතාගේ කාර්යාල මේසය මත " The Buck Stops Here " යනුවෙන් සඳහන් පුවරුවක් විය. ඉන් අදහස් වනුයේ අවසාන තීරණය සේම එහි වගකීමද තමන් භාරගතයුතුබවය. වර්ෂ 1945 දී දෙවන ලෝක යුද්ධය අවසාන භාගයෙහි ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි වෙත පරමාණු බෝම්බ හෙලීමේ අවසාන තීරණය ගැන්මට පෙර ටෲමන් ජනාධිපතිවරයා ඒ පුවරුව දෙස බොහෝවේලා ඇසිපිය නොහෙලා බලාසිටින්නට ඇත.
 
" The Buck Stops Here " යන්නට එකහෙලා සමාන සිංහල උදෘතයක් මම නොදනිමි.ඊට යම් තරමකට හෝ සමාන මගේ මිතුරන් අතර එදවස භාවිතා වූවක් නම් " බබා අතට ගන්ටම වෙනව " යන්නයි.ඉන් අදහස් වූයේ තම වගකීමට උරදීමෙන් වැලකිය නොහැකි බවය. හිටපු ජනාධිපතිතුමා හිස්වැසුමක් බිම හෙලන පමාවෙන්* දරුවන් වඩා ගැනීම මේ බබා අතට ගැනීමේ සංකල්පයට සම්බන්ධයක් කිසිසේත්ම නැත. එහෙත් එසේ කිරීමෙන් ඔහුට ජනවාරි 9 වන දා බබා වඩා ගැනීමට නිසි පෙර හුරුවක් ලැබෙන්නට ඇත.
 
* හිස් වැසුමක් බිම හෙලන පමාවෙන් යනු " At the drop of a hat " යන ඉංගිරිසි රූඩියෙහි සිංහල පරිවර්තනයයි. යමක් කිරීමට සැදී පැහැදී සිටිනවා යනු එහි අර්ථයයි.
 
අවසන විසි එක්වන සියවසේ බිහිවූ ලංකාවේ මහරජුට සිදුවූයේ බබාද අතට ගෙන වශී බෝලයද සුරතින් මිරිකාගත්වනම ආපසු තම උපන්බිමවූ ගිරුවා පත්තුවට පසුබැසීමටය. එහිදී තම පියාණන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට නාම යෝජනා අත්සන් කිරීමට පෙර සී සාමින් සිට මඩ සෝදාගත් කුඹුරෙහි ඉම නියර මතින් හිමිදිරියෙහි නිදහසේ සක්මන් කරන අතර ඔහුට බොහෝ දේ කල්පනා කල හැක. තමන්ට වැරදුනේ කොතැනද? ඊට හේතු වූවෝ කවරහුද? එලෙස ඔහුට කල්පනාකල හැකි මාතෘකාවන් දෙකකි.
 
මහින්දගේ පියාණන් වූ ඩී.ඒ. රාජපක්ෂ මහතා සී සාමින් සිට මඩ සෝදාගෙන නාම යෝජනා පත්‍ර අත්සන් කලේය යන්න බොහෝවිට ඩි.ඒ රාජපක්ෂ චරිතාපදානය ලියූ ලේක් හවුස් මාධ්‍යවේදියාගේ අතේ රෝලක් විය හැක. පසුගිය දිනෙක මම කියවූ ලිපියක සඳහන්වූ ලෙස ඒ වනාහී රොබට් නොක්ස් ගේ සුප්‍රසිද්ධ මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුය යන කියමනට ආදේශ කරන්නට දැරූ උත්සාහයකි.රොබට් නොක්ස්ගේ ඒ කියමනද බොහෝවිට වරදවා අර්ථ කථනය කරන්නකි.
 
ගොවිතැන උත්කර්ෂයට නංවා ගොවියන් මුරුංගා අත්තේ තැබීමට බොහෝවිට භාවිතාවන ඒ වැකිය රොබට් නොක්ස්ගේ පොතේ සඳහන් වන්නේ මෙලෙසිනි." උඩුනුවර හෝ යටිනුවර යන දෙපලාතේ ඕනැම ගොවියකු මඩ සෝදාගත්කල රජකමට සුදුසුය. " ඒ සීමාවේ වෙසෙන්නන් රජකමට පවා සුදුසු කුලීනයන් බව ඉන් අදහස් කෙරේ.
 
හිටපු ජනාධිපති තුමාගේ පියාණන් 1951 වර්ෂයේදී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා රජයෙන් ඉවත්ව විපක්ෂයට යද්දී ඔහු පසුපස විපක්ෂයට ගොස් අසුන් ගැනීමේ චමත්කාරජනක කථාව පසුපසද ඊට හාත්පසින්ම වෙනස් වෙනත් කථාවක් ඇත. කලකට ඉහත මම අසා තිබුණු ඒ කථාව යලි මගේ මතකයට පැමිණියේ මේ පසුගිය සතියේ විද්‍යුත් පණිවිඩයක් මඟින් මිතුරකු මවෙත එවා තිබූ ලිපියකිනි.
 
මා අසා තිබූ කථාව සැකෙවින් මෙසේය. එදවස පාර්ලිමේන්තුවේ භෝජනාගාරයට යාබදව මත්පැන් හලක්ද සභාව රැස්වන සෑම දිනකම සවස් වරුවේ විවෘතව තිබිණි. බොහෝ මත්ලෝලී මන්ත්‍රිවරු සභාව අතරතුර විගස දිවගොස් මත්පැන් වඩියක් දෙකක් උගුරට හලාගෙන ආපසු පැමිණීම පුරුද්දක් කොටගෙන සිටියෝය. අප කථානායක දොන් ඇල්විනයෝද මෙලෙස පුරුද්දක් ලෙස මත්පැන් හලට ගෙවදුනු මන්ත්‍රීවරයෙකි. එක් දිනක පදම තරමක් වැරදීගොස් බමන මතින් ආපසු සභාගැබ තුලට පිවිසි ඔහු තම අසුන සොයාගත නොහැකිව විපිලිසරව හාත්පස විසල්කොටගත් නෙතින් යුතුව බලමින් හුන්නේය. එක්වරම ඔහුගේ නෙත ගැටුනේ සබාගැබ හරහා පියමනිනා එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකයන්ය. දෛවෝපගතලෙස එතුමා තම ඓතිහාසික පිල් මාරුවට තෝරාගෙන තිබුනේ හරියටම මේ අවස්ථාවය.
 
ආණ්ඩු පක්ෂය පැත්තේ දොන් ඇල්විනයන්ගේ අසුන තිබුනේ හරියටම එස්.ඩබ්, ආර්.ඩී.ගේ අසුනට අසුන් දෙකක් පසුපසිනි. එස්.ඩබ්.ආර්.ඩී. ගේ ඓතිහාසික පක්ෂ මාරුව පිළිබඳව අඳෝ සංසාරයක් නොදත් දොන් ඇල්වින් නොහොත් ඩි.ඒ. කලේ ඔහු පසුපස ගොස් ඔහු හිඳගන්නා අසුනට අසුන් දෙකකට පසුපස අසුනේ හිඳ ගැනීමය.ඒ අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රීතිඝෝෂා නැඟූවද ඒ කුමන හේතුවකටද එලෙසම තමන් මේ අසුන් ගෙන හිඳින්නේ ආණ්ඩු පක්ෂයේ නොව විපක්ෂයේ අසුනක බවද ඔහුට කිසිදු ගනිච්චියක් නොවීය.
 
මේ සිද්ධිය පිළිබඳව පසුව එස්.ඩබ්.ආර්.ඩී. මෙසේ පැවසූබව වාර්තා වී තිබේ. " On that day when I left UNP and crossed over to the SLFP I saw a person walking behind me like a shadow. It was not a person who had previously promised to cross-over with me. This person was Mr.D.A. Rajapakse "
 
එදින දෛවෝපගතව ඩි.ඒ. එලෙස එස්.ඩබ්.ආර්.ඩී. පසුපස නොගියේ නම් ඔහු බොහෝවිට එ.ජා.ප. පසුපෙල මන්ත්‍රීවරයෙක්ව සිට තම දේශපාලන දිවිය කෙළවර කරගනු ඇත. මහින්ද රාජපක්ෂ මතට තිත තම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ප්‍රමුඛස්ථානයක ලා සැලකුවද ඔහුගේ දේශපාලන ගමන් මඟෙහි මූලාරම්භය තිතට මත බව ඔහු මතකතබා ගතහොත් යෙහෙකි.
 
යුද්ධයක් නිම කිරීමෙහිදී කඟවේනකු මෙන් ඉලක්කය කරා අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කිසිදු බාධාවක් නොතකා ඉදිරියට ගමන් කිරීම මහෝපකාරී වුවද විසි එක්වන සියවසේ ප්‍රජාතන්ත්‍ර වාදී රටක් එසේ පාලනය කල නොහැක. මහින්ද, සොයුරන්, පුතුන් සහ මස්සිනාවරුන් තේරුම් නොගත්තේද එයයි. අවසන ඒ සියල්ල වෙනුවෙන් තම පදවියෙන් වන්දි ගෙවීමට ඔහුට සිදුවිය. මිහින් එයාර් සිට හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොල නෙලුම් පොකුණ සහ නෙලුම් කුළුන ඔහුගේ එවන් තම මමංකාරය නංවා ගැනීමේ Prestige Projects වලට නිදසුන් වේ.
 
තිස්වසරක කුරිරු යුද්ධය නිමකිරීමට නායකත්වය දුන් අසහාය නායකයා ලෙස ජනතා හදවතෙහි සදා රැඳීසිටීමට වඩා ඔහු ප්‍රියකලේ යෝධ අකුරින් තම නාමය බිත්තිවල ලියවී තිබෙනු දැකීමටය. මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර නැව් නොඑන වරාය, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මයුර රංගන ගුවන් තොටුපොළ, මහින්ද රාජපක්ෂ Half a million per show රඟහල එවන් ප්‍රෙස්ටීජ් ව්‍යාපෘති කිහිපයකට උදාහරණයි.ඔහුගේ නම සුවිසල් අකුරින් දිලුනද මේ සියල්ල උදෙසා ලබාගත් ණය ගෙවිය යුතේ ඔබය. මමය. අපය.
 
ප්‍රතිවාදියාගේ වේදිකාවලට ගිනිතබමින්, ඔහුගේ ආධාරකරුවන්ට වෙඩි තබමින්, සාමකාමීව විරෝධය පාන්නන් හට තම මැරවර සහචරයින් ලවා අමානුෂික ලෙසින් පහර දෙවමින්, ප්‍රතිවාදියා පිළිබඳ අමූලික අසත්‍යයන් රට පුරා ප්‍රචාරය කරමින් සියලුම රාජ්‍ය සම්පත් කිසිදු චකිතයකින් තොරව ප්‍රයෝජනයට ගනිමින්,මැතිවරණ ආඥාපණතේ සියළු වගන්ති කඩ කරමින් මහින්ද තම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූයේ දරුණු සතුරෙකුට එරෙහි කරනා No Holds Barred වර්ගයේ යුද්ධයක් ලෙසිනි.
 
අවසානයේ ඔහු කෙතෙක් නිර්ලජ්ජී ලෙස ජාතිවාදය අවුස්සන්නට වූයේද යත් ඔහුගේ සහ ඔහුගේ අන්තේවාසිකයින්ගේ මැතිවරන කථා අසා සිටීම පවා අපුල දනවන්නක් විය. මගේ මිත්තණිය මෙවන් අවස්ථාවක භාවිතා කරන උපමාවක් මගේ සිහියට නැඟෙයි " අනේ සුට්ටි පුතේ..මගේ ඉහේ උකුණො බිමට පනින්ට ඇති ලැජ්ජාවට "
 
මෙලෙස කිසිදු හිරිකිතයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදයෙහි සියලු කරුණු කාරණා උල්ලංඝනය කරමින් රාජ්‍යපාලනයෙහි යෙදුනු එලෙසම ඉතාම නිහීන මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවූ මහින්ද රාජපක්ෂට මා දන්නා හඳුනන බොහෝ කාන්තාවන් ඡන්දය දුන් බව මම පෞද්ගලිකව දනිමි.මහින්දගේ ජාතිවාදී ප්‍රචාරයන් දකුණේ ඡන්ද දායකයින් කෙරෙහි බොහෝසේ බලපා ඇති බව ඡන්ද ප්‍රතිඵල වලින් මනාව පෙනීයයි. බොහෝවිට කාන්තාවෝ  භාවාතිශය වන්නෝය. ඔවුහු මොළයට නොව හදවතට ඉඩ දෙන්නෝය.එහෙත් දළ වශයෙන් මුලු ඡන්ද දායකයින්ගෙන් 51% පමණ වූ කාන්තාවන්ගෙන් බහුතරයක් හදවතට නොව මොලයට ඉඩ දුන් හෙයින් සිදුවීමට ගිය මහා විනාශයක් වැළකිණි. 

ප්‍රියම්බිකා තොමෝ මැතිවරණ ව්‍යාපාරයෙහි මුල සිටම දැඩි ලෙස මහින්ද විරෝධී ආස්ථානයක සිටියාය. මෛත්‍රීපාලගේ ජයග්‍රහණය ඈ මහත්සේ ප්‍රීතියට පත්කරවන්නක් වූ බව කිවයුතු නොවේ.එහෙත් මැතිවරණ දිනට පසුදින සවස ඈ මා අමතා මෙසේ පැවසුවාය.
 
" මොනව උනත් මහින්ද ආපහු මැදමුලනට යනව ටී.වී. එකේ පෙන්නනකොට මට ඇඬුනා ඒයි….."
 
ඇගේ හැටි එහෙමය. ගැහැණුන්ගේ හැටි එහෙමය.ගැහැණුන් ඉඳහිට හෝ බුද්ධියට නොව හදවතටද ඉඩ දියයුතුය. එසේ නොව බුද්ධියටම ඉඩ දුන්නේනම් ඈ කිසිදාක මට කැමති නොවනු ඇත. මා හා විවාහ නොවනු ඇත.
 
අවසන් ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙද්දී මා හා මගේ ඉතා හිතවත් මිතුරකු අතර වූ සංවාදයක් මෙහිලා සඳහන් කරනුයේ මේ බොහෝ දෙනෙකුගේ සිතට වදදෙන කරුණක් බව මම හොඳින් දන්නා බැවිනි.
 
" රවී .....මහින්ද පැරදිච්චි එකට මම බොහොම කැමතියි. ඒත් මෛත්‍රී දිනුවෙ දෙමල ඡන්දයි මුස්ලිම් ඡන්දයි හින්ද නේද? එතකොට උං කියන විදිහට ආණ්ඩුවට වැඩ කරන්ට වෙයි නේද? "
 
" කතාව ඇත්ත. මෛත්‍රී දිනුවෙ දෙමල මුස්ලිම් ඡන්ද හින්ද තමයි. ඇයි එහෙම උනේ? ඇයි ඒ දෙගොල්ල මහින්දව ප්‍රතික්ෂේප කලේ? උත්තරේ බොහොම පැහැදිලියි නේද? ඔවුන්ට නිදහසේ තමන්ගෙ අභිමානය රැකගෙන ජීවත් වෙන්ට පරිසරයක්, වටාපිටාවක්, රටක් මහින්දගෙන් ලැබෙන්නෙ නෑ කියල ඔවුන්ට තේරුන නිසා. එතකොට මෛත්‍රීපාලටයි රනිල්ටයි තියෙන්නෙ ඒ අයගෙ අභිලාෂයන් බලාපොරොත්තු ඉෂ්ඨ කරන්ට. එච්චරයි. ඒකීය රටක් ඇතුලෙ බලය බෙදා ගැනීමකට කැමතියි කියල ටී.එන්.ඒ. එක ප්‍රකාශ කරල තියෙද්දි ඇයි අපි ඒ ගැන සැකයක් ඇතිකරගන්නෙ?"
 
" හ්ම්ම්ම්..ඒකත් නම් එහෙම තමයි "
 
" අනික මේ ඡන්ද ප්‍රතිඵලය නිසා තව බොහොම හොඳ දෙයක් උනා. මහින්ද මුල ඉඳල බල සේනාව හුරතල් කර කර හිටියෙ සිංහල බෞද්ධ ඡන්ද විතරක් තමන්ට ඇතිය කියල හිතාගෙන. ඒත් පුලුවන් අන්තිම කැත විදිහට ජාතිවාදෙ අවුස්සලත් මහින්ද පැරදුනා. ඒ කියන්නෙ රට පුරා පැවැත්වෙන ඡන්දෙකින් දිනන්ට සිංහල බෞද්ධ ඡන්ද විතරක් මදිය කියන එක ඔප්පු උනා. ඒ නිසා මම හිතන්නෙ නෑ මහින්ද ආයම ඔය විදිහට ජාතිවාදෙ අවුස්සල ඡන්ද දිනන්ට ලෑස්ති වෙයි කියල. මේ තමයි ජාතිවාදෙට යන්ට පුලුවන් උපරිම දුර."
 
මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵල මඟින් සක්සුදක්සේ පැහැදිලිවූ තවත් එක් වැදගත් කාරණයක් සඳහන් කොට මම මේ සටහන් නිමා කරමි. මහින්ද රාජපක්ෂ තරම් දෛවඥයින්, අණවින හදි හූණියම්, වශී බෝල, ඌරු තෙල් ගා බල බිඳීම් ආදී තිරශ්චීන විද්‍යාවන් දොහොත් මුදුනේ තබා පිළිගන්නා විසි එක්වන සියවසට නොව ගල් යුගයට සුදුසු තවත් නායකයකු මේ මුලු ලොවෙහිම නැතිතරම්ය.නියමිත කාල සීමාවට වසර දෙකකට පෙරාතුව මේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කලේ, නාම යෝජනා භාරගන්නා දින ප්‍රකාශයට පත්කලේ, මැතිවරණ දින ප්‍රකාශයට පත්කලේ හුදෙක් ඔහුගේ දෛවඥයාගේ උපදෙස් අනුව සුභ යයි සැලකෙන මුහුර්ත අනුව බවද කිසිවකුට නොරහසකි.
 
එලෙස කල්යල් බලා දොස්වරා සුබ මොහොතින් සියලු වත් පිලිවෙත් අනුව කල කර්තව්‍යය අසාර්ථකවී මහින්ද පරාජයට පත්වූයේ මන්ද? වෙන කිසිදු හේතුවක් නිසා නොව ඒ ජ්‍යෝතිෂය යනු විශ්වාස කල නොහැකි තිරශ්චීන විද්‍යාවක් හෙයිනි. වශීබෝල, දේවාරක්ෂාව මත විශ්වාසය තබා තම සියලු කටයුතු කල මහින්දගේ පරාජයෙන් ඔහු හෝ අපේ රටේ කිසිවකු පාඩමක් ඉගෙන ගනීද? කිසිසේත්ම නැත. හෙටද ඔවුහු වශී බෝල මිරිකන්නෝය. සුභ නැකතට සියලු කටයුතු කරන්නෝය.දේවාල කෝවිල එකක් නෑර ගොස් දනින් වැටී බාර හාර වන්නෝය." කිං කරිස්සන්ති තාරකා..තාරකා කුමක් කරන්නද? " අප දොහොත් මුදුනේ තබා පිළිගන්නා මහා ශාස්තෲ වරයානෝ එසේ පැවසූහ. එහෙත් සැදැහැවත් බෞද්ධයින් කී දෙනෙක් උන්වහන්සේගේ වදන් විශ්වාස කරන්නෝද?

42 comments:

  1. රවීගේ උපමා තමයි උපමා....
    උඹ මේ බ්ලොග් ලිවිල්ල නතර කලොත් අපි කොහෙන්ද බොල හිනාවෙන්න හේතු හදාගන්නේ?
    "ඔහුගේ දේශපාලන ගමන් මඟෙහි මූලාරම්භය තිතට මත බව ඔහු මතකතබා ගතහොත් යෙහෙකි. "

    කවදාවත් අහල තිබුනේ නෑ ඩී ඒ රාජපක්ශ ගැන ඔය වගෙ අකතාවක්. මොකද අපි අච්චෝ බිච්චෝ වෙන කාලේ වෙනකොට හොරනෑවක් වගේ කියනවා ඇහුනේ ඔහු තමා එකම පියතුමා කියලානේ. උඹම ඉන්න ඕනේ අපිට ඕවා කියලා දෙන්න.

    රවී ගෑණු ගැන කියපු කතාව කොයිතරම් දුරට සාධාරණයිද කියන්න මට තේරෙන්නේ නෑ. මොකද බලාගෙන ගියාම හදවත් උණු වුනේ ගෑණුන්ගේ විතරක් නෙමෙයිනේ ලංකාවේ ඉන්න (විශේශයෙන් පිරිමි පාර්ශවයේ) බහුතරයක් නමේ උදේ වෙනකොට අඬ අඬ දාපු පෝස්ට් දැක්කම මට තව පොඩ්ඩෙන් වමනෙටත් එන්න යනවා.
    සමහරවිට අපේ සංවේදි නහර දුර්වල වෙලා ඇති. (එහෙම නැත්නම් ජාතිවාදයෙන් අපි අන්ධ වෙලා නැතිව ඇති) මට නම් ඊයේ උදේ හිතුන දේමයි මේ වෙද්දිත් හිතෙන්නේ. ඔහු මේ හදන්නේ අවුරුදු හැත්තෑවක් වගේ වයසකට ගිහිනුත් ජාතිවාදයක් අවුලලා ආයෙත් අහිංසක මිනිස්සු ටිකක් අවුල් කරවන්න. යුද්ධයේ නිමාවේ ක්‍රෙඩිට් එකට වඩා එහෙම කලොත් නම් ඔහුගේ මරණයටත් ගල් ගහන්න මම නම් එනවා.
    ඉස්සරහට එන පාලකයන්ටත් එමවා හොඳ පාඩම්...
    උඹ දන්නවද රවී මම ජීවත් වන රටෙ ඉන්නේ මගේ වයසේ නායකයෙක්. (පෞද්ගලිකව මම ඌට කැමති නෑ) ඒත් මහින්දට වඩා දේවල් ඔහු මේ වනවිට කරලා තියෙනවා. බලයට පත්වෙලාත් මාස කිහිපයයි. මුලින්ම කලේ මිනිසුන්ගේ බඩගින්න නිවන්න පටන් ගත්ත එක) ඒ අතින් බලනකොට වගකීමෙන් වැඩි පිරිපුන් නායකයන්ට වඩා නිකම්ම නිකම් මනුස්සෙක් වුනත් වටිනවා.

    ReplyDelete
    Replies
    1. කියන්න දාහක් දේවල් ඔළුවට ආවත් ලියන්න ඕනේ නෑ.
      ඉන්න දිහාක මහින්දට පිණක් දහමක් කරගෙන හොඳින් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
      නැතිනම් ඔහුට ගරු කරපු ජාතියටම, ඔහු වෙනුවෙන් ලැජ්ජා වෙන එක නතර කරන්න බැරි වෙයි.
      අපි කාලයක් මේ මනුස්සයාට බොහෝම ගරු කරානේ කියලා හිතන්නත් දැන් නම් දුකයි මට නම්.

      Delete
    2. දිගු කලක සිට විදේශගතව ජීවත් වන ඔබ ට අපේ රටේ ජනතාවගේ හැඟීම් තේරුම් ගැනීමට අපහසු බව පෙනේ.යුද්ධය ගැන කෘතවේදී වීම ගැන ඔබේ අදහස් වලට හේතුව එයයි.අප නම් යුද්ධයට කෙළින්ම මුහුණ දුන් අය නොවේ.කොටි ගම් වලට පැන පවුල් පිටින් කැතිගා දැමූහ.සහෝදර බ්ලොග් කරුවකු වන සඳරු ලියා ඇති පෝස්ට් එක බලන්න.ඔහු මායිම් ගමක ජීවත්වූවෙකි.මායිම් ගම් ලෙස තිබූ පැතිවල සිංහල මුස්ලිම් මිනිසුන් ජීවත් වුනේ මරණය හිසේදරාගෙනය.සේරුවිල හා අම්පාර ආසන මහින්ද ජයගෙන ඇත.වෙඩි හුවමාරුවකට මැදිනොවුන කෙනෙක් නැත.කිරි දරුවන් ,මහල්ලන් ගැබිනියන් පන බේරා ගැනීමට කැලෑ වැදුන අතීතයකි.එම පළාත් වල ජනයා බත් මුට්ටිය උයා නිදා ගන්න යන්නෙ කැලේටය.

      අප ගේ පළාත්වල යුද්ධය තිබුනේ නැත.එහෙත් එදා බස් එකකට ණැග්ගේ කොයි මොහොතේ පුපුරයිද කියා සැකයෙනි.අල්ලපු සීට් එකේ ඉන්න කෙනත් සැකය.හැම තැනම චෙක් පොයින්ටය.විදේශගතව සුඵෝඛභෝගී දිවියක් ගත කරන ඔබට හිතන්නවත් බැරි දුෂ්කර ජීවිතයක් මෙරට ජනයා ගෙවූහ.
      එසේ නැතිව මොකෙක් හරි ඇවිත් ජාතිවාදී දේශනයක් කළ පමනින් ඌ පස්සෙ යන අය නැත.ඉතිහාසය පුරාවටමත් සුළු ජාතීන් ජාතිවාදීව ක්‍රියා කරද්දීත් සිංහලයා සහජීවනයෙන් ජීවත් වී ඇත.පෘතුගීසීන් මුස්ලිම්වරු එළවූ විට ඔවුන් පදින්චි වුනේ සිංහල රජු ගේ ප්‍රදේශවලය.
      ලංදේසීන් කතෝලිකයන්ට හිරිහැරකල විට ඔවුන් පළා ගියේ උඩරටටය.

      කරුණාකර අපේ රටේ ජනතාවට බොරු අපහාස නොකරන්න.එය ඔබෙන් කාරුණිකව කරන ඉල්ලීමකි

      Delete
    3. Buru,

      / රවී ගෑණු ගැන කියපු කතාව කොයිතරම් දුරට සාධාරණයිද කියන්න මට තේරෙන්නේ නෑ. මොකද බලාගෙන ගියාම හදවත් උණු වුනේ ගෑණුන්ගේ විතරක් නෙමෙයිනේ ලංකාවේ ඉන්න (විශේශයෙන් පිරිමි පාර්ශවයේ) බහුතරයක් නමේ උදේ වෙනකොට අඬ අඬ දාපු පෝස්ට් දැක්කම මට තව පොඩ්ඩෙන් වමනෙටත් එන්න යනවා./

      මම ලිව්වෙ මෙහෙමනෙ. "මහින්ද රාජපක්ෂට මා දන්නා හඳුනන බොහෝ කාන්තාවන් ඡන්දය දුන් බව මම පෞද්ගලිකව දනිමි."

      හරි හරි හැඟීම්බර හොටු පෙරෙන මොඩල් පිරිමිත් ඉන්නව ඕන තරං. එකඟයි..ඒත් මම දන්නා හඳුනන එකම පිරිමියෙක්වත් බය නැතුව කිව්වෙ නෑ මම මහින්දට ඡන්දෙ දෙන්නෙ කියල. ඇත්තටම මහින්දට දෙන්න හිතාගෙන ඉන්න උදවියට වුනත් ලොක්කගෙ කැරැට්ටුවෙ හැටියට එහෙම කියන්ට ලැජ්ජයි වගෙ හිතුන වෙන්න පුලුවන්.ඒත් මම දන්න කාන්තාවො කීප දෙනෙක් කෙලින්ම කිව්ව මහින්දට ඡන්දෙ දෙනව කියල. මම ඇත්තටම ඒ නිර්භීත කමට ගරු කරනව. ඉතින් ඔන්න ඔය හින්දයි මම කාන්තාවො ගැන විතරක් ලිව්වෙ..තෙරියමා?

      / උඹ දන්නවද රවී මම ජීවත් වන රටෙ ඉන්නේ මගේ වයසේ නායකයෙක්. (පෞද්ගලිකව මම ඌට කැමති නෑ) /

      අඩේ මැට්ටා හොඳ එකානෙ බං..උඹ මොකද ඌට අකමැති?...:)

      Delete
    4. සමහරවිට මධ්‍යස්ථ මතදාරියාට නොතේරෙන අපිට තේරෙන එකම දේ මනුස්සයෝ කියන්නේ තමන්ගේ මිනිස්සු විතරක් නෙමෙයි. යුද්ධයකින් වෙන්නේ මිනිස්සු මැරෙන එක. ඒකයි නතර වෙන්න ඕනේ.

      ඔබ කියන පරිදි යුද්ධයෙන් මගේ පවුලේ කවුරුත් මැරුණේ නැතිවට, මගේ යාළුවෝ මැරුණේ නැතිවට සිංහල දෙමළ, මුස්ලිම් හා වෙනත් අහිංසක ලංකාවේ මිනිස්සු මැරුණා. ටෙරොරිස්ට්ලා විතරක් මැරුනේ නෑ. මිනිස්සු ගෙදරින් එලියට ගිහින් ආපහු ගෙදරට එනකම් විශ්වාශයක් තිබ්බේ නෑ. උතුරු නැගෙනහිර මිනිස්සු රැට නිදාගන්නවත් ගෙයක් අස්සේවත් ඉන්න බැරි තරම් බයෙන් හිටියේ. කොටි ඇවිත් ඒ මිනිස්සුට කරදර වුනා වගේම හමුදාවෙන් වුනත් ඒ අයට කරදර නොවුනා කියලා කියන්න අපිට බෑ. මායිම් ගම්මාන වලත් එමමයි.
      යුද්ධය නතර කලේ හැම මනුස්සයාගෙම සහයෝගයෙන් මහින්ද මහත්තයා. ඒකට අපි එතුමාට කවදත් ගරු කලා. ඒත් ඔහු ඒක තමන්ගේ ජයග්‍රහනයක් විතරක් කරගත්තා. ඒත් කමක් නෑ. අපි ඒකටත් සමාව දුන්නා කියමු.
      ඒත් දැන් කොහෙවත් ඉන්න රස්තියාදුකාරයෙක් විතරමද ජාතිවාදය අවුලවන්නේ?
      මහින්ද මහත්තයා අන්තිම දවස් වල කියන්නේ නැද්ද එහෙම කතාවක්?
      අපි ගරහන්නේ අන්න ඒකට. ආපහු යුද්ධයක් ඇතිවෙයි කියලා තියෙන බයට. එහෙම උනොත් මැරෙන්න මහින්ද මහත්තයාවත් උන්නැහේගේ ගෝලයෝ වත් නෙමෙයි ඔහේලා වගේ සාමාන්‍ය මිනිස්සු. විනාශවෙන්නේ රටේ අනාගතය.
      මගේ සුඛෝපභෝගී ජීවිතය වගේ දේවල් දන්න ඔබ තුමා නොදන්න දේවල් තියෙනවා. අපිට තියෙනවා අපේ රටේ තත්ත්වය ගැන ලෝක බලදාරියෝ එක්ක හැප්පෙන්න. රිෆුයුජි කොමිසම් වලට ගිහින් උත්තර දෙන්න. ඒවයෙදි අන්න අරහේ ජාතිවාදයෝ ඉන්නවා කියලා හැම එකාම ඇවිත් ශ්‍රී ලංකාවේ ගරුත්වය නාස්ති කරනකොට අපිට සිද්ධ වෙනවා ලංකාව ගැන උත්තර දෙන්න. ලෝකය ඉස්සරහා නෑ එහෙම නෑ කියලා කියලා රටේ ගරුත්වය ආරක්ශා කරගන්න. ඔහේට වගේ මිනිසුන්ට ඒව තේරෙන එකක් නෑ පොඩ්ඩක් හොයලා බලන්න ඔච්චර මම ගැන දන්න එකේ. ,)

      Delete
    5. සමා වෙයන් රවී. රෙන්සියා ගැන බොට මම පස්සේ කියන්නම්. ඌ මගේ පක්ශේ එකෙක්. ඩෙමොක්‍රැටික් ලෙෆ්ට්.
      මචං මෙහේ මිනිස්සු එක්ක පොඩ්ඩක් දීලා බේරෙන්න බෑ. රෙන්Zසි මිනිසුන්ට මාසෙට බජට් මනි එකක් දෙනවා. ඒත් වර්කර්ස් රයිට්ස් ගැන පොඩි අවුලක් තවම යනවා. සින්ඩකලිස්ට්ලයි ආණ්ඩුවයි අතර. ගෝල්ඩන් පෙන්සන් ගන්න එවුන් ඉන්නවා. අපි කියන්නේ ඒවා අඩු කරන්න කියලා. තරුණ පරපුරට රැකියා දෙන්න ඒවා අඩු වෙන්නම ඕනේ. ජොබ් කන්ට්‍රැක්ට්ස් වල ස්ටැබිලිටි වගේ දේවල් වලදි රෙන්Zසි ටිකක් හිතුවක්කාර විදියට ලොකු පාට් දානවා. ( මේ මහින්දලා වගේ නෙමෙයි ඒවයින් ලක්ශෙකින් එකක්වත් නෑ) කලින් නායකයෝ රට කාලා කාලා ගියාම එන නායකයට ලේසිවෙන්නේ නෑ කොහොමත්.
      රෙන්zසිගේ හොරකම් නෑ. නායකයෙක් විදියට එයා නිරවුල්. ඒත් අත්දැකීම් මදි. ඒත් ඔහු අර කියපු දේවල් ටික ඇරුනාම බහුතරයක් දේ වලදි බොහොම නිර්හීතයි. හොඳයි.වගකීම් සහගතයි.
      අනික ලස්සන කොල්ලෙක්නේ බං ගිරවෙක් වගේ වුනාට පොඩ්ඩක්. අපි ඉතින් එහෙම එවුන්ට පණ දාගෙන ලව් ;)

      Delete
  2. 2015 ජනාධිපතිවරනයේදී සමස්ත ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය 81.5% මෙය පිළිගත හැකිද ? විදේශ සේවා වෙබ් අඩවිය අනුව ලක්ෂ 17 ක් (1,700,000) ක්පිටරට සේවය එය 10% වැඩි ප්‍රමාණයක් , ඒ අනුව බලන කල චන්දය පාවිච්චි නොකළ ප්‍රමාණය 8.5% පමණ වේ , පසුගිය වාර්තා අනුව බලන කල මෙය කිසිසේත් පිළිගත නොහැක , ජිල්මාට් දැමු 2010 මැතිවරණයේදීත් එය 74.49% විය ,
    කළුතර 84.73%, හම්බන්තොට 84.13% , මාතර 83.36%, ගාල්ල 83.49%, කුරුණෑගල 83.% මේ ආදී වශයෙනි ,
    1% ක් යනු චන්ද 150,000 වැඩි ප්‍රමාණයකි , ඒ අනුව 75% 81.5% දක්වා වෙනස් කලේනම් චන්ද ප්‍රමාණය 975,000 වැනි අගයකි .
    S .B පුන පුනා කීවේ ,චන්ද දිනන හැටි දන්නවා , හොර චන්ද දාන හැටි දන්නවා කියා , මේ ප්‍රතිපල වලින් එය පැහැදිලිවෙනවා .
    ඉතින් මේ ගැන නැවත වරක් සමීක්ෂණයක් කල නොහැකිද , එසේ කර ජනතාවට පවතී රජයේ දුෂණයක් තිබේනම් එය වහාම ප්‍රකාශ කලයුතුනේද ?රජය චන්ද වංචාවක් නොකලා කියා පිළිගත නොහැක .

    ReplyDelete
    Replies
    1. ඔබට අනුව දූෂන සිදුවී නැත්තේ 2001,1977,1965 වැනි මැතිවරන වල පමණි.2010 දී මහින්ද වටා විශාල රැල්ලක් තිබුන බව මධ්‍යස්ත සියළු දෙනා දනිති.යුද්ධයට දේශපාලන නායකත්වය දුන් ඔහුට කෘතවේදී ජනයා ඡන්දය දුන්හ.අන්තවාදී නොවූ එජාප ජවිපෙ අයද ඡන්දය දුන්හ.අපේ ගම්වල එදා යූඇන්පී කියා කෙනෙක් ඉතුරු නොවන තරමට සේදී ගියේය.
      ෆොන්සේකා ඡන්දෙට ආ විට ඒ වෙනකම්ම ඔහුට ශාප කරමින් සිටි එජාපයේ අය යුද්දෙ කළේ ෆොන්සෙකනෙ කියා ආවත් එය ජනතාවගෙන් ප්‍රතික්ෂේප විය.එය එජාපයේ මැදහත් අයත් පිළිගනිති.
      අසාධාරන කතා නොකියන ලෙස කරුණාවෙන් ඉල්ලමි.

      Delete
    2. Fernando Surendra,

      ඔබ මතුකරන කාරණයෙ සත්‍යයක් තියෙනවයි කියල මටත් හිතෙනවා. මේ ඡන්දය ප්‍රකාශකල ප්‍රතිශත මටත් විශ්වාස කරන්ට අමාරුයි.

      රටපුරා දේශපාලන උනන්දුවක් සහ පිබිදීමක් තිබියදී පවා මේ සංඛ්‍යාලේඛන බැලූබැල්මටම යම් වරදක් ඇති බව හැඟෙයි.

      Delete
    3. මධ්‍යස්ථ,

      / 2010 දී මහින්ද වටා විශාල රැල්ලක් තිබුන බව මධ්‍යස්ත සියළු දෙනා දනිති.යුද්ධයට දේශපාලන නායකත්වය දුන් ඔහුට කෘතවේදී ජනයා ඡන්දය දුන්හ.අන්තවාදී නොවූ එජාප ජවිපෙ අයද ඡන්දය දුන්හ /

      ඔබ සඳහන් කරණ කරුණෙන් ද ඔප්පු වන්නේ සුරේන්ද්‍රගේ තර්කයයි. යුද ජයහ්‍රහණයෙන් පසු පෙර නොවූ වීරූ පිබිදීමක් රට පුරා පැතිර තිබියදී පවා ඡන්දය ප්‍රකාශ කොට තිබුණේ 74.50% පමණි. එහෙත් මෙවර එය 81.52%කි. යම් අක්‍රමිකතාවයක් සිදුව ඇතිබවට එයින්ම හැඟෙන්නේ නොවේද?

      Delete
    4. Ravi @
      ඒක නොවෙයි වුනේ .චන්දය නොදා ගෙදර සිටි සියළුම යූඇන්පී අය මේ ඡන්දෙදි ඡන්දය පාවිච්චි කළා.මෙවර ප්‍රතිශතය වැඩි වුනේ ඒකයි.

      Delete
  3. මෙම ලිපියේ අඩංගු සියළු කරුණු සත්‍යය.ඇත්තෙන්ම මහින්දගේ ආර්ථික දැක්ම බින්දුවය.ඔහුගේ සංවර්ධන සැලසුම් සුදු අලිය.ඔහුට ආර්ථික වශයෙන් දිගු කාලීන දැක්මක් නොවූ අතර තිබුනේ ප්‍රදර්ශනාත්මක ක්‍රියා සහ සියළු දේ ගමේ ඇටවිය යුතුය යන ගංකබර මානසිකත්වයයි.එය ආලපාලු ආර්ථිකයකි.
    යහපාලනයක්ද තිබුනේම නැත.ඔහුට ඡන්දය දුන් රටේ ජනයාද එය නොදන්නවා නොවේ.මේ තත්වයට ඔහු ඔසවා තැබූ අයද ( රජානෝ කියමින් ප්‍රශස්ති ගී ගැයූ අය හා කේන්දරකාරයන් )වගකිව යුතුය.සියළු බලය එක තැනකට ඒකරාශීවීමක් දැකිය හැකි විය.

    මම මහින්දගේ පරාජය ගැන සංවේදීනොවූවෙමි.ඊට හේතුව ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැති නිසාය.ඉතිරි අවුරුදු දෙක ඉද හෝ ඊට පෙර නම්බු පිටින් අස් වුනානම් වටී.

    ඔහුව නැතිකලේ පවුලේ අයයි.සමහරු හැසිරුනේ චාල්ස් කුමාරයාවත් හැසිරෙන්නේ නැති ලෙස වැඩවසම් කුමාර ලීලාවෙනි.
    ඇත්තෙන්ම අප යටත් වැසියන් නොව පුරවැසියන්ය.රජකු අවශ්‍ය නැත.

    සියල්ලටම වඩා මට සතුට කේන්දරකාරයන් ලද පරාජයයි.ලෝකෙ නැති බොරු කියමින් මුග්ධ මිනිසුන් රවටන මේ තක්කඩි ජනතාව ඉදිරියේ නිරුවත් වීම සතුටකි.

    එසේම ඩී .ඒ රාජපක්ෂ ගැන මා අසා නැති කතාවක් දැනගතිමි.ඊට තුති.ඒ කතාව ප්‍රබන්ධයක් ලෙස පෙනුනත් මට නම් සිතෙන්නේ නියම සත්‍ය එය බවයි.මවාපෑම .රඟපෑම මුල සිටම මේ අයට තිබී ඇත.

    ReplyDelete
    Replies
    1. //ඇත්තෙන්ම අප යටත් වැසියන් නොව පුරවැසියන්ය.රජකු අවශ්‍ය නැත.//
      +++++++++++++++

      Delete
    2. මධ්‍යස්ථ,

      / සියල්ලටම වඩා මට සතුට කේන්දරකාරයන් ලද පරාජයයි.ලෝකෙ නැති බොරු කියමින් මුග්ධ මිනිසුන් රවටන මේ තක්කඩි ජනතාව ඉදිරියේ නිරුවත් වීම සතුටකි./

      මොන පිස්සුද මධ්‍යස්ථ?..ඔයා හිතනවද අපේ මෝඩ මිනිස්සු අද ඉඳල කේන්දර විස්වාස කිරිල්ල අත ඇරල දායි කියල?..බස්නාහිරෙන් ඉර පායයි එහෙනං....බස්නාහිරෙං....ඔය අනවැකිය වැරදිච්චි එකටත් මොකක් හරි කිතුල් ගහේ තණකොළ උත්තරයක් හදාගෙන පණ පිහිටුවල කියයි හෙට අනිද්දට...ඔන්න බලන්ට බොරුද කියල.

      අර ඉන්නව පට්ට හොරෙක් ආද්දියාත්මවේදීද මොකාද කියල ( ඒකෙ තේරුම දන්නෙ ඒ යාකම විතරයි මම හිතන්නෙ ) ඔය යකා 2005 ඡන්දෙ වෙලාවෙ හිටියෙ රනිල්ගෙ පැත්තෙ. ඒකෙදි රනිල් අනිවාර්යයෙන් දිනනවයි කියල අනාවැකියක් කියල ඔය මනුස්සය අරගෙන ගියා රහස් පොලීසියට. එහෙදි කොහොමහරි මිනිහ මහින්ද පැත්තට නම්ම ගත්ත. එදා ඉඳල මහින්දට කඩේ යනව අල්ලෙ පැලවෙන බොරු කිය කිය. අර මැලේසියන් ගුවන් යානය අතුරුදහන් උනාම මිනිහ කිව්ව සති දෙකක් ඇතුලත ගුවන් යානයට මොකක්ද උනේ කියල ස්ථිර තොරතුරක් ලැබෙනව කියල. තවම ඒ සතිදෙක ගත වුනේ නෑ මම හිතන්නෙ. මේ පාරත් කිව්වනෙ මහින්ද පැරදුනොත් වෙඩි තියාගන්නව කියල.වෙඩි තියාගෙන මලොත් එහෙම දේශ බන්ධු සම්මානය දෙන්ට වටිනව රටට කරපු ඒ සේවයට.

      Delete
    3. @ MM& R
      අපොයි ඔය මහින්දගේ කේන්දරකාරයෝ බොරුකාරයො එහෙම නැත්නම් කුමණ්ත්‍රනකාරයො. එහෙම නෙමෙයි අපේ බාප්පගේ අල්ලපු ගෙදර එකාගෙ හොර ගෑනිගෙ මල්ලිගෙ නැන්දම්මට හරියටම කිව්ව, මයිත්‍රී තුලා නිසා දිනනව කියලත් කිව්ව. වෙන එකක් තියා අටමස්තානෙට උඩින් යන්න අර සෑය හදපු නිසා මහින්ද පරදින එකත් කිව්ව.

      (කේන්දරකාරයින් එකෙක් දෙකෙක් පැරදුනත් ඒ වසංගතය මෙහෙන් තුරන් කිරීමට බුදුහාමුදුරුවො ආයිත් කිව්වත් බෑ)

      Delete
  4. ජනතා පරමාධිපත්‍යය කෙතරම් බලවත්ද යන්න හිටපු ලොක්ක තවම තේරුම්ගෙන නැති හැඩයි. පිටවෙලා යද්දි අපිටත් දුකක් දැනුනා. ඒ අපේ සංවේදීකම. ඒත් දැන් අරහෙට වෙලා බේබදු (සහ නිසැකවම මිනීමරු) චණ්ඩි ටිකක් එක්ක රඟපාන හැටි දැක්කම, දුක්වීම ගැන දුකයි.

    ReplyDelete
    Replies
    1. Madhavi,

      / පිටවෙලා යද්දි අපිටත් දුකක් දැනුනා. /

      එතුමා පිටවෙලා ගිහිල්ල තියෙන්නෙ බැරිම තැන..අන්තිම වෙනකල් මොන දහංගැටේ හරි ගහල එල්ලිල ඉන්ටයි බලල තියෙන්නෙ. පස්සෙ ජෙනරල් සරත් ෆොන්සේකා අරලිය ගහ මන්දිරේ වටලන්ඩ එනවයි කියල බොරු ආරංචියක් බුඩ්ඩි අංසයට දීල ඒක ලොක්ක දැනගත්ත ගමං නැට්ට දෙපරැන්ද අස්සෙ ගහගෙන කෙලිම්ම මැදමුලනෙ තමයි නතර වෙලා තියෙන්නෙ.

      අනික දැන් ඔය මහින්දවාදියො මහ ලොකුවට කියනවනෙ එතුමාට සාමකාමීව බලය පවරාදීම ගැන ජෝන් කෙරී ප්‍රසංසා කලාය ඔබාමා ප්‍රසංසා කලාය කියල. ඒ මැට්ටන්ට තේරෙන්නෙ නෑ එහෙම ප්‍රසංසා කලාය කියන එකේ යටින් තියන කතාව. ඒ කියන්නෙ ඒ එක්කෙනෙක්වත් ලොක්ක සාමකාමීව බලය අතාරීය කියල හිතල නෑ. ආය නැත්තං අහවල් දේකටද ප්‍රසංසා කරන්නෙ? මිනිස්සු පල කිව්වම යන්ට ඕන අනිවාර්යයෙන්. ඒක පැරදිච්චි මිනිහගෙ වගකීම. යුතුකම. එහෙම කලාය කියල ආය අහවල් දේකටද විශේසයෙන් ස්තූති කරන්නෙ?

      / ඒත් දැන් අරහෙට වෙලා බේබදු (සහ නිසැකවම මිනීමරු) චණ්ඩි ටිකක් එක්ක රඟපාන හැටි දැක්කම, දුක්වීම ගැන දුකයි /

      ඇත්ත. මේ වෙලාවෙ මෛත්‍රී සහ රනිල් බොහොම පරිස්සම් වෙන්ට ඕන. මහින්ද කියන්නෙ පලිගන්ට ගියාම නයා වගේ මිනිහෙක්.වටේ ඉන්න හොර තක්කඩි රැල ඊට එහා...

      Delete
  5. මහජනයාගේ බලය අන් හැම බලයකටම වඩා විශාල බව සැවොම තේරුම් ගත යුතුය.

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      ආය මොනවද? පලයං කිව්වම යන්ට ඕන....:)

      Delete
  6. //මැදමුලන කාල්ටන් බංගලාව//

    කාල්ටන් බංගලාව තීන්නෙ තංගල්ලෙ. ඔතනත් ගේමක් තීනව. මහින්ද පැරදිල ගියෙ මැදමුලනෙ රාජපක්ෂ බංගලාවට. එත් ඒක මිනිහගෙ දේපොලක් නෙමෙයි. පවුලෙ පොඩි දේපල ප්‍රශ්ණයක් නිසා මහින්ද එලියට බැස්ස. එ ඇවිත් පදිංචි උනේ ඔය තංගල්ලෙ ගෙදර. පස්සෙ පොඩි සෙල්ලමක් දාල ඒක අයිති කරාත්ත. මහින්දට වාසනාව ගෙනාවෙ ඒක නිසා තමයි නෝනගෙ මොන්ටිසෝරි, ළමයින්ගෙ ටීවී චැනල් අනං මනං සේරම කාල්ටන් උනේ.

    දැන් මැදමුලන බන්ගලාව තමන්ට අයිති නූනත්, එතන ඉන්න බැරි උනත්, ආයි එහෙ ගියෙ දේශපාලන hotspot එක එතන නිසා. ඉන් පස්සෙ හිමීට ආයි කාල්ටන් එකට ආව.

    // ඒ නිසා මම හිතන්නෙ නෑ මහින්ද ආයම ඔය විදිහට ජාතිවාදෙ අවුස්සල ඡන්ද දිනන්ට ලෑස්ති වෙයි කියල. මේ තමයි ජාතිවාදෙට යන්ට පුලුවන් උපරිම දුර."//

    මේකට පැරාගෙ බ්ලොග් එකේ මම දාපු කමෙන්ට් කොටහක් ආයි දාන්නං.

    රට ඉතාම දරුණු අනතුරක් අභිමුව තිබේ!

    මහින්දට බලය නැතුව බැරිය. මහින්දටත් වඩා, විමල්, රෝහිත මහින්දානන්ද වැනි උන් සේම, මහින්ද රජයෙන් කෝටි ගනන් මුදල් එන්නට ඇති ගෝඨාගේ සහ බැසිල්ගේ කොන්ත්‍රාත්කරුවන්ට, ව්‍යාපාරිකයන්ටද නැවත් පැරදී පළායන්නවනු ගෙන ඒම අවශ්‍යව ඇත!

    මේ නිසා ඉතාම විවෘත මනසකින් සහ පලල් අවභෝධයකින් යුතුව කටයුතු කල යුතු මොහොතකි. පාළක පාලිත දෙකොටසම ජාතිවාදීන්ගේ ( සිංහල දෙමළ හෝ මුස්ලිම් ) උගුල් වල නොවැටෙන්නට මෙ අවස්ථාවේ පරෙස්සම් විය යුතුය!


    ඔය මෛත්‍රී දින්නෙ දෙමළ ඡන්ද වලින් කියන එකට මම යමක් මතක් කරන්න කැමති.

    77 පප්ප මහත්තය දින්නෙ තනි සිංහල ඡන්ද වලින් ලද බහුතරයෙන්. ඉන් පස්සෙ ආ හැමෝම දින්නෙ කළවං ලාංකික ඡන්ද එකතුවෙන්. නමුත් දෙමළ ඡන්ද නිසා බලයට පත්වෙච්චි පළවෙනි ජනාධිපති මහින්ද.

    මහින්ද 2005 දින්නෙ උතුරෙ දෙමළ ඡන්ද වැටුනෙ නැති නිසා. යම් විදිහකට ඒ ඡන්ද වැටුනනම් දිනන්නෙ රනිල්.

    එහෙම බැලුවම මහින්ද දිනල තීන්නෙ දෙමළුන්ගෙ මතය බලයෙන් මහින්දට පක්ෂව පල කරපු තත්වයක. ඒනිසා ලැජ්ජ තීන මිනිහෙක් ඔය මෛත්‍රි දින්නෙ දෙමළගෙන් කියන්නෙ නෑ. නමුත් මහින්දට කොහෙද ලැජ්ජාවක්!


    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      / කාල්ටන් බංගලාව තීන්නෙ තංගල්ලෙ. /

      ස්තූතියි ඉන්දික, ..මම ඒ විස්තරේ දැනගෙන හිටියෙ නෑ..මම හිතාගෙන හිටියෙ ඔය මැදමුලන මහගෙදරටමය කියල කාල්ටන් කියන්නෙත් කියලයි..

      / මහින්ද 2005 දින්නෙ උතුරෙ දෙමළ ඡන්ද වැටුනෙ නැති නිසා. යම් විදිහකට ඒ ඡන්ද වැටුනනම් දිනන්නෙ රනිල්. /

      මහින්ද 2005 චන්දෙදි දිනුවෙ By Default දෙමල ඡන්ද වලින්...:)

      / රට ඉතාම දරුණු අනතුරක් අභිමුව තිබේ! /

      මම දැක්ක ඉන්දිකගෙ මේ කමෙන්ට් එක..කතාව ඇත්ත. දිනුවට වඩා අමාරුයි දිනුම රැකගන්න එක..මේ වෙලාවෙ බොහොම බුද්ධිමත්ව කටයුතු කලේ නැත්තං රනිල්ට කලින් පාර වෙච්චි වැඩේ වෙන්ටත් පුලුවන්. ඒත් ජනාධිපති බලතලත් තියෙන නිසා මම හිතන්නෙ නෑ එච්චරම තත්වය දරුණුවෙයි කියල. ඒත් ඔය මහින්ද එක්ක ඉන්න සරපයො එක්ක බොහොම පරිස්සමින් වැඩ නොකලොත් අමාරුවෙ...

      Delete
  7. ලංකා ඉතිහාසයේ රාජපක්ෂ යුගය දැන් අවසන්ය.යළිත් ඔහුට බලයට එන්නට බැරිය.ඔහුට පමනක් නොව යළි සෑහෙන කාලයකට ශ්‍රීලනිප ආන්ඩුවක් එන්නේද නැත.ඊලඟ මහ මැතිවරනයෙන් එජාපය ජය ගනු ඇත.
    පාර්ලිමේන්තුවේ බහුතරයෙන් අගමැති වෙනවා කියන එක මේ මොහොතේ ප්‍රායෝගික නැත.ඇත්තටම දැන් මහින්දට බහුතරයක් නැත.මා සිතන විදියට මේ වනවිට ඔහු සමඟ සිටින්නේ මන්ත්‍රීවරු අතලොස්සකි.
    වත්මන් රජය පත්වුනේ දින සියයකට නොව අවුරුදු හයකටය.විපක්ෂයේ වගකීම ඊට සහාය වීමය.
    අඩුම තරමින් අවුරුදු දෙකක් වත් ජනතාවද වැඩවර්ජන ආදිය නොකර නව වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට රජයට සහාය විය යුතුය.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ,

      / ලංකා ඉතිහාසයේ රාජපක්ෂ යුගය දැන් අවසන්ය. /

      ඔය සුට්ට තේරුං ගන්ට බැරුව දැක්කනෙ අර ජනෙල් උඩ හිටං නැගගෙන නටන නාඩගම? හෙහ්,හෙහ්....අපෙ අත්තම්ම කියනව වගෙ තන්නාසෙ ඔලුවට ගැහුවම එලොව මෙලොව පේන්නෙ නැතුව යනව..ඒකනෙ වෙල තියෙන්නෙ...:)

      Delete
    2. // තන්නාසෙ ඔලුවට ගැහුවම එලොව මෙලොව පේන්නෙ නැතුව යනව.//

      අපේ තාත්තත් ඔය කතාවම කිව්ව ඡන්ද ප්‍රතිඵල කිව්වට පස්සෙ. .

      Delete
  8. //ඒ කියන්නෙ රට පුරා පැවැත්වෙන ඡන්දෙකින් දිනන්ට සිංහල බෞද්ධ ඡන්ද විතරක් මදිය කියන එක ඔප්පු උනා.//

    යේම කියාන්ට යෙපා දොරේ.

    ඇයි අපි සිංහල බෞද්ධ නෙමෙයිද? ඒ කියලා උන්දැට අපි ඡන්දේ දුන්නද? නැහැනේ.

    ඇත්ත කතාව නං දැනට ඉන්න ජනගහණ ප්‍රතිශතය අනුව සිංහල බෞද්ධ ඡන්ද සේරම ලබන කෙනෙක් ඉන්නවා නම් එයා දිනනවා. ඒත් එහෙම සේරම ඡන්ද ගන්න වෙන්නේ නැහැ. මොළේ තියෙන අයත් ඉන්නවා. :D අනිත් අතට 2010 ඡන්දෙදි ටී එන් ඒ එකයි හකීම් කට්ටියයි හිටියේ ජෙනරාල්ගේ පැත්තේ නේද? ඒ හැර ජවිපෙ සම්පූර්ණයෙන් සිය සහය පළ කළේත් ජෙනරාල්ට නේද?

    සිංහලද, බෞද්ධද, මුස්ලිම්ද, දෙමළද කියන බෙදුම් සිතුවිලි වලට වඩා වැදගත් පොදු මහජන මතය කියන එක ඔප්පු වෙලා ඉවරයි. (හැබැයි ඉතිං අපි පන්සලේ හාමුදුරුවෝ කියන එකට එහෙයි කියලා ඇවිත් අපට කැමති දේවල් කළාට දෙමළ මුස්ලිම් මිනිස්සු එහෙම නොවන වගත් නැවත වාරයක් ඔප්පු වුණාද මන්දා)


    මිස්ටර් රවී, ඔබට අමතක වුණා වැදගත් කාරණයක්. දේශයට ප්‍රිය, දේශය ප්‍රිය කරන වෙනත් මහින්ද කෙනෙක් මේ ජයග්‍රහණයේ අපක්ෂපාති නියමුවෙක් වුණු වග!

    //ඇගේ හැටි එහෙමය. ගැහැණුන්ගේ හැටි එහෙමය.ගැහැණුන් ඉඳහිට හෝ බුද්ධියට නොව හදවතටද ඉඩ දියයුතුය. එසේ නොව බුද්ධියටම ඉඩ දුන්නේනම් ඈ කිසිදාක මට කැමති නොවනු ඇත. මා හා විවාහ නොවනු ඇත.//

    :D :D :D

    ReplyDelete
    Replies
    1. කැලණියෙත් චන්දෙ දුන්නෙ කොටිද? මල කෙලියයිනෙ,. පංසලටත් ගහයිද?

      Delete
    2. @ RanDil, Fully agreed.

      දෙමල මුස්ලිම් චන්ද අපට අවශ්ය නොවේ කීමද රට බෙදීමකි
      තම පටු දේශපාලන වාසියට හෝ පැරදුනු වේදනාවට හෝ ද්වේශයෙන් එලෙස සිතීම හා කීම බෙදුම්වාදීන්ට කෙලින්ම උදව් කිරීමකි.
      බෙදුම්වාදයට උඩගෙඩි දෙන්නේ බෙදීමට ඉල්ලන ජාතිවාදී උන් පමනක් නොව එයට විරුද්දයයි කියමින් ද්වේශය පතුරන අනිත් ජාතීන් අතර සිටින ජාතිවාදීන්ය. ජාතිවාදී උන්ගේ ලොකුම වාසිය අනිත් පැත්තේ සිටින උන් වැනිම ජාති වාදීන්ය.

      @ Ravi
      හඳහන් බලලද විවාහවුනේ? :-DDDDD

      Delete
    3. Pra,

      / Ravi, ....හඳහන් බලලද විවාහවුනේ? :-DDDDD /

      හඳහං, පොරොන්දං ගැන මගෙ නෑ කිසිම විශ්වාසයක්..ඒත් බඳින්ට යද්දි පොරොන්දං බලන්ට උනා. මොකද අපේ වැඩිහිටියො ඔව්ව ඉස් මුදුනෙං පිළිගන්නවනෙ. හෙහ්,හෙහ්,

      පොරොන්දං නොගැලපෙන පොඩි හුටප්පරකුත් ඒ අස්සෙ ආපි. ඒ වැඩේ මම ෂේප්මන්ට් එකක් දාගත්තෙ අති උතුම් මහා සංඝ රත්නයේ පිහිටෙන්. ඒ කතාව මම ලිව්ව අවුරුදු හතරකට විතර කලින්..:)

      Delete
    4. Randil,

      / ඇයි අපි සිංහල බෞද්ධ නෙමෙයිද? ඒ කියලා උන්දැට අපි ඡන්දේ දුන්නද? නැහැනේ. ඇත්ත කතාව නං දැනට ඉන්න ජනගහණ ප්‍රතිශතය අනුව සිංහල බෞද්ධ ඡන්ද සේරම ලබන කෙනෙක් ඉන්නවා නම් එයා දිනනවා. ඒත් එහෙම සේරම ඡන්ද ගන්න වෙන්නේ නැහැ. මොළේ තියෙන අයත් ඉන්නවා. :D අනිත් අතට 2010 ඡන්දෙදි ටී එන් ඒ එකයි හකීම් කට්ටියයි හිටියේ ජෙනරාල්ගේ පැත්තේ නේද? ඒ හැර ජවිපෙ සම්පූර්ණයෙන් සිය සහය පළ කළේත් ජෙනරාල්ට නේද?/

      දකුණෙ සිංහල බෞද්ධ ඡන්ද හරි හරියට වගෙ බෙදිල ගිහාම අන්තිමට තරාදිය බර වෙන්නෙ මුස්ලිම් දෙමළ ඡන්ද වලින්...එක පැත්තකටවත් රැල්ලක් නැත්නම් ඒක තමයි වෙන්නෙ.2005 උනේ ඒක. දකුණෙ ඡන්ද හරියටම බාගෙට බාගෙ වගෙ බෙදුණා. රනිල්ගෙ පැත්තට තරාදිය බරවෙන්ට තිබ්බ දෙමල ඡන්ද ටික වැටෙන්ඩ දුන්නෙ නෑ ප්‍රභා බැසිල් එක්ක ගහපු ඇග්‍රිමන්ට් එකේ හැටියට. 2010 යුද ජයග්‍රහණයත් එක්ක මහින්දට ආපු රැල්ල හින්ද දෙමල ඡන්ද ගෙඩි පිටින් වැටුනත් ජෙනරල් පැරදුනා.ඒ සිංහල බෞද්ධ රැල්ල හකිම්, ජේ.වී,පී ඔක්කොමල එකතුවුනත් බැලන්ස් කරන්ට බැරිවුනු තරමට විසාලයි.

      / (හැබැයි ඉතිං අපි පන්සලේ හාමුදුරුවෝ කියන එකට එහෙයි කියලා ඇවිත් අපට කැමති දේවල් කළාට දෙමළ මුස්ලිම් මිනිස්සු එහෙම නොවන වගත් නැවත වාරයක් ඔප්පු වුණාද මන්දා) /

      කොහොමත් අපි මහ ජාතිය උනහම ඔය චන්ද බෙදිල යන ප්‍රවණතාවය වැඩියි.අපේක්ෂකයො දෙන්නම සිංහල බෞද්ධ උනහම අපි කාටද ඡන්දෙ දෙන්නෙ කියල තීරණය කරන්නෙ නොයක් කාරණා සළකල බලල. ඒත් සුළු ජාතීන්ට එහෙම බෙදෙන්ට තියන කාරණා අඩුයි. තමන්ට වැඩිපුටම යහපතක් වෙයි කියල හිතන එක අපේක්ෂ්කයෙකුට ඡන්දෙ දෙනව. ඒත් පාරම්පරිකව ශ්‍රී ලංකා එකට ඡන්දෙ දෙන මුස්ලිම් මිනිස්සු හිටිය බර ගානක්, එයාල ඔය හකිම් එහාට මෙහාට පැන්නට ඒ එක්ක දෙපැත්තට ඡන්දෙ දුන්නෙ නෑ. එදා ඉඳලම අතට නැත්නම් පුටුවට ඊලඟට බුලත් කොලේට.

      මම හිතවත් මුස්ලිම් අය කීප දෙනෙක් ඉන්නව එහෙම අය. හැබැයි අපරාදෙ කියන්ට බෑ මේ පහුගිය ටිකේ අර ගොට්ටා නානසාරත් එක්ක හවුලෙ අල්ලපු කස්තිරම හින්ද ඒ අය සේරම මේ පාර චන්දෙ දුන්නෙ මෛත්‍රීපාලට.අෂ්රෆ් ට හකීම්ට කරන්ට බැරිවෙච්චි වැඩේ කොහොම හරි ගොට්ටා කලා.අයියට කෙල වෙන්ට එක හේතුවක් ඒක.

      / මිස්ටර් රවී, ඔබට අමතක වුණා වැදගත් කාරණයක්. දේශයට ප්‍රිය, දේශය ප්‍රිය කරන වෙනත් මහින්ද කෙනෙක් මේ ජයග්‍රහණයේ අපක්ෂපාති නියමුවෙක් වුණු වග! /

      කතාව ඇත්ත. මයි මිස්ටේක්. එතුමා ගැන මම වචන දෙක තුනක්වත් ලිවිය යුතුව තිබුන. ඔය මනුස්සයගෙ කලින් ඡන්ද වල කල්ක්‍රියාව ගැන මම බොහොම අපැහැදීමකින් හිටියෙ ඇත්තම කියනවනම්. ඒත් ඒක උපක්‍රමික හැසිරීමක් වෙන්නත් පුලුවන්ය කියල මට දැන් හිතෙනව. මොකද නිකමට හිතන්න පහුගිය පළාත් සභා මැතිවරණ වල මනුස්සය අපක්ෂපාතව වැඩ කලානම් අනිවාර්යයෙන් ඡන්දෙ ඉවර උන ගමන් මිනිහව අයින් කරල වෙන හෙංචයියෙක් ඔය තනතුරට දාගන්නව. එහෙම උනා නම් කරපු වැඩෙනුත් කිසිම පල ප්‍රයෝජනයක් නැතුව යනව. මනුස්සය ඒ සතපහකට වැඩක් නැති ඇත්තටම බලය මාරුවීමක් නොවන චන්ද වලදි මෙයාලට ඕන විදිහට වැඩේ කරල අන්තිමට වෙරි ඉම්පෝටන්ට් වෙලාවෙදි වැඩේ දුන්න කියලයි මට හිතෙන්නෙ. කොහොම උනත් සුනන්දගෙ මල්ලිනෙ..හෙහ්,හෙහ්,

      Delete
    5. Pra,

      / දෙමල මුස්ලිම් චන්ද අපට අවශ්ය නොවේ කීමද රට බෙදීමකි. තම පටු දේශපාලන වාසියට හෝ පැරදුනු වේදනාවට හෝ ද්වේශයෙන් එලෙස සිතීම හා කීම බෙදුම්වාදීන්ට කෙලින්ම උදව් කිරීමකි. /

      මෙව්ව කාටද කියන්නෙ ප්‍රා?..මේ මනුස්සය මේ කෙලින පිස්සුව නම් එච්චර හොඳ එකක් නෙවෙයි. දකුණෙ එයාට හම්බවෙච්ච ඡන්ද වලින් පේනවනෙ ජාතිවාදය ඇවිස්සීම කොච්චර හොඳට වැඩකරල තියනවද කියල.එතකොට තව දුරටත් මේ කරගෙන යන වැඩේ බොහොම භයානකයි. අනික මට දෙමල මුස්ලිම් ඡන්ද එපා කියල කියනව. මොන **** අමාරුවටද එහෙනං දාස් ගානක් කොල්ලො බිලිදීල කෝටි ප්‍රකෝටි ගනං වියදං කරල ත්‍රස්තවාදය පරාජය කලේ?

      Delete
  9. ඒත් ලෙමන්පෆ් ලාගේ බටහිර කුමණ්ත්‍රනකතාව තවම බොරුවී නැත. ඒ මන්ද යත් ඔය හඳහන් කාරයින්ට නාසා එකෙන් පගාව නොදුන්නේ යයි කාට කිව හැකිද?
    එමෙන්ම නානසාරද බටහිරින් ලැබූ ගිලන්පස නිසා ලොක්කගේ චන්ද අඩු කිරීමේ මහා පුණ්යකර්ම මාලාවක් කලා වෙන්න බැරිද?
    එතකොට අර බෝලෙ ඉන්න දෙය්යාට රතු ඉන්දියන් බූතියෙක්ගෙන් වගේ බටහිර බලපෑමක් ?

    ReplyDelete
    Replies
    1. Pra,

      / එමෙන්ම නානසාරද බටහිරින් ලැබූ ගිලන්පස නිසා ලොක්කගේ චන්ද අඩු කිරීමේ මහා පුණ්යකර්ම මාලාවක් කලා වෙන්න බැරිද? /

      යස් එහෙම දෙයක්නම් වෙන්ට පුලුවන්ය කියල මටත් හිතෙනව. නානසාර්ස් ගොයියට කෝටි ගනං සල්ලි හම්බ වුනේ නෝර්වේ වලින්ය කියනවනෙ. එතන Machiavelian Strategy එකක් තියෙන්ටත් ඇති Most Probably…:)

      Delete
  10. පොලොන්නරුවේ හෝ හම්බන්තොට ජනයාටත් වඩා උනන්දුවක් රත්නපුර ජනතාවට ඡන්ද පොලට යන්නට ඇති වුයේ පවිත්‍රා ගේ ගෙය බේරා දෙන්නට වන්නට බැරිද?? කළ ගුණ දන්න ජාතියක්නේ මෙයා අපි...


    මම ත් ඕක සැක කරනවා මොකද එකම මරණය වාර්තා උනේ කහ වත්තෙන් එහෙම වෙලා තියන කොටත් රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු ආසන මහින්ද දිනා ගත්තා..

    ReplyDelete
    Replies
    1. නිර්නාමික,

      දෙයියංටම පෙනීයං..එහෙම එකකුත් තියනව නේද? පොලොන්නරුවයි හම්බන්තොටයි දෙකේම ඡන්දය පාවිච්චි කරපු ප්‍රතිශතයට වඩා වැඩියි රත්නපුරේ ප්‍රතිශතය..අම්මාපල්ල..මේ රත්නපුරේ එවුංට දෙයියංගෙ හාල් කැවිල වත්ද? නැත්තං අර කිව්වත් වගෙ පවිත්තරාගෙ ගේ බේරල දෙන්ට හිතාගෙන උරෙනුර ගැටී ඉදිරියට ඇවිල්ල එකා පිට එකා පෙරලෙමින් ඡන්දය දැම්ම වත්ද?

      Delete
  11. අර ගිහිල්ලා කරපු කතාව දැක්කහම නම් වැඩිකල් නිදහසේ හුස්මක් ගන්නවත් පුළුවන් වෙයිද කියලා සැකයි. ඔය රන්දිල් බොහොම අගේට කියලා තියන්නේ සුළු ජාතික ඡන්ද ගැන...

    මම හිරුගෙ බ්ලොග් එකේ ඇහුවේ, බැරිවෙලා හරි සුළු ජාතිකයෝ ඡන්දේ දුන්නේ වෙනම රටක් ලැබෙයි කියලා හිතාගෙන නම් ඉතිං මොකෝ කියලා... යකෝ මරා ගන්නේ නැතුව සාමකාමීව තමන්ගේ ඡන්ද අයිතිය පාවිච්චි කරලා ඒක ලබාගන්න හදනවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වැඩක් වෙන තියනවද?

    දැන් අර සිතියම් පාට කරපු අයගෙන් අහන්න තියෙන්නේ හරි උතුරු නැගෙනහිර නැත්නම් මහින්ද දිනුම්නේ. එහෙනම් උතුරු නැගෙනහිර වෙනම රටක් කරලා සුළු ජාතිකයන්ට දෙමුද? එතකොට මහින්දට දිනලා ඉන්න පුළුවන්නේ. කැමතිම වෙයි නේද? ඔය නොකියා කියන්නේ උතුරු නැගෙනහිර ඉන්න සුළු ජාතිකයන්ව එලවලා දැමිය යුතුයි වගේ එකක් නේද?

    ReplyDelete
    Replies
    1. Thisara,

      /  යකෝ මරා ගන්නේ නැතුව සාමකාමීව තමන්ගේ ඡන්ද අයිතිය පාවිච්චි කරලා ඒක ලබාගන්න හදනවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වැඩක් වෙන තියනවද? /

      ඒකනෙ බං කාටද කියන්නෙ? ඔන්න රට බෙදන්ට හදනව මෙන්න රට බෙදුව කියල මරහඬ තිබ්බම අපේ මෝඩ රැල එක සීරුවට කුලප්පු වෙනව...දෙමලුන්ට වෙන් වෙන්ට ඕන නම් ඒ අයිතියට අපි ගරු කරන්ට ඕන..එච්චරයි..මම දන්නෙ නෑ කවදාක අපේ මිනිස්සු මේ සරල සත්‍යය වටහා ගනීද කියල...

      Delete
  12. /*මෙලෙස කිසිදු හිරිකිතයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදයෙහි සියලු කරුණු කාරණා උල්ලංඝනය කරමින් රාජ්‍යපාලනයෙහි යෙදුනු එලෙසම ඉතාම නිහීන මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවූ මහින්ද රාජපක්ෂට මා දන්නා හඳුනන බොහෝ කාන්තාවන් ඡන්දය දුන් බව මම පෞද්ගලිකව දනිමි.*/

    මේ මමත් ඡන්දෙ දුන්නේ එයාට නේන්නං. :P

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      / මේ මමත් ඡන්දෙ දුන්නේ එයාට නේන්නං. :P /

      අනේ පලයං බං බොරු නොකිය...මම දන්නවනෙ උඹෙ හැටි… :)

      Delete
    2. මේ මේ මේ... ඔව්වා කියලා මං මෙච්චර මේ සද්භාවයෙන් ප්‍රකාස කරාපු මගෙ ඡන්දේ අලවංගු කරන්ඩ හදන්නෙ එහෙම නෑ, තේරුණාද? අපි සැලෙයි ඔව්වට, හුහ්! ඡන්ද කොළේ අතට අරං ත්‍රීවීල් එකක් හොයාගෙන ගිහින් තමයි බුලත් කොළේ හොයාගත්තේ කතිරෙ ගහන්ඩ. :P

      අයියේ, අනේ දැං ඡන්දෙ ඉවරයිනේ. දැංවත් මේ දේසපාලන පෝස්ට් ඩිංගකට නවත්තලා අර කටරොල් මල් වලට වතුර දම දම හිටිය අහල්‍යාට වෙච්ච දේ කිව්වනං.

      Delete
  13. මහින්දගේ පැරදුමට හේතුව ඔහුමයි.. ධනය, බලය ගැන තියෙන අසීමිත තෘෂ්ණාව, බලය නිසා ඇතිවුණු අහංකාරය, මමංකාරය ඔහුව පහත් මනුෂ්‍යෙයක් බවට පත් කළා... නමුත් තවමත් ඔහු තමන්ගේ වැරදි අඩුපාඩු තේරුම්ගෙන වැඩ කරන බවක් නම් පේන්නෙ නැහැ..

    රටට ආදරය කළ නායකයකුට මෙසේ හැසිරිිය හැකිද යන්න ප්‍රශ්නයක්.. ඉතාම පැහැදිලියි ඔහු තමන්ට මිස රටටවත් ජනතාවටවත් කවදාවත් අවංකව ආදරය කළ නැති බව....

    වෙනසක් අපි හැමෝගෙම ප්‍රාර්ථනවා වුණා. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ටවෙලා තියෙද්දිත් තවමත් අපි ඉන්නෙ සාංකාවෙන්.. අවිනිශ්චිතබවෙන්.. වසර ගණනාවක් තිස්සේ දේශපාලනිකව ජරාජීර්ණ වුනු සමාජය අපට ඉතිරි කරල තියෙන හැඟීම තමයි ඒ...

    ඉතින් වෙනස ඇතිවෙන්න ඕන අපි හැමෝම තුලත් කියල මට හිතෙනවා. යහපාලනය වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වෙන්න අපිත් උත්සාහ කරමු.

    ReplyDelete
    Replies
    1. තරුරසී,

      / රටට ආදරය කළ නායකයකුට මෙසේ හැසිරිය හැකිද යන්න ප්‍රශ්නයක්.. ඉතාම පැහැදිලියි ඔහු තමන්ට මිස රටටවත් ජනතාවටවත් කවදාවත් අවංකව ආදරය කළ නැති බව..../

      ඔබ හරි, මහින්දගෙ බලලෝභයෙ තරම මම තේරුම් ගත්තෙ මුලින්ම 2005 ඡන්දෙට ඉදිරිපත්වෙච්චි වෙලාවෙ. ඒත් මම කවමදාකවත් හිතුවෙ නෑ ඔහු මේ තරම් පහත් තත්වයකට වැටෙයි කියල.තමන්ට ආය බලය ලැබෙනවනම් ඕන මඟුලක් කියල හිතලයි ඔහු වැඩ කරන්නෙ...

      Delete
  14. කොමෙන්ට් කියවගෙන ඉද්දි කතාව අමතායි.. හක් හැක්..

    කොහොම උනත් මැතිවරණයේ අවසන් වකවානුවේ හා පරජයෙන් පසුව ජාතිවාදය අවුස්සන විදියට මේ මනුස්සයා කොහොම පහුගිය ටිකේ මේ රටේ ජනාධිපතිකම් කරාද කියල හිතෙනවා..

    අපේ උන්දත් හදවතින් මහින්දට ලව් එකේ හිටියේ.. ඒත් කන්ඩ දෙන මිනිහනේ කියල මං වෙනුවෙන් හංසයට කතිරේ ගැහුවා.. පැරදිලා පලා යනව බලාගෙන දුක් උනා.. මං නිහඬව ඉඳලා මහින්දගේ පශ්චාත් මැතිවරණ හැසිරීම පෙන්නන වීඩියෝ ටිකක් බලන්න සැලැස්සුවා.. දැන් උග්‍ර මහින්ද විරෝදියෙක්.. හොඳම වැඩේ කියන්නේ දැන් දැන් මෙච්චරකල් මෛත්‍රී ගාව දැකපු නැති 'අමුතු' පර්සැනලටි එකකුත් දකින්න අරන්.. ගෑණු තමයි ගෑණු.. ජය ශ්‍රී!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...