Thursday, February 26, 2015

306. විමලෙගෙ වාංපතුල් කතා - 26 - ළමා අවදියෙහිදී අලිපිට යෑමේ ආදීනව, මාළිගාවේ මුර දානය සහ දාහතේ වාට්ටුවේ සරෝජිනී.


Painting - Malcolm T. Liepke
 " අනේ පුතාට තුණුරුවන්ගෙම සරණයි.." නැන්දම්ම මගෙ ඔලුව අතගෑව.

" මේ පුතා මේ කිට්ටුවද? " 

" ඔව් නැන්දම්මෙ මම මේ පිළිමතලාවෙ….."

මම නැන්දම්මෙ කියන කෑල්ල බරකරල කියන ගමං හොරැහිං බැලුව අර කෙල්ලගෙ මූණ දිහා. ඒකි තොල් හපාගෙන ඇස් දෙකෙං හිනා වෙනව.

" පුතාල උදේට කාල එහෙමද ආවෙ?..." 

මම වැඳල එහෙම එකත්පස් වුනාට පස්සෙ ඔන්න නැන්දම්ම අහනව. 

" ඔව් නැන්දම්මෙ කාල ආවෙ...."

" හිහ්..ආය අහන්ටත් දෙයක්ය...අම්ම දන්නෙ නැද්ද හීන් නැන්දම්මගෙ විත්තිය? මඟුල් මේසෙ ඇරිය වගෙ තියෙන්ට ඇති " ...ආයම නැමිල කෙස් වැටිය තෙත් මාත්තු කරන අතරෙ අසෝකා කිව්ව.

" එහෙනං පුතා තේ කෝප්පයක්වත් බොමු නේද? " නැන්දම්ම කුස්සිය පැත්තට යන ගමං ඇහුව...

" හරි නැන්දම්මෙ එහනං කහට එකක් බොමු....." අජිත් එහෙම කියල මිදුලට බැස්ස.. " බයික් එකට ඒ ටිකට අව්ව වැටිල ..ඉඳහං මම අඹ ගහේ හෙවණට දාල එන්නං..."

" නැන්දම්ම නිකම්ම කහට එකක් උස්සගෙන එයිද මන්ද.." මම හෙමිහිට මටම එහෙම කියාගෙන කවිච්චිය ලඟට ගියා.අසෝකා මගෙ දිහා ඔලුව උස්සල බලල තොල් හපාගෙන ආයෙම අහක බලාගත්ත. 

" ඔය වැලිතලප, වෙල්ල වැහුං, පුස් නාඹු, නාරං කැවුං, අග්ගල කොයි කොයිවත් දුන්නොත් අපි එපා කියන්නෙ එහෙම නෑ...හොඳේ? " අසෝකා දිහාවෙ හොරැහින් බලල මම ආයෙම කිව්ව.

" දෙන්ට තියෙන්ට එපාය..ඔහෙ ඇති වෙල්ලවැහුමක්වත් වැලිතලපයක්වත් නෑ..." අසෝකා අහක බලාගෙනම කිව්ව..

" ෂිහ්.. වැලිතලප කෑල්ලක්වත් නැද්ද හලෝ? පුදුම වලව් තමයි මෙව්ව..." මම ආයෙම හොරැහින් ඈ දිහා බලල අහක බලාගෙන කිව්ව. 

" මොන වලව්වක්ද? කවුද එහෙම කතාවක් කිව්වෙ?..." අසෝකා තුවාය අතට අරගෙන මා දිහාට හැරිල සැරෙන් ඇහුව..

" හරි හරි එහෙම නෙවෙයිනං කලබල වෙන්ට එපා. අජිත් තමයි මා දැක්ක කිව්වෙ.."

" මොනවද දැං අජිත් අයිය කිව්වෙ? "

" කිව්වෙ මෙහෙමයි..මචං ඔය අසෝකා නංගිලගෙ අම්ම.... ඒ කිව්වෙ අපෙ නැන්දම්මල රඹුකේවෙල වලව්වෙ. රජකාලෙ රජ්ජුරුවංගෙ ඇත්පන්තිය බාරව ඉඳල තියෙන්නෙ ඒ පරම්පරාවෙ අය. අපි පොඩි කාලෙ ඒ නැන්දම්මලටත් හිටිය අලි හත් අට දෙනෙක්ම. "

" එහ්?.....අජිත් අයිය ඇත්තටම ඔහොම කිව්වද? " අසෝකගෙ ඇස් දෙකත් ලොකු වෙලා....

" කිව්වෙ නැත්තං ආය ඔයාලට අලිහිටියයි කියල දැනගන්ට මොකෝ මට දිව්‍යඥාණෙ තියනවය? අජිත් කිව්ව තමයි. "

" ඉතිං?.... අජිත් අයිය තව මොනවද කිව්වෙ? " 

" ආආආ.....තව කිව්ව මෙහෙම මචං උඹ දන්නවද ඔය අසෝකා නංගි පොඩි කාලෙ ඉස්කෝලෙ හිට ගියේ අලිය පිටේ…"

" මොකක්?..... අලි පිටේ කවුද ඉස්කෝලෙ යන්නෙ? "

" හරි හරි මමත් ඒ වෙලාවෙ ඔහොමම තමයි කිව්වෙ..බොරු කියන්ට එපා...කවුද බං අලිපිටේ ඉස්කෝලෙ යන්නෙ කියල? "

" ඉතිං? ..."

" ඉතිං කියන්නෙ…. අජිතය ඊට පස්සෙ කිව්ව, නෑ බං ඇත්තමයි..ඔන්න අසෝක නංගිව දැක්ක දවසට උඹටම පෙනෙයි එයා අලි පිටේ ගිහිල්ල තියනවද නැද්ද කියල.."

" ඈ???........ ඒ කොහොමද එහෙම කියන්නෙ? "

" එහෙම කියන්න පුලුවන්..හැබැයි ඔය කියුලට් බියුලට් ඇඳගෙන ඉන්නකොට ටිකක් අමාරුයි. ඔන්න කලිසමක් වගෙ ඇඳල ඉන්නවනම් ටක්කෙටම කිව්වැහැකි. ඔයාගෙ නැද්ද කලිසමක් එහෙම? තියනව නම් ඇඳගෙන එන්නකො. පොඩි කාලෙ අලිපිටේ ගියෙ නෑ කියල ඔප්පු කරන්ට ෂුවර් ඇන්ඩ් ෂොට් ක්‍රමේ තමයි ඒක. "

" අනේ මේ....මගෙං මොකවත් අහගන්නෙ නැතුව ඉන්නවද ඔය ඉන්න විදිහට.....කලිසං...හුහ් "

ඒ පාර නං කෙල්ලට මල පැනලම වගෙ. තුවායත් අතේ මිරිකගෙන මාදිහා රවාගෙන උන්න විදිහට මට මැරෙන්ට හිනා...

ඒ එක්කම නැන්දම්ම කුස්සියෙ ඉඳල ආවනෙ තේ කෝප්ප දෙකකුත් බන්දේසියක තියාගෙන. 

" තේ එකක් බොන්ට පුතා..කෝ අපේ අජිත් පුතා? ..." නැන්දම්ම වටපිට විපරම් කරමින් ඇහුව..

" බයිසිකලේ අව්වෙ කියල හෙවණකට දාල එන්නං කියල ඔය ගියෙ අම්මෙ..." අසෝකා එහෙම කියල දොරගාවට ගිහිල්ල පඩි දෙක බැහැල මිදුලට ගියා..

" බයිසිකලේනං අන්න අඹගහ හෙවණට දාල තියනව. අජිත් අයියනං නෑ පේනතෙක් මානෙක...."

" මේ ළමය කොහෙට ගියාද? " .....නැන්දම්ම එහෙම කියල තේ බන්දේසිය මහෙ ඉස්සරහ ටීපෝ එක උඩ තිබ්බ. 

" අනේ දුවේ අර ඊයෙ හදපු අග්ගලා මම පීරිසියක දාල ඇති කුස්සියෙ මේසෙ උඩ. එක පාරට ගේන්ට බැරිහින්ද ගෙනාවෙ නෑ. ගිහිල්ල අරං එන්ටකො. මේ පුතා පැණිරහ එහෙම කනව නේද?..."

" එහෙමකට කන්නෙ නං නෑ ..ඒත් නැන්දම්ම ඉස් ඉස්සෙල්ලම හිත සන්තෝසෙන් දෙන එක එපා කියල කොහොමද? ගේන්ටකො බලන්ට ඔය දහයක් දොළහක් විතර තියනවනං....."

මම හෙමිහිට කිව්ව මා ගාවිං කුස්සියට යන්ට ආපු අසෝකට විතරක් ඇහෙන්ට..කෙල්ල මගෙ දිහා ඔලුව හරවල බලල ආයෙම ගස්සගෙන ඉස්සරහ බලාගෙන කුස්සිය පැත්තට ගියා.

අජිතය ඔන්න ඔය වෙලාවෙම ගෙට ගොඩවුනා. 

" කොහෙද පුතා ගියේ?......"

" මම අර සමිතියෙ කඩේ පැත්තෙ පොඩ්ඩක් ගිහිල්ල එන්ට ගියා නැන්දම්මා......" අජිතය එහෙම කියල මා ගාවම ඉඳගත්ත. 

" හා..එහෙනං පුතාත් බීල ඉන්ටකො තේ උගුරක් මේ දරුවත් එක්කම....." 

අපි ඉතිං අග්ගල කාල තේ බිව්ව.ගම්මිරිස් එහෙම යන්තමට දාල කිතුල් පැණියෙං හදපු එව්ව තමයි අග්ගල.අග්ගල කං ඩෝං පුතා හෙලේ නඟිං ඩෝං පුතා..හීතල මැකිල යන්ට ගම්මිරිස් දාපු අග්ගල කකා සිරීපාදෙ කරුණා කරන එක ගැන කියවෙන ඒ කවි පදේ මට මතක හිටියෙ අපෙ අත්තම්ම කියල දුන්නු කවියකිං..ඉතුරු හරිය මතක නෑ.

අජිතුයි මායි නැන්දම්මලගෙ ගෙදර ආවෙ මාළිගාවෙ මුරදානෙ ගැන කතාකරගන්ටෙයි කියල මම කිව්වනෙ කලින්ම නේද?..ඔය දාන සීන් එකත් සෙල්ලං කෙලියක් එහෙම නෙවෙයි මාළිගාවේ මුර දානයක් ගන්න එකත් අර කණ කොකා විය සිදුර ඇතුලෙන් ඉගිලෙනකොටයි සුද පේන්නෙ කියල කතාවක් තියෙන්නෙ, අන්න ඒ වගේ තමයි.

තේ බීල ඉවර වෙලා නැන්දම්මයි අජිතයයි තේ මේසෙ ඉඳගෙනම මාළිගාවෙ දානෙ දෙන එකේ Logistics කතාකරන්ට ගත්ත. ලොජිස්ටික්ස් කියන එකේ සිංහල වචනෙ ඇවිල්ල කාර්ය සම්පාදනය.ප්‍රසම්පාදන කියන වචනෙ අහල තියනවද? මේ ලඟදි තමයි ඔය වචනෙ නිර්මාණය කරල තියෙන්නෙ මම හිතන්නෙ. ප්‍රසම්පාදන කියන්නෙ Procurement කියන එකට. ඇත්තටම එහෙම අලුතෙන් සිංහල වචන හදන එක මගේ අදහසේ හැටියට බොහොම හොඳ දෙයක්.

මට ඉතිං ඔය මුර දානවල කාර්ය සම්පාදන ගැන කොහෙත්ම උනන්දුවක් නැතිහින්ද මම නැඟිටල මිදුලට බැස්ස. ඔය මම කියන කාලෙ පුදුම පෑවිල්ලක් තිබ්බෙ. තණකොල ඉඳල කරකුට්ටං වෙලා ගිහිල්ල. ඒත් අඹ ගහ වටේට ගඩොල් අල්ලල පාත්තියක් හදල බාර්බටන් ඩේසීස්, කපුරු අරව මෙව්ව වවල තිබ්බ. කවුරුහරි වතුර එහෙම දාල හොඳට සාත්තුකරන වගත් පේන්ට තිබ්බ. වෙන කවුද ඉතිං? එක්කො නැන්දම්ම නැත්තං මේ කෙල්ල වෙන්ට එපාය...මල් පිපිල හැම ගහකම වගෙ. මම මල් දිහාවෙ බලාඉන්දැද්දි ඔන්න එක අපරටම මට ඇහුන රෙද්දක් ගසල දාන සද්දයක්.

හැරිල බලද්දි ගේ පැත්තකට වෙන්ට වගෙ පේර ගස් දෙකක ගැටගහල තිබිච්ච වැලක අසෝකා හෝදපු රෙදි වගයක් වනනව.

මම හෙමිහිට ඒ පැත්තට ගියා..

" මේ නංගි ඔයා නුවර ඉස්පිරිතාලෙ නේද වැඩ?..." අසෝකා නර්ස් කෙනෙක් නැත්තං මාණ්ඩලික හෙදියක් කියල මම කලින් කිව්ව මතකයිනෙ නේද? 

" ඔව් අයියෙ....." 

" මොන වාට්ටුවෙද? "

" මේ දවස්වල නම් මම විසි හතරෙ…"

" දාහතේ වාට්ටුවෙ එහෙම වැඩ කරල නැද්ද? "

" නෑනෙ... තවම නෑ.. ඒක කාඩියොලොජි මේල් වෝඩ් එකනෙ..ලඟදිම ඒකටත් වැටෙයි.."

ඔය වෙනකොට අසෝකා රෙදි වනල ඉවරයි . 

" යං අයියෙ ගෙට. මොකටද මේ අව්වෙ වේලෙන්නෙ…"

අපි දෙන්න ගෙට ගොඩ වෙනකොටත් අජිතයයි නැන්දම්මයි කෑම මේසෙ වාඩිවෙච්චි විදිහට එහෙම්මම ඉඳගෙන බරටම කතාව. අජිතය කොලේක මොනවද ලියනව. මුර දානෙට ඕන බඩු ලැයිස්තුව වෙන්ට ඇති.

අජිතයගෙ හැටි එහෙම තමයි..මේ හවසට ඌයි මායි බෝතලයක් ගෙනල්ල ගහන්ට ලෑස්ති වෙයංකො..මෙන්න මේ යකා හාෆ් ෂීට් එකක් අරගෙන ලෑස්ති වෙනව ඉස්සොරෝම. 

" මොකටද බං ඔය හාෆ් ෂීට් දැම්මම? අත පිහින්ට පත්තරයක් දෙකක් ඉරල ගමු…" මම දන්නෙ නැතුව වගෙ අහනව ඕකගෙ මල පන්නවන්ටම..

" අත පිහින්ට නෙවෙයි යකෝ..මේක මේ බඩු ලිස්ට් එක ලියන්ට."

" ඈ???.....මේ අපි දෙන්න එකතුවෙලා බෝතලයක් ගහන්ට බඩු ලිස්ට් එකක් මොකටද බං?.."

" එහෙම තමයි බං ..මොනවහරි අමතක උනොත් ආය අතන මෙතන කියලද? ගව් ගාණක් යන්ට එපාය. "

එක අතකට ඒ කතාවත් ඇත්ත. ඔය අපි අර මහ කැළේ මැද්දෑවෙ හිටපු කාලෙනෙ. කඩේකට යන්ට පාරටම ඉතිං එන්ට එපාය.

" ඒකත් හරි තමයි බලාගෙන ගිහාම..මොකවත් අමතක උනොත් කාරිය. උඹ එහෙනං බඩු ලිස්ට් එක ලියාපංකො මොකවත් අමතක නොකර..මම ගිහිල්ල බොසාගෙං ජීප් එකක් ඉල්ලගෙන එන්නං.. "

අජිතය ඔන්න දිවත් හපාගෙන ඉඳගන්නව බඩු ලිස්ට් එක කියන්ට. මම ගිහිල්ල බොසාගෙන් වාහනේකුත් අනුමත කරවගෙන යනව කදුරුවෙල බඩු ගේන්ට අජිතයත් එක්ක. කදුරුවෙල ටවුමෙ මාකට් එක ඉස්සරහ වාහනේ නවත්තල අපි දෙන්න බැහැල යනව කඩ වීදිය දිගේ ඉස්සරහට.

" ඒයි කෝ ගනිං අර ලිස්ට් එක...." රෝහණ ස්ටෝර්ස් එක ලඟට එනකොට මම කියනව

රෝහණ එක පහුකරල තව යාර පණහක් හැටක් ඉස්පිරිතාලෙ පැත්තට යනකොට තමයි ෆැන්සි හවුස් එක තියෙන්නෙ. ඒ දවස්වල ඒ පැත්තෙ තිබ්බ ලොකුම කඩයක්. සපත්තු සෙරෙප්පු, රේඩියෝ, ටී.වී. නැති දෙයක් නෑ. විමලයයි මායි වාං පතුල් ගන්ට ගියෙත් ඕකට. හෙහ්,හෙහ්,..... ඔය වාං පතුල් කේස් එකෙන් නෙව මේ කතන්දර මාලාව පටන් ගත්තෙ. අද මේ ලියන්නෙ විසිහයවෙනි කොටස. නම වාං පතුල් උනාට ඉතිං මෙව්වයෙ ලියපු තරමක් ලිව්වෙ මගෙ ජීවන අත්දැකීම්..... අර බෝඩ් එකක් දාල නැති බස් එක වගෙ තමයි. ඔන්න බස් එකක් නවත්තල තියනව. ඒත් බෝඩ් එකක් නෑ

" මේ..කොන්දොස්තර මහත්තයො...මොකදෑ මේ බස් එකේ බෝඩ් එකක් නැත්තෙ? " වයසක ලොක්කෙක් කිට්ටු වෙලා අහනව. 

" අද ඩැයිවර නකතං වෙන්ට ගහල අංකල්, බස් එක කොහෙ යයිද කියන්ට බෑ.. ඒ නිසා බෝඩ් එකක් දැම්මෙ නෑ. ඔය කොහෙ හරි ගිහිල්ල නැවතුනහම එතනට හරියන බෝඩ් එක දානව. " කොන්දොස්තර බස් එකට හේත්තුවෙලා ඉඳගෙන කිව්ව ඇස් පිල්ලං ගගහ. බලනකොට ඒ මනුස්සයත් කරපට් වෙන්ට ගහල.

රයිට් ආපහු රෝහණ ස්ටෝර්ස් එක ගාවට.........

" ඒයි කෝ ගනිං අර ලිස්ට් එක....." රෝහණ ස්ටෝර්ස් එක ලඟට එනකොට මම කියනව

අජිතය උඩ සාක්කුවට අතදානව..ඒ කරල ආයෙම කලිසං සාක්කු දෙකටම අත් දෙක දානව. ඕකා කලිසං සාක්කු වලට අත් දාන්නෙත් අමුතු විදිහකට. වං අත කලිසමේ දකුණු සාක්කුවට සහ දකුණු අත කලිසමේ වං සාක්කුවට..ආන්න එහෙම. අජිතයගෙ අත්දෙක හෙණ දිගයි. අර අපි හතේ අටේ පංතිවලදි ඉගෙන ගත්තෙ වානර මානවයො..අන්න ඒ වගේ. ඉතිං ඒ හින්ද අත්දෙක මාරු කරල සාක්කු වලට දාන්ට පුලුවෙනි හන්දි එහෙම ඇද ගන්නෙ නැතුව. ඉතිං ඔන්න අජිතය අර කදුරුවෙල ටවුමෙ දෙනෝ දාහක් සෙනඟ මැද්දෑවෙ ඇස් දෙකත් උඩ තියාගෙන සාක්කු දෙකේ ලිස්ට් එක හොයනව. 

" මොකද බං වෙලා තියෙන්නෙ? කෝ ලිස්ට් එක? …" මම අහනව බැරිම තැන..

" ඒක අමතක වෙලානෙ බං …" ඔන්න අජිතය හෙමිහිට කියනව..

" අම්මාපල්ල උඹ වගේ එකෙක්..හා..හා..යමං ඕන බඩු ටික අපි ගමු බං.මහ ගොඩක් නෑනෙ ඕකට ආය අහවල් ලිස්ට් එකක්ද?...මෙන්න මෙහෙ වරෙං ……." මම ඌත් ඇදගෙන රෝහණ එකට ගොඩවෙනව.

අජිතයගෙ ඔය සීන් මතක් වෙලා මම තොල්පොට හපාගෙන හිනාව ගිලගත්ත.

" නංගි කෝකටත් අර ලිස්ට් එක ඔයත් ලියල තියාගන්ට..අවුලක් නැතුව දානෙ වැඩ ටික කෙරෙන්ට ඕනනං.."

එහෙම කියල මම ඒ දෙන්න ඉන්න දිහාට යන්නෙ නැතුව සාලෙට ගොඩ වෙන තැනම තිබ්බ වේවැල් පුටුවක ඉඳගත්ත. මෙන්න අර කෙල්ලත් මා ඉස්සරහ ඉඳ ගනිපි.

ඔය පරණ ගෙවල්වල සාලෙ එහෙම මහ විසාලයි. මේස පුටු එහෙම එක පැත්තකට අයිං කලොත් බැඩ්මින්ටන් අතක් වොලිබෝල් ගේමක් එහෙම ගැහුවැහැකි ඇහැ පියාගෙන. පිරිත් මණ්ඩප්පයක් ගහන්ට එතකොට හදිස්සියකට පණහකට හැටකට ඉඳගෙන බණක් අහන්ට, විසි තිස් නමකට දානයක් දෙන්ට පුලුවන් ඉඩ පහසුකම් තියන සාලයක් ඕනය කියල තමයි ඒ දවස්වල පිළිගැනීම තිබ්බෙ. එහෙම උනහම සාලෙම වෙනව පර්චස් විස්සක් විතර හෙහ්,හෙහ්,

කොහොම හරි අසෝකයි මායි ඉන්න තැනට අජිතුයි නැන්දම්මයි කතාවෙන එව්ව ඇහෙන්නෙ නෑ. අසෝකා මං ඉස්සරහ ඉඳගෙන මගෙ මූණ බලල හිනාවුනා.

" අයිය මොකද අර වෝඩ් සෙවන්ටීන් එක ගැන ඇහුවෙ ?..." ...එයා හෙමිහිට ඇහුව.

" නෑ මේ නිකං …" මම ඇදල පැදල කිව්ව.

" නිකං නං වෙන්න බෑ…" එයා ආයෙම හිනා වුනා..

" වෝඩ් සෙවන්ටීන් එකේ වැඩ කරනව නේද සරෝජිනී කියල ගර්ල් කෙනෙක්?..."

" ඔව්..සරෝජිනී මගෙ බැච් මේට්..අයිය එයාව දන්නෙ කොහොමද? "

" ඒක ටිකක් දිග කතාවක්...මෙහෙමයි..අපෙ අප්පච්චි මාස හයකට වගෙ ඉස්සෙල්ල හාට් ඇටෑක් එකක් ඇවිල්ල ඔය වෝඩ් එකේ හිටිය සති දෙකක් විතර…"

" ඉතිං?........"

" ඉතිං මම තමයි වැඩිපුර අප්පච්චි ගාව හිටියෙ…" අසෝකා මා දිහා බලල ආයෙම බිම බලා ගත්ත…

" ඒ කාලෙදි තමයි මම සරෝජිනීව අඳුනා ගත්තෙ…"

82 comments:

  1. ඒ පාර සරෝජිනියෙකුත් ඇවිත්! ඔහොම යං, ඔහොම යං... අලි පිට ඉස්කෝලේ ගිය කතා අහලා ගුටි කෑවේ නැති එකම මදැයි නේද?

    ReplyDelete
    Replies
    1. මලිති,

      / ඒ පාර සරෝජිනියෙකුත් ඇවිත්! ඔහොම යං, ඔහොම යං... /

      ඒකාලෝක කල මදිවි මංපෙත,
      හමුවනා තුරු එසඳ,
      ඇවිද යන කල එකලාව දිවිමඟ,
      පාර කියු තාරකා රැසක්විය.

      / අලි පිට ඉස්කෝලේ ගිය කතා අහලා ගුටි කෑවේ නැති එකම මදැයි නේද? /

      හෙහ්, එතන මෙහෙමයි උනේ මම හිතන්නෙ..ඒ මහගෙ දැනගෙන හිටියෙ නෑ අලි පිට ගිය කතාවෙ තේරුම..ඒකයි ඔය තරමින් මම ඔලුව බේරගත්තෙ...

      Delete
    2. [අලි පිට ගිය කතාවෙ තේරුම] මටත් හරියටම තේරුණා කියල මට සැකයක් තියෙනවනේ .. හෙහ් හෙහ්

      Delete
    3. පැතුම්,

      එහෙම සැකයක් තියේනම් පල්ලෙහා කළ්‍යාණමිත්‍රගෙ කමෙන්ට් එක බලන්න. සක්සුදක්සේ හෝ අතැඹුලක් සේ පැහැදිලි වෙයි :)

      Delete
    4. හික්.... ( ඉස්සර අපෙ තාත්ත කියන්නෙ කකුල් දෙක මැද්දෙන් ෆියට් එකක් යන්න ඉඩ තියෙනව කියල.. ඔව් ඔව් ඉතිං... ඕව මට තමයි කියන්නෙ.. මං කලිසම් එහෙම අදිනවට හරිම අකමැතියි... කොරවක්කෙක් වගේ කියල...)

      Delete
    5. Hiru,

      / මං කලිසම් එහෙම අදිනවට හරිම අකමැතියි... කොරවක්කෙක් වගේ කියල...) /

      කොරවක්කෙක් වගේ කියල කියන්නෙ බං කෝටු කකුල් තියනකොට නේද? අලිපිට ගිය සීන් වලට කොරවක්කෙක් වගෙ කියල කියනවද?

      උඩිං උඩිං ඇවිදිනවටනම් කියනව " අර බලපල්ලකො අරකිගෙ වෝක් එක හරියට කොරවක්කෙක් නෙළුං කොලේක යනව වගෙ " කියල. කෙට්ටු කකුල් වලට ආය කියනව ලබ්බට කෝටු ගැහුව වගෙ කියලත්. ඉස්සරහ දත්දෙක ඈත්වෙලා තියන කෙල්ලන්ට කියන්නෙ දත්බස් මොඩල් කියල. දත්දෙක මැද්දෙන් බස් එකකට ගිහෑකි.

      Delete
  2. Thanks God. Not much beating around the bush today. what happened? Is something wrong?

    ReplyDelete
    Replies
    1. Ano,

      Well ...I thought there should be some sort of a compromise. Beating around the bush only in case of absolute necessity. Anyhow the story must go on don't you agree?...

      Reckon it's similar to storms and earth quakes. After the devastation life goes on..:D

      Delete
  3. ඔය ලිස්ට් ලියන වැඩේ මටත් එච්චර අල්ලනේ නැහැ. සුපර් මාකට් එකේ කවුන්ටරයක් ගානේ පිළිවෙලකට බලාගෙන ගිහින් දැක්කම මේක ඕනි කියලා ගන්න එක තමයි මගේ පුරුද්ද. හැබැයි ඉතින් ඔය වැඩෙන් වෙන්නේ හිතා ඉන්න එව්වා අමතක වෙලා ඕන නැති එව්වයින් කරත්තේ පිරිලා අන්තිමට උස්සගෙන එන්න බැරි බඩු මල්ලක් කරගහ ගන්න එක. ඒ වුනාට හරි අමාරුයි ඒ පුරුද්ද මග ඇර ගන්න. ඉඳල හිතල ලිව්වත් ඉතින් අජිතයා වගේ තමයි.එක්කෝ දාල යයි. නැත්තන් බෑග් එකේ කොහෙට හරි වෙලා හොයා ගන්න බැරි වෙයි .
    මාර්ටින් වික්‍රමසිංහ වගේ පොත් සෙට් එකක් ලියාපන් අය්යන්ඩි සීතා ,සෝමා ,අයිරාංගනී වෙනුවට..අසෝකා ,සරෝජනී ,වසන්තා..........etc

    ReplyDelete
    Replies
    1. බින්දි,

      / සුපර් මාකට් එකේ කවුන්ටරයක් ගානේ පිළිවෙලකට බලාගෙන ගිහින් දැක්කම මේක ඕනි කියලා ගන්න එක තමයි මගේ පුරුද්ද. /

      හයියෝ අපෙ උන්දැ එක්ක බඩු ගන්ට ගිහාම ඔලුව විකාර වෙනව. එක පාරක් ඔය රස සරණිය ද නව සරණද කියල අර තියෙන්නෙ ටී.වී. එකේ කෑම ඉවිල්ල උගන්නන පාඩමක්. අපි දෙන්න ඔව්ව බලපු කාලෙ ( අයි.ඊ. මිඩ් නයින්ටීස් ) ඕකට ආවෙ අර දෙමළ ලේඩි.මට දැන් නම මතක් වෙන්නෙ නෑ. හවසට අපෙ උන්දැගෙන් අහල කියන්නංකො. හරි එතෙක් අපි කියමුකො ලක්ෂ්මී කියල. වැඩ සටහන මෙහෙයවන්ට හිටියෙ රාධා ද මෙල් ( මතකද කඩවර ටෙලි ෆිල්ම් එකේ එහෙම හිටියෙ ).

      ඔන්න දෙන්න වැඩ සටහන පටන් ගන්නෙ ආයුබෝවන් එහෙම කියල.. " ආයුබෝවන් ලක්ෂ්මී " රාධා ද මෙල් එහෙම කිව්වම ලක්ෂ්මී " ආයුබෝවන් රාධා "කියල කියනව. ඊට පස්සෙ තමයි වැඩ සටහන යන්නෙ.

      ඕකෙ කියල දෙන රෙසිපි වලට අපි දෙන්නත් ඒ කාලෙ කෑම ජාති හැදුව. ටී.වී. එක ඉස්සරහ ගෑස් ලිප ගෙනල්ල තියාගෙන..ඉස්සෙල්ලම පටන් ගන්නෙ " ආයුබෝවන් සඳා " " ආයුබෝවන් රවි " කියල. ඔය ටී.වී. එකේ විදිහට කෑම හැදිල්ල ගැන ආයම දවසක වෙනම ලියන්නංකො..

      රයිට් මම මේ කියන්ට ආවෙ අර කියපු ටැමිල් ලේඩි දවසක් කිව්ව මාළු ගන්නකොට හොඳ මාලු තෝරගන්න විදිහ. මාලුවගෙ ඇස් දීප්තිමත් වෙන්න ඕනලු. හපොයි ඒ විදිහෙ දීප්තිමත් ඇස් තියෙන මාලු හොයන්ට ගිහිල්ල නුවර මාලු මාකට් එකේ එවුං තව පොඩ්ඩෙං අපි දෙන්නට එලව එලව ගහන්නෙ. අනූනමයයි තුංකාලයි නූල් තුනෙං ඔන්න ඔලුව බේරගෙන එතනිං එලියට බැස්සෙ...හෙහ්,හෙහ්,

      " මොන ඇස් තියෙන මාලුය කිව්ව? දීප්ති ඇස්? ඒ මොනවද නෝන ඒ? අදමයි එහෙම එකක් ඇහුවෙ..." ඔහොම කියල මුදලාලි මාලු කපන මන්නෙ අතට ගන්නකොට මම උන්දැත් ඇදගෙන දුවනව එතනිං පණ එපා කියල.....දීප්තිමත් ඇස්..ආච්චිගෙ තට්ටෙ...

      / මාර්ටින් වික්‍රමසිංහ වගේ පොත් සෙට් එකක් ලියාපන් අය්යන්ඩි සීතා ,සෝමා ,අයිරාංගනී වෙනුවට..අසෝකා ,සරෝජනී ,වසන්තා..........etc  /

      හෙහ්,හෙහ්, විශ්මිත අයිඩියා..ලියන්ට ඕන ලියන්ට ඕන..ගිය අවුරුද්දෙ මාකේස්ගෙ පොතක් මගේ දුක්ඛදායක සුන්දරියෝ කියල පරිවර්තනය කරල හෙණ ආන්දෝලනයක් උනා මතකද? මගේ පොතට මම නම දාන්ට හිතාගෙන ඉන්නෙ " සඳ පායන තුරු මහද ආලෝකමත් කල තාරකාවෝ "කියල...The Stars Were Shining Until The Moon Rising කොහොමද නම? අති විශිෂ්ටයි නේද?

      Delete
    2. Sada akkagen lakunu godak labei.................:)

      Delete
    3. Sacheera,

      මගේ දයාබර සුබ පැතුම් මැඩම්!!!

      වත් පොත පැත්තෙ මම යැවෙන්නෙම නෑ..ඊයෙ අහම්බෙන් වගෙ ගිය වෙලාවෙයි ඔන්න දැක්කෙ.

      / Sada akkagen lakunu godak labei.................:) /

      අහවල් ළකුණුද බං? මට දෙහි කපයි අම්ම මෝ නැතුව.." හුහ්, තරු නේද? අම්මාපල්ල මේ මනුස්සයට තවම ඔය තරු ගැන නෙව කල්පනාව...ඒකත් එකක් නම් බැරිය...හුහ්, "

      Delete
    4. ලක්ෂ්මී නෙවෙයි යකෝ ඒ මල්ලිකා ජෝසප් කියන ඉස්තිරියාව.

      Delete
    5. හැලප,

      අන්න බං බඩු..මල්ලිකා ජෝසෆ් තමයි..අර දෙන්න වැඩේ පටන් ගන්නෙ " ආයුබෝවන් රාධා.." " ආයුබෝවන් මල්ලිකා " කියල...මම ටක්කෙටම හිතුව එක්කො උඹ හරි හෙන්රිය හරි තමයි ඔය නම දන්නෙ කියල. නැතුව මේ ඊයෙ පෙරෙයිද දෙකයි පණහෙ කොල්ලො කෙල්ලො කොහෙ ඔව්ව දන්නවද? තවම කණේ සබං මොඩල්...

      අනික අපෙ පලෝලෙ තව එකෙක් හිටිය ඒ පකිරින්තුවත් නෑනෙ ආගිය අතක්..Missing In Action......මම මේ කිව්වෙ අර අරූ ගැන හෙහ්,හෙහ්, ඕකට මක් උනාද මන්ද. ඩෝප් මරගාතෙ කවුද පොරක් බකිංහැම් මාලිගාවෙ ගේට්ටුව උඩ නැඟල කෑගගහ ඉඳල පොලීසියෙං ගහල ඇදගෙන ගිහිල්ල කූඩු කරා කියල මම දැක්ක ඉන්ටර්නෙට් එකේ තියනව.One Dark Complexioned Middle Aged Asian කියල තිබ්බෙ. මට හිතෙන්නෙ ආය දෙකක් නෑ මූම තමයි.

      " එළිසබත් අක්කේ..බුදු අක්කේ...දොර ඇරපියෝ.." කියලලු කෑගැහුවයි කියන්නෙ.

      Delete
    6. 'එලිසබෙතා අක්කේ' කියලය කෑගහලා තියෙන්නෙ? එහෙමනම් ඔය අම්මණ්ඩි අපේ බුවාට විශේෂ සමාවක් ප්‍රදානය කරනවා, ඒක බුදු ෂුවර්. මේ මැරෙන්ට ඔන්න මෙන්න කියලා ඉන්න එකීට අක්කෙ කිවුවහම උන්දෑට වුනත් සන්තෝසයක් ඇතිවෙන්නෙ නැතෑ..

      Delete
    7. එයා සිංහල කතා කරන විදිය අමුතුයි නේද .. "ටික ටික ඇඩ් කරන්න " වගේ කතා මුලින්ම ඇහුවේ ඔය මල්ලිකා ජෝෂප් මහත්මියගේ කෑම හැදිල්ලෙ .. ඒ දවස් වල ඒවා අපිට හරි ජොලි .. හෙහ් හෙහ්

      Delete
    8. හෙන චෙෆ්ල ටිකක්නේ බොලේ. මමවත් බැලුවේ නැහැ ඔය සරණිය. ඒ කාලේ ඉවිල්ල කියන්නේ පන ගැටගහගන්න මොනව හරි රත් කර ගැනීම මිසක් ආලවට්ටන් කෑම හැදිල්ල ගැන කිසිම ආසාවක් තිබ්බේ නැහැ. අම්මපා දැනුයි මතක් වුනේ මම කොච්චර වෙනස් වෙලාද.
      දීප්ති මාළු. හේ හේ. මාළු මුදලාලිට දීප්ති කියලා දුවෙක් හෙම හිටිය නම් තමයි වැඩේ.
      කඩේ යාම සහ බඩු ගෙන ඒම ගැන ලියන්න හැකි පොතක්.
      ඔය උයන ප්‍රෝග්‍රෑම් වලින් මම ආසම ජෙමි උන්නැහේට. බුරා නම් මිනිහා පාරේ යනවත් දැකල ඇති. මිනිහා උයනවා විනාඩි තිහෙන් නියම රෙසිපි.
      කාලෙකින් කෑම ගැන ලියන්න බැරි වුනා .

      Delete
    9. Bura,

      / එහෙමනම් ඔය අම්මණ්ඩි අපේ බුවාට විශේෂ සමාවක් ප්‍රදානය කරනවා, /

      අම්මපල්ල ඔව්, ලොක්කිට චූන් උන පාර අරූට නයිට් පදවියක් එහෙමත් ප්‍රදානය කරන්ට බැරි නෑ. කොහොමද අර හෝතඹුව දණ ගහගෙන ඉන්නව ලොක්කි ඉස්සරහ. ඒ අම්මණ්ඩි කඩුවෙං උරෙස්සට තට්ටු කරල Rise Sir Aru කියල මේකව නයිට්වරයෙක් කලොත්.

      පලි - මට හිතෙන්නෙ චාලිසාට රජකම කරන්ට වෙන්නෙ නෑ. ලොක්කි විලියොංට තමයි දෙන්නෙ.

      Delete
    10. Pathum,

      / "ටික ටික ඇඩ් කරන්න " වගේ කතා මුලින්ම ඇහුවේ ඔය මල්ලිකා ජෝෂප් මහත්මියගේ කෑම හැදිල්ලෙ /

      අන්න හරි...පැතුම්..තව අමුතු වචන ගොඩක් තිබ්බ..බෝම පොඩ්ඩක් වගෙ ඇතිවෙයි...ඔය මට මතක එකක්..සම්බොල් කියල කියන්නෙ සම්බෝල කියන එකට. ඔය පස්සෙ කාලෙක ගොඩක් ජනප්‍රිය වෙච්චි ශාන්තා මායාදුන්න එහෙමත් මම දන්න විදිහට මල්ලිකා නෝනගෙ ගෝලයො.

      Delete
    11. @බින්දි,

      මම ජේමිගෙ cooking වලට වඩා කැමැතියි Hairy Bikers ලාගෙ cooking programmes බලන්ට.. නයිජෙලා ලෝසන්ගෙ food porn programmes ත් හොඳා.. :-D

      Delete
    12. Bindi,

      / ඔය උයන ප්‍රෝග්‍රෑම් වලින් මම ආසම ජෙමි උන්නැහේට. /

      ජේමී ඔලිවර් ගොයිය නේද? මිනිහත් නියමයි....

      Delete
    13. @ රවි,

      // පලි - මට හිතෙන්නෙ චාලිසාට රජකම කරන්ට වෙන්නෙ නෑ. ලොක්කි විලියොංට තමයි දෙන්නෙ. //

      එහෙම කරන්ට බැහැ නෙව බං, සම්ප්‍රදාය අනුව දවසකට හරි චාර්ලිසාට ගිහින් තමා එයැයිගෙ පුතාට ලැබෙන්ට ඕන (චාර්ලිසා පණපිටින් හිටියොත්)..

      අනික ලොක්කි ඔය දත කාගෙන අල්ලගෙන ඉන්නෙ කොහොමහරි කරලා වික්ටෝරියා ආන්ටිගෙ රෙකෝර්ඩ් එක (අවුරුදු 64) කඩලම ගෙදර යන්ටයි.. මේ අවුරුද්දෙ අග වෙනකං අල්ලගෙන උන්නනං හරි..

      Delete
    14. Bura,

      / එහෙම කරන්ට බැහැ නෙව බං, සම්ප්‍රදාය අනුව දවසකට හරි චාර්ලිසාට ගිහින් තමා එයැයිගෙ පුතාට ලැබෙන්ට ඕන (චාර්ලිසා පණපිටින් හිටියොත්)../

      එංගලන්ත රාජ්‍යත්වයට පත්වීමේ සම්ප්‍රදාය අනුවනම් මල්ලි එහෙම තමයි.ඒත් මට තියනව පොඩි අපැහැදිලි තැනක්. එලිසබෙත් අක්කගෙ මහප්ප කිං එඩ්වර්ඩ් ද එයිට්ත් ගොයියට රජකම අතාරින්ට උනේ දික්කසාද වෙලා හිටපු වොලිස් සිම්සන් නෝනව බඳින්ට ඕනය කියල කියපු නිසානෙ. ඒ කියන්නෙ එංගලන්තෙ රජාට දික්කසාද බබලතෙක් බඳින්ට අවසර නෑ. එතකොට කලින් කසාද බැඳල දික්කසාද වෙච්චි කැමිලව බැඳපු චාර්ලිසාට ඒ තහනම බලපාන්නෙ නැද්ද?

      Delete
    15. Royals who are divorced or marry divorcees do not lose their position in the line of succession. Edward VIII had a number of affairs with married women including Wallis Simpson who was already divorced and still married to her second husband. His parents King George V and Queen Mary did not approve and refused to meet her. When George V died Prime Minister Baldwin made it clear that the Government, popular opinion in the country and the oversees Dominions (now the Commonwealth nations) did not approve of his plans to marry Wallis. Social attitudes towards divorce and a women looking for a third marriage were considered scandalous at the time, and if Edward married against the advice of his Ministers it would have caused the Government to resign and a constitutional crisis. Edward chose to abdicate.

      The 1772 Royal Marriages Act requires members of the Royal Family to obtain permission from the Sovereign to marry. Queen Elizabeth II gave her permission for Prince Charles to marry Camilla, and more recently for Prince William to marry Catherine Middleton.

      Delete
    16. Bura,

      I thought divorcees or those married to divorcees were not allowed to ascend the throne of England.

      apparently I was mistaken. Thanks :)

      Delete
  4. හිහ් හිහ් හී... අසෝක කෙලීට මක්ක හිතෙන්ට ඇද්ද අරේම කියපුවම...
    හනේ මූනං මාර බුලට් එකක් කියල හිතෙන්ටත් ඇති සමාර විට

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      කෙල්ලන්ට ඔව්වයෙ ගානක් නෑ බං.....:)

      Delete
  5. හෙක් හෙක්... වාං පතුල්නං මොනාද බං මේවනෙ නියම කතා. ඔය වාංපතුල ලියන්න ගි‍යොත් ඒකත් අර අජිතයගෙ ලිස්ට් එක වගේ වෙනව.

    //කණ කොකා විය සිදුර ඇතුලෙන් ඉගිලෙනකොටයි සුද පේන්නෙ කියල කතාවක් තියෙන්නෙ//
    ඒ මොකක්ද ඒ කතාව. මමනං අහල තියෙන්නෙ කණ කැස්බෑව විය සිදුරෙන් අහස බලනවයි කියන එක.
    විය ගහක් මුහුදෙ පාවෙලා ගිහිල්ල ඒකෙ තියෙන සිදුර කැස්බෑවගෙ ඇහැට සෙට් උනාට පස්සෙලු උෘට අහස බලන්න පුලුවං. කරුමෙට එදා අමාවක දවසක් උනොත් සොරි තමයි.

    දැං සරෝජිනීවත් මේකට පටලවගෙන කොහෙන් කෙලවර වෙයිද කියලයි මම මේ කම්පනා කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. //කණ කොකා විය සිදුර ඇතුලෙන් ඉගිලෙනකොටයි සුද පේන්නෙ කියල කතාවක් තියෙන්නෙ//

      ප්‍රසන්න මට හිතෙන්නේ, අර කෝපිකඩේ ඩිංගි මහත්තයා අවුරුදු බර ගානකට කලින් කියපු, "ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්ඩද" වගේ එකක් වෙන්න ඇති....

      Delete
    2. Praසන්ன

      / විය ගහක් මුහුදෙ පාවෙලා ගිහිල්ල ඒකෙ තියෙන සිදුර කැස්බෑවගෙ ඇහැට සෙට් උනාට පස්සෙලු ඌට අහස බලන්න පුලුවං. /

      බොහොම කලාතුරකින් සිද්ද වෙන දෙයක් ගැන කියවෙන උපමාවක් ඕක. මිනිස් ආත්මයක් ලැබීම උපමා කරන්නෙ කණ කැස්බා විය සිදුරෙන් අහසේ පුන්සඳ දැකීමට. කැස්බෑව කියන්නෙ ගඹුරු මුහුදෙ ජීවත්වෙන අවුරුදු දාහකට සැරයක් අහස බලන්නට මුහුද මතුපිටට එන සතෙක් කියලයි ඒ කතාවෙ කියවෙන්නෙ. සී සාන්ට හරක් දෙන්න ඈඳන්නෙ වියගහට. වියගහේ කෙලවර තියනව පොඩි සිදුරක් වියගහ නගුලට සම්බන්ධ කරන්නට.ඒක තමයි විය සිදුර. වියගහක් කැඩිල ගිහිල්ල විසි කරල දැම්මම ගඟක වගෙ පාවෙලා ගිහිල්ල මූදට යන්ට ඕන. මූදෙත් පාවෙවී ඔහෙ තියනව. අර අවුරුදු දාහකට සැරයක් මතුපිටට එන කණ කැස්බගෙ හොඳ ඇහැ හරියටම අර විය සිදුරට සෙට් වෙන්ට ඕන. එදා පාලොස්වක වෙන්නත් ඕන. අහසෙ හඳ පායල තියෙන්නත් ඕන.

      වික්ටර්ගෙ පරණ සින්දුවක් තියනව මෙහෙම...... " කණ කැස්බෑ නෙත බලා සිටිනවා අහස දකින්නට විය සිදුරෙන්........ පෙරුම් පුරාගෙන අහස බැලූදා සඳ නැත අහසේ අමාවකයි..."

      ඒ කාලෙ මිනිස් ආත්මයක් ලැබීම එහම උපමා කලාට අපිට අද මෙහෙමත් කිව්වැකි. " කාගෙද ලටපට නම් වියුණුවෙහි වියුණු සටහනක් පළවීම වනාහී කණ කැස්බා විය සිදුරෙන් අහස දකිනවාටද වඩා දුර්ලභ සිදුවීමකි. "

      Delete
    3. //වියගහක් කැඩිල ගිහිල්ල විසි කරල දැම්මම//
      මම අහල තියෙන විදියට විය ගහක් ලේසියෙන් කැඩෙන්නෙ නෑ. කැඩුනත් කැඩෙන්නෙ ඔය සිදුර තියෙන තැනින් තමයි. ඔය කැස්බ වැඩේට කැඩුනෙ නැති හොඳ විය ගහක් තියෙන්න ඕන. ඒ වගේ එකක් ගොවියෙක් විසි කරනවයි කියන්නෙත් බොහොම දුර්ලභ දෙයක්.

      මොකක්ද අර ලටපට කියන බ්ලොග් එක. මෙච්චර බ්ලොග් කියවන මට ඒක තාම අහුවෙලා නෑනෙ. :P

      Delete
    4. තිසර,

      / ප්‍රසන්න මට හිතෙන්නේ, අර කෝපිකඩේ ඩිංගි මහත්තයා අවුරුදු බර ගානකට කලින් කියපු, "ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්ඩද" වගේ එකක් වෙන්න ඇති..../

      ඩිංගි මහත්තයත් ඒ කතාව කිව්වද? මම නම් ඉස්සොරෝම ඕක ඇහුවෙ මල්ලි,.... 73, 74 වගෙ ගුවන් විදුලියෙ දෙවෙනි සේවයෙ සඳුදා රෑ 8.30 ට ප්‍රචාරය වුනු මුවන් පැලැස්සෙන්. ඔය කතාව කිව්වෙ කෝරළේ මහත්තය නොහොත් විජේරත්න වරකාගොඩ.

      මෙහෙම එකක් අහල තියද? " ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන කුකුළට කොයි පිටියත් එකයි."

      Delete
    5. ඊළඟට සරෝජිනීගේ කතා සැට් එකද මචං?

      Delete
    6. @ප්‍රසන්න,

      ඔය වියසිදුර තියෙන තැනින් කැඩුන වියගහක් තමා මුහුදෙ පාවි පාවි තියෙන්නෙ මම ඔය කතාව අහලා තියෙන විදියට නම්.. මේ කෑලි දෙක පාවි පාවි තිබිලා දවසක එකට හම්බවෙනවා.. හම්බවෙලා අර කලින් තිබුන විදියටම සිදුර ගාවින් හා වෙනවා.. අන්න එතැනින් තමා කණ කැස්බෑවා අහස බලන්ට ඕන.. එදාට හඳ පායලා තියෙන්ටත් ඕන, අහසෙ වළාකුළු නැතිවෙන්ටත් ඕන, රෑ කාලෙ වෙන්ටත් ඕන, වටාපිටාවෙ මාලු බෝට්ටුවක් නැතිවෙන්ටත් ඕන.. :-)

      Delete
    7. බූරා,

      හරි බං...එහෙම සීන්ස් එකක් තමයි, උඹ කිව්වමයි මට මතක් උනේ...විය සිදුර දෙකට මැදින් වියගහ පැලෙනව. කොහොමත් නැචුරලි එහෙමලු වෙන්නෙත්.

      Delete
    8. හැලප,

      සරෝජිනීගෙ කතා සැට් එකක් නෑ බං..බොහොම සුළු සීන්ස් එකක් තියෙන්නෙ..:)

      Delete
  6. මාත් දැකල තියෙනව ඔය පොඩි කාලේ අලිය පිට ගිය ගෑනු ලමයි ලොකුවෙලා ඩෙනිම් ඇඳන් යනවා.. ආයි මොනාද ඉතින් එක ලඟ වරහන ඇරල වැහුවා වගේ.. () ලස්සනේ බෑ.. හැක් හැක්..

    අළුත් වචන සිංහලට එකතු වෙන එක හොඳයි.. හැබැයි මටනම් ඔය foreign procurement/ Local procurement කරන Logistic බ්‍රාන්ච් එකේ එවුන් මතක් කරනකොට තව තව අළුත් සුද්ද සිංහල එකතු කරන්න හිතෙනවා.. අපි මුහුදේ කට්ට කාල කාල යන්තං ගොඩබිමක් දකිනකොට මුං පටි දෙක වෙන්නත් කලිං තඩි ගෙවල් දොරවල් කාර් බාර් සුපිරි කෑලි ෆයිව් ස්ටාර් වෙඩින් එහෙම ප්‍රසම්පාදනේ කොරගෙන.. :(

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      / මාත් දැකල තියෙනව ඔය පොඩි කාලේ අලිය පිට ගිය ගෑනු ලමයි ලොකුවෙලා ඩෙනිම් ඇඳන් යනවා.. ආයි මොනාද ඉතින් එක ලඟ වරහන ඇරල වැහුවා වගේ.. () ලස්සනේ බෑ.. හැක් හැක්.. /

      අයියෝ බං ඒ කාලෙ ඔය ඔන් ද එලිෆන්ට් ගිය කෙල්ලන්ට අපි කියපුව..පව් එක අතකට..ගොඩක් වෙලාවට ඇහෙන්ට කියන්නෙ නම් නෑ. පව්නෙ. සමහර එව්ව මෙතන කියන්ටත් බැරිතරම කොටු කොටු.....

      Delete
    2. යකෝ ඒත් මර තේරෙන්නේ නැහැනේ මේ අලියා පිටේ කතාව..:(

      Delete
    3. බොලා Bowlegged Cowboys ලා ගැන එහෙම අහලා නැද්ද? :-)

      Delete
    4. මනෝජ්,

      අනේ බං අර හිරු නෝන මහත්තයගෙං ඇඩ්ඩැස් එක අහගෙන ඔය අලිපිටේ ගිය සීන් එක තේරෙන්නෙ නැති ඔක්කොමල වෑන් එහෙකවත් පටවගෙන එහෙ පලයං.

      Delete
    5. >>අනේ බං අර හිරු නෝන මහත්තයගෙං ඇඩ්ඩැස් එක අහගෙන ඔය අලිපිටේ ගිය සීන් එක තේරෙන්නෙ නැති ඔක්කොමල වෑන් එහෙකවත් පටවගෙන එහෙ පලයං.<<

      ඔය උඹලා කියන අලිපිට ගිය කතාව කලටිපොලි කරෙක් නෑ නේද? ඕකටත් යෙදුමක් හදහල්ලකෝ අර තට්ටයා වෙනුවට ෆොලිකලි චැලන්ජ්ඩ්, කිව්වා වගේ.

      උඹ ඔය යෝජනා කරපු ක්‍රියාදාමයත් කණ කැස්බෑවගේ විය සිදුරු කේස් එක වගේම තමයි.
      හිරු නෝනා ඇඩ්ඩස් එක දෙන්න කැමති වෙන්න ඕනේ
      ඇඩ්ඩස් එක දුන්නත් වෑන් එකකට කස්ටිය එකතු කරගන්න සංවිධාන සක්තියක් තියෙන්න ඕනේ
      උඹලා එන බව දැනගෙන හිරු නෝනා කොහේවත් මග ඇරල නොගිහින් ගෙදර ඉන්න ඕනේ
      ඒ ඔක්කොමත් හරි උන්දැ හීනි ජීන්ස් එකක් ඇඳගෙන ඉන්න දවසක් වෙන්නෝනේ
      ඒ ඔක්කොමත් හරි කියහංකෝ. උන්දැ මේ කමෙන්ට් කියෙව්වට පස්සෙ උඹලා හිතනවද උඹලට ඇඩ්ඩැස් එක දීලා මෑකරල් ජීන්ස් එකක් ඇඳගෙන ඉඳී කියලා ගෙදෙට්ට?
      කණ කැස්බෑවට තියෙන චෑන්ස් එකවත් මෙතන නෑ ලොක්කා.

      Delete
    6. හෙන්රි,

      හෙහ්,හෙහ්, පොලිටිකලි කරෙක්ට් ටර්ම්ස් තුනක් හම්බවුනා.

      1. A person with parallely challenged limbs

      2. A Person having curvilinear appendages

      3. A person with excessively curved propulsion protuberances.

      Delete
    7. Number one is the least offensive, I mean the best.

      What about the other issue? No comment?

      Delete
    8. //ඇඩ්ඩැස් එක දීලා මෑකරල් ජීන්ස් එකක් ඇඳගෙන ඉඳී කියලා ගෙදෙට්ට?//

      අමාරුවෙන් තකොරගෙන තොල විකාගෙන හිර කොරගෙන ආපු හිනාව පැන්නනෙ බොල මෙතනදි එලියට...හේතුව කියන්න පෝස්ට් එකම්ම දාන්න වෙනව

      Delete
  7. අර කෙල්ල පව් යකෝ... :)

    වාංපතුල් කතා සෙට් එක මුල ඉඳලම බලන්න වෙනවා. අතරින් පතර කීපයක් බැලුව මිසක් කොම්පිලිට් කොර ගන්න බැරි උනා.

    ReplyDelete
    Replies
    1. අවුලක් නැහැ. කොහෙන් බැලුවත් එකයි. එකක වත් වාන් පතුල් ගැන නැහැ.:D

      Delete
    2. නොමග නොයන් පුතේ.
      බොලාට තියා ඔක්කොම බලපු අපිටවත් තාම මේක කොම්පිලිට් කරගන්න බැරුව ඉන්නෙ.

      Delete
    3. නොමග ගොස් හමාරය. අබිං පොඩ්ඩක් නෙවේ මල්ලක්ම ලදිමි.
      වාංපතුල් සෙවීමට ගිය මා හට දඩයක්කාරයෙකු මුණගැසුණි.
      ඉතා ප්‍රීතියෙන් යුතුව දඩයමේ යමින් සිටිමි.

      රවී- එහෙනම් උඹත් එකෙක්...

      Delete
    4. @ලොකුපුතා,

      දඩයක්කාරයාගෙ කතාවෙ කමෙන්ට්ස් ටිකත් එක්කම කියවන්ට‍‍‍.. එතකොට බොලාට තේරුම් ගන්ට පුළුවන් වෙයි කතාවේ ක්‍රමික විකාශයත් එක්ක පාඨකයාගේ බලාපොරොත්තු කෙමෙන් කෙමෙන් අඳුරු වී ගොස් අවසන පාඨකයාද දඩයක්කාරයාත් සමගම අභ්‍යවකාශයේ අතරමං වූ ආකාරය..

      මං ‍බොරු කියනවා කියලා හිතනවනම් අර නවමා‍ගෙන් අහලා බලහන්..

      Delete
    5. බුරා,
      සම්පුර්ණ කතාවම කියවා හමාරය. පාඨක බලාපොරොත්තු අඳුරු වීම කාලයේ දීර්ඝ භාවය නිසා ඇති වුවක් විය හැක.
      පොතක් ලියනවා මෙන් නොව, මෙසේ බ්ලොගයේ ලිවීමේදී පාඨකයා විටෙක ලියන්නාට බාධාවක් වී ඇති බවක්ද මා හට හැඟුනි.
      හෙහ්...
      කොහොම උනත් බාධක මැද මෙවැනි කතාවක් ලියපු එකට වෙනම තෑග්ගක් දෙන්න ඕනේ. පොතක් ලියන කෙනෙක් මොන තරම් නිස්කලංකව ඉඳගෙනද පොතක් ලියන්නේ, මනසට එන අදහස් වලට ගලාගෙන එන්න ඉඩ ඇරලා.
      නමුත් බ්ලොග් වෙනස් බවත් පිළිගන්න වෙනවා.

      කමෙන්ට් ඔක්කොම බැලුවේ නැහැ බුරා. සමහර බොළඳ කමෙන්ට් දැක්කම ඒවා බලන්නේ නැතුව කතාව බලන එක හොඳයි කියල මුලදීම හිතුන නිසා.
      ගොඩක් හොඳ කමෙන්ට් සහ දිරි ගැන්වීම් එහෙමත් තියෙනවා දැක්කා.
      ඒ ඔක්කොම බැහැර කරපු නිසා තමයි, කතාව බලල ඉවර කරන්න පුළුවන් උනේ... :)

      Delete
    6. ලොකු පුතා,

      හෙහ්,හෙහ්, දඩයක්කාරයගෙ කතාව ඔක්කොම උඹ බැලුවද? ...ඉස්තූතියි කොල්ලො....:)

      අර බූර්ස් කියපු එක ඇත්ත බං..ඒකෙදි මම රටේ නැති ආරළු බූරලු ඔක්කොම ඔබන්ට ගිහිල්ල වැඩේ වණ කරගත්ත...හෙහ්,හෙහ්, ඒ කාලෙ ඔය නවමා ( නවමා කියන්නෙ නවම් මාවත..මම හිතන්නෙ උඹ කියවල නැතුව ඇති ඌ ලියාපුව. එක ජාතියක පොරක් තමයි නවමා. ඒ ගස්ගෝන දැන් ලියන්නෙ නෑ. ඌටම එපා වෙලාද කොහෙද ) එතකොට බූරා, බින්දි එහෙම එකතුවෙලා මට අම්ම මෝ නැතුව බැන්න පස් පඩංගුවෙ...හෙහ්,හෙහ්, බැණුං අහන්ටත් වටින වැඩේ තමයි. පස්සෙ අපෙ අම්මට උදේට එක දිගට කිඹුහුං යන්ට ගත්ත එක සීයක් දෙසීයක්..ඊට පස්සෙ කොහොම හරි දත කාල හිට දඩයක්කාරයගෙ කතාව ඉවර කරල දැම්ම.

      Thanks Again Loku Putha....;)

      Delete
    7. ප්‍රසන්න,

      නොමඟ නොයන් පුතේ..නුඹට අතක් ඇතේ.....විල්බට් ඇන්තනිගෙ මරු සිංදුවක්...:)

      Delete
    8. (නවම් මාවත ලියපු පෝස්ට් මම ඉස්සර ඉඳලම බලනවා...)
      දඩයක්කාරයාගේ කතාවට එහෙම බනින්න තරම් ලොකු හේතුවක් මටනම් පෙනුනේ නැහැ ලොක්කා
      ඒ බැනපු කෙනෙක් උනත් දැන් ගිහින් පොතක් අරගෙන කියවනවා වගේ මානසිකත්වයෙන් කොටස් 35 ම එක දිගට බැළුවොත් සමහර විට ඔවුන් කළින් සිටි මතය වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා කියල මට හිතෙනවා

      ඒක නිර්මාණයක් විදිහට ගත්තම මමනම් ඒ ගැන සැටිස්. ඒ සමගම අතීත සිද්ධි මේ කතාවට ගලපා තිබීමත් මගේ සිත් ගත්තා.
      මට තිබ්බ එකම අවුල භාෂා රටාව රැකගන්න බැරි වීම සහ පොඩි පොඩි නොගැලපීම් කීපයක් පමණයි.

      Delete
    9. ලොකු පුතා,

      දරුවො තමං හිතපු විදිහට හැදුනෙ නැතිවුනත් දෙමව්පියන්ගෙ ආදරේ අඩුවක් වෙන්නෙ නෑ වගේ තමයි, දඩයක්කාරයා ගැන මගෙ හිතේ තිබ්බ ආදරේ තාමත් තියනව....ඒනිසාවෙන් දඩයක්කාරය ගැන ආයෙම මතක් කරපු ඒ වගේම සහතිකයක් දුන්නු උඹට ආයෙමත් ස්තූතියි...:)

      Delete
    10. වාංපතුල් සීරියස් එකත් ඉවරයි... උඹේ ලිවිල්ල තමයි ලිවිල්ල.
      වාංපතුල් නම් කමෙන්ට් එක්කමයි බැලුවේ. ගොඩක් වටිනවා බං උඹල ලියන එව්වා කියවන එක.

      උඹ ලබපු අත්දැකීම් වලට සමාන නැතත් මේ වගේ පිස්සු අත්දැකීම් මමත් ට්රේනනින් කාලේදී, සයිට් ජිවිතේදී තරමක් හරි ලබල තියෙනවා. නමුත් උඹ ලියන තරම් රහට මට ලියන්න බැහැ. ඒ වගේම ඒකට හරිහැටි වෙලාවකුත් නැහැ.

      උඹ, අරූගේ අඩවිය ලියන අරූ වගේ උන් දේශපාලනය කියන කුණුගොඩ ගැන කතා කරන්න යන එක අපරාධයක්. උඹලට තියෙන්නේ ලස්සන ලිවීමේ හැකියාවක්.

      කුණු ගැන කතා කරන්න වෙනම බුවාලා ඉන්නවා. උන්ට ඒක කර ගන්න දීල මේ වගේ ලස්සන කතා ලියපන්. ඒ අතරේ කෙනෙකුට ඉගෙන ගන්න ගොඩක් දේවල් අතුරු කතා විදිහට එළියට එනවා.
      උඹලගේ අත්දැකීම් අනිත් මිනිස්සුන්ට කියවන්න සළස්වන එක සෑහෙන වටිනවා...

      කැමිලස්ගේ වනිගසුරිය අම්පාර පැත්තේද කොහෙද හේන් ගොවියොත් එක්ක ජිවිතේ ගෙවපු කාලේ ගැන පොතක් කියෙව්වා. පොතේ නම “වනදිවි සැරිසර” ද කොහෙද.(නම ෂුවර් නැහැ). උඹේ ලියවිල්ල බැලුවම ඒ පොතේ කතා මතක් වෙනවා.
      ජය වේවා...!

      Delete
  8. උඩ ඉඳන් පහළට කියෝගෙන එද්දි දාහක් දේවල් කල්පනා උනා.ඔක්කොම එක සැරේ අහන්නෙ කොහොමෙයි.ඒක නෙවෙයි දැන් උඹ බොහොම සැහැල්ලුවෙන් ලියනව නේද.අනේ වාසනාවන් ඒ උනාට බං යහ පාලනේ නං අනතුරේ.පරණ ලෝක හොරු කම්බ හොරුත් එක්ක ඩීල් දානවා.ඒ නිසා යහ පාලනේ නැතුව අනික් හැම දේම සිද්ද වෙනවා.අනේ මන්දා අපි ගිහිං අර නැගිටින්නෙ නෑ කියල රජ පුටුවෙ ලැගගෙන හිටපු උඹේ මාමද කවුද කියපු එකා එලෝල දාල ආවට මොකද ඊට වඩා හොඳා නොගිහිං හිටිය නං කියල පෙළක් වෙලාවකට හිතෙනව බං.

    ReplyDelete
    Replies
    1. යාන්තම් කතා ටික ඉවර කරන්න පිළිවෙලට ට්‍රැක් එකට වැටීගෙන එනකොට ආයේ කැලේ පනින්න හිතෙන ටෝක්ස් දාන්න එපා හැලපේ ... මම හිතන්නේ හෙන ගේමක් දීලා මෙයා මේ ට්‍රැක් එකට ආයේ වැටුනේ .. :D

      Delete
    2. හැලප,

      / ඒ උනාට බං යහ පාලනේ නං අනතුරේ.පරණ ලෝක හොරු කම්බ හොරුත් එක්ක ඩීල් දානවා. /

      මගෙ කොහොමත් ඔය යහ පාලනය ගැන ඒ හැටි ලොකු බලාපොරොත්තු තිබ්බෙ නෑ...ඒ වෙලාවෙ හැටියට කලයුතුදේ අර ගෝරිල්ල එලවන එක නිසා ඒ වෙනුවෙන් ලිව්ව එච්චරයි.මහ මැතිවරණෙදි මට පේන්නෙ ජේ.වී.පී. එකට ඡන්දෙ දෙන්නයි වෙන්නෙ. රනිල්ගෙන් යහපාලනයක් බලාපොරොත්තු වෙන එක නිකං ප්‍රෙෂර් නග්ගගන්න වැඩක්. කමක් නෑ තවම මම පූර්ණ අපේක්ෂා භංගත්වයට පත්වෙලා නම නෑ. අපි බලමු බං මොකද වෙන්නෙ කියල.

      Delete
    3. පැතුම්,

      / යාන්තම් කතා ටික ඉවර කරන්න පිළිවෙලට ට්‍රැක් එකට වැටීගෙන එනකොට ආයේ කැලේ පනින්න හිතෙන ටෝක්ස් දාන්න එපා හැලපේ…/

      ඒකනෙ බං කියන්නේ කාටද? මුං එක්ක බෑනෙ...යන්තමට එක විදිහක් වෙලා ප්‍රෙෂර් එහෙම නෝමල් වෙලා එද්දි මෙවුන්දල එනව ආයම මයෙ මයිල් කෙලිං කරවන්ට...හෙහ්,හෙහ්,

      Delete
  9. බ්ලොග් කියල ජාතියක් මේ ලෝකේ තියෙන තාක්කල් අපිට වරහන් වහ වහ ඉන්න පුළුවන් .. ඔහොම යාං ...

    ReplyDelete
    Replies
    1. Pathum,

      ඔන්න ඉතිං ඒකෙත් හැටි...:)

      Delete
  10. කීයක් ඔට්ටුද රවී අසෝකා ගැන ඇත්තම විස්තරේ ඉස්සරහට ලියන්නේ නෑ . ඒකනේ සරෝජිනියෙක් පටලව්වේ හෙහ් හේ

    ReplyDelete
    Replies
    1. තිලක්,

      නෑ..නෑ..සරෝජිනී ගැන එච්චර ලියන්ට දෙයක් නෑ...අසෝකගෙ කතාව වහාම ඉවර කරනව.." පිළිස්සූ කුකුළකු නිසා අහිමිවූ මගේ ආදරය "...හෙහ්,හෙහ්

      Delete
    2. තාම ඔය කුකුළ පිච්චෙනවද? දැන්නං අඟුරු වෙලත් ඇති. :D

      Delete
    3. යේස්,ඌ නම් මහා කරුමක්කාර කුකුළෙක් වෙන්ට ඕනේ :D

      Delete
    4. ඇයි ප්‍රසන්න කොස් ගෙඩිය?අර ළමය කොස් ගෙඩියත් තියාගෙන බලං ඉන්නවලු මූ එනකල්.

      Delete
    5. @ හැලපෙ, ඒ ළමය දැං කොහොල්ලැ වලින්ම වැහිල ගිහිල්ලලු. පොල්තෙල් ගැලුමක් විතර දාල කොහොල්ලැ ටික දියකරගෙන තමයි කෙල්ලව හොයාගන්න වෙන්නෙ.

      Delete
    6. කට්රොල් මල් වලට වතුර දාන කෙල්ලෙකුත් ඉන්නවා

      Delete
    7. ප්‍රසන්න, මනෝජ්, හැලප සහ පැතුම්,

      අර කොල්ල කෙල්ලට කියාපු එක තමයි මටත් බොලා ඔක්කෝටම කියන්ට තියෙන්නෙ.." ඔව් ඉතිං තමුසෙට නම් මොකද? මම එපාය ඔය මහ ගිරි දඹේ මුදුනට හාලුයි පොලුයි කරතියාගෙන අදින්ට? "

      Delete
    8. අනේ අපරාදේ කියන්න බැහැ මේ කට්ටියට නිකමට හරි ගෑවිච්ච ගෑනු පරානයකගේ නමක් උනත් කට පාඩම්...

      Delete
    9. උපේක්ෂා,

      අර පිරිමි චාප ඔක්කොම ඡේදනය වෙන ලක්ෂ්‍යය ඒක වෙන්න බැරිද?

      Delete
    10. රවී:
      ඒ ලක්ෂ්‍යය හඳුන්වන්නේ ඊට වඩා පුළුල් නමකින්. මෙය එහි උප කුලකයක් පමණි..

      Delete
  11. අර අලි කතාව තාමත් මට හරියට තේරුනේ නැති හැටි.අලියා පිටේ ගිහින් කකුල් පළල් වෙන කතාවක්ද ඔය කියන්නේ රවීයියේ ?
    ස්කොලේ අපේ පන්තියේ කොල්ලෙක් හිටියා පෙරහැරක අලියා පිටේ ගිය එකෙක්.ඌ පස්සේ දවසක අපිත් එක්ක කිව්වා කකුල් වල ඉකිළි ඉරෙනවාලු කකුල් දෙක පළල් කරන් ඉඳලාම.කොටින්ම අලියා පිටින් බැහැලා දවස් දෙකක් විතර යනකම් ඌ ගියෙත් බකල ගගහා.
    යකෝ අලියා පිටේ යාම ඔය තරම් අමාරු නම් ඒ කාලේ රජ ගොල්ලෝ කොහොම දුකක් විදින්න ඇතිද ?

    ReplyDelete
    Replies
    1. මට පෙන්නේ රවී අයියේ උදාහරණ රුප සටහන් සහිතවම පැහැදිලි කරන්න වෙයි වගේ .. :D

      Delete
    2. මනෝජ්,

      / යකෝ අලියා පිටේ යාම ඔය තරම් අමාරු නම් ඒ කාලේ රජ ගොල්ලෝ කොහොම දුකක් විදින්න ඇතිද ? /

      අඩේ රජ ගොල්ල කකුල් දෙකත් දෙපැත්තට දාගෙන දෙපරැන්දෙං ඉඳගෙන අලිපිටේ ගියේ නෑ බොල. රජවරු රට වටේ ඉන්ස්පෙක්ෂන් සර්කිට් ගියාය කියන්නෙ ගියේ ඇතාපිටේ හයිකරපු මණ්ඩප්පෙක බොහොම සැපපහසුවට අසුන්ගෙන..තේරුණාද? හැබැයි යුද්දෙට යද්දි මණ්ඩප්පෙ අස්සෙ ඉඳල හටං කරන්ට අමාරු නිසා ඇතා පිටේ බොහොම සරල ආසනයක් වගෙ එකක් සවිකලාලු උගෙ බඩ යටින් වරපටි දාල හෙල්ලෙන්නෙ නැතිවිදිහට තදකරල බැඳල.

      දවසක් ඔහොම පිට උඩ ආසනයක් සවිකරපු ඇතෙකුට මොකක්ද එකකට මල පැනල ඌ බඩ අකුලල අර පටි බුරුල් කරල පිට උඩ තිබ්බ ආසනේ ඒකෙ හිටපු රජා හරි කවුරුහරි එක්කම බිමට රූටල වැට්ටෙව්වයි කියල මම ඔය මොකක් හරි කතාවක කියවල තියනව. ඉඳහං මතක් උනහම කියන්නං කොහෙද එහෙම තිබ්බෙ කියල...

      Delete
    3. පැතුම්,

      ඒකනෙ බං..මෙවුන්ට වෙනම ලියන්ට වෙයි වගෙ රූපසටහන් සහිත පොඩි අත් පත්‍රිකාවක් වගෙ එකක්...අර " සිතියම් සහිත කාම සූත්‍රය " වගෙ එකක්.

      Delete
  12. Niyamai. Harima rahayi

    ReplyDelete
  13. මේක අර මහා දිග කතාව වගේ එකක්ද? පලවෙනි කොටසකුත් තිබ්බ නේද?

    ReplyDelete
    Replies
    1. අජිත්,

      අන්න ඒ වගෙ එකක්නම් තමයි. පළවෙනි කොටසකුත් තිබ්බ...:)

      Delete
    2. මේ මොනවා අහනවද අජිත්.... පිස්සුද මන්ද... මේවගේ පලවෙනි කොටසක්ද, අවසන් කොටසක්ද නැත්තේමය! සංසාරේ ඉවර උනත් මේ කතා ඉවර වෙනවා බොරු!

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...