පඩිපෙල දිහාවෙන් සද්දයක් ඇවිල්ල මම ඔලුව හරවල බැලුව.හෙදි නිල ඇඳුමෙන් සැරසුනු යුවතියක් පඩි පෙල නැඟගෙන එනව දැකල මම හෙමිහිට ඉඳගෙන හිටපු තැනින් නැඟිට්ට. ඔය වෙනකොට තරමක අඳුරක් පැතිරිල. ඒ නිසාම මම හිතන්නෙ පැත්තකට වෙලා හිටපු මාව ඇය දැක්කෙ නෑ.
ඒ ආවෙ සරෝජිනී කියල ආය අමුතුවෙන් කියන්ට ඕන නෑනෙ නේද? ඔව්..ඒ ආවෙ සරෝජිනී තමයි. ඒත් පුදුම වැඩේ කියන්නෙ මට ඒ ළමයගෙ මූණ කට මොකවත්ම මතක නැති හැටියක්....කොච්චර මතක් කරන්ට හැදුවත් ම්හු..බ්ලෑන්ක් එකක්.මට සාමාන්‍යයෙන් එහෙම වෙනව අඩුයි.මයෙ හිතේ මොකක් හරි විද්‍යාත්මක හේතුවක් ඇති ඒකට.
සරෝජිනී බුදුපිළිමෙ පිටිපස්සෙ තිබ්බ මැටි පහනක් අරගෙන පොඩි බෝතලේකට එයා අරගෙන ආපු පොල්තෙල් දාල තිරයකුත් දාල දැල්වූවා. ඊළඟට දොහොත් නළලේ තියාගෙන මොනවදෝ තොල මතුරමින් බුදු පිළිමෙට වැඳගෙන හිටිය මිනිත්තු තුන හතරක් තරමෙ. මේවෙනකොට සෑහෙන තරමට අඳුර පාත් වෙලා ඉවරයි. අඩි දහයක් විතර මානෙ තිබ්බ අරලිය ගහ පවා යාන්තමට කඳ විතරයි පෙනෙන්ට තිබ්බෙ. බුදු පිළිමෙ ඉස්සරහ දැල්වෙන පොල්තෙල් පහනෙන් විහිදෙන මළානික එළියෙන් සරෝජිනීගෙ මූණෙ එක පැත්තක් පැහැදිලිවම පේනව. පැතිපෙනුම නැත්නම් ඉංග්‍රීසියෙන් Profile එක කියන්නෙ අන්න ඒක.
ඈ බුදුන් වැඳල කාරිය ඉවර වෙනකල් මම එතනම හිටිය. ටිකකින් වැඳිල්ල ඉවර වෙලා පහනෙ තිරේ හරිගැස්සුව ආලෝකය වැඩිවෙන විදිහට. එහෙම කරල පොල්තෙල් බෝතලෙත් අතින් අරගෙන යන්ට හැරුන පඩිපෙල දිහාවට.
" මිස් මේ........" මම අඩිදෙක තුනක් ඉස්සරහට අඇවිල්ල හෙමිහිට කතාකලා. සරෝජිනි එතනම නැවතිල මගේ පැත්තට හැරුන.
ඈ මොකවත් අහන්න ඉස්සරවෙලා මම අඳුන්වල දෙන එක මගෙ යුතුකම කියල මට හිතුන හින්ද මම කතාකලා. " මිස් විසිතුනේ ඇඳේ ඉන්නෙ මගෙ අප්පච්චි……"
" ආ..එහෙමද? අද නේද අයි.සී.යූ. එකෙන් ම්,එහාට මාරු කරල තියෙන්නෙ? මොකද ඊයෙ හිටියෙ නෑනෙ මේ වෝඩ් එකේ. "
" ඔව් මිස් අද තමයි මෙහාට මාරුකලේ….."
" ඉතිං ඔයා මෙතන මොකද කරන්නෙ?."
" ආ….. මම මේ සැම්සන් එක්ක ආව නිකමට වගෙ.."
" ආ..එහෙමද හරි එහෙනං අපි යමු පහළට නේද? මම ඩියුටි ආව විතරනෙ. රිපෝට්ස් බෙහෙත් දෙන එව්ව ඔක්කොම බලන්ටත් එපාය.." ඇය යන්තමට හිනා වුනා..
" හරි හරි... මමත් මේ යන්ට තමයි ලෑස්ති වුනේ."
එදා රෑ හතහමාර වගෙ වෙනකොට අප්පච්චි නැඟිට්ට. තවම මත් ගතිය වගෙ තිබුණට හවස අපෙ ලොකු අම්මගෙ පුතා, සරත් අයිය අතේ ගෙදරින් එවල තිබුනු සුප් එක ඔක්කොම වගෙ බිව්ව.
" දැං කොහොමද අප්පච්චි? …" සුප් එක බීල ඉවර උනහම මම ඇහුව.
" ඇඟට පණනැති ගතිය විතරයි වෙන අමාරුවක් නෑ " අප්පච්චි එහෙම කියල යන්තමට හිනාවුනා. ඊට පස්සෙ විනාඩි දහයක් පහලවක් වගෙ මා එක්කල ඔය අනම්මනම් කතාකරකර ඉන්දැද්දි අප්පච්චිට එහෙම්මම නින්දගියා.
ඒ වෙනකොට හුලඟ ටික ටික හීතල වෙන්ට පටන් අරගෙන තිබ්බෙ. අප්පච්චිව නිකට ගාවට එනකල් හොඳට පොරවලා මම කැන්ටින් එක පැත්තෙ ගියා රෑට මොනවහරි කන්ට.අම්ම බත් එකක් එවල තිබ්බට මම ඒක එහෙම්මම කබඩ් එක ඇතුලෙ තිබ්බ. රෑට බඩපුරා බත් කෑහම මට නින්ද යනව. ලෙඩෙක් ගාව ඉන්නකොට දිගටම ඇහැරගෙනම ඉන්ට ඕනනම් නැතිඋනාට හදිස්සියක් උනොත් පටගාල ඇහැරෙන්ට ඕන. බඩපුරා බත් කෑහම ආය කොහෙද ඇහැරෙන්නෙ?
වාට්ටුවෙ එක කෙළවරක තිබ්බ ලියන මේසෙ ඉඳගෙන සරෝජිනී මොනවද ලියනව. නයිට් ෂිෆ්ට් එකට හිටිය අනික් නර්ස් මම දැක්ක වාට්ටුවෙ එහා පැත්තෙ කෑල්ලෙ ලෙඩෙකුට සේලයින් එකක් දෙන්න හදනව. මගෙ අඩි සද්දෙ ඇහිල වෙන්නැති සරෝජිනී ඔලුව උස්සල බැලුව.
" මිස් මම කැන්ටිමට ගිහිල්ල එන්නම් " ඈ ඔලුව වනල යන්තමට හිනාවුනා.
ඒ දවස්වල නුවර ඉස්පිරිතාලෙ කැන්ටිම තිබ්බෙ දැන් තියන තැන නෙවෙයි. දැං ඔය ඇස් වාට්ටුව හදල තියෙන්නෙ ඒ කාලෙ කැන්ටිම තිබ්බ තැන තමයි.රෝල් දෙකකුත් කාල ටී එකකුත් ගහල මම එළියට බැස්ස. සිගරට් එකක් අතටත් අරගෙන ආයම පැකට් එකට දාල සාක්කුවෙ දාගත්ත. මට එහෙම ඔහෙ ඕන නෑ කියල හිතුනෙ මොකද මන්ද...
කන්ද නැඟල ආපහු එනකොට වාට්ටුවෙ ලයිට් ඔක්කොම වගෙ නිවල. කොරිඩෝවෙ කෙලවරක විතරක් එක ලයිට් එලියක් පත්තු වුනා . ඒත් යාන්තමට වොට් හතළිහෙ බල්බ් එකක් වෙන්න ඕන. ඔය අර ෆයිබර්ග්ලාස් පුටු ආපු අලුත. නිල්කමල් බ්‍රෑන්ඩ් එක තමයි හැමතැනම තිබ්බෙ. දම්රෝ එහෙම ආවෙ ඊට බොහොම පස්සෙ කාලෙක. නර්ස්ලගෙ මේසෙට එහා පැත්තෙ එක පිට එක ගොඩ ගහල ඒ ජාතියෙ පුටු හතර පහක් තිබ්බ මට මතකයි. මම එතනට යනකොට අර අනික් මැදිවයසෙ නර්ස් නෝනත් මේසෙ ඉඳගෙන හිටිය.
" මිස්..මම අර පුටුවක් ගන්නද? " මගේ දිහා ඔලුව උස්සල බලපු ඒ මැදිවයසෙ නර්ස්ගෙන් මම ඇහුව..
" ගන්න ගන්න " ඈ එහෙම කියල සරෝජිනී දිහා බලල හිනාවුනා.
මම පුටුවකුත් අරගෙන එද්දි ඈ මොනවද හෙමිහිට සරෝජිනීගෙන් ඇහුවා. " විසිතුනේ ඇඳේ " සරෝජිනී කියනව මට යාන්තමට වගෙ ඇහුන.
අප්පච්චි ළඟ ටිකක්වෙලා ඉඳල මම පුටුවත් උස්සගෙන ගියා කොරිඩෝවෙ ලයිට් එක යටට. එතන එළිය නම් හොඳටම මදි. ගල් පිළිමය ටිකක් වෙලා කියවද්දි ඇස් රිදෙන්ට ඇල්ලුව. මම එහෙම්මම පුටු ඇන්දට හේත්තුවෙලා ඇස් තද කරල පියාගත්ත.
" නින්ද ගියාද? " ..එක පාරටම ඇහැරිලා බලනකොට සරෝජිනී මා දිහා බලාගෙන ඉන්නව.
" මෙතන අමාරුයි පොත කියවන්න..එළිය මදි..ඒ පාර චුට්ටක් ඇහැ පියාගත්ත. නින්ද ගියෙත් නෑ නොගියෙත් නෑ මම හිතන්නෙ. "
" මොකක්ද පොත? මේ ගිය මාසෙ නිකුත් වෙච්ච පොතක් ගල් පිළිමය සහ බොල් පිළිමය.."
" ආ..මමත් දැක්ක පත්තරවල තියනව ඔය පොත ගැන. කියවල ඉවරවෙලා මටත් දෙන්න.."
" ආ..එහෙනං ගන්න..මෙතන කොහොමත් කියවන්න අමාරුයි. මේ බල්බ් එකේ එළිය මදි.."
" හරි එහෙනං තෑන්ක්යූ..මම උදේ ඕෆ් වෙලා යනකොට දීල යන්නම්…"
" හෙටත් නයිට්ද? ….."
" නෑ අදින් ඉවරයි..දවස් තුනයිනෙ.."
" ෂෙහ්,…..දැන්නම් ඔය ගොල්ලන්ට හොඳයි නේද? නයිට් දවස් තුනයි. ඩියුටි ෂිෆ්ට් එක පැය හයයි. ඊට පස්සෙ ඕ.ටී. "
හෙද/හෙදියන් ඒ වෙනකොට වැඩ කලේ පැය 6 ක සේවා මුරයක්. උදේ 7 - දවල් 1 හෝ දවල් 1 - රෑ 7 නයිට් තිබ්බෙ එක දිගට දවස් තුනයි.. ඊළඟ පහුවදා නිවාඩු. අර හාන්දුරුවො තමයි ඔව්ව අරං දුන්නෙ. මුරුත්තෙට්ටුවේ ආනන්ද……..
ආනන්ද හාමුදුරුවන්ට පස්සෙ පස්සෙ බොහොම බරපතල චෝදනා තිබ්බට හෙද / හෙදියො වෙනුවෙන් උන්නැහැ කරපු සේවය විශිෂ්ඨයි. එක පාරක් ඔය හෙදි වැඩ වර්ජනයක් වෙලාවෙ ජේ.ආර්. ලොක්ක එක්ක සාකච්ඡාවකට එන්ට කියල තිබ්බ හෙද සංගමයෙ නිලධාරීන්ට. ජේ.ආර්. පොයින්ට් බ්ලෑන්ක් ප්‍රතික්ෂේප කලා හෙද ප්‍රශ්න ගැන හාමුදුරුවො එක්ක සාකච්ඡා කරන්න.
" ඔය සාදුට කන්ට බොන්ට දීල යවන්ට. එයා මොකටද එන්නෙ නර්ස්ලගෙ ප්‍රශ්න ගැන කතා කරන්ට? ඒකට ඒ රස්සාව කරන අයට එන්ට කියන්ට. සාදුල එක්ක මම නර්සස්ලගෙ ප්‍රශ්න කතාකරන්නෙ නෑ. " පප්ප එහෙමයි කියල තියෙන්නෙ
" හාමුදුරුවන්ට පිංසිද්ද වෙන්ට තමයි ඔක්කොම හෙහ්,හෙහ්.... ඉස්සර ෂිෆ්ට් එක උදේ හතේ ඉඳල එක්කො හවස තුන නැත්තං රෑ හත ….නයිට් එක දිගට දවස් හතක්.."
" ඔයා කොහොමද ඔය විස්තර දන්නෙ?.." සරෝජිනී නළලරැලි කරගෙන ඇහුව..
" මම මොකෝ නොදන්නෙ? මගෙ අම්ම නර්ස් කෙනෙක්නෙ. "
" ඒහ්..ඇත්තද? අපෙ අම්මත් නර්ස් කෙනෙක්."
" නෑ??...අපෙ අම්ම අන්තිමට අනුරාධපුරේ ඉඳල රිටයර් වුනේ.."
" ඇත්තටම? අපෙ අම්මත් අනුරාධපුරේ ඉස්පිරිතාලෙ හිටිය සෑහෙන කාලයක්..මම ඕ ලෙවල් කරනකල් ඉස්කෝලෙ ගියෙත් එහෙ. ස්වර්ණමාලී එකට. "
" එහෙනම් නොවැරදීම අපෙ අම්ම දන්නව ඇති. මම අහන්නම්කො.දැන් මම ගෙදර යනවනෙ. මොකක්ද ඔයාලගෙ අම්මගෙ නම? "
" මිසිස් සුරවීර…"
මම කිව්වෙ අර අපෙ ලොකු අම්මගෙ පුතා..ඒ අයිය ආව උදේම දවල් දවසෙ මුරේ බාරගන්ට. මම ගෙදර ගියා ටිකක් නිදාගන්ට. කොහොම උනත් රෑ නිදි වැරුවම කොච්චර දවල්ට නිදාගත්තත් හරි යන්නෙ නෑ. අනික කොහොමත් දවල්ට නින්ද යන්නෙත් නෑ හරියකට.
මම ගෙදර යනකොට අම්ම කුස්සියෙ. සුප් එකක් හදනව. දවල්ට අප්පච්චිට ගෙනියන්ට.
" පුතා මහන්සිද? තේ එකක් හදන්ටද? "
" නෑ අම්ම දැන්ම එපා..මම නාගෙන එන්නං.."
ඒ කාලෙ අපෙ ගෙදරට පයිප්ප දාල තිබ්බෙ නෑ. ගේත් එක්කම පල්ලෙහා කුඹුරෙ ලිඳෙන් තමයි නෑම සහ රෙදි පෙරෙදි සේදීම යනාදී සියලු කටයුතු කෙරුනෙ. නිල් කැටේට තිබ්බ හීතල වතුර බාල්දි පණහක් හැටක් නාගත්තම ඇඟේ කෙඩෙත්තු ගතිය කොහෙං ගියාද කියල නැතුව අතුරුදන් වුනා.
නාල ඉවරවෙනකොටම මට ඔන්න නිදිමතක් ආව. රෑ හරියකට නින්දක් නැතිඋනහම එහෙම තමයි. ඒ ඇරත් මට පොඩි කාලෙ ඉඳලම එහෙම තමයි කියල අපෙ අම්මයි අත්තම්මයි දෙන්නම කියනව. " සුට්ටි පුතා පොඩි සංදියෙ නාවල ඇඟ පිහදානකොටම ඔන්න ඈනුං හත අටක් ගිහිල්ලත් ඉවරයි. "
නාගෙන ඇවිල්ල කුස්සියෙ ලොයි බංකුවෙ මම ඉඳගන්නකොටම අම්ම තේ එකක් ගෙනැල්ල දුන්න. තේ උගුරක් බීල මම ඔලුව උස්සල අම්ම දිහාවෙ බැලුව.
" අම්මෙ...අනුරාධපුරේ හොස්පිටල් එකේ අම්මලත් එක්ක වැඩ කලාද සුරවීර කියල නර්ස් කෙනෙක්? "
" හිටිය හිටිය ...අර මිරිදිය හොටේල් එක කිට්ටුව ගෙදරක හිටියෙ. ඇයි පුතා එහෙම ඇහුවෙ? "
" නෑ අප්පච්චි ඉන්න වෝඩ් එකේ ඊයෙ රෑ වැඩ කරපු නර්ස්ගෙ අම්මත් අනුරාධපුරේ හොස්පිට්ල් එකේ වැඩ කලාය කිව්ව. මම නම ඇහුවම සුරවීර කියල කිව්ව. "
" හරි හරි මට මතකයි. සුරේට හිටියෙ දුවල දෙන්නෙක් තමයි. ඇයි පුතාට මතක නැද්ද? මම පුතා එක්ක එහෙ ගිහිල්ල තියනවනෙ. "
" මම ගියේ නෑ අම්මෙ..ගියානම් මට මතකයිනෙ. "
" හරි ඉතිං දැං මොකද ඒ දුව කිව්වෙ? "
" මොනව කියන්ටද? මම යනව ටිකක් නිදාගන්ට..අම්ම දැං යනවද අප්පච්චි බලන්ට?..."
" ඔව් පුංචි මාම එනව කිව්ව…. මම ඒත් එක්ක යන්ට හිතාගෙන ඉන්නෙ සුප් එකත් අරගෙන…"
" කෝකටත් බත් පොඩ්ඩකුත් අරං යන්ට ….දන්නවනෙ අප්පච්චිගෙ හැටි..බත් ඩිංගක් වගෙ නෑනෙ එයාට ඔය මොනව කෑවත්...."
මම එහෙම කියල නැඟිටල එන්ට ආව..ගල් පිලිමය සහ බොල් පිලිමය පොත අතට අරගෙන මම ඇඳේ දිගාවුනේ නින්ද යන්ට ඉස්සර පිටු දෙක තුනක් වත් කියවන්ට හිතාගෙන.
ඒත් ආයම මට මතක් වෙන්ට ගත්තෙ.......උදේම මුණ කට හෝදගෙන කොරිඩෝවෙ කුළුණකට හේත්තුවෙලා ඉර එළිය ටිකින් ටික වැඩි වෙනව බලාගෙන මම හිටියෙ තුවායත් කරේ දාගෙන.
" ආ ඔයාගෙ පොත …" සරෝජිනී මගෙ ලඟට ඇවිල්ල මගෙං ඊයෙ ඉල්ලගත්ත පොත දික්කලා.
" ආ..කියවලත් ඉවරද? "
" අපෝ නෑ..පිටු දහයක් පහළවක් විතරයි කියවන්ට ලැබුනෙ. "
" එහෙනං බලල ඉවර වෙලාම දෙන්ට.."
" නෑ මගෙ නයිට් අද ඉවරනෙ..එතකොට හෙටත් ඕෆ්..අනිද්දනෙ ආපහු එන්නෙ. ඒ නිසා පොත මිස්ට වීරසිංහම ගන්ට. ආ..මේ මම තේ හදන්න යන්නෙ..තේ එකක් ඕනද? "
" නෑ එපා මිස් මම කැන්ටින් එකෙන් බොන්නම්.."
" ආය ඕකට කැන්ටින් එකට යන්න ඕනය? ඉන්න මම ගෙනත් දෙන්නම්.."
" පුතා අර ළමයගෙ ගෙවල් කොහෙ කියලද කිව්වෙ?.." එක පාරට මම ගැස්සිල ඇස් ඇරියෙ අම්මගෙ කටහඬින්..
" මොන ළමයගෙද? …" අම්ම අහන්නෙ කවුරුගැනද කියල හොඳටම දන්නව වුනත් මම නොදන්නව වගෙ ඇහුව..
" අර සුරේගෙ දුව……."
" මම ඔව්ව අහන්ට ගියේ නෑ අම්ම….." මම කෙලින්වෙලා ඇඳේ ඉඳගත්ත.
" හරි මට දැන් මතකයි සුරේලගෙ ගෙවල් මේ හෙම්මාතගම පැත්තෙ…."
*****************************
ගොතපු කතන්දරයක් කියනව වගෙ නෙවෙයි ජීවිතේ ගැන ලියනකොට. අග මුල නැති වැල්පොටක් අල්ලල අදිනව වගෙ තමයි. කෙළවරක් නෑ. එහෙමත් නැත්තං බොහොම දිග දම්වැලක් එක කෙළවරකින් අල්ලල අදිනව වගෙ. පුරුකෙන් පුරුක දිගටම දම්වැල කොච්චර හරි ඇදෙනව මිසක ඉවරයක් නෑ. මේකත් මගෙ ජීවිත කතාව නිසා අගමුල නැති වැලක් නැත්තම් දම්වැලක් වගෙ තමයි. ඒ නිසා කරුණාකරල සමාවෙන්ට හොඳද?
ඇති යන්තම්, සරෝජිනී ඇවිත්, පිළිවෙලකට!
ReplyDelete//ඒත් පුදුම වැඩේ කියන්නෙ මට ඒ ළමයගෙ මූණ කට මොකවත්ම මතක නැති හැටියක්....කොච්චර මතක් කරන්ට හැදුවත් ම්හු..බ්ලෑන්ක් එකක්.මට සාමාන්‍යයෙන් එහෙම වෙනව අඩුයි.මයෙ හිතේ මොකක් හරි විද්‍යාත්මක හේතුවක් ඇති ඒකට.//
ඕකට කියන්නේ selective memory loss කියලා. :)
මලිති,
Delete/ ඕකට කියන්නේ selective memory loss කියලා. :) /
යස් ..ඔබ හරි...තමන් අමතක කරන්න කැමති දේවල් ස්වාභාවිකවම ඉක්මනට මතකයෙන් ගිලිහිලා යනව....
මේ විදියටම ගියොත් නම් ඔන්න අපිට සරෝජිනී ගැන යමක් පිළිවෙලකට දැන ගන්න පුළුවන් වෙයි .. වැඩිය වලවල් තියෙන පාරවල් වල යන්නේ නැතුව ඉන්න . පොඩ්ඩක් ගැස්සුනත් අවුල් වෙන්න ඉඩ තියෙනවා .. :)
ReplyDeleteපැතුම්,
Deleteසරෝජිනී ගැන එච්චර දෙයක් දැනගන්ට නෑ බං...
අඳුරු රෑක මහ සාගරයෙ මොහොතකට අහම්බෙන් හම්බවෙලා ආයෙම දෙපැත්තට වෙන්වෙලා යන නැව් දෙකක් වගෙ අපි මොහොතකට හම්බවෙලා ආයෙම වෙන්වෙලා ගියා...:)
Henry Wadsworth Longfellow නම් ඉංග්‍රීසි කවියගෙ අපූරු සංකල්පනාවක් මේ...
Ships that pass in the night, and speak each other in passing,
Only a signal shown and a distant voice in the darkness;
So on the ocean of life we pass and speak one another,
Only a look and a voice, then darkness again and a silence.
ඔය නිකං වැලක් නෙවෙයි... පුස් වැලක්... ඒව යන්නෙ කැරකි කැරකි, එති එති, වංගු දෙකතුනකට සැරයක් දහ අට වංගු ගහ ගහනෙ.... හි හි...
ReplyDeleteරවි දන්නවද දැං දහ අට වංගුවෙ වංගු දහ අටක් නෑ කියල... එකක් කෙලින් වෙලාලු.. ඔහොම අපෙ මාමලා පොඩි උන්ට කියල දිදී යද්දි මෙන්න බොලේ දහ අටවෙනි වංගුවටත් බෝඩ් එකක් ගහල... හි හි.....
හිරු,
Deleteඅඩේ මේ ලඟදි ඔය පාර අලුතෙන් හැදුවනෙ පළල් කරල චීන කොම්පැණියක්ද කොහෙද.. ඒ වෙලාවෙ වංගු දහ අටෙන් දෙකක්ද කොහෙද කෙළින් කරා කියල තමයි මම අහලත් තියෙන්නෙ..ඒ කියන්නෙ ඇත්තටම එහෙම වෙලා නැද්ද? පරණ වංගු දහ අට තවම තියනවද?
මයියංගනේ යද්දි රජමාවතේ ( රන්දෙනිගල පාර ) යන එක ලේසියි සහ ඉක්මන්. ඒත් ඔය දහ අට වංගු පාරෙ වගෙ ආතල් එකක් නෑ. සුමානෙකට කලිං කාපුව හිටං කබරයා දැම්මෑකි.
//ඒත් පුදුම වැඩේ කියන්නෙ මට ඒ ළමයගෙ මූණ කට මොකවත්ම මතක නැති හැටියක්//
ReplyDeleteමූණ මතක නැටි උනාට මූනේ profile 1 දැක්ක බව මතකයි නේද.....:)
//සුට්ටි පුතා පොඩි සංදියෙ නාවල ඇඟ පිහදානකොටම ඔන්න ඈනුං හත අටක් ගිහිල්ලත් ඉවරයි.//
සුට්ටි පුතා සුට්ටි කලේ ඉදලම කම්මැලියෙක් නේද ...............
ඔයාගේ ඔය නර්ස් නෝනා දුම් බීමේ ආධීනව කියල දුන්නේ නැද්ද......පුදුමයි.....මන් හිතුවා හොද දේශනයක් අහගනි කියල...................
Sacheera,
Delete/ මූණ මතක නැටි උනාට මූනේ profile 1 දැක්ක බව මතකයි නේද.....:) /
එහෙම එව්ව තියනව බං..දැක්ක කියල මතකයි..ඒත් විස්තර මොකවත් මතක නෑ...:)
/ සුට්ටි පුතා සුට්ටි කලේ ඉදලම කම්මැලියෙක් නේද ............... /
අපොයි ඔව්..මට තාම එහෙමයි..නෑවද නිදිමත..නෑවද නිදිමත...සම් ටයිම්ස් ෂවර් එක යටම නිදි..අපෙ උන්දැ ඇවිල්ල දෙකක් ඇන්නම තමයි උඩ ගිහිල්ල ඇහැරෙන්නෙ...හෙහ්,හෙහ්,
/ ඔයාගේ ඔය නර්ස් නෝනා දුම් බීමේ ආධීනව කියල දුන්නේ නැද්ද......පුදුමයි.....මන් හිතුවා හොද දේශනයක් අහගනි කියල....... /
දුම්බොන සීන් එක ඒ යෝදි දැක්කෙ නෑනෙ...දැක්ක උනත් මම හිතන්නෙ නෑ එහෙම ලෙක්චර් එකක් දෙයි කියල. මේ දෙයියනේ කියල ඉස්සොරෝම දැක්ක මනුස්සයෙකුට එහෙම ලෙක්චර් දෙන්ට යයිද කෙල්ලො...
හාමුදුරුවෝ නර්ස්ලට මාට්ටු වුණේ කොහොමද මන්ද. හැබැයි කාලයක් හරි පවර්ෆුල් වෙලා හිටියා. පස්සේ තව එක එක සංගම් හැදුනනෙ .පප්පා හරි නර්ස්ලගේ ප්‍රශ්ණ කතා කරන්න ලස්සණ නර්ස් ළමයෙක් එපාය යන්න.
ReplyDeleteඅම්ම ටිකක් කැමැත්තෙන් ඉඳල වගේ සරෝජිණි ට. හෙදියක් සමග ජීවිතය තව පොඩ්ඩෙන් .
ලංකාවේ පිරිමි නර්ස් කෙනෙක්ට වඩා ටීචර් කෙනෙක් බඳින්න කැමතියි. හා නැද්ද . මම කියන්නේ ලව් මැරේජ් නෙමේ. ප්‍රපෝසල් වලදී.
Bindi,
Delete/ හාමුදුරුවෝ නර්ස්ලට මාට්ටු වුණේ කොහොමද මන්ද. /
ඔය හාමුදුරුවො තෙල් මන්ද මෝරල ඒක අයිං කරන්ට ඔපරේසං එකක් කරන්ට ඉස්පිරිතාලෙ නැවතිල හිටියලු.ඒ කාලෙ ඔය නර්ස් නෝනල විඳින දුක දැකලම හාමුදුරුවන්ට හිතුනලු මේ ගැන යමක් කරන්ට ඕනය කියල. ඒ පාර තමයි ඔය සංගමේ පිහිටුවාගෙන තියෙන්නෙ.
/ හෙදියක් සමග ජීවිතය තව පොඩ්ඩෙන් . /
අම්මාපල්ල කියල වැඩක් නෑ..තව ටිකෙං එහෙම වෙන්ටත් තිබ්බ තමයි....:)
/ ලංකාවේ පිරිමි නර්ස් කෙනෙක්ට වඩා ටීචර් කෙනෙක් බඳින්න කැමතියි. හා නැද්ද . මම කියන්නේ ලව් මැරේජ් නෙමේ. ප්‍රපෝසල් වලදී. /
එහෙම තිබ්බෙ අවුරුදු තිහකට වගෙ එහාදි. මොකද උදේ ඉඳල හවස් වෙනකල් වැඩනෙ. එක දවසක් උදේ 7 - හවස 3 අනික් දවස උදේ 7 - රෑ 7...මාරුවෙන් මාරුවට...නයිට් එක දිගට දවස් 7 ක්...පස්සෙ එව්ව ඔක්කොම වෙනස් උනා..ඕ. ටී. එහෙමත් වැඩිවුනා..කොහොමහරි දැන්නම් රාජ්‍යසේවයෙ බැංකු වගෙ එක දෙකක් ඇරුනම සමාන්තර ශ්‍රේණිවලින් වැඩිම වැටුපක් සහ අතිකාල ගන්නෙ හෙදියො. අනික ෂිෆ්ට් එකත් අවුලක් නෑ. දවසට පැය 6 යි. නයිට් මාසෙකටමද කොහෙද දවස් තුනයි.
ටීචර්ලට කැමැත්ත නිවාඩු වැඩි හින්දනෙ..හැමදාම දෙක තුන වෙනකොට ගෙදර. අවුරුද්දට මාස තුනක් නිවාඩු. ඊගාවට සෙනසුරාද ඉරිද පෝය තයිපොංගල්, දීපවාලි, රාමසාන් මහාසිව රාත්‍රි ඔය ඔක්කොමත් එක්ක දවස් 45 හිමි නිවාඩුත් එක්ක බැලුවම අවුරුද්දටම උගන්නන්ට තියෙන්නෙ දවස් 22 වගෙ ගාණක්. කොහොමද ආතල් එක?
දැං ඉතිං හෙම්මාතගම පැත්තෙ රවුමක් ගහල එහෙම සරෝජිනී ගැන තව විස්තර ටිකක් හොයාගමුකො. නිදාගෙන නැගිටිනකොට අමතක වෙන එකක් නෑ මං හිතන්නෙ.
ReplyDelete//ඔය අර ෆයිබර්ග්ලාස් පුටු ආපු අලුත. නිල්කමල් බ්‍රෑන්ඩ් එක තමයි හැමතැනම තිබ්බෙ.//
මම හිතන්නෙ ලංකාවෙ ඕව ඉස්සෙල්ලම හැදුවෙ ආර්පිකෝ එකෙන්. හැදුවද ගෙන්නුවද දන්නෑ මොකද ඒකෙ ආර්පිකෝ කියල ස්ටිකර් එකක් විතරයි තියෙන්නෙ. ඒත් දැං තියෙන ප්ලාස්ටික් කෑලි වගේ නෙමෙයි ඒ පුටුවක අලියෙකුට උනත් වාඩි වෙන්න පුලුවං වගේම හොඳ බරකුත් තිබ්බ. තාමත් අපේ ගෙදර ඒ ජාතියෙ පුටු තියෙනව.
ප්‍රසන්න,
Delete/ මම හිතන්නෙ ලංකාවෙ ඕව ඉස්සෙල්ලම හැදුවෙ ආර්පිකෝ එකෙන්. /
ආර්පිකෝද ඉස්සෙල්ලම ගෙන්නෙව්වෙ? මට මතක නිල් කමල් වගේ...
/ ඒත් දැං තියෙන ප්ලාස්ටික් කෑලි වගේ නෙමෙයි ඒ පුටුවක අලියෙකුට උනත් වාඩි වෙන්න පුලුවං වගේම හොඳ බරකුත් තිබ්බ. /
දැං තියෙන්න එව්ව නම් කිසිම කමකට නෑ. බොනකොට එහෙම නම් ඔව්වයෙ ඉඳගත්තොත් අනිච්චේ දුක්ඛේ තමයි. ටිකක් කං එහෙම රතිවීගෙන එනකොට හොඳට තප්පලං ගැහිල ඉඳගන්ට නෙව බලන්නෙ..හපොයි කකුල් හතර හතර පැත්තෙ. අර මොකාද පොලවෙ ගැහුව වගෙ බිම දබෝරියං කියල...හපොයි..විලිබිය සිඳෙනව එක මොහොතින්...
ඔක්කොමත් හරි.. ඊට පස්සෙ කතාව යන්නෙ "මේ යකා බීලා වැඩිවෙලා වෙරිමරගාතෙ පුටුවෙන් වැටුනා!" කියල නෙවැ.. ඒක තමා කාලම ඉන්ට බැරි..
Deleteඔය කියන්නෙ ප්ලාස්ටික් පුටු ගැන වෙන්න ඕන. ෆයිබර්ග්ලාස් සෑහන පරණයි. ඒව තිබ්බෙ යට රවුමයි, තනි අන්ඩයි එක්ක, පොෂ් මොඩ්ල් එක. අනෙක යකඩ කක්ලු හතර උඩ ෆයිබර් සීට් එක.
Deleteමුලිම්ම ප්ලාස්ටික් ආවෙ ඉතාලියෙන්. ඉන් පස්සෙ නිල්කමල් පටන් ගත්ත. අන්තිමට දම්-රෝ.
//ඔක්කොමත් හරි.. ඊට පස්සෙ කතාව යන්නෙ "මේ යකා බීලා වැඩිවෙලා වෙරිමරගාතෙ පුටුවෙන් වැටුනා!" කියල නෙවැ.. ඒක තමා කාලම ඉන්ට බැරි..// ඉතින් ඒකනෙමේ උනේ කියලද මෙච්චර කල් හිතාන උන්නෙ?
මම කිව්වඒ රවුං අඩිය තියෙන පුටු ගැන නෙමෙයි. දැන් තියෙන වගේම පුටු ආර්පිකෝ එකෙන් ගෙන්නුව. ඔය රවුං අඩිය තියෙන ඒව වැඩි හරියක් මම දැකල තියෙන්නෙ මැණික් මුදලාලිලගෙ ගෙවල් වල තියෙනව. ඒ කාලෙ ඒක පොෂ් බඩුවක් වෙන්න ඇති.
Deleteහැක්.. හැක්..
බොන කට්ටියගෙ චරිතය ඝාතනය කරන්න පුලුවං උපකරණයක් වගේ බලාගෙන ගියාම මේ ප්ලාස්ටික් පුටු.
බුරා, ප්‍රසන්න සහ ඉන්දික,
Deleteහරි හරි මම කියන්නෙ ප්ලාස්ටික් පුටු ගැන තමයි. ෆයිබර් ග්ලාස් නෙවෙයි. Fibre Glassa පුටු වට්ටක්ක බෑයක් වගෙ තිබ්බෙ. අර කිව්වත් වගෙ තනි අන්ඩයි. පණ බයේ බෑ ඉඳගන්ට.
නාවල හන්දියෙම වගෙ නාරාහේන්පිට පාර තිබ්බ ස්ටීම් බෝට් කියල රේස්ටෝරන්ට් කුම් බාර් එකක්. ඒකෙ තිබ්බෙ මේස පුටු ඔක්කොම තනිකරම වීදුරු. දෙකක් වැදුනම වීදුරුව තියන්ට බයයි මේසෙ උඩ තනිකර ට්‍රාන්ස්පේරන්ට් නිසා වීදුරුව කොහෙ තියනවද පේන්නෙ නෑ. මේසෙ උඩද මේසෙං එහා නිකං අවකාශයෙද කියල ෂුවර් නැහැනෙ. හදිස්සියෙන් වත් සලාං ගාල වීදුරුව වැටුනොත් හොදි ඕන නෑ. ඔය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සීන් එක නිසාම අපි පස්සෙ එතනට යන එක නවත්තල දැම්ම.
ඔලුව හරවල බැලුව - ඔරවල බැලුවා කියන එකේ මූල බීජය මම හොයහොය හිටියේ. අන්තිමේදි ඒක හම්බවුනා. ස්තුතියි මචං.
ReplyDelete>>සිගරට් එකක් අතටත් අරගෙන ආයම පැකට් එකට දාල සාක්කුවෙ දාගත්ත. මට එහෙම ඔහෙ ඕන නෑ කියල හිතුනෙ මොකද මන්ද...<<
මම දන්නවා.
හේතුව කලින් පෝස්ට් එකක කමෙන්ට් එකකින් උඹට චෝදනා කරලා තිබ්බා උඹ මත්ද්‍රවය ප්‍රොමෝට් කරනවා කියලා.
මනෝජ්, ඒක ඊටත් වඩා නිර්මාණශීලීයි. නියමායි.
බල බල ඉන්න පොත වීත්තවලට දන් දීලා ඒ පොත හොයන්න කඩගානේ යන ඉතිහාසයක්ම තියෙනවා නේද බං උඹට? හික් හික්.
Please ignore මනෝජ්, ඒක ඊටත් වඩා නිර්මාණශීලීයි. නියමායි.which was meant to be for your previous post. Thank you.
Delete//මම දන්නවා.හේතුව කලින් පෝස්ට් එකක කමෙන්ට් එකකින් උඹට චෝදනා කරලා තිබ්බා උඹ මත්ද්‍රවය ප්‍රොමෝට් කරනවා කියලා.//
Deleteඑකනේ ඩුඩ්යියේ රවීයියාට තියෙන්නේ අර "රජයේ අවවාදය"එක්ක ඕක ලියන්ට.එතකොට ප්‍රශ්නයක් නැහැ නේ හිටං.
Henry,
Delete/ ඔලුව හරවල බැලුව - ඔරවල බැලුවා කියන එකේ මූල බීජය මම හොයහොය හිටියේ. අන්තිමේදි ඒක හම්බවුනා. ස්තුතියි මචං. /
ඒ කියන්නෙ ඔලුව හරවල බැලුව කියන එකෙන්ද ඔරවල බැලුව කියල හැදිල තියෙන්නෙ?
//ඒත් පුදුම වැඩේ කියන්නෙ මට ඒ ළමයගෙ මූණ කට මොකවත්ම මතක නැති හැටියක්//
ReplyDeleteවෙන මොකද්ද ඉතින්.. තනිකරම ඒ ළමයාගේ වාසනාව.....
අර ප.ලි. කොටස දැම්මේ කාටද බොලේ?
නහය කොහොමද?
Deletein profile?
Deleteකිවුවත් වගේ නහයයි, ඇස්දෙකයි දිහා විතරයි බලල තියෙන්නෙ. :D
DeleteUpeksha,
Delete/ අර ප.ලි. කොටස දැම්මේ කාටද බොලේ? /
අනේ බං නැහ්නං මෙතන මාව කන්ට හදනවනෙ. මාව නම් කමක් නෑය කියමු. අර අපෙ අහිංසක අම්මව. උන්දැ උපන්තේකට කරපු එකම වැරැද්ද මංවාගෙ එකෙක් වදාපු එක විතරයි. එක අතකට බලනකොට ඒකත් සුළුපටු වැරැද්දක් එහෙම නෙවෙයි නේ? හෙහ්,හෙහ්,
" අනේ බං උඹ ඔය ලියන මඟුලක් විජහට ඉවරයක් කොරල දාහං..."
" ඇයි අම්මෙ ඇයි? මොකෝ කේස් එක? "
" කේස් එක තමයි...මෙතන කිඹුහුං ඇරලම මට ඉවරයක් නෑ. ඔලුවත් එක්ක බරයි වගෙ. "
ප්‍රා සහ ප්‍රසන්න,
Deleteසික් බං නහය දැක්කෙ පස්සෙනෙ..මීමැස්සෙක් ඇණල වගෙ...
සමාව ඉල්ලන්න දෙයක් නෑ මචං උඹේ බ්ලොගේ උඹට ඕනෑ දෙයක් ලියපං.අපි කියවනවා.රහයි නං එහෙම කියන්නං රහ නැත්නං පලු යන්න බනින්නම්.එච්චරයි.
ReplyDeleteඋඹට වුනත් එච්චර තමයි හැලපයියේ:D
Deleteයහපාලනේ එහෙම තමයි මනෝජ් මල්ලි.
Deleteහැලප,
Deleteඅන්න ඒකනෙ .....නැද්ද? අපි හොඳට හොඳයි නරකටත් ඒ වාගෙම තමයි.... නැද්ද?
අඩේ රවීයියා එකත් බං හරිම හමුවීමක් නේ.බලන් ගියාම සරෝජාව හිච්චි කොල්ලා කාලේ හිටං දන්නවා බොලාට දැන් මතක නැති වුණාට.
ReplyDeleteඉතින්,ඉතින් ඊට පස්සේ ?
මනෝජ්,
Deleteඉඳහන්කො ඉතුරු හරිය කියනකල්...:)
මොකටද බොලේ සමාව ඉල්ලනේ? මට තේරුනේ නෑ
ReplyDeleteසයුරි,
Deleteනෑ බොලේ...මේ කුකුලෙක් ගැන කියන්ට ඇවිල්ල එතනින් අසෝකට ඇවිල්ල ආයෙම සරෝජිනී ගැන කියන්ට ගිහාම මට පාටකයො දෙස් තියාවිය කියලයි කෝකටත් කරුණු පැහැදිළිකිරීමක් සමඟ සමාව ඉල්ලීමක් කලේ...
උඩ පින්තූරෙයි, සරෝජිනී ගැන වරුණනාවයි ඇල්ලුවෙ නෑ ලොක්කො!
ReplyDeleteමේ නර්ස් නෝන මොකෑ අම්මගෙ නම "මිසිස් සුරවීර" කියල කිව්වෙ? ටිකක් ආඩම්භර ගතියක් නැද්ද ඒකෙ?
අර හඩු ඩෙනිම මට කෝචෝක් එකක් දාල ගෙහුන්. ඒ හින්ද උඹ මේකෙ සිගරට් නෙමේ ගංජ ගැන ලිව්වත් මින් මනතෙ මං නෙවෙයි දකින්නෙ. එකවල්ලෙ බොලාම බීල වැනසියල්ල. අපි දැන් උපාසක, නවත්තල දාහතර අවුරුද්දක්!
Indika,
Delete/ උඩ පින්තූරෙයි, සරෝජිනී ගැන වරුණනාවයි ඇල්ලුවෙ නෑ ලොක්කො! /
අනේ එහෙම මොකවත්ම නෑ බං...
/ මේ නර්ස් නෝන මොකෑ අම්මගෙ නම "මිසිස් සුරවීර" කියල කිව්වෙ? ටිකක් ආඩම්භර ගතියක් නැද්ද ඒකෙ? /
අඩේ උඹ කිව්වට පස්සෙ මටත් එහෙම හිතෙනව. නිකම්ම සුරවීර කියල කියන්ට තිබ්බෙ නැත්ද නේද?
/ අර හඩු ඩෙනිම මට කෝචෝක් එකක් දාල ගෙහුන්. ඒ හින්ද උඹ මේකෙ සිගරට් නෙමේ ගංජ ගැන ලිව්වත් මින් මනතෙ මං නෙවෙයි දකින්නෙ. /
ඕකා කියන එව්ව ගණං ගන්ට එපා....හෙහ්,හෙහ්,
මට බ්ලොග් කියවන්න බැරි වුනේ ටික දවසයි. යකෝ මෙන්න රවියා ඒ ටිකට පෝස්ට් බර ගාණක් ලියලා. දැන් යමන්කෝ ආපහු ඔක්කොම මුල මැද අග කියවන්න.
ReplyDeleteඒ වුනාට බොලා ලියපු එක ගැන රොම්බ තෑන්ක්ස් හරිය...
ස්තූතියි රංගි....ලිව්ව ලිව්ව..උඹ නැතිටිකේ සෑහෙන්න ලිව්ව...:)
Deleteනර්ස් නොන උබට ඉන්ජැක්සන් එකක් ගහයි වගෙ
ReplyDeleteඑහෙම දෙයක් වෙන්නෙ නැහැ බං...:)
Deleteමට මගක් එනකං අසෝකයි සරෝජිනියි ටැපලිලා හිටියේ..
ReplyDeleteඔය ආච්චි අම්මගෙ 'සුට්ටි පුතා' කතාව තමයි මට කාල ඉන්න බැරි.. අපේ ආච්චිලා දෙන්නගෙං එහෙකුටවත් මාව ඔහොම හුරතල් කොරන්න බැරි උනානේ මාත් පවුලේ සුට්ටි එකා වෙච්චි කොටත්..
ජීවිත කතාවම කියනකොට ගොතල කියනවට වඩා රහයි. ඒක රවී අයිය කියනකොට පට්ටම රහයි.. ජය ශ්‍රී!
ස්තූතියි මල්ලි......අත්තම්මෙක් එක්ක පොඩි කාලෙ ගතකරන ජීවිතය පුදුම සුන්දරයි බං...අම්මාපල්ල ඇත්තම ඇත්ත..:)
Deleteඈ බං රවී අයියේ උඹේ පඳුරු තලිල්ල අඩු උනාම පෝස්ට් වල රහ නැති ගතියක් දැනෙනවා...
ReplyDeleteදැන් උඹ සමාව ඉල්ලපන් අපෙන්... :D
ගෙදර මිනිහටත් ඉස්කෝලේ පොඩි එව්වන්ට වගේ අරක මෙහෙම කරන්න මේක අරහම කරන්න වගේ උපදෙස් දෙන්නෙ නැත්නම් ඉතිං ගුරුතුමියක් කසාය(ද) බඳින එක හොඳයි හෙද නෝනා කෙනෙකුට වඩා...