Tuesday, June 23, 2015

327. අබයාරාමයේ විත්ති - 1


Cartoon - Ravaya

අබයාරාමෙ චෛත්‍යය පිටිපස්සෙ බෝ ගහේ කොළ හත අටක් එක පාරටම හමාගෙන ආපු හුළඟට ගැලවිල අතුපතරින් බිමට වැටුන.වැලි මලුව අතුගගා හිටපු එතුමා ඒ දිහා බලල දත්මිටිකෑවා. 

" අම්මාපල්ල..මේ අතුගෑවිල්ලෙ ඉවරයක් නෑනෙ..කොච්චර අතුගාපං...කොච්චර අතුගාපං ආයම කොළ වැටෙනව..ආයම කොළ වැටෙනව." 

එතුමා හිටියෙ මේස් බැනියමක් ඇඳල සුදු සරම වලාපොට ගහගෙන. කුරහං සාටකේ බෝ ගහේ අත්තක වනල තිබ්බෙ දාඩිය ටිකක් වේලෙන්ට. මේ දවස්වල ඒ සාටකේ කොයි වෙලාවෙත් දාඩියෙං තෙත බරි වෙලා. ඇයි අප්පච්චියේ කීයක් නං කියල වැඩද?

අම්මාපල්ල ඇත්තම කිව්වොත් ජනාදිපති කාලෙටත් වඩා මට දැන් නෙව වැඩ වැඩි..එතුමා අතුගාන එක ටිකකට නවත්තල ඉදලෙ මිටට නිකට තියාගෙන කල්පනා කලා. ඒ කාලෙ මට ඒ හැටි වැඩක් තිබ්බ එකක්ය. ඔය රැස්වීමකට දෙකකට ගිහිල්ල රුපියල් පන්සීය ගානෙ දීල නොමිලේ ලංගම බස් වල පටවගෙන ආපු සෙනඟ මගෙ පින්තූර උස්සගෙන ජයවේවා කියල කෑගහනකොට ඒ දිහාට අතක් උස්සල දත් වහල්ල විරිත්තල හිනාවෙන්ටයි, ළමයෙක් දෙන්නෙක්ට හංකිචි කවල උඩ දාන්ටයි, වයසක බබලතෙක්ගෙං ආ..කොහොමෙයි අම්මේ දැං සැපසනීප එහෙම ? කියල අහන්ටයි...ට්‍රැක් කිට් එක ගහගෙන උදේට උදේට ගෝල්පේස් එකේ දුවන්ටයි, සතියකට සැරයක් ජාතික පුවත්පත්ය කියන පත්තර කඩමාලුවල කත්තුරුල කියල ඉන්න පක්කලියන්ට අරලියගහ මන්දිරේට එන්ට කියල කුරහං තලප එක්ක උදේ කෑම වේලක් දෙන්ටයි, ඔය වගෙ පොඩි පොඩි ගංසබා වැඩ ඇරුනු කොට ඒ කාලෙ තමං එහෙමට කරපු දෙයක් නැතිබව මතක්වී එතුමාට හීල්ලුණේය.

ඊට අමතරව වැඩක් හැටියට කලානම් කලේ විපස්සෙං බිලී බාගන්නා මන්තිරිලට ඇමතිකංවල පත්තීම් ලිපි ප්‍රදානය කිරීමය. හිටපු ලේකං තුමා පත්තීම් ලිපිය දුන්නම, ඒක එතුමාගේ දෑත් සත්තිමත් කොරන්ට හිතාගෙන විපස්සයෙං ආන්ඩුව පැත්තට බඩ පිනුමක් ගහපු කරනං කාරයාට දීමේ රාජකාරිය කලේ එතුමාය. ඒ වෙලාවෙ සමහර කරනං කාරයෝ දෙකට නැමී තමං ගාව වැඳ වැටුන හැටි මතක් වෙලා එතුමාගේ දෑසට කඳුලු පුරාගෙන ආවේය.

පත්තීං ලිපි ප්‍රදානය එතුමා ජනාදිපති කාලේ කොරපු ප්‍රධානම රාජකාරිය බව දවසක්දා කිව්වේ වෙන කවුරුවත් නොව එතුමාගේ ඇඹේණියන්මය. නැතහොත් ආර්යා තොමෝමය. විපස්ස නායකයාට ටෙම්පල් ටිරීස් එකට එන්ට කියා කෝපි කෝප්පයක් එහෙම පිලිගන්වා එහාට මෙහාට පිල්මාරු කරන එක නවත්තමුය, නව දේසපාලු සඟිස්කුරුතියක් ගොඩනඟමුය කියල පොරොන්දු වෙලා සතියක් යන්ට පෙර විපස්සයේ හත් අට දෙනෙක් බිලී බාගත්තු හැටි මතක් වෙලා එතුමාට සෑහෙන කාලෙකට පස්සෙ හීං හිනාවක්ද ගියේය. පුදුම වෙන්ට දෙයක් නැත. තමංගෙ බලේ රැකගංට ඒ වගේ ඕනෑම පජාති වැඩක් කරන්නට එතුමා එක මොහොතක්වත් පැකිලුනේ නැත..

ඒ ඔක්කොම සුකුරුත්තං වැඩ කෑලි ජනවාරි අටවෙනිදායිං පස්සෙ කෙලවෙලාම ගියහැටි මතක් වෙනකොට බඩ පපුව දාගෙන යන්නේ හම්බන්තොට ලෝකයේ ලොකුම වතුර වල විවෘත කරපු දා සුබ මොහොතිං දොර ඇරියාම මූදෙ වතුර හාරපු වලට ගලාගෙන ආවා වගේය.

මේ දවස්වල එතුමාට ජනාදිපතිකාලෙටත් වැඩිය වැඩ රාජකාරි අදිකය. උදේම අබයාරාමෙට එතුමා බලන්ට කියල එන දුරබැහැර ජහමනයා හම්බවෙලා වචනයක් දෙකක් කතාකරන්ට ඕනෑය.කුජීතවෙලා ගිහිල්ල මාස හයකටත් කිට්ටුවුනත් තාමත් පුදුමසතා බලන්ට වගෙ මිනිස්සු එන එකේ අඩුවක් නැත.

" මේ මෝඩ හැතිකරේ..මොන මඟුලකට මාව බලන්ට එනවද මන්ද...මුං ඔක්කොම එකයි. ළමයි මගෙ අතට දීල මනාපෙ අර සිරිසේනයට දුන්න " 

හවස් වෙනකල් තාප්ප උඩ නැඟගෙන, ජනෙල් කූරුවල තනිඅතින් එල්ලීගෙන අර හන්දියක් හන්දියක් ගානේ අදාදිනේවා...අදාදිනේවා කියා යටිගිරියෙං කෑගහන ලොතරැයිකාරයෙක් වගේ මෙගාපෝං වලිං එලොවටත් නැති, මෙලොවටත් නැති, සම්ප්‍රප්ඵලාප දේසනාකොට පාංකියාගන්නට බැරිවුනහම එතුමාටම ඔයාකාර හිතුනාවුනත් එහෙම මිනිස්සු ඇවිල්ල අතපත ගාලා " අනේ අපොයි ඇඟේ හැපෙයි පාරෙ උංට මාරකේ..." කියල එහෙම යනවට එක අතකට එතුමා බොහොම කැමතිය.

" අනේ අප්පේ...මේ ඉන්නෙ හඳපාන වාගෙ...මූණ කට බලමුකො ඇස්වහක් කටවහක් නෑ රත්තරන් පාටයි...." ගමේ ගොඩේ වයසක ආච්චිලා හැරමිටි ඇන ඇන ඇවිත් එහෙම කියනකොට එතුමාගේ මූණ කට සිරියාවන්ත හිනාවකිං වැසීයන්නේය.

" හප්පච්චියේ කොහොම හිටපු මමද අද මේ පන්සලක අගුපිලකට වෙලා දංබත් කකා ඉන්ට වෙලා තියෙන්නෙ ඇබිත්තයෙක් වගෙ.."

නොදැනීම එතුමාට හෙලුනු සුසුම අසන්නට එතන හිටියේ අබයාරාමේ ලොකු හාන්දුරුවන්ගේ සුවච කීකරු බලු දණ්ඩා පමණි. ඒ බලු රාල ඒ නායක උන්නාංසේ බුදුන් වදාල ධර්මය පරිදි සකල ජනයාහට නිවන් දොරටු විවරකොට දීම ලබන ආත්ම භාවය වනතුරු ටෙම්පරරිලි පෝස්පෝංකොට නේස් නෝනලාගේ විමුක්තිය වෙනුවෙං සිවුර කරටගත් කාලයේ පටං එතුමා එක්ක පයුරුපාසානේ යෙදී පංසලේම වාසය කරන තිරිසනෙකි.

බෝ මලුව පාමුල වැතිරී සිටි ඒකා බණ මඩුව පිටිපස්ස පැත්තෙං එන යකඩ තලන සද්දෙට ඇහැරී කං උස්සා ජුංඩක් වෙලා ඒ පැත්ත බලා හිට වරක් දෙවරක් බිරුවේය. ඒ සද්දයට අතීතාවර්ජනයෙන් මිදුනු එතුමාද කඳුලු පිහදාගෙන ඒ පැත්තට ගියේය. බණ මඩුව පිටුපස තාවකාලිකව අටවාපු ටකරං මඩුවක චීන්නු හත් අටදෙනෙක් වටවී හැලි අරක්කු පෙරන බැරල් එකක් වගේ මොකක්ද එකක මලකඩ කඩති. ඒ අතර බැරල් එක වගේ එකේ ඇදවෙලා තියන තැං කෙලිං කොරන්නට කුලුගෙඩි දෑත බදා උස්සා දේයි දේයි යන අනුකරණයෙන් බැරල් එකට තඩි බාති. පරණ බැනියමක් සහ හම ගිය කොට කලිසමක් ඇඳගත් උස මහත තරුණයෙක් ඒ ලඟම තියෙන ලාම්පුතෙල් බූලියක් උඩ වාඩිවී ඒදෙස බලා ඉඳියි.

" චිංචි පුතා..මොකද තවම ඕකෙ මලකඩ කඩල ඉවරයක් කරගන්ට බැරිවුනාද ළමයො? " එතුමා අත්දෙක ඉණට තබාගෙන ඇසුවේය

" නෑනෙ ඩඩා, බලන්නකො මේකෙ හැටි...මේ යක්කු එක්ක බෑනෙ. අපිට මේ මලකඩ කාච්ච පරන ලදරමක්නෙ මුං විකුණල තියෙන්නෙ... " එහෙම කීවෙ ලාම්පුතෙල් බූලිය උඩ වාඩිවී හිටිය තරුණයාය. ඒ එතුමාගෙ බාල පුත්‍රරත්නය නොහොත් චිංචි පුතාය.

ලෝකේ ලාබාලම අබ්බියාවකාසගාමියා වෙන්නට පෙරුම් පිරුවේ අපේ මේ චිංචි පුතාය. එතුමාගේ පවුලේ කස්ටියට බැරිදෙයක් නොමැත.චිංචි පුතා ලාබාලම අබ්බියාවකාසගාමියා වෙන්නට ආචාරිය උපාදියක් නොහොත් ඩොට්ටරේට් එකක් කරනවාය කියාත් ඒ දවස්වල පත්තරවල පලවුනේය. ඒ අතර එතුමාගේ ආර්යාව පත්තරවලට කිව්වෙ චිංචි දොස්තර කෙනෙක් වෙන්නට ඉගෙන ගන්නවා කියාය. ඒ මොකවුනත් චිංචි පුතා ආමි රගර් ටීම් එකේ කැප්ටන්කම කලා කියලා නම් මට මතකය. අනික් ළමයි දෙන්නත් ආමි සහ නේවි රගර් ටීම් වලට සෙල්ලං කලෝය. අයිය මලෝ තුංදෙනාම සිරි ලංකා රගර් ටීම් එකටද නිතරඟයෙන් තේරී පත් වූවෝය. 

රගර් කියන්නෙ අර දෙපැත්ත උල් බෝලෙ අරගෙන මෙලොව සිහියක් නැතුව දුවන, ඔලුව කියල එකක් නැතුව කඳබඩ විතරක් තියෙන, ඕනම කෙනෙකුට කිසි අවුලක්නැතුව කොරංට ඇහැක් සෙල්ලමක් නිසා පුත්තු තුංදෙනාම කිසිම අවුලක් නැතුව රගර් ක්‍රීඩකයන් උනෝය. යන්තමට වත් රාජ කුමාරවරු පොල්පිති බැට් එකක්වත් අල්ලලා හුරුවක් නොතිබිච්චි එක හොඳට ගියේය. නැහ්නං ඔය තුං දෙනාම සුටුස් ගානකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට දාන එක එතුමාගේ මල්ලිලා එක්තුවෙලා හතර අතේ කොමිස් ගැහුව එක වගේ ඉස්තිරය.

ඒ චීන්නු වටවෙලා තඩි බාමින් උන්නු හැලි අරක්කු බැරල් එකක් වාගේ එක චීනයෙං එතුමා සල්ලි දීලා ගත්තු චන්ද්‍රිකාවය.. ඕක ගත්තු අලුතම ලෝකෙ වටේ රවුම් බාගයක් ද කොහෙද ගියා කියලා ඒ කාලෙම පත්තරේක තිබ්බාය. ශ්‍රී ලංකාවටද දැං චන්ද්‍රිකාවක් තියනවාය කියා ඩිනමින පත්තරේ එහෙම ඒ දවස්වල කිව්වේ පොල්ගෙඩි සයිස් අකුරු වලින් යුතු සිරස්තල දාලාය.

" අනේ අප්පේ කොච්චර දෙයක්ද? රට සුකිත මුදිත කරලා අපිට දැං තිබ්බ ලොකුම අඩුපාඩුව ඒකය. දැං ඔන්න එතුමාට පිංසිද්ද වෙන්ට ඒ අඩුපාඩුවත් සම්පූර්ණයි නෙවද? " 

එහෙම කියමින් අපි කවුරුත් ඒ දවස්වල චන්ද්‍රිකාව සිංහ කොඩියකුත් ගහගෙන, ලෝකෙ වටේ යනවා යනවා බලන්ට, කමින් හිටපු බත්පත පැත්තක දමා, මිදුල් වලට පැන්නෙමු.ඇස් රිදෙන තුරු උඩබලා හිට ජයගෝසා ද නැඟූවෙමු. එතුමාගේ පිංතූර කෝටුවල ගහලා හිට උඩට උස්සලා දස අතේ වනමින් ඔල්වසරන් දුන්නෙමු. ඇඳ පැලඳ හිටි සරං, කලිසං, සාරි, සහ එතනිං ගිහාම ගවුං ගලවා හිස වටා සිසාරවමින් ඔල්වරසං දුන්නෙමු. 

ඔය චන්ද්‍රිකාව චීන්නුංගෙං ගත්තේ තනිකරම මැදමුලන එතුමාගේ ප්‍රම්ප්‍රාගත හේනේ කුරහං විකුණලා ගත්ත සල්ලිවලිං නිසා ලෝකෙ වටේ රවුම් බාගයක් දිව්වට පස්සෙ ඒක කොට උඩ ගියපු එකගැන එතුමාගේ කොයියම්ම තරහ කාරයෙකුට වුනත් වැරැද්දක් කියන්ට බැරිය. දැං ඔය නැව් නේන වරාය, මොනරු පිල්විදහාගෙන නටන ආසියන්තරා පිට්ටනිය, විහාරමහාදේවී උද්දියානෙ හදපු රංගසාලාව වගෙ අටමගල් වලට වුනත් එතුමාගේ නම දාගත්තු එක ගැන කාටවත් එක වචනයක්වත් කියන්ට බැරිය. ඒ එකක්කත් මහජන සල්ලි වලින් හදපුවා නෙවෙයිය. එව්වා ඔක්කොම හැදුවෙ මැදමුලන එතුමාගේ පාරම්පරික කුරහං හේනේ ආදායමිං බව දන්නෝ දනිති. ඒ ගැන නොදැන ආඩපාලි කියන්නෝ ඉස් මුදුනට බැටං පොලු පාරක් පත බෑවිලා මොළගෙඩිය සුට්ටක් හෙල්ලුනාට පසු ඇත්ත සිද්දිය අවබෝද කරගන්නෝය. ඒ කාලේ වැඩ සිද්ද වුනේ අන්න එහෙමය.

" හරි..චිංචි පුතා..එහෙනං වැඩේ කරගෙන යන්ටකො..මට යන්ට තියෙනවා වැලිකඩ.." එතුමා එතනින් පිටවී මල් දෝවනය කරන වතුරමල ගාවට ගියේ මූණ කට ටිකක හෝදාගෙන දිනපතා වැලිකඩ යන ගමනට ලෑස්තිවෙන්ටය. එතුමාගේ ගෝල බාලයිංගෙං සීයට පණහක් දැං ඉන්නේ එක්කෝ වැලිකඩ රිමං එකේය. එහෙම නැත්තං ඇප මතය.

" හපෝයි මුංට මෙව්ව කරන්ට කියල මම කිව්ව එක හැබෑව..ඒත් අහුවෙන්ට කරන්ටය කියල මම කිව්වද? මුං දැනගන්ට එපාය කරන මඟුලක් අහුනෙවෙන්ට කරන්ට. ඒකෙනුත් මටමයි කරදරේ..ඇයි මේ තක්කඩි බලන්ට හිරගෙදර යන්ට එපාය.." තොල් මතුරමින් එතුමා මූන කට හෝදා ජාතික බැනියම දෙතුං වරක් ගසලා දාලා එහෙම ඇඳගත්තේය.

ඒ එක්කම අබයාරාමෙ ගේට්ටුවෙං ගාල කඩාගත්තා වාගෙ ඇතුල් වුනේ පනහක හැටක පමණ සේනාවකි. ඒ එතුමාගේ ගමේ කට්ටිය බව එතුමා අඳුනාගත්තේ සෙනඟ තලේ ඉස්සරහිම්ම එන ගුණේරිස් අයියා දැකීමෙනි. ගුණේරිස් එතුමා මුල්කිරිගල අතුරු මැතිවරනය කාලෙ හිරේ හිටිය දවස්වල ඉඳලම එතුමාට පණ වුනත් දෙන්නට තරම් සූදානම් හිතවතෙකි.

" මොකද ගුණේරිස් අයියා?..." එතුමා ඇසුවේ කුරහං සාටකේ කරේ දමාගන්නා අතරේය.

" ඔබතුමාට මේ පාර මහ චන්දෙට අපේක්සකකම ලැබෙන පාටක් නෑ වගේ නේද? " ගුණේරිස් අයියා ලඟටම කිට්ටුවී හෙමීට ඇසුවේය.

එතුමා මුලිම්ම ලෝඩ් පකීර් වගේ කෙලිම්ම ඉල්ලා හිටියේ අගමැති අපේක්සක කමය. ඒක හරි නොයන බව දැනුනුවිට ජාතික ලයිස්තුවෙං පාර්ලිමේන්තුවට රිංගන්ට බැලුවේය. ඒකත් කෙලවුනු තැන නිකං අපේක්සක කමක්වත් ඉල්ලා සිටියේය. ඒකත් එකහෙලාම ප්‍රතික්සේප විය.

" ඒකනෙ බලාපංකො ගුණේරිස් අයියෙ..මේ මිනිස්සුංට කිසිම කෙලෙහි ගුනයක් නැති හැටියක්.මට අපේක්සක කමවත් නොදෙන හැඩක් තමයි තියෙන්නෙ.." එතුමා එහෙම කීවේ බෝමත්ම කනගාටුවෙනි. 

" ඔබතුමා කිසිදේකට බයවෙන්ට එපා..කවුරු නැතිවුනත් ඔබ තුමාට අපි ඉන්නව. අපි මේ ආවෙ ඔබතුමාට යෝජනාවක් අරගෙනයි. ඔබතුමා මේ රටට වැඩක් කරන්ට ඕන තව දුරටත්. ඒක වලක්වන්ට කාටවත්ම අපි ඉඩ දෙන්නෙ නෑ." 

" ඒක නේන්නං ගුණේරිස් අයියෙ බලාපංකො..මම මේ චන්ද ලක්ස හතරකිං පැරදිලත් ගෙදර යන්නෙ නැතුව රෑ දවල් දෙකේ මේ දඟලන්නෙ කිරිපණු ගායටද? නෑ...මගේ රට ජාතිය ආගම වෙනුවෙන් ( දේයි..දේයි..දේයි..තුංවරක් පපුවට ගසාගනී. ගුණේරිස් අයියා ප්‍රධාන පිරිස තූස්නිම්බූතව බලා හිඳිති ) මගේ අනුපමේය සේවය තව දුරටත් ලබාදීමේ පරම පවිත්‍ර චේතනාවෙන් නේද? ඇයි මේ මිනිස්සු මට ඒකට ඉඩ නොදෙන්නෙ? "

" හරි..හරි..ඒක තමයි අපිත් කියන්නෙ..ඔබ තුමාගෙ සේවය තවදුරටත් අපිට ( මේ මොහොතේ එතුමා යලිත් දෙවරක් පපුවට ගසා ගනී. දේයි..දේයි...) අවශ්‍යයයි.. අපි ඒකට යෝජනාවක් කරන්ටයි මේ තකහනියක් ආවෙ. "

" හරි මොකක්ද ඉතිං ඔය යෝජනාව? රට ජාතිය වෙනුවෙං මැරෙනකල්ම සේවය කරන එක තමයි මගේ එකම අදිෂ්ඨානය…"

" අපේ යෝජනාව මෙහෙමයි…….. ඔබතුමා....."

එතුමා මේ අවස්තාවේ අත ඔසවා කතාවට ගුණේරිස් අයියාගේ කතාවට බාදා කලේය..." මට අමතක වුනානෙ අර රට ජතිය වෙනුවෙං කියල කිව්ව වෙලාවෙ පපුවට ගහ ගන්ට..හරි කමක් නෑ..දැං ගහගමු..දේයි..දේයි..හරි පපුවට ගහගෙන ඉවරයි කියමුකො.දැං මොකක්ද ඔහෙලගෙ යෝජනාව…"

" අපේ යෝජනාව මේකයි. දැං මේ හෙට අනිද්දම වගෙ ප්‍රාදේසීය සබා චන්දෙත් තියනවනෙ. ඔබතුමා ඉල්ලන්ට මැදමුලන ප්‍රාදේසීය සබාවෙ සබාපතිකමට. මොකද කියන්නෙ? කැමතියි නේද? "

" අපොයි ගුණේරිස් අයියෙ මං කැමතියි…..මං කැමතියි….මං කැමතියි…...රට , ජාතිය වෙනුවෙන්…" ( දේයි...දේයි...දේයි )

75 comments:

  1. *රවී ඔරිජිනල්* කියන්නේ මෙව්වට වෙන්නැති නේද?

    ReplyDelete
    Replies
    1. මේව නිකන්ම නිදහ්ස් සිතුවිලි නෙමෙයි.
      බඩ පුරවන නිදහස් සිතුවිලි.
      එක සිතුවිල්ලක් 1600/=

      Delete
    2. @AnonymousJune 23, 2015 at 8:24 AM

      කැරකිල දෙකට නැවිල... :D

      Delete
    3. රංගි,

      රවී ඔරිජිනල්..හෙහ්.. එහෙමත් කැටගරි එකක් තියනවය?..Thanks Madam…..:)

      Delete
    4. ඇනෝ,

      අනේ නෑ බොලේ..මම කලිනුත් කිව්වෙ..සල්ලි ගන්නෙ නෑ..මිනිස්සුන්ට වින කරන යක්කු , පිසාචයො, කුම්බාන්ඩයො එලවන්ටම එපාය ඇනෝ...එලවන්ටම එපාය...:)

      Delete
    5. ස රස,

      කැරකිල දෙකට නැවිල......ඊට පස්සෙ මොකද කලේ අනේ? මරාගෙ *** ලෙව කෑවද?

      Delete
    6. AnonymousJune 23, 2015 at 8:24 AM ලොල් ඕයි

      Delete
  2. මොකැයි මේ අභයරාමේ කතාව?
    කිව්වත් වගේ හොඳ වෙලාවට බේබිලා ක්‍රිකට් වලට මනාපයක් නැති උනේ. හප්පේ මගේ සරුවාන්ගෙම සීතල උනා ඒක මතක් උනාම.

    ReplyDelete
    Replies
    1. අභයාරාමෙ ඉන්න අය එක පාරක් පැරදුනහම ගෙදර යන්න ඕනැ
      ඔන්න සිරිකොතේ කට්ටිය 29 පාරක පැරදුනත් ගෙදර යන්න හොද නෑ
      නේද බං.......
      එහේම උනොත් කවුද දවසෙ කුලිය 2000/- දෙන්නෙ.....

      Delete
    2. //හොඳ වෙලාවට බේබිලා ක්‍රිකට් වලට මනාපයක් නැති උනේ//

      ඒවුනාට ජාතික රූපවාහිනියෙන් ක්‍රිකට් විකාශන අයිතිය අයින් කර කාටද මංද අයිති චැනල් එකකට සර්වකාලීන අයිති කරල දුන්න නේද?

      දැනුයි මතක් වුනේ .....හැබැයි මරහඬදී කියන ( පපුවට ගැහුවෙ නෑ ඒකට මතක විදිහට ) එක සටන් පාඨයක් වුනේ රජයේ ආයතන ශක්තිමත් කලා කියල

      Delete
    3. අමා,

      / මොකැයි මේ අභයරාමේ කතාව? /

      අපේ හිටපු මහ රජතුමා එතුමාගෙ දේසපාලන මූලස්තානය හැටියට පාවිච්චි කරන්නෙ අබයාරාමයනෙ….:)

      Delete
    4. Ano,

      / අභයාරාමෙ ඉන්න අය එක පාරක් පැරදුනහම ගෙදර යන්න ඕනැ...ඔන්න සිරිකොතේ කට්ටිය 29 පාරක පැරදුනත් ගෙදර යන්න හොද නෑ නේද බං......./

      ඒ දෙකේ වෙනසක් තියනවයි කියල තේරෙන්නෙ නැද්ද හැබෑටම?...රනිලා පැරදුනා තමයි...29 පාරක්ද නම් මන්දා ඒත් සෑහෙන තරමක් ඡන්ද පැරදුනා. ඒත් පෞද්ගලිකව රනිල් පැරදුනයි කියන්ට පුලුවන් එකම ඡන්දයයි තියෙන්නෙ. 2005 ජනාධිපතිවරණය. ඒකත් මරා දින්නෙ කොහොමද කියන එක රහසක් නෙවෙයිනෙ. හරි එව්ව පැත්තක තියමුකො. රනිල් පැරදුනා තමයි. ඒත් මරා පැරදුනේ අවුරුදු 10 විතර රටේ පූර්ණ බලතල හිමි ජනාධිපති විදිහට රට පාලනය කරල, ඊට පස්සෙ. ඒ කියන්නෙ මරාගෙ පාලනය මිනිස්සු එක හෙලාම ප්‍රතික්ෂේප කලා. ආය මරාගෙං රටට ගන්ට දෙයක් නෑ. මිනිහගෙ මැරකං, ජඩකං, බලයට තියෙන අසීමිත කෑදරකම, ඥාති සංග්‍රහය, කොමිස් ගැහිලි, දූෂණ, මහජන මතය තුට්ටුවකට නොසලකා අත්තනෝමතිකව කටයුතු කිරීම ඔව්ව ඔක්කොම අපි යස අගේට දැක්කනෙ ඒ කාලය ඇතුලත.

      ඒ හින්ද මරාට ආයම බලය දීල අපිට අලුතෙන් බලාපොරොත්තු වෙන්ට දෙයක් නෑ.යකාගෙ හැටි අපි දන්නව. ඒ වගේම මරාට අයිතියකුත් නෑ මට ආයම බලය දීපං කියල කියන්ට. අනික තව එකක්..මරාට කොහොමත් ආයම ජනාධිපති වෙන්ට බෑනෙ. ඔය අගමැති වෙන්ට වික පුකාගෙන දඟලන්නෙ මොකටද? වෙන මොකටවත් නෙවෙයි තමංගෙ නෑදෑයො යාලු මිත්‍රයොන්ට විරුද්දව තියෙන දූසන චෝදනා යට ගහන්ටයි. තව කීයක හරි හම්බකරගන්ටයි. අර ලොකු පුතණ්ඩියට ජනාධිපති වෙන්ට පාර හදල දෙන්ටයි.

      රනිල් කවදාවත් රටේ ජනාධිපතිවුනේ නැතිනිසා රනිල් ගැන අපි දන්නෙ නෑ. ඒ නිසා රනිල්ට අවස්ථාවක් දීල බැලුවට කමක් නෑ.....ඒක ඡන්ද දායකයගෙ කැමැත්ත. ඒත් ආයම ඡන්දයක්වත් ඉල්ලන්ට මරාට සදාචාරාත්මක අයිතියක් නැ....

      Delete
    5. රනිල් දෙතුන් පාරක්ම අසාර්ථක වුනා නේද . එකපාරක් තවපොඩ්ඩෙන් රටත් දෙකඩ වෙන්න ගිහින් අනූනමයෙන් බේරුනේ

      Delete
    6. 1999 දිත් රනිල් පැරදුනා නේද . රනිල් ඇමතිකම් දර්පු එජාපයෙන් 60,000 ක් මරපු එක අනුව එජාපය අසාර්ථක පක්ෂයක්ය කියන්න බැරිද
      1994 දි එජාපයට එරෙහිව තිබුන ලොකුම චෝදනාව මැරකම ජඩකමටත් වඩා දූෂන . හැබැයි චන්ද්‍රිකා එක්ක ඩීල් දාල ඒ හොරු ශේප් වුනා.
      දැන් ආයෙ වටයකින් චන්දෙ ඉල්ලනව
      මරා ප්‍රතික්ෂේප කරපු එක හරි. මරාට වඩා ජනතාවගෙන් ප්‍රතික්ශේප වුන අයට නේද ඔබ රෙදි නැතිව කඩේ යන්නෙ.
      අමතක කරන්න එපා එජාප්ය තරමු දූෂිත ඉතිහාසයකට උරුමකම් කියන කිසිම පක්ෂයක් මේ රටේ නෑ. ඔබෙගේ පෞද්ගලික ජීවිතය සාර්ථක කරගන්න එජාප ආණ්ඩුවලින් සේවයක් සැළැසිල ඇති. මොකද සුදුසුකම් නැති අයට රැකියා දීම් පටන් ගත්තෙ එජාප ආණ්ඩුවලින්.

      Delete
  3. උදේ පාන්දර වැඩ පටන් ගන්න කලින් කියවන්න සුදුසු සෞඛ්‍යයට හිත කර , ලේ පිරිසිදු කරන ඉතාමත් ගුණදායක සටහනක් ලෙස නිර්දේශ කරන්න පුළුවන්...

    (එතුමාගේ රජයේ අවවාදය : සද්දෙට හිනා ගොස් අන් අයගේ අවදානයට ලක් විය හැක)

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      / …...ලේ පිරිසිදු කරන ඉතාමත් ගුණදායක සටහනක් ලෙස නිර්දේශ කරන්න පුළුවන්... /

      උඹ දන්නවද රුධිර කාන්දු පෙරීම ( Dialysis ) කියන්නෙ ලොකු වියදමක් යන වැඩක් කියල. බොලා නිකම්ම ඒ ටික කරගන්නවට මට කීයක් හරි ගෙවාපල්ල. එතකොට අර ඇනෝ ළමයි කියන විදිහට මේ ලිවිල්ලෙං ආදායම් මාර්ග දෙකයි. ලියනවට වෙනම ගානක් හම්බවෙනවට අමතරව ඩයලයිසිස් කරල දෙනවටත් ගානක් අතට එනව...:)

      Delete
  4. LTTE is active! UNO says: northern provincial government! Not the council! Separate govt is being carved out! Arjuna Mahendran and Ravi are plundering national wealth! John Amaratunga's son "excavating" nidhanayas! ( all who were arrested were released) Mangala is destroying our foreign policy! Ravi K was cleaned up by the Yahapalana courts! Colombo city is being dirtied! Pavement hawkers are allowed to do their business on the pavement! Yahapalanaya is flourishing! Country is being destroyed gradually. Economy is going down! Unemployment is increasing! Great, Mr write more Yahapalana short stories to divert people s attention!

    ReplyDelete
    Replies
    1. OK..Even if what you saying is actually happening, bringing back a despotic dictator like Mara is not the remedy nor the solution at all.

      Delete
  5. ගොම රහිත එළකිරි ලිවිල්ල...

    හැබයි රජෝ මේ වගේම ලියන්න වෙනවා ඉන්න උන්දැටත්. දැන් බලාගෙන ගියාම, නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි වගේ. මේ යකාට රට පාලනය තියා පක්ෂෙ පාලනය කොර ගන්නවත් බෑ නේ. රට බංකොලොත්. මේ යකාට වෙන්නේ අන්තීමට හොරු ටිකත් එක්කම ගේම ගහන්න. දැන් කොරමින් පවතින්නෙත් ඒක.

    මැණික් නදිය ගලා බසී...

    ReplyDelete
    Replies
    1. හරියට හරි මාතලං. අනිවාර්යයෙන් ලියන්න වෙනවා. මොකද සිරා දෙනවය දවසට 2000/= ගානෙ එව දෙන්නෙ රනිල්නෙ.

      Delete
    2. අපි බලන්න ඕන සිරා වගේම කීයක් හරි හොයාගන්න. තැටිය රත් වෙච්චි වෙලාවේ..

      Delete
    3. මාතලන්,

      ස්තූතියි මාතා.....:)

      / මේ යකාට වෙන්නේ අන්තීමට හොරු ටිකත් එක්කම ගේම ගහන්න. දැන් කොරමින් පවතින්නෙත් ඒක. /

      ඒකනෙ බං වෙලා තියෙන්නෙ.....ලොක්කා මොනව කරගන්ට හදනවද මන්දා...

      Delete
  6. හැබැයි ලොකු වතුරවලවල් හදන ඒවා එක්ක ගත්තාම ගම්සභා කොන්තරත්තු නිකං අලියයි මී පැටියයි වගේ නේද?

    ReplyDelete
    Replies
    1. රසික,

      ඔව්...වතුර වලවල් හදන එක මෙගා ප්‍රොජෙක්ට්ස් ගණයට වැටෙන්නෙ...:)

      Delete
  7. හිහි පව් අප්ප...

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      කාටද බං පව්?.....

      Delete
  8. අභයාරාමේ දැන් පදිංචි කාරයා අනවසර පදිංචි කාරයෙක්..
    එක වගේ අය එකට එකතු වෙනවා කියන්නේ නිකන්යැ

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      එහෙම කතාවකුත් තියනව නේද? මමත් කියෙව්ව වගෙ මතකයි...

      Delete
  9. මේහ් රවි අයියේ . .
    අර ඇනෝ ළමයා කියන බොට ලැබෙනවා කියන 1600ද 2000ද මන්දා එකෙන් අපිටත් 100ක් 200ක් හරි දුන්නොත් තමා ඕන් අපි කොමෙන්ට් දාන්නේ හරිය . .

    ReplyDelete
    Replies
    1. දුකා,

      ඉතිං මල්ලි..කාලෙකට පස්සෙ...හෙහ්,හෙහ්....ඒකනෙ බොලේ මේ ඇනෝ මහත්තුරුනෙ මේ ගනං හිලව් හරියටම දන්නෙ....:)

      Delete
  10. උබට පෝස්ට් එකක් ලියාගන්න බැරි උන දවසට ගැණිව එවපන්. 2500/= දෙනවා

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      හෙහ්..මාරාගෙ සට්ටැඹියංගෙ පුරුද්දනෙ ඕක...අර එකෙක් හිරේට ගියේ සුද්දියෙකුට අතවර කරල...තව එකෙක් පාටි දැම්මෙ ගෑණු සීයක් දූෂනය කලා කියල ඒක සමරන්ට...

      Delete
  11. හනේ හනේ සා රසයා දොස්තර කම පැත්තක තියලා ඇනෝ කොටන්න පටන් අරන්. ඕකා ඉස්පිරිතාලේ වැඩ නෑ. මහින්දගේ පුක ලෙවකන්න දඟලන නිසා.

    ReplyDelete
    Replies
    1. ඇනෝ..

      අම්මටසිරි ස රස කියන්නෙ දොස්තර කෙනෙක්ද? ඔන්න වැඩේ හැටි...මෙඩිකල් ෆැකල්ටි එකට තේරෙන්නෙ ලංකාවෙ දක්ෂම සිසු/සිසුවියො කියලනෙ කියන්නෙ නේද?...හෙහ්,හෙහ්..ඒත් අනික් අතට බුද්ධියයි උගත්කමයි දෙකක් කියලත් කියනවනෙ...අර පාදෙණිය එක්ක චන්දෙත් ඉල්ලනව ඇති එහෙනං ෂුවර් එකටම...

      Delete
    2. සා රස කියන්නේ පාදෙණියද කොහෙද?

      Delete
    3. @ AnonymousJune 23, 2015 at 1:32 PM

      ඔයාට තැන්කූ මෙයා

      @RaviJune 23, 2015 at 7:07 PM
      දුක තමයි... දැන් ඉතින් තමන් ගේ දරුවෙක් වත් තමුන් ට යන්න බැරි වුන විස්සවිද්යාලෙ යවන්න උත්සහ කරමු

      @AnonymousJune 23, 2015 at 9:00 PM
      අපි ඔය කුරුනෑගල හාල් කෑලි නෙවෙයි ඇනෝ... රාජකීය බඩු!
      ඔවු ඔවු.. ඔය තමුන්නැහෙලා වඳින පුදන රනිල් තුමා ගෙ කොලීජියට ගිය කස්ටිය...

      Delete
    4. සා රස,

      / දුක තමයි... දැන් ඉතින් තමන් ගේ දරුවෙක් වත් තමුන් ට යන්න බැරි වුන විස්සවිද්යාලෙ යවන්න උත්සහ කරමු /

      හෙහ්, මම නම් ලංකාවෙ විශ්ව විද්‍යාලෙක ඉගෙන ගත්තෙ නෑ තමයි. ඒත් එව්වයෙ ඉගෙන ගත්තයි කියන සමහර උදවියගෙ අදහස් දැක්කම නොගිය එකමයි කාරිය කියලයි හිතෙන්නෙ...

      / අපි ඔය කුරුනෑගල හාල් කෑලි නෙවෙයි ඇනෝ... රාජකීය බඩු! ඔවු ඔවු.. ඔය තමුන්නැහෙලා වඳින පුදන රනිල් තුමා ගෙ කොලීජියට ගිය කස්ටිය./

      මොනව කරන්ටද මෙයා..අර මොකාගෙද මොකේද ඇද අරින්ට බෑ කියනවනෙ උණපුරුකෙ හත් දොහක් දාල තිබ්බත්. අනික අර දේවදත්තය ජේතවනාරාමෙ වැඩ වාසය කරලත් අන්තිමට පොළව පලාගෙන නරකාදියට ඇදගෙන ගියාය කියනවනෙ. ඒ හින්ද ඔව්ව එච්චර උදම් අනන්ට කාරණා නෙවෙයි.

      Delete
  12. සුපුරුදු පරිදිම අදත් රවී අයියා ඉවර කලේ පටන්ගත්ත කථාවෙන් නෙවේ. හී හී.....................
    ඔය දෙන්නා ලියපු කථා බොහෝමයක් කියෙව්වා. ඒත් අදයි කොමෙන්ට් එකක් දාන්නේ. මං අනිවාර්යයෙන්ම ඔයාලගේ බ්ලොග් එක බලනවා. රවී අයියා ලීව “දඩයක්කාරයා” කථාවට මං හුඟක් කැමතියි. ඒක කියවද්දී මට මතක් වුනේ ‘අරණකට පෙම් බැඳ ‘ නවකථාව. නරකද අයියේ දඩයක්කාරයා කථාවෙන් පොතක් ලීවොත්,,,,,,,

    ReplyDelete
    Replies
    1. හේමමාලි,

      හෙහ්..පොතක් නේද? ....ඒ කතාව හරි මදි බොලේ පොතක් ගහන්ට...කොහොම උනත් එහෙම කිව්ව එකට ඔබට ස්තූතියි....:)

      Thanks Hemamali,

      Delete
  13. සැක්.. මේ යහපාලන හැතිකරේ කන්ස්ට්‍රක්ශන් නතර කරලා අපේ බඩට කෙලෙව්වේ නැත්තං අපිට මේ ලියවිලි කොච්චර ආසාවෙන් රසවිඳින්න තිබ්බද..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      එච්චරම තත්වය දරුණුද මලේ?.....:(

      Delete
    2. ඒ ගැන නම් කතා කරලා වැඩක් නැත. බුදු හාමුදුරුවොත් බණ කියන්න කලින් කන්ඩ දීල හිටියලු. මිනිස්සුන්ට ඉවසන්න පුළුවන් තරමකුත් තියෙනවනේ. මුන්ට මේව හිතෙන්නේ නැද්ද මංදා.. සැක්.

      Delete
    3. @ කල්‍යාණ මිත්‍රJune 23, 2015 at 7:24 PM

      ඉබේ කෙඳිරි ගෑවෙන ලෙඩකි බඩගිනී...

      Delete
    4. කල්‍යාණයා කියන කතාව ඇත්ත.රටේ ස්ථාවර ආණ්ඩුවක් නැති එකත් මේ තත්වයට බලපලා තියෙනවා.කරන්න තියෙන්නේ ඉක්මනින් මහා ජන්දෙකට ගිහින් ස්ථාවර රජයක් පිහිටුවන එක.

      Delete
  14. පපුවට තඩිබාගන්න කලින් මතක ඇතුව අර කවර් එක දාන්න මතක තියාගනින්.වයසක මනුස්සයනෙ බං ඔය සෙනග දැකල චූං වෙලා තඩිබාගන්න ගිහිං තව කෙළියක් වෙයි.

    ReplyDelete
    Replies
    1. හැලප,

      හෙහ්…….අනික දේයි..දේයි ගාල ඒ දෝංකාර දෙන සවුන්ඩ් එක හරියට එන්ට රබර් පාපිස්ස බැඳගන්ටම ඕන. ආර්පිකෝ එක තමයි හරියටම හරියන්නෙ...:)

      Delete
  15. http://nokieekatha.blogspot.com.au/2015/06/blog-post_23.html

    ReplyDelete
  16. රවි අයියේ, බොහොම මදි බොහොම මදි... හොඳ කැපෙන දාර තියන තඩි පොල්පිත්තකින් දෑත බදලා දීගන දීගන යන්න ඕනා නැට්ටත් හෙල්ලෙන්නැතිව යනකම්ම... නැත්නම් සුවර් නෑ...

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      සික් එහෙම කියන්න එපා බං...අපි අද බියෙන් සැකෙන් තොරව පාරෙ බැහැල යන්නෙ කවුරු හින්දද?........ එහෙම මනුස්සයට පොල්පිත්තකිං ගහන්ට ඕන කියන එක වැරදියිනෙ මල්ලි ......:(

      Delete
    2. ඇත්තටම කවුරු හින්දද ? මට මතක නෑනේ... !@#$ ?? අපි බියෙන් හිටියද ? සැකෙන් හිටියද ? :(((

      Delete
    3. සෙන්නා,

      ඔන්න ඕකනෙ මල්ලි වෙලා තියෙන්නෙ....උඹලට මුල අමතකයිනෙ...එතුමා තමයි අපිව අර ප්‍රබාකරන් කියන රාස්සයගෙං ගලව ගත්තෙ..ඒකට හිලව්වට මේ සංසාරෙ ගෙවෙනකල් එතුමට කඹුරන්ට ඕනය කියල උබලට තේරෙන්නෙ නෑනෙ..ඒ උත්තමයා මොන පජාතිවැඩේ කලත් " අහෝ, මෙතුමා වනාහී අපව ගලවාගත් උට්ටමයා වම්හ. එසේ වූ හෙයින් මොහුගේ සියලු නොපනත්කම්, අධර්මිෂ්ඨ අත්තනෝමතික ක්‍රියාවන් නොඇසූ නොදුටු නියා, අඳ ගොළු බිහිරන් මෙන් හිඳ මෙතුමා ශ්‍රී ලංකාවේ යාවජීව මහරජු වශයෙන් පත්කොට ගතයුතුවේමය..."

      අන්න එහෙමනෙ මල්ලි කරන්ට තිබ්බෙ,,,හිංගලයා කියන්නෙ කලගුන දන්නා ජාතියක්ය කියල මුලුලෝකෙම පැතිරිල තිබ්බ කීර්තිනාමය මේ ලස්ස හැටදෙකක් ගොබ්බයො, ගුනමකුවො හින්ද ජනවාරි 8 වනිදා රෑ නැතිබංගස්තාන වෙලා ගියානෙවද කියල හිතෙනකොටත් මල්ලි හිතට දැන්නෙ පුදුම දුකක්..අනේ එතුමා බුදුං දැක නිවං දකින්ටෝන මලයා..සාදු!..සාදු!!..සාදු!!!

      Delete
    4. අනේ සාදු !! එතුමා නිවන් දැක බුදුන් දකින්න ඕනෑ...!!

      Delete
  17. අනෙ අප්පුච්චේ..... මේ සේරොම නොසන්ඩාල කතා ඇදබාල තියෙන්නෙ අපේ මහරජ්ජුරුන්නාංසෙට නේදැ? මයෙ පපුව හෝස් ගාල දාල යනව මේව දැක්කම. උන්නාංසෙ පැංසොං පලච්චත් හරි පාරකට එක තාර ජුංඩක් වැහ්නද? නෙලුං කුලුනක් තියා අඩුම ගානෙ ගැටපිච්ච කනුවක් තරම හැදුනද? වරායක් තියා නාන තොටුවක් තරම හැදුනද? ගුවං තොටුපලක් තියා කුරුල්ලෙක්ට බැහැල පනුවෙක් අහුලං කන්න තරං මිදුල් කෑල්ලක් හැදුනද?

    ආ.. එතනිං ගියාං අපේ රොකට් උක්කුං මලෙය වගේ අජටාකාසකාරෙයො හැදුනද? අඩුම තරමෙ අහස් කූරක් තරම ඇරියද? ලොක්කයිය වගේ රණසූරයෙක් හැදුනද? රගර් බෝලෙ තියා පොල් ගෙඩ්ඩක් ඇරං දුවන්න තරම කොලු ගැටයෙක් ඉන්නවද? නෑ...

    එහෙව් රජෙක් ඉඳල නැති උනහම අපි මොන දෙයියන්ට කියන්නද?

    රජෙක් නැතුව මොන උලව්වටද රටක්. වැඩහ්නෑ.... වැඩහ්නෑ..... වැඩහ්නෑ....... (දේයි දේයි දේයි) අපෙ මහරජ්ජුරුවංට ආපහු එන්ට නොදුන්නොත් මගෙ රට, ජාතිය, ආගම (දේයි දේයි දේයි) වෙනුවෙං පණ දෙවනුව සටං කොරමි! (දේයි), සටං කොරමි!! (දේයි), සටං කොරමි!!! (දේයි). (අනෙ අම්මෙහ්)

    ReplyDelete
    Replies
    1. සුරංග,

      අඩේ බලාගෙන බොල ඔහොම තඩිබාගන්ටෙපා පපුවට. ඉළකූරු ඇනිල තොගෙ අතමයි තුවාල වෙන්නෙ...එහ්හෙන්නං...

      උඹලටත් බං මුල මතක නෑනෙ..එතුමාගෙ ගදාති පුත්‍රයා ( ඥාති කියන වචනෙ මම සුට්ටං කාලෙ සද්ද කෙරුවයි කියන්නෙ එහෙම) නේද මේ ඊයෙ පෙරෙයිද වෙනකල් උඹලගෙ මහ ඇමතියා? මිනිහ භධුල්ලට මහ විශ්ශාල්ල ෂේවයක් කරාය කියලයි ඔය කවුරුත් කියන්නෙ.

      Delete
  18. මෙන්න නියම ජාති ද්‍රෝහී ලියවිල්ලක්, මොනවා වුනත් සවැනි පැරකුම්බා ගේ පස්සේ රට එක්සේසත් කරපු එකම මනුස්සයා. ඔය දඟලන්නේ බලයට ආසාවේ නෙවෙයි අම්මප , මේ කට කැඩිච්ච රවියියලා වගේ උන් මොනා කිව්වත් ඒ හැබෑම ජාති ආලෙන් , දෙයියම්පා :P

    ReplyDelete
    Replies
    1. දේයි දේයි දේයි...

      Delete
    2. ඉවාන්,

      / මොනවා වුනත් සවැනි පැරකුම්බා ගේ පස්සේ රට එක්සේසත් කරපු එකම මනුස්සයා. /

      ආය මොනව කියනවද? එක්සේසත් කලා නෙවෙන්නං..හරියටම නං එක්පවුල්සේසත් කලේ..මුලු රටම එක පවුලක පාලනය යටතට ගෙනාවා...ඒකත් කලේ මට හිතෙන්නෙ වෙන දේකට නෙවෙයි සදාකාලිකව රටේ රජකම තමන්ගෙ පවුලටම තියාගන්ට හොඳම වැඩේ එහෙම කරන එකය කියල හිතල වෙන්ට ඕන. මොකද මනුස්සයගෙ පශ්චාත් 2009 මැයි වැඩ පිළිවෙල දිහා බැලුවම එහෙම හිතන්න ඕන තරම් සාධාරණ හේතු තියනව.

      Delete
  19. මොනා උණත් රගර් ගැන අරවගේ කතාවක් කියන්න උඹට වටින්නේ නෑ... අපි වගේ රගර් පෑන්ස්ලා (දේයි දේයි දේයි) බිංදුවටම වැටෙනවා උඹ එහෙම කිව්වහම....

    ReplyDelete
    Replies
    1. Thisara,

      / මොනා උණත් රගර් ගැන අරවගේ කතාවක් කියන්න උඹට වටින්නේ නෑ. /

      වරද පිළිගනිමි..ක්ෂමාව අයැද සිටිමි. ඇත්තම කිව්වොත් ඒ වාක්‍යය වෙන විදිහකට ලියන්ට මම බොහොම උත්සාහ කලා. ඒත් හරිගියේ නෑ..( එහෙම උත්සාහ කලේ මමත් රග්බි ක්‍රීඩාවට බොහොම ඇලුම් කරන හින්ද )

      Delete
  20. හොහ්... හොහ්...
    කියෙව්ව ඈ..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ස්තූතියි කිව්ව ඔන්න මාත් එහෙනං ඈ....

      Delete
  21. ඊයෙ, පෙරේදා දවස් දෙකේ ට්‍රේනිං එකක් තිබ්බා. මං මේක කියෙව්වෙ ඊයෙ ට්‍රේනිං එකේදි. හිනා වෙලා එහිනාව තද කරගන්න ගිහිං පණ ගියා. ඊට පස්සෙ වටේ ඉන්න උන්ට පෙන්නුවා. පට්ට කතාව බොස්...! හොඳම කෑල්ල විදිහට තේරුණේ වැඩි ඡන්දෙන්, “අනේ අපොයි ඇඟේ හැපෙයි පාරෙ උන්ට මාරකේ...“

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      හෙහ්..උඹත් කරන වැඩ අම්මාපල්ල...:)

      ස්තූතියි මල්ලි....

      Delete
  22. ඉන්නේ පන්සලේ හැබැයි බල තණ්හාවේ අඩුවක් නැති හැටි.

    හැබැයි ඔය කුමාරවරු රගර් ගහන්න ගත්තයින් පස්සේ රගර් ක්‍රීඩාවට ලොකු රජ්‍ය අනුග්‍රහයක් ලැබුණා.හැබැයි එකෙන් හරි ප්‍රයෝජනයක් නොගත් එක අපරදේ.

    ReplyDelete
    Replies
    1. Manoj,

      / හැබැයි ඔය කුමාරවරු රගර් ගහන්න ගත්තයින් පස්සේ රගර් ක්‍රීඩාවට ලොකු රජ්‍ය අනුග්‍රහයක් ලැබුණා.හැබැයි එකෙන් හරි ප්‍රයෝජනයක් නොගත් එක අපරදේ. /

      රාජ්‍ය අනුග්‍රහයෙන්ම ක්‍රීඩාවක් නංවන්න බෑ මනෝජ්. මල්ලිල දෙන්න ආමි සහ නේවි රගර් ටීම් වලින් අයින් කලාම ලොකු අයියා පුවත්පත් නිවේදනයක් නිකුත්කරල කිව්වෙත් එහෙමයි. අපි හින්ද රගර් ක්‍රීඩාවට ලොකු අනුග්‍රහයක් ලැබුනය...අරකද මේකද....ඒත් ඔය අයියල මල්ලිල තුන්දෙනා හින්ද හොඳ දක්ෂ රගර් ක්‍රීඩකයො කීදෙනෙක් රගර් අත ඇරලම දැම්මද?

      රජ පැටව් ලංකාවෙ රග්බි ක්‍රීඩාවට කරපු විනාසෙ ගැන කියවන්න ඕනනම් පහත ලිපි බලන්න.

      Presidents youngest son ruins army rugger.

      Presidential offspring Rohitha Rajapaksa assaulted rugby referee in full public view.

      Senior rugby players avoid national team.

      Sri Lanka to ban sportsmen refusing to represent country.

      I went to a fight and a rugby match broke out.

      Delete
  23. හනේ අප්පේ හෙටත් නිවාඩු හින්දා හොඳයි මතක් කර කර හිනා වෙන්න. දේයි ..දේයි ..

    ReplyDelete
  24. මේ වගේ ජාති දොරෝහි ලියවිලි ලියවෙන්නෙම පිටරට ඉන්න නිසාද ? හේ හේ ඇමෙරකාවෙන් කෙලින්ම ඩොලර් එවනවා ඇති.
    http://nelumyaya.com/?p=3273

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...