Friday, July 10, 2015

331. විමලෙගෙ වාංපතුල් කතා - 32 - What's common to Celltel, JCB, Bata & Hilti? සහ අයිය දන්නවද සරෝජිනී අයියට අකමැති වුනේ මොකද කියල?

Google Images

අප්පච්චිව ජයන්ත අයියට බාරදීල මම ආපහු වාට්ටුවට ගියා. සරෝජිනී ඒ වෙනකොට මේසෙ ඉඳගෙන පොතක් දිගඇරගෙන මොනවද ලියනව. හොඳ වෙලාවට ඒ අහල පහල වෙන කවුරුවත්ම නෑ. 


" සරෝජිනී. " මම ඒ ඉස්සෙලමද කොහෙද එයාට නම කියල කතාකලේ

" මම හවස ඩියුටි ඕෆ් වෙන වෙලාවට ඔයාව හම්බ වෙන්ට එන්නද? " මම මේසෙ ඉස්සරහ හිටගෙන ඇහුව.

ඈ ඔලුව උස්සල මගේ දිහා බැලුව.. ඊටපස්සෙ හෙමිහිට කනට ඇහෙන නෑහෙන ගාණට " එපා " කියල ආයම පොත දිහා බලා ගත්ත.

ඇයි ඒ?... නැත්නම් මොකද ඔයා එහෙම කියන්නෙ?..... එහෙම අහනවද නැද්ද?..... හිත අතීරණයක එහාමෙහා වැනෙද්දි මම එහෙමම මේසෙ ඉස්සරහ හිටගෙන හිටිය. ඇයි සරෝජිනී එපා කියන්නෙ?.... හිතේ කුතුහලයක් නැත්තෙමත් නෑ. මොකද පහුගිය දවස් කීපයෙ මා එක්ක කතාබහ කරපු විදිහෙන්, ඒ කතාබහ කරද්දි ඉරියව් වලින් එහෙම අකමැත්තක් මට පෙනුනෙම නෑ..එතකොට ඇයි එපා කියන්නෙ? අහනවද? නැද්ද?..අහනවද? නැද්ද?...මම සරෝජිනීගෙ මේසෙ ඉස්සරහ හිටගෙන ඉන්න ගමන් කල්පනා කලා. අන්තිමට කුතුහලය මැඩගෙන මගෙ ගර්වය මතුවුනා.

මොන කෙහෙල්මලක්ද? මම මොකටද මෙයාට සෙකන්ඩ් වෙන්නෙ? එපා කියල කිව්වනෙ..ආය මොකටද අහන්ට යන්නෙ ඇයි එපා කියන්නෙ කියල. මූණට දමල ගැහුව වගෙ එපා කියන්නෙ එපා හින්ද කියල කිව්වොත් එහෙම. ළඟ අහල පහළ කවුරුවත් ( මම හෙමිහිට ඔළුව හරවල දෙපැත්ත බැලුවා.) නම් නෑ තමයි. ඒත් මගෙ ආත්ම අභිමානයට වෙන මදිපුංචිකම..හෙහ්...ඒකනෙ..ඔන්න ඔහෙ දමල ගහල යනව යන්ට. 

මම එක්වරම ආපහු හැරිල සරෝජිනීට පිටුපාල යන්ට ගියා. වාට්ටුවෙන් පිටවෙන දොරේ අල්ලුවෙන් උඩ හරිය වීදුරු පනේල තුනක්. විනිවිද පෙනෙන වීදුරුවලින් ඡායාවන් පේනවා හොරයි. ඒත් මේ දොරේ වීදුරුවල පිටිපස්සෙ කළු එක්ස්-රේ කොළ අලවල තිබුන මම හිතන්නෙ ඉර අව්ව තදේට වාට්ටුව ඇතුලට වැටෙන එක වලක්වන්ට. ඒ නිසාමද කොහෙද සරෝජිනී මොනවද ලියමින් හිටිය පොත උඩ අත්දෙක තියාගෙන ඔලුව උස්සල මා දිහා බලා ඉන්නව දොරේ වීදුරුවෙන් මම දැක්ක. දොරේ අල්ලුවත් දකුණතින් අල්ලගෙන මම හෙමිහිට ආපහු හැරුන. එහෙම හැරිල බලද්දි එයා ආයම ඔලුව නමාගෙන පොත දිහා බලාගෙන. 

දොරේ අල්ලුවෙන් අල්ලල ඇදල, දොර ඇරල, මම වාට්ටුවෙන් පිටවෙලා ආවා.

" අර ළමය මොකද පුතා කිව්වෙ? "

ඒ එදා රෑ...අප්පච්චි කලින්ම කාල නිදාගත්ත. අම්මයි මායි සාලෙට වෙලා. රූපවාහිනියෙ අටේ ප්‍රවෘත්ති බලමින් හිටියෙ. මොන ළමය ගැනද අම්ම ඔය කතා කරන්නෙ කියල අහල වෙනද වගෙ කෝළිත්තං කරන්ට තරම් හිතක් මට තිබුනෙ නෑ ඒ වෙලාවෙ. 

" මොකවත් කිව්වෙ නෑ. "

එහෙම කියල මම ටීපෝ එක උඩ තිබ්බ පත්තරයක් අතට ගත්ත. මම ඒ ගැන කතාකරන්ට අකමැතිබව අම්මට තේරෙන්ට ඇති මයෙ හිතේ, අම්ම ඒගැන ආයෙම කතාකලේ නෑ.

" පුතා හෙටම වැඩට යනවද? "

විනාඩි දහයක් තරම නිශ්ශබ්දතාවයෙ වෙලිල ගතවෙච්ච කාල පරාසයකට පස්සෙ අම්ම ඇහුව. 

" ඔව් අම්මෙ..සතියක් වගෙ වැඩට ගියෙත් නැහැනෙ. හෙටම යන්ට ඕන. දැන් ඒ හැටි ප්‍රශ්ණයක් නෑනෙ. අප්පච්චි ආයම ක්ලිනික් එක්ක යන්න ඕනෙ සති දෙකකින්නෙ. එතකොට මම නිවාඩුවක් දාන්නම්. "

සරෝජිනී ගැන ඇත්තටම ඊට පස්සෙ වැදගත් දෙයක් කියන්ට නෑ. සති දෙකකින් අප්පච්චිව ක්ලිනික් එකට එක්කයන්ට ඕන නිසා මටත් ආයම නිවාඩු දාන්ට වෙනව. ඒ නිසා ඒ ආසන්නයේම යෙදුනු සති අන්තයෙ මම ගෙදර ආවෙ නෑ. අතපසු වෙච්චි හදිසි වැඩ එකලාසයක් කරන්ටත් ඕන නිසා ක්වාටර්ස් එකේම නැවතුනා.

ඊළඟ සතියෙ බෘහස්පතින්දා අප්පච්චිට ක්ලිනික් එක තිබ්බෙ. ඔය කාලෙ වෙනකොට මම හිටියෙ අපේ ඔෆිස් එකෙන් කිලෝ මීටර් හත අටක් වගෙ දුර. ටෙලිෆෝන් තිබ්බෙ ඔෆිස් එකට විතරයි. මම හිටපු දිහා උප තැපැල් කන්තෝරුවට ටෙලිෆෝන් තිබ්බට ඒකෙ කෝඩ් එක පොළොන්නරුව. ඒ හින්ද නුවරට කෝල් එකක් එකක් ගන්ට හරිම අමාරුයි. 

ජංගම දුරකථන ඔය වෙනකොට සුඛෝපභෝගී උපකරණයක්. ආපුම අලුත දුන්නෙත් මන්ත්‍රීලට විතරක්ද කොහෙද...ඔය ඩයලොග්, බයලොග්, මොබිටෙල්, බොබිටෙල් මොකවත් තිබ්බෙ නෑ ඒ මුල්ම කාලෙ. ජංගම දුරකථන සේවා සැපයුවෙ සෙල්ටෙල් සමාගමෙන් විතරයි. කොහොමහරි ඒකාලෙ මොබයිල් ෆෝන් එකට කිව්වෙත් සෙල්ටෙල් එක කියල.යම් භාණ්ඩයක් හෝ උපකරණයක් හැඳින්වීමට ඒවා නිෂ්පාදනය කරන ආයතනයක වෙළඳ නාමය පර්යාය පදයක් වශයෙන් භාවිතාවන අවස්ථා බොහොම තියෙනව. රබර් සෙරෙප්පු හැඳින්වීමට බාටාව නැත්නම් බාටෙ..( අනේ මගෙ බාටාව ඇලේ යනෝ..බේරගන්ට කවුරුත් නැද්දෝ..අන්න ඒ වගෙ ) බැකෝ හැඳින්වීමට ජේසීබී එක, ඩ්රිලර්ස් හැඳින්වීමට හිල්ටිය... ඒ එහෙම අවස්ථාවලට උදාහරණ.

අඟහරුවාදා මට පණිවිඩයක් ආව ඔෆිස් එකෙන් හැකි ඉක්මණින් ගෙදරට කතා කරන්නෙයි කියල. මට එක පාරටම හිතුනෙ අප්පච්චිට ආයෙමත්…

" හරි හරි යමුකො…... අපි ගිහිල්ල බලමුකො මොකද වෙලා තියෙන්නෙ කියල. " අජිත් ෂර්ට් එකක් දාගන්න ගමන් කිව්ව. 

අජිතය එක්ක මම ගියා සබ් පෝස්ට් ඔෆිස් එකට ඒ වෙලාවෙම. මගෙ වෙලාවටමද කොහෙද පැය බාගයක් වගෙ ඇතුලත කෝල් එක ගත්ත ගෙදරට..

" ආ පුතා…. මම මේ කතා හෙට හවස ගෙදර එනව නේද කියල අහන්ට. " ඒ අම්මා.

" එන්නෙ නැතුව ආය?.... මම කියලනෙ ආවෙ අනිවාර්‍යයෙන් එනවයි කියල..අම්මටත් මොනව වෙලාද මන්ද..මම එක පාරටම බය වුනා ගෙදරට කෝල් එකක් ගන්න කියල පණිවිඩේ ආහම " මගේ හිතේ නොරිස්සුම අම්මට ඇඟවෙන්ටත් එක්ක මම කියල දැම්මා.

" ආ..නෑ..නෑ...පුතාට බය වෙන්ට දෙයක් නෑ..මම ඊයෙ සුරවීර ආන්ටි එක්ක කතාකලා සෑහෙන වෙලාවක්…" 

" හ්ම්ම්ම්...ඇත්තද? මොනවද කිව්වෙ? …" මම වැඩි උනන්දුවක් නොපෙන්වා ඇහුව..

" හරි හරි..පුතා හෙට හවස එන්ටකො..අපි ආහම කතාකරමු…" අම්ම එහෙම කියල තව ඔය විස්තර ටිකකුත් කතා කරල ටෙලිෆෝන් එක තිබ්බ.

" උඹට ලේසිවෙන එකක් නෑ මෙදාපාර ...හෙහ්,හෙහ්, " බිල ගෙවල සබ් පෝස්ට් එකෙන් එළියට බහින අතරෙ අජිතය කිව්ව.

පහුවදා හවස මම ගෙදර ආව. රෑට බත් කන ගමන් අම්ම ආයම සුපුරුදු විෂයයට අවතීර්ණ වුනා. 

" සුරවීර ආන්ටි කැමතියි පුතා මේ වැඩේට....."

" සුරවීර ආන්ටි කැමතිවෙලා වැඩක් නෑනෙ අම්මෙ.." 

" නෑ..නෑ..ඒ දුවත් කැමතියිලු.." 

" හරි එහෙම කැමතිනම් එයාට කියන්ට මට කතාකරන්ට කියල. මම ආයෙ වැඩට යන්නෙ සඳුද. දවස් හතරක් තියනවනෙ. එයාටම කියන්ට මට කතා කරන්ට කියල. " මම එහෙම කියල පිඟානත් අරගෙන මේසෙන් නැඟිට්ට.

පහුවදා බෘහස්පතින්දා පිළිමතලාවෙන් හයර් එකට වෑන් එකක් ගෙනල්ල මම අප්ච්චිව ක්ලිනික් එකට එක්ක ගියා. සිකුරාද නුවර ටවුමෙ උදේ වරුව කරක් ගහල කාසල් එකෙන් ලාගර් බෝතල් දෙකකුත් ගහල දවල්ටත් කාල ගෙදර ගියා. සෙනසුරාද පිළිමතලාවට ගිහිල්ල කොණ්ඩෙයි රැවුලයි කපාගෙන ආව.

පිළිමතලාවෙ ටවුන් එකේ තියනව අර සුද්දන්ගෙ කාලෙ ටයිප් පරණ බාබර් සාප්පුවක්.දැකල තියද නම් දන්නෙ නෑ අර පස්වන ජෝර්ජ්, හයවන ජෝර්ජ් සහ චර්චිල්ගෙ එහෙම රාමු කරපු ෆොටෝ එල්ලල තියෙන්නෙ. තව අනිවාර්යයෙන්ම තියෙනව ඩී.එස්. ඩඩ්ලි, සර් ජෝන් සහ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගෙ ෆොටෝත් එල්ලල. 

ඒ වගෙ කොලෝනියල් ටයිප් පරණ බාබර් සාප්පුවල දැලිපිහියෙන් රැවුල කපන්නෙ. දැළිපිහේ මුවත් තියන්ට කරගල වෙනුවට තියෙන්නෙ බාබර් සාප්පුවෙ පිටිපස්සට වෙන්ට බිත්තියෙ ඇණයක් ගහල ඒකෙ එල්ලපු හම් පටියක්. පිළිමතලාවෙ තව අලුත් ඉට්ටැයිල් එකේ සැලෝන් දෙකක්ම තිබුනත් මම කොන්ඩෙ රැවුල කැපුවෙ අර ආදිකාලෙ බාබර් සාප්පුවෙන් විතරයි. ඔය කරණවෑමි සාප්පුව සම්බන්ධව මගේ අමතක නොවන අත්දැකීමකුත් තියනව....හෙහ්......පස්සෙ දවසක හොඳද?

සඳුදා පාන්දරම වැඩට යන්ට පුලුවන් උනත් ඉරිද දවල්ට කාල මම ගෙදරින් ආව. 

" අම්මෙ එහෙනම් මම ගිහිල්ල එන්නම්." මම පාත්වෙලා අම්මට වැන්ද.." අප්පච්චිට කියන්ට මම ගියාය කියල. " 

අප්පච්චි ඒ වෙනකොට කලින්ම දවල්ට කාල නිදි. අප්පච්චි ඒ කාලෙ දවසෙ වැඩිහරියක්ම නිදාගෙන තමයි හිටියෙ. 

" හොඳයි පුතා ගිහිල්ල එන්න.." අම්ම එහෙම කියල මගෙ ඔලුව අතගෑව. 

ඒ දවස් හතරෙම සරෝජිනී මට කතා කලේ නෑ. ඊට පස්සෙ ඒ ගැන අම්ම මට කිසිම දෙයක් කිව්වෙත් නෑ..මම ඇහුවෙත් නෑ…

" ඉතිං සරෝජිනීගෙ කතාව මැඩම් ඔන්න ඔච්චරයි. " 

මම ඒ මැඩම් කියල කිව්වෙ අසෝකා නංගිට. අපි දෙන්න හිටියෙ එයාලගෙ ගෙදර සාලෙ ඉස්සරහ පැත්තෙ වේවැල් පුටු දෙකක වාඩිවෙලා මූණිං මුණ බලාගෙන. අජිතයයි උගෙ නැන්දම්මයි ( නැන්දම්ම කියන්නෙ අසෝකා නංගිගෙ අම්මා ) සාලෙ පිටිපස්සට වෙන්ට තිබ්බ මේසෙ ඉඳගෙන මාළිගාවට දෙන්ට යන මුර දානෙට කළමනා ලැයිස්තුව හදනව.

අසෝකට සරෝජිනීගෙ කතාව කියන්ට පටන් ගත්තෙ මෙහෙමනෙ...හෙහ්,හෙහ්,

" වෝඩ් සෙවන්ටීන් එකේ වැඩ කරනව නේද සරෝජිනී කියල ගර්ල් කෙනෙක්?..."

" ඔව්..සරෝජිනී මගෙ බැච් මේට්..අයිය එයාව දන්නෙ කොහොමද? "

" ඒක ටිකක් දිග කතාවක්...මෙහෙමයි..අපෙ අප්පච්චි මාස හයකට වගෙ ඉස්සෙල්ල හාට් ඇටෑක් එකක් ඇවිල්ල ඔය වෝඩ් එකේ හිටිය සති දෙකක් විතර…"

" ඉතිං?........"

" ඉතිං මම තමයි වැඩිපුර අප්පච්චි ගාව හිටියෙ…" අසෝකා මා දිහා බලල ආයෙම බිම බලා ගත්ත.

" ඒ කාලෙදි තමයි මම සරෝජිනීව අඳුනා ගත්තෙ…"

මම ඉතිං සරොජිනී ගැන කතාව කියල ඉවරවුනා. අසෝකා නංගිගෙ මූණෙ තිබ්බෙ මහ සීරියස් පෙනුමක්…

" අයියද එහෙනං ඒ?....අයිය ගැනයි එහෙනං සරෝජිනී මට කිව්වෙ.... "

" මොකක්? මොනවද මං ගැන කිව්වෙ? "

එක විඩේම සද්දෙට එහෙම කියවුන හින්ද අජිතයටයි නැන්දම්මටයි ඇහුනදත් මන්ද..අසෝකටත් එහෙමම හිතෙන්ට ඇති ..අපි දෙන්නට එකම විඩේ ඔලුව හරවල බරපතල සාකච්ඡාවක නිරතවෙලා ඉන්න ඒ දෙන්න දිහා බැලුව. නෑ...ඇහිච්චි බවක් පේන්ට නම් නෑ..ඇහිල නෑ..එහෙම අඟවන්ට අසෝකා ඒ පැත්තට ඉඟි මරල ඔලුව දෙපැත්තට වනල හිනා වුනා. 

" ඉතිං මං ගැන සරෝජිනී කිව්වෙ මොනවද කියන්ටකො.." මම කටහඬපහත් කරල වේවැල් පුටුවෙ පුලුවන් තරම් ඉස්සරහට වෙලා එයා දිහාට නැවුනා.

" නෑ..නෑ..එහෙම නරකක් මොකවත් කිව්වෙ නෑ...අම්ම එයාට බල කලාය කියල කිව්ව මෙහෙම කෙනෙක් ගැන. අයියලගෙ අම්මගෙයි එයාලගෙ අම්මගෙයි යාලුකම ගැනත් කිව්ව..ඒත් ඔය වාට්ටුවෙදි අයියව හම්බවෙච්චි කතාවක් මා එක්ක කිව්වෙ නෑනෙ." 

" හෙහ්..ඒ විස්තරේ කිව්වෙ නැද්ද? සමහරවිට මොකටද වැඩි විස්තර කියල හිතන්ට ඇති…" 

" එහෙමත් වෙන්ට පුලුවන්...ඒත් සරෝ මගේ හොඳම යාලුවා.." අසෝකා එහෙම කියල යටි තොල පෙරලල උරහිස් හැකිලුවා. හරියට අනේ මන්දා කියල ඇඟවෙන්න වගේ.

ඊලඟට අසෝකගෙ දෑසට ආයම ආව අර සීරියස් පෙනුම .." අයිය දන්නවද සරෝ අයියට අකමැති වුනේ මොකද කියල? " 

106 comments:

  1. What !!!! why did you stopped ??? don't make this as a tele drama in the TV......

    ReplyDelete
    Replies
    1. Ano,

      I have to stop somewhere, haven't I now?. So I thought it would be best to stop when your interest would be aroused to a maximum. Please Don't blame my mother I would be posting next episode within maximum 3-4 days. :)

      Thanks :)

      Delete
  2. ඉතින් හේතුව අහගන්න බලන් ඉඳපල්ලකෝ සතියක් හමාරක්!

    ReplyDelete
    Replies
    1. Malithi,

      නෑ නෝනා, නෑ..නෑ..නෑ..උපරිම බයි මන්ඩේ....මයි බන්ඩේ..බයි මන්ඩේ...:)

      Delete
    2. අද ද කොහෙද මන්ඩේ නේ?

      Delete
    3. ඩ්‍රැකී,

      තව තියනව බොල මන්ඩේ..මන්ඩේ,
      තවම ඉවර නෑ මන්ඩේ මන්ඩේ,
      ඉවසල ඉඳපිය මන්ඩේ මන්ඩේ,
      රෑ දොළහාතෙක් මන්ඩේ මන්ඩේ.

      Delete
    4. I like to move it move it
      I like to move it move it
      I like to move it move it
      I like to move it...

      Delete
    5. Sorry Dracky & Malithi,

      Missed the deadline by 48 minutes :(

      Delete
  3. මේක මෙගා ටෙලියක් වගේ
    බුහැක්.... යකෝ කොයි කාලෙ ඉදංද ඔය කතාව කියන්නෙ මෙච්චර කල් හිටය එක ඕක මොකද්ද නේ .
    හිහි
    ඔය කරණවෑමි සාප්පුව සම්බන්ධව මගේ අමතක නොවන අත්දැකීමකුත් තියනව....හෙහ්......පස්සෙ දවසක හොඳද///
    රවි අය්යගෙ බ්ලොග් එකේ දකින්න බලාපොරොත්තු නොවිච්චම වාක්කියක් තමයි මේ..
    පස්සෙ දවසක හොඳද///
    බුහ් හහ් හා

    ReplyDelete
    Replies
    1. Mahesh,

      / රවි අය්යගෙ බ්ලොග් එකේ දකින්න බලාපොරොත්තු නොවිච්චම වාක්කියක් තමයි මේ../

      උඹත් නෝන්ඩිය දාන්ට දන්නෙම නෑ නේද බොල?

      Delete
  4. //ඔය කරණවෑමි සාප්පුව සම්බන්ධව මගේ අමතක නොවන අත්දැකීමකුත් තියනව....හෙහ්......පස්සෙ දවසක හොඳද?// අන්න එහෙම එන්නකො අයියණ්ඩි. මං මේ බයේ හිටියෙ කොතනින් හරි හැරිල සහරා කාන්තාරෙ ඇල මාර්ගයක් කණින්න වත් යයිදෝ කියල. :)

    එතකොට කෝ අර කොස් කපපු නගා. එයා තාම මඩුවෙ නේද ? මං මේ සෑහෙන කාලෙක ඉඳන් බලා ඉන්නෙ ඒක අහන්න. තාම ලිව්වෙ නෑනෙ ? මට මග හැරුනා නම් වෙන්න බෑ. අනේ ආයි දේශපාලන හුටප්පර හෙම මේක මැද්දෙ ඔබන්නෙ නැතුව ඉතුරු ටිකත් ඊලඟ දවසේ ලියන්න.

    හැබෑවටම රසවින්දෙමි !!!

    ReplyDelete
    Replies
    1. //මට මග හැරුනා නම් වෙන්න බෑ.// පිස්සුද ඇනෝ එහෙම වාසනාවක් කොහෙද. ඒ ළමය දවසින් දවස කොහොල්ල වලින් වැහෙනව.

      Delete
    2. Ano,

      / අන්න එහෙම එන්නකො අයියණ්ඩි. මං මේ බයේ හිටියෙ කොතනින් හරි හැරිල සහරා කාන්තාරෙ ඇල මාර්ගයක් කණින්න වත් යයිදෝ කියල. :) /

      හෙහ්,හෙහ්, නියම කතාව ඒක....:)

      / එතකොට කෝ අර කොස් කපපු නගා. එයා තාම මඩුවෙ නේද ? මං මේ සෑහෙන කාලෙක ඉඳන් බලා ඉන්නෙ ඒක අහන්න. තාම ලිව්වෙ නෑනෙ ? මට මග හැරුනා නම් වෙන්න බෑ. /

      නෑ..නෑ...නෑ..මඟ ඇරිල නෑ..පනා කපන නඟා ගැන ලියන්ට බැරිවුනානෙ තවම.

      / අනේ ආයි දේශපාලන හුටප්පර හෙම මේක මැද්දෙ ඔබන්නෙ නැතුව ඉතුරු ටිකත් ඊලඟ දවසේ ලියන්න. /

      හරි..හරි..බං ලියන්නං ලියන්නං....:)

      / හැබෑවටම රසවින්දෙමි !!! /

      Thanks dear, for your appreciation….

      Delete
    3. ප්‍රසන්න,

      / පිස්සුද ඇනෝ එහෙම වාසනාවක් කොහෙද. ඒ ළමය දවසින් දවස කොහොල්ල වලින් වැහෙනව./

      හෙහ්..උඹට බං ඒ ළමය ගැන බොහොම අනුකම්පාවයි නේද?

      Delete
    4. මේ කොස් කපන ළමයා ගැන ප්‍රසන්න කොයි තරම් උනන්දුද.මුන්දැ නිසාවත් ඔය කොස් කපන ළමයා ගැන කියලා දාන්ට රවීයියේ.

      Delete
  5. අද පඳුර වටේ තලන්න ගිහිං නෑනෙ. ඇයි රවි, සනීප නැද්ද?

    ReplyDelete
    Replies
    1. කට වහපිය ඩ්‍රැකියෝ මැරුම් කන්නේ නැතුව,
      යන්තම් මේ මනුස්සය එකලාසයක් වේගෙන එද්දී ආපහු උගේ ඔළුව කුරෝලු කරවන්න හදන්නේ උඹ ඊයේ පෙරේද ලේ පොදක්වත් බිව්වේ නැද්ද...

      Delete
    2. පේන්නැද්ද ඩ්‍රැකියො උඩිංම දාල තියෙන පිංතූරෙ. අද කෙලිංම JCB එකෙන් පඳුරු උගුල්ල විසික්කරලමයි තියෙන්නෙ.

      Delete
    3. @ ප්‍රසා
      හැබෑ නේන්නං බොස්... :-)

      @ ලොකු පුතා
      මං ඊයෙ ලේ බැංකුව පැත්තෙ ගියා.

      Delete
    4. ඩ්‍රැකී,

      / අද පඳුර වටේ තලන්න ගිහිං නෑනෙ. ඇයි රවි, සනීප නැද්ද? /

      හෙහ්..ඒකනෙ..පඳුරක් දෙකක් තැලුවෙ නැත්තං මයෙ අන්නන්නාතානයට ( හරි නේද වචනෙ? ) නිකං මේ හරි නෑ, හරි නෑ වගේ නෙවද?....හෙහ්,හෙහ්, හොරෙක් හොඳ මිනිහෙක් වෙන්ට ගිහිල්ල අන්තිමට වෙච්චි දේ ගැන ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්තයගෙ මරු කෙටිකතාවක් තියනව. වෙලාවක කියඤ්ඤා...

      Delete
    5. ලොක්කා,

      / කට වහපිය ඩ්‍රැකියෝ මැරුම් කන්නේ නැතුව, /

      ඕකා මරන්ට එහෙම ලේසියෙං බෑ බං...එකම ක්‍රමේ ඕකයෙ පස්චාත් බාගෙ ගාලික් පේස්ට් ආලේප කරන්ට ඕන ටිකක් වැඩිවෙන්ට.එච්චරයි අද්දුටුවයි සත්තයි මෙතඩ් එකකට තියෙන්නෙ...:)

      Delete
    6. Prasanna,

      / අද කෙලිංම JCB එකෙන් පඳුරු උගුල්ල විසික්කරලමයි තියෙන්නෙ. /

      අම්මප ඒකත් එහෙමයි නේද?..:)

      Delete
    7. රවි,

      මට මතකයි ඒ කතාව. හරියටම මතක නෑ. පොරගෙ කෙටිකතා සංග්‍රහ හතරෙන් එකක තිබ්බෙ. ඒ හතර තමා, දළකුමාරි, ලේන්සුව, අමෘතහස්‍තය, (අනික මතක නෑ) ගෙදර ගිහිං හොයාන්න ඕනෙ.

      Delete
    8. ඩ්‍රැකී,

      සිල්වා මහත්මයාගෙ අනික් කෙටිකතා පොත " දෙයියන්නේ රටේ" නේද?

      Delete
    9. බංස්ලා, විකියට අනුව නං සිල්වා මහත්තයාගේ පළමු කෙටි කතා සංග්‍රහය දෙයියන්ගෙ රටේ සහ තවත් කථා ඊට පස්සේ එතුමා කථාරත්නාකර නාමකරණය යටතේ ජෙනීගේ කථාව,ලේන්සුව,සක්විතිරජ,අමෘත හස්තය,දළකුමාරි යන කෙටිකතා සංග්‍රහ පල කරලා තිබෙනවා

      Delete
    10. රවි, සහ සිරිබිරිස්,

      දෙයියන්ගෙ රටේ ගැන නං නෙමෙයි මං කිව්වෙ, සක්විති රජ ගැන. ජෙනිගෙ කතාව මට මගඇරිලනෙ.

      කතාරත්නාකරය එයා ලිව්වෙ පස්සෙ ලියන්න හිතාගෙන හිටිය සාහිත්‍යකරණය ගැන උපදේශන පොතකට උදාහරණ විදිහටයි කියලා එයාම කියලා තිබුණා. හැබැයි, සමකාලීන යථාර්ථවාදී සාහිත්‍ය කාරයන් විවේචනය කරන කෙටිකතාත්, ඒවට ඇතුළත් කරලා තිබුණා.

      රවිට මතකද, පයිප්පය කියලා කෙටි කතාවක්? ඒක තිබුණෙ අමෘත හස්තය ‍පොතේ. ඒකෙ තිබුණා දියමන්තියක් නැතිවෙලා. ඒක හොරකම් කරන්න ප්ලෑන් කරපු හොරු දෙන්නෙක් ඒක හොයාගෙන කතානායකයා ගාවට ඇවිත්, පරණ පයිප්පයක් ඔස්සෙ හොයාගෙන ගිහිං අන්තිමේ අර හොරු දෙන්නා, කතානායකයා පුටුවෙන් නැගිටින්නෙවත් නැතුව පොලිසියට අල්ලා දෙන හැටි.

      Delete
  6. අසෝක, මාළිගාවට මුර දානෙ ඇත්තටම ඔය කතාව පටංගත්තෙ එතනින්ද. ඒ කොයි කාලෙ විතරද? එක්කො කමක් නෑ රවි අයියෙ බොලා කියනවනෙ එහෙමයි කියල ඉඳගෙන.

    //බෘහස්පතින්දා// ඇත්තටම බ්‍රහස්පතින්ද කියන එක එහෙමත් ලියන්න පුලුවං නේද බලාන ගියාම.

    ඉස්සර මෙහෙත් තිබුණ ඔය හම් පටියෙන් දැලි පිහිය මදින බාබර් සාප්පුවක්. ඇත්තටම දැනුත් ඒක තියෙනව. ඒත් අයිතිකාරය මළාට පස්සෙ මිනිහගෙ පුතාට ඒක හරියට කරගන්න බැරි උනා.

    දැන් සරෝ අයියට අකමැති වෙච්ච හේතුව කොයි කාලෙ විතරද ලියන්න හිතාන ඉන්නෙ?

    ReplyDelete
    Replies
    1. මාත්තුරුකාවෙ බාට ගැන තිබ්බට ‍බොඩියෙ ඒ ගැන නෑනෙ.
      තවත් ඔය වගේ බ්‍රෑන්ඩ් නේම් එක පාවිච්චි වෙන එකක් තමයි එස්ලෝන් බට.

      Delete
    2. ඒ පටියක් තිබ්බ අපේ ගෙදරත්. මං දවසක් පරණ දැලි පිහියක් අඅරගෙන ඒක උලන්න ගිහින් හම් පටියෙ පලුවක්ම කපල ගියා. ඒ පටිය නම් දැන් මිසින්. දැලි පිහිය නම් පරිස්සම් කරල තියාගෙන ඉන්නව මං. ඒකෙ වර්ගය Kropp. කලුපාට පෙට්ටියක තියන්නෙ. දැන් ඒව නැ නේද ?

      Delete
    3. දැං සැලුන් වල පාවිච්චි කරන්නෙ බ්ලේඩ් තල බාගයක් දාල කපන්න පුලුවන් එකක්. එකෙක්ගෙ කපල බ්ලේඩ් තල කෑල්ල විසිකරල අලුත් කෑල්ලක් දානව.

      Delete
    4. //තවත් ඔය වගේ බ්‍රෑන්ඩ් නේම් එක පාවිච්චි වෙන එකක් තමයි එස්ලෝන් බට.//
      ඇයි ප්‍රසන්න ලෑන්ඩ්මාස්ටර් එක, සන්ලයිට් කෑල්ල !

      Delete
    5. පැට්‍රෝල් මැක්ස් එක .

      Delete
    6. Praසන්ன,

      /  ඇත්තටම බ්‍රහස්පතින්ද කියන එක එහෙමත් ලියන්න පුලුවං නේද බලාන ගියාම. /

      අපිට ඉස්කෝලෙදි කියල දුන්නෙ බ්‍රහස්පතින්දා කියල නෙවෙයි බෘහස්පතින්දා කියලයි. වෙනසකටත් එක්ක මම එහෙම ලිව්ව..හෙහ්..මල්ලි උඹේ අවධානය ඉතා අනර්ඝයි...:)

      / ඉස්සර මෙහෙත් තිබුණ ඔය හම් පටියෙන් දැලි පිහිය මදින බාබර් සාප්පුවක්. ඇත්තටම දැනුත් ඒක තියෙනව. ඒත් අයිතිකාරය මළාට පස්සෙ මිනිහගෙ පුතාට ඒක හරියට කරගන්න බැරි උනා. /

      අපි පොඩි කාලෙ තිබ්බ කරගලෙන් දැලිපිහිය මදින බාබර් සාප්පු. දැලිපිහියට කරකැත්ත කියලත් කියනව. එතකොට කරකැත්ත මුවහත් කරන්නෙ කරගලේ උලලා.

      ඒ අපේ කාලෙ කරණවෑමියෙක් ගැන රත්න ශ්‍රී ලියපු කපුගේ ගයන අපූරු ගීයක් මේ.

      කරගල ගගා ඉන්න
      කරගල ගගා ඉන්න
      කරණවෑමි සොහොයුරාණනේ
      කරදර තැවුල් බරින් 
      මා හිස මුදාලන්න....
      කරණවෑමි සොහොයුරාණනේ

      නමනා සිරස ඔබට
      ඉසුරින් පිරුණු දනට
      ඔබ හිස රැගෙන යතැයි
      බිය සැක නැතුවා
      පාමින් ඔබට නිකට
      ඔච්චම් කළ එවුන්ට
      අහිතක් නැත ඔබ සිතුවා...

      කරගල ගගා ඉන්න
      කරගල ගගා ඉන්න
      කරණවෑමි සොහොයුරාණනේ
      කරදර තැවුල් බරින් 
      මා හිස මුදාලන්න....
      කරණවෑමි සොහොයුරාණනේ

      බී දිය දමා බිමට
      ගන දුන් දී බුදුන්ට
      ඔබ පිල්කඩට වෙලා
      බලා ඉන්නවා
      මඟුලැතු ඇවිත් රුවට
      ඔබගේ සැලුන් දොරට
      හීනෙන් දෙදණ නමනවා....

      කරගල ගගා ඉන්න
      කරගල ගගා ඉන්න
      කරණවෑමි සොහොයුරාණනේ
      කරදර තැවුල් බරින් 
      මා හිස මුදාලන්න....
      කරණවෑමි සොහොයුරාණනේ.

      ගායනය - ගුණදාස කපුගේ
      සංගීතය - ගුණදාස කපුගේ
      පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ

      / දැන් සරෝ අයියට අකමැති වෙච්ච හේතුව කොයි කාලෙ විතරද ලියන්න හිතාන ඉන්නෙ? /

      වහාම..... වහාම....වහාම...:)

      / මාත්තුරුකාවෙ බාට ගැන තිබ්බට ‍බොඩියෙ ඒ ගැන නෑනෙ. /

      ස්තූතියි ප්‍රසන්න, බාටා ගැන ලියන්ට මට මඟ ඇරිල. ඔන්න බාටා ගැන කොටසක් එකතු කලා සටහනට...:)

      Delete
    7. ඇනෝ,

      / දැලි පිහිය නම් පරිස්සම් කරල තියාගෙන ඉන්නව මං. ඒකෙ වර්ගය Kropp. කලුපාට පෙට්ටියක තියන්නෙ. දැන් ඒව නැ නේද ? /

      Kropp….. නමේ විදිහට නම් ෂුවර් ඇන්ඩ් ෂොට් බඩු ජර්මන් වෙන්න ඕන.

      දැං එව්ව හොයාගන්ටත් නෑ.:)

      Delete
    8. Praසන්ன,

      / දැං සැලුන් වල පාවිච්චි කරන්නෙ බ්ලේඩ් තල බාගයක් දාල කපන්න පුලුවන් එකක්. එකෙක්ගෙ කපල බ්ලේඩ් තල කෑල්ල විසිකරල අලුත් කෑල්ලක් දානව. /

      ඒ සීන් එක ආවෙ බං ඔය ඒඩ්ස් කෙලිය හින්ද. 90 දශකයෙ මුල වගෙ. එහෙම එකපාරක් කපල බ්ලේඩ් එක වීසි කරන එක ආණ්ඩුවෙන් අනිවාර්ය කලා. මොකද ඒඩ්ස් තියෙන එකෙක්ගෙ රැවුල කපද්දි පොඩි තුවාලයක් වුනොත් දැලිපිහි තලේ ගෑවෙන ලේ හින්ද ඊලඟට රැවුල බාගන්න එකාට ඒඩ්ස් බෝවෙන්ට පුලුවන්ය කියන කාරණය හින්දයි එහෙම රෙගුලාසියල් ගෙනාවෙ. ඩිස්පෝසබල් සිරින්ජර්ස් එහෙමත් බහුලව පාවිච්චි වෙන්ට ගත්තෙ ඔය ඒඩ්ස් භීතිකාව හින්ද. සමහරු ඔය ඒඩ්ස් භීතිකා මුල්ම කාලෙ සැලූන් එකට යද්දි බෙල්ල වටේ ඔතන තුවාය පවා ගෙදරින් අරගෙන ගියා.

      Delete
    9. කසුන්,

      / ඇයි ප්‍රසන්න ලෑන්ඩ්මාස්ටර් එක, සන්ලයිට් කෑල්ල ! /

      ඔබ හරි. ලෑන්ඩ්මාස්ටර් කියන්නෙ එංගලන්තෙ සමාගමක්. ආචාර්ය රේ විජේවර්ධන සැලසුම් කරපු රෝද දෙකේ අත් ට්‍රැක්ටර් එක නිෂ්පාදනය කලේ ඔවුන්.ඕනම අත්ට්‍රැක්ටරයක් තවමත් ගම්බද පළාත්වල හැඳින්වෙන්නෙ ලෑම්මාට්ටරේ කියල තමයි.

      සන්ලයිට් කෑල්ල කියන්නෙ මම හිතන්නෙ රෙදි හෝදන සබන් වලට පර්යාය පදයක් වෙන්න ඕන නේද? අපි පොඩි කාලෙ රෙදි හෝදන්ට ගත්තෙ තිබ්බෙ අඩියක් විතර දිග සබන් පොළු. එව්වට කිව්වෙ බාර් සබං කියල...:)

      Delete
    10. //එව්වට කිව්වෙ බාර් සබං කියල//
      සල් බාර්, සවරිං බාර් කියල ඔය බාර් තිබුණ. ඒත් ඒවයෙ මෙලෝ සුවඳක් නැති හින්ද මිනිස්සු ගන්නැතිවද කොහෙද දැන්නං ඒව දකින්නවත් නෑ.

      Delete
    11. කම්මල,

      පෙට්‍රෝමැක්ස් කියන්නෙ ජර්මන් සමාගමක්. අපි ඔය පැස්ටෝල්මැච් එක කියල කියන එකේ නිවැරදි නම අධි පීඩන භූමිතෙල් පහන (High pressure kerosene lantern )

      Delete
    12. ප්‍රසන්න,

      / ඒත් ඒවයෙ මෙලෝ සුවඳක් නැති හින්ද මිනිස්සු ගන්නැතිවද කොහෙද දැන්නං ඒව දකින්නවත් නෑ. /

      ඒ කාලෙ ඒ කිව්වෙ 70 දශකයෙ එව්ව ගන්ටම වුනා. මොකද සුවඳ ගහන රෙදි හෝදන සබන් තිබ්බෙ නෑ ගන්ට. ඔය බාර් එකේ සමාන දුරින් මයෙ හිතේ අඟල් හතරෙන් හතරට වගෙ කට්ට කපල තිබ්බ. එතනින් කැපුවම සාමාන්‍ය සබන් කෑල්ලක් වගෙ පාවිච්චි කලෑකි.

      අපෙ ගෙදර ඔය සබන් කැපුවෙ තංගුස් පොටකින්. තෙල්ගාර කණුව කියලයි අත්තම්ම ඒකට කිව්වෙ. ඒකෙ එක පැත්තක් අපේ ඉස්ටෝරු කාමරේ ජනේලෙ යකඩ කූරකට බැඳල තිබ්බ. අනික් පැත්තෙ අල්ලගන්ට පහසුවෙන්ට ලී කෑල්ලකට ගැට ගහක තිබ්බ. අර හැන්ඩ්ල් එකෙන් ඔය ලණුව තදින් දකුනු අතින් ඇදගෙන වමතින් සබන් බාර් එක කපාගන්ට ඕන.මම ඒ කාලෙ හරිම ආසයි ඔය වැඩේට.මම කරන්නෙ කෑලි හයම එක පාර කපනව. අත්තම්ම කෑගහනව...හෙහ්,හෙහ්,

      සවරින් බාර් සහ සල් බාර් වලට අමතරව තව තිබ්බ මල් මල් බාර්. ඔය ඔක්කොම හැදුවෙ බී.සී.සී. ආයතනයෙන්.ඒක පෞද්ගලික සමාගමක් වුනාට මැතිණිගෙ ආණ්ඩුව ඒක රජයට පවර ගත්ත. රජයට පවරාගත් සීමාසහිත බ්‍රිටිෂ් සිලෝන් කෝපරේෂන්හි නිෂ්පාදිතයි කියල තමයි ලේබල් එකේ තිබ්බෙ.

      Delete
    13. ඔය වගේ නූලක් ඉස්සර අපේ කඩෙත් තිබ්බ. ඒ සන්ලයිට්/ලයිෆ්‍ෙබෝයි කෑල්ල දෙකට කපල බාගෙ විකුණන්න. දැන් වගේ ඒ කාලෙ සබන් බාග කෑලි ආවෙ නෑනෙ.

      Delete
    14. සංලැයිට් කෑල්ල හරියටම දෙකට කැපෙන්නෙ ‘ඇල්‘ අකුර ගාවින්.

      Delete
    15. ඔය බාර් සබන් එක්ක ස්ටිකර් ආව ඉස්සර. කැට හයට ස්ටිකර් හයක්. ඕව ගන්නම සබන් ගත්තු දවසුත් තිබුනා. බොන්බොන් ටොපි එක්ක, නෙස්ප්‍රේ කිරි එක්ක දීපු ස්ටිකර් ගන්න අක්කයි මායි වලි දාගත්තු හැටි මතකයි.

      Delete
    16. ප්‍රසන්න, ඇයි ඔඩිකොලොන් Eau de Cologne පට්ට ජර්මන්

      කසුන්,
      යකඩෝ ඔය ටොපිය එක්ක නේද ස්ටිකර් එකක් ආවේ.රෝස පාටයි නේද? ඕකේ කොලය නොකැඩි දිගට
      අදින්න පුළුවන්නේ
      නෙස්ප්‍රේමද මන්ද ලබ්බේ තොයිලේ ඇතුලත් කතා පොත් සෙට් එකක් දුන්නා මතකද?

      රවියෝ, රේ මහත්තයා රෝද දෙකේ අත් ට්‍රැක්ටරේ කුඹුරට බැස්සුවා කීවොත් වඩා හරි . ඒ උත්තමයා වැටමාර වලින් ගත්තු ප්‍රයෝජන දන්නවැයි?
      අඩා bcc එකේ තේරුම දැන ගත්තේ දැන්නේ.මතක විදියට ගල් අඟුරු වලින් දුවන ලොරියක් එහෙම තිබුනා ඔය කොම්පැනියට.

      Delete
    17. සිරිබිරිස්,

      / .මතක විදියට ගල් අඟුරු වලින් දුවන ලොරියක් එහෙම තිබුනා ඔය කොම්පැනියට. /

      අන්න හරි..අර ඒ කාලෙ පාරට තාර දාන්ට තර උණු කරපු රෝද තියන උදුන්වල දුම පිටවෙන්ට තිබ්බ දිග බටේ වගෙ බටයකුත් තිබ්බ ඉස්සරහ පැත්තෙ දකුණු පැත්තෙංද කොහෙද? ඒකෙං ඉස්සෙල්ල සුදු දුමක් ඇවිල්ල පස්සෙ ඒ දුම කලුපාට වෙනව..මම ඔය ලොරිය දැක්කෙ 78 , 79 විතර ලංකාදීප පත්තරේ අනුග්‍රහයෙන් තිබ්බ පරණ වාහන ධාවන උත්සවයක් ඒක හැඳින්නුවෙ " Old crocks rally " කියල. ගෝල්ෆේස් එකේ ඉඳල ගාලු පාර දිගේ මොරටුවට ගිහිල්ල ආපහු ආව.

      Delete
    18. සිරී,

      තෑන්ක්යූ සෝ මච්..මම ඕකෙ ෆොටෝ එකක් හොයාගන්ට ෆුල් ට්‍රයි කලා හරිගියෙ නෑ..දුම්බටේ තියෙන්නෙ පැත්තකින් නෙවෙයි ඉස්සරහින් නේද?

      Delete
  7. මෙයා හොඳයි පත්තරේකට කොටස් වශයෙන් පළවෙන නවකතා ලියන්න... හි හි

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් ඉතිං ඒ පත්තරේ කියෝන උංට දෙයියඤ්ඤෙම පිහිට තමයි.

      Delete
    2. හිරු,

      ඇයි අපිට බැයිද එහෙම එකක් ලියන්න?....හෙහ්,හෙහ්, වෙරි ගුඩ් අයිඩියා...සලකලා බලන්ට වටිනව..:)

      Delete
    3. / මෙයා හොඳයි පත්තරේකට කොටස් වශයෙන් පළවෙන නවකතා ලියන්න... හි හි /

      අවුරුදු 10 කින් 15කින් ඉවර වෙන නව කතාද? පදුරු තැලිල්ලේ හැටියට රවි අයියගේ කතාව ඉවර කරන්න අවුරුදු 10කින් මෙහා නම් බැරිවෙයි. :)

      Delete
    4. අවුලක් වෙන එකක් නෑ. අර විජය පත්තරේ මල් මාමගෙ කතාව වගේ වෙයි. අපි පොඩි කාලෙ ඉඳලම ඒ කතාව යනව. දැන් අපේ ළමයිත් ඒක බලනව.

      Delete
  8. ඇති යාන්තං. දැං ඊලඟට මොකද වෙන්නේ කියලා කියවන එවුන්ට දහ අතේ කල්පනා කරන්න ඉඩ ඇරලා නතර කළාට මොකද වරහන් ඔක්කොම හරියට වහලා කතාන්දරේ ලස්සනට ගෙනිච්ච හින්දා ඒකට සමාව දෙනවා මං අයියට. :D

    /*ඒත් මගෙ ආත්ම අභිමානයට වෙන මදිපුංචිකම..හෙහ්...ඒකනෙ..ඔන්න ඔහෙ දමල ගහල යනව යන්ට. මම එක්වරම ආපහු හැරිල සරෝජිනීට පිටුපාල යන්ට ගියා.*/

    මෙව්වා ඇවිල්ලා පිරිමි මායංලු. :P

    /*යම් භාණ්ඩයක් හෝ උපකරණයක් හැඳින්වීමට ඒවා නිෂ්පාදනය කරන ආයතනයක වෙළඳ නාමය පර්යාය පදයක් වශයෙන් භාවිතාවන අවස්ථා බොහොම තියෙනව. බැකෝ හැඳින්වීමට ජේසීබී එක, ඩ්රිලර්ස් හැඳින්වීමට හිල්ටිය... ඒ එහෙම අවස්ථාවලට උදාහරණ.*/

    සන්ලයිට් කැටේ, පැනඩෝල් පෙත්ත තව උදාහරණ.

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      / වරහන් ඔක්කොම හරියට වහලා කතාන්දරේ ලස්සනට ගෙනිච්ච හින්දා ඒකට සමාව දෙනවා මං අයියට. :D /

      හප්පේ..ස්තූතියි..ස්තූතියි..ස්තූතියි..:)

      / ඒත් මගෙ ආත්ම අභිමානයට වෙන මදිපුංචිකම..හෙහ්...ඒකනෙ..ඔන්න ඔහෙ දමල ගහල යනව යන්ට. මම එක්වරම ආපහු හැරිල සරෝජිනීට පිටුපාල යන්ට ගියා.*/ ….මෙව්වා ඇවිල්ලා පිරිමි මායංලු. :P /

      හෙහ් ඔයා දන්නව තවත් එහෙම කෙනෙක් ගැන නේද? දඩස් ගාල දොර වහපු කෙනෙක් ගැන මම මේ කිව්වෙ...:)

      / සන්ලයිට් කැටේ, පැනඩෝල් පෙත්ත තව උදාහරණ. /

      සන්ලයිට් නං හරි. පැනඩෝල් වලටත් එහෙමද? ඒ කිව්වෙ වේදනා නාශක පෙති ඔක්කොමටම කියන්නෙ පැනඩෝල්ද?

      Delete
  9. අද කතන්දරේ නතර කරපු විදිය අන්තිම නරකයි..

    මේ චන්දෙකුත් ඉස්සරහට එන කාලෙ, දැන් ඉතින් ඉතුරු ටික අහගන්න අවුරුද්දක් විතර ඉන්න වෙනව.

    තණ අග පිනි බින්දුවක් වගේ ජීවිතේ, මොනව හරි උනොත්, හිත හදාගෙන මැරෙන්න වත් බැරි වැඩ තමයි ඔබතුමා කරන්නෙ!

    ඔය ආදර කතා, සිත් රිදවීම්, බලාපොරොත්තු කඩවීම්, තරුණ කාලේ සිදු වෙනකොට කොයි තරම් නම් හිතට දැනෙන්න ඇතිද නේද.. දැන් ඉතින් ඒව මතකයන් පමණයි නෙ.. ජීවිතේ හැටි!

    නිතරම කොමෙන්ටු නොකලට මම ඔබතුමාගෙ හැම ලිවිල්ලක්ම කියවනව. සමහර වෙලාවට කොමෙන්ටුවක් දාන්නවත් බැරි තරමට කම්මැලි, දේශපාලන ලිපි වලට කොහොමත් කොමෙන්ටු දාන්නෙ නැහැ මං

    ජේසීබී එක මම හරිම ආස උපකරණයක්. ඒකෙ තියන වැඩ කෑලි ගොඩ එක්ක, මට ජේසීබී එකක් වැඩ කරන තැනක බලන් හිටියත් හිත පිරෙනව.

    ReplyDelete
    Replies
    1. //නිතරම කොමෙන්ටු නොකලට මම ඔබතුමාගෙ හැම ලිවිල්ලක්ම කියවනව. සමහර වෙලාවට කොමෙන්ටුවක් දාන්නවත් බැරි තරමට කම්මැලි,දේශපාලන ලිපි වලට කොහොමත් කොමෙන්ටු දාන්නෙ නැහැ මං // 2 :D

      Delete
    2. එක්ස් මානවික්ස්,

      / මේ චන්දෙකුත් ඉස්සරහට එන කාලෙ, දැන් ඉතින් ඉතුරු ටික අහගන්න අවුරුද්දක් විතර ඉන්න වෙනව. /

      නෝ..නෝ..මන්ඩේ..මන්ඩේ..මන්ඩේ..මම අර මලිති නෝනට පොරොන්දු වුනානෙව. මම ඇවිල්ල ඔය වනිතාවන්ට වෙන පොරොන්දු අකුරටම රකින කෙනෙක්..තේරුනාද? අපෙ හාමිනේ කොයි වෙලෙත් කියන කතාවක් තමයි. " ඔයා ඉතිං මොකද? ඉඟ සුඟ ගස්සල අනේ අයියේ කියල හතර අතට ඇඹරිල කවුරු හරි අංගනාවියක් කළුනික ගේන්ට කිව්වද ඒත් යයි ඕකේ. මැඩම් කියාගෙන "

      / තණ අග පිනි බින්දුවක් වගේ ජීවිතේ, මොනව හරි උනොත්, හිත හදාගෙන මැරෙන්න වත් බැරි වැඩ තමයි ඔබතුමා කරන්නෙ! /

      ඔන්න ඉතිං කිව්ව කතාවක් මේ කාලෙකට පස්සෙ ඇවිල්ල..:(

      / ඔය ආදර කතා, සිත් රිදවීම්, බලාපොරොත්තු කඩවීම්, තරුණ කාලේ සිදු වෙනකොට කොයි තරම් නම් හිතට දැනෙන්න ඇතිද නේද.. දැන් ඉතින් ඒව මතකයන් පමණයි නෙ.. ජීවිතේ හැටි! /

      When looking back at my life from where I am today, the path I have trodden is littered with joys and sorrows. But most important of all is I can look back with contentment with a sigh of happiness. The sorrows would not be a burden because I left them on my wake. I am looking forward towards tomorrow with an exhilarating lightness of being.

      / නිතරම කොමෙන්ටු නොකලට මම ඔබතුමාගෙ හැම ලිවිල්ලක්ම කියවනව. සමහර වෙලාවට කොමෙන්ටුවක් දාන්නවත් බැරි තරමට කම්මැලි, දේශපාලන ලිපි වලට කොහොමත් කොමෙන්ටු දාන්නෙ නැහැ මං /

      හරි හරි මැඩම්..අවුලක් නෑ....කියවනවනම් ඒ ඇති හොඳටෝම...:)

      / ජේසීබී එක මම හරිම ආස උපකරණයක්. ඒකෙ තියන වැඩ කෑලි ගොඩ එක්ක, මට ජේසීබී එකක් වැඩ කරන තැනක බලන් හිටියත් හිත පිරෙනව./

      ඔය එක්ස්කැවේටර් ඔක්කෝටම ජේසීබී එක කියන එක මානවිකා, මම හිතං හිටියෙ ලංකාවට ආවේණික භාවිතාවක්ය කියල. බලනකොට ඒක ලෝක ව්‍යාප්ත පුරුද්දක්ලු. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයටත් ඒ වචනෙ ඇතුල් කරල.

      'JCB' is often used colloquially as a generic description for mechanical diggers and excavators and now appears in the Oxford English Dictionary, although it is still held as a trademark.

      Delete
    3. Malithi,

      Et tu Malithi?......:(

      Delete
    4. //නෝ..නෝ..මන්ඩේ..මන්ඩේ..මන්ඩේ..//
      //නෝ..නෝ..මන්ඩේ..මන්ඩේ..මන්ඩේ..//
      //නෝ..නෝ..මන්ඩේ..මන්ඩේ..මන්ඩේ..//
      //නෝ..නෝ..මන්ඩේ..මන්ඩේ..මන්ඩේ..//

      මේ කියල තියෙන්නෙ අද ගැනද නැත්නම් ලබන සතියෙ මන්ඩේ ගැනද?

      Delete
    5. මානවික්ස්,

      දිව හපාගෙන ලිව්වත් විනාඩි 48 ක් පරක්කුයි...සමාවන සේක්වා!!

      Delete
  10. අදනම් ඔන්න යාන්තමට කතාවේ කොටහක් කියල කියන්න පුළුවන් තරමේ දෙයක් ලියල තියෙනවා.
    ආන් ඒකට අපේ පප්‍රණාමය...

    ///" ඉතිං සරෝජිනීගෙ කතාව මැඩම් ඔන්න ඔච්චරයි. " ///
    වෙන මුකුත් ඕනේ නැහැ, මේ කතාව කියන්න පටන් ගත්තේ අසෝකා ට කියල මතක් වෙච්ච එකම ලොකු දෙයක්නේ... ;)

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      අප්පේ උඹෙං හොඳක් කියල ඔය ඇහුවමද කොහෙද?.....හෙහ්,හෙහ්,

      Delete
    2. හොඳක් තියා මනුස්සයෙකුට බනින්නවත් වෙලාවක් නැහැ බං රවී අයියේ...
      පුකට භූමිතෙල් වැදිච්ච බව්වෙක් වගේ දුවනවා දුවනවා ඉවරයක් නැහැ. සමහර වෙලාවට දුවල තියෙන්නේ එක තැන.
      එක තැන දිව්වත් පෝස් එකේ තියෙන සල්ලි ටිකනම් වාෂ්ප වෙනවා දන්නෙම නැතුව.
      ඒ අව් අස්සේ ඇවිත් උඹට හොඳක් කියල ගිහින් තියෙන එකම මදෑ... ;)

      Delete
  11. හොඳ වැඩේ අකමැති උන එක! ඒ ළමයාගේ ( සරෝජිනිගේ) වාසනාව... කැමති නෑ කියන්නේ කැමති නෑ , ආයේ මොකද්ද ඕකේ අවස්ථා සම්බන්දෙ? හික්...

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      / හොඳ වැඩේ අකමැති උන එක! ඒ ළමයාගේ ( සරෝජිනිගේ) වාසනාව…/

      හෙහ්..ඒකනම් මටත් හිතෙනව බං…

      / කැමති නෑ කියන්නේ කැමති නෑ , ආයේ මොකද්ද ඕකේ අවස්ථා සම්බන්දෙ? හික්…/

      ඒකනෙ නැද්ද? හෙහ්..Because I say so…That’s all you need to know…..:)

      Delete
  12. පැට්‍රොමැස් එක, ලෑංමාස්ටරේ, ..
    හර්ෂ

    ReplyDelete
    Replies
    1. කැටපිලර් එක, ඩුප්ලෝ

      Delete
    2. එස්ලොන් බට

      Delete
    3. හෙහ්, එහෙම වෙළඳ නාමය, භාණ්ඩයෙ පොදුවේ භාවිතාවන නම විදිහට යෙදෙන උපකරණ බොහොමයක් තියනව. ජනප්‍රියව භාවිතාවෙන නම ඉස්සරහින් තියෙන්නෙ ඇත්තටම නම් කියන්ට ඕන නම…….

      1. Bubble Wrap - Air bubble packaging
      2. Ping Pong - Table Tennis
      3. Escalator - Conveyor transport device, moving stairway
      4. Thermos - Vacuum flask
      5. Popsicle - Frozen ice treat on a stick
      6. Taser - Stun gun
      7. Aspirin - Blood-thinning drug, acetylsalicylic acid
      8. Yo-Yo - Toy on a string
      9. Kerosene - Combustible hydrocarbon liquid, parrafin (UK)
      10. Frisbee - Flying disc
      11. Jacuzzi - Hot tub
      12. Jeep - Sport utility vehicle
      13. Pogo stick - Spring stilts, hopping vehicle
      14. Velcro - Tiny hooks that attach to loops and stick together
      15. Zipper - Separable fastener
      16. Band-Aid - Adhesive bandage
      17. Kleenex - Tissue, disposable handkerchief
      18. Xerox - Copy machine, photocopier

      Delete
    4. 19. Rigifoam - Expanded polystyrene

      Delete
    5. තෑන්ක්ස්

      Delete
  13. හේතුව දැනගන්ට තව හය මාසයක් වත් බලාගෙන ඉන්ට වේවි නේද බං.කමක් නෑ ට්‍රැක් එකට වැටුන එකම මදැයි.බාබර් සාප්පුවෙ කතාවට එද්දි එතනින් හැරිලා කැලේ යයි කියල පණ බයේ හිටියා.

    ReplyDelete
    Replies
    1. හැලප,

      නෑ බං බාබර් සාප්පුවෙ කතාව වෙනම කියන්නං මගේ කරණවෑමි කතා සීරීස් එකේදි....

      Delete
  14. //ඔය කරණවෑමි සාප්පුව සම්බන්ධව මගේ අමතක නොවන අත්දැකීමකුත් තියනව....හෙහ්......පස්සෙ දවසක හොඳද//
    මේ ටික දැක්කම මම ආපහු බැලුවා මේ කියවන්නෙ "නිදහස් සිතුවිලි" මද කියලා. බැලින්නම් ඔව්නෙ....
    මේක මේ කාටහරි කියලා ලියවා ගත්තු එකක් එහෙම නෙවෙයිනෙ?

    ReplyDelete
    Replies
    1. සඳ වියමන්,

      මේ අපහාස කරන්ට එපා නෝනා හොඳද?...:)

      Delete
  15. සැලුං එකට ගිහින් ෆොටෝ ටික බලල , මම හිතුවෙ බකිං හැම් මාලිගාවෙ ඉස්සරහ දොරෙන් ගිහින් මීයො එලියට යන තැනකින් පිටවෙන්න පුලුවන් වෙයි කියල.
    රවි අයියට සරෝජිනී සෙටමෝල් උනේ නැති එක හොදයි. නැත්තං " ඉවසන්න රවී, ඉවසන්න " කියන එක අහගෙන ඉන්න තිබුන ( නර්ස් නෝනල එහෙමයිලු නෙ )

    ReplyDelete
    Replies
    1. කම්මල,

      / රවි අයියට සරෝජිනී සෙටමෝල් උනේ නැති එක හොදයි. /

      5 Good reasons to marry a nurse.

      1. No body part scares them.
      2. Is used to working all nights
      3. who else will ever encourage you to pass gas.
      4. They know the proper way to tie you to the bed.
      5. hit the right button and they will come quickly.

      Delete
    2. 5. come වෙනුවට cum දාගන්න බැරිය?

      කම්මල,
      නර්ස් නෝනලා කියන්නෙ "වද කරන්නැතුව නිදාගන්න නැත්තං මං ගහනව නින්දයන්න ඉන්ජෙක්ෂන්." කියල නෙමෙයිද?

      Delete
  16. අකමැතිවෙන්න හේතුව (අහපු විදිහට අමතරව) රැවුලයි කොන්ඩෙයිද?

    ReplyDelete
    Replies
    1. Pra,

      ප්‍රා, කොණ්ඩෙ වෙන්න බෑ ප්‍රා..ඒ කාලෙ මගෙ කොණ්ඩෙ තිබ්බ...:)

      Delete
  17. තට්ටේ පලන්න හිතෙන්නේ ඔන්න ඔය වෙලාවට තමයි. තව එක පේලියකින් ඕක කියල දාන්න තිබ්බේ නැද්ද මම අහන්නේ.

    ReplyDelete
    Replies
    1. බින්දි,

      වේලපු බූ හනස්සකින් තලන්න හිතෙන්නෙ ඔය වෙලාවට තමයි. දවස් තුනක් ඉවසල ඉන්ට බැරිද මම අහන්නෙ?

      ඉවසන්න මම ඡන්න ඇමතී වෙමී..මා එක්ක ගියෙ ඊයෙ සිදුහත් හිමී!!!

      Delete
  18. මං නං හිතන්නෙ මුංදැට ඔයි නර්ස් නෝන අකැමති උනේ මේකයි.

    මේ පුද්ගලයා කලිං දොහක් ඉස්පිරිතාලෙ මුරකාරෙය එක්ක එක්කාසුවෙලා බදු පිලිමේ පිටිපස්සෙ තිවුනු ගිනිපෙට්ටියත් ඇරං සිකරැට් බීපු වැඩේ ඔය “සරෝ‘ට දැනිල තියෙනව. ආයි ඉතිං සිකරැට් සුවඳහංගන්න අමාරුනෙ. විසේසයෙංම බ්‍රිස්ටල් එකේ සුවඳ හරිම සැරයි. ඉතිං මේ උන්නැහැගෙ හඳුංපොත “සරෝ“ වෙනුවෙං “කීං කීං“ ගාන බව දැනගත් වහාම උංදැට මීටර් වෙනව මේ පුද්ගලයා අසුවල් දවසේ බුදුංට පාන පත්තු කොරන ගිනිපෙට්ටියත් ගල්ටික් කරල සිකරැට් එකත් සුරුස් ගාල ඇති වග. ඒ සමගම මතකෙට එනව මේං මේක.

    “දුම්වැටිය ඔබගේ සියල්ල අඩපන කරයි“

    ඉතිං කොයි වහෙනේද කැමති ගැරිජ්ජෙකටම වෙලා දූවිලි වැදි වැදි මලකඩ කකා ඉන්න. හොඳට පාරෙ දුවන්න පුලුවංකම තියෙද්දි.

    ඒක හිංද කටපුරා කිව්ව “බෑඈඈඈ....“ කියල. ඒකෙං අදහස් දෙකයි.
    1) ඔයාට කැමති නෑ.
    2) ඔයාට බෑ.

    කෝමද ටිකිරි මොලේ.........

    ReplyDelete
    Replies
    1. දවසේ කතාව......කට අරිමු බලන්ට..පහේ කාසියක්වත් දාන්ට.....මසුරං නෑ නෙව...

      Delete
    2. සුරංග,

      / විසේසයෙංම බ්‍රිස්ටල් එකේ සුවඳ හරිම සැරයි. /

      හෙහ්...බ්‍රිස්ටල් නම් නෙවෙයි එදා මම බිව්වෙ..මගේ බ්‍රෑන්ඩ් එක ඒ කාලෙ ඉඳලම ගෝල්ඩ් ලීෆ්. එව්ව හොයාගන්ටම බැරිවුනොත් තමයි බ්‍රිස්ටල් ගහන්නෙ. අහේම වෙලාවට නං එම්.පී.එස්. බීඩි වුනත් අවුලක් නෑ. එක පාරක් අපෙ ක්වාටර්ස් එකක කකුස්සි වලක් බොලොක් වෙලා අපි කට්ටිය අමුඩ ගහගෙන බැස්ස වැඩේට. එදානං බීඩි ගැහුව ගන්දස්සාරෙ ඉවසගන්ටම බැරුව. දවස් දෙකක් යනකල් බත් කන්ට කටට ගන්න කොට ඔක්කාරෙට එනව...හෙහ්,හෙහ්,

      ඒ ඇර අර අම්මණ්ඩි සරෝජිනී බැහ් කිව්වෙ මොකොයි කියලනං කොල්ලො උඹැහෙ කියන කතන්තරේ සත්තක් වෙන්ට ඇහැකි...:)

      Delete
  19. රවි මහතා,

    මා ඔබට කෙසේ නම් ස්තූති කරන්නද, ඔබ අතින් අකුරු වන මෙවන් සෑම ලිපියක් තුලින්ම ඒ සුන්දර අතීත මතකයන් වෙත අප රැගෙන යනවාට. ඔබගේ අතීතාවර්ජනයත් සමග පරිසර සහ සමාජීය තත්ත්වයන් වෙනස් වුවද, ඊට ලගින් යන්නාවූ අප එදා ලැබූ සුන්දර මතකයන් මා සිතේ මැවෙනුයේත් ඒ සුන්දර අතීතයේ කිමිදෙන්නට ගන්නේත් නිරායාසයෙනි...... ඉතිං‍ මෙවන් ලිපි තව-තවත් ලිවීමට අවස්ථාව සහ කාලය ඔබ වෙත ලැබේවා ! යැයි පතනෙමි.

    ඔබ සරෝජනී පිළිබඳ මෙතෙක් කියූ කථාව, අපට නොව අශෝකා සමඟ කල කාථාවක් බව සඳහන් කිරීම (**// " ඉතිං සරෝජිනීගෙ කතාව මැඩම් ඔන්න ඔච්චරයි. "

    මම ඒ මැඩම් කියල කිව්වෙ අසෝකා නංගිට.//** ) බෙහෙවින්ම සිත් ගත් අතර එය පෙර ලිපි කිහිපයක මතකය අලුත් කිරීමටත් ඒ ලිපි අතර සම්බන්ධයක් ඇති කිරීමටත් සමත් වුණා. හරිම අපූරුයි ! හරිම අපූරුයි ! !

    මට මහගෙදර චිත්‍රපටියත් මතක්වුණා. එය ආරමභයේම වාගේ තරප්පු පෙල දිගේ ඉහළ මාලයේ සිට පිත්තල පාත්තරයක් (අර අලියො තුන් දෙනෙක් ඔසවාගෙන කනප්පුව උඩතියෙන) පෙරලීගෙන එනවා. චිත්‍රපටය අතර මැදත් අවසානයේත් එය එලෙසම පෙරලීගෙන එනවා. එම රූපරාමුත් ඊටම ගැලපෙන පසුබිම් සංගීතයත් කථාවේ මුල මැද අග සම්බන්ධ කිරීමට සමත් වුණා.

    ඔබගේ කරණවෑමි කථාවත් සමග මට සිහිපත් වූ මගේ අතීත අද්දැකීමක්ද, අපහසුවෙන් වුවත් මෙහි සටහන් කිරීමට සිත්වුනා.....

    අප කුඩා කල අපේ ගමේ ජංගම කරණවෑමියෙකු සිටියා. අප ජීවත්වූයේ කදුකර පෙදෙසක වුවද පාපැදියක පසුපස බැද ඇති ලී පෙට්ටියක තමා ඔහුගේ අඩුම- කුඩුම දමා තල්ලු කරන් එන්නේ. ඔය පෙට්ටියේ ඔබ සඳහන් කල ආකාරයේ දැලි පිහියක් හා එය මුවහත් කරන කලුපාට හම් පටිය, විවිධ ප්‍රමාණයේ පනා කෑලී කිහිපයක්, කුඩා සහ ලොකු කතුරු, පනා-කතුරක්, අතින් ක්‍රියාත්මක කරන "ට්‍රිමයක්"(hair clipper), රැවුලකැපීමට ගන්න සබන් පෙන සහිත භාජනයක් හා ඒ සදහා වන බුරුසුවක්, වතුර ස්පේ කරන්න පුලුවන් බෝතලයක්, රැවුල කැපූ පසු අතුල්ලන සීනක්කාරන් ගල, රෝස පට රවුම් පවුඩර් පෙට්ටිය හා පවුඩර් ගන්න පාවිච්චි කරන රෝස පාටම කුකුල් පිහාටු බුරුසුව, ටිකක් සැර සුවඳක් එන මොනවාද දියරයක් පුරවා තිබූ හැඩ සැන්ට් කුප්පිය, අගල් 9 x 4 විතර (පිටිපස්සේ සුවාජීී ගනේෂන්ගේ පාට පින්තූරයක් ගහලා විනිවිද පේන ලානිල් පාටට හුරු ප්ලාස්ටික් කොලයකින් කවර් කරලා තියෙන) හතරැස් මූණ බලන කන්නාඩියක්, අඩු මිටියක්, තුවායක්, රෙදි කඩමාලු ටිකක්......

    දෙමළ මනුස්සයෙක් වෙච්ච අපේ මේ ජංගම බාබර්ගේ නම මුත්තුසාමි. මනුස්සයා ඉරිදා දිනවල "සන්දේ පොල" ලග ගහක් යට සිටින අතර මසකට දින දෙකක් විතර ගම්මැද්දේ ගෙවල් අතරින් ගමනේ යෙදෙනවා. අවශ්‍ය කෙනෙක් ගෙදරට අඩ ගහලා කොන්ඩෙ රැවුල බාවා ගන්නවා. මිදුලේ තියෙන ගහක් යට හෙවන තමා එයාගේ බාබර් සැලුන් එක අටවා ගන්නේ. පාරිභෝගිකයට වාඩිවෙන්න ගෙදරින්ම තමා පුටු කබලක් හරි බංකු කටුවක් හරි ඉල්ලා ගන්නේ.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න රවි මහතා මුල් කොමෙන්ටුව දිග වැඩි හන්දා දෙකට කඩන්න වුණා :(
      මෙන්න ඉතිරි කොටස;

      ෴෴෴



      අපේ ගෙදර කොන්ඩේ කැපිල්ලට හෙන සෙට් එකක් ඉන්නවා. ඒ ඉතිං නංගිලා, පුංචි අම්මලා, මාමාලා, අපේ මුත්තා වගේ අය. මෑන් සයිකලේ ස්ටෑන්ඩ් එක ගහලා පෙට්ටියෙන් ඉස්සෙල්ලාම ගන්නේ අඩු මිටියයි දැලිපිහිය මුවහත් කරන අර කලුපාට පටියයි. පටිය ජම්බෝල ගහට තියෙලා ඇණයක් ගහනවා ඕන වෙලාවට දැලිපිහිය මුවහත් කරගන්න. ගෙදරින් පුටුවක් ඉල්ලන් මෑන් වැඩේ පටන් ගන්නවා පොඩි එකාගේ ඉදලා වයස වැඩිවන පිලිවෙලට ගෑනු පිරිමි බේදයක්‌ නැතිව. පොලිස් කට් අර කට් මේ කට් කීවට මතක විදිහට මෑන්ගේ තිබුණේ කට් දෙකයි. එකක් තමා පිරිමි අයගේ කොන්ඩේ භූගෑවා වගේ කොටටම අර කොන්ඩෙ කපන අත් මැෂිමෙන් අල්ලලා දාන එක සහ කාන්තා පාර්ශවයේ අයගේ කොන්ඩේ පැත්තට පීරන්නට ඉතුරු කරලා කොටට කපන එක.

      මට මේ දැනුත් මැවිලා පේනවා එදා ඒ සීන්-කෝන් එක. මගේ කොන්ඩේ කපන්න යනකොට අපේ මුත්තා කියනවා "මුත්තුසාමි..... මේ අපේ පියසේන පුතාගේ පුත්‍රයානේ.... එයා එහෙමකට දගලන්නේ නෑ. එයාගේ එහෙම කන් කපා ගන්න එපා" කියලා. එතකොට මුත්තු කියනවා "ෂරි-ෂරි අපි පලමු යෙයා දගලය්ද කියලා..... අද උදේ තමා කෙපුවා පහළ දගකරන පොඩි ලෙමයගේ කන් දෙක. අර පෙට්ටයේ තමා තියෙනවා".

      පුටුවේ වාඩි වුණ වෙලාවේ ඉදලා මගේ ඇගේ ලේ නෑ ...... කොයි වෙලාවේ මේ යකා මගේ කනකට වැඩක් දේවිදැයි කියලා. ඉස්සෙල්ලාම අර ට්‍රිමර් එකෙන් අල්ලන් යනකොට යන්තම් කෙස් ගස් ඇදෙනකොට යන්තමින් දැනෙන ඇදිල්ල (බයටම හිතෙන් දැනෙන්නේ) දහ පහලොස් ගුනයකින් වැඩි වෙච්ච වේදනවක් වගේ. අන්තිමේ සයිඩ් බැම සහ බෙල්ල පිටුපස කුරුටු ගාන්ට දැලි පිහිය මුවහත් තියෙන කොට හිතෙන්නේම කන් දෙකට හරිම තමා කියලා. කපලා ඉවරවුණාම ඉතින් මම විතර චන්ඩියෙක් නම් තවත් නැහැ වගේ. මොකද කපලා තියෙන්නෙත් පොලිස් කට්නේ.....

      ට්‍රිමර් එකෙන් ඇල්ලිල්ල, දැති පනාවෙන් කැපිල්ල, ඔලුවට දෙන මසාජ් සාත්තුව, රැවුල් කපද්දී ගාන සබන් පෙන තට්ටුව, කපන ගමන් දැලිපිහියේ තියෙන සබන් තලි බාබර්ගේ වමතේ වැලමිටට පහලින් අතුල්ලා ගන්න එක, වතුර බෝතලේ ස්ප්‍රේ කිරිල්ල, කිලිටි තුවා කඩමාල්ලෙන් මුණ පිහිල්ල, සැන්ට් වගේ ජාතියක් දාලා මූණ මසාජ් කිරිල්ල, පිටිපස්සේ ඉදන් දෙන පව්ඩර් සාත්තුව සහ අන්තිමේදි ආඩම්බරයෙන් වාගේ සුවාජි ගනේෂන් ඉන්න කන්නාඩියෙන් මූණ පෙන්වීම වගේ ඒවා ලියන්න ගියොත් රවි මහත්තයාට මාර වාතයක් වේවි......

      Delete
    2. නිර්නාමික,

      බොහොමත්ම ස්තූතියි ඔබේ දීර්ඝ ප්‍රතිචාරයට. ඔය කියන ජාතියෙම නොවෙතත් ඔයිට බොහෝ දුරට සමාන කරණවෑමියෙක් හිටියා අපේ හාමිනේලගෙ ගමේ. එයාලගෙ ගෙදර ඉඳල යාර 200 තරමෙ දුර තියෙන පොඩි කඩ මණ්ඩියෙ සැලූන් එකක් දාගෙන මනුස්සය පාඩුවෙ තමන්ගෙ වැඩේ කරගෙන ගියා. පිටිසර ගමක් නිසා එතරම් බිස්නස් එහෙමත් නෑ. මගෙ හිතේ සමහර දවසට දෙන්නෙකුට තුන්දෙනෙකුට වඩා එන්ට නැතුව ඇති කොණ්ඩෙ රැවුල කපා ගන්ට. මිනිහගෙ ගම ඊට අල්ලපු ගම. උදෙන්ම කාකි පාට රෙදි මල්ලක අවශ්‍ය ආම්පන්න ටිකත් දාගෙන ඇවිල්ල බාබර් සාප්පුවෙ ලෑලි දොර පලු ටික ඇරල බුදුන් වැඳල එහෙම තමයි වැඩ කටයුතු පටන් ගන්නෙ. කොණ්ඩෙ ඒ තරමට වැවිල නැතිවුනත් හාමිනේලගෙ ගෙදර ගිය සති අන්තයක් නම් මම මිනිහ ලව්ව කොණ්ඩෙ කප්පවා ගන්නව. කීයක් හරි වැඩිපුරත් දෙනව.

      අපෙ හාමිනේගෙ පොඩි අක්කගෙ දුව එතකොට අවුරුදු තුනක් හතරක් වගෙ ඇති. කොණ්ඩෙ කපනව කියන්නෙ ඒකිට මරන්නා වගෙ. හූ තිය තිය අඬන්නෙ. පොඩ්ඩි බාබර්ට කියන්නෙ සැවුල් කියල. ඒ අපෙ හාමිනේගෙ අප්පච්චි බාබර්ට කියන සැලූන් කියන නම එයාට කියන්ට පුලුවන් විදිහ.

      පොඩ්ඩිගෙ කොණ්ඩෙ කපන්ට ඕන උනහම අප්පච්චි ගිහිල්ල බාබර්ව ගෙදරට එක්ක එනව. අප්පච්චියි බාබරුයි දෙන්න ඈත දකිනකොටම මේකි කෑගහගෙන ගෙට රිංගනව සැවුල් එනෝ කියාගෙන..හෙහ්,හෙහ්,

      අපෙ හාමිනේල පොඩි කාලෙ එයාලගෙ අප්පච්චි සාමාන්‍යයෙන් මධ්‍යම පරිමාණයෙ වගෙ වෙළඳ ව්‍යාපාරයක් කරගෙන ගිහිල්ල තියනව ගෙදර ඉස්සරහම කඩ කාමර කීපයක් හදවල. හාල්, සිල්ලර, රෙදි එහෙම තියන කඩයක්, වී මෝලක් සහ බාබර් සාප්පුවකුත් තිබිල තියනව එතන. පස්සෙ කාලෙක එව්ව ඔක්කොම අභාවයට ගිහිල්ල. මගේ කරණවෑමි කතා ලියනකොට ඔය ඔක්කොම ලියන්නංකො.

      ආයමත් ස්තූතියි නිර්නාමික, ඔබේ දීර්ඝ ප්‍රතිචාරයට සහ මගේ ලියවිල්ල අගය කලාට.

      Delete
    3. //අඩු මිටියක්//
      අන්තිමේ බැරිම උනොත් දේයි.. දේයි.. ගාල කෙලල අරින්න වෙන්නැති. :D

      Delete
    4. Prasanna,

      / අඩු මිටියක්….. අන්තිමේ බැරිම උනොත් දේයි.. දේයි.. ගාල කෙලල අරින්න වෙන්නැති./

      නෑ බොල, අර ජම්බෝල ගහට ඇණේ ගහන්ට............හෙහ්,හෙහ්,

      / පටිය ජම්බෝල ගහට තියෙලා ඇණයක් ගහනවා ඕන වෙලාවට දැලිපිහිය මුවහත් කරගන්න. /

      Delete
    5. වියට්නාමයේ අදටත් මේ ගස් යට බාබර්ලා ඉන්නවා. පින්තුරයක් ගන්න ඕනෑකම තිබ්බට කවදාවත් බැරි වුණා . මට ඔය පිහි වලින් ගනුදෙනු කරන උන්ව පින්තුර ගන්න බයයි. :D
      අපි පොඩි කාලෙ දැන් වගෙ කාන්තා සැලෝන් එහෙමකට තිබ්බේ නැහැ . බාබර් සාප්පුවෙන් තමයි කොණ්ඩේ කැපුවේ. ඩොන්කි කට් . හයේදී කොළඹ ඉස්කෝලෙට ගියහම ස්කුල් බස් එකේ අක්කලා අහනවා ආ නංගි කොහෙන්ද කොණ්ඩේ කපන්නේ කියලා . මේක මට එච්චර ඇල්ලුවේ නැහැ. අම්මට කුරු කුරු ගාලා ගෑනු කෙනෙක්ගේ සැලෝන් එකක් හොයාගෙන ගිහිල්ල කපා ගත්තා ඩයනා කට්.

      Delete
    6. ඇනෝ බොස්. උඹැහෙගේ කතාව කියවලා මම ඒකට වහ වැ‍ටුනා බොලං. රවියගේ කතන්දර වලට මම හැමදාම කමෙන්ට් ලියනවනේ. ඒක හන්දා ඒ ඇරිච්චදෙං.

      ඇයි උඹ බ්ලොගක් පටන් නොගන්නේ කියලා අහන්නත් මොකක්ද වගේ ඒ මොකද එහෙම කමෙන්ට් ලිය ලිය ඉඳලා අපේ වදේට ලියන්න පටන් ගත්ත සමහරු ලියන හැටි දැක්කම. :D
      එහෙම නෙවෙයි. දිගටම කමෙන්ට් ලියහං මගේ දෙයියෝ. මේ වගේ එව්වා.

      Delete
    7. ඕකට කියන්නෙ මල්ලෙ සැලුං කියල...
      හර්ෂ

      Delete
  20. ඈ රවි අයියේ,
    දැන් අර ළමයා කපන කොස් ගෙඩිය ඉදිලද දන්නෙ නෑ. අන්තිමට උයන්න නෙවෙයි, අතුරුපසට දෙන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සහන්,

      හරි හරි බං...ඉදිලනම් ඉතිං වරකා කමු....:)

      Delete
    2. //දැන් අර ළමයා කපන කොස් ගෙඩිය ඉදිලද දන්නෙ නෑ. අන්තිමට උයන්න නෙවෙයි, අතුරුපසට දෙන්න වෙන්නේ.//

      හත්වලාමේ තේ උගුරත් හිස් මොල්ලේ ගියා... :D

      Delete
    3. Randil,

      ඇති කොම්පැණිය තාම දුවනව. 10.46 වෙලත් තේ බොනව.. හුහ්...

      Delete
  21. Ikmanata ilanga kotaha liyandoo. Kuthuhale maxxxxxx.

    ReplyDelete
  22. මේ මාතෘකාව දැක්කම එක පාරට ඉස්සර රවී අයියා මතක් වුණා. පරණ කොටසේ අග කියෝලා ඇවිත් ආයේ මේක අලෝගත්තා. ඒ නැතත් අවුලක් නෑ ... අවසාන කරලා තියෙන විදිය නම් හරිම කැතයි. දැන් ඉතින් මේකෙන් පස්සේ ලියන දහසකුත් දේවල් කියෝලා බලන් හිටාල්ලකු වාන් පතුල් ලියනකල්

    ReplyDelete
    Replies
    1. මායා,

      වැඩිකල් බලාඉන්ට වෙන්නෙ නෑ මෙයා..විජහට ලියන්නං..ස්තූතියි ...:)

      Delete
  23. අැත්තට ම කැමති වුණේ මක්කෙයි

    ReplyDelete
    Replies
    1. ගී පවුර,

      කැමති වුනේද? අකමැති වුනේද?......:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...