Tuesday, July 14, 2015

332. විමලෙගෙ වාංපතුල් කතා - 33 - ජන්තුවා, ඉරේෂා, නිමන්ති, අකඩවාරිය,ඔපරේෂන් ඩෙසර්ට් ස්ටෝම් සමඟ අවසානයේ කොස් කපන ළමයා වෙතට හෙවත් At Last Back To That Jak Cutting Girl

අකඩවාරිය - Image From Sarasaviya

පහුගිය කතාවට ඩ්‍රැකී  ලියපු ප්‍රතිචාරයකට පිළිතුරු වශයෙන් මම මෙහෙම කිව්ව../ හෙහ්,හෙහ්, හොරෙක් හොඳ මිනිහෙක් වෙන්ට ගිහිල්ල අන්තිමට වෙච්චි දේ ගැන ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්තයගෙ මරු කෙටිකතාවක් තියනව. වෙලාවක කියඤ්ඤා…/

රායිට්..අද කතන්දරේ කියන්ට පළමු ඩබ්ල්යු.ඒ. සිල්වා මහත්තයගෙ ඒ කෙටිකතාවෙ විස්තරේ කියල අහක වෙලා ඉම්මු නමෝ විත්තියෙම්ම එහෙනං.. ඒ කෙටිකතාවෙ ප්‍රධාන චරිතය ඇවිල්ල ගොලෑ හොරෙක්. ගොලෑ පුවක් හොරකං කරන එවුංට තමයි ගොලෑ හොරු කියන්නෙ. ඒ කියෙන්නෙ මේ පොඩි පොඩි හොරු. ගොලෑ හොරාගෙ විරුද්ධාර්ථය තමයි නීලකාස හොරා..දන්නවනෙ ඒ කවුද කියල නේද? හෙහ්..හෙහ්.. මිස්ටර් නීලකාස ගැන ලියන්ට ඕන තරම් කල් තියෙන හින්ද දැනට එතුමා ගැන කතා නොකර ඉමු. 

ඩබ්ල්යු.ඒ. සිල්ව මහත්තයගෙ කතාවෙ ඉන්න හොරාගෙ නම මට මතක නෑ හරියට. හරි අපි කියමුකො ජන්තු කියල. කතාව මෙහෙමයි. ඔන්න ගමේ කඩපිලේ කට්ටිය ඉන්නව නොයෙක් සතුටු සාමීචියෙ යෙදෙමින්. ගමේ නමගිය හොරෙක් වන ජන්තු එතනිං යන්ට එනව. 

" ආ..ජන්තුවෝ උඹ දැක්කෙවත් නෑ සති දෙකකිං විතර. කොහේද බොල ගිහිල්ල හිටියෙ? " එතන හිටපු එක මනුස්සයෙක් අහනව. 

ජන්තුව ඔන්න කඩපිලට ගොඩ වෙනව." මම මේ වැලිකඩ සතිදෙකක් ඉඳලයි එන්නෙ බොලව්. "

" ඒ මොකද බං? "

" උඹලට කියන්ට මම පොඩි එකා කාලෙ ඉඳලම කරේ හොරකමනෙ. අන්තිමට මටම ඒක එපා වෙලා මම හොඳ මිනිහෙක් වෙන්ට හැදුව. කොහෙද මට ඒකට ඉඩක් දුන්නෙ නෑනෙ. පොලීසිය මාව ගෙනිහිල්ල සති දෙකකට අච්චු කලා. " 

" ඒ කොහොමද බං එහෙම වෙන්නෙ? මොන බොරුකතාවක්ද ඒක.." කඩේ මුදලාලි කියනවා.

" හොඳයි එහෙනං අහගනිල්ලකො. " ජන්තු කඩ පිලේ ඈඳිගන්නව. මිනිස්සු ඔක්කොම බණ අහන්ට වගෙ මනුස්සය වටේට රැස් වෙනව.

" දැන් සුමාන දෙහෙකට ඉස්සෙල්ල මම ඔය ටවුං හෝල් එක පැත්තෙ කැරකුනා මොනව හරි පොකට්ටෙකක් වත් ගහගන්ට පුලුවන්ද කියල බලන්ට.කොහෙද ඔහෙනෑ. ගෑණු මිනිස්සුත් දැං කට්ට කයිරාටික වෙලා.හොඳ පරිස්සමිං ඉන්නෙ පොකැට්, ගැට, හැඹිළි ගැන. දවල් දෙක වගෙ වෙද්දි මට මේ ඉන්න ඉඳිල්ල තූ කියල හිතුන. වෙලාවට කන්ට නෑ. නාන්ට නෑ. මොකක්ද මේ ජීවිතේ කියල මටම අපෝ වුනා ඔන්න. ඒ එක්කම මට හිතුන මීට හොඳයි හිරේවත් යන එක. එතන මොනව නැතිවුනත් වෙලාවට කන්ට, නාන්ට, නිදාගන්ට තියනවනෙ. අනික මට නුපුරුදු තැනකුත් නෙවෙයිනෙ. එහෙම හිතල මම ගොඩ වැදුන දවටගහ පල්ලිය ලඟ තියෙන මුස්ලිම් කඩේට. "

අහගෙන ඉන්න මිනිස්සුත් කටවල් ඇරගෙන ටික ටික තවත් කිට්ටු වෙනව ජන්තුව ගාවට.

" ගිහිල්ල ඉඳගත්ත පුටුවක් පස්සට ඇදල. කතා කලා වේටර කොලුවෙකුට. ඒයි ළමයා. ගේනවා සම්බ බත්, පුච්චපු කුකුළෙක්, අල, මාලු, සලාද ඔය තියෙන කෑම ඔක්කොම, යකෙක් කන්ට බඩගිනියි ....ගවනර් වගෙ කෑම ඕඩර් කරන්නෙ ඕයි…..තමුසෙ ගාව සල්ලි තියෙනවද? වේටරයා අහපි."

" සල්ලි නැතුව කන්ට එන්ට මෙතන දන්සැලක් නෙවෙයිනෙ. මම දන්නව ඒක. මේ තියෙන්නෙ ඕයි සල්ලි..මම මගෙ ඉණේ බැඳල තිබ්බ පටියෙ පොකට් එක පෙන්නුව. ඒක පිම්බිලා තිබ්බෙ ඇතුලෙ හතරට නවල දාල තිබ්බ පත්තරයක් හින්ද. වේටර කොලුව දන්නවය ඒක. "

" ඌ කරපු වැඩේ කඩේ තිබ්බ තරමක් හොඳ හොඳ කෑම ජාති ගෙනල්ල මේසෙ පිරෙව්ව. ඒත් මගෙ දිහා සැකෙං වගෙ බල බල. එව්වයිං මට වැඩක් ඇත.මම කෑව බඩවැල් දිග ඇරෙන්ට. තව පාරක් බතුත් ගෙන්නගෙන කාල කිරිපැණි එකකටත් වග කිව්ව. ඊට පස්සෙ නැයිකෙට් සිගරෙට්ටෙකකුත් පත්තු කොරාන මං දිහා ඇස් උඩ තියාන බලාඋන්නු ඔක්කෝමලාගෙ මූණු දිහාවෙ බලල මෙහෙම කිව්ව. මගෙ ලඟ තඹ අලුක්කාල් පිච්චියක්වත් නෑ. මාව බාර දීපල්ල පොලීසියට."

" අප්පටසිරි කඩේ හිටපු වේටරයො ඔක්කොම මාව වටකර ගනිපි. පෙනේද මේකා බඩ පැලෙනකල් කාල බීල එහෙම කියනව පණ්ඩිත කතාව..වරෙල්ල අද මුගෙ අඬු කඩල පොලීසියට බාර දෙමු. ඔන්න එතකොටම අල්ලපු මේසෙ ඉඳපු තලත්තෑනි මුදලාලි කෙනෙක් වහෙ රෙද්ද බැනියම ඇඳපු මනුස්සයෙක් කතාකලා. හා.හා..ඔය යකාට තඩි බාන්ට එපල්ල. අද මයෙ තාත්තගෙ මළගම සිද්දවෙලා හරියටම අවුරුදු පහක් වෙනව. මයෙ තාත්තට පිං සිද්ද වෙන්ට ඔය මනුස්සයට යන්ට ඇරපල්ල. මිනිහ කාපු බීපුවගෙ බිල මම ගෙවඤ්ඤා කියල. හෙහ්.ඉතිං මොකද කරන්නෙ? මම අර බිල ගෙවපු මනුස්සයට දෙතුං පාරක් රවල එහෙම හෝටලෙං දොට්ට බැස්ස."

" ආයම සැරයක් කොහොමද පොලිස්සියට අහුවෙලා හිරේ යන්නෙ කියල හිත හිත යද්දි මම දැක්ක වයසක ලොක්කෙක් අලුත්ම අලුත් කුඩයක් පාර අයිනෙ බස් හෝල්ට් එකකට හේත්තු කරල එතනම තියන පෙට්ටි කඩෙං බුලත් විටක්ද කොහෙද ගන්නව. මම මොකද කලේ ලෝඩ් බකිංහැම් වගෙ ගිහිල්ල අර කුඩෙත් අරගෙන හෙමීට යන්ට පටං ගත්ත. මම එහෙම හෙමීට ගියේ කුඩ අයිති කාරයට මාව අල්ලල පොලීසියට බාර දෙනට කල්දෙන්ට හිතාගෙන. "

" හිතුවත් වගේම නාකි ලොක්ක මගෙ පස්සෙං දුවගෙන ඇවිල්ල මගෙ අතකිං අල්ල ගත්ත. ඒයි ඒයි තමුසෙ කොහෙද යන්නෙ මේ මගෙ කුඩෙත් අරගෙන? ම්නිහ කෑගහන්ට ගත්ත. මම එතනම නැවතිල මිනිහගෙ ඉහේ ඉඳල දෙපතුල ගාවට දෙතුං පාරක් රවල බලල මෙහෙම කිව්ව. තමුසෙගෙ කුඩයක් කොහෙද ඕයි මෙතන? අන්ද කයිප්පු කැවිලද? මේක මගේ කුඩේ. තමුසෙගෙ කුඩේ තමුසෙ ගෙදර දාල එන්ට ඇති. ඔය වෙනකොට අහල පහල සෙනඟත් පිරෙන්ට පටං ගෙන. "

" අනේ මම අරම සැරදාල කිව්වම නාකි ලොක්ක බය වුනා. ආ එහෙමද? උන්නැහේ එහෙනං මට සමාවෙන්ට. මගෙ කුඩෙත් ඔය වගේම තමයි. කිව්වත් වගෙ මම එහෙනං කුඩේ ගෙදර දාල එන්ට ඇති. ඕං ඔහොම කියල මිනිහ හෙමිහිට ලිස්සලා ගියෙ නැද්ද? මම එතන පේමන්ට් එකේ නතර වෙලා අර මිනිහ පස්ස බල බලා යන දිහාවෙ බලා හිටිය ඇහිපිය නොහෙලා. මේ මොකක්ද වෙන්නෙ කියල හිතා ගන්ට බැරුව." 

" හෙහ්. ඒ කියන්නෙ ඕන වෙලාවට හිරේ යන එකත් ලේසි නෑ වගේ නේද ජන්තුවෝ? " කටවල් ඇරගෙන එතන වට වෙලා ඉන්න එකෙක් කියාපි. 

" මේ මොනව කියනවද? ඉඳහල්ලකො ඉතුරු විස්තරේ කියනකල්..ඉතිං මම අන්තිමට කල්පනා කලා පාරෙ කෑගහල කලබොලයක් කලොත් නොවැරදීම මාව අරගෙන ගිහිල්ල හිරේට දායි කියල. එහෙම හිතල මම කලේ එතනම  හන්දියෙ හිටගෙන ඉන්න රාළහාමි ගාවටම ගිහිල්ල මගෙ අලුත්ම කුඩෙත් දිග ඇරගෙන සරමත් පිටිපස්සෙං උස්සගෙන හායි හූයි බබි ආච්චිගෙ බයිසිකල් එක කොල්ලො රැලක් එකතුවෙලා ගැහුව බැල් එක...කියල යටි ගිරියෙං කෑ ගගහ පාර පුරා නටන්ට පටං ගත්තු එක. දැං රාළහාමි මාව අල්ලගනියි, දැං අල්ලගනියි කියල හිතුවට මම පාර පුරා දඟලනව දැක්කෙ නෑ වගෙ අර රාළහාමි මෙන්න අහක බලාගෙන ඉන්නව. මට ඇහුණ එතකොට මගෙ විගඩං බලාගෙන හිටපු නෝනා කෙනෙක් රාළහාමිට කිට්ටු වෙලා මෙහෙම අහනව. ඇයි රාළහාමි අර පිස්සව අල්ලගෙන ගිහිල්ල හිරේ දාන්නෙ නැත්තෙ? පේන්නෙ නැද්ද බීලද කොහෙද පාර පුරා නට නට අර කරන විකාරෙ? "

" දන්නවද රාළහාමි කියපු එක.. එහෙම කරන්ට බෑ නෝනා..අද රෝයල් - තෝමියන් මැච් එක..පාරෙ සිංදු කියකිය නැටුවයි කියල අද කවුරුවත් අත් අඩංගුවට ගන්ට බෑ. ඉතිං මොකෝ කොරන්නෙ? මම එහෙමම නටාගෙනම ගිහිල්ල සෙනඟ තලේ මුවා වෙලා හිමීට මාරුවුනා. පාර අයිනෙ තාප්පෙකට හේත්තුවෙලා ඔන්න මම කල්පනා කරන්ට ගත්ත. බඩත් පිරිල අලුත්ම අලුත් කුඩේකුත් අතට ලබිල තියෙන හින්ද මගෙ හිතත් නිකං එක විදිහක් වගෙ වෙලයි තිබ්බෙ. "

" ඉතිං මටම හිතුන මොකක්ද මං මේ ගතකරන පව්කාර ජීවිතේ? එලොවටත් නෑ මෙලොවටත් නෑ. හරි අද ඉඳල මම මේ පව්කාර වැඩ ඔක්කොම අත ඇරල දාල හොඳ මනුස්සයෙක් වෙනව. සත්තයි. එහෙම හිතල හෙමීට පාර දිගේ ගම් පැත්තට එනකොට අර එහා හන්දියෙ පන්සලේ මම දැක්ක හාමුදුරු කෙනෙක් බණක් කියනව. මාත් හෙමීට ඒ බණ අහන කට්ටියෙ අයිනකට එකතුවෙලා අත්දෙක එහෙම එකතුකරල වැඳගෙන කාරිය බණ අහන්ට ගත්ත. "

" අනේ ඒ බණ ඩිංගෙ අපූරුව කොච්චරද කියල කියනව නං මට මම මෙතෙක් කල් ගත කරපු ජීවිතේ තූ කියල හිතුන. සාදු සාදු සාදු කියල කියන්ට අත්දෙක උස්සනකොටම කවුද දඬු අඩුවකින් ඇල්ලුව වගෙ මගෙ බෙල්ල මුලිම්ම අල්ල ගත්තෙ නැද්ද? හැරිල බැලින්නං අපේ පොලිසියෙ සාජං මහත්තය.. තෝ මොකද බොල මෙතන කරන්නෙ? කාගෙ හරි සාක්කුවකට විදින්ට නේද හැදුවෙ තක්කඩිය? ආ..කාගෙද මේ අලුත්ම කුඩේ? තෝ මේකත් හොරකං කලා නේද? වර යන්ට අලුගුත්තේරුවා පොලීසියට. එහෙම කියල සාජං මහත්තය මාව ඇදගෙන ගිහිල්ල උසාවි දාල දවස් දාහතරකට හිරේ පලච්චෙව්ව. ඒ හිරේ ගිය එකෙං නිදහස් වෙලා තමයි මම මේ එන්නෙ. ආය නං හොඳ මිනිහෙක් වෙන්ට හීනෙකිංවත් හිතන්නෙ මම නං නෙවෙයි. මට මේ පුරුදු ජීවිතේ හොඳයි. " එහෙම කියල ජන්තුවා ඈඳිගෙන උන්නු කඩපිලෙං නැඟිටල යන්ට ගියා.

රයිට් ඒක තමයි මම අර කියඤ්ඤම්ය කියල කියාපු ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්තයගෙ කෙටිකතාව. මතක තියෙන විදිහටයි ඔය ලිව්වෙ...හෙහ්,හෙහ්,

ඉතිං මම පොරොන්දු වුනානෙ මලිති නෝන මහත්තැන්ට සඳුදා කොයිමක් කරල හරි කතාවෙ ඊළඟ කොටස දානවය කියල. මම මෙහෙමයිනෙ කිව්වෙ.

/ නෑ නෝනා, නෑ..නෑ..නෑ..උපරිම බයි මන්ඩේ....මයි බන්ඩේ..බයි මන්ඩේ...:) /

එතකොට අනේ කතාව පරක්කු වෙයි කියල නාහෙං අඬපු මානවික්ස් මෙනෙවියට පිළිතුරු වසයෙන් මම මෙහෙමත් කිව්ව.

/ නෝ..නෝ..මන්ඩේ..මන්ඩේ..මන්ඩේ..මම අර මලිති නෝනට පොරොන්දු වුනානෙව. මම ඇවිල්ල ඔය වනිතාවන්ට වෙන පොරොන්දු අකුරටම රකින කෙනෙක්..තේරුනාද? අපෙ හාමිනේ කොයි වෙලෙත් කියන කතාවක් තමයි. " ඔයා ඉතිං මොකද? ඉඟ සුඟ ගස්සල අනේ අයියේ කියල හතර අතට ඇඹරිල කවුරු හරි අංගනාවියක් කළුනික ගේන්ට කිව්වද ඒත් යයි ඕකේ. මැඩම් කියාගෙන " /

ඔය අපෙ හාමිනේ බැණ අඬගහන කතාවත් මරු. කාලයක් අපි දෙන්න හිටිය ඔය ඇනෙක්සියක පදිංචි වෙලා. ඔය නුවර කිට්ටුව හීරැස්සගල කියන පළාතෙ. මම ඉතිං ඔය දවස් දෙකෙකට වගෙ වතාවක් යනව මීටර් හාරපන්සීයක් එහා තිබ්බ සුපර් මාර්කට් එහෙකට බඩු ගේන්ට. ඔය වැඩි දෙයක් එහෙම නෙවෙයි. කිලෝ පහේ නිපුණ මල්ලක්, සීනි පංසීයක්, එළවළුවක් දෙකක්, ඔය වගෙ මොක මොකව හරි සිල්ලර බඩු ටිකක් හේනව හවස් අතේ ගිහිල්ල. මම ඔය කඩේ යන පාර පල්ලෙහා තිබ්බ ඒ අහල පහලම තිබ්බ ප්‍රයිවට් ඉස්පිරිතාලෙක නේස් නෝනල හත් අට දෙනෙක් නතර වෙලා හිටපු පොඩි ගේ කෑල්ලක්. පළවෙනි දවසෙ ඉතිං හිනා වෙලා. දෙවෙනි දවසෙ ගුඩ් ඊවිනිං අයියෙ කියල, තුංවෙනි දවසෙ අයිය මේ කිට්ටුවද ඉන්නෙ? ගමත් මෙහෙමයිද? කියල අහල අපි දෙගොල්ල ඔන්න හිතවත් වුනාය කියමුකො.

ඉතිං පස්වෙනි හයවෙනි දවස් වෙනකොට අනේ අයියෙ, කඩේට යනෝනං මටත් ටූප්පේස් එකක් ගෙනැත් දෙනවද? කියල ඉරේෂා මගෙං අහපි. හෙහ්, මනුස්සයෙකුට උදව්වක් ආය මනුස්සයෙක් නැතුව සත්තු සරපයි කොරයිය එහෙම හිතල මම තනි පයිං ඒ වැඩේ බාර ගත්ත. ඒ පස්ට් ඩේ. සෙකන්ඩ් ඩේ ඉරේෂට ලස් කෑල්ලක් ඕනය කිව්ව. එතකොට නිමන්තිට ..ඔව්..ඔව්..නිමන්ති තමයි..හෙහ්..කොකොමද මහෙ මෙමරි කැපෑකුටි එක. දැං වෙනව ඔය නේස් ළමයි එක්ක ආස්සරේ කරල අවුරුදුම එක දොළහක් පාළහක් වගෙ. හෙහ්..අද ඊයෙ වගෙ මතකයි මට. හරි නිමන්තිට ..ඔය නිමන්ති ඉන්නව නේද? හරියටම අර මේ ඊයෙ පෙරෙයිද ගියේ අකඩවාරිය කියල ටෙලි චිත්‍රපටයක්. අන්න ඒකෙ ප්‍රධාන  නිළිය වගේමයි..අර අංගම් පොර අල්ලන කෙල්ල....කවුද නම? ආ..හරි සුධීරා...අන්න ඒ ළමයා වගේමයි.

හරි අකඩවාරිය ගැන ඒ ඇති. ඉතිං පස්සෙ පස්සෙ අර ලීලයි , කමලයි, චම්පයි, රේකයි බානුමතියි නයනයි සඳරේකයි දියගන්නට එන්නේ ලිඳ ළඟටයි කිව්ව වගෙ ඉරේෂයි, නිමන්තියි, තරුෂිකායි, නයනතාරයි ඔය ඔක්කොමල බඩුමුට්ටු ගෙන්න ගන්ට ගත්ත මට කියල. කොච්චර හරි අන්තිමට මට ඒ වෙනුවෙම්ම සුට්ටි පොත් පිංචකුත් ගන්ට වුනේ නැද්ද? එහෙම නැහ්නං ඔය කෙල්ලො හත් අට දෙනෙක්ට වෙන වෙනම බඩු ගේන්ට මතක තියාගන්ට පුලුහං මොන යකාටද? පස්සෙ ඔය නයනතාරද කොහෙද යාලු වෙලා හිටපු කොල්ල මට ගහන්ටත් ආපි. වෙන මොකවත් නෙවෙයි ඊරිසියාව ඊරිසියාව...හෙහ්.. අන්තිමට ඒ කෙල්ලො එක්ක ආස්සරේ නතර වුනේ ඒ වසවර්තිය මට ගහන්ට ආපු හින්ද නම් නෙවෙයි ..හෙහ්..එව්වට කවුද බය? අර මම කෙල්ලො ගේන්ට කියන බඩු ලිස්ටෙක ලියන පොත් පිංච..හෙහ්..මගෙ සෝට් බෑයෙ සාක්කුවෙ ඕක දවසක් අමතක වුනානෙ මට. සෝට හෝදන්ට ගිය වෙලාවෙ අපෙ උන්දැට ඔය පොත් පිංච අහුවෙච්චි.

ආය මොනවද? එදා අපේ ඇනෙක්සියට හිරෝසිමා නාගසාකි නගර දෙකට දාපු පරමාණු බෝම්බ දෙකම එකට, එක විඩේට වැටිච්චි. ඒ එක්කම ඔපරේෂන් ඩෙසට් ස්ටෝම් සහ ඔපරේෂන් ඕවර් ලෝඩ් යුද මෙහෙයුම් දෙකම එක දවසෙ දියත් වුනා...හෙහ්. හෙහ්, ( ඔපරේෂන් ඩෙසට් ස්ටෝම් කියන්නෙ 1991 දි සදාම් හුසේන් පරාජය කරන්නට කල මෙහෙයුම. එතකොට ඔපරේෂන් ඕවර්ලෝඩ් කියන්නෙ 1944 අවුරුද්දෙ හිට්ලර් අවසාන වශයෙන් පාරජය කරන්නට මිත්‍ර හමුදා එංගලන්තෙ ඉඳල දියත් කරපු මහා මෙහෙයුම )

හරි...ඒ මගෙ වනිතා කටයුතු මෙහෙයුම හා එහි අතුරු ප්‍රතිඵල ගැන දෙවනුව සවිස්තරව ලියන්නෙමි. නැත්තං අද ආය..අර පේන්නෙ නැත?..අපේ ලොකු පුතා දැනටම පිටපොට ගහනව...හෙහ්,හෙහ්, 

රායිට්ස්...ඇඩ් එහෙකට පස්සෙ මේ දවස්වල රූපවාහිනියෙ දාන්නෙ.....අන්න ඒ වගෙ... සුපුරුදු වැඩ සටහන වෙත නැවතත්. බෑක් ටු අවර් රෙගියුලර් ප්‍රෝග්‍රම්...

ඒ කියන්නෙ අබවුට් අසෝකා.....නොහොත් කොස් කපන ළමයා…...ගරු කටයුතු ප්‍රසන්න සහ ධුරන්ධර සත්ගුණවත් හැලපයා යන මහත්වරුනට සුවසේ නින්ද යනු පිණිස මෙතැන් සිට කොස් කපන ළමයාගේ කතාව......රම් පම්..පම්..පම්…

" ඒ කාලෙදි තමයි මම සරෝජිනීව අඳුනා ගත්තෙ…"

මම ඉතිං සරොජිනී ගැන කතාව කියල ඉවරවුනා. අසෝකා නංගිගෙ මූණෙ තිබ්බෙ මහ සීරියස් පෙනුමක්…

" අයියද එහෙනං ඒ?....අයිය ගැනයි එහෙනං එයා මට කිව්වෙ.... "

" මොකක්? මොනවද මං ගැන කිව්වෙ? "

එක විඩේම සද්දෙට එහෙම කියවුන හින්ද අජිතයටයි නැන්දම්මටයි ඇහුනදත් මන්ද..අසෝකටත් එහෙමම හිතෙන්ට ඇති ..අපි දෙන්නට එකම විඩේ ඔලුව හරවල බරපතල සාකච්ඡාවක නිරතවෙලා ඉන්න ඒ දෙන්න දිහා බැලුව. නෑ...ඇහිච්චි බවක් පේන්ට නම් නෑ..ඇහිල නෑ..එහෙම අඟවන්ට අසෝකා ඒ පැත්තට ඉඟි මරල ඔලුව දෙපැත්තට වනල හිනා වුනා. 

" ඉතිං මං ගැන සරෝජිනී කිව්වෙ මොනවද කියන්ටකො.." මම කටහඬපහත් කරල වේවැල් පුටුවෙ පුලුවන් තරම් ඉස්සරහට වෙලා එයා දිහාට නැවුනා.

" නෑ..නෑ..එහෙම නරකක් මොකවත් කිව්වෙ නෑ...අම්ම එයාට බල කලාය කියල කිව්ව මෙහෙම කෙනෙක් ගැන. අයියලගෙ අම්මගෙයි එයාලගෙ අම්මගෙයි යාලුකම ගැනත් කිව්ව..ඒත් ඔය වාට්ටුවෙදි අයියව හම්බවෙච්චි කතාවක් මා එක්ක කිව්වෙ නෑනෙ." 

" හෙහ්..ඒ විස්තරේ කිව්වෙ නැද්ද? සමහරවිට මොකටද වැඩි විස්තර කියල හිතන්ට ඇති…" 

" එහෙමත් වෙන්ට පුලුවන්...ඒත් සරෝ මගේ හොඳම යාලුවා.." අසෝකා එහෙම කියල යටි තොල පෙරලල උරහිස් හැකිලුවා. හරියට අනේ මන්දා කියල ඇඟවෙන්න වගේ.

ඊලඟට අසෝකගෙ දෑසට ආයම ආව අර සීරියස් පෙනුම .." අයිය දන්නවද සරෝ අයියට අකමැති වුනේ මොකද කියල? " 

" ම්හු...අයි ඩොන් නෝ මෙලෝ දෙයක්…" මම හිනාවුනා.

" සරෝජිනීට එෆෙයාර් එකක් තිබ්බ..ඒ හින්දයි එයා අකමැතිවුනේ..."

" නැහ්? ඉතිං ඒ මෝඩි ඕක කෙලිම්ම කිව්වනං ඉවරයිනෙ..මොකෝ එහෙම කිව්වනං මම අර පල්ලෙහා මේන් එන්ට්‍රන්ස් එක ගාව වී.ඩී. ක්ලිනික් එකට අල්ලපු කාමරේ ඉන්න රෙජිස්ට්‍රාර් ගාවට ඒ ළමයව කරේ තියාගෙන ගිහිල්ල බලෙම්ම කසාද බැඳගනියි කියලවත් හිතුවද දන්නෙ නෑ ..හෙහ්…"

" හිහිහ්..අයියත් කියන කතා…" අසෝකා කට අතකින් වගගෙන හිනාවුනා. 

නුවර මහ ඉස්පිරිතාලෙ ඇතුල්වෙන තැනම ඒ කාලෙ තිබ්බෙ වී.ඩී. ක්ලිනික් එක. ඊට අල්ලපු කාමරේ හිටිය උපත්, විවාහ සහ මරණ රෙජිස්ට්‍රාර් කෙනෙක්. ඒ මනුස්සය උපත් සහ මරණ රෙජිස්ටර් කලාට මයෙ හිතේ කවදාවත් එතන විවාහයක්නම් රෙජිස්ටර් කලාය කියල ආරංචියක් නම් නෑ. අර විදිහට සරෝජිනීව උස්සගෙන ගිහිල්ල මම එතන විවාහෙ රෙජිස්ටර් කලානම් ඒක නුවර ඉස්පිරිතාලෙ ලියාපදිංචි කරපු පළමු විවාහය හැටියට ඉතිහාසයෙ රංවං අකුරිං ලියවෙනව ලියවෙනවාමයි.

" ඉතිං මොකද හැබෑට ඔය ළමය ඔය එෆෙයාර් එක හංගන්නෙ? මම හිතන්නෙ එයාලගෙ අම්මලවත් දන්නෙ නෑ "

" නෑ..නෑ..නෑ..අම්මා දන්නව. අම්ම ඒකට තනිකරම විරුද්දයි. "

" ඒ මොකද? "

" මේ කුල ප්‍රශ්ණයක්... "

" ආ...එහෙමත් එකක්ද? "

" එහෙනං..ඒ කොල්ලත් අපේ බැච් එකේමයි. දැං වැඩ කරන්නෙ කුරුණෑගල ඉස්පිරිතාලෙ. හරිම හොඳ ළමය. ඒත් කුළේ තමයි ප්‍රශ්ණෙ..සරෝජිනීලගෙ අම්මල ඔය කුළ කේස් ගැන සෑහෙන්න හොයනව. "

" ඕගොල්ලොත් එහෙමද? "

" මෙහෙමයි..මම නම් ඔය කුළේ ඒ හැටි වැදගත් කියල සළකන්නෙ නෑ. ඒත් අපේ අම්මල අප්පච්චිල නම් ඒ ගැන හොයනව. "

" ඒකත් එහෙමද?" මම බිම බලාගෙන සුසුමක් හෙලුව. 

" ඇයි අයිය එහෙම ඇහුවෙ? " අසෝකා නළල රැලි කරගෙන ඇහුව. 

" නෑ අපිත් අඩුයි කියල කියන...." මම එතනින් කතාව නතර කරල අහක බලාගත්ත. 

" බොරු කියන්ට එපා අනේ...." අසෝකා කට ඇතුලෙන් කිව්වා. 

" බොරු නෙවෙයි අජිත් අයියගෙන් අහන්ටකො විස්වාස නැත්තං " මම එහෙම කියල නැඟිට්ට.

රයිට් ඉතිං ඔය අසෝකලගෙ ගෙදර සීන් එකෙන් පස්සෙ අසෝකයි මායි බොහොම හිතවත් වුනා. ඒ කෙල්ල ඇත්තටම බොහොම විවෘතයි. ඕපන් ඉකොනොමි කියන්නෙ. අන්න එහෙම. ඊට පස්සෙත් දෙතුන් පාරක් අජිතය එක්ක උගෙ ගෙදර ගිහාම මමයි අජිතයයි අසෝකලගෙ ගෙදර ගියා. එහෙම නැත්තං අජිතයලගෙ ගෙදරදි අපි හම්බවුනා. කෙලින්ම ඔය සෙනෙහෙද මොකක්ද එක ප්‍රකාශ නොකලට පොඩි මෙව්ව එකක් තියනවයි කියල එයත් දැනගෙන හිටිය. මාත් දැනගෙන හිටිය. ඊට අමතරව එයා දැනගෙන ඉන්නෙ කියල මාත් දැනගෙන හිටිය. මම දැනගෙන ඉන්නෙ කියල එයත් දැනගෙන හිටිය. එතකොට එයා දැනගෙන ඉන්නෙ කියල මම දන්නවයි ඉන්නෙ කියලත් එයා දැනගෙන හිටිය. මම දැනගෙන ඉන්නෙ කියල එයා දන්නවයි කියල මමත් දැනගෙන හිටිය. යනාදී වශයෙන් ........

ඉතිං ඔය සුජිත අක්කගෙ මඟුල් ගෙදර සෙට් වුනේ ඔය අතරෙ තමයි. ( මතකද මන්ද.....සුජිත කියන්නෙ අජිතයගෙ අක්ක . සුජිත අක්කගෙ මඟුල් ගෙදරට උදව් වෙන්ට කියල මම දවස් තුන හතරක් කලින් අජිතයලෙගෙ ගෙදර ඇවිල්ලයි මේ ඉන්නෙ )

අජිතයත් බොහොම කැමැත්තෙං හිටිය මේ වැඩේට. වැඩේට කිව්වෙ අසෝකයි මායි අතරෙ මොකක් හරි ආතල් එකක් සෙට් වෙයි කියල.මගෙ හැටි සොබාව දන්න හින්ද ඕකා කෙලින්ම කියන්නෙ නෑ. වහෙං ඔරෝ කියනව. සුජිත අක්කත් එහෙමයි.

" අනේ මල්ලි අද දවල්ට කන්ඩ ඉන්නව තිහක් විතර. කොස් ගෙඩි දෙකක් කඩාගෙන ආව. කොස් මැල්ලුමක් හදන්ඩයි යන්නෙ. අතන කුස්සිය එහා පැත්තෙ දර මඩුවෙ අසෝක නංගි කොස් කපනව. ඒත් එයාට තනියම කරන්ට අමාරුයි ඒක. මල්ලි ගිහිල්ල පොඩ්ඩක් වැඩේට උදව් වෙන්ටකො."

පොඩි කාලෙ අත්තම්ම එක්ක කොස් කපල මට ඔය කොස් වැඩේ හොඳට පුරුදුයි. මීට කලිනුත් එක පාරක් අජිතයගෙ ගෙදර ආහම මම කොස් කපල දුන්න. සුජිත අක්කට ඒක මතක තිබිලද ??????......නැත්තං???? 

" හරි අක්කෙ.. ඒකෙ අවුලක් නෑ. ඒත් එතකොට මේ වැඩේ? " මම ඔලුවෙං එතන කැටයං කපන්ඩ සූදානං කරල ගොඩ ගහල තිබ්බ තෙල් කරදාසි ගොඩ පෙන්නල ඇහුව. 

" මේ වැඩේ හදිස්සියක් නෑනෙ මල්ලි. හවස හරි කරන්ට බැරිය. අනේ ගිහිල්ල අර අසෝකට උදව් වෙන්ටකො. " සුජිතා අක්ක අජිතයට ඉඟියෙන් මොනව හරි කිව්වද? නැත්තං ඒ මගෙ හිත් හෝදිසියට පෙනිච්ච විදිහද? 

" හරි හරි මම යන්නංකො. මනමාලිගෙ ඉල්ලීමක් අහක දාන එකත් හරි නෑනෙ ඉතිං...හෙහ්,හෙහ්, " එහෙම කියල මම ඉඳගෙන හිටපු තැනින් නැඟිටල අත පයේ හිරි ඇර ගත්ත. 

" මොකෝ මේ කොස් කපන්ට තේරෙන්නෙ නැතුව මට එන්ට කියල නාහෙං අඬනව කියන්නෙ?" දර මඩුවෙ උළුවස්සට අත්දෙක තියල මම ඇහුව.

පරණ ගවුමක් ඇඳල සායං ගිය දිය රෙද්දක්ද කොහෙද ඉණෙං පල්ලෙහාට පටලවගෙන ඒ කෙල්ල කිසි කිසි ගාල කොස් කපනව හිරමණේක ඉඳගෙන. මේ දර මඩුවෙ තමයි අජිතයයි මායි ඊයෙ රෑ වෙලා පොඩි ආතල් එකක් ගත්තෙ. පිටිපස්සට වෙන්ට තිබ්බ බූ හනසු ගොඩ අස්සෙං හිස් බෝතලේක කට හරිය තාමත් පේන්ට තියනව.

" මම ? මම එහෙම මොකවත් කියාපු එකක් නෑ.." අසෝකගෙ මූණට දාඩිය දාල. 

" එහෙනං අර මනමාලි කියන්නෙ? මනමාලියො බොරු කියනවය මේ මඟුල් කට ලඟටම ඇවිල්ල තියෙද්දි...." කතා කරන අතරෙම මම හෙමිහිට මට නෙවෙයි වගෙ බූ හනසු ගොඩ ගාවට ගිහිල්ල විළුඹෙං අර හිස් බෝතලේ තල්ලු කලා ඇතුලට.

අසෝකා බිම බලාගෙනම කොස් කපනව. මම බිත්තිය අයිනෙ තිබ්බ පරණ පෙට්ටගම උඩ වාඩිවුනා. " මොකෝ කතා නැත්තෙ? "

" නෑ මම මේ කල්පනා කලේ කාරණා දෙකෙන් ඉස්සෙල්ල කියන්නෙ මොකක්ද කියල. "

" කාරණා දෙකක් තියනවද? මම ඇහුවෙ නම් එකයි. මනමාලියො බොරු කියනවද කියල. "

" හරි එහෙනං ඒකට මම ඉස්සෙල්ල උත්තර දීල ඉන්නංකො. මනමාලියො කියල නෑ ගෑණු මිනිස්සු කවුරුත් බොරු කියනව. "

" එතකොට දෙවෙනි කාරණේ ? " 

අසෝකා ඔලුව උස්සල මගේ දිහා බලල යන්තමට හිනා වුනා. " දෙවෙනි කාරණේ මේකයි. අර හිස් බෝතලේ පයිං තල්ලු කරල හැංගුවට වැඩක් නෑ. මම කොස් කපන්ට මෙතෙන්ට ආපු ගමන්ම ඒක දැක්කා. "

100 comments:

  1. අපි කිව්ව පමණින් ලියනවානම් ඉතින් මේ කතා මෙහෙම ඇදෙන්නේ නැහැනේ අප්පා! ඒත් කමක් නැහැ හොඳක් කලහමත් අගය කරන්න එපායැ - විනාඩි 48ක් පරක්කු වෙලා හරි!

    අර නැවිගේටර් වලින් උදවු අරගෙන වාහනයක් එළවද්දී වැරදි පාරේ ගිහින් ආයෙත් හරි පාරකට දැම්මාම 'බැක් ඔන් ට්‍රැක්' කියන්නේ- අන්න ඒ වගේ තමයි මේක කියවද්දි මට දැනෙන්නේ! :)

    ReplyDelete
    Replies
    1. Malithi,

      / අපි කිව්ව පමණින් ලියනවානම් ඉතින් මේ කතා මෙහෙම ඇදෙන්නේ නැහැනේ අප්පා! /

      එහෙනං, එගෙනං...මේ මොනව කියනවද? ඔහෙලයි උපදෙස් පරිදි කටයුතු කලානම් මේ එක අවුලක්වත් වෙන්නෙ නෑ නෙවෙන්නං...ඇග්‍රීඩ් වන් හන්නන් ඇන් වන් පසන්ට්!

      Delete
  2. ඩබ්ල්යු. ඒ. සිල්වා කියන්නෙත් හොරෙක් කියලා දැන ගත්තෙ අද.... මේක ඕ. හෙන්රිගෙ කතාවක්.... අයියෝ සල්ලි....... The Cop and the Anthem

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කොම හොරු තමා බං

      Delete
    2. ඩබ්ලිව්.ඒ.සිල්වාමහතා තම නමේ මුල අකුර ලිව්වේ ඔය ඩබ්ල්යු කියන ආකාරයටයි. ඔහු බටහිර සාහිත්‍ය කෘති ඡායනුවාදයන් ලෙස ඉදිරිපත් කළා කියන කාරණය ප්‍රතික්ෂේප කලේ නැහැ. ඔහු රචනා කල 'ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිණිය' නමැති කෘතිය රයිඩර් හැගාර්ඩ් ගේ She නමැති කෘතියේ කථා ආකෘතිය මත ලියවී ඇතිබව ඒ කාලයේ තදින්ම ප්‍රකාශ වුනා. ඔහු හොරෙක් වුනත් නැතත්, ඔහුගේ කෘති සිංහල සාහිත්‍යය පෝෂණය කෙරෙහි මහත් පිටුබලයක් ලබාදුන් බව නොරහසක්.

      Delete
    3. About W:
      That's because he tried to make the Sinhala interpretation as close to the correct pronunciation of the letter W which is actually 'double-U'

      Delete
    4. ඇනෝ,

      අම්මාපල්ල ඇත්තම නෙවෙන්නං.....ඩබ්ල්යු. ඒ.සිල්වා මහත්මයගෙ කතා බොහොමයක් ඔය වගෙ බටහිර ආභාෂයෙන් ලියපු එව්ව තමයි. ලක්ෂ්මීට අමතරව විජයබා කොල්ලය, රදළ පිළිරුව වගෙ පොතුත් එහෙමයි කියලයි කියන්නෙ.

      Delete
    5. සිරා,

      ඒක ඇත්ත..වැඩිපුරම ඉන්නෙ නීලකාස හොරු...හෙහ්,හෙහ්,

      Delete
    6. විචාරක,

      / ඔහු හොරෙක් වුනත් නැතත්, ඔහුගේ කෘති සිංහල සාහිත්‍යය පෝෂණය කෙරෙහි මහත් පිටුබලයක් ලබාදුන් බව නොරහසක්. /

      සම්පූර්ණයෙන්ම එකඟයි...:)

      අද පලවෙන දෙකයි පණහෙ ස්වතන්ත්‍ර කතාවලට වඩා සිල්වා මහත්තය බටහිර ආභාෂයෙන් හෝ ලියාපු කතා දහස්ගුණයක් අගෙයි..

      Delete
    7. Henry,

      / letter W which is actually 'double-U' /

      It seems to be more like double V……:)

      Delete
    8. විචාරක එක්ක එක පයිං එකඟයි...

      Delete
    9. //අද පලවෙන දෙකයි පණහෙ ස්වතන්ත්‍ර කතාවලට වඩා සිල්වා මහත්තය බටහිර ආභාෂයෙන් හෝ ලියාපු කතා දහස්ගුණයක් අගෙයි..//

      Fully agreed Ravi.
      However, it would have been better if Silva acknowledged in the book itself the influence of someone's else's work (some of his works go beyond being merely influenced and border on adaptation) rather than subsequently counter allegations levelled by his detractors.

      Delete
    10. Pra,

      Agreed, I am at a loss to understand why he didn't do that. It would have been the proper method to follow ethically. May be he thought he could just get away with it…:)

      Delete
  3. Replies
    1. තිසර,

      2015 සැප්තැම්බර් 5.... හෙහ්, මාස දහයක් වගෙ වුනාට සෑහෙන කාලයක් බලාගෙන ගිහාම. මරා ලංකාවෙ ඒකාදිපති රජ්ජුරුවො වෙලා හිටිය කාලයක් ඒක.. බැසිලා ගොට්ටා සන නාමෝලා කියන රජ තුන් කට්ටුව රට පාලනය කරපු කාලයක් ඒක. අගවිනිසුරු පුටුවෙ පට්ට හොරෙක් වාඩිවෙලා හිටිය කාලයක් ඒක.

      කොටිම්ම No one rationally thinking would have thought at that time that within a mere 5 months the despotic power crazed dictator would have been chased away like a jackal running away with the tail between it's legs and would be desperately seeking to re-enter the very parliament he treated so contemptuously literally begging someone who was once his party secretary for nomination...heh,heh,

      සමාවෙන්ට තිසර..අර මැක්කගෙ කතාව වගෙ තමයි.. යන්තං චාන්ස් එකක් දැක්කද මම අතාරින්නෙ නෑ...හෙහ්,හෙහ්,

      Delete
  4. රවියෝ ඔය නීලකාස යන්නේ තේරුම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. නීල = නිල්
      කාස = කැස්සේ උග්‍ර අවස්ථාව

      නීලකාස = නිල් කෑස්සේ උග්‍ර අවස්ථාව

      Delete
    2. ඒ කියන්නෙ කැපුවත් නිල් කට්ටියට විතරද ඔය කැස්ස හැදෙන්නෙ.

      Delete
    3. සිරා,

      නීලකාස හොරෙක් කියන්නෙ කපටිකමේ අගතැන්පත් පට්ටපල් හොරෙක් කියන එක.ඕක අපෙ අත්තම්මගෙ වචනයක්..

      " දුවේ අර පොල් කඩන්ට ආපු මනුස්සය නම් මට ඇල්ලුවෙම නෑ.මහ නීලකාස හොරෙක්ද කොහෙද? "උන්දැ අපෙ අම්ම එක්ක කටුකුටු ගානව.

      " අපිට මොකද අම්මෙ? ඒ මිනිහ පොල් ටික කඩල දීල යයිනෙ යන්ට. ටිකක් හෝදිසියෙන් හිටියාම ඉවරයිනෙ. අනික මේ කාලෙ පොල් කඩන මිනිස්සු අල්ලගන්ටත් හරි අමාරුයි. උපාසක පෙනුමක් තියන පොල් කඩන මිනිහෙක් එනකල් හිටියොත් ඉතිං පොල් ගෙඩි වේලිලා ගස් පල්ලෙම වැටිල යයි." අම්ම හිනාවෙවී එහෙම කියනව....:)

      Delete
    4. සුරංග,

      හෙහ්...උඹ හොඳයි සිංහල වචනවලට නිරුක්ති සපයන වැඩේට..අහුබුදු සූරීනුත් දැං නැති හින්ද බාර ගනිං වැඩේ...හෙහ්,හෙහ්,

      Delete
    5. //උපාසක පෙනුමක් තියන පොල් කඩන මිනිහෙක් එනකල් හිටියොත් ඉතිං පොල් ගෙඩි වේලිලා ගස් පල්ලෙම වැටිල යයි//

      රවිය මුලින්ම ගෙදර පය ගහපු දවසෙත් අම්මගෙයි දූගෙයි කතාව මේවගේ වෙන්න ඇති නේද? ;)

      Delete
    6. ඇනෝ,

      නෑ බොලේ..අසෝකගෙ අම්ම මට මාර ආදරෙයි....වෙලාව තමයි ඉතිං..මක්කා කොරන්නෙයි ඉතිං?

      Delete
  5. මෙයාගෙ කෙල්ලො ලිස්ට් එක තමයි ලිස්ට් එක... හි හි....

    සෙනෙහෙ තිබ්බ එවුනුයි, නැති එවුනුයි, කඩේ යවපු එවුනුයි... නම් ටික ඔ‌ෙහාම මතක තියෙන එකනෙ වැඩේ....

    ReplyDelete
    Replies
    1. හිරු,

      හෙහ්..මගෙ අහිංසක පෙම් පුවත් තමයි බොල ඔය...හෙහ්,හෙහ්,

      Delete
  6. වාසනාවං. අනේ වාසනාවං. මං බයේ උන්නෙ අර සමහර මෙගා ටෙලිනාට්ටි වගේ අයාලෙ ගිහිල්ල ගිහිල්ල අංතිමට ආපහු එන්න පාර හොයාගන්න අමාරු වෙයි කියල. ආයෙ ආපහු ආවත් පරණ කොටහට ඈඳගන්න අමාරුයිනෙ. මං කියන්නද හොද වැඩක්. ඔය ගෑල්ලමයි එක්කොම ගැන තියෙන මතක අහක්කොල්ල දාල ලියමු තමුන්නැහැ එක්ක එකට රස්සාව කොරාපු එවුංගෙ වල්පල් වග විස්තර. විසේසෙංම සුරාමේරය අධිකපමා දස්ඨානා කරපු වෙලාවට කල විගඩං ආදිය.

    මෙලෝ බයක් නැතුව පරණ කෑලි බෑලි ගැන ලියන්නෙ හැබෑට තමුන්නැහැගෙ නෝන මහත්තැං මෙව්ව කියවන්නෙ නැත?

    කොස් කැපිල්ල ? හපෝයි කොස් කාලෙට ඉස්සර බිම අඩිය තියන්න බෑ. දොරකොඩට අඩිය තියන කොටම කොහොල්ලැ තලියක් ඇලෙනව කකුලෙ ඉං පස්සෙ මග දිගට තියෙන කොල කෑලි අනං මනං සේරමත් ‘යමං‘ කියල එල්ලෙනව කකුලෙ. ඉතිං යටිපතුල හමයනකං කකුල උලනව ගලක. ගෙදර තියෙන පිහියකිං මොකවත් කපං කන්න නෑ සේරගෙම කොහොල්ලැ. හැමදාම තුං වේලම කොස්, කොස්, කොස්ම තමයි. අපෙ අම්ම සමහර දාට කොස් කඩන්න රිටි තුන හතර දිගට ගැටගහනව. සමහර වෙලාවට රිටේ දිගට අග තියෙන පිහිය පේන්නෙත් නෑ. ඔය කොස්ගස් හැම එකේම කොස් හොඳත් නෑ. හොඳ නැති කොස්ගස්වල ගෙඩි පැහිල ඉදිල බිමට වැටිල කුණුවෙලා ගියත් අපි නෙමෙයි ඇහැක් ඇරල බලන්නෙ. ඒකට දැං අපිත් පොලෙං ගේන්නෙ කිලෝ එකක් පනහට.

    “ඔතන කට බලියං බලං ඉන්නැතුව ඔය ලමය කපල දෙන කොස් පලු ඔල ඉරි ටිකවත් ඇරල දුන්නනං නරකද?“

    ReplyDelete
    Replies
    1. //ඔය කොස්ගස් හැම එකේම කොස් හොඳත් නෑ// ඒ වගේ ගස් අපේ වත්තෙත් තියෙනව. ගෙඩි වැටුන පස්සෙ වටේට ඒවයෙ ඇට පැලවෙනව.
      //ඔතන කට බලියං බලං ඉන්නැතුව ඔය ලමය කපල දෙන කොස් පලු ඔල ඉරි ටිකවත් ඇරල දුන්නනං නරකද//
      ඒකට තව මාස ගානක් බලා ඉන්න වෙයි ශ්‍රංගයො.

      Delete
    2. සුරංග,

      / ලියමු තමුන්නැහැ එක්ක එකට රස්සාව කොරාපු එවුංගෙ වල්පල් වග විස්තර. විසේසෙංම සුරාමේරය අධිකපමා දස්ඨානා කරපු වෙලාවට කල විගඩං ආදිය. /

      හපොයි එව්ව තියනව සෑහෙන්ට...මළගෙවල් වල ගිහිල්ල, මඟුල් ගෙවල් වල ගිහිල්ල පොඩ්ඩක් විතර වැඩිවෙලා කරපු අසානාසි බහු රූ කෝළං වැඩ. හෙහ්, හෙහ්.. ඉඳහංකො ඉඳහංකො බාං..මේ කතාවෙත් ඉස්සරහට ලියන්ට තියෙන්නෙ එහෙම සීන් එකක් තමයි. අප්පමාදෝ අමතපදං නොහොත් අප්‍රමාදව අමරපදමට ඇවිල්ල මම කරගත්තු විනාසයක්...

      / මෙලෝ බයක් නැතුව පරණ කෑලි බෑලි ගැන ලියන්නෙ හැබෑට තමුන්නැහැගෙ නෝන මහත්තැං මෙව්ව කියවන්නෙ නැත? /

      හප්ප, එවුන්දැට මේ වල්පල් කියවන්ට වෙලාවක් කොහෙද බොල? සුවල්ප වැඩ රාජකාරි තියෙන උත්තමාවක්ද එතුමී? සමාජසේවා වැඩ එහෙං, සමිති සමාගංවල වැඩ මෙහෙං, යසෝදරා කුළඟන සමිතියෙ බාන්ඩාගාරික, මිගාර මාතා අසරන සරන සමිතියෙ ප්‍රදාන සංවිදායක, ඔය වගෙ දාහක් වැඩ රාජකාරි අස්සෙ මේ එලොවටත් නැති මෙලොවටත් නැති නන් දෙඩවිලි කියවයිද ඒ අම්මණ්ඩි. ඔය මම එයා ගැන හිත් කවදින්ට මොකක් හරි පෝස්ට් එකක් ලියල පබිලිස් කරල ඔන්න කියනව අන්න මම ඔහේ ගැන ලිව්වය,,ගිහිල්ල බලන්ටය කියල. ආන්න එතකොට ගිහිල්ල බලනව. බලල මට කං පිරෙංට බයිනව. " මොනවද මනුස්සයො අර ලියාල තියෙන්නෙ? මට රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැල යන්ට දෙන්නෙම නැද්ද හැබැහැටම ඔහේ? "

      / හපෝයි කොස් කාලෙට ඉස්සර බිම අඩිය තියන්න බෑ. දොරකොඩට අඩිය තියන කොටම කොහොල්ලැ තලියක් ඇලෙනව කකුලෙ /

      කොස් කාලෙට පන්සලේ හාංදුරුවංගෙ සිවුරෙත් කොහොල්ලැ කියලනෙ කතාවටත් කියන්නෙ.

      Delete
  7. රවි අයිය කාලෙකට පස්සෙ ආයෙ අසෝක කොස් කපනව බලන්න එනවයි කිවුව ආරංචියට ඇල්කොහොල්ල වලින් කොහොල්ලැ ටික හෝදගෙන ඉන්න ඇත්තෙ.
    දැං ඉතිං බොල‍‍ා කොස් කපන්න පටං ගන්න තව කොච්චර කාලයක් යනවද?

    ReplyDelete
    Replies
    1. කොස් කපන්නද කොස් කිරන්නද දන්නෑ මුංදැ මේ තනි පංගලමෙ මඩුවකට කොටුකොර ගත්තෙ

      Delete
    2. ඒකට තමයි අජිතයි, සුජිතයි ට්‍රයි කරන්නෙ. කොහෙද ඉති...........

      Delete
    3. ප්‍රසන්න,

      ළඟදීම දෙකෙන් එකක් වෙයි බාං..ළඟදීම ළඟදීම....:)

      Delete
    4. සුරංග,

      අනේ නෑ බං ..අපි ඇවිල්ල ආද්දියාත්මික පේමවන්තයො... වෙන අනම්මනම් ඇත්තේම නැත...හෙහ්,හෙහ්,

      Delete
    5. පාඨකයින්ගේ කැත හිත බලපල්ලකො රවීයියේ.:D

      Delete
    6. මනෝජ්,

      ඒකනෙ බං බලාපංකො... මුංව හදන්ටම බෑ...:)

      Delete
  8. බුදු අම්මේ රවියෝ.... ඇඟේ මයිල් ඉස්මයිල් වෙලා ගියා... වෙලාවට අපි ඉපදෙනකොට ඔබතුමාගේ ඔය නේස් ප්‍රේම කතා ඉවරයක් වෙලා ඔබතුමා නුවරින් තොලොංචි වෙලා ඉන්න ඇති නේද?
    නැත්තම් ඒ පැත්තේ මෙහෙම කියනවා ඇති
    'අන්න අර රවියා එනවා. කෙල්ල ගෙට ගං '

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      / වෙලාවට අපි ඉපදෙනකොට ඔබතුමාගේ ඔය නේස් ප්‍රේම කතා ඉවරයක් වෙලා ඔබතුමා නුවරින් තොලොංචි වෙලා ඉන්න ඇති නේද? /

      අනේ පලයං බං යන්න...උඹ බබානිස්නෙ..වරෙං කරේ තියල ගුඩුස් අරින්න :)

      Delete
  9. අහ් මේ ලියල තියෙන්නෙ....! මම ඊයෙ එක දහ පාරකට වැඩිය ඇවිත් බැලුව ලියලද ලියලද කියල.

    අද මේ ආවෙ ලියල නැත්නම් බනිනවද කියල හිත හිත.. ඒත් මේ රත්තරන් ටිකට ලියල තියෙන්නෙ!

    මුලින් මුලින් ජන්තුව ගැනයි, ඉරේෂා ගැනයි, නිමන්ති ගැනයි කියාගෙන එනකොට මම හිතුවෙ අදත් අසෝක ගැන මුකුත් නැතුවැති කියල.. මේ තියෙන්නෙ..

    ඔබේ කාර්ය බහුල ජීවිතේ අතරේ උනත්, මේ විදියට ලියන එකට ගොඩක් ස්තුතියි රවී තුමා. මැතිවරණ සමය උනත්, පුළු පුළුවන් වෙලාවට වාන් පතුල් ම ලියන්න කියල ඉල්ලා සිටිනව ඔන්න..

    ආයෙ ඇවිත් හිතෙන දේවල් කොටන්නම්කො.

    ReplyDelete
    Replies
    1. මානවිකා,

      / අද මේ ආවෙ ලියල නැත්නම් බනිනවද කියල හිත හිත.. ඒත් මේ රත්තරන් ටිකට ලියල තියෙන්නෙ! /

      හුහ්..බයින්ට කට හදාගෙනයි ඔය නෝන මහත්තය මේ පැත්තෙ ආවෙ එතකොට නේද? ..හා..හා..හා..කමක් නෑ..කමක් නෑ....:)..Thanks ..Thanks….:)

      / ඔබේ කාර්ය බහුල ජීවිතේ අතරේ උනත්, මේ විදියට ලියන එකට ගොඩක් ස්තුතියි රවී තුමා. මැතිවරණ සමය උනත්, පුළු පුළුවන් වෙලාවට වාන් පතුල් ම ලියන්න කියල ඉල්ලා සිටිනව ඔන්න.. /

      ඕකේ මැඩම්...තැන්ක්යූ ඇන්ඩ් ඉල්ලීම සටහන් කොට ගතිමි. එලෙස ක්‍රියාකරන බවට සපථ කරන්නෙමි.

      Delete
    2. රවී තුමා කියන කෑල්ල කොපි රයිට් ද කොපි ලේෆ්ට් ද? නම + තුමා කියන එක වැදගත් සහ ආතල් නේ .. හෙහ් හෙහ්

      Delete
    3. පැතුම්තුමා,

      අන්න ඒකනෙ බං ඔය මානවිකා ඇවිල්ල බොහොම ගුණ යහපත් දැරිවි. පිදියයුත්තංට පුදංට එතුමීගෙ දෙමව්පියො කියල දීල තියනව කුඩා කාලේ ඉඳම්ම. අන්න වැදගත් දෙමව්පියන්ගෙ වැදගත් දරුවො.. Imported parents , Imported children…:)

      උඹටත් පැතුම්තුමා කියල කියනවනං ආසයි ආසයි වගේ නේද? ඉඳහංකො ආය මොකටද නෝක්කාඩුවක්..අතිං පයිං යනවය?.....මම එහෙම කියන්නං මීට පස්සෙ...:)

      Delete
    4. මගේ නමේ තුමා කෑල්ල කොහොමත් තියෙනවා පැ+තුමා හෙහ් හෙහ්

      Delete
  10. /ගොලෑ පුවක් හොරකං කරන එවුංට තමයි ගොලෑ හොරු කියන්නෙ. /
    අපේ ඉස්කෝලෙ එකෙක් හිටිය ඌ ඕනෙම එකෙක්ව බයිට් එකට ගන්නව. දවසක් මූ හවස කැඩෙට් ප්‍රැක්ටිස් යන්න කෝච්චියට නැගල ෆුට් බෝඩ් එකේ ඉදං කෝච්චියෙන් බැහැල යන පොඩි එකෙක් ගෙ කැප් එක ගලව ගත්ත. පොඩි එකා මූව හොදට දන්න එකෙක් ඌ හිමිහිට අද්දල යන කෝච්චිය පස්සෙ දුවනව මෙහෙම කිය කියා
    " ඒයි හර්ෂයා මඩ පුවක් හොරා , අපේ ගෙදර මඩ පුවක් හැලිය උස්සපු හොරා " " මඩ පු......වාආආඅක් හොරා "
    කෝච්චියේ උන් මූ දිහා බලන් හිටියෙ ඇත්තම ගමේ හොරෙක් දිහා බලන විදිහට.

    අපේ ප්‍රසා අද සතුටට ඕල්ඩ් බාගයක් බොයි, කොස් කපන ගෑල්ලමය ගැන සාංකාවෙන්නෙ හිටියෙ.
    රවි අයියට බැරි උනාට අපේ ඔෆීසියෙ ඉන්නව කොල්ලෙක් ඌට 20 දෙනෙක් එක එක ජාති ගේන්න කිවුවත් මතකින් ඔක්කොම ගෙනත් ගනනුත් හරියට බේරනව.
    ආ... මේ ගමන්ම තව කතාවක් තියනව, ඉස්සර මම හිටපු ඔෆීසියෙ අපි දෙන්නෙක් ඔෆීසියේම උඩ තට්ටුවේ බාගයක් ගහල යන දවස් තිබුන, බඩු ගේන්නෙ සිකියුරිටි දෙන්නගෙන් එකෙක්. දවසක් අලුත් එකෙක් හිටිය මූට OIC කිවුව සංස්ථා ඕල්ඩ් බාගයක් අරං වරෙන් කියල අඩුවැඩිය ලග කඩෙන් ගත්ත. පැයක් විතර බලං ඉද්දි මූ එනව පරඩැල වගේ.
    OIC " කොහෙද යකෝ ගියේ , බාර් එකට 100 පාරක් යන වෙලාව "
    " අනේ OIC මහත්තය ස්ටේඩියම් එක ගාවට පයින් ගියේ , එතන තියන එක ඉන්දියන්ලු, මම ආපහු පෑලියගොඩට ගිහින් සංස්ථා ෂෙඩ් එකට ගියා " කියල ඉන්ජින් ඔයිල් ලීටර් බාගයක් දුන්න.
    මූට සංස්ථා ඕල්ඩ් කියන එක ඇහිල තියෙන්නෙ ඔයිල් වගේ.

    ReplyDelete
    Replies
    1. //අපේ ප්‍රසා අද සතුටට ඕල්ඩ් බාගයක් බොයි//
      ආයි මොනවද බ්‍රෑන්ඩ් එක ගල් උනාට අද මේ වෙනුවෙන්ම ඕල්ඩ් බාගයක් ගහනව.

      Delete
    2. ///රවි අයියට බැරි උනාට අපේ ඔෆීසියෙ ඉන්නව කොල්ලෙක් ඌට 20 දෙනෙක් එක එක ජාති ගේන්න කිවුවත් මතකින් ඔක්කොම ගෙනත් ගනනුත් හරියට බේරනව.///

      ඔන්න ඔය මනුස්පයව අපේ අෆිසියේ රස්සාවට එවපන්කෝ. අපේ දැන් ඉන්න මළ යක්කු දෙන්නට මේ කියන එක මේ මතක නැහැ.

      Delete
    3. //ඔන්න ඔය මනුස්පයව අපේ අෆිසියේ රස්සාවට එවපන්කෝ. අපේ දැන් ඉන්න මළ යක්කු දෙන්නට මේ කියන එක මේ මතක නැහැ.//
      මේක වෙන තැනක රස්සාවට යන්න හැදුව, මම ලබන මාසෙ මූව ස්තිර කරල ජොබ් එක දෙනව. අද බුවා බයිසිකලෙන් වැටිල ටිකක් තුවාලයි ඒත් බේත් දාගෙන ඇවිත් වැඩ.
      මූව දීල බෑ ලොක්ක , මම සතියට උදේට කන ශෙඩූල් එක , මගෙ බේත් ඉවර වෙන දවස් පවා මූට මීටර්. මම මලදාක අරං පල.

      Delete
    4. කම්මල,

      / මූට සංස්ථා ඕල්ඩ් කියන එක ඇහිල තියෙන්නෙ ඔයිල් වගේ. /

      හෙහ් ....ඔය වගෙ කං හරියට ඇහෙන්නෙ නැති නර්ස් නෝන කෙනෙක් ගැන මරු කතාවක් තියෙනව..උඹ අහල තියද?

      දවසක් ලෙඩෙක්ව ඔපරේෂන් එකකට ලෑස්ති කරනව. අර කං හරියට ඇහෙන්නෙ නැති නර්ස් ඔපරේෂන් එකට ගන්න පිහි එහෙම ලෑස්ති කරනව. ඔපරේෂන් එක කරන දොස්තර මහත්තය ඇවිල්ල ටිකක් වෙලා බලා ඉඳල අර හරියකට කණ ඇහෙන්නෙ නැති නර්ස්ට මෙහෙම කිව්ව ( ඒ ලෙඩා කණ්ණාඩි කුට්ටමත් තාම දාගෙන ඉඳල තියෙන්නෙ. ) " Nurse please remove patient's Spectacles"

      Delete
    5. /" Nurse please remove patient's Spectacles" /
      ඔහොම අකර තැබ්බයක් වෙච්චි බ්ලොග් කාරයෙක් හිටිය දැන් වැඩිය පේන්ඩ එන්නෙත් නෑ.

      Delete
    6. @ ප්‍රසා, ගහපං සංස්ථා ඕල්ඩ්... :-)
      @ රවි, so the nurse took the knife and removed his testicles මයෙ හිතේ.

      Delete
    7. //@ රවි, so the nurse took the knife and removed his testicles මයෙ හිතේ.//
      @ ඩ්‍රැකී , මයෙ හිතේ නෙමෙයි බං , එහෙම තමයි අර,මං කියන බ්ලොග් කාරයටත් උනේ.

      Delete
    8. කම්මල සහ ඩ්‍රැකී,

      A male patient is lying in bed in the hospital, wearing an oxygen mask over his mouth and nose. A young student nurse appears and gives him a partial sponge bath.

      "Nurse," he mumbles from behind the mask, "are my testicles black?"

      Embarrassed, the young nurse replies, "I don't know, Sir. I'm only here to wash your upper body and feet."

      He struggles to ask again, "Nurse, please check for me. Are my testicles black?"

      Concerned that he might elevate his blood pressure and heart rate from worrying about his testicles, she overcomes her embarrassment and pulls back the covers. She raises his gown, holds his manhood in one hand and his testicles gently in the other.

      She looks very closely and says, "There's nothing wrong with them, Sir. They look fine."

      The man slowly pulls off his oxygen mask, smiles at her, and says very slowly, "Thank you very much. That was wonderful. Now listen very, very closely: Are - my - test - results -back?

      Delete
    9. මේක හරියට අම්බිකා ගීතයෙන් ගීතය වගේ නෙ. ටැංකිව් ඈ උදේම ලේ පිරිසිදු කොළාට...

      Delete
    10. අම්මප කියහං රවි අයියෙ නර්ස් නෝනල ගැන කොහොමෙයි මෙච්චර කතා ගොඩක් දන්නෙ.

      Delete
    11. Dracky,

      You are welcome...:)

      Delete
    12. කම්මල,

      අපෙ අම්මත් නර්ස් කෙනෙක්නෙ බං....:)

      Delete
  11. ඉතිං අයියෙ, ඔන්න අදත් හොඳයි. හොඳටම හොඳයි. ජන්තු ගැනයි, නර්ස් නෝනලා ගැනයි කියලා කියන්න ආපු ටිකත් කොහොමහරි කියලා තියෙනවනේ. වෙරි ගුඩ්. ජන්තුගෙ කතාවයි හිරෝෂිමා නාගසාකි කතාවයි කියෙව්වෙ කට අතෙං වහගෙන, හිනාව කොයි වෙලේ බකස් ගාලා පනියිද කියලා ෂුවර් නැතුව. අපරාදෙ, අකඩවාරිය ගැන තව මොනවා හරි ලියලා ඇති කියලා හිතුවෙ. පහුගිය ටිකේ ආසාවෙන් බලපු නාට්‍යයක්.

    අර නීලකාසයො ටික ඔහෙ හිටපුදෙං. අයියා මේක ලියන්ඩකෝ ඒ උන්දැලා ගැන හිතන්නෙ නැතුව. හොඳද? :)

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      / කියෙව්වෙ කට අතෙං වහගෙන, හිනාව කොයි වෙලේ බකස් ගාලා පනියිද කියලා ෂුවර් නැතුව./

      හෙහ්..එහෙම කොයිවෙලෙත් හිනාවෙන්ට යන්ට එපා බොල..ටිකක් ගාම්බීර විදිහට ඉඳහං විට්ටෝරියා මහෙසිකාවුන්නාන්සෙ වාගෙ...:)

      / අපරාදෙ, අකඩවාරිය ගැන තව මොනවා හරි ලියලා ඇති කියලා හිතුවෙ. පහුගිය ටිකේ ආසාවෙන් බලපු නාට්‍යයක්. /

      කියල වැඩක් නෑ...නියම කතාව නේද? ඔය අංගම් පොර කියන්නෙ මාත් බොහොම ආස විෂයයක්. අපෙ ගෙවල් පහුකරල තව ටිකක් කන්ද උඩට ගියහම එළමල්ගොල්ල කියන හරියෙ තමයි ඔය නරේන්ද්‍රසිංහ රජ්ජුරුවංගෙ කාලෙ හිටපු සුප්‍රසිද්ධ අංගම් හටං පරම්පරා දෙකෙන් එකක් වන සුදලිය පරම්පරාවෙ හටංකාරයො ඉඳල තියෙන්නෙ. එයාලගෙ විරුද්ධකාරයො අනික් පරම්පරාව ඇවිල්ල මරු වල්ලිය.ඒ ගමේ එක්කෙනෙක් අපෙ උන්දැගෙ ස්ටාෆ් එකේ හිටිය. මිනිහගෙ පෙනුමත් මහ ගාම්බීරයි. හොඳ උස මහත නැඩයා. ඒ විස්තර අහගන්ට මම කීප දවසක් උත්සාහ කලාට මිනිහ මොන මොනව හරි කියල මඟ ඇරිය. දැනට නම් ඒ සාසතරේ අබාවයට ගිහිල්ල කියලයි කියන්නෙ.

      / අර නීලකාසයො ටික ඔහෙ හිටපුදෙං. අයියා මේක ලියන්ඩකෝ ඒ උන්දැලා ගැන හිතන්නෙ නැතුව. හොඳද? :) /

      හරි..හරි..හරි...උං ඔහෙ ඉඳපුදෙං...හෙහ්,හෙහ්…Let them be….නැද්ද?

      Delete
    2. ඔය නාට්‍යයෙ හිටියා කොරතොට අංගම් පරපුරේ දැනට ඉන්න මොහන්දිරම්, අජන්ත මහන්තාරච්චි. ඔය අයියා දාලා තියෙන පින්තූරේ ඉන්නෙත් එයා තමයි. ඒ නිළියත් හොඳට පුහුණු වෙලා තියෙනවා, එහෙම නැත්තම් එයා ඇත්තටම ඒ ශිල්පය හදාරනවා වෙන්න ඕනෙ. හරිම ලස්සනට කළා ඒ ගෑණු ළමයා ඒ චරිතෙ. අපේ සිත්තරාගෙ යාළුවෙකුත් ඉන්නවා අංගම් ශිල්පය හදාරන. බී. එම්. අයි. චී. එච්. එකේදි එහෙම දින ගාණක් පැවැත්වෙන වෙළඳ ප්‍රදර්ශන අතරෙදි ඒගොල්ලන්ගෙ සංදර්ශන එහෙම තියෙනවා.

      Delete
    3. මම ඉස්සර වෙලාම ඔය හටන්කලාව ගැන දැනගත්තෙ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයගෙ දඬුබස්නාමානයෙන්. ඉන්පස්සෙ ඔය සුදලිය, මරුවල්ලිය කතා දැක්කෙ ඔහුගෙ අකාල සන්ධ්‍යා - කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා ටෙලියෙන්. ඒව නම් මම ආසාවෙන් බලපු කතා. ඒත් මේ ඔය කියන අකඩවාරිය ගැන මම ඇහුවෙත් මේ ලිපියෙන්මයි. ටීවී බැලිල්ල නවත්වල හුඟකාලයක් වෙන නිසා ටීවී එකේ යන කතන්දර ගැන ඒ හැටි දැනුමක් නෑ. කතාව හොඳනම් යූබටේවත් හොයල බලන්න ඕන තියෙද කියල.

      Delete
    4. සිත්තමී,

      / ඔය නාට්‍යයෙ හිටියා කොරතොට අංගම් පරපුරේ දැනට ඉන්න මොහන්දිරම්, අජන්ත මහන්තාරච්චි. ඔය අයියා දාලා තියෙන පින්තූරේ ඉන්නෙත් එයා තමයි. /

      කොරතොට සහ රිටිගල කියල දැනට ලංකාවෙ ඔය අංගම් පොර සටන් ශාස්ත්‍රය පවත්වාගෙන යන ගුරුකුල දෙකක් තියනව කියල මම දන්නව. කොරතොට පරම්පරාවෙ අයට වෙබ් අඩවියකුත් තියනව නේද? ඔයාම නේද එක පාරක් මට මොකටහරි ඕන වෙලා ඒකෙ ඇඩ්‍රස් එක දුන්නෙ? මට ඒ වගෙ මතකයි.

      / හරිම ලස්සනට කළා ඒ ගෑණු ළමයා ඒ චරිතෙ. /

      මොනවද බොල ඒ ළමය ඒ ළමය කියන්නෙ? ඒ ඇවිල්ල තාරුකා වන්නිආරච්චි....:)

      / අපේ සිත්තරාගෙ යාළුවෙකුත් ඉන්නවා අංගම් ශිල්පය හදාරන. /

      ජයන්ත චන්ද්‍රසිරිගෙ අකාල සන්ධ්‍යා නොහොත් කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා ටෙලි චිත්‍රපටයත් මම බොහොම ආසාවෙන් බලපු එකක්. අංගම් කලාවට අමතරව ඒකෙ කාලය හරහා අතීතයට අනාගතයට ගමන් කීරිම ගැනත් කියවෙනව. ජැක්සන් සහ සබීතා හිටියෙ ප්‍රධාන චරිත. ජයන්තගෙම දඬුබස්නාමානයත් එහෙම එකක්. මේදවස්වල හිරු ටී.වී. එකේ යන දේවී ත් අංගම් ශාස්ත්‍රය ගැන කියවෙන කතාවක්.

      Delete
  12. අප්පේ යන යන තැන ගෑණු

    ReplyDelete
    Replies
    1. අටම්,

      උං ඔහෙ ඉන්නව බං...උංට මගෙං කරදරේකුත් නෑ..මට උංගෙං කරදරේකුත් නෑ...:)

      Delete
  13. ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්මයාගෙ පොත්වල තියෙන වෙනස් භාෂා ශෛලිය නිසා මම ඒ පොත්වලට ගොඩක් කැමතියි. අපේ අම්මා ළඟ තිබුණු පරණ නුවණ සඟරා වගයකත් එයාගෙ කෙටිකතා තිබුනා. මම හිතන්නෙ ඒ සඟරාවෙ සංස්කාරකත් එයාමයි.

    //දෙවෙනි කාරණේ මේකයි. අර හිස් බෝතලේ පයිං තල්ලු කරල හැංගුවට වැඩක් නෑ. මම කොස් කපන්ට මෙතෙන්ට ආපු ගමන්ම ඒක දැක්කා//

    හෙහ් ... පුදනකොටම කාපි යකා. දැන් මොකේදැයි දන් වළඳන්නෙ.
    කොස් කප කප හිටපු කෙල්ල ඔය හීන්සීරුවෙ කරපු කකුලෙන් ඇනිල්ල දැක්කය කියන්නෙ එයා ඊශ්වරයගෙ ජාතියෙ බවලතියක්. අතාරින්න නාකයි. එහෙම එකක් කරේ එල්ලගෙන පාරක යද්දි උනත් ආරස්සාවයි. හැබැයි ගෙදර වසල හමාරයි. :)

    මේ ඒක නෙවි, මට පොඩි මළඉලව් ප්‍රශ්නයක් තියෙනව. දැන් ඔය දරගොඩේ යන්තමට පේන බෝතලේ කකුලෙන් ඇනල ඇතුළට එබුවෙ - නැත්නම් හැංඟුවෙ මොකක් හරි වරදකාරී හැඟීමක් හින්දද. එක්කො ඒක එයා දැකීම නිකන් ලැජ්ඡාවට කාරණයක් ද? අනික ඕක කලින්ම දැකල ගෑනිට සැකයක් තිබ්බනම් පයින් ඇනිල්ලෙන් උනේ ඒක තහවුරු උන එක. හා .. නැත්ද? :)

    ReplyDelete
    Replies
    1. DDT,

      / දැන් ඔය දරගොඩේ යන්තමට පේන බෝතලේ කකුලෙන් ඇනල ඇතුළට එබුවෙ - නැත්නම් හැංඟුවෙ මොකක් හරි වරදකාරී හැඟීමක් හින්දද. එක්කො ඒක එයා දැකීම නිකන් ලැජ්ඡාවට කාරණයක් ද? /

      ඇත්තටම වරදකාරී හැඟීමකින් තමයි...ඔය වැඩ කොච්චර ආසාවෙන් කලත් බං දිර්ඝ කාලීනව හොඳක් වෙන වැඩ නෙවෙයිනෙ. තමන්ට හොඳත් නෑ. අනුන්ට හොඳත් නෑ. ඒ නිසා පොඩි ගිල්ටි ෆීලිං එකක් තියනවාම තමයි.අනික ඉතිං කෙල්ලො ඉස්සරහ සියලු දුසිරිතෙන් තොර සත්ගුණවත් චරිතෙ රඟපාන්ට එපාය ...හෙහ්,හෙහ්,

      / අනික ඕක කලින්ම දැකල ගෑනිට සැකයක් තිබ්බනම් පයින් ඇනිල්ලෙන් උනේ ඒක තහවුරු උන එක. හා .. නැත්ද? :) /

      ඔව්,..ඔව්..ඔව්..ඒකම තමයි වුනේ...මගෙ පයිං ඇනල බෝතලේ හංගන්ට හදපු එකෙං වුනේ අත්තටම වැඩේ අතේ කෝට් වෙච්චි එක...:)

      Delete
  14. ///( මතකද මන්ද.....සුජිත කියන්නෙ අජිතයගෙ අක්ක . සුජිත අක්කගෙ මඟුල් ගෙදරට උදව් වෙන්ට කියල මම දවස් තුන හතරක් කලින් අජිතයලෙගෙ ගෙදර ඇවිල්ලයි මේ ඉන්නෙ )///
    මගේ මතකේ තියෙන්නෙම රවී අයියා ගිහින් හිටියේ දානේ ගෙදරක වගේ.
    ආපහු පොඩ්ඩක් රිවස් කරලා බලන්න වෙනවා ඒක කොන්ෆෝම් කරගන්න...

    ///මම දැනගෙන ඉන්නෙ කියල එයත් දැනගෙන හිටිය. එතකොට එයා දැනගෙන ඉන්නෙ කියල මම දන්නවයි ඉන්නෙ කියලත් එයා දැනගෙන හිටිය. මම දැනගෙන ඉන්නෙ කියල එයා දන්නවයි කියල මමත් දැනගෙන හිටිය. යනාදී වශයෙන් ........///
    මෙයාදී වශයෙන් මගෙත් තියෙන කතන්දර බ්ලොග් එකේ ලියන්න විදිහක් නැහැනේ අපේ හාමිනේ නිසා. නැත්නම් බොහොම අපුරු විස්කුර්ණ ආදර කතා කීපයක් ලියන්න තිබ්බා.

    දැන් නම් කෙලින්ම මෙගා නාට්‍ය ශෛලය අනුගමනය කරනවා වගේ... ;)
    පඳුරු තැලීල්ල හරියට ටීවී එකේ යන ඇඩ් වගේ, කලින් දවසේ කතාවේ පොඩි කොටසකුත් දානවා කතාව මතක් කරන්න වගේ.
    ඒ අල්ල පනල්ලේ පරණ සිද්ධි කළුසුදු වර්ණයෙන් පෙන්නනවා වගේ වරහන් ඇතුලේ දාල තියෙනවා.
    (විහිළුවට හොඳේ...)

    ReplyDelete
    Replies
    1. //මගේ මතකේ තියෙන්නෙම රවී අයියා ගිහින් හිටියේ දානේ ගෙදරක වගේ.//
      (උපුටා ගැනීම)
      සුජිතගෙ වෙඩිං එකට අපි අජිතයගෙ කිට්ටුම හිතවත් තුන් දෙනෙක් ගියේ දවස් හතරකට වගෙ කලිං. ගිහිල්ල ඉතිං ඔය තියන පොඩිපොඩි වැඩ වලට උදව් වෙමින්ද, ඉන්න අංගනාවියන්ට අරක මේක කියමින්ද, රෑවෙනකොට හෙමිහිට ස්වල්ප වශයෙන් මධු පානයෙහි යෙදෙමින්ද අපි කාලෙ ගත කලා.




      " හරි හරි මම යන්නංකො. මනමාලිගෙ ඉල්ලීමක් අහක දාන එකත් හරි නෑනෙ ඉතිං...හෙහ්,හෙහ්, " එහෙම කියල මම ඉඳගෙන හිටපු තැනින් නැඟිටල අත පයේ හිරි ඇර ගත්ත.

      අසෝක නංගි කෙට්ටුයි උසයි. කොයි වෙලෙත් හිනා වෙච්චි ගමං. ඒ වගේමයි කතාව. කියවන එකේ ඉවරයක් නෑ.මීට අවුරුද්දකට වගෙ ඉස්සර අජිතයගෙ ගෙදර ආපු පාර අපි ගියා අසෝකලගෙ ගෙදර.

      " මචං වරෙං අපෙ ලොකු මාමලගෙ ගෙදර ගිහිල්ල එන්ට. ලබන මාසෙ මාළිගාවට අපෙ මුර දානෙ. ඒ ගැන කතා කරගන්ඩ එහෙ ගිහිල්ල එන්නෙයි කියල අම්ම කියනව. "
      (උපුටා ගැනීම අවසන්)

      ඒ දානෙ ගෙදර කතාව කලින් කොටහිං ඉවර කළා.
      (ඔන්න රවි අයියෙ මම බොලාව බේරල දුන්න)

      Delete
    2. ලොක්කා,

      / ආපහු පොඩ්ඩක් රිවස් කරලා බලන්න වෙනවා ඒක කොන්ෆෝම් කරගන්න…/

      නෑ ලොක්කා..මේ දැන් කියන්නෙ අජිතයගෙ අක්කගෙ මඟුල් ගෙදර ගැන තමයි. ඒ ගැන කියද්දි මම කිව්ව මීට අවුරුද්දකට වගෙ ඉස්සර අජිතයගෙ මාමලගෙ ගෙදර ගිය වෙලාවකයි අසෝකා මුලිම්ම මට මුණ ගැහුනෙ කියල. ඒකත් දානෙ ගෙදරක්මත් නෙවෙයි හරියටම කිව්වොත් මාළිගාවට මුරදානයක් දෙන එක ගැන වග විස්තර කතාකරගන්ට ඒ විඩේ ඒ ගියේ...

      ප්‍රසන්නය උපුටල දාල තියන විස්තරේ හරි. ඕකව මම පත් කරගන්ට යන්නෙ මගෙ Honarary Research Assistant නැත්නම් ස්වේච්ඡා පර්යේෂණ සහකාර හැටියට. ඕකා නියමයි ඒ වැඩේට. මම දැකල තියනව තව හුඟක් බ්ලොග් වල ඔය වගෙ පරණ ලියපුව ගැන මතභේද මතුවෙලා ලියාපු ගොබිලත් අන්ද මන්ද වෙලා ඉන්නකොට ප්‍රසන්නය ඉදිරිපත් වෙලා තමයි පරණ ලියපුව හොයල ප්‍රශ්නෙ සාමකාමීව විසඳල දෙන්නෙ....හෙහ්,හෙහ්,

      / මෙයාදී වශයෙන් මගෙත් තියෙන කතන්දර බ්ලොග් එකේ ලියන්න විදිහක් නැහැනේ අපේ හාමිනේ නිසා. නැත්නම් බොහොම අපුරු විස්කුර්ණ ආදර කතා කීපයක් ලියන්න තිබ්බා. /

      සික් ඒකනෙ බං බොලාමනෙ වැරැද්ද කරගෙන තියෙන්නෙ. එතුමීලව පුරුදු කරගන්ට එපල්ල බොලොග් බලන්ට...:)

      Delete
    3. Prasanna,

      Thanks Malli for clarifying the matter...:)

      Delete
    4. දෙමළ ත යන්නට පඩි සැලරියක් එහෙම දීලා අර කියාපු තනතුරට පත් කර ගන්නවනම් අපිටත් කීයක් හරි ගෙවන විදිහක් හදන්න ඕනේ කමෙන්ට් කොටනවට...

      ///සික් ඒකනෙ බං බොලාමනෙ වැරැද්ද කරගෙන තියෙන්නෙ. එතුමීලව පුරුදු කරගන්ට එපල්ල බොලොග් බලන්ට...:)///

      ගිය නුවණ ඇතුන් ලවා කොස් කොටන්නවත් බැහැ කියල කවුද මන්ද කිව්වයි කියන්නේ අපි වගේ එවුන් දිහා බලල වෙන්න ඇති... ;)

      Delete
  15. හරි කියපු වචනෙ ඉස්ට කළාට උඹට බොහොම ඉස්තුතියි.එකක් කියන්නද මහ පතරංගයක් මෙතෙක් කතාව දාන්නට අවශ්‍ය නැත.එතකොට කතාව ලියන්න තියෙන ඉඩවරය අඩු වෙනවා උඹට තේරුණාද.හදිසියෙ ලිව්වෙ ෆ්ලයිට් එකට දුවන ගමන්.

    ReplyDelete
    Replies
    1. //හදිසියෙ ලිව්වෙ ෆ්ලයිට් එකට දුවන ගමන්.//
      අඩේ මෙහේ බස් වල පුට් බෝඩ් එකේ එල්ලෙනව වගේ ඔහේ ෆ්ලයිට් වලත් එහෙම එල්ලෙන්න පුලවන්ද?

      Delete
    2. හදිස්සියේ දිවුවට කමක් නෑ, නිවාඩු පාඩුව කටුනායකින් බැහැල මතක ඇතුව JD බෝතල් ටික ගනින්, නැත්තං අපිට 18 වෙනිදට බොන්න වෙන්නෙ පුරුදු විදිහට අපේ බ්‍රෑන්ඩ් එකමයි.

      Delete
    3. Helapa,

      / එකක් කියන්නද මහ පතරංගයක් මෙතෙක් කතාව දාන්නට අවශ්‍ය නැත.එතකොට කතාව ලියන්න තියෙන ඉඩවරය අඩු වෙනවා උඹට තේරුණාද./

      හැලප, නෑ බං එහෙම ටිකක් දිහට මෙතෙක් කතාව දැම්මෙ මේකෙ මුල කියල දැං මාස දහයක් විතර වෙන හින්ද. අර තිසර දාල තියෙන්නෙ කලින් කොටසෙ ලින්ක් එක..හෙහ්,හෙහ්,

      / හදිසියෙ ලිව්වෙ ෆ්ලයිට් එකට දුවන ගමන්. /

      හරි හරි උත්තර ලියන්ට බැරිය පස්සෙ..දුවල ගිහිල්ල එල්ලිය!...දුවල ගිහිල්ල එල්ලිය!

      Delete
    4. කම්මල,

      / නැත්තං අපිට 18 වෙනිදට බොන්න වෙන්නෙ පුරුදු විදිහට අපේ බ්‍රෑන්ඩ් එකමයි. /

      18 වෙනිද බොලා කට්ටිය යනව නේද හපුතලේද කොහෙද?.....:)

      Delete
    5. ප්‍රසන්න,

      / අඩේ මෙහේ බස් වල පුට් බෝඩ් එකේ එල්ලෙනව වගේ ඔහේ ෆ්ලයිට් වලත් එහෙම එල්ලෙන්න පුලවන්ද? /

      ඔව් බං ඔය මිහින් එයාර් එකේ එහෙම සෙනඟ නෑ. එයා පෝට් එක වටේ දෙපාරක් වගෙ කරකවනව ලෝඩ් කරන්ඩ..ඩුබායි, අබුඩාබි , මාලේ..මත්තල..මත්තල මතලේයි....කටුනායක..කටුනායක...කටුනායකේයි....ආ..එන්ට එන්ට එන්ට...

      Delete
    6. //18 වෙනිද බොලා කට්ටිය යනව නේද හපුතලේද කොහෙද?.....:)//
      වේයන්ගොඩ යන්නෙ , හැලපෙ ගේන චීස් , බේකන් කාල විස්කි ටිකක් බීල හැලපෙලගෙ වත්තෙ තියන මොනා හරි ටිකක් ඔතාගෙන එන්න, ආ... ඒ අස්සෙ වෙරි පාට් එකකින් ඉවානයට දෙකක් අනින්නත් ඉන්නෙ.

      Delete
  16. අසෝකට මල පනින එක පුදුමයක්යැ උඹ එතෙන්ට යන්න ගත්ත කාලේ බැලුවම.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      හෙහ්..ඒකත් ඇත්ත තමයි නේද? මාස දහයක් කොස් කපනවයි කියන එක සෙල්ලමක්ය?

      Delete
  17. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ කිව්වලු

    ReplyDelete
    Replies
    1. සයුරි,

      හෙහ්..හෙහ්...කියලා වැඩක් නෑ බං...හතර විලි ලැජ්ජාවෙ පස්වෙනි එක...:)

      Delete
  18. ඔය ඩබ්.ඒ. සිල්වා මහත්තය ලියපු කතාවෙත් මුල් එකක් ඉංග්‍රීසි කෙටිකතා සාහිත්‍යයේ තියෙනවා රවී අයියෙ. මට මතකයි ඉස්සර ගු.වි. රඟමඩලෙ ගියා. කෙටිකතාවක වචනෙන් වචනෙ කියවෙන දේ හඬ විතරක් උපයෝගීකරගෙන ඉදිරිපත්කරලා මවල පෙන්නන හැකියාවනං ආයි කියල වැඩක් නෑ. ප්‍රේමසර ඈපාසිංහගේ විස්තර විචාරය වගේ.

    මේ ලිපියේ අනික් ටිකනං ඉතිං සිනා සාගරේ.........

    ReplyDelete
    Replies
    1. මධු මාධවී,

      / ඔය ඩබ්.ඒ. සිල්වා මහත්තය ලියපු කතාවෙත් මුල් එකක් ඉංග්‍රීසි කෙටිකතා සාහිත්‍යයේ තියෙනවා රවී අයියෙ. /

      ඔව් බං අර ඇනෝ කෙනෙක් මුලදිම කියල තියෙන්නෙ. ඒකෙ ඔරිජිනල් කතාව ඕ.හෙන්රි කියන සුප්‍රසිද්ධ අමරිකානු කෙටිකතා රචකයගෙ කියල.

      / මට මතකයි ඉස්සර ගු.වි. රඟමඩලෙ ගියා. කෙටිකතාවක වචනෙන් වචනෙ කියවෙන දේ හඬ විතරක් උපයෝගීකරගෙන ඉදිරිපත්කරලා මවල පෙන්නන හැකියාවනං ආයි කියල වැඩක් නෑ. /

      හෙහ්..ගුවන් විදුලි රඟ මඬල නම් කියල වැඩක් නෑ නේද? බ්‍රහස්පතින්දා රෑ 8.30 ට ප්‍රචාරය වුනේ මට මතක විදිහට. සුගතපාල ද සිල්වා මහත්තයගෙ කතා තමයි මරු.....:)

      Delete
    2. ඒක දැක්කෙ පස්සෙ. ඇයි දන්නවද? රවී අයියගෙ මාගල දිග ඇරලා ඉවර වෙනකොට තව කොමෙන්ට්ස් බලන්නත් වෙලාවක් ඉතුරු වෙනවයැ.
      එන්ඩ් කී එක ඔබල අඩියටම ගියා. දැම්මා කොමෙන්ට් එකක්. කොල්ල මාරු.

      Delete
    3. සුගතපාල සිල්වාගේ තව කතාවක් ගියා රේඩියෝ එකේ. ඒකෙ කියනවා, "සාතන් ගේ පුත්තු - සුගතපාල ද සිල්වා ගේ වැඩක්" කියලා. සුගතපාල ද සිල්වා මැරිලා අපායෙ ගියාට පස්සෙ තමා වැඩේ පත්තු උනේ උන්දැට. පට්ට පනිශ්මන්ට් සාතන්ගෙන්... :-)

      Delete
    4. ඩ්‍රැකී,

      සුගතෙගෙ කර අඹන්ට ඇති සාතන් ෂුවර් එකටම....:)

      Delete
  19. අසෝකා කියපු දෙවෙනි කතාවෙන් පස්සෙ රවි අයියගෙ මූණ රතුවෙලා විලිලැජ්ජාවෙ වැලලෙන්ඩ ගිය ටික කියල නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. බස්සි,

      ඊලඟ කොටසෙ..ඊලඟ කොටසෙ ඒ ටික ඊළඟ කොටසෙ.....:)

      Delete
  20. එහෙනම් කොහොමින් හරි කොස් කපන්ට පටන් ගත්තා.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ඒකනෙ අන්තිමට කොහොමහරි කොස් කපන්ට පටන් ගත්ත ..නැද්ද...:)

      Delete
  21. මං ගෙදරදි මගෙ ආදර බර ඩ්‍රැකියානිට මේ කතාව කියද්දි මතක් උනේ. ඩබ්ල්යු ඒ සිල්වාගේ කතාව පටං ගත්තෙ ඔහෙම නෙවෙයි නේද? ගමේ කෂ්ඨිය පංසල ගාව තොරණක් ගහද්දි, ඒ ළඟිං ඔය ගොලෑ හොරා යනවා. එතන හිටිය හාමුදුරුවො තමන්ගෙ 'පුරිස දම්ම සාරථී' ගුණය පෙන්නන්නත් එක්ක අරූට (අරූ කිව්වෙ ශ්‍රීමත් අරූ නෙමෙයි. අර ගොළෑ හොරා) කතා කරනවා, "මේ හොඳ දවසෙ මේ වගේ දේකටවත් උදව් කරලා හොඳ මිනිහෙක් වෙයං" කියලා. ඒකට අරූ (අරූ කිව්වෙ ශ්‍රීමත් අරූ නෙමෙයි. අර ගොළෑ හොරා) දෙන උත්තරේ තමා ඔය කතාව.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      මල්ලි හරි මල්ලි...මටත් උඹ කිව්වම මතක් වුනා.....එහෙම තමයි ඔය කතාව පටන් ගන්නෙ..අන්තිමට ඉවර වෙන්නෙ මෙහෙම වගෙ නේද?

      " ජන්තුගේ කතාව ඇසූ හාමුදුරුවන්ගේ මුහුණ ඇඹුල්වූ නමුදු එහි රැස්ව සිටි පිරිසටනම් ඒ බණ කථාවකටද වඩා රසවත් වූ බව මොනවට පැහැදිලි විය. "

      Delete
  22. අප්පා හිතුවෙම නැති දෙයක්නේ. මොනවා වුනත් නර්ස් නංගිලයි රවී අය්යයි අතර පතාගෙන ආ මොකක්ද එකක් නම් තියෙනව. අඩු ගාණේ කඩේ යන්න හරි.
    හිරෝෂිමා නාගසාකි දෙකම පුපුරලා බේරුණා ඇති.

    ReplyDelete
    Replies
    1. බින්දි,

      හෙහ්..හිතුවෙම නෑ නේද?...

      අම්මත් නර්ස් කෙනෙක් හින්ද වෙන්න ඇති එහෙම වෙන්නෙ...:)

      Delete
  23. මේ රවියෝ බොලා කොහොමද ඔය අසූ හාරදාහක් කෙල්ලන්ගේ නම් මතක තියාගෙන ඉන්නේ?

    අනික කඩේ යනවා කියලා කොහොමත් කඩේ යනවද අප්පා ඔන්න හාමිනේගේ බඩු ලිස්ට් එකට නම් කමක් නෑ.
    ( ඒ වුනාට අපිත් ඉතින් ඒ කාලේ රවියාගේ ගෙවල් ළඟ හිටියා නම් රවියාව කඩේ නොයවා තියෙයි නේ? ;)


    ආපහු කතාවට ආවම රවීට සම්මානයක් දෙන්නම වටිනවා මේ පරණ කතා ආපහු ට්‍රැක් එකට ගේනවට අපිට අමුතුවෙන් මතක් කරගන්න මහන්සි නොවී. කොයි ලොකේ ගියත් අන්තිමට කොහෙන් හරි ආත්ම ගාණකට පස්සේ හරි ට්‍රැක් එකේ නොව?
    අගෙයි අගෙයි සුපිරියි රවීයෝ.

    ReplyDelete
    Replies
    1. Rangi,

      / අනික කඩේ යනවා කියලා කොහොමත් කඩේ යනවද අප්පා ඔන්න හාමිනේගේ බඩු ලිස්ට් එකට නම් කමක් නෑ /

      නෑ..නෑ..එතුමීගෙ ලිස්ට් එකට බඩු ගේන්ට යද්දි තමයි ඔය වෙන වෙන ආතල් සෙට් වෙන්නෙ. හෙහ්, එක පාරක් බඩු ගෙනාපුව මාරුවෙලා වෙච්චි හෙයියම්මාරුව ආයෙ වෙලාවක කියන්නම්කො. " කඩේ යෑම වනාහී බොහෝ භාරදූර කාර්යයකි " කියල මම ලියන්ට ඉන්නෙ සීරීස් එකක්ම. …:)

      Delete
  24. සති දෙහෙකට පස්සේ අදයි මේ ටික කියව ගත්තේ ...

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      එච්චරටම බිසීය?...:)

      Delete
    2. සිරිලංකාවේ ටුවර් එකක් ගිහින් එන්න ගියානේ එකයි බුසි වුනේ

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...