Friday, July 24, 2015

335. විමලෙගෙ වාංපතුල් කතා - 34 - කම්බිලි කන්දේ මිනිරන් හෑරීම, දිරාගිය කිතුලේ කතාව, සරෝජිනීගේ ඉරණම සහ දෑවැද්දට පෙට්ටගමක්.

Google Images

අසෝකා බිම බලාගෙනම කොස් කපනව. මම බිත්තිය අයිනෙ තිබ්බ පරණ පෙට්ටගම උඩ වාඩිවුනා. " මොකෝ කතා නැත්තෙ? "

" නෑ මම මේ කල්පනා කලේ කාරණා දෙකෙන් ඉස්සෙල්ල කියන්නෙ මොකක්ද කියල. "

" කාරණා දෙකක් තියනවද? මම ඇහුවෙ නම් එකයි. මනමාලියො බොරු කියනවද කියල. "

" හරි එහෙනං ඒකට මම ඉස්සෙල්ල උත්තර දීල ඉන්නංකො. මනමාලියො කියල නෑ ගෑණු මිනිස්සු කවුරුත් බොරු කියනව. "

" එතකොට දෙවෙනි කාරණේ ? " 

අසෝකා ඔලුව උස්සල මගේ දිහා බලල යන්තමට හිනා වුනා. " දෙවෙනි කාරණේ මේකයි. අර හිස් බෝතලේ පයිං තල්ලු කරල හැංගුවට වැඩක් නෑ. මම කොස් කපන්ට මෙතෙන්ට ආපු ගමන්ම ඒක දැක්කා. "

" පිස්සුද ඕක මම බීපු එකක් නෙවෙයි…"

" මම දන්නව ..තනියම නම් නෙවෙයි වෙන්ට ඇති තමයි…..අපෙ අජිත් අයියත් එක්කල හවුලෙ ඊයෙ රෑ බොන්ට ඇති...."

" ඔය කිව්වෙ ඉතින්..ඔන්න කිව්ව..අපි දෙන්නගෙන් කවුරුවත් බිව්ව එකක් නෙවෙයි මේ.."

" එහෙනම්? "

" මේ ඔගෙගෙ මාමණ්ඩිය බිව්ව බෝතලයක්. …."

මම ඒ මාමණ්ඩිය කිව්වෙ අජිතයගෙ අප්පච්චිට....ඇත්තම කිව්වොත් ඒ මනුස්සය රහමෙර කටහරියෙ තියන්නෙ නෑ...හෙහ්...හෙහ්.......පුත්තු බොන්ට පුරුදුවෙන්ට අප්පච්චිල බොනවද නැද්ද කියන කාරණේ බලපානවද? දැන් අජිතය ගත්තොත් උගෙ අප්පච්චි රා, අරක්කු කටේ තියන්නෙ නෑ. ඒකටත් එක්ක අජිතය...අපෙ අප්පච්චිත් එහෙමයි..සමස්ථ ලංකා අමද්‍යප සංගමේ යාවජීව සාමාජික. 

මම හිතන්නෙ ඔතන මෙහෙම දේකුත් තියනව. හොඳට බොන ඒ වගේම බීල යකා නටන තාත්තෙක්ගෙ පුතෙක් ඒ විකාර සහ බහුරූ කෝලං දැකලම මත්පැන් එපා වෙලා ජීවිතේට කටේ නොතියනව වෙන්ට පුලුවන්. ඒ වගේම එහෙම තාත්තෙක්ගෙ පුතෙක් පොඩි කාලෙ ඉඳලම ඔය ඇඳන් අස්සෙ කබඩ් පිටිපස්සෙ තියන කොට ගහලම රහ වැටිල මත්පැනට පොඩ්ඩ පොඩ්ඩ පුරුදු වෙන්ටත් පුලුවන්. එනිසාවෙන් ඔය පියකුගේ මත්පැන් භාවිතය පුත්‍රයකු මත්පැන් භාවිතයට පොළඹවන්නේද ? කියන ප්‍රශ්නයට මට දෙන්න පුලුවන් සරලම පිළිතුර තමයි It Depends කියන එක. පියා මත්පැන් බිව්වත් නැතත් පුතා මත්ලෝලියකු වීමේ ප්‍රවණතාවයක් තියනවනම් ඒ මනුස්සය බොනව.එච්චරයි.

අසෝකගෙ ඇස් දෙක ලොකු වුනා. කොස් කැපිල්ල අතෑරල දාල කම්මුලේ අතකුත් තියාගත්ත. 

" ඇයි අනේ ඔහොම අහස පොලෝ නුහූලන බොරු කියන්නෙ... මාමා කට හරියෙ තියන්නෙ නෑ ඔය ජරාව…"

" එව්ව මං දන්නෙ නෑ. ඊයෙ මටම කියලයි ඔය බෝතලේ ගෙන්න ගත්තෙ. "

" අනේ අප්පේ බලන්ටකො මේ.. බොරු කියන හැටි..ඉන්ටකො මම මාමගෙං අහන්ට..මාමේ..මාමේ.."අසෝකා එතනම ඉඳල කෑගහන්ට ගත්ත. 

" ඒයි මේ මොකද ඔය කරන්ට හදන්නෙ?..කෑගහන්ට එපා මනුස්සයො…" මම ඉඳගෙන උන්නු පෙට්ටගමෙන් බිමට පැනල අසෝකා දිහාට අඩියක් දෙකක් තිබ්බ.

" ආ...ඒක තමයි නේද? මාමා එයි කියල බයකුත් තියනව.ඔච්චරම බයනං මොකටද ඔය අමූලික බොරු කියන්නෙ?..."

******************************************************

අපෙ ප්‍රියාම්බිකාස්ලගෙ ගෙදරදි වෙච්චි දෙයක් මේක. මයෙ හිතේ බැඳල අවුරුද්දකට වගෙ පස්සෙ තරම.

සති අන්තෙකට අපි දෙන්න එහෙ ගිය වෙලාවක් ඒ. එයාලගෙ කුස්සියෙ කට්ටියම එකතුවෙල දවල්ට උයනව. අපෙ උන්දැ... එයාගෙ අක්කල තුන්දෙනා... අම්ම ..ඔය ඔක්කොම ඉතිං ඉන්නව. අපෙ උන්දැනං මේ ලෝකෙ දෙයක් කරන්නෙ නෑ. ඔය කොළොම්බක් උඩට වෙලා රටේ නැති වල්පල් ඕපදූප කියව කියව ඉන්නව.මම ඉතිං ඔය ඕපාදූප කිවිල්ලට සම්පූර්ණයෙන්ම විරුද්ධ හින්ද ඔය වගෙ වෙලාවට කුස්සියෙං හෙල්ලෙන්නෙ නෑ. අනික ඔව්ව රහකරකර කියනකොට එවුන්දලගෙ කටවල් බලන්ට ඕන.වෙලාවකට කජුලෙලිහේ ඇඹරෙනව, ආය වෙලාවකට තොල් පියාන ඇඹුල්වෙනව.මම ඉතිං ඔය නානාප්‍රකාර විගඩං දිහාවෙ බලාඉඳල උත්ප්‍රේරක සපයනව දිවා ප්‍රවෘත්ති එසැණින් විකාශයට. 

" නෑ???.. "

" බොරු කියන්ට එපා ඒයි…"

" ෂිහ්...ඇත්තමද? "

ප්‍රස්තුත දවසෙ මාතෘකාව වෙලා තිබුනෙ එයාලගෙ වත්තෙ කෙළවරක තිබ්බ රූස්ස කිතුල් ගහ. ඒ වෙනකොට ඒ මහ ගහ සෑහෙන්න වයස්ගත වෙලා තිබ්බෙ.වත්තෙ කෙළවරක හින්ද ඇදගෙන වැටුනත් ගෙටනම් කිසිම හානියක් අපල උපද්‍රවයක් වෙන්ට ක්‍රමයක් නෑ. ඒත් පොඩි අවුලකට තිබ්බෙ ඒ කිට්ට්ටුවම තිබ්බ එයාලගෙ දර මඩුව. ගහේ උසේ හැටියට හුළං කෝඩෙකටවත් දෙරි ගැහුවොත් ආය කතා දෙකක් නෑ කෙලිම්ම වැටෙන්නෙ දර මඩුව උඩට.

එදා උදේ මම දත් මැද මැද ඒ පැත්තෙ හක්කලං කොරද්දි දැක්ක ගහේ මැදක් හරියෙ වගෙ කෑරළෙක් බෙනයක් හාරනව.කෑරළෙක් බෙනයක් හාරනව කියන්නෙ ගහ දිරල කියන එක. ඒ කියන්නෙ බොහොම නුදුරු අනාගතයෙදි කිතුල් ගස් රාජයා මහ පොළවට මතට ඇදබෑවෙන සේක! 

" කෑරළා බෙනයක් හාරන්නෙ කඳ දිරල හින්ද.. .... ඈ අම්මෙ... මම නං කියන්නෙ ඉක්මනටම කාට හරි කියල ගහ බිම දැම්මොත් හොඳයි. හුළං අත හමන විදිහට මට හිතෙන්නෙ අනිවාර්යයෙන් ඕක වැටෙන්නෙ දරමඩුව උඩට වෙන්න පුලුවන්. " මම ඉඳගෙන හිටියෙ කෑම කාමරෙං කුස්සියට ඇතුල්වෙන දොරත් එක්කම පැත්තකිං බිත්තියට හේත්තු කරල තිබ්බ බංකු පුංචෙ.

" මේ දවස්වල මිනිහෙක් අල්ලගන්න එක තමයි අමාරු පුතා. අර කම්බිලි කන්දෙ මිනිරං මතුවෙලාය කියල මේකෙ ඉන්න තරමක් එවුං ඔක්කොම උදේ පාන්දරම බතුත් බැඳගෙන යනවනෙ මිනිරං හාරන්ට. ගහකට යවා ගන්ට එකෙක් නෑ ඔන්න කොටින්ම කිව්වොත්.. " අම්ම කිව්ව ලිපට පිඹින ගමං ආපහු හැරිල .

කම්බිලි කන්ද කියන්නෙ ආණ්ඩුවෙ රිසිවේසං එකක්. ඒ කියන්නෙ රක්ෂිතයක්. ඕකෙ ඒ දවස්වෙනකොට මිනිරං මතුවුනාය කියල මහ ගාලගෝට්ටියක් පැතිරුනා ඒ අහල ගං හත අටේම.උදෙම්ම වැල නොකැඩි යනව ගෑණු මිනිස්සු ළමයි බමයි ඔක්කොම ගෝණි බෝනි උදළු බුදළු කරතියාගෙන. මිනිරං වලට ඒ පැත්තෙ කිව්වෙ මීරං කියල. 

" ආ..බිසෝ ..කොහෙද මේ උදෙම්ම?..."

එයයි මිදුල අතුගානව. එකතුවෙන කොළරොඩු ගෝනියකට දාල රම්පෙ ගහ පිටිපස්සෙ කුණුවලට ගිහිං දාන්නෙ මම. එයාලයි පුංචි අක්ක කෘෂිකර්ම ගුරුවිරියක්. කොම්පෝස්ට් පෝර ව්‍යාපෘතියක් පටංගන්නයි එයාගෙ සූදානම. ඒ දවස්වල එයා ඉගැන්නුවෙ ගෙදර ගාවම තියන ඉස්කෝලෙ.ඔන්නං මීටර් හාරසීයක් වගෙ ඇති. ඉස්කෝල වත්තෙ කොම්පෝස්ට් වැඩේට ඉඩ නෑ කියල පුංචි අක්ක ලෑස්තිය ගෙදර වත්තෙ ඒක හදල ළමයි එක්කං ඇවිල්ල පෙන්නල ඒ ගැන කියල දෙන්ට.

" මීරං හාරන්ට යනව චුට්ටි දෙයිය…" බිසෝ කරේ තියන ගෝණිය අතට අරගෙන හිනාවෙලා කියනව. " කම්බිලි කන්දෙ එහා පැත්තෙ මීරං මතුවෙලානෙ.මේ ගමේ බාගයක් මේ දවස්සල එහෙ අප්පා. "

" මටත් ආසයි ඔය මිනිරං හාරන දිහාවට ගිහිල්ල බලල එන්ට. " බිසෝ යන්ට ගියාට පස්සෙ මම කිව්ව. 

" පිස්සුද ඔයාට? ඔය කම්බිලිකන්ද කියන්නෙ රක්ෂිතයක්. රක්ෂිතවල ඔය ඕන ඕන විදිහට මිනිරං හාරන්ට බෑ. බලන්ටකො අද හෙටම ඔතෙන්ට පොලීසියෙං පැන්නෙ නැත්තං."

" හෙහ්, ඒකත් ඇත්ත තමයි. මයෙ කරුමෙට පොලීසියෙං පයින වෙලාවට මාත් එතන ඉඳල කුදලගෙන ගිහිල්ල කූඩු කලොත් එහෙම හතර විලිලැජ්ජවෙ පස්වෙනි එක...එහෙනං ඔයාට තමයි එන්ට වෙන්නෙ ඇප දෙන්ට.."

" හිහ්..මම නං පැත්ත පලාතෙ එන්නෙ නෑ ඔන්න නොකිව්වයි කියන්ට එපා. ඔය පොලීසියෙ හතර පස්දෙනෙක්ම මම හොඳට අඳුරනව. ලජ්ජහේ බෑ..මම නං එන්නෙ නෑ ඔන්න…."

අර කිව්වත් වාගෙ ඊට දවස් හතර පහකට පස්සෙ පොලීසියෙං කඩා පැනල මිනිරං හාරමින් හිටපු තිහ හතළිහක්ම අල්ලගෙන ගිහිල්ල රිමාන්ඩ් කලා. ඊට පස්සෙ මීරං හෑරිල්ලත් එහෙම්මම නැවතිලා ගියා.

" මේ දවස්වල මිනිහෙක් අල්ලගන්න එක තමයි අමාරු පුතා. අර කම්බිලි කන්දෙ මිනිරං මතුවෙලාය කියල මේකෙ ඉන්න තරමක් එවුං ඔක්කොම උදේ පාන්දරම බතුත් බැඳගෙන යනවනෙ මිනිරං හාරන්ට. ගහකට යවා ගන්ට එකෙක් නෑ ඔන්න කොටින්ම කිව්වොත්.. " අම්ම කිව්ව ලිපට පිඹින ගමං ආපහු හැරිල .

" ඒක තමයි වැඩේ නේද? ඒත් මට හිතෙන්නෙ අද හෙටම නොවුනත් බොහොම ඉක්මනටම කිතුල කපල දාන්ට වෙයි. "

" හ්ම්ම්ම්,....බලමු අප්පච්චිටත් කියල. අහල පහලිංවත් මිනිහෙක් දෙන්නෙක් හොයාගන්ට බැරිවෙන එකක් නෑ මගෙ හිතේ. " ඒ සංවාදයට එක්කහු උනේ අපෙ උන්දැ.

" හෙහ්..හැබැයි අප්පච්චි නං කැමතිවෙන එකක් නෑ ඔය කිතුල කපන්ට.."

" ඈ? ඒ මොකද? ඔය දිරච්ච ගහ තියාගෙන අප්පච්චි අහවල් දෙයක් කරන්ටද? "

" ඇයි අප්පච්චි ඒ කාලෙ ඔය කිතුල මැදගෙන රා බීව නේද? "

" අනෙ අප්පෝ මේ මනුස්සය කටේ තොලේ නොගෑවී කියන මුසාවාද හැබෑටම " ඈ කම්මුලේ අතක් තියාගත්ත. කටත් බාගෙට ඇරිල.

" චුට්ටි දුව..මොකද ඔය පුතාට කතාකරන විදිහ? " අම්ම බෝංචි කැඩිල්ල නතර කරල වට්ටියෙං ඔලුව උස්සල ඇහුව.

මම කලිනුත් කියල ඇති. මට ඔය ඒක මේක කියනවට අම්ම කැමති නෑ.මට පුදුම ආදරයක් තිබ්බෙ. හැබැයි ඉතිං පතාගෙන ආපු හැටි කියන්නෙ උන්දැගෙ මළගමටවත් මට යන්ට බැරිවුනා. අම්ම නැතිවෙනකොට මම විදේශගත වෙලා මාස හයක්වත් නෑ. ඒ නිසා මට යන්ට ලැබුනෙ නෑ.

" හරි වැඩක්නෙ මේක..මෙයා මෙතන මේ අහස පොළව නුහූලන බොරු කියනකොට අම්ම කියන්නෙ මට කටපියාගෙන ඉන්ට කියලද? "

" හරි හරි බොරුවක්ම කියමුකො ඒත් ඔහොම කියන්ට වටිනවද ඔයාට?..." අම්මට ඒ විඩේනම් යන්තමට හිනාවකුත් ගියා. 

මම කිව්වනෙ කලින් මම ඉඳගෙන හිටියෙ කුස්සියට ඇතුල්වෙන දොරට පිටුපාල. අපෙ උන්දැ මට ඉස්සරහ දොර පැත්තට මූණ පාල. 

" හරි දැං කියමු බලන්ට කවුද ඔය අප්පච්චි කිතුල මැදගෙන රා බීපු කතාව ඔයාට කිව්වෙ? " අපෙ උන්දැ ඔන්න පටන් ගත්ත ඉන්කුවාරි එක. 

මටත් ඉතිං ඒ මදැයි..කතාවක් කියන්ට තියේනං මට ඊට වඩා දෙයක් තියනවය ආය? 

" හරි, එහෙනං ඉන්ටකො කතාව මුල ඉඳලම කියන්ට. " මම බංකු පුංච උඩ හරි බරි ගැහුන..

" වෙන කවුරුවත් නෙවෙයි ඔය කතාව මා දැක්ක කිව්වෙ අප්පච්චිමයි...හෙහ්,හෙහ්.." මම ඇස් එහෙම නටවල කිව්ව. 

" නෑහ්?.." අපෙ උන්දැ නැඟිටල මා දිහාට ආව අඩි දෙකක්. " ඇත්තමද ඔය? අපෙ අප්පච්චිම ඔයා එක්ක ඔහොම කිව්වද? "

" කිව්ව නේන්නං ආය මම බොරු කියන්නෙ අහවල් දේකටද? "

" මම අහන්ටද එහෙනං අප්පච්චිගෙං?..."

" පිස්සුද හැබෑට? අප්පච්චිට ලැජ්ජ හිතෙයි..අහන්ට එහෙම එපා ඔන්න. "

" ආ..ඒකත් එහෙමද? එතකොට අප්පච්චිට ලැජ්ජ හිතෙයි නේද? "

" ඒකත් හරි තමයි… එහෙනං අපි අහන්නෙ නෑ අප්පච්චිගෙං..මල්ලි කියන්ටකො බලන්ට කොහොමද අප්පච්චි ඔය කතාව කිව්වෙ කියල.."  එහෙම කිව්වෙ ඒ එයාලගෙ පුංචි අක්කා. 

කට්ටියම හිනාවෙන්නෙ මොකද කියල මට පොඩි කුකුසක් වගෙ ආවත් මම එව්ව ඔක්කොම යටපත් කරල දාල ඇක්ෂන් දාල කතාවට එන්ටර් උනා. එන්ට ද ඩ්‍රැගන් පාට් ටූ..එන්ට එපාද ඩ්‍රැගන්

" කවදද දැං ඔය කතාව අප්පච්චි ඔයා එක්ක කිව්වෙ? " අපෙ උන්දැ කතාව පටන් ගන්ට කොණක් අල්ලල දුන්න.

" මට කිව්වෙ දැං මාසෙකට වගෙ කලිං….."

" කොහොමද කිව්වෙ? "

" මෙහෙමයි අප්පච්චි කිව්වෙ..පුතා මම මෙහෙම කිව්ව කියල කාටවත් කියන්ට එපා. පුතාව මට විස්වාස නිසයි මම මෙහෙම කියන්නෙ..ඔය ගේ පිටිපස්සෙ තියන කිතුල මැදල මම ඒ දවස්වල හැමදාම වගෙ රා බිව්ව ෂෙහ්, නියම රා හොඳද? "

" ඈහ්? අපෙ අප්පච්චි එහෙම කිව්ව එතකොට නේද? "

" කිව්ව නේන්නං..නැතුව ආය මම බොරු කියන්නෙ අහවල් දේකටද? "

" ඔයා කොච්චර එපා කිව්වත් මම ඔය කතාව අප්පච්චිගෙං අහන එකත් අහනව. "

" පිස්සුද මේ..මම එක පාරක් කිව්වනෙ..අප්පච්චිගෙන් නං අහන්ට එපා ඔන්න. අප්පච්චිට ඔයාලට මුණ දීගන්ට බරුව ලැජ්ජ හිතෙයි.. "

" නෑ නෑ එහෙම වෙන්නෙ නෑ..අනික මේ කතාවෙ ඇත්ත නැත්ත මම හගිස්සුවන්ටම ඕන.හරි වැඩේ කල්දාන්ට ඕන නෑනෙ..ඇත්තද අප්පච්චි රවී මේ කියන්නෙ? අප්පච්චි අර වත්ත පහළ කිතුල මැදල රා බිව්ව කියල රවී එක්ක කිව්වද? " අපෙ උන්දැ කුස්සියට ඇතුල්වෙන දොර දිහා ඔලුව උස්සල බලල ඇහුව 

" ඈ????......................" මම හෙමිහිට ඔලුව පස්සට හරවල බැලුව. බැලුව තමයි...දෙයියංටම ඔප්පු වෙච්චාව්. දොරේ උලුවස්සට අත්දෙක ගහගෙන මෙන්න ඉන්නව අප්පච්චි. 

" ඇත්ත වෙන්ට ඇති... ඇත්ත වෙන්ට ඇති... රවි පුතා බොරු කියන්නෙ නෑනෙ. එයා කියනවනං මම රා බිව්ව කියල ආය ඒකෙ දෙකක් නෑ මම රා බොන්ටම ඇති. " අප්පච්චි එහෙම කිව්ව. 

කුස්සියෙ හිටපු ඔක්කොමල ආයෙම පාරක් මහ හයියෙං හිනාවුනා. මට නේද? කාටවත්ම නොපෙනි අන්තර්දාන වෙන්ට පුලුවන් බලයක් මට තියෙනවනං කොච්චර හොඳද කියල මට හිතුනෙ ඔය එකසිය අටවෙනි නැත්තං එකසිය නම වෙනි පාරට.

" මම ගිහිල්ල අර කෑරළා කිතුලෙ බෙනේ හාරල ඉවරද මොකද කියල හෝදිසි කරල එන්නම් " මම එහෙම කියල හෙමීට බංකුවෙං නැඟිටල කුස්සියෙ පිටිපස්ස දොරෙං එළියට බැස්ස.


******************************************************

" ඇයි අනේ ඔහොම අහස පොලෝ නුහූලන බොරු කියන්නෙ... මාමා කට හරියෙ තියන්නෙ නෑ ඔය ජරාව…" අසෝකා ඇස් දෙකත් ලොකු කරගෙන කිව්ව.

" එව්ව මං දන්නෙ නෑ. ඊයෙ මටම කියලයි ඔය බෝතලේ ගෙන්න ගත්තෙ. "

" බොරු කියන හැටි..ඉන්ටකො මම මාමගෙං අහන්ට..මාමේ..මාමේ." අසෝකා එතනම ඉඳල කෑගහන්ට ගත්ත. 

" ඒයි මේ මොකද ඔය කරන්ට හදන්නෙ?..කෑගහන්ට එපා මනුස්සයො.." මම ඉඳගෙන උන්නු පෙට්ටගමෙන් බිමට පැනල අසෝකා දිහාට අඩියක් දෙකක් තිබ්බ 

" ආ...ඒක තමයි නේද? මාමා එයි කියල බයකුත් තියනව.ඔච්චරම බයනං මොකටද ඔය අමූලික බොරු කියන්නෙ?..."

" බය නෙවෙයි ළමයා ඒකට කියන්නෙ ගෞරවය..ගෞරවය. " මම ආපහු ගිහිල්ල පෙට්ටගම උඩිං ඉඳගත්ත. 

" මේ බලාගෙන. ඕක උඩ එක පාරට තප්පදෝරුව වාගෙ ඉඳගන්ට එපා..ඕකෙ පිටිපස්සෙ කකුලක් අඩමානෙට තියෙන්නෙ. මෙතන ඇදං වැටුනොත් පෙට්ටගමත් එක්ක ආය තව විජ්ජුම්බරයක්…"

" හෙහ් මට එහෙනං ආදරේකුත් තියනව නේද? " 

" පීස්සුද? ඔය පෙට්ටගම මම බඳින දවසට තෑග්ගක් විදිහට දෙනව කියල අපෙ නැන්දම්ම මට කියල තියෙන්නෙ …."නැන්දම්ම කිව්වෙ අජිතයගෙ අම්ම.

" ආ..ඒකත් එහෙමද? එහෙනං ඉතිං මටම තමයි ඒකත් උස්සගෙන යන්ට වෙන්නෙ. "

එහෙම කියල මම හොරැහිං අසෝකා දිහා බැලුව.අසෝකට මගෙ කැමැත්තක් තියනව කියල මම කෙලින්ම අඟවපු මුල්ම වතාව ඒක. කෙල්ලගෙ මූන රතුවුනා, බිම බලාගෙන කිසි කිසි ගාල කොස් වහළු කපාගෙන කපාගෙන ගියා.

දර මඩුව පූර්ණ නිශ්ශබ්දතාවයක ගිලිල ගත්වෙච්චි මිනිත්තු හතර පහක වගෙ කාලයකට පස්සෙ මම ආයෙම කතා කලා. 

" ආ..මේ ඒක නෙවෙයි..අර ඔයාගෙ යාලුවා……"

" කවුද? ………." අසෝකා ඔලුව උස්සල බලල ආයම බිම බලාගත්ත.

" සරෝජිනී..මම මේ කියන්නෙ සරෝජිනී ගැන "

" ඉතිං? …………"

" දැං මොකද එයාගෙ විස්තර ? අර යාලුවෙලා හිටියයි කිව්වෙ ඔයාලගෙම බැච් එකේ කොල්ලෙක් එක්ක..ඒ වැඩේ තාම තියනවද? "

" ආ..නෑ..නෑ..එයාලගෙ අම්ම කොහොමත් ඒකට කැමති වෙන්නෙම නැති හින්ද සරෝජිනී ඒ වැඩේ අතෑරිය. පස්සෙ අම්මා හොයල දුන්නු කෑගල්ල පැත්තෙ ටීචර් කෙනෙකුට සරෝජිනී කැමතිවුනා. මගෙ හිතේ තව මාස දෙකකින් විතර බඳියි. සරෝජිනී ට්‍රාන්ස්ෆර් එකක් අරගෙන ගියා කෑගල්ලට, දැං වැඩ කෑගල්ල හොස්පිට්ල් එකේ. "

" ෂෙහ්,….අපරාදෙ…." මට ඉබේටම කියවුනා....

" මොකක්ද අපරාදෙ? " අසෝකා නළල රැලි කරගෙන ඇහුව. 

" නෑ මම මේ කිව්වෙ එච්චර කල් තිබ්බ එෆෙයාර් එකක් කැඩිල ගිය එක අපරාදෙ කියල."

" හ්ම්ම්ම්ම්…...ඒක නම් එහෙම තමයි..මේ දැන්වත් මේ වැඩේ ඉවරයක් කරමුද? නැත්තං මේ කොසේ දවල්ට නෙවෙයි රෑටවත් උයන්ට වෙන්නෙ නෑ...."

" හරි හරි ඉන්ටකො එහෙනං.."

මම පෙට්ටගමෙං බැහැල ඇවිල්ල දරමඩුවෙ මුල්ලක තිබ්බ තලේ කැඩිච්චි පරණ හිරමනයක් අරගෙන ආව. දරමඩුවෙ පිටිපස්ස කොණේ කණු දෙකක හරහට බැඳල තිබ්බ ලණු පොටක දාල තිබ්බ පරණ සරමකිං හිරමණ කොටේ දූවිලි පිහදාල අසෝක කොසේ කපන ඉස්සරහිම්ම හිරමනේ තියල ඒක උඩ සීරුවට ඉඳගත්ත. මම ඇඳල හිටියෙ අජිතයගෙ සෝටක්. අජිතය මට වඩා මහතයි, ඒ හින්ද සෝට් බෑයෙ ටිකක් විතර මට ලොකුයි. කකුල් එහෙමත් බැගී වගෙ.ඒ හින්දම ඉඳගෙන මම සෝට් බෑය හොඳට හදාගත්ත. 

" මේ මොකවත් පේනවනං එහෙම කියන්ට හොඳද? "

" ඈ? ………….." අසෝකා ඔලුව උස්සල බැලුව. යන්තමට ලා රතු පාටක් ඇහේ කම්මුල් හරියෙ පැතිරෙන්ට ගත්ත. 

" නෑ මම මේ කිව්වෙ මොකවත් පේන්ට එහෙම තියනවනං කියන්ට කියල…. ලැජ්ජාවට කරබාගෙන එහෙම ඉන්ට එපා හොඳද?..." මම බිම බලාගෙන කොස් මදුලුවල ඉරි ගලවන්ට පටං ගත්ත.

" මේ මගෙං මොකවත් අහගන්නෙ නැතුව ඔය වැඩේ කරනවද? "

" ඕකේ..ඕකේ...කාම් ඩවුන් කාම් ඩවුන්.." මම ඔලුව උස්සන්නෙ නතුවම කොස් මදුළුවල ඉරි ගලවන වැඩේ කරගෙන ගියා.

ඔහොම මිනිත්තු හත අටක් වගෙ ගත වෙන්ට ඇති. ඊට වැඩි මිසක අඩු නම් නෑ..

" අසෝකා නංගි.." මම හෙමිහිට කිව්වෙ ඔලුව උස්සන්නෙ නැතුවම..

" ම්ම්ම්ම්..ඇයි?…." මගෙ ස්වරයෙ වෙනසක් තේරිලද කොහෙද එයත් ඇහෙන නෑහෙන ගානට ඇහුව. 

" මම මේ කිව්වෙ මේ පෙට්ටගම ගැන... මම කැමතියි ඒක මට තෑග්ගක් විදිහට ලැබෙනවනම්.."

මම බොහොම අමාරුවෙන් කියල දැම්ම. වෙන රටේ නැති බහුබූත ගැන කටකමසෙයියාවක් නැතුව දෙඩෙව්වට ඔය වගෙ ඕනම කියන වෙලාවල් වලදි මට මුඛ පූට්ටු බන්ධනය මැතිරුව වගෙ වෙනව. 

" ම්ම්ම්..පෙට්ටගම ගැනනං නැන්දම්මගෙං අහන්ට වෙයි.පෙට්ටගමත් එක්ක තව මොකවත් ඕනනං අපෙ අප්පච්චිගෙං අහන්ට වෙයි…"

ඈයි මායි දෙන්නම ඔලුව පාත්කරගෙන උන්නත් ඈ හිනාව ගිලගන්ට උත්සාහ කරමින් එහෙම කිව්ව බව මට ඒ ස්වරයෙන්ම තේරුණා.

" හරි මම ඔයාලගෙ අප්පච්චිගෙං අහන්නංකො……………." මම ඔලුව උස්සල අසෝකගෙ ඇස් දෙක දිහා බලල හිනාවුනා.

77 comments:

  1. අපි ආයෙත් හමු නොව්නානම් ඉස්සර දවසක මියගිය සෙනෙහස යලි ඉපදී මා හද හඬවන්නට අපි ආයෙත් හමු නොව්නානම් ...

    Jibba ....

    ReplyDelete
    Replies
    1. ජිබ්බා,

      සෙනෙහස මියගියාට පස්සෙ ( සෙනෙහස මියගියේම නෑ හරියටම කිව්වොත්, සෙනෙහස ලත් තැනම ලොප්විය කිව්වනං ඔන්න හරි කියලයි මට හිතෙන්නෙ..හෙහ්.. ) අසෝකා එකම පාරක් හම්බවුනා අජිතයගෙ අම්මගෙ මළගම දවසෙ. ඒ වෙනකොට එයා බැඳල....

      පලි - ජිබ්බ කිව්වම මට මතක්වෙන්නෙ මාතලේ හිටිය පොඩි ජිබ්බා සහ ලොකු ජිබ්බා කියල අයිය මලෝ දෙන්නෙක්. චන්දෙ එහෙමත් ඉල්ලුව මට මතක විදිහට.

      Delete
  2. දැන්නම් ඔන්න ලාආආආස්සනට කතාව යනවා. අපරාදේ කියන්න බෑ ෆිල්ම් එකක් බලනවා වගේ.
    මහින්ද මාමි ඉස්සරහට පිස්සු කෙලින්නේ නැතුව හිටියොත් අපිට කරදරයක් නැතුව මේකේ ඉතිරි ටික බලා ගන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      ඒකනෙ බං..කොහෙද මේ මනුස්සය පුකට පයිංගහල පල අපෙ දෑහැට නොපෙනි කියල එලවල දාපු එක මැදමුලනට වෙලා බණක් බාවනාවක් කරගෙන හිටපිය. කොහෙද? ආයෙම ආව දිනූ දේසය රැකගන්ට..ආච්චිගෙ රෙද්ද, ඒකෙං වුනේ දෙයියනේ කියල හිත සංසුංව අපිට මේ කතාවක් දෙකක් ලියාගෙන ඉන්ට තිබ්බ අවස්තාව නැතිවෙච්චි එකයි. මම හිතන්නෙ මරාස්ටත් තව තියනව පූරුවෙ කරුම ගෙවන්ට අපිටත් තියනව...:)

      Delete
  3. 1.අර මැදින් කෑල්ලක් ඔබල තියන විදිය නියමයි.
    2//කෙලොම්බක්// මේ වචනෙ ඇහුවෙ සෑහෙන්න කාලෙකින් රවී. අපි ඉස්සර නිව්වෙ කොලොම්බුව නියල. මොකක් හෝ හේතුවකට මේ වචනෙ අභාවයට ගියා.
    3."පෙට්ටගම" ඉල්ලපු හැටි මරු!

    ReplyDelete
    Replies
    1. රාජ්,

      කොලොම්බ, කොලොම්බුව, කොලොම්බු කොටේ ඔය ඔක්කොම එකම තමයි. මම හිතන්නෙ ඒ වචනෙ සහ අදාල භාණ්ඩය අභාවයට යන්ට ඇත්තෙ තවදුරටහ් අවශ්‍යතාවයක් නැති හින්ද වෙන්න ඕන. වේවැල් වලින් වියපු කුරුණි පෙට්ටි මතකද රාජ්? තව අප්පල්ල, අඩි වළඳ, තෝස් ලාම්පු, ...:)

      ස්තූතියි රාජ්...:)

      Delete
    2. පෙට්ටගම ඉල්ලපු විදිහට වඩා පෙට්ටගම දෙන්න කැමැත්ත ප්‍රකාශ කොරපු විදිහයි මගේ හිතට අල්ලලා ගියේ...

      Delete
    3. ලොක්කා,

      හෙහ්, කියල වැඩක් නෑ මලේ...අසෝකා හොඳ කෙල්ල…. සික් මොනව කරන්නද ඉතින්?

      පලි - මේ දවස්වල අපේ ගෙදර ඉන්ටර්නෙට් නෑ...හෙහ්,හෙහ්

      Delete
  4. හෙහ් හෙහ් සරෝජිනී ගැන කියාගෙන ඉදල අසෝකට මූට්ටු වෙන්ට නේහ්
    හිහි... රවි අය්ය තමා දවසකටත් මනුස්සය හෙක් හෙක්..
    ඒක නෙවී අර කිතුල දර මඩුව උඩට කෙළබෑවුනේ නැතෙයි

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      / ඒක නෙවී අර කිතුල දර මඩුව උඩට කෙළබෑවුනේ නැතෙයි /

      නෑ..නෑ..එහෙම අබග්ගයක් වුනේ නෑ. ඒ දවස්වලම ඒ කිතුල කපල දැම්ම. පොලිසියෙං පැන්නට පස්සෙ මිනිරං හෑරිල්ල අභාවයට ගිය නිසා ඊට පස්සෙ ඕන තරං මිනිස්සු හොයාගන්ට හිටිය...:)

      Delete
  5. අදනං ලියන ස්ටයිල් එකේ මොකක් හරි වෙනසක් කරල තියෙනව වගේ. අතුරු කතාව තරු දාල වෙන්කරලම ලියල, ආයෙ ඒකෙන් අතුරු අතුරු කතා කියන්න යන්නැතුව නැවතිච්ච පොෂිසන් එකෙන් ආය ලස්සනට පටං අරන් තියෙන්නෙ.

    //මම ඉතිං ඔය ඕපාදූප කිවිල්ලට සම්පූර්ණයෙන්ම විරුද්ධ හින්ද // හැක්... ඒ හින්ද වෙන්න‍ැති දැං ඒකටත් එක්ක මෙතන කියවන්නෙ.

    //නැත්තං මේ කොසේ දවල්ට නෙවෙයි රෑටවත් උයන්ට වෙන්නෙ නෑ// බොල ඔය කොස් කපන්න පටං අරං දැන් දිවා රෑ කීයක් කියල ගෙවුනද. තව දවසක් ගියැයි කියල දැනෙන එකක් නෑ.

    //ගුරුවිරියක්// මෙහෙම කියනව දැක්කමයි.

    ReplyDelete
    Replies
    1. අනිත් එක ඔය මිනිරං කේස් එක වගේ මේ පැත්තෙ තියෙන්නෙ පතල් කේස් එක. කොහේ හරි ඉල්ලමක් මතු උනා කිව්ව ගමං කට්ටිය වට්ටි, පෝර උර, උදලු, අලව්‍ංගු පටෝගෙන ත්‍රීවීල්, ට්‍රැට්ටර්, බයිසිකල්, ටිපර් වල වැල නොකැඩි ඇදෙනව. ඒ කාලෙට ඒ පැත්තෙ හැම එකාම ඉන්නෙ මඩ නාගෙන.

      Delete
    2. ප්‍රසන්න,

      //ගුරුවිරියක්// මෙහෙම කියනව දැක්කමයි. /

      අපෙ අත්තම්ම එහෙමයි කියන්නෙ බං.....:)

      / කොහේ හරි ඉල්ලමක් මතු උනා කිව්ව ගමං කට්ටිය වට්ටි, පෝර උර, උදලු, අලව්‍ංගු පටෝගෙන ත්‍රීවීල්, ට්‍රැට්ටර්, බයිසිකල්, ටිපර් වල වැල නොකැඩි ඇදෙනව. ඒ කාලෙට ඒ පැත්තෙ හැම එකාම ඉන්නෙ මඩ නාගෙන. /

      ඔහොම සීන් එකක් වුනා මතකද දැනට අවුරුදු හතර පහකට වගෙ ඉස්සර කැළණි ගඟේ රත්තරං මතුවෙලා. දාහක් විතර සෙනඟ ඇවිල්ල වතුරෙ කිමිදෙනවලු. වැලි හොඩට ගෙනල්ල වට්ටිවල දාල ගරනවලු. ආය කිමිදෙනවලු ..එක පොයියංගමයි.

      ඒ අස්සෙ ගඟ දිගටම පෙට්ටි කඩ දාල. කිමිදෙන එවුන්ට සෝට් , නැත්තං ජොක්කු, ගොඩ ආවම ඇඟ පිහගන්ට තුවා, හීතලට දෙකක් දාගන්නවනං එහෙම. මලක් කාරිය අදිනවනං එහෙම. හම්බවෙන රත්තරං ගන්ට සුවර්නාබරන වෙලෙන්දො, කොටිම්ම රත්තරං ගන්ට මහ බැංකුවෙ සාකාවක් පවා ඒ සතිය හමාරට කැළණි ගඟ අයිනෙ විවුර්ත කරල තිබ්බයි කිව්වම ඔන්න වෙන කවර කතාද?

      ඒ ගඟට රත්තරං දැම්මයි කියන්නෙ රංවල දෙයියො..අපෙ රජතුමාගෙ පුන්නිය මහිමේ හින්දයි එහෙම කලාය කියන්නෙ..

      Delete
  6. දේශපාලනේ ලියනකොට එක එක එව්වො කියනවා වගේ, "මොකද්ද රවි තුමා, මේව නෙමෙයි ලියහංකො අර කුකුළේගඟ සුරක්ෂිතතා පූර්ව උපක්‍රම වගේ එව්වා..."

    මදැයි අසෝකාගෙං ඔය වගේ දෙයක් වත් අහන්න ගටක් තිබ්බා. අපි ඒ කාලෙ මාර අැඹරිල්ලක් නෙ ඇඹරුනේ කෙල්ලෙක්ගෙන් අහන්න. ඇඹරුනු හැටියට කෙලිම්ම වැලේ වනන්න විතරයි ඉතුරු වෙන්නෙ අන්තිමට...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      / මදැයි අසෝකාගෙං ඔය වගේ දෙයක් වත් අහන්න ගටක් තිබ්බා. අපි ඒ කාලෙ මාර අැඹරිල්ලක් නෙ ඇඹරුනේ කෙල්ලෙක්ගෙන් අහන්න. ඇඹරුනු හැටියට කෙලිම්ම වැලේ වනන්න විතරයි ඉතුරු වෙන්නෙ අන්තිමට… /

      මරු කතාවක් මතක් වුනා බං...අපෙ හිටිය එකෙක් ඌ කතාකරනව හෙණ ස්පීඩ්. පොඩ්ඩක් කල්පනා කරල බලන්ට ඕන නිවී හැනහිල්ලෙ මූ මොනවද මේ කිව්වෙ කියල. ඌට අපි කිව්වෙ ප්‍රංශ පුවත් කියල. මොකද ඌ කියන එක තේරෙන්නෙ නෑ අපිට ප්‍රංශ වගෙ. කලබල උනහම කොහොමත් ඌ කියන එක තේරෙන්නෙම නෑ.

      ඔන්න මේකගෙ හිතගියා කෙල්ලෙක්ට. කෙල්ලට ආදරේ ප්‍රකාස කරන්ට ගිහිල්ල මූට වෙච්චි දේවල් ..හෙහ්..කියල වැඩක් නෑ..ඒක වෙනම ලියන්නං.." ප්‍රංශ පුවත්ගේ ආදරය ප්‍රකාශ කිරීම සහ තවත් කථා "

      Thanks .. Dracky…:)

      Delete
    2. කපල දාපු අතුත් වවාගෙන කනව කියන්නෙ මෙන්න මේවට. බොහොම කැතයි.

      Delete
    3. රාජ්,

      මරු කතාව ඒක...:)

      Delete
  7. අා.............. ඒහෙනම් මට පෙට්ටගං දෙකක් ම ලැබෙනවානේ කිව්වනම් ඉවරයි............... හහ් හා........ පට්ට හරිය????

    ReplyDelete
    Replies
    1. කුරුටු,

      හෙහ්..ඒකත් හරි තමයි..පෙට්ටගං දෙකක්....:)

      ස්තූතියි කුරුටු ළමයි..( මතකයි නේද කුරුටු ළමයි කියල බොලාට නම දැම්මෙ කවුද කියල....හෙහ්,හෙහ් )

      Delete
  8. ෂා... මරුනෙ බොලේ මේ ලියවිල්ල..
    හර්ෂ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...හර්ෂ...........:)

      Delete
  9. ඊයෙ රෑ දාපු බඩු තාම වෑඩද කොහෙද ! නෑත්තන් මෙහෙම එක දිගට අසෝකගෙ කතාව ලියය්ද අප්පා...

    ReplyDelete
    Replies
    1. Ale,

      බැණුං අහලම එපා වෙලා පඳුරු තැලිල්ල තාවකාලිකව අතෑරල දැම්ම බාං...:)

      Delete
  10. සුපර්.. ඒත් වැඩක් නෑ ඉතින් ඔච්චර ලස්සනට ගොඩ දා ගත්ත වැඩේ කෙරිල නෑනේ.. සැක්..

    එකාතකින් හොඳයි.. මොකද ඊටත් වඩා ලස්සනට කෙරිච්චි එක ගොඩ දා ගන්න ඇතිනේ.. ඕක හරි ගියානං අපිට ඒ කතාව අහන්න වෙන්නේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      / සුපර්.. ඒත් වැඩක් නෑ ඉතින් ඔච්චර ලස්සනට ගොඩ දා ගත්ත වැඩේ කෙරිල නෑනේ.. සැක්..  /

      එව්ව එහෙම තමයි මල්ලි,……. සිතු දේ නොම වේ, නොසිතු දෙයක්වේ ලෝදම් කැරකෙනවා...:)

      / ඕක හරි ගියානං අපිට ඒ කතාව අහන්න වෙන්නේ නෑනේ.. /

      Yes….Everything happens for a reason, sometimes good things fall apart so better things can come together.

      Delete
  11. එතකොට අසෝක ඇඳං හිටියෙ මොකද්ද? සුවර් එකට ගවුමක් වෙන්ටැ. නැත්තං ඉතිං මේ උන්නැහැ මක්කටද ඒ ඉස්සරහිංම ගීං ඉඳගත්තෙ.

    මල් හතේ මාමණ්ඩියෙක්නෙ ඉන්නෙ. අම්ප ඒකට අපේ මාමන්ඩි. මං මහගෙදර ගියහම හැංදෑවට ටවුමට ගීං ඇහිල්ල ටිකකිං මට කනට කරල කියනව

    “අර ඉස්සරහ කාමරේ ඇඳයට ටිං දෙකක් ඇති ගන්නවනං“

    රා...?

    ඉස්සර මං ගෙදර යන එන කාලෙ. ඒ කිව්වෙ අපෙ පියානෝ මාව ගෙදරිං එලෝල මං මාමලගෙ ගෙදර ජීවත් වෙච්ච කාලෙ. මං ගෙදර යනව එනව උනාට ගෙදර නවතින්නෑ. මට අවුරුදු පාලොවක් විතර ඇති එතකොට.

    අපේ පියානො හැදුව මලක්. මලක් කිව්වෙ කිතුල් මලක්. ඉතිං හැංදෑවට අපේ ගෙදර කට්ටිය ගොඩායි... සා බොන්න. ඉතිං මාත් හවසට ගෙදර යනවනෙ. ඕං ඉතිං අප පියානෝ මල කපල රා මුට්ටිය ගෙනත් තියනව කුස්සියෙ දොර මුල්ලෙං, වහනව කොල පොතෙං ඊළඟට යනව අනික් මල කපන්න. ඒකෙ රා නෑ. තෙල්දිය ඉතරයි.

    ඕං ඔය සුවර්නමය අවස්තාවෙ මම පනිනව කුස්සියට. ගන්නව ලොකු බෙලෙක්කෝප්පෙ ඔබනව රා මුට්ටියෙ. ගන්නව පුරෝල එකක් රා. ගුඩු ගුඩුස් ගුඩු ගුඩුස්... වටපිට කවුරුවත් නෑ පේන්න ගුඩු ගුඩුස් චුප්..

    මුට්ටියෙං අඩු විච්ච ප්‍රමාණෙට ගත්ත ලඟමම තියෙන පනිට්ටුවෙං වතුර එකක් පුරෝල අර බෙලෙක් කෝප්පෙටම දැම්ම රා මුට්ටියට. දැං මුට්ටියෙ අඩු නෑ. කවුරුත් හිතං ඉන්නෙ මේ සුරංග දතින් තොරයි කියල. කොහොමද ටිකිරි මොලේ.

    ටික දවසකිං මං බෙලෙක් කෝප්ප දෙහෙක විතර රා බොන තත්වෙට වැඩේ දිග්ගැස්සුනා.

    සතියක් විතර යද්දි දවසක් අප පියානෝ රා මුට්ටිය ගෙනැත් කුස්සියෙං තියල වහනකොටම මං ගෙදෙට්ට ගියා. එයා ඉතිං අනික් මල කපන්න යන්න කලිං මට කියනව.

    “උඹ ඕනැ හැටියෙ සා බීහං. මුට්ටියට වතුර දාන්නැතුව. මට මිනිස්සුංගෙං කුනු කතා අහන්න බෑ“

    හරිම සුංදර විදිහටනෙ “යාලුවෙන්න“ අහල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ සතිය යනකොට කෝප්ප හතරක විතර දුරක් දුවන්න ඇති.

      Delete
    2. සුරංග,

      / එතකොට අසෝක ඇඳං හිටියෙ මොකද්ද? සුවර් එකට ගවුමක් වෙන්ටැ. නැත්තං ඉතිං මේ උන්නැහැ මක්කටද ඒ ඉස්සරහිංම ගීං ඉඳගත්තෙ. /

      අම්මාපල්ල උඹෙ කැත හිත..ෂෙක්...පහුගිය ඇපිසෝඩ්ඩෙකේ මම මෙහෙම කිව්ව.

      / පරණ ගවුමක් ඇඳල සායං ගිය දිය රෙද්දක්ද කොහෙද ඉණෙං පල්ලෙහාට පටලවගෙන ඒ කෙල්ල කිසි කිසි ගාල කොස් කපනව හිරමණේක ඉඳගෙන. /

      *************************************

      / “උඹ ඕනැ හැටියෙ සා බීහං. මුට්ටියට වතුර දාන්නැතුව. මට මිනිස්සුංගෙං කුනු කතා අහන්න බෑ“ /

      උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියෙ කිව්වැහැහේ බං බොලයි තාත්තා ඒ කරගත්තු පුන්නිය සම්බාරෙම ඇති කලිං උඹට කොරාපු අටෝරාසියක් අරියාදුවල පව් මැකිල ගිහිල්ල මතු උපදිනා මයිත්තිරිය බුදුං පාමුල එතුමාටත් රා ඩිංගක් කාරිය පිළිගන්නල අහකවෙලා නිවං මග සාක්සාත් කරගන්ට..සාදු..සාදු සා ආ..ආ..ආ !!!

      Delete
  12. //" මම මේ කිව්වෙ මේ පෙට්ටගම ගැන... මම කැමතියි ඒක මට තෑග්ගක් විදිහට ලැබෙනවනම්.."

    මම බොහොම අමාරුවෙන් කියල දැම්ම. වෙන රටේ නැති බහුබූත ගැන කටකමසෙයියාවක් නැතුව දෙඩෙව්වට ඔය වගෙ ඕනම කියන වෙලාවල් වලදි මට මුඛ පූට්ටු බන්ධනය මැතිරුව වගෙ වෙනව.

    " ම්ම්ම්..පෙට්ටගම ගැනනං නැන්දම්මගෙං අහන්ට වෙයි.පෙට්ටගමත් එක්ක තව මොකවත් ඕනනං අපෙ අප්පච්චිගෙං අහන්ට වෙයි…"//

    ෆිල්ම් එකක කෑල්ලක් වගේ. මැවිල පෙනුනා.

    ReplyDelete
    Replies
    1. බස්සි,

      / ෆිල්ම් එකක කෑල්ලක් වගේ. මැවිල පෙනුනා. /

      ෆිල්ම් තමයි..හුහ්...මට ඒ වෙලාවෙ හීන්දාඩියයි මහදාඩියයි දෙකම එකට දැම්ම.ඌර්න රෝම දාතුව සලිතවුනා. ලැන්ගර්හැන් දීපිකා කම්පනය වෙන්ට ගත්ත. :)

      පස්සෙ උට්ටාන වීරිය උපද්දවාගෙන ඔය වාක්කිය කියල දැම්ම...හෙහ්,

      Delete
    2. / ෆිල්ම් එකක කෑල්ලක් වගේ. මැවිල පෙනුනා. /

      ගම්පෙරළියෙ නන්දා පියල්ට කියන හැටිත් මතක් වුණා. "අම්ම කැමති නං මාත් කැමතියි"
      Excellent flow of story with fitting interpolations !

      Delete
    3. කසුන්,

      ගම් පෙරළියෙ මම කැමතිම දෙබස මේ…..හැබැයි චිත්‍රපටයෙන් නම් නෙවෙයි පොතෙන්…:)

      " පියල් උඹට ලියුනුත් දුන්නද?" මාතර හාමිනේ ඇසුවාය.

      " ඔව් " නන්දා ඇසෙන නෑසෙන අයුරු තෙපළාය. " එකක් ද කොහෙද දුන්නා "

      "ඉතින් බලපන් හැදෙන ගෑණු ළමයෙක් කරන වැඩක්ද උඹ කරල තියෙන්නෙ. පියල්ගෙන් තියා අපිට කැපෙන පවුලක වුනත් පිරිමියෙක්ගෙන් ලියුම් ගන්නවද හැදෙන ගෑණු ළමයෙක්. " මාතර හාමිනේ දැඩි කෝපයෙන් නන්දාට බැණ වැදුනාය.

      "අම්මා නිරපරාදෙ මට දොස් කියන්නෙ ඇයි? පියල් මට එකම ලියුමයි දුන්නෙ. ඒකත් මම වීසි කලා "නන්දා පැවසුවේ නැඟීසිටිමිනි.

      "ආ..එහෙම කරපු එක හොඳයි..කොහාටද උඹ ඒ ලියුම වීසි කලේ?" මාතර හාමිනේ සැනසුම් සුසුමක් හෙලමින් ඇසුවාය.

      " මගෙ අල්මාරියෙ ලාච්චුව ඇතුලට "

      Thanks , Kasun….:)

      Delete
    4. රවී අයියා පොත නොබල මතකයෙන් නේද ඇදල ඇරියෙ. :)


      "එහෙනම් පියල් ඊට කලිනුත් ඔය ගැන කතා කරන්න ඇති."

      "පියල් ලියුම් වගයක් දුන්නා"
      සෙන පුපුරණ හඬින් බිරාන්ත වූ එකියක සේ මාතර හාමිනේ දෙනෙත් විදහාගෙන නළල රැලිගැන්නුවා ය.

      "අපේ වරිගෙ කවුරුත් නොකරපු වැඩක් නෙව උඹ කරලා තියෙන්නෙ ! පියල් එක්ක තියා අපේ පෙලන්තියේ අපේම පවුලක උණත් ඉලන්දාරියෙක් එක්ක ලියුම් ගණුදෙනු කරනවාද හැදෙන ගෑනු ළමයෙක්?" යි මාතර හාමිනේ කීවේ බලවත් කෝපයෙනි; ශෝකයෙනි.

      "මම ලියුම් යැව්වෙ නැහැ අම්මා. මම ගැන ඇයි ඔහොම හිතන්නෙ?" යි නන්දා බිය රැ‍ඳි දෙනෙතින් යුතුව විචාළා ය.

      "එහෙනම් පියල් ලියුම් දුන්නායයි උඹ දැන් කිව්වේ?"

      "එයා ලියුම් දුන්නාට මම ලියුම් යැව්වාය? පියල් ලියුම් දෙකක් දෝ කොහෙදෝ මට දුන්නා. මම ඒවා වීසි කරා - අල්මාරිය අස්සට - මම පියල්ට කවදාවත් ලියුම් යැව්වෙ නෑ"

      Delete
    5. රවී, DDT බොහොම ස්තුතියි!

      "අල්මාරිය අස්සට වීසි කරා" කියන එක මරු කියමන නේද? පොඩි කාලෙ මම අම්මව හිනස්සවන්න මෙහෙම කියලා තියනවා.

      අම්මා - කෝ අර කැවුම් ගෙඩි දෙකක් තිබ්බානෙ මේ පිඟානෙ ?
      මම - ආ.. ඒ දෙක ද? මං වීසි කරලා දැම්මා අම්මෙ.
      අම්මා - වීසි කළා? කොහෙටද? අපරාදෙනෙ වීසි කළේ. ඔයාට කන්නනෙ තියලා තිබ්බෙ.
      මම - බඩට වීසි කළේ අම්මෙ !

      Delete
    6. //"අල්මාරිය අස්සට වීසි කරා" කියන එක මරු කියමන නේද?//

      වික්‍රමසිංහ මහත්මයම ඒකත් පොතේම සඳහන් කරල තියෙනවනේ.

      ------------------------------------

      පියල්ගේ ලියුම 'වීසිකරා' යි නන්දා කීවේ මව සනසන අටියෙනි. 'අල්මාරිය අස්සට-' යි අනතුරුව කීවේ පළමු කියුම බොරුවක් විය හැකි බැවිනි. නන්දා පියල්ට ආලය නොබැඳගත් බව ඇත්තකි. එහෙත් තමාගේ රූපය ද ගතිගුණ ද වර්ණනා කෙරෙන කියුම් සහිත ලියුම් කියවූ ඇගේ හද තුළ ගුප්ත සන්තෝෂයක් හට ගත්තේ ය. ඒ ලියුම් වීසි නොකොට අල්මාරියේ මුල්ලක සඟවා තබන්නට ඈට සිතුණේ ද එහෙයිනි.

      ------------------------------------

      ඕං .. ගෑනුන්ගෙ හැටි. හෙහ් හෙහ් හෙහ් .....

      Delete
    7. හෙහ් හෙහ් හෙහ් ..... මතක් වුණා මතක් වුණා. සාමාන්‍ය පෙළට කියෙව්වට පස්සෙ ආයෙ කියෙව්වෙ නෑ හැබැයි. නැවතත් බොහොම ස්තුතියි DDT.

      Delete
  13. මිනිරන් (ග්‍රැෆයිට් ) වලට ලොකු වටිනාකමක් ඒදවස්වල තිබුන නේද? ඒක ක්‍රම ක්‍රමයෙන් අඩුවුනේ ඇයි?

    ReplyDelete
    Replies
    1. අඩු වෙන්නේ අපේ හරක් වැඩ නිසා.
      බෝගල පතලේ මිනිරන් අදටත් විකුණන්නේ කිලෝ එක රුපියල් 200 ගානේ. ඒ මිනිරන් වර්ගය ලෝකෙන්ම තියෙන්නේ අපේ රටේ විතරයි.
      එව්වයෙන් තමයි නැනෝ කාබන් හදන්නේ. නැනෝ කාබන් හදන එවුන් ඒවා හදල විකුණනවා.
      පොඩි පොඩි පරීක්ෂණ වලට නැනෝ කාබන් මිලි ග්‍රෑම් එකක් රුපියල් ලක්ෂ එකහමාරකට වඩා වැඩි ගාණකට අපිත් මිළදී ගන්නවා.
      සමහර රටවල් නැනෝ කාබන් හැදිල්ල කෙසේ වෙතත් ඉදිරි අනාගතේදී ප්‍රයෝජන ගන්න හිතාගෙන අපේ මිනිරන් අරගෙන ස්ටොක් කරගන්නවා.
      අපේ මිනිරන් ඉවර උනාම උන් කවදාහරි ඒවා විකුණයි අස්ප ගණන් වලට.

      අපිට නැනෝ කාබන් හදන්න තවම නොහැකි නිසා, සහ නැනෝ කාබන් හදන්න පුළුවන් අපේ මිනිරන් වලින් විතරක් නිසා අපි කරන්න ඕනේ කොල්ලටයි බල්ලටයි ඒවා රුපියල් 200 ගානේ විකුණන එක නෙමෙයි නැනෝ කාබන් හදන රටවල් වලට විතරක් ඒවා සීමාවක් ඇතුව වැඩි මිළකට විකුණන එක.

      Delete
    2. Pra,

      ඔය මිනිරන්වල මිල බොහොම ඉක්මනට ඉහළ පහළ යනව. මාතලේ අවට ඔය මිනිරන් කර්මාන්තය බහුලව තියනව. කාලයක් තිස්සෙ පවත්වාගෙන එන ඒ කර්මාන්තශාලා විදේශ සමාගම් එක්ක දීර්ඝ කාලීන ගිවිසුම් වලට එළඹිලා ඒ වැඩේ කරන්නෙ. ඒ හින්ද ඔය මිනිරන් ඉල්ලුම ඉහළ පහළ යාම එයාලට බලපාන්නෙ නෑ. ඔය මිනිරන් වර්ග දෙකක් තියනව මම දන්න විදිහට. පැන්සල් හදන්න, නොයෙක් යන්ත්‍ර සූත්‍ර කොටස් වලට යොදාගන්න,එතකොට ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන කටයුතු සඳහා යොදාගන්න තත්වයෙන් උසස් මිනිරන් ප්‍රධාන වර්ගය.

      බෝගල, කහටගහ වගෙ මහා පරිමාණ පතල්වලින් හාරල ගොඩ ගන්නෙ ඒ තත්වයෙන් උසස් මිනිරන් වර්ගය. ඒත් ඔය මම කියපු අපෙ හාමිනේලගෙ ගමේ මිනිස්සු කාලෙන් කාලෙට ගොඩ දාන්නෙ පොළව මතුපිටම වගෙ තියන තත්ත්වයෙන් බාල මිනිරන්. එව්ව නිකම් මේ පොතු වගෙ තියෙන්නෙ බොහෝවිට. මට හිතෙන්නෙ කාලෙන් කාලෙට ඒ තත්වයෙන් බාල මිනිරන් වලටත් හොඳ ඉල්ලුමක් එනව. එතකොට ඔන්න මිනිස්සු ඔව්ව හොයන්න ගන්නව. පස්සෙ අර ඉල්ලුම නැතිවුනාම ඒ මිනිරන් හොයන වැඩේ එහෙම්මම ඇණහිටිනව.

      ප්‍රාට මතකද 80 දශකයෙ මැද විතර මඩ පුවක් වලට හෙණ ඉල්ලුමක් ආව. පකිස්තානෙන්ද කොහෙද ඕඩර් එකක් ආවය කියල. ඒ මඩපුවක් ආතල් එක තිබ්බ අවුරුද්දක් විතර. කොච්චරහරි අපෙ අත්තම්මලගෙ ගමේ ඒ කියන්නෙ රඹුක්කන පැත්තෙ මිනිස්සු මඩ පුවක් ටැන්කි හැදුව ගඩොලින් බැඳල.මඩ පුවක් ඩිමාන්ඩ් එක බැහැල ගියාට පස්සෙ පොඩි එවුන් එව්වයෙ නෑව ස්විමින් පූල් වගෙ

      Delete
    3. ප්‍රා,
      සමාවෙන්න ඕනේ මෙහෙම අහනවට. මිනිරං කියන්නේ මර්කරි වලට නෙමෙයිද?

      ලංකාවේ ඒ කාලේ මර්කරි තිබුනද? ග්‍රැපයිට් වෙනයි නේද?
      මෙහේ ඒ කාලෙ ඉස්සරම මර්කරි පතල් තිබුනා. තවමත් සමහර තැන්වල තියෙනවා. ඒ වැඩ කරන තැන්වල ඉස්සර කතා අහලා තියෙන ඒවා අනුව මම හිතන්නේ පොළව යට උමං වල එහෙම මාස ගණන් ජීවත් වෙන එකත් මට හීනයක් වගේයි. අද වෙනකොට ටෙක්නොලජි එක්ක ඒ වගේ මහන්සියක් නොවුනට මාස ගාණක් අස්සේ කිසිම පහසුකමක් නැතිව ජීවත්වීමම කොයි තරම් අභියෝගයක්ද?

      අර මිණිරං පතල් ජන කවියක් කවියක් ටිකක් මොනා හරි තියෙනවා නේද මාස ගාණක් නො එන. එතකොට ඒ මර්කරි ගැනද?

      Delete
    4. ලොකු පුතේ,දෙවන ලෝක යුද්ද කාලෙදිත් මීරන් වලට ලොකු ඉල්ලුමක් තිබුන නේද? ඒ මොනාටද?

      Delete
    5. බුබා, ඔය කීන කවි සැට් එක මෙතනත් කවියෙන් කියවෙන දුම්බර ඉසව්ව මෙතනත් තියේ.

      Delete
    6. හරි මමයි වරද්දගෙන තියෙන්නේ.
      මිනිරං කියන්නේ මම කියන එක නෙමෙයි.

      මේ අපේ ඕල්ඩ් සිරිබිරිස් උන්නැහැමද?
      කවි ඔක්කොම කියෙව්වා...

      https://en.wikipedia.org/wiki/Mercury_(element)

      Delete
    7. බූරු,

      Mercury = රසදිය

      Delete
    8. සිරා,

      ස්තූතියි පතල් කවි සහ දුම්බර සබැඳි වලට...:)

      Delete
    9. @Buru Babe, මර්කරි කියන්නෙ රසදිය. තර්මොමීටර්වල තියෙන්නෙ.
      මිනිරන් කියන්නෙ ග්‍රැෆයිට්..පැන්සල්වලට, යන්ත්‍රවලට හා වෙනත් කාර්මික හා ඉලෙක්ට්‍රොනික් වැඩවලට ගන්නෙ.
      මිනිරන් එක්ක දිය රත්තරන් Fool's Gold හමබවෙනව

      Delete
  14. කොස් ගහේ පරම්පරාවල් දෙකක් විතරම ගියානේ ඔය කොස් ඩිංග කපන එකයි මෙයාගේ මනමාල ටෝක් එකයි අහන්ට?

    මට්ටු වෙලා නැති හැඩයි ඔය කෙබර ඇදබාන එකෙන්... ගහේ බැඳලා දිමි ගොටු දාන්න තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++
      කපන කොස්ගෙඩියෙ ඇට පැලවෙලා ඒවයිනුත් කොස්ගස් හැදිලා........
      (ඉස්සර සතොසෙ තුන්වන පරම්පරාවෙ අර්තාපල් වික්කා වගේ)

      Delete
    2. උපේක්ෂා,

      / ගහේ බැඳලා දිමි ගොටු දාන්න තියෙන්නේ.. /

      ඊට වැඩිය ආතල් එක තමයි කහඹිලියා කොල කවන එක...හෙහ්,හෙහ්

      Delete
  15. //ගෑණු මිනිස්සු ළමයි බමයි ඔක්කොම ගෝණි බෝනි උදළු බුදළු//
    මං මේ ටික කොපි කොරගත්තෙ ඇයි දන්නවද රවී අයියෙ? සිස්සත්තෙ ලියන පොඩි එකීට යුගල පද පාඩම් කොරවංට.

    ReplyDelete
    Replies
    1. මධු,

      හෙහ්..ඒක හොඳයි, අඩු ගණනෙ නිර්මාණාත්මක කුශලතා වලටවත් පොඩි එකීට ලකුණු ටිකක් හම්බවෙයි නෙව.

      පොඩි කාලෙ කියවපු මොකක් හරි පාඩම් පොතක තිබ්බ ගුරු හාමුදුරුවොයි ඇබිත්තයයි ගමනක් යන සීන් එකක්. මඟදි ඇබිත්තය මළ පැනල කියනව. " හාමුදුරුවනේ, පාත්තරෙයි සූත්තරෙයි, කුඩයි මුඩයි, සෙරෙප්පුයි බෙරෙප්පුයි ඔක්කොම මට උස්සගෙන යන්ට බෑ " කියල.

      හාමුදුරුවො කියනව.." හොඳා, පාත්තරේ තෝ ගනු, සූත්තරේ මට දිය, කුඩ තෝ ගනු, මුඩ මට දිය, සෙරෙප්පු තෝ ගනු, බෙරෙප්පු මට දිය " කියලා....:)

      Delete
  16. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. Pissuda oyi? Get lost please.

      Delete
    2. AnonymousJuly 24, 2015 at 4:34 PM,

      හොරගෙඩිය..මහ එකා නොහොත් නීලකාසය වගේම තමා. ඒ යකත් පංසලකට ගියත් ඉස්කෝලෙකට ගියත් මොකක් හරි දේසපාලන කතාවක් ඇදල අරගෙන එක්කො අල්ලෙ පැලවෙන ගජ බින්නයක් කියයි. එක්කො කාටහරි මඩක් ගහයි..මතකනෙ..අපෙ හාංදුන්නේ මම කාගෙංවත් පලි ගත්තෙ නෑ අපෙ හාංදුන්නේ...

      ඒ හින්ද මේ…. ඒ යකා වගෙ කැත ගති පුරුදු වෙන්ට එපල්ල. කරුණාකරල අදාල තැන කමෙන්ට් එක දාන්න උත්තරයක් ඕනෙ නං....

      Delete
  17. මෙගා ටෙලි පිටපත් ලියන්න වගේ හොයාගන්න බැරි වෙයිද? අතීත කතාව මැද්දේ තව අතීත කතාවක් ලියලා ෆේඩ් අවුට් වෙන හැටි! //මටත් ඉතිං ඒ මදැයි..කතාවක් කියන්ට තියේනං මට ඊට වඩා දෙයක් තියනවය ආය?// නේ? :D

    ReplyDelete
    Replies
    1. මලිති,

      / මෙගා ටෙලි පිටපත් ලියන්න වගේ හොයාගන්න බැරි වෙයිද? /

      එහෙම මොකවත් හොයාගන්ට බලන්ටෝන, දැන් ඇති මේ රස්සාව කරා. අනික අපි දැන් වයසක උදවිය. ආතල් එකේ ගෙදෙට්ට වෙලා ඉඳගෙන කතාවක් දෙකක් ලියාගත්තනම් එපිසෝඩ් ගානට විකුණන්ට ඇහැකි. මගෙ කතාවම උනත් මම හිතන්නෙ නරක නෑ ඔය තැනින් තැනට පොඩි පොඩි ආලවට්ටන් ටිකක් ඔබ්බල ගත්තම. වඩියුසේ මැඩම් එහ්?

      Delete
  18. නියමයි රවී අයියෙ...පෙට්ටගමට කෙල උනා එහෙනම්.. ඊලඟට අහමුකො ඒක.. ප්‍රංශ පුවත් ගෙ සීන් එකත් ඉක්මනටම කියන්න හොඳේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      ස්තූතියි ගස්,

      හරි, සියළුම පොරොන්දු මදක් පමාවී හෝ ඉටු කරනු ලැබේ..අද්දුටුවයි සත්තයි ඒකාන්තයි!..:)

      Delete
  19. අදනම් අයිස් ක්රින් එකක් අරන් දෙන්න ඕනේ. යන්තම් අසෝකාත් එක්ක කොස් කපන්න ඉඳගත්තට...
    ඉතින් බොලේ මෙච්චර ලස්සනට ගලාගෙන ගියපු ආදර කතාව විවාහයකින් කෙලවර උනේ නැත්තේ මොකෝ?

    ReplyDelete
    Replies
    1. සයුරි,

      / ඉතින් බොලේ මෙච්චර ලස්සනට ගලාගෙන ගියපු ආදර කතාව විවාහයකින් කෙලවර උනේ නැත්තේ මොකෝ? /

      කුක්කුටයෙක් හින්ද බොල, කුක්කුටයෙක් හින්ද..හරියටම කිව්වොත් පිලිස්සූ කුක්කුටයෙක් හින්ද.....:)

      Delete
  20. හැබෑටම එක එක හොරාගේ මගුල් ලියනවට වඩා මේ වගේ කතා කොයි තරම් සුන්දරද?

    ReplyDelete
    Replies
    1. වත්සලා,

      ඒකත් ඇත්ත තමයි බලාගෙන යනකොට..ඒත් හොරු ගැන නොලියත් බෑනෙ බොල...:)

      Delete
  21. මාමණ්ඩිගේ සීන් එකෙන් පස්සේ ගෙදර උන්දෑ රවී අයියට බේගල් වගේ නමක් පටබැන්දේ නැද්ද.
    පට්ට චා වැඩක්නේ වෙලා තියෙන්නේ.
    කොට්ටෝරුවා බෙනේ හාරලා ඉවරද කියල බලන්න ගියේ ඌට කියල හරි වලක් හාරගෙන ගිහින් "පොළව පලාගෙන" යන්නවත්ද.

    කොස් කපන ගමන් පටන් ගත්තු ආදරේ ප්‍රකාශ කිරීම සහ කැමැත්ත ලැබීම එක්ක මට ඒ සීන් එක මැවිලා පෙනුනේ පරණ පහේ කළු සුදු චිත්‍රපටියක කොටහක් විදිහට...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      / මාමණ්ඩිගේ සීන් එකෙන් පස්සේ ගෙදර උන්දෑ රවී අයියට බේගල් වගේ නමක් පටබැන්දේ නැද්ද. /

      එහෙම එකක් වුනේ නෑ. කොහොමත් එයාල ඔක්කොම දන්නව මගෙ ඔය විකාර වැඩ...හෙහ්,

      / කොස් කපන ගමන් පටන් ගත්තු ආදරේ ප්‍රකාශ කිරීම සහ කැමැත්ත ලැබීම එක්ක මට ඒ සීන් එක මැවිලා පෙනුනේ පරණ පහේ කළු සුදු චිත්‍රපටියක කොටහක් විදිහට…/

      ඒ මොකෝ මලේ කළු-සුදු ෆිල්ම්ස් මතක් වුනේ. මම ඒ තරම් වයසයිද?...හෙහ්,හෙහ්,

      Delete
    2. වයස වෙන්න ඕනයැ කළු සුදු ෆිල්ම් එකක් මතක් කරගන්න. හෙහ් ... ඒක කිව්වම මට මතක් උනේ අර ත්‍රී ඉඩියට්ස් හින්දි ෆිල්ම් එකේ රාජුගෙ ගෙදර පෙන්නන සීන් එක, පනහෙ දශකෙ කලුසුදු චිත්‍රපටියක කෑල්ලක් වගේ කියල.

      Delete
  22. රවී,
    මම මෙහෙම කවදාවත් කියලා නෑ කලින්.
    හැබැයි රවී මේ ඔයාගේ කතාව ලියන විදියටම හැබෑ ජීවිතේත් හැසිරුනා නම් කිව්වා කලා නම් උඹ මගේ ජීවිතේ වීරයෙක් වෙනවා.
    ඇයිද ද දන්නවද මම දන්න කියන ලංකාවේ මිනිස්සු ලියනකොට කියනකොට කෙසේවෙතත් හැබෑ ජීවිතේ හැඟීම් එලියට පෙන්නන්නේ නෑ. කොච්චර ආදරේ වුනත් ඒක එලිපිට කියන්නේ නෑ. කොටින්ම ඒ කාලේ රවී මට වඩා අවුරුදු ගාණක් වැඩිමල් වගේනේ. තරුණ නැතත් අපේ ජෙනරේශන් එකේවත් කිසිම කෙනෙක් එහෙම එලිපිට ආදරය වෙනුවෙන් හැඟීම් වෙනුවෙන් පෙනී හිටින්නේ නෑ. අපිට පස්සෙ ජෙනරේශන් එක කියලා මහ ලොකුවට එහෙම වෙලා නෑ. ඔන්න දැන් ඉස්කෝලේ යන පොඩි එවුන් නම් ටිකක් වෙනස් වේගෙන එනවා. ඒත් අර මහ ලොකු ලාංකීය කල්චර් එකද මොකක්ද කියන එකෙන් (එහෙම කියනවා මිසක් එහෙම හැබෑ කල්චර් එකක් ගැන නෙමෙයි) බලෙන් වෙනස් කරනවා.

    ReplyDelete
    Replies
    1. මේක මේ කාලයක් තිස්සේ පිට රටක ජීවත් වෙන මට තියෙන සංස්කෘතික ජාතික ප්‍රශ්නයක් වගේ එකක්. කාලයක් මිනිසුන් ස්ටඩි කරලා මම අවංකවම හිතන දෙයක් හරි? නෝ එනි ඩිස්ක්‍රිමිනේසන්.

      Delete
    2. Rangi,

      / ඇයිද ද දන්නවද මම දන්න කියන ලංකාවේ මිනිස්සු ලියනකොට කියනකොට කෙසේවෙතත් හැබෑ ජීවිතේ හැඟීම් එලියට පෙන්නන්නේ නෑ. කොච්චර ආදරේ වුනත් ඒක එලිපිට කියන්නේ නෑ. /

      සාමාන්‍යයෙන් ඒ කියන්නෙ පොදුවෙ සළකලා බැලුවම ඔබ කියන කාරණය ඇත්තක් වෙන්න පුලුවන්. ඒත් අපේ කාලෙ වුනත් එච්චරම තත්ත්වය දරුණුවුනේ නෑ මම දන්න තරමින්. හැබැයි ඉතින් මෙහෙම එකකුත් තියනව. මගෙ තරුණ කාලෙ අවුරුදු 15 ක්ම ගෙවුනෙ කැළේ සහ ඊට පස්සෙ ගොවි ජනපදයක. ඒ නිසා මම මේ කියන්නෙ ඒ කාලෙ මට ආශ්‍රය කරන්ට ලැබුනු පුද්ගලයින් ගැන හිතල. ඒ නිසා මගේ අදහස පොදුවෙ ගත්තම වැරදි වෙන්නත් පුලුවන්...:)

      Delete
    3. රවී මේ කියන්නේ අර මම ඔයාට ආදරෙයි කියන කතාවේ කොටසක්.
      කොටින්ම අපේ හැඟීම් එලිපිට ප්‍රකාශ කිරීම.
      මට තියෙන ලොකු අවුලක් ඕක.
      අපේ මල්ලි කොච්චර ඩිවලොප් මයින්ඩ් වුනත් එයාවත් මට එහෙම කියන්නේ නෑ. ඒකට අපි දෙන්නා දවස ගාණේ මරා ගන්නවා.
      අපි හැදිලා තියෙන්නේ එහෙම නෙමෙයි නේ. හැමවෙලේම ආදරෙයි කියන්න අපේ හැඟීම් එලිපිට පෙන්වන්න. ඒක මේ තමන්ගේ කොල්ලට කෙල්ල වෙන්න ඕනේ නෑ.
      කොටින්ම අපේ ලංකාවේ එවුන්ට මගේ ආදරය මහ කරදරයක්.
      උන්ගේ ආදරේ තියෙන්නේ හිතේ.
      මම කියන්නේ ආදරේ වචන වෙනකොට ඒක හරි සුන්දර දෙයක්. ඒ වගේමයි ආදරේ ඇක්සන්ස් වලින් පෙන්නනකොට. කොටින්ම තැනක් නොතැනක් නැතිව හග් කිරීම.
      ඔයා මට ආදරෙයිද ඇහීම, වගේ පුංචි දේවල්.

      මගේ කරදරකාර පුරුදු හින්දමද මන්දා අපේ පොඩි එවුන් නම් දැන් එහෙම මට කරනවා. ලොකු කොල්ලෙක් වුනත් අපේ අක්කාගේ පුතා වුනත්.
      ඒත් මට කියන්න ඕන වුනේ මේ වචන වලින් කියන ආදරය එහෙම ඇත්තෙන්ම එලිපිට වෙනවා නම් ටැබූ නොවී කොයි තරම් සුන්දර මිණිහෙක්ද උඹ?

      Delete
    4. Rangi,

      / කොටින්ම තැනක් නොතැනක් නැතිව හග් කිරීම වගේ පුංචි දේවල්. /

      හුහ්, හොඳ පුංචි....... හප්පච්චියේ, අම්බානක ගුටිකාල කූඩුවෙත් ලගින්ට වෙන වැඩක් උඹ ඔය කියන්නෙ...මට එක පාරක් එහෙම වෙන්ට ගියා බස් එහෙකදි..හෙහ්,හෙහ්, බොහොම අමාරුවෙන් ජාම් බේරගත්තෙ..ඒක ටිකක් දිග කතාවක්...පසුබිම ලියන්ටම තියනව සෑහෙන්ට. ගුරුවරියක සමඟ මගේ ජීවිතය ලියද්දි ලියන්නම් ඒ විස්තරේ...:)

      ගෙදරනම් අපි දෙන්න එහෙම තමයි..ඇලී ගැලී වාසය කරන්නෙ...එවුන්දෙගෙ ලග්නෙත් ඇවිල්ල මිථුන....:)

      Delete
  23. // මම රා බිව්ව කියල ආය ඒකෙ දෙකක් නෑ මම රා බොන්ටම ඇති
    හපෝයි රෙදි නෑ.අනේ උඹේ මුණ ඒ වෙලාවේ මැවිලා පේනවා.කන් පෙති රත් වෙලා ලාවට දාඩියත් දාල.දොරින් එලියට බැහැලා හොඳ හුස්මක් කටින් පිට කොරලා ගහ පැත්තට විදලා යන බුවා.

    //පොලීසියෙං පයින වෙලාවට මාත් එතන ඉඳල
    ඕන් ගෙවනවනන් කරුම ! ජොකියෙක් ආසාවට කසියා පොට් එකෙක් බලන්න ගිහින්.පෙරන එකා කියපි මේවා නිකං බලන්න දෙන්න බෑ දරවත් ගෙනත් දාපන් කියලා.මු ගින්නට දර දාන කොට පැනපි පොලිසියන්.ආව් හොඳට කාල ජොකියා කුඩුවේ පොලෝසිය පිළිගනිද මුගේ කතාව.

    ReplyDelete
    Replies
    1. සිරා,

      / හපෝයි රෙදි නෑ.අනේ උඹේ මුණ ඒ වෙලාවේ මැවිලා පේනවා.කන් පෙති රත් වෙලා ලාවට දාඩියත් දාල.දොරින් එලියට බැහැලා හොඳ හුස්මක් කටින් පිට කොරලා ගහ පැත්තට විදලා යන බුවා.  /

      හරියටම හරි බොල..හරියටම හරි, උඹ බොල බලා හිටිය වගෙ නෙව මෙව්ව කියන්නෙ......

      " ෆූෆ් මදැයි වෙච්චි දෙයක්, සික්, අම්මාපල්ල මේ වෙලාවෙ හොඳ සැර හුළගක් එනවනම් මම අර කිතුල යටට වෙලා ඉන්නව ඔලුගෙඩියටම පතබෑවියන් කියල " ඔන්න ඔහොම තොල් මතුර මතුරයි මම කිතුල පැත්තට ගියේ...හෙහ්,හෙහ්,

      / ඕන් ගෙවනවනන් කරුම ! ජොකියෙක් ආසාවට කසියා පොට් එකෙක් බලන්න ගිහින්.පෙරන එකා…………… /

      නියම කතාව ඒක..ආසාවට බලන්ට ගිය එකාට වදින්ට ඇති සබ්බුව ආසාව නැතිවෙනකල්.

      ඇයි ඔහොම තව කතාවක් තියනව. මේක කිව්වෙ පොලිසියෙ වැඩ කරන මගෙ මල්ලි කෙනෙක්. දඹුල්ල පැත්තෙ කසිප්පු පොට් එකකට පොලිසියෙන් පැන්න වෙලේ එකෙක් ආත බූත කඩාගෙන දුවල ගිහිල්ල වැටකිනුත් පැනල ඇරල තිබ්බ ජනේලෙකින් ගේකට පැනල ඇඳක් යට හැන්ගුනාලු. උගෙ කරුමෙ කියන්නෙ ඒ එක්කම එතෙන්ට පැන්නලු පොලීසියෙ වෙන කට්ටියක්. එතන ප්‍රසිද්ධ ගණිකා නිවාසයක්ලු. හෙහ්...හෙහ්..අපේ පොර දන්න විදිහට කිව්වලු විස්තරේ..මොන? පොලිසියෙන් පිලිගත්තෙම නෑලු.අන්තිමට මූ එක්ක කසිය ගහන්ට ගිය අනික් යාලුවන්ටත් සාක්කි දෙන්ට වුනාලු මූ වෙනුවෙන්. මොකද එහෙම වුනේ නැත්තන් එහෙම මනුස්සයගෙ කසාදෙටත් කෙල වෙන්ටයි ගිහිල්ල තියෙන්නෙ...හෙහ්,හෙහ්,

      Delete
  24. හෆොයි ! කෙබර කෙළිල්ල. අපේ අක්කගෙ ලොකු පුත්තරය වගේ. ඌත් ඇවිත් ඇඟේ පතේ නොගෑවි ටොම්ඹ පච ඇත්ත කරල කියනව අපේ අම්මට, ඒ කිව්වෙ ඒ යකාගෙ ආත්තම්මට. අපේ අම්මත් ඉතිං අපි කොච්චර එපා කිව්වත් අරූ කියන ඒව හිස්මුදුනින් පිළිගන්නව. මම නම් ඌ ඇත්තක් කිව්වත් පිළිගන්නෙ නෑ, ඌට උපන් හැකියාවක් තියෙන්නෙ ඕන පචයක් ඇත්ත කරල කියන්න. බලන් ගියාම රවි අයියත් ලණු දෙයියෙක් ... හැක්.

    //" ම්ම්ම්..පෙට්ටගම ගැනනං නැන්දම්මගෙං අහන්ට වෙයි.පෙට්ටගමත් එක්ක තව මොකවත් ඕනනං අපෙ අප්පච්චිගෙං අහන්ට වෙයි…"

    " හරි මම ඔයාලගෙ අප්පච්චිගෙං අහන්නංකො……………."//

    බලාපල්ලකො දෙන්නදෙමාල්ලො නිකන් ඇඟට පතට නොදැනි අපේ නෙවෙයි වගේ නෙලන අපූරුව. මේවනේ .. කතා !

    ReplyDelete
  25. අද නං දෙබස් සහ තිරරචනයට සම්මානයක් දෙන්න වටිනවා.... පොඩ්ඩක් පරණ උනත් කමෙන්ට් එකක් දාලම යනවා කියලා හිතුණා.පෙට්ටගං කෑල්ල නම් නියමයි...

    ඒක නෙමේ අර පළවෙනි කමෙන්ට් එකට දීලා තියන උත්තරෙන්ම ආතල් කාලා නේ...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...