Thursday, August 13, 2015

340. මැතිවරණ මතක සටහන්...1977 සිට 2005 දක්වා.

Google Images
කොස් කපන ළමයගෙ වග විස්තරෙත් ලියල ඉවරයක් කරල දාන්ට ඕන. ඒ අස්සෙ නිල් කට්රොල් මල්වලට වතුර දාන ළමයෙකුත් ඉන්නව. ගුරුවරියක සමඟ මගේ ජීවිතේ ගැනත් මොක මොකව හරි ලියවෙන්ටත් එපාය. අපොයි අන්දර මල් දමේ අර අමා යෝදි පටං ගත්තු කතාව ඉවර කරන්ටත් තියනව. සිත්තමී ලොක්කි කොයි වෙලෙත් ඒක මතක් කොරනව. හපොයි මේ අංගනාවියංගෙං මට බොහොම අපලයි. මයෙ කේන්දරෙත් එහෙම තියනව.

මේ ඊයෙ පෙරෙයිද කියවපු සෝක් පොත් දෙක තුනක් ගැනත් පොඩි විස්තරයක් ලියන්ට කියලත් හිතේ තියනව.කාර්තේජයේ හැනිබල් රෝමය ආක්‍රමණය කරපු එක ගැන ලියවෙච්චි බෙන් කේන්ගෙ තුන් ඈඳුතු කතාව එකක්.අනික ග්‍රෙගරි ඩේවිඩ් රොබට්ස්ගෙ " ශාන්තරාම්".  ඊටත් පස්සෙ එළිසබෙත් ගිල්බට් ලියපු ස්වයංලිඛිත චරිතාපදානෙ " Eat, Pray & Love"

ඒ ඔක්කොම අස්සෙ ඔස්ටේලියන් ටිම් එකට නැතිවෙන්ට දෙනව එංගලන්තෙ සුද්දො. හෙහ්..ඔක්කෝටම වඩා ආතල් එක ඒක. ඒ ගැනත් ලියන්ට පටං ගත්ත ඒකත් එතනමයි. හෙහ් අන්න ඒ අස්සෙ ඉන්දියාව දෙනව අපිට නැතිවෙන්ට ගාල්ලෙදි. මොකද ඉතිං කොරන්නෙ?

අනිත් අතට ඔය මොක කොරන්ටත් ඉන්නෙ මේ තනි මං විතර නෙව….:)

මහ චන්දෙ ලබන සවුද හින්ද මැතිවරණ උණුහුමත් නැඟල යනව. ගරු කටයුතු නීලකාස මුදියන්සේලාගේ බුරුසුපාල ගැන නං කතා කරල වැඩක් නෑ. ඒ මනුස්සයනං විලි ලැජ්ජාව කියන එක යන්තමට ගෑවිලාවත් තියන කෙනෙක් එහෙම නෙවෙයි. දේසපාලුවො කියන සත්තු කොට්ටාසයට විලි ලැජ්ජාව කියන එක නම් නෑ තමයි. ඒක මාත් දන්නව . ඔබ තමුන්නාන්සෙලත් හොඳාකාරව දන්නව. 

ඒත් මේ මනුස්සය ඒ විලි ලැජ්ජා නැතිකමේ නව නැම්මක් අපිට ප්‍රදර්සනේ කරනව. විලිබිය රහිත භාවයේ නව නැම්මක් නව මානයක් ඔබ වෙත ඉදිරිපත් කරමින් මෙන්න රට වටා රජ ගමනේ අපේ හිටපු මහරජ තුමා...ජයවේවා! ජයමවේවා!! ජයෙන් ජයම වේවා!!!..මහරජාණනේ! හොර දෙටුවාණනේ!

ඉතිං ඔය මොකව ලියන්ට ගියත් සවුද පහුවෙනකල්, ඒ කියන්නෙ මේ චන්දෙ දෙකිං එකක් වෙනකල් ලියන්ට ගන්න කිසිම අටමගලයක් හරියකට ලියවෙන්නෙ නැතුවා. ඒ හින්ද ප්‍රමුකස්තානය දියයුතු වැඩ ඉස්සෙල්ල කරල ඉම්මු. රයිට් ප්‍රමුකස්තානය දියයුතු වැඩ මුලිම්ම කියල කිව්වම මතක් වුනේ. මේ ඇවිල්ල මයෙ අතිජාත මිත්ත්‍රයෙක් ගැන සුට්ටං කතන්තරයක්. යාලුවගෙ නම ඇල්බට්..අපි කිව්වෙ ඇල්බා කියල.

මම ඔය කියන මගෙ යාලුව, ඒ කිව්වෙ මේ ඇල්බා බැඳල ලමයි දෙන්නෙක් එහෙමත් ඉන්නව. ගෙදර යන්නෙ මාසෙකට එකාමාරකට විඩයක්. ගෙවල් මේ හොරොව්පොතානෙනුත් එහාට යන්ට ඕන පැය බාගයක් විතර බස් එකේ. ඔපිස් එකෙං උදේ පිටත් උනහම ගෙදර යනකොට රෑ අට නමය වෙනව. හද්ද පිටිහර ගම් පලාත් නෙව. ලයිට් එහෙමත් නෑ. ලාම්පු තමයි.

ඉතින් ඔය කාලෙකට පස්සෙ ගෙදර ආහම ගෙදර ගෑණු මනුස්සයගෙ තියනවනෙ පැමිණිලි සහ දුක් ගැනවිලි සම්බාරයක් කියන්ට. ගෙදර වහලෙ අලුතෙන් හෙවිල්ලන්ට ඕනය, වැට තුන් හතර පොලකිම්ම හරක් පැනල කඩා දාලය. කුස්සියෙන් එලියට බහින දොර සරනේරු බුරුල් වෙලා අඩමානෙටය තියෙන්නෙ..ඔය ආදී වසයෙන්...

ඇල්බ ඉතිං කරන්නෙ ගෙදර ගිහිල්ල බත් එහෙම කාල ඇඳේ දිගාවෙලා ඉන්නව උඩ බලාගෙන … " හ්ම්ම්ම්ම්...වහළත් අලුතෙන් හෙවිල්ලල දාන්ට ඕන." හාමිනේ දුක්ගැනවිල්ල පටං ගන්ට කලිං ඇල්බම පටං ගන්නව. " වැටත් අබලං වෙලා නේද? ඒකත් හදල දාන්ට ඕන.කුස්සියෙ දොර පිනත් අලුතෙං දාන්ට ඕන..." එහෙම කියල පපුව පුරවල හුස්මක් එහෙම පහලට දානව.." හ්ම්ම්ම්ම්. එව්ව හෙටනෙ..දැං එමු බලන්ට මෙහාට ඔය ලාම්පුව එහෙම නිවල දාල.... "

ප්‍රයෝරිටයිසිං නොහොත් ප්‍රමුඛතා අනුපිළිවෙල කියන එක තීරණය කරන්නෙ අන්න එහෙමයි. ඒ හින්ද අපෙ ඇල්බගෙ ආදර්ශය අනුගමනය කරල මමත් හිතුව මේ දවස්වල මේ ඡන්ද උණුහුමත් එක්ක ඡන්ද කතන්දරයක්ම ලියන්නම්ය කියල. නෑ..නෑ..කලබල වෙන්ට එපල්ල. අබයාරාමයෙ කතාවක් නෙවෙයි. අපේ හිටපු රජතුමා මේ දවස්වල කියන විකාර කතාවලට නම් උත්තර දෙන්ටවත් වටින්නෙ නෑ. ඔය මරු කියවනව කියල කතාවක් තියෙන්නෙ. අන්න ඒක තමයි එතුමට වෙලා තියෙන්නෙ.

රයිට් එතුමගෙ පයිත්තියං ගැන ඒ ඇති. අපි කතා කරමු මැතිවරණ ගැන මගේ අත්දැකීම්. ඉස්සෙල්ලාම මට හීනෙං වගෙ මතක තියෙන්නෙ 1970 මහ ඡන්දෙ. ඩඩ්ලි මහත්තයගෙ එ.ජා.ප.ය පරදවල සිරිමා මැතිණියගෙ සමගි පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුව ඒ මැතිවරණය ගැන මට මතක තියෙන්නෙ අපේ ගෙදර හතර පස් දෙනෙක් වටවෙලා ට්‍රාන්සිස්ටර් රේඩියෝ එකේ රෑ තිස්සෙ ප්‍රතිපල අහනව විතරයි. ඒ කවුද කියලවත් මට මතක නෑ ඇත්තම කිව්වොත්. අප්පච්චි ඡන්ද ගණං කිරීමේ කටයුතුවලට ගිහිල්ල පහුවදා උදේ නමයත් පහුවෙලා ආපහු ගෙදර ආවෙ. අන්න ඒකනං ඔන්න මට අපූරුවට මතකයි.

ඊට පස්සෙ 1977 මහ මැතිවරණය. අවුරුදු පහෙන් පහට දිගටම තියාගෙන ආපු මහ ඡන්දෙ 1975 අවුරුද්දෙ තිබ්බෙ නෑ. 1972 අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත්තු නිසා ආණ්ඩුවෙ නිල කාලය ගණං ගන්නෙ 1972 ඉඳල අවුරුදු පහක්ය කියල කොල්වින් ගොයිය ගෙනාපු කැකිල්ලේ තර්කයක් පිළිඅරගෙන ( කොල්වියාගෙ අර ගොයං කොලේට මුවා වෙලා වෙඩි තියාපු කතන්දරේ එහෙම ඇත්තමදෝ කියල හිතෙන්නෙ වෙලාවකට මනුස්සයගෙ ඒ වගෙ කතා හින්ද තමයි ) සිරිමක්කා කරපු වැඩේ 1975 තියන්ඩ ඕන චන්දෙ අවුරුදු දෙකක් කල්දාගත්ත. 

හැබැයි ඒ ගොං වැඩෙං උනේ ආණ්ඩුව හත්පලේ ගාගත්ත වගෙ වැඩක්. නියම කාලෙට 75 අවුරුද්දෙ චන්දෙ තිබ්බනං සමගි පෙරමුණ ඔය තරං කැත විදිහට පරදින්නෙ නෑ. 1977 දි අවුරුදු හතකට පස්සෙ චන්දෙ තියල සිරිමා නෝනට හම්බ වුනේ ආසන අටයි. ජේ ආර්. පප්පගෙ යූ.ඇන්.පී එකට මන්ත්‍රී ධුර 168 න් 140 ක් ලැබුණා. පප්පා බලෙං මත්වෙලා පිස්සු කෙලියෙ ඔය 5/6 බලය හින්දයි. එහෙම බලනවනම් පප්පා බලයෙං මත්වෙලා මේ රටට ඊට පස්සෙ කරපු විනාසෙට සිරිමා ලොක්කිත් අනියම් විදිහට වග කියන්ට ඕන.

1977 අවුරුද්දෙ මම ඉස්කෝලෙ ගියේ කොළඹ. මට හොඳටම මතකයි චන්දෙ තිබ්බෙ ජූලි 21 වෙනිදා. චන්දෙට දවස් තුනක් හෝ හතරක් ඉස්කෝල වැහැව්ව හින්ද මම කලින්ම ගෙදර ගියා. එතකොට අපි හිටියෙ අනුරාධපුරේ. එදා ඒ චන්දෙට ගෙදර ගිය ගමනෙ තවත් විශේෂයක් තියනව. ඒ වෙනකොට මම අවුරුදු දෙකක් වගෙ ගෙදරින් පිට හිටියට කවදාවත් තනියම ගමනක් බිමනක් ගිහිල්ල නෑ. වාරාවසාන නිවාඩුවට එහෙම නැත්තං දීර්ග සති අන්තයකට ගෙදර ගියේ, ඒ වහේම ගිහිල්ල ආපහු බෝඩිමට ආවෙ එක්කො අප්පච්චි එක්ක. එහෙම නැත්තං අපෙ ගෙදර හිටිය මාමා එක්ක.අම්මගෙ විවාහ නොවිච්චි අයිය කෙනෙක් අපේ ගෙදර හිටිය මම දන්න කාලෙ ඉඳල. අන්තිමට අපේ ගෙදරමයි ඒ මාම නැතිවුනෙත්.

ඉතින් ඔය 77 ජූලි මාසෙ මහ චන්දෙට ගෙදර ගිය ගමන තමයි මම හා හා පුරා කියල ඉස් ඉස්සෙලාම, නමෝ විත්තියෙන්, දෙයියනේ කියල තනියම ගෙදර ගියෙ. හවස 3.15 ට කොටුවෙන් පිටත්වෙන රජරට රැජිනෙ මම ගියෙ. ඒ යද්දි ස්ටේෂන් එක ඉස්සරහ පේව්මන්ට් එකෙන් ගත්ත චන්ද ප්‍රතිඵල සටහන් කරන්ට විශේෂයෙන් මුද්‍රණය කරපු පොතක්. මුල කවරෙ පරණ පාර්ලිමේන්තුවෙ චිත්‍රයක් තිබ්බ. ඇතුලෙ චන්ද කොට්ටාස අනුපිළිවෙලට තිබ්බ අපේක්ෂකයින්ගෙ නම් සහ ඉල්ලන පක්ෂෙත් එක්ක. ඊට අමතරව හැම චන්ද කොට්ටාසෙකම 1970 මහ මැතිවරණ ප්‍රතිපලෙත් සඳහන් කරල තිබ්බ.

ඔය පොතක මිල වුනා මට මතක විදිහට 1.50 වගෙ ගාණක්. නාවල ඉඳල කොටුවට බස් ගාස්තුව සත 30 වගෙ සහ කොටුව - අනුරාධපුර 3 වන පන්තියෙ දුම් රිය ගාස්තුව 8.50 වෙච්චි ඒ කාලෙ පාසල් ශිෂ්‍යයෙකුට ඒක ටිකක් විතර ලොකු ගාණක් වුනත් මම දෙපාරක් හිතන්නෙ නැතුවම එයින් පොතක් ගත්තෙ ඒ කාලෙ ඉඳලම මගෙ තිබ්බ දේසපාලන උනන්දුව හින්දමයි.

ජූලි 21 වෙනිද රෑ ඔන්න මම ලක ලෑස්තිවුනා චන්ද ප්‍රතිපල අහන්ට. අම්මගෙන් සල්ලි ඉල්ලගෙන දවල් කඩේ ගිහිල්ල එවරෙඩි රතු ලේබල් බැටරි කෑලි ගෙනාව හයක්ම. ඒ ඇවිල්ල හදිස්සියෙන් වත් ලයිට් ගියොත්ය කියල. පැන්සල් දෙකක් උල් කරල , අලුත් මකන කෑල්ලක්, පැන්සල් උල් කරන්ට කටර් එකක් එහෙම ලෑස්ති කරගත්ත. දවල්ට කාල නිදාගත්ත පැය තුන හතරක්.රෑ දහයට විතර සාලෙ තිබ්බ පොඩි වේවැල් මේස පොඩ්ඩ උඩ රේඩියෝ සෙට් එක තියල මගෙ මැතිවරණ සටහන් පොතයි පැන්සල් මකන කෑලිත් ඔක්කොම ලං කරගෙන හරි බරි ගැහිල ඉඳගත්ත.

අම්ම වඩේ වගයක් බැදල තිබ්බ. තව කඩල තම්බලත් තිබ්බ. ආ..උණුවතුර බෝතලේට කට කපල තේ එකකුත් හදල තිබ්බ. අප්පච්චි සුපුරුදු පරිදි ඡන්ද ගණන් කිරීමේ කටයුතු වලට ගිහිල්ල. රෑ දොළහ වගෙ වෙනකොට අම්ම, අත්තම්ම ඇතුලු අනික් අය නිදාගන්ට ගියා. මම ඇහැරගෙන එළිවෙනකල් චන්ද ප්‍රතිපල ඇහැව්වා. මුල්ම ප්‍රතිපලේ ආවෙ සමන්තුරේ ආසනයෙ. රෑ 1.30 ට වගෙ මට මතක. එජාපයෙ අබ්දුල් මජීඩ් සමන්තුරේ දිනුව. ඊට පස්සෙ එක දිගට ආසන තිහ හතළිහක්ම දිනුවෙ එජාපෙ. ඉස්සෙල්ලම ශ්‍රී ලංකා එක දිනුවෙ කොත්මලේ. ආනන්ද දසනායක.පහට වගෙ අම්ම එහෙම නැඟිටල එනකොට එජාපෙ ජයග්‍රහනය ඉස්තිරයි.

උදේ හයාමාරට වගෙ මහ සද්දෙට අහල පහල රතිඤ්ඤ පුපුරන්ට ගත්ත. " මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්. මැතිවරණ කොට්ඨාශ අංක..... අනුරාධපුර බටහිර..කේ.ඩී.එම්.සී. බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂය ලබාගත් චන්ද සංඛ්‍යාව ......." අපි ඒ දවස්වල හිටපු හරිය ඒ කිව්වෙ අනුරාධපුර නගරය අයිතිවුනේ අනුරාධපුර බටහිර චන්ද කොට්ඨාශයට. 

මැතිවරණ රාජකාරි ඉවර වෙලා අප්පච්චි ආවෙ උදේ දහයට වගෙ. " අත්තනගල්ල ප්‍රතිපලේ කිව්වද? " අප්පච්චි එනගමන්ම ඇහුව.

" නෑ තවම නෑ.. " 

" මැතිණිත් පැරදෙයිද මන්ද …" අප්පච්චි එහෙම කියල ගෙට ගියා. ශ්‍රී ලංකා එක ආසන අටට බැස්ස ඒ චන්දෙන්. මැතිණිනම් යන්තමට දිනුව.

අපිට සමහර වෙලාවට ජීවිතේ සමහර දේවල් ආයම මතක් කරනකොට ඒ හා සම්බන්ධව කිසිම සම්බන්ධයක් නැති දේවල් මතක් වෙනව නේද? දැං ඔන්න මට 1977 මැතිවරණය සම්බන්ධව එහෙම මතකයක් තියනව. ඒ තමයි සුජාතා අත්තනායක ගයන " බොලං පොඩි නංගි ටිකක් හිටපන් බුලත් විට කන්න නෙවෙයි " ගීතය. එදා රෑ මැතිවරණ ප්‍රතිපල විශේෂ විකාශයෙ ඔය ගීතය ප්‍රචාරය වෙනව මට මතකයි.

82 අවුරුද්දෙ තිබ්බ ජනාධිපතිවරණය වන් හෝස් රේස් එකක්ය, පප්පා නොවැරදීම දිනනවය කියල දැනගෙන හිටපු හින්ද මම නිකම් නිරපරාදෙ කඩල තම්බගෙන රෑ එලිවෙනකල් නිදි මරාගෙන චන්ද ප්‍රතිපල අහන්ට ගියේ නෑ. ඔලුවෙ ඉඳල පෙරවගෙන නිදියල උදේ නැඟිටල ටී.වී. එකේ ප්‍රතිපල බැලුව. ඒ වෙනකොටත් පප්පා දිනල.

අවුරුදු පහෙන් පහට පර්ලිමේන්තු මැතිවරණ පවත්වන සම්ප්‍රදාය ජේ.ආර්. පප්පගෙ 1978 ව්‍යවස්තාවෙන් වෙනස්කලා අවුරුදු හයකට. ඒ අනුව ඊලඟ පාර්ලිමේන්තු චන්දෙ තියන්න ඕන හරිනම් 1983 අවුරුද්දෙ. ඒ වෙනකොට මම නීත්‍යානුකූල නිසි වයස සපිරුණු වැඩිහිටියෙක් සහ ඡන්ද දායකයෙක්. ඒත් පප්ප නටපු ලාම්පු කළගෙඩි නාඩගම හින්ද 1983 චන්දයක් තිබ්බෙ නෑ. නැක්සලයිට් කුමන්ත්‍රණයක් තියනවය කියල අල්ලෙ පැලවෙන පචයක් අතෑරල පප්පා චන්දෙ නොතිය මඟ ඇරියනෙ...හෙහ්,හෙහ්,

මම ඉස්ඉස්සෙල්ලම හාහාපුරා කියල චන්දෙ පාවිච්චි කලේ 1988 ජනාධිපතිවරණෙදි. 

ඒ වෙනකොට අපි අනුරාධපුරෙන් ඇවිල්ල පිළිමතලාවෙ ස්ථිර පදිංචියට.මම රස්සාවක් කරනව.අප්පච්චි විශ්‍රාම ගිහිල්ල. අපෙ ගෙවල් පහුකරල ගම ඇතුලට කිලෝ මීටරයක් වගෙ යන්ට තිබ්බ චන්ද මධ්‍යස්තානෙට.අප්පච්චියි මායි නංගිල දෙන්නයි ගිහිල්ල චන්දෙ දාල ආව. ජේවීපී එක ඒ චන්දෙ වර්ජනය කලා.චන්දෙ දාන්ට යන මිනිස්සු මරන කතාවක් කිව්වට අපේ පැත්තෙ එච්චරම තත්වය දරුණු වුනේ නෑ. අහල පහල අපි දන්න හැමෝම වගෙ චන්දෙ දාන්ට ගියා.

මම චන්දෙ දුන්නෙ ප්‍රේමදාස මහත්තයට. ඒ වෙනකොට යූඑන්පී එක එපා වෙලා තිබ්බ වුනත් ප්‍රේමදාස ගොයිය මොනවහරි කරයි කියන විස්වාසෙ උඩයි එහෙම කලේ.අනික 70-77 කාලෙ මැතිණි එපා වෙච්චි එක, ඒ කාලෙ මම හිච්චි එකෙක් උනත් හිතෙන් මැකිල ගිහිල්ල තිබ්බෙ නෑ. ඒ එක්කම 1989 පෙබරවාරි මාසෙ තිබ්බ පාර්ලිමේන්තු මැතිවරණෙදිත් මම චන්දෙ දුන්නෙ යූ.එන්.පී. එකට.

ඊට පස්සෙ ආවෙ 1994 පාර්ලිමේන්තු මැතිවරණය. ඊට කලින් දකුණු පළාත් සභා චන්දෙදි ආණ්ඩුව පැරදිලා තිබ්බ නිසා අවුරුදු 17 කට පස්සෙ මෙදා පොටේ වෙනසක් කරන්න පුලුවන් වේය කියන බලාපොරොත්තුව අපි හැමෝගෙම හිත් ඇතුලෙ තිබ්බ. ආය අමුතුවෙන් කියන්ට උවමනා නෑනෙ 1994 මහ චන්දෙදි මම චන්දෙ දුන්නෙ පොදු පෙරමුණට ඒ වගේම ඊට පස්සෙ තිබ්බ ජනාධිපතිවරණෙදි චන්ද්‍රිකාට.

ඊලඟට ආවෙ 1999 ජනාධිපතිවරණය. ඒ වෙනකොට මම බැඳල.

" මේ ඔයා කාටද චන්දෙ දෙන්ට හිතාගෙන ඉන්නෙ." චන්දෙට සතියකට වගෙ කලින් අපෙ උන්දැ ඇහුව.ඒ වෙනකොට මම අර කාලයක් වැඩ කරපු අර්ධ රාජ්‍ය ආයතනයෙන් අයින් වෙලා පේරාදෙණිය - ගම්පල පාර හදන පෞද්ගලික සමාගමක වැඩ. 

" රනිල්ට තමයි . මට චන්ද්‍රිකාගෙ වැඩ එපා වෙලා තියෙන්නෙ. අනූහතරෙ අපි මහමෙරක් වගෙ බලාපොරොත්තු තියාගෙන 62% චන්දෙ දීල පත්කරගත්තු අම්මණ්ඩි ඊට පස්සෙ පිස්සු කෙළින්ට ගත්තනෙ. " 

" ඒක තමයි මාත් හිතාගෙන ඉන්නෙ එහෙමයි. රනිල්ට දීල බලනව " ඈ කිව්ව.

චන්දෙට කලින් මම හිතන්නෙ අන්තිම රැස්වීමෙදිද කොහෙද චන්ද්‍රිකාට බෝම්බයක් ගැහුව. මේ අම්මණ්ඩි කලේ මැතිවරණ නීති අමු අමුවෙම කඩ කරල ඇහැකුත් වහගෙන ඇවිල්ල රූපවාහිනියෙන් ජාතිය ඇමතුවා.

" පව් දෙයියනේ…" අපෙ උන්දැ දකුණු අතේ පිටි අල්ලෙන් ඇස් පිහදැම්ම.

" හ්ම්ම්ම්..මොකද දැන් කරන්න හිතාගෙන ඉන්නෙ? චන්ද්‍රිකාටම දීල නිකා ඉන්නවද? " ජාතිය ඇමතිල්ල ඉවර වෙලා මම ඇහුව. 

" ඒක තමයි...අනේ මන්ද…" ඈ කිව්ව. " ඔයා? ……" 

" මේ අම්මණ්ඩි මේ තනිකර නීති විරෝධී වැඩක්නෙ කලේ ජාතිය අමතල.මගෙ තීරණේ වෙනසක් නෑ." 

රනිල් පැරදුනෙ ලක්ෂ හතකින් විතර. චන්ද්‍රිකාගෙ බෝම්බ සීන් එක හින්ද ලක්ෂ තුනහමාරක් අනික් පැත්ත ගැහැව්ව කියල හිතන්ට අමාරුවුනත් බොහෝවිට එහෙම වෙන්ට ඇති කියල මට හිතෙනව.එහෙම හිතුවොත් රනිල් පැරදුනෙ එල්.ටී.ටී.ඊ. බෝම්බෙ හින්ද. ආ..ගෝනි පඩංගුව අස්සට ගියාට පස්සෙ අපෙ උන්දැ චන්දෙ දුන්නෙ චන්ද්‍රිකාටද රනිල්ටද කියල මට කිව්වෙත් නෑ. මම ඇහුවෙත් නෑ.කොටිම්ම අද මේ වෙනකල් මම දන්නෙත් නෑ.

ඊගාවට ආවෙ 2000 ඔක්තෝබර් පාර්ලිමේන්තු මැතිවරණෙ. මම චන්දෙ දුන්නෙ සීනුවට. මේ දෙගොල්ලම එපා වෙලා මට හිතුන වෙනසකටත් එක්ක ජේ.වී.පී. එකට දීල බලන්ට ඕන කියල. ජේ.වී.පී එක චන්ද්‍රිකා එක්ක එකතු වෙලා පරිවාස ආණ්ඩුවක් ගැහුව වුනත් කට්ටියක් කඩාගෙන ගිය හින්ද ආයෙම චන්දෙකට යන්ට වුනා. 2001 දෙසැම්බර් ඒ තියපු චන්දෙන් රනිල් අගමැතිවුනා. ජේවීපී එකට දීල හරියන්නෙ නෑ කියල හිතුනු හින්ද මම ආයම අලියට දුන්නා. ඒ වෙනකොට මම කුකුළේගඟ වැඩ.

රනිලා පිස්සු කෙලියා. පිස්සු කෙලියා කිව්වෙ ආර්ථික කළමනාකරනය පැත්තෙන් එහෙම නෙවෙයි හොඳද? ඒ ටික පොර ගානට කරගෙන ගියා. පිස්සු කෙලියා කිව්වෙ ආන්ඩුව නියමිත කාලයට කලින් විසුරුවන්නෙ නෑ කියල පොරොන්දු වෙච්චි චන්ද්‍රිකාගෙ වචනෙ විස්වාස කරපු එකටයි. ඒ යෝදි යන්තම් අවුරුදු දෙකක් යද්දි යූඇන්පී ආණ්ඩුව ගෙදර යැව්වා.ඊට පස්සෙ 2004 අප්‍රේල් මාසෙ තිබ්බ චන්දෙන් රනිල් පැරදිලා මහින්ද අගමැතිවුනා. ඒ වෙනකොට මම වැඩකලේ පස්සර. මගෙ යාලුවෙක් තේ ෆැක්ටරි එකක් හදන්ට ගත්තු කන්ට්‍රෑක්ට්  එහෙක. 

ඔය වෙනකොට අපි දෙන්න හිටියෙ එයයි උගන්නාපු ඉස්කෝලෙම කෝටස් එහෙක. ඒ පැත්තට තියෙන චන්ද මධ්‍යස්ථානය තියන්නෙ ඒ ඉස්කෝලෙ. ගමනාගමන පහසුව සහ අදාල ප්‍රදේශයේ මැද වගෙ පිහිටා තිබීම හින්දයි හැමදාම ඒ ඉස්කෝලෙ තෝරගන්නෙ ඔය වැඩේට.ඉතිං අපි දෙන්නට පඩි පේළි දෙක තුනක් පාතට බහින එක විතරයි තියෙන්නෙ චන්දෙ ප්‍රකාස කරන්ට.

ආ..තව එකක්..නුවර ඇසළ පෙරහැර කාලෙට දුර බැහැරින් පෙරහැර රාජකාරි වලට එන පොලිස් නිලධාරීන් තිහක් හතළිහක් හැම අවුරුද්දෙම ඔය ඉස්කෝලෙ නවාතැන් ගන්නව. ඒ කාලෙට වෙනම කුස්සියක් පැත්තක හදනව තහඩු වලින්.ඉවුම් පිහුම් ඔක්කොම කෙරෙන්නෙ ඒකෙ. හවසට රෝල්ස්, එළවලු රොටී , පෑන් කේක් එහෙමත් හදනව. අපිටත් ඉතිං නොමිලේම එව්ව හම්බවෙනව හවස තේ වලට. ඒ පෙරහැර ඩියුටි සීන්ස් ටික ආය දවසක කියන්නංකො.

ඊට පස්සෙ 2005 ජනාධිපතිවරණය……

" කාටද මෙයා මේ ගමන චන්දෙ දෙන්නෙ? " අපෙ උන්දැ සුපුරුදු පරිදි ඇහුව.

" රනිල්ට තමයි. " 

" ඇයි ඒ ?...මහින්ද හොඳ නැද්ද? " ඒ වෙනකොට මහින්ද ඔක්කොම ජාතිවාදී බලවේග එකතු කරගෙන රාජ්‍ය බලය උපරිමව යොදාගෙන කැම්පේන් එක ගෙනියනව. 

" මට ඒ මනුස්සය අල්ලන්නෙම නෑ. මහින්ද කොහොමහරි දිනන්ටයි බලන්නෙ. කිසිම ප්‍රතිපත්තියක් තියෙන මිනිහෙක් නෙවෙයිනෙ…. පේන්නෙ නැද්ද? චන්ද දහයක් හම්බ වෙයි කියල හිතෙනව නම්  ඕනම කාපාලුවෙක් ඕනම කයිතාඩුවෙක්ගෙ පස්සත් ඉඹියි. මම කැමති නෑ එහෙම මිනිස්සුන්ට. " 

නීලකාස අපුච්චියගෙ බල ලෝභයෙ දිග පළල මට සක් සුදක්සේ පැහැදිලිවුනේ අදක ඊයෙක නෙවෙයි.

2005 ජනාධිපතිවරණෙදි තමයි මම අන්තිමටම ඡන්දෙ පාවිච්චි කලේ. ඊට පස්සෙ 2010 ජනාධිපතිවරණෙ සහ පාර්ලිමේන්තු මැතිවරණෙ ඒ වගේම මේ අවුරුද්දෙ ජනවාරි 8 තිබ්බ ජනාධිපතිවරණෙදි මම ලංකාවෙ හිටියෙ නෑ.ලබන සඳුදත් එහෙමම තමයි.

************************

පලි - චන්දෙ ගැන පොඩි අනුමානයක් කලොත් මට හිතෙන්නෙ වැඩේ මෙහෙම වෙයි…..:)


UNP     - 108 

UPFA   -  90 

TNA     - 15 

JVP      -  8 

Others  -  4 

 Total   -   225 

72 comments:

  1. // 1994 පාර්ලිමේන්තු මැතිවරණය. ඊට කලින් දකුණු පළාත් සභා චන්දෙදි ආණ්ඩුව පැරදිලා තිබ්බ නිසා අවුරුදු 17 කට පස්සෙ මෙදා පොටේ වෙනසක් කරන්න පුලුවන් වේය// 93 දී බස්නාහිර පළාත් සබාව දිනලා චන්ද්‍රිකා මහා ඇමතිනි උන එක නේද වැඩිපුරම බලපෑවේ.. අයි මීන් චන්ද්‍රිකා ෆැක්ටර්..
    මමත් තුන් හතර වතාවකට වැඩිය චන්දෙ දීල නෑ.. උවමනාවෙන්ම දුන්නේ පහුගිය ජනාධිපතිවරනේදී හංසයාට.. මෙදා පාර චන්දෙ දාන්න තවම අදහසක් නෑ..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      ස්තූතියි මලේ ඔව්..ඔබ හරි..දකුණු පළාත්සභාව දිනුව එකට වඩා බල පෑවෙ චන්ද්‍රිකා බස්නාහිර පලාත් සභාව දිනල මහ ඇමතිනිය වෙච්චි එක තමයි. මයි මිස්ටේක්...

      Delete
    2. මම හිතන විදියට නං උත්තේජනය ආවෙ දකුණෙන්. ෆ්‍රැන්සිස්කුකරණය එක්ක ආණ්ඩුව පිරිහුනා. විපක්ෂයේ මොරාල් අප්වුනේ එතනින්.

      Delete
    3. රාජ්,

      ඔව්, අනුර බණ්ඩාරනායකගෙ කුප්‍රකට ප්‍රැන්සිස්කුකරණය තමයි හැරවුම් ලක්ෂ්‍යය වුනේ. මම ඒකයි අර විදිහට ලිව්වෙ. ඒත් කළ්‍යාණ කියන කතාවත් හරි. හැරුනටම මදි නෙව. ආණ්ඩුව පෙරලෙනතුරු ඒ Momentum එක නොනැවතී ඉදිරියට ගෙනිච්චෙ චන්ද්‍රිකා සාධකය.උත්ප්‍රේරකය වුනේ චන්ද්‍රිකා.

      මහින්ද පැරෂුට් එකෙන් ආවය කියල ප්‍රසිද්ධියෙ චන්ද්‍රිකාට කුණුහරපෙන් බැන්නට අවුරුදු 17 කට පස්සෙ අලිය වැට්ටුවෙ චන්ද්‍රිකා. ඔය චන්ද්‍රිකාගෙ මහින්ද එක්ක විරසකේ පටන්ගත්තෙත් එදාය කියනවනෙ. චන්ද්‍රිකාම දවසක් ඒ ගැන කිව්ව. මහින්ද ටිකක් මූලග්ගාය කොන්ට්‍රෝල් කරගෙන යතාර්තය පිළිඅරගෙන චන්ද්‍රිකා එක්ක එකතුවුනානම් තමයි හරි. මොකද තමං මරන්ට ඔත්තු දෙන එක වෙනුවෙන් එල්.ටී.ටී.ඊ. එකෙන් සල්ලි ගත්තු මනුස්සය එක්ක බලය වෙනුවෙන් කරට අත දාගන්ට තරම් ආත්ම ගෞරවය බල්ලට දාපු මිනිහෙකුට චන්ද්‍රිකා එක්ක සහයෝගයෙන් වැඩ කරන එක එච්චර අමාරු වෙන්ට විදිහක් නැහැනෙ.

      Delete
  2. // පෙරහැර ඩියුටි සීන්ස් ටික ආය දවසක කියන්නංකො.//
    මෙව්වත් ඡන්ද පොරොන්දු වගේ වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      නෑ..නෑ..ඔක්කොම ඉටුකරන පොරොන්දු..ඉටුකරන පොරොන්දු...:)

      Delete
  3. චන්දෙට දවස් තුනක් තියෙද්දී ඔන්න බං බුරුසුපාලට වැදුන එකක් පස්ස බිම ඇනෙන්නම.

    ReplyDelete
    Replies
    1. හැලප,

      කොහොමද මෛත්‍රී ඉඳල ඉඳල දුන්න නේද බුරුස් නන්නත්තාර වෙලා යන්ට?...හෙහ්,හෙහ්,

      බුරුස් සහ බුරුස්ගෙ සට්ටඹි රැල ( වාසිදේව, මෝඩවංස, දිනේස් සහ ගොම්මංපිල ) හිතුවෙ ජනාදිපතිවරන කාලෙ මෛත්‍රීට විරුද්දව තමං මොන අලුගුත්තේරු වැඩේ කලත් මෝඩ මිනිස්සු දාහක් හමාරක් රැස්වීම් වලට ගෙන්නල මහින්ද තමයි අපේ වීරයා කියල කෑගස්සල තමන්ගෙ බලේ පෙන්නපුවම මෛත්‍රී වෙන කරන්ට දෙයක් නැතිකමටම මහින්දට අපේක්ෂකත්වය සහ ඊට පස්සෙ අගමැතිකම දෙයි කියල.

      මෛත්‍රී කලේ හරි අපේක්ෂකත්වය ඔන්න ගනිල්ල කියල දුන්න. ඒත් බං උකුණු පුකක් තරං මොළයක් තියෙන මිනිහෙක් මහින්ද වගෙ බල ලෝභී කිසිම සදාචාරයක් නැති මනුස්සයෙකුට අගමැතිකම දෙයිද? මහින්දගෙ සදාචාරය ගන හිතාගන්ට වෙන මොකවත් ඕන නෑ ජනාධිපතිවරණෙ චන්දෙ දාන්ට මෛත්‍රී වගෙ ඇඳගත්තු අර බම්මන්නෙක් එක්ක ගිය එකම මදිද? ඔන්න අපේ අගමැතිවෙන්ට ඉල්ලන්නෙ ඔය වගෙ එවුං තමයි.

      Delete
  4. // හ්ම්ම්ම්ම්. එව්ව හෙටනෙ..දැං එමු බලන්ට මෙහාට ඔය ලාම්පුව එහෙම නිවල දාල.... //
    කතාවට කියනව ඔය අහවල් වැඩේ කරද්දි ස්ත්‍රී පාර්ශ්වයේ ප්‍රතිචාරය.
    ලව් කරන කෙල්ල:හෙමාන් හෙමින් අයියා...හ්
    අනියම් බාරි: ඕ යේස් ඩාලිං...
    බිරිඳ: සීලිම පේන්ට් කරන්නත් කාලෙ හරි.

    රවීගෙ පලවෙනි චන්දෙ තමයි මට මතක තිබුන මුල්ම ඡන්දය. මට අවුරුදු අටක් විතර ඒ වෙද්දි. දේශපාලනය එච්චර සීරියස් නොගත්ත කෙනෙක් වෙච්ච අපේ තාත්ත බාප්ප එක්ක කියනව මතකයි ශ්‍රීලංකා එකට ඡන්දෙ දෙන කතාවක්. චන්ද ප්‍රමාණය කොච්චර පහල වැටුන ද කියනව නං යූඇන්පියෙ හැරී අබේධීර මන්ත්‍රී වුනේ මනාප 1500ක් අරගෙන.

    මාත් ඉස්සර ඡන්ද ප්‍රතිපල ලිව්ව.

    මේ සැරෙත් ඡන්ද ප්‍රතිපල අහන්න නැවතුනා කවුන්ටින් ඩියුටියකුත් කැප කරල. බ්ලැක් ඕපල් බාගෙකුත් ගත්ත. ඕනනං තව ලොකු එකකුත් තියනව. එලිවෙනකල් ඡන්දෙ අහන්න ඕන.

    ReplyDelete
    Replies
    1. රාජ්,

      / බිරිඳ: සීලිම පේන්ට් කරන්නත් කාලෙ හරි. /

      ඉරියව්ව වෙනස් කරපං මල්ලි එතකොට ඔය සීලිං පේන එකක් නෑ...:)

      / චන්ද ප්‍රමාණය කොච්චර පහල වැටුන ද කියනව නං යූඇන්පියෙ හැරී අබේධීර මන්ත්‍රී වුනේ මනාප 1500ක් අරගෙන. /

      උඹල තංගල්ලෙ නේද? එහෙ කොහොමත් ජේවීපී භීෂණය බොහොම තදට තිබ්බනෙ.

      / බ්ලැක් ඕපල් බාගෙකුත් ගත්ත. ඕනනං තව ලොකු එකකුත් තියනව. එලිවෙනකල් ඡන්දෙ අහන්න ඕන. /

      එළිවෙනකල් චන්දෙ අහන්ට ඕන නං සුට්ට සුට්ට ගනිං...:)

      Delete
  5. මෙවර මැතිවරණයෙන් පසුව සිය නමින් පාරක් නම් කරවා ගැනීමේ වාසනාව හිමිකරගන්නා ඒ දැරිය ... හුරේ දමා පිලිගන්න !!! හිප් හිප් හුරේ !!! (විසිල් පාරක්)

    https://www.facebook.com/upasena.hettiarachchi/videos/1646890645523892/

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/siyapatha.lk/videos/vb.1587503288203055/1638434389776611/?type=3&theater

      Delete
    2. ඇනෝ,

      පොඩි දරුවො ලව්ව ඔය වගෙ දේශපාලන වේදිකාවල කවි සිංදු විරිදු කියවන එක තහනම් කරන්ට ඕන. මම හිතන්නෙ දැනටමත් ළමාරක්ෂක අධිකාරි පණතෙ ඒ වගෙ විධිවිධාන තියනව. එව්ව ක්‍රියාත්මක නොකරන එකයි වරද.

      එතන වැටිල තියෙන්නෙ නං නියම අන්දබූත කමෙන්ට් ටිකක්..හෙහ්,හෙහ්, " මේ ලමයට තේරෙන එක ලොකු මිනිස්සුන්ට නොතේරෙන හැටි " අම්මාපල්ල..මිනිස්සු මේ තරමට ගොන්නුද කියල හිතෙනව ඒ ටික කියෙව්වම...:)

      Delete
    3. // පොඩි දරුවො ලව්ව ඔය වගෙ දේශපාලන වේදිකාවල කවි සිංදු විරිදු කියවන එක තහනම් කරන්ට ඕන.//
      වැඩක් නැ රවි කතාකරලා. තහනං කරනව නං කොච්චර කියල දේවල් තහනං කරන්නද මේ බුවාලන්තයෙ.
      අර බුවාලන්තය කියල ඉස්සර තිස්ස හේවාවිස්ස මහත්තයා ලියපු ලස්සන තීරුලිපිය නැතිවෙලා ගිහින්නෙ. අපරාදෙ.

      Delete
  6. So glad you're back. I even missed the train trying to read your post on the platform ha ha. (By the way please don't say any thing bad about our lovely aussie team).

    Cheers to the Great King Burusu hikis..

    ReplyDelete
    Replies
    1. Ano,

      /  I even missed the train trying to read your post on the platform ha ha. /

      Heh, that's a shame. Don't miss your train…. You may never get another chance…Like the chance we got on January 8th….thanks to God we didn't miss that. Same situation on 17th August. We must not miss this opportunity & end tyranny once and for all. Sorry..sorry..sorry..just give me a half chance and there I go rambling along on the familiar path. :)

      / (By the way please don't say any thing bad about our lovely aussie team). /

      Hey, I didn't say anything bad about them..Did I now? I just said they are losing so embarrassingly and I like that. BTW we are doing not much better at Galle it seems…:(

      Delete
  7. Your reading about the Burusupala even in 2005 is v.correct. I can't imagine our people were so out of mind to vote him as the president. No ethics, no personality, no education nothing. Small minds .....

    ReplyDelete
    Replies
    1. Ano,

      I don't really blame them I mean those who voted for him. Sri Lankan voters are very simple minded & very easily swayed by racist rhetoric. And moreover we are very fond of mob mentality. Even if we know what is right we are reluctant to go against the trend, to swim upstream. In that context I can easily understand why we voted for MR in 2005 & 2010.

      But what really stumps me is the tendency to keep on worshipping him even after the very evident irreparable damage he did to good governance, democracy and judiciary in Sri Lanka during post 2010 days. Mind you those who kept on being MR fans were not mere gullible simpletons. Majority of them were highly regarded professionals. Heh..I am speaking from first hand experience...:)

      Delete
    2. True. Some of my friends who are ardent MR fans are high calibre professionals. The difference between education and wisdom !!!.

      Delete
  8. //"ඔය පොතක මිල වුනා මට මතක විදිහට 1.50 වගෙ ගාණක්. නාවල ඉඳල කොටුවට බස් ගාස්තුව සත 30 වගෙ සහ කොටුව - අනුරාධපුර 3 වන පන්තියෙ දුම් රිය ගාස්තුව 8.50"// හපොයි දෙයියනේ ..

    මේ සැරේ මමනං ලංකාවේ හිටියත් ඡන්දේ දෙන්න අදහසක් නෑ..

    ReplyDelete
    Replies
    1. Ivan,

      / හපොයි දෙයියනේ .. /

      හෙහ්..එහෙම කාලෙකුත් තිබ්බ බොලං ඉවානයෝ....:)

      / මේ සැරේ මමනං ලංකාවේ හිටියත් ඡන්දේ දෙන්න අදහසක් නෑ.. /

      ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ එකක්වත් මම ඡන්දෙ නොදාහිටියෙ නම් නෑ. පලාත්සභා නම් වැදගත් කියල හිතුනොත් දැම්ම. 93 හෝ 94 පවත්වපු පළාත්සභා චන්දෙ එහෙම එකක්. පළාත්සභා මම චන්දෙ දැම්මෙ ඒක විතරයි. ඊලඟට පළාත්පාලනත් එහෙමයි. වැදගත් කියල හිතුනොත් හෝ අඳුනන කවුරු හෝ චන්දෙ ඉල්ලනවනම් චන්දෙ දැම්ම.

      Delete
  9. මමත් ජෙප්පන්ට දෙනව අනික් උංට දෙනවට වඩා ඒක හොදයි... මොන කරුමයක්ද දෙගල්ලටම ඕන හැලිය ලොකු කර ගන්ට විතරයි තුක්

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      ජෙප්පොත් නරකම නෑ...හෙහ්,හෙහ්

      Delete
  10. සිරිම 1975 දි ඡන්දෙ නොතියපු එක ලොකු වරදක්. ඔය විදියට තර්ක කළොත් ව්‍යවස්ථා වෙනස් කර කර සදාකල්ම ඉන්න පුළුවන්නෙ. 1975 දි ඡන්දෙ තිබ්බනම් සිරිම කැත විදියට පරදින්නෙ නෑ. ජේ ආර්ට පිස්සු කෙළින්න ලැබෙන්නෙත් නෑ.
    ඇමරිකාවෙ වගෙ නිශ්චිත දිනයකට ඡන්ද තියනවනම් හුඟක් ප්‍රශ්න විසදෙනව කියල මට හිතෙනව.ඒ වගෙම කාලසීමාවත් අවුරුදු 4 ක් වෙන්න ඕන. ඉක්මනට ඡන්දයකට යන්න වෙන බව දන්න නිසා වැරදි කරනව අඩුයි.

    ReplyDelete
    Replies
    1. කොල්වින් ගෙ ඒ බූරු තර්කය ඒ කාලෙ විරෝධයට ලක් වුනේ නැද්ද
      සිරිමගෙ ඒ වැඩේ නරක පූර්වාදර්ශයකුත් වුනා. ප්‍රජා අයිතිය අහෝසි කිරීම සාධාරණයි.
      සිරිම ගැන මගේ කවදාවත් පැහැදීමක් තිබුනෙ නෑ.71 කැරැල්ල මර්ධනය කළ ආකාරය ගැන පැහැදීමක් තිබුනෙ නැති නිසයි.පසු කලෙක හෙළි වුනා ඉරාකයෙ දි ලබපු පුහුණුවක් මේ මර්දනයට උපකාරී උන බව.
      අත් අඩංගුවට ගත් අය මැරීම ඉස්සරවෙලම හදුන්වා දුන්නෙ සිරිම.ඒ ගෞරවය ඇයට ලැබිය යුතුයි.

      Delete
    2. මධ්‍යස්ථ,

      / කොල්වින් ගෙ ඒ බූරු තර්කය ඒ කාලෙ විරෝධයට ලක් වුනේ නැද්ද /

      ඒ කාලෙ වැඩේ විරෝධාකල්ප වලට ඉඩක් තිබ්බෙ නෑ. පත්තර දෙකයි තිබ්බෙ. දිනමිණ සහ ලංකාදීප. ඒ දෙකම ආණ්ඩුවෙ. රූපවාහිනී නෑ. රේඩියෝ එක ආණ්ඩුවෙ. ආණ්ඩුවෙ තීරණවලට විරෝධය පලකරන්ට තිබ්බ එකම මාර්ගය රැස්වීම් තියන එක විතරයි. එහෙම උනත් ඒ විරෝධාකල්ප ජනතාව අතරට ගියේ නෑ.

      පාර්ලිමේන්තුවෙ කාලය ( එතකොට පාර්ලිමේන්තුව නෙවෙයි නම..ජාතික රාජ්‍ය සභාව නොහොත් ජා.රා.සභාව මන්ත්‍රීවරු හැඳින්වුනෙ ජා.රා. සභාවේ සාමාජික කියල ) දික්කරනවට විරුද්ධව ජේ.ආර්. අවුරුදු 5 ගෙවුණු ගමන්ම තමන්ගෙ ආසනයෙන් ඉල්ලා අස්වුනා. පප්පා එතකොට දකුනු කොළඹ මන්ත්‍රී. ඊට පස්සෙ තිබ්බ අතුරු මැතිවරණයෙන් පප්පා දිනුවා මහ විසාල වැඩි චන්ද ගාණකින් .

      හැබැයි මට හිතෙන්නෙ ජේ.ආර්. ඔය පාර්ලිමෙන්තු කාලය දික්කරන එකට විරුද්ධව එච්චර දැඟලුවෙත් නෑ. මිනිහ ලෝක ආනාදියනෙ. ආණ්ඩුව තව කල් රට පාලනය කලොත් තවත් අප්‍රසාදයට ලක්වෙනව කියල මිනිහ දන්නව. ඒ හින්ද සද්ද නැතුව ඉන්න ඇති. නැත්තං මට හිතෙන්නෙ අධිකරණයට ගියානම් අනිවාර්යයෙන්ම ඒ කල් දැමීම නීතිවිරෝධී කියල තීන්දුවක් ගන්න තිබ්බ.

      / සිරිමගෙ ඒ වැඩේ නරක පූර්වාදර්ශයකුත් වුනා. ප්‍රජා අයිතිය අහෝසි කිරීම සාධාරණයි. /

      ඔව්..ජේ.ආර්. 1983 පවත්වන්ට තිබ්බ චන්දෙ ජනමත විචාරණයක් ගෙනල්ල කල්දාගන්නකොට කිව්වෙත් සිරිමා ඔය කරපු වැඩේ ගැන.මැතිණි නිකම්ම චන්ද කල් දැම්මට අපි එහෙම කොරන්නෙ නැතය. අපි මහ ජනතාවගෙං අහල ඉන්නවය කියල...හෙහ්,හෙහ්,

      හැබැයි සිරිමගෙ ප්‍රජා අයිතිය අහෝසිකලේ ඔය පාර්ලිමේන්තුවෙ නිල කාලය නීතිවිරෝදී ලෙස දීර්ඝ කලාය කියන චෝදනාවට නෙවෙයි. ඉඩම් ජනසතු කිරීමෙදි මොකක්ද වංචාවක් කලාය කියලයි මට මතක විදිහට.

      / සිරිම ගැන මගේ කවදාවත් පැහැදීමක් තිබුනෙ නෑ.71 කැරැල්ල මර්ධනය කළ ආකාරය ගැන පැහැදීමක් තිබුනෙ නැති නිසයි.පසු කලෙක හෙළි වුනා ඉරාකයෙ දි ලබපු පුහුණුවක් මේ මර්දනයට උපකාරී උන බව. අත් අඩංගුවට ගත් අය මැරීම ඉස්සරවෙලම හදුන්වා දුන්නෙ සිරිම.ඒ ගෞරවය ඇයට ලැබිය යුතුයි. /

      හැබැයි මෙහෙම එකක් තියනව. මැතිණිගෙ ආණ්ඩුව අත් අඩංගුවට පත්වූ අයට මානුෂික ලෙස සැලකුවා. 71 කැරැල්ලෙ ප්‍රධාන නායකයො බොහොමයක් මරා දැමුනේ නෑ. 88/89 ගැන අපිට එහෙම කියන්ට බෑ. ඒ වගේම අනික් අතට අපිට 71 සහ 88/89 කොහෙත්ම සසඳන්ටත් බෑ. ප්‍රචණ්ඩත්වය භීෂණය අතින් 88/89 එක්ක සසඳන කොට 71 කැරැල්ල කියන්නෙ මේ පොඩි එවුන් කරන හොරා පොලිස් සෙල්ලමක් වගෙ.

      Delete
  11. මේ පාර ඡන්ද ප්‍රතිපල ගැන අයියාගේ අනුමානය සම්පූර්ණයෙන්ම වරදීවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි! (I am really really serious, so no smilies this time)

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      ඇත්ත ඇත්ත බං ..මම දන්නව උඹ ප්‍රාර්තනා කරන්නෙ රවී ගොයියගෙ අනාවැකිය වරදීවා! රනිල්ට ආසන 125 විතර ලැබිල කාගෙන්වත් උදව් උපකාර නැතුව ආණ්ඩුවක් පිහිටවන්ඩ අවස්ථාව ලැබේවා!! කියලනෙ. හවහට බුදුන් වැඳල උඹ කරන ඒ ප්‍රාර්තනය ඉෂ්ට වේවා! මගේ අනාවැකිය වරදීවා!! කියල මාත් ප්‍රාර්තනා කරනවා...ස්තූතියි සිත්තමී...:)

      පලි - හැබැයි බං අපි දෙන්නම එහෙම ප්‍රාර්තනා කලාට දැනට තියෙන Ground Reality එක අනුව එහෙම වෙන්ට තියන අවස්ථාව බොහොමත්ම අඩුයි. Almost non-existent.

      Delete
    2. ආ, ඔය කියලා තියෙන්නේ ටක්කෙටම.

      මං ඔය අනුමානය හරි යනවට කැමති නැත්තේ මෙන්න මේකයි.

      1. රනිල් වාගේ බෙදුම්වාදියෙක් රටේ අගමැති වෙනවට මම කැමති නෑ. එයා බලයේ හිටපු පහු ගිය මාස කීපයටත්, මීට කළින් වතාවක හිටපු අවුරුදු කීපයටත් කරපු දේවල් හොඳටෝම ඇති. තවත් අවස්ථාවක් එයාට ලැබුණොත් ශ්‍රී ලංකාව කියන රටේ හැඩේ වෙනස් වෙනවා නොවැරදීම. කොටින්ට යුද්ධ කරලා කරගන්න බැරි වෙච්ච දේ මෙයා ලියලාම දෙනවා නොවැරදීම. එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා ඇත්තටම අගය කරන්න පුළුවන් කීප දෙනෙක්. ඒත් රනිල්, රවීන්ද්‍රන් කරුණානායගම් වගේ අය අගමැති තනතුරට, මුදල් ඇමති තනතුරට පත් වෙන ආණ්ඩුවකට මම කැමති නෑ.

      2. දෙමළ සන්ධානය පාර්ලිමේන්තුවේ තුන්වෙනි බලවේගය වෙන එක බොහොම භයානකයි. ප්‍රධාන පක්ෂ දෙකටම දළ වශයෙන් සමාන ආසන ප්‍රමාණයක් ලැබෙද්දි තුන් වෙනි බලවේගයට ලොකු බලයක් ලැබෙනවා. ඒ නිසා ඒ බලය දෙමළ සන්ධානයට ලැබෙනවට මම කැමති නෑ. ඒ පක්ෂය පැහැදිලිවම දරන්නේ කොටි හිතවාදී ආකල්ප.

      ඒකයි ඔය අනුමානය වරදින්න කියලා මං මේ පොල් ගහන්නේ.

      Delete
    3. ඔය දෙන්නට කියන්න මාත් ඔය රනිල්ස් ට කැමති නැහැ අප්පා. එයා ඉකොනොමික්ස් ඩයල් එකක් වෙන්න ඇති. කොච්චර කොහොම උනත් නිකන් නුහුගුණ ගතියක් වගේ පේන්න තියනවා නේද? අර කුස්සි ඇතුලේ තියන හට්ටි වළන් පොළවේ ගැහීම, මහා පාරේ වාහන නවතා හෝන් ගැස්සවීම වගේ එව්වත් කරපු එකේ...අනේ මන්දා මොන ජාතියේ එකෙක්ද කියලා.

      වරදවා වටහාගන්ට එපා හැබැයි 2010 න් පස්සේ මම බුරුසු මාමිටත් කැමති නෑ නෑමයි. ජනාධිපතිවරණෙදී මම හිටියේ දියෙන් කිරි වෙන් කරන කෙනාගේ සයිඩ් එකේ. හැබැයි ඉතින් රනිල් අගමැති වෙනවට (වෙච්චි එකටත්) මම කැමති නෑ :( මට පේන හැටියට ඒ ගොල්ලොත් දියෙන් කිරි වෙන් කොරන පාටක් නෑ.

      Delete
  12. ඔතනින් සන්ධානේ තව ටිකක් අඩු විය යුතුයි... ඒ අඩුව ජවිපෙට යා යුතුයි.... අපේ ගණන් අනුව නම් ඒහෙමයි... ජවිප 10-15 අතර ගානකට යනවා.... මේ යන්නේ රැල්ලක් අස්සේ රැල්ලක්........

    ReplyDelete
    Replies
    1. කුරුටු,

      /  අපේ ගණන් අනුව නම් ඒහෙමයි... ජවිප 10-15 අතර ගානකට යනවා..../

      ඇත්තටම මමත් කැමතියි ජවිපෙට ඒ වගෙ මන්ත්‍රීන් සංඛ්‍යාවක් ලැබෙනවනම්. මොකද එහෙම වෙන එකන් යු,ඇන්.පී.මන්ත්‍රීන් සංඛ්‍යාව අඩුවුනත් එහෙම තත්වයක් යටතේ රනිල්ට රජයක් පිහිටුවන්න මම හිතන්නෙ ජවිපෙ අවම වශයෙන් විවේචනාත්මක සහයෝගය හෝ ලබාදෙයි.

      මම ජවිපෙට මන්ත්‍රීන් අටක් කියල උපකල්පනය කලේ 2000 සහ 2001 මහ මහමැතිවරණ ප්‍රතිඵල සහ ඉන් අනතුරුව ඡන්ද සංඛ්‍යාවෙ වැඩිවීම වගේම ජවිපෙ ආකර්ශණීයත්වය පිරිහීම යන කාරණා සැලකිල්ලට අරගෙන. ඒ ගණන් බැලීම සම්පූර්ණයෙන්ම න්‍යායානුකූලව විතරයි. ඒ හින්ද ඔයාල ප්‍රායෝගිකව විශ්ලේෂනයක් කරල එහෙම කියනවනම් මම පිළිගන්නම්...:)

      Delete
  13. අවේ මන්ද බං රවියෝ... මම නං චන්දිරිකාගේ ඇහැට රැවටුනා.. හැක්

    ReplyDelete
    Replies
    1. දේශා,

      හෙහ්, කණගාටු වෙන්ට එපා බං..උඹට විතරක් නෙවෙයි එහෙම වුනේ...චන්ද්‍රිකා ඒ වෙලාවෙ ඒ අවසාන මොහොතෙ පිටියට දැම්මෙ නොවරදින තුරුම්පුවක්. ඒකට කියන්නෙ Playing to the heart කියල. රනිලට කට උත්තර නැතිවුනා ඒ වෙලාවෙ.

      අනික අපි ඇවිල්ල බොහොම සානුකම්පික ජාතියක්. දේශපාලන වැන්දඹුවො අපේ රටේ ඉහළටම යන්නෙ ඒ හින්ද. අනික ඒ වෙලාවෙ සමහරවිට වෙන්ඩ තිබ්බ හොඳම දේ ඒක වෙන්න ඇති. එහෙම නොවුනත් අපි එහෙම තමයි කියල හිත හදාගමු.

      Delete
    2. ඔන්න ඔය වගේ චන්දෙ දවසක නේද සිරිමා මැරුණෙත්? මට හරියටම මතක නෑ. මම පොඩියි ඒ කාලේ. චන්දෙ දවසේ උදේම මේ මනුස්සයා මැරිච්ච නිසා ඒ අනුකම්පාවත් ලැබුනා කියලයි කට්ටිය කිව්වේ.

      Delete
  14. හෙක්.. අපිත් ඒ කාලෙ ඡන්ද ප්‍රතිඵල ඔය වගේ කොල පුරෝල ලකුණු කලා. ඊට පස්සෙ අවුරුද්දට දෙක තුන ඡන්ද තියන්න ගත්තට පස්සෙ ප්‍රතිඵල අහන එක එපා උනා.
    කොටිංම ගිය ඡන්දෙදිත් උදේ තුනට විතර ඇහැරුනේ අල්ලපු ගෙදර බුවා ඇවිත් ගෙදර බෙල් එක ගහල ගියාට පස්සෙ. ඒ වෙන කොට වෙන්න ඕන දේ සිද්ධ වෙලා ඉවරයි. හැබැයි ඉතිං ඒ දේ ඒ විදියටම වෙයි කියල පෙරමඟ ලකුණු පහල වෙලානෙ තිබුණෙ.

    //ඒ පෙරහැර ඩියුටි සීන්ස් ටික ආය දවසක කියන්නංකො.//
    මේ විදියට පොරොන්දු දෙන්න ගිහිල්ල ඔහේ ‍කවදහරි ලොකු අමාරුවක වැටෙනව ලොක්කො.
    දැනටමත් අතරමග නැවතිලා තියෙන ප්‍රොජෙක්ට් ටික අර උඩිං පේන්න තියෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. ගියපාර ඡන්දෙ අපිත් උණුසුම්ව ප්‍රතිඵල බැලුවා. කොහෙද, මහජරා වේලාසනම අරලිය ගහ මන්දිරේ අතඇරලා ගියානෙ. අපේ ආතල් කුඩු...! මලෙත් හොඳ එක ඕයි !

      Delete
    2. ප්‍රසන්න,

      / මේ විදියට පොරොන්දු දෙන්න ගිහිල්ල ඔහේ ‍කවදහරි ලොකු අමාරුවක වැටෙනව ලොක්කො. දැනටමත් අතරමග නැවතිලා තියෙන ප්‍රොජෙක්ට් ටික අර උඩිං පේන්න තියෙන්නෙ. :D /

      එහෙම අමාරුවෙ වැටෙන්නෙ පොරොන්දු ඉටු නොකරොත්නෙ බං..සියළු පොරොන්දු ඉටුකරනු ලැබේ.....:)

      Delete
  15. //පප්පා බලෙං මත්වෙලා පිස්සු කෙලියෙ ඔය 5/6 බලය හින්දයි.// මම මේ 'පිස්සු' කියන වචනයට විරුද්ධයි.
    අදටත් කාටවත් පප්පා ගහපු "ගැට" ලිහාගන්න බැරිවෙලා තියනවා... වෙන එකක් තියා පප්පගේ 'ගැට' ලිහනවා කියලා දුන්න චන්ද පොරොන්දුව හින්දම බලයට ආපු මෛත්‍රීටත් තවම ඒ සමහර ගැට ලිහනවා තියා අල්ලන්නවත් ලැබිලා නෑ කියලයි මම හිතන්නේ.... විධායක ජනපති බලතල අඩුකරන්න කියලා සම්මත කරගත්තු අළුත් ව්‍යවස්ථා සංශෝධනේ ටිකක් කියවුවොත් ඒක හොඳටම ඔප්පු වෙනවා.

    ReplyDelete
    Replies
    1. Ano,

      / මම මේ 'පිස්සු' කියන වචනයට විරුද්ධයි. අදටත් කාටවත් පප්පා ගහපු "ගැට" ලිහාගන්න බැරිවෙලා තියනවා... වෙන එකක් තියා පප්පගේ 'ගැට' ලිහනවා කියලා දුන්න චන්ද පොරොන්දුව හින්දම බලයට ආපු මෛත්‍රීටත් තවම ඒ සමහර ගැට ලිහනවා තියා අල්ලන්නවත් ලැබිලා නෑ කියලයි මම හිතන්නේ..../

      ඉතිං එහෙම කාටවත් ලිහන්ට බැරි ගැට ගහන එක හොඳයිද? ඒකම තමයි මම ජේ.ආර්. පිස්සු කෙලියයි කියල කිව්වෙ. යූ ඇන් පී එක හැමදාම බලයෙ තියාගන්ට මිනිහ ගෙනාපු අලුත් චන්ද ක්‍රමය සහ ව්‍යවස්ථාව යූ.එන්.පී එකටම පාරාවලල්ලක් වුනේ නැද්ද?

      ඒ මනුස්සය තමන්ගෙ වාසියට හිතාමතාම ව්‍යවස්තාවෙ තිබ්බ සිදුරු වලින් රිංගලා ගිහිල්ල නෙවෙයිද යූ.එන්.පී. එකෙන් පත්වෙච්චි මන්ත්‍රීලා හැත්ත බුරුත්ත පිටින්ම මරාගෙ අර මොකක්ද එක සක්තිමත් කරන්ට කියල ඒ පැත්තට පැන්නෙ? ඉතිං එහෙම ව්‍යවස්ථාවක් හදපු මනුස්සය බලෙන් මත්වෙලා පිස්සු කෙලියායි කිව්වහම වැරදිද?

      Delete
  16. ආපෝ මම නම් ජන්දෙ දවසෙ නිදි මරන්නේ ප්‍රතිථලත් එක්ක දාන පිවෑර් එක බලන්න...2-3 වේගෙන එනකොට පිචෑර් එකට වඩා චන්දෙට රූපවාහිනිය ඉඩ දෙනකොට ගිහින් නිදා ගන්නවා...කවුරු දිනුවත් අපි හැමදාම පරාදයි...

    ReplyDelete
    Replies
    1. anna yatharthaya. hats off to you sir.

      Delete
    2. ඩබ්.කේ.,

      සික්, කිසිම දේශපාලන විඥාණයක් නැති උඹල වගෙ එවුංට බූ හනසු වලිං තලන්ටයි වටින්නෙ..:)

      Delete
  17. එකසිය දහතුනක සරල බහුතරය කාටවත් ගන්න ලබෙන්නේ නැහැ.වැඩිම ආසන දිනා ගන්නේ යුඑන්පි ය.
    මම නම් රවීයියේ ශ්‍රී ලංකා එකට ඇර යුඑන්පි,ජවිපෙ දෙකටම දීලා තියෙනවා.2010 දී ෆොන්සේකාට දුන්නා.මේ ගමනත් ජවිපෙට.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ඒක හොඳයි. ජෙප්පොන්ට දීපං මලේ...:)

      Delete
  18. සාමාන්‍ය ඡන්දදායකයන්ගේ හැසිරීම අගේට පේන ලියවිල්ලක්. කැපුවත් කොළ, නිල්, රතු වෙන්නෙ නැතිව මෙහෙම තීන්දු ගන්නව නං රටට හොඳයි.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      නොවෙන්නෙත් ඒකමනෙ ..අපි තීන්දු ගන්නෙ විචාරාත්මකව අපේ අනාගතයට, රටේ අනාගතයට ඉතාම ප්‍රශස්ත මොකක්ද කියල ප්‍රවේශමෙන් හිතල බලල නෙවෙයි. වෙන වෙන බහුබූත ඔලුවෙ පුරවගෙන.:)

      Delete
  19. රවී අයියා... මටත් පොඩි කාලෙ ඉඳන්ම දේශපාලන උණ තදටම තිබ්බ... පත්තරේ හම්බවෙන අතිරේකේ මමත් බොහොම උනන්දුවෙන් පිරෙව්වා මතකයි ඒ කාලෙ.. 2000 2001 කාලේ අපි ඒ ලෙවල් කරනකොට කොමන් ජෙනරල් කියල පීරියඩ් එකක් තිබ්බ. ඒකට පන්තියට ආවෙ කෝරලේ ආරච්චි සර්.. උග්‍ර ශ්‍රීලංකා කාරය. සර්ට අපි කිව්වෙ කළු, රතු ,සුදු කියල. කළු නම් පාර, රතු නම් ලේ, සුදූ නම් කොකා. පාර, ලේ, කොකා........ පීරියඩ් එකේම කතා කළේ දේශපාලනේ ගැන. සරුත් එක්ක දේශපාලනේට වැඩියෙන්ම ඇරගත්තේ මම. පන්තිය ඇතුලේ දේශපාලන කතා, චන්ද වගේම මැර ප්‍රහාරත් අපි දියත් කළා.... අදටත් කට්ටිය එකතු උනාම ඒ ගැන කතා කරනව.... සුන්දර මතක...

    ReplyDelete
    Replies
    1. සජ්ජා,

      අපිට උගන්නපු සර්ලානම් කවදාවත් දේශපාලනේ කතාකලා කියල මට මතක නෑ බන්..හෙහ්,හෙහ්..ඒ ඉතින් එක එක්කෙනාගෙ ආකල්ප අනුව තමයි එහෙම වෙන්නෙ.

      Delete
  20. කොටි එනවෝ , ‍යුද්දෙ එනවෝ, විදුලි පුටු එනවෝ, බටහිර අදිරාජ්ජවාදීන් එනවෝ, බූවල්ලො එනවෝ, ඊලාම් එනවෝ
    .... සොරි සොරි ටැක්නිකල් දෝසයකින් නැවත වාදනය වුනා.

    ෆෙඩරල් එනවෝ ෆෙඩරල් එනවෝ....ෆෙඩරල් බිල්ලන්ගෙන් බේරෙන්නනම් බබාල ඔක්කොම වසී බෝල රජතුමා ගෙන්න ගන්නෝ

    ReplyDelete
    Replies
    1. Pra,

      ඔය විදිහට මරහඬ තියාගෙන වලිගෙ ගිණිගත්තු හනුමන්ත වගෙ රට ගම පුරහ දුවන එක කලාවක් ජීවන විලාසිතාවක් විදිහට දියුණු කලේ අපේ අති ගෞරවාර්හ සීගිරි නොගිය මුදියන්සේලාගෙ මෝඩවන්ස ( මහල්ලා සහ මුහුද ) මැතිතුමා...:)

      He developed spreading racism and xenophobia as an art form and a life style….:)

      Delete
  21. රවි, බෙන් කේන්ගෙ ලිවීමෙ චුට්ටක් බොලඳ B grade ගතියක් දැනුනෙ නැද්ද? (කේන්ගෙ හැනිබල් කියවල නෑ. ස්පාටකස් නම් ඒතරම් ගතියක් නැති නිසා නිසයි ඇහැව්වෙ)
    Ross Leckie ගෙ Hannibal Trilogy කියෙව්වද? මං එකක් කියෙව්ව , නරක නෑ

    https://en.wikipedia.org/wiki/Pride_of_Carthage හොයා ගන්න ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      ඇත්තටම බෙන් කේන්ගෙ ලිවිල්ල බොහෝවිට භාවාතිශය ගතියක් තියනව තමයි.එහෙම වුනත් ඒ ශෛලියට මම කැමතියි.

      ලෙකීගෙ පොත් එකක්වත් මට කියවන්න ලැබිලා නෑ තවම...;(

      Delete
  22. බලන්න ආසම මැච් (ශ්‍රී ලංකාව නැති) -
    ඔස්ට්‍රේලියාවෙදි ඔස්ට්‍රේලියාව ඉන්ගලන්තෙට පරදින ක්‍රිකට් මැච්
    ඕල් බ්ලැක්ස් නවසීලන්තෙදි පරදින රගර් මැච්
    පාකිස්තානෙදි ඉන්දියාව දිනන ක්‍රිකට් මැච්
    ඕනම රටකදි හෝම් ටීම් එක අන්ඩර්ඩෝග්ස්ලට පරදින මැච්
    හොඳම එක - ඊඩ්න් ගාර්ඩන්ස් ෆුල් හවුස් එකක් ඉස්සරහ ඉන්දියාව ඕනැම ටීම් එකකට (විශේෂයෙන් පකිස්තාන්)පරදින ක්‍රිකට් මැච්

    ක්‍රීඩාවට අදාලව කියවන්න ආසම දේ - ඈෂස් මැච් ගැන තියන බ්ලොග් හෝ නිවුස් පෝස්ට් වල ඔස්ට්‍රේලියන් හා ඉන්ග්‍රීසි ෆෑන්ස්ලගෙ වලි

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      කොහොමද ගාල්ලෙ මැච් එක හෙහ්? වැඩේ දුන්න එලකිරි සහ ඇල් ජලය වගෙ නැද්ද?...ඊයෙ තමයි පක්ෂියා කැරකුනෙ අපිට ..:)

      චන්දිමාල් ලොක්කගෙ කොහොමද ගැහිල්ල? ඊයෙ 95 ට විකට් 5 ක් ගිහාම මොන මන්ගල්ලයද්ද මේ කියල මම මැච් එක බලන එකත් අතෑරල දාල පොඩි ආතල් එකකට සෙට් වුනා තනියමම උයන ගමන්. ඒ කරල දැන්නම් ඉනිමකින් කෙලවෙලා ඇති කියල ලැප් එක ඔන් කරල බැලින්නම් මෙන්න මුන් දෙන්න දෙනව දිගට හරහට..චන්දිමාලුයි තිරිමාන්නයි...හෙහ්,හෙහ්,

      ඒ ගැහිල්ල දැක්ක ගමන් මට කියවුනෙ අර මාලින්ගයගෙ බැට් එක නැතිවෙච්චි වෙලාවෙ ඌට කියවෙච්ච වචනෙ...:)

      මේ අවුරුදු දෙහෙකට වගෙ කලින් ඔය චන්දිමාල් ළමය ගැන ලිව්ව පොඩි සටහනක්...හුදී ජන පහම් සම්වේගය උදෙසා ආයම පළකොරමි!!!

      Delete
  23. ඔක්කොම අනාවැකි ටික එකතු කරලා,
    ඉසෙඩ් ස්කෝර් එකට දාලා,
    වහින වෙලාවක් බලලා ඒ පිළිතුර ඩක්වත් ඇන්ඩ් ලුවිස් න්‍යායට ඇප්ලයි කරලා,
    පස්සේ විදුලි බල මණ්ඩල‍ේ මිල සූත්‍රයට දාලා,
    ඒ එන පිළිතුරට අනුව පුටු ටික බෙදා ගත්තා නං මේචචර වියදම් කරන්න වෙන්නේ නැහැනේ.

    (කරුණාවෙන් සකලන්න මෙය මේ ලිපිය කියැවීමට පෙර මවිසින් ලියන ලද්දකි) :D

    ReplyDelete
    Replies
    1. රන්දිල්,

      / ඒ එන පිළිතුරට අනුව පුටු ටික බෙදා ගත්තා නං මේචචර වියදම් කරන්න වෙන්නේ නැහැනේ./

      ඇයි බොල ඊට පස්සෙ ඉක්ටෑඩ් ෆෝමියුලා මෙතඩ් එක අනුව වේටේජස් ඇජස් කරල අන්තිමට පොපිට් ඇන්ඩ් ඕවර්හෙඩ්ස් ඇඩ් කොරන්නෙ නැත?

      Delete
  24. /ගරු කටයුතු නීලකාස මුදියන්සේලාගේ බුරුසුපාල/

    මේක නං සිරා.

    (හැබැයි පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ, මුදියන්සෙ වාසගමක් සහිත කෙනෙක් නෙවෙයි. ගමරාලලාගේ වගේ වාසගමක් ඇති පෙළපතකින් එන්න කියලා මතකයි.)

    චන්ද්‍රකා ගෙ බෝම්බ සීන් එක එයාම ප්ලෑන් කරලා කරපු එකක් ය කියලා විට්ටර් අයියා කියලා තිබුණා චෞර රැජිණ පොතේ, කාරණා කාරණා පැහැදිලි කරමින්...

    77 මහ මැතිවරණය ගැන ඔසී දියලගොඩගෙ පරණ කාටුන් ටිකක් මේං...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      / හැබැයි පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ, මුදියන්සෙ වාසගමක් සහිත කෙනෙක් නෙවෙයි. ගමරාලලාගේ වගේ වාසගමක් ඇති පෙළපතකින් එන්න කියලා මතකයි. /

      හෙහ්, එහෙමද? මයිත්තිපාල ගොයියනම් ඔන්න එහෙමයි. පල්ලෙවත්ත ගමරාලලාගේ......මරාසුත් එහෙමද? හෙහ්..ඒකත් නරකම නෑ..නීලකාස ගමකනරාළලාගේ සුනාමිනන්ද බුරුස්පාල

      / චන්ද්‍රකා ගෙ බෝම්බ සීන් එක එයාම ප්ලෑන් කරලා කරපු එකක් ය කියලා විට්ටර් අයියා කියලා තිබුණා චෞර රැජිණ පොතේ, කාරණා කාරණා පැහැදිලි කරමින්…/

      විට්ටර් ගොයිය එහෙම කියල තිබ්බ නේන්නම්. ඒ පොතේ තියන විදිහට ඇත්තයි කියල හිතන්ඩත් ඉඩ තියනව. අනික තව කාරණයක්. චන්ද්‍රිකාට හොඳටම තිබ්බ ඒ පොතට නඩු දාන්ඩ. ඒත් එහෙම කලේ නෑ. ඔය චන්ද්‍රිකාය කියන්නෙ ජනාදිපතිකාලෙ රෑ එලිවෙනකල් හිල්ටන් එකේද කොහෙද පාටියක ආතල් ගත්තයි කියල ලිව්වයි කියල සන්ඩේ ටයිම්ස් කර්තෘ සින්හ රත්නතුන්ගට විරුද්දව නඩු දාල ඒ මනුස්සය හිරේ යවන්ට හදපු අම්මණ්ඩි.මේ වගෙ බරපතල චෝදනාවකට නඩු නොදාපු එකම සැකේට කාරනයක්...:)

      / 77 මහ මැතිවරණය ගැන ඔසී දියලගොඩගෙ පරණ කාටුන් ටිකක් මේං…/

      ස්තූතියි ඩ්‍රැකී...පරණ මතක ඇවිස්සෙනව හිටු කියල....හෙහ්,හෙහ්,

      Delete
  25. රිවිරුස පත්තරේ එක්ක ලැබුනා නොමිලේ ම පොතක්! පත්තරේ මං හිතන්නේ රුපියලක් හෝ ඊට අඩුයි.

    ReplyDelete
    Replies
    1. රසික,

      හරි…. චන්දෙ පවත්වන්ට ඉස්සරවෙලා හදිසි නීතිය අයින් කරන්ට උනානෙ ආණ්ඩුවට. එහෙම උනහම හදිසි නීතිය යටතෙ සීල් තිබ්බ දවස ආයතනය ආයෙම බාරදෙන්ට වුනා පරණ අයිති කාරයින්ට. දවස ආයතනයෙ පත්තර ආයෙම ගහන්ට ගත්ත 77 මාර්තුවල වගෙ ඉඳල. රිවිරැස කියන්නෙ දවස ආයතනයෙ ඉරිදා පත්තරේ.

      Delete
  26. රවි ඔබගේ http://randil.myblog.lk/ වෙත යන්නට බැරි ඇයි ~ Thanks for great articles...

    ReplyDelete
    Replies
    1. ආනන්ද,

      මෙහෙම ලින්ක් එකක් තියනවද? ඒ ගැනනම් කිසිදෙයක් නොදනිමි. අපේ රන්දිල් මැඩම්ගෙන් තමයි අහන්න වෙන්නෙ මොකද සීන් එක කියාල.....:)

      Delete
    2. sorry Ravi ~ tried to read your old posts

      Delete
  27. මං අහන්ෙන අැයි මට ඔය අතීතය අමතක කියල

    ReplyDelete
    Replies
    1. Upstream of reservoir,

      මට මතක තියන අතීතයක් ඔබට මතක නෑ... ඔබට මතක නෑ ...ඔබට මතක නෑ.
      මට මතක තියන අතීතයක් ඔබට මතක නෑ... ඔබට මතක නෑ ...ඔබට මතක නෑ.

      Delete
  28. චංද කිව්වට දැං තියෙන්නෙ චංදයැ. ඉස්සරනෙ තිවුනෙ චංද. ඒ දවස්වල ඡන්දෙ කිට්ටු වෙනකොට හත අටක් මරාගෙන, ගෙවල් දොරවල් හත අටක් කුඩු කරල, වාහන දහයක් දොලහක් ගිනිතියල, ප්‍රතිඵල දෙනකොටම දවස් ගානකට ඇඳිරි නීතියත් දානව.

    මං දැකපු දේසපාලක්ඥයන්ගෙං මට අදටත් සිහි කරන්න පුළුවන් හොඳ දේසපාලඥයා තමයි සංජීව පිලපිටිය කියන්නෙ. එයාගෙ තාත්ත අබේරත්න පිලපිටිය. ඒගොල්ලං වලව් කාරයෝ හිංද ‘අප්පො‘ කියන ගරු නාමය යොදල තමයි එයාලට කතා කලේ. මැර දේසපාලනේට අත නොතියපු එතුමා කාටත් නොකියම දේසපාලනේ අතෑරිය. උන්නැහැ මට ලස්සන කාල සටහනකුත්, කැලැන්ඩරේකුත් දීල තිවුන. එයාගෙ කාලෙම තමයි ඔය පයිත්තරා වන්නියාරච්චි නෝනත් දේසපාලනේට ආවෙ. බලන්නෙපායැ ඔය උංදැ ඒ දවස්සල සංජීව අප්පොට බයිනහැටි පීකරෙං.

    අපේ අම්මගෙ මුලු පවුලම ජූඇම්පී හිංද පුටුකාරෙයො අපිට හරියට කොකං පෑව. දවල්ට හිනාවෙලා කතාකරල යන එවුං රෑට ඇහිල්ල දොරේ කුණුහරප ලියල තිවුන. දොරකඩ හබරල හිටවල තිවුන. අපේ ගෙදර බල්ලට සුසන්ත පුංචි නිලමෙගෙ අංකෙ ගහපු ටීසැට් එකක් අංදල ලාම්පුතෙල් ගහල එවල තිවුන. ලාම්පුතෙල් නාපු බල්ල මරු විකල්ලෙං දුවල ඇහිල්ල ගෙටම පැන්න.

    අපෙ මාමට අලවන්න කියල සුසන්ත පුංචි නිලමෙ ගෙනත් දීපු මඩ පෝස්ටර් මිටියක් මාමගෙ ඇඳේ පැදුර යට තිවිල මං එයිං එකක් ඉස්කෝලෙත් අරං ගියා. ඒකෙ එක කවියක් මට තාමත් මතකයි.

    “බැරබර කරේ තියං දෙපයට වාරු අරං අපායෙ කංද නගිනවා
    සිරිමෝ උඹ නාඩං තව පොඩ්ඩක් හිටහං හෙට අනිද්ද නිවාඩු දෙනවා“

    ඒ එක්කම වයසක ආච්චියෙක් ලොකු මල්ලක් උස්සං යන පිංතූරෙකුත් ඇදල තිවුන.

    දවසක් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවකට ලක්වුන කෙනෙක්ට අතිරේක බලඇනි (එයාගෙ නෝන සහ ගෙදර තිවුනු මලකඩ කාපු කිනිස්ස) ගෙන්වා දෙන්නත් මං කටයුතු කරල තියෙනව.

    ඡන්දෙට කලිං සතියෙ ඉඳං මිනිස්සු මාසෙකට හරියන්න කෑං බීං ජාති ගෙදෙට්ට එක්කහු කරගන්නව. හාල් මිටිගනං, ලාම්පුතෙල් ගැලුං ගනං, සාඩිං ටිං දෙක තුනක්, ලුණු පැකැට් දෙක තුනක්, දුංකල හතරක් පහක්, මිරිස් තුනපහ, පාං පිටි ආදිය ගෙවල්වල ගොඩ ගහල ගෙවල් සම්පකාර වගේ කරනව. පුංචම්මත් ලාම්පුතෙල් බැරල්ලෙකක් ගෙනත් තියාගන්නව ඡංදෙං පස්සෙ ගාන වැඩි උනොත් වැඩි මිලට විකුණන්න.

    ඒ දවස්වල අපි ඡන්ද ප්‍රතිපල බලන්නෙ මහගෙදර තිවුන ආච්චම්මගෙ ටීවියෙකෙං. ඡන්දෙට කලිං බැට්ටි දෙකම චාච් කරල ගෙනත් පාවිච්චි නොකර තියා ගන්නෙ ඡන්දෙ බලන්න. ඡන්දෙ දා හවසට සාලෙ පිරෙන්න කට්ටිය. පැයෙං පැයට තේ, කැවුං, අලුව, රටකජු හම්බෙනව. කොටසක් අය පැදුරු දාගෙන බුදි. අනික් අය ප්‍රතිඵල අතරට පෙන්නන චිත්‍රපටිය බලනව. අනික් කොටස කයිවාරු ගහනව. ඒ අතරේ එක පාරටම

    “මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්“

    කියල ටීයියෙකේ කියපු ගමං හැමෝම කටවල් වහගන්නව. නිදං හිටපු අය ඇහැරෙනව. ප්‍රතිඵල ලියන කෙනා පොතයි පෑනයි අතට ගන්නව. හැමෝම නිස්සද්දයි.

    බැරිවෙලාවත් ඒ කියන ආසනේ ජූඇම්පිය පැරදුනොත්

    “ශික් වැඩහ් නෑ“

    “දැං ආසන හයක්ම පැරදි“

    “මේ පර හැතිකරේ ජනසවියයි, මුද්දරෙයි දෙකමත් අරං අනික් පැත්තට ගහලනෙ“

    “ගිය පාර ඔය ආසන සේරම අපිට තිවුනෙ“

    ආදී වසයෙං දෙස් දෙවොල් තියාගන්නව.

    ඔය අතරෙ කලිං දවසෙ ඡන්ද වැඩට ගිහිං ආපු මාම කාමරේ ඉඳං නිදාගෙන රේඩිවේකෙං ඡංදෙ අහනව. සමහර වෙලාවට ටිවියෙකට කලිං රේඩිවේකෙ ප්‍රතිපලේ කියනව. එතකොට එයා සරම අතේ අරං සාලෙට දුවං එනව.

    “ඕං දැං කිව්ව නිවිතිගල ඡන්ද පතිපලේ. මේ දැං කිව්වෙ“

    එතකොට හැමෝම කටවල් දික්කරගෙන ටීවියෙක දිහා බලං ඉන්නව. විනාඩි විස්සක් ඉතර ගියායිං පස්සෙ ඒ ප්‍රතිපලේ ටීවියෙකෙත් කියනව.

    ඡන්දෙ කවුරු දිනුවත් පැරදිච්ච අයට හූ කියන්නත්, ගහමරාගන්නත්, සරම උස්සල පෙන්නන්නත්, මිදුලට හබරල අල විසිකරන්නත්, ආදී පසු මැතිවරණ ආතල් රැසක් ගන්න කට්ටිය අපේ ගම්පලාතෙ ඉන්න හිංද ඡන්දෙං පස්සෙ සතියක්වත් ඇඳිරි නීතිය තියෙනව. අන්තිමට දලු දෙන්න ලොරි නැතුව, පාං ගෙඩ්ඩක් ඇහැට දකින්නැතුව එපා වෙනකම් ඉඳල තමයි ඇඳිරි නීතිය ඉවර වෙන්නෙ. මටනං ඒක එපාවෙන්නෙ නෑ. ඉස්කෝලෙ යන්න නැති හිංද.

    මංමුලිංම ඡන්දෙ දුන්නෙත් අප්පච්චිට තමයි. පස්සෙං පහු ඡන්දෙ දීම අතෑරිය. ඕං මේ ගමන තමා ආයි ඡන්දෙ දැම්මෙ. දැං ඉතිං ලැහැත්ති වෙන්න ඕනි ඡන්දෙ වැඩට යන්න. මේ ගමනනං ඈත පිටිසර ගමක් සෙට්වෙලා තියෙන්නෙ. යන ගමංම අවස්ය සේරම දියර ජාති ගිනියන්න වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. Suranga,

      / එයාගෙ තාත්ත අබේරත්න පිලපිටිය. ඒගොල්ලං වලව් කාරයෝ හිංද ‘අප්පො‘ කියන ගරු නාමය යොදල තමයි එයාලට කතා කලේ. මැර දේසපාලනේට අත නොතියපු එතුමා කාටත් නොකියම දේසපාලනේ අතෑරිය. /

      පිලපිටිය උන්නැහැ මැරයෙක් නෙවෙයි හොඳ මහත්මයෙක් වෙන්න ඇති. බොලාගෙ ගම් පලාතෙ මනුස්සය වෙච්චි. උඹ කියනවනම් ඒක එහෙමෙයි කියල මම පිලිගඤ්ඤම්..

      ඒත් ජේ.ආර්.ගෙ බලකිරීමට හරි කොහොම හරි ඔය මනුස්සය මැතිවරන ඉතිහාසයෙ එතනින් ගිහාම යුක්තිය සහ සාධාරණත්වයෙ බොහොම ලොකු කළු පැල්ලමක් ඇතිකරන්ට දායකවුනා. 77 පිලපිටිය උන්නැහැ දිනුවට චන්ද පෙත්සමකින් ආසනේ අහිමි වුනා. අතුරු චන්දෙන් දිනුවෙ සරත් මුත්තෙට්ටුවේගම මහත්මය නොහොත් සරත් අප්පො. ජේ.ආර්. ලොක්ක කලේ දහම් ගැටයක් ගැහුව පිලපිටිය උන්නැහැත් මන්ත්‍රී විදිහට තියාගන්ට.අන්තිමට සුපිරිම් කෝට් ගිහිල්ලයි වැඩේ බේරුමක් කරගත්තෙ. මරු කතාව ඒක. ජේ.ආර් ලොක්කගෙ කපටි සූත්තර ගැන හොඳම උදාරනයක් ඒක. සම්පූර්න විස්තරේ ආයම වෙලාවක කියන්නම්කො...

      / අපේ ගෙදර බල්ලට සුසන්ත පුංචි නිලමෙගෙ අංකෙ ගහපු ටීසැට් එකක් අංදල ලාම්පුතෙල් ගහල එවල තිවුන. ලාම්පුතෙල් නාපු බල්ල මරු විකල්ලෙං දුවල ඇහිල්ල ගෙටම පැන්න. /

      පව් බන් බල්ල..ලාම්පුතෙල් නාපු එකටත් පාඩුයි. බොලාත් බල්ල නාවපු සල්ලයිට් කැටෙත් අපරාදෙ. පුන්චිනිලමෙ ගොයිය දැන් ගිහිල්ලනෙ අර මනුස්සයගෙ දෑත් සක්තිමත් කොරන්ට...:)

      /  දැං ඉතිං ලැහැත්ති වෙන්න ඕනි ඡන්දෙ වැඩට යන්න. මේ ගමනනං ඈත පිටිසර ගමක් සෙට්වෙලා තියෙන්නෙ. යන ගමංම අවස්ය සේරම දියර ජාති ගිනියන්න වෙයි වගේ. /

      ආන්න මතක ඇතුව දියර ජාති අරන් පල කොල්ලො.චන්ද රාජකාරිවලට කලින් දවසෙ රෑපානෙන් ගිහිල්ල මද්දියස්තානෙම බුදියන මහත්තුරු ඔය දියර ජාති පාවිච්චි කොන්න එක අනිවාර්යයෙන් කොරනව. මයෙ හිතේ ඔය මැකො නිකුත් කරන මැතිවරණ රාජකාරි උපදෙස් පොතෙත් එහෙම තියනවද කොහෙද...ඒ කිව්වෙ කලින් දවසෙ රෑ දියර බාවිතා නොකලොත් විනයානුකූලව කිරියා කොන්නවයි කියල. මට තියනව ඔය ගැන අපූරු අත්දැකීම් ..අපි කාලයක් හිටියනෙ අපෙ උන්දැ උගන්නපු ඉස්කෝලෙ කෝටස් එකේ. ඒ ඉස්කෝලෙ චන්ද මද්දියස්තානයක්. ඒ හින්ද ඔය දියර පාවිච්චිය ගැන මම හොඳාකාරවම දන්නව...:)

      අනික නොවැරදීම අරන් පලයන් මොකක් හරි ආවුදයක්. පරන කිනිස්සක්, කලාකිරිඤ්ඤයක් වගෙ. මොකවත් නැත්තන් චූටි මැනිකෙ පිටි කොටන මෝල හරි ඉල්ලන් පලයන් දවසකට දෙකකට නෙව. හොර චන්ද දාන්ට එන එවුන්ට, පෙචන්ඩ ක්‍රියා කොරන්ට එන එවුන්ට දමල ඇනහන්, නැත්තන් මෝල් ගහෙන් දීපිය දෑත බදල ඔලුවට. හිරේ විලන්ගුවෙ වැටෙන එක ගැන හිත අකම්පාල කරගන්ට හේතුවක් නෑ. මැකෝ කියල තිබ්බ එහෙම කරන අයට කිසිම කිසි කරදරයක් වෙන්නෙ නැතය. ඒ ගැන එයා ගැරන්ටියක් දෙනවය කියල.

      Delete
  29. api nidimaruwa kiala chanda prathipala wenas wena ekakya
    kohomath eka nan therumak naha
    lankawe pathaleth inne ponna huththoma thamay
    mini maranna oni nan marapanko oya ratata wina karana ekek(kudu karayo,matree horu).

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඒකනෙ කියන්නෙ..කාට කියන්නද මෙව්ව...:)

      Delete
  30. අයියගේ ප්‍රෙඩික්ෂන්ස් සෑහෙන දුරට හරි.... ඒක නෙමෙයි ඔය එක එක කතන්දර ලියන්න කලින් තව එක අබයාරාමෙ කතාවක් ලියලා ඉන්ඩ ඈ....

    ReplyDelete
  31. මට මතක තියන මුල්ම චන්දෙ මොකද්ද කියලා මට හරියටම මතක නෑ. මන් කිව්වේ, මට ඒකෙ ඡන්ද ප්‍රතිඵල බලපු හැටි මතකයි. ඒ උනාට ඡන්දේ මොකක්ද කියලා මතක නෑ. අර "දිල් චහ්තා හේ" ෆිල්ම් එක තමා ප්‍රතිඵල යන අස්සේ බැලුවේ. අන්තිමට තප්පර තිහෙන් තිහට අලුත් ප්‍රතිඵල එන්න පටන් ගත්තට පස්සේ මළ පැනලා නිදාගන්න ගියාද කොහෙද.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...