Monday, October 19, 2015

360. අලුතින් සුසුමක් ගෙන වෙන් වී යමු - 1 - ක්ලියෝපැට්රා හමුව


Heart break hotel by Raymond Leech

අප වැතිරහුන් සයනයට අඩි කීපයක මානයේ දකුණුපස වූ බිත්තියෙහි ඇති වීදුරු ජනේලය ඉහලින් වූ වාකවුලුව ආවරණය වූයේ කුරුස හැඩයට එකිනෙක හරහා සවිවුනු ලී පටි සමූහයකිනි. සම්ප්‍රදායානුකූලව දොරක හෝ ජනේලයක ඉහළින් එවැන්නක් ඇත්තේ වාතාශ්‍රය පිණිසය. එනම් පිටත සිහිල් වාතය ඇතුළතට ඇදීඑනු පිණිසය. එහෙත් මේ ජනේලය සැළසුම් කල ගෘහ නිර්මාණ ශිල්පියා හෝ වාස්තු විද්‍යාඥයා අපේක්ෂා කල කර්තව්‍යය ඉටුකිරීමට කිසිසේත්ම මේ වාකවුලුව සමත් නොවන්නේ ලී පටි රාමුවට පිටතින් සවිකොට ඇති වීදුරුවක් හේතුකොටගෙනය. 

ගොඩනැඟිල්ල ඉදිකොට යම් කලක් ගතවූ පසු වායු සමීකරණ යන්ත්‍ර සවිකිරීමට අවශ්‍ය වූකල්හි කල්හි ඊට ප්‍රථම කඩිමුඩියේ සවිකරන ලදැයි ඉඳුරාම පැවසිය හැකි එම වීදුරුවෙහි පිටත බොහෝවිට මී මැස්සන් විය හැකි කුඩා සතුන් මහත් රාශියක් කඩිමුඩියේ එහා මෙහා යනු ගෙවත්ත මධ්‍යයෙහිවූ පහන් කණුවෙන් නිකුත්වූ කහ පැහැ පසුබිම් ආලෝකයෙන් දිස්විය.

ප්‍රධාන මාර්ගයෙන් හැරී, වසර පණහකට පමණ ඔබ්බෙහි ඇරඹි,දිවයින පුරා ඉතා ප්‍රසිද්ධ රජයේ ගොවිපොළක් දක්වා දිවෙන ප්‍රවේශ මාර්ගයෙහි යාර පන්සියයක පමණ දුරක් ගෙවූ ඉක්බිති දකුණු පස වූ කුඩා වැවක් අබියස පිහිටි මෙම නිවාඩු නිකේතනය පිළිබඳ මට පැවසූයේ පාසලෙහි එක වසරේ සිටම මා හා එකම පන්තියෙහි ඉගෙනුම ලැබූ අදටද මගේ කිට්ටුම මිතුරෙකි. ඒ කරා දිවෙන මාර්ගය තැනින් තැන තාර ගැළවී වළවල් සෑදුණද ඉතා මෑතකදී බොරළු දමා වළවල් යම් පිළිසකර කිරීමක් කිරීමට ගත් උත්සාහයක ළකුණු දක්නට තිබුණි.

කුඩා කල සිටම අවිදුර දෘෂ්ඨිකත්වයෙන් පෙළෙනා බැවින් පියවි දෙනෙතින් මට ඔවුන් හඳුනාගත හැකි පමණ පැහැදිලිව දිස්වූයේ නැත.ඔවුන් මීමැස්සන්මදැයි සැකහැර දැනගැන්මේ හදිසි ආශාවක් සිත තුල හටගත් බැවින් මම සයනයෙහි කෙළින්වී හිඳ ඒ අසළම වූ කුඩා කනප්පුව මත වූ මගේ උපැස් යුවල සුරතට ගතිමි. 

" මොකටද දැන් මේ හදිස්සියෙ ඕක? " ඇය මදෙස හැරීබලා විමසුවාය.ඇගේ දෙතොලග මද සිනහවක් තැවරී තිබිණි.

" කංකානියද? කංකානිය දාගත්තෙ....." මම උපැස් යුවල පළඳමින් පැවසුවෙමි. 

" අර අතන වීදුරුව එහා පැත්තෙ ඉන්නෙ මී මැස්සොද කියල හරියටම දැනගන්ට. " 

" කංකානිය ?... ඒ මොකක්ද? " ඇයද ඉහළට ඇදී ඇඳ විට්ටමට කොට්ටයක් තබා ඊට හේත්තුවුනාය.

" අපෙ අක්කගෙ පුතා පොඩි කාලෙ කණ්නාඩියට කිව්වෙ කංකානිය කියල " උපැස් යුවල පැළඳගත් ඉක්බිති මට වීදුරුවෙන් එහා ඔබ මොබ නළියන සතුන් පැහැදිලිව දැකගත හැකිවිය.

" හ්ම්ම්ම්..මී මැස්සො තමයි…." 

" සීතලයි……." ඇය සයනයෙහි පාමුළ අඩක් ගුලිවී තිබූ පොරෝණය ගෙන නිරුවත් උඩුකය වසා ගත්තීය.

" මට එතන මී මැස්සො කීදෙනෙක් ඉන්නවද කියල ගණන් කරන්ට ඕන. " ඇය සයනයෙහි කෙලින්වී හිඳගෙන සුරතෙහි දබරැඟිල්ල දිගුකොට මී මැස්සන් ගණින්නට වූවාය.

" එකයි..දෙකයි..තුනයි..හතරයි...පහයි..ම්ම්ම්ම්...බෑ අනේ උන් එක තැනක ඉන්නෙ නෑනෙ….." 

" එවුං ආය එක තැනක ඉඳීය ඔයා ගණන් කරනකල්..හෙහ්,හෙහ්, එක තැනක හිටියොත් උන් මී මැස්සො වෙන්නෙ නෑනෙ. කතාවටත් කියන්නෙ ඔය මී මැස්සා වගෙ කඩිසරයි කියල. " 

" මම අහල තියෙන්නෙ මී මැස්සො වඩාත්ම දක්ෂ මල්වල පැණි බොන්ට කියල " මී මැස්සන් ගණන් කිරීම අත් නොහැරම ඇය යටසින් මදෙස බලමින් කට කොණකින් පැවසුවාය. ඇගේ එසේ කට කොණකින් කථාකරනු දක්නට මම බොහෝසේ ප්‍රිය කළෙමි.

" ඒ මී මැස්සො නෙවෙයි ළමයා..ඔයා ඔය කියන්නෙ බඹරු ගැන..වන බඹරු...හෙහ්,හෙහ්, පියුමෙහි පැණි බොති වන බඹරු....." 

" උන්ව ගණන් කරන්ට බෑ අනේ ඒක හරියන වැඩක් නෙවෙයි. " මීමැස්සන් ගණන් කිරීමේ උත්සාහය අත්හැර දමූ ඕ යලි ඇඳ විට්ටමට හේත්තුවූවාය. 

" හෙහ්..මම කියල දෙන්නද මී මැස්සො ගණන් කරන්ට ලේසි ක්‍රමයක්? " 

" හරි කියන්නකො එහෙනම්……." 

" මී මැස්සො ගණන් කරන එක පැත්තක තියල උන්ගෙ කකුල් ගණන් කරන්ට. " 

" ඈ? ………." 

" යස් ..මී මැස්සෙකුට කකුල් හයක් තියනව. එතකොට ඔයාට තියෙන්නෙ ඔක්කොම කකුල් ගාණ හයෙන් බෙදන එක. ඒ උත්තරේ තමයි මී මැස්සො ගාණ. හිහ්..කොහොමද මගෙ ක්‍රමේ? එළ නේද? ඉතාම පහසුයි සහ ලෙහෙසියි " 

" හිහ්..එළ නේන්නං..ආය මොකට කියනවද ඒ හරිය?..මේ... මම කිව්වයි කියල හිතාගන්නව......" ඇය සුරත ඔසවා මට පහර දීමට තැත් කළාය. මම දෑතින්ම හිස අත්බදාගත්වනම උඩු කය නවා පහත්වීමි. ඇය මට පහරදීමට තැත් කරන කල්හි තන මත්තක් දවටා තිබූ පොරෝණය ගිලිහී ඇගේ උඩුකය යලිත් නිරුවත්විය. 

" ඊයි………….." ඇය කෑගසමින් යලි කඩිනමින් පොරෝණය දවටා ගත්තාය.

" හරි හරි මම දැකල නැති දෙයක්ය ආය? " මම ඇගේ නාසය මිරිකමින් ඇසුවෙමි.

" හිහ්..ඒ වුනාට..ඒක වෙනයි මේක වෙනයි.." ඈ මගේ සුරත ගෙන තොලට තබා සිපගනිමින් පැවසුවාය.

" මේ නහය තමයි....හෙහ්,හෙහ්, ………." මම යලිත් ඇගේ නාසය මිරිකමින් පැවසුවෙමි. ම්ම ඇගේ නාසයට බොහෝ සේ ඇලුම් කළෙමි.


***************************************************


" මේ ලොක්කා...මොකක්ද කියවන පොත? " 

භෝජනාගාරයේ කෙළවරකවූ මේසයයක හිඳ පොතක් කියවමින් හුන් මා අමතා එසේ විමසූයේ කවුරුන්ද යන්න මට පැහැදිලිව මතකයට නඟා ගත නොහැක.එහෙත් බොහෝවිට ඒ ප්‍රසම්පාදන අංශයෙහි මා සමඟ සේවයකල මගේ සමීප මිතුරන්ගෙන් කෙනෙකු විය යුතුය. නැතහොත් ගිණුම් අංශයෙහි සේවය කල කවුරුන්හෝ ද විය හැක. 

 අගනුවර ප්‍රත්‍යාන්ත, එතරම් ජනාකීර්ණ නොවූ පෙදෙසක පිහිටි අප සේවය කල සමාගමේ භෝජනාගාරය සිව් දෙනෙකු බැගින් අසුන් ගත හැකි මේස දහයකින් පමණ සමන්විත තරමක් විශාල එමෙන්ම මනා ඉඩපහසුකම් ඇත්තකි. එදින කුමන හේතුවක් නිසාදෝ නිල වශයෙන් දිවා ආහාර විවේකය ඇරඹීමට පෙර මම දිවාආහාරය ගත්තෙමි.බොහෝවිට ඒ පාතරාසය මඟහරුණු දිනයක් විය හැකිය. එවන් දිනවල කුසගිනි දැනුනු වහාම මධ්‍යාහ්නය වීමටද ප්‍රථම මම දිවා ආහාරය ගනිමි. මේ ද බොහෝවිට එවන් දිනයක් විය යුතුය.

" මේ ජැක් ලන්ඩන්ගෙ පොතක් ………." 

" කාගෙ? " 

" ජැක් ලන්ඩන්…." මම නොසැලකිළිමත් ලෙස පැවසූයේ පහත්කොටගත් හිස මදක් හෝ එසවීමෙන් පවා තොරවය. 

" ජැක් ලන්ඩන් ?? කොහෙන්ද ඔයා ඔය පොත ගත්තෙ? " ඒ විශ්මයපත් නුපුරුදු ගැහැණු කටහඬ මාහිස එසවීමට සමත්වූයේ නිතැනිනි.

මා අසලම වූ මේසයට ඔබ්බෙන් තිබුණු මේසය වටා මා සගයින් කිහිප දෙනෙක් අසුන් ගෙන උන්නෝය. ඒ අතර වූ නුපුරුදු මුහුණක් විමසුම් දෑසින් මදෙස බලා සිටියි.එතරම් පැහැපත් නොවූ ඇය තිස් හැවිරිදි වියේ පමණ වන්නට ඇතැයි මම අනුමාන කළෙමි. ඒ මගේ උපකල්පනය බොහෝ දුරට නිවැරදි බවට මම පසුව ඇගෙන්ම දැනගතිමි. එදින ඒ මුල්දිනයේම හා පුරා කියා මසිත පැහැර ගත්තේ ඇගේ නාසයයි.

ගැහැණුන්ගේ නාසය පිළිබඳ මම එදවස සිටම උනන්දුවක් දැක්වීමි. මනාසේ වාත්තු කලාක් බඳු දිගටි එමෙන්ම තියුණු නාසයක් යුවතියකගේ රූප ලාවන්‍ය වර්ධනය කිරීමෙහිලා ඉතා වැදගත්වන බව එදවස මගේ බලවත් විශ්වාසය විය.සත් සමුදුරින් එතෙර පවා විහිදුනු මහා අධිරාජ්‍යයක් ගොඩනැඟූ ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනි නම්වූ රෝම රණ ශූරයින් දෙදෙන දුටු වහාම වසඟ වූයේ ක්ලියෝපැට්රාවන්ගේ නාසයට බව ඔබ අසා තිබේද? 

ක්ලියෝපැට්රා නම් මිසර රැජිණියගේ නාසය තව ස්වල්පයක් කෙටිවූයේ නම් ලෝක ඉතිහාසය අලුතෙන්ම ලියන්නට සිදුවන බව පැවසූයේ 17 වන සියවසේ විසූ ප්‍රංශ ජාතික ගණිතඥයකුවූ බ්ලේස් පැස්කල්ය. ඒ ව්‍යාකූලතා න්‍යාය පිළිබඳව තවත් එක් නිදර්ශණයකි.සමනල ආචරණය පිළිබඳව ඔබ අසා ඇතිවාට මට සැක නැත. අද දින වෙනිසියුලාවෙහි සමණලයෙකුගේ තටු සැලීමක් තවත් මාස කිහිපයකින් පිලිපීනය හරහා හමායන ප්‍රචණ්ඩ මාරුතයකට හේතුවිය හැක.

" මේ පොත ගත්තෙ නම් නුවර පරණ පොත් වෙළෙන්දෙක්ගෙන්….." 

නුවර කතරගම දේවාලය අසලින් කොටුගොඩැල්ල වීදිය සහ යටිනුවර වීදිය යා කරන පටු මඟක් ඇත. මාර්ගය දෙපසම එකිනෙකට යාබදව පිහිටි බොහෝකොට නොයෙක් විසිතුරු භාණ්ඩ අලෙවි කරනා කුඩා වෙළඳසැල් මහත් රාශියක් පිහිටි නිරත්තරයෙන් ඉතා ජනාකීර්ණ සහ කලබලකාරී එහි මැද භාගයට පමණ වන්නට තාවකාලික ලෑලි කඩයක් අටවාගෙන පැරණි භාවිතා කල පොත් වෙළඳාමෙහි යෙදෙන මැදිවියෙහි වූ මුසල්මානුවෙකු සමඟ මම කලක් බොහෝ කුළුපගව ආශ්‍රය කළෙමි. 

" ඒක තමයි, පොත් කඩවලත් නෑ ජැක් ලන්ඩන්ගෙ පොත්. " ක්ලියෝපැට්රා පැවසුවාය.

පරණ පොත් කඩ සමඟ මගේ ආශ්‍රයට බොහෝ දුර විහිදුනු අතීතයක් ඇත.පාසල් ශිෂ්‍යයකු වශයෙන ගතකල අවධියේ අවම වශයෙන් මසකට වරක් හෝ මරදාන මැකලම් පාර අසබඩ පිහිටි පරණ පොත් කඩ වන්දනාවෙහි  මම වතාවතක් සේ යෙදුනෙමි.

" ඔව්...මමත් කවදාවත් දැකල නෑ ජැක් ලන්ඩන්ගෙ පොත් කඩවල තියනව.." 

" මේ..ඔයාට කරදරයක් නැත්නම් මම එන්නද ඔතෙන්ට? " 

" හරි, හරි,එන්න…. ඒකට මක් වෙනවද?" 

මෙතෙක් ආසනයේ දිගඇදී පහසුවෙන් හුන් මම කොන්ද කෙළින් කොට වැලමිටි මේසය මත රඳවා දෑතේ ඇඟිලි එකිනෙක පටලවා ගතිමි. ඇය එතෙකුදු දිග හැර නොතිබුණු බත්පතද රැගෙන නැඟිට සිට ඇය දෙස බලාහුන් මිතුරියන් දෙස සමාව යදින්නාක් මෙන් වූ බැල්මක් හෙලුවාය. 

" ඉට්ස් ඕකේ නෝ ප්‍රොබ්ලම් ….." ඔවුහු සිනාසෙමින් උරහිස් හකුළුවා ඇයට අවසර දුන්හ.

" ඔයා කොහොමද ජැක් ලන්ඩන්ගෙ පොත් ගැන උනන්දු වෙන්ට පටන් ගත්තෙ? " ඇය මගේ මේසයෙහි අසුන්ගෙන බත්පත දිගහැරගත් ඉක්බිති මම විමසුවෙමි.

" අප්පච්චි ගාව තිබ්බ ඒ කාලෙ ගත්ත පරණ පොතක්..ඒක කියවල.." 

" මම ජැක් ලන්ඩන් ගැන දැනගත්තෙ කොහොමද දන්නවද? " 

" නෑනෙ………………" ඇය සිනාසුණාය. 

ඇත්තෙන්ම ඇගේ නාසය ඉතා මනබඳිනසුළුය. එක්වරම ඉදිරියට නැවෙමින් ඇගේ නහය අල්ලා මිරිකීමට මසිතෙහි ඇතිවූ පෙළඹවීම මම මැඩගත්තේ අසීරුවෙනි. සත්‍ය වශයෙන්ම මා එසේ කළහොත් ඇය කුමක් කරයිද? මා හට අතුල් පහරක් එල්ල කරාවිද? නැතහොත් මොකද මිනිහො වෙලා තියෙන්නෙ? පිස්සු හැදීගෙන එනවද? එසේ මට බැණ වැදී බත්පතද රැගෙන නැඟිට ඉවත්ව යාවිද? නැත ඒ එකක්වත් නොව ඇය විසල් කොටගත් දෑසින් මදෙස බලා හිඳිනු ඇත. මම ඒ බව දන්නෙ කෙලෙසද යන්න නොදනිමි. එහෙත් ඒ එසේ බව සහතිකව දනිමි.ඇගේ නාසය දෙස බලාහිඳිනාතර මගේ සිතතුල නැඟි විකාරරූපී සිතුවිලි පිළිබඳව මට නොදැනුවත්වම සිනහ පහළවිය. 

" මේ..ඒ පාර මොකද මේ හිනා වෙන්නෙ? " 

" හෙහ්..හිනාවෙන්නෙ මොකටද නේද? ඒක අපූරු කතාවක්...අද නෙවෙයි..මම ළඟදිම දවසක ඒක ඔයාට කියන්නම්කො..හොඳද? " 

" ම්ම්ම්ම්..ලඟදිම දවසක? ඒ කියන්නෙ ආයෙම දවසක් අපි හම්බවෙනවද? " 

" එහෙනං ආය?...." මම විශ්මයපත් දෙනෙතින් ඈ දෙස බැලීමි. " ජැක් ලන්ඩන් ගැන අද කතා කරල ඉවරයක් කරන්න පුළුවන්ය කියල ඔයා හිතනවද? " 

" ම්ම්ම්ම් ..බැරිවෙයි වගේ නේද? " 

" බැරිවෙයි වගේ නෙවෙයි..බෑ තමයි. අනික ජැක් ලන්ඩන් ගැන උනන්දුවෙන ගෑණු ළමයෙක් එක්ක තව කොච්චර දේවල් තියනවද කතා කරන්ට....හෙහ්,හෙහ්," 

" හරි හරි එහෙනම් කතා කරමුකො ආය දවසක..ආ..මට ඔයාට මාව අඳුන්වල දෙන්නත් බැරිවුනානෙ..සොරි..මම මේ පහුගිය සඳුදා එකවුන්ට්ස් සෙක්ෂන් එකට අලුතෙන් ආවෙ..මගෙ නම…" 

" මම දන්නව..ක්...ලි...යෝ... පැ...ට්... රා……." මම අකුරින් අකුර නවතමින් උච්චාරණය කලෙමි. 

" මොකක්? ක්ලියෝ පැට්රා? මොන පිස්සු කතාවක්ද ඒ? " 

" හෙහ්...ඒකත් මම පැහැදිලි කරන්නම් හැබැයි…" 

" අද නෙවෙයි…………" ඇය හඬ නඟා සිනාසෙමින් සම්පූර්ණ කළාය.

" අන්න හරි ආයම දවසක……" 

" හිහ්..දැනටම ඔයා ආයම දවස් තුන හතරක් හම්බවෙන්ට ප්‍රෝග්‍රම් හදාගෙන ඉවරයි වගේනේද? " 

" ආය මොනවද? අන්න එහෙමයි අපි.....

106 comments:

  1. ක්ලියෝපැට්‍රා සහ සූර පප්පගේ හමුව. මරු. අනේ අර නාහෙ මිරිකන්ටමයි තිබුණේ. එහෙනං අහගන්ට තිබුණා

    "නාහෙ විතරද මිරිකන්නෙ"

    අර සමනල ආචරණය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. Suranga,

      / ක්ලියෝපැට්‍රා සහ සූර පප්පගේ හමුව. මරු. /

      සූර පප්පා ආවෙ අපේ කාලෙට පස්සෙ බන්. ඒත් ඒ ඔරිජිනල් චිත්‍රකතා ( Asterix ) ඔක්කොම වගෙ මම බලල තියනව.

      මෙතන 18.10 දි බලපං ක්ලියෝපැට්රගෙ නහයෙ ලස්සන...හෙහ්,හෙහ්,

      / අනේ අර නාහෙ මිරිකන්ටමයි තිබුණේ. එහෙනං අහගන්ට තිබුණා "නාහෙ විතරද මිරිකන්නෙ" /

      කොල්ලෙක් ඔය ඉස්සෙල්ලම කෙල්ලෙක් හම්බවෙලා පොඩි චැටක් දාන ගමං හෙමීට අත මිරිකුවලු. කෙල්ලට පැන්නෙ නැද්ද මල…..

      " මේ ඔව්වට විතරක් එන්න එපා හරිද? "

      " නෑ..නෑ..අනික් එව්වටත් එනව. ඒත් එක පාරටම බෑනෙ. ඒකයි අත මිරිකල පටන් ගත්තෙ.ඒත් ඔයා කියනවනං ඉතිං…..හෙහ්,හෙහ්,"

      " හෑ??? "

      / අර සමනල ආචරණය මොකක්ද? /

      ඉතාම නොවැදගත් ඒ වගේම ඉතාම සුළු සිද්ධියක් නිසා , ඒ සිද්ධිය මූලික කොටගෙන ඇතිවන ක්‍රියාදාමයකින් පස්සෙ එහි ප්‍රතිපලයක් විදිහට කාලෙකට පස්සෙ වෙන්න පුළුවන් සිතාගැනීමට පවා නොහැකි තරමේ සංසිද්ධියක්.....මේක සරලව කියන්නෙ අද ලෝකේ කොහේ හෝ සිදුවන සමනල තටු සැලීමකින් එහි ප්‍රතිපලයක් ලෙස තව වසර කීපයකින් ලෝකේ කොහේ හෝ මහා කුණාටුවක් ඇතිවෙන්න පුලුවන්ය කියලයි.....සමනල ආචරණය නොහොත් Butterfly Effect කියන්නෙ සුරංග අන්න ඒක....

      මේ කාලෙකට ඉස්සර සොඳුරුසිත ලියපු කතාවකට මම ලියපු කමෙන්ට් එකක්. සොඳුරුගෙ කතාව තිබ්බෙ මෙහෙමයි.

      ඔන්න මහ වැහිදවසක අන්තිම බස් එක කැඩිල බස් හෝල්ට් එකක අතරමංවෙලා තෙමීගෙන ඉන්න ගෑණු ළමයෙකුව මෝටර් බයිසිකලේකින් ගෙදරට ගිහිල්ල දානව එක්තරා තරුණයෙක්. මේ තරුණයා වෛද්‍ය ශිෂ්‍යයෙක්. පස්සෙ ඒ ගෑණු ළමය ගැන පිළිබඳ සිතක් පහළ වෙලා මිනිහ දෙතුන් දවසක් ඒ කෙල්ලගෙ ගෙවල් පැත්තෙ කැරකෙනව. ඒත් කෙල්ල දකින්ට වෙන්නෙ නෑ. එතනින් ඒ චැප්ටර් එක ඉවරයි. පස්සෙ මිනිහ දොස්තර කෙනෙක් වෙලා අහල පහල ඉස්පිරිතාලෙකට පත්වෙලා එනව.එහෙදි අර ගෑණු ලමය එයාට ආයම හම්බවෙනව. ඒත් ඒ හම්බ වෙන්නෙ සමාජ රෝග සායනයෙදි. රයිට් සොඳුරුගෙ කතාව ඕකයි. මම සමනළ ආචරණය ක්‍රියාත්මකවුනොත් මෙහෙමත් වෙන්න පුලුවන් කියල හිතල විකල්ප දෙකක් ලිව්ව.

      "
      ඔහු කීපදිනක්ම ඇගේ නිවෙස අසල තම යතුරු පැදියේ නැඟී පොරොත්තු වූයේ ඇය හමුවීමේ අටියෙනි.මේ ඔහු එසේ පැමිණෙන අවසාන දිනයයි.

      "

      '' අද එයා හම්බ උනේ නැත්නම් මේ වැඩේ අල්ලල දාන්න ඕන...මේක හරියන එකක් නෙවෙයි වගේ''

      Delete
    2. ඔහු එදින තමාටම සපථ කර ගත්තේ යතුරු පැදියට නැඟී ඒ පණ ගන්වන අතරදීය.

      ඇය මේ පිළිබඳව කිසිවක් නොදත්තාය. එසේම දින කිහිපයකට පෙර අතරමඟ දී බසය ක්‍රියාවිරහිත වීමෙන් පසු අධික වර්ෂාවට බත් වීමෙන් වැලඳුනු උණ නිසා ඇය පසුගිය සතියක පමණ කාලය පාසල් ගියේ ද නැත.

      යාන්තම් සුව අතට හැරුණු පසු ඇය අද සවස මේ සූදානම් වූයේ අසල පිහිටි මිතුරියක හමුවීමට ගොස් පසුගිය දින කිහිපයේ මඟ හැරුනු පාඩම් සටහන් පිටපත් කර ගැනීමටය.ඇගේ පියා එදිනෙදා කුළී වැඩට ගොස් උපයගන්නා සුළු මුදලින් යැපුණු බැවින් ඔවුන් ගෙවූයේ අග හිඟ කමින් පිරුණු දිවියකි.ඇය සහ ඇගේ සොයුරිය පාවිච්චි කලේ එකම සෙරෙප්පු යුවලකි.

      නිවසේ වූ එකම කාමරයේ සෑම තැනම සොයා ද සෙරෙප්පු යුවල සොයා ගත නොහැකිවූ පසු ඇය කුස්සියට ගොස් තම මව ඇමතුවාය.

      '' කෝ අම්මෙ අර කළු පාට සෙරෙප්පු දෙක? ''

      '' ඇයි මේ කොහෙ යන්ටද? ''

      '' පහුගිය ටිකේ මඟ ඇරිච්ච පාඩම් ටික ලියාගන්ට යන්ට කියල මගෙ යාලුවෙක්ගෙ ගෙදර ''

      '' ෂහ්, හරි වැඩේනෙ, නංගි කඩේට ගියානෙ ඒක දාගෙන, එහෙනම් එනකල් ඉන්ට වෙයි....''

      කඩය පිහිටියේ සෑහෙන දුරකිනි. එබැවින් නංගී ආපසු ආවේ හෝරාවකට පමණ පසුය. ඒ වන විට වැහි අඳුරක්ද පාත් වී තිබුණු බවින් මිතුරියගේ නිවසට යාමේ අදහස ඇය අත්හැර දැමුවාය.

      '' කවුද මන්ද අක්කෙ මෝට සයිකල් කාරයෙක් හිටිය අතන දෙවට ගාව. මම යනකොටත් දැක්ක, එනකොටත් හිටිය...මේ දවස් දෙක තුනේමත් මේ පැත්තෙ කැරකුන වගෙ මට මතකයි...කලින් දැකපු කෙනෙක් නම් නෙවෙයි....''

      නංගී පැවසුවේ ඇඳුම් ගලවන අතර තුරදීය.

      ඇගේ සිතේ සැඳෑ අහසක එක් වරම නැඟී අතුරුදන් වන විදුලි රේඛාවක් මෙන් ඇඳී ගියේ ඔහුගේ මුහුණයි.එදින මොර සූරන වැස්සේ ඔහු තමා නිවස අසලටම ගෙනවිත් ඇරලූ අයුරු....'' ස්තූතියි අයියෙ '' කියද්දී '' ආ, ඒක මොකක්ද නංගි, මම ගිහිල්ල එන්නම් '' කියමින් ඔහු සිනාසී නික්ම ගිය අයුරු...පසුගිය උණ වැලඳී ගෙවූ දින කිහිපයේ පවා ඔහුගේ සිනාමුසු මුහුණ වරින් වර දෑස් පියාගත් කල මනසේ ඇඳීගිය අයුරු.......

      '' කෝ නංගි දෙන්න ඔය සෙරෙප්පු දෙක..''

      වහා මිදුලට පිවිසි ඇය දෙවට දෙසට නෙත් යොමු කලද ඒ වන විටත් වැස්ස ක්‍රමයෙන් වැඩිවෙමින් තිබූ වැහි බිඳු අතරින් ඇය නෙත ගැටුනේ වැස්සට පෙර ගාල් වීම සඳහා හැල්මේ දිවයමින් සිටි එලදෙනුන් දෙදෙනෙකු පමණි.

      ඔහු....ඔව්...ඔහු.....ඊට මිනිත්තු පහකට පමණ පෙර.....වර්ෂාව ඇරඹීමත් සමඟම....අවසන් වරටත් ඇගේ නිවස දෙස බලා තම යතුරු පැදිය පණගන්වාගෙන එතැනින් නික්ම ගොස් තිබිණි.

      දිගු සුසුමක් හෙලූ ඇය ඉදිරිපස දොර වසා දමද්දී ගෙතුලට පැමිණි සීතල සුළඟ ඇගේ සිරුරේ හිරිගඩු නංවා ලීය.

      '' ඇයි අක්ක දන්නවද ඒ මනුස්සයව? ''

      නංගී විමසුවේ කුහුල රැඳුනු දෑසිනි.

      '' නෑ, මම දන්නෙ නෑ.....මම කොහොමද දන්නෙ? ''

      ඈ පිළිතුරු දුන්නේ නොරිස්සුමෙනි.

      Delete
    3. "දැන් ඔන්න සමණලය තටු සැළුවා....ඒ කියන්නෙ අර නංගි ගිය කඩේ එදා හවස වහල....අපි කියමු මුදලාලිගෙ කකුල ඇමැට්ටි උනයි කියල ලිස්සල වැටිල ඔයේ නාන කොට...කොහොම හරි මිනිහ වෙදා හොයාගෙන ගියා කඩේ ගෝලයත් එක්ක බයිසිකලේ...ඒ නිසා එදා හවස කඩේ වහල. නංගිට මඟදිම ආරංචි වෙනව කඩේ වහලයි කියල ඒ පාර නංගි ආපහු එනව.

      "

      ඒ නිසා ඈ සෙරෙප්පු දෙකත් දාගෙන පිටත් වෙනව මිතුරියගෙ ගෙදර යන්ට...දෙවටට ආව විතරයි ....කව්ද හිටියෙ ඈ එන පෙරමඟ, හිනා කටක් පුරෝගෙන?....

      ඇගේ දෙපා එතනම ගල් වුනේ ඇයටත් හොරාම.....මූණට ලේ පිරෙනව නම් ඇයට හොඳටම දැනුන.......

      '' අයිය...මේ මොකද මෙතන?.....''

      කාලාන්තරයකට පස්සෙ ඇයට ඇහුනෙ ඇගේම කටහඬද කියල ඇයටත් සැකයි.....

      '' මම මේ අඳුනන කෙනෙක් මුණ ගැහෙන්න කියල නංගි.....''

      ඔහු කිව්වෙ ඇගේ මුහුණ දිහා එක එල්ලේ බලමින්,

      "' කවුද ඒ?.....''

      "

      ඇගේ මුවඟටත් සිනහවක ඡායාවක්....

      '' එන්නකො මෙහාට මම ඒ කවුද කියල කියල දෙන්න.......හෙහ්, හෙහ්, ''

      ***********************************************************

      මොරගෙඩි තරම් වැහි බිඳු මෝටර් රියේ වා මුවාව මතට පතිත වෙද්දී ඔහු නිවසෙහි පෝටිකෝව යට රිය නැවැත්වීය.

      ඔහු එනතෙක් මඟ බලා සිටි ඇගේ සිනා සපිරි වත දෙස මොහොතක් සිනාමුසුව බල සිටි ඔහු සෙමෙන් දොර විවර කොට රියෙන් බැස්සේය.

      '' මොකද අනේ ඔයා පරක්කු උනේ?....මම මේ මඟ බලාගෙන හිටියෙ....''

      '' දන්නවනෙ.... මේ වගෙ අනෝරා වැහි වහින දවසට මට තියනවනෙ විශේෂ රාජකාරියක්, ඒකයි පරක්කු උනේ....''

      '' මොකක්ද අප්පා ඒ?....''

      ඇය විමසූයේ ඔහුගේ අතින් අල්ල අල්ලා ගනිමින් දෙබැමද හකුළුවමිනි..

      '' මොකක්ද දන්නවද?....මෙහෙම වහින දවස්වල මම පාර අයිනෙ තියෙන පරණ කඩ කාමර වගෙ ඒවගේ ටිකක් හෝදිසි කරනව ගෙදර යන්ඩ තියෙන අන්තිම බස් එකක් කැඩිල ඉහින් කනින් තෙමීගෙන අඬ අඬා ඉන්න ලස්සන ගෑණු ළමයි එහෙම ඉන්නවද කියල... ''

      ඔහු පැවසූයේ ඇය තරයේ වැළඳ ගනිමිනි. ඔවුන් දෙදෙන මහ හඬින් සිනාසෙන හඬ පිටත මහ වැස්සේ හඬද පරදවමින් දසත විසිරී ගියේය.

      ********************************************

      මේ එක සමනල තටු සැලීමක ප්‍රතිඵලය විතරයි...තවත් සිය දහසක් විකල්ප තියෙන්න පුළුවන්.....දැනට මේ ඇති.....හෙහ්, හෙහ්,

      Delete
    4. යකෝ මෙහෙම කොමෙන්ට් කිරිල්ලක්.
      දැං මේක කියවන්න ආයෙ එන්න වෙනවනෙ.

      Delete
  2. බලාගෙන හිටියෙ අර රෝස්ට් කුකුලා ගැන බගට් මොනවද කියල තියෙන්නේ කියල දැනගන්න. බගට්ගෙත් නොවන කොස් කපන්නියගෙත් නොවන අළුත්ම ලෝකයක්. රවී ගේ කතා ටිකක් තරුණ කාලේ කියවල තිබ්බනම් කෙල්ලොත් එක්ක කතා කරන්න පටන් ගන්න ලේසි වෙන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. Ian,

      " රෝස්ට් කල කුකුළාත් කොස් කපන්නියත් හැර වෙනත් වැල්වටාරම් තිබේද මහරජ? "

      " එහෙමයි ස්වාමීනී ඇයි කිලියෝපැට්රාගේ නහය සහ ජැක් ලන්ඩන්….."

      " ප්‍රීතියි මහරජ ප්‍රීතියි ඔබ මනා නුවණැත්තෙක් බව සක්සුදක් සේ පැහැදිලිවිය. මම ඔබට බුද්ධ ධර්මය දේශනා කරමි. "

      කොහොමද රජා අපි වගෙ පොරක් උනානම් එහෙම? ලංකාවෙ බුද්ධාගම පිහිටුවන්ට ලැබෙන එකක් නෑ එහෙනං..Thats another butterfly effect...බලාගෙන යනකොට එහෙම උනානම් හොඳයිදත් මන්ද..වෙලාවකට එහෙමත් හිතෙනව...:)

      " මහරජ මේ ගස කුමක්ද? "

      " අනේ මේ සාදු නිකං බබා හුකුං දාන්නෙ නැතුව ඉන්නවද? අදම මේ ඒරියල් එකට පාත්වෙච්චි ඔයා මගෙ නමත් දන්නව, ඒත් මේ ගා මොකද්ද දන්නෙ නෑ...හෙහ්..ඔව්ව කියන්ට සාදු ගීල්ල....හරි එව්වයිං වැඩක් නෑ..අපි කැපුණ ඔන්න...හරී? අපෙ ගෝතයො අරහෙ බලාගෙන ඉන්නව බඩු ලෑස්ති කරගෙන මම බයිට් එකක් ගේනකල්. කොහෙද සාදුගෙ මේ අනං මනං හින්ද නාගසලං මස් කෑල්ලක්නෙ අර පැනල ගියේ දැං ඉතිං මොකක් කරන්ටද? බැරිම උනොත් ගස් ගෝනෙක් වත් තලාගන්ට වෙනව..සික්..."

      තුෂ්නිම්භූතව මොහොතක් රජතුමා දෙස බලාසිටි මිහිඳු හිමියෝ එකීනෙහිම වීසා අවලංගු කරවාගෙන ආපසු දඹදිව බලා වැඩම කළ සේක.

      Delete
    2. දෙවනපෑතිස් රජතුමාගේ බණ අසා සතුටට පත් මිහිඳු හිමි එකෙනෙහිම නිවන් අවබෝධ කරගත්තෙහිය තමයි එහෙනං.

      Delete
  3. ඔය තියෙන්නෙ කෙල්ලොත් එක්ක කතා කරන විදිහ. මේ වගේ තව ටිකක් දාන්ඩකො රවි අයියෙ. අපිටනම් මේව මසුරං. ඉයන්ලට දැන් බෑ.

    ReplyDelete
    Replies
    1. අපි ඕවට නෑනේ............, අපිට දැන් බෑනේ...........

      Delete
    2. කසුන්,

      ඉයන්ලට අපිට දැන් බෑ කියල තමයි ඔය ළමයි හිතාගෙන ඉන්නෙ...:)

      Delete
  4. පසුගිය කාලෙම රවියව කියවන්න ලැබුනේ නෑ අනන්ත අප්‍රමාණ කරදර හා එකී නොකී අතුරු උපද්‍රව නිසා.
    ඒත් බෝ ව කියවන්න එන්න ඕනේ ඉක්මණටම.
    මට දැන් මේක කියෙව්වට කොටස් ගැලපීම් නෑ. මොකක්ද කියලා අවබෝධයකුත් නෑ. අඩු ගාණෙ බොගේ අර වන්දනාමාණ සටහන් හරි තිබුනා නම් (පඳුරු තැලීම නේද වචනේ? ) මෙන්න මේ වෙලාවට කියලා වැඩක් නෑ.... ;)

    ReplyDelete
    Replies
    1. රංගි,

      හපොයි එහෙමත් එව්ව වුනාද? සියලු කරදර නිමාවී ඇතැයි සිතමි. එසේ නොමැත්තේනම් නිමාවේවායි පතමි.

      මේකනම් මේ අලුත්ම කතාවක්..පසුගිය කොටස් නෑ...:)

      Delete
  5. රවියා කොල්ල කාලේ පැණි පප්පෙක් වෙන්න ඇති හෙහ් හෙහ්.... මොනවා උනත් හැබැයි ඔහොම කෙල්ලෙක් පොත් ගැන උනන්දු වෙනවා නම් එක දවසකට වඩා හම්බ වෙන්නම ඕනේ.. දෙකක් නෑ.. නහය ගැන පැහැදිලි කරන්න ආයේ සෙට් වෙන්න හදන්නේ නම් ඉතින් උපන්ගෙයි පැණි කමට තමයි හෙහ් හෙහ්....

    මමත් කවදාවත් ජැක් ලන්ඩන් ගේ පොත් කියවල නෑ නේ..

    මේ රවිතුමා පොඩි උදව්වක් කරනවා ද? ඔබ තුමා දන්න ඔය වගේ පරණ , කියවන්න පුළුවන් ඕනෙම වර්ගයක කතා ලියපු විදේශික ලේඛකයින් ගේ නම් ලිස්ට් එකක් දාන්න කෝ. මෙහෙ සැරෙන් සැරේට හෙන අඩු ගානට පොත් සේල් දානවා. මම ඔහේ ගන්නං වාලේ ගන්නවා. මම දන්නා කීප දෙනාගේ පොත් විතරයි ෂුවර් පිටම ගන්නේ. අපි නොදන්න හොඳ පරණ ලේඛකයෝ ගැන පොඩි ලිස්ට් එකක් හදන්නකෝ.. මම හිතන්නේ අනිත් අයටත් එකතු කරන්න පුළුවන් වෙයි තම තමන් දන්නා අයව.

    ReplyDelete
    Replies
    1. පරණ? හ්ම්
      1. Mark Twain
      2. Richard Gordon
      3. Gerald Durrell
      4. James Herriot
      5. Robert Graves
      6.Rosemary Sutchcliff
      7.Mary Renault
      ......................................................මගෙ ෆේවරිට් Nigel Tranter, Henry Treece

      ඊටත් පරණ...... ස්කොට්, ස්ටීවන්සන්, බැලන්ටයින්, රයිස් බරෝස්, වර්න්, කොනන් ඩොයිල් ( හෝම්ස් පොත්වලට අමතරව White Company etc)

      එතකොට අලුත් අය ....McCullough, Cornwell .......................
      දැම්මම නතර නොකරොත් කොහෙන් කෙලවර කරන්නද. :-D. ඉවරයක් නෑ බොස්. ඔය මං ආස අය කීපයක්. ඒතරම් ආස නැති ඒත් අහුවුනොත් කියවන කොයිතරම්ද

      එතකොට කොමික්ස්.. Asterix, Lucky Luke, Spirou, Iznogoud, Smurfs, Tin Tin, Biggles, War comics, Marvel, DC

      මං බුරතීනෝට හා බස්සට කිව්ව පොත් ගැන බ්ලොග් එකක් ලියන්න කියල. මං හැමදාම කමෙන්ට් ඇතිවෙන්න දාන්නම් කියල. ම්හ්, කෝ නෑ

      Delete
    2. Thanks Pra…...මම තව ටිකක් එකතුකරන්නම් පැතුමගෙ පහන් සංවේගය උදෙසා...:)

      Earnest Hemingway, Victor Hugo, Mario Puzo, Jim Corbett, Kenneth Anderson, E.M. Forster, Jawaharlal Nehru, Nadine Godimer, Somerset Maugham, V.S. Naipaul, Winston Churchill, Gore Vidal, O. Henry, Rudyard Kipling, Charles Dickens, Chinua Achibe

      Delete
    3. ප්‍රා ජේ බොහොම ස්තුතියි..
      Mark Twain,රයිස් බරෝස්, වර්න්, කොනන් ඩොයිල් විතරයි කලින් දැනගෙන හිටියේ.. මේ අය වැඩිපුර ලියන්නේ මොන ටයිප් එකේ කතා ද කියල කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.. ඒ කියන්නේ රයිස් බරෝස් නම් ඇඩ්වෙන්චර්, ජුල්ස් වර්න් සයි-ෆයි, අන්න ඒ වගේ..

      කවුරු හරි එහෙම සටහනක් දාන එක හෙන වැදගත් නේ.. රවිතුමා ඉන්ටර්වල් එකක් ගන්නත් එක්ක එහෙම එකක් ලියන්න ඊළඟට...

      ආයේ පොත් ප්‍රදර්ශනයක් බලන්න යද්දී නම් ලිස්ට් එක අරන් යන්න පුළුවන්.. ලස්සන නම් , පිටකවර තියෙන ඇතුලේ මෙලෝ රහක් නැති කතා තියෙන පොත් ගොඩක් ගන්නවට වඩා හොඳ පොත් කීපයක් ගන්න මේක ලොකු උදව්වක්..


      Delete
    4. Earnest Hemingway, Victor Hugo,Jim Corbett,Jawaharlal Nehru කලින් අහල තියෙන දන්නා කියන අය හැබැයි.... , අඩේ Winston Churchill කියන්නේ පොතුත් ලියපු පොරක් ද.. මොනවාද එයාගේ පොත්.. Rudyard Kipling ඉන්න ආතර් සී ක්ලාක් ගේ Times Eye මේ දවස් වල කියවමින් ඉන්නේ.. හැබැයි Rudyard Kipling ගේ පොත් මොකුත් කියවලත් නෑ...Charles Dickens ගේ හෙනම ප්‍රසිද්ධ ඒවා ගැන නම් දන්නවා.. අනිත් සියලු දෙනා ගැන අසුවෙත් අදමය..

      අපි ටිකක් මේ මෑත කාලේ අය ගැනත් ලියමුද ඒ කියන්නේ Dan Brown, Michael Crichton, Sidney Sheldon වගේ අය..

      බොහොම ස්තුතියි රවිතුමා

      Delete
    5. Pathum. Sorry i can't write in Sinhala on my phone and i do not like to write sinhala in english characters. So pl forgive my writing in english bcoz i just can't wait without writing of my first and going to be last love....books! Those authors are mainly historical fiction adventure animals and humour. But if u are into other stuff can give some names. Btw, u go to second hand book stores and markets/fairs/sales right? so it need not be old authors. U get lots of second hand books of contemporary authors there. I can give names but i will tend to have a bias towards my fav subjects as i do not now yours.

      Ravi, Vidal's Caligula. Heh heh

      pra jay

      Delete
    6. Sorry correction... i do not KNOW yours.

      Pra Jay

      Delete
    7. පැතුම්,

      ජැක් ලන්ඩන්ගෙ පොත් දෙකක් මම හිතන්නෙ සිංහලට පරිවර්තනය වෙලා තියනව. මම සාමාන්‍යයෙන් පරිවර්තන කියවන්නෙ නෑ. ඒත් මේ පරිවර්තන දෙක බොහොම සාර්ථකයි කියලයි බහුතර මතය. Call of the wild - වනපෙත අඬගසයි කියල පරිවර්තනය කරල තියනව. තව කතාවක ( White fang ) පරිවර්තනයක් තියනව මට නම මතක නෑ. ඒ පරිවර්තන දෙකම කරල තියෙන්නෙ ආරියවංශ රණවීර මහත්මයා.අර කලින් කියපු පරිවර්තන සාර්ථකයි කියල කියන කතාව ඇත්ත කියල මමත් හිතනව. මම එහෙම කියන්නෙ ඒ මහත්මය කරපු තව පරිවර්තනයක් මා ගාව තියන හින්ද. ඒ කොන්ස්ටන්ටීන් පවුස්තවුස්කි නම් රුසියානු ලේඛකයගෙ The golden rose කෘතිය ඔහු පරිවර්තනය කරල තියනව රන් රෝස නමින්. හරිම අපූරු පරිවර්තනයක් ඒක. මම අවුරුදු තිහකින් විතර මෙපිට කියවපු සාර්ථකම පරිවර්තයක්.

      Delete
    8. Pra,

      Co-insidences කියන එව්ව මගෙ ජීවිතේ හරියට තියනව. අද අහම්බෙන් චාන්ස් එකක් ආව පොත් කඩේකට රිංගන්ට. ඇත්තම කිව්වොත් මේ රටේ සුපර් මාකට්වල ඔය පොත් දහයක් දොළහක් තියනව ඇරෙන්න ඉංග්‍රීසි පොත් ගන්න තියෙන්නෙ එකම කඩයක් විතරයි. ඉතිං මම ගන්ට බොහොම ආසාවෙන් හිටපු පොත් දෙකක් ගත්තා.දෙකම ස්වයං ලිඛිත චරිතාපදාන. දෙකෙන්ම චිත්‍රපට නිෂ්පාදනය වුනා.

      1. 12 ‍Yeras as a slave - Soloman Northup ( First publishded in 1853 )
      2. American Sniper - Chris Kyle

      Delete
    9. Making me envious ravi. But nothing like a 2nd hand books store eh?
      Charing cross. Great Russe, second come waterstones and blackwell (imagine two of the highlights of ur 4 trips out of the country being book stores. And Gamini Hall... a zillion times! Wellawatte Senanayake! U been to the one that used to be at bamba junc?

      Delete
    10. Correction ....great russel. And charity shops!!!. Can't comment with the phone man. Anyway write more of books and authors and make my day!! ... month, .. year rather. Heh.

      pra jay

      Delete
    11. ප්‍රාජේ බොහොම ස්තුතියි... සරලම ලව් ස්ටෝරීස් හැර අනිත් අබුත කතා ඕනේ එකක් කියවනවා... ගොඩක් වෙලාවට කියෙව්වට පස්සේ ඔළුව කචල් කරගන්න විදියේ ඒවාට මම කැමතියි.. ඒ කියන්නේ කාලයක් යනකම් හිතට වදින දේවල් ඉතිරි වෙන කතා තියෙන්නේ හෙහ් හෙහ් අන්න ඒවාට... දැන් උදාහරණයක් විදියට මම සයි-ෆයි වල තියෙන ඔය විකාර කන්සෙප්ට් ගැන දවල් හීන බල බල ඉන්න කැමතියි.. ඒ වගේම ඇටමැස්සා, මහල්ලා සහ මහ මුහුද වගේ කතා වල තියෙන කෙලින්ම නොතේරෙන ගැඹුරු කම තියෙන කතා ගැන හිත හිත තේරුම් ගන්න කැමතියි.. හැබැයි මම මේ ඉංග්‍රීසි පොත් කියවන්න පටන් ගත්ත විතරක් නිසා මේ දවස් වල ගොඩක් ම Dan Brown, Michael Crichton වගේ ස්ටයිල් වලින් තියෙන කතා තමයි හොයන්නේ.. මොකද ඔය වගේ ඔළුව කර්පට් වෙන අදහස් ඉංග්‍රීසියෙන් කියවල තේරුම් ගන්න තාම බෑ.. හෙහ් හෙහ්

      පොඩ්ඩක් කියවන්න ආස හිතෙන ඇක්ෂන් ඇඩ්වෙන්චර් ගනයේ ඒවා කියල හිතමුකෝ ආරම්බයක් විදියට..

      මෙහෙ තියෙනවා මරු පොත් සේල් මේ ලඟදි තිබුනා ඕනෙම පොතක් රිංගිට් 5යි.. ඒ කියන්නේ රුපියල් 150-200ට වගේ.. මම එකෙන් නියම පොත් ටිකක් ගත්තා.. Bram Stoker ගේ Dracula පොතේ හොඳ හාඩ් කවර එක තියෙන සිරා පොතක්, ඊට පස්සේ එකේම තව කොටසක් විදියට තවත් Stoker කෙනෙක් ම ලියපු පොතක්, ආතර් සී ක්ලාක් ගේ Times Eye, තව Sidney Sheldon ගේ Mistress of the Game වගේ නමක් තියෙන එකක්... තව Larry King ගේ ජිවිත කතාව තියෙන පොතක් වගේ... හොඳ පොත් රුපියල් 150-200ට ගන්න පුළුවන්.. මේ සැරේ ඔය පොත් හොයද්දි තමයි මට මේක හිතුනේ අපි නොදන්නා තව සිරා Authors ල ඉන්න නිසා පොඩ්ඩක් හොයල බලන්න ඕනේ කියල..

      මේ තියෙන්නේ ඔයවගේ තව සේල් එකක් ගැන මම ලියපු එකක්
      http://biththiya.blogspot.my/2014/03/big-bad-wolf.html

      රවිතුමා
      12 ‍Yeras as a slave එකේ ෆිල්ම් එකක් තියෙනවා නේද මම එක බැලුව
      American Sniper නම තියෙන ෆිල්ම් එකක් තියෙනවා.

      Delete
    12. Pathum
      Isac Asimov the master of sci fi.

      there are hundreds of modern adventure authors. Can give names later if u want. Visit colombo public library on ur next visit. A huge collection of sci fi, adventure and fantasy books. U can browse and get a list of names.

      @ravi, my jack london for retirement - the unabridged jack london edited by lawrence teacher and richard e. Nicholls. Got from a charity shop for 75 pence in 2006. Not read a single one of its 1143 pages !!!

      Pra Jay .. the end (hopefully)

      Delete
    13. Isaac Asimov ගේ The Naked Sun විතරයි තාම හම්බ වුනේ... මම Foundation series එක හොයනවා තාම හම්බ වුනේ නෑ...

      පුළුවන් වෙලාවක ඔය නම් ටික ලියල දාන්න... ප්‍රාජේ බ්ලොග් එකක් නොලියන එක ජාතික අපරාදයක් කියල හිතෙන්නේ නැද්ද....

      library එකෙන් හොයන idea එකත් මරු වැඩක්..

      Delete
    14. රන් රෝස කියන්නේ ලියන්නන්ගේ අත් පොතක් රවි...

      Delete
    15. පැතුම්,
      සරල චුට්ටක් Sci Fi තියන adventure/thriller රචකයෙක් තමයි James Rowlins.
      Not exceptional, but not bad. පැතුම් සමහරවිට කැමතිවෙයි

      මං මේ දවස්වල කියවනව ඩෑන් බ්‍රවුන් වගේ කෙනෙක් Simon Toyne.
      ඩෑන් බ්‍රවුන්ගෙන් පස්සෙ ඒ genre පටන් ගත්තා, Scott Mariani වගේ ගොඩක් - අඩු ගණනෙ දහයක්වත්- ඒවා ලියන්න ගත්තා. හුඟක් පොත් එතරම් දෙයක් නෑ. ඒත් Toyne හොඳයි වගේ.

      ටිකක් ඉස්සර adventure නම් Alistair Mclean & Desmond Bagley ට්‍රයි කරන්න.

      අයිතිහාසික නවකතා ( සැක්සන් , මොන්ගොල්, වයිකින්, රෝමන් වගේ ) අලුත් අය ගොඩක් ඉන්නව - Bernard Cornwell, Conn Iggulden, Robert Low, Sidebottom ...හුඟක් ඉන්නව. මුල් තුන් දෙනා ඉස්සර ට්‍රයි කරන්න.

      තවත් හොයන්න ඕනෙ නම් හොඳම සයිට් එක goodreads
      https://www.goodreads.com/series/42311-oathsworn
      ඔයා දන්න කැමති පොතක් ඒකෙ බලන්න එයට සමාන තවත් පොත්/authors ඒකෙ පෙන්නනවා

      Also, try Amazon Books site

      රවිලට ඔයාට වගේ බ්ලොග් ලියන්න හැකියාවක් /දැනුමක්වත් මේන්ටේන්/රිප්ලයි කරන්න ස්ටැමිනා එකවත් මට නෑනෙ පැතුම්. මං ඔහෙ බ්ලොග් එකක් කියවගෙන , ආසාවට මොකක් හරි විචාරයක් හරි විකාරයක් හරි කමෙන්ට් කරනවා. බැරි බ්ලොග් ලියන්න ගිහින් මට පොත් කියවන්න වෙලාව නැතිවෙයි නේ . හෙහ් හෙහ්
      ඒත් පොත් ගැන මං දන්න දෙයක් දැනගන්න ඕනෙ නම් ඊමේල් ලිපිනයක් දෙන්න මං පුලුවන් වෙලාවට කියන්නම්

      Delete
    16. ප්‍රාජේ, අපි ලියන්නේ තනි බයිලා නේ.. බයිලා ලියන්න හැකියාවක්, දැනුමක් ඕනෙද හෙහ් හෙහ් (මෙතන අපි කිව්වේ "මම" හරි ද ? රවිය බයිලා ලියනවා කියල උගේ බ්ලොග් එකේම ලියන එක මොනවා උනත් හරි නෑනේ... :D )

      මම කියන්නේ ප්‍රාජේ කියවල ලබා ගන්න දැනුම, අත්දැකීම් ටික ලියල තිබුනේ නැත්නම් කවුරුවත් දන්නේ නෑනේ මොනවාද මේ යකා මෙච්චර කල් කලේ කියල අන්න ඒ වගේ සරල පදනමක් උඩ ලියන්න පටන් ගන්න..දුර දිග හිතන්නේ නැතුව..හෙහ් හෙහ් .. දැන් මේ රවිය කරපු කියපු හැම දේම ලුණු ඇඹුල් ඇතිව අපිට දෙනවා වගේ ප්‍රාජේ දන්නා දේවලුත් ලියල දාන්න...

      මට මෙහෙ සේල් වලින් වැඩිපුර ටිකක් හොඳ ඒවා ගන්න මේවගේ නම් ගම දැන ගන්න එක මාර වටිනවා
      නැත්නම් ඔහේ අරන් එනවා විතරයි..

      මේ ලිස්ට් එකේ ඉන්න කවුරු ගැනවත් මම කලින් අහල නෑ...ඒ නිසා සැහෙන්න වටිනවා ඊළඟ සේල් එකට යද්දී..

      ඔය කාටහරි හොයා ගන්න තියෙන පොත් ගැනත් ලියල දාන්න.. දැක්කොත් ගන්න පුළුවන්..

      බොහොම ස්තුතියි කියන්නේ .... ස්තුතියි කියල වැඩක් නැති තරම් ස්තුතියි ... හෙහ් හෙහ්



      Delete
    17. පැතුම්,

      මල්ලි බොට ඕන නම් Murder investigations, Serial killers, ගැන කියවන්න මෙයාල හොඳයි. David Baldacci, Lee Child, Clive Cussler, Robert Ludlum.

      For Legal Thrillers the no. 1 is John Grisham. For Historical novels Ken Follet and Jeffrey Archer. Medical Thrillers - Robin Cook.

      For para-normal & horror stories Stephen King is the undisputed king…:)

      Delete
    18. දේශකයා,

      / රන් රෝස කියන්නේ ලියන්නන්ගේ අත් පොතක් රවි.../

      ඔබ හරියටම හරි.. නිර්මාණාත්මක ලේඛනය ගැන ඒ පොතේ බොහොම අගනා උපදෙස් රැසක් තියෙනව...:)

      Delete
    19. @Pathum Herath
      Foundation පොත් ඔක්කොම වගේම සහ තව ඇසිමෝව් ගේ පොත් ගොඩක් තියෙනවා British council library සහ කොළඹ මහජන පුස්තකාලයේ. ඔයා ඉන්නේ මැලේසියාවේ වගේ...හොඳම දේ එහෙ පුස්තකාලෙකට බැඳෙන එක :)
      දන්නවද මමත් ඔයා දැන් කරනවා වගේ පොත් ලිස්ට් හොය හොයා කියෙව්වා ඉස්කෝලේ යද්දී. මම කරේ අර පෙන්ගුයින් ක්ලැසික්ස් පොත් වල අග තියෙන ලිස්ට් එක ලියාගෙන පුස්තකාල වලින් ඒවා හොයපු එක.

      මෙන්න මගෙනුත් ඔයාට පොත් ඔත්තු තෑග්ගක්:
      rendezvous with Rama
      ආතර් සී ක්ලාක් ගේ විද්‍යා ප්‍රබන්ධයක්.

      ඔය කියවන පොත් ගැන පෝස්ට් කීපයක් දැම්මා නම් අපිත් කියවනවෙන් ! (මං ඔහොම කිව්වට කියවන පොත් ගැන පෝසට් ලියන එක මටත් හරි කම්මැලි වැඩක්)

      Delete
    20. rendezvous with Rama එකේ සිංහල පරිවර්තනේ තියෙනවා රාමා හමුව කියල.. එස්.එම් බන්දුසිල මහත්මය පරිවර්තනය කරපු එක.. මගේ ළඟ ඒක තියෙනවා. එකේ අනිත් කොටස් 2ක් ද කොහෙද තියෙනවා ඒවා හොයා ගන්න ඕනේ..සිංහලට නම් පරිවර්තනය වෙලා නෑ මම හිතන්නේ...

      පුස්තකාල වල ට බැඳිලා කියවන්න තරම් වෙලාවක් දැන් නෑ නීරෝ.. මම මේ අඩු ගානට ගන්න පුළුවන් අවස්ථාවලදී ගන්න ඕනේ නිසයි මේ වගේ නම් ගම් ටිකක් එකතු කලේ..

      කොහොම උනත් හොඳ ලිස්ට් එකක් එකතු වුණා..

      බොහොම ස්තුතියි..

      Delete
    21. ප්‍රාජේ,රවී සහ හැමෝටම,
      මම පොඩි ගුග්ල් doc එකක් හැදුවා මෙතන කතා වෙච්ච ලේඛකයෝ සහ ඔවුන් අයිති වෙන Genre (මේ වචනේ කියන්නේ කොහොමද හෙහ්) එක දාල. ෆ්‍රී වෙලාවක් ලැබුනොත් පොඩ්ඩක් බලල එඩිට් කරන්න. තව දන්නා අය එකතු කරන්න
      පස්සේ වෙලාවක පෝස්ට් එකක් විදියට දාමු.. කාට කාටත් බලා ගන්න

      මේ තියෙන්නේ ලින්ක් එක.
      https://docs.google.com/document/d/1IJfn12IQDsWXhmJg5PMgcHrcEX36wZXS0COWAKxWEoU/edit


      Delete
  6. ඔය ජැක් ලංඩංගෙ තියෙන්නෙ ත්‍රාසජනක, වික්‍රමාන්විත කතා. එව්ව ඇත්තම කතාලු. දැං ඔය විදිහට කියන්න ගියොත් අර කුකුලව අනන්‍යා කාල. මේ ක්ලියෝ පැට්ට ගිහිං අජිත් එක්ක සෙට්වෙලා, අර අසෝක ඇහිල්ල මේ කියන කණ්නාඩි දාන බුවා එක්ක සෙට්වෙලා ඇඳේ බුදියං ඉන්න පුලුවං. අනේ අපෙ ආච්චම්ම ටීවී බැලුව වගේ ඉඳියි.

    වහාම ක්‍රියාත්මකවන පරිදි පාටකයා වල්මත් කිරීමෙන් වලකිනු!*&^%$^&

    ReplyDelete
    Replies
    1. //දැං ඔය විදිහට කියන්න ගියොත් අර කුකුලව අනන්‍යා කාල. මේ ක්ලියෝ පැට්ට ගිහිං අජිත් එක්ක සෙට්වෙලා, අර අසෝක ඇහිල්ල මේ කියන කණ්නාඩි දාන බුවා එක්ක සෙට්වෙලා ඇඳේ බුදියං ඉන්න පුලුවං.// හැක්... නියම කොමෙන්ට් එක ශ්‍රංගයො.

      Delete
    2. සුරංග,

      / දැං ඔය විදිහට කියන්න ගියොත් අර කුකුලව අනන්‍යා කාල. මේ ක්ලියෝ පැට්ට ගිහිං අජිත් එක්ක සෙට්වෙලා, අර අසෝක ඇහිල්ල මේ කියන කණ්නාඩි දාන බුවා එක්ක සෙට්වෙලා ඇඳේ බුදියං ඉන්න පුලුවං. /

      ඇයි බොල තොට ඔය කතා දෙක තුන මතක තියාගන්ට බැයිද? ඔය විදිහට බං උඹ ඔය අඳින සිතියනුත් ඔක්කොම පටලවාගෙන අරකෙ එව්ව මේකට දාල මේකෙ එව්ව තව කොහාටවත් දාල මහ විනාසයක් කරයි නෙව.

      / අනේ අපෙ ආච්චම්ම ටීවී බැලුව වගේ ඉඳියි. /

      අපෙ අත්තම්මත් ඒ කාලෙ එහෙමයි. ඒත් අත්තම්මගෙ හොඳ වෙලාව කියන්නෙ උන්දැ ජීවත් වෙලා උන්නු කාලෙ දවසට එකයි නැත්තං දෙකයි ටෙලි නාට්ටි තිබ්බෙ. එව්වත් සතියට එකයි. ඒත් රූපවාහිනිය විතරයි. එහෙම උනත් උන්දත් රට පටල ගත්ත නොසෑහෙන්ට. පොඩි නංගි තමයි අහුවෙන්නෙ ඒකට..

      " ඈ...චූටි දුවේ..මම අහන්නෙ මේ මනුස්සයට වටිනවද අර ගෑනු මසුස්සය දරුවො තුං දෙනෙක් එක්ක අපා දුක් විඳිද්දි මෙහෙට වෙලා මේ නැට්ටුක්කාරියො එක්ක ජවුසෙං නටන්ට…..තූ නොදකිං …"

      " නෑ අත්තම්මෙ..අත්තම්මට වැරදිලා. මේ ඔය අත්තම්ම කියන මනුස්සය නෙවෙයි."

      " මොකද බං නෙවෙයි කියන්නෙ? මොකෝ මට ඔයාකාර අඳුනන්ට බැයිද ඒ මනුස්සය? ඔය මිනිහම තමයි ..කොණ්ඩෙ බූසෙ වගෙ තියන හාදය.."

      " හරි..හරි..ඒ මනුස්සයම තමයි ..ඒත් අත්තම්ම ඔය කියන්නෙ වෙන ටෙලි නාට්ටියක..ඒක ඇවිල්ල " මඩ වලේ හිරි කනයි " ...මේ අද පෙන්නන්නෙ " රම්පෙට පොරි හැලුනු පසුව " …. මේ කතා දෙකක්. "

      පලි - උඹේ කමෙන්ට් එක නම් මල් හතයි බං...හෙහ්,හෙහ්,

      Delete
  7. චෙහ්! අර නහය ගැන කියලා තියෙන කතා අහලා මගෙ හදවත කුඩුපට්ටම් වෙලා ගියා. මොට්ට පැතලි නහයක්නෙ මට තියෙන්නෙ.

    කතාව මරු රවී!

    ReplyDelete
    Replies
    1. කුඩුපට්ටම් හදවත එකතුකරගන් බස්සිය
      ඔබ නිති වනනා නව තාක්ශණයෙන්
      රයිනෝප්ලාස්ටි ඇවිත් ගොඩක් කල්ය
      ක්ලියොපැට්‍රා නාසය ඩොලර් දහසකි.

      Delete
    2. අපේ අක්කට තියෙනවා වගේද? හෙක්...

      අම්මප ඔය නහය දිගට තියෙන එක තරම් වහක් තව තියෙයිද?? පොටෝ අල්ලනකොට මම ටුක් ගාල වහගන්නවා නහය. නැත්තම් කොතනත් පිනොකියෝ... මම නම් ආස නැහැ දිග නහයට...

      Delete
    3. Yash,

      / චෙහ්! අර නහය ගැන කියලා තියෙන කතා අහලා මගෙ හදවත කුඩුපට්ටම් වෙලා ගියා. මොට්ට පැතලි නහයක්නෙ මට තියෙන්නෙ./

      අයියෝ ගණං ගන්ට එපා..මම ඔය බවලතුංගෙ නහයෙ දිග පලල හෙව්වට මයෙ නාහෙ දැක්කම බල්ලො බත් කන්නෙ නෑ. අපෙ උන්දැ කියන්නෙ හරියට මූණ මැද කජු පුහුලමක් තියල වගේ කියල..

      ආ..අනික තව එකක්..කොහොමත් දෙවියන් වහන්සෙ Totally Perfect මිනිස්සු / ගෑණු මවන්නෙ නෑ. මොකක් හරි පොඩි ඇද පලුද්දක් තියනව. ඒ ඔය ඇස්වහ එහෙම නැතිවෙන්ට. දැකල ඇතිනෙ ඔය අලුතෙං හදන ගෙවල්වල ඉස්සරහම පුහුල් ගෙඩියක් එල්ලනව. එතකොට බලන අයගෙ ඇස් කෙලින්ම ඇදිල යන්නෙ ඒ පුහුලට. ඔයාගෙත් මම හිතන්නෙ ඔය නහය ඔහොම තියෙන්නෙ ඒකයි.. ඒ හින්ද බී හැපී!!!

      Thanks Yash....:)

      Delete
    4. Ian,

      Yes, she can do a Nose Job..like MJ...:)

      Delete
    5. උපේක්ෂා,

      / මම නම් ආස නැහැ දිග නහයට…/

      බොල මම දිග නහයක් තිබ්බම ලස්සනයි කිව්වම අදහස් කරේ මූණෙ මෙෂර්මන්ට්ස් වලට හරියටම ගැලපෙන සිහින් දිග නහයක්. නැතුව ආය මේ බටකොළ ආච්චිගෙ නහය වගෙ එකක් නෙවෙයි....අන්න ඒක තේරුං හනිං ඔක්කෝටම ඉස්සෙල්ල...

      Delete
    6. එහෙම කියන්ට එපෑ . බටකොළ ආච්චි නේ?? එහෙනම් හරි

      Delete
  8. ඉට්ස් ඕකේ නෝ ප්‍රොබ්බං..හැක්

    ReplyDelete
  9. මමත් Sea -Wolf පොත කියවල තියෙනවා.1 Jack London ගේ කියලා මතක් උනේ Wiki වල Jack London search කරාට පස්සේ ..............

    පුදුමයි සදා අක්කා අයියගේ පරණ love stories දාද්දි සද්ද නැතුව ඉන්න 1.මන් උණා නම් අයියට ලියන්න වෙන්නෙ ගුරුවරියක් සමගයි ...ඔය බගට් ගේ පොත් ගැනයි මහින්ද මාමි ගැනයි විතරයි.ඒ අතින් ඒ අක්කා සැහෙන ඉදිරියෙන් .....................

    මේ ටිකේ comments නොකරේ ටිකක් bc උන හින්ද එත් ඔක්කොම ටික කියෙව්වා ..................:)

    ReplyDelete
    Replies
    1. Sacheera,

      / පුදුමයි සදා අක්කා අයියගේ පරණ love stories දාද්දි සද්ද නැතුව ඉන්න 1. /

      මේකනම් ඇත්ත කතාවක් නෙවෙයි බං..මගෙ යාලුවෙකුට වෙච්චි දේකට තව අතිං පොඩි කෑලි දෙක තුනක් දාල ලියපු එකක්...:)

      Its Ok. I know you are busy these days…:)

      Delete
  10. ඉට්ස් ඕකේ නෝ ප්‍රොබ්ලම් රවි. බොලාගෙ පාඨකයන්ව බොලා මාර පැටලවිල්ලක තමයි දාන්නෙ. මම මුලින් හිතුවෙ මේ අර බකට්ගෙ කතාව කියල. ඊට පස්සෙ ටික වෙලාවකින් මෙන්න නුවර මුඩුක්කු අස්සෙ රිංගනව.
    අලුත් එක පටංගන්න ඉස්සෙල්ල අර කුකුළ කන්න ගිහිල්ල බොලා අසෝකගෙන් කාපු හැටි ගැන කියල හිටියනං නරකද.

    ඔය නහයෙ මිරිකනකොට කොහෙමද ඒක ඇතුලෙ තිබිල බටර් තලියක් එහෙම එළියට පැන්නොත්.

    ReplyDelete
    Replies
    1. ඒයි මේ... නුවර මුඩුක්කු??? හුහ්

      ඒ මුඩුක්කු මාරයි අනේ.... කතා එක පිට එක මතක් වෙනවා.. හි හි..

      Delete
    2. ගණං ගන්නෙපා... අපි හිතමුකො ඒ පෙට්ටි කඩ කියල. හෙහ්..

      Delete
    3. රවි හින්දි මෙගා බලනවා වැඩියි.ඒකයි ඔය වැඩේ කරන්නේ මචං...

      Delete
    4. Prasanna,

      / මම මුලින් හිතුවෙ මේ අර බකට්ගෙ කතාව කියල. ඊට පස්සෙ ටික වෙලාවකින් මෙන්න නුවර මුඩුක්කු අස්සෙ රිංගනව. /

      ඇයි බොල හෝතඹුවො..කතාවක් කියවන්ට ඉඅස්සරවෙලා ඒකෙ මාතෘකාව එහෙම බලන්නෙ නැද්ද?

      අනික ක්‍රිෂ්-අනන්‍යා කතාවෙ අන්තිමට මම ලිව්වෙ අර ක්‍රිෂ්ගෙ ඉන්ටර්වීව් එක ගැන. එතකොට ඊලඟට ඇඳක බුදියං ඉන්න සීන් එකක් එන්නෙ කොහොමද කියල බොට හිතුනෙම නැද්ද හැබෑට?...:)

      / ඔය නහයෙ මිරිකනකොට කොහෙමද ඒක ඇතුලෙ තිබිල බටර් තලියක් එහෙම එළියට පැන්නොත්. /

      සික් ඔන්න කිව්ව කතාවක්..කෙල්ලොයි, නහයවලුයි, බටරුයි තුනම එපා වෙන කතාවක්...

      Delete
    5. Prasanna,

      / ගණං ගන්නෙපා... අපි හිතමුකො ඒ පෙට්ටි කඩ කියල. හෙහ්.. /

      මුඩුක්කු කොහෙද බං නුවර. ?.....ඔය පාරවල් දෙපැත්තෙ තියෙන්නෙ පෙට්ටි කඩත් නෙවෙයි හොඳ තට්ටු දෙකේ කඩ...අලි මුඩුක්කුව කියල එකක් නම් තියනව. ඒත් දැන් එතනත් මුඩුක්කුවක් නෑ...:)

      Delete
    6. //අනික ක්‍රිෂ්-අනන්‍යා කතාවෙ අන්තිමට මම ලිව්වෙ අර ක්‍රිෂ්ගෙ ඉන්ටර්වීව් එක ගැන. එතකොට ඊලඟට ඇඳක බුදියං ඉන්න සීන් එකක් එන්නෙ කොහොමද කියල බොට හිතුනෙම නැද්ද //

      දෙන්නගෙ කැරැට්ටුවෙ හැටියට ඉන්ටවිව් රූම් එකේ උනත් බුදියගෙන ඉන්න එක ගැන විශ්වාස කරන්න බෑ.

      Delete
    7. ඒ අලි මුඩුක්කු මාර සුන්දර තැන් අනේ... දන්නෝ දනිති

      Delete
    8. උපේක්ෂා,

      අලි මුඩුක්කුවට ඒ නම හැදුනු හැටි දන්නව නේ?

      Delete
  11. හරිම ලස්සනයි. මේ නහය වල් ගැන කියන එක ගෙදර උන්දෑ ඉවසන් ඉන්න එකම මදෑ. ඒ අතින් හොඳ ගෑනුලමයෙක් නෙ එයා රවි.

    ReplyDelete
    Replies
    1. චාන්දි,

      එයාගෙ නහය අවුලක් නෑනෙ. ..ඒ හින්ද නහය ගැන මොනව කිව්වත් යුද්ධ ප්‍රකාශ කරන්නෙ නෑ. මම ඔය තෝරල බේරල කතා කරන්නෙ ඒ වගෙ නියුට්‍රල් ඇන්ඩ් වෙරි සේෆ් දේවල් ගැන විතරයි...

      And of course she has a golden heart and a nose too….:)

      Delete
  12. රවි අය්ය දාගත්ත නං අර කෙල්ලෙක් ටැකල් කරගන්න බැරි කොල්ලන්ට උපදෙස් දෙන සේවයක් දවසින් ජබප්‍රිය වෙන්න තිබ්බ.. අතුරු පෙතිපල කෙසේවෙතත්..
    හැක්...
    නියමයි කතාව ඈ
    මේකට තව කොටහක් තියෙනව නෙහ්... එල එල

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      / රවි අය්ය දාගත්ත නං අර කෙල්ලෙක් ටැකල් කරගන්න බැරි කොල්ලන්ට උපදෙස් දෙන සේවයක් දවසින් ජබප්‍රිය වෙන්න තිබ්බ.. /

      උඹ ලෑස්ති මගෙ මේ තියෙන.......එව්ව ඕන නෑ එක්කො...:)

      / මේකට තව කොටහක් තියෙනව නෙහ්. /

      යස්, තව එක කොටසක් නම් අනිවාර්යයෙන් තියනව...:)

      Thanks Mahesh….:)

      Delete
  13. 'වනපෙත අඬගසයි' - බක් ගැන, වයිට් ෆෑන්ග් , වගේ පොත් කියවලා තියෙනවා ජැක් ලන්ඩන්ගෙ.සිංහලට පරිවර්තනය කරපු ඒවා.අමුතුම රිද්මයක් තියෙන්නෙ.ඔරිජිනල් එක කොහොම රහ ඇද්ද.
    රවි අයියා ආයෙත් මස්කට් කෑල්ලක් ගෙනාව නෙහ්? කමු කමු හෙමිහිට.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්.

      වයිට් ෆෑන්ග් සිංහල පරිවර්තනයෙ නමත් වයිට් ෆෑන්ග්මද?

      Delete
    2. වයිට් ෆෑන්ග් කියල කාටුන් එකක් තිබුන..

      Delete
    3. පැතුම්

      ඔය වයිට් ෆෑංග් කාටූන් එක මට මතකයි. ඔය ගෙදර පොඩි එවුං ඕක වහ වැටිල බලනකොට මටත් ඉබේටම බැලෙනව ඒ අහල පහල හිටියොත්. අර පුරා හඳ දැක්කම මහ බලසම්පන්න වෘකයෙක් බවට රූපාන්තරණය වෙන කොලුවෙක් ඉන්න කතාව නේද?

      Delete
  14. ක්ලියෝ පැට්රා නම ඇහෙනකොටත් නිකම් ඇග සලිත වෙනව ව‍ගේ..

    ReplyDelete
    Replies
    1. පිරිමි ඇඟ වෙන්ටැ.

      Delete
    2. ප්‍රසා..
      බර අවි ඉබේම ක්‍රියාත්මක වෙනබවක් තියනවා තමයි...
      හිට්ලර් වගේ මිනිහෙක් පිස්සු වැටුනනම් ඉතින් අහන්නත් දෙයක්ද ?

      Delete
    3. මනෝ,

      හිට්ලර් නෙවෙයි බොල සීසර්...:)

      Delete
    4. රව්
      පොඩි මිස්ටේක් එකක් බං..
      වඩා වටින්නේ ක්ලියෝ කෙල්ලනේ මචං...

      Delete
  15. Asterix &the gladiator පොතේ ක්ලියෝපැට්රා ගේ නමින් තේරවිල්ලක් කරනව ග්ලැඩියේටර්ස්ල , රවිට මතකද? C Leo Pat Ra

    ජැක් ලන්ඩන් කොම්පයිලෂන් පොතක් හොයා ගත්තා. පිටු දාහකට ගොඩක් වැඩී. රිටයර්මන්ට් කියවීමට තමයි. පොත් ගන්නවා. රැක් එකේ කබඩ් එකේ දානවා.
    ලෙන්ඩින් ලයිබ්‍රරි එකෙන් පොත් ගෙනත් කියවනවා. Sigh :- D

    ReplyDelete
    Replies
    1. පොත් ගොඩ ගහන එක මරු ආතල් වැඩක් නේ.. හෙහ් හෙහ්

      Delete
    2. Pra,

      / Asterix & the gladiator පොතේ ක්ලියෝපැට්රා ගේ නමින් තේරවිල්ලක් කරනව ග්ලැඩියේටර්ස්ල , රවිට මතකද? C Leo Pat Ra /

      එහෙම විශේෂ තේරවිල්ලක් නම් මතක නෑ ප්‍රා..ඒත් අන්තිමට සීසර් ලොක්ක එහෙම ඇවිල්ල කොලිසියම් එකේ මහා කානිවල් එක දවසෙ ග්ලැඩියේටර්ල ටික සටන් කරන්ට මැදට දාපුවම උං ටික රවුමට ඉඳගෙන වගේ වගක් නතුව තේරවිලි විසඳන හැටිනම් මට හොඳට මතකයි. අයියෝ හිනා වුනා කියන්නෙ......හෙහ්, හෙහ්,

      / රිටයර්මන්ට් කියවීමට තමයි. පොත් ගන්නවා. රැක් එකේ කබඩ් එකේ දානවා. /

      මගෙත් තියනව විශ්‍රාම දිවියේදී කියවීමට එක් රැස් කරගත්තු පොත් බර තොගයක්.

      අපෙ උන්දෑ ඊයෙ පෙරෙයිද අහනව " දැං ඔයා විශ්‍රාමිකව ඔය පොත් කියවන්ට ගත්ත කියමුකො. එව්ව කියවල ඉවර කලාම මොකද කරන්නෙ?

      " ආයම මාස හයක් විතර රස්සාවක් කරල තව පොත් තොගයක් අරගෙන ගෙදර එනව.." මම කිව්ව.

      ඒකට එයාගෙ උත්තරේ මම තාම දන්නෙ නෑ..මොකද ඔය දෙබස ඇතිවෙලා දැං මාස දෙකක් වගෙ වෙනව. එදයිං පස්සෙ උන්දැ මා එක්ක තවමනම් කතා කලේ නෑ. අනේ මන්ද මගෙං කිසිම වරදක් වුනෙත් නම් නෑ...... :(

      Delete
    3. Pathum,

      / පොත් ගොඩ ගහන එක මරු ආතල් වැඩක් නේ.. හෙහ් හෙහ් /

      Of course !!!

      Delete
    4. A hundred - C
      A zodiac sign - Leo
      (I can't remember, some Babylonian or Assyrian stuff I think... but you can say an Irish diminutive name ) - Pat
      Egyptian Sun God - Ra

      Delete
    5. Pra,

      මම නංගිගෙ පුතාට කෝල් එකක් දීල හරියටම කොහොමද තියෙන්නෙ කියල අහගත්ත. මෙහෙමයි තේරවිල්ල...

      " My first is a hundred, my second is a sign of the zodiac, my third is Hibernian, my fourth is the Egyptian god of the sun and Julius Caesar loves my whole. Who am I? "

      I had to find out what's the connection between " Hibernian " and " pat "..well it was very interesting indeed. Hibernia is the Latin name for Ireland. And St. Patrick is the patron saint of Ireland. So it seems most of the Hibernians are called Patrick shortened as Pat...:)

      Delete
    6. Don't u think Uderzo made a small mistake here? Infact, according to his standards, this is a big mistake.

      St. Patrick concept comes after the christianity. But Asterix & the Gauls lived in JC's era, ie. about 50 years before christ. Thus Hibernians can't be called Pat's in those days.

      Delete
    7. @bur

      wouldn't the celtic irish name padraig (patrick) have pre dated christianity. The saint just made the name popular. Of course i don't know when the anglisized version patrick and therefrom pat came but padraig and paddy would have been there before the saint

      pra jay

      Delete
    8. Yes. Probably there might've been a local hero called 'Padraig' and later he was christened as St. Patrick. Christianity was very famous for such things.

      But, my point here is the application of the term 'Pat' for a Hibernian in JC's era is quite impossible. Especially, to use such a term in a riddle, it has to be utilized in the society even before that eh.

      Delete
    9. Gosh, Bur. I was trying to resolve this without recourse to Wikipedia and other places. Now you made me have doubts and find some time and check. :- D

      Saint Patrick (Latin: Patricius; Greek: Πατρίκιος; Proto-Irish: *Qatrikias; Modern Irish: Pádraig [ˈpˠaːd̪ˠɾˠəɟ]; Welsh: Padrig)

      Yes, Christianity hijacked pre Christian dates, ceremonies, myths, legends, deities and personalities and made them Christian. But, Patrick (who may not have been Irish but Romano- British) seems to have been a genuine Christian missionary.

      Anyway, what is pertinent here to Asterix scholars ( :-DDDDD) like us is the diminutive Pat from Patrick. I think I was wrong in the earlier comment. Patrick has not come from Padraig but Padraig has come from the Latin Patricius. So, Padraig is not an ancient Celtic name as I thought at first. Sorry. (Even some Irish make my mistake so I can easily claim ignorance as an excuse :- D ). The name Patricius had been adopted by Sucat - the guy who eventually (posthumously) became the Saint.

      Pl see - http://www.behindthename.com/name/patrick

      So "Pat" has be anachronistic in a 50 BC setting. You are right. There are other historical inaccuracies in Asterix.
      e.g. in Asterix the Gaul
      //Throughout the entire Asterix series, the Roman armor is the lorica segmentata, which was the standard during the Roman Empire; but in Caesar's time, chainmail armor (the lorica hamata) was in use. Also, the real-life Roman legionaries used pila (javelins) instead of spears, and usually carried two per soldier.

      Moreover, the first Roman emperor was Augustus, adoptive son of Gaius Julius Caesar. Hence for Caesar to be called "emperor" is anachronistic.//

      But, you seem to be the first to catch "Pat". Congrats! Write a book blog man !

      Delete
  16. රවී එක්ක යාල ගියොත් වස්ගමුවට අරන් ගිහිං අතරමං කරල තමයි එන්නෙ. චැනල් පහක ටෙලි නාට්‍ය බලනව වගේ.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      අන්න එහෙමයි අපි!

      Delete
  17. ඕන්න ඒ පාර තව එකක කොටසක් දාල... ඒ මදිවට හම්බානක පැණිත් එක්ක. ඒක හොඳයි, පැණි කල්තියාගන්න ගන්න එකේ..

    රවියෝ, ඔය නුවර පොත්කඩ ගැන කියන්න එපා හලෝ... මෙව්වා වෙනවා

    ReplyDelete
    Replies
    1. Upeksha,

      / රවියෝ, ඔය නුවර පොත්කඩ ගැන කියන්න එපා හලෝ... මෙව්වා වෙනවා /

      ටොරිංටන් එක ඇතුලෙ තිබ්බ පරණ පොත් කඩේ වැහිලම ගියා බං ( Cindy's ) ට්‍රිනිටි එකට පොඩ්ඩක් එහා එකක් තිබ්බ. ඒකත් නැද්ද කොහෙද? ඔය මම පෝස්ට් එකේ කියපු පොත් කඩේනම් තාම තියනව මම හිතන්නෙ...

      Delete
    2. ඔව්. ඔව්. පරණ පොත් විකුණන තැනක් තිබ්බ මට දැන් කොහෙද කියල මතක නැහැ. කොහේ හරි පාරක අතුරු පාරක් පටන් ගන්න තැනක් වගෙයි මතක. ඔය ටොරින්ටන් එකේ පොත් කඩේ.. හ්ම්ම් හ්ම්ම්ම් හරියට මතක නැහැ. මගේ මතකයන් වැඩිපුරම තියෙන්න ළමා පුස්තකාලේ, ලොකු පුස්තකාලේ, සරසවි එක , ශාන් බුක්ෂොප් එක ගාව.

      Delete
  18. //සත් සමුදුරින් එතෙර පවා විහිදුනු මහා අධිරාජ්යයක් ගොඩනැඟූ ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනි නම්වූ රෝම රණ ශූරයින් දෙදෙන දුටු වහාම වසඟ වූයේ ක්ලියෝපැට්රාවන්ගේ නාසයට බව ඔබ අසා තිබේද? // :O

    අද තමයි මේක දැන ගත්තේ...

    පොඩ්ඩිට තියෙන්නෙත් ඔය වගේ නහයක්ලු...:P

    (හපොයි දැන් ඉතින් මේ කතාව කියලා මොනවා අහගන්ට වෙයිද දන්නේ නෑ )

    ReplyDelete
    Replies
    1. මම මේ කීවේ දිග නහයක්. ක්ලියෝපැට්‍රාගේ නහය දැකලා නෑ. :P

      Delete
    2. Poddi,

      හෙහ්..හෙහ්..හැබෑද? ඔහටත් තියනවය දිග නහයක්....බොහොම හොඳයි..බොහොම හොඳයි...:)

      Delete
  19. කතාවට වඩා comments රස වින්ඳයි කියමුකො .

    ReplyDelete
    Replies
    1. රවී ට තේරුණාද මන්දා, මෙතූ කියන්නෙ කථාව පල් කියලා :)

      Delete
    2. මෙතූ,

      හෙහ්..එහෙමද? ...:)

      Delete
    3. Ian,

      ආය එහෙනං..මට තේරුණා..මට තේරුණා...ඔය ගෑණු ළමයි ඉන්නව නේද? හීන් නූලෙං කැපිල්ල දාන්නෙ..හිතාගන්ටවත් බෑ මේ කරන්නෙ ප්‍රසංසාවක්ද අපහාසයක්ද කියල....හෙහ්,හෙහ්,

      Delete
    4. අනේ නෑ කතාව නම් ඉස්තරම් . අර canteen එකේ දෙබස් ටික හොරකම් කරන්න හිතුණා ජීවිත වේදිකාවෙ පොඩි රඟපෑමකට.

      Delete
    5. Methu,

      / අනේ නෑ කතාව නම් ඉස්තරම් . /

      ඉයනුයි මායි පොඩි විහිලුවක් කලේ...හෙහ්,හෙහ්,

      / අර canteen එකේ දෙබස් ටික හොරකම් කරන්න හිතුණා ජීවිත වේදිකාවෙ පොඩි රඟපෑමකට. /

      රඟපෑම සාර්ථක වුනොත් අපිටත් කියන්නකො හොඳේ?

      Delete
  20. ජැක් ලන්ඩන්ගේ පට්ටම පට්ට කතාවක් තියෙනවා නේද හිම කරත්ත අදින බව්වෙක් ගැන...
    මගේ මෙමරි චිප් එක අවුල් වෙලා නිසා පොතේ නම මතක් වෙන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      උඹ ඔය කියන්නෙ "වනපෙත අඬගසයි" පොත ගැන. හිම කරත්ත අදින බල්ලෙක් ඉන්නෙ ඒකෙ. එයාගෙ නම බක්. මම කියන්නෙ ඔරිජිනල් පොතේ බල්ලගෙ නම. පරිවර්තනයෙදිත් නම බොහෝවිට ඒකම වෙන්න ඇති.

      Delete
    2. ඒකම තමයි.අනික් පොත වයිට් ෆෑන්ග්

      Delete
  21. පැතුම්, ප්‍රා, රවි මේ පෝස්ට් එක විශ්වය තරම්ම පලල් කරලා... තැන්කුයි.

    ReplyDelete
    Replies
    1. මට කියහංකො විශ්වයෙ පලල කොච්චරද කියල.

      Delete
    2. මේ දවස් වල එක පිස්සෙක් ඒ ගැන හිත හිතා තමන්ගේ ඊළග කෙටි කතාව හිතින් ගොඩනගනවා. හැක්

      Delete
  22. ඈ ඒ පාර තව එකක්.:D

    ඇයි රවීයියා ජේ.ආර් ගේ නහය.ඉස්සර ආච්චිට සමහරු විහිලුවට කියවනවා මම අහලා තියෙනවා "ඉන්ද්‍රනිට"තියන්නේ ජේ.ආර් නහයක් කියලා හිටං.

    ඔය පොත් ගැන උනන්දු කෙල්ලෙක් මේ දවස්වල මගෙත් එක්ක පොත් ගැන හරියට කතා කරනවා.එත් ඒ කෙල්ල ගැන මගේ පිළිබද සිතක් තිබ්බ කාලේ එකී මා එක්ක කතාවට ආවේ නැහැ.දැන් නම් ඉතින් "පමා වැඩියි ඔබ පමා වැඩියි."

    ReplyDelete
    Replies
    1. Manoj,

      / ඇයි රවීයියා ජේ.ආර් ගේ නහය. /

      නුවර ඉඳල නුවර එළියෙ යනකොට හම්බවෙනව වෙදමුල්ල කියල හරියක්. තේ පිළිබඳ කෞතුකාගාරයක් එහෙම තියෙන ප්‍රසිද්ධ තේ වත්තක් එහෙම තියනව වෙදමුල්ල එස්ටේට් කියල. ඒ හරියෙ ඉඳල දකුණු පැත්ත බැලුවම හරියටම ජේ.ආර්. ගෙ නහයෙ හැඩේම තියන කන්දක් පේනව.

      / දැන් නම් ඉතින් "පමා වැඩියි ඔබ පමා වැඩියි." /

      සෙක්..එහෙමම කරන්නත් එපා බං..පොත් කියවන කෙල්ලො හොයාගන්ට හරි අමාරුයි මේ කාලෙ..ආයම සලකල බලාපං මම කිව්වට....:)

      Delete
  23. සමහර නහයවල් තියෙනවා තමා හදිස්සියට ඔන්නම් පොල් ගෙඩියක් වුනත් ලෙලිගහගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      සව්දම් ජේමා ගැන කවි පංතියක් තිබ්බෙ හයේ පොතේද බං හතේ පොතේද?....තිහාරියේ පීටර් පෙරේරා මහත්මයා තමයි රචකයා…

      කස්තුරි සුමුගුව ද සය දරු සුවඳ කැට
      මා දිනු තිහාරිය සියනෑ තරුණ රට
      සවුදම් ජෙමා යන මේ දෑ හැරුණු විට
      මුළු ලෝකය ම අමතක කළ හැකි ය මට

      හෝතඹුවකු ගෙ වාගෙයි නිතර ම දැහේ
      පොල්ලෙලි ගහන්නට පන්කාදුයි නාහේ
      සවුදම් රසය නිතර ම මුවඟින් වෑහේ
      මොහු නම් හිඟන ලොව රජ කමට ම සෑහේ

      අලි බත් ගොඩක් ඇටයක් බල්ලෙකුට නොදී
      ලුණු බිංදුවක් හොදි කඳුළක් නැතිව බුදී
      සතයේ සුරුට්ටුව උගුරට දෙකට අදී
      අතමිට ඇතැයි දත් හැම දෙනෙකුට ම වඳී

      Delete
  24. ක්ලියෝපැට්‍රාලා හැමතැනම! :)

    http://sahaspiyawara.blogspot.com.au/2013/07/blog-post_13.html

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...