Thursday, October 29, 2015

363. The Story Of My Marriage - 12 - My mother came to Ahmedabad for my graduation and ……………..

උපාධි ප්‍රදානෝත්සවයට පෙරදින මගේ මෑණියෝ දුම්රියෙන් අහ්මදාබාද් බලා පැමිණියෝය. මම ඇය පිළිගැනීම උදෙසා දුම්රියපොළට ගියෙමි.අනන්‍යාගේ මව්පියෝ ඉන්දීය රජය විසින් රජයේ සේවකයින් උදෙසා සිව් වසරකට වරක් සහනදායක ගාස්තුවක් යටතේ ලබාදෙන ගුවන් ටිකට්පත් උපයෝගී කොටගෙන චෙන්නයි සිට ගුවන් මගින් පැමිණියෝය.

මගේ මෑණියෝ සැළකියයුතු තරමේ ගමන් මළු දෙකක් රැගෙනවිත් තිබිණි. ඉන් එකක් ඇගේ ඇඳුම් පැළඳුම් වලින් සමන්විතවූ අතර අනෙක පිරී තිබුණේ නොයෙක් රසකැවිලි වලිනි. මිතායි යනුවෙන් පොදුවේ හැඳින්වෙන මේ රසකැවිලි වෙළඳාම උදෙසාම වෙන්වුනු වීථි කිහිපයක් නවදිල්ලියෙහි නගර මධ්‍යයයෙන් මඳක් දුරස්වන්නට පිහිටා ඇත.

Mithai - Indian sweets - Wikipedia
"මම තව මෙහෙ ඉන්නෙ හරියටම දවස් පහයි. මොහොකටද මේ හැටි රසකැවිලි කන්දරාවක්?" මම විමසූයේ තුන්රෝද රියක නැඟී අප දුම්රියපොළේ සිට ආපසු එන අතරවාරයේදීය. 

"ඇයි?.... අපි ඒ ඔක්කොම කමු. තව අපිට ඔයාගෙ යාලුවො, යාලුවන්ගෙ දෙමව්පියෝ එහෙම හම්බවෙයිනෙ නේද? එයාල හිතයි පුදුම ලෝබ අම්මණ්ඩියෙක් තමයි මේ උන්දැ නං. එයාගෙ එකම පුතා උපාධිය ගන්නව . ඒත් සන්තෝසෙට අනික අයට බෙදන්ට එක කිරිටොපී කෑල්ලක්, එක සීනි බෝලයක් ගේන්නෙ නැතුව පේනවද මුන්දැ අත්දෙක වන වන ඇවිල්ල තියෙන අපූරුව කියල. පුතේ එහෙම නෝක්කඩු අහන්ට මම කැමති නෑ. ඔයාට තේරුණාද?" 

"හරි හරි තේරුණා..තේරුණා..මෙච්චර රස කැවිලි මොකටද කියල හොඳටම තේරුණා" කතා කරන්නට පටන්ගත්පසු ඇය නැවැත්වීම ඉතා අපහසු බව දන්නා මම ඉඩක් ලද වහා පැවසුවෙමි. 

"හිහ්, මම ඒත් මෙහෙ ඉන්න දවස් දෙක තුනට සෑහෙන තරමට කෑමත් උයල පොඩි පෙට්ටිවල දාල අරගෙන එන්නත් හදල නිකං හිටිය. මෙහෙ උයද්දි පරිප්පු වලටත් සීනි දානවලු නේද පුතේ? මේ ඇත්තම කියන්නකො එහෙම උයපු පරිප්පු කනකොට නිකම් ඔක්කාරෙට වගෙ එන්නෙ නැද්ද?" 

"කවුද ඔය බොරු කියන්නෙ? එහෙමට සීනි දාන්නෙ නෑ අම්මෙ පරිප්පුවලට..විකාරද?" 

"ඔයාට සහතිකද? මම අහල තියෙන්නෙ නං......" 

"හරි ..හරි ඔය කතා අල්ලල දාමු...මේක අහගන්නකො..මට අම්මට කෙනෙක්ව අඳුන්වල දෙන්න තියනව." 

"කවුද? …………….." අය ඇසිබැම යටින් මා දෙස විමසුම් බැල්මක් හෙලුවාය.

"ආ..මේ..මේ..එක ගෑණු ළමයෙක්…" 

"මොකක්? ඔයාට දැන් යාලු ගෑණු ළමයෙකුත් ඉන්නවද?" ඇගේ දෑස් සැණෙකින් විසල් වූයේ " අම්මේ කලබල වෙන්නෙ නැත්නම් මට කාරණාවක් කියන්න තියනව අම්මට..මේ..මේ...මට ඒඩ්ස් හැදිලා " යයි මා පැවසූ කලෙක පරිද්දෙනි.

"කළබල වෙන්න එපා අම්මෙ..එයා හොඳ යාලුවෙක් විතරයි" මම ඇය සන්සුන් කිරීමේ අටියෙන් පැවසුයෙමි.

"හොඳ යාලුවෙක්... හහ්? ...ඒ කියන්නෙ ඔයාට නරක යාලුවොත් ඉන්නවද මෙහෙ?" 

"නෑ...නෑ...අම්මෙ ..නෑ...මම කියන එක පොඩ්ඩක් අහන්නකො...අපි දෙන්න එකට පාඩම් කලේ. ගොඩක් ඔය විභාග වලට එහෙම එයා මට උදව් කලා. මම එයාට උදව් කලා." 

"හරි..හරි..උදව් කලා තමයි..මට තේරෙනව..මෙතන මොකද වෙලා තියෙන්නෙ කියල...හ්ම්ම්ම්ම්...ඔය ඔයාගෙ හොඳ යාලුවට මොකක් හරි රස්සාවක් එහෙම හම්බවෙලාද තියෙන්නෙ දැං?" 

"ඔව්..ඔව්... එයාට රස්සාව හම්බවුනේ H.L.L. කොම්පැණියෙ………" 

" H.L.L. ?.......ඒ කිව්වෙ?" 

"අර මේ....අර.....සර්ෆ් එක්සෙල් , එතකොට රින්..ආය ලයිෆ්බෝයි එහෙම හදන්නෙ ඒ කොම්පැණිය.ආ...තව කිසන් සෝස්..." H.L.L. සමාගමෙහි නිෂ්පාදන රැසක් මම එකදිගට කියාගෙන ගියේ යටත් පිරිසෙයින් ඒ මඟින් හෝ ඇගේ සිතෙහි අනන්‍යා කෙරෙහි පහන් හැඟීමක් හා /හෝ සුහදත්වයක් ඇතිවනු ඇතැයි යන අපේක්ෂාවෙනි.

"එතකොට කිසන් ජෑම්?" මව ස්වල්ප වේලාවක් කල්පනාකල ඉක්බිති විමසුවාය. 

"ඔව්..ඔව්..මම මේ කියන ගෑණු ළමයා වැඩ කරන්නෙ ඒ කොම්පැණියෙ ඔය කෑමබීම ජාති සම්බන්ධ අංශෙ. අම්ම කිව්වට විස්වාස කරන්ට. එයාට හම්බවුනේ බොහොම හොඳ තත්වයක් තියෙන අපූරු රස්සාවක්..ඔව් අම්මා..මේ ඇත්තමයි."

"ක්‍රිෂ්..මේ එයාට නොමිලෙත් ජෑම් හම්බවෙනවද? මම මේ කියන්නෙ මගෙ අර මාමගෙ පුතාගෙ දුවටත් ඔය වාගෙ......... "

"හරි හරි එව්ව ඕන නෑ මෙතෙන්ට...එයාට ජෑම් නොමිලේ හම්බවෙනව…. නොමිලේම හම්බවෙනව" එසේ පවසන අතර මම හිස සොළවමින් කල්පනා කලේ මේ සාකච්ඡාව යලි කෙලෙස අදාල ප්‍රස්තූතයට ගෙන එන්නේද? යන්නයි. මේ අවස්ථාවේ කිසන් ජෑම් පිළිබඳව සාකච්ඡා කිරීමට මට කිසිසේත් අවශ්‍ය නොවීය.

"ඒ උනාට අම්මෙ ජෑම් නෙවෙයිනෙ මෙතන වැදගත් කාරණේ"

"ඔව්..ඔව්..මට තේරෙනව ජෑම් නෙවෙයි නේන්නං වැදගත් කාරණේ" 

මම සැනසුම් සුසුමක් හෙළීමි."ඇති අම්මට ඒක තේරුනා අන්තිමට කොහොම හරි" 

"ඇයි ඔයා හිතන්නෙ මට කිසිදෙයක් තේරෙන්නෙ නෑ කියලද? මට හොඳටම තේරෙනව..දැං මෙතන වැදගත්ම කාරණේ අපි දවල්ට මඟිං මොකවත් කාල යනවද? නැත්තං ඔයාගෙ ඔය හොස්ටල් එකටම ගිහිල්ල මොනවහරි කනවද කියන එකනෙ? ඒකනෙ ක්‍රිෂ් ඔයා ඔය කියන්න හදන්නෙ? මට තේරෙනව පුතා..හරි අපි මෙහෙම කරමු. අද දවල්ට මේ කොහෙන් හරි හොඳ තැනකිං කමු. රෑට........" 

"අම්මා !!!! …………" මම දත්මිටි කමින් මුරගෑවෙමි. "කරුණාකරල මම කියන එක පොඩ්ඩක් අහනවද? මම මේ අපි දෙන්නටම බොහොම වැදගත් දෙයක් ගැනයි කතා කරන්ට හදන්නෙ." 

"හරි හරි ක්‍රිෂ් අපි ඒ ගැන කතා කරමු. ඉස්සෙල්ල කාල ඉමුකො..කාල ඉන්ට එපාය මොනව කරන්ටත්....මේ ත්‍රීවීල් එලවන අය හොඳට දන්නව කොහෙද කෑම රසම රෙස්ටෝරන්ට් තියෙන්නෙ කියල..මේ ඒයි පුතා.." ඈ එසේ එවර ඇමතූයේ මට නොව තුන් රෝද රියෙහි තරුණ රියදුරාටය. "මේ අහල පහල කොහෙද හොඳ පිරිසිදුවට රසට ගුණට කෑම ටිකක් කන්ට තියෙන්නෙ?" 

"නෝනා, වීල් එක මඟදි නවත්තනව නම් වැඩිපුර ගෙවන්ට ඕන ඔන්න. පස්සෙ නොකිව්වයි කියල එහෙම කියන්ට එපා." රියදුරා රිය පදවන අතරම ආපසු හැරී පැවසීය.

මම සියලු බලාපොරොත්තු සිඳීගිය අයුරින් ඇගේ මුහුණ දෙසම එක එල්ලේ බලා සිටියෙමි.

"ඇයි මොකද? …" මගේ එම අනවරත බැල්ම දරාගත නොහුනු ඇය අවසන විමසුවාය. 

"එයාගෙ නම අනන්‍යා. එයාලෙගෙ අම්මයි තාත්තයි දෙන්නත් මෙහෙ ඇවිල්ල ඉන්නෙ. අනේ අම්මෙ කරුණාකරල එයාල එක්ක සුහදව කතා කරන්න හොඳේ?" 

"හරි, හරි ක්‍රිෂ්, මම ඔයා කියන ඕනම කෙනෙක් මුණගැහෙන්න එන්නං. ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒත් මොකක්ද අර සුහදව කතා කරන්න කියල කිව්වෙ? එහෙම විශේෂයෙන් කියන්න මොකෝ මම කවදාවත් එහෙම නැතුව කිසිම කෙනෙක් එක්ක කතාබහ කරල තියනවද? මම කොහොමත් කාත් එක්කත් බොහොම සුහදයි තමයි. හිහ්..සුහද කිව්වම මතක් වුනේ. ඔය සුහද හමුවීමකට එන ඔයාගෙ අමුත්තන්ට පිළිගන්වන්ට මොනවහරි හොඳ රසකැවීලි ටිකක් ගත්තොත් මොකද? මේ මම ගෙනාපු මිතායිත් හොඳයි තමයි. ඒත් මේ අහ්මදාබාද් රසකැවිලිත් මොන මොනව හරි........"

" අම්මා !!!! ............." මම යලිත් මොරගැසුවෙමි. "ඔන්න ඔය ඕක තමයි අම්මෙ මම අම්මගෙ අකමැතිම වැඩේ. කෑම බීම ගැන කතා කරන්ට ගියාම අම්මගෙ කිසිම කන්ට්‍රෝල් එකක් නෑ ඔහේ කියවගෙන යනව.අම්මම දන්නෙ නෑ ඒක. කරුණාකරල අර ළමයගෙ දෙමව්පියෝ මුණ ගැහුනම කෑම ජාති ගැන ඕනවට වඩා කියවන්ට යන්ට එපා. එයාලගෙ හිතේ අපි ගැන පැහැදීමක් ඇතිවෙන විදිහට අම්ම කරන කියන දේවල් කරන්ට දෙයියන්ගෙ නාමෙන්...හොඳද? අම්මට තේරුණාද?" මම ඇය දෙස බලා ආයාචනා කළෙමි. 

මගෙ මෑණියෝ තොල් තදකොටගත්වනම මා දෙස කෝපාවිෂ්ඨ දෙනෙතින් මොහොතක් බලා සිටියෝය. මම වහා ඉවත බලා ගතිමි.

"පුතා….." ඇය මෙවරද පුතා යනුවෙන් ඇමතූයේ මා නොව තුන් රෝද රියේ රියදුරු කොළු හැටයාය. 

"පුතා......... හරවන්න වාහනේ. මම යනව යන්න ආපහු. මදැයි මගෙ එකම පුතාගෙ උපාධි ප්‍රදානෝත්සවයට මම දිල්ලියෙ ඉඳල ආවෙ රසකැවිලි මහ ගොඩකුත් පොදි බැඳගෙන. දිල්ලියෙ ඔය රසකැවිලි තියෙන වීදියෙ මම වරුවක් ඇවිද්ද එහාට මෙහාට. එහෙම කරලයි මම එහෙ තියන හොඳම රස කැවිලි තෝරගත්තෙ. ඒ කවුරු වෙනුවෙන්ද? මගෙ එකම පුතණ්ඩියා වෙනුවෙන්. එයා වෙනුවෙන් මම එහෙම කලේ..ඔව්..එයා වෙනුවෙන්..." 

"අම්මෙ මේ....." මම කරුණු පැහැදිලි කිරීමට උත්සාහයක් දැරීමි. එහෙත් ඇය මට කිසිවක් පැවසීමට ඉඩ නොදුන්නාය.

"එහෙම එයා වෙනුවෙන් කැපවීමක් කරපු මට එයා කියනව මගේ කිසිම සුහද කමක් නැහැල්ලු. හරි පුතේ ඒකට කමක් නෑ. මගේ සුහදකමක් නැත්තං මම මෙහෙ ඉන්න එකේ තේරුමකුත් නෑනෙ. මම යන්නං ආපහු..ඔව්...මම යනව ආපහු. ….." 

මගේ මෑණියෝ කියවාගෙන ගියෝය. ඇය නිරතුරු නාට්‍යානුසාරයෙන් යම් යම් භූමිකාවන්හි නිරතවීමෙහි මහත් රුචිකත්වයක් දක්වන්නීය.ඇය යලිත් එවැනි භූමිකාවකට නිල වශයෙන් ප්‍රවිෂ්ඨ වී ඇති බවට මට කිසිදු සැකයක් නොවීය.

රියදුරු ගැටයා තුන් රෝද රිය මහමඟ මධ්‍යයේම නතර කළේය.

"ඒ පාර මොකද? ඔහේ මොකද මේ වීල් එක නැවැත්තුවෙ එක පාරටම? අනික මේ මහ පාර මැදම?" පසුපසින් පැමිණෙන කුදු මහත් රිය නලා නාදයෙන් සවන් පිරීයද්දී මම ඇසූයේ කෙමෙන් නැඟීඑන කෝපය පාලනය කොට ගැන්මට අසාර්ථක උත්සාහයක් දරමිනි.

"ඇයි නෝන මහත්තය ආපහු යංය කියල කිව්ව නේද?" පසුපසින් ඇසෙන අමිහිරි රියනලා නාදය කෙරෙහි කිසිදු තැකීමක් නොකොට ඔහු ඇසූයේ රියදුරු අසුනේම හිඳ ආපසු හැරෙමිනි. 

"අම්මා..මොකක්ද මේ නටන්ඩ හදන නාඩගම?" මම කෝපය දැඩි අසීරුවෙන් පාලනය කොටගෙන ඇගෙන් ආයාචනාත්මකව විමසූයෙකි. 

"ආ..මම අම්ම කියල මතක් උනාද? ඇති යාන්තං..මම හිතාගෙන හිටියෙ ඔයා දැන් දෙමව්පියො කියල සලකන්නෙ අර ඔයාගෙ හොඳ යාලුවගෙ දෙමව්පියන්ට කියලයි……." නර්මාලාප බිණීමෙහි ලා මගේ මෑණියන්ගේ සහජ දක්ෂතාවය හොඳින් දත් බැවින් මම මුණිවත රැකීමි.

ඇය කෝපාවිෂ්ඨ වී ඇති බව පැහැදිලිය. එසේ හෙයින් නොපමාව ඒ සඳහා සුදුසු ප්‍රතිකර්ම යෙදිය යුතුය. 

"මේ මල්ලි ඉස්සරහ හන්දිය පහුවුනත් එක්කම තියනව පාවෝ-භාජි රෙස්ටුරන්ට් එකක්. එතන නවත්තන්නකො. අම්මෙ..මේ අහන්නකො….ඒකෙ පාවෝ-භාජි වල තියනව පුදුම රහක්…" 

"එතන මොකෝ ආය පාවෝ-භාජි අමුර්තෙ දාල හදනවය වෙනම රහක් වෙන්න?...මට ඕන නෑ.." ඇය ඉවත බලාගෙනම පැවසුවාය. " අනික මට බඩගිනිත් නෑ කොහෙත්ම" 

"හරි හරි යමුකො මම කියනවට..කන්නම ඕන නෑ. නිකමට චුට්ටි කෑල්ලක් හපල බලන්ටකො." මම ඇයට පෙරැත්ත කලෙමි.

රියදුරු තෙමේ රථය ආපන ශාලාව ඉදිරිපස නතර කලේය. "යමු අම්මෙ.. බහින්නකො " මම රථයෙන් බසිමින් පැවසුවෙමි.

" හ්ම්ම්ම්..යමුකො එහනං" ඇය තවමත් පුළුටු කොටගත් මුහුණින් යුතුවම රථයෙන් බිමට  බැස්සාය.

පානීර් යෙදූ පාවෝ-භාජි සහ ලාසි මම ඇණවුම් කළෙමි. කෝපාවිෂ්ඨ වූ හෝ සන්තාපයටපත් පන්ජාබ් වැසියනගේ සිත් සන්සුන් කිරීමෙහිලා නොවරදින ක්‍රමෝපායය වන්නෙ කිරි අඩංගු ආහාර හෝ පාන වර්ග හැකිතරම් ඔහුට හෝ ඇයට කෑමට හා බීමට සැළැස්වීම බව මම හොඳින් දැනසිටියෙමි. 

(පානීර් යනු නැවුම් එළකිරි යොදයට දෙහි යුෂ යොදා මුදවා නිපදවා ගන්නා කේජු වර්ගයකි. පන්ජාබයේ ඉවුම් පිහුම් උදෙසා බහුලව පානීර් යොදා ගැනේ.ලාසි යනු යෝගට්, ජලය, යම් යම් කුළුබඩු වර්ග සවල්පයක් සහ සමහරවිට පළතුරු කැබලිද යොදා පිළියෙල කරනා පානයකි.)

Paneer - Wikipedia


Lassi - Wikipedia
"හ්ම්ම්ම්ම්..නරකම නෑ...ඒක නෙවෙයි කවුද ඔය ගෑණු ළමයා?" ලාසි තඹලේරුව පානය කල ඉක්බිති ඇය විමසූයේ යම්තරමකට සන්සුන් වූ හඬකිනි. 

"එහ්..එයා මේ නිකම් ගෑණු ළමෙක්...මේකනෙ වුනේ අම්මෙ. මම එයා එක්ක කිව්ව මගෙ අම්මා මාව ලොකු මහත් කරන්ට කොච්චරනම් දුක් වින්දද කියල. මම කිව්වෙ මේ තාත්තගෙ වැඩ පිළිවෙල දන්නවනෙ..ඒ හින්ද..ඒ පාර ඒ ළමයා බොහොම පුදුම වුනා. මට විස්වාස කරන්ටත් බෑ ඒ වගෙ අම්මල මේ ලෝකෙ ඉන්නවයි කියල. අනේ ක්‍රිෂ් මට ඒ ඔයාගෙ ආදරණීය අම්මව හම්බවෙන්නම ඕන. ඔන්න ඔහොම කියල මට නිතර දෙවේලෙ පෙරැත්ත කරන්න ගත්ත. ඒ පාර තමයි මම කිව්වෙ හරි එහෙනං මගෙ ග්‍රැජුවේෂන් එකට අම්ම එනවනෙ. එතකොට මම ඔයාට මුණ ගස්සනං කියල." මම හිස ඔසවා විටින් විට ඇය දෙස බලමින් පැවසුවෙමි.

පාවෝ-භාජී වල අඩංගුවූ පානීර් හෝ ඉන් අනතුරුව පානය කල ලාසි හෝ ඇගේ ක්‍රියා කලාපය අගය කරමින් මම පැවසූ වදන් හෝ වියහැක. එසේත් නැතහොත් එයින් ඕනෑම දෙකක එකතුවක් හෝ තුනෙහිම එකතුවක් හෝ විය හැක. ඒ කුමන හේතුවකින්දෝ මගේ මව පැහැදිලි ලෙසම සන්සුන්ව යහපත් මානසික මට්ටමකට කෙමෙන් පත්වෙමින් සිටියාය.

"මේ දැං ඔය ගෑණු ළමයට ඔයා අපේ පවුලෙ විස්තර ඔක්කොම කිව්වද? " ඇයටදැනගැනීමට අවශ්‍ය විය.

"නෑ..නෑ..මොන පිස්සුද? මම මේ අම්ම ගැන චුට්ටක් කිව්ව එච්චරයි..ආ..අම්මෙ තව එකක්. එයාගෙ මව්පියො ටිකක් මේ දන්නෙ නැද්ද? පරණ තාලෙ උදවිය. අන්න ඒ හින්දයි මම අරෙහෙම කිව්වෙ...ටිකක් සුහදව එයාලගෙ හිත් දිනාගන්න විදිහට හැසිරෙන්නය කියල. ඇත්තටම ඒකයි. එහෙම නැත්නම් අම්මට ආය ඒ වගෙ දෙයක් විශේෂයෙන් කියන්න ඕනය? නැද්ද මං අහන්නෙ...අනික එයාල බොහොම කැමති වෙයි අම්මව මුණ ගැහෙන්න.ආය ඒකෙ දෙකක් එහෙම නෑ." මම ඇගේ රිදුනු සිත තව දුරටත් සුවපත් කළෙමි.

"හ්ම්හ්හ්හ්හ්..." බොහෝ වේලාවකට පසු ඇය යන්තමට සිනා සුනාය. "මොනවද මෙතන තියෙන්නෙ අතුරු පසට? මේ ගුජරාටි මිනිස්සු කෑම වලට සීනි දාන විදිහට අතුරුපස හදන්ට සීනි ඉතුරු වුනොත් ඇති. හොහ්..හොහ්...කෝ ගන්ට ක්‍රිෂ්... ඔය මෙනියු කාඩ් එක මෙහාට..... බලමු මොනවද අතුරුපස තියෙන්නෙ කියල" 

"කෑගහන්ට එපා අම්මෙ..හෙමීට හෙමීට කියන දෙයක් හෙමීට" මම පැවසූයේ අවට කිසිවකු ඇසෙන තෙක් මානයේ සිටීදැයි සෙමෙන් හිස හරවා පරීක්ෂා කරමිනි. 

38 comments:

  1. මෙතන ඉඳන් තමයි මේ කථාව අවුල් වෙන්නේ. ඒ උනාට පරවර්තකයාගේ දක්ශතාවය නිසා හාස්‍යය නියමෙට දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. නර්මාලාප කියන වචනය පොඩ්ඩක් පැහැදිලි කරන්න. Dramatise කියන තේරුමද?

      Delete
    2. Ian,

      නර්මාලාප = Sarcasm

      Delete
    3. ඉයන්,

      ස්තූතියි ඉයන්...( for the comment )...:)

      Delete
  2. ඉස්සර කලු සුදු චිත්තරපටියක් තිවුන අයියයි මල්ලියි කියල. අර සිංදුවක් තියෙන්නෙ “අයියාට මේ පොඩිගේ මල්ලි හදාලා. ඔබෙ මල්ලි හදාලා. රජගේවත් නැත මේ ලස්සනට තියාලා“ ආදී වසයෙං. ආං ඒකෙ ඉන්නව ඔහොම කැවුං උයන නැන්දම්මෙක්. උංදැ මාසෙට පැනි ගැලුං හතරක් කඩෙං නයට ගෙනැත් අන්තිමට කඩෙං බිල එවනව ගෙදෙට්ට. මේ අම්මත් ඊට දෙවෙනි නෑ කෑමට.


    මේ කෑම ජාති ටිකනං මාරම රහ ඇති. දැක්කහං මගෙ මොකද්ද එක අගට මොනවද උනනව. අනිවාරෙං අර උපේස්සා මෙතන ඩෙඟානටයි මේ කෑම ටික දැකල.

    මේ මොවල් හිටාට කෙලිං කියාගන්න බෑනෙවැ අම්ප ‘මං කාලෙයක් තිස්සෙ එකක් තියාගෙන කොට කොටා ඉඳල හොටේ පැටලුනා‘ ය දැං ඉතිං කරගහන්න වෙනවාය කියල.

    මමනං ඒ දවස්වල අපේ ගෙදෙට්ට කිව්වෙමේං මෙහෙමයි.
    “අම්මෙහ්. මේ ඔය අතුගෑවිල්ල නවත්තන්නකො.“

    “මොකදැ“

    “මොකක්කක් නෙමෙයි. මං පැට්ටේරිය පැත්තෙ ගෑල්ලමෙක් යාලුකරගත්ත. කසාද බඳින්න හිතාඉන්නෙ. අම්මට ඕන්නං එහෙ ගිහිං එන්නකො. තාත්තටත් ඕන්නං කියන්න.“

    “ආ... ඒක මිසක්. බොට හොඳනං මට මොකදැ.“

    ReplyDelete
    Replies
    1. අන්න අම්මලා

      Delete
    2. මේක නිකං "අම්මේ මම පරණ බයිසිකල් කටුවක් ගත්තා ෆැක්ටරියේ යාළුවෙක්ගෙන්, අම්මට බලන්න ඕනෙද ඒක?" ..............." අනේ නැහැ කොළුවො මට ඔය යන්තර ගැන තේරෙන එකක්යැ , උඹට හොඳනං හොඳයි" කිව්ව වගේ.

      Delete
    3. ඒ සිත්තර පටිය 'පුරුෂ රත්නය' නෙවෙයිද ශ්‍රංග? ඔය නැන්දම්ම මාමණ්ඩියත් එක්ක වලි දාගත්තහම කැවුම් හැන්දයි තාච්චියයි උස්සගෙන යනවා, "මේ මිනිහත් එක්ක ඉන්ට බෑ. මම යනවා අපේ අම්මලගෙ ගෙදර" කියලා.

      Delete
    4. :O 'ස්ත්‍රී රත්නය' කියලා වචනයක් අහලා තියෙනවා. 'පුරුෂ රත්නය' කියලා වචනයකුත් තියනවලුද?

      Delete
    5. ඉතිං ශ්‍රංගයත් ඇරියෙ නෑලු. පහුවදාම කෙල්ල ගෙට ගත්තලු.

      Delete
    6. Suranga,

      / “මොකක්කක් නෙමෙයි. මං පැට්ටේරිය පැත්තෙ ගෑල්ලමෙක් යාලුකරගත්ත. කසාද බඳින්න හිතාඉන්නෙ. අම්මට ඕන්නං එහෙ ගිහිං එන්නකො. තාත්තටත් ඕන්නං කියන්න.“ /

      “ආ... ඒක මිසක්…. එහෙමනං කමක් නෑ...බොට හොඳනං මට මොකදැ. මම මේ හිතුවෙ බොට තේ කහට එකක්වත් ඕනවෙලාය කියල. සීනි ඩිංගක්වත් නෑ ගේ හරියෙ ...දැං ඔය ඒ ළමිස්සි බලන්ට ගිහිල්ල එමිං ගමන එහෙංවත් සීනි ජුංඩක් ඉල්ලගෙන වරෙං එහෙනං "

      Delete
    7. Poddi,

      " ස්ත්‍රී රත්නං පුස්ථකං පරහස්තං ගතං ගතං "

      Delete
  3. අපිට ඒන මෙව්වා නෙවෙයි අරවා

    ReplyDelete
    Replies
    1. ඔවු බං මොන පනීර්, ලාසි ද ගල් බෝතලයක් තරං වටින්නෙ. නැද්ද.

      Delete
  4. අම්මා නම් නියමයි. ෆිල්ම් එකේ ඒ අම්මා දකිනකොට ගුටි දෙකක් දෙන්ට හිතුනත්, රවිගේ පරිවර්තනය හන්දා හිනා යනවා විතරයි.

    ෆිල්ම එකේ ඒ චරිතය රඟ පාන්නේ, සයිෆ් අලි ඛාන් කියන නලුවගේ පලමු බිරිඳ. හම්මෝ සයිස් ඒක.

    //මෙහෙ උයද්දි පරිප්පු වලටත් සීනි දානවලු නේද පුතේ? මේ ඇත්තම කියන්නකො එහෙම උයපු පරිප්පු කනකොට නිකම් ඔක්කාරෙට වගෙ එන්නෙ නැද්ද?" //

    ඒකනේ ඔය ලංකාවේ කට්ටිය පරිප්පු රොස් කරන්නේ...:P

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි,

      සයීෆ් අලි ඛාන්ගෙ අම්මා පූර්ව යොවුන් වියේ මගේ ක්‍රෂ් එකක්....:)

      Delete
    2. සේම් හියර්... ආරාධනා බලලා තමයි එහෙම වුණේ... මම දැක්ක එයා 'first Bollywood actress to wear a bikini' කියලත් :)... මට පස්සෙ කාලෙක ටිකක් ඒ පෙනුම තියන ගෑල්ලමයෙකුත් මුණගැහුණනේ...

      Delete
  5. දැන් නම් නියමෙට හාස්‍ය රසය ඇතිව ලියනවා. රවි එක හුස්මට කියවගෙන ගියා. පනීර් හා ලාසී අපෙත් ආසම කෑම. දැන් ලංකාවෙත් පනීර් හදනවා. ඒ නිසා අපිත් නිතරම පනීර් උයනවා. මස් කනවට වඩා ඒක හොඳයිනෙ. ඉට්ලියක් එක්ක පනීර් හා සම්බල නියමයි. ඔය පරිප්පුවට සීනි එක්කරන එක මෙහෙ දමිල අයත් කරනවා. ලස්සනයි ලියැවිල්ල. ජයම වේවා!

    ReplyDelete
  6. අදත් එක හුස්මෙට කියවගෙන ගියා... අම්මා නම් නියමයි නේද ...

    ReplyDelete
    Replies
    1. තුශානි,

      අම්මල කොහොමත් එහෙම තමයි තුශානි...නියමයි...:)

      Delete
  7. අම්ම ගහයි මිතායි වලින් කිවුවලු.
    අර ශ්‍රංගය කියල තියෙනව වගේ කෙලින්ම ඇහුවනං පනීර් වලට යන ගානයි, ටැක්සි කුලියයි දෙකම ඉතුරුයි නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      එහෙමත් අහන්න පුලුවන්ද බං ඔය වගෙ එව්ව? අපෙ අම්මට මගෙ ඔය වගෙ සීන් එක කියන්ට මට මාස හයක් තටමන්ට වුනා. අන්න එහෙමයි අපි වගෙ ගුණ යහපත් කොල්ලො තේරුනාය බොට?

      Delete
    2. ඒ කියන්නෙ ඒ කාලෙ ඉඳලම මේ අදින පුරුද්ද තිබිල තියෙනව.

      Delete
  8. දැන් අපි උදේ වැඩ පටන් ගන්නෙ රවි තුමගේ පොස්ටුවක් කියවලා.එලකිර්ස් ඩින්ගට ලියනවනෙ අය්යා.
    @ කලින් පොස්ටුවක මගෙ කොමෙන්ට් ඒකකට අය්යාගෙ Reply එකට මගෙ උත්තරෙ *** අය්යෙ අපෙ කාලේ(2003) නම් අරුනොලිස් සර් හාඩි එක්න් අයින් වෙලා අවිල්ල අපුර ටෙක් එකෙ හිටිය..අපිට සබ්ජෙට් 3ක් විතර ඉගැන්නුවා.. අන්න නියම ගුරුවරු අය්යෙ.. පන්තියට එනකොට අපි එක එක වැඩ කර කර හිටියොත් සර් පාඩම පටන් ගන්නෙ නැ. මොකක් හරි වැඩක් දෙනව කරන්න. ඊට පස්සෙ අපෙ අවදානය පාඩමට එන තත්වයට අවම තමයි සර් පාඩම පටන් ගන්නෙ. සමහර දවස් වල සර් මරු කසි ටිකක් මිට මොලවගෙන අහනව මෙතන කියක් තියන්වඩ කියලා..හරි උත්තරෙ දුන්න කෙනාට එ සල්ලි ටික දිලා සියලු දෙනාගෙ අවදානය අරගෙන තමයි පාඩම කරන්නෙ.***

    ReplyDelete
    Replies
    1. SH,

      මේ කොල්ලො අපුර ටෙක් එකේ බොලායෙ පංතියෙ හිටියද කැලුම් කියල එකෙක්? මේ කඩපණහට එහා නෙළුම්කුලමෙ ගෙවල්.

      Delete
    2. කැලුම් කියල එකෙක් නම් හිටියෙ නැ අය්යෙ. අපිත් එක්ක හිටපු උන්ගෙන් 5 ක් විතර දැන් ඉන්නෙ ඩුබායි රටෙ.( අයියා ඉන්නෙත් එහෙ නෙද?) BK Gulf වලත් ඉන්නව සෙට් 1ක්..

      Delete
  9. අර මැටි මෝලා තමන්ගේ අම්ම ගැන හරියට දන්නේ නැහැ, ඒ මනුස්සයගේ මොලේ වෑල් ඇරෙන්නේ බඩේ රැලි දිග ඇරුනම කියන එක තේරුම් අරගෙන හිටියනම් මුලින්ම මොනවා හරි ගිලලා ඉම්මු කියපු වෙලාවේ ඒකට රෙස්පොන්ඩ් කලා නම් පස්සෙන් පහු බොරු බටර් ගාන්න වෙන්නේ නැහැනේ.
    අනේ අම්මපා මු වගේ මෝලෙක්...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      අඩේ බං ඔන්න උඹත් පටං ගත්තද අර අහිංසකයට තලන්ට දේයි දේයි ගාලා? උගෙ අම්මත් ඌට බණිනව, අර කෙල්ලත් පොඩ්ඩ බැරිවෙච්චි ගමං උගෙ ඇඟට ගොඩවෙනව. සික්..ඒ අස්සෙ බොලාත් ඌට මෙහෙම බයින්ට ගියාම...:(

      Delete
  10. අම්මා වැඩේ දෙල් කරයිද රවීයියේ ?

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      හෙහ්,හෙහ්, එව්ව කියන්ට බෑ...එව්ව කියන්ට බෑ...:)

      Delete
  11. Demala film ekak baluwa wage.. kiyawala iwara welath ammage kiyawilla kan asse donkara denawa. . Ela!!

    ReplyDelete
    Replies
    1. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. එහෙත් එය ගැහැණිය සම්පූර්ණ කරන්නේ නැත. එම නිසා ගැහැණිය හැමදාම කියවයි. - ඕතර් අන්නෝන්

      Delete
  12. ඉදිරියේදී අම්මා ගම කන ස්වරූපයක් පෙන්නුම් කරයි....

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...