Monday, October 26, 2015

362. The Story Of My Marriage - 11 - " Your mom will love me more than you after this " Ananya said very confidently.


Real Life Krish & Ananya - Chetan Bhagat & Anusha Suryanarayanan

"ඒත් මට විශ්ව විද්‍යාලෙ ඉහලම මට්ටමේ උපාධියක් තියනව. I.I.M.A. එකෙන් M.B.A. එකක් තියනව.මම රැකියාව කරන්නෙ H.L.L. එකේ. එතකොට තව..ම්ම්ම්ම්..සමාවෙන්න මම කැමති නෑ මම ගැන පාරට්ටු කරන්ට. ඒත් ඔයාලගෙ අම්මලට උනත් පෙනෙයි මම අවලස්සන නැති බව. එයාලගෙ පුතාට පෝර උරයක් ඔලුවට නොදා මාව පාරෙ එක්ක යන්ට බැරි කමක් නැතිබව එයාලට පේන්ට ඕන." ඇය නොනවත්වා කියවාගෙන ගියාය. 

"ඒ ඔක්කොම හරි අනන්‍යා. ඒත් කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නෙ ඒ සියල්ල අදාල නොවේ කියල තමයි." 

"එතකොට මොකක්ද අදාල වෙන්නෙ?" ඇය රත්පැහැ ගැන්වෙන මුහුණින් යුතුව විමසුවාය.

"ඔයා දමිළ,මම පන්ජාබී...අපි දෙන්නගෙ අන්න ඒ වෙනස තමයි අදාල වෙන්නෙ." 

මදෙස මොහොතක් බලා සිටි අනන්‍යා සිය පත්වීම් ලිපිය දෙකට නවා අත්බෑගයෙහි රුවා ගත්තාය.ඉනික්බිති කඩිමුඩියේ අත්බෑගය තුලවූ ආම්පන්න පිළිවෙලකට සකසන්නට වූවාය. ඒ ඇය මා හා අමනාපව පිටත්ව යෑමේ සංඥාව බව හොඳින් දන්නා බැවින් මම වහා කතා කලෙමි. 

"මේ....කොහෙද යන්න හදන්නෙ?" 

"මට බෑ තවත් මේ ගල් යුගේ සාකච්ඡාව ඔයත් එක්ක කරගෙන යන්න. ඔයත් එකයි ඔයාගෙ අම්ම තාත්තලත් එකයි. ඔක්කොම ජීවත් වෙන්නෙ තාමත් ....." එසේ පවසමින් ඇය නැඟීසිටියාය. "ඔයාට තියෙන දුක් අඳෝනා ගිහිල්ල ඒ අයත් එක්ක කතාකරගන්න. මට කියන්ට එන්ට එපා" 

මම ඇගේ සුරත ග්‍රහණය කොට ඇය යලි අසුනෙහි හිඳුවා ගත්තෙමි. 

"හරි...හරි...නිස්කාරණේ උඩ පනින්නෙ නැතුව මම කියන එකත් පොඩ්ඩක් අහන්නකො. හරි..දැන් මම පන්ජාබි කියල ඔයාගෙ දෙමව්පියන්ට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද?"

"නෑ, මට සහතිකයි එහෙම වෙන්නෙ නෑ. …" ඇය වහා පැවසුවාය. 

"ඔයා දැන් මම ගැන එයාලට කිව්වද?" 

"තවම නෑ" 

"ඇයි ඒ?" 

"ඔයා ගැන එයාලට කියන්ට සුදුසු අවස්තාව එනකල් මම හිටියෙ.තව සති දෙකකින් අපේ උපාධි ප්‍රදානෝත්සවය. ඒ ගොල්ලො ඒකට එනව.එතකොට මම ඔයාව එයාලට අඳුන්වල දෙන්නම්. එතකොට එයාලට කියන්න ඔයා මොනවද මේ ජීවිතේ දැනට දිනාගෙන තියෙන්නෙ කියල. එයාලට වැදගත් වෙන්නෙ ඒ ටික මිසක ඔයා ඉපදුනෙ කොහෙද කියල නෙවෙයි."

"හ්ම්ම්ම්ම්..." 

"මොකද හූම්ම්..ගාන්නෙ?...හූම්ම් නෙවෙයි එහෙම තමයි වෙන්නෙ..ආ..ඒක නෙවෙයි ඔයාලගෙ අම්මයි තාත්තයිත් එනව නේද? මම හිතන්නෙ අපේ දෙමව්පියන්ට මුණ ගැහිල කතාබහ කරල අඳුන ගන්න මේක හොඳ අවස්තාවක්." 

"අම්ම නම් එයි.තාත්ත ගැන මට කියන්න බෑ" 

"ඒ මොකෝ ඒ?" 

"අපි ඒ ගැන කතා නොකර ඉමු." 

"හරි වැඩක්නෙ ඒක. මමයි ඔයාව බඳින්න ඉන්නෙ. ඔයාගෙ අනාගත භාර්යාව.ඉතින් මොකක්ද මේ ඒ ගැන කතා නොකර ඉමු කියන එකේ තේරුම? මට ඇත්තම කියන්න. ඔයා තාත්තට ආරාධනා කලාද කොන්වොකේෂන් එකට එන්න කියල?" 

"නෑ." මම පැවසූයෙමි. ඇය නැඟීසිටියාය. මම ද ඒ සමඟම නැඟී සිටියෙමි.

"හරි. අපි යමු කමියුනිකේෂන් එකට." 

"ඒ මොකටද?" මම විමසූයෙමි.

"මේ.. ඔයාගෙ තාත්තයි, ඔයයි අතරෙ තියෙන සීතල යුද්දෙ පවත්වාගෙන ආවා හොඳටම ඇති. දැන් ඒක නවත්වන්ට කාලෙ ඇවිත්."

"මේ වෙලාවෙ ටෙලිෆෝන් කෝල්ස් අස්ප ගණං." 

"කමක් නෑ. මම ගෙවන්නං. අදම ඔය දෙන්නගෙ මේ විරසකේ ඉවරයක් කරල දාන්න ඕන" 

මීටර දෙසියයක් පමණ දුරින්වූ දුරකථන සේවා සපයන වෙළඳසැලට අප දෙදෙන ඇවිද ගියෙමු. මම අප නිවසේ අංකයට ඇමතුමක් ගතිමි. සිව්වරක් දුරකථනය නාදවූ ඉක්බිති මගේ මව කථා කලාය. 

"හෙලෝ.." 

"අම්මෙ මේ මම…." 

"ක්‍රිෂ්...ඔයා කතාකරපු එක නම් හුඟක් හොඳයි. කොහොමද අපි ටිකට් ගන්නෙ අහ්මදාබාද් එන්න? ම්ම්ම්ම්...බලමු..මම එනවා අනිවාර්යයෙන්ම....ලොකු අම්මත් එන්න ඕනය කිව්ව. එතකොට රජ්ජි මාමා. එයයි කම්ලා නැන්දත් එන්න ඕනලු..එතකොට කීයද ඔක්කොම…….." 

"අම්මා.....මේ…....තාත්තා එනවද? " 

ඇය එක්වරම නිහඬ වූවාය. "නෑ………" ටික වේලාවකට පසු ඇය ඉතා සෙමින් තෙපලාය. 

"අම්මෙ..මේ මගේ උපාධි ප්‍රදානෝත්සවය. ඇයි තාත්තා එන්නෙ නැත්තෙ?" 

"එයාට වැඩ කියල ඔය කිව්වෙ…" 

"තාත්ත විශ්‍රාම ගිහිල්ල ඉන්නෙ. මොනවද ඔය හැටි එයාට තියෙන වැඩ?" 

දුරකථන ගාස්තු ගණක යන්ත්‍රය මේ වනවිට රුපියල් විස්සක් රතුපැහැ ඉලක්කම් වලින් පෙන්නුම් කලේය.

"ඔයා එයාට කතා කරන්න. මම හිතන්නෙ එයා බලාපොරොත්තු වෙනව ඔයාම කතා කරල එයාට එන්න කියල ආරාධනා කරයි කියල.''

"මට බෑ. මම ආරාධනා කරන්න ඕනමද? තමන්ගෙ එකම පුතාගෙ උපාධි ප්‍රදානෝත්සවයට එන්ට තාත්තෙකුට පුතෙක් පෞද්ගලිකව ආරාධනා කරන්නම ඕනද?" 

"මම දන්නෙ නෑ එව්ව. ඉතිං ඇයි ඔයාටම බැරි එයාගෙං කතා කරල අහන්න ඇයි එන්නෙ නැත්තෙ කියල…" 

"මට ඕන නෑ. එයාට එන්න ඕන කමක් නැත්තං මට ප්‍රශ්නයක් නෑ…………….." 

"හරි ඔයාගෙ කැමැත්තක්...ලොකු අම්මයි, මාමයි එනවනෙ. " 

"අම්මේ මේ...අම්ම විතරක් එන්න..වෙන කවුරුවත්ම එක්ක එන්න එපා." 

"ඇයි පුතා එහෙම කියන්නෙ? ඒ දෙන්න ඔයාට කොච්චර ආදරෙයිද? එයාල හරිම ආසාවෙන් ඉන්නෙ ඔයාව දකින්න." 

"හරි. හරි.. ඒක ඇත්ත වෙන්නැති ඒත් ඉන්නකො මම කියනකල්." 

"මොකක්ද?" 

"මට අම්මට එක්කෙනෙක්ව මුණ ගස්සන්ටයි හිතාගෙන ඉන්නෙ?" 

"එක්කෙනෙක්?...…..ඒ කව්ද?" ඇගේ හඬ කුතුහලයෙන් පිරී තිබිණි. 

"අම්ම එන්නකො..ආවම බලාගත්තෑකි." මම ඇමතුම විසන්ධි කළෙමි. 

ආපසු ගමනේදී අප දෙදෙන බොහෝ දුරක් නිහඬව ඇවිද ආයෙමු. මගේ සිත සංතාපයෙන් ඔද්දල්වී තිබිණි. " දෙයියෝ සාක්කි,ලෝකෙ වෙන මොන තාත්තද තමන්ගෙ පුතාගෙ උපාධි ප්‍රදානෝත්සවයට එන්න පුතාගෙන් ආරාධනාවක් එනකල් බලාගෙන ඉන්නෙ. අනේහ්..මට ඕන නෑ එයාට ආරාධනා කරල ගෙන්න ගන්ට. එන්නෙ නැත්තං කුදගහගන්ටය කියල කියනව. මට පාඩුවෙයි එහෙනං " 

"ක්‍රිෂ්, තාත්ත එනවද?" අනන්‍යා විමසුවාය.

"නෑ ………….." 

"ඇයි?" 

"තාත්තයි මායි අතර මතක ඇති කාලෙක ඉඳල කිසිම ඇයි හොඳයියක් තිබුනෙ නෑ. ඒ තමයි ඒකෙ හැටි.ඔයාට මම එකක් කියන්නං. කරුණාකරල සාම දූතිකාවක් වෙලා අපි දෙන්න අතර පිය-පුතු සෙනෙහසක් ආයෙම ඇතිකරන්ට එහෙම උත්සාහ කරන්නවත් එපා. මොකද ඒකෙං කිසිම වැඩක් වෙන්නෙ නෑ" 

"හරි..හරි ඉතිං කියන්නකො මොකක්ද ඔය තාත්තයි ඔයයි අතර විරසකේට හේතුව?" 

"මම ඒ ගැන කතා කරන්න කැමති නෑ." 

"ඔයා ඉතිං හැමදාම දෙන්නෙ ඔය උත්තරේ තමයි." 

"ඔයා ඉතිං හැමදාම අහන්නෙත් ඔය ප්‍රශ්නෙමනෙ. එකම ප්‍රශ්නෙට කොච්චර ඇහුවත් එකම උත්තරයයි තමයි දෙන්න තියෙන්නෙ." 

"ඒ කොහොම උනත්, කොච්චර නෑ කිව්වත් ඔයාගෙ හිතේ තාත්තා ගැන තවම හැඟීමක් තියනව." 

"ඒ කොහොමද ඔයා එහෙම කියන්නෙ?............" 

"එහෙම කියන්නෙ තාත්තා කොන්වොකේෂන් එකට එන්නෙ නැති එකට ඔයාගෙ හිත රිදිල ඉන්නෙ. මට ඒක ඔයාගෙ මූණෙන් කිව්වැහැකි " 

"පිස්සුද? මම මේ අප්සෙට් වෙලා ඉන්නෙ අර ටෙලිෆෝන් කෝල් එකට අස්ප ගානක් ගෙවන්ට වෙච්චි එකට. මේ ඒක නෙවෙයි... ඔන්න මම බොහොම අමාරුවෙන් ලොකු අම්මයි, මාමයි එන එක නවත්ත ගත්ත. අම්ම විතරයි එන්නෙ. දැන් කොහොමද මේ වැඩේ වෙන්නෙ? මම හිතනව ඔයා සියලු කටයුතු බොහොම අපූරුවට සංවිධානය කරල ඇති කියල." 

ඇය එකෙනෙහිම නතරව ආපසු හැරී මගේ දෑත අල්ලාගත්වනම මා දෑසට එබුණාය. 

"හරි..අපි මේ අපේ දෙමව්පියන්ගෙ පළමු හමුවීම කවදාවත්ම අමතක නොවන විදිහෙ එකක් කරන්න ඕන. අපි මොකක් හරි හොඳ එකිනෙකා සුහදව හඳුනාගන්ට පුලුවන් විදිහෙ දෙයක් සංවිධානය කරමු." 

"මම දන්න රයිෆල් ක්ලබ් එකක් තියනව කිලෝ මීටර් පණහක් වගෙ එහා. ඒකෙ රයිෆල් කුලියට දෙනව දඩයමේ යන අයට. මොකද කියන්නෙ? ඒකෙං රයිෆල් තුනක් දවසකට කුලියට අරගෙන ඔයාගෙ අම්මටයි තාත්තටයි අපෙ අම්මටයි දීල කියමු එකිනෙකාට වෙඩි තියා ගන්ටෙයි කියල...හෙහ්,හෙහ්," 

අනන්‍යා ගමන නතරකොට මදෙස රවා බැලුවාය. "මේ මනුස්සයො...පිස්සු කියවන එක නතර කරනවද? මම මේ වැඩේ ලස්සනට කරන්නෙ කොහොමද කියල දහ අතේ කල්පනා කරනව..මෙයා එනව මෙතන…" 

තවත් ටික දුරක් අපි නිහඬව ගමන් කලෙමු. "නෑ කොහොමත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ක්‍රිෂ්ට I.I.T. එකේ උපාධියක් තියනව කිව්වම අම්මයි තාත්තයි කොහොමත් කැමතිවෙයි." අනන්‍යා තමන්ටම කියාගත්තාය. 

"උපාධිය නම් අවුලක් නෑ. ඒත් එයාල මගෙ ළකුණු ඇහුවොත් තමයි කෙළ වෙන්නෙ." මම හිස දෙපසට සොලවමින් පැවසූයෙමි.

"ම්ම්ම්ම්..සමහරවිට අහන්නත් පුලුවන්.." අනන්‍යාගේ දෙතොල දඟකාර සිනහවකින් විවරවිය."ඒත් එහෙම වුනත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඔයා සිටි බැංකුවෙ වැඩ කරන්නෙ කිව්වම එව්ව ඔක්කොම හරියයි. මේ ඒක නෙවෙයි. අපි කොහෙ හරි විනෝද ගමනක් සංවිධානය කරමුද කට්ටියටම...මේ පොඩි ට්‍රිප් එකක්, පික්නික් එකක් වගෙ" 

"එහෙම හොඳද අනන්‍යා? මම හිතන්නෙ නෑ මේ පළවෙනි පාරම එහෙම දෙයක් සංවිධානය කරන එක...." ඇය මට වැකිය අවසාන කිරීමට ඉඩ නොදුන්නාය. 

"ඔයා ඉන්නකො පැත්තකට වෙලා. මම වැඩේ සෙට් කරන්නං ගාණට. ඔන්න බලන්නකො බොරුනං. මීට පස්සෙ ඔයාගෙ අම්ම ඔයාට වැඩිය මට ආදරේ වෙනව. ඒක සහතිකයි" ඇය හඬනඟා සිනාසෙමින් පැවසුවාය.

53 comments:

  1. රවී පරිවර්ථනය ඉතාම හොඳයි.

    ReplyDelete
    Replies
    1. අනූෂාගෙ නහය සහ නලල ගැන කමෙන්ට් එකකින් වත් වර්ණනාවක් දානවද? :D

      Delete
    2. Ian,

      / අනූෂාගෙ නහය සහ නලල ගැන කමෙන්ට් එකකින් වත් වර්ණනාවක් දානවද? :D /

      හෙහ්..මම එක පාරටම දැක්කෙ අනූෂාගෙ නහයෙ පළල කියල...ඒ අම්මණ්ඩිගෙ නහය ඇත්තටම හෙණ පළලයි තමයි. ඒ ගැන මොකවත් ලියන්නම්ය කියල හිත හිත ඉන්නකොට තමයි දැක්කෙ පලල නෙවෙයි නළල කියල.

      බොහොම ස්තූතියි ඉයන්,

      පලි - ඔන්න අනූෂාගෙ ෆෝටොස් එකක් දැම්ම ඉයන් කියපු හින්දම...:)

      Delete
    3. මගෙනුත් ස්තුතිය

      Delete
    4. මෙතූට තමයි අනූශාව බලන්න ආසාව තිබුණේ. එයාට ආලියාගෙ මනො චිත්‍රයෙන් ගැලවෙන්න. බොහොම ස්තූතියි රවි. 'අසන්නන්ගේ' ඉල්ලීම් වලට කන් දෙනවට.

      Delete
  2. කාලෙකින් නිවාඩු පාඩුවේ කතාව කියෙව්වෙ. විශිෂ්ඨයි.

    ReplyDelete
    Replies
    1. සඳ වියමන්,

      බොහොමත්ම ස්තූතියි...:)

      Delete
  3. රයිපල් කතන්දරේ නං මරු නේද බං... භගට් කතාව මේ හරියෙදි අනන්‍යාගේ මුල්ම අනන්‍යතාවය වෙනස් කරල වගේ බොට හිතෙන්නෙ නැද්ද??

    ReplyDelete
    Replies
    1. දේශකයා,

      හෙහ්..බොහොම පැහැදිලිවම එහෙම කරල තියනව. ඒත් බගටට දොස් කියන්නත් බෑ එක අතකට. චරිත ක්‍රමානුකූලව ගොඩනඟමින් ලියන සම්භාව්‍ය කතාවක් කියන්න මිනිහගෙ කොහොමවත් කල්පනාවක් තිබ්බය කියල මම හිතන්නෙ නෑ. සරල ආදර කතාවක් පොඩි ප්‍රහසන ගතියකුත් එක්ක පාඨකයට හොඳින් ආකර්ශණය විය හැකි ලෙස ලියන්නයි එයාගෙ අදහස වුනේ මම හිතන විදිහට. ඇත්තටම ඒක බොහොම සාර්ථක වුනයි කියල අමුතුවෙන් කියන්න ඕනෙත් නහැනෙ.

      අනික් අතට අපිට මෙහෙම තර්ක කරන්නත් පුලුවන් නේද? කතාවක චරිතයක් එකම අනන්‍යතාවයක් රකගන්ටම ඕනමද? මිනිස්සු කියන්නෙ ස්වභාවයෙන්ම වෙනස් වන සුලු සතුන් කොට්ඨාශයක්. ඒ හින්ද කතාවක මුල හිටපු මිනිහා / ගැහැණිය කතාව අවසානයට යනකොට අතුරුදන් වෙන්න පුලුවන්...:)

      Delete
    2. ඒක ඇත්ත... වැරැද්දක් කියනවා නෙමෙයි. අනන්‍යා එක පාරටම තමන්ගේ කෙලිලොල් ගතිය අයින් කරල ටිපිකල් ඉන්යානු කෙල්ල වෙනවා එච්චරයි.. හැක්

      Delete
  4. //ඒකෙං රයිෆල් තුනක් දවසකට කුලියට අරගෙන ඔයාගෙ අම්මටයි තාත්තටයි අපෙ අම්මටයි දීල කියමු එකිනෙකාට වෙඩි තියා ගන්ටෙයි කියල...හෙහ්,හෙහ්,//
    මේක තමයි කරන්න තියෙන හොඳම වැඩේ. චැක් අර කෙල්ල වැඩේ කාලනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒකනෙ බං කියන්නෙ මෝඩ කෙල්ලො....:)

      Delete
  5. හප්පේ! සීතල යුද්දෙ ඇවිලෙන්ටයි යන්නෙ.

    ඔය පොතේ නේද භගට් කියන්නෙ, ලෝකෙ අනිත් රටවල්වල ජෝඩු කෙල්ලයි කොල්ලයි කැමති නම් කසාද බඳිනවා.

    නමුත් ඉන්දියාවෙ,
    කෙල්ලයි කොල්ලයි කැමති නම්,
    කෙල්ලයි කොල්ලයි කැමති බව කෙල්ලගෙයි කොල්ලගෙයි දෙමව්පියන්ට කිව්වට පස්සෙ එයාලත් කැමතිනම්,
    කෙල්ලයි කොල්ලයි කැමති බව කෙල්ලගෙයි කොල්ලගෙයි දෙමව්පියන්ට කිව්වට පස්සෙ එයාලත් කැමතිබව දෙපාර්ශවයෙ නෑදෑයන්ට කිව්වට පස්සේ හත්මුතු පරම්පරාවේ නෑයො සේරමත් කැමති නම්,
    ඔය සේරම අවශ්‍යතා සැපිරුවට පස්සෙ
    තවමත් කෙල්ලයි කොල්ලයි දෙන්නට දෙන්නා කැමතිනම්,
    ආන්න උන් දෙන්නට කසාද බඳින්න පුලුවනි! :D

    ReplyDelete
    Replies
    1. මුල් පිටුවේ එහෙම තියෙන්නේ.. හික් හික්...

      Delete
    2. උපේක්ෂා,

      මුල පිටුවෙ නෙවෙයි බං අන්තිම පිටුවෙ තියෙන්නෙ...:)

      Love marriages around the world are simple:
      Boy loves girl. Girl loves boy.
      They get married.
      In India, there are a few more steps:
      Boy loves Girl. Girl loves Boy.
      Girl’s family has to love boy. Boy’s family has to love girl.
      Girl’s Family has to love Boy’s Family. Boy’s family has to love girl’s family.
      Girl and Boy still love each other. They get married.

      Welcome to 2 States, a story about Krish and Ananya. They are from two different states of India, deeply in love and want to get married. Of course, their parents don’t agree. To convert their love story into a love marriage, the couple have a tough battle in front of them. For it is easy to fight and rebel, but it is much harder to convince. Will they make it?

      Delete
  6. පට්ට -
    උඩ තිබ්බ පොටෝ එක දකිද්දි හිතුනා, කුකුල් පැටියෙකුයි හම්ටි ඩම්ටියි කපල් පොටෝ එකක් ගත්තොත් ඒ වගේ ඇති ක‍ියලා...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      මරු උපමාව...:)

      Delete
  7. /අනන්‍යා ගමන නතරකොට මදෙස රවා බැලුවාය. "මේ මනුස්සයො...පිස්සු කියවන එක නතර කරනවද? මම මේ වැඩේ ලස්සනට කරන්නෙ කොහොමද කියල දහ අතේ කල්පනා කරනව..මෙයා එනව මෙතන…" /

    පරිවර්තන කාර්යය නම් අතිවිශිෂ්ඨයි සර් !

    ReplyDelete
    Replies
    1. මෙතූ,

      ඇත්තම කිව්වොත් ඔහොම එකක් පොතේ තිබ්බෙ නෑ.අර රයිෆල් ක්ලබ් කතාවයි, ඔය අනන්‍යා ක්‍රිෂ්ගෙ ඇඟට ගොඩවෙන කතාවයි මම අතින් දැම්මෙ...:)

      Delete
    2. ඔව් ඔව් !! පොතේ තියෙන්නෙ ක්‍රිශ් අනන්‍යාගේ 'ඇඟට ගොඩවෙන' කථා විතරයි. හැක්

      Delete
    3. මොනවා වුණත් රවී මහත්මයට කාන්තා හදවත් දිනාගන්න පුළුවන් විදිහෙ දෙබස් නම් ලියන්න පුළුවන් .

      Delete
  8. මට නම් අනන්‍ය කිව්වම මතක් වෙන්නේ රවීයියේ මෙන්න මෙයාව ක්‍රිශ් කියන්නේ ඉතින් මමනේ හිටං.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      අප්පටසිරි කාජල් ළමයා....!!!!!...;)

      Delete
    2. මනෝජ්? කාජල්? :O :D

      Delete
    3. ඇයි හොඳ නැතේයි ...;D

      Delete
  9. මක්කෙයි මේ ලොකු 'න' යන්නක්? පුලුවන් නම් හොයාගන්න.
    මෙහෙම එකින් එකත් කියවනවා.ඔක්කොම දැම්මාම එක දිගටම කියෝනව හෝස් ගාලා...
    ආයෙ මොනා කියන්නද.. ලෙසටම ලෙසටම..
    හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      ස්තූතියි ලොකු නයන්න හැදුව ඔන්න...:)

      Delete
    2. හෙහ් හෙහ්.... දැං මක්කෙයි කොරන්නෙ.. අන්වීක්ශෙකුත් ඇන්න එඤ්ඤං තව වැරදිම හොයන්න.. ('න' යන්නෙ සීන් එක කිව්වෙ ආතල් එකට හොඳේ.)

      Delete
    3. ගස්,

      හෙහ්..ආය වැරදි නෑ බං උඹ අනිවීක්ෂයකින් නෙවෙයි දුරේක්ෂයකින් බැලුවත් ඒක එහෙම තමයි...:)

      Delete
  10. හෙහ් හෙහ් අනන්‍යා නම් කතාව කියවද්දී හිතේ ඇදිච්ච රූපේ වගේ...ක්‍රිෂ් ගැන මගේ ඔළුවේ තිබුනේ ටිකක් කෙට්ටු ඉන්දියන් ටයිප් එකේ කොල්ලෙක් ව.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      මනුස්සයත් කලින් Archetype Indian තමයි. කෙට්ටුයි. පොත් ඕසෙට විකිනෙන්ට ගත්තට පස්සෙ කඳ බඩ ආරල ආව….:)

      Delete
  11. දකුනු ඉන්දියන් කෙල්ලො යටිරැවුල ගාන්නෙ නෑ. හැබැයි ඒකට උතුරු ඉන්දියන් කෙල්ලො. ඒකත් සමාජමට්ටම අනුව වෙනස් වෙනව. හැක් හැක්. පුද්ගලික අත්දැකීම් ඇසුරෙනි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      පුද්ගලික අත්දැකීම් කිව්වෙ යටි රැවුල් ගාන රස්සාවක් කලාවත්ද අම්මප ඔහේ?

      Delete
    2. හැක් හැක්... නෑ බං. අනංගයා මං අනංගයා... :)

      Delete
    3. ඇනෝ, හෙහ්..හෙහ්...එහෙමද? එතකොට අනංගයා ඈ?..මම හිතුවෙ කරණවෑමියෙක් කියලනෙ.....:)

      Delete
    4. හැක් හැක්... ඒකනෙ. මේක සිරාවටම යනවා බං. මාර රහයි රවියො. උඹට ජේසු පිහිටයි.

      Delete
  12. මෙතන මෙයා මගුලක් කතා කරනව.
    ඔය කසාද බඳිනකොට මහඋන්ට හොඳනං බඳින එක මහ ගොං වැඩක්. කසාද බඳිද්දි තමුංගෙ දෙමාපියං, නෑදෑ මිත්‍රයන් කියන එව්ව සතේට මායිං කරන්න නාකයි. සේරම වැඩ සිද්දවෙන්න ඕන මනමාලි වෙන්න ඉන්න කෙල්ලට ඕන හැටියට. (ඔය බොන්න දෙන එක විතරක් කොල්ලට ඕන හැටියට)

    මනමාලිට ඕන හැටියට මගුල උනේ නැතිනං සිද්දවෙන්නෙ කංබෙරේ දංදෙන්න.

    ReplyDelete
    Replies
    1. Suranga,

      / සේරම වැඩ සිද්දවෙන්න ඕන මනමාලි වෙන්න ඉන්න කෙල්ලට ඕන හැටියට. (ඔය බොන්න දෙන එක විතරක් කොල්ලට ඕන හැටියට) මනමාලිට ඕන හැටියට මගුල උනේ නැතිනං සිද්දවෙන්නෙ කංබෙරේ දංදෙන්න. /

      කට ඇරහං කොලුවො රටඉඳි ගෙඩ්ඩක් දාන්ට...ඒ කතාව නං සත්තක්මයි…මෙන්න මට වෙච්චි බේදවාචකේ...:(

      දැං ඔන්න අපි හැමෝම පොඩි කාලෙ ඉඳම්ම ජීවිතේ අපි මේ දේ කරන්නෙ මෙහෙමයි, අර දේ කරන්නෙ අරහමයි කියල චිත්‍රයක් හිතේ මවාගෙන ඉන්නවනෙ. එව්ව පස්සෙන් පහු කරන්ඩ බැරිවෙන එක වෙනම කාරණාවක්.......හෙහ්,.......හෙහ්, වැදගත් දේ එහෙම අපේ හිතේ මැවිල තියෙනව.....ම්ම්ම්, මොකක්ද ඒකට කියන්නෙ?....හරි දැනට කියමු පරමාදර්ශී සිතුවමක් කියල....අන්න එහෙම එකක්.

      ඉතින් ඔන්න මගෙ හිතෙත් ඔය අවුරුදු 20-22 පිරිච්ච කාලෙ ඉඳම්ම තිබ්බ ඔන්න ඔය පරමාදර්ශී සිතුවමක් මගෙ විවාහය කෙරෙන්න ඕන මෙන්න මෙහෙමයි කියල.

      කැමතිනං තව කියවන්න...:)

      Delete
    2. ශහ් හරි ලස්සන කෙල්ලෙක්නෙ රවි බැඳල ඉන්නෙ. මම අහන්න හිටියෙ අර පැණි වරකෙට කළු කපුටෙක් වහපු වගේ උපමාවල් රවීගෙ කථාවල පාවිච්චි කරනවද?

      Delete
  13. Sorry my commemt is a bit side tracked. Ravi are you planning to write a post on MR's 'bunker'? Please.....

    ReplyDelete
    Replies
    1. Ano,

      Sorry but I don't still feel so strongly about that issue ( i.e the bunker ).

      Moreover MR is keeping a rather unusually low profile these days. just uttering some senseless gibberish from time to time for the sole consumption of his ignorant die-hard followers. But that's all it seems for the moment.

      Most probably he wants to keep what he looted from state coffers intact or else is feeling the noose tightening somewhat.

      Delete
    2. I see nothing there in that bunker story to talk about.. was just a formality those days.. nonsence!

      Delete
    3. formality... nonsense......??? I doubt that.

      Delete
  14. මේක අපූරුවට ගලාගෙන යනවා......... ලස්සනයි............ නියමයි..........

    ReplyDelete
    Replies
    1. අවංක,

      ස්තූතියි....:)

      Delete
  15. රවීගේ සාර්ථක පරිවර්තන කෑල්ලත් ඇතුළුව ඊයෙයි අදයි රසවත් බ්ලොග් පෝස්ට් කිහිපයක්ම කියවන්න ලැබුනා.

    ReplyDelete
    Replies
    1. තිලක්,

      ස්තූතියි තිලක්....:)

      Delete
  16. ශා....සැබෑ ජිවිතේ අනන්යත් ටිකක් අර වගේ තමා. ක්‍රිෂ්නම් ටිකක් බෝල ගතිය වැඩියි වගේ ;)

    ReplyDelete
    Replies
    1. සයුරි,

      හෙහ්..හෙහ්..ක්‍රිෂ් කලින් ඔහොම නෑ...පස්සෙ තමයි බෝල ගතිය ඇවිල්ල තියෙන්නෙ...:)

      Delete
  17. හොඳම කෑලි ටික ලඟම එනවානේ. මම කැමතිම ක්‍රිෂ්ගේ අම්මාගේ වැඩවලට. :D

    ReplyDelete
  18. රවි කතාව දැන් තමයි ලස්සන වේගෙන එන්නෙ. හරිම ලස්සනට ලියවෙනව. පොටෝ එකට නම් ස්තූතියි!.

    ReplyDelete
  19. Ad a nam bohoma ketiyi mahaththayo.. ohoma nam be love karanna. .

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...