Tuesday, January 5, 2016

380. ගුරුවරියක සමඟ මගේ ජීවිතය 23 - ක්‍රියාත්මක කල නොහැකිවූ 5S ක්‍රමය සහ ආපසු නිල්ලඹේට ගලාගිය උඩිස් රඳවනයේ ජලය


නිල්ලඹේ භාවනා මධ්‍යස්ථානයේ දර්ශනයක්.....

හුටා රෙදි තාම එළියෙ නේද?...... ඒ සිතුවිල්ලත් සමඟ මම වහා හිඳහුන් පුටුවෙන් නැඟිට මිදුලට පැන්නෙමි.

තරමක කැට කැබලිති වලින් යමෙකු පහර දෙන්නාක් බඳු විසල් වැහි බිඳු මා හිස මත පතිත වද්දී බිරිඳගේ ඔසරි හැකිපමණ නොතෙමී නිවෙසට රැගෙන ඒමට මම උපරිම උත්සාහ දැරුවෙමි. එහෙත් ඒ වනවිටද වර්ෂාව ඇරඹී යම් වෙලාවක් ගතවී තිබිණි. එබැවින් ඒ ධාරානිපාත වර්ෂාවේ මගේ උත්සාහය ව්‍යාර්ථවුනු බව උදක්ම පැවසිය යුතු නොවේ.

අවසන හිසේ සිට දියබත්වුවද මට අඩක් පමණතෙතබරිතවී හෝ බේරාගත හැකිවූයේ ඇගේ ඔසරි දෙකක් පමණි. ඉතිරිය ( තුනක් හෝ හතරක් පමණ ) දිය බේරෙන පමණ තෙමී තිබිණ. 

අප විසූ ගුරු නිවසෙහි මුළුතැන්ගෙය අසල වූ නිදන කාමරය එදවස අප ප්‍රයෝජනයට ගත්තේ ගබඩා කාමරයක් ලෙස මෙන්ම අධික වර්ෂා දිනයන්හි වැල් බැඳ රෙදි වේලාගැනීම උදෙසාය. එලෙසම භාවිතයෙන් ඉවත්කල පරණ රෙදිපිලි, පරණ ප්‍රවෘත්ති පත්‍ර, විදුහලෙහි කෘෂිකර්ම කාමරයෙහි ඉඩ පහසුකම් මද වූ හෙයින් ගුරුනිවසට පංගාර්තුවූ උදළු, කැති, අලවංගු ඇතුළු වෙනත් නා නා ආයුධ මෙන්ම මගේ ජලනල පිරිද්දුම් කටයුතු උදෙසා අත්‍යාවශ්‍ය කියත්, පීරි තල, එස්ලෝන් මැලියම් සහ ස්ටොප් එන්ඩ්ස්, රිඩියුසර්ස්, එල්බෝස්, සහ ටී සන්ධි ඈ නොයෙකුත් ජලනල උපාංග ද එහි විය.

වරක් පාසලේ පැවැත්වුනු ඵලදායිතා වැඩ මුළුවකට සහභාගී වූ ප්‍රියාම්බිකා තොමෝ නිවෙසට පැමිණියේ සොළීන් හා සටනට පිටත්ව යන සුගලා දේවිය මෙන් අධිෂ්ඨාන පූර්වකවය. 

"මේ අපිට අද කියල දුන්න 5S ක්‍රමය ගැන. ඒකෙ එකක් තියනව අනවශ්‍ය දේ ඉවත්කිරීම කියල" 

"ඔව් මම දන්නව..5S එකේ පළවෙනි එකනෙ..සෙයිරි..ඒකෙන් කියන්නෙ අනවශ්‍ය කිසි වැඩකට නැති පරණ වෙච්චි එව්ව වහාම අයින් කරන්ට කියලනෙ "

"ආ..ආ ඔය දන්නෙ අපූරුවට...ඒත් දන්නව උනාට ඔයා ඒ විදිහට වැඩ නොකරන එක තමයි තියෙන ප්‍රශ්නෙ…"

"මටත් පුලුවන් 5S ක්‍රමේ අනුව වැඩ කරන්ට. දන්නවද මම එහෙම නොකරන්නෙ ඇයි කියල.."

"ඇයි? "

"කිසි වැඩකට නැති එව්ව අයිං කරනවනං ඉස්සෙල්ලම අයිං කරන්ට වෙන්නෙ ඔයාව.." .මම කෝකටත් අඩි දෙකක් පසුපසට ගනිමින් පැවසුවෙමි.

"ඔය කිව්වෙ..ඔය කිව්වෙ...ඔයාටත් කියන්ට දේවල් නම් තියනව ඕන එකකට." ඇය මා දෙස රවමින් පැවසුවාය.

"හරි හරි එව්ව අල්ලල දාමුකො. හරි..5S කියල එකක් තියනව... අනවශ්‍ය දේ අයිං කරන්න කියලත් ඒකෙ කියනව ඉතිං මොකක්ද ඔයා දැන් කියන්නෙ?"

"මම කියන්නෙ අර කුස්සිය ගාව තියන ලට්ට ලොට්ට පුරවපු කාමරේ තියෙන අනවශ්‍ය ඔක්කෝම අයින් කරල දාමු කියල"

"හ්ම්ම්…. යමුකො එහෙනං.."

අප දෙදෙන මුලුතැන්ගෙය අසලවූ ගබඩා කාමරයක් ලෙස භාවිතාකල නිදන කාමරයට ඇතුළු වීමු.

"මොනවද දැන් මේකෙ අයින් කරන්න තියෙන්නෙ?" දොර විවර කොට ඒ අසළමවූ විදිලි යතුර ක්‍රියාත්මක කොට විදිලි බුබුල දල්වමින් මම ඇසීමි.

"ම්ම්..මේ කාඩ්බෝඩ් පෙට්ටියෙ මොනවද?" කාමරය තුලට පිවිසි ඇය ඇසුවාය. 

"මේකෙ ඔය පරණ රෙදි එහෙම.."

"හරි එව්ව විසි කරල දාමු."

"බෑ...බෑ..එව්ව මට ඕන.."

"මොකටද ඔයාට එව්ව?" ඇය මදෙස හැරී බලා විමසුවාය.

"එව්ව මොකටද කියල අහන්නෙ? අර ගෘහ විද්‍යාගාරෙ පිටිපස්සෙ ටී එකෙන් උඩහට එන වතුර ලයින් එක කොයිවෙලාවෙත් ගැලවෙනව.මමම එපාය ඕක හදන්ට. වතුර ලයින් එක හදල අත පුරාම එස්ලෝන් ගම් ගෑවුනහම පිහින්ටයි මම ඔය පරණ රෙදි කෑලි තියං ඉන්නෙ. වීසි කරන්නෙ එහෙම නෑ එව්ව." 

( ටී එක යනු ජලනල මාර්ගයක දෙපසට බෙදෙන සන්ධිස්ථානයක යෙදෙන ඉංගිරිසි T අක්ෂරයේ හැඩැති උපංගයකී ) 

"හා. එහෙනං එව්ව තියාගන්ටකො. එතකොට මේ ෂොපිං බෑග් එකේ තියන පයිප්ප කෑලි.?"

"ඔව්වත් ඕන වෙන්නෙ කොයි වෙලේද කියන්ට බෑ...තියන්ට තියන්ට...ආය ඔයා ඔව්ව උස්සගෙන ඉන්නවය? "

"එතකොට මට මේ සෙයිරි එක කරන්නම වෙන්නෙ නැද්ද? පළවෙනි එකම හරියට කරන්ට ඔයා මට ඉඩ දෙන්නෙ නැත්තං අපි 5S වැඩේ අල්ලල දාමු." දෑත් ඉණට තබාගත්වනම මොහොතක් මා දෙස බලාසිටි ඕ වහා ආපසු හැරී කාමරයෙන් පිටවූවාය.

එදවස ඒ අවට බලපැවැත්වුණු ගෙවල් කුලී මිළ ගණන් අනුව නිදන කාමර තුනකින් සාලයකින් කුස්සියකින් සහ බරාඳයකින් යුතුවූ ඒ ගුරු නිවසට අප ගෙවල් කුළිය වශයෙන් රජයට ගෙවූයේ ඉතා නොවටිනා මුදලකි. මගේ මතකයට අනුව ඒ රුපියල් පන්සියයකට ආසන්න ගණනකි. එදවස පැණිදෙණිය නගරාසන්නයේ එවන් නිවසක අවම මාසික කුලිය රුපියල් තුන්දහසක් පමණවූබව සලකා බලන කල ගුරු නිවසෙහි වාසය කිරීමට අවස්ථාව ලැබීම අප දෙදෙනාහට මහත් වාසියක් විය.

එහෙත් සෑම ලාභයකටම යම් මිලක් ගෙවිය යුතුය යන්න පරම සත්‍යයකි. සහනදායී ගෙවල්කුලිය හේතුකොටගෙන මූල්‍යමය වශයෙන් ලැබුණු ලාභය වෙනුවට ගෙවිය යුතු මිලවූයේ පාසලෙහි එදිනෙදා සුළු නඩත්තු කටයුතු වෙනුවෙන් යම් මුදලක් සහ ශ්‍රමය වැයවීම සහ පාසලේ පැවැත්වෙන උත්සව ආදියට අවශ්‍ය පිඟන්, කෝප්ප, වීදුරු, හට්ටි මුට්ටි යනාදී උපකරණ අප නිවසින් සැපයීමට සිදුවීමය. ඉල්ලුමද ඉක්මවා යන අයුරු අවශ්‍ය උපකරණ නිවසින් සැපයීම පෙර ආත්ම භාවයකදී වෙස්සන්තර රජුගේ නැන්දණියවූ ප්‍රියම්බිකා තොමෝ නොමසුරුව ඉටු කළාය.

මට භාරවූයේ පාසල් භූමිය තුල හදිසි ජලනල පුපුරායාම සහ බිඳ වැටීම් ආදිය නඩත්තු කිරීමය. ඒ සඳහා නිතර අවශ්‍ය වන ටී, එල්බෝ, ස්ටොප් එන්ඩ්ස්, රිඩියුසර්ස් සහ කරාම සමඟ එස්-ලෝන් ගම් බෝතල් කීපයක් සහ හැක්සෝ තල රාමුවක් මම නිතරම සූදානමින් තබාගත්තේ අප වාසය කල ගුරුනිවසට ජල සැපයුමද කොයි මොහොතේ හෝ ඇණහිටීමට ඉඩතිබූ බැවිනි.

මෙලෙස නිරතුරු ජල නල පද්ධතිය බිඳවැටීමට හේතුවූයේ පේරාදෙණිය පැණිදෙනිය සහ ඒ අවට ප්‍රදේශවලට ජලය සැපයූ නිල්ලඹේ ප්‍රදේශයේ පිහිටි ජල යෝජනා ක්‍රමයෙන් එදවස ඉතා අධික පීඩනයකින් යුක්තව ජලය සැපයීමයි. එම ජල යෝජනා ක්‍රමයෙන් ජලය බෙදා හැරීම ආරම්භ කල එකල අවට බොහෝදෙනෙකුට නිරතුරු ජලයෙන් පිරි ළිං තිබුණු බැවින් ඔවුහු ජල යෝජනා ක්‍රමයට මුදල් ගෙවා ජලය ලබා ගැන්මට උනන්දුවක් නොදැක්වූහ. එබැවින් කරාමයක් විවෘත කල වහා අධික පීඩනයකින් යුතුව ජලය නිකුත්වීම සුලභ දසුනක් විය. වර්තමානයෙහි මෙම තත්වය එලෙසම නොපවතින නමුදු තවමත් පැණිදෙණිය ප්‍රදේශයෙහි ජල සම්පාදන මණ්ඩලයෙහි ජල සැපයුම මා දැක ඇති වෙනත් බොහෝ ප්‍රදේශවලට වඩා පීඩනයෙන් යුක්තය.

ගුරු නිවසට මීටර් හාරසියයක් පමණ ඔබ්බෙන් මිලදීගත් කුඩා ඉඩම් කැබැල්ලක අපගේ නව නිවස ඉදිකරද්දී මේ ඉහල පීඩනයෙන් ප්‍රයෝජන ගනු උදෙසා උඩිස් ජල රඳවනයට ( Over-head Storage Tank ) අමතරව ප්‍රධාන ජල සැපයුමෙන් සෘජු සැපයුම් මාර්ගයක්ද එලීමට මට අවශ්‍ය විය. එසමයෙහි විදේශගතව හුන් බැවින් මට අවශ්‍ය පරිදි එම කටයුත්ත ඉටුකර ගැන්මට සිදුවූයේ දුරකථන උපදෙස් මාර්ගයෙනි. අවසන මවිසින් මෙහිසිට මෙහෙයවූ එම කටයුත්ත අවසන් වූයේ ප්‍රධාන සැපයුම් මාර්ගයේ ජලය අත්හිටවූ අවස්ථාවන්හිදී නිවසේ උඩිස් ජල රඳවනයේ වූ ජලය ආපසු ගලාගොස් ටැංකියෙහි ජලය හිස් වීමෙනි..එසේ ආපසු ජලය ගලායන විටද ජල මාපකයේ සටහන් වීම හේතුවෙන් මට සම්පූර්ණයෙන් හිස්වූ ටැංකියක් වෙනුවෙන් දෙවරක් ජල ගාස්තු ගෙවීමට සිදුවිය. අවසන එක්පසකට පමනක් විවෘතවන කපාට ( Non Return Valves ) යොදා එවන් අභාග්‍යසම්පන්න තත්වයක් යලි උදාවීම වළක්වා ගැණිනි.

එතන වුනේ මෙන්න මේකයි. අපි ඔය කියන ගුරු නිවාසෙට ටිකක් විතර එහා සුට්ටං ඉඩං කෑල්ලක් අරගෙන ගෙයක් හැදුවනෙ.මට ඕන වුනා ඔය මේන් සප්ලයි ලයින් එකේ තියන ප්‍රෙෂර් එක එහෙම්මම තියාගන්ට. ඒත් වැඩේ ඕවර් හෙඩ් ටෑන්ක් එකකට පුරව ගත්තම වෙන්නෙ ඊට පස්සෙ ෂවර් එකෙන් එහෙම වතුර එන්නෙ නෝමල් ප්‍රෙෂර් එකෙන්. ඒ දවස්වල මම ලංකාවෙ හිටියෙ නෑ. මම ඉතිං ගෙදර හදන වැඩේ කොන්ත්‍රාත් අරගෙන කරපු බාසුන්නැහේට ටෙලිෆෝන් එකෙන් කතා කරල විස්තරේ කිව්ව.

"බාසුන්නැහේ මෙහෙමයි. මට ඕන ඕවර් හෙඩ් ටෑන්ක් එකෙන් ගෙදරට වතුර ගන්න සප්ලයි ලයින් එකටම කනෙක්ට් කරල පාරෙ ලයින් එකෙනුත් සප්ලයි එකක්. එතකොට පාරෙ ලයින් එකේ හයි ප්‍රෙෂර් එකෙන් තමයි වතුර එන්නෙ. පාරෙ ලයින් එකේ වතුර නැති වෙලාවට ඕවර් හෙඩ් ටෑන්ක් එකේ වතුර පාවිච්චි කරන්න පුලුවන්නෙ තේරුණාද බාසුන්නැහේට? "

බාසත් කියපි "හරි මහත්තය අවුලක් නෑ මම එහෙම කරන්නම්" කියල.

හෙහ්...කොහොම හරි බාසා වැඩෙත් කරල තිබ්බ. හොඳ ප්‍රෙෂර් එකෙං ෂවර් වලිං වතුරත් ආව. 

"ෂහ්..නියමයි ඒයි....ෂවර් එකෙන් වතුර එනව අපූරුවට...."ස්කයිප් එකෙන් කතා කරපු වෙලාවක අපේ උන්දැහිනා කටක් පුරෝගෙන කිව්ව. 

"අන්න ඒකනෙ එහෙම තමයි අපි වැඩක් කලොත්...දන්නවනෙ.." මම ප්‍රසංසාව නිහතමානීව බාරගත්ත. 

ඔහොම ඉතිං අපෙ උන්දැ අපූරුවට ස්නානය කරල කියල එහෙම සතියක් දෙකක් ගියා කියමුකො. ඔන්න එක දවසක් මම ඔෆිස් එකේ ඉද්දි ආව කෝල් එකක්. බැලින්නං අපෙ උන්දෙ..

"මොකෝ මේ හදිස්සියෙ? "

"හදිස්සිය තමයි. ඕවර් හෙඩ් ටෑන්ක්ස් දෙකේම වතුර කඳුලක් නෑ."

"ඒ කොහොමද එහෙම වෙන්නෙ? ඔය කොහෙ හරි ටැප් එකක්වත් කැඩිල එහනං වතුර ලීක් වෙලා යන්ට ඇති රෑ එලිවෙනකල්...."

"පිස්සුද? එහෙම එකක් නෙවෙයි. අද උදේ පේරාදෙණිය ස්ටේෂන් එක ගාව මේ පැත්තට වතුර එන ලයින් එක පුපුරල රෙපයාර් කරනව. ඒ හින්ද වතුර වහල තියෙන්නෙ. ඊයෙත් ටැංකි දෙකේම වතුර තිබ්බ මම හිතන්නෙ. දැං ටිකකට කලිං බලනකොට වතුර බිංදුවක් වත් නෑ." 

"ජලා හුටා...ඒ කොහොමද එහෙම වුනේ?"

" ජලා හුටා නම් මං දන්නෙ නෑ..ජලය නැති එකයි මම කියන්නෙ"

ඒ වෙනකොටත් වෙන්න ඇත්තෙ මොකක්ද කියල මට වැටහෙමින් තිබුනෙ ඇත්තම කිව්වොත්. සිද්ද වෙලා තිබ්බෙ බොහොම සරල දෙයක්. ප්‍රධාන ජල සැපයුමෙන් කෙලින්ම ගෙදරට වතුර ගන්න එලපු නලය දිගේ ඕවර් හෙඩ් ටෑන්ක්ස් දෙකේ තිබ්බ වතුර ඔක්කොම ආපහු ගිහිල්ල යන්ට....හෙහ්,හෙහ්, ඔය අපිට වතුර එන්නෙ නිල්ලඹේ ජල යෝජනා ක්‍රමයෙන්. නිල්ලඹේට පේරාදෙණිය යුනිවර්සිටි එක මැදින් වැටිල තියන ගලහ පාරෙ කිලෝමීටර් පහලවක් විතර යන්ට ඕන. සුප්‍රසිද්ධ භාවනා මධ්‍යස්ථානයක් එහෙමත් තියනව නිල්ලඹේ.අපේ වතුර මම හිතන්නෙ ආපහු නිල්ලඹේටම යන්ට ඇති...හෙහ්,හෙහ්,

මම ආයෙම අපේ උන්දැට කෝල් එකක් ගත්ත. " මේ මම දන්නව අපේ ටැංකි දෙකේ තිබ්බ වතුර වලට මොකද වුනේ කියල…"

" ඔයා දන්නව? ඉතිං මොකද එව්වට වුනේ? "

"ඒ වතුර ආපහු ගිහිල්ල නිල්ලඹේට.."

"කොහෙට? "

"නිල්ලඹේට..නිල්ලඹේට…"

"ඒ කොහෙද?"

"ඇයි අනේ දන්නෙ නැද්ද? නිල්ලඹේ තියෙන්නෙ ගලහ පාරෙ. එහෙ ඉඳලයි අපිට ඔය වතුර එන්නෙ...ඉතිං වතුර ආපහු එහාටම ගිහිල්ල."

"මොන පිස්සු කියවනවද මන්ද...නිල්ලඹ බැරිනං කොළඅඹ හරි දැන් වතුර නැති එකට මොකද කරන්නෙ? "

"ආයම වතුර දෙනකල් ඔය පල්ලෙහා ගෙදර ඇන්ටිලාගෙන් හරි වතුර බාල්දියක් දෙකක් අරගෙන ෂේප් කරගන්ට.අර බාසගෙ ටෙලිෆෝන් නොම්මරේ ඔයා ලඟ තියනව නේද? 

"ඔව්..ඔව්...තියනව....තියනව"

"ඌට කෝල් එකක් දෙන්ට වහාම එන්ට කියල. ඔය වතුර ආපහු නිල්ලඹේ යන එකට කරන්ට තියෙන්නෙ නන් රිටර්න් වෑල්ව් එකක් දාන්න ඕන."

"ෂිහ්..ඉතිං ඕක කලින් කරන්ට මතක් වුනේ නැද්ද?"

"නෑනෙ..ඒකනෙ කේස් එක..මට මතක් වුනෙත් නෑ මෙහෙම දෙයක් වෙයි කියල. බාස නිකමටවත් කිව්වෙත් නෑනෙ ඔහොම එකක්..හරි හරි දැන් එව්වයින් වැඩක් නෑ. බාස ආහම මට කෝල් එකක් අරන් දෙන්නකො. මම ඕකට විස්තරේ කියන්නං"

"හා..හා..මදැයි වෙච්චි දේ..බාසත් එකයි ඔයත් එකයි..." උන්දැ එහෙම කියල කෝල් එක කට් කලා.

99 comments:

  1. ගුරුන්ටත් අකුරු වරදී

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      නෑ..නෑ...ගුරුතුමීට වැරදුනේ නෑ..මටයි මෙතන වැරදුනේ..පොඩ්ඩක් ඒ ගැන හිතුවෙ නෑ...:)

      Delete
  2. අයියෝ අදත් සාරි කතාව ඉවර කරලා නෑනෙ

    ReplyDelete
    Replies
    1. වරාමලී,

      බාලගිරි අද නෙවෙයි හෙට...:)

      Delete
  3. ගස්ලබ්බටත් තියෙන ප්‍රස්නයක් තමයි සප්ලයි එක ටැංකියේ උඩින් දාන්නැත්තෙ ඇයි කියලා.කැලතෙන නිසා කියලා හිත හදන් ඉන්නෙ.ඇත්තටම ඇයි ඒ? ජල නල වැඩ නම් පට්ට ආතල් ජොබක්.. අහු මුළු වල රිංගන එක නැත්තං..
    සාරි තෙමුනට වෙච්ච දේ නොකියම ශේප් උනා නෙහ්??? හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මෙයාට තියෙන්නෙ සප්ලයි එක දැමීමේ ප්‍රශ්නයක් නෙමෙයි.
      ඩ්‍රේන් අවුට් එක මේන් ලයින් එකට ඩිරෙක්ට් සම්බන්ධ කිරීම. ලයින් එකේ ප්‍රෙෂර් තියෙනකල් වැඩේ හරියට කෙරිල ප්‍රෙෂර් ඩ්‍රොප් වෙච්ච හැටිය ටැංකියෙ වතුර ටික නිල්ලඹේ යනව.

      Delete
    2. ඔන්න එතකොට තව ප්‍රශ්නයක් එනව.
      ගෙදර ටැප් ටික ඔක්කොම වහපුවාම උඩිනුයි යටිනුයි ස්ටොක් ටැංකිය පිරෙනව නේද?

      Delete
    3. ගස්,

      සප්ලයි එක කිව්වෙ ඕවර්හෙඩ් ටැංකියට සප්ලයි දෙන ලයින් එකද? ඒක කොහොමත් උඩිං තමයි තියෙන්නෙ. වතුර වැටෙනකොට කැලැත්තෙනව නම් තමයි. ඒකට ටැංකිය නිතරම සුද්ද කරන්න වෙනව. අනික ඔය පිරිසිදු කරපු වතුරෙ එහෙම අඩියෙ තැන්පත් වෙන්න තරම් මොකවත් නෑ.

      Delete
    4. ප්‍රසන්න,

      / ඔන්න එතකොට තව ප්‍රශ්නයක් එනව. ගෙදර ටැප් ටික ඔක්කොම වහපුවාම උඩිනුයි යටිනුයි ස්ටොක් ටැංකිය පිරෙනව නේද? /

      උඹේ මීටරේ හොඳයි මල්ලි..නැත්තං උඹටත් ඒ හෙයියම්මාරුව වෙලා තියනව...ඒ වැඩේ ඊට පස්සෙ උනානෙ. ටැංකිය උතුරන්න ගත්ත. උඩිං මේන් ලයින් එකෙන් සප්ලයි දෙන බටේට නම් බෝල් වෑල්ව් එකක් තියනවනෙ. යටිං ගෙදරට සප්ලයි ගන්න බටෙන් වතුර පිරෙන එක වලක්වන්න කලේ පල්ලෙහාට විතරක් ඇරෙන නන් රිටර්න් වෑල්ව් එකක් දැම්ම...:)

      Delete
    5. අපෙත් ඔහොම බයිපාස් ලයින් එකක් තියෙනව. ඒත් ඒක හැමවෙලාවෙම වහල තියෙන්නෙ. අවශ්‍ය උනාම පාවිච්චි කරන්නෙ උඩ ටැංකියෙන් පල්ලෙහට එන වෑල් එක වහල.

      Delete
    6. මටත් ඔය සීන් එක ඔය විදිහටම අනා . බාස් මං , නන් රිටන් එක දැම්මහම රවි අයියේ ටැංකියෙන් එන පෙෂර් එක සැහෙන දුරට අඩු උනානේ

      Delete
    7. අටම්,

      අපේ නම් එහෙම ප්‍රෙෂර් අඩුවීමක් උනේ නෑ බං...හැබැයි අපේ හැම වෙලාවෙම පාවිච්චි වෙන්නෙ මේන් ලයින් එකේ වතුර. ඒකෙ ප්‍රෙෂර් කොහොමත් වැඩියිනෙ. ඕවර්හෙඩ් එකේ වතුර පාවිච්චි නොවෙන හින්දම කරන්නෙ දවස් දෙකකට වගෙ සැරයක් මේන් ලයින් එක වහල දානව. එතකොට උඩ ටැංකිය හිස් වෙනව.

      නන් රිටර්න් වෑල්ව් වර්ග කීපයක් තියනව. එක ජාතියක ඇතුලෙ ස්ප්‍රිං එකක් තියෙන්නෙ. ඒ ස්ප්‍රිං එක තල්ලු කරගෙන වතුර පහලට එන්න ඕන. උඹලගෙ ප්‍රෙෂර් එක අඩුවෙන්නෙ සම්ටයිම්ස් ඒ හින්ද වෙන්න ඇති.

      Delete
    8. හරිනෙ ස්ප්‍රීන්ග් ටයිප් එකක් තමා

      Delete
    9. උඹ මේ හදිස්සියෙ ඕක ගැලෙව්වද?

      Delete
  4. Replies
    1. හේමමාලී,

      අයියෝ කියන්නෙ මොකද? එව්ව වේලල ගත්ත යස අගේට..:)

      Delete
  5. මෑතක ඔය ස්කෝලෙට ගියා විසිඑක්වන සියවසේ ගැටළුවකට ගැටළුවකට උත්තර සොයන්න, ගුරුතුමී තාමත් ඒ ස්කෝලෙද?

    ReplyDelete
    Replies
    1. ඇණේ,

      අඩෙහ්..ඒ කවද්ද ඒ ගියේ?..දැන්නම් ඒ යෝදි ඒ ඉස්කෝලෙ නෑ....:)

      Delete
  6. මේ කතාව ඉවරද නැත්නම් තව ඇදෙනවද?

    ReplyDelete
    Replies
    1. හැලප,

      ඉවරයි ඉවරයි ඉවරයි

      Delete
  7. කෝ බං තෙමිච්ච සාරි ටික...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      ලබන පාර..ලබන පාර...:)

      Delete
  8. හැක්.. මගෙත් ප්‍රියතම විෂයක් තමයි ජල නල කාර්මික ශිල්පය.
    වතුර ආපහු යනකොට මීටරේ කැරකැවෙන්නෙ අනික් පැත්තට නෙමෙයි ද? අනික දැන් එන මීටර්වලනං එහෙම වතුර අනික් පැත්තට යන්නෙ නෑ. මීටරේ ඇතුලෙම වෑල් එකක් තියෙනව.

    මොනව උණත් සාරි ටික වේලුනාට පස්සෙවත් වෙච්ච දේ කියන්නැතැයි.

    ReplyDelete
    Replies
    1. අනික ප්‍රෙෂර් වැඩි වෙලා බට ගැලවෙනවනං කරන්න තිබුණෙ මේන් වෑල් එක පුලුවංතරං අරින්නෙ නැතුව ගානකට ඇරල තියාගෙන ඉන්න එකනෙ.

      Delete
    2. අපේ ඒරියල් එකේ නල බාස් මමයි, කෝමද ඔෆිස් එකේ බොසා උදේ පාන්දර ෂෝටක් දාගෙන නල මූට්ටු කරන කොට.

      /ප්‍රෙෂර් වැඩි වෙලා බට ගැලවෙනවනං කරන්න තිබුණෙ මේන් වෑල් එක පුලුවංතරං අරින්නෙ නැතුව ගානකට ඇරල තියාගෙන ඉන්න එකනෙ/

      රවියාට වුනු අවුල මේකයි, ඔය ඉස්කෝලේ පැත්තේ ඉස්සෙල්ලා තිබුනේ ගඟ පතුලේ දාපු වැලි ෆිල්ටරයකින් (ඒක තියෙන්නේ පේරාදෙණිය කොච්චි පාලම හරියේ) පෙරල ගත්ත පොඩි හෙඩ් එකක් තිබුන සප්ලයි එකක්, බට හේම හරියට අලෝලා තිබ්බේ නෑ, බෙන්ඩ් වල මඩ බැඳිලා, නිලඹේ අළුත් සප්ලයි එක පරණ බට වලටම දුන්නාම දවසින් සවසට තැනින් තැනින් ලීක් මතු වෙනවා, එක තැනත් අමුණන කොට අනිත් තැන ගැලවෙනවා, රවියම විතරක් නෙවේ තව තව මකබාස් ලත් මාට්ටු දානවා. පාසල් වගේ පොදුතැන් වල මේන් ගේට් පාලනය කරන්න බෑ.

      අවුරුදු කීපයකට පෙර අපටත් ඔය වගේ වෙරිහයි ප්‍රෙෂර් සප්ලයි එකක් ලැබුණා, මාස ගණනාවක් කට්ට කෑවා සමහර ලීක් හොයාගත්තේ ඉඩෝරෙටත් දළුදාන ගස්යට හාරලා, අවසානෙට පරණ ලයින් එක සම්පූර්ණයෙන්ම ගලවලා අළුතෙන් එකක් දැම්මා.

      Delete
    3. ඔය වැ‍ඩේ මෙහෙත් උනා. ඉස්සර මෙහාට සප්ලයි දුන්නෙ ප්‍රා. සභාවෙ ටැංකියකින්. ඒක තනිකරම ගුරුත්ව බලය මත ක්‍රියාත්මක ප්‍රොජෙක්ට් එකක් නිසා ලෝ ප්‍රෙෂර් තමයි. පස්සෙ මණ්ඩලෙන් වතුර දෙන්න ගත්තම උං හයි ප්‍රෙෂර් එවුව. ඉතිං අර බබා වගේ තිබ්බ ටැප් ලයින් වලින් පෙනේර වගේ පෙරෙන්න පටංගත්ත.

      Delete
    4. ප්‍රසන්න,

      / අනික ප්‍රෙෂර් වැඩි වෙලා බට ගැලවෙනවනං කරන්න තිබුණෙ මේන් වෑල් එක පුලුවංතරං අරින්නෙ නැතුව ගානකට ඇරල තියාගෙන ඉන්න එකනෙ. /

      එහෙමත් කරල බැලුව බං..ඒත් එතකොට වැඩේ ගුරු නිවාසෙට වතුර එන ප්‍රෙෂර් එක අඩු වෙනව. එතන කේස් එක මේකයි. පල්ලෙහා පාරෙ ඉඳල සිරස් උස මයෙ හිතේ අඩි සීයකට එහා තියනව ගුරු නිවාසෙට.යස් ඒ ගාන තමයි.... මට මතක විදිහට පඩි පේළි හයක් තිබ්බ. ඔක්කොම පඩි දෙසීයක් විතර. පඩියක් අඟල් 6 ගානෙ බැලුවම එතනම අඩි සීයක්. ඔය හින්ද මේන් වෑල්ව් එක බාගෙට වහන එකත් ඔප්ෂන් එකක් නෙවෙයි.

      අනික මේන් වෑල්ව් එක ගොඩක් අඩු කලාම පාරෙ ඉඳල වතුර මීටර් එකට දාල තියෙන එල්බෝ එක ගාවිං ගැලවෙනව. ඊට පස්සෙ කාණුව පුරා වතුර. වෝටර් බෝඩ් එකට කෝල් කලාම උං ඇවිල්ල පේරාදෙණිය ස්ටේෂන් එක හරියෙ තියෙන කන්ට්‍රෝල් චේම්බර් එකෙන්ම ලයින් එක වහල තමයි රෙපයාර් කරන්නෙ. මහ වදයක් ඒක.

      Delete
    5. ඇණේ,

      / ඔය ඉස්කෝලේ පැත්තේ ඉස්සෙල්ලා තිබුනේ ගඟ පතුලේ දාපු වැලි ෆිල්ටරයකින් (ඒක තියෙන්නේ පේරාදෙණිය කොච්චි පාලම හරියේ) …./

      අඩේ එහෙමද බොල ඔය ජල අර්බුදයේ නිධාන කථාව? මම ඒක දැනගෙන හිටියෙ නෑ. අපි ඔතනට ගියේ මේ බොහොම මෑතක...ඒ නිසා ගමේ ඔය පරණ සීන් දන්නෙ නෑ.

      හැබැයි මම ඔය ගුරු නිවාසෙට යන්ට ඉස්සර පොඩි පොඩි රෙපයාර් ටිකක් කරගත්ත. ඒකට ආවෙ වයසක බාසුන්නැහේ කෙනෙක්. මිනිහත් එක්ක ඔය දුමක් එහෙම ඇද ඇද පරණ විස්තර කතා කරද්දි මා එක්ක කිව්ව 1947 ගංවතුරට ඔය පරණ ගම්පල පාර ( එතකොට ඒක පරණ ගම්පල පාර නෙවෙයි, ගම්පල පාර ) අඩි දහයක් පහළවක් වගෙ වතුරෙං යට උනාලු. ගමේ මිනිස්සු ඔක්කොම කොට්ට පැදුරු උස්සගෙන ඇවිල්ල හිටියයි කියන්නෙ ඔය ඉස්කෝලෙ.අපි හිටපු ගුරු නිසාවෙ තමයි කට්ටියට කෑම උයල තියෙන්නෙ....

      / සමහර ලීක් හොයාගත්තේ ඉඩෝරෙටත් දළුදාන ගස්යට හාරලා, /

      අඩේ ඒක මරු කතාව..හෙහ්..මට මතක් වුනේ අපේ සිංහල හය නැත්තං හත පොතේ තිබ්බ ජාතක කතාවක්...මට කතාවෙ නම නම් මතක නෑ..ඒත් කතාව මෙහෙමයි...බෝධිසත්වයො ගැල් කණ්ඩායමක නායකයෙක් වෙලා ඔන්න කාන්තාරෙ මැදින් යනව.( Captaion of the Caravan ) ඉස්සරහම යන ගැලේ තමයි එතුමා යන්නෙ. තරු ලකුණු බල බල ගැල දක්කනව.

      ඔන්න මහන්සියටම එතුමාට නින්ද ගියා. ගොන්නුන්ට අණ දෙන්න කෙනෙක් නෑනෙ. උං ආයම රවුම ගහල කලින් දවසෙ දවල් නවාතැං ගත්තු තැනට ආව. දැං ගමනට සැලසුම් කලාට වඩා එක දවසක් වැඩිපුර යනව.ඒත් දරුණු සීන් එක ඇවිල්ල ඒ වැඩිපුර දවසට වතුර නෑ. මොකද වතුර ගේන්නෙ ගානට.

      පස්සෙ කට්ටියම බය බිරාන්ත වෙලා ඉද්දි බෝසතණෝ වැල්ලෙ එහෙ මෙහෙ ඇවිදල එක ඊතණ පඳුරක් ලඟ නැවතිල කියනව. " මෙහෙම ඊතණ පඳුරක් සාරෙට හැදෙන්න මෙතන අනිවා වතුර තියෙන්න ඕන. හාරපියව් මෙතන " කියල.

      අනේ ඔන්න කිව්වත් වගෙ අඩි දහයක් වගෙ හාරනකොට නාඹ තල්කඳක් හා සමාන මහත් ජල කඳක් පැණ නැංගේය...එහෙමයි පොතේ තිබ්බෙ..පස්සෙ කට්ටිය උඩ පැනල නටල නාල කියල යහමිං රහමෙර එහෙමත් පානය කරල අනික් මිනිස්සුන්ට දැනගන්ට ඒ ළිඳ ගාව ජොකෙක් ලීයක අමුණල කොඩියක් වගෙ හිටවල බොහොම සන්තෝසෙං පිටත් වෙලා යන්ට යනව.

      Delete
    6. එහෙම ලේසියෙන් ජල කඳ පැන නැංගෙ නෑ බොල. යට තිබ්බ කළු ගලකුත් කැඩුවට පස්සෙ තමයි ජල කඳ පැන නැංගෙ. හැක්..

      Delete
    7. හසන්ත මහත්තයෝ ඕක ඇවිල්ල වණ්ණුපථ ජාතකය.

      Delete
    8. ප්‍රසන්න,

      අඩේ හරි නෙවෙන්නං දැන්නෙව මතක් වුනේ..පස් හාරගෙන හාරගෙන යනකොට තඩි කලු ගලක් මතුවෙනව. මිනිස්සු අදහිරිය වෙලා ඉන්දැද්දි බෝසතාණෝ ඇතුලට බැහැල ගලට කණ තියල බලනව. එතකොට මඩ ඌරෙක් ( මඩ ඌරා දන්නව නේද? අර පොලිස්සියට අල්ලගෙන ගිහාම බුරියට තියල පොල්කට්ටෙං වහන සතා..අන්න ඒකා ) බෝසතාණන්ගෙ කණේ රිංගනව.

      ඌ කණ ඇතුලෙ දඟලනකොට වේදනාව ඉවසගන්ට බැරුව බෝසතාණෝ එතන තිබ්බ කුළු ගෙඩියක් ඇන්න දේයි දේයි ගාල ගලට තඩි බානව. ආන්න බලන්න පිංවතුනි අයිස්චර්යාගේ මහත..ඒ මහා ශෛලමය බාධකය බෝසතාණන්ගේ යකුළු පහරින් බිඳ හෙලා පියා නාඹ තල් කඳක් හා සමාන මහා ජල කඳක් එකෙනෙහිම අට ඉස්බක් අහසට පන නැංගාහුය..... සාධූ! සාධූ!! සාධූ!!!

      Delete
    9. උදය,

      ඔබ හරි..පාළි බාසාවෙං වන්නුපත කියල කියන්නෙ මඩ ඌරට වෙන්න ඕන මට මතක විදිහට ...:)

      Delete
    10. එතකොට අර කණ අස්සෙ රිංගපු එකාට මොකෝ උනේ.

      Delete
    11. ප්‍රසන්න,

      ඒ තමයි බං දේවදත්තයා..." එකල්හි බෝසත් ගැල් නායකයාණන්ගේ කර්ණයට වැද ඔහු පීඩාවට පත්කල මඩ හූරු තෙම වනාහි දෙව්දත් තෙරණුවෝය. ඒ වේදනාවෙන් පීඩිතවැ මහත් බරැති යකුළුපහරින් ශෛලමය තලාව දෙපළු කල ගැල් නායකයාණෝ වනාහි මම්ම වේදැයි පවසා පූර්වාපර සන්ධි ගලපා වණ්ණුපථ ජාතකය දේශනා කොට වදාල බව මෙයින් දතයුත්තේය.....සිද්ධි රස්තු...."

      Delete
  9. අදත් ලියල තියෙන්නේ කරපට් වෙන්න ගහලා. නයෙකුත් ගිහිංද මන්දා. මේ තියෙන්නේ පාරත් ඇදේට

    ReplyDelete
    Replies
    1. සුරා,

      / ඒ සඳහා නිතර අවශ්‍ය වන ටී, එල්බෝ, ස්ටොප් එන්ඩ්ස්, රිඩියුසර්ස් සහ කරාම සමඟ එස්-ලෝන් ගම් බෝතල් කීපයක් සහ හැක්සෝ තල රාමුවක් මම නිතරම සූදානමින් තබාගත්තේ…./

      අනේ බොලේ ඔය පයිප්ප කෑලි එව්ව මෙව්ව හත අටක් ඉස්ටොක් කරල තියාගත්ත කියල කිව්වට ඕක නයෙක් වෙන්නෙ කොහොමද?

      Delete
    2. නෑ රවියො ශ්‍රංගය ඔය කියන්නෙ මේ ගැන වෙන්ටැ.

      //පාසලේ පැවැත්වෙන උත්සව ආදියට අවශ්‍ය පිඟන්, කෝප්ප, වීදිරු, හට්ටි මුට්ටි යනාදී උපකරණ අප නිවසින් සැපයීමට සිදුවීමය.//

      Delete
    3. ප්‍රසන්න,

      හැබෑට මූ කියන්නෙ ඒ ගැන වත්ද? හෙහ්..ඔය මොකවත් අපි ගත්ත එව්ව නෙවෙයි බොලේ..එක පාරක් ගංවතුර ආදාර හම්ම වෙච්චා...:)

      Delete
  10. //දොර විවර කොට ඒ අසළමවූ විදිලි යතුර ක්‍රියාත්මක කොට විදිලි බුබුල දල්වමින් මම ඇසීමි.// අදමයි මේ වගේ දෙයක් කියවුවේ

    අර වැස්සට කලින් සාරි ගන්න සීන් එක කියවද්දී මතක් වුණේ අපේ ආච්චි අම්මගේ සාරි වැලේ තියෙද්දී වැස්සක් පටන් ගද්දි අපි දුවනවා ගන්න ඒත් එයා පටලලා පටලලා වනලා තියෙන විදියෙන් සාරිය මුදා ගද්දි මුළු ඇගම තෙමිලා ඉවරයි. එදාට ඉතින් ඉදලා ඉවරයි එයා දැක්කා වගේ කියනවා "උබලා tv එක දිහා බලන් ඉද්දි වැස්සක් නෙමේ හෙන ගැහුවත් ඇහෙන්නේ නෑ නේ.. අයියෝ..... ඒ වර්ගයේ භයානක වැසි ගැන ආච්චි අම්මා කවදාවත් විස්වාස කලේ නෑ එයා හිතුවෙම අපි බාගෙට වහිද්දි එලියට ගියා කියලා. හි හි

    ඔය ජලනල සීන් ගොඩක් ෆික්ස් වෙන්නේ මගේ අතින්. අපේ අම්මා කටින් චන්ඩියා වුනාට කරන්ට් එකට එහෙම හරි බයයි. මොටරේ මාස දෙක තුනකට සැරයක් මොනාහරි කරගන්නවා ඊට පස්සේ මං ඒක ගලවලා හදන්න ඕනේ. ඒ වැඩ වලට අදාල බඩු සැට් එකත් මතක් වුනා ලිපිය කියවද්දී..

    ReplyDelete
    Replies
    1. ඔමා,

      / අර වැස්සට කලින් සාරි ගන්න සීන් එක කියවද්දී මතක් වුණේ අපේ ආච්චි අම්මගේ සාරි වැලේ තියෙද්දී වැස්සක් පටන් ගද්දි අපි දුවනවා ගන්න……………../

      අඩේ ඔව්මයි අපෙ අත්තම්මත් ඔසරි එහෙම හෝදල වැලේ දාන්නෙ ( ඒ කාලේ ක්ලෝත් ක්ලිප්ස් තිබ්බෙ නෑනෙ ) හුලඟෙ යනවට වැල බැඳල තිබ්බ කොහු ළණුවෙ පොටක් ඈත් කරල ඔසරියෙ කොණක් ඒ අතරින් රිංගවල. ඔහොම හතර පස් පොලක කරනව. ආපහු ගන්ට ගියාම මාර වදේ. වැස්සක් වෙලාවක නම් නෙවෙයි අත්තම්මට බැණ බැණ අපි ඔය ඔසරි කොහු ළණු පොටවල් ඈත් කරල ගන්නව මතකයි. සිනිඳු රෙදි හින්ද පොඩ්ඩ ඇත්තං ඉරෙනව. ඉරුනොත් කේස්...:)

      / ඔය ජලනල සීන් ගොඩක් ෆික්ස් වෙන්නේ මගේ අතින්. …/

      අප්පටසිරි..උඹ මැකෑනික් වැඩත් දන්නව එහෙනං...හෙහ්..හොඳා...හොඳා...:)

      Delete
  11. හිහ් හිහ් හී.............අපේ ගෙදර තියනවා මගේ පරණ රේඩියෝ කෑලි, පරණ සහ අලුත්, කොම්පියුටර් කෑලි, (මාසෙකත එකක්වත් එනවා කාගේ හරි කොම්පියුටරයක් පිනට හදාගෙන යන්ඩ) අහක දාපු CD/DVD 200ක් විතර, විවිධ වයර්, ඔය කිව්ව සියලුම අමතර කොටස් වර්ග ඇතුළු, ජලාපවහන උපාංග, ඔව්වා දාලා තියෙන්නේ, මිලිමීටර් 81 මෝටාර් විදිනයක්, පිටරටින් එනකොට බහා එවන අඩි 6 ක් විතර දිග, අඩි 2 1/2 ක් විතර උස, එපමණම පළල පෙට්ටියක. හැමදාම ඕකට ගෝරි, ඔව්වා පරණ යකඩ වලට දීලා ප්ලාස්ටික් බේසම් ගම්මු කියලා. එක දවසක් මම කිව්වා මම මැරිච්චහම ඔව්වා මගේ වලට දාන්ඩ, මට ඒ ලෝකෙදි හරි වැඩක් ගන්ඩ කියලා.

    මමත් දුරස්ථ පාලක ක්‍රමයට තමා ගේ හැදුවේ. යුද්දේ මැද්දේ මාස කීපයකට වරක් ඇවිත් බැලුවම බාසා ව බිත්තියකට හේත්තු කරලා වෙඩි තියන්ඩ හිතෙනවා. ආයේ කඩනවා ආයේ හදනවා. අපරාදේ බැංකුවෙන් ණයට ගත්ත සල්ලි.

    ReplyDelete
    Replies
    1. හි හි හැම පිරිමියෙක්ම අත් හැරීම ඉගෙන ගතයුටුයි. කෙහෙල්මල් යකඩ ගොඩවල් තව වලෙත් දාන්න..

      Delete
    2. ඉතින් ළමයෝ වලේදී මගේ තනියට එව්වා නැතුව කොහොමද? වලේ නිකම් ඉන්න බැහැනේ මොකක් හරි කොරන්න එපැයි කම්මැලිකම යන්න.

      Delete
    3. ඔය ඉලෙක්ට්‍රොනික් ලෙඩේනං මටත් තියෙනව. එක්දාස් නවසිය බර ගණංවල මොනිටර්, සීපීයු, කැසට් කෑලි, හාඩ් ඩිස්ක් අරව මේව කිසිම ප්‍රයෝජනයක් නැතුව ගොඩ ගහගෙන ඉන්නෙ.

      Delete
    4. ඔය පයිප්ප කෑලි, ඇණ මුරිච්චි වගේ ඒවා එකතු කරන එක පිරිමි අපිට තියෙන ලෙඩක්. හරියට අර අපේ නෝනලා සුකුරුත්තන් මාල කරාබු එකතු කරනවා වගේ. මං ගාව තියෙන කොම්පියුටර් කෑලි, පයිප්ප කෑලි එහෙම බැලුවොත් 1210 ලොරියක් ඕනේ ඒවා අදින්න :D

      Delete
    5. විචා,

      / යුද්දේ මැද්දේ මාස කීපයකට වරක් ඇවිත් බැලුවම බාසා ව බිත්තියකට හේත්තු කරලා වෙඩි තියන්ඩ හිතෙනවා. /

      අයියෝ බාස්ලා එක්ක වැඩ කරන්ඩ ගියාම ඔලුව නරක් වෙනව. ආය අපි කියන මොකවත් පයිසෙකට ගණං ගන්නෙ නෑ. මම මෙහෙ ඉඳල කිව්ව හරි හරි සෑර් කියල උංට ඕන එක උං කරන්නෙ..

      අපෙ උන්දැ එක්ක හැබයි සෙල්ලං නෑ...හවසට පඩි දුන්න..හෙට ඉඳල වැඩට එන්න ඕන නෑ බාසුන්නැහේ කියල කිව්ව එච්චරයි. මම ඒ කාලෙ නිකමට ගණං හදල බැලුව...ඔය පොඩි ගේ කෑල්ල ගහන්ට හෙඩ් බාස්ල වැඩ කරල තියනව දහඅට දෙනෙක්..බාස්ලා තිස්තුනයි. ගෝලයො එකසිය පණහ පැන්නම මම ගණං තියාගන්න එක අතෑරල දැම්ම. අන්තිමට අහල ගං හතක බාසෙක් හොයාගන්ට නැතුව එයයිලගෙ අක්කලගෙ ගමෙං ( විචාලගෙ ගම කිට්ටුව...බුලත් කොහුපිටියටත් එහා. ඒ හරියට කියන්නෙ දේදුගල ) බාස්ල ගෙනල්ල වැඩේ ඉවරයක් කරගත්තෙ.

      Delete
    6. බුලත්කොහුපිටිය දේදුගල පාර කියන්නෙ ලංකාවෙ ලස්සනම දර්ශන තියෙන පාරක්.

      Delete
    7. අනිවා.. දේදුගල පැත්තෙ තියෙනවා අති දර්ශනීය, මනෝනන්දනීය කුඩා දියඇලි කීපයක්ම.. නාන්ට, බොන්ට, බොන ගමන් නාන්ට, නාන ගමන් බොන්ට එහෙම කියාපු තැන්..

      Delete
    8. දේදුගල පාරෙ ලස්සනම දේදුගලින් එහාට කොටස. 'රිටිගහ ඔය නිම්නය' දිගේ තමයි ඔය පාර තියෙන්නෙ.
      බූර දැන් මිනි හයිඩ්‍රෝ පවර් වැඩ හින්ද නාන තැන් අප්සෙට් වෙලා තියෙන්නෙ. ඔය පාරට අනික් පැත්තෙ තියන 'වේ ඔය නිම්නය' දිගේ ගියොත් ඕලු ඇල්ලට යන්න පුළුවන්. ඒකෙ නාන්න නියම තැන් ටිකක් තියනව වතුර මාර පැහැදිලියි මෙන්න මේ නොම්බර දෙකෙන් එකකට කතාකරල ඔයේ වතුර මට්ටම ගැන වගේම කෑමත් ලැහැත්ති කරන්න කියල නාන්න යන්න පුළුවන් ඕලු ඇල්ලත් ලගමයි මේ පොඩි හෝටලේ තියෙන්නෙ.
      036-3367292
      036-4900090

      Delete
    9. ඉන්දික,

      / බුලත්කොහුපිටිය දේදුගල පාර කියන්නෙ ලංකාවෙ ලස්සනම දර්ශන තියෙන පාරක්./

      හරියට හරි බං....ඔය පාරෙ මැදක් හරියෙ තියනව දිය ඇල්ලක්..පාර කිට්ටුවම...මහ වැහි කාලෙට පාරට උඩිං වතුර වැටෙනව පාරත් එක්ක තෙමෙන්ට ...පින්න අස්සෙන් දේදුණු පේනව ඉර එළියට..මාර ලස්සනයි......එක පාරක් අපි ගිය වෑන් එකේ මම හිටපු තැන ජනේලෙ හරියට වහන්න බෑ..තෙමුණ නොසෑහෙන්ට...:)

      Delete
    10. ඔමා,

      / හි හි හැම පිරිමියෙක්ම අත් හැරීම ඉගෙන ගතයුටුයි. /

      එහෙමනම් පිරිමි ඉස්සෙල්ලම අත අරින්නෙ බාර්යාවො...කැමතිය?

      Delete
    11. බූරා,

      ඔය දේදුගල විසිවන සියවසේ මුල් භාගයෙදි විතර සුප්‍රසිද්ධ කඩ මණ්ඩියක්. ඒ අහල පහල නිෂ්පාදනය වෙන තේ රබර් එහෙම අරගෙන කොළඹට පටවන මධ්‍යස්ථානය විදිහට දේදුගල ජනප්‍රියයිලු ඒ කාලෙ. අපෙ හාමිනේගෙ අක්ක බැඳපු මස්සිනාගෙ අප්පච්චි තමයි දවසක් මා එක්ක කිව්වෙ.

      තවම තියනව කළුගල් වලින් හදපු ඒ කාලෙ මාරකට් එක කැලේට ගිහිල්ල. ඒ වල් බිහිවෙච්චි ගොඩනැඟිල්ලෙ හැටියට මහා පරිමාණයෙ වෙළඳාමක් එතන කෙරෙන්ට ඇති කියල හිතන්ට පුලුවන්. මොනතරම් සුන්දර අතීත කතා ඔය වල් බිහිවෙච්චි කලුගල් කණු අස්සෙ හැංගිලා ඇතිද?

      Delete
    12. කම්මල,

      / දේදුගල පාරෙ ලස්සනම දේදුගලින් එහාට කොටස. 'රිටිගහ ඔය නිම්නය' දිගේ තමයි ඔය පාර තියෙන්නෙ. /

      උඹ ඔය කියන්නෙ දොළොස්බාගෙ හරහා නාවලපිටියට එන්ට පුලුවන් පාර ගැනද? අපෙ උන්දැගෙ අක්කා උගන්වන්නෙ පැළැම්පිටිය ඉස්කෝලෙ. ඒ ඉස්කෝලෙ තියෙන්නෙ ඔය දොළොස්බාගෙ පාර අයිනෙ.

      මම අන්තිමට දේදුගල ගියේ අවුරුදු අටකට නමයකට වගෙ ඉස්සර. ඒ පාර අපි ඔය නාවල පිටිය පැත්තෙන් ආපහු එන්න ඇවිල්ල මඟට ගිහිල්ල ආපහු කරවගෙන ගියා පාර සවුත්තු නිසා. දැන්නම් ඒ පාර අගේට හදලලු. අවුරුදු තුන හතරකට ඉස්සෙල්ල අපෙ උන්දැගෙ ගෙදර කට්ටිය දේදුගල ගිහිල්ල ඔය නාවලපිටි පාරෙන් ආපහු ආවයි කියල මා එක්ක කිව්ව.

      Delete
    13. තම්මලේ.... පුළුවන් නම් යන පාර හරියටම දානවද...... වෙලාවක විසිට් එකක් දාන්න...

      Delete
  12. ලංකාවෙන් ඇවිත් අවුරුද්දකට පස්සේ ලංකාවට යද්දී අපේ ගෙදර එවුනුත් 5S කරලා. කොයිතරං හොඳට කරලද කියනවනම් ඩුබායි වලින් ගෙන්නගත්තු විසි තිස් දාහක් වටිනා හොඳ ටූල් බෑග් එකකින් ඉතුරුවෙලා තිබ්බේ ඒ ටූල්ස් දාන බීෆ් කේස් එක විතරයි. ඊට අමතරව තවදුරටත් කියනවනම් හදිසියට අඳින්න කොට කලිසම් කෑල්ලක්වත් නෑ.

    ඔය NON RETURN වෑල් වැඩේ හුඟක්ම විශ්වාසදායී නැහැ රවී. දැන් තියන වෑල් හරි ඉක්මනට සවුත්තු වෙනවා. ඊට පස්සේ දන්නෙම නැහැ අපි ගමටම වතුර බෙදනවා බිල් ගෙවාගෙන. හොඳම වැඩේ මැනුවලි ටැංකියේ වතුර පාවිච්චි කිරීම හෝ මේන් ලයින් එක කෙලින්ම ටැංකියට දීල බෝල් වැළ්ව් එකක් හරහා පාලනය කරගැනීම කියලයි මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය ටූල්ස් මොනවට ගන්න ඒවද කියල කියන්න ඇහැකිද? :D

      Delete
    2. සාමාන්‍ය ඇන මුරිච්චි ගලවන එව්වා බන්.. වාහනේක එන්ජිමක් ගලවන්න තරම් ටූල්ස් තිබ්බ මා ගාව ලංකාවේ ඉද්දි. දැන් එකක්වත් නෑ බෙහෙතකටවත් ගන්න.. ගිය වතාවේ ලන්කාවට යද්දී හෑන්ඩ් ග්‍රිල් එක පවා මෙහෙන් අරන් ගියේ අවශ්‍ය වෙලාවට වැඩක් කරන්න. හැබැයි ආයේ එනකොට ඔක්කොම්ම ආයේ අරන් ආව.. දාල ආවොත් විනාසයි.. මම ලංකාවේ ඉද්දි වීඩියෝ වැඩ කරාපු Panasonic MD 9000 වීඩියෝ කැමරා එක තමයි මේ මෑතක ඉඳන් ගෙදර එවුන්ට ඉසරදයක් වෙලා තියෙනේ. ඒකත් කාට හරි දීල දාන්න ෆුල් ට්‍රයි අපේ ගෙදර එවුන් . නිකම් දුවිලි වැදි වැදී තියන එකේ කාටහරි දීල දැම්මනං ඉවරයිලු. මම ලංකාවේ ඉද්දි DVD බලපු DVD ප්ලේයර් එක පවා කාටදෝ දීල දාල කියහල්ලකෝ බලන්න කෙනෙක් නැහැ කියල. දානය හොඳ පුරුද්දක්. එත් එව්වා මට ඕන උන දවසට ආයේ මම එපැයි සල්ලි දීල ගන්න.

      Delete
    3. ගෙදර නොම්බරේ දියං කැමරාව ඉල්ලගන්න.

      Delete
    4. අම්බලං.

      / ඔය NON RETURN වෑල් වැඩේ හුඟක්ම විශ්වාසදායී නැහැ රවී. දැන් තියන වෑල් හරි ඉක්මනට සවුත්තු වෙනවා. /

      දෙයියංගෙ පිහිටෙං මචං අපිටනම් ඊට පස්සෙ අවුලක් වුනේ නෑ....දැං අවුරුදු තුනක් වගෙ වෙනව...:)

      Delete
  13. විසේස නිවේදනයයි

    තෙමිච්ච සාරි ටික වේලෙන්න තව කල් යන බැවින් ඒ ගැන ලිවිම සෑහෙන්න කල් යන බැව් රවී තුමා විසින් මේ දැං සුළු මෝතකට පෙරාතුව පකාස කරන ලදී..

    සැ යු
    සාරි කළු පුස් අල්ලා ඇත

    ReplyDelete
    Replies
    1. සාරිය පැත්තක දාල අර කඩපු DD බෝතලේට මොකද උනේ කිවුවොත් ඇති.

      Delete
    2. මහේෂ්,

      එහෙම වෙන්නෙ නෑ බොලේ..ලඟදිම ලියන්නං..ලඟදිම ලියන්නං...:)

      Delete
    3. ප්‍රසන්න,

      අඩේ එහෙම එකකුත් තියනව නේද බාගෙට ලියපු...අම්මප මට වෙලාවකට හිතෙනව උඹල වගෙ හිත හොඳ පාඨකයො මට හම්බවෙච්චි හින්දම හොඳයි නැත්තං බලන්ට තිබ්බ වැඩේ කියල....ස්තූතියි බොලාට බොහොත්සේ.....

      Delete
  14. අපේ ගෙදරත් ජලනල සිස්ටම් එකත් හැදුවේ මමම තමයි...
    පාරේ ලයින් එකයි ලි‍‍ඳෙන් එන වතුරයි වෙන වෙනම ටැංකි දෙකකට අරන්, උයන්න කරන්න ලි‍ඳේ වතුරත් අනිත් වැඩට අනිත් වතුරත් එන විධියට වගේම, ඒ ලයින් දෙක තුනම ඔනෙ විදියට මාරුකරගන්න පුළුවන් විදියට වෑල්ව් හැටහුටහමාරක් දාලා තියෙන්නේ... අපරාදෙ කියන්න බෑ බබා වගේ වැඩකරනවා...
    හැබැයි පොඩි පරහකට තියෙන්නේ, ඒ ඒ වෙලාවට අරින වහන වෑල්ව් මොනවද කියලා දන්නේ මමම තමයි... වැඩේ පොඩ්ඩක් ගැස්සුනොත් ජලාහුටාම තමයි...
    අපේ වයිෆ් තුමී නම් මේගැන කලින්ම අනාවැකියන් කියලා තියෙන්නේ.
    "හදිස්සියේවත් ඔයා මළොත් ගෙදර අනිත් එවුන් මැරෙන්නේ වතුර නැතිව" කියලා...

    ReplyDelete
    Replies
    1. ඔය වගේ වැඩ ඔහොම ලේසියෙන් කරන්න ගියාම තමයි අවුල් වෙන්නෙ. ඔය රවී අයියල වාරිමාර්ග කරනව වගේ ප්ලෑන් ඇඳල, ප්ලොට් කරන ඕව කරන්න ඕන. රවී අයිය ආපුවාම කියල දෙයි ඉතුරු ටික. හැක්..

      Delete
    2. අපේ අක්කලගෙ ගෙදරත් ඔහොමයි බොලවු.. ළිඳේ වතුරෙන් ටැංකිය පුරවන්ට, මේන් ලයින් එකෙන් ටැංකිය පුරවන්ට, මේන් ලයින් එකෙන් ටැංකිය නොපුරවා කෙලින්ම පයිප්පවලට වතුර ගන්ට ආදී වශයෙන් නානාප්‍රකාර වෑල්ව් ගොඩයි.. තව වෑල්ව් එකක් හයිකරලා, ළිඳේ වතුර මේන් ලයින් එකට යවලා, වතුර කපපු වෙලාවට අහල පහල ගෙවල්වලට ළිං වතුර ටිකක් සපයලා ගානක් කපාගන්ට ක්‍රමයක් හොයාගන්ට බැරිවෙයිද කියලා අහන්ටෝනැ මස්සිනාගෙන්..

      Delete
    3. මින්,

      / "හදිස්සියේවත් ඔයා මළොත් ගෙදර අනිත් එවුන් මැරෙන්නේ වතුර නැතිව" කියලා… /

      ඒක නියම කතාව...හිනාව ඉස්පොල්ලෙ ගියා මගෙ...බොලාගෙ හාමිනෙත් නියම කතා කියන්නෙ...හෙහ්,හෙහ්..

      ඒයි මින්දද ඒකට මෙහම කරපං උඹේ අන්තිම කැමති පත්තරේ හැටියට ඔය එක එක වෑල්ව් වල පාවිච්චි වෙන්නෙ මොනවටද කියල සවිස්තර රූප සටහනක් ඇඳල වතුර ගලන දිශාව එහෙම පැහැදිලිව ඊතල දාල ළකුණු කරල තියපං....:)

      Delete
    4. ප්‍රසන්න,

      අන්න හරි බං මම කියල දෙන්නං ප්ලෑන් එකක් ඇඳලම...:)

      Delete
    5. බූරා,

      මස්සිනාට කියපං ඊට අමතරව නාන වතුර ආපහු ළිඳට යවල වතුර ප්‍රතිචක්‍රීකරණය කරන්ට ක්‍රමේකුත් හදන්ටෙයි කියල....:)

      Delete
  15. තෙමිච්ච ඔසරි, පිළිස්සුන කුකුල්ලු කපු DD බෝතල්...කාල වරෙන්කො ඉතින්!

    ReplyDelete
    Replies
    1. ඒ විතරක්නං මදෑ, පිච්චිච්ච බණ්ඩක්ක ඇතිලි, ක්ලියෝපැට්ටල, නිල් කට්රොල් මල් etc....

      Delete
    2. උදය සහ ප්‍රසන්න,

      හරි හරි බොලව්…. බැගෑපත්ව වරද පිළිගනිමි..කොයි වෙලෙත් ඕකම කියල මගෙ හිත රිද්දන්ට එපල්ල....හැකි විගස සියලු පොරොන්දු ඉටු කරන්නෙමි.

      Delete
  16. I have been to Nillambe meditation centre a few times when I was in the uni. I googled it and could see they are still functioning v.well. Thanks for refreshing the memories Ravi.

    ReplyDelete
    Replies
    1. Ano, I have been there too about 25 or so years back. Not to meditate but to bring back one of my friends who had gone there to do meditating. Of course meditating and gaining the ability to control your mind is very healthy but the problem was he has gone after his girl friend ended a long lasting affair with him and married someone else....:)

      It's story for another day of course....:)

      Delete
  17. පයිප්ප බසුන්නැහේ.අපේ ඔෆිස් එකෙන් කරන්නෙත් පයිප්ප වැඩ තමයි හැබැයි DI පයිප්ප.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      මොකක්? D.I. පයිප්ප? ඒ මොනවටද බං එව්ව දාල තියෙන්නෙ? ඔව්ව වැඩිපුරම දාන්නෙ මළ අපවහන පද්ධතිවලට නෙවද?

      Delete
  18. දැන් අපිට බණ්ඩක්කා හොද්ද බලන අතරේ තෙමිච්ච සාරි වලට මොකද වුනේ කියලත් හිතන්න වෙනවා එහෙනම් ඈ.

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      මල්ටි ටාස්කිං දිනේෂ්...මල්ටි ටාස්කිං...:)

      Delete
  19. වයිපරේගේ සාරි තෙමුව නේද..මෙහෙවු සුවාමි පුරුසයන්ට තලන්ට ඕනෑ මඩු වල්ගෙන්

    ReplyDelete
    Replies
    1. ඩබ්.කේ,

      හිතල කරපු දෙයක් නෙවෙයිනෙ බාං..මඩු වලිගවලින් තලන එක හරිද මං අහන්නෙ... :(

      Delete
  20. 5S නේද....? 5S ගැන......අ එක්කො ඕන්නෑ...:)

    ReplyDelete
    Replies
    1. කසුන්,

      ඒ මොකෝ ඕන නැත්තෙ? ...:)

      Delete
  21. මං දන්නව.. මොකද උඹ මේ කතාව කොම්පිලිට් කරන්නෙ නැතුව පඳුරු තල තලා ඉන්නෙ කියල.. බයේ බයේ... මොකද අක්කන්ඩි මේක බලනව... දැං ඔය තෙමිච්ච සාරි ටික එකින් එක එව්වයෙ තිබුණු මෝස්තරවල ඉඳල අක්කන්ඩිට ආයෙ මතක් වුණාම උඹ ගෙදර ගොහිල්ල අවරයි... :-p

    ReplyDelete
    Replies
    1. ජනූ,

      පිස්සුද බොල...උන්දැ මේ දවස්වල මෙහෙ ඇවිල්ල ඉන්නෙ..මොන බ්ලොග් බැලිල්ලක්වත් නෑ අර කොහාටද මොනවද ගහපු මොකාද එකා වගෙ රට හැමතැනම ඇවිදින එකයි වැඩේ....මටත් ඉස්පාසුවක් නෑ ඔන්න ඒ හින්ද....:)

      Delete
  22. හයි ප්‍රේෂර් වතුර පාරකින් නාගන්නකොට මාර සනීපයි තමයි.

    ඔය 5S ගැන ඒ දවස් වල කවුදෝ කවියක් ලියලා තිබ්බා. ඒකෙ තිබ්බ විදිහට විසිකරන්න කියලා තෝරපු හැම දෙයකටම මතක සටහනක් තියනවා. ඉතිං කොහොම විසි කරන්නද වගේ කියලා තමා තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. තිසර,

      / හයි ප්‍රේෂර් වතුර පාරකින් නාගන්නකොට මාර සනීපයි තමයි. /

      හෙහ්,හෙහ්..සැන්සිටිව් තැං ඔලට අල්ලගත්තම මාර ආතල්...:)

      / ඒකෙ තිබ්බ විදිහට විසිකරන්න කියලා තෝරපු හැම දෙයකටම මතක සටහනක් තියනවා. ඉතිං කොහොම විසි කරන්නද වගේ කියලා තමා තිබ්බේ. /

      අනවශ්‍ය දේවල්නෙ බං විසිකරන්න කියල තියෙන්නෙ...මතකයන් අවදිකරවන දෙයක් කියන්නෙ අනවශ්‍ය දෙයක් නෙවෙයි කියල අර්ථකථනය කරමු. එතකොට 5S එකට අවුලකුත් නෑ. අපිට අවුලකුත් නෑ. මගෙ පරණ ලට්ට ලොට්ට පුරවල තියෙන පෙට්ටගං අස්කරල ඕන නැති එව්ව විසි කරල දානට වහාම ක්‍රියාත්මක වන පරිදි කියල අපෙ උන්දැ නියෝග කලාම මම ඔය තර්කය ගෙනල්ල තමයි බේරෙන්නෙ...:)

      Delete
  23. බලන් ගියාම අපි ඔක්කොම පයිප්ප බාස්ල නොවැ. මා ගාවත් එකතු කරගෙන ඉන්න පයිප්ප කෑලි වයර් ඇන කෑලි කසල ගොඩට යන්න නොදී පරිස්සම් කරගෙන ඉන්නෙ අමාරුවෙන්

    ReplyDelete
    Replies
    1. කම්මල,

      ඕක වෙන්නෙ බං ඔය කෑලි බෑලි කොයිවෙලාවෙ ඕනවෙයිද කියල කියන්න බෑ කියල දන්නෙ ඒ වැඩ කරන මනුස්සයෙක් විතරයි. ඔව්ව නොදන්න අයට බොහොම ලේසියි අරක වීසිකරපං මේක වීසිකරපං කියල කියන්න....:)

      Delete
  24. මුගෙ මේ කතා පිට පනින එක නවත්තන්න දාන්නෙ නන් ජම්පින් වෑල්ව් එකක් නැද්ද දන්නෙනෑ!

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      වෑල්ව් එකකින් බෑ බං ඒ වැඩේ...ඒකට තියෙන්නෙ බං අර කව්බෝයිල හරකුන්ට ගහන මද්දක් තියෙන්නෙ ( ඒකට කියන්නෙ Lasso කියල ) අන්න ඒකක් ගහල බැඳල තියන එක....:)

      Delete
  25. මේක නං නොහිතෙන්නම ඉඩ තියෙන ජංජාලයක් තමයි. කාටද මතක් වෙන්නෙ වතුර ආපහු ගලයි කියල.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      Thinking out of the box කියල තියෙන්නෙ අර එකක්. ( මංජුසාවෙන් පරිබාහිර චින්තනය )…...අන්න ඒ වගෙ ඔය ගැන හිතෙන්නෙ Thinking out of the tank පුරුදු වෙච්චි කෙනෙකුට විතරයි...:)

      Delete
  26. අපේ බිරින්දෑත් වැඩිය කියන ඔක්කොම විසික කරනවා. මම බොහොම අමාරුවෙන් කියල කියල තියාගන්නවා ෂෙඩ් එකේ ඕන දේවල්. මෙයට බයිසිකලේ හරි මොකක් හරි ගන්න බැරි වුනොත්. ඉවරයි ඔක්කොම විසික් කරනවා.ඒකෙ ඔය පස්සේ ඕනෑවෙයි කියල කොම්පුටර් කෑලි , වයර් ජාති , ස්ක්‍රින්ස් පයිප්ප කෑලි ඔක්කොම තියන් හිටිය. මෙන්න ලංකාවට ගිහින් ඇවිත් බලන කොට ඔක්කොම විසික් කරලා.
    ජල නල වැඩේ නම් හදිසියකට උනත් මෝටරයක් හයි කරලා ලිඳෙන් වතුර ගන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. අජිත්,

      ළිඳක් නෑ අජිත් අපේ ගෙදර..මේ පර්චස් 12 ක විතර පොඩි ඉඩමක්නෙ. ගේ හදල, සෙප්ටික් ටෑන්ක් එක දාල, මෑන් හෝල් හතර පහක් දැම්මම තව මොකටවත් ඉඩක් නෑ..

      කොටිම්ම මම බොහොම ආසාවෙන් හිටිය අර පරණ හැඩේ ගඩොලින් ආසනයක් වගෙ බැඳල ( කපරාරු නොකර ) ඒක උඩ අඩි දෙකක් විතර උස ගල් බුදු පිළිමයක් තියන්න. ඒකටවත් ඉඩක් නෑ මිදුලෙ...:)

      Delete
  27. ආ..... ලොකු මහත්තයා අළුත් අවුරුද්දේ වැඩ අල්ලලා තියෙන්නෙ.....
    සුබ නව වසරක් වේවා....
    කතා ටික ඔක්කොම පට... පට... ගාලා දාන්න ලැබේවා....

    ReplyDelete
    Replies
    1. ජෙනරල්,

      අප්පට සිරි දැක්ක කල්..ඉතිං? ඉතිං ?

      ඔබටත් සුබ නව වසරක්!!!

      Delete
  28. අපේ ගෙදරත් පයිප්ප වැඩ ඔක්කොම කලේ අපේ තාත්තා. ආරක්ෂා කරගන්න තරම් ප්‍රෙෂර් එකක් ජල සැපයුමේ නැති නිසා වැල්ව් දෙකක් දාල තියනව වෙන වෙනම, වතුර නැති වෙලාවට ටැංකියෙන් සහ අනිත් වෙලාවට ජල සැපයුමෙන් වතුර ගන්ට. හැබැයි එකක් අරින්න ඕන අනිත් එක වහල ඉවර වෙලා, එක පාරක් අපේ අක්ක එහෙම නැතුව වැල්ව් දෙකම ඇරල, ටැංකියේ වතුර ටික ආපහු ගියා මට මතකයි.

    ඒක නෙවෙයි රවී තුමා, වතුර ආපහු යනකොට මීටරේ අනිත් පැත්තට නෙවෙයිද කැරකෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මානවිකා,

      හෙහ්..මම එහෙම කිව්වට වතුර ආපහු යනකොට මීටරේ කොහාටවත් කරකැවෙන්නෙ නෑ. තිබ්බ පාඨාංකය එහෙමම තියනව...මුලින්ම ගෙනාපු මීටර්වල නම් ආපහු කරකැවුනලු. ඒත් පස්සෙ වතුර ආපහු ගියත් මීටරේ කරකැවෙන්නෙ නැති මීටර් ගෙනාවලු. එහෙමයි ඔය ගන දන්න මගෙ යාලුවෙක් කිව්වෙ.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...