Saturday, April 9, 2016

125. ජීවිතය පස් ගොඩක... සහ තවත් කතා

බිත්තියට කෝපි කෝප්පයක්

වැනිසියේ පිහිටි, කවුරුත් හොඳහැටි හඳුනන කෝපි වෙළෙඳසලකි. මාත් මගේ මිතුරාත් දිනක් කෝපි බිඳක් තොලගානු පිණිස එහි ගොඩ වීමු.

අප කෝපි රස විඳිමින් එදිනෙදා රටතොට තොරතුරු පිළිබඳ සල්ළාපයෙහි යෙදී සිටියදි, වෙළෙඳසලට ඇතුළු වූ පුද්ගලයෙක් අප ළඟ ම තිබූ හිස් මේසයේ අසුන් ගත්තේය. සේවකයෙකු ඇමතු ඔහු සිය ඇණවුම මෙසේ ලබා දුන්නේය.

“කෝපි කෝප්ප දෙකයි. එකක් බිත්තියට...”

අපට එය අමුතු ඇණවුමක්!

කතා බහ අතරේ ම එදෙසට වරින් වර ඇස කන යොමු කරන්නත් අපි වග බලා ගතිමු. ඇණවුම කෝපි කෝප්ප දෙකක් වුවත් ඔහුට ලැබුණේ එකක් පමණි. නමුත් ඔහු දෙකකට ගෙවීම් කළ අයුරු ද අපි දුටුවෙමු.

ඔහු පිටව ගියේය. අනතුරුව සේවකයා ‘කෝපි කෝප්පයක්’ යන වදන් පෙළ සහිත කඩදාසි කැබැල්ලක් ඒ අසල වූ බිත්තියෙහි රැඳවූයේය.

අප තවදුරටත් එහි රැඳී කෝපි රස විඳිමින් සිටින අතර වෙනත් මිනිසුන් දෙදෙනෙකු වෙළෙඳසලට ඇතුළු විය.

“කෝපි කෝප්ප තුනක්. එකක් බිත්තියට...” නැවතත් පෙර පරිදීම අමුතු ඇණවුමක්!

ඔවුනට කෝපි කෝප්ප දෙකක් ලැබුණු අතර කෝපි පානය අවසානයේ තුනකට ගෙවීම් කළ ඔවුහු පිටව ගියෝය. මෙවරද පෙර පරිදීම සේවකයා ‘කෝපි කෝප්පයක්’ යන වදන සහිත තවත් කඩදාසි කැබැල්ලක් බිත්තියෙහි රැඳ වූයේය.

කුතුහලයෙන් මැඩී ගියත් එය විසඳාගත හැකි මගක් නොවීය. එම ස්ථානයට ඊට පෙර ගොඩ වැදී නොමැති අපට ඒ පිළිබඳ ව කාගෙන් හෝ විමසන්නට දිරියක් ද නොවීය. එබැවින් ගාස්තු ගෙවූ අපි පිටව ආවෙමු.

දින කිහිපයකට පසු ව එළඹුණු දිනෙක නැවත වරක් පෙර කී වෙළෙඳසල වෙත යාමට අවස්ථාවක් ලදිමු. කඩදාසි කැබැල්ලේ කතාව අමතකව සිටි අප කෝපි රස විඳිමින් සිටින අතරේ ඇඳුමෙන් පැළඳුමෙන් බොහෝ දුප්පත් පෙනුමක් ගත් පුද්ගලයෙක් වෙළෙඳසලට ඇතුලු වූයේය. හිස් මේසයක් බලා අසුන්ගත් ඔහු පෙර කී බිත්තිය දෙස හොඳින් බැලුවේය. අනතුරුව සේවකයකු අමතා “බිත්තියෙන් කෝපි කෝප්පයක්”යි පැවසුවේය.

වෙනත් ඕනෑ ම පාරිභෝගිකයෙකුට කෝපි පිළිගන්වන යම් ආකාරයක් වේද, ඒ ආකාරය ම පිළිපදිමින් සේවකයා ඔහුට කෝපි කෝප්පය පිළිගැන්වූයේය. ඔහු කෝපි පානය අවසානයේ ගෙවීමක් නොකර පිටව ගියේය.

පුදුමයෙන් යුතු වූ සිතින් හා එයින් ම උස් වූ නෙතින් යුතුව අපි බලා සිටියෙමු. ඒ මිනිසා පිටව ගිය පසු පෙර කී සේවකයා බිත්තියේ වූ ‘කෝපි කෝප්පයක්’ යන වදන රැගත් එක් කොළ කැබැල්ලක් ගලවා කසළ බඳුනට දැමුවේය.

එයින් පසු පුදුමයට තවදුරටත් ඉඩක් නොවීය. සියල්ල සක් සුදක් සේ පැහැදිලිය.

සෑහෙන තරම් මුදල් අත නොගැවසෙන මිනිසුන් හිඟන්නන් බවට පත් නොකර ඔවුන්ගේ ඕනෑකම ගෞරවනීය ආකාරයෙන් සපුරා දෙන්නට නගර වැසියන් තබා ඇති කුඩා පියවර අපේ නෙත් තෙත් කරවන්නට සමත්විය.

තමන්ගෙන් උපකාරය ලබන්නා කවුරුදැයි නොදැන උපකාරයකට සම්මාදම් වීම, ඒ සඳහා තෙවැනි පාර්ශ්වයක් වෙත විශ්වාසය තැබිය හැකි වීම සහ තමන්ට උපකාර වන තැනැත්තා හමුවේ මුව නොසෑහෙන සේ ස්තුති කිරීමේ උවමනාවක් නොමැති වීම ආදී අපට ආගන්තුක වූ කරුණු ගැන සිතමින් ‘බිත්තියට කෝපි කෝප්පය’ බැගින් පිරි නමා අප දෙදෙනා පිටව ආවේ ලොව තිබෙන වඩා ම ප්‍රියමනාප බිත්තිය එය විය යුතු යැයි එකිනෙකාට පවසා ගනිමිනි.




පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි




***********************************



ජීවිතය පස් ගොඩක

දිනක් කොටළුවකු ගොවිපොළෙහි වූ භාවිතයෙන් අත්හැර දමා තිබූ ලිඳකට වැටිණි. අසරණ සතා, ජීවිතය යදිමින් කරන යාතිකාවක්දැයි ලිඳකට වැටුණු පසු ඕනෑ ම කොටළුවකුට නගන්නට වන වෙන අන් හඬක්දැයි පැහැදිලිව පැවසිය නොහැකි හඬක් නගන්නට වන්නේය.

ඒ ඇසී ලිඳ අසලට ආ ගොවියා, මරණ බයෙන් මුසපත් ව දඟලන සතා පිළිබඳ ව කණගාටුවෙන් යුතුව කළ යුත්තේ කුමක්දැයි කල්පනා කරන්නට වන්නේය. ඇතිව තිබූ තත්ත්වය පිළිබඳ ව සළකා බැලූ ඔහුගේ අවසාන නිගමනය වූයේ, ලිඳ සේම මහලු කොටළුවාත් තවදුරටත් කාලය නාස්ති කරමින් සිතා බැලිය යුතු දේ නොවන බවයි.

අනතුරුව අසල්වැසියන් කිහිප දෙනෙකු කැඳවා සිද්ධිය විස්තර කළ ඔහු, කොටළුවා පත්ව ඇති දුර්භාග්‍ය සම්පන්න ඉරණමෙන් හැකි ඉක්මනින් නිදහස් කරනු පිණිස කසළ පස් ගෙනවිත් පුරවා ඒ පැරණි ලිඳ වසා දැමීමට උදව් වන මෙන් ඉල්ලා සිටියේය.

තමන්ගේ සිරුර මතට කසළ පස් වැටීම ඇරඹෙත් ම කොටළුවා මහත්සේ බියටත් කලබලයටත් පත් වූයේය. ඔහුට සිය යාතිකාව හෝ නගමින් හිටි අන් හඬ හෝ අමතක ව ගියේය. දිගින් දිගටම එසේ සිදුවත්දී එක්තරා සිතුවිල්ලක් එක්වන ම විදුලියක් සේ කොටලු සිතේ පෙනී නොපෙනී ගියේය. පස් ගොඩක් වැටෙන වාරයක් වාරයක් පාසා එය ගසා දමා ඒ මතට ම ගොඩවීම තමන්ට ඇති එක ම ගැලවීම බව ක්‍රමයෙන් ඔහුට ඒත්තු යන්නට විය.

ඉඳින්, පස් වැටෙන හැමවිට ම, ‘ගසා දමන්න, ඒ මත ම නැගී හිටින්න!... ගසා දමන්න, ඒ මත ම නැගී හිටින්න!... ගසා දමන්න, ඒ මත ම නැගී හිටින්න!...’යි‍ තමන්ට ම පවසමින්, ධෛර්යය උපදවා ගත් මහලු කොටළුවා සිය කාර්යයෙහි වෙහෙස නොබලා නියැලුනේය.

හති දමමින්, පිඹිමින්, බරැති පස් ගොඩවල් ගසා දමමින් අසරණ කොටළුවා ජීවිතය වෙනුවෙන් ඒ වයසට දැරිය නොහැකි තරම් වෙහෙස වෙමින් සිටියේය. මරණය පෙනි පෙනී, බියෙන් වෙව්ලා යමින් වුවද, ‘ගසා දමන්න, ඒ මත ම නැගී හිටින්න!...’ යන සිතුවිල්ලේ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ක්‍රියාත්මක වෙමින් උන්නේය.

වැඩි වේලා ගත වන්නට මත්තෙන් පළමු විජයග්‍රාහී පියවර ලිං පඩිය මත සටහන් කරන්නට ජයග්‍රාහකයාට හැකිවිය. සිය කාර්යයෙහි නියුතුව සිටි මිනිසුන් පුදුමයෙන් පුදුමයට පත් කරමින්, පණ පිටින් වැළලීයාමට හේතුවන්නට තිබූ දෙයින් ම යළි ජීවිතය උපදවාගෙන මහ‍ පොළොව මත සතර පය ගසා නැගී සිටින්නට කොටළුවාට එයින් පසු තත්පරයක්වත් ගත වූයේ නැත.




පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි


********************************


මී උගුලකි - මර උගුලකි

ගොවියාත් ඔහුගේ බිරිඳත් යම්කිසි පාර්සලයක් දිග හරිනු, නිරතුරු විමසිල්ලෙන් පසු වූ මීයා බිත්තියෙහි වූ සිදුරක් තුලින් දුටුවේය.

‘ඒක මොන වගේ කෑමක් වෙන්න පුළුවන්ද?’

කවර කෑමක්ද! එය මී උගුලකි. ඒ බව වටහා ගත් සැනින් මීයා බියෙන් ත්‍රස්ත විය.


වහ වහා මිදුලට දිවගිය ඔහු කෑ මොර දෙන්නට වන්නේය.

“මී උගුලක්! මී උගුලක්! ගොවියාගේ ගේ අස්සේ මී උගුලක්!”

කෙකර ගගා, බිම පහුරු ගාමින් සිටි කිකිළිය හිස ඔසවා බැලුවාය.

“මේ ඇහුණද? මී මහත්තයෝ... මං දන්නවා දැන් ඉතිං ඔහේ මරණ බයෙන් පණ යන්න ලංවෙලා ඉන්න වග. අපටත් කණගාටු තමා. ඒත් ඉතිං එහෙම එකක් ගෙනාවයි කියලා මට මං ගැන බය වෙන්න කාරණයක් නැහැ නේද?”යි ඇසූ ඇය නැවතත් කෙකර ගගා, බිම පහුරු ගාන්නට වූවාය.

මද වේලාවක් බලා සිටි මීයා, ඌරා දෙසට හැරී කියවන්නට වූයේය.

“මී උගුලක්! මී උගුලක්! ගොවියාගේ ගේ අස්සේ මී උගුලක්!”

මඩ ගොඩෙන් හිස ඔසවා බැලූ ඌරා මවාගත් කණගාටුවකින් යුතුව මෙසේ කියන්නට වන්නේය.

“මටත් ඉතිං දුකයි තමා මී මහත්තයෝ. ඒත් ඉතිං ඔහේ වෙනුවෙන් යාඥා කරනවා හැරෙන්න මට වෙන මොනවද කරන්න පුළුවන්නේ?”

ඌරා නැවතත් මඩ ගොඩෙහි ගිලී ගියේය.

අනතුරුව මීයා හැරුණේ එළදෙන දෙසටය.

“ඉතිං මොකද මී මහත්තයෝ? මී උගුලක් නේද? ඉතිං මොකද මං මර උගුලක අහු වෙන්න යනවද? ඈ?...” වමාරා කෑම මදකට නැවතූ ඈ උදාසීන ලෙසින් අසා, නැවතත් දෙනෙත් වසාගෙන සුපුරුදු කාර්යයෙහි යෙදෙන්නට වූවාය.

සිය අසල්වාසීන්ගේ වදනින් අධෛර්යයටත් කම්පාවටත් පත් වූ මීයාගේ හිස සොවින් බර විය. අවසානයේ මී උගුලට තනිව මුහුණ දීමට සිතූ ඔහු ගොවියාගේ නිවස දෙසට පා නැගීය.

රෑ මැදියමේ ඒ නිවස තුලින් නැගුණු ආගන්තුක හඬ කියා පෑවේ මී උගුල සිය ගොදුර අල්ලාගත් බව විය යුතුය. විමසිල්ලේ පසු වූ ගොවියාගේ බිරිඳ දිවයන්නට යුහුසුලු වූයේ වදකාර මීයාගේ මළකඳ දැක ගැනීමට විය යුතුය.

නමුත් අන්ධකාරයේ ඇය නුදුටුවාට එහි වූයේ වලගයේ කොනින් මී උගුලට හසු වූ විෂඝෝර සර්පයෙකි. වේදනාවෙන් ඇඹරෙමින් සිටි සර්පයා ඇයට දෂ්ට කළේය.

ගොවියා සිය බිරිඳ රෝහල වෙත ගෙන ගියේය. ඇය නැවත නිවසට පැමිණෙන විට උණෙන් පෙළෙමින් සිටියාය. උණට වඩා ම ගුණ පානය කුකුළු සූපය යැයි පැවසේ. ඉඳින් කුකුළු සූපයක් හදා ගැනීමට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය සපයා ගැනීමට ගොවියා සිය කෙටේරිය ගෙන මිදුලට බැස්සේය. 

කෙසේ නමුත් ඒ පානයෙන් වැඩිමනත් දෙයක් සිදු නොවූ අතර එන්න එන්න ම දුර්වල වෙමින් සිටි ගොවි බිරිඳගේ සුව දුක් විචාරීම පිණිස නෑයින් සහ අසල්වාසීන් දිනය පුරා පැමිණෙන්ට විය. ඔවුන්ගේ ආහාරය පිණිස ගොවියාගේ ආයුධයේ මී ලඟ ගොදුර වීමට ඌරාට සිදුවිය. 

අවසානයේ ගොවි බිරිඳ මිය ගියාය. මළගමට සහභාගී වූ පිරිසට ආහාර සූදානම් කිරීමේදී හරක් මස් එකතු කිරීමට ගොවියා අමතක නොකළේන් බලවත් වූ අකමැත්තෙන් යුතුව වුවද ඒ සඳහා සම්බන්ධ වීමට එළදෙනට සිදුවිය.

මෙයින් මතු, කවදා හෝ කෙනෙකු යම්කිසි උපද්‍රවයක් පිළිබඳ ව දැනුවත් කළ විට, එය ඔබට කෙසේවත් අදාළ නොවන බව සිතා අහක බලා ගැනීමට ‘ගොවියාගේ ගේ ඇතුලේ වූ මී උගුල’ ඔබට ඉඩ නොදෙනු ඇතැයි මට සිතේ.

පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි


43 comments:

  1. පළවෙනි කතාවනම් බොක්කටම වැදිලා ඉහ මොල කඩාගෙන උඩටම ගියා.. මමත් හිතාගත්තා කවදා හරි කෝපි කඩයක් දැම්මාම ඒ වගේ බිත්තියක් හදන්න ඕනා කියලා...

    හැබැයි ලංකාවේ ඕකක් දැම්මොත් බිත්තියෙන් කෝපි බොන්න හෙන පෝලිමක් නොයිඳියි කියලා කාටද කියන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. මං ප්‍රාර්ථනා කරනවා අපට ඒ කඩෙන් කෝපි බීලා බිත්තියට කෝපි කෝප්ප 10ක්වත් දෙන්න වාසනාව ලැබේවා කියලා. ඇත්තට ම තවත් දුරට හිතුවාහම අපි ප්‍රාර්ථනා කරන්න වෙන්නේ එහෙම බිත්තියක් පවත්වාගෙන යන්න අපට සිදු නොවන තැනට රට පත්වේවා! කියලා නේද?

      අන්තිමට ප්‍රාර්ථනා දෙක එකතු වෙලා විනාසයක් වෙනවා. ඒ කියන්නේ එහෙම කෝපි බොන්න මිනිස්සු ඉන්න රටක එහෙම බිත්තියක් නැති වෙන එක. හරියටම දැන් වගේ

      Delete
    2. වැරදුනා නේද ? දෙවෙනි ප්‍රාර්තනාව සඵල වුනොත් බිත්තියත් නෑ, එහෙම කෝපි බොන්න මිනිස්සුත් නෑ. දැන් වගේ නෙමේ නේද ?

      Delete
    3. //හැබැයි ලංකාවේ ඕකක් දැම්මොත් බිත්තියෙන් කෝපි බොන්න හෙන පෝලිමක් නොයිඳියි කියලා කාටද කියන්න පුළුවන්...//

      මට එහෙම හිතෙන්නේ නෑ සෙන්නා..ගොඩක් අය දනට පිනට නොදුන්නාට තමන්ගේ දුප්පත් බව පෙන්නන්න කැමති නෑ..

      Delete
    4. රූ... ඔයා ඔහොම කිව්වම මට හිතෙනවා ඒක හරි ඇති කියලා.. ඉස්සර අපි ඒ ලෙවල් කරණ කාලේ, ටියුෂන් සර්ලා දීලා තිබුනා ‍ෆ්‍රී කාඩ්, ගෙවන්න අමාරු අයට. මට මතකයි තමන් ඒ වගේ කාඩ් එකක් යූස් කරන්නේ කියලා එහෙම පාවිච්චි කරපු අය නොකියපු තරම්. කිව්වත් බොහොම ලැජ්ජාවෙන්...

      Delete
    5. //අන්තිමට ප්‍රාර්ථනා දෙක එකතු වෙලා විනාසයක් වෙනවා.// මේක ටිකක් පිස්සු කතාවක්.

      මෙහෙමනේ පළවෙනි ප්‍රාර්ථනාව කෝපි අවශ්‍ය අය ඉන්නවා ඒ අය වෙනුවෙන් බිත්තිය පවත්වාගෙන යන්නට හැකි වේවා කියලා

      දෙවන ප්‍රාර්ථනාව එහෙම බිත්තියක් පවත්වාගෙන යාමට අපට සිදු නොවන තැනට කෝපි අවශ්‍ය අය නොමැති වේවා කියලා

      අන්තිමට ප්‍රාර්ථනා දෙක කැලතිලා විනාශයක් වෙනවා

      පළවෙනි ප්‍රාර්ථනාවේ කෝපි උවමනා අයයි දෙවැනි ප්‍රාර්ථනාවේ බිත්තිය නැති කමයි එකතු වෙලා හරියට දැන් තියෙන විදිහට වෙනවා

      පිස්සු නේද? :D :D :D

      Delete
  2. මේ අක්කෙ, අර ඔහේ ලියනව කියපු නෙලුම් පෝස්ටුව කෝ? හැබෑමයි අර රවි අයියටම ගැලපෙන සම කතෘ.

    කතා ටිකත් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. නෙලුං පෝස්ටුව ලිව්වා. ඒක දවස ගානේ ලිය ලියා ඉද්දි අනිත් අයගේ පෝස්ට් පළ වෙන්න ගත්තා. ඒවායේ තියෙන්නෙත් මගේ එව්වාමයි. හැබැයි එකක් හැර. ඒක මහා එපා කරපු කොටසක්. මං ඒක විතරක් ලබන සතියේ කතාවට යටින් පසු ලිවීම කියලා පල කරන්නම්. මතක් වෙද්දිත් ඇඟ හිරි වැටෙනවා.

      Delete
  3. මේ අර මාතෘකා අංක වැරදිලා නේද? 124 දෙකක්ම තියෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ වැරදිලා. මං ඊයේ මේක ‍‍ෂෙඩියුල් කරලා දාලා තිබ්බේ. ඒවෙලාවේ වැරදිලා ඒ අංකෙම දාලා. ඉතිං දන්නවානේ. අපේ සමක තෘතුමා! එතුමා මං වැරැද්ද දකින්නත් කලින් ඔයා කිව්වාට පස්සේ හදලා. මං දැන් ටිකකට කලින් තමයි දැක්කේ වැරැද්ද පෙන්නිල්ලයි වැරැද්ද හැදිල්ලයි හරි හරි කීමයි

      Delete
  4. පළවෙනි කතාව ලස්සනයි. හිතට වැදුනා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සංජය

      Delete
  5. හරිම සිත්ගන්නාසුළු කතා කීපයක්. පළවෙනි එකට වැඩියෙන් කැමතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හසිත

      Delete
  6. හරිම අපූරු කතා ටිකක්. පළවෙනි කතාවට සංවේදී උනා..

    තවතවත් ලියන්න
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මාණි. දිගට ම කරගෙන යන්න තමයි බලාපොරොත්තුව

      Delete
  7. අපේ රටේ නම් කෝපි බිත්තියක් නොහැදුවාට දානය කියන දේ දිළින්දන්ට සෑහෙන්න ලැබෙනවා. අනික් අතට කෝපි/බත්/පාන්/තේ/ බිත්තියක් කොළඹ හැදුවොත්, යාපනේට තරම් දිග පෝලිමක් හැදෙයි.

    අනුන්ගේ දුක නොහඳුනන අයට කවදා හෝ ඒ දුක කීපගුනයකින් වැඩිවී දැනෙන බව දෙවැනි කතාවෙන් පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත විචාරක.

      දෙවැනි කතාව නෙමෙයි තුන්වැනි කතාව නේද?

      Delete
  8. බිත්තියෙන් ඩ්‍රින්ක් එකක් ගන්න පුලුවන් බාර් නැද්ද දන්නේ නෑ :)

    ReplyDelete
    Replies
    1. තියෙනවා තියෙනවා. බාර් කවුන්ටරේ පාර්ටිෂන් වෝල් එකේ සිදුරකින්! :D

      Delete
  9. අසරනයන් කෙසේ වෙතත් පිළිම / පින්තූර සහ පෙරේතයන්ට මුලින්ම පුදල ඉන්න එක පුරාණ සිරිතක්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ අනේ ඉතිං ඔය හැටි කේන්ති ගන්න ඕනැන්නේ නැහැ :)

      Delete
  10. කෙනෙක් බඩගින්නෙ ඉන්නවානම් කන්න ටිකක් දෙන්න ශ්‍රී ලංකාවෙ මිනිස්සු නං තාම එච්චර මැලි වෙන්නෙ නෑ.. හොඳට වට පිට බැලුවොත් පෙනෙනවා.මොකද දානට ලංකාවෙ මිනිස්සුන්ට මැජික් එකක් නොවෙන නිසා.
    බූරුවාගෙ කතාවත් නියමයි.වියට්නාමෙට නාපාම් ගැහුවාම එයාලත් ඒක ආශීර්වාදයක් කරගත්තා නේද?
    අන්න තුන්වෙනි කතාව ලංකාවට ගැලපෙනවා... මී උගුල් හැමතැනම.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ වියට්නාම කතාව මං දන්නේ නැහැ. හොයලා බලන්න ඕනෑ. ස්තුතියි ගස්

      Delete
  11. රන්දිල් හොඳ කතා තෝරාගෙන රසවත්ව පරිවර්තනය කරලා තියෙනවා.
    ඒත් මේ අන්තර්ජාලය ඇසුරෙන් කියල විතරක් තියෙනකොට මගේ හිතට හරි නෑ වගේ. හොයන්න අමාරු උනත් ඕවයේ මුල් රචකයෙක් ඉන්න හෝ මොකක් හරි රටකට අයිති ජනකතාවක් වගේ දෙයක් වෙන්න ඉඩ තියෙනවනේ. අඩු තරමේ අන්තර්ජාලයේ තිබ්බේ මොන අඩවියේද කියල හරි දැම්මොත් නරකද?මේවායේ මුල එහෙම ලේසියෙන් හොයන්න අමාරුයි කියල දන්නවා. ඒත් මුලාශ්‍රයක් හොයන්න පුළුවන් ඒවා වැඩිපුර පරිවර්තනය කොලොත් වඩා හොඳ ගමනක් යා හැකියි කියලයි මටනම් හිතෙන්නේ .

    ReplyDelete
    Replies
    1. ඒක නොදැම්මේ මේ කතා ඒ වචන ඒ විදිහට ම අඩවි දහයකට වඩා වැඩි ගණනක තියෙනවා. කොටින් ම එකක කතාවක් පළ වෙච්චි ගමන් අනිත් අයත් කොපි පේස්ට් පෝස්ට් පල කරනවා වගේ. මුල් රචකයින් ගැන මෙතෙක් කරපු කතා එකකවත් තිබුණේ නැහැ. වාණිජමය බලාපොරොත්තුවෙන් පවත්වාගෙන යන අඩිවි තමයි සේරම වගේ. මොකද අයියාට හිතෙන්නේ? අද වෙනතුරු ඇත්තට ම මට තිබුණු ගැටළුවක් ඕක

      Delete
    2. ඔව් අන්තර්ජාලයේ තියෙන ගොඩක් එව්වයේ අගක් මුලක් හොයන්න බෑ තමයි. ඉතින් කරන්න තියෙනේ මේ වගේ සරල පරිවර්තන කරන අතරේම හොඳ පොතක් පරිවර්තනය කරන්න පටන් ගන්න. මොනා වුනත් නොකඩවා ලියන එකනම් වටිනවා . ජය !!

      Delete
    3. ස්තුතියි අයියේ දිරි ගැන්වීමට. මං මේ පැන්සල උල් කරනවා පොතක් පරිවර්තනය කරන්න. තේරුණා නේද? :)

      මේ දවස් වල පොත් ගැන සොයා බලමින් ඉන්නේ. ‍මීට පෙර ලංකාවේ කවුරුවත් පරිවර්තනය නොකරපු හොඳ පොතක් හොයා ගැනීමේ අකරතැබ්බයට මං මේ දවස් වල මුහුණ දීලා ඉන්නේ. මොකක් හරි හොඳ පොතක් ගැන දැන ගන්න ලැබුණොත් මට කියනවද?

      Delete
    4. මොනවගේ පොතක්ද? ගොඩක් literary quality එකද entertainment value එකද වැදගත්?
      James Herriotට කැමතිද?

      Delete
    5. ඒ කාරණා දෙකම තියෙන පොත් ගැන තමයි හොයා බැලුවේ. ජේම්ස් හැරියට් මං කියවලා නැහැ. මං අහලා බැලුවා සමකතෘතුමා කියවලාත් නැහැලුුුු. කොහොමද හොඳයිද?

      Delete
    6. සම්භාව්‍ය සාහිත්‍යයයට අයත් වෙන්නේ නම් නෑ. ඒ වගේම මිනිස් සම්බන්දකම් ගැඹුරට විශ්ලේශනය වෙන්නේත් නෑ. ( කම්මැලිත් නෑ කියවන්න :-D )
      1930 ගණන්වල ගම්බද ප්‍රදේශයක පශු ව‍යිද්‍යවරයෙකුගේ අත්දැකීම් ඉතා සිත් ගන්නා ආකාරයට ලියවිලා තියනව. වැඩි විස්තර හෝ වෙනත් පොත් ගැන suggestions ඕනෙ නම් සමකතෘතුමා ගාව මගෙ ඊ මේල් ලිපිනය ඇති

      Delete
  12. අපූරු කතා ටික...කතා තුනම කලින් අහලා තිබුනත් ආයේ ආයේ කියවද්දි අමුතු ලස්සනක් දැනෙනවා..ස්තුතියි රන්දිල්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ... :)

      Delete
  13. මින් පෙර 2 හා 3 කියවා ඇතත් 1 කියවා නැත. පරිවර්ථනය විශිෂ්ඨයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රා ජේ... ඔබ සැමගේ වටිනා කාලයෙන් බිඳක් වැය කරලා දක්වන අදහස අපට හරි වටිනවා

      Delete
  14. කෝපි කතාව මුලින්ම අන්තර්ජාලයේ දැක්කම මටත් හිතුණෙ ලංකාවෙ ඔය වගේ දෙයක් වුණොත් මොනව වෙයිද කියලා.. එහෙම තැනක් ලංකාවෙත් තියෙනවනම් කොච්චර හොඳයිද?

    ReplyDelete
    Replies
    1. අපේ රට ටිකක් වෙනස්. මිනිස්සු දන් දෙන්න කැමතියි. වෙසක් පොසොන් කාලෙට බුද්ධාගමේ නොවන මිනිස්සුත් දන්සැල් දෙනවා. ඒ වුණාට ඒවාට වැඩිපුර එන්නේ කවුද? ඒ දන්සැල් දෙන පැළැන්තියේ ම පිරිස තමයි ඒ පෝළිම් වල වැඩි. කොටින්ම වී අයි පී එන්ට්‍රන්ස් පවා තියෙනවානේ දන්සැල් වල. අර පිටිපස්සේ දොරෙන් ගිහින් දන් වළඳන්නේ. ඉතිං මෙතන පොඩි ආකල්පමය ගැටළුවක් තියෙනවා. හැබැයි කල් යද්දි හරි යයි කියන සිහින් බලාපොරොත්තුවකුත් තියෙනවා. මොකක්ද වෙන්නේ කියලා බලන්න කවුරු හරි මුලින් ම මේ බිත්තිය පටන් ගන්න වෙනවා. :)

      Delete
  15. උඹල දෙන්න ලියද්දි හෙඩිමෙම දැම්ම නං "අද රචකයා රන්දිල්/රවී" වගේ එකක් අපිට ලේසියි.
    රන්දිල්ගෙන් කතාවක් කියවල අවසාන කරන්න බලන්න හිතාගෙනම ලින්ක් එක ඕපන් කරන්න පුළුවන්. එතකොට රචකයා රවීතුමා නං, (අදත්) බලාපොරොත්තු කඩවීම්, දිව උළුක්කුවීම්, කුකුල්ලු රෝස්වීම්, ගුරුවරිය සමඟ පවුල් කෑම්,.... වගේ එකී නොකී මෝඩ් එකට හිත හදාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඕකට තියෙන්නෙ සිම්පල් ප්ලෑන් එකක් රාජ්..

      මෙයා තාම එකසිය ගනන්, රවී තුමා හාරසිය ගනන්... :D

      Delete
  16. හැම කතාවකින් ම ඉගෙනගන්න විසල් පාඩමක් තියෙනවා.. විශේෂයෙන් ම පළමු කතාව ගැන බෙහෙවින්ම ස්තූතියි..

    ReplyDelete
  17. කෝපි කතාව හොඳට දැනුනා...

    ReplyDelete
  18. හරිම රසවත් කතාවක්........කියවා...නිම කරන්න හිතෙන්නෙ නැහැ.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...