Monday, July 11, 2016

128. ඒ සත්‍යයට ගරු කරන්න


තවමත් දරුවන් නොලද, තිස් වයස් සපිරි විවාහක කාන්තාවකි. ඇගෙන් නිරතුරු මෙසේ විමසීම සමාජය සිය වගකීම කොටගෙන සිටියි.

“තාම බබාලා නැහැ නේද?”

දින දින ඇගේ පිළිතුරු විවිධාකාර වනු ඇති. නමුදු ඒ පසුපස වෑයමෙන් ඇතිකරගත් හික්මීමක් සමගින් අපහසුවෙන් මුවට නංවා ගත් සිනහවක් තිබෙනු ඇති.

“නැහැ... තාම නැහැනේ” ඇය දිනපතා තමන් පත්වන මේ අපහසුතාව සඟවමින් සිනාසී පවසනු ඇති.

“අපො අපෝ. දැනටත් පරක්කු වැඩියිනේ. දන්නවානේ මේ බලල මේ බලනකොට කාලේ ගිහින් ඉවරයි. ඔයාට තේරෙනවානේ මං කියන දේ!” තමන් ඇයට ලබා දුන් ඉතාමත් වැදගත් වූ දැනුම් සම්භාරය ගැන බොහෝ සතුටට පත්වන ඒ මහ දැනුමැත්තා පිටව යයි. ඇය මද සිනාවකින් මුව සරසාගෙන ඒ සමුගැනීම දෙස බලා සිටියි. ඉන් ඉක්බිති ව තනිව කඳුළු සලයි. 





ඇය හඬන්නේ,


සිව් වරක් ගැබ් ගෙන ඒ හැමවරම ගබ්සාවන් වූ නිසාය.

දරුවෙකු වෙනුවෙන් මංගල රැයේ සිට ම බලාපොරොත්තු මල් පූදාගෙන සිටියත් ඒ මල් ඵල නොගැන්වී පස් වසරක් ම ඉකුත් ව ඇති නිසාය.

ඇගේ සැමියා වෙනත් කාන්තාවක් සමගින් එක්ව දරුවන් උපදවමින් සිටින නිසාය.

නළ දරු උපතක් වෙත යාමට උවමනා වුවත් මූලික පිරිවැයවත් දරා ගන්නට නොහැකිව ඇති නිසාය.

නළ දරු උපත් සඳහා කිහිප වාරයක් ම උත්සහ දැරුවත් එය අසාර්ථක වූ නිසාය.

ඇගේ හොඳම මිතුරිය ඇය වෙනුවෙන් දරුවෙකු උපද්දවා දෙන්නට සූදානම් නැති නිසාය. “අපොයි මං කොහොමද එහෙම දෙයක් කරන්නේ?” මිතුරිය අසන්නීය.

වෙනත් අසනීප සඳහා ගන්නා ඖෂධ ගැබ් ගැනීමෙන් ඈ වළකන නිසාය.

මේ එකක් හෝ බොහොමයක් කාරණා එකට ගැටී ඇගේ විවාහ දිවිය දෙදරවමින් සිටින නිසාය.

වෛද්‍යවරයා තමන් සෞඛ්‍යය සම්පන්න යැයි පැවසූවත් ගැටළුව ඇත්තේ තමන් තුල බව ඈ දන්නා නිසාය.

නිතර දෙවේලේ තමන්ට ම දොස් පවරා ගනිමින් සිටින ස්වාමියා එකට දිවි ගෙවන්නට අපහසු වන තරමේ පුද්ගලයෙකු වෙමින් සිටින නිසාය.

ඇගේ සියලුම සොයුරියන්ට දරුවන් සිටින නිසාය.

ඒ අතර දරුවන්ට කිසිසේත් ම කැමැත්තක් නොදක්වන කෙනෙකුත් සිටින නිසාය.

ඇගේ හොඳම මිතුරිය ගැබ්ගෙන සිටින නිසාය.

“මොකද දරුවෝ තවත් බලාගෙන ඉන්නේ”යැයි ඇගේ මව් අසන නිසාය.

ඇගේ ස්වාමියාගේ දෙමව්පියන්ගේ නොසංසිඳුනු බලාපොරොත්තුව නිසාය.

යාබද නිවැසියන්ට නිවුන් දරුවන් ලැබීත් ඒ දරුවන්ට දක්වන අඩු සැලකිළි නිතර නෙත ගැටෙන නිසාය.

දහසය වියැති තරුණියන් පවා කිසිඳු උත්සහයකින් තොරව ම ගැබ් ගන්නා හැටි නිතර සවනත වැටෙන නිසාය.

තමන් ඉතාමත් හොඳ නැන්දනියක ව සිටින නිසාය.

කාලයක් තිස්සේ තමන්ට උපදින දරුවන්ට තබන්නට නම් පවා එකතු කරගෙන මග බලාගෙන සිටින නිසාය.

දරුවන් වෙනුවෙන් මග බලාගෙන ඉන්නා හිස්, පාළු කාමරයක් සිය නිවසේ තිබෙන නිසාය.

දරුවෙකු වෙනුවෙන් මග බලාගෙන ඉන්නා හිස්, පාළු ඉඩක් සිය සිරුරේ තිබෙන නිසාය.

දරුවෙකු වෙනුවෙන් දෙන්නට බොහෝ දේ ඈ සතු වන නිසාය.

ඔහු ඉතාමත් යහපත් පියෙකු වනු ඇති නිසාය.

තමන් ඉතාමත් යහපත් මවක වනු ඇති නිසාය.

නමුත් තවමත් එය සිදු වී නැත...

*******

මේ අතරතුරේ තවත් තැනක තිස් හතර වියැති පස් දරු මවක වෙත සමාජය මේ ලෙස සිය බැල්ම යොමු කරමින් සිටියි.

“පහක් ඈ? මගේ දෙයියනේ මොන තරම් බරක්ද? මං හිතුවේ ඔයා ඒක කරගෙන හිටියේ කියලා” ඉන් අනතුරුව කොක් හඬලා නැගෙන සිනාවකි. මක් නිසාද යත් ස්වභාවයෙන් ම ඒ ආකාර අදහස් හාස්‍යය මවන නිසාය. ඇයත් සිනා නගයි. නමුදු ඇතුලාන්තයෙන් ම නොවේ. අනතුරු ව වහා පුරුදු පරිදි මාතෘකාව වෙනස් කරන්නට වග බලා ගනියි. වෙනත් දිනකදි, වෙනත් තැනකදි, ඈ තනිව කඳුළු සලයි.



ඇය හඬන්නේ,


තවත් ගැබක් ඈ දරා සිටින අතරේ ඒ සතුට සඟවන්නට සිදුව ඇති නිසාය.

ලොකු පවුලකට තමන්ගේ හිතේ බලවත් කැමැත්තක් තිබියදී සමාජය එය මහ කරදරයක් ලෙසින් දකින්නේ මන්දැයි වටහාගත නොහැකි නිසාය.

පවුලේ තනි දරුවා වූ තමන් හැමදාමත් කිසිසේත් ම ඉවත් කළ නොහැකි හුදෙකලාවක් අත්විඳින නිසාය.

දරුවන් දොළොස් දෙනෙකුගේ මවක වූ ඇගේ මිත්තණිය මෙන් ප්‍රීතිමත් මවක වන්නට තමන්ට ඇති උවමනාව අන් අයට නොවැටහෙන නිසාය.

සිය දරු කැල නොමැති දිවියක් සිතා ගැනීමටවත් නොහැකිව ජීවත් වන අතරේ සමාජය ඒ ආදරණීය දරුවන් තමන් ලද දඬුවමක් ලෙසින් දකිනා නිසාය.

අනුකම්පාවට ලක්වීමේ කිසිඳු උවමනාවක් නොවුණු නිසාය.

මේ ‘ඇයට අවශ්‍යය දේ නොවේය’ යන උපකල්පනයේ සමාජය සිටින නිසාය.

තමන් කිසිඳු වගකීමක්, සැලකිල්ලක් නොමැති කෙනෙකු ලෙසින් සමාජය උපකල්පනය කර ඇති නිසාය.

තමන් විපිළිසරව ඇතැයි සමාජය සිතාගෙන සිටින නිසාය.

සමාජය තමන් ව වරදවා වටහාගෙන ඇතැයි ඇයට දැනෙන නිසාය.

තමන්ගේ සිතැඟියාවන් වෙනුවෙන් සමාජය ඉදිරියේ සටන් කරන්නට සිදුවී තිබෙන නිසාය.

ඔවුන් දෙපළ ඉතාමත් හොඳ දෙමව්පියන් ව සිය පවුල මනා ලෙස පවත්ගෙන යත්දීත් ඒ පිළිබඳ නිවැරදි වැටහීමක් සමාජයට නොවන නිසාය.

මේ ආකාර හාස්‍යයජනක අදහස් පළ කිරීම් ඉදිරියේ ඇය වෙහෙසට පත්ව සිටින නිසාය.

තමන් මෙන් තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නට අන් අයට නොහැකි ව ඇති නිසාය.

අන් අය තමන්ගේ වැඩක් බලාගෙන සිටිනු ඇතැයි නිතර දෙවෙලේ ඇය ප්‍රාර්ථනා කරන නිසාය.

විටෙක තමන් පිළිබඳව ම පුදුමයට පත්ව දරු දෙදෙනෙකුගෙන් නවතින්නට තිබුණා නේදැයි වරින් වර සිතෙන්නට වන නිසාය.

විවේචන කරන්නට ඉදිරිපත්වන තරම් ඉක්මනින් උදව්වක් කරන්න ඉදිරිපත්වන කෙනෙකු නැති නිසාය.

මේ සුපරික්ෂාකාරී ඇස්වලින් වෙහෙසට පත්ව ඇති නිසාය.

තමා ප්‍රදර්ශන භාණ්ඩයක් නොවන නිසාය.

මේ සමාජයේ අණක් ගුණක් නැති මිනිසුන් නිසාය.

ඇගේ පුද්ගලික ජීවිතය පිළිබඳව බොහෝ දෙනෙකුට පළ කරන්නට බොහෝ මත ඇති නිසාය.

ඉතාමත් සාමකාමීව ජීවත්වීම ඇයට ඇති එක ම උවමනාව නිසාය...

*******

වෙනත් තැනක හතලිස් වියැති එක් දරු මවකගේ ජීවිතයට සමාජය ඇඟිලි ගසන්නේ මේ ආකාරයෙනි.

“එක්කෙනයි?... තව දරුවෙක් දෙන්නෙක් හිටියොත් මොකද?”

“මේ දරුවා එක්ක මං බොහොම සතුටින් ඉන්නේ” දහස්වරක් සපයා ඇති පිළිතුර ඇය එවරත් සාමකාමීව සපයන්නීය. විශ්වාස කරන්න!, කවුරුත් නොහිතනා පරිද්දෙන් ඇය ද තනි වූ මොහොතේ හඬා වැටෙන්නීය.



ඇය හඬන්නේ,


ඇගේ එක ම පිළිසිඳ ගැනීම ආශ්චර්යයකින් මෙන් සිදූ වූවක් නිසාය.

ඇගේ දරුවා නංගියෙක් හෝ මල්ලියෙක් වෙනුවෙන් මග බලා සිටින නිසාය.

අඩුම තරමේ දරුවන් තිදෙනෙකුවත් ලැබීම ඇගේ සිහිනය වූ නිසාය.

ඇගේ ජීවිතය වෙනුවෙන් දෙවන පිළිසිඳ ගැනීමෙන් මිදෙන්නට වූ නිසාය.

තවත් දරුවෙකු පිළිබඳ ව සිතීම දැඩි අවධානම් තත්ත්වයකට යොමු වීමකැයි වෛද්‍යයවරයා පවසන නිසාය.

සිය එකම දරුවා රැක බලා ගැනීමට ද දැඩි අරගලයක නියුතු වන්නට සිදුව ඇති නිසාය.

තවත් දරුවෙකු ගැන සිතීමවත් ඇගේ සැමියාට සතුටක් නොවන නිසාය.

ඇගේ සැමියා මිය ගියායින් පසු, කිසිවෙකු ඇයට සෙනෙහසින් ලං නොවූ නිසාය.

ඇගේ පවුලේ උදවිය එක් දරුවෙකු පමණක් සෑහේ යයි සිතන නිසාය.

වෘත්තිය ජීවිතය තුල තමන් ගිලී ගොස් ඇති තරමට එයින් මිදී දරුවෙකු ගැන සිතීමට නොහැකි ව ඇති නිසාය.

තමන් ආත්මාර්ථකාමී යැයි හැ‍ඟෙන නිසාය.

පළමු දරු ප්‍රසූතියෙන් පසුවත් ඇගේ සිරුරේ බර අඩු නොවූ නිසාය.

පසු ප්‍රසව විෂාදියෙන් දැඩි ලෙස පීඩා විඳි නිසාය.

එම සිදුවීම් නැවතත් අත්දකින්නට සිතන්නටත් අපහසු නිසාය.

ගැබ් ගැනීම ඇගේ ශාරීරික සංකූලතා අවුස්සාලන නිසාය.

අතික්ෂුධාව (පාලනය කළ නොහැකි අධික ලෙස ආහාර ගැනීමේ උවමනාව) හා සටන් වදිමින් සිටින නිසාය.

කරන්නට සිදු වූ තීරණාත්මක ගර්භාෂ සැත්කම නිසාය.

ඇයට තවත් දරුවෙකු ලබන්නට හොඳට ම උවමනා වුවත් එය සිදු කළ නොහැකි නිසාය...

*******

මෙවන් දුකබර සිතුවිලි වලින් සිත් පුරවාගත් කාන්තාවන් ලොව සැම තැනම සිටි.

ඈ අපේ අසල්වැසියාය. මිතුරියය. සොයුරියය. අප සමග එක්ව සේවයෙහි නියුතු වන්නීය. අපේ ඥාති දියණියය.

අනවශ්‍ය අවවාද හෝ උපදෙස් වලින් ඇගේ මනස පුරවන්නට නොයන්න. ඒ ගර්භාෂය ඇයගේය. ඒ සත්‍යයට ගරු කරන්න.



ඉංග්‍රීසි බසින් රචනය
නදීරා ඇන්ගෙල්



පරිවර්තනය
රන්දිකා රණවීර ප්‍රනාන්දු

*******
මාත් වැඩිදුර නොහිතා මේ වගේ ප්‍රශ්න අහලා ඇති,
උපදෙස් දීලා ඇති,
දරුවෝ කැලතකට හිනා වෙන අය එක්ක එකතු වෙලා හිනාවෙලා ඇති,
ඒත් මෙයින් මතු මා අතින් එසේ සිදු නොවුනු ඇතැයි උදක් ම බලාපොරොත්තු වෙමි.

මා නිශ්ක්‍රීය වනවාට අකමැති මගේ මිතුරියනි! ඔබගේ බලවත් උවමනාව නිසා නැවතත් අකුරක් දෙකක් ගැටගසා ගැනීමට හැකිවිණි. මේ ලිපිය (https://nadirahangail.com/2016/05/25/mind-your-own-womb/) පරිවර්තනය කරන ලෙසින් යොමුව ලබා දී, සතියකට දෙතුන් පාරක් විමසා සිටියේ මගේ මිතුරිය බෝධිනි සමරතුංග විසිනි. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත් කෙල්ලේ, ඔයා දුන්නු ඒවාත් හැකි විගස පරිවර්තනය කරන්න බලාපොරොත්තු වෙමි.




18.07.2016 වන සඳු දින ලක්බිම පුවත්පතෙහි මෙම ලිපිය පළ විය. :)

88 comments:

  1. ඇත්තටම ගොඩක් වැදගත් ලිපියක්

    ReplyDelete
  2. මේකට කමෙන්ට් එක එදාම දුන්නනෙ... තෑන්ක්ස් රන්දිල්... ඔන්න මේකත් ෂෙයා කරනවා... ඉංග්‍රිසි කියවන්න කම්මැලි අයට නිකම්ම හරි කියවෙයිනෙ... නේද...

    ReplyDelete
    Replies
    1. මං දැක්කා ඔයා ශෙයාර් කරලා තිබුණා. ස්තුතියි කොෂි :)

      Delete
  3. ටික දවසක් යද්දි අපි හැමදේටම අනුවර්ථනය වෙනවා..දැන් මගෙන් නිතරම මිනිසුන් කසාදය ගැනම අහනවා..ඒත් මට ඒක ගානක්වත් නෑ..ඇතැම් අය නොකියා අහනවා මගේ ලිංගික බෙලහීනතාවයක් වත් ද කියලා..ඒත් මට ඒක වගේ වගක් නෑ..
    වටේ මිනිස්සුන්ගේ හීතීමේ නිදහසට කතා කිරිමේ නිදහසට බාදා කරල තේරුමක් නෑ..ඒක එයාලගේ සතුට.. අපි අපේ පාඩුවෙ ඉන්න ඒ පස්නවලට උත්තර දීලම හුරු වෙන්න පුරුදු වෙනවා..

    ReplyDelete
    Replies
    1. හපොයි කොල්ලොන්ට තියන ප්‍රශ්න! ඒ උනාට ගෑනු ළමයෙක් නොබැඳ ඉන්නකොට අහන්නේ වෙන වෙන ප්‍රශ්න :D

      දැන් මම ඕවට ෆන් උත්තර දෙනවා හැබැයි. මොනවහරි උතුර දකුණ මාරු වෙන එකක් කියනව.

      Delete
    2. අමිල කියන කතාවේ යම් ඇත්තක් තියෙනවා. ඒ ඔයා කැමැත්තෙන් ම කසාද නොබැඳ ඉන්න නිසා. මේ ලිපියෙහි කියැවෙන කාන්තාවෝ තුන්දෙනා කැමති දේ නෙමෙයි සිදු වෙන්න‍ේ, ඒ ගැන ප්‍රශ්න කරනකොට එයාලා පත්වෙන අපහසුතාව වෙනස්.

      බයි ද වේ අර ප්‍රශ්න අහන අයට ඔයාගේ බ්ලොග් එකේ ලිංක් එක දෙන්න. ආයේ ඔයා යන බස් එකක දුවෙක්වත් එවන්නේ නැතුව ඉන්න එයාලා වග බලා ගනියි ඉන්තේරුවෙන් ම :D :D :D

      Delete
    3. //ඇතැම් අය නොකියා අහනවා මගේ ලිංගික බෙලහීනතාවයක් වත් ද කියලා//

      මාත් උඹගෙන් අහන්ඩ හිටියේ

      Delete
  4. ඇත්තටම සිංහල කියවන්නන් අතරට පැමිණි දුර්ලබ වටිනා ලිපියක්.මේ තියන කුණුවෙච්ච දුඟදහමන ආකල්ප කවදා තුරන්වෙලා යාවිද

    ReplyDelete
    Replies
    1. අපි අපි ම අපේ ආකල්ප වෙනස් කරගමු. ස්තුතියි ගුණසිංහ :)

      Delete
  5. අපෙනුත් මිනිස්සු අහනවා "තාම බබෙක්වත් එහෙම .........." කියලා.

    තව සමහරු අහනවා "පාවිච්චි වෙන්නෙ කොහොමද" කියලා .

    ReplyDelete
    Replies
    1. uba nam maru porak ban

      Delete
    2. "පාවිච්චි වෙන්නේ කොහොමද?" ඒ කිව්වේ මොකක්ද? උපත් පාලනය කරන හැටි ඇහැව්වද? :)

      Delete
  6. මිනිස්සුන්ගේ නොදැනුවත් කමින් හෝ ඔය ප්‍රශ්ණය ගොඩාක් හිත් රිදවන්න පුළුවන්! මම ඔය ප්‍රශ්ණය අහන්නේ ගොඩාක්ම ලඟ කෙනෙක්ගෙන් සහ එයාට මම දන්න ඩොක්ටර් කෙනෙක් ගැන ඔත්තුවක් ලබාදෙන්නම විතරයි! පිළිගන්න එහෙම අපි උදවු කරපු නංගි කෙනෙක් අද උදේ කෝල් කලා එයා ප්‍රෙග්නන්ට් කියලා.. එයා අම්මා තාත්තට පස්සේ මුලින්ම කෝල් කලේ අපිට! ඒක කොච්චර සතුටක්ද!

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්! මාත් ඒ වගේ කතා බහ කරපු අවස්ථා තියෙනවා. කොටින් ම උපත් පාලන ක්‍රම කියලා අටෝරාසියක් බෙහෙත් ජාති ඉවක් බවක් නැතුව බොනවා කියලා දැනගත්තොත් නං මං කතා කරනවා. මේ ලිපිය කියෙව්වාට පස්සේ වඩා කල්පනාකාරීව කතා බහ කරන්න මට පුළුවන් වෙයි කියලා හිතෙනවා

      Delete
  7. එදා මම කීවෙත් ඒකමයි.... ඔය ලිපිය තුල හැම ගැහැණියකගේම ජිවිතේ කොටසක් ලියවිලා තියෙනවා රන්දි... ඇත්තටම වෙලාවකට "තමන්ගේ ගර්භාෂය ගැන බලාගන්න" වගේ දරුණු දෙයක් කියවෙන්නත් ඉඩ තියෙනවා. ස්ත්‍රීන් බොහෝ පීඩා මැද කල් ගෙවයි. තනිව වෙහෙසේ, තනිව හඬා වැටේ...සමාජ පීඩා බොහෝ දරාගෙන දෙදරා යා නොහැකිව වැලපේ ... මේ ඔවුන්ගේ කතාවයි. නදීරා ඇන්ගෙල් ලියූ මේ කතාව පරිවර්ථනය කර අප අතට පත් කළ රන්දිල්ට බොහෝ ස්තූතියි....ඒ ගර්භාෂය ඇයගේය. ඒ සත්‍යයට ගරු කරන්න කියන පණිවිඩය සෑහෙන්න වටිනවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනිත් කොන, හම්මේ ඉතිං මේ ලිංක් එක දුන්නු දවසේ ඉඳන් මට ලැබුණු දිරි ගැන්වීම් ඒ ලෙවෙල් කරන කාලේ ලැබුණා නම් මාත් මොරටු ගිහින් :) ස්තුතියි නැවතත්

      Delete
  8. පුවත්පතකට/අලුත විවාහක මව්වරුන් අතර බෙදාදීමට/විශ්ව විද්‍යාල සිසු සිසුවියන් අතර බෙදාදීමට/ සුදුසු ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක. අපි බලමු නේද? :)

      Delete
  9. ඉතා වැදගත් ලිපියක්...සමාජයේ බහුතරයක් කාන්තාවන්ට, ජිවිතයේ කොයි යම් හෝ අවස්ථාවකදී මේ ප්‍රශ්න වලින් එකකට පිළිතුරු දෙන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔය වගේ තව ශ්‍රශ්න තියෙනවා. හනිමූන් බේබිලා ලැබුණහම,
      "තව ටිකක් කල් එන්ජෝයි කරන්න තිබ්බානේ"

      පළවෙනි බබා ලැබිලා මාස 10න් දෙවැනි එක්කෙනා ලැබුණහම,
      "පොඩ්ඩක් පරිස්සම් වෙන්න තිබුණානේ"

      :D :D

      Delete
    2. ඇත්ත...අපේ මිනිස්සුන්ට කොයි දේ මොන විදියට සිද්ධ උනත් අහල විස්සෝප වෙන්න ප්‍රශ්නයක් නම් නැතුව යන්නේ නෑ :)

      Delete
    3. ඔයාගේ සුදු ඇත්තු කවි පංතිය අද කියෙව්වා. හරි ලස්සනයි :)

      Delete
  10. Wow wow wow....

    ReplyDelete
  11. තාත්තලා සහ වෙන්න තාත්තලාගෙ කතන්දරේත් ලොකු වෙනසක් නෑ.. එකම දේ ඔය කතා ටික ඔයිට සැරට ඇහෙන එක.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්නේ. බහුතරය පිරිමි කම මනින්නෙත් මේකෙන්නේ :)

      Delete
  12. සම්පුර්ණ ඇත්ත. නොදැනුවත්ව අපි අතිනුත් ඔහොම දේවල් වෙලා ඇති. නමුත් මා හැකිතාක් උත්සාහ කරනවා අනවශ්‍ය ප්‍රශ්න නාසා ඉන්න. වැඩුණු ගැහැණු පිරිමින් විතරක් නෙමේ මේ කට තියා ඉන්න බැරි මිනිසුන්ගෙන් ළමයින්ට වෙන කරදර ගැන ලියන්න මයි මාත් හිටියේ.
    ඇයි ඔච්චර කෙට්ටු,උස කීයද බර කීයද ..සමහරු ඉන්නවා ළමයෙක් දැක්කම උගේ උසයි බරයි වර්ග ප්‍රමාණයයි මනින එක මිසක් වෙන වැඩක් ඇත්තෙම නැති.මට පේන්නම බැරි වැඩක්.

    ReplyDelete
    Replies
    1. මම ලංකාවේ නෙවෙයි ඉන්නේ, ලංකාවේ ඉන්න අපේ අක්කට කොල්ලෙක් ඉපදුනා මේ ලඟදි (මමත් තාම දැක්කේ නැහැ කොල්ලව, අගෝස්තු වැකේෂන් එකට තමයි කදමලු බැඳගෙන ගිහින් කොල්ලව බලන්න ඉන්නෙ)

      අක්කට කොල්ල ඉපදුනාට පස්සෙ දවසේ, මෙහෙ ඉන්න විදේශික මිතුරියක් මගෙන් ඇහුව ඔය ගැන. (අක්ක ප්‍රෙග්නන්ට් වෙලා හිටපු බව එයා දන්නවා, මම ගෙදරට තෑගී පාර්සලයක් යවන්න පෝස්ට් ඔෆිස් යනකොට එයත් මා එක්ක ආ නිසා) බබා ලැබුනද අහල මුලින්ම ඇහුවේ බර කීයද කියල. මම වත් අක්කාගෙන් කොල්ලගේ බර ඇහුවේ නැහැ ඉතින් මම කිවුව මම දන්නේ නැහැ කියල.

      සමහර මිනිස්සු ඉන්නව ඒ වගේ. හැම කෙනාගෙන හැම දෙයක්ම එයාලට දැනගන්න ඕන. මට තියන ප්‍රශ්නේ ඕව කොහොම මතක තියාගන්නවද කියල.

      Delete
    2. ඒක නං ඇත්ත බින්දි, එක් මානවිකාවක්,

      බලාගෙන ගියාම අපි ජීවත් වෙන්නේ තනිකර ම වෛද්‍ය සභාවක :)

      Delete
  13. කතා කරලා ඉවර නොවෙන ප්‍රශ්නයක්

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කතා නොකර ඉන්න බැරි කමට කතා කරලා ඉවර නොවෙන ප්‍රශ්නයක්!

      Delete
  14. මේක හරිම වටින සටහනක් අක්කේ. මේ වගේ හිත් රිදෙන විමසීම් වැඩිපුරම එල්ල වෙන්නේ පිටස්තරයන්ගෙන් නෙවෙයි, තමන්ගෙම නෑදෑයන්ගෙන් හිතවතුන්ගෙන්. ඒක තමයි ඉවසගන්නම අමාරු කාරණාව. මේ සමාජේ කවදා හැදෙයිද මන්දා. ස්තූතියි අපිට මේක කියවන්න දුන්නට. මේක ඔයා මූණු පොතෙත් දැම්මද?

    මේ, ඒක නෙවෙයි, දැන් ආයෙ නිදාගන්නෙ නැතුව කළින් වගේ එක දිගට ලියන්න හොඳද. අර මං එවපුවත් පෙන්ඩිං ලිස්ට් එකේ තියෙනවා කියලා තියෙනවනේ. ඉතිං ලියන එකයි ඇත්තෙ. තව හොයලා දෙන්නං. :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නගා. ටිකින් ටික සමාජය හැදෙයි. අපි එක එක්කෙනා තම තමන්ගේ ආකල්ප දියුණු කරගනිද්දි සමාජයට හැදෙන්නේ නැතුව ඉන්න බැරි වෙන දවසක් එයි.

      :D නිදි මතක් මග එනවා පේනවා. :D

      මං හෙට අනිද්දා ඒවාත් ට්‍රාන්ස්ලේට් කරන්නම් නංගි

      Delete
  15. මිනිස්සු මේ විදිහට කොච්චර හිතන්නැතුව දේවල් කියනවාද?කටින් පිට වෙන වචන ආයෙ ඇදල ගන්න බෑනෙ.. සමහර විට එහෙම කියන දේවල් මුලු ජීවිතේටම අමතක නො වෙන තරම් හිතට වේදනාකාරී වෙන්නත් පුලුවන්.....

    අනුන්ගෙ ප්‍රශ්න තමන්ගෙ කරගන්නේ ආදරේකට නෙවෙයි... ඒ වගේ හදවතේ සියුම් තැනක් හොයලා කොනිත්තන්න...

    ReplyDelete
    Replies
    1. ශෝකය බෙදා ගන්නවාට වඩා ශෝක රසය විඳින්න මිනිස්සු ගොඩක් අය කැමතියි. මේකත් සමහරවිට ඒකේ දිගුවක් වෙන්න ඇති නේද?

      Delete
  16. මම මං ගැන ආඩම්බර වෙන එක කාරණාවක් තිබෙනවා. ජීවිතේ කිසිම දවසක මම කාගෙන්වත් ඇයි ඔයා තවම කසාද නොබඳින්නෙ කියලාවත් ඇයි ළමයි නැත්තෙ කියලාවත් තව ළමයි හදන්නෙ නැත්ද කියලාවත් අහලා නැහැ. ඔයාගෙ කලින් ගර්ල්ට මොකද වුණේ, දැං කලින් හිටපු බෝයි නැත්ද කියලා කිසිම දවසක අහලා නැහැ. මට මං ගැන ආදරේ හිතෙන මගේ ඒ මං බව මට හරි වටිනවා. අනෙක් අයත් ඒක කරනවා නම් ලොකු දෙයක්. මට තේරෙන්නෙ නෑ ඇයි මිනිස්සු හිතන්නෙ තමන්ගෙ පරිමාණයෙන් අනෙක් මිනිස්සුන්ගෙ ජීවිත කිරා මනින්න පුළුවන් කියලා. අපේ තිබෙන කලෙක්ටිව් මානසිකත්වය දෝ කියලත් හිතෙනවා. විදේශ රට වල මේ ප්‍රශ්න අහනකොට අඩුමගාණේ මට සමා වෙන්න එහෙම ඇහුවට කියලා හෝ කියනවා. නමුත් අපේ රට වල ඒ වගේ ප්‍රශ්න අහන්නෙ එව්වා අහන්න සදාචාරාත්මක අයිතියක් තිබෙනවා කියලා හිතාගෙන. අනෙකා කෙරෙහි ඇති අසංවේදී බවෙහි තරම තමයි මේ දේවලින් පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. අදනේ ඔයාගේ බ්ලොග් එක දැක්කේ. වෙලා කලා ඇති වෙලාවට කියවන්න එන්නම්කෝ.

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට

      Delete
    2. හැබැයි මං නං ඔයා මේ නැහැ කියන වර්ගයේ මොට්ට ප්‍රශ්න අහලා තියෙනවා :(

      Delete
    3. අවුලක් නැහැ, ඉදිරියට එහෙම අහන්නෙ නැතුව, එහෙම අහන්න වෙන අයටත් පූරුදු නොකර ඉන්න එකම ඇතිනෙ. ජය!

      Delete
    4. සමහර තැන් තියෙනව එහෙම ප්‍රශ්න අහන්න සිද්ධ වෙන ... ඒත් එහෙම අහන්න ඕනෙ තමන්ට ඒ ප්‍රශ්නෙ ගැන සංවේදීවෙන්න පුළුවන් නං විතරයි... නැතුව නිකං තමන්ගෙ කුතුහලේ සංසිදවගන්න අහල හිත් රිදවන්න ඕනෙ නෑ... මම එහෙම කියන්නෙ තියෙන්නෙ සමහර ගෑණු අය දුක කියාගන්න කෙනෙක් නැතුව තනියෙන් විඳවනව දැකල තියෙන හින්ද...

      Delete
  17. මේ හැම දෙයක්ම නිස්සාර ජීවිතේ ගැන ඇති නොදැනුවත්කම...

    ReplyDelete
  18. ගෑනියෙක් අවිවාහකව ඉන්න එක, බබාලා නැති එක ගැන නිතර මතක් කරලා දෙන්නේ ගෑණුම බවනම් කණගා‍ටුවෙන් කියන්න ඕනෙ.

    බත් තියෙන තැනටලු කොසුත්,


    මෙහෙම ඉඳලා පොඩි එක්කෙනෙක් හම්බ වුනාම මතක ඇතුව අර සුරංගයගෙ ආච්චිට කියලා මිරිස්සොද්ද පොවාගන්ටෝනෙ,

    ReplyDelete
    Replies
    1. ඒ මිරිස් හොද්දේ කතාව මං දන්නේ නැහැ නෙව. යන්න ඕනෑ යාං හෑල්ල පැත්තේ.

      Delete
  19. වැදගත් ලිපියක් රන්දිල්...
    ලිපිය කියවා වටහාගෙන "ඒ ගර්භාෂය ඇගේය" යන කරුණ ධාරණය කරවිය යුත්තේ බහුතරයක් වූ කාන්තාවන්ටම නේද...

    මට පෞද්ගලිකව අනුන්ගේ ඔය වගේ දේවල් ප්‍රශ්න නෙමෙයි...
    ඒ නිසා මම ඔය වගේ ප්‍රශ්න කාගෙන්වත් අහල නැතිම තරම්...

    අපි එක්ක කැලෑ වල ගිහින් දවස් ගණන් හිටපු, නොයෙකුත් වැඩසටහන් වලදී අවුරුදු ගාණක් පුරාවට මුණගැහුණු මට වඩා තරමක් වැඩිමල් මිත්‍රයෙක් ඉන්නවා...
    ටිකක් අමුතු බුවෙක්, ඉඳල හිටලා පයිපයක් එහෙමත් උරනවා...
    ඌව මම දන්නේ මගෙයි හාමිනේගෙයි එෆෙයාර් එක පටන් ගන්නත් කලින් ඉඳල...
    අපි දෙන්න යාලු උනාට පස්සේ ඒ කාලේ වෙන්න හාමිනේත් අපි එක්ක ගමන් බිමන් යන්න පටන් ගත්තු නිසා මගේ මිත්‍රයව හාමිනේත් දැන අඳුන ගත්තා...

    දවසක් මගෙන් හාමිනේ අහනවා %$^ අයියා බැඳලද, එයාගේ වයිෆ් මොනාද කරන්නේ කියල...
    ඇත්තටම මම ඒ කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ, අදටත් දන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත සහතික ඇත්ත

      හැබැයි //%$^ අයියා බැඳලද, එයාගේ වයිෆ් මොනාද කරන්නේ කියල...// වගේ දේවල් වල ෆීඩ් බැක්ස් වයිෆ් ගාව තියෙන එකේ වාසිය ඔයාට ‍තේරෙන්නේ නැහැ. මොකක් හරි හදිසි අවස්ථාවකදි උවමනාවක් වුනොත් යොමු වෙන්න ඕනෑ කා දිසාවටද කියන එක වයිෆ් ටක් ගාලා කියන්නේ මේ ෆීඩ් බැක්ස් වලින් තමයි. ඕනෑ නං මගේ මහත්තයාගෙන් අහලා බලන්ට :D

      Delete
  20. මේක නම් ලංකාවේ පුවත්පතක අනිවාර්‍යයෙන් පළවිය යුතු ලිපියක්. කාන්තා පුවත්පතක නම් අගෙයි..

    මම නම් අක්කෙ දැන් ෂොක් වෙලා ඉන්නේ.. ඒ අපේ වයසේ සමහර ළමයින්ට දැන් ළමයි දෙන්නෙක් විතර ඉන්නවා සහ මං තාම ටිපිටිප් කකා කාටූන් බලන ලෙවල් එකක සිටීම සම්බන්ධව..

    ReplyDelete
    Replies
    1. //මේක නම් ලංකාවේ පුවත්පතක අනිවාර්‍යයෙන් පළවිය යුතු ලිපියක්// සමහරවිට එහෙම වෙයි වගේ :)

      අනේ ඇත්තට ළමයෝ වයස යනවා‍ නේද? අපි ඔය වයසට අපිට දුවත් ඉන්නවා. මේ බලල මේ බලනකොට කාලේ ගත වෙනවා. වයස ගියාම නොයෙකුත් ප්‍රශ්න. ඒක හන්දා ඉක්මනට කසාද බැඳලා ළමයි හදන්න :D :D :D

      Delete
    2. ඇයි මං... තාම කාටූන් බල බල මගෙ ඉස්කෝලෙ යාලුවන්ගෙ ළමයින්ට ඒ කාටූන් දාලා කේක් හදනව... හි හි...

      Delete
  21. හොඳ පරිවර්තනයක් රන්දිකා නඟේ. අපේ බිරිඳගෙන් නිතර අහන ප්‍රශ්නයක් තමයි ඇයි තුන්වෙනියෙක් හදන්නේ නැත්ද කියල. දෙවෙනි දරුවා ඉපදෙන කොට ටිකක් අමාරු වුණා . ඒ නිසා තුනක් හදන්න හිතුවේ නහ. මේකේ පිරිමි වර්ෂන් එකක් නැත්ද?
    මගෙන් නිතර අහන දෙයක් තමයි කෝ පුතෙක් නැත්ද?
    ඊට පස්සේ - අයියෝ තව පාරක් ට්‍රයි කරන්න තිබ්බනේ.
    වැඩියෙන්ම අහන්නේ ආසියාතික එවුන්. (ශ්‍රී ලංකා, ඉන්දීය වගේ)
    මට වැඩියෙන්ම තරහ යන්නේ - අපරාදේ දුවලම දෙන්නෙක් නේද?
    මට එක පාරක් නප්පියටම නැගල කිව්වා. "තොගේ වගේ කියන දේ නාහන, අවුරුදු දහය වෙලත් අම්ම ලවා බත් කවා ගන්න පුතෙක් ව නම් මගේ ළමයින්ට කීයටවත් බඳින්න දෙන්නේ නැහැ කියල."
    මගේ කෙල්ලෝ දෙන්නටම ටයෙක්වොන්දෝ බ්ලැක් බෙල්ට් තියනවා. දෙන්නම ඉගෙන ගන්නවා. සෙල්ලම් කරනවා. අපිට අපේ කෙල්ලෝ දෙන්න හොඳයි. ඇයි මේ මැටි මජර හරකුන්ට තේරෙන්නේ නැත්තේ කියන එක මට පරශ්නයක්.

    ReplyDelete
    Replies
    1. මේ කතාව දැක්කම නම් හරි දුක හිතුණ. අපේ ගෙදරත් ඉන්නේ අක්කයි මමයි විතරයි. අපට නොපෙන්නුවට, අපේ අම්මලත් මේ වගේ ප්‍රශ්න වලට කොයි තරම් නම් මූණ දෙන්න ඇතිද?
      හැබැයි දැන් ගොඩක් අය නිහඬයි, විශේෂයෙන්ම විවාහයෙන් පස්සේ තමන්ගේ අම්මව අමතක කරපු පුතුන්ගේ මවුවරු.
      ඔබ වාසනාවන්තයි අජිත්. දියණියෝ තමන්ගේ පියාට ගොඩක් ආදරෙයි.

      Delete
    2. අපේ පවුලේ ගැහැණු ළමයි තුන්දෙනායි. පිරිමි සහෝදරයෙක් ලැබිලා දවස් තුනෙන් නැති වුණා. :( ඉතිං හරි ප්‍රශ්න?

      ප්‍රශ්නය කෙල්ලොම තුන්දෙනෙක් නේද?
      උත්තරය ඔව් ඒ තුන්දෙනා මට රටක් වටිනවා

      ප්‍රශ්නය දෑවැදි එහෙම... මයේ අම්මේ...!
      උත්තරය දෑවැදි කියලා නැහැ. තියෙන දෙයක් තුන්දෙනාටමයි. තුන්දෙනාටම හොඳට උගන්වනවා. ඒක තමයි දෑවැද්ද!

      ප්‍රශ්නය ඒත් ඉතිං පුතෙක් හිටියා නං... නේද?
      උත්තරය ඔව්. තව අවුරුදු ගානකින් එක පුතෙක් නෙමෙයි පුත්තු තුන්දෙනෙක් ම ලැබෙයිනේ.

      :D :D :D

      අපිට ඉන්නේ දුවයි පුතායි නිසා කට්ටියට අහන්න ප්‍රශ්න නැහැ. :)

      Delete
    3. @මානවිකා , ස්තූතියි. රන්දිල් මට ජිසි ප්‍රශ්නයක් නැහැ පුතාල එක්ක. මම හරි ආදරෙයි ඕන ළමයෙකුට. නමුත් එක පාරක් මගේ යාලුවෙකුගේ පුතෙක් එක්ක ෆුට්බෝල් ගහන කොට එයාගේ අම්ම අහනවා "පුතෙක් නැති එක ගැන දුකයි නේද ?" කියල. මම කිව්ව් නැහැ. ඇයි එහෙම අහන්නේ කියල. "නැහැ ඔයා මගේ පුතා එක්ක ආදරෙන් සෙල්ලම් කරනවනේ. මගේ හස්බන්ඩ් ට නම් ඕවට වෙලාවක් නැහැ " - මට හිතා ගණන් බැරි වුණා මොකක් කියනන්ද කියල. මම කිව්වා මම ෆුට් බෝල් ගහන්න කැමතියි කියල.

      Delete
    4. //මට හිතා ගණන් බැරි වුණා මොකක් කියනන්ද කියල. මම කිව්වා මම ෆුට් බෝල් ගහන්න කැමතියි කියල.// :D :D :D

      Delete
    5. https://kolambagamaya.blogspot.co.uk/2016/07/blog-post_13.html

      Delete
    6. සොරි ලින්ක් එක මෙතන දැම්මට. මේක නොලිය ඉන්න බැරිවුනා ඔයාගේ ලිපිය කියෙව්වට පස්සේ.

      Delete
    7. බොහොම ස්තුතියි මේ ලිංක් එක මෙතන පළ කළාට. :)

      Delete
  22. ශාරීරිකව කිසිදු දුර්වලතාවයක් නොමැතිවුවද, මූල්‍යමය වශයෙන් කිසිදු අපහසුතාවක් නොවූවද, කුමන හෝ හේතුවක් කරණ කොටගෙන දරුවන් නොහදමියයි තීරණය කල කාන්තාවන් පිළිබඳව කෙටි හෝ සටහනක්ද (ඔවුන් මෙහි සඳහන් කාන්තාවන් හා සර්වසම නොවූවද) මෙහි ඇතුලත්වූයේනම් අගනේයයි සිතමි.

    ReplyDelete
    Replies
    1. මටත් ඒක මතක් වුණා. ඒත් මුල් ලිපියෙහි එවැන්නියන් ගැන සඳහනක් නැති නිසායි ගැටළුව. මිස්ටර් රවීට මතකද මන්දා ලXXX මහත්තයාගේ නෝනා ඒ වගේ කෙනෙක් නේද? ඊට අමතරව පහුගිය දා තවත් නැගනියක් ඇගේ සිතැඟියාවත් මේ ආකාර බව පවසා සිටියා.

      Delete
    2. මම කිව්වෙ නදීරා ළමයගෙ ඔරිමජිනල් ලිපිය ගැන තමයි...:) ඒ වර්ගයෙ කාන්තාවන් දරුවො නොහදන්නෙ තමන්ගෙම තීරණයක් නිසා මම හිතන්නෙ මේ ලිපියෙ සඳහන් කාන්තාවන්ට වගේ සිත් තැවුල්වලට මුහුණ දෙන්නට වෙන්නෙ නැහැනෙ බොහෝවිට. නදීරා ඒ වර්ගයෙ කාන්තාවන් ගැන නොලිව්වෙ ඒ හින්ද වෙන්නත් ඇති බොහෝවිට...

      Delete
    3. ඔව්. මට එපා නිසා මං හදන්නේ නැහැ කියලා කියන්න පුළුවන්නේ. ඒක නිසා මේ ලිපියේ එයාලා ගැන ලියන්න නැතුව ඇති.

      Delete
    4. It has a sentence " women who are childless by decision " as I recall .. Anyway , here is my 5 cents.

      The thing as it is, is most of us (people who put their noses into other people's jobs), doesn't care to respect the fact that IT IS their decision to make.. It's one thing that you tell them what you think about the situation because you have experience or you are older or whatever, or even give some advice if they ask for it, but we tend to impose our opinion in to other people's businesses often.

      For an eg: If someone who doesn't know me, ask " So, no kids yet ?" and I go all smiling " No. I don't have kids " , and that should be enough right ..? ( If I say " I don't want kids" oh that's when things get really interesting '' .. I've tested that theory many times . hi hi ) But obviously I have to explain the situation little bit, like " I am too busy for kids right now " or something, and then it start to go south. But because it is my decision, I can handle most situations on my own.. People who want kids, but having problems with it, is whole another situation. Because those questions can be so painful.

      Below here was my response to the original post. ( It was in English, I didn't want to translate it because I feel like English words are more sensible then Sinhala words in this matter )

      I can totally relate to this too... I too have an rehearsed answer.. I don't want kids... I love them.. but I don't like them... (people who know me knows that I am really good with kids.. The problem is I can't be that good for 24/7, and specialy I can't stand the situation what a middle lower class parents have to go through and they most times put their kids too in SL) Then sometimes they get really offensive.. Sometimes they go so far that they ask me if you don't want kids then why did u get married... I tell them that's a really stupid question to ask..

      But I have two people who understand.. It's my husband and specially my mother... They come to my rescue if I can't handle the situation... My husband knows the real reason... That I have 100 reasons to not wanting kids but can't find one ’good’ reason to have them.. That I am dead scared to the event.. I can't even think without cringing, of the invasion that my body has to bear..

      I miscarried once... It was an unplanned pregnancy.. I thought If it has happened then I'll go through it.. I have no choice.. I didn't get too emotional .. Doctor told me that It's 50/50 chance and I knew what 50 has the most chance.. But oh god the procedures ..? The scans... ? The emotions and physical pain.. ? Even though I don't want it, that sharp arrow like pain which hits right in the heart when they tell me that there is no baby .. only the sac.. ?

      After that event my decision has been too tight to loosen up.. So maybe I will never have kids.. So I have to be toughen up and get straight with my answer... I don't want kids.. And I am not gonna justify MY decision of MY body to Strangers..

      Delete
    5. Or and there is this thing too..

      When my mom got Cancer three years back, we didn't hide that from anybody. We had to tell the daily customers that my mom was sick and being hospitalized , and when they hear the word Cancer, most people back down really fast.. And when they ask about it later, they used (still does) whispering voices..

      I mean seriously, Cancer is not a thing to be ashamed of. (Just like being childless, but oh, our society talk about it loud and clear, and use it as an insult ) We have to talk about it. We can rise awareness, because we have head on experience. And we didn't break down,we didn't lose our footing, and we defeated it. We know how to deal with the situation. we know the complications of chemo therapy. it's not only being operated, having to remove part of your body and losing your hair. It has more complications. But no one talks about these things.

      What I am trying to say is, we care about things we don't have to, and talk about them in insulting tones, but don't care about the things, we actually have to care..

      Delete
    6. Sorry to hear that Kaushy. Someone here had the cancer and they never told the friends. But then we found out. I think it is not necessary to hide these things. You did the right thing. I would not tell only for not to disturb other people. Otherwise I would not hide.

      Delete
  23. දෙපාරක්ම ලිපිය කියෙව්වත් කොමෙන්ටුවක් දාන්න ඉස්පාසුවක් නැති උනා. බස් එකට බඩ දරු අම්ම කෙනෙක් නැග්ගම වැඩිපුර කවුළුවෙන් අහක බලන්නෙ ඒ අමාරුව විඳින ගෑණු උදවියමයි. කසාද බඳින වයසේ කව්රුහරි දැක්කම "දැන්මම බඳින්නේ නැත්තෙ ඇයි" කියල අහන්නෙ වැඩිපුරම ගැහැණු උදවියමයි. බැඳලා බබෙක් හම්බවෙන්න කල් යනකොට වැඩිපුරම ඒ ගැන අහන්නෙ, උනන්දු වෙන්නෙ, හාරාවුස්සන්නේ ගෑණු උදවියමයි. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක අත් අල්ලගෙන පාරෙ ගියෝතින් "අර අත් අල්ලගෙන යන්නේ කලන්තෙ හැදෙන්න වත් එනවද" කියල ඒක හෙලා දකින්න උත්සුක වෙන්නෙත් වැඩිපුරම ගැහැණු උදවියමයි. නරක ගැහැනියක් දැක්කම(අපි හිතමු වෛශ්‍යාවක් කියල) ඒ ගෑණිට ගල් ගහන්න මුලින්ම ඉස්සරහට එන්නෙ වැඩිපුරම ගෑණු උදවියමයි. "අරකිගේ චරිතේ හොඳ නෑ. ඕකි මෙහෙමයි" කියල වැඩිපුරම චරිත සහතික දෙන්න ඉදිරිපත් වෙන්නෙත් වැඩිමනක් ගෑණු උදවියමයි. මට තේරෙන්නෙ නෑ තමන්ට අවබෝධ කරගන්න ලේසි, තමන්ට වඩාත් සමීපව දැනෙන මේ වගේ කාරණා විශේෂයෙන් ගැහැණු උදවියම තේරුම් ගන්නෙ නැති හේතුව. ඔය දේවල් කරන පිරිමිත් ඕන තරම් ඉන්න බව කියන්න ඕන. තමුන්ගේ පුද්ගලිකත්වය, තමන්ගේ තේරීම, තමන්ගේ නිදහසට ඉඩ දෙන එක ගැන අපේ සමාජය අවබෝධ කරගන්න තව කොච්චර නම් කල් යාවිද...

    ReplyDelete
    Replies
    1. //මට තේරෙන්නෙ නෑ තමන්ට අවබෝධ කරගන්න ලේසි, තමන්ට වඩාත් සමීපව දැනෙන මේ වගේ කාරණා විශේෂයෙන් ගැහැණු උදවියම තේරුම් ගන්නෙ නැති හේතුව.// සංකීර්ණ මනෝභාවයක් කියලායි මට හිතෙන්නේ. බඩ දරු අම්මෙක් දැක්කහම 'එයා විතරක්යෑ අපිත් හැදුවානේ, ඔය පෙන්නන තරම් අමාරුවක් නැහැ, හරි ලොකු වැඩේ කියලා හිතාගෙන ඉන්නේ, අනේ අම්මේ අමාරුවෙන් අල්ල ගත්ත සීට් එක දෙයි මං!' වගේ එක එක ඒවා හිතෙන්න පුළුවන්.

      බබලා පමා වෙනකොට ඒක ශෝක රසයක් මවන තැනක් කරගන්න, තමන් දන්නා තරම පෙන්වන්න වගේම සැබෑම හිතවත් කමට අහන අයත් ඉන්න පුලුවන්

      කොටින් ම ගොඩක් වෙලාවට තමන්ගේ මිම්මෙන් අනිත් අයව මනින නිසා වෙනත් කාන්තාවන්ට කතා බඳින අය ගැන අදහසක් එයින් ම ලැබෙනවා :)

      Delete
  24. බොහොම වැදගත් හිතට දැනුනු ලිපියක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි

      Delete
  25. විශිෂ්ටයි සහෝදරී … විශිෂ්ටයි !!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පත්තර මල්ලි

      Delete
  26. මේක මීට වඩා පිරිසකගෙ ඇහැ ගැටෙන්න ඕනි ලිපියක් රන්දිල්.මේවා ඇහැ ගැටෙන්න ඕනි මීට වඩා පිරිසකගෙ

    මම මේ එක අත්දැකීමක් ප්‍රායෝගිව අත්විදිමින් ඉන්න කෙනෙක් නිසා මට මේ ලිපිය වඩාත් හොදින් දැනුනා.

    මට දැනෙන විදිහට නම් ගොඩක් දෙනෙක් මෙහෙම අහන්නෙ හිතාමතා තව කෙනෙක්ගෙ හිතක් සියුම්ව කොනිත්තලා සතුටක් ලබාගැනීමේ අරමුණින්.

    මම ඒ ගැන අහන අයට බොහෝවිට ඇත්තම හේතුව කියනවා. මොකද ඒ අහන ප්‍රශ්ණෙන් මගෙ හිත කවදාවත් රිදෙන්නෙ නැති නිසා මම උත්සහ කරනවා ඒ අහන අය මේ වගේ ප්‍රශ්ණ මින් පස්සෙ වෙන කෙනෙකුගෙන්වත් නාහා ඉදියිනෙ කියලා හිතලා.

    අවාසනාව කියන්නෙ මං පැහැදිලි සිංහලෙන් ඒ ගැන කියලා තියෙද්දි එක්කෙනෙක් ආපහු වතාවක් මගෙන් ඒ ගැන අහලා තියෙනවා.

    වාසනාවකට මං වැඩ කරන පරිසරයෙ කාටවත්ම ඔහොම ප්‍රශ්ණ අහන මානසිකත්වයක් නෑ.

    ReplyDelete
    Replies
    1. කෙනෙක්ට රිදෙනවා කියලා දැනගත්තහම තවත් රිදවන්න හදන මිනිස්සු ඉන්නවා. පුළුවන් තරම් ඒ වගේ අයට, ඔයා කරනවා වගේ නිවැරදි සෘජු උත්තර දුන්නා නම් කලක් යද්දි ඒ අයගේ අමාරුව සමනය වෙයි.

      ස්තුතියි අදහස් දැක්වීමට

      Delete
  27. හොඳ ලිපියක්.
    ලංකාවෙ මිනිස්සු තමංගෙ ප්‍රශ්න වලට වැඩිය අනුංගෙ කුණු අවුස්සන්න ලොකු ආසාවක් දක්වන අය. මේ කියන ප්‍රශ්නෙදිනං වැඩියෙන්ම බලපෑමක් කරන්නෙ පිට අයට වඩා පවුලෙම අය, නෑදෑයින් විසින් තමයි.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්. මට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණේ නැහැ. ඒත් මං මේ වගේ ප්‍රශ්න අහලා නම් තියෙනවා :)

      Delete
  28. අපි අනිද්දට කතාවෙ තුන්වෙනි කොටහ ලියන්න එනවයි කිවුව මනුස්සයගෙ අනිද්ද එනකල් බලාඉන්නව. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයා සෝ බිසි දීස් ඩේස්...

      Delete
  29. අනුන්ගේ දේවල් ගැන හිතන,සංවේදී වෙන අපේ අය තරම් හොඳ මිනිස්සු ලෝකේ තවත් ඉන්නවාද දන්නේ නැහැ.ඒ කොයි හැටි වෙතත් මේ සමහර ප්‍රශ්න අපෙන් අහන්න කලින්ම එව්වාට උත්තර සුදානම් කරන් ඉන්න එක හොඳයි කියලා හිතෙනවා...:)

    ReplyDelete
    Replies
    1. අන්න හොඳයි. පෙර සූදානම :)

      Delete
  30. අදහස් දැක්වූ ඔබ සැමගේ දැන ගැනීම පිණිස සටහන් කරමි.

    අද, 18 07 2016 සඳුදින ලක්බිම පුවත් පතේ මෙම ලිපිය පළ වී තිබේ.

    ReplyDelete
    Replies
    1. හදපිරි සුබ පැතුම් අක්කේ. ඇත්තෙන්ම එය අන්තර්ජාලයෙන් ඔබ්බට යා යුත් ලිපියක්. ගොඩක් සතුටුයි! :)

      Delete
  31. ඔන්න පොරොන්දු උනාම වගේ කියෙවුවා.

    ඇත්ත. ප්‍රශ්ණය තියෙන කෙනා ඒක හිතේ තියන් නොපෙන්න ඉද්දී පිට ඉන්න අය තමයි ඇහැට ඇඟිල්ලෙන් අනින්නේ. හිතාමතා හෝ නැතුව හෝ ඔය ප්‍රශ්ණෙන් වෙන්නේ කීප දෙනෙක්ගේ හිත රිදෙන එකයි. ඒක අපේ මිනුස්සු තේරුම් ගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් මල්ලි.

      මයි ඕ බී උගන්වන්න ඕනැ. එතකොට හරි :D

      Delete
  32. Replies
    1. ස්තුතියි ඔබට :)

      Delete
  33. //මාත් වැඩිදුර නොහිතා මේ වගේ ප්‍රශ්න අහලා ඇති,
    උපදෙස් දීලා ඇති,
    දරුවෝ කැලතකට හිනා වෙන අය එක්ක එකතු වෙලා හිනාවෙලා ඇති,
    ඒත් මෙයින් මතු මා අතින් එසේ සිදු නොවුනු ඇතැයි උදක් ම බලාපොරොත්තු වෙමි.//

    නියම ලිපියක් බන් . . ඇත්තෙන්ම ඔය වගේ කතාවලදී අපිත් ඇඩ්වයිසර්ලා වෙනවනේ. මේක කියෙව්වාම හිතුනේ ඒක කොයි තරම් අසීලාචාරද කියලා

    ReplyDelete
    Replies
    1. කොටින්ම මට හිතුනෙත් ඒකයි. දැන්වත් මේ වගේ දේවල් ගැන මීට වඩා වෙනස් විදිහටකට අපිට හිතෙයිනේ අයියේ :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...