Friday, July 15, 2016

427. අභයගිරි මතක සටහන් - 4 - සුදු අරලියාගම සහ ඕරමන්ඩි ගෙදර....


Sylvia Kristel & Nicholos Clay in Lady Chatterly's Lover ( 1981)

පහුගිය පෝස්ට් එකේ අපි කතාකලානෙ බස් අජිත් මලයගෙ සිංදු ගැන. විශේෂයෙන්ම අර ෂුධු අරලියා මල අ..අ..අ....අ....අ... සිංදුව ගැන. බස් අජිත්ගෙ සිංදු ගැන අපේ බූරා මලය මෙහෙම කියල තිබ්බ.

/ බස් අජිත්ගෙ ඔය සිංදු සෙට් එක නැගලාම යන කාලෙ, ඒ කියන්නෙ දෙදාස් ගනන්වල මැද කාලෙ වගේ, දවසක් දා මායි යාළුවෙකුයි පිටකොටුවෙන් නැග්ගා වවුනියා බස් එකකට කැකිරාවෙ යන්නයි කියලා.. බස් එක පාරට දාලා විනාඩි කීපයයි යන්ට හම්බවුනේ ඩ්‍රයිවර් තුමා දැම්මෙ නැද්ද අජිත්ගෙ සිංදු සීඩී එක.. කරුමෙට වගේ ඒ මුලු බස් එකටම තිබුනෙ ඔය සීඩී එක විතරද කොහෙද.. සීඩී එක අවසානෙටම යනවා - ආයෙමත් මුලට යනවා.. ඔය විදියට අපි කැකිරාවෙන් බහිනකම් අජිත්ගෙ සිංදු සෙට් එක පස්-හය වතාවක්වත් අහන්ට ඇති..

අපිනම් පෙර වාසනාවකට කැකිරාවෙන් බැස්සය කියමුකො.. මට දුක වවුනියාවටම යනකම් අර මල ඇඬියාව අහගෙන යන්ට වුන අහිංසක මිනිස්සු ටික ගැන../

බූරගෙ ඒ කතාවට පිළිතුරු වසයෙන් මම මෙහෙම කිව්ව.

/නෑ බං අර හැම රිදී වලාකුලකම කළු රේකාවක් තියනව කිව්ව වගෙ ඔය අරලිය කේස් එක හින්ද වෙච්චි එක හොඳකුත් තියනව. ඒක ටිකක් දිග කතාවක්.. ඉඳහංකො සවිස්තරව කියන්නං ඊලඟ පෝස්ට් එකේදි...:) /

අපේ කො.ක.ස. ගරු සබාපතිතුමා මගේ ඒ සවිස්තරව ඊලඟ පෝස්ට් එකේදි කියන්නංය කියපු කතාවට පිළිතුරු වසයෙන් මෙහෙම ඇනුම් පදේකුත් කියල තිබ්බ.

//ඉඳහංකො සවිස්තරව කියන්නං ඊලඟ පෝස්ට් එකේදි.//

/දැන්නං සියයට හන්ඩ්‍රඩ් ෂුවර් ඊගාව පෝස්ට් එකෙත් විවෘත්තෙ නෑ. /

ඒ හින්දම මම හිතුව To make Prasanna eat his words, කොහොම හරි අර බූරට කියන්නම්ය කියල කියපු කතාවත් කියල ජෝර්දාන් අයියගෙ විවුර්තෙ විස්තරෙත් ඒ එක්කම කියනවමයි කියල.

රයිට් දැං අර බූරට කියන්නං කියල කියපු කතාව මෙහෙමයි. ඔය සමහර බස්වල තියෙන්නෙ බස් අජිතයගෙ සී.ඩී. විතරමයි.ඉතිං යන එනකල් කං අහන්ට වෙන්නෙ කණ පුරවල ඔය දෙව්ලාවම තම්යි. 

ඔය හින්ද අපි ඒ දවස්වල කොළඹිං බස් එකේ නඟින්ට ඉස්සරවෙලා කොන්දොස්තරගෙන් අහනව "මල්ලි, බස් අජිත්ගෙ සිංදු එහෙම තියනවද?" කියල. 

ඉතිං කොන්ද කියනව "ඔව් සර් එන්න එන්න අජිත්ගෙ සී.ඩී. තුනක්ම තියනව"

"ආ..එහෙමද? ඒක හොඳයි..අපි එහෙනං අනික් බස් එකේ එන්නං" අපි එහෙම කියල බස් එකට නඟින්නෙ නැතුව පෝලිමේ පස්සට යනව.

ඔය බූර කියාපු කොළඹ-වව්නියාව බස් එකෙත් එහෙමයි.අජිත්ගෙ අඳෝනාව අහගෙන ඉවසල ඉවසල බැරිම තැන මැදවච්චියයි වව්නියාවයි අතර මහ කැළේ මැද හරියෙ බස් එක යද්දි ඔන්න එක මනුස්සයෙක් වලියට ආවලු. 

"මොනවද අයිසෙ මේ මළ අඳෝනාව? බලනව මම කොළඹින් නැග්ග වෙලාවෙ ඉඳල මේක අහගෙන ආවෙ දැං ඉවරවෙයි දැං ඉවරවෙයි කියල හිතල. මේ ඇඬියාව ඉවර වෙන පාටක් නෑනෙ. එක්කො සුදු අරලි..යා..ම..ල..අ...අ...අ..අ. කියල කෙඳිරි ගායි නැත්තං වෙහෙරහේන විහාරයේ උඩ මලුවට යඤ්ඤං කියල අඳෝනා තියයි. තමුසෙල කංවල ගෝන ඇට හිරකරගෙන ඉන්නවද නම් මං දන්නෙ නෑ. ඒත් මටනම් තවත් ඉවසන්න බෑ මේ මළවදේ..."

බස් එකේ ඩැයිවරට මළ පැන්න මේ කතාවට. "අයිසෙ තමුසෙ කවුද එහෙම අපි දාන්න ඕන සිංදු මොනවද කියල අපිට අණ දෙන්න? තමුසෙට අපි දාන සිංදු අහන්ට බැරිනං බහිනව බස් එකෙං..මල්ලි දෙනව මෙයා බස් එකට දුන්නු සල්ලි. අපිට සත පහක් වත් ඕන නෑ තමුසෙගෙං කරුණාකරල බහිනව බස් එකෙං…"

වැඩේ කියන්නෙ අර මනුස්සය හිතුවෙ නෑ ඩැයිවරය එහෙම කතා කරයි කියල. ඉතිං මොකද කරන්නෙ? ආත්ම ඝාතනය ලොකුයිනෙ ඔක්කොටම වඩා. "නවත්තපිය එහෙනං බස් එක" කිව්ව. මිනිහ බැස්ස එතනම.නිකම්ම නෙවෙයි මිනිහගෙ බාර්යාවත් එක්කම. එවුන්දැත් එක්කමයි ගමන ඇවිල්ල තියෙන්නෙ. 

කොහොම හරි මිනිහ හොඳ දහිරිය වන්තය.පවුලත් එහෙමයි. පස්සෙ දෙන්න එක්කම එකතුවෙලා ඒ අහල පහලම කැලේ කොටල හේනක් එහෙම කරල පැලකුත් හදාගෙන එතනම පදිංචි වෙච්චි. ඒ කාලේ ඔය කොටි කේස් හින්ද ඒ හරිය ජන සූන්නියයි.ඊට පස්සෙත් ඔහොම බස් අජිත්ගෙ සිංදු අහල සංසාරෙ එපා වෙච්චි විස්සක් තිහක් විතර ඒ ඊමමම බස් වලිං බැහැල තිබ්බ.ඒ අයත් හේං කොටාගෙන පදිංචි වෙලා  එතන පස්සෙං පහු ගම්මානයක් වෙච්චි.

පස්සෙ හමුදා ආරක්සාව එහෙම දීල එතන ඉස්තිර ගම්මානයක් වුනා. ඒ ජනාවාසෙ පිහිටුවන්ට මුල් වුනේ බස් අජිත්ගෙ සුදු අරලියා මල සිංදුව හින්ද ඒ ගම්මානෙ නම් කලෙත් "සුදුඅරලියගම" කියල. අජිත්ගෙ සිංදුවලින් හොඳකුත් වෙනවය කියල මම කිව්වෙ ඔන්න ඔය සිද්දිය ගැන හිතල..හෙහ්,හෙහ්,

හරි ඒ අතුරු කතාව අවසානයේදී නැවත පහුගිය එපිසෝඩයේ අවසානයට ඔබ රැගෙන යන්නට සබඳ සබඳිනිය මට අවසර!

"මොකද බං?" මම බැරිම තැන ඔලුව හරවල උගෙ මූන බැලුව. බයිසිකලේ නැවතිල තිබ්බෙ හරියටම ජෝර්දාන් අයියලගෙ ගෙදර තාප්පෙටම හේත්තුවෙලා වගෙ. 

"අර..බලපං අර..." කුමාරය අත දික්කරල මට ජෝර්දාන් අයියලගෙ වත්තෙ මැද්දෑවෙ වගෙ තිබ්බ රූස්ස අඹ ගහ දිහාව පෙන්නුව. මමත් ඒ දිහාවෙ හැරිල බැලුව මොකටද මේ යකා මේ මෙච්චර අන්දොස් වෙලා තියෙන්නෙ කියල. මගෙ ඇස් දෙකත් උඩ ගිහිල්ල කටත් ඇරුනෙ ඉබේම..........." කවුද බං ඒ?" මම කිව්ව නෙවෙයි මට කියවුනා.

කුමාරය උත්තරයක් දුන්නෙ නෑ…"හ්ම්මම්හ්ක්" ...කටට බඹරෙක් ගිහිල්ල උගුරෙ හිරවෙලා දඟලනව වගෙ අව්‍යාක්ත රාවයක් උගෙං පිටවුනා. එච්චරයි.. 

"සි…ල්වි...යා ක්‍රි….ස්ට….ල් නේද බොලේ?" මගේ ප්‍රශ්නෙට මමම උත්තරත් දුන්න.

ජෝර්දාන් අයියලගෙ ගෙදර මිදුලෙ මහ විසාල අඹ ගහක් තිබ්බය කියල මම කලින් කිව්වනෙ. ඒ අඹ ගහ යට ඒ වෙලාවෙ වේවැල් පුටුවක් තියල තිබ්බ. ඒ පුටුවෙ ඉඳගෙන හිටියෙ...පුටුවෙ ඉඳගෙන හිටියෙ සිල්වියා ක්‍රිස්ටල්...ඔව් සිල්වියා ක්‍රිස්ටල්....සිල්වියා ක්‍රිස්ටල් කියන්නෙ ඔය අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ සිහින කුමරියන් අතුරින් එක් කුමරියක්. කාලෙන් කාලෙට සිහින කුමරියන්ගෙ ප්‍රමුඛතා ලැයිස්තුව වෙනස් වෙලා නම් ඉහළට යනව. පහළට යනව. අලුතින් නම් එකතු වෙනව. තියන නම් හැලිල යනව. 

මෙරිල් ස්ට්‍රීප්, (The Deer Hunter, The French Lieutenant's Woman, Kramer vs. Kramer) ජැකලීන් බිසට්, (The Greek Tycoon, The Deep) සොෆියා ලොරේන්, (Cassandra Crossing) උර්සුලා ඇන්ඩ්රස්, (The Mountain Of The Cannibal God) බෝ ඩෙරෙක්, (10, Tarzan the Ape Man) බ්රූක් ෂීල්ඩ්ස් (The Blue Lagoon) සිල්වියා ක්‍රිස්ටල් (Private Lessons, Emmanuelle, Lady Chatterley's Lover )

සිල්වියා ක්‍රිස්ටල්ගෙ ඒ කාලෙ අපි අතර බොහොම ජනාදරයට පත්වුනු ෆිල්ම් එක ඇවිල්ල ලේඩි චැටර්ලීස් ලවර්. ඩී.එච්.ලෝරන්ස්ගෙ එනමින්ම ප්‍රසිද්ධියට පත්කල නවකථාව ඇසුරෙන් කරපු ෆිල්ම් එකක්.

ලේඩි චැටර්ලීස් ලවර් හෙවත් චැටර්ලි ආර්යාවගේ පෙම්වතා නවකථාව කීපවාරයක්ම තිරයට නැඟිල තියනව. මම මේ කියන්නෙ සිල්වියා ක්‍රිස්ටල් ප්‍රධාන චරිතය රඟපාපු 1981 අවුරුද්දෙ ආපු ෆිල්ම් එක ගැන. මරදානෙ සෙන්ට්‍රල් එකට මට මතක විදිහට ඒ ෆිල්ම් එක ආවෙ.

ඔන්න තවත් අපූරු කෝඉන්සිඩන්ස් එකක්. මේ පහුගිය දවසක රුවන් ලියල තිබ්බ ඉස්කෝලෙ කට් කරල හොරෙං පැනල තෝසත් කාල ඊට පස්සෙ ආනන්දෙ ඇතුලට ගිහිල්ල දවසම ගත කරපු සිද්ධියක් ගැන. මම ඒ පෝස්ට් එකට කමෙන්ට් එකක් ලිව්ව ඕරමන්ඩි ගෙදර ගැන කියල. ඒ සිද්ධිය වෙන්නෙත් මට මතක විදිහට සිල්වියා අක්කගෙ රූප සෝබාව දැක බලාගෙන සිත පහදවාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුතුව ඉස්කෝලෙං හොරෙං පනින්ට ගිය වෙලාවක.

"මචං සෙන්ට්‍රල් එකේ දාල තියනව ලේඩි චැටර්ලීස් ලවර්…" එකෙක් කිව්ව උදේම බෙල් එක ගහන්ටත් ඉස්සර. ඌ එන්නෙ කඳානෙ ඉඳල. සෙන්ට්‍රල්, නිව් ඔලිම්පියා හෝල්වල අලුත් පිච්චර් දැම්මම එව්වයෙ විස්තර හොයාගෙන එන රාජකාරිය පැවරිල තිබ්බෙ ඌට.

"මොකක්ද මරදාන හන්දියෙ බිල් බෝඩ් එකේ ගහල තිබ්බෙ? සීන්ස් එහෙම තියනවද?" එදිරිය ඇහැව්ව. 

ඒ කාලෙ මරදානෙ හන්දියෙ රේල් බෝක්කුව ලඟ තිබ්බ ස්ථිරවම ගහල ජී.අයි. බට වලින් අඩි 40 x 40 වගෙ ෆ්‍රේම් තුන හතරක්. එව්වයෙ උඩම ලොකු අකුරින් ගහල තිබ්බ එකක සෙන්ට්‍රල්. අනිකෙ නිව් ඔලිම්පියා. අනිකෙ ගාමිණී අනිකෙ ලිඩෝ කියල. ඒ ඒ අදාල ෆිල්ම් හෝල් එකට ෆිල්ම් එකක් ආවම ඒ අදාල බිල් බෝඩ් එක අදාල රාමුවෙ හයි කරනව.

ඔය ෆිල්ම්ස් ගෙන්නන එවුං ඒ කාලෙ මරු වැඩක් කලා අපි වගෙ ඔය පට ගාල යොවුං හැඟීම් ඇවිස්සෙන කොල්ලො කුල්මත් කරල හෝල්වලට ගෙන්න ගන්ට. 

ඔන්න අපි හිතමු ෆිල්ම් එකක තියනව කියල යංතමට කිස් කරන සීන් එකක්. බොහොමයක් වෙලාවට ඒ ෆිල්ම් එකේ සම්ම ජාතියට ඒ ජාතියෙ සීන්ස් එකක් තියෙන්නෙත් එච්චරයි. මේ වලහැඩියො කරන්නෙ අර සීන්ස් එක ලොකුවට ඇඳල එල්ලනව අර මම කියපු මරදාන හන්දියෙ බිල් බෝඩ් ෆ්‍රේම් එකේ.අනේ ඉතිං අපි අහිංසක කොල්ලො ඕක දැක්ක ගමං ඔල්මොරොංදං වෙනව. ඉස්කොලෙට ආවත් එදා ඉතිං උගන්නන කිසියම්ම දෙයක් හිතේ නෑ. අර සීන්ස් එකම තමයි සිහිය.

ඉතිං දණිපනි ගාල චාන්ස් එකක් ආපු ගමං තාප්පෙං පැනල ගිහිල්ල ඔන්න පෝලිමෙත් ඉඳල ෆිල්ම් එක බලනව. ඊට පස්සෙ ඔන්න ෆිල්ම් හෝල් කාරයගෙ ලොකු අප්පච්චිගෙ ඉඳල අර බිල් බෝඩ් එක ඇඳපු එකාගෙ අල්ලපු ගෙදර මිනිහගෙ බාප්පොච්චි දක්වා ඉන්න ඔක්කෝගෙම අම්මල මතක් කරමින් හෝල් එකෙං එලියට එනව.

චිත්‍රපට බිල් බෝඩ්ස් නොහොත් ප්‍රචාරක පුවරු ගැන කියනකොට තව එකක් කියන්නම ඕන. ඒ කාලෙ ඔය ප්‍රචාරක පුවරු හැම එකකම යට තිබ්බ ඒ පුවරුව ඇන්ද චිත්‍ර ශිල්පියගෙ අත්සන සහ දිනය. ස්ලාන්ට් වෙච්චි නැත්නම් පැත්තකට ඇල වෙච්චි අකුරුවලින් ගහල තිබ්බ ඒ අත්සනේ තිබ්බ නම ඇවිල්ල හිට ප්‍රේම් ජයන්ත්. 

ප්‍රේම් ජයන්ත් කියන්නෙ පණහෙ දශකයේ වගෙ බොහොම ජනප්‍රිය වුනු චිත්‍රපට කීපයකම ප්‍රධාන නළුවා. සුජාතා සහ සැඩ සුළං ඔහු රඟපෑ චිත්‍රපට දෙකක්. හැත්තෑව දශය වෙනකොට ඔහු චිත්‍රපට ප්‍රචාරක පුවරු ඇඳීමේ කාර්යයට අතගහල තිබ්බ. ඊටත් පස්සෙ අනූවෙ ශකයෙ විතර මම දැක්ක මොකක් හරි පත්තරේකට ප්‍රේම් ජයන්ත් කියල තිබ්බ ඩිජිටල් ප්‍රචාරක කලාව හින්ද දැන් ඔහුගේ ඒ අතින් අඳින ප්‍රචාරක පුවරු වලට කිසිම ඉල්ලුමක් නැතිය කියල.

සෙන්ට්‍රල් හෝල් එක තියෙන්නෙ ටෙක්නිකල් එක පැත්තට යනකොට. නිව් ඔලිම්පියා ඩාලි රෝඩ් එකේ. ගාමිණී එකත් ඒ පැත්තෙමයි. ගාමිණී හෝල් එක 1983 ජූලි කලබල වෙලාවෙ සම්පූර්ණයෙන්ම පුච්චල දැම්ම. ලිඩෝ තිබ්බෙ බොරැල්ලෙ.

1973/74 වගෙ කාලෙ ලංකාවෙ වාර්තා බිඳහෙලමින් තිරගත වුනා ගීත් නම් බොලිවුඩ් චිත්‍රපටය මරදානෙ ක්‍රවුන් හෝල් එකේ. රාජේන්ද්‍ර කුමාර් සහ මාලා සිංහ ප්‍රධාන චරිත රඟපෑවෙ. ක්‍රවුන් හෝල් එකේ මට මතක විදිහට අවුරුදු දෙකක් එක දිගට ගීත් චිත්‍රපටය තිරගත වුනා. මට කියන්නට ඕන කලේ ඒ දවස්වලත් ඔය මරදානෙ ඔය බිල් බෝඩ්ස් එහෙම්මම තිබ්බ. ගීත් චිත්‍රපටයෙ දැන්වීමෙ ඉහල ලොකු අකුරින් තිබ්බ අදට දින 400, 401, 402 කියල දවසෙං දවස වෙනස් වෙන දින දර්ශකයක්. 

අපෙ අප්පච්චිගෙ ගම ඇවිල්ල අකුරැස්ස. අවුරුද්දකට පාරක් විතර ඉස්කෝල නිවාඩු කාලයක් අල්ලල අපි කට්ටියම යනව අකුරැස්සෙ අප්පච්චිලගෙ ගමේ. ගිහිල්ල දවස් තුන හතරක් ඉඳල එනව. අකුරැහි යමිං ගමනයි එමිං ගමනයි දෙකේම අපි ඔය බිල් බෝඩ් එකේ දින ගණන හයියෙං කෑගහල කියනව "දින හාරසීයයි, හාරසිය හතරයි" එහෙම . ගීත් ෆිල්ම් එකට අමතරව සන්ජීර් සහ අභිමාන් තවත් ඒ කාලෙ ඔහොම පැල් බැඳගෙන අවුරුදු ගණං දිව්ව ෆිල්ම්ස් දෙකක්.

අපි අකුරැහි යන්නෙ වොරන්ට් එකට. අප්පච්චිට අවුරුද්දට රේල්වේ වොරන්ට්ස් තුනක් හම්බ වෙනව පවුලේ ඔක්කෝටමත් එක්ක. වොරන්ට්ස් කියන්නෙ රජයේ සේවකයින්ට නොමිලේ දුම්රියෙ ගමන් කරන්නට ලැබෙන විශේෂ වරප්‍රසාදයක්.

අපි ඒ කාලෙ වොරන්ට්ස් තුනෙං උපරිම ප්‍රයෝජන ගන්නව. අකුරැහි යාමට අමතරව එකකිං ත්‍රිකුණාමලේ යනව. එහෙ රේල්වේ ඩිපාට්මන්ට් වැඩකලා අම්මගෙ අයිය කෙනෙක්. අම්මගෙ අයියල තුන්දෙනෙක්ම වැඩකලේ රේල්ලුවෙ. සුද්දගෙ කාලෙ තිබ්බ ක්‍රමයක් රේල්ලුවෙ, වරායෙ එතකොට තැපෑලෙ එහෙම හොඳ කල්කිරියාවෙං කාර්යක්සවම වැඩ කරපු අයගෙ දරුවො අධ්‍යාපන සුදුසුකම් නොසළකා ඒ ඒ ආයතන වලට බඳවා ගන්න ක්‍රමයක්. 

අම්මගෙ අප්පච්චි රේල්ලුවෙ ෆයර්මන් කෙනෙක්. ඒ කාලෙ තිබ්බෙ වාෂ්ප එන්ජින්නෙ.ඒ එන්ජින්වල පිටිපස්සෙ කොයිවෙලෙත් හෙණ ගිණිමැලයක් ඇවිලෙනව.ඒකෙං තමයි වතුර බොයිලේරුව රත්කරල වාෂ්ප උපදවන්නෙ. ඒ වාෂ්පෙං පිස්ටන් සහ ඊට පස්සෙ ඇක්සල් කරකැවිල තමයි අවසාන වශයෙන් රෝද කරකැවෙන්නෙ. ඔය ගිණි උදුනට නිතරම අවශ්‍ය ප්‍රමාණයට ගල් අඟුරු දාන එක තමයි ෆයර්මන්ගෙ වගකීම.

අත්තා තමංගෙ රාජකාරිය අකුරටම ඉටු කරපු හින්ද පුත්තු තුන්දෙනෙක්ටම රේල්ලුවෙම රස්සා හම්බවුනා.ඒ මගෙ එක මාමෙක්ගෙ පුතෙකුටත් හැටගණංවල ඒක්‍රමය යටතෙම රස්සාව ලැබුන. දැන් නම් මම දන්න විදිහට එහෙම දරුවන්ට රස්සා දෙන ක්‍රමේ අත්හිටුවල.

ඉතිං අනික් වොරන්ට් එකෙන් යනව බදුල්ලෙ. එහෙට බැඳල හිටිය අම්මගෙ නංගි. අපෙ පොඩි අම්ම. රජයේ සේවයෙ උසස් වීම් ලැබිල එක ශ්‍රේණියකට ආවම අවුරුද්දෙ වොරන්ට්ස් තුනම වෙනුවට එයාර් සිලෝන් ගුවන් යානයකින් රත්මලානෙ ඉඳල කන්කසන්තුරේට හෝ චීනවරායට යන්ට අවස්ථාවකුත් රජයෙන් ලබල දුන්න. අපිත් බොහොම ආසාවෙන් හිටියට ඒ බලාපොරොත්තුව ඉටුවුනේ නෑ. ඒ කතාවත් පස්සෙ තමයි ලියන්ට වෙන්නෙ.

"මොකක්ද මරදාන හන්දියෙ බිල් බෝඩ් එකේ ගහල තිබ්බෙ? සීන්ස් එහෙම තියනවද?" එදිරිය ඇහැව්ව. 

"අප්පට සිරි කියල වැඩක් නෑ මචං... ෆුල් නේකඩ් කෙල්ලෙක්ගෙ සීන් එකක් දාල තිබ්බ …"

"ෆුල් නේකඩ් කිව්වෙ? ඇඟේ නූල් පොටක් වත් නෑ?" මම ඇහුවෙ කට කණේ තියාගෙන. 

"නූල් පොටක් ඉණෙං පල්ලෙහා තියනවද කියල නම් මන්දා බං මොකද ඉණෙං උඩ විතරයි ඇඳල තිබ්බෙ. ඒ පේන්ට තිබ්බ හරියෙ නම් තිබ්බෙ මල් වගයක් විතරයි."

(එහෙම සීන්ස් එකක් ලේඩි චැටර්ලීස් ලවර් පොතේ තියනව. චැටර්ලි ආර්යාව සහ උයන් පල්ලා මෙලර්ස් අතර කාම සම්භෝගයෙන් පසු වරක් ඔහු චැටර්ලි ආර්යාවගේ නිරුවත් සිරුර කැළෑ මලින් සරසනවා)

Lady Chatterley's Lover පොතේ මම කැමතිම උද්ධෘත දෙකක් මේ....

“Obscenity only comes in when the mind despises and fears the body, and the body hates and resists the mind.” 

“A woman has to live her life, or live to repent not having lived it.” 

"එහෙනං යමං දෙවෙනි පීරියඩ් එක ඉවර වෙනකොටම පිටිපස්සෙ තාප්පෙං පනිමු."

ඒ වගේම 9.00 ට දෙවෙනි පීරියඩ් එක ඉවරවෙලා සර් එළියට යනවත් එක්කම අපි තුන්දෙනෙක් බිත්ති කණ්ඩියට මුවාවෙලා ගිහිල්ල තාප්පෙ යම්තමට පුපුරල තියෙන තැනකට අඩිය තියල එහා පැත්තට පැන්න. තාප්පෙන් එහා පැත්තෙ තිබ්බෙ හිස් ඉඩමක්. ඊටත් එහායිං ඕරමන්ඩි ගෙදර. ඒ ගෙදර ඉස්සරහ බිත්තියෙ රතුපාට ලොකු අකුරිං ගහල තිබ්බ ORMONDE කියල. ඒ ඇවිල්ල ගෙදර නම. ජේ.ආර්.ගෙ වෝඩ් ප්ලේස් ගෙදර නම බ්‍රීමර්. එස්.ඩබ්.ආර්. ඩී. බණ්ඩාරනායකගෙ රොස්මීඩ් ප්ලේස් ගෙදර නම ටින්ටජල්. දැන් ඒ ගෙදර දාල තියන හෝටලේ නම Paradise Road Tintagel ... ටින්ටජල් කියන්නෙ එංගලන්තෙ හිටියයි කියන ආතර් රජ්ජුරුවන්ගෙ මාළිගාවෙ නම. අහල ඇති නේද ආතර් රජ්ජුරුවන්ගෙයි වට මේසෙ නයිට් වරුන්ගෙයි කතන්දර?

ඕමන්ඩ් කියල සුප්‍රසිද්ධ රේස් අශ්වයෙක් ඉඳල තියනව 19 වන ශතවර්ෂයෙ අගබාගෙ එංගලන්තෙ. අපේ ඉස්කෝලෙ ගාව තිබ්බ ගෙදරට ඕමන්ඩ් කියල නම දැම්මෙ ඒ අස්සය හින්දද කියලනම් මට හරියටම කියන්ට බෑ,

ඉතිං පුරුද්දක් වශයෙන් කිත්‍යාකාර පාරෙ ඉස්කෝලෙ ඇරිල යන කොල්ලො ඔය ගේ ඉස්සරහ නැවතිල "ඕරමන්ඩී" කියල යටිගිරියෙං කෑගහන පුරුද්දක් තිබිල තියනව. ඒ කාලෙ ඔය ගෙදර වයසක අන්කල් කෙනෙක් ඒ වෙලාවට හැරමිටියකුත් උරුක් කරගෙන මිදුලට බැහැල ඉංග්‍රීසියෙං බැණ අඬගහන සිරිතකුත් තිබ්බලු. 

පස්සෙ ඒ අන්කල් අබාවප්‍රාප්ත වෙලා ගෙදර ඉතුරු වෙලා තියෙන්නෙ වයස්ගත කාන්තාවො දෙන්නෙක් විතරයි. ඒ දෙන්නට අර අන්කල්ට වගෙ මූලග්ගාය නැති හින්ද එළියට බැහැල කඩ්ඩෙං බැණ අඬගැහිල්ල එහෙම්මම නතර වෙලා. 

ඒ හින්දම කොල්ලන්ගෙ ඕරමන්ඩී කියල කෑගැහිල්ලත් මම ඔය කියන කාලෙ වෙනකොට නතර වෙලයි තිබ්බෙ.ඊට අවුරුදු දෙක තුනකට වගෙ පස්සෙ ඒ ගෙදර අපේ ඉස්කෝලෙ ළමයින්ගෙ බෝඩිං ප්ලේස් එකක් වෙලත් තිබ්බයි කියල මට පස්සෙ ආරංචි වුනා.

ඉතිං අපි තුන්දෙනෙක් තාප්පෙං පැන්න කියල මම කිව්වනෙ. මමයි ලලිතයයි එදිරියයි. අපි සාමාන්‍යයෙන් කරන්නෙ තාප්පෙං පැනල තාප්පෙ එක්කම තියෙන හිස් බිම් කඩෙන් ගිහිල්ල කිත්‍යාකාර පාරට යන එක. එදත් එහෙමයි අපේ සැළසුම තිබ්බෙ. 

"ඒයි අම්මට XXX,  අර බලපං…" ලලිතය කිව්ව. 

කෙලියා නේන්නං..කිත්‍යාකාර පාරට අපි ගොඩවෙන තැන මෙන්න ඉන්නව ආලවකයො වගෙ ප්‍රිෆෙක්ට්ස්ල තුන් දෙනෙක්. ඒ ප්‍රිෆෙක්ට්ස්ල නොහොත් ශිෂ්‍ය නායකයො පත් කරපු අලුත. පත් කරපු අලුත ඔය ඇමතිවරුනුත් රටේ නැති ඔක්කොම බදාගෙන කරන්ට යනවනෙ. එක පාරක් ලලිත් ඇතුලත්මුදලි මහත්තයගෙ බිරිඳ ශ්‍රීමනී ඇතුලත්මුදලි නෝනා ප්‍රවාහන ඇමති විදිහට පත් කරපු ගමං කොටුවෙ ස්ටේෂන් එක අතුගෑව හිටං. 

අන්න ඒ වගෙ ඉතිං අපේ ප්‍රිෆෙක්ට්ස්ලත් එහෙමයි. පත්කරපු අලුත ඉස්කෝලෙං හොරෙං පනින එවුං පස්සෙ පන්නනව අර ජෙරී පස්සෙ ටොම් පන්නනව වගෙ. ටික දවසක් ගිහිල්ල ප්‍රිෆෙක්ට් උණ ටිකක් බැහැල එහෙම ගිහාම දෙගොල්ලොම එනව අප්‍රකාශිත සමඟි සංධානයකට. ඒ කිව්වෙ කොල්ලො ගාල කඩාගත්ත හරක් වගෙ එක සීරුවට පැනල යෑමෙන් වැළකෙනව.අවාරෙට අඹ වැටෙන්න වගෙ එකා දෙන්න හෙමීට මාරු වෙනව. 

එහෙම නැතුව පංති පිටිං යන්ට ගියාම ප්‍රිෆෙක්ට්ස්ලටත් ඒක ප්‍රශ්නයක් වෙනවනෙ. ප්‍රිෆෙක්ට්ස්ලගෙ පැත්තෙං එයාල ඒ එකා දෙන්න මාරුවෙනව නොදැක්ක වගෙ අහක බලාගෙන ඉන්නව.එහෙමයි ඒ අප්‍රකාශිත එකඟ තාවය.

කිත්‍යාකාර පාර ගාව එදා ඒ රැකල හිටියෙ ඒ තාම ප්‍රිෆෙක්ට් උණ බැහැල නොගිය තුන්දෙනෙක්.සාමාන්‍යයෙන් ඉස්කෝලෙ තාප්පෙං පැන්නට පස්සෙ පස්සෙං පන්නල ඇවිල්ල අල්ලන්නෙ නෑ ප්‍රිෆෙක්ට්ස්ල. ඒක අපි දෙගොල්ල අතර තිබ්බ අප්‍රකාශිත එකඟතාවයක්. දැං මේ ශිෂ්‍ය නායකයො තුන්දෙනා පැහැදිලිවම ඒ එකඟතාවය කඩකරලයි මේ රැකගෙන ඉන්නෙ. අ වෙරි ක්ලියර් වයලේෂන් ඔෆ් අවර් අන්ස්පෝකන් ඇග්‍රීමන්ට්..වෙරි ක්ලියර්..වෙරිම ක්ලියර්...

"යකෝ එහෙම කොහොමද තාප්පෙං පැන්නට පස්සෙ උං අපිව අල්ලන්නෙ? මේක හරිම අසාධාරණයක්නෙ.."

එදිරියට මල පැනල. ඕකට ඔය අසාධාරණය කියන එක පෙන්නන්ට බෑ. උගෙ තාත්ත ඒ කාලෙ කොමියුනිස්ට් පක්ෂෙ පොලිට් බියුරෝ එකේ ඒ කිව්වෙ දේශපාලන මණ්ඩලයෙ ප්‍රබලම සාමාජිකයෙක්. ඒ හින්දම ඕකට අසාදාරණේ අයුත්ත පෙන්නන්ට බෑ.

"ආ..අසාදාරණයක්ද? එහෙනං උඹ ගිහිල්ල උංට ඒක පැහැදිලි කරල දීපං" ලලිත් කිව්ව. 

"ඔව් මම යනව තමයි" එදිරිය යන්ට ලෑස්ති වුනා. 

"පිස්සුද බං? මෙන්න මෙහෙ හිටපං. ඔවුන්ට අහුවෙලා කුවේජු සර් ගාවට අරගෙන ගියොත් කණ හරහා කන්ට වෙනව. අනික මේ වෙලාවෙ ඉස්කෝලෙ මැදිං අපිව දක්කගෙන යන එක යකෝ හතර විලි ලැජ්ජාවයිනෙ"

"ඒ ඉස්කොලෙ මැදින් ඇදගෙන යන්නෙ අහුවුනොත්නෙ. ඔවුන්ට දෙකක් ඇනල දුවමු."

"විකාර කියවන්ට එපා බං. එහෙම කලොත් ඉස්කොලෙං දොට්ට දාන්ට උනත් පුලුවං. ඒ හින්ද උං එක්ක ඇරගන්ට ඕන නෑ. අපි වෙන විදිහක් බලමු" මම කිව්වා.

විකල්ප දෙකයි ඒ වෙලාවෙ තිබ්බෙ……

එක..තාප්පෙං ආපහු ඉස්කොලෙට පැනල මොකවත් නොදන්නව වගෙ ගිහිල්ල පංතියෙ ඉඳගෙන ඉන්න එක. ( Back to School කියල තියෙන ඇඩ් දකිනකොට මට මතක් වෙන්නෙම ඔය සීන් එක) 

දෙක..කටු කම්බි වැටෙං රිංගල ඕරමන්ඩි වත්තට ඇතුල් වෙන එක. ඒත් ඕරමන්ඩි ගෙදර වටෙං ගිහිල්ල පාරට යන්ට ඉඩක් නෑ. දෙපැත්තෙම තාප්ප දෙකක් බැඳල. එකම විදිහයි තියෙන්නෙ. 

"යමල්ලකො….." මම කටු කම්බි වැටෙං රිංගල ඕරමන්ඩි වත්තට ඇතුල් වුනා.අනික් එවුං දෙන්නත් මගෙ පස්සෙං ආව. 

"දැං මොකද බං කරන්නෙ?" ලලිතය ඇහැව්ව. 

"ඉඳපංකො වෙන කරන්ට දෙයක් නෑ."

මම ඕරමන්ඩි ගෙදර පිටිපස්සෙ දොරේ බෝලෙ කැරකුවා. දොර අගුලු දාල නං එහෙම හුටා. වෙලාවට මෙන්න දොර ඇරුන. එතනිං ඉස්සරහ තව දොරක්. ඒත් එක හායි ගාල ඇරල දාල. එතනිං එහා සාලෙ වෙන්ට ඕනෙ. සාලෙං එනව කවුද කඩ්ඩෙං කතා කරන අද්දයක්. බල බල ඉන්ට වෙලාවක් නෑ. 

"යමල්ල" මම ඉස්සර වුනා. එදිරියයි ලලිතයයි මගෙ පස්සෙං ආව.

සාලෙ වේවැල් පුටු දෙකක ඉඳගෙන හිටිය වයසක නෝනල දෙන්නෙක්. දෙන්නම එක අච්චුවෙ. ඩෙෆිනීට්ලි අක්කයි නංගියි. ෂුවර් ඇන්ඩ් ෂොට් දැන් මේ ගෙදර ඉන්නවයි කියන නෝනල දෙන්න වෙන්න ඕන.අපි තුන්දෙනා අර සංඝතිස්ස, සිරිසඟබෝ සහ ගෝඨාභය සහෝදර කුමාරවරු තුන්දෙනා අනුරාධපුරේ යනව වගෙ සාලෙ මැදින් යනකොට ඒ නෝනලගෙ ඉස්සෙල්ල කටවල් ඇරුන. ඊට පස්සෙ ඇරුණු මුවින් යුතුවම අපි තුන්දෙනාගෙ මූණු දිහා මාරුවෙන් මාරුවට බලල ආයෙම එකිනෙකාගෙ මූණු බැලුව.

එක නෝනා කෙනෙක් මොනවද කියන්ට හැදුවට සද්දෙ පිටවුනේ නෑ. Speechless සහ Dumbstruck කියල ඉංගිරිසියෙන් කියන්නෙ මම හිතන්නෙ ඔය වගෙ අවස්තාවලට වෙන්ට ඕන. එයාල මොකවත් ඇහුවෙ නැතිහින්ද අපි මොකවත් පැහැදිලිකිරීමක් කරන්ට නම් ඕන නෑ ඇත්තටම.ඒත් මම හිතුව මොකවත්හරි කියන එක අපේ යුතුකම කියල.

"Please excuse us Aunties, we are conducting a survey of houses in this area. I am really happy to inform you that we have selected your house as the most beautifully arranged house of all we have surveyed."

ආන්ටිල දෙන්නගෙ කටවල් තවත් ඇරුන. 

"We would be in touch regarding......" මම තව මොකවත් කියන්ට ඉස්සර ලලිතය මගෙ කණට කරල දත්මිටි කාගෙන මෙහෙම කිව්ව…"යමං XXX, මෙතන කඩ්ඩ වන වන ඉන්නෙ නැතුව. දැං මේ දෙන්න පොලීසියට ටෙලිෆෝන් කලොත් එහෙම ඉස්කෝලෙං දොට්ට දානව විතරක් නෙවෙයි හිරෙත් එක්ක යන්ට වෙනව"

ඒකත් හරි තමයි බලාගෙන ගිහාම. මම විවරවූ මුවින් යුතුව තවමත් තුෂ්ණිම්භූතව හිඳිනා ආන්ටිල දෙන්න දිහා බලල අහිංසක විදිහට හිනාවෙලා හිස නමා ආචාර කරල එදිරියයි, ලලිතයයි එක්ක ඉස්සරහ දොර ඇරගෙන මිදුලට බැහැල ගේට්ටුවෙං කිත්‍යාකාර පාරට ආව. 

"අන්න බං අරුං තුන්දෙනා තාමත් අතන ඉන්න අර පැත්ත බලාගෙන" පස්ස හැරිල බලපු එදිරිය කිව්ව. 

මමත් හැරිල බැලුව. අපි ඕරමන්ඩි ගෙදර ගේට්ටුවෙං එලියට එයි කියල ප්‍රිෆෙක්ට්ස්ල කීයටවත් හිතන්නෙ නෑනෙ. උං තුන් දෙනා තාමත් අර පාලු ඉඩම දිහා බලාගෙන ඉන්නව. 

"හෙහ්,හෙහ්, එවුං ඔහෙ බලාගෙන හිටපුවාවෙ ඇස් රිදෙනකල්. අපි මෙන්න මෙහෙ යමං..දැනටමත් පෝලිම ද දන්නෙ නෑ ටෙක්නිකල් එක දිහාවට" මම එහෙම කියල ඉස්සර වුනා. 

*******************************

පලි - දැන් මම එකහිත් හිතාගෙන හිටියෙම අතුරු කතා ඔක්කොමත් කියල අද ජෝර්දාන් අයියගෙ රෙස්ටෝරන්ට් එකේ කතාව ඉවර කරන්නම්ය කියල.

ඊයෙ මට කෝල් එකක් ආව..

"හෙලෝ යස් හූ ඊස් දිස්?" මම ඇහුව. 

"ආ..ඔය රවීද කතා කරන්නෙ? "

"ඔව්..ඔව්..රවී තමයි කවුද මේ? "

"ආ..මම මේ ගරු සබාපති තුමා.."

අපෙ ගෙවල්වලට හැරෙන තැන බෝක්කුව අබලන් වෙලා. මම ඒ ගැන දවස් දෙකකට වගෙ කලින් අපෙ ප්‍රාදේශීය සභාවෙ කාර්මික නිලධාරී මහත්තයට කතා කලා. මට එක පාරටම හිතුනෙ මේ කතාකරන්නෙ ප්‍රාදේශීය සභාවෙ සබාපතිතුමා ඒ ගැන වෙන්ට ඕනය කියල. 

"ආ..ගරු සබාපතිතුමා බොහොම සන්තෝසයි ඔබතුමාම අපෙ බෝක්කුව ගැන කතාකලාට. ඇත්තටම මහජනයා ඔබතුමාලට දොස් කිව්වට කිසි වැඩක් කරන්නෙ නැතය කියල ඒක සම්පූර්ණ බොරුවක්ය කියල ඔබතුමා මේ දැන් ඔප්පු කලා. මේ බෝක්කුවෙ වැඩේ මෙහෙමයි සබාපති තුමා...."

එතකොටම සබාපතිතුමා මට හරස් කැපුව. "මොන බෝක්කුවක්ද මොන ප්‍රාදේසීය සබාවක් ගැනද මේ කියන්නෙ? මම කතාකලේ එහෙම දේකට නෙවෙයි" 

"එතකොට මේ අපේ ප්‍රාදේසීය සබාවෙ සබාපති තුමා නෙවෙයිද?"

"මොන විකාරද? රවි අයිය... මම මේ ශ්‍රී ලංකා කොමෙන්ට් කරුවන්ගේ සංගමයේ ගරු සබාපතිතුමා නොහොත් ගොඩකවෙල ප්‍රසන්න."

"අම්මට උඩු එහෙම කියන්ට එපාය...ඉතිං මල්ලි මොකෝ හදිස්සියෙ ? මක්කැයි මගෙං කෙරෙන්ට ඕන? "

"මම මේ කතාකලේ අයියෙ අයිය අර ජෝර්දාන් අයියගෙ කතාව මේ පාර ඉවරෙටම ඉවර කරනවද කියල අහන්ට.."

"යස්, යස්, ඇයි බං මම කලිං පෝස්ට් එකේ කමෙන්ට් එකකිනුත් කිව්වෙ. ඇයි උඹ අර කියලත් තිබ්බෙ අනිවාර්යයෙන් තව එක කොටසකින්නම් මේ යස්සය මේ කතාව ඉවර කරන්නෙ නැතය කියල. උඹේ ඒ චැලේන්ජ් එක හින්දමයි මම හිතාගත්තෙ කොහොම හරි අතුරු කතා ටිකත් කියල මේ පාර කතන්දරේ ඉවර කරනවයි කියල. "

"හිහ්..ඒ ගැන කතා කරන්ටමයි අයියෙ මම මේ කෝල් කලේ" 

"ඒ කිව්වෙ බං? "

"දැං අයියෙ මෙහෙම දෙයක් වෙනව. අයිය මේ පාර කතාව ඉවර කලොත් මම පරදිනව. ඒක කො.ක.ස. සබාපති හටියට මගෙ කීර්තිනාමයට කැළලක්. "

"හරි හරි ඒක එහෙමයි කියමුකො.. ඉතිං උඹ දැං මට මොකක්ද කියන්නෙ කියපංකො."

"එහෙම මම පැරදුනොත් මට සිද්ද වෙනව කො.ක.ස. සබාපති කමෙං ඉල්ලා අස් වෙන්ට."

"අප්පටසිරි එහෙමත් එකක්ද?"

"ඔව්..එහෙම තමයි වෙන්නෙ. අයිය කැමති විදිහක් කරන්ට." එහෙම කියල ඌ ඩහ් ගාල ෆෝන් එක තිබ්බ. 

මට උනෙ අර කිරි හින්ද බොන්ටත් බෑ උණු හින්ද අහක දාන්ටත් බෑ වගෙ වැඩක්. මම චැලේන්ජ් එක බාර අරගෙන තියෙන්නෙ. ඒ හින්ද මේ කොටසින් කතාව ඉවර නොකලොත් මම පරදිනව. අනික් අතට කතාව ඉවර කලොත් ප්‍රසන්නය සබාපති කමෙං ඉල්ලා අස් වෙනව.

රාත්‍රී පශ්චිම යාමය තෙක් නිදි වර්ජිතව කල්පනා සාගරයේ කිමිද සියළු කරුණු කාරණා සළකා බලා මම අවසන තීරණයකට එළඹියෙමි. මගේ කීර්තිනාමය යකාට ගියාවේ. ප්‍රසන්නගේ සබාපතිපදවිය වෙනුවෙන් මම එය ඉතසිතින්ම කැප කරනෙමි. එහෙම හිතල ඔන්න මම ජෝර්දාන් අයියගෙ රෙස්ටුරන්ට් එකේ කතාව ඉවර කරන එක ලබන එපිසෝඩ් එකට කල් දැම්ම

ප්‍රසන්න..ඔන්න මල්ලි මම උඹේ ඉල්ලීම ඉෂ්ඨ කලා. ඔව්ව මතක තියාගනිං දියපිට ඇඳි ඉරක් වගේ...හොඳද?

73 comments:

  1. මිනිස්සුන්ට ඔච්චරම අපහාස කරන්න එපා. ජෝතිපාල ඉන්නකන් කිව්වෙ පීච්චං ගායකය කියල, ඒත් මැරිල අවුරුදු 30ක් ගිහිල්ලත්, තාමත් චිත්‍රපටි පසුබිම් ගායකයෙක් බිහිවුණේ නෑ ඒ වගේ. ජෝති මැරුණට පස්සෙ ඉපදිච්ච පැඟිරි කොල්ලොත් ජෝතිගෙ සිංදු කියලා super stars වෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ ඒ උනාට ජෝතිගේ ඒවා වාගේ නෙමෙයි , අජියගේ ඒවනං අහං ඉන්ඩ බැ අටපාස් මටවත්

      Delete
    2. රොබට්,

      ජෝතිපාලයි මේ මනුස්සයයි සමාන කරන එක මම හිතන්නෙ හරිම අසාධාරණයි.

      ඕනම ගීතයක් තියනව යම් විඳීමක්."රම්බරි කියපං උඹෙ නොම්මරේ" සහ "රම්පෙට පොරි හැලෙයි, දෙල්ගහෙ පොල් හැදෙයි" වගෙ ගීත වලටත් මම බොහොම කැමතියි එව්වගෙ තියෙන රිද්මය හින්ද.සමහර ගීතවල තේරුම් හොයන එකේ තේරුමක් නෑ.

      ඒත් මේ මනුස්සයගෙ සිංදුවල මට නම් කිසිම ගත යුත්තක් නෑ. තේරුමකුත් නෑ. රිද්මයකුත් නෑ. තනිකරම අඳෝනාවක් විතරයි.

      Delete
    3. රොබට් උන්නැහේ බස් අජිත් ගේ සින්දු යන බස් වල ගිහින් නැද්ද කොහෙද...
      අඩු ගානේ රේඩියෝ එකකවත් අජිත්ගේ ප්‍රියමනාප සිංදුවක් අහල නැද්ද කොහෙද...

      Delete
  2. කතාවට මොනා උනත් ප්‍රසන්නගේ සබාපතිකම බේරල දීපු එක ලොකු දෙයක්. රවී මේ දවස්වල ලංකාවෙ ඉන්නෙ කියල අපි දැනගන්නෙ ඔන්න ඔහොමලු.

    ReplyDelete
    Replies
    1. ඔවු ඉතිං නැත්තං මේ යෝධයට ඩුබායි වලට කතා කරල මගේ සබ්බ සකලමනාවම ඉවර කරගන්නවට වැඩිය සභාපති කමෙන් අස්වෙන එක ලාබයි.

      Delete
    2. මුටත් ඒ දෙබස හදලා දාන වෙලේ අර කතාව ලියලා දැම්මනම් ලාබයි. ඇයි බං රවියට එහෙම වැඩ කරන්න හිතෙන්නේ?

      Delete
    3. ඉට්ස් නොට් ෆෝද ටයිම් ටු ඕපන් දැට් රෙස්ටොරන්ට් මිස්ටර් ඩූඩ්.

      Delete
    4. Praසන්ன, ඔය දෙබසෙන්ම උඹට කියන්න පුලුවන් නේද මේ පෝස්ට් එකේ තියෙන කතා ඔක්කොගෙම සත්‍ය අසත්‍ය බව? මම අර බස් අජිත්ගෙ කතාව දීපට ඇහෙන්න කියෙව්වා. කතාව අහගෙන ඉඳලා සද්ද නැතුව අන්තිමට ඇහුවා, ඕක ලියලා තියෙන්නේ රවියා නේද කියලා. මං ඇහුවා ඔයා කොහොමද දන්නේ කියලා. වෙන කවුද ඕවගෙ බොරු ලියන්නේ? අල්පෙනෙත්ති තුඩක දෙයක් කන්දක් බවට පත් කරලා ලියන්න පුලුවන් එක්කෙනානෙ.

      ඉතිං මං මොනවද කියන්නෙ?

      Delete
    5. හැක්.. හැක්.. මේකට මම මොකුත් කියන්න යන්නෑ. රවිය ආපුවම කියල දෙයි.

      Delete
    6. අනේ මුගේ බොරුනේ හැලපයියේ , මේ ගොලුසමයම වචනයක් කතා කරන්ඩ ....බඩට බාගයක් හමාරක් බස්සවන්ඩම ඕන

      Delete
    7. Helapa,

      / රවී මේ දවස්වල ලංකාවෙ ඉන්නෙ කියල අපි දැනගන්නෙ ඔන්න ඔහොමලු. /

      ආව බං පොඩි නිවාඩුවකට. අර කාන්තාරෙ ඉඳගෙන පඳුරු තල තල ඉඳලම හරියන්නෙත් නෑනෙ...:)

      Delete
    8. Dude,

      / මුටත් ඒ දෙබස හදලා දාන වෙලේ අර කතාව ලියලා දැම්මනම් ලාබයි. ඇයි බං රවියට එහෙම වැඩ කරන්න හිතෙන්නේ? /

      මගෙ ගාව නෑනෙ බං ඔය ලාබ වැඩ....:)

      Delete
    9. Dude,

      / වෙන කවුද ඕවගෙ බොරු ලියන්නේ? අල්පෙනෙත්ති තුඩක දෙයක් කන්දක් බවට පත් කරලා ලියන්න පුලුවන් එක්කෙනානෙ./

      :)

      Delete
    10. අටමා, වෙලාවක සෙට් වෙමුකො.

      Delete
    11. //අර කාන්තාරෙ ඉඳගෙන පඳුරු තල තල ඉඳලම හරියන්නෙත් නෑනෙ//
      හි හි හි..... කාන්තාරේ පඳුරු තලන්න ලේසි ඇතිද?

      Delete
  3. අර විදිහට පස්සට පස්සට ගියාම යන්න බස් නැතිවෙන්න ඇති මම හිතන්නේ ,

    ඔය චැටර්ලි ආර්යාවගේ පෙම්වතා ෆිලම් එක AT එකේ පෙන්නපු දවසේ මුළු කැම්පස් එකම ඇවිත් හිට්යා බලන්න, අන්තිමට අමතර දර්ශන දෙකකුත් පෙන්නලා තමා ගුටි නොකා බේරුනේ

    ReplyDelete
    Replies
    1. //අර විදිහට පස්සට පස්සට ගියාම යන්න බස් නැතිවෙන්න ඇති මම හිතන්නේ// නෑ බං රවී අයිය බැරිම තැන මල්වත්ත පාරෙ තියෙන රෙකෝඩ්බාර් එකකින් කැසට් දෙකක් ගෙනල්ල ඩ්‍රැයිවරට දුන්නලු ඒක දාන්න කියල.

      Delete
    2. Ivan,

      /ඔය චැටර්ලි ආර්යාවගේ පෙම්වතා ෆිලම් එක AT එකේ පෙන්නපු දවසේ මුළු කැම්පස් එකම ඇවිත් හිට්යා බලන්න,/

      ඒ කාලෙ ඕක පෙන්නුවෙ මරදානෙ සෙන්ට්‍රල් එකේ. පේව්මන්ට් එක දිගේ ටෙක්නිකල් එක ගාව කලර් ලයිට්ස් ගාවට තිබ්බ පෝලිම.

      ඊට අවුරුදු හත අටකට වගෙ පස්සෙ ආව තව එකක් Young Lady Chatterley කියල. අප්පා ඒකට ඊට එහා සෙනඟ, මම අනුරාධපුරේදි ඒක බැලුවෙ. නිව් විජේන්ද්‍රා හෝල් එකේ ඉඳල සිංහ කණුව ලඟට තිබ්බ පෝලිම. වීක් එන්ඩ්ස් වල රුවන්වැලි සෑය වටේටත් රවුං තුනක් විතර පෝලිම තිබ්බය කියල මගෙ යාලුවෙක් කිව්ව.

      Delete
  4. මේකත් බස් අජිත් කතාවක්.
    ඔන්න දෙන්නෙක් හීනියට යමක් අනුමත වෙන වෙලාවක බස් අජිත්ගෙ සිංදුවක් ඇහිලා එකෙක් අම්ම මෝ නැතිව බනින්න පටන් ගත්තලු.වැඩි සද්ද බද්ද නැති චරිතයක් උන අනිකට ඒ පාර නම් හොඳටම මල පැනලා අරූගෙ කට වහල කිව්වලු
    'යකෝ.. ඔය අජිත් හිංද තමා මම මේ ජීවත් වෙන්නෙ.. මොනව හරි කිව්වොත් කට තලනවා' කියලා.
    අනිකා : ' ඈ..?? ඒ කොහොමද?'
    මේකා : ' උඹට මතකද මම ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලෙ හිටියෙ.. කෝමා තත්වෙට පත් වෙලා'
    අනිකා : 'ඔව්... උඹ නැගිටපු හැටි දොස්තරලටත් හොයා ගන්න බැරි උනාලු නේද?'

    මේකා : 'මේකයි උනේ.. මාව මෙශින් වලින් ගලවන්න කියල තීරණේ ඇවිත් තිබුනෙ.උදේ ගලවනව නම් රෑ ඩියුටි ආපු නර්ස් එයාගෙ ෆෝන් එකේ අජිත් ගෙ සින්දු වගයක් දාල අහගෙන හිටියා.
    එයා වෙන වැඩකට එලියට ගියා ආයෙ ආවෙ නෑ...
    අන්තිමේදි ඉවසලා ඉවසලා බැරිම තැන කෝමා තත්වෙ පැත්තකින් තියලා මමම නැගිටලා ෆෝන් එක පොලොවෙ ගැහුව බ/න්.... අන්න ඊකයි උනේ.. අජිත් නැත්තං මම නෑ'

    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සභාවේ තදින් සිනා

      Delete
  5. ඉතසිතින්ම කැපවීම පිළිබඳව අපගේ ප්‍රමාණය..:)
    අර ටූ ආන්ටීස්ල එලොව ඉඳනුත් තාම කල්පනා කරනව ඇති එදා මොකක්ද වුනේ කියලා :D

    ReplyDelete
  6. දැන් පෙසන්නයා උගේ වචන කන එක අමතක කරලා උගේම පස්ස විකාගන්නවා ඇති මේ වගේ උන්ට චැලේන්ජ් කරපු මෝඩකමට.. හික්..ඒක නෙවෙයි අයියේ.. කොළඹ පැත්තේ එහෙම එන්නේ නැතෙයි අඩියක්වත් ගහන්න..

    ReplyDelete
    Replies
    1. // ඒක නෙවෙයි අයියේ.. කොළඹ පැත්තේ එහෙම එන්නේ නැතෙයි අඩියක්වත් ගහන්න // × 2

      Delete
    2. ආයෙ මොනවද පස්ස විතරක් නෙමෙයි ඉස්සරහත් විකාගත්ත හිටං (සොරි නැමිල).
      ඔය අඩි ගහන්න සෙට් වෙනකොට මතක ඇතුව හොඳ ලොකුවයින් පිළිස්සූ කුකුළෙකුත් මේසෙට ඇරල තියහං.

      Delete
    3. අනේ අම්මේ මයේ කට

      අඩෝ කට පියාගන්නවද , අම්මපල්ල ප්‍රසන්නයේ පටිරෝල් කරනවා

      Delete
    4. රවියෝ පෝය දවසට සීල් සමාදන් වෙමුද?

      Delete
    5. ඉයන්,

      මට එදාට දානයක් සෙට් වෙලා බං...ඒකට නොගිහින්ම බැරි සයිස් එකක් තියෙන්නෙ...:(

      Delete
  7. ඔය රේල්වේ වොරන්ට් වලින් ලැබුන පින නිසා අපි 69 විතර එයා සිලෝන් ඩැකෝටා එකේ අම්පාරේ ගියා.ඒ ගමන මුලු ප්ලේන් එකේම හිටියෙ අම්මලගේ ඉස්කෝලේ අය.74 විත ආයේ ට්‍රින්කෝ ගියා ඒ ගියේ ඇවුරෝ එකක. ලමයි නිසා අපිට දෙපාරම කොක්පිට් එකට ගිහින් බලන්නත් ඉඩ ලැබුනා. ඩෙල්ටා ටො‍ෆි සමග ලෙමනේඩ් දුන්නා මතකයි.

    ReplyDelete
  8. බොට කියන්ට රවියො, සිරාවටම මේ ඊයෙ පෙරේදා දවසක මට මතක් වුනා නෙවැ ඔය Cassandra Crossing සිත්තරපටිය.. ඉතිං ඒ ගමන අන්තර්ජාලෙ හොයලා ඩවුන්ලෝඩ් කරලා බැලුවා ඒක.. ඇස්වහක් කටවහක් නෑ, තාමත් කැත නැතුං බලන්ට පුළුවන් සිත්තරපටි එවුවා..

    අපේ තාත්තලගෙ. මාමලාගෙ කොලු කාලෙ ජනප්‍රියම කට් එක ප්‍රේම් ජයන්ත් කට් එක.. අර ක්‍රේල් කොණ්ඩෙයි, ගිනිකූරු රැවුලයි.. හැක්! තාමත් මැවිලා පේනවා වගේ..

    ReplyDelete
    Replies
    1. මටත් අමතක නොවන ‍ෆිල්ම් එකක් ඕක. අර කෝච්චියම වෙල්ඩ් කරලා සීල් කරන්නෙ. මටත් දීපංකො බාපු ලින්ක් එක. ඇයි Towering Inferno.

      Delete
    2. Cassandra Crossing මටත් මතකයි.අපි ගැලරියෙ ඉඳගෙන බැලුවෙ.ඒක ලංකාවට ආවෙ හැත්තෑ කියෙද කියල බුරාට මතකද?

      Delete
    3. You're welcome Dude!

      අපොයි හැලපෙ.. ඒ ෆිල්ම් එක ලංකාවට එනකොට මම ඉපදිලත් නැතුව ඇති.. එහෙමත් නැත්තං බිම දණගාන කාලෙ වෙන්ටැති..

      Delete
    4. හැලප සහ බූරා,

      කැසැන්ඩ්‍රා ක්‍රොසිං ලංකාවට ආවෙ 1977 දි.

      Delete
    5. සමහරක්විට අපේ තාත්ත ඒක බලනකොට මං දනිස්සේ ඉන්ඩ ඇති

      Delete
    6. අටං. ඔය දනිස්සෙ ඉන්න කතාව හැම තාත්තටම හරියන්නේ නෑ බං. ඕක හරියන්නේ සිරාම හර්නියා /හයිඩ්‍රසිල් කේස් තිබ්බ තාත්තලට විතරයි. :D

      Delete
    7. අපොයි , අංකල්ල සෙට් එකක් එක්කනෙ අපි ආශේ කරන්නෙ ,

      Delete
  9. තෑන්ක් යූ මිස්ටර් රවී ෆෝ යුවර් කයින්ඩ් කෝඔපරේෂන්.
    (අනේ ඉතිං මොකට කියනවද, මම දැනගත්ත ගිය පෝස්ට් එකේ එන විදියටම මේ මනුස්සය ඊගාව පෝස්ට් එකේදි කීයටවත් අර මනුස්සයගෙ රෙස්ටුරන්ට් එක ඕපන් කරන්නෙ නැති විත්තිය. ඇයි ඉතිං අන්තිමට චීත්ත කෑල්ලක් ගැන කියලනෙ නැවතුනේ. දැං ඉතිං මෙතන එනව නැති හේතු හදාගෙන. හැක්..)

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ උඹේ කෝල් එක අල්ලෙ පැළකරපු එකක්?

      Delete
    2. මා‍ෙන ම්‍ෙ පසන්නයග්‍ෙ ක්‍ෙබර න්‍ෙ. අප්‍ෙ රවි අයිය කවද්ද බා‍ෙරු කිවුව‍ෙ

      Delete
  10. //ඔහොම බස් අජිත්ගෙ සිංදු අහල සංසාරෙ එපා වෙච්චි විස්සක් තිහක් විතර ඒ ඊමමම බස් වලිං බහැල තිබ්බ.ඒ අයත් හේං කොටාගෙන පදිංචි වෙලා එතන පස්සෙං පහු ගම්මානයක් වෙච්චි.// ඉතිං ඊට පස්සෙ එතනින් යන බස්වල අජිතයගෙ සින්දු දාල තිබ්බොත් ගමේ උං ඒවට ගල් ගහනවලුට කියලත් කියනව නේද?

    දැං ඔය වගේ එකෙක් හොයාගන්න නැද්ද දන්නෑ අර මත්තල පැත්තට එහෙම මිනිස්සු ගිහිල්ල බස්සවන්න.

    ReplyDelete
  11. හය්යය්යෝ ප්‍රසා..

    ReplyDelete
    Replies
    1. හය්යය්යෝ ද කියලත් අහනව.

      Delete
  12. අර ඕරමන්ඩි ගෙදර ඉන්න ගෑණු දෙන්නට කඩ්ඩ වනන වෙල‍ාවෙ ලලිතය අයියව ඇදගෙන ගියෙ නැත්තං ඒ ඩබොල එවෙලෙම ස්වර්ගස්ත වෙන්න තිබ්බ කට ඇරගෙන ඉඳල.

    ReplyDelete
  13. හරි හරි අර දීප අක්ක කියන විදියට ඔය ටෙලිෆෝන් කන්වෂේශන් එක ඔය විදියටම උනාය කියමුකො. ඉතිං අයියත් මගේ කොකා සභාපති කම ගහල යනවට දුකේ අදත් රෙස්ටොරන්ට් එක ඕපන් කළේ නැතිය කියමුකො. ඉතිං ඒකට කලගුණ සලකන්නත් එක්ක දැන් ලංකාවෙ ඉන්න එකේ වෙලාවක සෙට්වෙලා බොමුද සීතල **** බෝතලයක්.

    ReplyDelete
  14. මේ සැරෙත් කෙලලා තියෙන්නෙ.

    ReplyDelete
  15. උර්සුලා ඇන්ඩ්රස්, (The Mountain Of The Cannibal God) බෝ ඩෙරෙක්, (Tarzan the Ape Man) බ්රූක් ෂීල්ඩ්ස් (The Blue Lagoon) සිල්වියා ක්‍රිස්ටල් ( Emmanuelle) ඔය ටික විතරයි බලල තියෙන්නේ.. දැන් ඉතින් නිවාඩුවක් දාල හරි අනිත් ටිකත් බලන්න ඕනේ..

    මම ඉස්කෝලෙ තාප්පෙන් පැනල ගිහින් තිබුනට පැනල ගිහින් ෆිල්ම් බලල නෑ.. හෙහ් හෙහ් හරිම කනගාටුවක් දැනෙනවා දැන්..අඩුම තරමේ තාප්පෙන් පැනීමේ ආතල් එක තියෙන එකත් ලොකු දෙයක් නේ..

    මට පරණ පෝස්ට් සැහෙන්න ගොඩක් මිස් වුණා.. මම පිළිවෙලකට බලාගෙන එන්න හිතන් හිටියේ.. හැබැයි පස්සේ මතක් වුණා රවියගේ පෝස්ට් පිළිවෙලකට බලනවා කියල දෙයක් ඇත්තටම කරන්න බෑ නේද කියල.. එක නිකන් පිළිවෙල කියන සංකල්පයම අවුල් වෙලා යන විකාර ගතියක් නේද කියල හිතල ඔන්න ඔහේ දාන පෝස්ට් එකක් බලන් ඉන්න තීරණේ කළා.. හෙහ් හෙහ්

    ReplyDelete
  16. 1970 ගණන්වල බටහිර මාධ්‍ය වාර්තාවක Ursula Andress ගැන හඳුන්වලා තිබුනේ Ursula Undress කියලා. James Bond කථා මාලාවේ Dr. No චිත්‍රපටියේ ඇය පෙනී සිටින ජවනිකාවක් මෙතන තියනවා.

    https://www.youtube.com/watch?v=AZ6mOC4uSX4

    ඇත්තටම මැදවච්චියේ ඉසින්බැස්ස ගල පසුකලාම, පාර අයිනේ, අරවගේ පොලතු පැලවල් සහිත ගම්මානයක් තියනවා. නිතර අලින් එනවා ඒ ගමට.

    මරදානේ බිල්බෝඩ් එකක මාලනී ෆොන්සේකා දියරෙද්ද ඇඳලා ඉන්න පින්තූරේ බලන්න ගිහින් ඩ්‍රයිවර්ලා අතින් ඇක්සිඩන්ට් පවා සිද්ද වුණා.

    ReplyDelete
    Replies
    1. පංචිකාවත්තෙ යකඩ අස්සයා හයි කරපු කාලෙත් ඇක්සිඩන්ට් හැප්පිලා තියනවා අමුතුවෙන්ම..
      ඊටත් වඩා පෑලියගොඩ හංදියේ තිබ්බා මතකද මහා බිල්බෝඩ් වගයක්.. රෙදිපිලි ආයතන වලින් දාපු දැන්වීම් තිබුනා ඉටිකිරිස් දැරිවියෝ සරාගී විදිහට ඇඳගෙන බලන් ඉන්න ඒවා.පස්සෙ පොලිසියෙන් උසාවි නියෝගයක් ගත්ත කතාවක් තිබුනා ඒවා ගලෝලා දාන්න අක්සිඩන්ට් හැප්පෙනවා වැඩියි කියල ඔන්න..

      Delete
  17. ඕරමන්ඩී නම මට මතකයි

    ReplyDelete
  18. කොහොම උනත් අදත් ව්‍යුර්තෙ නැති වෙයි හිතුනා... කොහොම උනත් ප්‍රසන්න නිසා ශේප් උනා නේද??

    මගෙ යාලුවෙක් ඉන්නවා හිරුණි කියලා... එයත් මොකක් හරි කතාවක් කියන්න ගිහාම මේ වගේ... මං එයාට කියුවා ඔයා වගේම කතා කියන කෙනෙක් ඉන්නවා කියලා.. එයත් මේක කියවයි...

    ReplyDelete
  19. ඕකට කෝ.ක.ස.ස. ව අල්ලන්න ඕනේ නැහැ, උඹ කැමති දෙයක් කොරපන් රවී අයියේ, මමනම් මුකුත් කියන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. එහෙම කොහොමද රවියට ඕන දෙයක් කරන්න දෙන්නෙ. මේව අපේ බ්ලොග් නෙ.

      Delete
  20. "සුදු අරලියා ගම" බිහිවුනේ එහෙමයි එහෙනම්...:)
    දැන් ඔය වගේ බිල් බෝඩ් නැහැනේ රවීයියා.ඉස්සර ලංකාදීප පත්තරේ මුල් පිටුවේ ඇතුල් පැත්තෙත් ඔය වගේ චිත්‍රපටිවල නම් එක්ක පොඩි පින්තුරයක් දාපු දැන්වීම් දාලා තිබ්බා.දැන් නම් එහෙම දාන්නේ නැහැ වගේයි.

    අපේ සංගමයේ සභාපතිතුමාගේ කැපවීම අපි අගයන්න එපැයි හිටගෙන.

    ReplyDelete
    Replies
    1. දැනුත් ලංකාදීපෙ එහෙම තියෙනව සතියකට එක දවසක් වගේ.

      හිටගෙන අගයන එක හොඳයි හිටං.

      Delete
  21. කකියනවා … කකියනවා :D

    ප්‍රසන්න අයියෙ.… තනතුර අනතුරේ

    දිනූ දේ රැකගමු :D

    ReplyDelete
    Replies
    1. බොලා ලේකං නේද? පොඩ්ඩක් බලහං මල්ලි මේ ගැන ඉඳං.

      Delete
  22. මොන ඉස්කෝලෙන්ද බං උඹ ඔය විධිහට පැන්නේ?
    මං මේ කල්පනා කොලේ ඔය කාලේ මාත් ඔය පැත්තේ හිටිය. රවී තුමාව දකින්නත් ඇති නේද පෝලිම්වල. කොම්පැනි විදියේ රියෝ එකේ නේද ඔය ලිස්ට් එකේ එක ෆිල්ම් එකක් ගියේ. උර්සුලා ගේ එක. චැටර්ලි ආර්යාවගේ කටහ්ව මම කැමතිම එකක්.

    ReplyDelete
  23. තෝරා බේරා කොමෙන්ට් වලට උත්තර සැපයීම හෙලා දකිමි. ඔවු හිටගෙන තමයි.

    සභාපති - කොකාස

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      සමාවෙන්න, සමාවෙන්න...මේ දවස් දෙක තුනේ ඉතා කාර්ය බහුලමි. අද සවස සියලු කමෙන්ට් වලට පිලිතුරු දෙන්නෙමි...:)

      Delete
    2. සමාව අනුමත කර භාජනයට දමමි. හැක්..

      Delete
  24. //මම ජෝර්දාන් අයියගෙ රෙස්ටුරන්ට් එකේ කතාව ඉවර කරන එක ලබන එපිසෝඩ් එකට කල් දැම්ම//
    ඒක හොඳයි නැත්තං කීර්තිනාමය යකාට යනව :)

    ReplyDelete
  25. අඩේ රවියා නිවාඩු ගිහිනුත් බ්ලොග් ලියනවද? අපි ඔහේට සලකනවා මදියිනේ. මම අහන්නේ මේ තරම් පාඨකයන් වෙනුවෙන්ම කැපවෙන ලියන්නෙක් ට හරි නම් අපි පිලිස්සූ කුකුලෙක් හරි ගෙනත් දෙන්න වටිනවා.

    ReplyDelete
  26. ලිස්ට් එකේ Farrah Fawcett හිටියෙ නැද්ද?

    ReplyDelete
  27. අනේ අම්මප අර අරලියගම හැදුනු විදිය ගැන කතාව මවල දීල තියෙන හැටි....

    මටත් හොඳට මතකයි ඒ කාලෙ පත්තරේ තියෙනව පින්තූරෙකුත් එක්ක ඔය චිත්තර පටිය තිරගත වෙන හෝල්වල නමුයි වෙලාවලුයි දාලා... ඉස්සර පත්තරවල අන්තිම පිටුවට කලින් පිටුවෙ එහෙම දාලා තියෙනව නේද...?

    අර ගේ මැද්දෙන් ගිය සීන් එක මට මැවිල පෙනුන විතරක් නෙවේ දන්නෝ බුදුන්ගේ සින්දුවත් මතක් උනා... කොහොමද බොල තුන්දෙනා එහෙමත් ගියා නම්...හිනාවෙලාම මැරෙනව ඕයි... පව් ඒ ගෑණු පරාණ දෙක... :D

    ReplyDelete
  28. මං ඔය බස් එකේ ගියා නම් ඉතිං ආයෙ අහන්න දෙයක් නෑ මාත් මෙලහකට ස්ථිර පදිංචිය සුදුඅරලියගමේ තමා..!!

    ඩී.එච්.ලෝරන්ස්ගේ කවි ලංකාවෙ ලිට්රෙචර් සිලබස්වලට දාන එකේ උන්දැගේ නවල්ස් ටිකත් නිර්දේශ කළා නම් ඉවරයි.ඩිකන්ස්ගේ,ජේන් ඔස්ටන්ගේ නවල්ස් වගේයැ.. කොච්චර ලේසිද පාඩම් කරන්න..))

    ReplyDelete
  29. හරිම ආසාධාරණයි බං.... ප්‍රසන්නයගෙ සබාපතිකොමට කෙළ වුණා නං... කවුද අද එතන ඉන්නේ කියහං? හා කියහං... හා කියහං...

    මෙහෙම එකකුත් තියනවා හැබැ‍යි... මට දැන් මේ විවෘත්තෙට වඩා ආසයි ඔය චිත්‍රපටි ගැනයි, ඉස්කෝලෙන් පැනිලි ගැනයි, විසේසයෙන්ම නිළියෝ ගැනයි, ආතර් රජ්ජුරුවෝ ගැනයි කියවන්න...

    ReplyDelete
  30. සිල්වියා ක්‍රිස්ටල් ගැන මට තියෙන්නේ හරිම දුක්බර මතකයක්. තරුණකාලෙන්ම කැන්සර් එකකින් මිය ගිය හින්දා. ඒ වුනාට මම දැනන් හිටියේ නෑ නේව එවුන්දෑ රවියාලා එක්ක ඕපනින් එකකට ආව කියලා. අඩේ උඹලා මාර පොරවල් නේ බං

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...