Monday, July 25, 2016

129. ඒ මල එසේ ම තිබුණාවේ

මගේ සැමියා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. මම ඔහුගේ නොසෙල්වෙන, අචල ස්වභාවයට ආදරය කරමි. ඔහුගේ විසල් උරතලයේ වැතිරී ලබන උණුසුමට මහත් සේ ලොබ වෙමි.

නමුදු වසර තුනක ආදර කතාවක අවසානයේ, විවාහ වී වසර දෙකක් ගෙවුණු තැන මට මෙසේ පවසන්නට සිදුව තිබේ. මම විඩාවට පත් වෙමින් සිටිමි. පෙර මා ආදරය කළ ඔහුගේ සමහර ගතිගුණ දැන් දැන් මා වෙහෙසට පත් කරමින් සිටියි.

මම භාවාතිශය කාන්තාවක වෙමි. ප්‍රේමනීය හැඟුම් සම්බන්ධයෙන් මම අතිශය සංවේදි වෙමි. පුංචි දැරියක පැණිරස ආහාරයකට ගිජු වන්නේ යම් සේද, එසේ මම ප්‍රේමනීය වූ නිමේෂයකට ගිජු වෙමි.

මගේ සැමියා සතුව ඇත්තේ මුළුමනින් ම මෙයට ප්‍රතිවිරුද්ධ අදහස්ය. ගතිගුණය. ඔහු සංවේදී බවින් මිදුනෙකි. ප්‍රේමනීය මොහොතක්, ප්‍රේමනීය වදනක් මා වෙනුවෙන් උපදවන්නට නොහිතන ඔහුගේ එම හැසිරීම ප්‍රේමය පිළිබඳ මගේ විශ්වාසය කැබලි කර දමන්නක් විය. දිනක් මම මගේ තීරණය ඔහුට පවසන්නට සිතා ගතිමි.

‘මට දික්කසාද වන්නට උවමනාය!.’

“ඇයි?” ඔහු කම්පා වී ඇසුවේය.

“මට එපා වෙලා තියෙන්නේ. මට මහන්සියි. මේක මහ මුස්පේන්තු ලෝකයක්. කිසිම දෙයක්, කිසිම වැදගැම්මකට නැහැ!” මම පැවසුවෙමි.

ඔහු මුළු රාත්‍රිය පුරා නිහඬ වතින් යුතුව, ගැඹුරු කල්පනාවක ගිලී නිදි වර්ජිත ව හුන්නේය.

එයින් සිදුවූයේ මගේ කළකිරීම තව තවත් වැඩිදියුණු වීමයි. මෙතරම් තීරණාත්මක දෙයක් තම බිරිඳ පැවසූ විටවත් තම පාර්ශ්වය වෙනුවෙන් වචනයක්වත් ගැටගසා ගන්නට නොහැකි වූ පුද්ගලයෙකුගෙන් වෙන අන් කවර දෙයක් බලාපොරොත්තු වන්නද?

අවසානයේ ඔහු මෙසේ ඇසුවේය. “ඔයාගේ හිත වෙනස් කරන්න මං මොනවද කරන්න ඕනෑ?”

‘පුද්ගලයෙකුගේ පෞරුෂත්වය වෙනස් කිරීම ඉතාමත් අසීරු දෙයකි’යි යමෙකු පවසා තිබේ. එම කියමන ඉතාමත් නිවැරදි බව ඒ මොහොතේ මට සිතුණි. ඔහු පිළිබඳ මසිතෙහි වූ විශ්වාසය දියාරු වෙමින් තිබිණි..

ඔහුගේ දෙනෙතට දෙනෙත් යා කළ ‍මම සෙමින් මෙසේ පැවසුවෙමි. “මෙන්න ප්‍රශ්නය, ඔයා මේකට දෙන උත්තරය මට පිළිගන්න පුළුවන් වුනොත්, මම හිත වෙනස් කරගන්නවා.

හොඳයි, අපි මෙහෙම කියමු, භයානක කඳු බෑවුමක මං කැමති මලක් පිපිලා තියෙනවා. අපි දෙන්නම දන්නවා ඒ මල කඩන්න යනවා කියන්නේ ඔයාට අනිවාර්යයෙන් ම මැරෙන්න සිද්ධ වෙනවා කියන එක. ඉතිං ඔයා මං වෙනුවෙන් ඒක කරනවද?”




“මම මේකට උත්තරේ හෙට කියන්නම්...” ඔහුගේ එම පිළිතුරෙන් මගේ අවසන් බලාපොරොත්තුවත් තෙරක් නොපෙනෙන මහා සාගරයේ ගිලී ගියා සේ විය.

පසුදා උදැසන මා අවදිවන විට ඔහු පිටත් ව ගොස් තිබුණු අතර ඉදිරි දොර අසල කෑම මේසය මත වීදුරුවක බර දරාගෙන සිටියේ ඔහුගේ කුරුටු අකුරින් යමක් ලියැවුණු කඩදාසි කැබැල්ලකි. එහි මෙසේ ලියා තිබිණි. 

මගේ ආදරිය, “මම ඔයා වෙනුවෙන් ඒ මල කඩන්න යන්නේ නැහැ. නමුත් කරුණාකරලා මට කරුණු පැහැදිලි කරන්න ඉඩ දෙන්න...” පළමු පේළිය ම මගේ හදවත බිඳ දමා අවසන්ය. නමුත් මම එය කියැවූයෙමි.

“කොම්පියුටරය පාවිච්චි කරද්දි ඒකේ තියෙන මහා ගොඩක් වැඩසටහන් එකිනෙක පටලවා ගන්න ඔයා මොනිටරය ඉස්සරහට වෙලා අඬනකොට ඒ සේරම එකලාසයක් කරලා දෙන්න මං මගේ ඇඟිලි පරිස්සම් කරගන්න ඕනෑ.

හැම තිස්සේ ම යතුර ගේ ඇතුලේ තියෙද්දි දොර වහගෙන එළියට ඇවිත් ආයේ ඇතුලට යන්න බැරිව මට කෝල් කළාම දුවගෙන එන්න මං මගේ කකුල් දෙක පරිස්සම් කරගන්න ඕනෑ.

ඔයා සංචාරයට කැමතියි, ඒ වුනාට නිතරම මග වරද්දා ගන්නවා. ඒ වෙලාවට ඔයාට නිසි පාර පෙන්වන්න මං මගේ ඇස් දෙක පරිස්සම් කරගන්න ඕනෑ.

මාස්පතා එන ඔයාගේ හිතමිතුරා ඇති කරන බඩේ අමාරු නැති කරන්න, බඩ පිරිමදින්න මං මගේ දෙඅතේ අල්ල පරිස්සම් කරගන්න ඕනෑ.

නිතර ම ගෙදරට ම වෙලා ඉන්න ඔයාගේ පාළුව කාන්සිය නැති වෙන්න විහිළු කතා කියන්න මං මගේ කට පරිස්සම් කරගන්න ඕනෑ.

ඔයා හැම තිස්සේ ම ඉන්නේ කොම්පියුටරයට එබීගෙන. එයින් ඔයාගේ ඇස්වලට වෙන්නේ නපුරක්. ඉතිං වයසට ගියාම ඔයාගේ නියපොතු කපන්න, කරදරකාරී සුදුකෙස් ගලවන්න මං මගේ ඇස් පරිස්සම් කරගන්න ඕනෑ. ඒ වගේ ම ඒ කාලෙදි ඔයාගේ අත අල්ලගෙන මුහුදු වෙරළේ ඇවිදින ගමන්, බැහැගෙන යන ඉරේ ලා එළියත්, මුහුදු‍ වෙරළේ පහසත් විඳින ඔයාට, තරුණ කාලේ ඔයාගේ මුහුණේ තිබුණු පාට ඇතිව සුළඟට වැනෙන මල් වල වගතුග කියන්නත් මට මගේ ඇස් දෙක පරිස්සම් කරගන්නම වෙනවා.

ඉතිං මගේ ආදරිය, මට වඩා ඔයාට ආදරය කරන කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියන එක ස්ථිරව ම දැනගත්තොත් මිස ඒ මල කඩන්න ගිහින් මට මැරෙන්න බැහැ” මගේ දෙනෙතින් ගලා ආ කඳුළු කැට ලිපිය මතට වැටී ඔහුගේ අත් අකුරු බොඳ කරද්දි මම මෙසේ කියවාගෙන යමින් සිටියෙමි.

“දැන්, ඔයා මගේ පිළිතුර කියවා අවසන්. ඒකෙන් ඔයා සෑහීමකට පත්වුණා නම්, කරුණාකරලා මේ දොර අරින්න, ඔයා කැමති ම කෑමත් නැවුම් කිරිත් අතින් අරං මං මෙතන හිටගෙන ඉන්නවා...”

මම විගස දිවගොස් දොර විවෘත කළෙමි. ඒ කිව් සියල්ල දෑතින් බදාගෙන, විසල් දෙනෙතින් කුමක් වේදෝයි චකිතයෙන් බලා ඉන්නා ඔහු දොර පඩිය මත සිටගෙන උන්නේය. ඔහු තරම් මට ආදරය කරන කිසිවෙකු මෙලොව නොමැති බව මම දැන් දනිමි. ඉතිං ඒ මලට කඳු බෑවුම මතට වී ඉන්න දෙන්නට තීරණය කළෙමි.

එයයි ජීවිතය!. එයයි ආදරය!

කෙනෙකු ආදරයෙන් පිරුණු පරිසරයක ගිලී ඉන්නාවිට උද්යෝගය කෙමෙන් කෙමෙන් දියවී යන්නට වෙයි. සාමකාමී භාවයත් උදාසීන භාවයත් අතර යම් තැනක ඇති සැබෑ ආදරය හඳුනාගත නොහැකිව නොසළකා හැරෙන්නේ එහිදීය.

ආදරය විවිධ ස්වරූප වලින් පෙනී සිටියි. ඉතාමත් කුඩා දෙයකින්, අවිනීත කමකින් සේම උදාසීන, නීරස ස්වරූපයකින් ආදරය එබිකම් කරන්නට ඉඩ තිබෙයි. මල් පොකුරු, තිළිණ, ප්‍රේමනීය නිමේෂයන් සබැඳියාවක මතුපිට රැඳුණු දේවල් පමණි. ඒ සියල්ලට ම පහළින් සැබෑ ආදරයේ බල කණු නැගී සිටින බව සිහි තබාගත යුතුව තිබේ. එයයි ජීවයේ පදනම!.

ප්‍රේමනීය සබැඳියාවක ඇති වන මතගැටුමකදි වදන් කිසිදා දිනන්නේ නැත... දිනන යමක් වේ නම් ඒ ආදරයයි.


********************


පරිවර්තනය
රන්දිකා රණවීර ප්‍රනාන්දු

(කතෘ අඥාත අන්තර්ජාල ලිපියකි)


මුල් ලිපිය ලබාදුන් සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත් ලබැඳි කෙල්ලට ස්තුතියි.






55 comments:

  1. වැඩේනම් අපූරුයි පොඩිනම ඒත් ......කියල ලොකු හාංදුරුවො කිව්වැහෙ කතාපොඩ්ඩ නම් බෝමත්ම අපූරුයි නෝනා..ඒත් මෙතන මට පේන විදිහට කතාව ලියල තියෙන්නෙ පුරුෂෝත්තමවාදී දෘෂ්ඨි කෝණයකින්....(A male supremacist viewpoint )

    කතාව කියන බබලතා මේ ලෝකෙ සම්මජාතියක් හරියට කරගන්ට බැරි තොත්ත බබෙක් ගාණට දාලනෙ බොලේ තියෙන්නෙ………

    1. ඇය පරිගණකයක් හරිහැටි පාවිච්චි කරන්නට නොදන්නියකි.

    2. මතක ශක්තිය දුර්වලය. නිතර දොරේ යතුර ගෙතුල තිබියදී දොර වසා දමන්නීය.

    3. නිතර මඟ වරද්දාගනියි.

    4. මාසික ඔසප් දිනවලදී ඇතිවන වේදනාව දුරුකොටගන්නා අයුරු නොදනී.

    5. කිසිදු රැකියාවක යෙදීමට පමණ උගත්කමක් නැත්තියකි.

    සිත්තමීල රන්දිල්ලත් ඉතිං මෙව්වට අහුවෙනවනෙ දෙයියම්පල්ල මං අහන්නෙ.....:)

    ReplyDelete
    Replies
    1. ඔය පළවෙනි දෙක නම් අනේ අම්මේ මටත් වෙනවා. මෙතනදි මට හිතෙන්නේ 5 වෙනි කාරණේ තමයි මෙහෙම වෙන්න පළමු හේතුව. මෙලෝ දෙයක් නොකර ගෙදරට වෙලා ඉන්න කාන්තාවන්ට නානාප්‍රකාර විකාර සිතුවිලි පහළ වෙනවා. කොටින්ම උණක් හෙම්බිරිස්සාවක් හැදිලා සතියක් හමාරක් ගෙදර හිටියොත් මේ මටත් නොහිතෙනා දේවල් හිතෙනවා. යමක යෙදිලා ඉන්න අයට එහෙම හිත හිතා ඉන්න වෙලාවක් නැහැනේ. දැන් මේකේ හිතිල්ල කොච්චරක්ද කිව්වොත් මහත්තයා අතින් සිදුවෙන හොඳ දේවලුත් අමතක වෙලා ගිහින් මේ ඇත්තිට. ඉතිං මහත්තයාට සිහි කරලා දෙන්න සිදුවෙලා තියෙනවා ඔයා මේ ඔහොම හිතුවාට ඔයාට මේ කාරණා ටික අමතක වුණා නේද කියලා.

      Delete
    2. රවිට මේක ටිකක් බොළඳයි වගේ පෙනුනට, මේ දේ අනිවාර්යෙන් වෙන්න පුළුවන් දෙයක්...බිරිඳ රැකියාවක් නොකර නිවසේම ඉන්නවා නම් රන්දිල් කිව්වා වගේ සැමියාගේ සෑම පුංචි දෙයක් ගැනම කල්පනා කරන්න ගන්නවා...කිසිම අඩුවක් නැතුව ජීවත් වන මිනිස්සු, ප්‍රශ්න ඇති කරගන්නේ අඩු පාඩු නිර්මාණය කරගෙන...

      ජීවිතේ මොකක් හරි අරමුණක එල්ලීගෙන දෙන්න දෙමහල්ලෝ ඒකට වෙහෙසෙනවා නම්, ගෑණු අයට මාසික ඔසප් වෙන දිනය පවා අමතක වෙනවා...එහෙම වෙලා බබාට මාස තුන යනකල් දැන නොගත්ත මගෙ යාලුවෝ මෙහෙ දැකල තියනවා...එයාලගේ ජීවිත වල තියන ප්‍රශ්න එක්ක එකිනෙකාගෙන් වෙන අඩුපාඩු ගැන හොයන්න වෙලාවක් නෑ...දෙන්නත් එක්ක ආදරෙන් ජීවිතේ ප්‍රශ්ණ වලට උත්තර හොයනවා...

      රන්දිල් ගේ මේ කථාවේ ඉන්න ගෑණු සහ පිරිමි චරිත ඕනේ තරම් ඉන්නවා...එහෙම කෙනෙක් තමයි අර ඉන්දියාවෙන් පෙම්වතෙක් ගෙන්නාගෙන තමන්ගේ කෝටිපති ව්‍යාපාරික සැමියාව ඝාතනය කරන්න සැලසුම් කලේ...මොකද සැමියා වෙහෙසිලා මුදල් උපයලා බිරිඳට සුර සැප දෙනවා..බිරිඳට ඒ සැප වලින් අන්ධ වෙනවා...ඕක තමයි ඇත්ත...

      රවී...පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න හොඳේ :)

      Delete
    3. ස්තුතියි පොකුරු වැහි,

      ඇත්තටම ඒ ඉන්දියානු තරුණයාගේ සිද්ධිය මොන තරම් අමානුෂික දෙයක්ද නේද? අර හිතවත් රියදුරු මහත්මයා නොහිටියා නම් වෙච්චි දෙයක් හිතා ගන්න බැරි වෙනවානේ.

      අපි හැමෝම මොනවා හරි දෙයක යෙදෙන්න ඕනෑ. ගෙදර හිටියත් කරන්න දේවල් ඕනෑ තරම් තියෙනවානේ. ඒ නැතුව පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්න ගියාම මෙහෙම නැති අඩු පාඩු පෙනෙන්න ගන්නවා. ඇති අඩු පාඩු වැඩි දියුණු වෙලා පේන්න ගන්නවා. මේ කතාවේ බිරිඳටත් එහෙම තමයි වෙලා තියෙන්නේ කියලා මුළු කතාව පුරාම නොකියා කියැවෙනවා. එයින් ඇගේ සිත එන්න එන්න ම තැලිලා බොළඳ වෙනවා මිසක ගැලවීමක් නැහැ. අවසානයේ සැමියාගේ මේ කල්පනාකාරී පියවර ඔවුන් දෙපළට යහපතක් ඉෂ්ට කරලා තියෙනවා. ඒ ආදී කාරණා සේරම හිතලා තමයි සිත්තමි මේක දුන්නට පස්සේ පරිවර්තනය කරන්න මට හිතුණේ.

      Delete
    4. Ravi-it's not about male dominance. It is just the man expressing his love in the conext that his wife understands. Pampering is better than the love kept inside, for most women.

      Delete
    5. පිරිමි ඔහොම ලිව්වොත් - male chauvinistic pigs !
      ගෑණු ලිව්වොත් - understanding, empathetic and deeply moving !
      හෙහ් හෙහ්, බනින එකක් රවි ට බනින්න. මං ගියා , බායි !

      Delete
    6. කාට කියන්නද ඉතිං... මේ කෝල් එකක් ගන්න ගමන්... බනින්න! :D

      Delete
    7. පුරුෂෝත්තමවාදී දෘෂ්ඨි කෝණයට එරෙහිවන සියලුම කාන්තාවන් වෙත සෙනෙහසින් ලියමි.

      හරි හරි හරි ඔයාල කියනවනම් කිසිදෙයක් හරියට කරගන්ට බැරි, ලඳ බොලඳ, සුකුමාර, නිතර පිරිමි පිහිට අවශ්‍යවන ගතානුගතික ස්ත්‍රී භූමිකාවක් තමයි අපේ පරම පැතුම කියල මගෙන් බාධාවක් නෑ......:)

      Delete
  2. පළමුවෙන්ම මම කථාව මම රස විඳි බව කිව යුතුයි. එම නිසා පරිවර්ථනයට ස්තූතියි රන්දිල්. ප්‍රේම කරන කාලය සහ විවාහ ජීවිතය යන දෙකේ වෙනස ගැන සම්පූර්ණ වැටහීමක් ගොඩ දෙනෙක් ගන්නේ විවාහයට පසුව. ඒඅතින් මේ කථාවේ බිරිඳට වඩා සැමියා ප්‍රේමවන්තයෙකු බව පෙනෙනවා.

    රවී කථාවේ දැක ඇති කෝණයත් අපූරුයි. මම අසා ඇති ඇත්තටම සිදුවූ දෙයක් හරහා තවත් පැත්තක් පෙන්වන්නට කැමතියි.

    අසූ ගණන් වල මැද භාගයේ කොලඹ වෛද්‍ය පීඨයේ සිටි අයකු එකවර කාන්තාවන් තිදෙනෙකු සමඟ සම්බන්ධතා පවත්වාගෙන ගියා. මේ කාන්තාවන් තිදෙනා අන් කාන්තාවන් ගැන දැන සිටියේ නැහැ. එක කාන්තාවක් මේ ගැන ඉව වැටී අනික් කාන්තාවන් දෙදෙනා සම්බන්ධ කරගෙන ඔහුව අල්ලා ගැනීම උපායක් යෙදුවා. එනම් ඒ එක් කන්තාවක් ඔහුත් සමඟ එක ස්ථානයකට යනවිට අනෙක් කාන්තාවන් දෙදෙනා එම ස්ථානයට කලින් ගෙන්වා තිබීම.

    ඔහුගේ පෙම්වතියන් තිදෙනාම එක තැනක ඔහුව කොටු කරගත් විට ඔහු කලේ "දැන් බලන්න මම කොච්චර අසරණ වෙලාද?" කියමින් ඉකිගසමින් හඬන එකයි. අතටම අල්ලාගෙන 'හොඳ පාඩමක් ඉගැන්වීමට' බලාපොරොත්තුවෙන් ආ කාන්තාවන්ට සිදුවුණේ ඔහුගේ රඟපෑම දැක ඔවුනුත් කඳුලු සලමින් ඔහුව අස්වසන එකයි.

    ඒවගේ ස්ථාඥෝචිත ප්‍රඥාව යොදා ගැනීමක් වෙන්න පුළුවන් මේ කථාවේ එන පුරුෂයා කරන්න ඇත්තෙත්.

    ReplyDelete
    Replies
    1. //ඔහුගේ පෙම්වතියන් තිදෙනාම එක තැනක ඔහුව කොටු කරගත් විට ඔහු කලේ "දැන් බලන්න මම කොච්චර අසරණ වෙලාද?" කියමින් ඉකිගසමින් හඬන එකයි.//
      හරි හුරතලේට ඉන්ඩ ඇති. අපිව නොමග යවන්ඩ දාපු මේ කෑල්ලෙන්ම මේක උනේ කාටද කියල හිතාගත්තහැකි.
      //අසූ ගණන් වල මැද භාගයේ කොලඹ වෛද්‍ය පීඨයේ සිටි අයකු //
      බලල මල්ලෙ ඉදංම ඤව් ගාල තියෙන්නෙ :D

      Delete
    2. කම්මලේ, මේක ඇත්තම කථාවක්. මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ඔහුගේ සමකාලීනයන් වූ මගේ මිතුරන් ගේ බැචෙක්.මම ගිය වෛද්‍ය විද්‍යාලයක් නැහැ.

      Delete
    3. මටත් හිතුණේ මුලු රෑ පුරාම කල්පනා කරලා කරලා මේ බොළඳ ඇත්තිගේ හිත හදන්න පුළුවන් එයාගේ ම ක්‍රමයට තමයි කියලා හස්බන්ඩ්ට හිතෙන්න ඇති. ඕවා ඔහොම තමයි "Men Are from Mars, Women Are from Venus" නිකමට යෑ අයියේ

      *************

      //.මම ගිය වෛද්‍ය විද්‍යාලයක් නැහැ.// ඔයා ගියා කියලා කවුරුත් කියලා නැහැනේ. බළලා ගියා කියලාද කොහෙද මේ තියෙන්නේ :D

      Delete
  3. // ප්‍රේමනීය සබැඳියාවක ඇති වන මතගැටුමකදි වදන් කිසිදා දිනන්නේ නැත... දිනන යමක් වේ නම් ආදරයයි. //

    මුල් ලිපිය තරමටම සමීපව දැනුණා.

    // මට වඩා ඔයාට ආදරය කරන කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියන එක ස්ථිරව ම දැනගත්තොත් මිස ඒ මල කඩන්න ගිහින් මට මැරෙන්න බැහැ. //

    මේක තමයි මේ කතාන්දරේ මට සංවේදීම තැන.

    හැමදාමත් වගේ අපූරුයි අක්කේ. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නගා. මේක හොයලා දුන්නාට ආයෙමත් ස්තුතියි

      Delete
  4. මේ පෝස්ට් එකේ කොපියක් ගෙදර ගිහින් අලවන්ඩ ඕනෙ කමෙන්ට් ටිකත් එක්කම.
    මට හිත හදාගත්ත හැකි මේක ලෝකෙටම පොදු ධර්මතාවයක් කියල , මොකද ඉංග්‍රීසයෙන් ලියන්ඩ ඇත්තෙ එංගලන්තෙ දිහා එකෙක්නෙ, රන්දිල් නෝනෙ මේක ඉක්මනින් ලියපු එක වටිනව , අපේ උන්දැ මේක කලින් කියවල මට බෑවුමක තියන මලක් කඩල දෙන්න කිවුවනම් මට වෑල්ඩින් වෙද ගෙදර මාස ගානක් තපින්න වෙනව

    ReplyDelete
    Replies
    1. ඔළුව අතගාල බලපන් අං තියෙනවද කියල. එහෙම මලක් අරන් එන්න කිව්වොත් ෆ්ලෝරිස්ට් කෙනෙකුට කියල ඒවගේ මලක් හොයා ගෙන ඇඟේ මඩ ටිකක් ගාගෙන ගිහිල්ල දීපන්. එලඟට අර රවිය කියන ජාතියේ මලක් උඹ හොයාගෙන ගහපන්.

      Delete
    2. කම්මල,

      නැහැ ඔයා මේ වගේ ලියුමක් ලියලා දෙන්න

      මගේ ආදර බර සුන්දරිය,

      ඔයාට රෙදි හෝදලා දෙන්න, පොල් ගාලා දෙන්න, ගේ අස් පස් කරලා දෙන්න මං අත් දෙක පරිස්සම් කර ගන්න ඕනෑ.

      ඔයාට මැල්ලුම් ලියලා දෙන්න, ඉඳිකට්ටට නූල දාලා දෙන්න, ඔයාගේ නියපොතු වල කියුටැක්ස් ආලේප කරන්න මං මගේ ඇඟිලි පරිස්සම් කරගන්න ඕනෑ.

      වෙන මොනවාටවත් නෙමෙයි ඔයාගේ ඔය ලස්සන මූණ දිහා බලාගෙන ඉන්න මං මගේ ඇස් දෙක පරිස්සම් කරගන්න ඕනෑ. ‍(මේක කිව්වා නං අර උඩ ටික ඕනෑ වෙන එකකුත් නැහැ මයේ හිතේ)

      Delete
    3. ඉයන්,
      නියම රිප්ලයි එක. හැක්..

      Delete
    4. ඉයන් , ඇත්ත නේන්නම් ඕං යාළු මිත්‍රයො ඉන්න එකේ වටිනාකම.

      රන්දිල් , දැනුත් මම ඔය ටික කරල දෙනවනෙ.

      ප්‍රසා , ඔක්කොම හරි , අර අන්තිමට කිවුව මලක් එවපන්, එවුව මෙහෙ නෑ

      Delete
  5. people who are good from heart would always be rough in speaking out their feelings. because they can't pretend, they just do good when time comes.. ;) ;)


    oh...no no.. I'm not the one who told this.
    :D :D

    ReplyDelete
    Replies
    1. If you are not the one who told this, then who is the one who told this? :D :D

      Delete
  6. නියම කතාවක්.

    දැංවත් රන්දිකා නෝන ඔය බුකියෙම එල්ලිලා ඉන්න එක නවත්තයිද මන්ද. :D

    ReplyDelete
    Replies
    1. නැහැ දැන් මහත්තයා උදේ පාන්දර මං කැමති ම කෑමයි නැවුම් කිරියි අරගෙන දොරකඩ හිටගෙන ඉන්නවා :D

      (අමතක වුණා) හැක්...

      Delete
  7. ඉහත තිබෙන කිසිදු කමෙන්ට් එකක් හෝ, ඒවාට දී තිබෙන පිළිතුරු නොකියවා තමයි, මගේ අදහස් කියන්නේ. මම දකින්නේ එක දෙයයි. අද අපි ගතකරන, ඒකාකාරී, කාර්ය බහුල, ජීවිතය තුළ, අන්‍යොන්‍ය අදහස් හුවමාරුව, විද්‍යුත් උපකරණ වලට සීමාවීම, තවදුරටත් වර්ධනය වුනොත්, දික්කසාදය කියන්නේ, එක පුද්ගලයකු, වසරකට කීප විටක් කරන සාමාන්‍ය කාර්යයක් වනු ඇති. ඇසට ඇස හමු නොවන, මුවින් එන හඬ, කෙලින්ම සවනට නොවදින පවුල් ජීවිතය, හිරගෙයකි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අපේ යාළුවෙක් ඉන්නවා ජංගම දුරකථන හා සිම්පත් ව්‍යාපාරයෙහි යෙදෙන. එයාලාට මීට අවුරුදු 4-5කට පෙර තිබුණු සමුළුවකදි කිව්වාලු තව වසර කිහිපයකින් ඔබගේ වෙළෙඳ පොළ ඉලක්කය වන්නේ දුරකථන ඇමතුම් නොව අන්තර්ජාල පහසුකමයි කියලා.

      Delete
  8. //විද්‍යුත් උපකරණ වලට සීමාවීම, තවදුරටත් වර්ධනය වුනොත්, දික්කසාදය කියන්නේ, එක පුද්ගලයකු, වසරකට කීප විටක් කරන සාමාන්‍ය කාර්යයක් වනු ඇති//

    විචා මටත් ඕක හිතුණා. මගේ නම් අදහස සන්නිවේදන තාක්ෂණයේ දියුණුව සහ ඒවායේ අසීමාන්තික පරිහරණය සහ විවාහ ජීවිතය ගැන හිතනකොට දික්කසාද වෙන අයට ඒක බටන්ස් කීපයක් ක්ලික් කරලා ඔන්ලයින් කරගන්න ඇප් එකක් හඳුන්වලා දුන්නොත් ලේසි වෙයි කියන එකයි.

    ReplyDelete
    Replies
    1. කසාඳයත් දික්කසාඳයත් මිනිසුන්ම හදාගත් රාමුවක් මිසක් තිබිය යුතුම දෙයක් විදිහට මම නම් දකින්නේ නැ...මේ ලොකේ සැම ජීවියෙක්ම එකිනෙකට බොහෝ ලඟින් බැඳි තියෙන විදිහ දකින කෙනෙකුට මේ ලියවිලි වලින් ඇති වැඩේ මොකද්ද...


      අමතක වෙච්ච නෑදෑකම්.....

      Delete
    2. හැම දේම සීරියස් ගන්න එපා චතූ. මගේ කමන්ට් එක නක්කියට ලියපු එකක්.

      Delete
    3. //මේ ලොකේ සැම ජීවියෙක්ම එකිනෙකට බොහෝ ලඟින් බැඳි තියෙන විදිහ දකින කෙනෙකුට මේ ලියවිලි වලින් ඇති වැඩේ මොකද්ද... // සහතික ඇත්ත. ඒත් ඉතිං හැමෝම ඔය විදිහට දකින්නේ නැති එකනේ වැඩේ. ඒක තේරුම් ගන්නකොට බබාලා දෙන්නෙක් තුන්දෙනෙක් විතර හිටියොත් ඊ ගාවට එන ප්‍රශ්න විසඳගන්න පිහිට වෙන්නේ ඔය ලියැවිලි නේ අනේ :)

      Delete
    4. I didn't take it seriously Iyan.. but always girls should adjust whatever comes. Take it easy. :):)

      Randil : Its true..thats why those laws created. everything depends on mind.

      Delete
    5. ඉයන්.. මේ සමාජෙ හදන්න ඕනේ, අසාධරනේ නැති කරන්න ඕනේ, රැවටීම බොරුව නැති කරන්න ඕනේ, දුප්පතුන් නැති කරන්න ඔනේ, රට හදන්න ඔනේ වගෙ දේවල් කියලා ලියලා විතරක් වැඩක් නැනේ නේද... ගැහැනු පිරිමි වත් පිරිමි ගැහැනු වත් වෙනස් කරන්න නෙමෙ.. තැනට ඕන විදිහට හැඩ ගැහෙන්න අවශ්‍ය පහසුකම් දෙන්න කාට උනත් වගේ අදහස් දෙන නිර්මාණ වෙනුවට තවත් මුලාවෙ දාන දේවල් තමයි මම නම් දකින්නේ.. අර කතාවක් අහලා තියනවද ලොකේ නරක අය වැඩි නෙමේ හොඳ අය හරි නිහඬයි..ඒ වගේ අර උඩින් කිව්ව දේවල් කර ගන්න ඕන වෙන දේවල් එළියට එනවත් ක්‍රියාත්මක වෙනවත් හරි අඩුයි. ඒ ගැන මට ඇත්තටම හරි දුකයි. ඒකයි මම එහෙම ලිව්වෙ. මං දන්නවා මේ වගේ අදහස් ලියලා මේ තියන විදිහ එක අඟලකින් වත් වෙනස් කරන්න බැ කියලා. රැවටිල හරි එක මොහොතක් හිත් සතුටු කර ගන්න කවුද අකමැති...:) :) :)

      Delete
  9. මම මේ කතාව මුණු පොතේ ත් කියවල තියනවා. මේ වගේ ගොඩක් නිර්මාණ ලියවිලා තියෙන්නේ ගැහැනිය දෙවෙනි තැනට දාලා කියලයි මට හිතෙන්නේ.. අනිත් එක ඇත්ත එහෙමත් නැත්නම් යාථාර්තය හරි සියුම් විදිහට වහලා අයිසින් එකකින් වහලා ගැහැනියව නොමඟ යවන විදිහට පිරිමියාට යත් වී සිටිමට සිතට බල කෙරෙන නිර්මාණත් මම දැක තිබෙනවා.. හැමෝටම හැමදේම බැහැ තමයි. උදව් ඕන.. ඒත් පුරුෂෝත්තමවාදී දෘෂ්ඨි කෝණයකින් ම මේ නිර්මාණ වෙන්නෙත් ගැහැනු ලමෝ ඇතුලු අනිත් එවැනි නිර්මාණ බෙදා හරින්නේ ඇයිද කියාත් මට තේරුන් ගන්න අපහසුයි.. මම දැක තියෙනවා කසාඳ බැඳිම යනු ජීවිත කාලයම හිරිහැර කිරිමට එක අයකු තෝරා ගැනිමකි , බිරිඳගේ පළමු දරුවා ස්වාමියායි වැනි අදහස දෙන නිර්මාණත්...

    මේ විදිහටම පෙම්වතිය, බිරිඳ , අම්මා, සහෝදරියගේ, දියණියගේ පැත්තෙන් බලලා පිරිමි පාර්ශවයට හැඩ ගැහෙන්න නිර්මාණ බිහි නොවෙන්නේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. //පිරිමි පාර්ශවයට හැඩ ගැහෙන්න නිර්මාණ බිහි නොවෙන්නේ ඇයි ?//

      ලන්ඩන් වල ඇල්බට් අංකල් දවසක් කියපු දේ චතූට මිස් වෙලා නෙ

      “Men marry women with the hope they will never change. Women marry men with the hope they will change. Invariably they are both disappointed.” Albert Einstein

      Delete
    2. මට හිතෙන්නේ මෙහෙමයි. එක එක විදිහේ මිනිස්සු ‍ලෝකේ ඉන්නවා. මේ ඉයන් මහත්මයා කියලා තියෙනවා වගේ කවදා හරි වෙනස් වෙයි, තමන්ට ඕනෑ විදිහට හැදෙයි කියලා හිතාගෙන සහකරුවෙක් තෝර ගන්න එක හරි මේ ප්‍රිය කාන්තාව හැමදාමත් මේ විදිහට ම ඉඳියි කියලා හිතාගෙන සහකාරියක තෝර ගන්න එක හරි තමයි මුලික ම වැරැද්ද.

      සමහර පිරිමි අයට හැමදේම ඇඟිල්ලෙන් ඇනලා තේරුම් කරන්න ඕනෑ, සමහර අයට යන්තම් දැනුවත් කළාම ඇති, සමහර අයට බැන්නම තමයි තේරුම් ගන්නේ, සමහර අය වයිෆ්ගේ ඇහෙන් කඳුලක් වැටෙද්දි ම තේරුම් ගන්නවා, සමහර අයට ඔය මොකුත් නැතුවම තේරුම් ගන්නවා. ඔය වගේම තමයි ඉතිං කාන්තාවොත්. තමන් තෝර ගත්ත, තමන්ට ලැබිලා තියෙන කෙනාගේ කල්කිරියාව අනුව තමන් හැඩගැහෙද්දි අනිත් කෙනාත් බොහෝවිට ඒ තමන්ගේ විදිහට හැඩ ගැහෙනවා. එහෙම නැතිව අනිත් කෙනාව වෙනස් කරන්න ගියාම ඒ මනුස්සයා තව තවත් මුරණ්ඩු වෙනවා.මේක තමයි ඉතිං සාමාන්‍යය ක්‍රමය, අසාමාන්‍ය විදිහට හැසිරෙන අයත් නැතිව නෙමෙයි. සාමාන්‍යය ද අසාමාන්‍යයද කියලා දැන ගන්න තමන් මුලින් සාමාන්‍ය ක්‍රමය අනුගමනය කළා නම් හරි කියලා තමයි මට හිතෙන්නේ.

      දැන් මේ කතාව පුරුෂෝතතමවාදී දෘෂ්ඨි කෝණයකින් ලියැවිලාද කියන එක මං ඇත්තටම හිතුවේ නැහැ. හිතන්නෙත් නැහැ. මට හිතුණේ මෙච්චරයි. 'සමහර වෙලාවට මං හිතන්නෙත් මෙහෙම නේද? අනේ අර හදාගෙන යන බිල්ඩිමේ එන්න එන්නම තට්ටු වැඩි වෙනවා. ඒ තට්ටු වලට නගින්න තාම ලිෆ්ට් නැහැ. සමහර දවස් වලට පඩි පෙළ දිගේ දවසට දහ පහලොස් පාරක් ඔය තට්ටු 10 උඩ පහළ යන්න වෙනවා. එහෙම ගිහින් එන කෙනෙකුට ගෙදර ආවහම සමහරවෙලාවට ඇඳගෙන ඉන්න ඇඳුම් පිටින් ම පොඩි නින්දක් යන්න බැරිද? :D ඒ මට ආදරේ නැති කමද? :D නැහැනේ.'

      Delete
    3. මේ ලිපිය මටත් රන්දි අක්කාට වගේම පුරුෂෝත්තමවාදී සටහනක් විදිහට දැනුණේ නෑ. කාන්තාවක තුළ බොළඳ සිතුවිලි ඇත්තේම නැතැයි කියා මම විශ්වාස කරන්නේ නෑ. ඒ බොළඳ හැඟීම් වලට තමුන්ගේ පෙම්වතාගෙන් / සැමියාගෙන් එයට සරිලන ආකාරයේ ප්‍රේමණීය ප්‍රතිචාර ලැබෙනවාට කිසිම කාන්තාවක් අකමැති වේවියැයි මට හිතෙන්නේ නැහැ. මවක වුවත් ඒ කාරණාවේ වෙනසක් නැහැ. මේ කතාන්දරයේ සිටින කාන්තාවත් එවැන්නියක්. එතෙක් ඈ වෙනුවෙන් එළි නොදැක්වුණු සැමියාගේ ප්‍රේමණීය වදන් එම ලිපිය තුළින් දුටු මොහොතේ ඇය ඉතාමත් සංවේදී වන්නේ ඒ නිසයි. මෙහි මුල් ලිපිය දුටු මොහොතේ මා එම කාන්තාවගේ චරිතයට ආරෝපණය වී ඒ ගැන සිතා බැලූ විට මෙය ඔහු තුළ ඈ වෙනුවෙන් ඇති සැඟවුණු ආදරය කියා පාන්නක් මිස, ඇගේ නොහැකියාවන් කියා පාන ලිපියක් ලෙසින් මට හැඟුණේ නැහැ. ඒ මම හැකි සැමවිටම කරුණු දිහා සුබවාදීව බලන්න පුරුදු වෙලා ඉන්න නිසා වෙන්න ඇති. මෙවැනි ලිපි ඉතා සුන්දරව පරිවර්තනය කරනා රන්දි අක්කාට මෙය ලබා දෙන්නට මම හිතුවේ ඒ නිසයි. එම ලිපිය මා දුටු දෘෂ්ඨි කෝණයෙන්ම ඇයත්, මෙය කියැවූ බොහෝ දෙනාත් දැක තිබීම මට සතුටක්. :)

      ඒ වගේම, ඔබ කියනා අන්දමේ 'පිරිමි පාර්ශවයට හැඩගැහෙන්න බිහි වුන නිර්මාණ'ත් මම අන්තර්ජාලයේ ඕනෑ තරම් දැක තිබෙනවා. :)

      Delete
    4. ඔව් සිත්තමී..හිත් වලට කොහෙන් හරි ආදරණිය හැඟිම් දැනෙන්නනේ කාටත් ඕන..:) :) අපරාදේ මේ ඉන්ජිනේරු සැමියට තිබ්බේ මලත් ඉන්ජිනේරු දැනුම භාවිතා කරලා කඩලා ගෙනත් බිරිඳගේ අතට දෙන්න... :) :) විහිලුවක් කලේ හොඳේ...

      Delete
    5. මම කියන්නම ඕන මේ නිර්මාණය පරිවතනයේ ගැටලුවක් ගැන හෝ එහි වරදක් ගැන නෙමේ මම කිව්වේ...හැඟිමබර යථාර්තය වැසි ඇති මෙවැනි රැවටුම් බස් වලට රැවටි ජිවිතය ගෙවන්නන් ගැන මගේ හැඟිමයි මම කිව්වේ..ඒ වගේ නැති අයත් ඉන්නවා වෙන්න පුලුවන්. ඇත්තටම ආදරේ හිතේ තිබ්බත් කියන්න දැනෙන්න ජීවත් වෙන්න දන්නේ නැති අය වගේ...ඒත් එක්ක මේකත් මත උනා ...


      "If you love a flower, don’t pick it up.
      Because if you pick it up it dies and it ceases to be what you love.
      So if you love a flower, let it be.
      Love is not about possession.
      Love is about appreciation.”

      ― Osho "

      Delete
  10. මට තව දෙයක් එකතු කරන්න හිතුනා.. ගොඩක් විට බලන්න අපි බැහැ කියන්නේ අපිට කරන්න පුලුවන් තරම තේරුන් නොගෙන හිතේ හදා ගන්න හීන ලෝක වලට ඉක්මනින් යන්න ගිහින් නේද..හිමින් තමාට පුලුවන් තරම අඳුරගෙන සමාජයේ අනිත් අයත් එක්ක රේස් යන්න අදහසක් නැත්නම්, රැල්ලට එන එනදේත් එක්ක බැඳෙන්න හිතන්නේ නැත්නම් ජිවිතේ සරලකම දකිමින් යනවා නම් බැ කියන්න තරම් දෙයක් නැහැ නේද??? තමන්ටම දරන්න බැරි හීන ගොන්නක් හිස මත දරාගෙන යන නිසා නේද වැඩි හරියක්ම තමන්ට බැ කියලා හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. තමන් කැමති දේවල් ලබා ගන්න උත්සහ කරන්න ඕනෑ. ඒ ගමනේදි පියවරෙන් පියවර ලැබෙන දේවල් වලින් ඒ අවස්ථාව අනුව සෑහිමකට පත් වෙන්න සූදානම් වෙලා ඉන්න ඕනෑ.

      Delete
    2. Iyan: its not about me Iyan. Its about these creations. Most of them one side. I beleive no one should not try to change anybody. Just accept & live with whatver get.

      Randil: Satisfying the mind is hard for anybody. But thats the only method to be happy as I see. These ones also method of creating satisfication for unsatisfied minds.. :) :) :)

      Delete
  11. පටන් ගන්නකොට මම හිතුවේ මේ උඹලගේ කතාවක් කියලා.. :0 ඉවර වෙනකොට හිතුනේ අපේ.. අපි හැම දෙනාගේම කතාවක් කියල.. උඹට කියන්න නගේ.. අද උදේ.. මේ අද උදේ.. නාන ගමන් මම මේ කතාවම වෙනස් විදියකට ලියන්න හිතුවා.. -හැමදාම උදේට එහෙම මොනවා හරි ලියන්න හිතනවා ඒත් ලියන්නේ නෑ, ඒක වෙනම දෙයක්- බට්, ජස්ට් අද උදේ.. මේක ලියන්න හිතුවේ.. මාතෘකාවක් පවා හිතුවා කියහන්කෝ.. "බබා අම්මි වීම හා රත්තරං මහත්තයා නිකම්ම අප්පච්චි වීම".. හෙක්.. ආදරේ පෙන්නන්න වෙලාවක් නැතුව මිසක් ඉතිං ආදරේ අඩුවක් වෙලා නෑ තමයි..

    ReplyDelete
    Replies
    1. //පටන් ගන්නකොට මම හිතුවේ මේ උඹලගේ කතාවක් කියලා..//
      ඔයා මොකද එයාත් හිතුවේ එහෙමනේ. මම කෝල් එකක් දීලා කිව්වා අන්න පෝස්ට් එකක් දාලා ඇති බලන්නකෝ කියලා. ඒ ගමන් ම ඕපන් කරගෙන පළවෙනි පේලි දෙක තුන කියවලා මහා හයියෙන් හිනා වුණේ නැතැ.

      'හා හා... ඔච්චර හිනා වෙන්න එපා. ඒ ඔයා නෙමෙයි. ඒ අපි නෙමෙයි.' කියලා යාංතං හිනාව නතර කරගත්තා

      //"බබා අම්මි වීම හා රත්තරං මහත්තයා නිකම්ම අප්පච්චි වීම"// ඒ මාතෘකාවට අදාල කතාව කියවන්න අපි බලාගෙන ඉන්නවා.

      Delete
    2. අප්පච්චි කියන්නෙ උඹව දැක්කම එයාට එයාගෙ අප්පච්චි මතක් වෙනව ඇති, අකලට වයසට යනකොට ඔහොම තමයි මල්ලි :D

      Delete
  12. Replies
    1. ස්තුතියි ඔබට

      Delete
  13. රසවින්දා.. අපූරු කතාවක්.
    රන්දිල් He නෙවේ She කියල දැනගත්තෙ කොමෙන්ටු කියවලා, අද. සමාවෙන්ට ඕනෙ. හැක්

    ReplyDelete
    Replies
    1. ඒක ම මදැයි නේද? :D

      Delete
  14. කරන්න අමාරු දේවල් ඉල්ලලා ඉන්න වෙලේ නිතරම කරලා දෙන දේවල් ගැන හිතුවනම් හුඟක් අයට ප්‍රශ්ණ අඩු වේවි.

    දැන් එතකොට ඔය නෝනත් දවසම බුකියේ ඉදලා හවසට දොර ළගට දුවන් යනවද?

    ReplyDelete
    Replies
    1. නැහැනේ අනේ.‍ වෙලාවකට මං ගෙදර යද්දි තාත්තායි බබාලා දෙන්නයි දුවගෙන එනවා. :D

      Delete
  15. දෙයියා දෙයියොම කරලා. අක්කා පරිවර්ථනයක් කියලා දානකම්ම මං හිතුවේ අක්කා අයියගේ කනෙන් රිංගලා වර්ණනාවක් කරවගෙන කියලා. හැක් හැක්......
    කතාව නම් සෑහෙන්න ලස්සනයි. රැවටෙන සුළුයි හැබැයි.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...