Friday, November 10, 2017

544. The Story Of My Marriage - 49 - All About Harish…….

මේ දවස්වල ලංකාවෙ තෙල් කේස් එක තමයි නැඟලම යන්නෙ. හේමමාලා කුමරිය දළඳාව වඩම්මන නෞකාව එනකල් කිස්සිරිමෙවං රජ්ජුරුවො ප්‍රමුක රට වැසියො වෙරලට වෙලා පුල පුලා බලා හිටිය වගෙ තමයි අපේ කස්ටිය අර මොන ලේඩිදැයි කියන තෙල් නැව එනකල් බලා ඉන්නෙ...හෙහ්,හෙහ්......

ඉතිං මම කම්පනා කලා මේ වෙලාවෙ දළඳාව වඩම්මන සීන් කෝන් එක ගැන ගැයුණු ගීතයකට ඇහුංකං දුන්නනං  ආතල් නෙවද කියල......

මේ ධර්මදාස වල්පොල මහත්මයා ගයන උත්තම සිරි දළඳා ගීතය....



හරි ඒ ගීතය ඇහුවනං අපි යමු අනන්‍යාගේ කතාවට....

අප කාර්යාලයේ ප්‍රධාන දොරටුව අසල අනිල් ගුවන් තොටුපොල කරා ගෙනයන බී.එම්.ඩබ්ලිව්. රථය නවතා තිබිනි. අනිල් එහි පසුපස අසුනට ගොඩවූයේ අප සියල්ලන්ගේ සිත් මහත් සැනසිල්ලකින් පුරවා ලමිනි.

"බොහොම ස්තූතියි ක්‍රිෂ්..මම ඇත්තටම ඔයාට ණයගැතියි…." මම මගේ අසුනට පැමිණ අසුන්ගත් වහාම බාලා මගේ මේසය අසලට පැමිණ පැවසීය. 

"ඔව්..බාලා...අමතක කරන්න එපා...මම අද බාලා හින්ද කලේ ජීවිතේටම කිසිම කෙනෙකුට කරන්නෙ නැති උදව්වක්….." මම ඔහුගේ දෑස දෙස එක එල්ලේ බලාගෙන පැවසූයෙමි.

*****************************************

චාස් චෝස් යන අනුකරණයෙන් අනාන්‍යාලාගේ මුළුතැන්ගෙය දෙසින් නොනැවත ඇසෙන බැදුම් පිළිස්සුම් ශබ්ද කුමක් හෝ සුවිශේෂී සිද්ධියක් අද දින මෙහි සිදුවන්නට නියමිත බව මොනවට කියා පෑවේය. පසුගිය සඳු දිනට මම මංජු කොළුවාණන් නොහොත් මගේ අනාගත මස්සිණංඩිය හට ටියුෂන් දීම ආරම්භ කොට පුරා මාස දෙකකි. සත්‍යය එලෙසින්ම පැවසුවහොත් මා ඉගැන්වූ විෂයයන් අරභයා මංජුගේ දක්ෂතාවයන්හි කැපී පෙනෙන වෙනසක් දක්නට ඇත.

රූපවාහිනියේ තොර තෝංචියක් නොමැතිව පෙන්වන බෝන්විටා හෝ කොම්ප්ලෑන් වෙළඳ ප්‍රචාරණ දැන්වීම්හි පෙන්වන අල්බාත අයින්සටයිනයන්ගේ එක්කුස උපන් මහප්පාගේ පුතාගේ දුවගේ පුතා බඳු මහා බුද්ධි මට්ටමකින් යුතු කොල්ලන් කෙල්ලන්ටද කරටකර තරඟයක් දීමට තම පුත්‍රයා නිසැකවම සමත්බව සිනා සපිරි මුවින් යුතුව පසුගිය සතියේ දිනක පැවසූයේ අනන්‍යාගේ මෑණියන්ය. නිතොරවම මලබද්ධය වැළඳුනු බස්සියක මෙන් බුකවාගෙන සිටින ඇය සිනාසෙනු පළමු වරට මා දුටුයේ ඒ මොහොතේදීය.

I.I.T. වේවා Medical entrance වේවා මිනිස් වර්ගයා තම දැනුම මැනීම උදෙසා විභාග යන සංකල්පය නිර්මාණය කොටගත් දින සිට මෙතෙක් මේ මිහිතලය මත පැවැත්වුනු ඉතාම අසීරු සහ දරුණු විභාගයකින් පවා ඉතා පහසුවෙන් සමත්වන්නට මංජුට හැකියාව ඇති බව අදායම් බදු, අර්ථසාධක අයකිරීම් ආදී සකළ අවකරණයන්ගෙන් ඉක්බිති මගේ මාසික මූර්ත වැටුප (Net Salary) කිසිදු චකිතයකින් තොරවම පරදු තබා පවසන්නෙමි මා හිතවත් පාඨකය.

එළෙසම සත්‍යය එළෙසම පැවසුවහොත් ඒ හැකියාවෙන් වැඩි ප්‍රතිශතයකට හේතුවූයේ හිමිදිරි පහේ කණිසමට අවදිව නිදි මරගාතේම පැමිණ මංජුට මවිසින් ලබාදෙන අමතර අධ්‍යාපනයට වඩා මංජුගේ නිසග දක්ෂතාවයයි. 

"මොනවද මංජු අර කුස්සියෙං ඇහෙන සද්ද බද්ද? හප්පා මේ සැර ගඳ ඉවසන්නෙ කොහොමද මන්ද......හච්චීං...හච්චීං"

කුස්සිය දෙසින් හමාවිත් නාසා පුට විනිවිද කුඩා මොළයද පසුකොට මහාන්ත්‍රය දක්වා ගමන් කරනා කුළුබඩු රත්වූ තෙලෙහි බැදෙන කටුක ගන්ධය තව දුරටත් ඉවසනු නොහැකිව මහ හඬින් කිවිසුම් යවමින් මම මංජුගෙන් විමසීමි.

"ආ..ඒ අද එන විශේෂ අමුත්තන්ට කන්න බොන්න දෙන්න විශේෂ ඉවුම් පිහුම් කරනව….."

භෞතික විද්‍යා ප්‍රශ්නෝත්තර පොතකවූ ගැටළුවක් විසඳීම උදෙසා තම පූර්ණ අවධානය යොමුකොටගෙන සිටි මංජු හිස එසවීමකින් හෝ තොරව පැවසීය.

"කවුද අද එන විශේෂ අමුත්තො?......."

"ආ...අද එන්නෙද? අද එන්නෙ අර හරිෂ්නෙ...හරිෂ්……හරිෂ්…."

"කවුද හරිෂ් කියන්නෙ?"

"හරිෂ් අනේ අර හරිෂ්...හරිෂ් දන්නෙ නැද්ද?...හරිෂ් .....හරිෂ්......එයාල ඉන්නෙ ඔන්න ඔය වරායට යන පාර හරියෙ.....අර පාක් එකක් තියෙන්නෙ....ආන්න ඒ කිට්ටුව...." 

සුරත ඔසවා එහා මෙහා වනමින් මංජු පැවසීය. ඔහුගේදැඩි අවධානය තවමත් ඇත්තේ භෞතික විද්‍යා ගැටළුව කෙරෙහිය.

"චෝස් …"

අනන්‍යා ගේ මව තවත් මොනවාදෝ පැහෙන තෙලට දැම්මාය. අබ, කරපිංච සහ ලූණු තෙලෙහි බැදෙන සුවඳ අප සිටි කාමරයට ගලා ආවේ මගේ දෙනෙත් කඳුලින් නහවමිනි. 

මගේ අපේක්ෂාව රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබනා නවකථාවක් ලිවීම වන්නේ නම් නිසැකවම මම මීලඟ පරිච්ඡේද දෙක පුරා විස්තර කරනුයේ ඒ සුවඳ කොතරම් මිහිරි සුවඳක්ද යන්නය. එළෙසම එයින් මගේ සියළු රස නහර පිනා යන්නට ගතවූයේ හුදෙක් මිලි තත්පර අටක් හෝ දහයක් පමණක්ම බවද පුන පුනා සඳහන් කරන්නෙමි. එහෙත් ඇත්තවශයෙන්ම මට සිදුවූයේ කඳුළු ගලනා දෑසින් සහ දෑතින්ම වැරයේ බදාගත් හිසින් යුතුව නොනවතින කැස්සකින් පීඩා විඳින්නටය.

"හාපෝ ඔයා පොඩි ළමයෙක් වගේනෙ....."

යටි තොල පෙරළා තම අප්‍රසාදය පළකරමින් මොහොතක් මදෙස බලා සිටි මංජු එක්වරම නැඟිට කුටියේ දොර වෙත ගොස් දොර රෙද්ද මෑත්කොට හිස පිටතට රුවා මුළුතැන්ගෙට ඇසෙන පරිදි මහ හඬින් කෑගැසීය.

"ඔය කුස්සියෙ එක්ස්හෝස්ට් ෆෑන් එක දාගන්නකො අම්මෙ.......මොනව කරනවද මන්දා.."

ඉක්බිති දොර වසා දැමූ ඔහු ආපසු පැමිණ අසුන් ගත්තේය. දොර වසා දැමූවද අනන්‍යාගේ මවගේ කටහඬ පැහැදිලිව කුටිය තුලට ගලා ආවේය

"හරි හරි මම ෆෑන් එක දැම්ම.....මංජු මේ...දැන් මදැයි පාඩම් කලා. යන්න ගිහිල්ල අඩුගානෙ ඇඟපතවත් හෝදගන්න...අර ගොල්ලො දැන් මේ ලඟම එනව ඇති…"

ඒ සමඟම තීව්‍රතාවය වැඩි කොට ඇය හඬ ගෑවේ අනන්‍යාටය. 

"අනන්‍යා...ඔයා මොකද කරන්නේ ඒ ඒ ඒ....? තවම ලෑස්ති වෙලා ඉවර නැද්ද?"

"මංජු මේ….. කවුද මනුස්සයො ඔය හරිෂ් කියන්නෙ?......" 

යලි භෞතික විද්‍යා ගැටලුවෙහි කිමිදෙන්නට සූදානම්වන මංජුගේ උරහිසින් අල්ලා සොලවමින් මම විමසීමි.

"හරි හරි ඉතිං කෙන්දරත් බැලෙව්වනෙ අම්මල......එව්වත් ගැලපෙනවලු...ඉතිං ඒ හින්දයි ඒ අය අද මෙහෙ එනව කියන්නෙ...එතකොට හැබැයි තව ප්‍රශ්ණයක් තියනව…"

"ඔව්..ඔව්..මොකක්ද තියන ප්‍රශ්ණෙ?" මම නොඉවසිල්ලෙන් විමසීමි. මසිතට බලපොරොත්තුවේ යම් සේයාවක් වැන්නක් ඇතුළුවිය.

"නෑ මම මේ කියන්නෙ ගුරුත්වජ ත්වරණය තත්පර වර්ගයට මීටර් 9.8 යි. රොකට් එකේ ප්‍රවේගය ...." නළල සහ දෙබැම රැළිකොට ගත් මංජු තම සටහන් පොතට හිස ඔබා ගත්තේය.

ඔහු ඔහුගේ ප්‍රියතම විෂයය කෙරෙහි පූර්ණ වශයෙන් හිත යොමු කිරීමට සූදානම් වන්නේ මා මගේ කටුක ලොවෙහි තනිකොට දමමිනි. මගේ කටුක ලොවෙහි තව නොබෝ වේලාවකින් මගේ පෙම්වතිය දැකගැන්මට මනාලයෙක් පැමිණෙන්නේ ඔහුගේ සහ ඇයගේ දෙමව්පියන්ගේ පූර්ණ එකඟතාවය පරිදි ඇය විවාහ කොට ගැනීමේ ඒකායන අභිප්‍රායෙනි. එවැන්නකට කිසිසේත්ම ඉඩ දිය නොහැක. ඉදිරියට පහත්වූ මම සුරත දිගුකොට මංජු ගැටළුව විසඳමින් සිටින සටහන් පොත ඔහුගෙන් උදුරා වසා දමා අප අසළවූ කුඩා කනප්පුවක් මතට වීසි කළෙමි.

"මොකක්ද අනේ? ඇයි එහෙම කලේ?" මංජු දෑස් විදහාගත්වනම විමසීය.

"ඔය හරිෂ් කියන මනුස්සය කොහේ කෙනෙක්ද? කවුද? මොකද එයා කරන්නෙ? අද මෙහෙ එන්නෙ අහවල් දේකටද? මට සම්පූර්ණ විස්තරේ මේ දැන්ම කියන්න ඕන..නැත්නම්….."

"ඔව්...නැත්නම් මොකද?" මංජු තම තොල් තරව පියාගත්වනම ඇසීය. "නැත්නම් මොකද කරන්නෙ?"

"නැත්නම් මම අම්මට කියනව ඔයා බ්ලූ ෆිල්ම්ස් බලනව කියල…"

"මොකක්?..... බොරු කියන්න එපා හොඳද? මම කවදාවත් ඒ වගෙ එව්ව බලල නෑ."

මංජු බියපත් දෑසින් මදෙස බලා යලි වහා තම දෑස් ඉවතට යොමු කොට ගත්තේය. ඔහුගේ ස්වරයද බියෙන් සලිතවන අයුරක් දක්වන්නේය. මම සිනහව වලක්වා ගනු වස් දෙතොල සපාගතිමි.

"බොරු කියන්න එපා මංජු……" මම දැඩිව පැවසීමි. "මම දන්නව ඔක්කොම......"

"මේකා බොරු කියන්නෙ…….මේ වයසට බ්ලූ ෆිල්ම් එකක් බලල නැති කොල්ලෙක් ඉන්නවද? මම දන්නෙ නැද්ද ඒ ගැන...හෙහ්...හෙහ්… "  මම මටම කියාගතිමි.

"එකම එක පාරක් විතරයි මම ඒ වගෙ ෆිල්ම් එකක් බැලුවෙ......අර එහා පාරෙ ඉන්න මගෙ යාලුවගෙ ගෙදරදි.......ඇත්තම කිව්වොත් ඒක වැරදීමකින් වුනේ…" 

මංජු ගොත ගසමින් පැවසූයේ පහතට හරවාගත් මුහුණින් යුතුවය.

"හෙහ්..හෙහ්..මාර කතාවක්නෙ ඒක..........වැරදීමකින්...ඈ???...........කොහොමද මනුස්සයො වැරදීමකින් බ්ලූ බලන්නෙ?"

"ඒ බ්ලූ එක මගෙ යාලුවගෙ තාත්තගෙ එකක්.....අනේ අම්මට එහෙම කියන්න එපා.....එහෙම උනොත් අම්ම මගෙ යාලුවගෙ අම්මට කියයි. ඊලඟට මහ විනාසයක් වෙන්නෙ…"

මංජුගේ මුහුණ බියෙන් සුදුමැලිවී තිබිණ. ඔහුගේ කළු පැහැති උපැස් යුවල පවා බියෙන් සුදුමැලිවී ඇති බව මට සිතිණ. මේසය මතවූ ගණිතය රසායන විද්‍යාව සහ භෞතික විද්‍යා පාඨ ග්‍රන්ථ සියල්ල එකතු කොට එක පිට එක තබා ඉවතට තල්ලු කල මම දෙවැළමිට මේසය මත තබා දෑතට මුහුණේ බරදෙමින් වාරුවී මංජුගේ මුහුණට එබුණෙමි.

"හරි මම ඒ ගැන අම්මටවත් වෙන කාටවත්මවත් කියන්නෙ නෑ. දැන් මංජු මට කියන්න ඔය හරිෂ් කියන මනුස්සය ගැන සම්පූර්ණ විස්තරේ...මුල ඉඳලම..ඒ කියන්නෙ කොහොමද මේක වුනේ? එතන ඉඳලම පටන් ගන්න…"

52 comments:

  1. ස්තුතියි. ඊලඟ කොටසත් ඉක්මනට දාමු. හැබෑටම දැන් පොතෙන් බාගයක් විතර ඉවරද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ස්තූතියි ඔබට...

      මම පරිවර්තනය කරන්නෙ පොතේ PDF කොපියකින්. ඒකෙ පිටු 322 තියනව දැනට පිටු 144ක් පරිවර්තනය කරල තියනව. ඒ කියන්නෙ දළ වශයෙන් පොතෙන් 45% වගෙයි ඉවර.

      ඒ වගේම පිටු 3 වගෙයි එක එපිසෝඩ් එකකට වැටෙන්නෙ. එතකොට පිටු 322 පරිවර්තනය කරන්ට එපිසෝඩ්ස් 108 වගෙ යනව. අද මේ දැම්මෙ 49 වෙනි කොටස. තව 59ක් පබ්ලිෂ් කරන්න තියනව.

      මේ 49 ට අවුරුදු දෙකකුත් මාස දෙකක් වගෙ ගියානෙ. එතකොට කොහොමත් තව අවුරුදු දෙකක්වත් යාවි වැඩේට...හෙහ්...හෙහ්...

      Delete
    2. වැඩේ දිගටම කරගෙන ගියොත් අවුරුදු පහක් හෝ හයක් ගතවේවි මගෙ දැනුමේ හැටියට.

      Delete
    3. /// වැඩේ දිගටම කරගෙන ගියොත් අවුරුදු පහක් හෝ හයක් ගතවේවි මගෙ දැනුමේ හැටියට. ///

      හයියු ෂල්ලි මාත්තියා...

      Delete
  2. අයියෙ හේමමාල මොකද්ද ලංකාවට ගෙනාවෙ?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      පන්සිය පනස් ජාතකේනෙ බොල...:)

      Delete
  3. මේ වගේ තගක් අපිත් දාන්න වෙයි වගේ මේ කතාව දිගටම ලියවෙන්න නම්...

    පාඨක ජනතාවට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ලිඛිතා,

      අනේ බං උඹගෙ තගට අපි බයවෙයි...

      මම මේ අවුරුදු විසිදෙකක් තිස්සෙ ජීවත් වෙන්නෙ මහසෝනගෙ නංගි එක්කනෙ...එහෙම එකේ උඹල වගෙ හාංචිපයිස් බබලත්තුංගෙ තගවල් අපිට නතිං....

      ඔන්න එක බුවෙක් ඉන්නවලු හැමදාම හවහට ගෙදර එන්නෙ කුදාර් වෙන්ට ගහලලු. වයිෆ් බැලුවලු මේක හරියන කෙලියක් නෙවෙයි බලමුකො මූව බයකරලවත් හදාගන්ට කියල.

      එහෙම හිතල වයිෆ් එක දවසක් පොර වැනි වැනි එනකොට ඔලුවෙ ඉඳල සුදු රෙද්දකුත් පෙරවගෙන ගෙවල් ගාව හංදියෙ රැකල ඉඳල හහ්..හහ්..හා ගාල මහ හයියෙං හිනාවෙල ඉස්සරහට කඩා පැන්නලු.

      පොර ඇස් එහෙම පිහදාල ඇහුවලු "කවුද උඹ?" කියල..

      "හහ් හහ් හා..මම තමයි මහ සෝනා..මම දැං ලෑස්ති උඹේ බොටුව කඩල ලේ බොන්ට" වයිෆ්ස් කිව්ව.

      අනේ පොර ඒක ඇහුව විතරයි ඉස්සරහට පැනල මහසෝනව බදා ගත්තලු.."අප්පේ කොහෙද මයෙ මස්සිනේ ගිහිල්ල හිටියෙ මෙච්චර කල්? හැබෑටම බොට මාව අඳුනන්ට බැයිද? මමනෙ බං උඹෙ චුට්ටි නංගිව බැන්දෙ..ඒ කියන්නෙ උඹ මයෙ මස්සිනා..අනේ බං යමං ඔහොම්මම අපේ ගෙදර...උඹෙ නඟන්ඩිත් බොහොම පිරීතිවේවි උඹ දැක්කම..."

      Delete
    2. ලිඛිතා මහසෝනාගේ අක්ක වෙන්ට ඇති නේද

      Delete
    3. මහසෝනා නෙවෙයි,, හිටාන් උඹ බ්ලූ බලනවා කියල ටීචර් ට කියන්න.. හෙක්..

      Delete
  4. උත්තම සිරි තෙල් දා...... තමයි ඔක්කොම දුවන්නෙ

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      හෙහ්..ඒක මරු කතාව...

      Delete
  5. Replies
    1. කසුන්,

      අද උඹ මොකද?....:)

      Delete
  6. මේ යෝදය ආප්ප ඇප්පුවල් දාලනෙ බං.

    ReplyDelete
    Replies
    1. Kasun,

      කමෙන්ට් මොඩරේෂන් දැම්ම බං...දැම්ම කියන්නෙ දාන්ට වුනා...බෝම අකමැත්තෙං...

      කරුනු දෙකක් හින්ද..එක පෞද්ගලික අපහාසාත්මක කමෙන්ට්ස් දිගින් දිගටම පලවෙන්ට ගත්ත අපේ ගරු සබාපතිතුමාට විරුද්දව...හෙහ්..හෙහ්...

      දෙක මම ලියන්ට ඕන මොනවද අයින්කලයුතු කමෙන්ට් මොනවද තියෙන්ට ඕන කමෙන්ට් මොනවද කියල නොමිලේ උපදෙස් දෙන්ට ලැහැත්තිවුනා එක්කෙනෙක් හෝ එහෙම නැත්තං කීප දෙනෙක් එකතුවෙලා...

      එහෙම එව්ව නම් මට ගානක් නෑ. ඒත් අන්තිමට වැඩේ ඕවර් ගියා..එසඳ ප්‍රතිචාර යම් නියාමනයකට යටත් කිරීමට සිදුවිණි.

      Delete
    2. එකම කමෙන්ට් එක කොපි පේස්ට් කරන ඔට්ටු නැහැ, හරිය...

      Delete
    3. ලොක්කා,

      එකම ප්‍රස්නෙනෙ බාං...:)

      Delete
  7. යකෝ ඔය විදියට තෙල් කෑම කාල අනන්නයා කසාද බඳින එකා වැඩි කාලයක් ජීවත් වෙන එකක් නෑ.

    ඔය ඉස්සරහ ගෙදර ඉන්නෙ අපේ වෙනි වැල්ගැට අයියද දන්නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. Prasanna,

      /යකෝ ඔය විදියට තෙල් කෑම කාල අනන්නයා කසාද බඳින එකා වැඩි කාලයක් ජීවත් වෙන එකක් නෑ./

      නෑ නෑ අවුලක් වෙන එකක් නෑ..අනන්‍යාගෙ තාත්ත කාරය එක්ක එක ජල්ලියක් ඇල්ලුවම කොලස්ටරෝල් ඔක්කොම පිච්චිල යාවි බලා ඉන්දැද්දි......

      /ඔය ඉස්සරහ ගෙදර ඉන්නෙ අපේ වෙනි වැල්ගැට අයියද දන්නෑ. හැක්../

      /අර එහා පාරෙ ඉන්න මගෙ යාලුවගෙ ගෙදරදි./

      මම හිතන්නෙ ඉස්සරහ ගෙදර නෙවෙයි එහා පාරෙ ගෙදර ගැනයි උඹ මේ කියන්නෙ නේ?

      අඩේ අපරාදෙ වෙනිය එහෙම පොරක් කියල දන්නවනං මංජුගෙ යාලුවගෙ තාත්ත විදිහට වෙනියව මේ කතාවට එන්ටර් කරවන්න තිබ්බ. නම ගම හැඩරුව ඔක්කොමත් එක්ක...

      එහෙම ආය කවුරුහරි එන්ටර් කරවන්න ඕනනං කලිං කියපං..මම එහෙම අවශ්‍ය සීන් එකක් හදල හරි ඒ වැඩේ කරඤ්ඤංකො..නෝ පොබ්බොං ඇට්ටෝල්....

      Delete
  8. මෙයා මගුලක් කියෝනව. ඇයි පුංචප්පේ ඔහේ දැක්කෙ නැතෙයි ඔහෙගෙ අතිජාත බුරුසු රැවුල්, බඩ ගෝරිලි හිජකුපාම ලේඩිස් බයිසිකලයක් දෙපරැන්ද අස්සෙ ගහං සේනාව පෙරටු කොට රථය පසුකොට යනවා?

    ReplyDelete
    Replies
    1. සුරංග,

      එව්ව හරියන එකක් නෑ බං මගේ යාවජීව පාටකාවියො කීප දෙනෙක්ම ලාස්ට් වෝනිං දීල තියෙන්නෙ මේ කතාව දිගටම ලියන්ටෙයි නැත්තං එයාල බලාගන්නවයි කියල.

      ඒ හින්ද "ගෝරිල්ල බයිසිකල් පැද්ද හැටි" ගැන ලියන්ට වෙන්නෙ නැතිවෙයි...

      Delete
    2. //එව්ව හරියන එකක් නෑ බං මගේ යාවජීව පාටකාවියො කීප දෙනෙක්ම ලාස්ට් වෝනිං දීල තියෙන්නෙ මේ කතාව දිගටම ලියන්ටෙයි නැත්තං එයාල බලාගන්නවයි කියල.//

      :D

      Delete
    3. සුරංග ටත් ලාස්ට් වෝනිං දෙන්න වෙයි වගේ

      Delete
    4. මානවික්ස්,

      /සුරංග ටත් ලාස්ට් වෝනිං දෙන්න වෙයි වගේ/

      ඔයි යස්සයට ලාස්ට් වෝනිං විතරක් දීල හරි යන්නෙ නෑ. බෙල්ලට දෙකකුත් ඒ එක්කම දෙන්න වෙනව...

      Delete
    5. ඉයන්,

      ඇයි බොල අර අපූරු ගීතෙ අහල නැත ඔහෙ?

      පාටකාවියන්....
      ටක්ෂලා ඩොරින්....
      ඉෂ්ෂිලා හොරෙම් පලාවි....
      ඝෂ්ෂලා ඉඟත්..

      Delete
    6. මට හිතුනෙ පාට පාට ගැහැණු කාවො සෙට් එකක් කියල

      Delete
    7. "ශුද්ද පලාගෙන යනවා වැට ගාවින් " කිව්වා වගේ තමයි ඒකත්

      Delete
  9. හපොයි. පවු අහිංසක ක්‍රිෂ්. බාල ගෙන් උදව්වක් අරන් මේ ප්‍රපෝසල් එක ගොඩ දාගන්න බැරි වෙයිද දන්නෙ නෑ ක්‍රිෂ් ට?

    ReplyDelete
    Replies
    1. කෝ ඔයාගෙ බ්ලොගේ අප්ඩේට් වෙන්නේ නැත්තේ ඇයි?

      Delete
    2. මානවිකාවිය,

      /බාල ගෙන් උදව්වක් අරන් මේ ප්‍රපෝසල් එක ගොඩ දාගන්න බැරි වෙයිද දන්නෙ නෑ ක්‍රිෂ් ට?/

      බැරිවෙන එකක් නෑ...බැරිවෙන එකක් නෑ....let's see....:)

      Delete
    3. පමල්,

      ලියන්න ඕන ඉතුරු ටික.

      මම කතාව ලියන්න ගත්තෙ මාස්ටර් එක ඉවර වෙලා ගෙදර ඉඳපු දවස් ටිකේ කම්මැලි කම යන්න. ඒත් PhD එකට ආපහු රට එන්න වීස හදන්නයි ඊට පස්සෙ එන්න රෙඩි වෙන්නයි උනු නිසා වෙලාව අඩු උනා. දැන් ආයෙ ටිකක් බිසි.

      ලියන්නම් පුළුවන් පුළුවන් වෙලාවට. බොහොම ස්තුතියි ඒ ගැන ඇහුවට. මගේ බ්ලොග් එක ගැන හොයන අය ඉන්න එක ගැන සතුටුයි. :)

      Delete
    4. මානවික්ස්,

      අයියෝ දිනපතා නාල කරල පිරිසිදුව හිටියම ඔය PhD ලෙඩේ හරියනව..:D

      PhD = personal hygiene deficiency ..isn't it?

      Delete
    5. Sometimes, doing a PhD may result in personal hygiene deficiency too.
      But originally, PhD stands for Pingan Hodana Degree (පිඟන් හෝදන ඩිග්‍රී)

      Delete
    6. Manaviks (Copyrights - Mr.Ravi)
      All right.. all the best for your PhD.Btw few months ago I started to read your blog.After reading I guess that we live in a same area or in a nearby area (your hometown)

      Delete
    7. Dear Pamal, Thank you for the comment and thank you for reading my blog.
      My hometown is Weligama. :)

      Delete
    8. Manaviks,
      Ah.. I used to live @ Kamburugamuwa.. then we shifted to Brown's hill area..

      Delete
  10. අම්මප එහෙම දෙයක් වෙලා තියෙනවා කියලා අහන්නත් සතුටුයි...සරම් වලට වඩා චීත්ත කියන දෙවල් වලට තැනක් තියෙනව එහෙනම්....

    ReplyDelete
    Replies
    1. නිමේෂ්,

      /සරම් වලට වඩා චීත්ත කියන දෙවල් වලට තැනක් තියෙනව එහෙනම්..../

      ආය මොනවද බොල එව්ව එහෙම තමයි මහා සම්මත රජ්ජුරුවංගෙ කාලෙ ඉඳල සිද්ද වෙන්නෙ...:)

      Delete
  11. උත්තම තෙල් අහුරා ගමන්යන
    නෙවෙස්කා තෙල් නෞකා බලන් සකි සත් සමුදුරු ගැඹරේ
    ලිච්චවී රජපුත් මෛත්‍රී කුමරුවන්
    ලිච්චවී රජදූ රනිල් කුමරියන්
    පත්තරයෙන් කියවා මොළෙන් දෙන
    උත්තම තෙල් අහුරා ගමන්යන
    නෙවෙස්කා තෙල් නෞකා බලන් සකි සත් සමුදුරු ගැඹරේ
    පෝලිම් ‍රැල්ලට තෙල් වැහි වස්සන
    නිසිකල ෂෙඩ්වල පොම්පෙන් වද්දන
    උත්තම තෙල් අහුරා ගමන්යන
    පත්තරයෙන් කියවා මොළෙන් දෙන
    නෙවෙස්ක තෙල් නෞකා බලන් සකි සත් සමුදුරු ගැඹරේ
    සත්සිය වරුවක් පෝලිමේ හිටියා
    ලක්දිව ෂෙඩ් වල තෙල් උතුරායා
    උත්තම තෙල් අහුරා ගමන්යන
    නෞකාවක සඟවා මොළෙන් දෙන
    නෙවෙස්ක තෙල් නෞකා බලන් සකි සත් සමුදුරු ගැඹරේ

    ReplyDelete
    Replies
    1. පමල්,

      අඩේ නියමයිනෙ....මල් හතයි.....:)

      Delete
    2. බොහොම ස්කෝතුයි මිස්ටර් රවී :)

      Delete
    3. අඩේ නියමයිනෙ....මල් හතයි.....:) X 2

      Delete
    4. +++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  12. හෑ...කෝමෙයි මට මේක මගහැරුනේ..

    ReplyDelete
  13. හෑ...කෝමෙයි මට මේක මගහැරුනේ.. x 2 .. 50 කියවන්න ඇවිත් දැක්කේ හතලිස් පහ මිසින් කියල.. :)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...