Friday, November 17, 2017

546. මවකගේ ගීතය....

"අම්ම යනව...අම්ම යනව…." මම අත්දෙකත් උස්සගෙන ඇස් වල කඳුළු පුරවගෙන යටිගිරියෙං බෙරිහං දිදී අඬනව.

මට නොදැනෙන්ට රාජකාරියට යන්ට කියල නිල්පාට සුට්ටං ඉරිවැටිච්ච ලිනන් රෙද්දෙන් මහපු හෙදි නිල ඇඳුමින් සැරසිල සපත්තු අඩි සද්දෙ නෑහෙන්ට නෙලුං කොලේ කොරවක්ක යනව වගෙ උඩිං උඩිං අඩි තියල දොරකොඩිං එලියට බැහැල මිදුලෙ මඟක් ගිය මයෙ අම්ම හිටි දාරනේ එතනම නැවතිල හෙමීට ආපහු හැරෙනව.

අම්මගෙ ඇස් පුරවල තියෙන්නෙ හීතලම හීතල කඳුළු. ඇගෙ දෑස් අග ඉපදුනු සීතල කඳුළු බිඳුවක් ඇහි පිහාට්ට අග්ගිස්සෙ රැඳිල කම්මුලට වැටිල පහලට ගලා යම්දෝ එහෙමත් නැත්නම් මෙතනම ඉම්දෝ කියල හිතාගන්ට බැරුව වගෙ එකෙල මෙකෙල වෙවී ලත වෙනව. 

"අම්මට මම කියල තියනවනෙ මම ගෙදරිං දොට්ට බහින වෙලාවට පුතාව වත්ත පල්ලෙහාට හරි කොහාට හරි එක්ක යන්ට කියල…." අම්ම කසුකුසුවෙං අත්තම්මට වගපල කියනව…."දැන් බලන්ටකො ඉතිං මම කොහොමද වැඩට යන්නෙ මෙයා මෙහෙම අඬද්දි…"

"දුව යන්ට...දුව යන්ට....ආය ගෙදරට එන්ට ඕන නෑ දැනුත් පරක්කු වෙලා නේද? මම සුට්ටි පුතා පරක්කරගන්නං" අත්තම්ම එහෙම කියල අම්ම දිහාට දුවන්ට යන මාව අල්ලල නවත්ත ගන්ට හදනව.

කොහෙ නවත්ත ගන්ටද? මම තව හයියෙං උඩ පනිමිං අඬනව. කොහොම හරි වදෙං පොරෙං අත්තම්ම මාවත් උස්සගෙන වත්ත පහළට යනව.

"සුට්ටි පුතේ අඬන්ට එපා ඉතිං....අම්ම හවසට එනකොට පුහුල් දෝසි ගෙනේවිනෙ පුතාට.....අම්ම ඔය යන්නෙ පුතාට පුහුල් දෝසි ගෙනෙන්ට..වෙන මොහොකටවත් එහෙම නෙවෙයි"

ඒ දවස්වල ඉඳලම මම පුහුල් දෝසි කන්ට පුදුම තරමට ආසාවයි. ඒත් ඒ වෙලාවෙ මට ඕන ඇති පුහුලක් නෑ.

"මට ඕන නෑ පුහුල් දෝසි…" මම අත්තම්මගෙ බෙල්ල බදාගෙන අඬනව.

"පුහුල් දෝසි ඕන නැත්තං ඉතිං කමක් නෑ. හරි යංකො අපි වැහි ලිහිණියො බලන්ට"

"උං දැං ඉඳීවි නේද කූඩුවෙ?" මම ඉකි බිඳුං අතරිං වචන පැටලි පැටලි අහනව.

"ඇති ඇති අපි යංකො බලන්ට….." අත්තම්ම මගෙ ඔලුව අත ගානව.

අපේ වත්තෙ පල්ලෙහාට වෙන්ට තිබ්බ පරණ දර මඩුවක්.  ගඩොලිං අඩි තුනක් හතරක් වගෙ වෙන්ට කපරාරු නොකරපු බිත්ති බැඳල ඊට උඩිං ලී රාමුවල ගහපු කුකුල් දැල්වලිං ආවරණය කරල තිබ්බ මේ දර මඩුවෙ ටකරං වහලෙ යටි පැත්තෙ බැඳල තිබ්බ වැහි ලිහිණි කූඩුවක්. 

මැටි වලිං හදල තිබ්බ ඔය වැහිළිහිණි කූඩුවෙ ඉස්සරහ තිබ්බ පුංචි දොරටුවට එක එල්ලේ ඈත නමුණුකුල කඳු වළල්ල පැත්තෙ ඉඳල වැහිලිහිණියො පිහාඹගෙන ඇහිල්ල ඇතුල් වෙනව බලා ඉන්ට ඒ කාලෙ මම හරිම ආසයි.

ඔය මම කිව්ව සිදුවීම් උනේ අපි බදුල්ලෙ ඉන්දැද්දි. නමුණුකුළ ගැන කිව්වම ඔබ තමුන්නාන්සෙලාට තේරුම් යන්ට ඇති නේද මම මේ කියන්නෙ කොයි පළාතක වෙච්චි දෙයක් ගැනද කියල නේද?

මට ඒ කාලෙ ඕනනම් අවුරුදු තුනක් වගෙ වෙන්න ඇති උපරිම. මයෙ පොඩි නඟා මට වඩා අවුරුදු හතරක් වගෙ බාලයි. එයා ඉපදුනෙ අපි මාතර ඉන්දැද්දි. එතකොට ඔය අම්ම වැඩට යද්දි මම ඉකි ගගහ ඇඬුවයි කියල කියන්නෙ අපි කට්ටිය බදුල්ලෙ ඉන්දැද්දි. හරියටම කිව්වොත් බදුල්ලෙ ගඟ අද්දර පාරෙ. ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම මට අවුරුදු තුනහමාරක් වගෙ වෙන්න ඇති.

ඊළඟට මාතර....මට වයස හතරක් වගෙ ඇති...මගෙ කොණ්ඩෙ පොඩි කාලෙ ගණ සැරේට වැවෙනව...(දැනටත් එහෙමම තමයි..හෙහ්...හෙහ්)....මාසෙකට වගෙ සැරයක් අනිවාර්යයෙන් කපන්න ඕන. අම්ම මාව එක්ක යනව මාතර ටවුමෙ තිබ්බ සැලූන් එකකට. නම කිංග්ස් සැලූන් වගෙයි මතක...

ඒකෙං කොණ්ඩෙ කපල එලියට බැහැල අපි දෙන්න යන්නෙ ඒ එක්කම තිබ්බ අයිස්ක්‍රීම් කඩේකට. ඒකෙං වේෆර්ස් බිස්කට් එකක් ගහල අර නැට්ට දිග කප් එකකට දාපු අයිස්ක්‍රීම් එකක් අම්ම මට අරං දෙනව. රිදී පාට සුට්ටි හැන්දකුත් අයිස්ක්‍රීම් එකේම ගහල තියනව.

"අම්ම කන්න ඉස්සෙල්ලම...." මම කියනව.

"බෑ ඔයා කන්නකො.."

"බෑ බෑ අම්ම කන්නකො නැත්නම් මම කන්නෙම නෑ….." මම එකෙහෙලාම කියා හිටිනව.

"හා..හා..හරි හරි ඔන්න එහෙනං මම කනව.." අම්ම හැන්දට අයිස්ක්‍රීම් ටිකක් අරගෙන කනව.."හරි අම්ම කෑව.. දැං ඔයා.."

ඒත් හැමදාම අයිස්ක්‍රීම් එක කාල ආයමත් අම්මටත් ටිකක් මම ඉතුරු කරනව අනිවාර්යයෙන්ම.

ආ..තව එකක්…...පොඩි කාලෙ මැෂින් එකෙං කොණ්ඩෙ කපනකොට මට ඉතාම දරුණු විදිහට හංකිති. ඒ හින්ද අම්ම කරණවෑමියට කියලම තියෙන්නෙ කතුරෙන් විතරක් කපන්න කියල. ඒ ගැන වැඩි විස්තර "මගේ කරණවෑමි කතා"  ලියනකොට කියන්නංකො... හාද?

අවසාන වශයෙන් තව කාරණයක් කියන්ට ඕන. අපේ ගෙදර අප්පච්චි ඇරුනු කොට අනික් හැමෝම වගෙ ගවමස් කනව. අත්තම්ම, මාමා එතකොට අම්ම එහෙමත් එහෙමයි.

අම්මගෙ අප්පච්චි ඒ කිව්වෙ මයෙ අත්ත වැඩ කරල තියෙන්නෙ රේල්ලුවෙ. අඟුරු කෝච්චිවල. සුද්දගෙ කාලෙ. එකදාස් නමසිය පොඩි ගණංවල. හෙඩ් ෆයර්මන් අන්තිමට රියටර් වෙනකොට. බොහෝ විට වැඩ කරල තියෙන්නෙ රඹුක්කන සහ නාවලපිටිය අතරෙ. අම්මගෙ මහ ගෙවල් කඩුගන්නාවෙ. ඒ කාලෙ නාවලපිටියෙ ඉස්ටේසම කිට්ටුවම මුස්ලිම් මනුස්සයෙක්ගෙ හරක්මස් කඩයක් තිබ්බලු. ඕකෙං රේල්ලුවෙ වැඩ කරපු අයට සහන මිලකට මස් දුන්නලු අර හබරල කොලේක එහෙම ඔතල ගෝණි නූලකිං ගැට ගහල.

ඉතිං අපුච්ච (අම්ම අපුච්ච කියපු හින්ද අපිත් උන්දැට කිව්වෙ අපුච්චයි කියල) ගෙදර එනකොට ඔයිං මස් රාත්තල් තුන හතරක් ගේනවලු නොවැරදීම. ආන්න එහෙම තමයි සාමාන්‍යයෙන් ගවමස් නොකන උඩරට සිංහල බෞද්ධ පවුලක සාමාජිකයො ගවමස් කන්ට පුරුදු වෙලා තියෙන්නෙ.

ඒ කොහොම හරි ඉතිං පොඩි කාලෙ ඉඳලම අපේ ගෙදර ගවමස් ඉදුන. අපේ මාම තමයි ඔය ගවමස් ඉවිල්ල කරන්නෙ. එයා උයනකොට හොඳට පහේ එහෙම දානව. මම පුංචිම කාලෙ ඉතිං අම්ම කරනවයි කියන්නෙ මස් හෝදලයි මට කන්ට දෙන්නෙ. අනික ගවමස් හයියයි. ඒ හින්ද අම්ම කරනවයි කියන්නෙ හෝදපු මස් අම්ම හපලයි මගෙ කටේ තියන්නෙ. තනියම හපල කන්ට පුලුවන් වෙනකල් මම මස් කෑවෙ අන්න එහෙමයි.

අම්මලා සහ දරුවන් අතර ඇති සෙනෙහස සදාතනිකයි. ඒ සෙනෙහසට අලගු තියන්නට හෝ ලොව අන් කිසිම බලවේගයකට නොහැකියි. අම්මයි මායි අනන්ත රණ්ඩු වෙලා ඇති. අම්ම මට පස් පඩංගුවෙ බැනලත් ඇති. පස් පඩංගුවෙ නොවුනත් මමත් අම්මට බැණලා ඇති. දවස් ගණං අපි කතා නොකර ඉඳලත් ඇති. 

"But after all She is my mother and I am her Son. That’s what matters more than anything else in this whole world. Isn't it now my friends?"

මගෙ අම්මට දැන් අසූ තුනක්...මට පණස් හතරක්...ඒත් මම තවමත් උන්දැගෙ හුරතල් පුතා...උන්දැ මගෙ සදාදරණීය අම්මා......

අම්මා ගැන මේ මතක සටහන් ලියන්ට මට හිතුනෙ නිදහස් සිතුවිලි වියුණුවේ සමාරම්භක සම රචක මගේ සදාදරණීය හිතවතිය රන්දිකාගෙ දයාබර මෑණියන්ගේ අභාවය නිමිති කරගෙන....

ඊයේ ඒ මහත්මියගේ අවසන් කටයුතු සිදු කෙරුනා. ඉතිං මට ඇය කිසිම දිනෙක මුණ ගැසී හෝ නෑ. ඒත් මට හිතුනා මගේ අම්මා සහ මම අතර ඇති සෙනෙහස පිළිබඳව ලිව්වොත් ඒ ඇයට කරන හොඳම උපහාරය වේවිය කියල. මොකද කිව්වොත් ඇයත් අම්මා කෙනෙක්. මම සහ මගේ මෑණියන් අතර ඇති සෙනෙහසම තමයි ඇය සහ රන්දිකා අතර තියෙන්නත් ඇත්තෙ.....එහෙම නේද? 

ඉතිං...දයාබර මව් තුමියනි ඔබට නිවන් සුව පතන්නෙමි!!!

මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා
අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා
නිල් දෙරණේ තුරු ලිය මත මල් සම්පත අම්මා
තුරුලිය මත පිපි කුසුමේ පල සම්පත අම්මා

සිය දහසක් නෙක ලෝ දා එළිය කරන අම්මා
සොළොස් කලා පිරි පුර හඳ එළිය කරන අම්මා

මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා
අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා

සඳ නැති රෑ සක්වල තරු එළිය කරන අම්මා
උදා ගිරෙන් ලොවට වඩින ළහිරු මඬල අම්මා

මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා
අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා
නිල් දෙරණේ තුරු ලිය මත මල් සම්පත අම්මා
තුරුලිය මත පිපි කුසුමේ පල සම්පත අම්මා

ගායනය : නන්දා මාලනී
පද රචනය :ඩබ්ලිව් ඒ. අබේසිංහ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස


23 comments:

  1. රන්දිකා මැතිණියගෙ මවගෙ අභාවය ගැන දැනගත්තෙ රවිගේ මේ පෝස්ට් එකෙන්. රන්දිකා, ඔබගේ මෑණියන්ගේ අභාවය ගැන අපගේ සාතිශය සංවේගය පිළිගන්න. ඇයට නිවන් සුව ලැබේවා.

    ReplyDelete
  2. A touching tribute Ravi. Happy to see that you have found your old style back

    ReplyDelete
  3. ලස්සන ලියමනක්.
    රන්දිකා මැතිණියගේ මෑණියන්ට සසර දුක් කෙළවර වී නිවන් අවබෝධ වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මානවිකා...

      Delete
  4. ඔබේ ලිපිය බොහොම රසවත් මගේ පුංචි කාලය මතක් උණා. එතකොට මටත් වයස 3ක් 4ක් ඇති මගේ අම්ම සාරිය අදින්ඩ පටන් ගන්නකොටම මන් අඩලා ඉවරය. ඉතින් අපේ අම්මා මාව බලාගන්න කෙනාට කියල තියෙන්නේ අම්ම ලැස්ති වෙන්න පටන් ගන්නකොට මාව ගඟ බලන්න එක්ක යන්න කියලා මම ගඟට හරි ආසයි. මම ගග බලන්න යනකොට ගඟට යන පාරේ ඉන්න අය දන්නවා. ඒ මගේ මව පාසල් යන වෙලාව කියලා. ඉතින් ඒ අයත් මාව කතාවට අල්ල ගන්නවා. කොහොම හරි ගඟ බලල එනකොට අම්ම ගෙදර නෑ. අමමා කෝ කියලා කෑගහල අඩන මං ටිකකින් නිශ්ශබ්ද වෙනවා. ඒ මතකය හරි අපූරුයි
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක දියණිය...

      Delete
  5. ඉතා රසවත් සටහනක් රවී.
    රන්දිකා මහත්මියගෙ මවගේ අභාවය ගැන දැනගත්තෙ කමිය බුකියෙ දාල තිබ්බ පෝස්ට් එකකින්.
    එතුමියට නිවන් සුව පතනවා වගේම රන්දිකා මහත්මියට මගේ සංවේගය පල කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න...

      Delete
  6. රන්දිකාගේ මෑණියන්ගේ අභාවය ගැන මගේ ශෝකය !
    මේ රසවත් සටහන ඇයට අනිවාර්යයෙන්ම උපහාරයක් වනු ඇත .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලක්...

      Delete
  7. රන්දිකා ගේ මවට සුභ ගමන්. ඔබේ ලිපිය ඇත්තටම එතුමියට උපහාරයක්.

    ReplyDelete
  8. පැංචාට අවුරුද්ද, දෙක කාලේ උදේට එයාව ගෙදර දාලා මං වැඩට යන්නේ හරිම අමාරුවෙන්. ඒ අඬන විදිහට මට යන්න හිතෙන්නෙම නෑ එයාව දාලා. සමහර දවසට මාත් අඬ අඬමයි යන්නේ පැංචා ආච්චි හරි සීයා හරි අතට වෙලා පාරටම ඇහෙන්න අඬ අඬ ඉන්දැද්දි. දැන්නම් එයත් මාත් එක්කම උදේට ලෑස්ති වෙලා මොන්ටිසෝරි යනවා. ඒකටත් මුළ මාස එකහමාරක් විතර ගියේ හරි අමාරුවෙන්. මාස එකහමාරක් විතර මොන්ටිසෝරියෙ ටීචර්ට එයාව වඩාගෙනම ඉන්න වුණා. දැන්නම් චණ්ඩියා වගේ යනවා. අයියා කියපු ඔය අයිස්ක්‍රීම් කතාව වගේ දේවල් ගොඩාක් අපේ පැංචාත් කරනවා. එයා කන බිස්කට්, කේක් එහෙම එයාගෙ අතින්ම මට කවනවා. මං ඉපදෙද්දි අපේ අම්මානම් රස්සාවට යන එක නවත්තලා. අපේ අයියා පොඩි කාලේනම් අම්මා වැඩට යද්දි මේ වගේම වෙන්න ඇති.

    අම්මාගේ ආදරේ ගැන ලියවුණු මේ ලස්සන සටහන රන්දිකා අක්කාගේ අම්මාට අනිවාර්යයෙන්ම උපහාරයක් වේවි.

    ReplyDelete
  9. රන්දිකා අක්කාගේ මවගේ අභාවය ගැන මගේත් සාතිශය සංවේගය.

    ReplyDelete
  10. මේ හෘදයාංගම සටහන රන්දිකාගේ මවට උපහාරයක් වේවා.. ඇයට සුභ ගමන්!!!

    ReplyDelete

  11. රන්දිකාගේ මවට උපහාරයක් ලෙස, ඔබ සහ ඔබගේ මව අතර තිබුණු ආදරයෙන් බිඳක් ගෙනහැර දක්වා තිබීම ඉතාමත් හද සසල කරන සිද්ධියක්.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...