Friday, August 24, 2018

604. ජීවිතය මේ වගෙයි…Life Is Like That - 3 - එක්තරා කුලීරථ රියදුරෙකුගේ කථාව…


අර මම කලින් කිව්ව නිල ටැක්සි තමයි ඔය තියෙන්නෙ....

දැන් මේක මහ වාතයක් වෙන්නයි තනන්නෙ. මම මේ කිව්වෙ තව දුරටත් අර ටැක්සි රියදුරාගෙ කතාව කල් දාන එක. නැත්තං තව අපූරු කතාවක් සෙට් වුනා. ඒක උනේ මෙහෙමයි…

අපේ ඊද් නිවාඩුවෙ පළවෙනිද ඒ කිව්වෙ අඟහරුවාද මම සහභාගි වුනා සුලු පහේ මධු සාදයකට. දවල් එකොළහට වගෙ පටන් අරගෙන තුන වගෙ වෙනකල් තිබ්බ. වැඩිය බිව්වෙ එහෙම නෑ. කොහෙ බොන්ටද අප්ප මේ ගිණිගහන ඌස්ණෙ? ඒ.සී. තිබ්බට එව්ව ඔරොත්තු දෙන්නෙ නෑ.

ඉතිං ඔය සාදයෙදි මට මුණ ගැහුන පොඩි කොලුවෙක්. වයස විසි හතරක් පහක් වගෙ තරම ඇති. ගම අනුරාධපුරේ. මෙහෙ එකවුන්ට්ස් ක්ලාක් රස්සාවකට ඇවිල්ල තියෙන්නෙ. 

මනුස්සය එක්ක ආගිය තොරතුරු කතාකරමින් ඉන්දැද්දි (අනුරාධපුරේට මයෙත් තියනවනෙ බොහෝම හෘදයාංගම සබඳතාවයක්) මිනිහ කපුගේ ගැන මම කලින් නෑසූ කතාවක් කිව්ව. බොරුවක් වෙන්නත් බෑ. මොකද මිනිහට එහෙම එකක් හදල කියන්න කිසිම උවමනාවක් නෑ. 

ඉම්පාර ඒ කතාව ලියන්නත් හදල ඒත් මේ ටැක්සි කාරයගෙ කතාව දැන් වාත වුනා වැඩියි කියල හිතල අද එහෙනම් ඒක ලියල ඉවරයක් කරන්නම්ය කියල හිතා ගත්ත. කපුගේගෙ කතාව දෙවනුව හොඳද?

මම ඉතිං බද්රියා සිග්නල්ස් ගාවට එනකොටම ඔන්න කාරෙකක් ඈත ඉඳලම හෙඩ් ලයිට්ස් ඔන් කරල සිග්නල් කලා. ඒ ඔය නිල නොවන ටැක්සි කාරයින්ගෙ සුපුරුදු සංඥාව. ඒ අහන්නෙ "Do you want to go somewhere? I am ready.." කියල

මමත් පාරට අඩියක් තියල අත ඉස්සුව. ටැක්සි කාරය මගෙ ලඟම නවත්තල ඉස්සරහ දකුණු පැත්තෙ වීදුරුව පාත් කලා. පෙනුමෙන් එක්කො ලංකාවෙ නැත්නම් බංගලි. 

ඔය කේරළයින්ට වැඩිය බොහෝ විට බංගලියන්ගෙ හැඩ හුරුකම් අපිට බොහෝම කිට්ටුවෙන් යනව. මහාවංසෙ නම් තියෙන්නෙ විජේ මල්ලි ඉන්දියාවෙ ලාට රටේ සිංහපුරයෙ ඉඳල ආවයි කියලනෙ. ඒ කියන්නෙ වර්තමාන ඉන්දියාවෙ ගුජරාටය. ඉන්දියාවෙ අගමැති මෝඩිගෙ ගම් පළාත. 

ඒත් මම මේ ලඟදි දැක්ක මට මතක විදිහට මහාචාර්ය ගණනාථ ඔබේසේකරගෙ පර්යේෂණ පත්‍රිකාවක වෙන්න ඕන ජාන විශ්ලේෂණය අනුව සිංහලයින්ට කිට්ටුම ඥාතිත්වයක් තියෙන්නෙ බටහිර බෙංගාල වැසියන්ගෙයි කියල. බංග්ලාදේශ් කියන්නෙ බටහිර බෙංගාලයත් එක්කම අල්ලපු රට.

"ගොයින් වෙයා?" රියදුරා ඇහුව. වයස හතළිහක් තරම ඇති. යම්තමට උඩු රැවුලක් වවල. කහ පාට ටී ෂර්ට් එකකුයි ඩෙනිම් කළිසමකුයි ඇඳල. ඉයර් ෆෝන් සෙට් එකක් කන් දෙකේ.....

"නියර් ස්පෝට්ස් රවුන්ඩ් අබවුට්. අයි විල් ෂෝ යූ ද වේ. හව් මච්?" මම ජනේලෙන් නැවීගෙන ඇහුව. 


මේ තියෙන්නෙ ස්පෝට්ස් වට රවුම.....

කෝකටත් ගාස්තුව කලින් කතා කරගෙන තියන එක ඇඟට ගුණදායකයි.

"ටුවෙන්ටි..." රියදුරා කිව්ව..

මේ වෙලාවෙ හැටියට විසිපහයි කිව්වත් මම යනව. ඒත් විස්ස අසාධාරණයි.

"නෝ අයි විල් ගිව් ෆිෆ්ටීන්.." මම කිව්ව.

"ඕ.කේ.." රියදුරා කිසිම හෙට්ටු කිරිල්ලකින් තොරවම එකඟ වුනා. මිනිහ දන්නව නියම ගාණ. ඒකයි ඒ…

මම වාහනේට ගොඩවෙලා දොර වහල මගෙ දවල් කෑම පෙට්ටිය එහෙම තියන කැන්වස් බෑග් එක පිටිපස්සෙ සීට් එකට දාල බෙල්ට් එක දාගත්ත.

රියදුරා හෙමීට වාහනේ පාරට ගත්ත. ඒ එක්කම ඉස්සරහින් බද්රියා සිග්නල්ස්. රතු එළිය මේ වෙලාවෙ. වාහනේ නැවතුනා. මම හෙමිහිට ඇස් කොණින් මිනිහ දිහා බැලුව. මිනිහ වාමුවා වීදුරුවෙන් (Windscreen) ඉස්සරහ බලාගෙන ඉන්නව. නළලත් රැළිගැහුන ටිකින් ටික. මට හිතෙන්නෙ ඉයර් ෆෝන් එකෙන් කා එක්ක හරි කතා කරනව ඇති. බොහෝවිට භාර්යාව හෝ දෙමව්පියන් එක්ක වෙන්න ඇති. මමත් ඉස්සරහ බලා ගත්ත. මිනිහගෙ මූඩ් එකේ හැටියට මට හිතුනෙ නෑ මොකවත් අහන්න. 

සිග්නල් කොළ පාට වුනා. වාහනේ දකුණට හැරිල පාලු පාර දිගේ වේගයෙන් යන්න ගත්ත. මමත් ආසනයෙ දිග ඇදිල ඇස් පියා ගත්ත. 

"ලොකු දුව ක්ලාස් ගියාද?"

මම ගැස්සිල ඇහැරිය. මගෙ ඔලුව ඉබේටම රියදුරා පැත්තට හැරුන. මිනිහ ඒක දැක්කෙ නෑ. මිනිහ දැඩි අවධානයෙන් ඉස්සරහ බලාගෙන වාහනේ එළවනව. මම ආයම ආසනේට හේත්තුවෙලා ඇස් පියාගත්ත. ඒ කියන්නෙ මේ මනුස්සය ලංකාවෙ. බලමු..පස්සෙ මිනිහගෙ කෝල් එක ඉවරවෙලා වෙලාවක් තිබ්බොත් කතා කරල බලමු...මම එහෙම හිතාගත්ත.

"හරි හරි ක්ලාස් එකට යවන්නකො..මම කොහොම හරි සල්ලි ටිකක් එවන්නං…"

තව මිනිත්තුවක් දෙකක් වගෙ නිහඬතාවයෙන් ගෙවිල ගියා.

"අම්මට කොහොමද?...මම කිව්වෙ අර කොන්දෙ අමාරුව එහෙම...."

" ********************************** "

"එහෙම කියල හරියන්නෙ නෑනෙ..අසනීපනම් බෙහෙත් අරන් දෙන්න එපාය…"

" ********************************** "

"හරි මනුස්සයො ඉස්පිරිතාලෙ ගිහිල්ල පෝලිමෙ ඉන්න වෙලාවක් නැත්නම් අර ප්‍රයිවට් දොස්තර ගාවට හරි යනව.."

" ********************************** "

"සල්ලි ඕන තමයි..මම එවන්නං පුලුවන් විදිහට.."

" ********************************** "

"ඇයි තමුසෙගෙ කඩෙනුත් ලාබයක් තියනවනෙ නේද?"

" ********************************** "

"ආ..එහෙමද? ඕක තමයි ඔය කඩ කෙරුවාව පටන්ගන්නකොටම මම කිව්වෙ. කොහෙද කියන එකක් ඇහුවය? ඔය කඩේ දාගන්නකල් මට කණක් ඇහෙන්න දුන්නය? දැන් මොකද කියන්නෙ?"

" ********************************** "

"අර සැම්සන් අයියගෙන් ලෝන් එකකුත් දාල මම ඔය කඩේ දාගන්ට සල්ලි එව්වෙ. ඒකෙ බාගයක් වගෙ තව ගෙවන්ටත් තියනව. ඒ මිනිහ හිත හොඳ හින්ද මගෙන් අහන්නෙ නෑ..නැත්තං එහෙම..."

" ********************************** "

"මොකද්ද කිව්වෙ? මට හරියට ඇහුනෙ නෑ.."

" ********************************** "

"අම්මත් එක්ක වලි දාගන්න එපා කියල මම තමුසෙට කට කැඩෙනකල් කියල තියනවනෙ…."

" ********************************** "

"හරි හරි..ඒ වයසක මිනිස්සු කියන එව්ව ගණං ගන්න එපා ඕයි..තමුසෙ නෑහුනා වගෙ ඉන්නව…."

" ********************************** "

"ඉවසන්ට බෑ කියල බෑනෙ..ඉවසන්ටම වෙනව…"

" ********************************** "

"අනේ මෙහ්..තමුසෙ පත්තිනි අම්මනෙ..නිකං මගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගන්නෙ නැතුව ඉන්නව…."

රියදුරා එක පාරටම බිරුසන් දුන්න. මම උඩ ගිහිල්ල බිම වැටුනෙත් ඔලුව හරවල මනුස්සයගෙ මූණ දිහා බැලුනෙත් එකම මොහොතෙ.

"සොරි…" රියදුරා එහෙම කිව්වෙ මූණ දැඩි කෝපයෙන් විරූපව තියෙද්දි. 

මම වමත උස්සල සංඥා කලා ඒක ගණං ගන්න දෙයක් නෙවෙයි කියල. ඊට පස්සෙ ඔහු පහත් ස්වරයෙන් කතා කලේ කටහඬ පාලනය කර ගැනීමට දැඩි උත්සාහයක යෙදෙමින්. 

"හරි හරි තමුසෙගෙ කැරැට්ටුව මම දන්නෙ නැද්ද?"

" ********************************** "

"ඔව්...එහෙම තමයි..මම මේ දැනගෙන තමයි කතා කරන්නෙ..කොටින්ම ඕයි ඔය පොඩි එකා මගෙද කියලත් මට එක වෙලාවකට සැකයි.."

" ********************************** "

"ඔව්ව්..මට හෙණ ගහන්ට තමයි ඕන. මෙච්චර මෙහෙ ඇවිල්ල දහදුක විඳගෙන හම්බ කරල උඹලට කන්ට අඳින්ට දෙනවට මට හෙණම තමයි ගහන්ට ඕන…."

රියදුරා ජංගම දුරකථනයෙ මම හිතන්නෙ කෝල් එකක් කට් කරන බොත්තමට වැරෙන් ඇඟිල්ලෙන් ඇන්න. ඊලඟට ඉයර් ෆෝන්ස් සෙට් එක ගලවල අරගෙන ඇති වීරියෙන් ඩෑෂ් බෝඩ් එක උඩට වීසි කලා. මම හොරැහින් ඔහු දිහා බලා හිටිය. වේගයෙන් හුස්ම ගනිමින් මිනිත්තුවක් පමන ගතකල ඔහු ඔලුව හරවල මා දිහා බැලුව. මම ඒ එක්කම ආයම සීට් එකට හේත්තු වෙලා ඇස් පියාගත්ත.

මේ වෙනකොට අපි ස්පෝට්ස් වටරවුම කිට්ටුවට ඇවිල්ල..

"වෙයාටු?" රියදුරා වේගයෙන් හුස්ම ගනිමින් මගෙන් ඇහුව.

"ටර්න් ලෙෆ්ට් දෙයා…" මම ස්පොර්ට්ස් වටරවුමට අත දික් කරල පෙන්නුව.

අපි ස්පෝට්ස් වටරවුමෙන් වමට හැරුන.

"සෙකන්ඩ් ටර්න් ටු රයිට්…" මම කිව්ව.

"ඕකේ …." රියදුරා එහෙම කියල ආයම ඉයර් ෆෝන් සෙට් එක කණේ ගහ ගත්ත. 

මම යම්තමට වම් ඇහැ ඇරල බැලුව මනුස්සය මොකද කරන්නෙ කියල. මිනිහ ආයම කෝල් එකක් ගන්න හදනව. මට හිතෙන්නෙ කවුරු හරි මෙහෙ ඉන්න යාලුවෙකුට වෙන්න ඇති. බලපං බං මේ ගෑණු එක්ක බැරි හැටියක්..අපි මේ මෙහෙ මෙච්චර දුක් විඳිනව..එවුන්ට තේරෙන්නෙ නෑ ඒක... කොයි වෙලාවෙත් අපිව කන්නමයි හදන්නෙ..ඔන්න ඔහොම මොකක් හරි ඇහෙයි කියල බලා පොරොත්තුවෙන් මම ඇස් දෙක පියාගෙන කණ් දෙක ඇරගෙන හිටිය.

මේ වෙනකොට මගෙ ගමනාන්තය ඒ කියන්නෙ රහුමාන්ගෙ රූම් එක කිට්ටුවට අපි ඇවිල්ල හිටියෙ. මම බෙල්ට් එක තියෙද්දිම අපහසුවෙන් පස්ස සීට් එකට බරවෙලා මගෙ කැන්වස් මල්ල අතට ගත්ත. රියදුරා තාමත් කතාවක් බහක් නෑ. නළලත් රැලිකරගෙන ඉයර් ෆෝන් සෙට් එක කණේ ගහගත්තු ගමන් ඉන්නව. මේ එක්කම සල්ලිත් ගත්තනම් ලේසියි. සල්ලි දුන්න බැස්ස. මම එහෙම හිතල කලිසමේ පස්ස සාක්කුවෙ තිබ්බ මුදල් පසුම්බිය ගන්න කියල සීට් එකෙන් පොඩ්ඩක් ඉස්සුනා.

"මේ කට් කරන්න එපා..කට් කරන්න එපා..මම කියන එක පොඩ්ඩක් අහන්නකො.." රියදුරා කලබල ගතියකින් කෑගැහුව.

මනුස්සයගෙන් එහෙම වචන මාලාවක් මම කොහෙත් බලා පොරොත්තු උනේ නැති හින්ද මම එහෙම්මම ආපහු සීට් එකේ ඉන්ද වුනා.

"හරි හරි අනේ..මට ටිකක් තරහ ගියා තමයි..කොහෙද ඔයත් මේ එක එක බහුබූතනෙ කියවන්නෙ කෝල් එකක් ගත්තම....ඉතිං තරහ යන්නෙ නැතුව තියෙයිද?"

" ********************************** "

"අපිත් මොකෝ ආය රහත් වෙලා නෑනෙ.."

" ********************************** "

"හරි හරි ඒක අමතක කරල දාන්නකො…"

" ********************************** "

"හරි හරි ඒ මම කටට ආවට කිව්වෙ..මගෙ හිතේ එහෙම දෙයක් නෑ….".

" ********************************** "

"හරි හරි ඉතිං දැන් මම කිව්වනෙ එව්ව ඔක්කොම අමතක කරල දාන්නෙයි කියල.."

" ********************************** "

"හරි හරි මම අද රෑට සල්ලි ටිකක් දාන්නං…"

" ********************************** "

"කොහෙන්ද කියන්නෙ?....කාගෙන් හරි අතමාරුවක් කරගෙන හරි මම සල්ලි එවන්නංකො…."

" ********************************** "

"අම්මව එහෙනං බෙහෙත් අරන් දෙන්න එක්ක යන්න. ඔය කියන එව්ව ගණං ගන්න එපා. පොඩි එකා සනීපෙන් නේද?"

මේ වෙනකොට අපි රහුමන්ගෙ රූම් එක ලඟටම ඇවිල්ල. 

"ස්ටොප් දෙයා..නියර් දැට් බ්ලැක් කාර්.." මම කිව්ව.

රහුමාන්ගෙ කාමරේ ඉස්සරහ කලුපාට කාර් එකක් නවත්තල තිබ්බ. රහුමාන්ගෙ වාහනේ නෙවෙයි. එකත් එකටම අර රහුමාන්ගෙ යාලුව ගෙනත් දෙනව කිව්ව කාර් එක වෙන්න ඕන. රහුමාන් නම් පේන්න නෑ වගේ…

"හරි හරි ඉතිං මම කිව්වනෙ…" රියදුරා තවම කතාව…

මම පිටිපස්සෙ සාක්කුවෙන් මුදල් පසුම්බිය අරගෙන රියාල් දහයෙ නෝට්ටු දෙකක් ඔහුට දිගුකලා.

"තෑන්ක් යූ" රියදුරා කිව්ව.."යූ ෆ්‍රොම්?" ඔහු ආයම මගෙ මූණ බලල ඇහුව. 

"අයෑම් ෆ්‍රොම් බංග්ලාදේශ්…" මම එහෙම කියල වාහනෙන් එලියට බැස්ස.

"හරි එහෙනං මම කිව්ව එව්ව මතකයිනෙ….." රියදුරා තවමත් කතාව..

මම වාහනේ දොර වහල මගෙ කැන්වස් මල්ලත් කරේ දාගෙන රහුමාන්ගෙ කාමරේ පැත්තට හැරුන. කෝ මේ යස්සය? කොහෙ ගිහින්ද මන්ද මේ රහුමාන්...

52 comments:

  1. ඒ වෙලාවේ හැටියට ඒ මනුස්සයාට කරන්න පුළුවන් respectful ම දේ දෙබස නොතේරුණු ගානට ඉන්න එක. ඒ නිසා ඒ ප්‍රතිචාරයට respect! :)

    මිනිස්සුන්ගේ හැඩ රුවෙන් ලංකාවේ නෙමේය කියලා උපකල්පනය නොකරන්න මම නම් මතක හිටින්න පාඩම් ඉගෙන තියෙනවා!

    ReplyDelete
    Replies
    1. Malee,

      /ඒ වෙලාවේ හැටියට ඒ මනුස්සයාට කරන්න පුළුවන් respectful ම දේ දෙබස නොතේරුණු ගානට ඉන්න එක. ඒ නිසා ඒ ප්‍රතිචාරයට respect! :)/

      ස්තූතියි ..මටත් ඒ වෙලාවෙ හිතුනෙ එහෙමයි..මම ලංකාවෙ සිංහල කියල ඇඟෙව්වොත් අර මනුස්සය අපහසුතාවයකට පත් වෙන හින්ද එහෙම නොකරන එක හොඳයි කියලයි මට හිතුනෙ..

      අනික වෙලාවට අපි යනකොට රහුමාන් ගොයිය එතන නොහිටියෙ. මම පණ බයේ ගියෙ ටැක්සිය ගිහිල්ල නවත්තන කොටම රහුමාන් කාරය "ආ..සර් ..ඉක්මනට ආව නේද? එහෙනම් අපි පිටත් වෙමු නේද?" කියල ජනේලෙන් ඔලුව දාල කිව්වනම් ආය හොදි ඕන නෑ නේද කියල...හෙහ්..හෙහ්...

      Delete
  2. what about the balance 5 (my attention to details)

    ReplyDelete
    Replies
    1. Me too also looking to ask about it.
      Damith

      Delete
    2. ඔය පහ ඉල්ලන්න ගිහිල්ල නිකං ඉල්ලං කන්නෙ මොකටද කියල හිතෙන්න ඇති.

      Delete
    3. ඇනෝ & Damith,

      නෑ..නෑ..මම පහක් ඉතුරු බලාපොරොත්තුවෙන් නෙවෙයි විස්ස දුන්නෙ..ඒ මනුස්සය ඉන්න තත්වෙ හැටියට උදව්වක් විදිහට. ඊට වැඩිය උනත් දෙන්න තිබ්බ ඒත් මට හිතුන එහෙම කලානං ඒ මනුස්සයට සැකයක් හිතෙයි කියල...

      Delete
  3. පව් හැමවෙලේම කාන්තාව.. කියන හැමදේම අමතක කරලා දාන්න කිව්වම අමතක කරන්න ඕනා...

    ReplyDelete
  4. අගෙයි. බොලා ලංකාවෙ කිවුවනං මිනිහ අප්සෙට් යන්න තිබුණ.

    එකාතකට එහෙම නොවෙන්නත් තිබුණ. (බොලා එහෙම හිතලනං බංගලියෙක් කියල කිවුවෙ ශුවර් එකටම අර මනුස්සය බෙලාගෙන් ලෝන් එකක් ඉල්ලයි කියල බයට තමයි. හැක්..)

    ReplyDelete
  5. පව් අහිංසකයා........

    ReplyDelete
  6. Api katawath sure naha ape lamun apema kiyala. Nothing is sure and nothing is permanant in this world. Good story telling style and I enjoyed it. Thanks

    ReplyDelete
  7. විජය කොහෙන් වුනත් දැන් සිංහල යයි සැලකෙන අය ඉන්දියානු මහාද්වීපයේ විවිධ ප්‍රදේශවලින් ඇවිල්ල තියනවනෙ. ඊට කලින් අයත් දැන් සිංහල, පසුව අයත් සිංහල. වෙන එකක් තියා පෘතිගීසි/ලන්දේසි/ඉන්ග්‍රීසි යුගයේ ඉන්දියාවෙන් ආපු අයගෙන් ටිකදෙනකුත් දැන් එහෙමයි. ඊට කලින් කොයිතරම් එන්න ඇද්ද?
    ශ්‍රී මහා බෝධියත් සමග ආපු අය කොයි ප්‍රදේශයින් ආවයි කියලද සැලකෙන්නේ?

    මට හිතුනෙ සිංහල හා ඉන්ග්‍රීසි ජාතීන් දෙක ඒ අතින් හුඟක් සමානයි කියල. ඔරිජිනල් නේටිව් අයට පසුව ආව බ්‍රිටන් (root of name Britain), රෝමන් (හා ඒ සමග ආ අය ), සැක්සන්, ඇන්ග්ල් (root of the names English and England), වයිකින් (ස්කැන්ඩිනේවියන් ), ෆ්ලෙමිශ්, නෝර්මන් ඔක්කොම ආපු මුල් කාලෙ ඒ ඒ නම් වලින් හැඳින්වුනාට දැන් ඔක්කොම ඉන්ග්ලිශ් (එයින් එක ගෝත්‍රයක් පමණක් වුන ඇන්ග්ල්ස්ලගෙන් ආපු නම ).

    රවි මොකද හිතන්නෙ ඔය යක්ෂ, නාග, රාක්ෂ, දේව ගෝත්‍ර මුලදී ( සින්හල නමට එකතු වෙන්න කලින් )වෙනම හැඳින්වුනා වගේ ලංකාවට ආවට පස්සෙ ටික කාලයක් යනකම් (සිංහල වෙන්න කලින්) වංග, කේරල, බෙන්ගාලි, කන්නඩි ආදී වෙනම කොමියුනිටි විදිහට හිටියද දන්නෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. Island nations වීමේ විපාක නේ ද ප්‍රා ජේ? කැඳ හැළිය ඇතුළට වැටුනට පස්සෙ ඒකෙ තියෙන අනිත් ඒවත් එක්ක එකතු වෙනවා මිසක් තමන්ගෙ අනන්‍යතාව පවත්වාගැනීම අමාරුයි. ලෝක ඉතිහාසය පුරාවටම කොතැන කොහොම ගිහිල්ලත් එහෙම අනන්‍යතාවක් පවත්වාගන්ට සමත් වෙච්චි එකම ජාතිය ජූවො විතරයි මම හිතන හැටියට..

      Delete
    2. එහෙම වෙන්න ඇති බුර්.
      ඕක කිව්වවාම මට මතක්වුනේ බ්‍රිතාන්‍යයේ හා ලංකාවේ ඊලඟට විශාල ජාතීන් දෙක.

      1. දැන් ස්කොටිෂ් කියන අය මුලින් පික්ට්, ස්කොට්, අයිරිශ්, සැක්සන්, නෝර්මන්, ප්‍රංශ, වයිකින් (වැඩියෙන්ම ස්කොටිශ් දූපත්වල ) ලෙස වෙනම අනන්‍යතාවයකින් පටන්ගත් අය. ස්කොටිශ් clans කියලා සලකන පවුල් කීපයක් සම්භවය නෝර්මන් හෝ ප්‍රංශ. ඒත් ඒ clans වලට Scottish Tartan එකක් පවා තියනව. ස්කොට්ලන්තයේ වීර රජු ලෙස සලකන රොබර්ට් බෲස් පවා නෝර්මන්. See- Gordon, Trotter, Stewart and many others. (Drummond is said to be Hungarian !!! )

      2. එතකොට ලංකාවෙ දෙමල යයි සලකන අය - දෙමල, තෙලඟු, ආන්ද්‍රා, කන්නඩි, කේරල, මලයාලම්,... තව ඉන්නව නේද?


      මහාද්වීප/ අර්ධ මහාද්වීප වෙන යුරෝපයේ හා ඉන්දියාවේ බොහෝදුරට අනන්‍යතාවය වෙනස්ව තියා ගැනීමත් බ්‍රිතාන්‍යයේ හා ලංකාවේ ලොකු ජාතීන් හා එක්වීමටත් හේතුව දූපතද?

      Delete
    3. ගමනාගමන අවහිරතා නිසා අතීත කාලෙ පොඩි දූපතක ඉන්න කෙනෙකුට ඉන්න තැනක වැටිලා ඒ පරිසරයත් එක්ක එක්කහු වෙලා ජීවත් වෙන එක ඇරෙන්ට වෙන විකල්ප අඩුයි නේ ද? මහද්වීපයක/ අර්ධද්වීපයක පයින් ගිහින් හරි මහ දුරක් යන්ට පුළුවන්, දූපතකදි ඒ දේ කරන්ට බැහැ. මට හිතෙන්නෙ එහෙමයි.

      ඒක නෙවෙයි, ඉන්දියාවෙ පවා යුදෙවු ජනාවාස ඇති වුනු පුරාණයේ, ලංකාවෙ යුදෙවු ජනාවාස බිහි නොවුනේ මොකක් නිසා වෙන්ට ඇත් ද?

      Delete
    4. පුරාණ අනුරාධපුර නගරය සෑහෙන්න කොස්මොපොලිටන් කියනව නේද? යුදෙව් කොමියුනිටි එකක් හිටියලු

      https://en.wikipedia.org/wiki/History_of_the_Jews_in_Sri_Lanka

      http://ejewishphilanthropy.com/secrets-of-ceylon-what-happened-to-the-jews-of-sri-lanka/

      ලංකාවෙ මහ ජාතීන්ට ඇබ්සෝබ් වුනයි කියනව. (පසුව පෲතුගීසි එකක් ගැනත් කියනව).

      ඉන්ගලන්තෙත් සමහර non practicing / secular (Disraeli වගේ අය) ඉන්ග්‍රීසි වුනා නේද? ඉන්ගලන්තෙ practicing අය හුඟක් හිටිය නිසා කොමියුනිටි එක නැති වුනේ නෑ. ලංකාවෙ පොඩ්ඩක් හිටිය නිසා නැතිවෙලා යන්න ඇති. දැන් පාර්සි අය අඩු වේගෙන යනව වගේ . ඇෆ්ගන් නැතිවෙලා මගෙ හිතේ.

      But, as far as ancient SL Jews are concerned I think there is a more plausible explanation. They must have been merchants and/or bankers. With the collapse of the A'pura and P'naruwa kingdoms and the shrinking of the economy they would have left for greener pastures.

      ඒක නෙමෙයි බුර්, ගෝත්‍ර/ජාතීන් කීපයකින් එකක් වුන ඇන්ග්ල්ස්ලාගේ නමින් ඔක්කොම ඉන්ග්‍රීසි වුනා හා එක් ජාතියක් වුන ස්කොට්ස්ලාගේ නමින් ඔක්කොම ස්කොටිශ් වුනා වගේ (ඇන්ග්ල්ස්ලා හා ස්කොට්ස්ලාට කලින් හා සමගාමීව ආපු වෙනත් ගෝත්‍රත් තිබෙද්දීම) ලංකාවෙත් අන් අය සමග සිංහල කියලා ගෝත්‍රයක් තියෙන්න ඇත්ද?

      (අපි දෙන්නා මොනොපොලි වගේ, රවි උන්නාන්සෙට වෙන ගෝස්තරත් තියනවනෙ)

      Delete
    5. ප්‍රා සහ බූරා,

      අප්පටසිරි හොඳ සංවාදයක්..

      උදේ ඉඳලම ෆෝන් එකෙන් දැක්කට අද සිකුරාද උදෙම යාලුවෙක්ගෙ ගෙදර යන්ට උන හින්ද සහභාගි වෙන්ට උනේ නෑ..

      දැන් තමයි ආවෙ... ඒ පාර මේ කාමරේ ටිකක් අස්පස් කරල දාල රෙදිත් හේදෙන්ට දාල පොඩි එකකුත් වක් කරගෙන ඉඳ ගත්තෙ..

      දෙන්නටම ඉස්සෙල්ලම ස්තූතියි මේ සංවාදයට..කාලෙකට පස්සෙ මේ වගෙ යමක් ඉගෙන ගන්න පුලුවන් සංවාදයක් දැක්කෙ..:)

      Delete
    6. Bura,

      /ලෝක ඉතිහාසය පුරාවටම කොතැන කොහොම ගිහිල්ලත් එහෙම අනන්‍යතාවක් පවත්වාගන්ට සමත් වෙච්චි එකම ජාතිය ජූවො විතරයි මම හිතන හැටියට../

      ඔබ හරි යුදෙව්වො ලෝකෙ කොහේ ගියත් තමන්ගෙ ජන වර්ගයට පිටින් අවාහ විවාහ කරගන්නෙ නෑ ලේසියකට.

      එතකොට ඊලඟට මට එනව මෙහෙම ප්‍රශ්ණයක්..

      දැන් ඔය යුදෙව්වොයි කියනවනෙ ලෝකයෙ බුද්ධිමත්ම ජාතිය. සමානුපාතිකව බැලුවොත් නොබෙල් ත්‍යාගය වැඩිම වරක් අරගෙන තියෙන්නෙ යුදෙව්වො. එතකොට තමන් අතරම අවාහ විවාහ වීම් (Inter breeding) වලින් බුද්ධිය හීන වෙනවයි කියල මතයක් තියනව නේද? එතකොට අපි මේ සංසිද්ධීන් දෙක ගලපන්නෙ කොහොමද?

      Your five cents please Bura & Pra...:)

      Delete
    7. Pra,

      /රවි මොකද හිතන්නෙ ඔය යක්ෂ, නාග, රාක්ෂ, දේව ගෝත්‍ර මුලදී ( සින්හල නමට එකතු වෙන්න කලින් )වෙනම හැඳින්වුනා වගේ ලංකාවට ආවට පස්සෙ ටික කාලයක් යනකම් (සිංහල වෙන්න කලින්) වංග, කේරල, බෙන්ගාලි, කන්නඩි ආදී වෙනම කොමියුනිටි විදිහට හිටියද දන්නෙ නෑ නේද?/

      එහෙම විදේශයකට ඇවිල්ල වෙනම ප්‍රජාවක් (Community) හැටියට ඉන්න නම් සංවිධානාත්මකව මහා පරිමාණයේ ආගමනයක් සිද්ධ වෙන්න ඕන නේද ප්‍රා? මම හිතන්නෙ එහෙම දෙයක් උනේ නෑ...හත් අට දෙනාගෙ කුඩා කණ්ඩායම් තමයි එන්න ඇත්තෙ.
      ඊටත් අමතරව බහුතරයක් ලංකාවට වෙළඳාමට ආපු ඉන්දියානුවො මෙහෙ නවතින්නත් ඇති.

      මම සංස්කෘතික ත්‍රිකෝණයෙ වැඩ කරන කාලෙ ඔය මන්නාරම කිට්ටුව පැරණි වරායක් සහ වෙලඳ නගරයක් තිබුනයි කියල එතන කැණීම් කලා ආචාර්ය ශිරාන් දැරණියගල...එතනදි මට මතක විදිහට ග්‍රීක රෝම කාසි එහෙමත් හමුවුනා. ඒ නිසා ඒ කාලෙ මාන්තොට කියන්නෙ පුළුල් වෙළඳාමක් කෙරුනු ආර්ථික වශයෙන් වැදගත් නගරයක් කියල පිළිගැනුනා.

      Delete
    8. Pra,

      මම අර විජය - කුවේණි කතාව ලියද්දි මෙහෙම ලිව්වෙ ඒ කරුණු සලකලා...;)

      තම්මැන්නාව යනු ලක්දිවෙහි වයඹ දිග කෙලවරෙහි ජම්බුද්වීපය හා ඉතාම ආසන්නව නොගැඹුරු එමෙන්ම වසරේ බහුතර කාලයක් නිසල මුහුදු තීරයෙහි පිහිටි එපමණ ජනාකීර්ණ නොවූ නගරයකි.උත්තර ලංකාද්වීපයෙහි මතු නොව දකුණේ ප්‍රත්‍යාන්ත ගම් නියම්ගම් වලින් පවා ශක්ති සම්පන්න ගවයින් බැඳි ගැල් සිය දහස් ගණනින් වසර පුරා තම්මැන්නාව කරා ඇදුනේ ඒ එකල ලක්දිව විදේශයන් හා සමඟ වෙළඳාම් කටයුතු සිදුකල එකම මධ්‍යස්ථානය වූ බැවිනි.

      තම්මැන්නාවේ ප්‍රාදේශීය පාලක වරයා යනු ලංකා රාජ්‍යය වෙනුවෙන් තම්මැන්නාපුර වරායෙන් අපනයනය කෙරෙන වෙළඳ භාණ්ඩ සඳහා අය විය යුතු බදු අයකරගන්නා ප්‍රධාන බලධරයා ද විය.

      එදවස ලක් රජයට ආදායම් ලැබුනු ප්‍රධාන මාර්ගය තම්මැන්නාවෙන් ලැබුනු සුංගම් වීය. අවරදිග පාරාවෝවරුන්ගේ දේශයෙහි එනම් මිසරයෙහි සිට ඈත පෙරදිග චීනය බලා ඔලීව් තෙල්, සුවඳ කපුරු, විසිතුරු කැටයම් කල අවි ආයුධ ආදිය රැගෙන යාත්‍රා කල පියවර හාරසියයකට නොඅඩු දිගකින් යුක්තවූ පැතිරුනු මහත් රුවලින් යුතු මහා නෞකාවෝ තම්බපණ්ණි වරායෙහි දින කිහිපයක් නතරව අරාබි මුහුද හරහා සතියක් පමණ කල යාත්‍රාවෙහිදී සිඳීගිය වියළි ආහාර සහ පානීය ජලය ගබඩා යලි පුරවා ගත්හ.

      එළෙසම ලක්දිව එකල ඈත පෙරදිග චීනයෙහි පටන් අවරදිග යවන දේශය දක්වා ප්‍රකට වූයේ අගනා මුතු මැණික් සහ අලි ඇතුන් උපදිනා භූමියක් විලසිනි.කාර්තේජයෙහි අසහාය පාලකයා වූ හැනිබාලුන් රෝමයට එදිරිව කල ජයග්‍රාහී සංග්‍රාම වලදී ඇල්ප්ස් කඳුවැටිය තරණය කොට රෝමානුවන් සංත්‍රාසයට පත් කිරීමට යොදාගත් යුද ඇතුන් බහුතරයක් ලක්දිව තම්බපණ්ණියෙන් අපනයනය කලෝ වූහ.

      අගනුවර සිරීසවත්ථු පුරයෙන් උපතිස්ස නුවරටද ඉක්බිති අනුරාධපුරයටද වෙනස් වූ නමුදු ශත වර්ෂ පහකට ආසන්න කාලයකට පසු මාන්තොට ලක්දිව ප්‍රධාන වරාය ලෙස පිළිගැනෙන තෙක් තම්බපණ්ණිය එකම වෙලඳ මධ්‍යස්ථානය ලෙස තම ස්ථානය රැකගත්තී අනායාසයෙනි.

      මිසරයෝද, අරාබීහුද, සිරියානුවෝද, අවකන්නුද, පර්සියානුවෝද චීන්නුද වන් එදවස සත් සමුදුර තරණය කල සියලුම ජාතීන්ට අයත් නාවිකයෝ තම වෙළඳ බඩු භාරදියයුතු නියමිත වරායන් කරා ළඟාවීමට සුදුසු වෙලඳ සුළං හමනා තෙක් තම්බපණ්ණියෙහි විවේක සුවයෙන් පසුවූවෝය. සුකර වූ සුළඟ ඇරඹුනු වහාම රුවල් නංවා යතුරනු රිසිවූ හෙයින් ඔවුහු වරායෙන් බොහෝ සේ බැහැරව යාමෙහි මැළි වූවෝය.

      මේ අතර කිසිවකුත් නොදන්නා බසක් කතාකල වස්සාන සමය ගෙවීගොස් සැඩහිරු බබලන නිල්වන් අහස්කුස වන් නිල්පැහැති දෙනයනෙන් සහ සැඳෑ කල අස්තගතවන මලහිරුගේ රත්වන් පැහැයෙන් යුතු කෙස්සෙන්ද යුත් එලෙසම පැහැපත් සමකින් යුතුවූ ආරෝහ පරිනාහ දේහයෙන් යුක්ත වූ නැවියෝද නොවූයේම නොවේ.

      නියමිත දිශාවට හමනා සුළඟ බලාපොරොත්තුවෙන් නැවියන්හට වරාය අසලම රැඳී සිරීමට බලකරනු ලැබූයෙන් ඔවුනගේ සහසක් අවශ්‍යතාවන් මෙන්ම රුචි අරුචිකම් පියැවීම් වෙනුවෙන්ම කැපවුනු වෙලඳ පුරවරයක් තම්බපණ්ණි වරාය අවට බිහිවිය.රටතුලට පියවර දෙදහසකට ආසන්න දුරක් කාවැදුනු කලපුවක් වන් ආරක්ෂිත වරායට වයඹ දෙසින් පිහිටි අර්ධ කවාකාර හිරිගල් පරයක් ස්වාභාවික දිය කඩනයක්සේ ක්‍රියාකරමින් ආරක්ෂාව සැපයීය. අව අටවක අහසේ තල් ගස් කරටි ඉහලින් පායන අඩ සඳක හැඩය ගත් තම්බපණ්ණි වරායෙහි දකුණු අන්තයෙන් ඔබ්බට සමුද්‍ර තීරය ඔස්සේ වෙළඳ නගරය පිහිටියේය.

      හුදෙක් භාණ්ඩ ගොඩබෑමේ සහ පැටවීමේ පහසුව උදෙසාම කටුක ලවණාධික මුහුදු ජලයට සෑහෙන පමණ කාලයක් ඔරොත්තු දෙන කුඹුක්, වෑවරණ, කිරිඳිය වන් වනස්පතීන්ගේ පිටපළු වලින් නිමැවුනු දොළොසක් පමණවූ තොටමුණු ( Jetty ) සහ වියළි තල් අතු සෙවිල්ලා වරිච්චි බිත්තියෙන් හාත්පස අවුරා නිමැවුනු ගුදම් සහ ගබඩාවන් වරාය ආසන්නයේම ඉඳිකොට තිබිණි. ඒ හැර නොයෙක් විසිතුරු භාණ්ඩ වෙළඳාමෙහි යෙදෙන සල්පිල්, එමෙන්ම රෙදිපිළි සහ විවිධ ආයුධ වෙළඳ සැල්, ආහාර පාන මිළඳී ගත හැකි බොජුන් හල් සහ සුරාසැල් හැරුණු විට වරාය නගරයක අත්‍යාවශ්‍ය අංගයක් වූ පුරඟනන් වෙසෙනා කුඩා කුටි රාශියකින් ද තම්බපණ්ණී වෙළඳ නගරය සමන්විත වූයේය.

      ආයාත සහ නිර්යාත කෙරෙන භාණ්ඩ පිළිබඳව සටහනක් නඩත්තු කිරීම, ඒ ඒ භාණ්ඩ වර්ගය සහ ප්‍රමාණය අනුව නියමිත බදු අය කිරීම , වෙළඳ නගරයේ සල්පිල් සහ බොජුන් හල වලින් අයවිය යුතු බිම්බදු අය කිරීම මෙන්ම වෙළෙඳුන් සහ නගර වැසියන් අතර බොහෝ විටද වෙළෙඳුන් සහ වෙළෙඳුන් අතර කලාතුරකින්ද හට ගන්නා ආරවුල් ලක්දිවෙහි සම්මත නීතිය අනුව විසඳා යුක්තිය පිරිසිඳලීම සහ නීතිය කඩකලවුන්ට නියමිත දඬුවම් පැමිණවීමද රාෂ්ට්‍ර පාලකයාගේ පූර්ණ බලැති නියෝජිත ලෙස තම්බපණ්ණියෙහි ප්‍රාදේශීය පාලක තැනගේ වගකීම් සහ රාජකාරීන් අතර වූයේය.

      Delete
    9. ඒ අනුව මේ භාරදූර වගකීම නිරත්තරයෙන් දරණු ලැබූයේ රාෂ්ට්‍රපාලකයාගේ ඉතාම විශ්වාසවන්තයකු විසිනි. ඒ සම්ප්‍රදාය අනුවම මෙදවස ඒ තනතුර දැරූ වාසුගී යනු ලක්දිව රාෂ්ට්‍ර පාලකයාගේ මල් බෑයාය.

      වසරකට තුන් වරක් පමණ තම්බපණ්ණියෙහි කටයුතු පිළිබඳ වාර්තා කිරීම, බදු ලේඛන සහ අයකොටගත් මුදල් සහ බදුවශයෙන් ලබාගත් භාණ්ඩ රජ භාණ්ඩාගාරයට භාරදීම උදෙසා වාසුගී ආයුධ සන්නද්ධ සේනාංකයක්ද කැටුව අගනුවරවූ සිරීසවත්ථු පුරය බලා පිටත් වන සම්ප්‍රදායක් පැවතුනි. මෙවර එම කාර්යය උදෙසා ඔහු පිටත්ව ගියේ දින තුනකට පෙර හිමිදිරියේය. මේ සම්පූර්ණ ගමනට දළ වශයෙන් දින අටළොසක් පමණ ගතවේ. ඒ කාලය තුල තම්බ පණ්ණියෙහි සියළු පාලන කටයුතු සිදු වූයේ කුවණ්ණාවන් අතිනි.

      Delete
    10. මේ ඒ පෝස්ට් එකට අපේ බූරානිස් මලේ දාපු කමෙන්ට් එකක්..හෙහ්,හෙහ්,

      /පහුගිය කාලෙ මං අන්තර්ජාලෙ පොඩි සර්ච් එකක් කලා.. බුදුහාමුදුරුවන්ගේ ජීවිත කාලය හා ඒ ආසන්න කාලයට සමාන්තර ලෝක ඉතිහාසය.. මෙන්න මට හම්බවෙච්චි ලැයිස්තුවෙන් පුංචි කොටසක්..

      1. කාර්තේජය විසින් සිසිලය, සාර්ඩිනියාව හා කෝර්සිකාව යටත් කරගැනීම. මේ තමා කාර්තේජ් වෙළෙඳ අධිරාජ්‍යයේ ආරම්භක කාලය.
      2. මහා සයිරස් විසින් බැබිලෝනියාව යටත් කරගැනීම හා එහි වහලුන් වශයෙන් රඳවාගෙන සිටි යුදෙවුවන්ට නිදහස ලබා දීම (මේ සීන් එක බයිබලයෙත් කියැවෙනවා.)
      3. ස්කයිතියන් වරුන්ට එරෙහිව පර්සියාවේ ඩේරියස්ගෙ ජයග්‍රහණ
      4. රෝම ජනරජය පිහිටුවීම
      5. සෙන්පති සන් සූ (Sun Tzu) ගේ මෙහෙයවීම යටතේ චීනයේ Wu රාජධානියේ හමුදා ලබන ජයග්‍රහණ
      6. කොන්ෆියුසියස් එතුමාගේ කොන්ෆියුසියන් වාදය දේශනා කිරීම.
      7. මැරතන්හි යුද්ධයේදී ඇතීනියානු හමුදා විසින් ඩේරියස්ගේ පර්සියානු හමුදා පරාජය කිරීම.

      මේ ඒ කාලයේ හිටිය ප්‍රසිද්ධ පුද්ගලයෝ..

      ඉන්දියාවෙ- මහාවීර, පානිනි
      බැබිලෝනියාවෙ- නෙබුකඩ්නසාර්
      පර්සියාවෙ- මහා සයිරස්, ඩේරියස්, සවුරාස්ත්‍ර
      චීනයේ- කොන්ෆියුසියස්, සන් සු, ලාඕත්සු
      ග්‍රීසියේ- තේල්ස්, ඇනක්සිමැන්ඩර්, හෙරක්ලිටස්, ඊස්කිලස්, සොෆොක්ලිස්, හෙරඩෝටස්, යුරිපිඩීස්, පයිතගරස්

      කොහොමද.?? පිස්සු හැදෙනවා නේද.??/

      Delete
    11. ප්‍රා පාර්සි ජාතිකයෝ නැති වෙලා නැහැ. අර සොරස්ට්‍රියන් Zoroastrian කියන ආගම අදහන්නේ ඒ අය ඔවුන් පාර්සි ජාතිකයන්. ඉන්දියාවේ තමයි වැඩිපුරම ඉන්නේ ඊට පස්සේ එංගලන්තේ සහ යුරෝපයේ , මුස්ලිම් ආගම ආවාට පස්සේ හා ඊට කලිනුත් ඉරානයෙන් පිටමං වී ඔවුන් නොයෙකුත් රටවල් වල ජිවත් වෙනවා

      Delete
    12. I meant that the their population in SL is declining. Very few families- Choksey, Captain...
      They too have married from other communities sometimes.

      Delete
    13. I meant that the their population in SL is declining. Very few families- Choksey, Captain...
      They too have married from other communities sometimes.

      Delete
  8. හැක් පෞ බං උෟ.
    වදක භාරියක් වගේ.

    ReplyDelete
  9. Ravi, I'm broke. Don't have even 2 1/2 cents. Let me see if I can borrow from Google:

    //Approximately 80% of the Jews in the world today are Ashkenazim; the remainder are primarily Sephardic.//
    //Researchers who study the Ashkenazim agree that the children of Abraham are on top of the IQ chart.//
    //I’m not asserting Ashkenazi cognitive specialness because I’m philo-semitic, or a Zionist, or pro-Israeli. I’m pointing it out because it is irrefutably true.//

    https://ieet.org/index.php/IEET2/more/pellissier20110719


    //According to current estimates, as many as one in three Ashkenazi Jews, those with Eastern European descent, are carriers for certain genetic diseases, including Gaucher disease. Researchers think Ashkenazi genetic diseases arise because of the common ancestry many Jews share. While people from any ethnic group can develop genetic diseases, Ashkenazi Jews are at higher risk for certain diseases because of specific gene mutations.//

    https://www.gaucherdisease.org/blog/5-common-ashkenazi-genetic-diseases/


    බුද්ධියට ජෙනටික් හේතුත් ඇති.. සංස්කෘතික හේතුත් ඇති. අමාරුවෙන් සුලු ජාතියක් ලෙස ජීවත් වුන නිසා බුද්ධිමත්වීම පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වෙන්න ඇති

    //In regard to persecution, a common notion is that Jews weren't allowed to own land throughout much of their history in exile and thus were forced to invest in a form of personal capital that could be of value across geographies. There are other theories, too, some even including a notion of simple genetic superiority, by way of an idea that Jewish communities modified natural selection through upholding scholars as examples of the proper way to be, providing them the choicest wives and expecting them to have many children.//
    ඕවත් තියරීස් විතරයි. Some don't agree.
    http://www.slate.com/articles/life/faithbased/2012/11/the_myth_of_jewish_literacy_maristella_botticini_and_zvi_eckstein_explain.html//

    ReplyDelete
    Replies
    1. Thanks Pra,

      I have theory.... believe it or not it just came to me..( Normally theories come to my mind inversely proportional to the level of the bottle..Ha..ha..)

      Ok now to my theory....about 7000 years ago Aliens visited us. They were very very advanced and they decided to use humankind as guinea pigs to test some of their theories.

      One of their theories was that genetically modified human groups could be used for long term goals if you convince them that they are chosen for that particular task.

      So they genetically modified a small nomadic group living in middle east enabling them to have an exceptional intelligence. Moreover to prevent them breeding with other humans and diluting their special abilities they embedded in their sub-conscious mind that they are God's chosen people and as such they should remain uncontaminated.

      As the level of the bottle goes down further, much more fantastic theories would come to my mind and I would post them here ..God willing of course...:)

      Delete
    2. I'm just starting. So theories are in short supply. But, I have heard that Bur is a particularly elusive type of alien fond of wooden toys.

      Delete
    3. I have also heard that aliens planted an alien bushwacking scholar in ME whose scalp needs direct sunlight for its solar cells to give the brain a turbo charge for the sole purpose of depleting the stocks of alcohol in the region.

      Delete
    4. තව සීරීස් එකක් !!! ආතල් ගතියක් දැනෙනවා හැබැයි දැන්මම

      Delete
  10. කතාවේ මැදක් එනකොටම මට හිතුණා අන්තිමට මෑන්ස් "ඔබ කොහෙන්ද" ඇහුවම ඔබතුමා ඔහොම කියාවි කියල.
    හැබැයි මනුස්සය මරු බඩුවක් තමයි, එහා පැත්තේ එක වගේ පේන කෙනෙක් ඉන්න අතරේ ඔහොම සංවාදයක් ගෙනියපු එක. සමහර විට ඒ වගේ දෙයක් වත් නොහිතෙන තරමට, හිතේ තියන ප්‍රශ්න බර ඇති.

    මේ ලෝකේ තියන ප්‍රශ්න මහ ගොඩකට හේතුව මුදල් නැතිකම, නේද? කොටින්ම අතේ සල්ලි තිබුණ නම් අර දරුවාගේ තාත්ත තමන්ද කියල ෂුවර් නෑ වගේ දෙයක් ඔය මනුස්සයට කියවෙන එකකුත් නෑ සමහර විට. ඒක අහල අර මනුස්සයගේ හිත බිඳෙන එකකුත් නෑ එතකොට.

    ReplyDelete
  11. ඔයා කරපු වැඩේ හොඳයි. ලඟින් බැස්ස නිසා. හැබැයි දුර ගමනක් ගියා නම් මිනිහත් එක්ක සෙට් වෙලා කතා කරලා පොඩි සපෝර්ට් එකක් දෙන්න තිබ්බ. වචන වලින් හරි. පොඩි සිම්පල් ඇඩ්වයිස් වලින් කරන්න පුළුවන් උදව් ලක්ෂ ගණන් දීලාවත් කරන්න බෑ සමහර වෙලාවට.

    ReplyDelete
    Replies
    1. වෙන මොකුත් ඕන නෑ ගුරුවරියක් සමග මගේ ජීවිතය සීරීස් එක කියවන්න කිවුවනං අර මනුස්සය සුයිසයිඩ් කරගන්නව. හැක්..

      Delete
  12. අර ක්‍රිෂ් ගෙයි අනන්‍යගෙයි කතාව ඉවර උනේ කවද්ද ලොකු අයියෙ?

    ReplyDelete
  13. ඔබ තුමා නොතේරුනා වගේ උන්න එක හොඳයි.නැත්තංමිනිහ ෆුල් අවුල් වෙයි.තමන්ගෙ ආදරණීයයන්ගෙන් ඈත් වෙලා ජීවිතේ ගෙවන්ඩ වුන එකේ පීඩනෙත් මිනිහට ඇතිනෙ.පවුඑක අතකට

    ReplyDelete
  14. සමාන්තර විශ්වයක...

    "වෙයා යූ ෆ්‍රොම්?"

    "හැක් හැක් හැක්... මාත් ලංකාවෙ තමයි මල්ලි..."

    "...."

    "ගණං ගන්ඩෙපා බං. මටත් ඔය වගේ තමා වෙලා තියෙන්නෙ. මං බැන්දෙ ගුරුවරියක්නෙ බං. ගෙදර යන්ඩ බැ උන්දැ මට පාඩං උගන්නව තිස් පැයේ. මෙන්න මෙහෙ වරෙං ඕක පාක් කරල, මං අසෝක වීදුරු තුනකුත් ගෙනාව. පොඩි අඩියක් ගහල යමං..."

    රියදුරාගේ මුහුණේ දෙකණ තෙක් පළල් හිනාවක් නැගුනේ අනායාසයෙනි. ඇසිල්ලෙකින් අපි තිදෙනා සිටියේ හරිහරන්ගේ (මලා හරිහරන් නෙවෙයි සුබ්‍රමනියම්... නෑ නෑ මොකද්ද අර සංගීත කාරෙයගෙ නම? ආ හරි හරි මතකයි රහුමාන් රහුමාන්) කාමරයේ ටීපෝව වටේ වූ පුටු තුනක අඩක් පිරුණු අසෝක වීදුරු තුනක් අතැතිව ය.

    "උඹලට කියන්ඩ..." මං ආයෙමත් කටහඩ අවදි කළෙමි. දවසක් යාලුවෙක්ගෙ නෑයෙක්ගෙ වෙඩින් එහෙක රෝස් කරපු කුකුලෙක් තියල තිබුණ ගාර්නිෂ් එකක් විදිහට...

    ReplyDelete
    Replies
    1. හප්පේ... අවුරුදු දෙකට තුන්දෙනා එක්ක බෝතල් කීයක් හිස් කරයිද දන්නෑ.

      Delete
  15. කෝ යකෝ අපේ කොමෙන්ට් වලට උත්තර

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අද මහන්සියි බං හෙට දෙන්නං උත්තර...:)

      Delete
    2. ඉහළ කමෙන්ට් එක විශ්වාස කිරීමෙන් මුදලත් මිතුරාත් දෙකම නැතිවේ

      Delete
  16. hodama de thamayi karala thiyenne... eka hodai...

    ReplyDelete
  17. කොමෙන්ටු වල තිබෙන ඉතිහාසගත තොරතුරු ටික නම් හරිම පංකාදුයි. ලියන විෂයය සහ ප්බන්ධය මොකක් උනත් අවසානයේදී ලැබෙන අනර්ඝ කොමෙන්ට්ස් හෝ ඌනපූරණ වලින් හුඟක් දේවල් ඉගෙන ගන්නට පුළුවනි.

    ReplyDelete
  18. ඒ කියපු සාධාරණ බොරුව ගැන මගේ ආචාරය රවී අයියාට

    ReplyDelete
  19. ඒ මනුස්සයයි බිරිඳයි දෙන්නම පව්

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...