Friday, August 10, 2018

601. වියුණු රචකයකුගේ අතීතාවර්ජනය….My Reminiscences As A Blogger


The Image Says "A Simple Thank You With A Lot Of Love"
& That's For You All, My Readers...

අද මේ ලියන්නෙ 601 වෙනි වියුණු සටහන. නැත්නම් බ්ලොග් පෝස්ට් එක. එහෙම කඩඉමක් නැත්නම් මර්මස්ථානයක් (දෙකම එකයි නේද? අනේ මන්ද දන්න කෙනෙක් කියන්ටකො බලන්ට) පහුකරන කොට අතීතාවර්ජනයක් එහෙම නැත්නම් පරණ මතක සිහිකිරීමක් කරන එක හොඳයි කියල කවුරුත් කියනව.

ආ තව කාරණයක් කියන්න තියනව. හරියටම පෙරෙයිදට අවුරුදු දහයකට ඉස්සෙල්ල මගෙ ජීවිතේ මම මැරෙනකල්ම අමතක නොවන අත්දැකීමක් ලැබුව. ඒ කියන්නෙ මරණාසන්න අත්දැකීමක් ලැබුව. එව්වට කියන්නෙ Near death experience කියල. 

දිනේ හරියටම 2008-08-08...එදා තමයි බෙයිජිං ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවේ තිබ්බෙ. මට ඒ උත්සවේ බලන්ට උනේ ඔයේසිස් ඉස්පිරිතාලෙ ICU එකේ ඇඳක් උඩ ඉඳන්. ඉතිං මම හිතාගෙනම හිටිය මගේ ඒ මරණාසන්න අත්දැකීමෙ දහවන සංවත්සරය දවසට අනිවාර්යයෙන් ඒ කතාව ලියන්නම ඕනය කියල. ඒත් පහුගිය සුමානෙ මාව අලුත් සයිට් එකකට දාල එතන ඉතාම කාර්ය බහුල වීම කරනකොටගෙන ඒ ලිවිල්ල මඟ ඇරුන. හරි කමක් නෑ නොවැරදීම ඒක ලඟදීම ලියල දාන්නංකො.

මගෙ උපන්දිනේ දවසෙ මම නිරතවෙන සුවිශේෂී කාර්යයක් තියනව. ඒ තමයි ජීවිතේ මගෙ මතකයෙ තියෙන ඈතම කඩඉම දක්වා උපන්දින මම ගතකලේ නැත්නම් මට ගත කරන්නට සිද්ද වුනේ කොහෙද කියල මතකයට නගාගන්න එක. වර්තමානෙ ඉඳල පිලිවෙලින් අතීතයට...ඔය වැඩේ හරිම ආහ්ලාද ජනකයි.

අනික ඕකට උපන්දිනයක්ම වෙන්න ඕනත් නෑ. ඕනම දවසක් ඔට්ටුයි. හොඳයි දැං අපි බලමු මෙහෙම. අද කවද්ද දිනේ? අගෝස්තු 10 වෙනිද..හරි මොකද කියන්නෙ? අයිස් බකට් චැලේන්ජ් එක බාරගන්නවද? 

ඒ කියන්නෙ පහුගිය අවුරුද්දෙ අගෝස්තු 10 ඉඳල වසරින් වසර අතීතයට ගිහිල්ල තමන් ඒ ඒ අවුරුදුවල අගෝස්තු 10 වෙනිද කොහෙද හිටියෙ? මොකද කලේ? කියල මතක් කරන එක. මොකද කලේ කියන්නෙ හරියටම සවිස්තරව ඒ දවසෙ කරපු දේවල් ඕන නෑ. මම කියන්නෙ නිකම් මේ ජෙනරලි මොකද තමං එදා කරන්න ඇත්තෙ කියල මතක් කරගත්තම ප්‍රමාණවත්.

හරි අද ඇවිල්ල 2018 අගෝස්තු 10. 2017 අගෝස්තු 10 මොකක්ද මම කලේ? හරි...ඒ කාලෙ මම රැකියා විරහිතව ගෙදර හිටියෙ...ඉතිං එක්කො රස්සාවකට ඉන්ටවීව් යන්න ඇති. එහෙම නැත්නම් ගෙදරට වෙලා ඔය බියර් එකක් කාරිය ගහල කට කපල නිදාගන්න ඇති. ඊලඟ අනුයාත අවුරුද්ද? 2016...මට මතක විදිහට 2016 අගෝස්තු 10 නැත්නම් ඒ කිට්ටුව දවසක තමයි මම ලංකාවට ඇවිල්ල නිවාඩුව ගත කරල ආපහු ගියෙ. ඊගාවට 2015... අන්න ඒ වගෙ..තේරුණයි?

හැබැයි ඉතින් ඔහොම අතීතාවර්ජනය කරන එකේ වැදගත් කමක් තියෙන්නෙ ඉඳල හිටල හරි ජීවිතේ යම් වෙනසක් වෙන අයට. එහෙම නැත්තං ඒකෙං සත පහක වැඩක් නෑ. 

දැන් උදාරනයක් විදිහට අපේ ගරු සබාපති තුමා ගම්මු. එතුමගෙ අතීතාවර්ජනය would probably be something like this. 

2017 අගෝස්තු 10..කැෂියර් එකේ සිටියෙමි...2016 අගෝස්තු 10 ..ඒත් කැෂියර් එකේ සිටියෙමි....2015 අගෝස්තු 10 ..ඒත් කැෂියර් එකේ සිටියෙමි....2014 අගෝස්තු 10 ..ඒත් කැෂියර් එකේ සිටියෙමි....2013 අගෝස්තු 10 ..ඒත් කැෂියර් එකේ සිටියෙමි. ඔය විදිහට දිගටම යයි මතක ඇති කාලයක් දක්වා....

ඉතිං අද මම කල්පනා කලා මෙහෙම දෙයක්..අර මම කලින් කිව්ව විදිහට උපන්දිනේදි අතීත උපන්දින ගෙවුනෙ කොහෙද? සහ කොහොමද? කියල ස්මරණය කරන එක ජීවිතේ ඇත්තටම හරස් කඩක් (Cross section ) දිහා බලනව වගෙ කියලයි මම හිතන්නෙ. 

ඒ අනුසාරයෙන් මේ 600 වන සටහන ලියවුනු වෙලාවෙ මගෙ වියුණු ලිවීමේ සන්ධිස්ථාන (Milestones) ගැන මතකය අවදි කලොත් ඒකත් මගෙ වියුණු ලිවීමේ හරස් කඩක් වෙයි කියල මට හිතෙනව. සන්ධිස්ථාන කියල මම අදහස් කලේ පළවෙනි වියුණු සටහන, 100 වන වියුණු සටහන, 200 වන වියුණු සටහන, 300 වන වියුණු සටහන....ඔන්න ඔය විදිහට වර්තමානය දක්වා...හොඳයි නේද වැඩේ? මොකෝ ළමයි කියන්නෙ?

මගෙ මේ වියුණු ලිවිල්ලට උදක්ම හේතුවුනේ අපේ රන්දිල් ගරු මැතිණිය කියල ඔබ තමුන්නන්සෙලාට මම කලින් කියල ඇති..Yes way back in 2010. Eight years ago......Eight very very unforgettable years indeed......

මේ එතුමිය නිදහස් සිතුවිලි වියුණුවෙ පාඨකයින්ට මාව හඳුන්වාදුන් සටහන...

/අද පටන්, මිතුරු සිතුවිලි වෙතත් නිදහස් සිතුවිලි හී ඉඩක්...........

මාගේ ලබැඳි මිත්‍රයෙකු, මගේ බ්ලොග් අඩවියේ සම හවුල් කරුවෙකු ලෙසින් අද පටන් සිය සිතුවිලි අකුරු කරනු ඇත. පහතින් දිස් වනුයේ එලෙසින් පළවන පළමු පැදි පෙළයි.

මගේ සෙනෙහස අපරිමිත, කිසිදා මහලු නොවේමය...................

සඳලු තලයේ වැතිර ඉමි,
සඳදිය පොදින් නැහැවෙමි,
හිසහොවා මා ඇකයෙහි,
නිදන්නී මා සඳවති,

අතැඟිලි සෙමෙන් අවදිකර,
පිරිමදිමි ඔබ වරලස,
නරකෙස් රොදකි ඉඳහිට,
මේ සඳරැසෙහි දිලිසෙන,

සිහින ලොව සැරිසරන,
බලාඉමි ඔබ වත දෙසම,
මුව මදහසින් විකසිත,
දෙතොල් වට මේ රැළි නොවෙද?

නරකෙස් උදක් නොදකිමි,
වතෙහි රැළි මම නොදුටිමි,
පෙරදින මසිත සොරාගති,
අදත් ඔබ මට එදා සඳවති/


****************************************

මේ ඊලඟට මම ලියපු සටහන...දිනය 2010 නොවැම්බර් 24...

/තනි තරුවට ලියූ කවිය...............

සඳ කැලුම් දිය අතුල ගෙමිදුලේ ඇවිදයමි,
පිපි කුසුම් ගොමු අතර පිණි වැටෙන හඬ අසමි,
වලා පට සලු පැළැඳි සුරඟනක් සේ අහිමි,
හුදෙකලා තරු කුමරි නොසිතු මොහොතක දුටිමි,

හිරු මැකී ගිය පසුව දිදුලනා රෑ අහස,
පෙර අඹර පහන්වන විට මැකෙන රූ දසුන,
උදෑසන හිරු එළියෙ කුසුම් ගොමු මත දිදුල,
පිණි බිංදු නොවේ ඒ ඔබ නෙතින් ගැලු කඳුල,

දයාබර තනි තරුව,ඔබ අහස මුදුනතය,
කඳුලු බිඳු පතිත වේ පිණි ලෙසින මා අවට,
උදෑසන පිය මනිනු නොහැක මල්ගොමු අතර,
ඔබෙ කඳුලු මතින් පියවර තබනු නොහැක මට,

සැම රැයම ඔබ හඬනු මම බලා සිටින්නෙමි,
ඔබෙ කඳුලු බිඳු අතර මගෙ කඳුලු හෙලන්නෙමි,
තනි තරුව කඳුලු පිස සිනා සෙනු පතන්නෙමි,

****************************************

100 වෙනි සටහන පලවෙලා තියෙන්නෙ 2012 පෙබරවාරි 15 වෙනිද...


ඒ කාලෙ මම අර ආදර නිල් දෑසේ කතාව ලිව්ව කාලෙ..හෙහ්..හෙහ්..ඒ කතාවටම සම වැදිල වගෙ ඒක ලිව්වෙ...My Haunting Blue Eyes Days...සියවෙනි සටහනේ තියෙන්නෙ ඒ කතාව ඉවර කරල ලියපු නිකම් මේ පසුකතාවක් වගෙ එකක්...

****************************************

200. මගේ නොවන මගේම ආදරය.....දිනය 2013 ජූලි 18…

මේ මම ලියපු වියුණු සටහන් වලින් මගේ ප්‍රියතම එකක්...

සටහන ආරම්භ වෙන්නෙ මෙහෙමයි....

/රාජගිරිය පැත්තෙන් මහ වැස්සක් වැහැගෙන එනව පළාතම කළු කරගෙන.ලා නිල් පාටට පේන උස ගොඩනැඟිලි දෙක මට හිතෙන්නෙ රෝයල් පාර්ක් අපාට්මන්ට්ස් වෙන්න ඕන. අවුරුදු දෙකකට කිට්ටු කාලයක් මේ ආසනයෙම ඉඳගෙන සතියට දවස් හයක් දවසට අඩුම ගානෙ පැය දහයක්වත් පරිගණක තිරයෙන් ඔළුව ඉස්සුවාම පෙනෙන්නෙම ඒ එකම දර්ශනය. ඒත් ඒ ගොඩනැඟිලි හරියටම මොනවද කියල දැනගන්න මම කවදාවත් උත්සාහ කලේ නෑ.ජීවිතේ හැටි එහෙමයි. අපිට අනවශ්‍ය විස්තර හොයල මොකටද නිකං නිස්කාරණේ ඔළුව පුරවගන්නෙ?/

මේ අවසානය..........

/පේරාදෙණිය දුම්රිය ස්ථානය පේනතෙක් මානෙට ආහම මම සචිත්‍රා දිහාට හැරුණා. 

"මිස් මම පේරාදෙණියෙන් බහිනව.." 

"ඔව්…. මම දන්නව තෑන්ක්ස් මිස්ට රවී..අප්පච්චි ඇවිල්ල ඉඳියි නුවර ස්ටේෂන් එකට. " 

ඇය එහෙම කියල මගෙ ඇස් දිහා එක එල්ලේ බලා හිටිය. 

"මට මිස්ට රවීට කාරණා දෙකක් කියන්න තියනව. එකක් සුහද ඉල්ලීමක්..අනික අවසර පැතීමක්." 

මම මගෙ ට්‍රැවලින් බෑග් එක ඇරල ටෝච් එක එලියට අරගෙන සුචිත්‍රා දිහාවෙ නළල රැළි කරගෙන බලා හිටිය. 

"මුලින්ම ඉල්ලීම…. මම ඔයාට අයිය කියල කියන්නද?" 

"හරි…. කිසිම ප්‍රශ්නයක් නෑ.." 

මම හිනා උනා.. 

"දැන් එහෙනම් අවසර පැතීම...මම රවි අයියගෙ ටෙලිෆෝන් නම්බර් එක සුබා අක්කට දෙන්නද?" 

දුම්රිය හති හලාගෙන ඇවිල්ල පැණිදෙණියෙ නැවැත්තුව.. 

"කමක් නෑ සචිත්‍රා..එයා ඉල්ලුවානම් විතරක් මගෙ නම්බර් එක සුබාට දෙන්න.." 


****************************************

300. මොළේ කොළොප්පං මුදලිවරු,සිංහල බෞද්ධයන්ගේ ජනාධිපතිවරු සහ යහ පාලනය

දිනය 2015 ජනවාරි 15....

ඒ වෙනකොට නීලකාසය කොට්ට පැදුරුත් කිහිල්ලෙ ගහගෙන පලාගොහිල්ල කාල්ටන් එකේ ජනේලෙ එල්ලිල බයියන් අමතා කතා කරල එහෙම සතියක් ගත වෙලා. ඒත් කට්ටිය ගේම අතාරින පාටක් පේන්නෙ තිබ්බෙ නෑ. කොටින්ම තවමත් නෑනෙ..හෙහ්..හෙහ්...මේ ඒ ගැන මම ලියපු සටහනක්...

ඒ සටහනේ අන්තිමට මම මෙහෙම ලිව්ව...

/ගරු හිටපු ජනාධිපතිතුමනි! ඔබට ගෞරවාන්විතව ඉවත්ව යාමට ලැබුණු මහඟු අවස්ථාව මඟ නොහරිනු මැන! රජෙකු, ඔටුන්න හිමි කුමරකු හෝ රජ පරපුරක් අපට අවශ්‍ය නොවේ! කරුණාකර ඉතිහාසයේ ඔබට හිමිව ඇති ස්ථානය එළෙසම ආරක්ෂා කරගනිමින් පිටව යනු මැන!/

කොහෙද? නීලකාසය තාමත් ඔය ඉන්නෙ අල්ලෙ පැලවෙන බොරු කිය කිය...දෙයියම්ප මේ යක්කුන්ට හිතෙන්නෙ නැද්ද මන්ද ඉස්ටේජ් ගානෙ නැගල මෙලෝ මනුස්සයෙකුට කිසිම පල පොරෝජනයක් නැති සම්ප්‍රප්පලාව දොඩව දොඩව රට වටේ යනවට වැඩිය ජීවිතේ කරන්ට තව කොච්චරක්නම් වැදගත් දේවල් තියනවද කියල…

අර මේ ඊයෙ පෙරෙයිද ඔබාමයි, බුෂ් පුතයි, ක්ලිංටං ගොයියයි කරට අත දාගෙන හිනාවෙවී ඉන්න ෆොටෝ එකක් දැම්මම මට එක පාරටම හිතුන දෙයක් තමයි අනේ අපේ රටේ දේසපාලුවො ඒ අතින් මොන තරම් අවාසනාවන්තද කියල..අනික් අතට අපි එහෙම කිව්වටමත් බෑනෙ. ඒ මිනිස්සුන්ගෙ ආතල් එක එහෙම වෙන්නැති..අපේ මිනිස්සුන්ගෙ ආතල් එක මෙහෙම වෙන්නැති...පවට පින දෙන්නෙ කොහොමද නේද?


****************************************

400. එෂැණිං පුවක් 9 - " ජීල බලඤ්ඤ මම කොරල පෙඤ්ඤඤ්ඤා " කෝළම ලාංකේය කෝළම් සම්ප්‍රදායේ නව නැම්මකි.

දිනය 2016 මාර්තු 18....

පස්සට පයිං ගහල එලවල දාල යන්තං අවුරුද්දක් යන්න ඇති..මෙන්න නීලකාසය කියන්ට ගත්ත මේ මිනිස්සුන්ට ආණ්ඩු කරන්න තේරෙන්නෙ නැතය. බැරිනම් මට දෙන්ටය..මම කොරල පෙඤ්ඤඤ්ඤම්ය කියල. ඒ ගැන මරා බලයෙ හිටපු කාලෙ කොරපුව මතක කරල මම ලියපු සටහනක් මේ...

මත්තල මම හැදුව පිටැන්නක්,
ආසියන්තර නේන,
ලෝකේ ලොකුම වතුරවල,
යලට මහට නැව් එන,

ලසන්තල ප්‍රගීත්ලගෙනුත් අහඤ්ඤ,
රවිරාජුයි තාජුඩිනුත් ඉන්නව ඔඤ්ඤ,
කොරපුව මම උංදල යස රඟට කියාවී,
අපි එහෙමයි වැඩ කලෙ මේ වාගෙ නං නෙවෙයි,

නුවර වැව වටේ,
රේසුත් පැද්ද මගෙ එවුං,
ගෝටා බල්ලො ගෙනාවා,
පෙලෙං එකක් වෙං කරං,

බැසිලා ගැහුව ගැහිල්ලක්,
නැඟුමේ කෑලි හැලෙන්ට,
මගෙ කුකුල් මස්සිනා,
සිරිලංකං ඔක්කොම කෑවා,


****************************************

ගිය අවුරුද්දෙ අර මීතොටමුල්ලෙ කුණු කන්දෙ නායයාම මතකයි නේද? 500 වෙනි සටහන ලියවුනේ ඒ වෙනුවෙන්...

දිනය 2017 අප්‍රේල් 17....

ඔබ මා සුරත එල්ලී මෙහි ආ දවස, 
මේ කුණු කන්ද බැලුවා ඔරවන් මදෙස,
ඒ කුණු කන්ද නෑගම් ආ අද දවස, 
ඔබ මා අතැර සදහට නික්මුනු දවස. 

වැහිබර අහස කඳුලක් හෙලනට තතනයි, 
සුළඟේ වැලපිල්ල හිත සැතකින් සූරයි, 
ළය පැලහෙනා ගින්දර නෙත කඳුළු දවයි, 
සිහිනය මියගියේ කුණු කන්දට වැහිලයි.

ඔබ මා සුරත එල්ලී මෙහි ආ දවස, 
මේ කුණු කන්ද වැඩ සිටියා ඔරවාන, 
ඒ කුණු කන්ද නෑගම් ආ අද දවස, 
ඔබ මා අතැර සදහට නික්මුනු දවස.


****************************************

ඉතිං එහෙනම් බොහොම ස්තූතියි...

වසර අටකට ආසන්න කාලයක් වියුණු සටහන් 600ක් කියවමින්, මට බැණ වදිමින්, ප්‍රශංසා කරමින්, දිරි ගන්වමින්, ප්‍රතිචාර පලකරමින් මා සමඟ රැඳී සිටි මගේ දයාබර පාඨක ඔබ සැමට මගේ ගෞරව පූර්වක ස්තූතිය පලකර සිටීමට මට අවසර!

Doing something that's close to your heart is never an ordeal because your mind wants to do it and your heart is in it. But when the fun goes out you know it is time to stop. 

So Until the day the joy I get goes out of blog writing I will write and dear constant reader (copy right: Stephen King) I know that you would stay with me all the way.....

A thousand thanks and my heartfelt gratitude once again!

THANK YOU!!!

75 comments:

  1. තව තවත් පල්හෑලි ලියමින් අපේ ලේ පිරිසිදු කිරීම පිණිස දීර්ඝායුෂ ලැබේවා.

    ReplyDelete
    Replies
    1. kumara,

      ස්තූතියි කුමාර...හෙහ්..හෙහ්..මගේ සහෝදර සුලෝහිතයා...:)

      Delete
  2. 600ට සුභ පැතුම්......

    දැන් බරට වැඩ...... මුල ඉඳලා කියවලා පස්සේ එන්නං මාමේ.......

    ReplyDelete
    Replies
    1. හරි සූටික්කා...ස්තූතියි බොහෝමත්ම...:)

      Delete
  3. උඹට හිතෙන්නැද්ද බං පෝස්ට් 300න් පස්සෙ උඹේ මොළෙත් කොලොප්පම් වෙලා ගිහිල්ලා කියලා? මුල්ම කාලෙ අර අච්චර ලාස්සන කතා ලියපු එකා දැන් ලියන මඤ්ඤං පෝස්ට් බැලුවහම මට නං එහෙම හිතෙනවා. මොනවා කරන්ටද ඉතිං, උඹ ලියන්නෙ උඹට කැමැති දේ නෙවැ. ඒකට අකුල් හෙලාන්ට අපට අයිතියකුත් නෑ නෙවැ.

    - පරණ බ්ලොග් පාඨකයෙක් -

    ReplyDelete
    Replies
    1. පරණ බ්ලොග් පාඨකයෙක්ගේ කතාවා මාත් අනුමත කරනවා... බෝ දැන් මහා බොරින් වෙලා... ලියන්නකෝ නිකම් සුටුස් ගාලා ඇදල පැදලා යන කතාවක් දෙකක්...

      Delete
    2. අත්දෙක ඔසවා අනුමත කරමි....

      Delete
    3. බූරා, Buru Babe සහ ලිඛිතා,

      අඩේ බොලව් මොකදෑ කොරන්නේ? බොලා හිතනවයි මම හිතලම එහෙම කොලිටිය බාල කරනවයි කියල? අර අහවල් දේකටද?

      යකුනේ මම කැමති නැද්ද හැමදාම උඹලගෙ කමෙන්ට්ස් බලන්ට "අම්මට උඩු නියමයි අයියෙ...සික්...කියල වැඩක් නෑ...එල ද බ්‍රා ..ආ..." අන්න එහෙම එව්ව...

      ඒත් ඉතින් මොකද කොරන්නෙ? කලින් කල පලින් පල කිව්වලු...හරි හරි මම බොලාගෙ විවේචනයන් ඉත සිතින් පිළි අරගෙන මගේ ලිවීමේ වෙනසක් කරන්නට උත්සාහ කරන්නම්කො..බොහොම ස්තූතියි හොඳේ ඔබ සියලු දෙනාගෙන ප්‍රතිචාර වලට...Love you all :)

      Delete
    4. මුත් අර නිලකාස වගේම තමා. කොච්චර කිව්වත් තේරුම් ගන්නෙම නෑ.. අච්චර හැකියාවක් තියාගෙන මේ එක එකාගේ ආතල් බල බල ඉන්න එකනේ කරන්නේ..

      Delete
    5. අනේද කියන්නේ..දැන් නම් කියල කියල ඇතිවෙලා. වයසේ වැරැද්ද කියලා හිත හදාගෙන දාන වැල් වටාරම් කියෝනවා.

      Delete
  4. CONGRATULATIONS BRO
    DAMITH GUNAWARDANE

    ReplyDelete
  5. රවී 600 ට සුබ පැතුම්.
    මම කියවා තිබෙන්නේ අන්තිම සියයක් විතර. ඒවායින් මටත් යමක් ලියන්නට ආභාෂයක් ලැබුණා. මා ද (ඔබ කියන ආකාරයට) 'වියුණු සටහන්' මාධ්‍යයට හඳුන්වාදීම ගැනත් ස්තුතියි. 'වියුණු සටහන්' කලාවටම ආවේනික ඔබගේ පාරිභාෂික පද මාලාව වෙනම සටහනක් ලෙසට පළ කරන්නටයයි මම යෝජනා කරනවා. එය බොහෝ අයට ප්‍රයෝජනවත් වේවි. සමහරවිට අනාගතයේදී එම අලුත් පද ශබ්ද කෝෂ වලට සහ විශ්ව කෝෂ වලටත් යන්නට ඉඩකඩ තිබෙනවා. දැනට දශක හයකට පමණ ඉහතදී අපේ අධ්‍යාපන මාධ්‍යය සිංහල වූ අවස්ථාවේදී අපට ඔය වගේ අලුත් වචන හදන්නට සිදු උනා. ඒ සමහර වචන දැන් විද්‍යා විෂයය වල භාවිත වන වචන බවට පත්වෙලා.
    As you very often say 'Nothing like trying'. Good luck to you.

    ReplyDelete
    Replies
    1. Dayawee,

      බොහොමත්ම ස්තූතියි දයාවී මහත්මයා, ඔබ වන් බොහෝ ඇසූ පිරූ තැන් ඇති ඥාණවෘද්ධ වියතෙකුගෙන් මෙවන් ප්‍රසංශාවක් ලැබීම වනාහී මට මහත් අභිමානයක් සහ එමෙන්ම සතුටක් බව පැවසීම කිසිසේත්ම අසත්‍යයක් නොවන්නේය.

      ඔබගේ අගනා යෝජනාව පිළිබඳවද යමක් කරන්නට පොරොන්දු වෙමි.

      Thank you so much & my best wishes are with you and your family...:)

      Delete
  6. බොලා තාමත් ලියනවා නේ ! එහෙම කිව්වට අපිත් ඉඳලා හිටලා ඇවිත් යනවා ඒත් බොගේ මොකක්ද අපිට නොතේරෙන භාශාවකින් ලියන කතන්දරේ හින්දා මොකුත් නොකියාම ගියා. ඊටත් අමතරව නීලාකාශ ගැනත් ඉතින් මොකුත් කියලා පබ්ලික් ගැලරි වලට ගල් ගහලා ඔළුව කුඩු කරගන්නේ මොකටෙයි කියලා සද්ද බද්ද නැතිවම ගියා...
    ආයූ බෝ වේවා රවියෝ... බොටත් බොගේ බ්ලොගෙටත්

    ReplyDelete
    Replies
    1. රංගි,

      /ඒත් බොගේ මොකක්ද අපිට නොතේරෙන භාශාවකින් ලියන කතන්දරේ ../

      මොකක්ද උඹ මේ කියන කතන්දරේ? අර අනන්‍යාගෙ කතාවද? මොකක්ද බොල ඒකෙ ඔය හැටි උඹට නොතේරෙන්නෙ?

      /ඊටත් අමතරව නීලාකාශ ගැනත් ../

      හෙහ්..හෙහ්.. නීලාකාශ නෙවෙයි බොල යෝදියෙ නීලකාස..නීලකාස...නීලාකාශ කියන්නෙ නිල් අහස...Blue Sky

      Delete
  7. මල්ලිගේ මුල් පොස්ට්ස් නං සුපිරි. දැන් නං කිව්වම මොකද ගූ හතයි. පුරුද්දට මේ පැත්තේ ආවට කියවන්නෙත් නැති තරං.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      එහෙමද?...අම්මප කියාපං...හපොයි...

      හරි හරි මොකවත් හරි කරමුකො ඒ ගැන...Thanks so much...:)

      Delete
  8. ශැක්, තව 65ක් බලා ඉන්න වෙනවනෙ

    ReplyDelete
    Replies
    1. //There is no number as feared as the dreaded 666. It will forever be linked with Lucifer and other satanic entities. //

      https://www.ranker.com/list/666-meaning/jacobybancroft

      Delete
    2. Pra,

      I think you remember the film "Omen" It was shown at Liberty in 78 or 79. in it the child of Satan has 666 embossed on his scalp. The sequel was "Damien - Omen II "

      Heh heh...Do you someone by the the name Damien?

      Delete
    3. Damien? Hmm sounds sinister.

      Delete
  9. මේක කොටස් දෙකකට බෙදෙන්න ඕනි 300 හෙවත් 2015 ට පෙර හා 300 සිට හෙවත් 2015න් පසු කියල.. ඇත්තටම කියුවොත් 2015 ට කලින් හිටපු රවිට ලෝබයි.. දැන් ඉන්න රවිට කැමතියි.. :))) 'නීල් කටරෝල් මල්' වගේ වචන වලට ලෝබ හිතෙන කතාවක් ආයෙම කියවන්න ලැබේවා! ජයවේවා! රන්දිල් ට ස්තුතියි වෙනම මේ මගොඩියාව බ්ලොග් වලට ගෙනාවට.. :))))

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ,

      ඉඳපන් ඉඳපන් ..නිල් කට් රොල් මල් කතාව ඉවර නෑ බං..

      ඒකෙ තව තියනව ඉස්සරහට ලියන්ට ඇට් ලීස්ට් එපිසෝඩ්ස් හතරක් පහක් වත්..ඒ හින්ද ඉවසල ඉඳු..මට මේ වෙලාවක් නැති එකනෙ බොල වෙලා තියෙන්නෙ...

      Thanks Admiral....:)

      Delete
  10. කමෙන්ට් එකක් කොටාගෙන ආවත් අන්තිමට බැලින්නං මටත් කියන්න තියෙන්නේ මේ බුරම්පි අයියයි කමී අයියයි කියලා තියෙන කතාවම තමයි. අර ඉස්සර වාගේ ලෝබ හිතෙන එව්වා අයියා දැන් ලියන්නේ හරි අඩුවෙන්. :/

    600ට සුබ පැතුම්. :)

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      Et tu Siththami?.....

      විහිලුවක් ඈ....හරි හරි ඉඳහං කො ඒ ගැන මොනවහරි කරමු...

      Thanks so much..you have been a real inspiration to me during this 8 years...

      මට තාම මතකයි මම අර "විශ්වයම නිහඬ වූ ඉක්බිති..." කතාව ලිව්වට පස්සෙ උඹ මට තග දාගෙන ආපු හැටි...

      අර දැන් කොහෙද දීපංකරේක පදිංචි වෙලා ඉන්න ජානුස් ගොයිය තමයි උඹව මට අඳුන්නල දුන්නෙ "අනේ අයියෙ මේ මගෙ යාලුවෙක් ඉන්නව උඹ අර කතන්දරේ ලියන විදිහ උන්දැට අල්ලන්නෙ නැතිලු එහෙම කියල මට ඊ මේල් එවනව..මම කිව්ව මේ යෝදියෙ මට ඔව්වට උත්තර දිදී ඉන්ට වෙලාවක් නෑ..ඉඳහන් මම ඒ යකාගෙ ඊ මේල් එක දෙන්නම් ඌටම කියාපං උඹට ඔය කියන්ට තියෙන දේ අන්න එහෙම... මොකෝ කියන්නෙ උඹෙ ඊ මේල් එක දෙන්නද?" කියල..මම කිව්ව ප්‍රශ්නයක් නෑ දීහං දීහං කියල...The rest is history...heh,heh...

      Ok what I wanted to say was "Thank you so much dear Madam!!!"

      Delete
  11. 600 ට සුබ පැතුම්!!
    දැන් උදාරනයක් විදිහට අපේ ගරු සබාපති තුමා ගම්මු. එතුමගෙ අතීතාවර්ජනය would probably be something like this.

    //2017 අගෝස්තු 10..කැෂියර් එකේ සිටියෙමි...2016 අගෝස්තු 10 ..ඒත් කැෂියර් එකේ සිටියෙමි....2015 අගෝස්තු 10 ..ඒත් කැෂියර් එකේ සිටියෙමි....2014 අගෝස්තු 10 ..ඒත් කැෂියර් එකේ සිටියෙමි....2013 අගෝස්තු 10 ..ඒත් කැෂියර් එකේ සිටියෙමි. ඔය විදිහට දිගටම යයි මතක ඇති කාලයක් දක්වා....//

    බොට පයිත්තියන් ද රවී? සබාපතිය කැෂියර් එකේ හිටියෙ කවද්ද. ඕකා ඉන්න තැන මම හරියටම කියන්ටද. කැෂියර් එකට පැත්තකින් තව පොඩි කුඩුවක් තියෙනවා ඔය කුඩුවේ මේසයක ඩෙස්ක් ටොප් එකකුයි ඩයලොග් මෝඩම් එකකුයි තියෙනවා. මේසෙ ඉස්සරහ පුටුවක එකෙක් ඉඳගෙන කී බෝඩ් එකට හිනාවෙවී කොටනවා. දවසකට පැය දොළහක් හෝ දාසයක් පොර එතැනින් හෙල්ලෙන්නෙ නෑ. අනේ ඉතිං කැෂියර් එකෙයි කඩේ අනික් වැඩයි ඔක්කොම කරන්නෙ සබාපතියගේ ගෙදර ඇත්ති. මේවා ඇසින් දුටු සාක්කි. ඕකා මෙතන නෑ කියාගෙන ආවොත් කියපං. පිංතුරයක් තියෙනවා මම එවන්නං.

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම නෑ සබාපති සෑර් මෙහෙමයි :

      මා හමු වීමට එන අය සමග කතා කලෙමි, කතා කලෙමි,කතා කලෙමි,කතා කලෙමි,කතා කලෙමි,කතා කලෙමි,කතා කලෙමි,.............හිතෙන් (උන්ගෙ කාලකණ්නිකමට උන්ට ටෙලිපැති නැති වුනාට මං මොනව කරන්නද)

      Delete
    2. හැලප,

      අම්මප එහෙම එකෙක්ද ඕකා? මරන්ට එපාය..

      අද නම් තවම මේ පැත්තෙ ආවෙ නෑ..මම මේ ඌ ගැන කිව්වෙ නිකම් මට හිතිච්ච් දේ...ප්‍රායෝගිකව බොට ඒ ගැන අත්දැකීම් තියනවනම් මම පිළිගන්නම්..ඕකේ...

      Delete
    3. Pra,

      ප්‍රා ඔයත් ගියාද අපේ සබාපති සේර් මුණගැහෙන්ට? හෙහ්..හෙහ්...

      Delete
    4. ඔවු ඔය හැලපයිය මෙතන බලහත්කාරයෙන් ලබාගත් ඡායාරූප තියෙන හින්ද මම මොකුත් කියන්න යන්නෑ ඉතිං.

      //ප්‍රා ඔයත් ගියාද අපේ සබාපති සේර් මුණගැහෙන්ට//
      මම හිතන්නෙ ප්‍රා ට ටෙලිපති තියෙනව.

      Delete
  12. 600 ට සුබ පැතුම්!තව 6000ක් වත් ලියමු !!

    ඉස්සර ලිව්ව කතාවලට (දේශපාලන නොවන මතක සැමරුම්, ප්‍රබන්ධ..)වඩාත් කැමති සංගමයට මාත් ඉන්නවා ඕං..

    ReplyDelete
    Replies
    1. මලී,

      බොහොම ස්තූතියි මලී....බහුතරයක් කැමති එහෙම එව්වට තමයි...:)

      Thanaks so much ...:)

      Delete
  13. අම්මේ හයසීය ලියලද, අම්මේ අවුරුදු අටක් ලියලද, හප්පේ මේ අත්දෙක තමා අත්දෙක , අනෙ අම්මේ. සුබ පැතුම් රවිඅයියා.
    බැඳුමකර රවිඅයියට වගේ ඔක්කොම.අමතක වුනානං අපි මොනව කියවන්නද ඉතිං .
    ආවඩා ආයුබෝ වේවා .

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      ස්තූතියි මල්ලි...:)

      ඔන්න බං උඹේ සිංදුව.....

      මම මේ ඊයෙ පෙරෙයිද මේක FB එකේ ෂෙයාර් කලා...

      Delete
    2. පැතුමා සහ ඉවානයා,

      මොකද බං උඹල දෙන්න මෙතන කොකං පාන්ට ගත්තද ඒ ගමන?

      Delete
  14. හයසීයට සුබ පැතුම්, රවී! ගොඩක් අය පළමු තුන්සීය හා අන්තිම තුන්සීය සංසන්දනය කිරීමක් කරනවා. මම නිදහස් සිතුවිලි ගැන දැනගත්තේ හා කියවන්න පටන් ගත්තේ තුන්සීය හරියෙන්. පටන් ගත්තට පස්සේනම් දිගටම කියෙවුවා. ඒ නිසා, මමනම් ඔය කියන වෙනසට සංවේදී නැහැ. ඒ වගේම මටනම් ඔය දැන් ස්ටයිල් එකේ අවුලකුත් නැහැ. සාමාන්‍යයෙන් මම ප්‍රබන්ධ, කවි වගේ දේවල් තියෙන බ්ලොග් වලට වඩා ෆ්‍රී ස්ටයිල් අච්චාරු වලට කැමතියි.

    තව එකක්...අර කියපු උපන් දින පලහිලවුව. 2008, 1998, 1989, 1988 අවුරුදු වල උපන් දින ගත වුනු හැටිනම් හරියටම මතකයි. ඒ දවස් වලදී සිදු වුනු සුවිශේෂී දේවල් නිසා. ඉතුරු ඒවා ඉතින් අනුමාන කරන්න තමයි වෙන්නේ. වැඩේ කියන්නේ 1988, 1998, 2008, 2018 අවුරුදු හතරේදීම නිවසෙන් (ඇතැම් විට රටෙන්) පිටතදී අනපේක්ෂිතව කාගේ හෝ අතින් උපන්දින සැමරුම් සිදුවෙලා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉකෝන්....

      ඔය උපන්දිනේදි කලින් උපන්දින ගත කලේ කොහෙද කියල මතක් කරන එක බොහොම සිත්ගන්නාසුලු කර්තව්‍යයක්...:)

      වෙලාවක ලියන්න ඕන මගෙ ගත වෙච්චි අර්ධ ශතකයකට අධික උපන්දින ගත වුනු ආකාරය ගැන...පොඩි විස්තරේකුත් එක්කම...:)

      Delete
  15. මගෝඩියා මහතාට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. Ajith,

      මගෝඩියා? අඩේ මමද මගෝඩියා?...:)

      Delete
    2. ඔය උඩ ඉඳන් කියවගෙන එනකොට කවුද උඹට දීලා තිබ්බ නම්බු නාමේ කොපි කළා .

      Delete
  16. අවුරුදු 8ට සහ 600ට සුභ පැතුම් රවී අයියා. මම අර අනන්නයාගේ සීන් එක අර අනිත් ඔක්කොම වගේ කියවල ඇති.. අන්න්නයාගේ එක මගදී මිස් වෙච්ච හින්ද ඔන්න ඔහේ අතැරලා දැම්ම...

    රවී අයියට තියෙන සරල අව්‍යාජ(අතේ පැලවෙන බොරු ඇර අනිත් ටික) ඔරිජිනල් හැකියාව කලාතුරකින් දකින්න තියෙන දෙයක්. දේශපාලන කුණු වලින් ඒක යටපත් කරගන්න එපා කියල තමා මට නම් කියන්න තියෙන්නේ..

    අපි ඕව කිව්වට උඹ අහන්නේ නෑ කියල අපි දන්නවා. ඒ උනාට අපි හැමදාම උඹට ඕක කියනවා. ඒක නිකං බයියෝ නිලකාසට සහ ටෝයියෝ නිකම්සිංහට චන්දෙ දෙන එක නතර වෙන්නේ නෑ වගේ තමා. ලේ වලින් එන්නේ.


    ReplyDelete
    Replies
    1. ශ්‍රේෂ්ඨ ජේෂ්ඨයාණනි,

      /(අතේ පැලවෙන බොරු ඇර අනිත් ටික)/

      හෙහ්...හෙහ්...හෙහ්...

      බොහොම ස්තූතියි මල්ලි...උඹ ඇවිල්ල මගෙ යාවජීව පාඨකයෙක්....

      Delete
  17. ප්‍රත්‍යාවලෝකනය, ඉන් රෙට්‍රිස්... (එක්කො ඕනේ නෑ කෙලවිසිවෙනව) වගේ හෙන දඩාර වචනෙකින් කියන්නෙ මේක නේද 😆

    ලියපුවාට,ලියනවාට ගොඩක් ස්තූතියි! ආසාවෙන්ම කියවන බ්ලොග් එකක් ජයවේවා !

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      ඔව් ඔව් බොල..ප්‍රත්‍යාවලෝකනය, ක්ෂණික මෝචනය, ඉන් රෙක්ටම්..ඔය ඔක්කොම කියන්නෙ ඕකටම තමා...:)

      බොහොමත්ම ස්තූතියි මල්ලි...:)

      Delete
  18. 600 ට සුබ පැතුං කො.කා.ස.ස. ගෙන්. ඒ එක්කම අර මග අතෑරල දාල තියෙන කතා ටිකත් ඉවර කරහං ඉක්මනට.

    කැෂියර් විතරද බං 2017 අගෝස්තු 11 කොමෙන්ට් කෙරුවෙමි, 2016 අගෝස්තු 11 ඒත් කොමෙන්ට් කෙරුවෙමි, 2015 අගෝස්තු 11 ඒත් කොමෙන්ට් කෙරුවෙමි. etc.

    ReplyDelete
    Replies
    1. ගරු සභාපති තුමා,

      බොහොමත්ම ස්තූතියි ප්‍රසා ඔබගේ සයයෝගයට...හරි හරි...අමතක මතක බැරිවෙලා මඟඇරිල තියන සියලු කථා හැකි විගස ලියා අවසාන කරමි...:)

      Delete
  19. 600 ලිපි ලිවීම එතරම් පහසු නැහැ. කෙසේ වෙතත් ඔබේ ගමනට සුබ පැතුම්!
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක දියණිය....:)

      Delete
  20. හම්මේ ඉතින් තව චිරාත් කාලයක් ලියන්නට ශක්තිය ලැබේවා හයසීයට තව හයසීයක් ආයු බෝ වේවා....

    මටනම් පේන්නම බැරි ඔය පුවත් එසැනින් තමා

    ReplyDelete
    Replies
    1. සොඳුරු,

      හෙහ්...හෙහ්...පුවක් එෂැණිං පේන්ට බෑ එතකොට ඈ? හරි හරි හරි...

      Thanks so much Madam...:)

      Delete
  21. Congratulations,
    From Old Nalandian.

    ReplyDelete
    Replies
    1. Thanks Janaka,

      Remember your name from Rupavahini credit lists ( is that the proper name for it? ) from eighties & nineties: Camera : Janaka Jayasekera...:) That was you..isn't it?

      Delete
  22. Unfortunately have to agree with others about loosing your style . Srilankan politics is so disgusting which makes any writing about it so dull to read .Anyhow the pen and belongs to you and you nave every right to write what you like.
    All the best

    ReplyDelete
  23. හිතට එන දේ ලියන්නට
    අපිව මන්ඥන් කරන්නට
    දැනුම බොහො බෙදන්නට
    දිරියවේවා! රවියෝ බෝහට

    ReplyDelete
    Replies
    1. කැමිලස්ගේ සිරිබිරිස්,

      බොහොම ස්තූතියි සිරෝ ඔබේ සුබ පැතුමට..

      Delete
  24. මුලින්ම 600ට හර්දයාංගම සුභ පැතුම්, මුල් කාලේ ඉඳන්ම මන් අය්යා දාල තියෙන හැම පොස්ට් එකක්ම වගේ කියෝලා තියෙනවා..පහු ගිය පොස්ට් දකිද්දී ආසය් වගේම දුකය්.. ඉස්සර ලියපු කථා කොච්චර ලස්සනද, ඔක්කොම උනේ අර දඩයක්කාරයට පස්සේ තමා. මන් හිතන්නේ එක ලියන්න ගිහින් බොලාගේ මොලේ උළුක් උනා..
    හැබය් ඉතින් අර ප්‍රථම ප්‍රේමේ අමතක කරන්න බෑ කියන්න වගේ..මුලින්ම කියවන්න ඇබ්බැහි වෙච්ච මේකත් අත අරින්නේ නෑ, මොන ලිව්වත් කියෝනව..හැබැය් ඉස්සර ලිව්වා වගේ ලස්සන සුපිරි ආදර කථාවක් ආය් කවද හරි ලියවෙයි කියල පුංචි බලාපොරොත්තුවකුත් තියනවා..
    ඒ නිසා බැන්නට තරහ වෙන්න එපා..අපි වෙනුවෙන් තව චිරාත් කාලයක් ලියන්න..

    ReplyDelete
    Replies
    1. මෙකුවි,

      ස්තූතියි ස්තූතියි බොහෝමත්ම ස්තූතියි...:)

      /.හැබැය් ඉස්සර ලිව්වා වගේ ලස්සන සුපිරි ආදර කථාවක් ආය් කවද හරි ලියවෙයි කියල පුංචි බලාපොරොත්තුවකුත් තියනවා../

      හරි හරි බං ඉවසල ඉඳිං බොලා මඤ්ඤමයිස්ඩ් වෙලා යන්ට ටොප් ක්ලාස් කතාවක් දැන් කාලෙක ඉඳල සුට්ට සුට්ට ලිය ලිය ඉන්නෙ බාං..වෙලාවක් කලාවක් නැති එකයි පරහට හිටල තියෙන්නෙ ..

      ඉඳහන් දැනට ලියල තියෙන හරියෙං පොඩි කෑල්ලක් දාන්නං බොලාගෙ පහම් සම්වේගය උදෙසා..( ඔහොම දාන එව්වට ඉන්ගිරිස් ඔලිං කියන්නෙ Sneak Pre-view කියල )

      මගේ කතාව ලිවිය යුතුයයි මම තීරණය කලේ ඊයේ රාත්‍රියෙහි මිදුලෙහි පළු ගස සෙවණෙහි හිඳ මත්පැන් ස්වල්පයක් තොල ගාමින් අතීතය මෙනෙහි කරමින් පසුවන අතරදීය. එහෙත් මගේ කතාවෙහි කිසිවෙකුට කිසිදු ලෙසකින් ගත හැකි ආදර්ශයක් නොමැතිබවට ඔබ චෝදනා කරන්නේනම් හිතවත මම ඊට එකහෙළා එකඟ වෙමි. පණස් වසරකට අධික මගේ ජීවිත කාලයෙහි මම කිසිදිනක කිසිවකුට අවශ්‍ය පරිදි ජීවත් නොවූයෙමි.සුදුසු සිංහල පර්යාය පදයක් නොමැතිබැවින් මගේ ජීවිතය බොහීමියානු ජීවිතයක් ලෙස හැඳින්වීමට මම කැමැත්තෙමි. එහෙත් ඒ කොපමණ සත්‍යයදැයි මම නොදනිමි. 

      එසේම මා මගේ ජීවිතය ගෙවුනු අන්දම සටහන් කලේ හුදෙක් මගේ ආත්ම තෘප්තිය උදෙසාම පමණි. කිසිවෙකුට ආදර්ශයක් වනු පිණිස නොවේ. වසර අඩ ශතකයක මගේ ජීවිතයේ ශේෂ පත්‍රය වනුයේ ඇයට බැඳි පෙම පමණකි. සැඩ සුළඟක ගසාගෙන යන වියළි පරඬැලක් හෝ එසේ නොමැතිනම් දිය සුළියකට හසුව කරකැවෙනා දර ඉපලක් මෙන් අයාලේ ගිය මගේ ජීවිතයේ ඒ සියළු විට අනවතර පහන් තරුවක් මෙන් නිබඳ බබළමින් මඟ පෙන්වූයේ ඈ කෙරෙහි බැඳි සෙනෙහසයි. නැතහොත් ඈ කෙරෙහි බැඳි සෙනෙසයේ මතකයයි.

      එසේ නම් හිතවතුනි හිතවතියනි සවන්දෙනු මැන මෙතැන් පටන් මම මගේ කතාව ඔබට පවසමි.

      Delete
    2. ගෙදර දොරකඩින් එළියට බැහැපු හැටියෙ මිදුල මැද්දෑවෙ තියෙන රූස්ස පළුගහේ අතු අස්සෙන් පෙනෙන්නෙ දිඹුලාගල කන්ද.පොළව කට්ට වෙලා පැලෙන තරමට ඉරු දෙයියො රැස්පොට් පෙන්නන ජූලි අගෝස්තු මාසවල පළුගහෙත් කොළ හැලෙනව.එතකොටනම් දිඹුලාගල කන්ද මුදුනෙ දාගැබයි ගන්ටාර කුළුනයි අත දික්කරල අල්ලන්ට පුලුවන් තරම් කියලයි හිතෙන්නෙ.පාළොස්වක දවස්වලට විශේෂයෙන්ම පොසොන් පෝය දවසට කන්ද පාමුල ඉඳං මුදුනටම ලයිට් පත්තුවෙනව කොච්චර බලා හිටියත් ඇතිවෙන්නෙ නෑ.පෙලක් වෙලාවට හුළං අත මේ පැත්තට හැරුනහම ගන්ටාර නාදෙත් ඇහෙන්ට ගන්නව. යාන්තමට සාදුකාරෙත් අහන්ට අහැකි හොඳින් කන්දිහෑව්වොත්.

      මේ දුරුත්තෙ හින්ද පළු ගහේ කොළ ඕසෙට. ඉල් මහ උඳුවප් මහ කියන්නෙ රජරටට බැඳගෙන වහින කාලෙ. හත්දා වැස්ස වහින්නෙ ඔය කාලෙට. මම මෙහෙ ආපු කිට්ටුව නම් ඒ කිව්වෙ අවුරුදු විස්සකට විතර එහාදි උඳුවප් මහේ වහින හත්දා වැස්ස කම්මුතුවක් වෙන්නෙ මනම්පිටිය ගල්ලෑල්ල දිහාවෙ මඩකලපු පාරත් ගංවතුරට යට වෙලා.පරාක්‍රම සමුද්‍රෙ හොරොව් ඇරියම දෙගොඩ තලා ගලන වතුරෙං මේ පළාතම යට වෙනව. ඒ වතුර බැහැල යන්ට ආයෙ අඩුම ගනනෙ තුන් දොහක්වත් යන එක යනවමයි.

      ඒත් දැන් මතක ඇති කාලෙක ඒ විදිහට දෙගොඩ තලා යන්ට වැස්සෙ නෑ. සොබාව දර්මයාත් දැං වැඩ ඕන ඕන විදිහට. මිනිස්සු වාගෙම තමා. හිතුනොත් වස්සනව.නැත්නම් නිකං ඉන්නව....හෙහ්, හෙහ්,

      පළුගහ යට පොඩි කනප්පුව උඩ බාගෙ බෝතලයක්....කනප්පුවෙ පොලිෂ් එක පිච්චිල තියෙන්නෙ අසෝක වීදුරුවෙ අඩියෙ ගානට රවුම් රවුම් සිය ගානකින්. පහුගිය අවුරුදු ගානට කී පාරක් අසෝක වීදුරුව මාතින් මේ කනප්පුවෙන් ඉස්සිල ආයෙම තියවෙන්ට ඇද්ද මේ කනප්පුව උඩින්.....

      නුවර ඉඳල ආවෙ අර්ධ සුඛෝපභෝගී බස් එකක උනාට මුළු සරීරෙම නිකං පොල්ලකිං තලාදැම්මහෙ කෙඩෙත්තුයි.සීට් උසට තිබ්බට දණිස් පොල්කටු දෙක නිකටෙ වදිනව නෙව ඒ සීට් වල ඉඳගත්තම.අම්මයෙ බඩේ ඉන්න විදිහ ආයෙම මතක් කරක්ල දෙන්නද කොහෙද ඔය විදිහට සීට් හදාල ඇත්තෙ...

      එකක් දාගත්තනම් අමාරුව ඔක්කොම යයි..හ්ම්ම්...බලමු එහෙමවත් කරල...

      මගෙ උරෙස්සට ෂර්ට් එකක් වැටුන. හැරිල බලද්දි වසන්ති....එයා මයියොක්ක පීරිසිය කනප්පුව උඩ තියල මා දිහා බලල හිනා උනා...කවදාවත් වරදින්නෙ නැති හිනහව.ජීවිතේ දාල පිස්සිල ගියත් හිත කීරි ගැහිල යන දුකකින් පිරිල තිබ්බත් වසන්තිගෙ මේ හිනාව කවදාවත් මැකුණෙ නෑ. මටත් බොහෝ වෙලාවට ජීවිතේට පන්නරයක් උනේ ඒ හිනාව. මෙච්චර ප්‍රශ්න තියාගෙන මේකිට හිනා වෙන්ට පුලුවන් නම් ඇයි මට බැරි?..එහෙම හිතල ඒ හිනාව මටත් බෝ කරගන්ට බැරිවෙයිද කියල බලන්ට මම ඇගෙ තොල් වැරෙන් සිප ගත්තු අවස්ථා අනන්තයි අප්‍රමාණයි.

      " මහත්තය සීතලේ නිසා මම ෂර්ට් එක ගෙනාව. " 

      ඇගේ ස්වරයෙ තිබ්බෙ දැඩි සෙනෙහසක්. අම්ම කෙනෙක් තමන්ගෙ පොඩි එකාට දක්වන විදිහෙ නිරාමිස සෙනෙහසක්. මම යාන්තමට හිනා වෙනගමන් ඇගෙ ඉණ වටේ අත දාල මා ලඟට ඇදල ගත්ත. 

      " ඉන්නකො මහත්තය ලිපේ කිරි කොස් ඇතිළිය..මම ඒක බලල එන්නම්….."

      වසන්ති මගෙන් හෙමීට මිදිල ගෙට ගියේ හිනාවෙමින් ....රෑ හත අට වෙනකල් දෙවට දිගේ මිනිස්සු එහෙ මෙහෙ යනව. මිනිස්සුන්ට පේන්ට ඔය කෝලිත්තං කරනවට වසන්ති කැමති නෑ....

      ආ..ඔන්න තව පරණ කතාවක් මතක් වුනා..උඹ මතක්ද මුලින්ම මගෙන් ඇහුවෙ අර රන් රෝස පොත ගැන..කොන්ස්ටන්ටීන් පවුස්තවුස්කි ලියපු නිර්මාණාවේශය පිළිබඳ අනගි කෘතිය..පරිවර්තනය ආරියවංශ පතිරාජ....මතකයි නේ?

      Delete
  25. රවීයියා "වාන්පතුල්" වගේ සීරිස් එකක් ආයි දෙන්නකෝ. එතකොට 600 නෙමේ 6000 ම ලියන්න පුළුවන් නොවැ.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      වෙරි ගුඩ් අයිඩියා..දෙයියම්ප..වං පතුලකුත් ආය ලියන්ට ඕන තමයි...:)

      Delete
  26. Congrats Ravi!. This is a lovely piece of writing. You know what, I’ve read almost all of your writings (probably the only blog I did that) Keep writing and we’ll be there to read.

    ReplyDelete
    Replies
    1. Thanks Udaya,

      I know you are one of my constant readers. (As Stephen King would say...)

      "Dear constant reader, take my hand and hold on to it with your life because I am going to take you on a journey so terrifying that you would wish you never started...."

      That's from Stephen King's web site ( I love his writing)

      Delete
  27. හොඳම උපහාරය තමයි ලියපු ඒවා කියවීම. මම ගොඩක් පරණ ඒවා සීරීස් කියෙව්වා. ඔය උඩ දාල තියෙන 'මගේ නොවන මගේ ආදරය' එක පෝස්ට් එකද තියෙන්නේ. එහෙම කැටගරි එකක් නැති නිසා. ක්ලියෝපැට්‍රා අමතක නොවේවා. WIshyou the best in everything.

    ReplyDelete
    Replies
    1. Ian,

      /හොඳම උපහාරය තමයි ලියපු ඒවා කියවීම/

      යස් කාන්ට් ඇග්‍රී විත් යූ මෝ ඩියර් ඉයන්..ලියන එව්ව කියවනවනම් එච්චරම තමයි ඕන....

      /ඔය උඩ දාල තියෙන 'මගේ නොවන මගේ ආදරය' එක පෝස්ට් එකද තියෙන්නේ. එහෙම කැටගරි එකක් නැති නිසා../

      "මගේ නොවන මගේ ආදරය.." කියන්නෙ.."කොළරා කාලේ ආලේ" සහ "කුමරියකට පෙම් කලෙමි" අන්න ඒ කතා මාලාවෙම දිගුවක්...

      /ක්ලියෝපැට්‍රා අමතක නොවේවා./

      මම දන්නව ඉයන් බොහොම ආසාවෙන් ඉන්නෙ ඒ කතාවෙ අනික් හරිය කියවන්න..හෙහ්...හෙහ්..ඒත් මට දැන් ඒ කාලෙ ඒක ලියන්න තිබ්බ ගැම්ම නැතිවෙලයි තියෙන්නෙ...ඒත් මමත් හරිම ආසාවෙන් ලියන්න පටන් ගත්තු කතාවක් ඒක..බලමු මොකක් හරි කරන්න...:)

      Thanks so much for your wishes...I know it's from the bottom of your heart...:)

      Delete
  28. මෙච්චර කාලයක් උනන්දුවේ අඩුවක් නැතුව මේක රන් කරන එකම ලොකු දෙයක්. බ්ලොග් ලියපු බොහෝ දෙනෙක් ෆේස්බුක් එකට මාරු වෙලා හරි බ්ලොග් ලිවිල්ල එහෙම පිටින්ම නවත්තලා දාලා හරි තියන වෙලාවෙ, බොලා මේ විදිහෙන් ලියන එකත් පුදුමයි... ඇත්තම කියනවා නම් මගෙ කියවීමත් දැන් අඩු වෙලා... කාරියබහුලයි කියල කිව්වට ඇත්තටම කොරපු දේකුත් නෑ... ඒකෙන් මේකෙන් කාරි නෑ... ලියාගෙන ලියාගෙන යමංකො ඔහොම...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි තිසර මල්ලි,

      ජීවිතේ බාගෙකටත් වැඩියෙන් ගෙවිල ගියාට පස්සෙ අහම්බෙන් සෙට් වෙච්චි වැඩක්නෙ බං මේක....

      ඒ හින්ද මට මේකෙං ලබාගන්න ඇති දෙයක් නෑ (උඹල වගෙ හිත හොඳ මිනිසුන් සහ ගැහැණුන් රාශියක් හඳුනා ගන්නට ලැබීම හැර)

      ඉතිං බොලා මම මේ ලියන බූත කියවල සතුටක් ලබනතෙක් සහ ලිවීමෙන් මට සතුටක් ලැබෙන තෙක් මම දොගටම ලියනව..එච්චරයි..nothing more and nothing less...:)

      Delete
  29. මට මුලින්ම මේ බ්ලොග් එක හම්බුනේ ඩුඩ් ලියපු පෝස්ට් එකක ඔබතුමාගේ වාන් පතුල් සීරීස් එක සයිට් කරලා ලින්ක් එකක් දාලා තිබ්බ එකකින්.
    මට මතක විදියට ඒකෙ තිබුණෙ මෙහෙමයි.

    "මම පන්තියට යන්න කලින් **** ගේ ***** යි, රවී ගේ වාන් පතුල් නුයි එහෙම කියවලා මූඩ් එක එහෙමත් ෆික්ස් කරගෙන ගියේ".

    තරු දාපු බ්ලොග් එක ගෑණු ළමයෙක් ලියපු බ්ලොග් එකක්. හරිම ලස්සන පෝස්ට් තිබුණත්, දැන් ලියවෙන්නේ නැහැ. මට දැන් නම මතක නෑ, ඒකයි තරු දැම්මෙ.

    මම ඇවිත් වාන්පතුල් කතා ඔක්කොම හොය හොයා කියෙව්වා. හැබැයි කොමෙන්ටු දැම්මේ නැහැ. ඊට ටික දවසකට පස්සේ තමයි ඔබතුමා ගුරුවරී ගේ කතා ලියන්න පටන් ගත්තේ.

    මට මතක විදියට මම මුල්ම කොමෙන්ටුව දැම්මේ කවිකාරියකගේ ප්‍රේමය අවසන් කොටසට. ඒකෙ අවසානයේ ඔබතුමා ලියපු ඉතා සංවේදී පරිච්ඡේදය කියෙව්වට පස්සේ කමෙන්ටුවක් දාන්නම ඕන කියල හිතුණු නිසා. ඔබතුමාගේ සමහර පෝස්ට් වලට දාපු පල් හෑලි වගේ දිග ප්‍රහසනාත්මක කමෙන්ටු දැකල, මගේ බ්ලොග් එකට එබිල බලපු අයත් හිටිය. හැබැයි පොඩි කාලෙ ඉඳලම මම ගොඩක් වාසනාවන්ත පුද්ගලයෙක් නම් නෙවෙයි, කට්ට කන කෙනෙක්. ඒ හින්දමද මන්ද මම ආවත් හරි, කියවන්න ගත්තත් හරි, ඊට ටික කාලෙකට පස්සේ තමයි අපූරුවට අභයගිරි මතක, ඕලු මලේ කතන්දර, ගුරුවරී ගැන ලියපු මනුස්සය පුවක් ඇහිඳින්න පටන් ගත්තෙ.

    ඔබතුමාගේ අතීතාවර්ජනය දැකල මටත් අතීතය ටිකක් මතක් උනා. හරි ඒකෙන් මේකෙන් කාරී නෑ, එකසිය විස්සට දෙසිය විස්සක් ආයුෂ අරගෙන, අපිට වයසට යනකම්ම කියවන්න රසවත් පොස්ට් ලියන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා. සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. //ඒ හින්දමද මන්ද මම ආවත් හරි, කියවන්න ගත්තත් හරි, ඊට ටික කාලෙකට පස්සේ තමයි අපූරුවට අභයගිරි මතක, ඕලු මලේ කතන්දර, ගුරුවරී ගැන ලියපු මනුස්සය පුවක් ඇහිඳින්න පටන් ගත්තෙ.//

      ආ.. මේ තියෙන්නේ හේතුව! මට හිතුන!!

      Delete
    2. /"මම පන්තියට යන්න කලින් **** ගේ ***** යි, රවී ගේ වාන් පතුල් නුයි එහෙම කියවලා මූඩ් එක එහෙමත් ෆික්ස් කරගෙන ගියේ"./

      ඩූඩා ඔහොම කියන්න ඇත්තෙ බොහෝ විට එක්කො අර ජානිස් ගොයිය ලියපු ජනූගේ කතා බ්ලොග් එක ගැන ..එහෙම නැත්තං පොඩි කුමාරිහාමි ලියපු පොඩි කුමාරිහාමිගෙ වලව්ව බ්ලොග් එක ගැන වෙන්න ඕන..

      හැබෑට අපේ ඩූඩට වෙච්චි දෙයක් නැහැනෙව. අවුරුද්දකට හමාරකට වගෙ කලින් නම වත්පොතේ හරි දැක්ක. දැං ඒකත් නෑ...සෙක්...එළ බුවා....

      ඔබගේ හෘදයාංගම සුබ පැතුම් උදෙසා මගේ සාතිශය ස්තූතිය මානවිකාවනි!!

      Delete
    3. ලිබිට්ස්,

      ආ..එහෙමද? හිතුනද? එහෙමද ආස?...:)

      Delete
  30. මාත් මුල ඉදලම මේක කියවනවා comment කරේ නැත්තෙ නම් කම්මැලිකමටම තමා.... අර දඩයක්කාරයගෙ මගුල ඇරෙන්න අනිත් ඔක්කොම වගේ කියවලා තියෙනවා... දැන්නම් අර පරණ පුරුද්දට කියවනව මිසක් බොගේ නම් මෙලෝ රහකට නෑ... අනන්‍යගෙ මගුලයි උඹේ පොලිටික්ස් නිසයි අය්යෙ මේක දැන් බ්ලැක් ලිස්ට් කරන තැනටම ඇවිල්ල තියෙන්නෙ... අර වාං පතුල් වගේ රහ කර කර බලපු බ්ලොගේ මේකමද කියලත් වෙලාවකට හිතෙනව දැන් දාන මගුල් දැක්කම... මොනා කොරන්නද ඉතිම් තමන්ගෙ කැමැත්තනේ....

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...