Tuesday, December 18, 2018

620. මව් ගුණ සමර - 2 - ස්වදේශික සැලූන් සහ රැජිනගේ සීගිරි ගමන....

මේ පිළිමතලාවෙ ඔර්ලෝසු කණුව ..ඔතනම පොඩ්ඩක්
එහායින් තමයි ස්වදේශික සැලූන් එක තියෙන්නෙ...

අනූනමයෙ අවුරුද්දෙ මම මහවැලියෙන් ඉල්ලා අස්වෙලා ගෙදර ආව. 

අර දවස් දෙක තුනකට ඉස්සෙල්ල අති ගරු මරා මහත්තය ඉල්ලා අස්වුනා වගේ සුබ නැකතකින් උත්සවාකාරයෙන් එහෙම නෙවෙයි හොඳද? නිකම්ම ඉල්ලා අස්වුනා. ඊට පස්සෙ ඇඳන් පුටු මේස කෑලි තිබ්බ ලට්ට ලොට්ට අපේ ඔෆිස් එකේ ඉසුසු ලොරියෙ පටවගෙන ගෙදර ආව.

අපේ ප්‍රියම්බිකා තොමෝ ගෙ ඉස්කෝලෙ ගෝලයො තමයි හත් අට දෙනෙක් ඇවිල්ල බඩු පැටවීම් බෑම් වලට එහෙම බොහොම මගන්සි වෙලා උදව් කලේ. අපරාදෙ කියන්ට බෑ. අපේ උන්දැගෙ ගිය ගිය තැන ඉස්කෝලවල ගෝලයො උන්දැට පන ඇරල. 

මම මේ පම්පෝරියකට එහෙම කියනව නෙවෙයි. ඒක තමයි ඇත්ත. මොකද අපේ යෝදි ආය නෑ රාජකාරිය කරන්නෙ බොක්කෙන්මනෙ. ඒකයි. බොක්ක කිව්වට බොක්කටත් අඟල් හයක් විතර යටින් තියෙන්නෙ අර පිත්තාසෙද ඇලදිවද කියල මොකද්ද එකක්. අන්න ඒකෙන් තමයි ඔවුන්දැ රාජකාරි කරන්නෙ. කරන්නෙ කිව්වට ඇත්තටම නම් කලේ කියල නිවැරදි වෙන්න ඕන. මොකද උන්දැ මේ වෙනකොට විශ්‍රාම අරගෙන.

ඉතින් අදත් මම මේ කියන්න යන්නෙ මගේ මව් ගුණ සමර මතක සැමරුම් මාලාවෙ තවත් එක කතාවක්…

ඉතිං ඔහොම තිබ්බ ලී බඩු කෑලි ටික අපේ ගෙදර දාල මම ගෙදර පදිංචි වුනා. මම ඔය ගෙදර ආවෙ ජූලි මාසෙ දවසක...ඒ හින්ද අවුරුද්ද අවසානෙ ඒ කියන්නෙ දෙසැම්බර් වෙනකල් එතුමියට ස්ථාන මාරුවක් ගන්න බැහැ. සාමාන්‍යයෙන් ප්‍රබල දේශපාලන බලපෑමක් නැත්තං ගුරුවරුන්ට ගුරුවරියන්ට වසර මැද ස්ථාන මාරු දෙන්නෙ නැහැ. අපිට ඉතින් කොහෙන්ද දේශපාලන සම්බන්ධකම්?...අපිට කොයින්දෑ ඉතිං භූල් භල්ලො කිව්වලු...

ඉතිං වෙන අහවල් දෙයක් කොරන්නෙයි?...එතුමිය මාතලේ එතුමියගෙ ගෙදර ඉඳල ඉස්කෝලෙට ගියා. මම අපේ ගෙදර නැවතුනා. සති අන්තයෙ මම යනව එයාලගෙ ගෙදර. ඒ කරල සති අන්තය එහෙ ගත කරල සඳුද උදේ පාන්දර පහේ බස් එකේ එනව දෙන්නත් එක්ක මාතලේට. ඊලඟට එතුමිය ඔය බකමූණ නැත්නම් ගිරිතලේ බස් එකක නැඟල ඉස්කෝලෙට යනව. මම නුවර බස් එකක් නැඟල ගෙදර එනව.

ඔය වෙනකොට අපෙ ගෙදර හිටියෙ ලොකු නංගියි අම්මයි විතරයි. පොඩි නංගි බැඳල ගිහිල්ල බදුල්ලෙ. ලොකු නංගිත් හත වෙනකොට වැඩට යනව. ආය ගෙදර එන්නෙ රෑ හතත් පහුවෙල. එයයි වැඩ කලේ පේරාදෙණිය පාරෙ පරිගණක අධ්‍යාපන ආයතනයක. ඉතිං දවල් දවසෙ මමයි අම්මයි විතරයි ගෙදර. 

මම ආයම රස්සාවකට ගියේ සැප්තැම්බර් නැත්නම් ඔක්තෝබර් මාසෙ. එතකල් ගත වෙච්චි මාස දෙක හෝ තුනක වගෙ කාලය මම හිතන්නෙ අපේ අම්මගෙ ජීවිතේ ඉතාම සතුටුදායක කාලයක්. මේක මගෙ හිතලුවක් නෙවෙයි. අම්මම මා එක්ක එහෙම කිව්ව. මොකද අම්මගෙ එකම පුතා ඒ වගේම පවුලේ වැඩි මහළු දරුවා විදිහට අම්ම මට පුදුම විදිහට ආදරේ කලා. 

මම ගෙදරින් වෙන් වුනේ අවුරුදු දොළහක් වගෙ වයසෙදි. ඊට පස්සෙ උසස් පෙළ කරල අනුරාධපුරේ කාර්මික විද්‍යාලයෙ ආධුනික සැළසුම්ශිල්පී පාඨමාළාව හදාරපු වසරක කාලය සහ ඊටත් පස්සෙ සංස්කෘතික ත්‍රිකෝණයෙ සේවය කරපු වසරක වගෙ කාලය ඒ කියන්නෙ වසර දෙකක් දෙකහමාරක් වගෙ කාලය හැරුනම මට එක දිගට ගෙදර ඉන්න අවස්ථාවක් ලැබුනෙම නෑ.

ඉතිං මේ මම දවසම ගෙදර ඉන්න එක අම්මට හරියට ඉහේ මලක් පිපුනා හා සමානයි ඔන්න කොටින්ම. මට ඒ දවස්වල අනම් මනම් කාල තේ බීල ඉවරයක් නෑ. අම්මට නිතරම කහට තේ ඕනෙ. ඉතිං එයා කරන්නෙ එයාට හදාගන්නකොට මටත් කෝප්පයක් අරං එනව. ඕක එපා කියල නිකම් මොකටද අම්මගෙ හිත රිද්දන්නෙ කියල මමත් බැරි මරගාතෙ බීල දානව.

ඒ දවස්වල මගේ දිනචරියාව මෙහෙමයි. හතට වගෙ නැඟිටල වත්ත පිටිය ඔක්කොම අතුගාල දානව. සතියකට සැරයක් වගෙ ඉණිමඟ (අපෙ තිබ්බ ලී ඉණිමඟක්...මේ පාර අම්මගෙ මළ ගෙදර ගිය වෙලේ මම දැක්ක ඒ ඉණිමඟ තවම තියනව බොහොම අබල දුබල තත්වයෙන් ගේ පිටිපස්සෙ දරමඩුවෙ පැත්තක දාල) හේත්තු කරල වහලට නැඟල වහලෙ කාණු වල තියන කොළ රොඩු ඔක්කොම සුද්ද කරනව. 

අපේ ගේ වටේටම තිබ්බෙ මහ විසාල ගස් හෝටාවක්. කොස්,අඹ,අලිපේර,මහෝගනි වගෙ සාරෙට හැදිච්චි ගස් එක දහයකට වැඩිය තිබ්බ ගේ වටේට..ආ..ඇඹරැල්ල ගහකුත් තිබ්බ..තව ජම්බු ගහකුත්. ඉතිං ඔව්වයෙ වේලිච්ච කොළ වැටිල වහලෙ වැහි පීලි නිතරම පිරෙනව. අව්ව සැරට වැහි පීලි ඇඹරිල වගෙ තිබ්බ හින්ද (එදවස Ultra-violet Stabilized PVC හොයාගෙන තිබ්බෙ නැද්ද කොහෙද මං හිතන්නෙ..) වහළට නැඟල කොළ රොඩු සුද්ද කලේ නැත්නම් වෙන්නෙ වහිනකොට පීළි උතුරල වඩිම්බුයි සීලිමයි ඔක්කොම තෙමෙන එක.

ඉතිං ඔය වත්තෙ පිටියෙ වැඩ ටික ඉවර කරල අපේ ගෙදර මිදුලත් එක්කම පල්ලෙහයින් තියන ලිඳෙන් ඇඟපත එහෙම හෝදගෙන මම පයින්ම යනව පිළිමතලාවට. අපේ ගෙදර ඉඳල පිළිමතලාවට මහ පාරෙන්නම් ඇති කිලෝ මීටර් දෙකහමාරක් තුනක් වගෙ. ඒත් මහපාරට නොගිහින් පන්සල ගාවින් රේල්පාරට ගොඩ උනහම අච්චර දුරක් නෑ. අනික රේල්පාරෙ සිල්පර කොටෙන් කොටේට අඩිය තියන හින්ද කොහොමත් ගමන ඉක්මන්.කොහොම උනත් උපරිම විනාඩි විස්සකින් ගිහෑකි පිළිමතලාවට.

පිළිමතලාවට ගිහිල්ල ඔය ගෙදරට ඕන එළවළු එහෙම දෙක තුනකුත් මම ගන්නව අම්ම ගේන්න කිව්වොත්. පිළිමතලාවෙ ඔර්ලෝසු කණුව ගාව පාර දෙපැත්තෙම ඒ දවස්වල තිබ්බෙ පොඩි පොඩි එළවළු කඩ. සතියකට සැරයක් වගෙ මම රැවුල කපාගන්නෙත් පිළිමතලාවෙන්. රැවුල කපාගන්න මම යන සුවිශේෂී බාබර් සාප්පුවක් තිබ්බ. අප්පට උඩු බාබර් සාප්පුව කියනකොට ඔන්න මතක් වුනේ..මගේ අර කරණවෑමියගෙ කතන්දරේ තවම ඉවරයක් කලේ නෑ නේද? මතකදත් මන්දා ඔබ තමුන්නාන්සෙලට? අර ඝාතකයගෙ කතාව..හරි හරි ඒක එහෙනම් විගහට ලියල ඉවරයක් කරන්නම්කො...

ඉතිං ඔය ස්වදේශික සැලූන් එකේ (ස්වදේශික සැලූන් තමයි මම අර යන එන බාබර් සාප්පුවෙ නම) විශේෂත්වය මොකක්ද දන්නවද? ඒක ඇවිල්ල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැලූන් එකක්. අර වවුල් දොරවල් දෙකේ ඉඳල ඔලුවට මූනට වතුර විදින තඹ පාට දඟරයක් පොරොප්පෙට සවිකරපු සුදුපාට ලොකු බෝතලේ, එතකොට හම්පටියෙ උළන කරකැත්ත නොහොත් දැලිපිහිය එතකොට බිත්තියෙ එල්ලපු පස්වන ජෝර්ජි අපමහ රජිඳාණන්ගෙ පෝටොස්... එව්ව ඔක්කොම ඒකෙ තියනව කිසිම අඩුපාඩුවක් නැතුව.ආ..පස්වන ජෝර්ජි කියන්නෙ අපෙ එළිසබෙත් අක්කගෙ අත්තා නොහොත් ග්‍රෑම්පා...

ආ..ඊට ඉස්සරහ බිත්තියෙ තියනව එළිසබෙත් අක්ක ලංකාවට ආපු වෙලාවෙ මම ඔය කියන්නෙ 1981 ආපු එක නෙවෙයි ඊට කලින් 1954 අවුරුද්දෙ ආපු එක..ඒ ආපු වෙලාවෙ ගත්තු පෝටොස් රාමු කරල...

ඒ දවස්වල ලංකාවෙ අගමැති සර් ජෝන්...එළිසබෙත් අක්ක සීගිරි නගිද්දිනෙ අර හුළඟට ගවුම උඩ ගිහිල්ල සර් ජෝන් පස්සෙන් හිටපු ෆොටෝග්‍රෆර් කෙනෙකුට කෑගැහුව කියන්නෙ ගනිං යකෝ ගනිංය කියල.

ඔතන ඔය අදාල ෆොටෝග්‍රෆර් ඇවිල්ල හිට අර රියන්සි විජේරත්න කියල හිටියෙ ජේෂ්ඨ ඡායාරූප මාධ්‍යවේදියෙක්..අන්න එයාලු..කොහොමහරි ඔතන සිද්ද වෙච්චි ඇත්තම කතාව වැඩි දෙනෙක් දන්නෙ නෑ. 

මම අර දඹුල්ලෙ කාර්මික විද්‍යාලෙ අර පාඨමාලාව (තුන් අවුරුදු/සන්ධ්‍යා/ අර්ධකාලීන ) කරන කාලෙ සති අන්තයෙ ගිහිල්ල නැවතුනෙ සීගිරියෙ. මම කලින් අර කිව්වෙ එහෙ හිටිය මම කලින් සංස්කෘතික ත්‍රිකෝණෙ වැඩ කරද්දි අඳුන ගත්තු අතිජාත මිත්‍රයෙක්... කට් රොල් මල් ලියද්දි මම අර කිව්වෙ ඒ යස්සය ගැන තමයි. ඔන්න තව ඌණපූරණය කලයුතු කතාවක් මතක් වුනා. හෙහ්...හෙහ්..අහල්‍යාගෙ කතාව...

ඔන්න බලන්න පුදුම අහඹු සමපාතයක් (Coincidence) කියන්නෙ මම ඔය අහල්‍යාගෙ කතාව ලියල තියෙන්නෙ අදට හරියටම අවුරුදු හතරකට ඉස්සෙල්ල. ඒ කියන්නෙ 2014 දෙසැම්බර් 18 වෙනිද...

අපි ගිහිල්ල නතරවුනෙ සරත්ගෙ නිල නිවාසෙ. එතනම එහා පැත්තෙ තියෙන්නෙ පුරාවිද්‍යා සර්කිට් එක නොහොත් සංචාරක නිවාසය. ඕකෙ භාරකාරය විදිහට ඒ දවස්වල හිටියෙ ජෝන් අයිය. ඒ වෙනකොටත් මම ඔය කියන්නෙ අසූ ගණන් වල අග හරිය. අපි ඔය පාඨමාලාව කලේ 1985-1988 වෙනකල් වයස හැත්තෑවකට වගෙ කිට්ටු කරල ඇති මයෙ හිතේ.

දවසක් අපි ඉනාමළුවෙ හන්දියෙ බාර් එකෙන් ඩබල් ඩිස්ටිල්ඩ් බෝතල් දෙකක් එහෙම අරගෙන ගිහිල්ල සරතගෙ ක්වාටර්ස් එකේ පොඩි ආතල් එකක් ගත්ත.ඒ සෙනසුරාද දවසක්. පහුවදා ඉරිද පෝය හෝ වෙන මොකක් හෝ ප්‍රසිද්ධ නිවාඩුවක් හින්ද අපිට ලෙක්චර්ස් නෑ. ඒ හින්ද අවුලක් නෑ. කීයට හරි ආපහු ඔෆිස් එකට ගියානම් අත්සන් කරන්ට ඉඩ තියනව. රතු ඉර ගහන්නෙ නෑ. අර වසන්ති දවසක් රතු ඉර ගහල වෙච්චි අලකලංචිය ඔබ තමුන්නාන්සෙලාට මතකයිනෙ නේද? හෙහ්...හෙහ්..

සර්කිට් එකේ ජෝන් අයියටත් සරත ආරාධනා කලා සාදයට. ජෝන් අයිය මරු පොර. පරණවිතාන මහත්තය එක්කත් ඒ කාලෙ වැඩ කරල තියනව.ඊට පස්සෙ රාජා ද සිල්වා, සද්ධාමංගල කරුණාරත්න වගෙ කොමසාරිස්වරු යටතෙත් වැඩ කරල තියනව.

ඒ ඔක්කෝටමත් වැඩිය එදා සරතගෙ ක්වාටර්ස් එකේ මිදුලෙ මයිල ගහ යට රවුමට පුටු තියාගෙන අපි මධුවිත සප්පායම් වෙද්දි නියම කතාවක් කිව්වජෝන් අයිය..

"හෙහ්,හෙහ් මහත්තයල දන්නවද නමසිය පණස් හතරෙ මහේසිකාවුන්නාන්සෙ (අපෙ අත්තම්මත් එළිසබෙත් අක්කට කිව්වෙ මහේසිකාවුන්නාන්සෙ කියල. මම හිතන්නෙ එහෙම තමයි ඒ කාලෙ ලොක්කිට ගෞරව පුරස්පරව ආමන්ත්‍රණය කරන්න ඇත්තෙ) සීගිරියට ආපු වෙලාවෙ මමත් ඒ කිට්ටුවෙන්ම පස්සෙන් ගියානෙ ගල මුදුනටම.."

"නෑ ඇත්තටම?" අපේ කවුරුහරි කටත් ඇරගෙන ඇහුව..

"එහ්හෙන්නං..මම මොකටද ආය බොරු කියන්නෙ?"

"හරි හරි ජෝන් අයිය කතාව කියන්නකො…" සරත කිව්ව.

"හරියටම ඔය සිංහපාදයෙන් ටිකක් උඩහට වෙන්ට තියනව යකඩ පඩි පෙළක් (මගේ සටහන - ඔතන තියෙන්නෙ සිංහ පාදයක් නෙවෙයිය ගුරුළු පාදයක්ය නැත්නම් ගරුඬපාදයක්ය කියල මේ දවස්වල බොහොම ලොකු ආන්දෝලනයක් තියනව නේද රට පුරා?) ඔය පඩි පෙලේ මහේසිකාවුන්නාන්සෙ නඟිනකොටම එක පාරටම තද හුළඟක් ඇල්ලුවනෙ..."

"හුටා ඒ පාර තමයි එහෙනම් අර සර් ජෝන්…" මට කියවුනා..

"එහ්හෙන්නං එහ්හෙන්නං..අගමැතිතුමාට ඒ වෙලාවෙ තමයි එහෙම කියවුනෙ…"

"අඩේ ඔය කතන්දරේ අනන්ත පත්තරවලින් කියවල තිබ්බට ඇත්තටම ඒ වෙලාවෙ එතන ඉඳල වෙච්චි දේ ඇස් දෙකෙන්ම දැක්ක කෙනෙක්ගෙ කටින්ම ඒ ගැන දැනගන්න ලැබෙන එකත් එක්තරා විදිහක වාසනාවක්…" මම කිව්ව.

"හෙහ්..හෙහ්..මහත්තයල ඇත්තටම සිද්ද වෙච්චි දේ දන්නෙ නෑනෙ" ජෝන් අයිය අහක බලාගෙන කිව්ව..

"ඈ? මොක්කද ඇත්තටම සිද්ද වුනේ? "

"එතන ඇත්තටම සිද්ද වෙච්චි දේ කිසිම පත්තරේක පලවුනේ නෑ. මොකද එතන අපි කීප දෙනයි හිටියෙ. ඒ කාලෙ අපි ඉතින් ඔව්ව අතන මෙතන කියන්න ගියෙත් නෑ…" ජෝන් අයිය කට කොණකින් හිනාවෙලා කිව්ව..

"හරි හරි මොකක්ද ජෝන් අයියෙ එතන උනේ? කියන්නකො තවත් එහාට මෙහාට අදින්නෙ නැතුව.."

"මහත්තයො හුළඟක් ඇවිල්ල මහේසිකාවුන්නාන්සෙගෙ ගවුම උඩ ගිය වෙලාවෙ අගමැතිතුමා ගනිං ගනිං කියල කෑගැහුවනෙ. ඒත් උන්නැහැ කොච්චර කලබල උනාද කිව්වොත් කෑගැහුවෙ සිංහලෙන් නෙවෙයි ඉංග්‍රීසියෙන්...Take.. you bloody rascal... take කියල"

"නෑහ්? අඩේ රැජිනටත් ඇහෙන්න ඇති නෙ.."

"ඇහුනදත් අහනව...එතුමිය හිටියෙ පඩි දෙක තුනකට උඩින් නෙව..ඉතිං නෑහී තියෙයිය?"

"ඊට පස්සෙ?..." අපි ඔක්කොමලහෙ ඇස් ජෝ අයියගෙ කට දිහාට එල්ලවෙලා තිබ්බෙ ඒ වෙලාවෙ.

"ආය මොනවද මහේසිකාවුන්නාන්සෙ එහෙම්මම ආපහු හැරුන... ඉඳා ගනිං කියල ගවුම ඉස්සුව"

"සිංහලෙන්ද එහෙම කිව්වෙ?" සරත ඇහුව. 

"පිස්සුද මහත්තයො මොකෝ මහේසිකාවුන්නාන්සෙ සිංහල දන්නවය? එතුමිය කිව්වෙ OK I don't mind..Take you bloody rascal take... කියල ගවුම ඉස්සුව" ජෝන් අයිය එහෙම කියල හක හක ගාල හිනාවුනා...

පසු සටහන - 

මව් ගුණ සමර ලියන්ට කියල දතකට මැදගෙන ලැහැත්ති උනාට සීයට අනූඅටක්ම ලියවිල තියෙන්නෙ බහුබූත පල් හෑලි සහ පඳුරු තැලිලි..

මොකක් කොරන්නෙයි? එව්වයෙ හැටි එහෙම තමයි..අම්ම උනත් ඔය ඉන්න තැනක ඉඳල බලල කියවල මම නොදන්නවැයි මගෙ පුතාගෙ හැටි කියල හිනාවෙයි..මට ඒ ඇති ඉහටත් උඩිං....හෙහ්,හෙහ්,

පසු පසු සටහන - 

මේ දවස්වල ටෙස්ට් ක්‍රිකට් තරඟාවලි දෙකක් පැවැත්වෙනව. එකක් ඉන්දියා-ඕස්ට්‍රේලියා සහ අනික ශ්‍රී ලංකා-නවසීලන්ත. ඉන්දියා ඕස්ට්‍රේලියා තරඟාවලියෙ පළවෙනි තරඟය ඉන්දියාව දිනුව. ඒත් අද දැන් මේ පැය තුන හතරකට ඉස්සෙල්ල පර්ත්වල පැවැත්වුනු දෙවෙනි ටෙස්ට් එකෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 146 කින් දිනුව. ස්ටිව් ස්මිත් සහ වෝනර්ගෙ අජූත සීන් එකෙන් පස්සෙ අන්තිමට වැටිල හිටපු ඕස්ට්‍රේලියාවට මේ ජයග්‍රහණය ලොකු දෙයක්. 

ඊගාවට අපේ මැච් එක. ලංකාව පලමු ඉනිම ලකුණු 282යි. නවසීලන්තෙ ගැහුව 578ක්.දෙවෙනි ඉණිමෙ ඊයෙ අපි එක වෙලාවක 20/3 වෙලා තිබුන. 

ඒත් අද ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් දෙන්නම ශතක වාර්තා කරල අපේ කට්ටිය යම් ගෞරවාන්විත මට්ටමකට ගෙනාව. මුලු ලකුණු 259/3 (මැතිව්ස් 117 නොදැවී සහ මෙන්ඩිස් 116 නොදැවී) 

හෙහ්..හෙහ්..කාලෙකට පස්සෙ ක්‍රිකට් ගැන කියවල ලේ කෝප නොවුනු දවසක්...

මේ මැතිව්ස් ලොක්ක සෙන්චරිය ගහල පිච් එක මැද Push-ups ගහනව.
ඒ ඔය හතුරුසිංහට එහෙම කින්ඩියට. දැන් මාස හතර පහක
ඉස්සෙල්ල මැතිව්ස්ගෙ ෆිට්නස් මදි කියල මිනිහව වන්ඩේ ටීම්
එකෙන් අයින් කලානෙ. ඒහින්ද මිනිහ ෆිෆ්ටියක් සෙන්චරියක්
ගහපු හැම වෙලාවෙම ඩ්‍රෙසිං රූම් එක පැත්තට හැරිල
හතුරුසිංහට කෝචොක් එකක් දාන්න අමතක කරන්නෙ නෑ
..හෙහ්..හෙහ්..අවුලක් නෑ ලොක්කා... ඕන කින්ඩියක් දාපන්..
ඔහොම්මම ඩබලකුත් ගහපං...හෙහ්..හෙහ්

20 comments:

  1. දැං කියවන්න වෙලාවක් නෑ. ආයෙ එඤ්ඤං.

    ReplyDelete
  2. ඔහේ ඉතිං පරන කතා මතක්කර කර ඉන්නෙත තමයි කරන්නෙ හැමදාම නෙහ්.

    ඉතිං රැජිනි ගනිං කිව්වට පසසේ අපේ උන්දැත් ගන්න ඇති දෙකට නැමිලම.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      /ඉතිං රැජිනි ගනිං කිව්වට පසසේ අපේ උන්දැත් ගන්න ඇති දෙකට නැමිලම./

      කොහෙ ගන්නද බං? හීනෙකින්වත් හිතයිද ඒ අම්මණ්ඩි එහෙම දෙයක් කරයි කියල. ඔක්කොමල Totally Thushnimboothized වෙලා හිටියලු විනාඩි දෙකක් විතර...

      පස්සෙ දැහැනින් මිදිල බලනකොට රැජින පඩි ටික නැඟල යන්ටත් ගිහිල්ලලු "Let's go Phillip" කියල. ඒ ගමන කට්ටියම දනිපනිගාල ඒ පස්සෙ දිව්වලු.

      Delete
  3. ඔන්න පේනව නේද ගිය පෝස්ට් එකේ කොමෙන්ට් රිප්ලයි නොකිරීමේ පාප කර්මය බොට බලපාන හැටි. හැක්.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      මේ දවස්වල ටෝටලි බුසී බං...අවුරුද්ද අන්තිමේනෙ. ඔෆීෂියලි 5.30 ට ඕෆ් උනාට හැමදාම 6.30ට වගෙ එලියට බහින්නෙ. ඒ එනකොට පට්ට සීතල..ඇවිල්ල කාල කරල පොතකුත් අරගෙන ඇඳට යනව මිසක ආයෙ කම්පියුටර් එක දිහා ඇහැක් ඇරල බලන්ටවත් හිතෙන්නෙ නෑ. ඒකයි කමෙන්ට්ස්වලට රිප්ලයි පරක්කු උනේ..සාතිශය සොරී හොඳේ..

      අදත් මේ මෙහෙ නිදහස් දිනය හින්ද නිවාඩු.. ඒකයි මේ දනිපනි ගාල පෝස්ට් එකක් ලියල දැම්මෙ...:)

      Delete
  4. ඒ ගත්තු ෆොටෝ නැද්ද දන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඔය වෑෂක ඩෑල් වල ඒව මොකටද බං. ඔය නෙට් එකේ තියෙන්නෙ ඉටි කිරිස් ඒව. හැක්..

      Delete
    2. පැතුම්,

      ඒ වෙලාවෙ පොටෝ ගන්න බැරිඋනාලුනෙ බොල...Damn Shame no?

      Delete
    3. ප්‍රසන්න,

      එන්නා වෑෂක දොරේ? ඒ කාලෙ ඒ යෝදිත් ඉටිකිරිස් තමයි.ලංකාවට එනකොට වයස 28යි...:)

      Delete
    4. රවියා, ඒවගේ ෆොටෝ එකක් ගන්න බැරි පොටෝ ගැපර් තියන්න වටින්නේ නෑනේ..
      ප්‍රසා, රාජකීය ඒවා නෑනේ බං හැමතැනම

      Delete
  5. අප්පා, පඳුරු තලන්න දන්නෙ නැති රවිතුමා! අර සැලූන් එකේ විස්තර කියනකොට මට ඒක මැවිලා පෙනුනා. මාත් දැකලා තියෙනවා ඔහොම තැනක්, හැබයි කොහේද මොකක්ද කියලා මතකයක් නෑ. ඔය 'අප මහ රජානෝ' කියන ෆොටෝ එකක් එහෙම.

    උඩ කමෙන්ට්ස් ටික දැක්කම....! මේ ළමයි නම් හරිම වල්... හැබෑටම රවියා නැද්ද කවුරු ගාවවත් ඒ වෙලාවෙ ගත්තු පොටෝ එහෙම...? ;P

    ReplyDelete
    Replies
    1. මියුරු,

      /හැබෑටම රවියා නැද්ද කවුරු ගාවවත් ඒ වෙලාවෙ ගත්තු පොටෝ එහෙම...? ;P/

      ඒ වෙලාවෙ පෝටොස් අරගෙන නෑනෙ බං...අපරාදෙ නේ?

      /අර සැලූන් එකේ විස්තර කියනකොට මට ඒක මැවිලා පෙනුනා. මාත් දැකලා තියෙනවා ඔහොම තැනක්, හැබයි කොහේද මොකක්ද කියලා මතකයක් නෑ. /

      ඔය වගේ බාබර් සාප්පු කාලෙකට ඉස්සෙල්ල ඒ කිව්වෙ අපි පොඩි කාලෙ හැමතැනම වගෙ තිබ්බ. දැනට මම දන්නෙ ඔය පිළිම තලාවෙ එක විතරයි.

      Delete
  6. දන්න කෙනෙකුටත් ඔය වගේ එකක් වෙලා තිබුණ. කෝච්චියක යනකොට සුද්දියෙක් ගේ කකුල් දිහා බලන්න ගිහින්, ඒකි 'බලාගනින්' කියල පෙන්නලා තිබුණ. බලං ගියාම කොල්ලො ඔක්කොම එකයි, එදයි අදයි කියල වෙනසක් නෑ.

    ReplyDelete
  7. https://dress.yournextshoes.com/celebrities-dresses-skirts-wind/

    ReplyDelete
  8. බෑඩ් වෙදර් කියල එක්කෙනෙකුත් ප්ලේ කරලා මැච් එක ඩ්‍රෝවුනානෙ.

    ඉන්දියාව ඉන්දියාවෙදි පකිස්තානෙට පරදිනවා, ඔස්ට්‍රේලියාව ඔස්ට්‍රේලියාවෙදි ඉන්ගලන්තෙට පරදිනවා, රගර් මැච් එකකදි නවසීලන්තෙ නවසීලන්තෙදි ඔස්ට්‍රේලියාවට පරදිනවා වගේ මැච් බලන එක ඔය බ්ලඩ් බොයිලින් ඒවට වඩා හොඳයි.

    ReplyDelete
  9. //මොකක් කොරන්නෙයි? එව්වයෙ හැටි එහෙම තමයි..අම්ම උනත් ඔය ඉන්න තැනක ඉඳල බලල කියවල මම නොදන්නවැයි මගෙ පුතාගෙ හැටි කියල හිනාවෙයි..මට ඒ ඇති ඉහටත් උඩිං....හෙහ්,හෙහ්//

    // //මට ඒ ඇති ඉහටත් උඩිං// //

    For some reason, I felt so sad reading this line...

    ReplyDelete
    Replies
    1. Me too.. මටත් ඒ වැකිය හිතට දැනුණ, නමුත් හිත රිදේවි කියල සඳහන් කලේ නැහැ.

      හැබැයි අම්ම ගැන ලියන් ඇවිල්ල, මහේසිකාවුන්නාන්සේ ගේ ගවුම් උඩ යන ඒවා ලියන්න පුළුවන් ඉතින් රවී තුමාටම තමයි, ඒ නිසා ඉතින් දුකත් හිතුණා, හිනාත් ගියා. :)

      Delete
  10. මව් ගුණ කියවන්න ආවේ...මහේසිකාවුන්නාන්සේ ගැන කියවලා හිනාවෙ බෑ....

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...