Tuesday, September 3, 2024

698 - සැප්තැම්බර් සාහිත්‍ය මාසයේ හොයාගෙන කියවිය යුතු පොත්...


සැප්තැම්බර් ඇවිල්ල හිට සාහිත්‍යය මාසෙ නෙව......ඉතිං මේ මාසෙ ඔය ළමයින්ට හොයාගෙන කියවන්ට හොඳ පොත් කීපයක් නිර්දේශ කලොත් හොඳයි කියල මට හිතුනා..


1. "බුදුන් දවස පැවති ථෙරවාද ආර්ථික ක්‍රමය පිළිබඳව පූර්ණ විග්‍රහයක්" 

- ඉපැරණි ආර්ථික ක්‍රම පිළිබඳව ප්‍රාමාණික විද්වතකු වන ආචාර්ය ආර්.එස්. වික්‍රමසිංහයන්ගේ කෘතියකි.


2. "ජපන් බසින් කථාකොට ජපානයෙන් ආධාර ලබාගැනීමේ ක්‍රමවේදය - අනතවා නමයිවා නන්දෙස්කා, ඔය ළමයින්ට පුලුවංද ජපං?" 

-  ඇස්. ප්‍රේමදාස මහතා විසින්  මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ නිලධාරීන් උදෙසා  විශේෂයෙන් සකස්කල අත්පොතකි. 


3. "මන්ත්‍රී සහ ඇමති පදවිවලින් දොට්ට දැමීමෙන් පසු" 

- එච්. ප්‍රනාන්දු සහ ඇම්. නානායක්කාර මහතුන්ගේ සංවේගාත්මක ප්‍රකාශනයකි.


4. "හිල් බැනියම, හිල් ජොකා සහ තවත් කථා" 

- ඇස්. හඳුනෙත්ති මහතාගෙ කෙටිකතා සංග්‍රහයකි.  ඉතා සාරගර්භ සේ එක්වරම පෙනෙන එහෙත් මන පිණවන විහිළු කතා සංග්‍රහයකි.


5. "මහින්ද චින්තනයේ සිට ගෝඨාභය ඔල්මොරොංදම හරහා නාමල් දැක්ම දක්වා - ශ්‍රී ලංකාව බංකොළොත් වීමේ ඉතිහාසය සැකෙවින්" 

- බටුකුට්ටි ආරච්චි මහතා සහ ඇස්නිසාන්ත මහත්මියගේ සම කතෘත්වයෙනි.


6. "සීතා, ගීතා, පවිත්‍රා, කෝකිලා සහ රාජිකා - තමන් ලැබූ අනේක වරප්‍රසාදයන් අළුයමලූ කෙළ පිඩක් සේ පිළිකෙව් කොට රට වෙනුවෙන් අංගුලිමාලයන් සරණ ගිය අපේ කාලයේ පංච මහා වීරවරියන්ගෙ චරිතපදානයන්" 

- ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රකාශනයකි.


7. "බාල බෙහෙත්, මානසික අවපාතනය සහ සියදිවි නසාගැනීම" 

- කේ. රඹුක්වැල්ල මහතුන් විසින් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියදී  රචිත සැහැලි කවි කොළයකි.


8. "කප්පම් නඩුවක වැරදිකරුවෙකුට කීර්ති නාමයක් තිබිය හැකිද? අපහාස වන්දි  ඉල්ලමින් නඩුවක් ගොනු කිරීමේදී සැළකිය යුතු මූලික කරුණු" 

- සාධාරණය වෙනුවෙන් නීතිඥයෝ සංවිධානයේ ප්‍රකාශනයකි.


9. "මාස දෙකකට පෙර කිසිම අයුරකින් වැඩි කල නොහැකිවූ රාජ්‍ය සේවක වැටුප් හදිසියේ 25% කින් වැඩි කල හැකිවූ ඒ මහා ආශ්චර්යය කුමක්ද?- ආර්ථික විද්‍යානුකූල විවරණයක්" 

- ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා විසින් රාත්‍රිය මුලුල්ලේ මහ බැංකු ගොඩනැඟිල්ලේ  විදුලි බුබුළු දල්වාගෙන නිදි මරමින් රචනා කරන ලද්දකි.


10. "ධර්ම චක්‍රය සරණ ගිය ජාතියක් ගෑස් සිලින්ඩරය සරණ යාම පිළිබඳව බෞද්ධ ධර්මය ආශ්‍රයෙන් විග්‍රහයක්" 

-  බෞද්ධ මහෝපාසක, ධර්මාචාර්ය, සුමධුර ධර්ම දේශක කොල්ලුපිටියේ රනිල මහරහතන් වහන්සේගේ ධර්ම දේශනාවන්හි එකතුවකි.


11. "ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඔබට විරුද්ධව තීන්දුවක් ලැබුණු පසු ඔබගේ හිතවතකු හෝ සේවකයකු අග විනිසුරු සමඟ සාකච්ඡා කිරීමට යවා එම තීන්දුව වෙනස් කොට ගැනීමේ නවතම වික්කමසිම්හ ප්‍රොසීඩියර් පිළිබඳව පූර්ණ විශ්ලේෂණයක්" 

- නීතිඥයකු ලෙස දිවුරුම්දී අඩසියවසක් සපිරි මහා නීති විකාරද ආර්. වික්කමසිංහ (ඇල්ලැල්බී කොලබම්බෝ) මහතාගේ සාරගර්භ කෘතියකි.


12. "උපාය මාර්ගික පොල් රොටියක්, උපාය මාර්ගික ලුණුමිරිසක් සමඟ ආහාරයට ගෙන උපාය මාර්ගික ප්ලේන්ටියක් බී වෙනස්  රටක් බිහි කරමු - කැළණි නයාගෙන් ඔබ්බට යමු" 

- කැළණි නයාගේ සහ  කෝවිඩ් එන්නතේ නිර්මාතෘ ඩී. ජයවීර මහතා.


8 comments:

  1. ඉතා අගනා පුස්තක ගොන්නක් ඔබතුමා මේ සඳහන් කර සිටින්නෙ.
    කියවා බලන්න ආස හිතෙයි 🤭

    ReplyDelete
  2. මෙවන් පොත් ලියන්න, අච්චුගසන්න අනේකවිද ලෙස වෙහෙසවූ පාඨකයාට (ඡන්දදායකයා) මාගෙ හද පිරි මෙව්ව එක. ඔවුන්ගේ මහන්සියේ ඵල තමයි මේ අප භුක්ති... විඳවන්නෙ 💔

    ReplyDelete
  3. මෙන්න පොත්
    අනිවාර්යෙන් මේවයින් එකකට මේ ගමන ස්වර්ණ පුස්කත සම්මානෙ සුවර්.

    ReplyDelete
  4. පලවෙනි පොතේ නම කියවලා ඒ ඇත්තටම පොතක් කියලා හිතලා, දෙවෙනි පොතේ නම කියවලා හොල්මං වෙලා, ආපහු අංක එක දෙතුන් පාරක් කියවලා තමයි වැඩේ තේරුම් ගත්තෙ. මම ටියුබ් ලයිට්.

    ReplyDelete
  5. "පොතකට කිලෝමීටර් කිහිපයක් දිගු නමක් යොදන හැටි",
    කතෘ: හිරු විරු බාසුරු,
    නිදහස් සිතුවිලි ප්‍රකාශනයකි.

    ReplyDelete
  6. තමන් ගැනම පිම්බෙන හැටි දැකගන්න
    පොත් හතරකින් තුනකම කවරේ බලන
    අතරේ හිත හිතා හිටියදි- ලඟදි එන
    මේ පොත් ලැයිස්තුව- මට ඕනේ ගන්න

    ReplyDelete
  7. මදෑ හෙඩිම කියව්වල පොත් ටිකක් තෝරගන්න හිතුව හැබෑවටම

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...