Wednesday, September 18, 2024

700 - වෙල්පහු වතුර සහ ෆ්ලඩ්ලිට් ස්ටේඩියම්ස්..

මම 1991 අවුරුද්දෙ මහවැලි අධිකාරියෙ ඉංජිනේරු අංශයෙ ඉඳල උසස් වීමක් හම්බවෙලා ගියා ජනාවාස අංශයට...

පත්වීම හම්බ උනේ බකමූණ කලාපයෙ අත්තනකඩවල කොට්ඨාශයට..91 නොවැම්බර් මුල වගෙ වැඩ බාරගත්තෙ..වැඩ බාරගෙන පහුවදාම තිබ්බ එහෙ කන්න රැස්වීම..

කන්න රැස්වීම කියන්නෙ යල මහ කියල කන්න දෙකක් තියනවනෙ..ඒ එක් එක් කන්නෙට වතුර නිකුත් කරන්ට ඉස්සෙල්ල වතුර නිකුත් කරන කාල වකවානු එතකොට සම්පූර්ණ කුඹුරු කරන්ට පුලුවන් තරමට ප්‍රමාණවත්ව වතුර දෙනවද? එහෙම  වතුර ප්‍රමාණවත් පරිදි නැත්තං කොච්චර ප්‍රමාණයක් ගොඩ බෝග කරන්ඩ ඕනද කියන කාරණා ගොවි මහත්වරුන්ට දැනුම් දෙන රැස්වීම..

මම ඉතිං ඔව්ව ගැන අඳෝ සංසාරයක් දන්න එකක්ය..මගෙ විෂය ක්ෂේත්‍රයට කෙලින්ම අයිතිත් නෑ..එක අතකට නෑ කියන්ටත් බෑ..ගොවීන් එක්ක වැඩ කරනකොට ඔය හැම ක්ෂේත්‍රයක්ම ඒ කිව්වෙ ජලපාලන, වාරිමාර්ග, කෘෂිකර්ම, ජනාවාස සේවා එතකොට ප්‍රජා සංවර්ධන, ආයතන සංවර්ධන ඔය ඔක්කොම එකකට එකක් බැඳෙනව..නැත්තං සාර්ථකව අපේ රාජකාරිය කරන්න බෑ..

හරි මම කියන්ට ආපු කතාව කියල ඉන්නංකො..අද රෑ දොළහට කලිං මේ කතාව ලියල දාන්ටත් ඕමනයි..

ඉතිං අර 1991 අවුරුද්දෙ නොවැම්බර් මාසෙ පවත්වපු අත්තනකඩවල කන්න රැස්වීමට ආපහු ආවොත් ඒ රැස්වීම කරගෙන යන්ට ගොවි මහත්වරු ඉඩ දුන්නෙම නෑ..පටං ගත්තු වෙලාවෙ ඉඳල ගොවියො ගේම ඉල්ලුවා..අන්තිමට එක දිගට හූ කිව්වා..

එහෙම හූ හඬින් පලාතම දෙවනත් වෙද්දි රැස්වීමක් කරගෙන යන්ට බෑනෙ..අන්තිමට රැස්වීම නවත්තල ආපු නිලධාරි කට්ටිය යන්ට ගියා..ගොවි මහත්වරුත් හූ කිය කිය ගෙවල් වලට ගියා..මට ඉතිං හරි පුදුමයි මේ වෙච්චි දේ..ඇසුයි කටයි දෙකම ඇරගෙන බලා ඉඳල මමත් ඉතිං මම ඒ කාලෙ නැවතිලා හිටපු බකමූණෙ ක්වාටර්ස් එකට ගියා..

පහුවදා අපේ කොට්ඨාශ කළමනාකාර නොහොත් Block Manager නොහොත් බී.එම්. මහත්තයා සියළුම නිලධාරීන්ට රැස්වීමක් කැඳවල තිබ්බ උදේ නමයට..මමත් ඉතිං ඕකට ගියා..ඒකෙදි බී.එම්. ලොක්කා ඊයෙ කන්න රැස්වීමෙදි වෙච්චි දේ ගැන බොහොම හිත් අමනාපෙන් සහ තරහිං කතාකරල එක පාරටම මා දිහාට හැරුන..මම වාඩිවෙලා හිටියෙ තුන්වෙනි පේළියෙ විතර..

"වීරසිංහ මහත්මයා ඊයෙ කන්න රැස්වීමට සහභාගි උනා නේද?"

මම නැඟිටල "ඔව් බී.එම්. මහත්තයා.." කියල උත්තර දුන්නා..

"හරි එහෙනම් මට කියන්ට පුලුවන්ද ඇයි ඒ ගොවි මහත්තුරු ඒ වෙලාවෙ එහෙම හැසිරුනේ? වෙනත් වචන වලින් කිව්වොත් ඇයි ඒ වෙලාවෙ ගොවියො හූ කිව්වෙ?..." කියල බී.එම්. ලොක්කා මගෙං අහපි ගහෙං ගෙඩි එන්නැහෙ..

මම නේද අන්දුන් කුන්දුන් උනා කිව්වොත් ඒත් ඒ වෙලාවෙ මගෙ හිතට ආපු හැඟීම හරියට විස්තර කරන්ට බෑ..උතුර දකුන මාරු උනා..කරකවල අතෑරියා..තුස්නිම්බූතයිස්ඩ් උනා..ඔය ඔක්කොම කිව්වත් මදි..

යකෝ මම මේ දවස් දෙකයි මෙහෙට ඇවිල්ල වැඩ බාරගෙන..මම කොහොමද ඕයි දන්නෙ ගොවියො හූ කිව්වෙ මොන මඟුලකටද කියල?..මේ මනුස්සයට නුහුගුණෙද? පිස්සුද නැත්තං හැටිද? ඔහොම කල්පනා කරකර මම දහ අතේ හිතුව මොකක්ද යකෝ මම දැං කියන්නෙ? කියල..රැස්වීමෙ ඔක්කොමලා මා දිහා බලාගෙන..

ඔන්න එතකොට මට මතක් උනා උදේ අපේ සහෝදර නිලධාරීන් කට්ටියක් කතාවෙනව මට ඇහුන වෙල්පහු වතුර මදි උන හින්දයි පහුගිය කන්නෙ කුඹුරු හුඟක් මැරුනෙ...ඒක හින්ද ගොවියො ලොකු හිතේ අමාරුවකින්ය ඉන්නෙ කියල..අප්පට සිරි  ඔය තියෙන්නෙ බඩු..දැං ඉතිං කාට බය වෙන්ටද? 

වෙල්පහු වතුර කියන්නෙ මොනවද?  එහෙම වතුරක් ඇත්තටම තියනවද? තියනවනම් ඒ වතුර කලුද සුදුද? කියලවත් මම දන්න ඉටිගෙඩියක් නෑ..ඒ උනාට ඉතිං එහෙම හිත හිත ඉඳල හරියන්නෙ නෑනෙ..මොනවහරි කියන්ටත් එපාය..බී.එම්. ලොක්කා  මාදිහා කන්ට වගෙ බලාගෙන ඉන්නව...

මම කෙලින්ම සිංහය වගෙ බී. එම්. ලොක්කා දිහාබලාගෙන කතාකලා.."බී.එම්. මහත්තය අර වෙල්පහු වතුර පහුගිය ටිකේ හරියට ලැබුනෙ නෑනෙ.."

"ඉතිං?" ඇසුත් උඩ තියාගෙන බී.එම්. ඇහුවා..

"ඉතිං ඒ හින්ද තමයි ගොවි මහත්තුරු හූ කිව්වෙ.."

බී.එම්. විනාඩියක් විතර මගෙ මූණ දිහා කන්ඩ වාගෙ බලා හිටිය.."එතකොට වීරසිංහ මහත්තය කියන්නෙ ගොවියො හූ කිව්වෙ වෙල්පහු වතුර ලැබුනෙ නැති හින්ද..එහෙමද?"

"ඔව් බී.එම්. මහත්තය... ඒක තමයි හේතුව.."

බී.එම්. ලොක්කටත් යන්තමට හිනාවක් ගියාද නැත්තං ඒ මට පෙනිච්චි හැටිද මන්ද..

"හරි හරි..වීරසිංහ මහත්තයා ඉඳගන්ට.." කියල බී.එම්. මහත්තයා කිව්වා..

මම ඉතිං ආයම කියනකල් හිටියෙ නෑ.. ඉඳගත්තා...

පලි - 

වෙල්පහු වතුර කියන්නෙ කුඹුරකට වතුර දුන්නම ඒ වතුර කුඹුරෙ ලියද්දෙං ලියද්දට ගලාගෙන ගිහිල්ල අන්තිම ලියද්දෙං පිටතට ගලාගෙන යනව..ආං ඒ වතුරට..

ඒ පිටවෙන වතුර බැහැල යන්ට කපල තියනව Drainage Canal කියල ඉංග්‍රීසියෙං කියන අපවහන ඇළවල්..ගොවියො ඒවට කියන්නෙ කුණුඇළවල් කියල..

ඉතිං ඔය කුණුඇළවල්වල වතුරෙනුත් ගොවි මහත්තුරු ආයම කුඹුරු අස්වද්දනව..ඒ වැඩේ ඇත්තටම බොහොම හොඳයි..ඒ මොකද කිව්වොත් අපතේ යන වතුරකිං ආයම ප්‍රයෝජනයක් ගන්න එක කොහොමත් හොඳයිනෙ..

ඒත් අවුල වෙන්නෙ වතුර හිඟවෙලා වතුර දෙන ප්‍රමාණය සීමා කරන්ට උනොත්..එතකොට ඔය වෙල්පහු වතුරක් කියල එකක් නැතිම වෙලා යනව බොහෝවිට..එහෙම උනාම වෙන්නෙ අර වැඩිපුර කරපු කුඹුරු බේරගන්ටම බැරුව මැරිල යනව....ඒත් එක්කම එව්වට වියදම් කරපු මුදල්, ශ්‍රමය ඔක්කොම අපරාදෙ අපතේ යනව..

පපලි - 

මම මේ 1991 අවුරුද්දෙ බී.එම්. ලොක්කට කියපු වෙල්පහු වතුර කතාව මට පෙරෙයිදා ආයම මතක් උනා අපේ සජිත් මහත්තය අර සළකුණේදි චමුදිත අහපු "රටේ මිනිස්සුන්ගෙ ජීවන තත්වය උසස් කරන්ට ඔබ කරන්ට බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? ඛෙත්තරාමෙ මිනිස්සුන්ගෙං පුරවන්ට ඔබ කරන්ට බලාපොරොත්තු වෙන්නෙ මොනවද?" ප්‍රස්නෙට දුන්නු උත්තරේ අහල..

සජියා උත්තර දුන්නෙ මෙහෙමයි "ඉතිං ඛෙත්තාරාමෙ හැදුවෙ මගේ පියතුමානෙ..ඔබ දන්නවද චමුදිත ඒක තමයි දකූණු ආසියාවෙ පලවෙනි ෆ්ලඩ් ලිට් ස්ටේඩියම් එක.."

සජියත් එක්ක බලනකොට මම දාහක් හොඳයි නේද යාලුවනේ? අඩුම ගානෙ වෙල්පහු වතුර කුඹුරු කිරිල්ලට සම්බන්ධයක් හරි තියනවනෙ...හෙහ්..හෙහ්...


5 comments:

  1. එතකොට ඇත්තටම ගොවියො හූ කිව්වෙ ඇයි ?

    ReplyDelete
    Replies
    1. එතකොට ඇත්තටම ගොවියො හූ කිව්වෙ ඇයි ? x 2

      Delete
    2. අලුතෙන් ජරාවාස අංසෙට පත්වෙලා ආපු මඤ්ඤං ඩෑල් එක දැක්කම උංට හූ කියන්න හිතෙන්න ඇති.

      Delete
  2. ගරු කළ යුතුය තුන් දවසේ තහනමට
    මගෙ අදහස මොකුත් නොකියා හිඳීමට
    ගජමුතු හොයා යා යුතු ගිජිඳෙකු ළඟට
    ගිහිං පලක් නැහැ මී හරකෙකු වෙතට

    ReplyDelete
  3. ගංවතුරෙ උනත් ලයිට් දාගෙන ක්‍රිකට් ගහන්න පුලුවං එකම ග්‍රවුන්ඩ් එක ඒක තමයි බොල.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...