Monday, October 7, 2024

701. සමණල ආචරණය නොහොත් Butterfly Effect - වසර දෙකහමාරකට පෙර මිරිහානේ තටු සැලූ සමණලයා....


Butterfly flaps wings - Mirihana 2022.03.31

"Butterfly Effect" නොහොත් "සමණල ආචරණය" ගැන අහල තියනව නේද?

සමණල ආචරණය කියන්නෙ ඉතාම සුළු සිද්ධියක් හින්ද පටන්ගන්නාවු ක්‍රියාදාමයක් අවසානයේ නොසිතූ වීරූ මහා පරිමාණයේ සිදුවීමකින් අවසන් වීම...

"Does the flap of a butterfly's wings in Brazil set off a tornado in Texas?"

ඒ සිද්ධීන් දාමය හොඳටම විස්තර කරන්නෙ බ්‍රසීලයේ සමණලයෙකුගේ අත්තටු සැලීමක් අමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පසු කාලයක ඇතිවන කුණාටුවකට හේතුවිය හැක යන වාක්‍යයෙන්...

2022 මාර්තු 31 වෙනිදා අපේ රටේ මිරිහාන ප්‍රදේශයේ එවකට ජනාධිපති ගෝඨාභය උන්නැහේගෙ නිවෙස අසළත් ඒ වගෙ සමණලයෙක් තටු සැළුවා..

ඒ කියන්නෙ ඒ වෙලාවෙ එතනට එකතුවූ හත් අටදෙනෙක් ගෝඨාභයගෙ නිවෙස කරා යන්නට උත්සාහ කලා රට පත්වෙලා තියෙන අවාසනාවන්ත තත්වය ගැන විරෝධය දක්වන්ට..නමුත් ආරක්ෂක අංශ ඔවුන් නතර කලා..

ඉනික්බිති ඔවුන් කලේ එතනම ඉඳල ඒ වෙලාවෙම ලියූ විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් උද්ඝෝෂණය කිරීම..ටික ටික සෙනඟ එකතුවෙලා විශාල උද්ඝෝෂණයක් එතන නිර්මාණය උනා..අන්තිමය පොලීසිය කලේ කඳුළු ගෑස් ගහලා ඒ පිරිස පළවා හැරීමයි..

සමහරවිට ඒ උද්ඝෝෂණය පටන් ගත්තෙ මෙහෙම වෙන්න ඇති..

පෙට්‍රල් පෝලිමක උදේ ඉඳල බවුසරයක් ඇවිල්ල පෙට්‍රල් දෙයි කියල බලාපොරොත්තුවෙන් හිටපු මිනිස්සුන්ට රෑ දහයට විතර අද පෙට්‍රල් එන්නෙ නෑ කිව්වම මොන වගෙ හැඟීමක් ඇති වෙයිද? 

"මචං මගෙ අම්මට අංසබාගෙ..හෙට ක්ලිනික් එකට එක්ක යන්න ඕන..මම මේ උදේ ඉඳලම පෝලිමේ හිටියෙ ඒ වැඩේට කාර් එකට පෙට්‍රල් ගහගන්ට..දැං බලපංකො මම කොහොමද අම්මව එක්ක යන්නෙ හෙට?.." ඒ එක් දයාබර පුතකුගේ පැමිණිල්ල...

"මගෙ වයිෆ්ට  දරුවා හම්බ වෙන්න ඉන්නෙ..අපි පිළියන්දල..ඉතිං රෑකවත් අමාරු උනොත් හොස්පිට්ල් එක්ක යන්ට වාහනේට පෙට්‍රල් ගහල තියාගන්න එපාය..ඒකයි මේ උදේ ඉඳල පෝලිමේ හිටියෙ..දැං ඉතිං අහවල් දෙයක් කරන්නද?" ඒ තවත් ස්වාමිපුරුෂයෙකුගේ ශෝකාලාපය...

"මොන කෙහෙම්මලක්ද ඕයි මේක? අපිට අපි හම්බ කරපු සල්ලි දීල අපේ වාහනේට පෙට්‍රල් ඩීසල් ටිකක් ගහගන්ට බැරිනං මොකක්ද මෙහෙම ජීවත්වෙන එකේ තේරුම? යමල්ලා..මේ ලඟමනෙ මේ ඔක්කෝටම වගකියන්ට ඕන එකා ඉන්නෙ..උගේ ගේ ඉස්සරහට ගිහිල්ල කෑගහල කියමු බැරිනං පුලුවං එකෙකුට දීල පළයං කියල.."

"හරියට හරි යමල්ල..දැං ඉවසුවා හොඳටම ඇති..අපි මෙහෙ පෙට්‍රල් පෝලිං වල දවස් ගණං තපිනව..මේ ඔක්කෝටම වග කියන්ට ඕන එකා හතර වටේටම හමුදාව පොලීසිය දාගෙන සැපට බුදි ඇති..යමල්ල ඌව ඇහැරවමු.."

අන්න එහෙමයි ඒ ක්ෂණික උද්ඝෝෂණය පටන් ගන්න ඇත්තෙ..ගොඩක් වෙලාවට එහෙම තමයි..ඒ වගෙ පපුවෙන්ම එන බොක්කෙන්ම එන හැඟීම් පාදක කරගෙන කරන උද්ඝෝෂණ විරෝධතා කලිං සංවිධානය කරපු එව්ව නෙවෙයි..

අර  බ්‍රසීලයේ තටු සළපු සමණලයා එහෙම තටු සලන්ඩ ඇත්තෙ කලිං හිතල නෙවෙයි..ඒ වෙලාවෙ හිතුනා තටු සැලුවා..ඒත් කාලයාගෙ ඇවෑමෙන් උගේ තටු සැලීම ටෙක්සාස් වල මහා කුණාටුවක් වෙයි කියල ඌ හීනෙංවත් හිතන්න නැතුව ඇති වගේම උගේ එහෙම අපේක්ෂාවක් තුං හිතකවත් නොතියෙන්ඩත් ඇති.. 

ඉතිං කොහොම හරි එදා 2022 මාර්තු 31 වෙනිදා රෑ දහයට විතර මිරිහානෙ ගෝඨාභයගෙ නිවෙස අසළ තටු සලපු සමණලයගෙ තටු සැලිල්ල අවසාන උනේ 2024 සැප්තැම්බර් 22 වෙනිදා බහුතරයක් ලංකා වාසීන් එකතුවී තම මනාපය ප්‍රකාශ කොට මේ සම්මජාතියෙ ජනාධිපතිවරයෙක් පත්වෙතැයි ලංකාවාසීන් බහුතරයක් සිහිනෙන්වත් නොසිතූ පක්ෂයකින් නව ජනාධිපතිවරයෙක් තෝරාපත්කර ගැනීමෙන්..ඒක තමයි ටෙක්සාස්වල ඇතිවූ කුණාටුව..

ඉතිං මේ වෙලාවෙ අපි හැමෝම එදා ඒ අවුරුදු දෙකහමාරකට කලිං මිරිහානෙ උද්ඝෝෂණයට සහභාගිවූ ඒ සහෝදර සහෝදරියන් හැමෝටම අපේ ස්තූතිය පළකරන්ට අවශ්‍යමයි..


14 comments:

  1. සමනළ ආචරණය විසින් රොමැන්තික සහෝදරත්වයක් වෙත පියාසැරියක් වීම! ආහ්ලාදයක් තමයි. ඕං මං අලුත් බ්ලොග් පෝස්ටුවෙ තමුන්නැහැ ගැනත් සඳහනක් කළා!

    ReplyDelete
    Replies
    1. බැලුවා..බැලුවා...දැං වැහි දරුවෙකුත් ඉන්නව නේද? A Rain Boy Eh?. :) මගේ හෘදයාංගම සුබපැතුම්!

      Delete
  2. https://en.wikipedia.org/wiki/A_Sound_of_Thunder_(film)#:~:text=A%20Sound%20of%20Thunder%20is,same%20name%20by%20Ray%20Bradbury.

    https://en.wikipedia.org/wiki/The_Butterfly_Effect#:~:text=The%20Butterfly%20Effect%20is%20a,refers%20to%20the%20butterfly%20effect.

    ReplyDelete
  3. හරි අපූරුයි! රවී අයියා සාමාන්‍යයෙන් ලියන genre එකෙන් වෙනස් පෝස්ට් එකක්. The Butterfly Effect කියලා ෆිල්ම් එකකුත් ආව 2004. හොයාගෙන බලන්න...

    කාලෙකින් මේ පැත්තේ ආවේ. පරණ පොස්ට් ගොඩක් කියවන්නත් තියෙනවා. දිගටම ලියමු...

    ReplyDelete
  4. කලිනුත් ඔය සමනල තට්ට සැලීම ගැන ලියල තියෙනවා නේද රවියෝ ? කොහොම උනත් කතාව ඇත්ත. හැබැයි 31 රෑ සීන් එක කලින් ප්ලෑන් කරලා සංවිධානය කරපු එකක්

    ReplyDelete
  5. පැතුම් කියල තියෙනව මේක කලින් ප්ලෑන් කරපු එකක් කියල. මේ සිද්ධිය වුනේ මගේ දෙමව්පියන්ගෙ නිවසට කිලෝමීටර් 2 ක් එහා. ඒක ප්ලෑන් කරපු එකක් නෙවෙයි.

    ඒ කාලේ එක එක තැන පිකට් කරන එක සාමාන්‍ය දෙයක්. මුලින්ම වුනේ ජුබිලි කණුව හරියේ තියෙනවා පැලවත්ත සමාගමේ කිරිපිටි බෙදන තැනක්. ඒකේ විශාල පෝලිමක් වෙලාවෙ ගෝඨා එතනින් යනකොට පෝලිමේ අය හූ කිව්වා. ඒ යකා පොලිසිය එවලා පෝලිම විසුරුවා හැරියා.

    ඊට පස්සේ සාමාන්‍ය මධ්‍යම පන්තියේ අය පිරිසක් හැමදාම හවසට ජුබිලි කණුව හන්දියේ පිකට් කරන්න පටන් ගත්තා. ඒ ගෝඨා ගෙදර යන පාර නිසා. මාර්තු 31 දා හවස මමත් එතන පහු කරගෙන අම්මලාගේ ගෙදර ගියා. ඒකාලයේ රෑ 8-9 විතර ලයිට් කපනවා. ලයිට් කැපුවාම එම පිකට් එකේ හිටපු අය පරණ කොට්ටාව පාර දිගේ ගෝඨාගෙ ගෙදර ගාවට ගිහින් එතන පිකට් කරන්න පටන් ගත්තා.

    ඒ වෙලාවේ ගෝඨාගෙ ගෙදර තියෙන පැත්තෙ ලයිට් කපල තිබිල නැහැ. ඕක ගැන අවට රැස් වෙලා හිටපු අය කෑගහල. ඇයි ඒ පැත්තට කපන්නෙ නැත්තෙ කියලා. ඒකට ඒ අවට ගෙවල් අයත් එකතුවෙලා. ඊට පස්සේ කීප දෙනෙක් ඒක ෆේස්බුක් ලයිව් දෙනකොට අවට හිටපු අය තව එකතු වෙලා. ඔතන තියෙනවා අර කට් ගඩොල් වලින් හදපු තාප්පප්යක්. මිනිස්සු ඒකෙන් ගල් ගලවගෙන එතන තිබ්බ පොලිස් මුර පොලට ගහලා. ඉතුරු ටික අවන්ට්ගාඩ් කාරයාගේ නාට්‍යයක්. යුධ හමුදාවෙ බස් එකක් ගෙනල්ලා ඉත්තෙක් ඒකට ගිණි තිබ්බා. ඒක කරල තියෙන්නෙ පොලිසියට ඒ මිනිස්සුන්ට පහර දෙන්න හේතුවක් හදන්න. රජයේ දේපල විනාස කිරීමක් නිසා. ඒ පහර දීමෙන් අත් අඩංගුවට පත් වෙච්ච අයව බේරගන්න ලෝයර්ලා සිය ගානක් පහුවෙනිදා ගංගොඩවිල උසාවියට ආවා. ඒකෙන් මිනිස්සුන්ගෙ බය නැතිවුනා. පහුවෙනිදා තමයි ගෝල් ෆේස් අරගලය පටන් ගත්තේ.

    කාලයක් එතන හිටියෙන් සාමාන්‍ය මිනිස්සු. ජවිපෙ කිව්වේ නායකත්වයක් නැති අරගල වලට ඒගොල්ලො නැහැ කියල. මැයි 9 වගේ වෙනකොට අරගලයට ගහපු එකෙනෙන් මිනිස්සු කුලප්පු වුනාම තමයි ජවිපෙ එන්ටර් වුනේ. ඊට පස්සේ අරගලය පිටින් තමයි ඒ අය උඩට ආවෙ. ඒ නිසා මේකට කියන්න ඕන සමනලයෙක්ගෙ පිහාටුවක් වැටිල ඒක දැකපු කපුටෙක් ඒක ෆැශන් එක කියල හිතල උගේ තට්ට්ටක් හලල ඒකෙන් ටෙක්සාස් ටෝනේඩෝ එක ඇතිවුනා කියලයි.

    ReplyDelete
    Replies
    1. ඇල්ලුවෙ නෑ නොවෙද බස් ගිනි තිබ්බ එකා
      ඒ ගිනි සිළුව වුණි 'අරගල දීපශිඛා'
      රටවැස්සනගෙ බියගුලුකම් අකා-මකා
      දැම්මේ එයයි- එය හරිනට බැහැ නොතකා!

      Delete
    2. ඉයන් පැහැදිලි කරලා විස්තර දුන්නට ස්තුතියි .. අපේ මල්ලි කෙනෙකුට whatsapp හරහා ඊට දින කිහිපයකට කලින් ආපු මැසේජ් එකක් තියෙනවා 31 හවස 6:30 - 7:30 වගේ ජුබිලි කණුව ලඟට එකතු වෙන්න කියල . . මම ඒක නිසා තමා කිව්වේ 31ක සිද්දිය planned එකක් කියල .. නමුත් ඉතින් මේ කියපු සිද්දි එක්ක ඒවගේ දෙයක් ප්ලෑන් වීම සාධාරණයි ..

      Delete
  6. සමනල තටු සලා ඇතිවෙන කුණාටුවක්
    වාගේ වුණා සීයට තුන ලොකු ගණනක්
    තව මාසෙකින් ඇරඹෙයි මෘගසන් වැස්සක්
    එතකොට හාන්සියි - සිරිලක කෑ රොත්තක්

    ReplyDelete
  7. ඒක උනෙත් එහෙමලුද?
    පඳුරු තලන්නැතුව පෝස්ට් එකක් ලිවුවමද කොහෙද

    ReplyDelete
    Replies
    1. පඳුර උගුල්ලලම දාල. දැං කෙලින්ම අදාල කාරනේ ලිව්ව එච්චරයි. හරිය?

      Delete
  8. තටු සලන්න හේතුභූත වුන කාරණා ගැනත් අප අවධානය යොමු කළ යුතුයි.

    ඔලමොළ සිඳගතුන් සේ වැඩකර ජහමනයම මේ තත්වය සිරිලකට ඇතිකරගත්ත. පහුව කොටසකට මේ උරචක්‍රමාලය ඇතිවුනා. තවත් සුළු කොටසකට එහි අඩුව දැනෙමින් තියෙන හැඩයි!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...