Tuesday, October 29, 2024

167. ප්‍රසංගයක් ද මේ ජිවිතය?

     එයාට වගේ ම මටත් රහසක් තිබුණා.

    එයා විතරක් නෙමෙයි, මග දිගට තවත් පිරිමි ළමයි කිහිප දෙනෙක් මං ගැන උනන්දුවෙන් හිටියා. හැබැයි එයා වගේ ම ඒ හැමෝ ම හිතාගෙන හිටියේ මං ඒවා දන්නේ නැහැ කියලා. මම ඔය රස්සාවට ආවේ නර්සින් ට්‍රේනින් කොලේජ් එකෙන් ලියුම එනකම් ගෙදර හිටපු කාලේ. ඒ ෆැක්ටරි එකේ මැනේජර්, මගේ තාත්තාගේ යාලුවෙක්, ඒ මාමා ගෙදර නිකං ඉන්න එකේ මොනවා හරි දෙයක් ඉගෙන ගන්න මාව එවන්න කියලා තාත්තාට කිව්වා. මට ෆැක්ටරි එකේ කරන්න ලොකු වැඩක් තිබුණේ නැහැ. හරිම සැහැල්ලුවෙන් ගෙවුණු කාලයක්. දැන් නිතර නිතර කතා කරන පොසිටිව් එනර්ජි කියන දේ ඒ වචනයෙන් ම ඒ කාලේ හැඳින්වූයේ නැති වුණාට මේ මග දිගට හිටපු අයියලා සේරම මට ගෙනාවේ පුදුමාකාර චිත්ත ප්‍රමෝදයක්.

    ඒ හැමෝම එයා වගේ ම ස්ටීරියෝ ටයිප් පුරුදු පවත්වාගෙන ගියා. මට දැන් ස්ටේෂන් එකේ නම මතක නැහැ, ඔය එන අතරේ තියෙන එකක ලඟ තිබුණු තේ කඩයක වැඩ කරපු හරි, කඩේ මාමාගේ පුතා හරි වුණු අයියා කෙනෙක් හැමදාම කෝච්චිය එතනින් යද්දි කඩ මිදුලේ තිබුණු එයාගේ බයිසිකලය පිස දමමින් හිටියා. කෝච්චියේ මං ඉන්න පෙට්ටිය ඒ හරියේ තමයි නතර වෙන්නේ. ඊට පස්සේ ඒ අයියා බිම් කණ්ඩිය අයිනේ හිටවලා තිබුණු ලස්සන මල්වලින් එකක් කිසිම ලෝභ කමක් නැති ව කඩලා අරගෙන මං ඉන්න හරියේ ඉන්න ළමයෙක් බලලා, හරි ලස්සනට හිනා වෙලා එයාට දෙනවා. ළමයාගෙන් පටන් ගත්තාට හිනාව ඉවර වෙන්නේ මං දිහා බලාගෙන කියලා මං දන්නවා. මං ඒක දකිනවා කියලා එයා දන්නේ නැහැ. ළමයෙක් හිටියේ නැත්නම් ආච්චි කෙනෙකුට හරි දෙනවා. දවසක් තේ ගෝනියක් අරගෙන ගිය දෙමළ ආච්චි අම්මෙකුට දුන්නා. ඒ මනුස්සයා ජීවිතේ ලබපු පළමු මල වෙන්නත් පුළුවන්.

    ඉතිං ඔහොමයි. අනිත් අය කරපුවා මට මතකත් නෑ ඒ හැටි. මේ හැමෝගෙන් ම එයා විශේෂයි. නමුත් එයා කවදාවත් දැන ගත්තේ නැහැ මං එයා ඒ කරපු දේවල් දැනගෙන හිටියා කියලා. ඒක පිරිමින්ගේ විදිහ. එයාලාට පේන්නේ බලන දිහා විතරයි. අපිට සමහරවිට අපේ ඇස් යොමු වෙලා තියෙන දිහා හැර මහ විශාල පරාසයක් පේනවා. මම බිම බලාගෙන ගියාට බිම තිබුණු ගල් පෙනුනේ නැහැ. එයා සොහොන හැඩ කරලා තියෙන විදිහ, ඒ පටු පාර ලස්සන කරලා තිබුණු විදිහ ඕවා තමයි මට පෙනුනේ. මට තාම තේරුම් ගන්න බැහැ මං වැරැද්දක් කළා ද කියලා. එයාට විතරක් නෙමෙයි ඒ මගදි උනන්දුවෙන් හිටපු හැම පිරිමි ළමයාට ම මගේ විශේෂත්වයක් පේන විදිහට ඉන්න මට උවමනා වුණා. මගේ කොණ්ඩෙත් ඒ වැඩේට එක පයින් කැමති වුණා වගේ සමහර වෙලාවට රඟපෑවා. ඒක කෙලිකම වෙන්න ඇති. තුත්තිරි මිටත් ඒ නාට්‍යයේ ලස්සනට රඟපෑවා කියලා ඔයාලා දන්නවා. ඒ ගහ පේන මානයට ඇවිත් මං ඒ  දිහා බලපු විදිහ සෑහෙන පෙර පුහුණුවක ප්‍රතිඵලයක්. ඕවා කවදාවත් පිරිමි ළමයි දැන ගන්නේ නැහැ. එයාලට හිතෙන්නේ ඒ අත්‍යන්තයෙන් ම එන පරම ස්වභාවික හැසිරීම් කියලා. එයා හිතුවාට එයා සෑහෙන කැපවීමකින්, රහසක් රකිමින් මට ලොකු සතුටක් දුන්නා කියලා, එයා ඒ කාලේ දැනගෙන හිටපු නැති රහසක් මටත් තිබුණා. මේ ලියුමේ අන්තිමට ඔයාලා ඒක දැන ගන්නවා.

    ඉතිං ඔහොමයි. මට ජීවිතයේ ඉලක්ක තිබුණා. සැපවත් ජීවිතයක් පවත්වාගෙන යන්න, මගේ දෙමව්පියෝ මට ගොඩ නගලා දීපු වේදිකාවෙන් තවත් අඩියක් හෝ ඉහළට යන්න, රටට ලෝකෙට වැඩක් කරන්න මට උවමනාව තිබුණා. දැන් ලියවිලා තියෙන කතාව කියවද්දි ඔයාලට හිතෙන්න පුළුවන් මං දුප්පත් කෙනෙක් කියලා. නැහැ එහෙම එකක් නැහැ. මගේ තාත්තා තැපැල් ස්ථානාධිපති කෙනෙක්, තැපැල් කන්තෝරුව අපේ ගෙදරමයි තිබුණේ. අම්මා ටීචර් කෙනෙක්. මට නංගි කෙනෙක් ඉන්නවා. අපි හරි ම සතුටින් සැපෙන් ජීවත් වුණු පවුලක්.

    ඒ මගදි හමුවුණු කිසිම පිරිමි ළමයෙකු මගේ වගේ පවුලක අය වුණේ නැහැ මං හිතන්නේ. ඒ අයට ජීවිතය ගැන අනාගත සැලසුම් තිබුණා කියලා මට හිතිලා නැහැ. හරි ම බොලඳයි ඉතිං. එයාලා නරක අය නෙමෙයි. ඒත් ජීවිතේ හරියට හඳුනගෙන හිටපු අය නෙමෙයි කියලා මට ඒ පොඩි වයසට තේරුණේ මගේ අම්මා තාත්තා, ලෝකේ හැබෑ තත්ත්වය අපි දෙන්නාට පුංචි කාලේ ඉඳන් ම දැනෙන්න දීපු නිසා. පුංචි අම්මා කැමැත්තෙන් කරගත්ත කසාදයෙන් වෙන් වුණේ ඇයි කියන තැන ඉඳන්, එයාලා අපිට චාල්ස් ඩයනා සිද්ධිය වෙනකම් ම ජීවිතේ පහදලා දුන්නා. මාර ගහක් රෙදි මල් වලින් සරසලා, කෙනෙකු සතුටු කරන එකයි, දරුවන් දෙතුන් දෙනෙක් ඉන්න පවුලක් පවත්ගෙන යෑමයි, තමන්ගේ ජීවිතේ බෙදා ගන්න කෙනෙකුට සුව කළ නොහැකි රෝගයක් වැළඳුනොත් ඒ වෙනුවෙන් කැපවීමයි, කියන්නේ කෙතරම් එකිනෙකට දුරස්තර කාරණා ද කියන එක මං දැනගෙන හිටියා. එයා හොඳ මනුස්සයෙක්. මං එයා ලියපු දේවල් එයාගේ අත් අකුරින් ම කියවලා තියෙනවා. එයා ලස්සනට ගේ දොර තියාගෙන හිටියා. එයාගේ නංගිට වඩා එයා පිළිවෙලයි. ඒත් ඒ බොහෝ දේවල් ගැහැනුන්ට කරන්න පුළුවන් දේවල් ඉතිං. කෑම උයන එක, තේ හදන එක වගේ දේවල්. මගේ හිතේ තිබුණේ අද්විතීය හැකියාවන් තියෙන පිරිමියෙක් ගැන සිහිනයක්. ඒ සිහිනයේ කොතනවත් ඒ ළමයි වගේ අය හිටියේ නැහැ.

    එයාට හරි රස්සාවක් තිබුණේ නැහැ. අධ්‍යාපනය විධිමත් වුණේ නැහැ කියලා තමයි මං දන්නේ. එයාගේ උදේ වරුව මං එනකම් මග රකින්න ගෙවුණා. ඉතිරි දවස ම මග රැකීම සැළසුම් කරන්න ගෙවුනා මං හිතන්නේ. ඉතිං වෙන දෙයක් සැලසුම් කරන්න කොහිද වෙලාවක්?  දවල් වරුව ගෙදර රැඳුනේ නැහැ ගොඩක් වෙලාවට. එයා නැති වෙලාවට මං එහේ ගිහින් තියෙනවා බොහෝ වාරයක්. අයියා කවදාවත් දැනගත්තේ නැහැ එයාගේ නංගි (මාමාගේ දුව) මගේ ඉස්කෝලේ පංතියේ යාලුවෙක් කියන එකත් අපි දෙන්නා ම එක ම ට්‍රේනින් කොලේජ් එකට ඇප්ලයි කරලා ඉන්නේ කියන එකත්. යාලුවා දැනගෙන හිටියෙත් නැහැ අයියාගේ මේ ආදර කතාව. මං කිව්වෙත් නැහැ. මම මගේ ජීවිතය උද්යෝගයෙන්, ප්‍රමෝදයෙන් ගත කළා.

    යාලුවා එහේ ගියේ අයියාගේ වැඩ වලට උදව් වෙන්න. අයියා නැති වෙලාවට ගිහින් මාත් උදව් වුණේ, ඒවා හරි ම සිත් ඇදගන්නාසුලු වැඩ වුණු නිසා මං හිතන්නේ. මං කාටවත් හිතා මතා බලාපොරොත්තු දීලා නැහැ. ඒ අතින් මං වරදක් කරලා නැහැ කියලා මං හිතනවා. එයාගේ යාලුවෝ කාලෙන් කාලෙට එනවා එයා එක්ක රැඳිලා ඉඳලා යන්න. ඒ එන සමහර අයට එයා මාව පෙන්වන බවත් මං දැනගෙන හිටියා. ඒකට මං එච්චර කැමති නූණත් මට කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ ආපු කෙනෙක් මේ වෙනකොට කරලා තියෙන හපන්කම දැන් රටක් ලෝකයක් දන්නවා.

    මායි යාලුවයි බලාපොරොත්තුවෙන් හිටපු ලියුම් ලැබුණා. නර්සින් ට්‍රේනින් එකට දින ලැබීමයි, ෆැක්ටරි එක වැසීමයි දෙක ම එක ලඟ දිනවල වැටුණා.

    මට අන්තිම දවසේ එයාට කතා කරන්න ම හිතුණා. මම එදා ගහ දිහාට ඇස් යොමු කරගෙන එයා දිහා බලාගෙන සෑහෙන කල්පනා කළා. ඒ වෙනකම් මට එහෙම සිතුවිල්ලක් ඇවිත් තිබුණේ නැහැ. මට මහ ලෝභ කමක් දැනුණා. මම ඔලුවෙන් තීරණ ගන්න ගිහින් ජීවිතයේ ලොකු වරදක් කර ගන්න යනවා ද කියලත් හිතුණා. ‘ගහක් සරසන්න එතරම් වෙහෙසක් ගන්න පුලුවන් වුණු අයට එකිනෙකාගේ ජිවිතත් ඒ වගේ ම සරසගන්න බැරි වෙන්න පුළුවන් ද? පුළුවන් වෙන්න බැරි ද?‘ මගේ හිස ඇතුලේ මහා ඝෝෂාවක්!

    අන්තිමට මං මෙහෙම හිතුවා. 'අද දවසේ අයියා මට කතා කළොත් මං අයියා එක්ක ජීවිතේ තියෙනතුරා රැඳෙනවා'. මොන දේ වුණත් ඒ ඉරණම දරා ගන්න මං හිතා ගත්තා. මට පුළුවන් මොන දේ වුණත් හොඳ අතට හරවා ගන්න. එහෙම හිතුණු වෙලාවේ ඉඳන් මුලු දවස ම මම මේ වචන ටික හිතින් මිමිණුවා. ‘අනේ අයියේ මට කතා කරන්න!‘

    ඔයාලා දන්නවා එතනින් එහාට වුණු දේවල්. මාත් යාලුවා මගින් සමහර දේවල් දැන ගත්තා. ඒත් මට විශේෂයෙන් අහන්න බැහැ, මගේ තිබුණා යම් ලොකු කමක් වැනි දෙයක්. එදා කූටප්‍රාප්තියට පත් වුණු මගේ සිතුවිලි කන්ද ටිකින් ටික දියවෙලා ගියා. මට අලුත් ජීවිතයක් ලැබුණා. අලුත් මිනිසුන් මුන ගැසුණා. සෑහෙන දේවල් අලුතින් ඉගෙන ගත්තා. අයියාගේ ඒ හැසිරීම යම් මානසික වියවුලක් පෙන්නුම් කරන්නක් විය හැකි බව කියෙවන කරුණුත් ඒ අතර තිබුණා. එහෙම කාරණා ඉගෙන ගත්තා ම මම අනතුරකින් ගැලවුණා වගේ හැඟීමක් ඇති වුණා. මායි යාලුවයි අවුරුදු කිහිපයකින් වෙනත් රෝහල් වෙත අනුයුක්ත කෙරුණා. මගේ විවාහ උත්සවයට ඈ ආවත් ඇගේ විවාහ උත්සවයට මම ගියේ නැහැ, අයියා එතන ඉන්න නිසා. ඉඳහිට අපි දුරකතනයෙන් හමු වුණා. ඒ අතරේ කෝවිඩ් කාලේ දවසක මට ඇගෙන් දුරකතන ඇමතුමක් ලැබුණා.

    “....., ඔයාට මතක නේද අපේ මාමාගේ පුතා. එයා අනේ ඔන්න ඔහේ ඇඩ්මිට් වෙලාලු. ඇට්ටරකම ඉවරයක් නැහැනේ අනේ. ඔයා පොඩ්ඩක් බලනවා ද? නැන්දා පව්“

    ඒ දවස් වල රෝහල් ගත වුණා කිව්ව ම ලෙඩේ අහන්න දෙයක් නැහැ. මම එයාගෙන් විස්තර අහගෙන එහෙම ම අයියා උන්නු තැනට ගියා. එයාගේ ඇඳ ඉහපත වාර්තාව කල්පනාවෙන් බැලුවා.

    මගේ පපුව හිර වුණා. එතෙක් මම බුද්ධියෙන් කල්පනා කරලා හිත පුරවාගෙන හිටපු කරුණු හැම එක ම එක මොහොතකින් කොහේ ගියා ද නැති වුණා. එදා අන්තිම දවසේ මාර ගහ දිහා බලාගෙන හිටපු මොහොතට මාව මොහොතකින් ඇදිලා ගියා. මම එතන හිටගෙන උඩ මට්ටමින් තිබුණු යන්ත්‍ර තිරය දෙස බලාගෙන හිටියේ මාර ගහ දිහා බලාගෙන හිටපු මොහොතේ තිබුණු කැළඹුම වගේ දහස් ගුණයකින් වැඩිවුණු කැළඹුමක් දරාගෙන. ඒ කිසි දේකින් සුබ ලකුණක් පෙනුනේ නැහැ. මගේ ඇඳුම පැළඳුම නිසා කවුරුත් දැනගත්තේ නැහැ මං වැළපෙන බව. අයියා යන්ත්‍රාධාරයෙන් ඇඳේ ඇලවෙලා හිටියේ නිසොල්මන් ව. මම එයාගේ අත අල්ලා ගත්තා. මම වෙව්ලමින් වැළපුණා. වැළපෙමින් දිගට ම මේ වචන මිමිණුවා. ‘අනේ අයියේ මට කතා කරන්න!‘ මට දැනුනේ මං තාම එදා අර අන්තිම දවසේ මාර ගහ දිහා බලාගෙන, ඒ වචන මුමුණ මුමුණා ඉන්නේ කියලා. ඔයාලා විශ්වාස කරන්න! එයා ඇස් ඇරියා. මම සම්පූර්ණයෙන් ඇඳුමින් ආවරණය වෙලා හිටියත් එයා ඇස් ලොකු කරලා මං දිහා බලන්න උත්සහ කළා. පොඩ්ඩක් ඇඳෙන් ඉස්සිලා මොකක්ද කිව්වා. මං දැන් දන්නවා එදා ඒ මොකක්ද කිව්වේ කියලා.

    ඒත් එදා මට තේරුණේ නැහැ. මං හිතුවේ සංචරණ සීමා ගැන මොකක් හරි කියන්න හදනවා කියලා. ඒත් දැන් හොඳට ම තේරෙනවා ඒ කිව්වේ මොකක් ද කියලා. ඔව් එයා කිව්වේ එයා හිතින් මට හදාගෙන හිටපු නම!

    මම ගිනියම් ව තිබුණු එයාගේ ඔලුව අත ගෑවා. පව් දෙයියනේ!

    මට තේරුණා එයාට තව වැඩි වෙලාවක් නැහැ කියලා. ඒ අන්තිම මොහොතේ එයා මාව හඳුනාගත්තා. මට මගේ රහස මතක් වුණා. අඩුම තරමින් මං එයා ගැන හැඟීමකින් හිටියා ය කියන සිතුවිල්ලත් එයාට සැනසීමක් වෙන්න පුළුවන් නේද කියලා මට හිතුණා. මම හිමින් පහත් වෙලා එයාට ඒ රහස කිව්වා.

    “අයියේ, ඔයාට මාව මතකයි නේ ද? ඔව් මට දැනෙනවා ඔයාට මාව මතකයි. අයියේ ඔයා සරසපු මාර ගහ. ඒක ඔයාගේ විතරක් නෙමෙයි අයියේ. ඒක මගෙත්! ඔයා දැනගෙන හිටියේ නැහැ. මායි ඔයාගේ නංගි ....යි යාලුවෝ. එයයි මායි ඉස්සර ඔයා නැති වෙලාවට ඇවිත් රතුපාට රෙදි මල් හැදුවා. මම සමහර වෙලාවට ගෙදර ගෙනැල්ලත් රෑ ඇහැරගෙන  මල් හැදුවා. රෙදි අරගෙනත් හැදුවා. මං එහෙම කළේ ඇයි කියලා මං දන්නේ නැහැ අයියේ. ඒකෙන් මට ලැබුණු දෙයක් තිබුණා ද කියලා මට ඒ කාලේ තේරුණේ නැහැ අයියේ. ඒත් ඔයාට මාව සතුටු කරන්න ගහ සරසන්න ඕනෑ වුණු නිසා මං ම මගේ අත් දෙකින් රතු පාට රෙදි මල් හැදුවා, මම පහුවදාට සතුටින් බලනවා කියලා ඔයා හිතපු මල් පොකුරු ගොඩේ වැඩියෙ ම තිබුණේ මම ම හදපු මල්!“

    එතනින් එහාට මට එදා වුණු දේවල් මතක් නැහැ. මට සිහි නැති වෙලා තිබුණා. අයියා යන්න ම ගිහින් තිබුණා.

    මගේ ජීවිතයේ සඳහන් කරන්න තරම් අඩුපාඩුවක් නැහැ. දුවත් පුතාත් සැමියාත් මාත් සතුටින් ඉන්නවා කියන්න පුලුවන්. පසුගිය සමයේ අපි ශ්‍රී ලංකාවෙන් පිට වුණා. ආයේ කවදාවත් එන්න බලාපොරොත්තුවක් නැහැ. යාලුවත් මගේ නංගිත් දන්නවා දැන් ඒ පොතේ ඉන්නේ මම බව. නංගිට ගානක් නැහැ. යාලුවා පපුව පැලෙන්න තරම් වේදනාවෙන් අඬලා, මාවත් ඇඬෙව්වා. දැන් ඒ සේරම ඉවරයි. මම දන්නවා මං තෝරා ගත්තේ සුදුසු ම ජීවිතය කියලා. ඒත් මගේ හිතේ එදා අන්තිමට මාර ගහ දිහා බලාගෙන ඉද්දි ඇතිවුණු පැනය සදාකල් රැඳෙයි. ඒත් පිළිතුරක් ලැබෙන්නේ නැහැ කවදාවත්!

    ‘ගහක් සරසන්න එතරම් වෙහෙසක් ගන්න පුලුවන් වුණු අයට එකිනෙකාගේ ජිවිතත් ඒ වගේ ම සරසගන්න බැරි වෙන්න පුළුවන් ද? පුළුවන් වෙන්න බැරි ද?‘ මගේ හිස ඇතුලේ සියුම් රිදුමක සදාකාලික මුණු මුණුවක් ඇසි ඇසී නොනැසී තියෙනවා!




4 comments:

  1. සොඳුරු ශෝක ගීයකි හද පාරවන
    යළිදු මතකයට නැංවෙන; රාව දෙන
    තවත් වදන් කොහි? ලියුමට ලිපිය ගැන
    දෙනෙතම තෙතයි- ඇත චුට්ටක් පිහදන්න

    ReplyDelete
  2. මේක අර මැයි මාර මගුලට සම්බන්ධ එකක්ද?
    හොඳ වෙලාවට මම ඒක කියවල නැත්තෙ.

    ReplyDelete
  3. “ගහක් සරසන්න එතරම් වෙහෙසක් ගන්න පුලුවන් වුණු අයට එකිනෙකාගේ ජිවිතත් ඒ වගේ ම සරසගන්න බැරි වෙන්න පුළුවන් ද? පුළුවන් වෙන්න බැරි ද?“ ඇත්තටම පුළුවන්!

    මැයි මාර ප්‍රසංගය නව කතාව මමත් කියවලා නෑ. මටත් හිතෙන්නෙ මේ ඒ කතාව වෙනත් කෝණයකින් බැලීමක් කියලා. කොහොම වුණත් හද රිදුම් දෙවන කතාවක්!

    හොඳ යාලුවො දෙන්නෙක් විදිහට ගෑනු ලමයෙකුට හා පිරිමි ලමයෙකුට ආශ්‍රය කරන්න පුළුවන් පරිසරයක් තියෙනවනම් ඔය විදිහෙ ප්‍රශ්ණ අඩු වෙනවා නේද. ගොඩක් අය හිතන්නෙ ගෑනු ලමයෙක් හා පිරිමි ලමයෙක් අතර යාලු කමක් තියෙනවනම් ඒ දෙන්නා 'ලව්', කසාද බැඳලම ඉවර වෙන්න ඕනෙ කියලනෙ. ගෑනු ලමයා හා පිරිමි ලමයගෙ පැත්තෙන් බැලුවත් දැක්ක පමණින් ආදරෙයි කියන්න හෝ ආදරේ පිලිගන්න තියෙන ප්‍රෙශර් එකත් අඩු වෙලා ගැලපෙන්නෙ නැත්නම් move on වෙන්න පුලුවන්.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...