Tuesday, February 18, 2025

703 - පුංචි මාමා......

 


අපෙ අම්මයෙ පවුලෙ ඔක්කොම දහයයි..අම්මා අට වෙනියා...

පිරිමි ඒ කිව්වෙ මාමලා හතයි..අම්මට වැඩුමල් හයයි..බාල එක්කෙනයි..අම්මට අක්කලා එකයි නංගිලා එකයි..

ඒ ඔක්කොමල්ලගෙං ජීවතුන් අතර ඉතුරුවෙලා හිටියෙ අම්මගෙ නංගියි මල්ලියි විතරයි..ඒ මල්ලිත් ඒ කිව්වෙ මයෙ පුංචි මාමා ගිය සිකුරාදා මියගියා..අම්මගෙ පවුලෙ දැං ඉතුරු පොඩි අම්මා විතරයි..

පුංචි මාමා නැතිවෙනකොට වයස 84යි..අවුරුදු හතකට ඉස්සෙල්ල අම්මා නැතිවෙනකොට උන්දැටත් 84යි...අම්මගෙ පවුලෙ දහදෙනාගෙන් වැඩිමල්ම ඒ කිව්වෙ අපේ ලොකු මාමා ඉපදුනේ 1918 අවුරුද්දෙ...බාලයා ඔය ගිය සතියෙ නැතිවෙච්චි පුංචි මාමා ඉපදිලා තියෙන්නෙ 1941 දි..ඒ කියන්නෙ පවුලෙ වැඩිමල්ම අයියයි බාලම මල්ලියි අතර වයස පරතරේ අවුරුදු 23ක්...

ඒ ලොකු මාමා කසාදයක් එහෙම කරගෙන දරුවො එහෙම හැදුවනං ඒ දරුවො පුංචි මාමටත් වැඩිමල් වෙන්න තිබ්බා..හැබැයි ඒ ලොකු මාමා අවිවාහකවම මියගියා..ඒ 2006 අවුරුද්දෙ...

ඒ ලොකු මාමා ලඟට ඉන්නෙ අපේ ලොකු අම්මා..ලොකු අම්මගෙ වැඩිමල්ම පුතා පුංචි මාමට බාල අවුරුදු දෙකයි..

බොහොම්යක් ඒ කාලෙ පවුල්වල ඔය සීන් එක තියනව..මාමල පුංචි අම්මල, බාප්පල, නැත්තං නැන්දල ඉන්නව එක්කො තමංගෙ සම වයසෙ හෝ තමන්ටත් වැඩිය බාල..

දැං අපේ ප්‍රියම්බිකා තොමෝගෙත් එහෙමයි..එයයිලගෙ අම්මගෙ පවුලෙ වැඩිමල්ම ලොකු අම්මගෙ ලොකු දුව අම්මට වඩා බාල මාස තුනයි..

අපෙ අප්පච්චිගෙ පවුලෙත් එහෙමයි අප්පච්චිනෙ පවුලෙ වැඩිමලා..අප්පච්චිගෙයි පවුලෙ බාලම ගෑණු ළමයාගෙයි (අපේ පැටි නැන්දා) වයස පරතරේ අවුරුදු විසි හතරයි... ඒ බාලම නැන්දට වැඩිය ලොකු නැන්දගෙ (අප්පච්චි ගාවම නංගි) ලොකු දුව බාල අවුරුදු පහයි..

මාසෙකට වගෙ ඉස්සෙල්ල මම ෆේස් බුක් එකේ ෂෙයාර් කලා මේ වගෙ සිද්ධියක් ගැන ලියවුනු පවන් ශාමිකගෙ කවියක්..පස්සෙ ඒ එක්කම මේ අපේ පවුලෙ කස්ටියගෙ වයස් පරතර ගැන පෝස්ට් එකක් ලියල දාන්නම්ය කියල හිතාගෙන හිටියට ඉතිං සුපුරුදු පරිදි වැඩේ දිනෙන් දින කල්ගියා..

මේ පවන් ශාමිකගෙ කවියෙ මුල කොටස..

මට ලැජ්ජයි වීරේ 

මේ වමනයයි ඔක්කාරයයි
කරකැවිල්ලයි අප්පිරියාවයි
ඊයෙ රෑ කාපු මීකිරි හින්දා නෙවෙයි වීරේ..

මං හිතන්නෙ මයෙ කුසට අමුත්තෙක් ඇවිත්..

ලොක්කාට විසිතුනයි බාගයයි
ලේලිගේ කුසට තුන්මාසයයි
පොඩි කෙළී දාසයයි මාසයයි

ගමේ උන් දුටුවොතින් දෝසයයි
වස නවනිංගිරාවයි අවලාද කෝටියයි..

හිත ඇතුළෙ ගහනවා කොනිති
හීනෙනුත් පේන්නෙම අසුබ පෙරනිමිති 

වීරෙ මයෙ හිතට හරි අමුතුයි
ලෝකයෙන් වහන් වෙන්නට හිතෙයි.

පවන් ශාමික ---------------------

හරි එව්ව ඇරිච්චාවෙ...ගිය දේ ගියාවෙ...අපේ පුංචි මාම ගැන ලියමුකො මතක සටහනක්..

පුංචි මාමා වැඩ කලේ තැපැල් දෙපාර්තමේන්තුවෙ..කෑගල්ල, උඳුගොඩ, මොරොන්තොට, කඳපොල, බගවන්තලාව, ගම්පොළ සහ අන්තිමට කඩුගන්නාවෙ තැපැල් කන්තෝරුවල වැඩ කලා..

මාමා ආමි වොලන්ටියර් සිංහ රෙජිමේන්තුවෙ කැප්ටන් කෙනෙක්..ඒ හින්ද 1979 අවුරුද්දෙ කොත්මලේ ප්‍රොජෙක්ට් එක පටන් ගද්දි ඒකට ගියා Chief Security Officer වෙලා..

ඊට පස්සෙ සමණලවැව,කුකුළේ ගඟ, චයිනා හාබර් සමාගම සහ සවුදි අරාබියෙත් වැඩකලා සෑහෙන කාලයක්..මාව මහවැලි අධිකාරියෙ රස්සාවට දැම්මෙත් පුංචි මාමම තමයි..මහවැලියෙන් අස්වුනාට පස්සෙ කුකුළේ ගඟ සහ චයිනා හාබර් ගම්පොළ-නුවර එළිය මාර්ගය ඉදිකිරීමේ ප්‍රොජෙක්ට් වලට මාව දැම්මෙත් එයාම තමයි.

පුංචි මාමා ඇවිල්ල හොඳට කාපු බීපු ජීවිතේ විඳපු මනුස්සයෙක්..හිටපු ගමං ඉතිං මට කෝල් එකක් දෙනව.."පුතා, මොකෝ කරන්නෙ? මේ පැත්තෙ ඇවිල්ල යන්ට බැරිද? මේ..ලයනල් අයියත් ඇවිල්ල ඉන්නව.." ලයනල් අයියා කියන්නෙ අපේ ලොකු අම්මගෙ බාලම පුත්‍රයා..

මේ දැං මාස දෙකකට විතර ඉස්සර මට වෙච්චි සීන් එකක් හින්ද මට පුංචි මාමා සම්බන්ධ සිද්ධියක් මතක්වෙලා ඕක ගැන ලියඤ්ඤං ලියඤ්ඤං කියල හිතාගෙන හිටියට සුපුරුදු පරිදි අමතක වෙලා ගියා..

හරි එහෙනං Better late than never  කියල ඒක අද ලියඤ්ඤංකො..

මේ සිද්ධියට මම නිතරම රැවුල කොණ්ඩෙ කපන්ඩ යන කරණවෑමියත් සම්බන්ධයි..
දවසක් මම එකොළහටවිතර බාබර් සැලූන් එකට ගියාම ඒක වහල..

මම ඉතිං එතනම ඉඳල පොරට කෝල් එකක් ගත්ත.."ඒයි මොකෝ බං සැලූන් එක වහලා?"

" ආ..සර් කොණ්ඩෙ කපාගන්ට ආවද? අනේ මම දැං පැය බාගෙකට වගෙ කලිං කඩේ වහල ආවනෙ ."

"මොකෝ සීන් එක?"

" හරි සර් හෙට එන්නකො..මම කොණ්ඩෙ කපන ගමං විස්තරේ කියන්නංකො.."

ඉතිං පහුවදා කොණ්ඩෙ කපන ගමං බාබරයා විස්තරේ කිව්වා..

"අර පිටිපස්සෙ තියෙන පෙට්‍රෝලියම් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවා සර්..කිව්වට විස්වාස කරන එකක් නෑ..උදේම ඇවිල්ල කොණ්ඩෙ කපාගත්තොත් ආය නෑ මුලු දවසටම ආය තවත් එක කස්ටමර් කෙනෙක් වත් එන්නෙ නෑ.."

"පලයං බං යන්න..ඔව්ව බොරු කතානෙ.."

"ඔය ඉතිං ඕකනෙ කියන්නෙ සර් විස්වාස කරන්නෙ නෑනෙ..මටම තුන් හතර වතාවක් වෙලා තියනව ඔය අකරතැබ්බෙ..ඉතිං මං කරන්නෙ ඒ මනුස්සය මේ පැත්තට එනව වගෙ දැක්කොත් සැලූන් එක වහල හෙමීට මාරු වෙනව..මිනිහා බලා ඉඳල ගියාම ඇවිල්ල අරිනව.."

"ඉතිං ඊයෙත් එහෙම කරන්න තිබුනනෙ."

"ඒකනෙ කියන්නෙ... ඊයෙ මේ යකා ලඟටම එනකල් මම දැක්කෙම නෑනෙ.."

"හෙහ්..හෙහ්...හෙහ්.... ඉතිං? ඉතිං?"

"ඉතිං කියන්නෙ මිනිහගෙ කොණ්ඩෙ කපල පිටත් කලා තමයි... දහයහමාර වෙනකල් මම බලාහිටිය බලු බල්ලෙක් පැත්තෙ පළාතෙ ආවෙ නෑ කියන්ඩකො..බැරිම තැන මම කලේ කඩේ වහල ගෙදර ගියා.."

"ඉතිං මොකෝ එහෙම වෙන්නෙ?"

" ඔය පහුගිය ආත්මවල පව් කරපු මිනිස්සු එහෙමලු සර්.."

ඉතිං ඒ වෙලාවෙ මට මතක් වෙච්චි මම සහ අපේ පුංචි මාමා සම්බන්ධ සිද්ධිය මේකයි...

පළවෙනි පාර ඒ ලෙවල් ඇණ ගත්තට පස්සෙ මම දෙවෙනි පාර විභාගෙ කරන්ඩ නුවර ක්ලාස් ගියා..බාලදක්ෂ ශාලාවෙ ක්ලාස් තිබ්බෙ..දැං දුරගමන් ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එක තියෙන්නෙ ඒ කාලෙ ස්කවුට් හෝල් එක තිබ්බ තැන..බෝගම්බර ස්ටේඩියම් එකට එහා පැත්තෙ..මම ඔය කියන්නෙ 81 / 82 කාලෙ..

ඔය කාලෙ  අපේ පුංචි මාමා කොත්මලේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කලේ..ගම්පොළ කහටපිටියෙ ලොකු තට්ටු දෙකේ ගෙයක් අරං දීල තිබ්බ ස්කන්ස්කා කම්පණි එකෙං නිල නිවාසෙ හැටියට..ස්කන්ස්කා කිව්වෙ කොත්මලේ ප්‍රොජෙක්ට් එකේ කන්ට්‍රෑක්ටර්... ස්වීඩන් කම්පණි එකක්..

මම ඉතිං කහටපිටියෙ පුංචි මාමලගෙ ගෙදර නැවතිලා තමයි නුවර ක්ලාස් ගියේ..ආ..කියන්න අමතක උනානෙ..ඒ කාලෙ අපි හිටියෙ අනුරාධපුරේ..ක්ලාස් තිබ්බෙ සති අන්තයෙ විතරයි..මම ඉතිං ගෙදර ඒ කියන්නෙ අනුරාධපුරේ යන්නෙ සති තුනකට, මාසෙකට විතර සැරයක්..සතියෙ දවස්වල කරන්නෙ පයින්ම යනව ගම්පොළ ටවුන් එකට..පාරවල් දිගෙ ඇවිදල ආනන්ද හෝල් එකේ සම්ටයිම්ස් ෆිල්ම් එකකුත් බලල ගෙදර එනව..

පුංචි මාම හැමදාම රෑට කාලා යනව නයිට් ඉන්ස්පෙක්ෂන් කොත්මලේ ප්‍රොජෙක්ට් එකට.."පුතා ඔයත් යං ...නිකංනෙ ඉන්නෙ.." එහෙම කියල මාවත් එක්ක යනව..මමත් ඉතිං හරිම ආසාවෙං යනව..

රෑ කියල නෑ..මුලු ප්‍රොජෙක්ට් එකම කහ පාට එළියෙන් බැබලෙනව..එළි වෙනකල් එක්ස්කැවේටර්, ලෝඩර්, ඩෝසර් ගිණි කසයො වාගෙ වැඩ...පැය දෙකෙන් දෙකට වගෙ බිස්කට් කනවා..නෙස්කැෆේ බොනව (එව්ව ඔරිජිනල් ස්වීඩිෂ් බඩු )..එකම ආතල් සාගරයයි..

ආ.. අපේ පුංචි මාමා දක්ෂ දඩයක්කාරයෙක්..ඔය රෑ ප්‍රොජෙක්ට් එකට යද්දි එයාට දීල තිබ්බ කොළ පාට ටොයෝටා කොරොල්ලා වැගන් එකේ පිටිපස්සෙ තුවක්කුවත් දාගෙන යන්නෙ..ඌරො, ගෝන්නු තමයි එයාගෙ ඉලක්කෙ..

ඔන්න තිස්පනේ තේවත්තෙ මැදක් හරියක් ගිහිල්ල පුංචි මාමා හෙමීට වාහනේ අයිනකට කරල නවත්තනව.."පුතා සද්ද කරන්න එපා..වාහනෙං බහින්නත් එපා..." කියල කෑලි පහේ ටෝච් එකයි තුවක්කුවයි අරං බැහැල කලුවරේම හෙමිහිට ඉස්සරහට යනවා..මට චායාවක් වගෙ පේනව පුංචි මාමා තුවක්කුවත් අතිං අරං ඈතට  ඈතට යනව තේ පඳුරු අස්සෙං..

මට ඉතිං එහෙම්මම නින්දත් යනව පෙලක් වෙලාවට..ඔන්න ඩීං ගාල වෙඩි සද්දෙට මම උඩ ගිහිං ඇහැරෙනව..වෙඩි සද්දෙ විතරයි..ඇටපල් කලුවරේ කිසි දෙයක් පේන්නෙ නෑ..

විනාඩි පහළවකට විතර පස්සෙ ඔන්න පුංචි මාමා එනව.."මොකද පුංචි මාමෙ උනේ?..." මම රහසිං වගෙ හෙමිහිට අහනව..

"හොඳ සයිස් බඩුවක් පුතා..ගෝනෙක්..වෙඩි කාගෙන ඌ පැන්නනෙ.....ටිකක් දුර මම පස්සෙං ගියා... හොයා ගන්ට බෑ..හෙට උදේම බලනව.." එහෙම කියල පුංචි මාමා වාහනේ හරවගෙන අපි ඉතිං ආපහු එනවා..

මම ඉතිං ඇවිල්ල (ඒ එනකොට පාන්දර හතර විතර වගේ..) බ්ලැන්කට් එකත් ඉහිං කනිං පොරෝගෙන  නිදාගන්නව..

ආයම පුංචි මාමව මුන ගැහෙන්නෙ පහුවදා... එයා දවල්ට කන්ඩ ගෙදර ආවම.."පුංචි මාමා..ගෝනා හම්බ උනාද? " මම අහනවා..

"නෑනෙ..වෙඩිල්ල හොඳට වැදිලත් තියනව..ඒත් මූ කොහේ පැන්නද මන්දා..හොයාගන්ට නෑ..අපරාදෙ...." පුංචි මාමා තොලපටත් පෙරලල කියනව..

ඔහොම මාසයක් දෙකක් යනකොට මට තේරුණා පුංචි මාමා කලිං වගේ නෙවෙයි මාව රෑට ප්‍රොජෙක්ට් එකට එක්ක යන්ට අදිමදි කරනවා  වගේ..

"පුංචි මාමෙ..මමත් අද එන්නං රෑට ..කාලෙකිං ගියෙත් නෑනෙ.." කිව්වම "අද නම් බැරිවෙයි පුතේ..අද මම සිංහයාපිටියෙ යාලුවෙකුගෙ ගෙදරත් ගිහිල්ලයි ප්‍රොජෙක්ට් එකට යන්නෙ.." එහෙමත් නැත්නම්.."අද නම් මට ඔෆිස් එකේ වැඩ ගොඩක් තියනව..ඔයා නිකං ඔෆිස් එකේ ඉන්න මොකටද යන්නෙ... වෙන දවසක යමුකො" කියල මාමා මාව මඟ අරිනව..මට හොඳටම තේරුණා ඒක..

පුංචි මාමගෙ දෙවෙනියා වගේ හිටියෙ ජෝර්ජ් අංකල්..ජෝර්ජ් පෙරේරා..ඒත් පුංචි මාමා එක්ක ආමි එකේ හිටපු ඔෆිසර් කෙනෙක්...

පුංචි මාමා කොත්මලේ ප්‍රොජෙක්ට් එකේ වැඩ බාරගනිද්දි ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් කියල තියනව තමන්ට විශ්වාස කෙනෙක් ඇසිස්ටන්ට් හැටියට බඳව ගන්න කියල..ඒ ගමන පුංචි මාමම තමයි ජෝර්ජ් අංකල්ව අරගෙන තියෙන්නෙ..

අන්න ඒ ජෝර්ජ් අංකල් නැවතිලා හිටියෙත් අපි හිටපු ගෙදරම එලියෙං වෙනම එන්ට්‍රන්ස් එකක් තිබුණු උඩ තට්ටුවෙ..ජෝර්ජ් අංකල් හරියට පොත් කියෙව්ව..එයාගෙ කාමරේ අල්මාරියක් පුරවලා පොත් තිබ්බ..ඉංග්‍රීසි සිංහල දෙකම..මම ඉතිං දවල් තනියම ගෙදර ඉන්න වෙලාවට ඒ අල්මාරියෙං පොත් හතර පහක් ගෙනල්ල කියවනව..

විකී බෝම් මහත්මියගෙ "ගසක කඳුළු" පොත මම මුලින්ම කියෙව්වෙ ඔය ජෝර්ජ් අංකල්ගෙ පොත් එකතුවේ තිබිල..පරිවර්තකයා නම් මට හරියටම මතක නෑ..ඌරාපොල හේමාලෝක හාමුදුරුවො වෙන්න ඇති බොහෝවිට...එක්දාස් අටසිය ගණංවල පෘතුගීසීන් බ්‍රසීලයෙ ඇමසන් ගඟ බඩ රබර් කිරි එකතු කරන්ට ගිහිල්ල ස්වදේශිකයින්ට රබර් කිරි වෙනුවෙන් කරපු අමානුෂික වධ හිංසා ඒ පොතේ විස්තර කරලා තියනව ඉතාම සංවේදීව..කියවද්දි ඇඬෙනව කොටින්ම..ඔරිජිනල් ඉංග්‍රීසි පොතේ නම  "The Weeping Wood"

ඉතිං ඔය ජෝර්ජ් අංකල්ගෙං මම දවසක් ඇහුවා "ජෝර්ජ් අංකල්..අපේ පුංචි මාමා මාව දැං රෑට ප්‍රොජෙක්ට් එකට එක්කගෙන යන්ඩ කැමති නෑ වගේ මට තේරෙනවා..අංකල්ට මොකවත් කිව්වද ඒ ගැන?" කියල..

ඒ පාර ජෝර්ජ් අංකල් හක හක ගාල හයියෙං හිනාවෙලා ඇහුව "ඇයි අතූ ඒ ගැන ඔයාට කිව්වෙ නැද්ද? " කියල..පුංචි මාමගෙ නම ජී. බී. අතපත්තු..ඒ හින්ද යාලුවො කිව්වෙ අතූ නැත්නම් පත්තු කියල..

මම කිව්ව "නෑනෙ මට මොකවත්ම කිව්වෙ නැහැනෙ.."

"එහෙනං අතූට ඒ ගැන කියන්න මොකක්ද වගේ වෙන්න ඇති..වැඩේ මේකයි රවී..දැං ඔයා මාමා එක්ක ගිය එක දවසකවත් දඩයමක් හම්බවෙලා නෑ....වෙඩි තිබ්බත් සතා පැනල යනව..ඉතිං අතූ හිතන්නෙ ඔයා හින්දයි එහෙම වෙන්නෙ කියල.."

"අප්පට සිරි එහෙමත් එකක්ද?" මම ඇසුත් ලොකු කරගෙන ඇහුවා..

"ඔව්..පෙර පිං තියෙන අය එක්ක ගියාම දඩයං හරි යන්නෙ නෑ කියල කතාවක් තියනවනෙ..ඒකයි අතූ ඔයාව එක්ක යන්න අදි මදි කරන්නෙ..." ජෝර්ජ් අංකල් එහෙම කියල ආයෙමත් ගේ දෙකක් වෙන්ට හිනා උනා..

"ඇත්තත් තමයි..." මම ටික වෙලාවක් කල්පනා කරල කිව්වා.. "මම ගිය එක දවසකවත් සතෙක් එලාගන්ට බැරි උනා තමයි..හරි හරි ප්‍රශ්නයක් නෑ....ඒත් ඉතිං පෙර කරපු පිනුත් හරහට හිටපු වෙලාවක් මේක.."මම එහෙම කියල ඉඳගෙන හිටපු පුටුවෙන් නැඟිට්ටා..


දයාබර පුංචි මාමේ...සුවසේ නිදනු මැන...

Good night sweet prince, 

may the angels trod  gracefully and may the wind bring falling frgrant flowers to rest gently on your grave...

5 comments:

  1. ඉස්සෙල්ලම රවී, පුදුම සතුටක් දැනුණා 'ගසක කඳුළු' පොත ඔයත් කියවලා තියෙනවා කියල දැනගත්තම.

    මගේ මිතුරෙක් ඉන්නවා, කසාද තුනකට හතරකට සාක්කිකාරයෙක් විදිහට අත්සන් කරපු. ඒ කසාද සේරම දික් වෙලා. දැන් කවුරු හරි එයාට ඒ රාජකාරියට ආරාධනා කළොත් එයා එයාගේ රෙකෝඩ් එක කියලා අහනවා 'අත්සන් කරන්නද?' කියලා.

    ඔය පෙර කළ කුසල්- අකුසල් විතරක් නෙවෙයි, මේ ආත්යෙමදීම කළකම් පළ දෙන විත්තියත් මම විශ්වාස කරනවා. එහෙම හිතන්නේ මට පුදුම ලැබීමේ වාසනා ගුණයක් තියෙන නිසා වෙන්නත් ඇති.
    සති දෙකකට කලින් අපේ අමිල හිතවතා මට 'එයාර් ප්‍රයර්' එකක් තෑගි ලෙසට ගෙනත් දුන්නා. මතකයි නේද 'ගල් බෝලේ' හොයන්න ගිහිං එද්දී දවල් කෑමට ඔයාගේ නෝනා මහත්තයා එයාර් ප්‍රයර් එකෙන් හදල තිබුණු ඇඹුල් තියල් මාළු ගැන කතන්දරේ! මං ඇණ ගත්තේ...

    ReplyDelete
  2. කියන්නම ඕනි දේ කිව්වේ නැහැනෙ.

    මගේ පොඩි මාමාත් මට වැඩිය බාලයි.
    එයාත් අතුරුදහන් වෙච්චි කෙනෙක්.
    කාල මරණයකට ගොදුරු වුණු ඔයාගෙ පුංචි මාමට පැතූ සුවය අත් වේවා!

    Post එක රහයි- දුකයි. ඒත් ඔයා කම්මැලි නොවී මෙහෙමවත් ලියනවා නං සතුටුයි. ලියහං මනුස්සයෝ!

    ReplyDelete
  3. ඔහුට සුව නින්දක්! මට ඉතින් මේක කියවන කොට මතක් වුණා මයෙ මනුස්සයා මට කියන කතාවක්. ඔය විභාග අනං මනං වැඩ වැඩි වුණාම මං කවි ලියනවා හොරයි. හැබැයි ඔය මොනා අස්සෙ වුණත් ගෙදර වත්තෙ හරි ගෙවල් ගාව හරි ගහක් කැපු‍වොත් කය්යක් ලියනවාම තමයි. මේ ළඟකදි අපේ පුංචිඅම්මා වෙරලු ගහක් කපන්න ගිහිල්ලා මං ලියාපු කවිය දැකලා දුක හිතිලා ගහ කපන එකත් නැවැත්තුවා. ඉතින් ඔය කල්කිරියාව කාලයක් තිස්සෙ බලං ඉඳපු මනුස්සයා කියාපි - මේ ළමයාට කවියක් ලියන්න කවුරු හරි ගහකට කෙළලා අරින්නම ඕන කියලා. අන්න එහෙම ‍මේ නිදහස් සිතිවිලි ලියන මනුස්සයාටත් කවුරු හරි මැරෙන්නම ඕන බ්ලොග් පෝස්ට් එකක් ලියන්න. කලින් නලින් සර් මළාම ලිව්වා. දැං මාමා! කම්මැලිකම නැතුව ලියන්න වදේ! නැත්තං මෙව්වා ලියවෙනව බලන්න මරණයක් වෙනකං ඉන්නෙපැයි!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...