Monday, October 7, 2024

701. සමණල ආචරණය නොහොත් Butterfly Effect - වසර දෙකහමාරකට පෙර මිරිහානේ තටු සැලූ සමණලයා....


Butterfly flaps wings - Mirihana 2022.03.31

"Butterfly Effect" නොහොත් "සමණල ආචරණය" ගැන අහල තියනව නේද?

සමණල ආචරණය කියන්නෙ ඉතාම සුළු සිද්ධියක් හින්ද පටන්ගන්නාවු ක්‍රියාදාමයක් අවසානයේ නොසිතූ වීරූ මහා පරිමාණයේ සිදුවීමකින් අවසන් වීම...

"Does the flap of a butterfly's wings in Brazil set off a tornado in Texas?"

ඒ සිද්ධීන් දාමය හොඳටම විස්තර කරන්නෙ බ්‍රසීලයේ සමණලයෙකුගේ අත්තටු සැලීමක් අමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පසු කාලයක ඇතිවන කුණාටුවකට හේතුවිය හැක යන වාක්‍යයෙන්...

2022 මාර්තු 31 වෙනිදා අපේ රටේ මිරිහාන ප්‍රදේශයේ එවකට ජනාධිපති ගෝඨාභය උන්නැහේගෙ නිවෙස අසළත් ඒ වගෙ සමණලයෙක් තටු සැළුවා..

ඒ කියන්නෙ ඒ වෙලාවෙ එතනට එකතුවූ හත් අටදෙනෙක් ගෝඨාභයගෙ නිවෙස කරා යන්නට උත්සාහ කලා රට පත්වෙලා තියෙන අවාසනාවන්ත තත්වය ගැන විරෝධය දක්වන්ට..නමුත් ආරක්ෂක අංශ ඔවුන් නතර කලා..

ඉනික්බිති ඔවුන් කලේ එතනම ඉඳල ඒ වෙලාවෙම ලියූ විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් උද්ඝෝෂණය කිරීම..ටික ටික සෙනඟ එකතුවෙලා විශාල උද්ඝෝෂණයක් එතන නිර්මාණය උනා..අන්තිමය පොලීසිය කලේ කඳුළු ගෑස් ගහලා ඒ පිරිස පළවා හැරීමයි..

සමහරවිට ඒ උද්ඝෝෂණය පටන් ගත්තෙ මෙහෙම වෙන්න ඇති..

පෙට්‍රල් පෝලිමක උදේ ඉඳල බවුසරයක් ඇවිල්ල පෙට්‍රල් දෙයි කියල බලාපොරොත්තුවෙන් හිටපු මිනිස්සුන්ට රෑ දහයට විතර අද පෙට්‍රල් එන්නෙ නෑ කිව්වම මොන වගෙ හැඟීමක් ඇති වෙයිද? 

"මචං මගෙ අම්මට අංසබාගෙ..හෙට ක්ලිනික් එකට එක්ක යන්න ඕන..මම මේ උදේ ඉඳලම පෝලිමේ හිටියෙ ඒ වැඩේට කාර් එකට පෙට්‍රල් ගහගන්ට..දැං බලපංකො මම කොහොමද අම්මව එක්ක යන්නෙ හෙට?.." ඒ එක් දයාබර පුතකුගේ පැමිණිල්ල...

"මගෙ වයිෆ්ට  දරුවා හම්බ වෙන්න ඉන්නෙ..අපි පිළියන්දල..ඉතිං රෑකවත් අමාරු උනොත් හොස්පිට්ල් එක්ක යන්ට වාහනේට පෙට්‍රල් ගහල තියාගන්න එපාය..ඒකයි මේ උදේ ඉඳල පෝලිමේ හිටියෙ..දැං ඉතිං අහවල් දෙයක් කරන්නද?" ඒ තවත් ස්වාමිපුරුෂයෙකුගේ ශෝකාලාපය...

"මොන කෙහෙම්මලක්ද ඕයි මේක? අපිට අපි හම්බ කරපු සල්ලි දීල අපේ වාහනේට පෙට්‍රල් ඩීසල් ටිකක් ගහගන්ට බැරිනං මොකක්ද මෙහෙම ජීවත්වෙන එකේ තේරුම? යමල්ලා..මේ ලඟමනෙ මේ ඔක්කෝටම වගකියන්ට ඕන එකා ඉන්නෙ..උගේ ගේ ඉස්සරහට ගිහිල්ල කෑගහල කියමු බැරිනං පුලුවං එකෙකුට දීල පළයං කියල.."

"හරියට හරි යමල්ල..දැං ඉවසුවා හොඳටම ඇති..අපි මෙහෙ පෙට්‍රල් පෝලිං වල දවස් ගණං තපිනව..මේ ඔක්කෝටම වග කියන්ට ඕන එකා හතර වටේටම හමුදාව පොලීසිය දාගෙන සැපට බුදි ඇති..යමල්ල ඌව ඇහැරවමු.."

අන්න එහෙමයි ඒ ක්ෂණික උද්ඝෝෂණය පටන් ගන්න ඇත්තෙ..ගොඩක් වෙලාවට එහෙම තමයි..ඒ වගෙ පපුවෙන්ම එන බොක්කෙන්ම එන හැඟීම් පාදක කරගෙන කරන උද්ඝෝෂණ විරෝධතා කලිං සංවිධානය කරපු එව්ව නෙවෙයි..

අර  බ්‍රසීලයේ තටු සළපු සමණලයා එහෙම තටු සලන්ඩ ඇත්තෙ කලිං හිතල නෙවෙයි..ඒ වෙලාවෙ හිතුනා තටු සැලුවා..ඒත් කාලයාගෙ ඇවෑමෙන් උගේ තටු සැලීම ටෙක්සාස් වල මහා කුණාටුවක් වෙයි කියල ඌ හීනෙංවත් හිතන්න නැතුව ඇති වගේම උගේ එහෙම අපේක්ෂාවක් තුං හිතකවත් නොතියෙන්ඩත් ඇති.. 

ඉතිං කොහොම හරි එදා 2022 මාර්තු 31 වෙනිදා රෑ දහයට විතර මිරිහානෙ ගෝඨාභයගෙ නිවෙස අසළ තටු සලපු සමණලයගෙ තටු සැලිල්ල අවසාන උනේ 2024 සැප්තැම්බර් 22 වෙනිදා බහුතරයක් ලංකා වාසීන් එකතුවී තම මනාපය ප්‍රකාශ කොට මේ සම්මජාතියෙ ජනාධිපතිවරයෙක් පත්වෙතැයි ලංකාවාසීන් බහුතරයක් සිහිනෙන්වත් නොසිතූ පක්ෂයකින් නව ජනාධිපතිවරයෙක් තෝරාපත්කර ගැනීමෙන්..ඒක තමයි ටෙක්සාස්වල ඇතිවූ කුණාටුව..

ඉතිං මේ වෙලාවෙ අපි හැමෝම එදා ඒ අවුරුදු දෙකහමාරකට කලිං මිරිහානෙ උද්ඝෝෂණයට සහභාගිවූ ඒ සහෝදර සහෝදරියන් හැමෝටම අපේ ස්තූතිය පළකරන්ට අවශ්‍යමයි..


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...