Monday, April 6, 2015

310. කුකුළේගඟ මතක - 1 ......Memoirs of Skanska, Headrace Tunnels, Main Accesses, Blast Through Predictions & වැන්දා The Storyteller


Image - Sunday Observer Online
මේ පහුගිය සිකුරාදා දවාලෙ යාලුවෙක් කතා කලා. මේ දවස් ටිකේම බොහොත් බිසීවෙලා හිටියට මනුස්සය එක්ක මිනිත්තු පහක් දහයක් වගෙ කතානොකරම බැරිවුනා.මොකද මගෙ කිට්ටුම මිත්‍රයෙක්.... මාස එකහමාරක් විතර නිවාඩුවකට ලංකාවට ගිහිල්ල පහුගිය සතියෙයි ආපහු ආවෙ..මනුස්සයගෙ ගෙවල් පන්නිපිටියෙ..දෙව්රම් වෙහෙර කිට්ටුව..." දෙව්රම් වෙහෙරේ.... හිමි වැඩ සිටි සමයේ.... මා සිටියානම්.." කියල වික්ටර් කිව්වලු.ඒ ඔය කොහෙද ගම් උදාවක අවසාන රාත්‍රියෙ සංගීත ප්‍රසංගයෙදි. " හුහ්, උඹ හිටියනං?... උඹ හිටියනං කොරයි..." කියල කිසිම අංගපුලාවකට නැති වරත්තු කොල්ලෙක් කෑගහල කිව්වලු.

" ඉතිං..මල්ලි කොහොමද නිවාඩුව? "


" නියමයි රවි අයියෙ... කියල වැඩක් නෑ......මරු....දැං අවුරුදු හතර පහක ඉඳලම නිවාඩුවකට ගියාම අනුරාධපුරේ යන්ට කියල හිතාගෙන උන්නට ඒ වැඩේ කොහොමින් කොහොමින් හරි මඟ ඇරුන. "



" ඉතිං බං .මේ පාරවත්…………"

" ඔව්..ඔව්..මේ පාර දැම්ම දවස් දෙකක අනුරාධපුරේ ට්‍රිප් එකක්..පොඩි දෙන්නට මාර සතුටුයි….."

මේ පහුගිය අවුරුද්ද වෙනකල් එරන්ද ( යාලුවගෙ නම එරන්ද ..මම කලිං කිව්වෙ නෑ නෙවද ? ) පොඩි දෙන්නයි බිරිඳයි එක්ක මෙහෙ හිටියෙ. මම ඉන්න එපාට්මන්ට් එකේ ඉඳල පාද චාරිකාවෙන් මිනිත්තු පහයි වූ හිටපු එපාර්ට්මන්ට් එකට. ( ඌ කියන වචනෙ වෙනුවට සමහර අය වූ කියල කියනව අහල තියද ? )

ලොකු දුව ඉස්කෝලෙ දාගන්ට වයස සම්පූර්ණ උනහම එරන්දගෙ භාර්යා තොමෝ දරු දෙදෙනාද කැටුව පෙරළා ලංකාව බලා ගියාය. පොඩි කාලෙ දිනමිණ පත්තරේ මෙහෙම සිරස්තලයක් තිබ්බම මට මාර ප්‍රශ්නයක් " චීනයේ සංචාරයකට ගිය ඇමතිතුමා පෙරළා දිවයිනට පැමිණේ." අප්පටසිරි ඇමතිතුමා චීනෙදි මොනවහරි පෙරළන්ට ඇති ඒ හින්ද මනුස්සය කලින්ම ආපහු එව්වද දන්නෙත් නෑ. " ඔන්න මට තිබ්බ පුරස්න....

මැදපෙරදිග රැකියාකරන තමන්ගෙ සුතනඹුවන් ( සුතනඹුවන් කියන්නෙ කුණුහරුපයක් වගෙ උනාට එහෙම එකක් එහෙම නෙවෙයි හොඳද? කලිනුත් දවසක මම කිව්ව මම හිතන්නෙ ..සුතනඹුවන් කියන්නෙ අඹුදරුවන් කියන එක..ඊටත් සරලව කිව්වොත් බිරිඳ සහ දරුවන් ) හා සමඟ මෙහෙ පදිංචි වෙලා ඉන්න කට්ටියට දරුවො ඉස්කෝලෙ යන්ට වයස සම්පූර්ණ උනහම තෝරගන්ට විකල්ප තුනක් තියනව. එකක් තාවකාලිකව හෝ ස්ථිරව මැද පෙරදිගට සමුදීල ලංකාවෙ පදිංචියට යන එක. 

එහෙම යන අය බොහෝවිට අවුරුදු තුනහතරකින් ආපහු එනව තමන් විතරක්. දෙවෙනි විකල්පය භාර්යා තොමෝ සහ දරුවන් ලංකාවට පිටත් කරන එක. අවසාන විකල්පය තමයි මෙහෙදිම අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන එක.විගමණික ශ්‍රමිකයින්ගෙ දරුවන් උදෙසාම පවත්වාගෙන යන ඉහළම මට්ටමේ අධ්‍යාපන ආයතන බොහොමයක් මෙහෙ තියනව. ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන්ම පවත්වාගෙන යන අධ්‍යාපන ආයතනයකුත් තියනව. ඔය Sri Lankan School එකේ නිර්මාතෘ ඇවිල්ල අපේ අරූගෙ බොහෝම ඉස්සර පැරණි යාලුවෙක්...අරූ ඔබ්රෝයි ඉන්න කාලෙ...

අරූ මතකයි නේද? ඔව් ඔව් වූ තමයි..අර පවුල් අවුල් වන්නට පෙර ද මොකක්ද කියල බයිල වගයක් ලිව්වෙ ඒ දවස්වල. මිනිහ දැං ඒ අටල්පහුර ලියන්නෙ නැත්තෙ මනුස්සයට පොඩි කේස් එකක් වෙලා. ටිකක් වැඩි වෙච්ච දවසක බකිංහැම් මාළිගාවෙ ගේට්ටුව උඩට නැඟල කෑගහල දෙකක් වෙන්ට.චාලිස්ට එලිසබෙත් අක්ක රජකම දෙන්නෙ නෑය කියල තමයි අරූ දෝස්මුරේ දාල තියෙන්නෙ.ඔය චාලිස් ඇවිල්ල අරූගෙ බොහොම හිතේසිවන්තයෙක්ය කියනවනෙ. ඉතිං දෙන්න හවහට සෙට් වෙනවයි කියන්නෙ හයිඩ් පාක් එකේ තියනව දාර සයිස් ඕක් ගහක්. අවුරුදු තුන් හාර සීයක් පරණ රජ බඩුවක්. ඔන්න ඕක යට.

ඔහොම සෙට් වෙච්චි වෙලාවක චාලිස් කියල අරූට තමංගෙ දුක්ගැනවිල්ල..මමී රජකම දෙන පාටක් නැතය..අවුරුදු 63 ක්ම ඔ.හි.කු. වෙලා ඉඳල එපා වෙලාය තියෙන්නෙය,,,අරකද? මේකද? සියලු පට්ටන්තරේ දිගඇරල.අපෙ ඔය අරූස් ඉන්නව නේද? හිත හොඳ ගොබිලා. යාලුවෙක් වෙනුවෙන් පිත්තාසෙ උනත් දෙයි මේං කියල. අරූ ඒ පාර කියල උඹ නාඩ ඉඳිං එච්. ආර්. එච්. උඹට රජකම අරන්දෙන සැටි මම දනිම්වේදැයි හයිඩ් පිටිය එකනින්නාදවන අයුරු සිහනද පවත්වාලාපියා....පවත්ලාපියා..තිලාපියා...හරි ඊට පස්සෙ..ඊට පස්සෙ ගිහිල්ල බකිංහැම් මාළිගාවෙ ගේට්ටුව උඩ නැඟල මාළිගාව දෙකක් වෙන්ට කෑගහල..අඩෝ..එළිසබෙත් ..මේ අහපං...උඹ චාලියට රජකම දෙනවද නැත්තං..නැත්තං..නැත්තං....

පස්සෙ එලිසබෙත් අක්කගෙ ආරක්සක බල සේනාව ඇවිල්ල වූ ගේට්ටුවෙං බස්සගෙන අරගෙන ගිහිල්ල කූඩු කරල.. තාම නඩුව යනව..මේ දවස්වල ඕක අර පවුල් අවුල් වන්නට පෙර ලියන්නෙ නැත්තෙ අන්න ඒකයි. ඔය කේස් එකේ තව සීන් කෝන් බොහොම තියනව. වෙන වෙලාවක ලියන්නංකො අරූට වෙච්චි දේ කියල තනිකර පෝස්ට් එකක්ම...හෙහ්,හෙහ්,

අම්මටවූඩු කොහොමද පාරෙන් පිට පැනල තැලුව පඳුරු තැලිල්ල?...පිස්සු හැදෙයි යළි හොඳවෙයි ආයෙ හැදෙයි කිව්වලු...හෙහ්...හෙහ්...රයිට් බෑක් ටු ද මේන් ස්ටෝරි..ආපසු ප්‍රස්තුත මැයට එළඹෙමු.

ඉතිං එරන්ද මට කෝල් එකක් දුන්නය කියල මම කිව්වනෙ නේද? රයිට් ඒක කිව්ව...

" ඉතිං බං? වෙන කොහෙවත් එහෙම ගියේ නෑ? "

" ආ...ඉඳපංකො කියන්ට..මේ මෙහෙ එන්ට දවස් තුනකට ඉස්සෙල්ල අයියෙ, අපි හතර දෙනයි මල්ලිගෙ ෆැමිලි එකයි ..අපි දෙගොල්ල ගියානෙ කුකුලේගඟ හොලිඩේ රෙසෝට් එකට.."

" නෑ?....කොහොමද නියම පොට් එක නේද? "

" අප්පට සිරි...කියල වැඩක් නෑ බං ..මාර ලස්සනයි.."

" උඹල ගියේ කොහොමද? කලුතරට ගිහිල්ලද? "

" හෙහ්, ඒ මොකටද බං කලුතර යන්නෙ? සදර්න් හයිවේ එකේ ගිහිල්ල දොඩංගොඩ ඉන්ටර්චේන්ජ් එකෙන් මතුගම, අගලවත්ත පහුකරල අපි ගියෙ…"

" රයිට් ඊට පස්සෙ බදුරලිය, ලත්පඳුර...මට මතකයි...."

" ඒක තමයි …….මට මතකයි අයිය කලින් කුකුලේ වැඩ කලාය කියල...මම ඒත් එහෙදිත් කිව්ව සංජීවනී එක්ක අර රවි අයිය කලින් මෙහෙ වැඩ කරල තියනවය කියල. " සංජීවනී වූ කලී එරන්දගේ භාර්යා තොමෝ වන්නීය. 

" ඕකෙ පවර් ස්ටේෂන් එක අන්ඩග්‍රවුන්ඩ්. උඹල ඇතුලටත් ගියාද? "

" ඇතුලටනම් දැන් යන්න දෙන්නෙ නෑ මම හිතන්නෙ. ඒත් පවර් ස්ටේෂන් එකට යන ටනල් එක පටන් ගන්න තැනට ගියා. "

" අඩේ ඔය ටනල් එක පටන් ගන්න තැනම එලියෙන් තමයි අපේ ඔෆිස් එක තිබ්බෙ. ඔය ටනල් එකට ඒ දවස්වල කිව්වෙ මේන් ඇක්සස් ටනල් කියල අපේ ඔෆිස් එකට කිව්වෙ මේන් ඇක්සස් ටනල් ඔෆිස් එක කියල."

ඒ දෙදහස් එක වසරයි.විවාහපත්ව සිව්වසරක් ගෙවුනු ඉක්බිති, වසර සතක් වන මැද සහ එමෙන්ම ඉන්පසුව වසර අටක් ගොවි ජනපදයක කල සේවයෙන් පසුව 1994 වසරේ බලයටපත් පොදු පෙරමුණු රජය විසින් ක්‍රියාත්මක කල ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත්වන්නන් හට වන්දි ලබා දීමේ වැඩ පිළිවෙලින් උපරිම ඵල නෙලාගත් මම වසර පහළවක රාජ්‍ය සේවයෙන් ඉවත්වූයෙමි.ඉනික්බිති කටුගස්තොට-අලවතුගොඩ සහ පේරාදෙණිය- ගම්පොළ මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතීන් හා සම්බන්ධව වසරකට මදක් අධික කාලයක් සේවය කොට දෙදහස් එක වසරේ ජනවාරි මස කුකුලේගඟ ව්‍යාපෘතියෙහි සේවයට බැඳුනෙමි.

මිහිකත අභ්‍යන්තරයෙහි ඉදිකල මෙගවොට් 80 ක ධාරිතාවයකින් යුතු කුකුළේගඟ ජලවිදුලි බලාගාරයට ජලය සැපයෙනුයේ කිලෝ මීටර 7.5 දිගු උමඟකිනි. ඒ ජල සැපයුමේ ආරම්භය කලවානේ මීපාගම ඉදිකල අමුණකින් කුකුළේගඟේ ජලය හැරවීමෙනි.ජල විදුලි නිෂ්පාදනයෙන් පසුව තවත් කිලෝ මීටර් 1.6 දිගු උමඟක් හරහා එම ජලය මාකෙළි ඇල්ල අසලදී යලි කුකුළේගඟටම එකතුව කළුගඟ ඔස්සේ කළුතර බෝධිය අසලින් සත් සමුදුරට එකතුවේ. ඒ උදෙසාම ජලාශයක් ඉදිනොකොට, අමුණක් මඟින් ගලායන ජලය හරවා ජලවිදුලිය නිෂ්පාදනය කිරීමට සැලසුම් කල ලංකාවේ ප්‍රථම ව්‍යාපෘතිය කුකුළේ ගඟ ව්‍යාපෘතියයි. ඒ ඉංගිරිසි බසින් හැඳින්වෙනුයේ Run Of The River Project ලෙසිනි. මේ මෑතක ඉදිකිරීම් නිමවී ජාතික විදුලිබල පද්ධතියට එක්වූ ඉහළ කොත්මලේ ව්‍යාපෘතියද ඒ මාදිලියේ තවත් ව්‍යාපෘතියකි.

ඉදිකිරීම් ක්ෂේත්‍රය තම ජීවනෝපාය ලෙස තෝරාගත්තෙකුට පොළව අභ්‍යන්තරයෙහි උමං කැණීම් කටයුතු කෙරෙන  ව්‍යාපෘතියක සේවය කිරීමට ලැබීම සත්‍යය වශයෙන්ම දුර්ලභ ගණයේ භාග්‍යයයකි..පුරා වසරකට මඳක් අධික කාලයක් පුරා ලබාගත් ඒ මිලකල නොහෙනා අත්දැකීම, මගේ ජීවිතයේ තවත් එක් ස්මරණයෙන් කිසිදින ගිලිහී නොයනා සංසිද්ධියකි.

කුකුළේගඟ ව්‍යාපෘතියෙහි ගතකල කාලය අළලා සවිස්තර සටහනක් ලිවීමට අපේක්ෂාකොටගෙන සිටිමි. එබැවින් ඒ වෙනුවෙන් වැඩිමනත් කාලය වැය නොකොට එහිදී මවිසින් අසන ලද එක් සිද්ධියක් පමණක් මේ සටහනෙහි ලියන්නෙමි.

කුකුළේගඟ අපිට නැවතිල ඉන්ට වෙනම කෑම්ප් එකක් හදල තිබ්බ.ප්‍රධාන ගබඩාව පැත්තක තිබ්බ කඳු ගැටය විවිධ මට්ටමින් එකදිගට, එකට ඈඳල හදල තිබ්බ එක පේළියක කාමර 12 වගෙ තියන කාමර පේළි. කාමරේ පිටිපස්සෙත් ඒ වගේම තව කාමරයක්. ඒ කියන්නෙ එක පේළියක කාමර 24 තියනව. කාමරේක දෙන්නයි. ඇඳන් දෙකයි, ඇඳුම් දාගන්ට දීල තිබ්බ පොඩි යකඩ අල්මාරි දෙකයි දැම්මම ආය කාමරේ වෙන ඉඩක් නෑ. ඉදිකිරීම් ඉවරවුනාට පස්සෙ කුකුලේ ජලවිදුලි බලාගාරයෙ ආරක්ෂාවට යොදවල තිබුණු හමුදා අනුඛණ්ඩයෙ නිලධාරීන් නවාතැන් ගත්තෙ ඒ අපි හිටපු කාමරවලය කියල පස්සෙ කාලෙක කවුද මට කිව්ව.

ඔය හයිටි රටට එහෙම යැව්වනෙ එක්සත් ජාතීන්ගෙ සාම සාධක හමුදාවට අනුයුක්ත කරල අපේ හමුදාවෙ අය. ඒ ගොල්ලන් එහෙම යවන්ට කලින් විශේෂ පුහුණුවක් දුන්නයි කියන්නෙත් ඔය කුකුළේගඟ කඳවුරේ. එතකොට අර මේ කතාව පටන්ගද්දි මගෙ යාලුව එරන්ද කිව්වෙ කුකුළේගඟ හොලිඩේ රිසෝට් එකක් ගැන. කුකුළේගඟ නිවාඩු නිකේතනය. ඒක දැන් පිහිටවල තියෙන්නෙ ඉදිකිරීම් කරන කාලෙ ස්කන්ස්කා සමාගමේ සේවය කරපු ස්වීඩන් ජාතිකයො නැවතිල හිටපු නිවාස සංකීර්ණයෙ. අපි ඒ කාලෙ ඒකට කිව්වෙ Expat Camp කියල.

ස්කන්ස්කා කියන්නෙ ස්වීඩනයෙ සුප්‍රසිද්ධ ඉදිකිරීම් සමාගමක්. ඒ ගොල්ල ලෝකෙ පුරාම ප්‍රසිද්ධයි උමං හෑරීම් කටයුතු වලට. ඒ වගේම පොළව අභ්‍යන්තරයෙ පිපිරවීම් වලට. මතකනෙ ඩයිනමයිට් හොයාගත්තෙත් ස්වීඩන් ජාතිකයෙක්නෙ. ඇල්ෆ්‍රඩ් නොබෙල්.

ස්කන්ස්කා ලංකාවෙ ඉදිකිරීම් ක්ෂේත්‍රයට මුලින්ම ඇතුලුවුනේ කොත්මලේ ජලාශය නිර්මාණය කරල. ඉක්බිති රන්දෙනිගල රජ මාවත, කළුතර පාළම වගෙ එව්වත් කලේ ස්කන්ස්කා සමාගම.ඊටත් පස්සෙයි කුකුළේගඟ ව්‍යාපෘතියට එයාල සම්බන්ධ වුනේ. අපි ඔය කුකුළේගඟ ඉන්න කාලෙ එහෙ වැඩකරපු අය බොහොම බලාපොරොත්තු තියාගෙන හිටිය ඉහළ කොත්මලේ සහ බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතුත් ස්කන්ස්කා සමාගමට ලැබෙයි කියල. ඒත් එහෙම වුනේ නෑ. ඉහළ කොත්මලේ කලේ ජපන් කම්පනි එකක්. කුමගායි ද කොහෙද මට මතක විදිහට. බ්‍රෝඩ්ලන්ඩ්ස් මේ දවස්වල කෙරීගෙන යනව. ඒක කරන්නෙ චීන්නු.

හරි ස්කන්ස්කා සමාගම ගැන, කුකුළේගඟ ව්‍යාපෘතිය ගැන තව බොහොම දේවල් කියන්ටතියනව. එව්ව පස්සට. දැන් අර කියනවයි කියල කියාපු කතාව කියල ඉන්නංකො එහෙනං...හොඳද?

උමං හෑරීම කෙරුනෙ ජෙලිග්නයිට් යොදල පිපිරවීම් කරල. බ්ලාස්ටීන් ටීම්ස් දෙකක් ෂිෆ්ට් දෙකක් වැඩකලා. දවල් වැඩ මුරය  උදේ 7.00 - සවස 6.00 සහ රාත්‍රි වැඩ මුරය සවස 6.00 - උදේ 7.00. ඒ හින්ද උමං හෑරීම දවසෙ පැය 24 පුරාම අනවරතව සිදු වුනා. සති දෙකකට සැරයක් සෙනසුරාදා සහ ඉරිදා නිවාඩුයි. ඒකට කියන්නෙ ෂට් ඩවුන් එක කියල. අනික් අතරමැද සතියෙ සෙනසුරාද වරුවයි ඉරිදයි නිවාඩුයි. 

වැඩ කරපු ෆෝර්මන්ල, චාජ්හෑන්ඩ්ස්ල, ඩ්‍රිලර්ස්ල 95% විතරම ස්කන්ස්කා එකේ කොත්මලේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරල පළපුරුදු අය. මේ ගොල්ලන්ගෙන් මම බොහොම ප්‍රයෝජනවත් දේවල් ඉගෙන ගත්ත, කුකුළේ ගතකරපු කාලය තුල. ඉතින් ඔහොම ෂිෆ්ට් දෙකට වැඩ කරපු ටීම් වලට වෙන වෙනම ටයිම් කීපර්ස්ල දාල හිටිය. කණ්ඩායමේ සාමාජිකයින්ගෙ පැමිණීම පිටවීම සටහන් කිරීම ඒ වේලා සටහන්කරුවන්ගෙ ප්‍රධානම රාජකාරිය.ඊට අමතරව ටනල් එකේ බ්ලාස්ට් එකක් කලාම ඒ වෙලාව සහ ලොකේෂන් එක සටහන් කර ගන්න එක.

මා එක්ක වැඩ කරපු එක ටයිම් කීපර් කෙනෙක් සුවිශේෂී පුද්ගලයෙක්. කොටින්ම මිනිහගෙ නමේ ඉඳලම..නම ඇවිල්ල රමණි.අපි ඉතින් මිනිහට කතාකලේ රමණි කියල නෙවෙයි. රමණි කියන්ට පුලුවන්ය හැබෑටම පිරිමියෙකුට ? . මිනිහට අපි කතා කලේ වැන්දා කියල. වැන්දා ඇවිල්ල මිනිහගෙ වාසගම කෙටිකරල හදාගත්තු නමක්. ඔය වැන්දා වෘත්තියෙන් බාර්මන් කෙනෙක්. 

බාර්මන් කියන්නෙ හෝටල්වල එහෙම මද්‍යසාර අඩංගු බීමවර්ග ඒ නියමිත අනුපාතයට මිශ්‍ර කරල සර්ව් කරන්නා. කුකුළෙ රස්සාවට මිනිහ ඇවිල්ල තියෙන්නෙ ඒ කාලෙ වෙනකොට සංචාරකයින්ගෙ පැමිණීම තරමක් අඩුවෙලා තිබුනු නිසයි කියලයි වැන්ද මා එක්ක කිව්වෙ. වැන්ද මරු කතා කාරයා.මිනිග කළුතර, වාද්දුවෙ, අහුංගල්ලෙ, හික්කඩුවෙ, ඔය හැම තැනම හෝටල්වල වැඩ කරල තියනව. ඊට අමතරව ආරුගම්බේ,නිලාවෙලි, කල්කුඩා වගෙ නැහෙනහිර වෙරළ තීරයෙත් කාලයක් වැඩ කලයි කියල මා එක්ක කිව්ව.

ඔෆිස් එකේ ඔන්න බොහොම වෙලාවට ඉන්නෙ අපි දෙන්න විතරයි. මම ඔන්න කම්පියුටරේ බ්ලාස්ටිං රිපෝට් එකේ විස්තර ටික එන්ටර් කරල ඉවර වෙලා පුටුව හරවල වැන්ද දිහා බැලුව. වැන්ද ඊයෙ ටයිම් කාඩ් ටික පොතේ එන්ටර් කරනව. 

මම හාපුරා කියල කම්පියුටර් එකක වැඩ කලේ කුකුළෙ රස්සාවට ආවට පස්සෙ. අර කැළේ මැද රස්සාවට ආයුබෝවන් කියල ආවට පස්සෙ මම හිතුව මේ වැඩේ හරියන්නෙ නෑ. කම්පියුටර් කෝස් එකක් කරන්ටම ඕනය කියල. මොකද ඒ වෙනකොටත් කම්පියුටර් භාවිතය හැම ක්ෂේත්‍රයකම වගෙ ව්‍යාප්ත වෙමින් පැවතුනෙ. ඉතිං හොඳ තත්ත්වයෙ රැකියාවකට පරිගණක දැනුම අත්‍යාවශ්‍යය වෙමින් තිබුනෙ ස්ලෝලි බට් ෂුවර්ලි.ඒපාර මම නුවර තිබ්බ N.I.B.M. ආයතනයෙ ( ජාතික ව්‍යාපාර කලමණාකරන ආයතනය ) තුන්මස් පරිගණක සහතිකපත්‍ර පාඨමාලාවක් කලා. ඒ කෝස් එක කලාට හරියට පරිගණකයක් පාවිච්චි කරන්නට ලැබුනෙ ඔය කුකුළෙ රස්සාවට ආවට පස්සෙ.

වැන්දා ඔන්න වැඩේ ඉවරවෙලා පුටුවෙන් නැඟිටල අතපය දිග ඇරල හිරිඇරගත්ත. 

" බොස් අර හෙඩ්රේස් ටනල් එකේ අර මොකක්ද තරඟෙට දැම්මද? "

හෙඩ්රේස් ටනල් එක කියන්නෙ මීපාගම අමුණෙ ඉඳල ජල විදුලි බලාගාරයට වතුර අරගෙන එන උමඟ. හෙඩ්රේස් ටනල් එක අමුණෙ ඉඳල පහලටයි, ජලවිදුලි බලාගාරයෙ ඉඳල උඩහටයි දෙපැත්තෙන්ම බ්ලාස්ට් කරගෙන ගියා. ඔය මම කියන දවස්වෙනකොට දෙපැත්තෙං හාරාගෙන එන උමඟ හාවෙන්ට තිබ්බෙ තව මීටර් දෙසීයක් විතර. අන්තිමට දෙපැත්ත හාවෙනවට කියන්නෙ බ්ලාස්ට් තෲ කියල. ඔය බ්ලාස්ට් තෲ එක වෙන්නෙ හරියටම කොයි වෙලාවටද කියල අනුමාන කරන්ට ව්‍යාපෘතියෙ සේවකයො අතරෙ තරඟයක් තියනව. ඒක ඇවිල්ල සම්ප්‍රදායක්. 

තරඟෙදි තමන් අනුමාන කරන Blast Through වෙලාව ඒ අනුමත පත්‍රිකාවක ලියල සංවිධායක මණ්ඩලේට භාරදෙන්ට ඕන.පත්‍රිකාවක මිල මට මතක විදිහට රු. 100 වගෙ ගාණක්. නිවැරදි හෝ ආසන්නම වෙලාව අනුමාන කරපු තරඟ කරුවාට හෝ තරඟ කාරියට අර පත්‍රිකා විකුණල එකතුවෙච්චි මුළු මුදලම ලැබෙනව ජයග්‍රාහී ත්‍යාගය විදිහට. මම ඔය කියන පාර තෑග්ග රුපියල් 12,100 වගෙ ගාණක් හම්බ වුනා.

" නෑ බං තව දවස් තියනවනෙ. අනිද්ද දවල් දොලහ මම හිතන්නෙ ක්ලෝසිං ටයිම්. මම ඊට කලින් වෙලාව ලියල දෙනව. "

ආ..තව එකක් කියන්න ඕමනයි. ඔය මම කියපු හෙඩ්රේස් ටනල් එකේ ඒ දවස්වල ෆෝමන් කෙනෙක් විදිහට වැඩකලා රොෂාන් පිලපිටියගෙ අයියා. රොෂාන් පිලපිටිය දන්නවනෙ නේද? අර නළුවා......අයිය කියන්නෙ එක්කුසේ උපං බාප්පගෙ පුතා...හෙහ්..හෙහ්..බොරු හොඳද? රොෂාන්ගෙම අයිය. මේ දවස්වල හිරු ටී.වී. එකේ යන දේවී කතාවෙ රොෂාන් දකිනකොටම මට මතක්වෙන්නෙම මිනිහගෙ අයිය චතුර.

" බොස් කෙස්කැෆේ එකක් බොනවද? "

වැන්දා ආයෙම ඇහුව අපෙ තේ, කෝපි, සීනි එහෙම තියන පොඩි කබඩ් එක අරින අතරෙ. ඒ දවස්වල අපිට දුන්නෙ ස්විඩන් වලින් ගෙන්නපු නෙස්කැෆේ..අම්මට සිරි එව්ව තමයි නෙස්කැෆේ..බොරැල්ලෙ නෙස්කැෆේ එක හදනකොට මරදානට සුවඳ ගහනව. 

" හදපං බං හදපං...අර නැද්ද බිස්කට්?.."

බිස්කට් ජාතියකුත් ස්වීඩන්වලින්ම ගෙනල්ල අපිට දුන්න. මට දැන් එව්වයෙ නම මතක නෑ. ලිබෙනෙට්ස් ද ලීබෝර් ද මොකක්ද ඔන්න ඔය වාගෙ නමක්.

" තියනව..තියනව..මම ඊයෙ මේන් ස්ටෝස් එකෙන් ගිහිල්ල ගෙනාව.."

බිස්කට් හපමින් කෙස්කැෆේ තොලගාමින් වැන්දයි මායි ඔහෙ එක එක දේවල් කතා කරකර හිටිය.

" බොස් දන්නෙ නෑනෙ...පෙරෙයිද අපේ ගම පුරාම කැලෑ පත්තරයක් ගහලනෙ…"

වැන්දගෙ ගම වැලිපැන්න කිට්ටුව. දැන් ඔය දක්ෂිණ අධිවේගී මාර්ගයෙ එක ඉන්ටර්චේන්ජිං පොයින්ට් එකක් තියනව වැලිපැන්නෙ. 

" නෑහ්?? ඒ මොනව ගැනද? "

" හෙහ්..අපේ ගමේ කඩයක් කරනව ගෑණු කෙනෙක්. මනුස්සය මැරිල..ඒ හැටි වයසකුත් නෑ..තිස් පහක් වගෙ ඇති වැඩිම උනොත්.අනික හොඳ පෙනුම තියන ඉස්තිරියාව. ඒ මනුස්සය අපේ ග්‍රාමසේවක එක්ක සැට්වෙලයි කියලයි කවිකොලේ ගහල තියෙන්නෙ. "

" මම හිතුවෙ නෑ ඔය කැලෑ පත්තර කාරයො තවමත් ඉන්නවයි කියල. "

" බොස් දන්නෙ නෑ... මේ අපේ ගමේ එව්වොද? පුදුම ජාතියක්...අනික මේ කැලෑ පත්තරේ ගහල තියෙන්නෙ කවියෙන්.."

" නෑහ්..අඩේ මට ගෙනත් දියංකො වැන්දා ඒ කවි කොලයක්.."

" හරි මම බලන්නං බොස් …" වැන්දා නැඟිටල මගෙ කෝප්පෙත් ඉල්ල ගත්ත හෝදල තියන්ට.

ඒ කොහොම හරි වැන්දා මට ඒ කවි කොලේ ගෙනත් දුන්නෙ නම් නෑ. අමතක උනාද නැත්නම් වෙන හේතුවක්ද මන්දා කොහොමහරි වැඩේ සිද්ද වුනේ නම් නෑ. එච්චරයි මම දන්නෙ...

කෝප්ප හෝදල පිහදාල කබඩ් එක ඇතුලෙ මුනිං නවල ඇවිල්ල වැන්දා ආයෙම මා ඉස්සරහ ඉඳගත්ත.ඕකා බාර්මන් හින්ද ඒ චාරිත්‍ර වාරිත්‍ර අකුරට කරනව. දවසට දහපාරක් විතර මේස පිහදානව. අතුගානව. මට වෙලාවකට විකාරෙ හැදෙනව.

" වැන්ද දන්නවද දැනට අවුරුදු විස්සකට විසිපහකට වගෙ ඉස්සෙල්ල ඔය කවිකොල මාර ජනප්‍රියයි..මම අනුරාධපුරේ ඉන්දැද්දි ඉරිද පොළට ගියොත් කොහොම හරි අම්මට කෙඳිරි ගාල ඔය කවිකොලයක් ගන්නවමයි. මට හොඳටම මතක කවිකොලයක් තමයි මතුගම සමන් කුමාර මිනීමැරුම ගැන ගහපු කවි කොලේ. ඒ කාලෙ හෙණ ප්‍රසිද්ධ වෙච්ච මිනීමැරුමක් තමයි මතුගම සමන් කුමාර කේස් එක..වැන්දට මතක ඇතිනෙ ඒක නේද? "

අසූව දශකයෙ මුල්භාගෙ දිවයින පුරා ලොකු ආන්දෝලනයක් කල මිනී මැරුමක් ඔය මතුගම සමන් කුමාර සිද්ධිය. කප්පම් ඉල්ලා පැහැරගෙන ගොස් සිසුවකු මරා දැමුනු දිවයිනේ පළමු සිද්ධිය  ලෙස එය ලංකා අපරාධ ඉතිහාසයට එකතුවෙලයි තියෙන්නෙ.

" හප්පෝ...ඒක මතක නැත්තෙ මොකද බොස්? මේ පැත්තෙ විතරක් නෙවෙයි ලංකාව පුරාම මාර විදිහට ප්‍රසිද්ධ වුනානෙ ඒ කේස් එක. මම ඒ කාලෙම වගේනෙ ඔය හෝටල්වල බාමන් රස්සාවට එහෙ මෙහෙ යන්ට පටං ගත්තෙ, හික්කඩුව, ගාල්ල, අම්බලංගොඩ දිහා එහෙම. ඒ පැත්තෙ මිනිස්සු උනත් මම මතුගම කිව්වම නිකං අමුතුවිදිහට තමයි බලන්නෙ......"

" ඒ කියන්නෙ නිකං මේ මතුගම එවුං ඔක්කොම අංගුලිමාල ටයිප් වසවර්තියො, මිනීමරුවො වගෙ තමයි රබර් ඇහැ දාල බලන්නෙ...එහෙමද?...හෙහ්..හෙහ්…"

" අන්න හරි බොස් කියල වැඩක් නෑ..ඉන්ටකො මම මරු කතාවක් කියන්න..මටම වෙච්චි එකක්. මේක වුනේ මම හිතන්නෙ ඔය මතුගම සමන් කුමාර මිනීමැරුමට අවුරුදු පහක් වගෙ පස්සෙ. ඒ දවස්වල මම වැඩ කලේ බෙන්තොට. කොහොමහරි ගෙස්ට්ල අඩුවෙලා ( වැන්දා මෙතන ගෙස්ට්ල කියල කිව්වෙ සුද්දන්ට, එහෙම නැත්තං ටුවරිස්ට්ලට ) මැනේජර් අපිට කතා කරල කිව්ව දැං ගෙස්ට්ල අඩුනිසා කට්ටිය අඩුකරන්ට වෙනවය..ඒ හින්ද තියන පඩි අරං යන්ටය, මාසෙකින් වගෙ ආපහු ඇවිදිල්ල හිට බලන්ටය කියල. ඉතිං වෙන මොකක් කරන්ටද? අපි දෙන්න හිඟ පඩියත් අරගෙන එන්ට ආව.."

මතු සම්බන්ධයි............

කුකුළේගඟ ව්‍යාපෘතිය ගැන පොඩි විස්තරයක් බලන්ට කැමතිනම් මෙන්න පල්ලෙහා තියනව වීඩියෝ එකක්.


Monday, March 30, 2015

නෙළුම් යායෙන් ලද නෙළුම් මල

ඉතිං යාළුවනේ, ඔයාලා හැමෝම දැන් දන්නවා. අපේ මිතුරු රවී මැතිතුමාට පසුගියදා සම්මානයක් හිමි වුණා. ඒක අපි හැමෝට ම ලොකු සතුටක් ගෙන ආ දෙයක්. ඔහු මේ වන විට ලංකාවේ ‍නැති නිසාත් චන්ද්‍රා අක්කා-රවීතුමාගේ සදාදරණීය බිරිඳ කොළඹින් දුරබැහැරව වාසය කරන නිසාත්, බ්ලොග් අඩවියේ සම හවුල්කාරිය වශයෙන් හා මිතුරියක වශයෙන්, ඔහු වෙනුවෙන් සම්මාන උළෙලට සහභාගි වෙලා, එම සම්මානය ලබා ගෙන, සම්මාන උළෙලට පැමිණ සිටි ආරාධිත දේශකයින්ගේ අර්ථවත් දේශන වලට සවන් දීමේ ඒ අමිල අවස්ථාව හිමි වුණේ මටයි. ඊට කලින් සතියේ ගත්ත දිග නිවාඩුව නිසා කල් වේලා ඇතිව කන්තෝරුවෙන් පිට වන්නට බැරි වන තරමට වැඩ ගොඩ ගැහිලා තිබුණත් කෙසේ හෝ හවස 4.50 වන විට කන්තෝරුවෙන් පිට වී 5.05 පමණ වනවිට එතනට යන්නට හැකි වුණා.

මා යනවිට නාට්‍යයක් වේදිකා ගත වෙමින් තිබුණු අතර මද වේලාවකින් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ කරු ජයසූරිය මැතිතුමාත් පැමිණුනා. ඒ අතරතුරේ අප හිතවත් සහෘද අජිත් ධර්මකීර්ති මහත්මයා සෑම සියලු කටයුත්තක්ම හරියාකාරව සිදු වන්නේ දැයි හොයා බලමින් සැරිසැරූ අයුරු දැකගන්න පුළුවන් වුණා.

අනතුරුව එළඹුණේ සම්මාන ප්‍රදානය කෙරෙන අවස්ථාවයි. එහිදී පහත දැක්වෙන අයුරින් සම්මාන ප්‍රදානය කෙරුණා.


2014 වසරේ හොඳම බ්ලොග් කරු - මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ
බ්ලොගය: http://maathalan.blogspot.co.uk/

2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - ප්‍රථම ස්ථානය - බට්ටි
දමිත් ගුණවර්ධන - http://damgune.blogspot.co.uk/2014/10/blog-post.html -

2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - දෙවන ස්ථානය -මොඩෙලින් කිරිල්ලි
බස්සි (යසෝධා සම්මානි ප්‍රේමරත්න )-
http://bassigenawathana.blogspot.co.uk/2013/10/blog-post_15.html

2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - තුන්වන ස්ථානය - ගිං ගඟත් අසරණයි - දිලාගේ ලෝකය
දිලිනි නිමන්තිකා - http://dilagelokaya.blogspot.co.uk/2014/09/blog-post_21.html

2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය - ප්‍රථම ස්ථානය -
ආඩම්බරකාර අපේ තාත්තා- දසයා - http://iamdasaya.blogspot.co.uk/2014/12/blog-post_5.html

2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -දෙවන ස්ථානය - නිල් කට්රොල් මල් - රවී වීරසිංහ
http://ranrandil.blogspot.co.uk/2014/12/294.html

2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -තුන්වන ස්ථානය - කරුමේ ඩබල් පින සිංගල් ඉවාන් පව්ලුශා - ප්‍රගීත් අනුරාධhttp://iwanpaulooshaa.blogspot.co.uk/2014/10/blog-post.html

මෙම උත්සවය සංවිධානය කළ නෙළුම් යාය, ශ්‍රී ලංකා බ්ලොග් කරුවන්ගේ සංගමයේ සියලුම සහෝදර සහෝදරියන් හට, නිදහස් සිතුවිලි බ්ලොග් අඩවිය වෙනුවෙන් මේ අවස්ථාවේදී මගේ ස්තුතිය පළ කරන්න කැමතියි. රවී වීරසිංහ නම් වූ අප සහෘද බ්ලොග් කරුවාට මෙවන් සම්මානයක් හිමිවීම, ඔහුගේ ලියැවිලි කියවන, ඒවාට ප්‍රිය කරන ඔබ මා අප සැමගේ නොමද සතුටට කාරණයක් නොවෙද? මට ඉතාමත් ලොකු සතුටක්. (වාං පතුල් කතාවක් තරම් දිග ලිපියකින් වුණත් කිව හැකි තරමේ සතුටක්!)

සභාවේ මුල් කටයුතු කිහිපයක් පමාවීම නිසාම මට මග හැරුණා. මට සවන් දෙන්නට ලැබුණු දේශන ගැන පවසනවා නම්,  නාලක ගුණවර්ධන මහතා අන්තර්ජාලය සහ බ්ලොග් රචනය තුල 'සිදුවිය යුතු දේ' පිළිබඳ ව විස්තර කළ අතර අජිත් පැරකුම් මහතා 'සිදුවන දේ' පිළිබඳ ව විස්තර කළා. දෙදෙනාම ලෝකයේ අනෙකුත් රටවල් වල දත්ත උපයෝගී කරගෙන එම කාරණා කටයුතු පැහැදිලි කළ ආකාරය ප්‍රශංසනීයයි. ගුණවර්ධන මහතා රජයෙන් ලැබිය යුතු ඉඩ කඩ පිළිබඳ ව විස්තර කළ අතර පැරකුම් මහතා මෙතෙක් කාලයකට රජයයන් මගින් ලැබුණු සහ ලැබේ යැයි සිතිය හැකි, "ඉඩ කඩ" පිළිබඳ ව විස්තර කළේය. ගුණවර්ධන මහතා අප 'කළ යුතු දේ' විස්තර කළ අතර පැරකුම් මහතා අපට 'කළ හැකි දේ' විස්තර කළේය. එබැවින් එම දේශන දෙක මගින් අප යායුතු මග පිළිබඳ ව ප්‍රමාණවත් වූ දැක්මක් ඇති වූ බව මගේ හැඟීමයි. කොහොම නමුත් ගුණවර්ධන මහතා කතා කරන අතරේ එක නංගි කෙනෙක් ඇවිල්ලා මයික්‍රෆෝනය අත පත ගාද්දි මුලින්ම මට හිතුනේ මේ වටිනා කතාව හොඳින් පටිගත කරගන්න සකසන්න යනවා කියලා. ඒත් කියන්න කණගාටුයි එයා ඒ උපකරණය ගලවාගෙන ගියේ ඒ මහතා එතැන ඉන්නවද වගේ වගක් නැතුව. ඊට පස්සේ පෙළට ඇවිත් සේරම ටීවි චැනල් වලින් තම තමන්ගේ ආම්පන්න ගලවාගෙන ගියේ සමහර විට එයාලාගේ උවමනාවටත් වඩා රාජකාරි ස්ථානයේ උවමනාවට වෙන්න ඇති කියලා අවසානේ මම හිත හදා ගත්තා. කොහොම නමුත් සභාවකදී ඒ වගේ දෙයක් කරද්දි අඩුම තරමින් කථිකයාගෙන්වත් අවසර ගත්තා නම් හොඳ නේද කියලාත් ඒත් එක්කම මට හිතුණා.

හවස 6.30 පමණ වනවිට කලෙකින් අසා නුපුරුදු වූ ශබ්දයක් පිටතින් ඇහෙන්නට වුණාම, අසල සිටි සංවිධායක මණ්ඩලයේ නැගණියකගෙන් මම මෙහෙම ඇහැව්වා.

"වහිනවද?"

"ඔව් වහිනවා"

පාසල නිමා වූ පසු දුවයි තාත්තායි ගෙදර යා යුතු වූ නිසා එදා එම උත්සවයට සහභාගි වුයේ මා පමණයි. මං ගියේ මගේ ස්කූටරයේ. ගේට්ටුව කිට්ටුව තැනක නවතා ජැකට්ටුවත් හෙල්මටයත් ඒ මත තබා මද දුරක් පයින් ඇවිද ගොස් උත්සව ශාලාවට ගිය මට, මහා වර්ෂාවේ එ‍තනට ආපහු යා හැකි මගක් හිතා ගත නොහැකි වුණා. ‍කෝකටත් කියලා ශාලාවෙන් ඉවතට ඇවිත්, තේ කෝප්පයක් බොන අතරේ සම්මානලාභී කිවිඳු දමිත් ගුණවර්ධනත් ඔහුගේ ආදරණීය දරු පවුලත් සමග සාමිචි කතාවක් පවත්වා, වෙනි අයියා, ඕනයා අයියා, මනෝජ් මල්ලි ඇතුලු හිතවතුන් සමග වචනයක් දෙකක් හුවමාරු කරගෙන වහ වහා පහළ මහළට ආවේ යා හැකි මගක් සොයා ගන්න ඕනෑ වූ නිසායි. එහිදී සම්මානලාභී කිවිඳිය යසෝදා නැගනිය සමගත් වදනක් හුවමාරු කරගෙන වැස්ස වෙත නෙත් යොමාගෙන ඉන්නා අතරේ අජිත් ධර්මකීර්ති අයියා පැමිණ උත්සවයට සහභාගී වීමට පැමිණි අයට, මේ අනපේක්ෂිත අවස්ථාවේ නැවත පිටත්ව යා හැකි ආකාරය පිළිබඳව සොයා බැලුවා. ඒ අතරේ සුමිත් කළණසිරි මිතුරාත් හඳුනාගන්නට ඉඩ ලැබුණා.

'බ්ලොග් කරණයේ අනාගත ගමන් මග' වැනි මාතෘකාවක් දිය හැකි සංවාදයකට, වැස්සෙන් අවතැන් වූ අප දේශක දෙපලත්, අජිත් අයියාත් සුමිත් කළණසිරි මිතුරාත් හා සමග විනාඩි කිහිපයකට යොමු වන්නට හැකි වුණේ මේ අතරයි.

ඒ අතරේ පහළට පැමිණි දමිත් ගුණවර්ධන සොයුරා ඔහුගේ වාහනයෙන් මාත් අජිත් පැරකුම් මහතාත් තම තමන්ගේ වාහන වෙත ඇරලවන්නට ඉදිරිපත් වුණා. ඊට බ‍ොහෝ වෙලාවකට පෙර වැස්සේ වුව ස්කූටරය වෙත යන්නට ඉඩ තිබුණත් එසේ ගොස් මා අත වූ සහතිකයක් සම්මානයත් තෙමා ගැනීමේ කිසිඳු උවමනාවක් නොතිබූ නිසා දමිත් සොයුරාගේ උපකාරය ලැබෙන මොහොත දක්වාම මා සිටියේ තුෂ්නිම්භුතවයි.

ස්කූටරය වෙත එනවිට අනෝරා වැස්ස මදක්වත් තුරල් වෙලා තිබුණේ නැහැ. අත් බෑගය, සම්මානය සහ සහතික පත්‍රය අසල වූ කවුන්ටරයක තබා ගොස්, මේ දැන් වතුර බාල්දියක ‍ඔබා ගත්තා මෙන් වූ ජැකට්ටුව හැඳගෙන, මේ දැන් වතුර පුරවා හලා ගත්තා බඳු වූ හෙල්මටය පැළඳගෙන ස්කූටරය තුළ වූ පොලිතින් බෑගයක් ගෙනගොස් සහතිකය, දුරකථනය, පසුම්බිය ආදිය දමාගෙන අනෙකුත් දේ අත්බෑගය තුල දමාගෙන විත් සම්මානයත් පොලිතින් මල්ලත් ප්‍රවේශමෙන් ස්කූටරය තුල තැන්පත් කර ඒ අනෝරා වැස්සේම පරිශ්‍රයෙන් පිටව එන විට වේලාව රාත්‍රී 7.30 පමණ වන්නට ඇත.

කියන්න බොහොම සංතෝෂයි, මුළු කොළඹම එකම ගංගාවයි. වඩා නොගැඹුුරු අතු ගංගා සොයාගෙන, ඒවායින් පීනාගෙන යාංතම් 8.45 වනවිට නිවසට සේන්දු වන්නට හැකි වුණා. කොච්චර වැස්සත්, කොච්චර ගංගාවන් අතු ගංගාවන් හමු වුණත්, එදින ඇතුවුණු සතුට ඒ ජල කඳට සේදී ගියේවත් යට වුණේවත් නැහැ.

පොඩ්ඩක් තෙමුණට මොකද මේ වගේ ඇගයීමක් එකතු කරගන්නට ලැබුණට පස්සේ. නේද?







( උපුටා ගැනීම : http://www.lankadeepa.lk/index.php/articles/305410 )


පසු ලිවීම


සම්මානය හිමි වූ බව දත් මොහොතේ චැට් මගින් මා ඇමතූ මගේ සහෘදයා මුලින් ම පවසා සිටියේ තෑගි වවුචරයේ සම්පූර්ණ හිමිකාරීත්වය මා සතු බවයි. හැරෙන චැට් එකෙන් මං පැවසුවේ ඒක ඉතිං කිව්වත් නැතත් එහෙමම තමයි කියායි. ගතයුතු පොත් ලැයිස්තුව එහෙම හදාගෙන දත කට මැදගෙන සිටි මට සිදු වුයේ නොසිතූ දෙයක්මයි මිතුරනි. ඔවුන් ලබා දුන් ලියුම් කවරයේ තිබුණේ තෑගි වව්චරයක් වෙනුවට අදාල මුදලයි. :) ඒ බව දැනගත් මා මිතුරා පැවසුවේ, "ඔයාට කැමති දෙයක් කරගන්න ළමයා" යනුවෙනි. එබැවින් එම ලියුම් කවරය එලෙසින්ම මා මිතුරා මේ දේශයට පා තබනතුරු සුරැකිව තිබෙනු ඇත. අනතුරුව එය ඔහුගේ අතට පත් වනු ඇත.


********************************


රන්දිල් නෝනා පසුගිය දා තිබ්බ නෙළුම්යාය සම්මාන ප්‍රදානය ගැන පෝස්ට් එකක් ලියල මට කිව්ව මේ ඔහෙටත් මොකවත් කියන්ට තියේනං අන්න ඩ්‍රාෆ්ට් එකක් මම දාල ඇති. ඒකටම ලියල දාන්ට කියල....ඉතිං මම ලියපු ඌන පූර්ණය තමයි මේ..

නෙළුම්යාය සහෘද සැඳෑව පිලිබඳව මගේ දයාබර මිතුරිය / වියුණුවෙහි හවුල්කාරිනිය රන්දිල් නෝනා මහත්මිය විසින් ලියූ සටහනට මවිසින් ලියනු ලබන අටුවාවයි මේ. 

වියුණුවක් යනු කුමක්දැයි හාංකවිසියක් නොදන්නා යුගයක වියුණු කලාවට මා යොමුකලේ ඇයයි. " පිස්සුද හලෝ? මට ඔයහැටි ලියන්ට දෙයක් නෑ....ඔය හැටි මොනව ලියන්ටද? " යනුවෙන් නොයෙක් වර ඇගේ නිදහස් සිතුවිලි වියුණුවට හවුල්වන්නැයි ලැබුණු ඉල්ලිම් මම ප්‍රතික්ෂේප කලේ සත්‍ය වශයෙන්ම වදන් හය හත්සීයක සටහනක් ලිවිමට තරම් යම් විශේෂිත සිද්ධීන් මගෙ ජීවිතය තුල සිදුවී ඇත්දැයි යන්න මටම ප්‍රශ්නාර්ථයක් වූ නිසාමය. එහෙත් ස්ත්‍රීහු වනාහී කිසිදු අයුරකින් ප්‍රතික්ෂේපයක් භාර නොගන්නෝය. කෙසේ හෝ තම සිතැඟි පරිදි තමන්ට රිසි කාර්‍යය ඉෂ්ඨ සිද්ධ කොට ගැනීමෙහිලා ඔවුහු ඉතා සමර්ථ වන්නෝය.

විසිවසරක් ඉතිරියක හා සමඟ වසන්නාවූ මම් ඒ බැව් නොදන්නෙම්ද? එසේ හෙයින් අවසන " රාජා හෝ මා හෝ ගංගාහෝ" යනුවෙන් පැවසූ අරිට්ඨ කීවෙංඩු මෙන් මම ද " අහෝ මේ මගේ ඉරණම වේ නම් ඊට එදිරිව මම කුමක් කරන්නෙම්ද? " යනුවෙන් සිත් සනහාගෙන වියුණු ලිවීමට එක්වුනෙමි. සෙස්ස ඇත්තෙන්ම ඉතිහාසයයි. The Rest is History of Course.

දිගින් දිගට ලිවීමෙහි අවශ්‍යතාවයක් නැත. පඳුරු තැලීමට මේ කාලයක් නොවේ. කාලෝ නහී අයංතේ ගොමු මඩිතෙයිහ,

ඉදින් අවසානයට මෙසේ පවසම්හ, මා වියුණුකරනයට යොමුකල ඔබට, මා දයාබර මිතුරියට, රන්දිල්ට මාගේ ගෞරවාදර ස්තූතිය!

දෙවනුව සිව්වසරකට අධික කාලයක් තුල මා හා එක්ව හුන් මගේ දයාබර සහෘද / සහෘදිනියනි, ඔබට ද මාගේ ගෞරවාදර ස්තූතිය!!!!

මවිසින් ලියූ වියුණු සටහනක් සම්මාන ප්‍රදානය කිරීම සඳහා තෝරාගෙන ඒ අගැයීම වෙනුවෙන් නෙළුම්යාය සහෘද සමූහයට මාගේ ගෞරවාදර ස්තූතිය!!!!

අවසාන වශයෙන් මවිසින් ලියූ සටහන් නෙළුම්යාය වෙබ් අඩවියෙහි පළකොට මේ සියල්ල උදෙසා මඟ පෑදීම වෙනුවෙන් අජිත් ධර්ම සොයුරාට මාගේ ගෞරවාදර ස්තූතිය!!!

Friday, March 20, 2015

309. විමලෙගෙ වාංපතුල් කතා - 29 - සරෝජිනීට නවාතැනක් සමඟ නීතිඥ ගාස්තු ගැන කතාවක්



" පුතා අර ළමයගෙ ගෙවල් කොහෙ කියලද කිව්වෙ?.." එක පාරට මම ගැස්සිල ඇස් ඇරියෙ අම්මගෙ කටහඬින්..

" මොන ළමයගෙද? …" අම්ම අහන්නෙ කවුරුගැනද කියල හොඳටම දන්නව වුනත් මම නොදන්නව වගෙ ඇහුව..

" අර සුරේගෙ දුව……."

" මම ඔව්ව අහන්ට ගියේ නෑ අම්ම….." මම කෙලින්වෙලා ඇඳේ ඉඳගත්ත. 

" හරි මට දැන් මතකයි සුරේලගෙ ගෙවල් මේ හෙම්මාතගම පැත්තෙ…."

" ආ එහෙමද? ….මම ටිකක් ඇහැ පියාගන්ට ඕන අම්මෙ..හවස ආයෙම යන්ටත් එපාය…" මම පොත වහල මේසෙ උඩ තියල අනික් පැත්ත හැරිල ඇස්දෙක පියාගත්ත.

එදා නයිට් ෂිෆ්ට් එක කලේ වෙන නර්ස්ල දෙන්නෙක්. දවල් අම්මා ආපු වෙලාවෙ අම්මත් කලින් නර්ස් කෙනෙක්ය කියල මම හිතන්නෙ විස්තරේ කියන්න ඇති. ඒ නර්ස්ල දෙන්නම අප්පච්චි ගාවට ඇවිල්ල බොහොම උනන්දුවෙන් විස්තර එහෙම ඇහුව. ඕන දෙයක් එහෙම තියනවනම් කියන්න කියලත් කිව්ව. කොහොමත් ඔය ආණ්ඩුවෙ තැනකින් වැඩක් හරියට කරවගන්ටනම් දැනඇඳුනුම් කමක් තියෙන්නම ඕන.නැත්තං ඉතිං ගාණක් මිටමොලවන්ට ඕන.ඒ දෙකෙන් එකක්නම් ඕනම තමයි.

අප්පච්චිටත් ඊයෙට වඩා හුඟක් ගුණයි වගෙ. ඇඳේ ඉඳගෙන එහෙම සෑහෙන වෙලාවක් හිටිය. ඊයෙ ඇඳේ හරහ වැටිච්චි ගමන්මනෙ දවසම හිටියෙ. 

" අද නම් මට සෑහෙන ගුණයක් දැනෙනව පුතා.." අප්පච්චි මා දිහා බලල එහෙම කියල හිනාවුනා. 

" ඒකතමයි අප්පච්චි මම හිතන්නෙ දෙයියන්ගෙ පිහිටෙන් තව දවස් හතර පහකින් ගෙදර ගිහෑකි. "

" දවල් අර මෙඩිකල් ස්ටුඩන්ට්ස්ල ආවෙ නැද්ද එහෙන් මෙහෙන් අනින්ට එහෙම? ..හිහ්..හිහ්.."

මම හිනාවෙවී එහෙම ඇහුව. අප්පච්චිටත් හිනා…

" නෑ..නෑ..අද ආවෙ නෑ..මෙහෙටත් එනවද? "

" ඔව් මම හිතන්නෙ පේරාදෙණියටයි මෙහෙටයි දෙකටම එනව. "

ඔය කලින් පාරක් අප්පච්චි පේරාදෙණිය හොස්පිටල් එකේ නවත්තල ඉද්දි වෙච්ච වැඩක්. ඔය මෙඩිකල් ෆැකල්ටි එකක් කිට්ටුව තියන හොස්පිට්ල් එකකට තමයි වෛද්‍ය ශිෂ්‍ය / ශිෂ්‍යාවො තමන්ගෙ ප්‍රායෝගික පුහුණුවීම් වලට එන්නෙ.ඒ රෝහල් වලට කියන්නෙ ශික්ෂණ රෝහල් කියල. කොළඹ, මහනුවර, රාගම, කරාපිටිය, අනුරාධපුරේ, එව්ව ඔක්කොම ශික්ෂණ රෝහල් ගණයට වැටෙන්නෙ.

ඉතිං අප්පච්චි එක පාරක් පේරාදෙණියෙ ඉන්දැද්දි ....මමයි එතකොටත් ලඟ හිටියෙ. ඔය මෙඩිකල් ස්ටුඩන්ට්ස්ල කෙල්ලො කට්ටියක් ඇවිල්ල බඩට පපුවට පිටට එහාට මෙහාට ඇනල " අන්කල් දැන් රිදෙනවද? කොතනද රිදෙන්නෙ? " ඔන්න ඔහොම විස්තර අහගෙන ලියාගන්නව. 

ඔය එහාට මෙහාට ඇනිල්ලෙන් සහ ඊට පස්සෙ අහන පුරස්න වලට උත්තර දිවිල්ලෙන් අප්පච්චිට යකු නැඟල හිටියෙ. අන්තිමට ඉවසල ඉවසල බැරිම තැන අප්පච්චි කෑගැහුව. " එහාට මෙහාට ඇඟිල්ලෙං ඇන්නම රිදෙන්නෙ නැද්ද ළමයි? ඔය ළමයිත් මොනව අහනවද මන්දා.. " කෙල්ලො කට්ටිය පස්සට වීසිවුනා. මට මැරෙන්ඩ හිනා. 

" හරි හරි අප්පච්චි තරහ ගන්ට එපා. ඒ ගොල්ලො ඔය ඉගෙන ගන්න අයනෙ.." මම එහෙම කියල අප්පච්චිව කාම් ඩවුන් කලා.

" ඉගෙන ගන්නව තමයි..හුහ්……." ඔන්න ඔහොම තවත් මොනවද තොල් මතුරමින් අප්පච්චි ඇඳේ අනික් පැත්තට හැරිල ඇස් දෙක පියාගත්ත.

අර කෙල්ලො ටික ලෙඩ්ඩු පරික්ෂා කරල ආපහු යන ගමං අපි ඉන්න පැත්තවත් නොබල යන්ට ගියේ. අප්පච්චි ඒ වෙනකොට හොඳටම නිදි..මේ මම ඉස්සරහට ගිහිල්ල එයාලට කතා කලා…" මේ..සමාවෙන්ට ..දන්නෙ නැද්ද වයසක අයගෙ හැටි ඔහොම තමයි. " එයාල මූණිං මූණ බලල හිනාවුනා මිසක කිසිදෙයක් කිව්වෙ නෑ.

" ලෙඩා වෙනුවට බැරිද ලෙඩාගෙ පුතාට එහෙන් මෙහෙන් ඇනල පරීක්ෂා කරන්ට?.....එහෙම පුලුවන් නම් මම ඕන වෙලාවට රෙඩි….." මම ෆුල් සීරියස් පිට කිව්ව. 

" ආ..දැනටනම් අපිට එහෙම ක්‍රමයක් කියල දීල නෑ. එහෙම ක්‍රමයක්  කියල දුන්නු දවසක පණිවිඩයක් එවන්නං.." ඒ කෙල්ලන්ගෙ ලීඩර් වගෙ හිටපු කටකාර කෙල්ල එහෙම කියල හිකි හිකි ගාල හිනාවුනා. අනික් අයත් ඔන්න එක රොත්තට හිනාවෙන්ට ගත්ත. ඉතිං මාස හත අටකට වගෙ කලින් වෙච්චි ඔය සීන් එක මතක් වෙලා මට ආයෙම හිනාගියා.අප්පච්චි ඒ විඩේ දවස් හයක් ඒ ඉස්පිරිතාලෙ හිටිය.

ඉතිං ආයෙම වර්තමානයට ආවොත් අනික් පහුවදා සරෝජිනී ආපහු වැඩට ආව. මම කලින් කිව්වනෙ නයිට් ෂිෆ්ට් එක කලාම එක දවසක් නිවාඩු දෙනවයි කියල. ඉතිං ඒ නිවාඩු දවසට පහුවදා ඒ ළමයා ආපහු වැඩට ආව. රෑ අප්පච්චි ගාව ඉඳල පහුවදා උදේ මම ගෙදර යන්ට සූදානම් වෙනකොට තමයි සරෝජිනී ආවෙ. 

" අහ්..මෝනිං මම මේ ගෙදර යන්න කියල හදන්නෙ? "

" හා..එහෙමද?....කොහොමද අප්පච්චිට? "

" දැන්නම් හුඟක් හොඳයි වගෙ..තව දවස් දෙක තුනකින් ගෙදර ගියෑකි මම හිතන්නෙ…"

එදා දවල් අම්ම අප්පච්චි බලන්ට ඉස්පිරිතාලෙ ගිහිල්ල ආපහු ආවෙ හුඟක්ම හවස්වෙලා. " මගෙ පරණ බැච් මේට් කෙනෙක් හම්බවුනා. එයානම් තාම වැඩ..දැන් සිස්ටර් කෙනෙක්. " අම්ම එහෙම කියාගෙනයි ගෙට ගොඩවුනේ..

එක පාරක් කොළඹ ගිහිල්ල එද්දි වේවැල්දෙණියෙන් අරගෙන ආපු වේවැල් පුටු හයෙන් දැන් ඉතුරු වෙලා තියෙන්නෙ දෙකයි. ඒ දෙකෙත් කකුල් අඩමානෙට. අම්මගෙ කසාදයක් කර නොගත්තු අයිය කෙනෙක් අපි එක්ක ඉඳල අවුරුද්දකට වගෙ කලින් නැතිවුනා. ඒ මාම ඉන්දැද්දි ඔය පුටු කකුල් අම්ම ඉස්පිරිතාලෙන් ගේන සේලයින් බටවලින් තදට ඔතල රෙපයාර් කරනව. ඒත් කාලයක් යනකොට අර සේලයින් බටේ ඇදිල පුටු කකුල ආයෙම හෙල්ලෙන්ට ගන්නව.ඔය පරණ සේලයින් බට වලින් අපි ගත්තු ප්‍රයෝජන අනන්තයි අප්‍රමාණයි. ඉතුරු වෙලා තිබ්බ වේවැල් පුටුවකුත් ලඟට ඇදගෙන අම්ම මම ගාවින් ඉඳගත්ත.

" බලාගෙන අම්මෙ ඔය පුටුවෙ කකුලක් රුයිතෙට නේද තියෙන්නෙ? දැං ඕක කඩාගෙන වැටිල අම්මත් තව එකක් කරගන්නව…"

" නෑ ..නෑ..මේක වැටෙන්නෙ නෑ..මම වැඩිය බරදීල නෙවෙයි ඉඳගෙන ඉන්නෙ….."

" බරදීල නෙවෙයි තමයි. ඔය පුටු කොහොමත් අල්ලල වීසි කරල දාන්ට තියෙන්නෙ. දැං කොච්චරනම් කල්ද? අපි කොහෙ ගිහිල්ල එන ගමන්ද ඔව්ව වේවැල්දෙණියෙන් ගත්තෙ අම්මෙ? "

" මට ඔව්ව මතක නෑ ළමයො...මේ එව්වයිං වැඩක් නෑ.."

අම්ම වටපිට බලල කටහඬ හොඳටම පහත් කරල ඊට පස්සෙ කතා කලේ..වැදගත් කියල අම්ම හිතන මොකක් හරි කියනකොට කියන්ට සූදානම් වෙද්දි අම්මගෙ සිරිතක් ඒක. වටපිට බලල කටහඬ පහත් කරන එක. සමහරවිට මේ අපි දෙන්න විතරයි ගෙදර ඉන්නෙ. ඒත් අර දෙනෝදාහක් මැද්දෙ මහ බලගතු රහසක් කියන්ට යනව වගෙ හැසිරෙන එක නම් එහෙම්මම තමයි. මට ඔය අම්මගෙ ඇක්ෂන් දැක්කම මැරෙන්ට හිනා. 

" අම්ම හොඳයි ටෙලි නාට්ටියක රඟ පාන්ට යවන්ට.." මම එහෙම කිව්වම අම්මත් හිනාවෙනව. 

" ඔව්..මට බැරිත් නෑ. ඕක මොකෝ මහ දෙයක්ය? ඔය අපි කන බොන විදිහට කතාකරන විදිහට ඒ කටයුතු ටික කරන එකනෙ තියෙන්නෙ " අම්ම එහෙම කියනව. ඇත්තත් තමයි වැඩේ බලාගෙන යනකොට.

අම්ම කියන්ට යන්නෙ මොකක්ද කියල හිතාගන්ට බැරුව මම අම්මගෙ මූණ දිහාවෙ බලාහිටිය. 

" මට අද වාට්ටුවෙදි අර ළමය හම්බවුනා. …."

අම්ම කියන්නෙ කවුරුගැනද කියල මම සහසුද්දෙන්ම දන්නව එහෙම උනත් ...මොන ළමයද? කියල අහන්ටත් හදල මම ආයම හ්ම්ම්ම් කියල කරබගෙන හිටිය. 

" ඒ ළමයට මාව මතකයි. " අම්ම එහෙම කියල මගෙ මූණ බැලුව. මගෙන් කිසි ප්‍රතිචාරයක් නැති වුනත් අම්මට ගානක් නෑ අම්මා දිගටම කතාකරගෙන ගියා..

අපෙ අම්ම එහෙමයි. මම අහල තියනව සුද්දන්ගෙ කාලෙ උසාවිවල අනුගමනය කරපු සම්ප්‍රදායක්. ඔය නඩුවක ඉස්සොරෝම නඩුකාරය අහනවනෙ විත්තිකාරයගෙන් "යුෂ්මතා වැරදිකාරයද නිවැරදිකාරයද?" කියල.මනුෂ්‍ය ඝාතන නඩුවකදි "ස්වාමීනී මම වැරදිකාරය"කියල විත්තිකාරය කිව්වත් නිවැරදිකාරය කියල කිව්වයි කියල සටහන් කරගෙන නඩුව ඉදිරියට පවත්වගෙන යනවලු. තවමත් එහෙම කෙරෙනවද කියල නම් මම හරියටම දන්නෙ නෑ. අපේ පාඨකයො අතර ඉන්න ලෝයර් මහත්තුරු, ලෝයර් නෝනල එහෙම ඒ ගැන මොකවත් එහෙම දන්නවනම් කරුණාකර දැනුම්වත් කරනු මැනව. හැබැයි ඒක කිව්වය කියල කන්සල්ටන්සි ෆී එකක් එහෙම ඉල්ලන්ට ලෑස්ති වෙනව එහෙම නෙවෙයි ඔන්න හරිය?...හෙහ්,හෙහ්,

ඔන්න කන්සල්ටන්සි ෆී කියනකොට මරු කතාවක් මතක් වුනානෙ. එක ලෝයර් කෙනෙක්ගෙ ඔෆිස් එක ගාවම අල්ලපු වැටේ තියෙන්නෙ ඔන්න මස් කඩයක්ලු හොඳද? දවසක් මේ මස් කඩේ මුදලාලි දනිපනිගාල දුවගෙන ආවලු ලෝයර්ගෙ ඔෆිස් එකට. 

" මේ මහත්තය මහත්තය….. කාගෙ හරි බල්ලෙක් මගෙ මස් කඩෙන් මස් කෑල්ලක් අරගෙන ගියොත් මට ඒකට බල්ල අයිතිකාරයගෙන් අලාබෙ අයකර ගන්ට පුලුවන්ද? "

" අපොයි මොකද බැරි? අනිවාර්යයෙන්ම පුළුවනි, අනිවාර්යයෙන්ම පුලුවනි, "

" හරි එහෙනම් මහත්තයගෙ බල්ල දැන් ටිකකට ඉස්සෙල්ල මගෙ මස් කඩෙන් මස් කෑල්ලක් අරගෙන පැන්න. "

" හරි ඒ කියන්නෙ ඔහෙට දැන් මගෙන් ඒකට අලාබෙ ඕනෙ කියලනෙ කියන්නෙ. අවුලක් නෑ..මම අලාබෙ දෙන්නම්..කීයද ඔහෙගෙ මස් කෑල්ලෙ වටිනාකම?.."

" රුපියල් 400ක් විතර වෙනව මහත්තය.." මුදලාලි කිව්ව. 

" හරි එහෙමනම් මගෙ නීති උපදේසෙට ගාස්තුව රු. 600 යි. ඒකෙං ඔහෙගෙ මස් කෑල්ලෙ අලාබෙ අඩුකරගෙන ඉතුරු රු 200 මට දීල යනවා. "

රයිට් ලෝයර්ස්ල ගැන ඒ කතාව දැනට මදැයි!...තව තියනව නීතීඥ මහත්තුරු / නෝන මහත්තුරු ගැන කතා එකසිය ගාණට..වෙනම කියන්නං එව්ව..සැරින් සැරේ..විඩෙං විඩේ...

අම්ම දිගටම කතාකරගෙන ගියා කියලනෙ මම කිව්වෙ නේද?...රයිට්...

" ඒ ළමයට මාව මතකයි...මම කිව්වෙ මම සුරේලගෙ ගෙදර ගිහිල්ලත් තියනව කියල..පුතත් මාත් එක්ක ගියා..පුතාට ඇත්තටම මතක නැද්ද? අර කඩ පණහ ඉස්සරහ ඇතුල් පාරෙන් ගිහිල්ල…."

" මට මතක නෑ අම්මෙ….." මගෙ නොරිස්සුම කටහඬෙන්ම තේරෙන්ට ඇති..

" හරි, හරි ඒකෙන් දැන් වැඩක් නෑ...මම ඒ දරුවගෙන් ඉල්ලගෙන ආව ගෙදර ටෙලිෆෝන් නොම්මරේ.."

" මොන? ….."

" මොන කියන්නෙ ?... සරෝජිනීලගෙ ගෙදර ටෙලිෆෝන් නොම්මරේ.."

" අර මොකටද අර? "කුකුළ එන්නෙ වී පැදුර කන්ටයි කියල මම එක පාරටම දැනගත්තත් නොදන්නව වගෙ මම ඇහුව.

" අනුරාධපුරෙන් ආවත් හරි සුරේව හම්බ වුනේ නෑනෙ දැං අවුරුදුම කීයක්ද? මට හිතුන නිකමට වගෙ කෝල් එකක් දීල බලන්ට.."

" ඔව්..අර තියෙන්නෙ ටෙලිෆෝන් එක…. නිකමට වගෙ කෝල් එකක් දීල බලන්ටකො…" මම එහෙම කියල නැඟිට්ට.

" මට මතක තිබුන හරි. සුරේල ඉන්නෙ හෙම්මාතගම තමයි. "

" දැං ඔය ළමය ඔය එහෙ ඉඳලද වැඩට එන්නෙ? " යන්ට ගිය මම සාලෙ උළුවස්ස ගාව නැවතිල ආපහු හැරිල ඇහුව…

" පිස්සුද ඔයාට? හෙම්මාතගම ඉඳල කොහොමද උදේ හවස වැඩට එන්නෙ?.... එයා එනව කිව්වෙ අම්පිටියෙ මාම කෙනෙකුගෙ ගෙදර නැවතිල. "

" ඇත්තද? ඒක හොඳයි " මම ආයෙම යන්ට හැරුන. 

" ඒත් එතන මේ මාසෙන් පස්සෙ ඉන්ට බැරිලු. ඒ ගොල්ලත් ගේ විකුණල දාල යනවලු. මට කිව්ව ආන්ටි ලොකු උදව්වක්ය...පුලුවන්නම් මේ කිට්ටුව එයාට නවතින්ට තැනක් හොයල බලන්ටය කියල. "

" හ්ම්ම්..නිකම්ම කිව්වද? නැත්තං අම්ම බලෙන්ම වැඩේ බාර ගත්තද? "

" ඔන්න කිව්ව කතාවක්..මම මොකටද බලෙන් බාරගන්නෙ?...අනික මට පුලුවන්නෙ මිසිස් තෙන්නකෝන්ගෙන් අහල බලන්ට. එහෙ බෝඩර්ස්ල ඉන්නවනෙ දෙතුන් දෙනෙක්ම. "

අපෙ ගෙදරට මීටර් 500 වගෙ එහා හිටපු තෙන්නකෝන් ආන්ටි බෝඩිමක් කරගෙන ගියා. මම දන්න දවසෙ ඉඳල එහෙ ඉගෙන ගන්න, රස්සාවල් කරන ගෑණු ළමයි හතර පස් දෙනෙක් වැරදුනේ නෑ.

" ආය මිසිස් තෙන්නකෝන්ගෙන් අහන්නෙ මොකටද? අම්මට බැරිය ඒ ළමය මෙහෙ නවත්තගන්ට. "

මුලු සතියෙම අම්මයි අප්පච්චියි විතරනෙ ගෙදර ඉන්නෙ. ඒ කාලෙ වෙනකොට මම සති දෙකකට සැරයක් වගෙ සති අන්තෙට විතරයි ගෙදර ආවෙ. නංගිල දෙන්නම කොළඹ. එයාල නම් හැම සිකුරාදාවකම වගෙ ගෙදර ආව. සඳුද පාන්දර ආපහු යනව. කොහොමහරි සතියෙ දවස් පහේ අම්මයි අප්පච්චියි විතරයි ගෙදර.

අම්ම කටත් බාගෙට ඇරගෙන මා දිහාවෙ බලා ඉඳපු ඉඳිල්ලට මම හිනාව ගිල ගත්තෙ බොහොම අමාරුවෙන්..

" පුතා ඇත්තටම කියනවද විහිලුවට කියනවද කියල මටනම හිතාගන්ට බෑ.." අම්ම තොල මැතිරුවෙ තමන්ටම කියාගන්නව වගෙ. 

" විහිලු නෙවෙයි. අප්පච්චිගෙ අසනීපෙත් එක්ක නර්ස් කෙනෙක් ගෙදරම ඉන්නව නම් කොච්චර එකක්ද? " මම එහෙම කියල අම්ම දිහා හොරැහින් බලාගෙන මගෙ කාමරේට ගියා.

Friday, March 13, 2015

308. විමලෙගෙ වාංපතුල් කතා - 28 - සරෝජිනී...........


පඩිපෙල දිහාවෙන් සද්දයක් ඇවිල්ල මම ඔලුව හරවල බැලුව.හෙදි නිල ඇඳුමෙන් සැරසුනු යුවතියක් පඩි පෙල නැඟගෙන එනව දැකල මම හෙමිහිට ඉඳගෙන හිටපු තැනින් නැඟිට්ට. ඔය වෙනකොට තරමක අඳුරක් පැතිරිල. ඒ නිසාම මම හිතන්නෙ පැත්තකට වෙලා හිටපු මාව ඇය දැක්කෙ නෑ.

ඒ ආවෙ සරෝජිනී කියල ආය අමුතුවෙන් කියන්ට ඕන නෑනෙ නේද? ඔව්..ඒ ආවෙ සරෝජිනී තමයි. ඒත් පුදුම වැඩේ කියන්නෙ මට ඒ ළමයගෙ මූණ කට මොකවත්ම මතක නැති හැටියක්....කොච්චර මතක් කරන්ට හැදුවත් ම්හු..බ්ලෑන්ක් එකක්.මට සාමාන්‍යයෙන් එහෙම වෙනව අඩුයි.මයෙ හිතේ මොකක් හරි විද්‍යාත්මක හේතුවක් ඇති ඒකට.

සරෝජිනී බුදුපිළිමෙ පිටිපස්සෙ තිබ්බ මැටි පහනක් අරගෙන පොඩි බෝතලේකට එයා අරගෙන ආපු පොල්තෙල් දාල තිරයකුත් දාල දැල්වූවා. ඊළඟට දොහොත් නළලේ තියාගෙන මොනවදෝ තොල මතුරමින් බුදු පිළිමෙට වැඳගෙන හිටිය මිනිත්තු තුන හතරක් තරමෙ. මේවෙනකොට සෑහෙන තරමට අඳුර පාත් වෙලා ඉවරයි. අඩි දහයක් විතර මානෙ තිබ්බ අරලිය ගහ පවා යාන්තමට කඳ විතරයි පෙනෙන්ට තිබ්බෙ. බුදු පිළිමෙ ඉස්සරහ දැල්වෙන පොල්තෙල් පහනෙන් විහිදෙන මළානික එළියෙන් සරෝජිනීගෙ මූණෙ එක පැත්තක් පැහැදිලිවම පේනව. පැතිපෙනුම නැත්නම් ඉංග්‍රීසියෙන් Profile එක කියන්නෙ අන්න ඒක.

ඈ බුදුන් වැඳල කාරිය ඉවර වෙනකල් මම එතනම හිටිය. ටිකකින් වැඳිල්ල ඉවර වෙලා පහනෙ තිරේ හරිගැස්සුව ආලෝකය වැඩිවෙන විදිහට. එහෙම කරල පොල්තෙල් බෝතලෙත් අතින් අරගෙන යන්ට හැරුන පඩිපෙල දිහාවට. 

" මිස් මේ........" මම අඩිදෙක තුනක් ඉස්සරහට අඇවිල්ල හෙමිහිට කතාකලා. සරෝජිනි එතනම නැවතිල මගේ පැත්තට හැරුන.

ඈ මොකවත් අහන්න ඉස්සරවෙලා මම අඳුන්වල දෙන එක මගෙ යුතුකම කියල මට හිතුන හින්ද මම කතාකලා. " මිස් විසිතුනේ ඇඳේ ඉන්නෙ මගෙ අප්පච්චි……"

" ආ..එහෙමද? අද නේද අයි.සී.යූ. එකෙන් ම්,එහාට මාරු කරල තියෙන්නෙ? මොකද ඊයෙ හිටියෙ නෑනෙ මේ වෝඩ් එකේ. "

" ඔව් මිස් අද තමයි මෙහාට මාරුකලේ….."

" ඉතිං ඔයා මෙතන මොකද කරන්නෙ?."

" ආ….. මම මේ සැම්සන් එක්ක ආව නිකමට වගෙ.."

" ආ..එහෙමද හරි එහෙනං අපි යමු පහළට නේද? මම ඩියුටි ආව විතරනෙ. රිපෝට්ස් බෙහෙත් දෙන එව්ව ඔක්කොම බලන්ටත් එපාය.." ඇය යන්තමට හිනා වුනා..

" හරි හරි... මමත් මේ යන්ට තමයි ලෑස්ති වුනේ."

එදා රෑ හතහමාර වගෙ වෙනකොට අප්පච්චි නැඟිට්ට. තවම මත් ගතිය වගෙ තිබුණට හවස අපෙ ලොකු අම්මගෙ පුතා, සරත් අයිය අතේ ගෙදරින් එවල තිබුනු සුප් එක ඔක්කොම වගෙ බිව්ව.

" දැං කොහොමද අප්පච්චි? …" සුප් එක බීල ඉවර උනහම මම ඇහුව. 

" ඇඟට පණනැති ගතිය විතරයි වෙන අමාරුවක් නෑ " අප්පච්චි එහෙම කියල යන්තමට හිනාවුනා. ඊට පස්සෙ විනාඩි දහයක් පහලවක් වගෙ මා එක්කල ඔය අනම්මනම් කතාකරකර ඉන්දැද්දි අප්පච්චිට එහෙම්මම නින්දගියා.

ඒ වෙනකොට හුලඟ ටික ටික හීතල වෙන්ට පටන් අරගෙන තිබ්බෙ. අප්පච්චිව නිකට ගාවට එනකල් හොඳට පොරවලා මම කැන්ටින් එක පැත්තෙ ගියා රෑට මොනවහරි කන්ට.අම්ම බත් එකක් එවල තිබ්බට මම ඒක එහෙම්මම කබඩ් එක ඇතුලෙ තිබ්බ. රෑට බඩපුරා බත් කෑහම මට නින්ද යනව. ලෙඩෙක් ගාව ඉන්නකොට දිගටම ඇහැරගෙනම ඉන්ට ඕනනම් නැතිඋනාට හදිස්සියක් උනොත් පටගාල ඇහැරෙන්ට ඕන. බඩපුරා බත් කෑහම ආය කොහෙද ඇහැරෙන්නෙ?

වාට්ටුවෙ එක කෙළවරක තිබ්බ ලියන මේසෙ ඉඳගෙන සරෝජිනී මොනවද ලියනව. නයිට් ෂිෆ්ට් එකට හිටිය අනික් නර්ස් මම දැක්ක වාට්ටුවෙ එහා පැත්තෙ කෑල්ලෙ ලෙඩෙකුට සේලයින් එකක් දෙන්න හදනව. මගෙ අඩි සද්දෙ ඇහිල වෙන්නැති සරෝජිනී ඔලුව උස්සල බැලුව.

" මිස් මම කැන්ටිමට ගිහිල්ල එන්නම් " ඈ ඔලුව වනල යන්තමට හිනාවුනා.

ඒ දවස්වල නුවර ඉස්පිරිතාලෙ කැන්ටිම තිබ්බෙ දැන් තියන තැන නෙවෙයි. දැං ඔය ඇස් වාට්ටුව හදල තියෙන්නෙ ඒ කාලෙ කැන්ටිම තිබ්බ තැන තමයි.රෝල් දෙකකුත් කාල ටී එකකුත් ගහල මම එළියට බැස්ස. සිගරට් එකක් අතටත් අරගෙන ආයම පැකට් එකට දාල සාක්කුවෙ දාගත්ත. මට එහෙම ඔහෙ ඕන නෑ කියල හිතුනෙ මොකද මන්ද...

කන්ද නැඟල ආපහු එනකොට වාට්ටුවෙ ලයිට් ඔක්කොම වගෙ නිවල. කොරිඩෝවෙ කෙලවරක විතරක් එක ලයිට් එලියක් පත්තු වුනා . ඒත් යාන්තමට වොට් හතළිහෙ බල්බ් එකක් වෙන්න ඕන. ඔය අර ෆයිබර්ග්ලාස් පුටු ආපු අලුත. නිල්කමල් බ්‍රෑන්ඩ් එක තමයි හැමතැනම තිබ්බෙ. දම්රෝ එහෙම ආවෙ ඊට බොහොම පස්සෙ කාලෙක. නර්ස්ලගෙ මේසෙට එහා පැත්තෙ එක පිට එක ගොඩ ගහල ඒ ජාතියෙ පුටු හතර පහක් තිබ්බ මට මතකයි. මම එතනට යනකොට අර අනික් මැදිවයසෙ නර්ස් නෝනත් මේසෙ ඉඳගෙන හිටිය.

" මිස්..මම අර පුටුවක් ගන්නද? " මගේ දිහා ඔලුව උස්සල බලපු ඒ මැදිවයසෙ නර්ස්ගෙන් මම ඇහුව..

" ගන්න ගන්න " ඈ එහෙම කියල සරෝජිනී දිහා බලල හිනාවුනා.

මම පුටුවකුත් අරගෙන එද්දි ඈ මොනවද හෙමිහිට සරෝජිනීගෙන් ඇහුවා. " විසිතුනේ ඇඳේ " සරෝජිනී කියනව මට යාන්තමට වගෙ ඇහුන.

අප්පච්චි ළඟ ටිකක්වෙලා ඉඳල මම පුටුවත් උස්සගෙන ගියා කොරිඩෝවෙ ලයිට් එක යටට. එතන එළිය නම් හොඳටම මදි. ගල් පිළිමය ටිකක් වෙලා කියවද්දි ඇස් රිදෙන්ට ඇල්ලුව. මම එහෙම්මම පුටු ඇන්දට හේත්තුවෙලා ඇස් තද කරල පියාගත්ත.

" නින්ද ගියාද? " ..එක පාරටම ඇහැරිලා බලනකොට සරෝජිනී මා දිහා බලාගෙන ඉන්නව. 

" මෙතන අමාරුයි පොත කියවන්න..එළිය මදි..ඒ පාර චුට්ටක් ඇහැ පියාගත්ත. නින්ද ගියෙත් නෑ නොගියෙත් නෑ මම හිතන්නෙ. "

" මොකක්ද පොත? මේ ගිය මාසෙ නිකුත් වෙච්ච පොතක් ගල් පිළිමය සහ බොල් පිළිමය.."

" ආ..මමත් දැක්ක පත්තරවල තියනව ඔය පොත ගැන. කියවල ඉවරවෙලා මටත් දෙන්න.."

" ආ..එහෙනං ගන්න..මෙතන කොහොමත් කියවන්න අමාරුයි. මේ බල්බ් එකේ එළිය මදි.."

" හරි එහෙනං තෑන්ක්යූ..මම උදේ ඕෆ් වෙලා යනකොට දීල යන්නම්…"

" හෙටත් නයිට්ද? ….."

" නෑ අදින් ඉවරයි..දවස් තුනයිනෙ.."

" ෂෙහ්,…..දැන්නම් ඔය ගොල්ලන්ට හොඳයි නේද? නයිට් දවස් තුනයි. ඩියුටි ෂිෆ්ට් එක පැය හයයි. ඊට පස්සෙ ඕ.ටී. "

හෙද/හෙදියන් ඒ වෙනකොට වැඩ කලේ පැය 6 ක සේවා මුරයක්. උදේ 7 - දවල් 1 හෝ දවල් 1 - රෑ 7 නයිට් තිබ්බෙ එක දිගට දවස් තුනයි.. ඊළඟ පහුවදා නිවාඩු. අර හාන්දුරුවො තමයි ඔව්ව අරං දුන්නෙ. මුරුත්තෙට්ටුවේ ආනන්ද……..

ආනන්ද හාමුදුරුවන්ට පස්සෙ පස්සෙ බොහොම බරපතල චෝදනා තිබ්බට හෙද / හෙදියො වෙනුවෙන් උන්නැහැ කරපු සේවය විශිෂ්ඨයි. එක පාරක් ඔය හෙදි වැඩ වර්ජනයක් වෙලාවෙ ජේ.ආර්. ලොක්ක එක්ක සාකච්ඡාවකට එන්ට කියල තිබ්බ හෙද සංගමයෙ නිලධාරීන්ට. ජේ.ආර්. පොයින්ට් බ්ලෑන්ක් ප්‍රතික්ෂේප කලා හෙද ප්‍රශ්න ගැන හාමුදුරුවො එක්ක සාකච්ඡා කරන්න. 

" ඔය සාදුට කන්ට බොන්ට දීල යවන්ට. එයා මොකටද එන්නෙ නර්ස්ලගෙ ප්‍රශ්න ගැන කතා කරන්ට? ඒකට ඒ රස්සාව කරන අයට එන්ට කියන්ට. සාදුල එක්ක මම නර්සස්ලගෙ ප්‍රශ්න කතාකරන්නෙ නෑ. " පප්ප එහෙමයි කියල තියෙන්නෙ

" හාමුදුරුවන්ට පිංසිද්ද වෙන්ට තමයි ඔක්කොම හෙහ්,හෙහ්.... ඉස්සර ෂිෆ්ට් එක උදේ හතේ ඉඳල එක්කො හවස තුන නැත්තං රෑ හත ….නයිට් එක දිගට දවස් හතක්.."

" ඔයා කොහොමද ඔය විස්තර දන්නෙ?.." සරෝජිනී නළලරැලි කරගෙන ඇහුව..

" මම මොකෝ නොදන්නෙ? මගෙ අම්ම නර්ස් කෙනෙක්නෙ. "

" ඒහ්..ඇත්තද? අපෙ අම්මත් නර්ස් කෙනෙක්."

" නෑ??...අපෙ අම්ම අන්තිමට අනුරාධපුරේ ඉඳල රිටයර් වුනේ.."

" ඇත්තටම? අපෙ අම්මත් අනුරාධපුරේ ඉස්පිරිතාලෙ හිටිය සෑහෙන කාලයක්..මම ඕ ලෙවල් කරනකල් ඉස්කෝලෙ ගියෙත් එහෙ. ස්වර්ණමාලී එකට. "

" එහෙනම් නොවැරදීම අපෙ අම්ම දන්නව ඇති. මම අහන්නම්කො.දැන් මම ගෙදර යනවනෙ. මොකක්ද ඔයාලගෙ අම්මගෙ නම? "

" මිසිස් සුරවීර…"

මම කිව්වෙ අර අපෙ ලොකු අම්මගෙ පුතා..ඒ අයිය ආව උදේම දවල් දවසෙ මුරේ බාරගන්ට. මම ගෙදර ගියා ටිකක් නිදාගන්ට. කොහොම උනත් රෑ නිදි වැරුවම කොච්චර දවල්ට නිදාගත්තත් හරි යන්නෙ නෑ. අනික කොහොමත් දවල්ට නින්ද යන්නෙත් නෑ හරියකට.

මම ගෙදර යනකොට අම්ම කුස්සියෙ. සුප් එකක් හදනව. දවල්ට අප්පච්චිට ගෙනියන්ට.

" පුතා මහන්සිද? තේ එකක් හදන්ටද? "

" නෑ අම්ම දැන්ම එපා..මම නාගෙන එන්නං.."

ඒ කාලෙ අපෙ ගෙදරට පයිප්ප දාල තිබ්බෙ නෑ. ගේත් එක්කම පල්ලෙහා කුඹුරෙ ලිඳෙන් තමයි නෑම සහ රෙදි පෙරෙදි සේදීම යනාදී සියලු කටයුතු කෙරුනෙ. නිල් කැටේට තිබ්බ හීතල වතුර බාල්දි පණහක් හැටක් නාගත්තම ඇඟේ කෙඩෙත්තු ගතිය කොහෙං ගියාද කියල නැතුව අතුරුදන් වුනා.

නාල ඉවරවෙනකොටම මට ඔන්න නිදිමතක් ආව. රෑ හරියකට නින්දක් නැතිඋනහම එහෙම තමයි. ඒ ඇරත් මට පොඩි කාලෙ ඉඳලම එහෙම තමයි කියල අපෙ අම්මයි අත්තම්මයි දෙන්නම කියනව. " සුට්ටි පුතා පොඩි සංදියෙ නාවල ඇඟ පිහදානකොටම ඔන්න ඈනුං හත අටක් ගිහිල්ලත් ඉවරයි. "

නාගෙන ඇවිල්ල කුස්සියෙ ලොයි බංකුවෙ මම ඉඳගන්නකොටම අම්ම තේ එකක් ගෙනැල්ල දුන්න. තේ උගුරක් බීල මම ඔලුව උස්සල අම්ම දිහාවෙ බැලුව. 

" අම්මෙ...අනුරාධපුරේ හොස්පිටල් එකේ අම්මලත් එක්ක වැඩ කලාද සුරවීර කියල නර්ස් කෙනෙක්? "

" හිටිය හිටිය ...අර මිරිදිය හොටේල් එක කිට්ටුව ගෙදරක හිටියෙ. ඇයි පුතා එහෙම ඇහුවෙ? "

" නෑ අප්පච්චි ඉන්න වෝඩ් එකේ ඊයෙ රෑ වැඩ කරපු නර්ස්ගෙ අම්මත් අනුරාධපුරේ හොස්පිට්ල් එකේ වැඩ කලාය කිව්ව. මම නම ඇහුවම සුරවීර කියල කිව්ව. "

" හරි හරි මට මතකයි. සුරේට හිටියෙ දුවල දෙන්නෙක් තමයි. ඇයි පුතාට මතක නැද්ද? මම පුතා එක්ක එහෙ ගිහිල්ල තියනවනෙ. "

" මම ගියේ නෑ අම්මෙ..ගියානම් මට මතකයිනෙ. "

" හරි ඉතිං දැං මොකද ඒ දුව කිව්වෙ? "

" මොනව කියන්ටද? මම යනව ටිකක් නිදාගන්ට..අම්ම දැං යනවද අප්පච්චි බලන්ට?..."

" ඔව් පුංචි මාම එනව කිව්ව…. මම ඒත් එක්ක යන්ට හිතාගෙන ඉන්නෙ සුප් එකත් අරගෙන…"

" කෝකටත් බත් පොඩ්ඩකුත් අරං යන්ට ….දන්නවනෙ අප්පච්චිගෙ හැටි..බත් ඩිංගක් වගෙ නෑනෙ එයාට ඔය මොනව කෑවත්...."

මම එහෙම කියල නැඟිටල එන්ට ආව..ගල් පිලිමය සහ බොල් පිලිමය පොත අතට අරගෙන මම ඇඳේ දිගාවුනේ නින්ද යන්ට ඉස්සර පිටු දෙක තුනක් වත් කියවන්ට හිතාගෙන.

ඒත් ආයම මට මතක් වෙන්ට ගත්තෙ.......උදේම මුණ කට හෝදගෙන කොරිඩෝවෙ කුළුණකට හේත්තුවෙලා ඉර එළිය ටිකින් ටික වැඩි වෙනව බලාගෙන මම හිටියෙ තුවායත් කරේ දාගෙන. 

" ආ ඔයාගෙ පොත …" සරෝජිනී මගෙ ලඟට ඇවිල්ල මගෙං ඊයෙ ඉල්ලගත්ත පොත දික්කලා.

" ආ..කියවලත් ඉවරද? "

" අපෝ නෑ..පිටු දහයක් පහළවක් විතරයි කියවන්ට ලැබුනෙ. "

" එහෙනං බලල ඉවර වෙලාම දෙන්ට.."

" නෑ මගෙ නයිට් අද ඉවරනෙ..එතකොට හෙටත් ඕෆ්..අනිද්දනෙ ආපහු එන්නෙ. ඒ නිසා පොත මිස්ට වීරසිංහම ගන්ට. ආ..මේ මම තේ හදන්න යන්නෙ..තේ එකක් ඕනද? "

" නෑ එපා මිස් මම කැන්ටින් එකෙන් බොන්නම්.."

" ආය ඕකට කැන්ටින් එකට යන්න ඕනය? ඉන්න මම ගෙනත් දෙන්නම්.."

" පුතා අර ළමයගෙ ගෙවල් කොහෙ කියලද කිව්වෙ?.." එක පාරට මම ගැස්සිල ඇස් ඇරියෙ අම්මගෙ කටහඬින්..

" මොන ළමයගෙද? …" අම්ම අහන්නෙ කවුරුගැනද කියල හොඳටම දන්නව වුනත් මම නොදන්නව වගෙ ඇහුව..

" අර සුරේගෙ දුව……."

" මම ඔව්ව අහන්ට ගියේ නෑ අම්ම….." මම කෙලින්වෙලා ඇඳේ ඉඳගත්ත. 

" හරි මට දැන් මතකයි සුරේලගෙ ගෙවල් මේ හෙම්මාතගම පැත්තෙ…."


*****************************

ගොතපු කතන්දරයක් කියනව වගෙ නෙවෙයි ජීවිතේ ගැන ලියනකොට. අග මුල නැති වැල්පොටක් අල්ලල අදිනව වගෙ තමයි. කෙළවරක් නෑ. එහෙමත් නැත්තං බොහොම දිග දම්වැලක් එක කෙළවරකින් අල්ලල අදිනව වගෙ. පුරුකෙන් පුරුක දිගටම දම්වැල කොච්චර හරි ඇදෙනව මිසක ඉවරයක් නෑ. මේකත් මගෙ ජීවිත කතාව නිසා අගමුල නැති වැලක් නැත්තම් දම්වැලක් වගෙ තමයි. ඒ නිසා කරුණාකරල සමාවෙන්ට හොඳද?

Wednesday, March 4, 2015

307. විමලෙගෙ වාංපතුල් කතා - 27 - බහිරවකන්ද බුදු පිළිමය, දුම්බොන්නාගේ කතාව සහ Nothing About Anything But Something About Everything

Bahirawakanda Statue - Google Images

" වෝඩ් සෙවන්ටීන් එකේ වැඩ කරනව නේද සරෝජිනී කියල ගර්ල් කෙනෙක්?..."

" ඔව්..සරෝජිනී මගෙ බැච් මේට්..අයිය එයාව දන්නෙ කොහොමද? "


" ඒක ටිකක් දිග කතාවක්...මෙහෙමයි..අපෙ අප්පච්චි මාස හයකට වගෙ ඉස්සෙල්ල හාට් ඇටෑක් එකක් ඇවිල්ල ඔය වෝඩ් එකේ හිටිය සති දෙකක් විතර…"



" ඉතිං?........"

" ඉතිං මම තමයි වැඩිපුර අප්පච්චි ගාව හිටියෙ…" අසෝකා මා දිහා බලල ආයෙම බිම බලා ගත්ත…

" ඒ කාලෙදි තමයි මම සරෝජිනීව අඳුනා ගත්තෙ…"

ඔය කාලෙ වෙනකොට අප්පච්චිට හෘදයාබාධ තත්වයක් මතුවෙලා තිබුන. මුල්ම පාර පේරාදෙණිය රෝහලෙයි දෙවෙනි පාර මහනුවර රෝහලෙයි දෙපාරක්ම අප්පච්චි නතරවෙලා හිටිය දවස් දහයක් දොළහක් විතර. ඒ දෙපාරම වැඩිපුර ලඟින් හිටියෙ මම. ජනූගේ සටහන් ලියන අපේ ජානිස් ගොයිය එයාලගෙ අප්පච්චි ගැන ලියාපු බොහොම හෘදයාංගම සටහනකට අවුරුද්දකට දෙකකට වගෙ ඉස්සර මම ලියාපු කමෙන්ට් එකක් මේක. 

රෑ දහයට වාට්ටුවෙ ලයිට් නිවනව.ඊට පස්සෙ දැල්වෙන්නෙ කොරිඩෝවෙ සිවිලිමේ අඩි තිහෙන් තිහට වගෙ සවිකරල තියෙන දිගටි හැඩැති මලානික එළියක් නිකුත් කරන ප්‍රතිදීප්ත පහන් පමණයි. ඒත් හැම ඇඳක් ළඟම බිත්තියෙ පොඩි විදුලි පහනක් තියනව හදිසියකදි අත දිගුකරල දල්වා ගන්ට හැකිආකාරයට.

පේරාදෙණියෙ රෝහල හැදුවෙ ජපානෙ මිට්සුයි සමාගම. ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ඉවරවෙලා ඒ එක්කම තමයි මේකෙ වැඩ පටන්ගත්තෙ. ජපනගෙ වැඩ දන්නවනෙ. හරිම පිළිවෙලයි. රෝගීන්ට ඕන හැටිය ඉරු එළිය එන්ට, ස්වභාවික වාතාශ්‍රය ලැබෙන විදිහට විශාල කවුළු තියනව හැම තැනම වගෙ. මේ වෙලාවෙ නම් වැටෙන්නෙ හඳ එළිය විතරයි. කොරිඩෝවෙ එහා කෙළවරට ගිහාම හන්තාන කඳුවැටිය අතින් අල්ලන්ට ඇහැකිය කියලයි හිතෙන්නෙ. හීතල හුළඟක් හමාගෙන ආව. ඇඳගෙන උන්නු කමිසෙ බෙල්ල ගාව බොත්තමත් දාල වහගෙන මම හැරිල කොට බිත්තිය උඩින් බැලුව අංක 31 ඇඳ දිහාවෙ.

සුදුපාට බොකුටු කොණ්ඩෙ විතරයි අඩ අඳුරෙ මෙතනට පේන්නෙ. බෙල්ල ගාවටම පොරෝනයෙන් වැහිල සරීරයම. ඒ මයෙ අප්පච්චි…මේ පේරාදෙණිය රෝහලේ වාට්ටු අංක 23, හෘද රෝගීන් යම් තරමකට සුවය ලැබුවම රෝහලෙන් ඉවත්ව යනතෙක් මේ වාට්ටුවෙ තමයි රඳවන්නෙ. මේ පිරිමි වාට්ටුව. අංක 24 ගැහැණු වාට්ටුව. අප්පච්චි දවස් හතරක් දැඩි සත්කාර ඒකකයෙ ඉඳලයි මෙතනට ආවෙ.

" මිස්ටර් වීරසිංහ තාත්තගෙ තත්වය එච්චරම හොඳ මදි.මයිල්ඩ් ඇටෑක්ස් තුනක් එක පිට එක ඇවිල්ල තියනව. මයෝ-කාඩියල් ඉන්ෆාක්ෂන් "

" ඩොක්ටර්, ඔපරේෂන් එකක් කරන්න වෙයිද? " මම හීන් හඬින් ඇහුව.

" දැනට නම් ඕන නෑති වෙයි මම හිතන්නෙ. ක්‍රිටිකල් ස්ටේජ් එක පහුවෙලා තියෙන්නෙ. අපි බලමු. තව සතියක් වගෙ වෝඩ් එකේ හිටපුවාවෙ. "

හෘද රෝග විශේෂඥයයි මායි අතරෙ එහෙම කතාබහක් ඇතිඋනේ අද උදේ.

අප්පච්චි ළඟට හෙමිහිට ගිහිල්ල මම ඇඳ ලඟ තිබ්බ ප්ලාස්ටික් පුටුවෙ ඉඳගත්ත. වමත පොරෝණෙන් එළියට පැනල ඇඳෙන් පහලට එල්ලෙනව. මැණික් කටුවට ටිකක් උඩින් ගහල තියෙන්නෙ සේලයින් කටුව. මම හෙමිහිට අත ආපහු ඇඳ උඩින් තියල පොරෝණෙන් වැහුව.

අප්පච්චි එක්ක හුඟක් දේවල් මට කතා කරන්න තියෙනව. පොඩි කාලෙ ඉඳලම හිතේ පැහැව පැහැව තිබ්බ හුඟාක් දේවල්. ඒත් එව්ව කියාගන්ට මට කාලයක් නැතිවෙයිද? මහෙ හිතේ මහ බයක් හෝ දුකක් වගෙ හැඟීමක් ඇතිවෙලා උගුර හරහා ඇවිල්ල පිට උනේ දෑස් අග තෙත් කරමින්. මම හෙමිහිට අත දාල පොරෝනය අස්සෙන් අත දාල අප්පච්චිගෙ අත අල්ලල හෙමිහිට මිරිකුවා.

අප්පච්චි එක පාරටම ඇස් ඇරියා.

" පුතා……"

" අප්පච්චී …."

මම පුටුවෙන් නැඟිටල පාත්වෙල අප්පච්චිගෙ නළල හෙමිහිට අත ගෑව.

ඔය මම ලිව්වෙ ඉස්සරවෙලා පේරාදෙණියෙ ඉස්පිරිතාලෙ අප්පච්චි හිටපු සතියක හමාරක වගෙ කාලය ගැන. සනීප උනාට පස්සෙ අප්පච්චි ගෙදර ආව. ඒත් දරුණු හෘදයාබාධයක් ආවම ආයෙම පස්සෙත් ඒ වගෙ එකක් එන්ට තියන සම්භාවිතාව වැඩියි කියල කියනව. හරි ඒ කොහොමහරි පේරාදෙණියෙ ඉඳල ගෙදර ඇවිල්ල මාස හයක් වගෙ යන්ටත් ඉස්සර ආයෙම තත්වය දරුණුවුනා. ඒ පාර තමයි නුවරට ඇඩ්මිට් කලේ.

" ඉතිං මම තමයි වැඩිපුර අප්පච්චි ගාව හිටියෙ…" අසෝකා මා දිහා බලල ආයෙම බිම බලා ගත්ත…

" ඒ කාලෙදි තමයි මම සරෝජිනීව අඳුනා ගත්තෙ…"

ඒ කාලෙ නුවර ඉස්පිරිතාලෙ හෘදරෝග වාට්ටුවට යන්ට ඉස්පිරිතාලෙ බාහිර රෝගී අංශය ඉස්සරහිං දිවෙන තාරපාර දිගේ තරමක කන්දක් නැඟල යන්ට ඕන. 

" මේ කන්ද නැග්ගම ලෙඩ්ඩු බලන්ට එන මිනිස්සුන්ටත් හාට් ඇටෑක් නැහැදුනොතින් තමයි පුදුමෙ " සුදු කලිසමක් සහ කමිසයක් ඇඳගත්තු මැදිවියේ පුද්ගලයෙක් දවසක් හති දමමින් කන්ද නඟින අතරෙ ඒ එක්කම පිටිපස්සෙං යන මාදිහාට හැරිල කිව්ව. 

" හෙහ්, ඒකනං ඇත්තම තමයි.." මම හිනාවෙලා කිව්ව.

දාහතේ වාට්ටුවෙ විසිතුන ඇඳේ අප්පච්චි හිටියෙ. අයි.සී.යූ නොහොත් දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර කරල තත්වෙ හොඳ අතට හැරුනම සාමාන්‍ය වාට්ටුවකට මාරු කරනව.නුවර ඉස්පිරිතාලෙ ගෙවන වාට්ටුවකුත් තියනව.ඒකට කියන්නෙ ෆ්‍රේසර් වෝඩ් එක කියල.එහෙම කියන්නෙ ඇයිද කියන්න මම දන්නෙ නෑ. අම්මගෙනුත් ඇහුවට හරි විස්තරයක් අම්ම දැනගෙන හිටියෙත් නෑ. ආ..මම කලින් කිව්වෙ නැහැනෙ නේද? අපෙ අම්ම හෙදියක්. නුවර එන්.ටී.එස්. එකෙන් ඒ කිව්වෙ හෙද අභ්‍යාස විද්‍යාලයෙන් ඉගෙන ගෙන මුලින්ම අවුරුදු හතර පහක් වගෙ සේවය කරල තියෙන්නෙත් නුවරමයි.පස්සෙ බදුල්ල, මොණරාගල, මාතර, කෑගල්ල සහ අන්තිමට අනුරාධපුර රෝහලේ සේවය කරල තමයි විශ්‍රාම ගියේ.

ගෙවන වාට්ටුවෙ කාමරයක් ගත්තනම් හොඳට සැප පහසුවට ඉන්ට පුලුවන්. එක රෝගියට එක කාමරයයි. ඒකෙ රෝගියා ලඟ නතර වෙලා ඉන්න කාටහරිත් ඩිංගක් නිදාගන්ට පොඩි ඇඳක් එහෙමත් තියනව.කොහොමහරි ඒ දවස්වල ගෙවන වාට්ටුවෙ පුරප්පාඩු තිබිල නෑ.අනික ඇත්තම කිව්වොත් කොහොමත් නුවර සහ පේරාදෙණිය රෝහල් දෙකම හරිම පිරිසිදුයි. වැසිකිළි කැසිකිළි එහෙම උනත් නිතරම පිරිසිදු කරන නිසා කිසිම අවුලක් නෑ.

ඉතිං අප්පච්චි අයි සී යූ එකේ ඉඳල දහහතේ වාට්ටුවට මාරුකරපු දවසෙ හවස මම ගියා රෑට ඉන්ටත් බලාගෙන. අප්පච්චි ලෙඩ වලට හරිම බයයි. යන්තමට හෙම්බිරිස්සාවක් හැදුනත් ඇති ඔලුවෙ ඉඳන් පෙරවගෙන නිදාගන්නව. සීතලයි කියල සම්මත කෑම කට හරියෙ තියන්නෙ නෑ. සුප් හදල දෙන්ට ඕන රෑට පාන් ටෝස්ට් කරල.අපි පොඩි කාලෙ ටෝස්ටර්ස් තිබ්බ එකක්ය ඉතිං...පාන් ටෝස්ට් කරන්නෙ රොටි කබලෙ දාල තමයි. 

පහේ ශිෂ්‍යත්වයට බුද්ධි පරීක්ෂණය කියල විෂයයක් තියනවනෙ. තවම තියද කියල නම් නොදනිමි. ඒත් අවුරුදු පහළවකට විස්සකට වගෙ ඉහත නම් තිබුණ. මම එහෙම දන්නෙ අපෙ උන්දෙ බැඳපු අලුත දවසක් ඔය බුද්ධි පරීක්ෂණ ආදර්ශ ප්‍රශ්න පත්තර තියන පොතක් ගෙදර අරගෙන ඇවිල්ල මාත් ඒක පෙරලල බලපු හින්දයි. ඒකෙ තිබ්බ පාන් ටෝස්ට් කිරිල්ලට සම්බන්ධ ප්‍රශ්නයක්..ප්‍රශ්ණෙ මෙහෙමයි.

" ඔබ පාන් පෙති තුනක දෙපැත්තම කර කරගත යුතුය.ඔබට ලබාදී ඇති කබලෙහි එක් වරකට කර කර ගැනීමට ඉඩ ඇත්තේ පාන් පෙති දෙකකට පමණි.පාන් පෙත්තක එක් පැත්තක් ටෝස්ට් කිරීමට විනාඩි තුනක් ගතවේනම් පාන් පෙති තුනම ටෝස්ට් කර ගැනීමට වැයවන අඩුම කාලය කොපමණද? "

ඉතිං අප්පච්චිගෙ ඔය ලෙඩ වලට තියන බය හින්දම ඉස්පිරිතාලෙ හිටපු හැමදාම කවුරුහරි ලඟ ඉන්නම වුනා. මුල්ම දවස් දෙකතුනේ මම රාජකාරිය බාරගත්ත. කෝකටත් තෛලය කියල යන්ට කලින් නුවර මැකලම් එකෙන් හරි ගුණසේන එකෙන් හරි පොත් දෙකතුනකුත් ගත්ත.ඒ දවස්වල සරසවි පොත්හල නැත්නම් විජිත යාපා එක පටන් අරගෙන තිබුනෙ නෑ. ගත්තු එක පොතක්නම් මට හොඳටම මතකයි. ඒ කිට්ටුව නිකුත් කරපු ගුණදාස අමරසේකර මහත්තයගෙ පොතක් " ගල් පිළිමය සහ බොල් පිළිමය "

පොළොන්නරුවෙ ගල්විහාරෙ ගැනත් මේ පොතේ කියවෙනව. අවුරුදු ගාණක් තිස්සෙ මාස දෙක තුනකට වරක් වත් නොවරදවා පසළොස්වක දවසට ගල්විහාරෙ ගියපු නිසා පොත කියවද්දි සිතින් මම ගල් විහාරෙ වඳින්ට ගියේ නිරායාසයෙන්ම.

දහ හතේ වාට්ටුවෙ හිටිය ඇටන්ඩන්ට් එක්ක මම කලින්ම කතා කරල මිනිහව ෂේප් කරගත්ත. මිනිහගෙ නම සැම්සන්...ගම කිව්වෙ මේ හිඟුල. හිඟුල තියෙන්නෙ නුවර කොලඹ පාරෙ මාවනැල්ලට මෙහා. 

" ඉතිං සැම්සන් අයිය ..යමුද සිගරට් එකක්වත් බොන්ට? "

" හරි මහත්තය එහෙනං යමුකො.."

" හරි ඉන්න මම බලල එන්නම් අප්පච්චි නිදිද මොකද කියල..."

අයි.සී.යූ. එකෙන් ගෙනාවට එහෙදි දුන්න බෙහෙත්වල සැරටද මන්ද අප්පච්චි කොයිවෙලාවෙත් නිදාගෙනම තමයි හිටියෙ. ඒ වෙලාවෙත් හොඳටම නිදි. මම කෝකටත් කියල ඇඳේ දෙපැත්තෙ ගරාදි උස්සල පොඩි ලොක් එකක් වගෙ තියනව ඒකත් දැම්ම. නැත්තං නිදිමතෙන්ම පෙරලිල බිමට වැටුනොත් මහ ජංජාලයක් වෙන්නෙ. කොහොමත් ඉස්පිරිතාල ඇඳං සාමාන්‍ය ඇඳන් වලට වඩා උස හින්ද බැරිවෙලාවත වැටුනොත් එහෙම ආයෙ සොරි ඩොට් කොම් තමයි.

වාට්ටුවෙ එක පැත්තක් දිග කොරිඩෝවක්. වහලේ උසුලාගෙන ඉන්න හතරැස් කුළුණු අඩි දහයෙන් දහයට වගෙ පරතරෙන් තිබ්බ. ඒ අතර බට පැළලි එල්ලල. මේ රස්නෙ කාලෙ හින්ද ඒ පැළලි උඩට අකුලල රෝල් කරල තිබ්බට බැඳල තිබ්බ ළණු දෙපොට ලිහුව නං සර සර ගාල පාතට වැටිල සම්පූර්ණ කොරිඩෝවම ආවරණය වෙනව. වැහි කාලෙට එහෙමත් නැත්තං සීතල හුළං කාලෙට ඒ බට පැලලි වලින් තමයි වාට්ටුවෙ ඇතුලත ආවරණය වෙන්නෙ.

වාට්ටුවෙ මිදුලට බැස්සම අත දික්කලා වගෙ ඉස්සරහ පේන්නෙ බහිරව කන්ද. නුවර නගරයෙ කොහේ ඉඳල බැලුවත් ඉර අව්ව වැටිල සුදුම සුදු පාටට දිළිසෙන බහිරව කන්ද මුදුනෙ තියෙන යෝධ බුදු පිළිමය ඔය මම කියන දවස් වෙනකොට තවම වැඩ ඉවර නෑ. 

" යමු මහත්තය අතන පඩි පෙලෙන් උඩට. එතෙන්ට විසිතුනේ ඇඳත් හොඳට පේනව. ලොකු මහත්තයට ඇහැරුණත් ඒ හැටි ප්‍රශ්නයක් වෙන එකක් නෑ. අපිට විජහට ආපහු ආ හැකිනෙ. " 

වාට්ටු මිදුලෙ අයිනට වෙන්ට හදල තිබ්බ සුදු අරලිය ගහට එහා පැත්තෙන් ගඩොල් අල්ලල හදපු පඩි පෙළකින් සැම්සන් මාව උඩට එකකරගෙන ගියා.

පඩි පෙලේ කෙලවර වෙන්නෙ පොඩි මිදුලක් වගෙ තැනකින්. ඒ මිදුලෙ මැද කොන්ක්‍රීට් කණුවක් උඩ වීදුරු කූඩුවක් ඇතුලෙ තිබ්බ පොඩි බුදු පිළිමයක්. ඒ මිදුල වගෙ කොටස තිරිවාණ ගල් අතුරල බොහොම පිළිවෙලට හදල තිබ්බ. වැඩි කාලයක් ගිහිල්ල නෑ මේ වැඩේ කරල කියන එක බැලූ බැල්මට පේන්ට තිබ්බ කොන්ක්‍රීට් කණුවෙ ගාල තිබ්බ සුදු එනමල් තීන්තවල අලුත් පෙනුමෙන්.සැම්සනුයි ගිහිල්ල බුදුපිළිමෙට වැන්ද. මාත් ඒ පස්සෙන්ම ගිහිල්ල එහෙම කලා. පස්සෙ අපි දෙන්න ආපහු ඇවිල්ල පඩි පෙලේ උඩම පඩියෙ වාඩිවුනා.

" මේ අහල පහල වාට්ටුවල මිසීලයි දොස්තරලගෙනුත් සල්ලි එකතුකරල ඔය බුදු පිළිමෙ ඔතන තිබ්බෙ අපේ සරෝජිනී මිස්. "

" කවුද සරෝජිනී මිස්? ..." සැම්සන් දිහාට හැරිල මම එහෙම ඇහුවෙ නළලත් රැලි කරගෙන.

" සරෝජිනී මිස් මේ වාට්ටුවෙ වැඩ කරන්නෙ..අද නයිට්..තව ටිකකින් එයි. මහත්තයට හම්බ වුනෑකි. " සැම්සන් එහෙම කියල හිනාවුනේ නිකං ඔලොක්කුවට වගේ කියලයි මට හිතුනෙ..

" හ්ම්ම්......" එහෙම කියල මම ආයෙම ඉස්සරහ බලා ගත්ත. 

මෙතෙන්ට අපූරුවට පේනව බාගෙට හදාගෙන යන බහිරව කන්දෙ බුදු පිළිමෙ ..එතකොට ඊට පල්ලෙහයින් පුෂ්පදානෙ ගොඩනැඟිලි, එතකොට ඊටත් පහලින් නුවර පොලීසියෙ වහල.  බුදු පිලිමෙ හතර අතින්ම වැහෙන්ට පලංචි ගහල තිබ්බ උඩට යනකල්ම.ඒ පලංචිවල මිනිස්සු වැඩ කරනව පෙන්නෙ හරිය කූඹි රැලක් වගේ.

" දැන් කීයද මහත්තය වෙලාව? " සැම්සන් මගෙන් ඇහුව.

" ම්ම්ම්..පහට දහයයි. " .මම අත් ඔරලෝසුව බලල උත්තර දුන්න. 

" හෙහ්, තව ටිකකින් බලන්නකො අර මිනිස්සු එකා පස්සෙ එකා ඉණිමං දිගේ පාතට බහින හැටි ..පහටනෙ ඕෆ් එක. "

කලිසං සාක්කුවෙන් ගත්තු ගෝල්ඩ් ලීෆ් පැකට් එක මම සැම්සන්ට දික්කලා. 

" හැබැයි ගොයියෝ මා ගාව ලයිටරයක්, ගිණි පෙට්ටියක් එහෙමනම් නෑ.." 

" අහ්..එහෙමද.? ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ ....මහත්තය ඔහොම ඉන්ටකො. "

සැම්සන් නැඟිටල අර පොඩි මිදුල් කෑල්ලෙ මැද කොන්ක්‍රීට් කණුව උඩ තිබ්බ බුදු පිළිමෙ ගාවට ගියා. මම ඉඳ ගත්තු ගමන්ම එහෙමම ඔලුව හරවල බලා හිටිය මේ මනුස්සය මේ මොකද කරන්ට හදන්නෙ කියල. හෙමිහිට බුදු පිළිමෙ පිටිපස්සට අත දාල සැම්සන් ගිණි පෙට්ටියක් එළියට ගත්ත. ඊටපස්සෙ බොහොම උජාරුවෙන් හිනාවෙවී ආව මම ඉන්න තැනට. 

" මම දන්නවනෙ ඔතන බඩු තියෙන්නම ඕනෙ කියල." 

දුම්වැටි දෙකක් දල්වගෙන අපි දෙන්න කරබන දුම්බොන වැඩේ කරගෙන ගියා.කිව්වත් වගෙ හරියටම පහ වෙද්දි බහිරව කන්දෙ බුදු පිළිමෙ වැඩ කරපු සෙනඟ කන්දරාව ඉණි මං දෙක දිගේ පහලට බහින්ට ගත්ත. ඒකනම් අර කිව්වත් වගේ බලාඉන්ටම වටින වැඩේ.

දුම්බොන්නා කියල කුරුල්ලෙක් ගැන අහල තියද? බොහෝවිට වියළි කලාපයෙ ඉන්නෙ. දුඹුරු වගෙ පාටකින් යුතු පියාපත් තියෙන පොඩි කොට්ටෝරුවෙක් විතර කුරුල්ලෙක්. ඒ පැත්තෙ හේන්වැඩ කරද්දි ගස් පෙරලල වේලුනහම ගිණි තියනව.එහෙම ගිණිතියන්ට ඉස්සරවෙලා ගිණි හුලත් අතින් අරගෙන හේන් ගොවියා බොහොම සද්දෙට යාදින්නක් කියාගෙන හේන වටේ යනව. 

" දෙයියෝ, බුද්දු ඔක්කොම ආරක්සා කරල දෙන්ට ඕනා...දැං මේ හේන ගිණි තියන්ටයි යන්නේ. මේ අකුල ඇතුලෙ ඉන්න ලොකු සත්තු, පොඩි සත්තු, තරමක සත්තු, ඒ වගේම ඇවිදින සත්තු, බඩගාන සත්තු ඒ එක්කම පිහාබන සත්තු ඒ ඔක්කොම දැං මේ මොහොතේම මෙතනිං පිටවෙලා මහ කැලේට පලයල්ලා. මම මේ හේන ගිණිතියන්ටයි හදන්නේ. මගේ දරු පවුල ආරක්සා කරගන්ට උන්ට බඩගිනි වෙනකොට කන්ට දෙන්ට උවමනා නිසා මේ වැඩේ කරනවා මිසක උඹලගෙ වාසස්තාන නැතිබංග කිරීමේ අදහසක් මගෙ තුං හිතකවත් නෑ. මං අදහන ඔක්කොම දෙයියො බුද්දුංගෙ නාමෙන් දිවුරලා කියන්නං, ඔන්න මම මේ හේන දැං ගිණි තියන්නයි යන්නේ, මෙතනින් පිටවෙලා වහාම මහ කැලේට පලයල්ලා. "

මට මතක විදිහට චිත්‍රපටයෙ නම සෙයිලම වෙන්න ඕන. එච්.ඒ. පෙරේරා ඔහොම කිය කිය ගිණි හුලකුත් අරගෙන හේන වටේ යන දර්ශනයක් මට මතකයි. එතනම ගහක් යට ඉඳගෙන ඒ දිහා බලා ඉන්නව ස්වර්ණා මල්ලවආරච්චි. එච්.ඒ ගෙ බිරිඳ.

ඉතිං මම මේ කියන්ට ආවෙ ඔය දුම්බොන්නයි කියන කුරුල්ල හේන් එහෙම ගිණි තිබ්බම ඒ ගිණි මැලෙන් නඟින දුම් රොටු අතරෙන් එහාට මෙහාට පිහාබනව.ඒ සතා එහෙම කරන්නෙ දුම් බොන්නයි කියල හිතල තමයි ඒ පැත්තෙ මිනිස්සු එයාට දුම්බොන්නයි කියල නම දාල තියෙන්නෙ. ඒත් ඇත්ත කතාව ඒක නම් නෙවෙයි.ගිණි මැලේ  ගින්දරෙන් බේරෙන්න පොඩි සත්තු, ඔය කුරුමිණි වගෙ එවුං දුම අස්සෙන් උඩට පියාඹනව. එවුන් අල්ලගෙන කන්න තමයි දුම් බොන්නල ඔය දුම අස්සෙං පියාඹන්නෙ.

කොහොමද දුම්බීම ගැන කතාව ඇදිල ගිය දුර නේද? මම අර ඉස්සරෝම පුරාවිද්‍යාවට සම්බන්ධ ආයතනයක රැකියාව කලාය කියල කිව්ව මතකයි නේද? මේ පහුගිය සතියේ අභාවයට පත්වුනු මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහත්තය කියපු කතාවක් මට මේ වෙලාවෙ මතකයට එනව. එතුමා ඒ කාලෙ සීගිරිය සහ දඹුල්ල යන පුරාවිද්‍යා ව්‍යාපෘති දෙකේ අධ්‍යක්ෂවරයා. දවසක් අභයගිරි චෛත්‍යය ගාවදි කැණීම් වලින් හම්බ වෙච්ච වළං කැබලිත්තක් අතට අරගෙන එතුමා කිව්ව " හරියට පුරාවිද්‍යාව විෂයය හදාරල තියෙන කෙනෙකුට ඒ ගැන උනන්දුවක්, ඇල්මක් තියෙන කෙනෙකුට මේ වළං කැබලිත්ත හොඳටම ඇති ආචාර්ය උපාධියකට නිබන්ධනයක් කරන්න " කියල.

බැසයන හිරුගෙ රතුපාට රැස් පතිත වෙලා බහිරව කන්දෙ බුදු පිළිමෙ ලා රතු පාටට දිළිසුනා.පිළිමෙ පසුබිම් කරගෙන කපුටො රංචුවක් හන්තාන කඳු පංතිය පැත්තට පියඹලා ගියේ එක රොත්තට. උං තොර තෝංචියක් නැතුව කෑගහන සද්දෙ මට මෙතනට ඇහෙන්නෙ නැතිඋනත් මට හිතාගත්තෑකි. ඔලුව හරවල මම පල්ලෙහා වාට්ටුවෙ විසිතුන්වෙනි ඇඳ දිහාවෙ බැලුව. අප්පච්චි තවම එක සීරුවට නිදි. මම ආයෙම බුදු පිළිමෙ දිහාවෙ බලාහිටිය පොඩ්ඩ පොඩ්ඩ අඳුර ගලාගෙන ඇවිල්ල පිළිමෙ වැහිල යන අපූරුව. එහෙම කොච්චර වෙලා මගේම ලෝකෙ තනිවෙලා හිටියද කියල මට නිනව්වක් නැඇ. පඩිපෙල දිහාවෙන් සද්දයක් ඇවිල්ල මම ඔලුව හරවල බැලුව.හෙදි නිල ඇඳුමෙන් සැරසුනු යුවතියක් පඩි පෙල නැඟගෙන එනව දැකල මම හෙමිහිට ඉඳගෙන හිටපු තැනින් නැඟිට්ට.

පලි - මේ වැල්වටාරං එකතුකරල කවදක හරි පොතක් ගැහුවොත් මොකක්ද දන්නවද මම දාන්ට ඉන්න නම ? " Nothing About Anything But Something About Everything - My Life And Times In  Emerald Isle..."

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...