![]() |
| Ravaya.lk |
එදින රැස්වීමෙහිදී ළමයි දෙදෙනෙක් එකවර උඩ දැමූ එතුමාට ගණං වැරදිනි. එතුමා ආපසු අල්ලාගත්තේ එක ළමයෙක් පමණි. බරපතල අනතුරක් නොවූයේ එතුමාගේ ආරක්ෂකයකු වහා ඉදිරියට පැන අනික් ළමයා සුරැකිව අල්ලාගත් බැවිනි.
" මේ අමරේ..බැරිද ඔය ළමයින්ට කියල අත්දෙක උස්සල ජයවේවා..ජයවේවා කියල කෑගහන්ට පුරුදු කරවන්ට. අන්න එහෙම කරන්ට පුලුවන් නම් මල් හතයි. ඔය ළමයිංගෙ අම්මලාට කියල බලාපංකො. කියපං රුපියල් දාහ වෙනුවට පන්දාහක් දෙනව කියල එහෙම පුරුදු කරන්ට පුලුවන් නං.."
" මම හිතන්නෙ නෑ බොස්..මේ අවුරුද්දක හමාරක පොඩි එවුං ලව්වා ජයවේවා කියල කියවන එක කරන්නෙ කොහොමද? "
" හරි හරි එහෙනං ඒක අතෑරල දාපං...මම කතාවෙදි කියන්නං ළමයි එහෙම කිව්වයි කියල. "
" හිහ්,හිහ්...මිනිස්සු විස්වාස කරයිද බොස්? "
" බයවෙන්ඩ එපා මිනිස්සු විස්වාස කරනව බං..මිනිස්සු විස්වාස කරනව..ඇස් දෙක දොඹගෙඩි වගෙ කරගෙන අපෙ හාමුදුරුවනේ කියල පටන්ගෙන කිව්වොත් ඕන එකක් මිනිස්සු විස්වාස කරනව..මම ඒක දන්නව ටක්කෙටම. "
අම්මාපල්ල මූ තමයි දවසකටවත් මිනිහ. මූට එච්.ඊ. නෙවෙයි කියන්ට ඕන එච්. පී. කියල වල් අමරේ එසේ සිතූයේ කට කොණකින් සිනහ සෙමිනි.
" මේ පොඩි එකා ජයවේවා කිව්ව කතාව නැඟල ගියොත් බං මම ඊලඟට මොකක්ද දන්නවද කියන්ට හිතාගෙන ඉන්නෙ? " එතුමා බුරුසුව පිරිමදිමින් ඇසුවේය. " උඹත් ගනිං බං එකක්.." ආයෙම කීවේය.
" ඔය මාස අටේ පොඩි එකා අත් උස්සල ජයවේවා කියල කිව්වයි කියන කතාව නැඟල ගියානං ඊළඟට මම කියන්ට හිතාගෙන හිටියෙ මෙහෙම"
ෂොට් එක උගුරට හලාගත් එතුමා නැඟී සිටියේය.රැල් බුරුල් හැර සාටකය එහෙම හදාගත් එතුමා පැත්තකට හැරී යාන්තමට කොන්ද නමා වැන්දේය.
" ඒ බං හාමුදුරුවරුංට,.......අපෙ හාංදුරුවනේ කියල ඔහොම යන්තමට වැන්දහම එයාලගෙ කරෙත් ගිහෑකි. හෙහ්,හෙහ්, තව ඉඳහිටල ඔය බෙන්ස් එකක යතුර එහෙම පිරිකර විදිහට පූජා කලාම ආය නෑ කරෙං බහින්ටම ඕන නෑ. මම බහින්ට හැදුවත් බහින්ට දෙන්නෙ නෑ. ඔය ඒ වගෙ එක ලොක්කෙක්නෙ අර කිව්වෙ අවුරුදු විසිපහකට චන්ද නොතිය මටම රට පාලනය කරන්ටය කියල. එවුන්දැ දන්නෙ නෑ අවුරුදු විසිපහකට නෙවෙයි ජීවිත කාලෙටම මේ රටේ රජ්ජුරුවො වෙන එකයි මගේ අදිස්ටානෙ කියල. "
" හික්.හික්. රයිට් මෙහෙමයි එහෙනං කතාව..අපෙ හාංදුරුවනේ...මම මේ රැස්වීම් වලට එනකොට අම්මල තාත්තල ඇවිල්ල පොඩි දරුවො දෙනව මට වඩා ගන්ට කියල. මම රැස්වීමකට එනවයි කියල ආරංචි උනහම ඒ ළමයි ගෙවල් වල පොළවෙ පස්කනවලු මහින්ද මාමිට කියල මගෙත් ඔලුව අතගාව ගන්ට ඕනය කියල.ඔහොම එක ළමයෙක් දවස් හතක් හිටියලු වතුර උගුරක්වත් බොන්නෙ නැතුව. අන්තිමට ඒ ලමය මගෙ ගාවට ගෙනාවෙ හාමුදුරුවනේ ඇඳක තියල උස්සගෙන. ආ පුතා මම තමයි මහින්ද මාමි, කියල මම ඒ දරුවගෙ ඔලුව අතගෑවෙ එක පාරයි හාමුදුරුවනේ විස්වාස කරන්ට මේ ළමය අත්දෙක යන්තමට උස්සල අපේ මහ රජතුමාට ජයවේවා කියල යන්තමට කෙඳිරි ගෑව.නොකා නොබී ඉඳල කතාකරගන්ටවත් පණක් නෑ. ඒත් කිව්වෙ මහරජතුමාට ජයවේවා කියල. "
" ඔන්න ඒක තව කමක්නෑය කියමු. මේ පෙරෙයිද ඒත් මා ගාවට ආව එක බඩදරු අම්ම කෙනෙක්. ඇවිල්ල මගෙ අත්දෙකම අල්ලල කියනව ඇස් දෙකේ කඳුලු පුරවාන අපෙ හාමුදුරුවනේ......ඔබ තුමා තමයි අපේ එකම පිහිට. ඔබතුමාට...එහෙම කියනකොට ඒ අම්මට කතාකරගන්ට බැරිවුනා. ඒ එක්කම මට හෙමිහිට ඇහෙනව යන්තමට මේ කොහෙහරි ඇතුලක ඉඳල වගෙ සද්දයක් ජයවේවා, ජයවේවා කියල.අර අම්මටත් පුදුමයි, කොහෙන්ද මේ සද්දෙ එන්නෙ කියල.තව ටිකක් හොඳට කන්දිහාල බැලුව අපි දෙන්නම. අනේ හාමුදුරුවනේ ඒ ජයවේවා කියල සද්දෙ එන්නෙ ඒ අම්මගෙ බඩ ඇතුලෙං, බඩේ ඉන්න දරුවා... මම පස්සෙ ඇහුව ඒ අම්මගෙං මාස හතක් වගෙ කියල කිව්ව..ඒ නූපන් දරුව තමයි අර කෑගැහුවෙ ජයවේවා, ජයවේවා කියල. "
ආපසු ඩෙක් චෙයාර් එකේ හිඳගත් එතුමා උජාරු බැල්මකින් අමරේ දෙස බැලුවේය. " කොහොමද බං කතාව? නොම්බර එකයි නේද? "
" හික්, හික්...ආයෙත් අහල බොස් මල් හතයි.ඉපදෙන්ට ඉන්න ළමයි පිරිමිද ගෑණුද කියල කියන්ට මීට පස්සෙ ඉස්කෑං කොරන්ට ඕන වෙන එකක් නෑ. " අමරේ එහෙම කිව්වේ තව ෂොට් එකක් වක්කර ගනිමිනි.
" ඒ මොකෝ බං එහෙම කිව්වෙ? ..." එතුමාගේ නලලද රැලි වුනේය.
" නෑ බොස්ට තියෙන්නෙ බඩේ ඉන්න පොඩි එකාට මෙහෙම කියන්ට. ආ මේ ළමයො. දැං ඇති ඔය ජයවේවා, ජයවේවා කියල කෑගැහුව. ඔහොම කෑගහන්ට බැරුවය ඔතනිං එලියට ආපු දාක. ඒක නෙවෙයි මේ ඔය ළමයගෙ අම්මට දැනගන්ට ඕනලු ඔය ළමය පිරිමිද ගෑණුදැයි කියල. අනේ ළමයො ඔහොම්මම පොඩ්ඩක් දෙකට නැමිල කිරිපල්ල අතගාල බලල කියන්ටකො ඔය ළමය පිරිමිද ගෑණුද කියල...හිහ්,හිහ්..බොස්ට තියෙන්නෙ බඩේ ඉන්න ළමයගෙං අන්න එහෙම අහන්ට. "
" හික් හික් අම්මප උඹටත් අමරෙ එන කල්පනාවල්... මේ ඒක නෙවෙයි මොකටද ඔය බෝනික්කෙක් උස්සගෙන ආවෙ? "
" බොස් මම මේ බෝනික්කා ගෙනාවෙ පොඩ්ඩක් පැට්ටිස් වෙන්ට. ඉන්ටකො ඔන්න මම එන්නං බෝනික්කත් අරගෙන ඉස්සරහට..හරියට අර රැස්වීමෙදි ළමයත් අරගෙන අම්ම එනව වගෙ. ඔබ තුමා ඇවිල්ල බෝනික්කා වඩාගෙන උඩ දාල හුරතල් කරන්ට. අන්න හරි..කෝ තව ටිකක් උඩ දාන්ට. තව හිනාවෙන්ට හොඳට කට ඇරල..රයිට් බුරුසුව ටිකක් පුම්බල එහෙම අර පරණ බැරල් එකක් සැමන් ටිං පියනකිං හූරනකොට එන්නෙ..අන්න ඒ වගෙ ගොරෝසු ගාම්බීර කට අඬකිං කතා කරන්ට. මිනිස්සු කැමතියි එහෙම තුංකාලෙ මැටල් ගොඩක් ටකරමකට බානව වගෙ සද්දෙං කතා කරනවට. "
" අනික් කාරනේ උඩ වීසිකරපු ලමයි ඔක්කොම මතක ඇතුව ආපහු අල්ලන්ට. මතකනෙ අර ගිය සුමානෙ රැස්වීම ?. දෙන්නෙක් උඩ විසි කලා. එක්කෙනයි ඇල්ලුවෙ. "
" මට ගණං වැරදුනා බං..." එතුමා ලැජ්ජාවෙන් වගේ බිම බලාගෙන කීවේය. " මට කොහොමටත් පොඩි කාලෙ ඉඳලම ගණං බෑ."
ඒ කතාව ඇත්තය. එතුමාට විතරක් නෙමේ එතුමාගේ පවුලේ කාටත් ඉගෙනීම අරහංය. ඒ ලෙවල් එස් තුනක් හොයාගන්ට එතුමාගේ මුලු පවුලම එකතු කලත් බැරිබව රට පුරා ප්‍රචාරය වුනු කසුකුසුවකි. එතුමා පෙරකදෝරු විබාගය පාස් වීමද ඒ වගේම බොහොම අපූරු කතාන්තරයකි.
" එහෙම කියල හරියන්නෙ නෑනෙව බොස්... ළමයෙක් බිම වැටිල මොකක් හරි වුනොත් අනේ මට ගණං බෑ කියල හරියනවද? අඩු ගානෙ උඩ විසි කරන ළමයි ගාණ අල්ලෙවත් ලියල තියාගෙනට.එතකොට වරදින්නෙ නෑනෙ. "
" හරි හරි හරි....එහෙම මොකක් හරි වත් කරමුකො.. වෙන මොනවද අඩුපාඩු? " එතුමා ඇසුවේය.
" ආ..තව එකක් අද බොස්ගෙ අර පපුවට ගහ ගැනිල්ලත් හරියට කෙරුනෙ නෑනෙ. වෙනද ඔහොමද? පළමුව මව්බිම කියල පපුවට ගහ ගන්නකොට දඩීං ගාල එන සද්දෙ ලවුස්කීපර් වලින් මුලු පිටැන්න පුරා අස්සක් මුල්ලක් නෑර පැතිරිල යනකොට, වටේ තියන බිල්ඩිංවල හැප්පිල දෝංකාර දෙනකොට මිනිස්සු මීයට පිම්බ වගෙ බලාගෙන ඉන්නෙ. හුස්ම ගන්ටවත් අමතක වෙච්චි ගානට. "
" උඹ මේ මඟුලක් කතා කරනව..මෙන්න බලාපං වෙච්චි දේ..."
කරවටේ ඔතාගෙන උන්නු සාටකේ අයිං කරල එතුමා ඇඳගෙන උන්නු බුෂ් ෂර්ට් එකත් උස්සල පපුව හරිය පෙන්නුව අමරෙට. මේ වෙනකොට සෑහෙන්න කළුවර වෙලා. අමරෙ සාක්කුවෙ තිබ්බ පොඩි ටෝච් එක අරගෙන පත්තුකරල එතුමගෙ පපුව දිහා බැලුව. අමරෙගෙ ඇස් උඩ ගියා..පපුවෙ මැද රතුපාට ලේ පුරපු පැල්ලම් වගෙ තියනව තුනක්ම. හරියට කවුරුහරි අත මිටි කරල තද පාරක් සැරට ගැහුව වගෙ.
" අප්පච්චියේ මොකක් වෙලාද බොස් මේ? "
" බං උඹ දන්නවනෙ මම ඔය මව්බිම, මව්බිම, මව්බිම කියල මරහඬ තියල දබෝං දබෝං ගාල පපුවට ගහගන්නකොට රබර් කාපට් එකක් කමිසෙට යටිං බැඳගෙනයි ඒ වැඩේ කරන්නෙ කියල. එකක් ඒක හාට් එකට ආරක්ෂාවයි. දෙක එතකොට තමයි පළාතම එක නින්නාදවෙන්ට අර අපූරු සද්දෙ එන්නෙ. "
" ඉතිං බොස්? "
" ඉතිං අද මම දුවගෙන දුවගෙන ගිහිල්ල ඉස්ටේජ් එකට පනිනකොට වෙච්චි වැඩේ කාපට් එක බැඳල තිබ්බ ලණ්ණ බුරුල්වෙලා ඒක බැස්ස බඩ දිහාට. "
" කෙලියා..ඉතිං බොස්ට තිබ්බෙ අර ගෝරිල්ල වගෙ පපුවට තඩිබාගන්න සීන් එක අද අතෑරල දාන්ටනෙ. "
" එහෙම තමයි මාත් හිතාගෙන හිටියෙ. ඒත් කතාව නැඟල ගියපාර මට ඒක අමතක වුනානෙ ඕයි. රට ජාතිය වෙනුවෙං විදුලි පුටුවට වුනත් යන්ට මම ලෑස්තියි කියල මයික් එක හපල කෑගහල පළමුව මව් බිම කියල දන්නෙම නැතුව තඩි බාගත්තෙ නැද්ද පපුවට..මට එහෙම්මම බුදු අම්මේයි කියවුනා අම්මපල්ල. "
" ඉතිං? "
" පලමුව කිව්වම තව දෙපාරක් කොහොමත් කියන්ට එපාය. ඒ පාර මොනව කරන්ටද දත්මිටි කාගෙන තව දෙපාරක් පපුවට ගහ ගත්ත. පළමුව මව්බිම!!! දේයි..බුදු අම්මේයි, දෙවනුව මව්බිම!!! දේයි..බුදු අම්මේයි, තෙවනුව මව්බිම!!! දේයි..බුදු අම්මේයි "
" මොකක්ද බොස් ඔය විදුලි පුටුව කියන්නෙ? "
" ඇත්තම කිව්වොත් මාත් ඔය එක එකා කියනවට විදුලි පුටුව විදුලි පුටුව කිය කිය උඩපැන්නට හරියටම ඔය මඟුල මොකක්ද කියල දැනගෙන හිටියෙ නෑ. මම මේ ඊයෙ පෙරෙයිද වෙනකල් හිතාගෙන උන්නෙ ඔය අර කරන්ට් එකෙන් වැඩ කරන රෝද පුටුවක්ය කියල. ඒකනෙ මම බය නැතුව ගලනාලය අතේ අරගෙන කෑගැහුවෙ මම බය නෑ විදුලි පුටුවට කියල. බලනකොට බං ඒක ටිකක් සිරා කේස් එකක්. ඔය විදුලි පුටුවෙ අපරාදකාරයො ඉන්දවල කරන්ට් වද්දල මරල දානවලු. " පට්ට හීතලේ උනත් එතුමාට සුට්ටිවට වගෙ හීං දාඩියකුත් දැම්ම.
" නැහ්?..මාර සීන් එකනෙ...ඉතිං බොස් මොකද දැං කරන්ට හිතාගෙන ඉන්නෙ? " අමරෙ ඇහුව ඇස් දෙකත් ලොකු කරගෙන..
" හෙහ්, බය වෙන්ට එපා. එව්වට තියනව බං ක්‍රම සහ විධි...උඹ අහල තියනවද රස්පුටින් ගැන..."
" ඔව්..අර රුසියාවෙ ජනාධිපතිිද කොහෙද නේද? ඇයි බොස් මිනිහ කචල් එක දානවද? "
" ඒ මොකටද බං රුසියාවෙ ජනාධිපති මට කචල් එක දාන්නෙ? "
" නෑ අර බොස්ගෙ ගෝලයෙක් රුසියන් කෙල්ලෙකුට මොනවද කරා කියල නඩුවක් තියනව නේද? අර හෝටලේක....අර කවුද මරලත්..... මම හිතුවෙ.."
" මේ කටවහගෙන ඉඳපං...එව්ව මම ගානට සෙට් කරල ඇති..ඒ රුසියන් ජනාධිපති ඇවිල්ල පූටින්..එයා ගැන නෙවෙයි මම මේ කිව්වෙ...අවුරුදු සීයකට වගෙ ඉස්සර ඒත් රුසියාවෙ හිටපු මනුස්සයෙක් ගැන..මිනිහගෙ නම ඇවිල්ල රස්පුටිං, "
" ඉතිං මොකක්ද ඔය රස්පුටිංගෙයි බොස් විදුලි පුටුවට යන එකෙයි තියෙන සම්බන්දෙ? "
" ඔය රස්පුටින්ට දෙතුන් පාරක් වහ දීලත් මිනිහ මලේ නෑ. එහෙම වුනේ මිනිහ ඔය සීන් එක කලින් දැනගෙන පොඩ්ඩ පොඩ්ඩ කලින් ඉඳල වහ කාල පුරුදු වෙච්ච නිසා. "
" නෑහ්? ....."
" නෑ නෙවෙයි බං එහෙම තමයි වෙලා තියෙන්නෙ..ඉතිං මමත් ලෑස්ති වෙන්නෙ කරන්ට් වද්දගෙන පුරුදු වෙන්ට. "
" අම්මප? බොස්ටත් මාර අයිඩියාස්නෙ එන්නෙ...හිහ්..හිහ්...බොස් නං මාරයි බොස්...කියලා වැඩක් නෑ.." අමරෙ එතුමා දිහා බලා හිටියෙ කටත් ඇරගෙන..
" හෙහ්..මම එහෙම තමයි........" එතුමා නිහතමානී ආඩම්බරයකින් කිව්වෙ අමරෙගෙ උරෙස්සට අතක් තියන ගමන්.
අමරෙ බෝනික්කත් අරගෙන ගියාට පස්සෙ එතුමා ගෙට ගියා. ආර්යාව සාලෙ ඉන්නව පත්තරයක් බල බල..
" මොකද මේ ඔහේ රැස්වීම්වල කිය කිය යන්නෙ විදුලි පුටුවට යන්ට උනත් ලෑස්තියි කියල. ඇත්තටම එහෙම දෙයක් වෙයිද? " ආර්යාව පත්තරේ පාත් කරල හැරිල බලල ඇහුව.
" වෙනව නේන්නං..ඒත් මම බය නෑ ඔය අදිරාජ්ජියවාදී කුරුමන්ත්‍රන වලට..රට ජාතිය ආගම වෙනුවෙන්...දේයි ..දේයි.."
" ආ මේ මෙතන ඔහේගෙ චන්ද ඉස්ටේජ් එකක් නෙවෙයි ඔහොම බෙරිහං දෙන්ට. මගෙ කං දෙකත් අගුල් වැටුන වගෙ. " ආර්යාව කං දෙකට දබරැඟිලි දෙක දාල කරකෝන ගමං කිව්ව එතුමා දිහාවෙ රවාගෙන.
" ඔය විකාර නැතුව කියනව දැං ඇත්තටම ඔය මොකක්ද පුටුවට යන්ට උනොත් ඔහේ මොකක්ද කරන්නෙ කියල.."
" හෙහ්, ඔයා තවම දන්නෙ නෑ මගේ හැටි..."
" ඒකනං ඇත්තම තමයි ..." ආර්යාව තොල මැතුරුව..
" මොකක්ද කිව්වෙ? "
" නෑ , නෑ මොකවත් නෑ..කියන්ටකො කියන්ට ආපු එක.."
" විදුලි පුටුවට යන්ටම වුනොත් මගෙ තියනව ඒකටත් පැලෑං එකක්. ඔහේ අහල තියද රස්පුටිං ගැන? "
" කවුරු කිව්ව? "
" ආ..නෑ..නෑ...ඒක ඕන නෑ...රස්පුටිං පැත්තක තියමුකො. ඉන්ටකො මම ඔයාට පෙන්නන්ට.."
ටරා..රා...ටරා ටරා...මැජික් කාරයෙක් අර පෙට්ටිය වහල තියන රෙද්ද අයිං කරල පෙට්ටිය ඇතුලෙං හාවෙක් ගන්නව වගෙ එතුමා ඇඳං උන්නු සරම පිටිපස්සෙං උස්සල එලියට ගත්ත කලුපාට දිග බම්බුවක් වගෙ එකක්.
ආර්යාවගෙ ඇස් ලොකු වුනා.." ඔය මොකක්ද ඔය?...."
" මේකෙං තමයි මම විදුලි පුටුවෙං බේරෙන්නෙ...හිහ්...හිහ්...අදිරාජ්ජවාදීන් හිතුව මදි මාව විදුලි පුටුවෙ තියල මරන්ට. "
" හරි. හරි ඉතිං කතාව තියල කියන්ටකො ඕකෙං කොහොමදෑ එහෙම කරන්නෙ කියල. "
" මේක ඇවිල්ල බොහොම පවර්ෆුල් බැටරි පැක් එකක්. මේකෙ දෙපැත්තෙං තියන මේ ක්ලිප් දෙක ඇඟේ කොහෙට හරි ගහගෙන මේ රතුපාර ස්විච් එක ප්‍රෙස් කලාම කරන්ට් එකක් ඇඟට වදිනව. කොච්චර කරන්ට් වදිනවද කියල එජස් කරගන්ටත් පුලුවනි. ඔන්න බලන්ට " එතුමා ආයම පිටිපස්සෙං සරම උස්සල ක්ලිප් දෙක පස්සට ගහගෙන ස්විච් එක එබුව.." බුදු අම්මෝ.."
" ඇයි කරන්ට් එක වැඩිද? " ආර්යාව ඇහුව.
" නෑ නෑ..මුලින්ම ඉතිං එහෙම තමයි. ටික ටික පුරුදු වෙයි. මම හිතාගෙන ඉන්නෙ ඔය නිකං ඉන්න වෙලාවට මේකෙං කරන්ට් වද්දගෙන පුරුදු වෙන්ට. එහෙම උනාම විදුලි පුටුවෙ තියල කරන්ට් එක ඇල්ලුවත් මට මොකවත් වෙන්නෙ නෑ....ඔන්න බලන්ටකො.ආයෙමත්......බුදු අම්මෝ..."
ආර්යාව කම්මුලේ අතකුත් තියාගෙන එතුමා දිහා බලාගෙන හිටිය.
" අම්මාපල්ල දැක්කයිං දැක්කෙ නෑ මෙහෙම මිනිහෙක්!!! "



.jpg)

